Saturday 13 January 2024

එන්ෆිල්ඩ් හි භූතාත්ම කතාව - මගේ නිගමනය - Dopamine and Alissa White-Gluz (Death metal band)


සමහරවිට ලිපියේ මාතෘකාවේ සමග මා  කියන්න යන්නේ කුමක්දැයි දැනටමත් වැටහෙන්නට ඇතැයි සිතමි. මේ භූතාත්ම කතාව පිලිබඳ  මගේ මුල්ම ලිපි දෙක මෙසේය.  

බොහෝ අය මෙවැනි පාරභෞතික කතා කෙළින්ම බැහැරලන අතර තවත් සමහරු විශ්වාස කරති. මා බොහෝ විට සොයන්නේ ඒවාට විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කළ හැකිද  යන්නය. කිසිදු දෙයක් අවඥාවෙන් බැහැර කිරීමට ඒ ගැන සොයා බැලීම මගේ සිරිතය.මා  පළමු ලිපියෙන් පැහැදිලි කලේ හැත්තෑව දශකයේ අවසානයේ මේ සිද්ධිය සිදුවූ විට එක පාර්ශවයක් එය කෙලින්ම බොරුවක් යයි විවේචනය කළ අතර යන්තම් තරුණ වියට එළඹෙන  ගැහැණු ළමුන් දෙදෙනාට පරිභවද කළ ආකාරයයි. ඔවුන්ගේ කතාව විශ්වාස කළ අය එම කතාව ඔප්පු කිරීමට අනවශ්‍ය පර්යේෂණ කරමින් ළමුන් දෙදෙනාට මෙන්ම පවුලටද  කරණ අල්ද්දේ  බරපතල හිරිහැරයකි. 

දෙවන ලිපියෙන් මා  පැහැදිලි කළේ ගැහැණු ළමුන් දෙදෙනා බොරු නොකියන බවත් එම සිද්ධීන් ගෙන් බහුතරයක් සත්‍ය වශයෙන්ම සිදුවූ ඒවා බවට මා සිතන බවයි. ඒ සඳහා ඕනෑ තරම් සාක්ෂි තිබේ. නමුත් භූතයකු සැබැවින්ම සිටියාද?

පළමුවෙන්ම ඒ දිනවල මනෝ වෛද්‍යවරුන් නොදැන සිටි විද්‍යාවේ දියුණුව නිසා දැන් අපි දන්නා දත්තයක් සලකා බලමු. ඒ රසායන ද්‍රව්‍යයක් / හෝර්මෝනයක්  වන ඩොපමයින් ය.  ( type of monoamine neurotransmitter) මෙය නිපදවෙන්නේ  අපේ ඇඩ්රිනලින් ග්ලෑන්ඩ් එකේය. මේ හෝමෝනය අඩු වැඩි වන තරමට අපේ හැසිරීමද වෙනස් වේ. ඔබල දන්නා හඳුනන වෛද්‍යවරයෙකු ගෙන් විමසා බලන්න.  ඒ මේ හෝමෝනය අපේ චලිතයට (Movement.), මතකයට , සතුට දැනවීමට , නින්දට, හැසිරීමට, වටහා ගැනීමට බලපාන නිසාය. අපට සතුට දනවන නිසා එයට “feel-good” hormone කියාද කියති. 
මෙය තිබිය යුතු හොඳ හෝමෝනයකි. ඒ අවශ්‍ය ප්‍රමාණයට පමණක් තිබුනොත්ය. 

එසේම  මම නිතර කකුල් සොලවන අතර එයට හේතුවද මෙම ඩොපමයින් කියා වෛද්‍ය විශේෂන්ඥයන්  කියති. .එසේම මේ ඩොපමයින්  අස්වාභාවික ලෙස වැඩි අයද  සිටිති. ඔවුන්ට ශරීරයේ  අනවශ්‍ය ශක්තියක් දැනෙන අතර, නිතර කලකිරුණු ස්වභාවය, නින්ද නොයෑම  මෙන්ම, නොයෙකුත් අභව්‍ය දේ පෙනීම  (hallucinations) සිදුවේ. දැන් මේ සඳහා ප්‍රතිකාර ඇති මුත් එදා තිබුනේ නැත. ජැනට් ට ඩොපමයින් වැඩිව තිබෙන්නට ඇතැයි මට සිතෙන්නේ ඇගේ සහෝදරයා ADHD (Attention deficit hyperactivity disorder - සිංහල නම නොදනිමි) තිබිම නිසා අනාථ නිවාසයකට රැගෙන යාමෙනි. . ADHD තිබෙන ලමයින්ට  ඩොපමයින් වැඩිපුර ඇති බව සොයා ගෙන තිබේ. 
ඒ නිසා ජැනට් ගේ ඇතැම් අස්වභාවික හැසිරීම් වලට හේතුව (පවුලේ ළමුන් තිදෙනෙක්ම) එය විය හැකිය. උඩ පැන අහසේ පාවීම, හිටි හැටියේ ඇද වැටීම, නින්ද නොයෑම. කෙස් අල්ලමින් හඬා වැළපීම ආදිය මේ අතර වේ.

දැන් ඇගේ උගුර යටින් භූතයෙකු මෙන් කතා කිරීම ගැන  සළකා බලමු. කටේ වතුර පිරවූ විටද ඇයට යටි උගුරෙන් කතා කළ හැකි බව ඔප්පු කර තිබුණි. (දෙවෙන ලිපිය බලන්න)   මෙය සාමාන්‍යයෙන් කල නොහැකි දෙයකි. මම ඉහත පින්තූරයේ දක්වා ඇති ඩෙත් මෙටල් සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායිකාව ඇලිස්සා ගී ගයන අයුරු බලන්න. ඇයද මේ භූත කතා වලට ආශක්ත වූ එකියක නිසා සින්දු කියන්නේද එලෙසම උගුර යටින්ය. මේ විශාල කැප කිරීමකින් හා පුහුණුවකින් පසුවය. 
මෙටල් ගෘප් වල සින්දු වලට මමත් ඉනෙස් (මගේ බිරිඳ) කැමති නිසා අප ඉඳහිට ඒවා අසන්නෙමු. එනිසා මට මතක් වුනේ ඇලිස් ගේ ගීත ගායනා කරන ආකාරයය.


ඇය  ARCH ENEMY සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායිකාවයි.  ඇය අපේ ජනට් ගේ භූතයා කතා කරන ලෙසටම ගීත ගයන්නේ යටි උගුරෙනි. මේ නිසා මා උපකල්පනය කරන්නේ ජැනට් කිසියම් ආකාරයකට මෙලෙස  කතා කිරීමට පුහුණු වෙන්නට ඇත කියාය. එසේ නැතිනම් ස්වභාවයෙන් ම ලැබුණු හැකියාවක් විය හැකිය.


එසේනම් ඇය බිල් විල්කින්ස් ගැන දැන ගත්තේ කෙසේද?මෙය මට විසඳා ගත නොහැකි වූ දෙයකි. එසේම ඇය  හරියටම මැරුණු ආකාරය බිල් ගේ කටහඬින් (මම  එසේ උපකල්පනය කරන්නේ පර්යේෂකයන් ගේ ශබ්ද ටේප් පටි අනුවය) කියන්නේ කෙසේද?

මම පසුගිය මාසයේ ෆේස්බුක් එකේ පින්තුර වගයක් පල කලෙමි. ඒ අපි සාමාන්‍යයෙන් නත්තල් කාලයට යන  සම්ප්‍රදායික නාට්‍ය ගමන ගැනය. මෙවර අපි ගියේ මගේ ඉල්ලීම පරිදි ඩෙරෙන් බ්‍රව්න් ගේ මැජික් ෂෝ එකටය. ඔහු ඉන්ද්‍රජාලිකයකි . නිකම් ඉන්ද්‍රජාලිකයෙක් නොව ඉතා සූක්ෂම ලෙස ඇස්බැන්දුම්  පෙන්වන අයෙකි. ඒවා මැජික් මද කියා ඇතැම් විට සිතා ගත නොහැකිය.  ඔහු මෙහිදී අපට අදාල වන්නේ "මියගිය ප්‍රාණකාරයන්" වේදිකාවට ගෙනැවිත් ඔවුන්ගෙන් ප්‍රශ්න අසා  අහඹු ලෙස තෝරා ගත් ප්‍රේක්ෂකයෙකු ගේ ජීවිතය ගැන කියන නිසාය.  
ඔහු එසේ කියන්නේ ඇත්ත වශයෙන්ම එසේ මිය ගිය අයෙකු ගෙන්වන නිසා නොවේ. ප්‍රේක්ෂකයෙකු ඔහුගේ ෂෝ එක නැරඹීමට එන ගමනේදී ඔහු තබන ඇතැම් සලකුණු නිසාය. එනිස අහඹු ලෙස තෝරාගත්තද එවැන්නෙකු තේරෙන බව ඔහු කළින්ම දනී. 
මේ ඔහු එවැන්නක් කරන හැටිය.

මා මෙහිදී ජැනට් මෙවැනි දේවල් කළා යයි කියන්නේ නැත. නමුත් මිනිසුන් මෝහනයට ඉබේ පත්වීමක් විය හැකිය. ඇගේ දෙමව්පියන් කතා කරන අවස්ථාවක  බිල් විල්කින්ස් නමැති මිය ගිය තැනත්තා ගැන කල කතාබහ ජනට් ගේ මනසේ නිදන් වී තිබෙන්නට ඇත. ඩොපමයින් වල ක්‍රියාකාරීත්වය වැඩි අවස්ථාවක ඒ මතකය මනසේ අවිඥාණක කොටසින් එළියට එන්නට ඉඩ ඇත.

මට පැහැදිලි කිරීමට නොමැති අවසන් ප්‍රහේලිකාව වන්නේ බිත්ති වලට තට්ටු කිරීමය. ජැනට් ඇඳේ හිටියදි, ,මුළු පවුලම කාමරයේ සිටියදී බිත්තියට  තට්ටු කිරීම් සිදුවීමය.  ඇපල් ටෙලිවිශනයේ වාර්තා චිත්‍රපටයේ මියගිය විල්කින්ස් ගේ පුතා කියන්නේ ඒ පියාත් යහළුවනුත් දෙවන ලෝක යුද්ධයේ බෝම්බ වැටීමට කලින් බිම් ගෙවල්  වලට දිව යාමට කලින් දෙන පණිවිඩයක් හැටියටය. 

ජැනට් ගේ පවුලේ හා පර්යේෂකයන් ගේ උද්වේගකර හැසිරීම මත ඔවුන්ට එය ඇසුනාද ? නැත්නම් අහල පහල ගෙයක අය හොර රහසේ එවැන්නක් කලාද? මේ ගෙවල් වල බිත්ති වල ගඩොල් හිඩැස් තිබේ. (මේවාට කියන්නේ කැවිටි වෝල් කියායcavity wall ) අපේ නිවස මිලයට ගත් පසු අපි ඒවායේ හිඩැස් සිමෙන්ති වලින් පිරවූයේ ශීතල වාතය ඇතුළට නොඒමටය. මේ වාතය කම්පනය වන නිසා වෙනත් තැනක කරන තට්ටු කිරීම් ජැනට් ගේ කාමරයට ඇසෙන්නට ඉඩක් නැතිද? මේ ප්‍රශ්න නිසා ජැනට්  ඇතුළු ළමයි පාසැලේ ළමයි අතින් හිංසාවට උසුළු විසුළු කිරීම් වලට භාජනය වී තිබුණි.  එවැනි ළමයෙකු මෙවැනි තට්ටු කිරීම් කළා වෙන්නට් බැරිද? 
නමුත් මට මෙයට හරි පිළිතුරක් නොමැත. එසේම බිල් ගේ  පියාගේ කටහඬ (ජැනට් ගේ යටි උගුරෙන් එන හඬ) හඳුනා ගැනීමද ප්‍රහේළිකාවකි. මට හිතෙන්නේ ඔහු එය චිත්‍රපටයෙන් යම් ප්‍රසිද්ධියක් ලබා ගැනීම සඳහා කියුවක් හැටියටය.

විශේෂයෙන් දැන් අපට මෙවැනි කතා අසන්නට ලැබෙන්නේ නැත්තේ ඇයි? බොහෝවිට යුරෝපයේ, බ්‍රිතාන්‍යයේ හෝ ඇමෙරිකාවේ මෙවැනි  සිදුවීමකදී අවශ්‍ය  කරන සහයෝගය, එනම්  මානසික වෛද්‍යවරුන්ගෙන් , පාසැලෙන් , නගර සභාව වැනි ආයතනවලින් ලැබේ. ඒ කාලයේ නොතිබූ ආරක්ෂාවක් දැන්  තිබේ. ඒ කාලයේ නොතිබූ දැනුමක් දැන් තිබේ. එනිසා භූත කතාවලට ප්‍රථම නිසි අවධනය හා ප්‍රතිකාර ලැබෙන්නට ඇති ඉඩකඩ වැඩිය.

එනිස ගේ නිගමනය නම් (80%)  බිල් කියා භූතාත්මයක් නොතිබු බවය.  සිඉයට විස්සක් ඉඩ තබන්නේ මට විසඳා ගත නොහැකි අවසන් ප්‍රශ්න දෙකටය.

එසේනම් මම ක්වන්ටම් භෞතිකයේ  සොයා ගැනීම්  හා බහුමාන විශ්වය ගැන කලින් ලිපි වල කතා කලේ ඇයි? බහුමාන විශ්ව ගැන අදහස අපට දැනට ඇති පරමාණුක අංශුන් හා විශ්වය ගැන කල සොයාගැනීම් පදනම්ව කර ඇති උපකල්පනයකි. අපට තවත් දත්ත බොහොමයක් අවශ්‍යය. ඉලෙක්ට්‍රෝනය ට අංශුවක් මෙන්ම තරංගයක් වශයෙන්ද එකවර පැවතීමට ඇති හැකියාව  අපි  පර්යේෂණ මගින් තහවුරු කරගෙන සිටිමු. එසේම අපි නිරීක්ෂණය කරන විට අංශුව එය "දැනගෙන"  භෞතික  තත්වයේ වෙනසක් කරගන්නා බවද දන්නෙමු. එනිසා "හොල්මන්" පෙනෙන්නේ අපි "නිරීක්ෂණය" කරන විට පමනද? මේවා තනිකරම ඩෙරෙන් බ්‍රව්න් කියන්නාක් මෙන් අපි අපිටම කරගන්නා  ඇස් බැන්දුම් ද?

ඩෙරන්  ඔහුගේ දර්ශනයන් අවසානයේ ඔහුගේ පියා කියූ වැකියක් සඳහන් කරයි.  ඒ මෙසේය.
 
  Don't sleepwalk through life. Or you'll miss what's important. ජීවිතය තුලින්  නින්දෙන් ඇවිදින්නට නොයන්න. ඔබට වටිනා දේ මග හැරෙනු ඇත.  

2024-01-13 - අජිත් ධර්මකීර්ති 
   



47 comments:

  1. එක දිගට කියෙව්වා. මමත් හැමදාම හිතපු දෙයක් තමයි මේ. ඒත් කවදාක හ​රි පිළිතුරක් ලැබෙයිද මන්ද. බොහෝම ස්තුතියි ඔබේ සටහනට.

    ReplyDelete
    Replies
    1. මම ලිපි තොගයක් ලියල තියනවා. මට වෙච්චි දේවලුත් එක්ක. මම එකින් එක දිග හැරලා බලන එක තමා කරන්නේ. මේ සිද්ධියේදී ගැහැණු ළමුන් බොරු නොකිව්වත් භූතයෙක් නැති බවයි මම හිතන්නේ.

      Delete
    2. මේ තියෙන්නේ ලිපි සෙට් එක . වෙලාවක් තියනවනම් බලන්න භෞතිකවාදියෙකු (Materialist), අධි මානසික විද්‍යාවන් හා (paranormal) මරණයෙන් පසු ජීවිතය ගැන සෙවූ හැටි -එකොළොස්වන කොටස-https://kolambagamaya.blogspot.com/2016/11/materialist-paranormal_10.html

      Delete
  2. ඔබ නිවැරදි වන්න පුළුවන්. මේ භූතාත්ම වැහුනු අය ඉතා සූක්ෂම ලෙස අන් අයට නොදැනෙන ලෙස තමන්ගේ ක්‍රියා කරන බව මම කියවා තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. එහෙම තියනවද දන්නේ නැහැ. මම උඩ ලියෝනිට කීව වගේ වෙනත් අතම සමග කතා කරන මිඩියම් ල එක්ක පර්යේෂණ කරලා තියනවා. සමහර විස්තර කියන්න අමාරුයි 70% වගේ ගෙස් කරන්නේ කොහොමද කියල. භුතම වැහෙනවා කියන්නේ කිසියම් මානසික තත්වයක උත්සන්න වුනු ප්‍රතිඵලයක් බව තමා මගේ නිගමනය.

      Delete
  3. කියෙව්වා. කමෙන්ට් වැටුනාම ආයෙ එන්නම්. සුරුස්.....🤭

    ReplyDelete
    Replies
    1. තමන්ගේ අදහස කියන්න බය මනුස්සයෙක් මේ වගේ 😀

      Delete
    2. හා එහෙනං 80/20 කියල දාගන්නකො. ඔහේ නං කියයි, ඔය බූතයො හපුයියො.🤭

      Delete
    3. මම 80/20 කිවේ 20% භූතයෝ ඉන්නව කියන්න චාන්ස් එකක් ටියෙනව් අකියන්නේ නෙමේ. මට ප්‍රශ්න දෙකකට පිළිතුරු නැහැ කියන්න. එකක් අර තට්ටු කිරිල්ල. දෙක අර බිල් සිල්කින්ස් ගේ ඒ තාත්තගේ කටහඬ වගේමයි කීම

      Delete
    4. මට දෙයියො, බූතයො ගැන විස්වාසයක් නැහැ. ඒකෙන් අදහස් කරන්නෙ, කෙලින්ම ප්‍රතික්ෂේප කරන එක නෙමෙයි. මම දන්නෙ නැහැ ඉන්නවද නැද්ද කියලා, ඒත් හිටියත් ඔය කියන බලයක් එයාලට නැහැ කියල හිතෙනව කියන එකයි. ඒක මගේ පෞද්ගලික මතය, දැනට තියෙන සාධක වෙනස් වුනොත්, මගේ මතයත් වෙනස් වේවි.

      දැන් අජිත් විද්‍යානුකූලව මේ ගැන අදහස් පල කලත්, ඒකත් ඔබේ පෞද්ගලික මතය මිසක්, ඔප්පු කිරීමක් නෙමෙයි නේද?

      Delete
    5. conclusion එක ඉතින් පෞද්ගලික මතය තමයි. ඒ වුනාට මම සාධක ඉදිරිපත් කරලා තියනවා මේ එන්ෆිල්ඩ් භූත කතාව ගැන. මුල් ලිපි දෙකේම මම අපක්ෂපාතිව කරුණු ඉදිරිපත් කළා කියල බසුතුමා පිලි ගන්නවද? මගේ සමහර යාලුවෝ ටිකක් වලියට වගෙත් අපිනම් ඕව විශ්වාස කරන්නේ නැහැ කියල කිව්වා එක පාරටම. මම ඉතින් එහෙම නැහැ. බලනවා පිලි ගන්න පුලුවන්ද බැරිද කියල. භූතයෝ හිටියත් බලයක් නැහැ කියන කතාවට එකඟයි. මගේ මතය තමා ඉතින් වෙනත් විශ්වයක් හෝ වෙනත් මානයක් තියන බවට hypothesis එක.

      Delete
    6. අජිත් මේ ගැන අපක්ෂපාතිව කරුණු ඉදිරිපත් කරන්න උත්සහ කරල තියනවා කියල පිලි ගන්නවා. ඒත් අපි හැමෝම, විවිධ හේතු සහ සාධක නිසා යම් තරමකට බයස් වෙනවා, ඒකෙන් මිදෙන්න අමාරු නිසාම අනවශ්‍යයි කියලත් හිතෙනවා. hypothesis ගැන කිසිම අවුලක් නෑ. න්‍යෂ්ටික බලය, හිග්ස් බෝසෝන් මේවා ඔක්කොම කලින් ආවෙ උපකල්පන විදිහට නිසා.

      වෙනත් විශ්ව හෝ වෙනත් මාන දැනට බොහෝ දුරින් ඇති දේවල් නිසා ඒව උපකල්පන විදිහටම සලකන එක හොඳයි කියන එක තමයි මගේ මතය.

      Delete
    7. ඔව් මට විරුද්ධ වෙන්න දෙයක් නැහැ. මගේ අර ලියෝනි ට දැම්ම ලිපි පෙලේ කියෙව්වා නම් ඉන් දෙකේ හෝ හතර වෙනි එකේ මම කියල තියනවා කැනඩාවේ ටොරොන්ටෝ ඉන්න මිඩියම් කෙනෙක් වන ජැමි විල්සන් හල් සහ ඇමෙරිකාවේ ඉන්න කට්ටියක් එක්ක කරපු පර්යේෂණ. (කිසිම කෙනෙකුට මුදල් ගෙවීමක් කලේ නැහැ - ඒක වැදගත්) එයා කීව එක කතාවක් තමා - මගේ මියගිය පියා එයාට පෙනී හිටිනවා කියල - මගේ මව දුව බලන්න කාමරයට ඇවිත් දුවට තියෙන්නේ තාත්ත ගේ නහයමයි කියපු එක. (ඒක ඇත්තක්0 - මේ කතාවේ මම එයට කියල තිබ්බේ නැහැ කොහෙත්ම මට දුවක් ඉන්නව කියල. ගෙස් කරනවනම් පුතෙක් ඉන්නවද වගේ අහන්න තිබ්බ . නහය ඒ වගේ කියන එක ලංකාවේ කතාවක් මිසක් කැනඩාවේ සුදු අය කියන කතාවක් නෙමේනේ. පියාගේ රැකියාව සහ ජිවත් වුනේ මම ඉන්න රටේ (එයා දැනගෙන හිටිය නෑ මම ඉන්නේ ලන්ඩන් වල කියල) නෙමේ වෙන කොහෙවත් හැතැප්ම 6000-7000 ඈත කියල. මම ලංකාවේ ඉපදුන කෙනෙක් හෝ වෙන රටක ඉපදුන කෙනෙක් වග එයා දැනගෙන හිටියේ නැහැ. අපි ඔක්කොගෙම තිබ්බේ අන්වර්ථ නාම . මේක මට තවම විසඳගන්න බැරි එකක්. මම ජැමි ට කීවේ එයාට සමහර විට අපේ යටි හිතට එබිලා බලන්න පුළුවන් ඇති කියල. (ඩෙරෙන් වගේ ) ජැමිකිව්වේ " නැහැ මගේ පියා හෝ වෙනත් කෙනෙක් කියන්නේ කියල". මට හමුවුණු වඩාත්ම සත්‍යවාදී කෙනා - අනිත් හැමෝම වගේ බොරු ටිකක් කීව

      Delete
    8. මට මතකයි අජිත් ජැමි ගැන කියනවා. දැන් එයා ඒ වැඩ වලට සහභාගි වෙන්නෙ නෑ කියලත් කිව්ව වගේ මතකයි.

      Delete
    9. එයා ටෙලිෆෝන් නොම්මරයක් දාල අවුරුදු දෙක තුනකට කලින් අයින් වුනා. දුව ගෙදරින් ගියා අම්ම එක්ක තරහ වෙලා, දැන් දුව ආයේ ඇවිත්. ඒ නිසා ඔය Clairevoyant වැඩ නවත්වල. දැන් කිසිම කනෙක්ෂන් එකක් නැහැ

      Delete
  4. ඒ යටි උගුරෙන් කෑගහන සිංදු මටනම් සෙට් නෑ.අනේ මංදා මෙව්වයෙ අගමුල හොයාගන්න 👻 වෙලා බලන්න වෙයිද මංදා 🙃

    ReplyDelete
    Replies
    1. බොලං කෙල්ලේ මම ඒක දැම්මේ එහෙම යටි උගුරෙන් කතා කරන්න පුරුදු වුනහම් පුළුවන් කියල පෙන්වන්න. 😀 අපි හැම සින්දු ශානරේ ටම කැමති වෙන්න ඕනේ නැහැ ඉතින්

      Delete
    2. කෙල්ලේ කීවට තරහ වෙන්න එපා. සොරි

      Delete
  5. දෙයියනේ!
    අපි හොල්මං අවතාර තියෙන තැන්වලින් සරම උස්සන් ගෙදර එන්න; සරමක් ගෙදර ඉඳන් ඇඳන් ගිය එවුං.
    මේ මහත්වරු තව ඒවා විශ්ලේශණයත් කරණවා.
    බය නැද්ද අප්පා!?

    ReplyDelete
    Replies
    1. බය වෙන්නේ මොකටද ඉතින්. එහෙම දේ නැහැයි කියල හිතුවම 😀

      Delete
  6. නැතැයි කියා බැහැර කරන්න බැරි හොල්මන් සහ භූතාත්ම. මානසික ව්‍යාකූලතා වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් අපට නොපෙනන මානයක ඇති දෙයක් වෙන්නත් පුළුවන්. මිය යන විට අපේ හිතේ ඇලවිලා තිබෙන කුණු කෙලෙස් ප්‍රමාණය අනුව අපට මනුෂ්‍යයෙක් වෙලා ඉපදෙන්න පුළුවනි නම් යම් ප්‍රමාණයක බලයක් තිබෙන වෙනත් අදෘශ්‍යමාන ජීවියෙක් හැටියට උපදින්නත් පුළුවන්. ADHD වගේ රෝගයක් විනිශ්චය කරලා මේ කියන පුද්ගලයින්ට ඒ අදාළ ප්‍රතිකර්ම ලබා දීල ඒවායිනුත් සුවයක් නැත්නම් එතැන අපේ බුද්ධියට එහා යමක් සිද්ධ වෙනවා කියන එක මම පිළිගන්නවා. මේ වගේ කෙනෙකුගේ මොළයේ MRI ස්කෑන් එකක් වගේ කළා නම් එයාගේ මොළේ කොයි විදියටද ක්‍රියා කරන්නේ කියල බලන්න තිබ්බ. සීරියල් කිලර්ස් ල, රේපිස්ට් ල වගේ අයගේ බ්‍රේන් එකේ ඒරියාස් සුවිශේෂී විදියට සංඥා නිකුත් කරනවා. මෙය වෙනස් මානසික තත්වයක් නම් එය අනිවාර්යෙන් බ්‍රේන් ස්කෑන් එකක දැකගන්න පුළුවන් වේවි (පොකුරුවැහි).

    ReplyDelete
    Replies
    1. ඔව් . මම සාමන්‍යයෙන් පුනරුත්පත්තිය හෙම විශ්වාස කරන්නේ නැහැ. නමුත් මම උඩ ඔය බස්සට ලියල තියෙනේ ජැමි ක්‍රිස්තියානි වුනත් ඒක විශ්වාස කළා. එයා අර බ්‍රයන් වයිස් වගේමා අපි හැමෝම හැම භවයකදීම එකම කට්ටිය එක්ක ගැවසෙනවා කියලත් විශ්වාස කළා. මේ පර්යේෂණයට එය තමා මට උදව් කලේ. මම හතරවෙනි ලිපියේ ලියල තියනවා. රිමෝට් වීවින් වගේ එකක්. //
      මෙහිදී ශ්‍රී ලංකාවේ සිට කණ්ඩායමට ලොගින් වෙන ඩිව් නමැති පරීක්ෂකයෙක් හමුවිය. ඔහු සමග කුළුපග වීමේදී මම ඔහු සිටින තැන ගැන විස්තරයක් කලෙමි. ඒ මට එසේ කළ හැකි දැයි බලන්නටය. ඔහු සමග තවත් තැනැත්තෙක් සිටින බවත් ඔහු අත් කොට ටි ෂර්ට් එකක් ඇඳ සිටින බවත් පැවසුවෙමි. (මට එසේ පෙනුනේ සිතේ හැඳි රූපයක් මගිනි)

      ඩිව් කිවේ ඒ ඔහුගේ සහෝදරයා බවය. ඔවුන් දෙදෙනාම මේ සාකච්චාවට උනන්දුවක් දක්වන බවය. පසුව විස්තර සොයා බලන විට දැන ගන්නට ලැබුනේ ඩිව් ගේ සහෝදරයා රාජකීය විද්‍යාලයේ මගේම ඒලෙවල් පන්තියේ උගත් මිතුරකු බවය. ඔවුන් රෝමානු කතෝලිකයන්ය. රෝමානු කතෝලික අය මෙවැනි දේ විශ්වාස කරන බව දැන ගැනීමම මට පුදුමයක් බව කීවෙමි.//
      https://kolambagamaya.blogspot.com/2016/09/materialist-paranormal_25.html

      Delete
    2. වඩා පැහැදිලි කරනවනම් ඔය MSN ගෘප් එකේ හිටි කට්ටිය දන්නේ නැහැ කවුද කියල කියන එක. මම පස්සේ තමා දැන ගත්තේ ජැමි කැනඩාවේ තවත් අය ඇමෙරිකාවේ කියල. සමහරු ඕස්ට්‍රේලියාවේ. මම මුලදී හිතුවේ ඔක්කොම එංගලන්තේ කියල. ඉතින් ඩිව් කියන්නෙත් සුද්දෙක් කියල හිතුවේ. (ඉංග්‍රීසි නමක් වගේ නිසා ) කොහොම හරි ජැමි උගන්වපු විධිහට මම ඩිව් ගැන concentrate කරල කීව ඔය විස්තරේ. ඩිව් හරි කීව . එයාගේ සහෝදරයා ඉන්නේ එයා එක්ක කියල. ටී ෂර්ට් එක සුදු එක්ක කියලත් කීවද කොහෙද. පස්සේ දවසක කතා කරණ කොට දැන ගත්තේ ඩිව් කියල මෙයා නම ලීවේ තුහින (ජල වාෂ්ප) වලට කියල. නම අමල්. අයිය රාජකීය විදුහලේ කියල ඇහුවම දැන ගත්තේ මගේ පන්තියේම හිටපු යාළුවෙක්. ජූඩ් කියල අපි කියන්නේ. (ඇත්ත නම වෙන එකක්) මම මේක ලියන්නේ කතාව ඔප්පු කරන්න පුළුවන් නිසා. ජැමි ඕකට කීවේ මගේ සම්බන්ධයක් වෙන ආත්ම වලත් තිබෙන නිසා කියල ජූඩ් එක්ක. මම කීව සමහර විට අහම්බයක්. නැත්නම් ක්වන්ටම් අංශුන් වල අර entanglement කියල එකක් තියෙනවනේ. ජූඩ් සහ මගේ අතර පොදු අංශුන් දෙකක් තියෙන්න ඇති කියල. ඕකට ජැමි මාත් එක්ක තරහ වෙලත් හිටිය.😁
      හේ හේ ඊට පස්සේ වැඩිය ඒ පැත්තෙන් ගියේ නැහැ. කේජිබි එක සහ සීඅයිඒ එකත් ඔය පරීක්ෂණ ඔහොමම කරලා අත හැරලා දාල තියෙනවා.

      Delete
  7. මං කියවූ විද්‍යා ප්‍රබන්ධ කතාවක කියවුණා 'පොළොවෙ පස් තට්ටුව පීරාගෙන ගමන් කල හැකි වායව සිරුරක් තිබෙන ජීවියෙක්' ගැන. එහි කතුවරයා නඟා තිබුණු තර්කය මේකයි.
    අපිට ජලයේ පිහිනිය හැකි නම්, වායව සිරුරක් ඇති කෙනෙකුට පසේ පිහිනිය නොහැකිද?

    මේ මගේ සිත්ගත් තවත් කරුණක්.
    ත්‍රිමාන ලොවක සිව්මාන- පංචමාන වගේ බහුමාන ජීවීන් හිටියොත්....

    ReplyDelete
    Replies
    1. Jagath Pathirana15 January 2024 at 08:41

      ත්‍රිමාන වස්තුවක් සහ ද්වීමනා වස්තුවක් එකට ගැටුනොත් මොකක් වෙයිද?
      ත්‍රිමාන වස්තුව කැපිලා යයිද?
      ද්වීමාන වස්තුව පොඩිවෙයිද? එයින් ඒ වස්තුනට හානි වෙයිද නැද්ද?
      නැතිනම් ද්වීමමාන වස්තුව ත්‍රිමාන වස්තුව මත එතෙයිද?
      හොඳට කල්පනා කරලා
      ලබන අවුරුද්දේ විතර උත්තරයක් දෙන්න?

      Delete
    2. නිදි ඒ අදහස මරු තමා , අපට ජලයේ පිහිනන්න පුළුවන් වෙන්නේ හැබැයි අපි වායුවෙන් පිරිලා නිසාම නෙමේ , අපි හුස්ම ගත්තට අපි ජලජ ජීවින් නේ. අපේ සිරුරේ 60% ක් ජලය තියෙන්නේ. වයව සිරුරක් තියෙනේ කෙනෙකුට පසේ සිදුරු අතරින් ගියහැකි නේ. නමුත් පස දෙබෑ කරගෙන ගිය හැකිද? නියුට්‍රිනෝ කියල අංශුවක් තියනව. ට්‍රිලියන් සියක් විතර අපේ ඇඟ හරහා ගමන් කරනවා හැම මොහොතකම . ඒවාට ගෝස්ට් පාටිකල් නැත්නම් හොල්මන් අංශුව කියලත් කියනව. අපි හිතමු නියුට්‍රිනෝ අංශු වලින් විතරක් හැදුනු සිරුරක් තියනවා ඒකට අපේ ඇඟ හරහාත් බිත්ති හරහාත් ගිය හැකි වෙනවානේ.

      Delete
    3. ජගත්එපමණ කල් කල්පනා කරන්න ඕනේ නැහැ. ඔය ගැන මම හිතල තියනවා කලින් මොකක් හරි දෙකට, නැත්නම් කියවපු තැනක. මතක විධිහට ද්විමාන වස්තුවක් හදන්න බැහැ. එකම හේතුව thickness එකක් තියෙන නිසා ඕනෑම දේක. ඉතා හීනි කඩදාසියක් තමයි ගන්න වෙන්නේ. ඒකෙත් කිසයම් ඝනකමක් තිබෙන නිසා එකත තිමාන තමා. නමුත් උපකල්පනය කලොත් ඒක ද්විමාන කියල, ඊට පස්සේ උපකල්පනය කලොත් ඒක දියමන්ති තලයක් වැනි යමක් කියල ඕනෑම ත්‍රිමාණ වස්තුවක් කපන්න පුළුවනි.

      Delete
    4. X - Y ඛණ්ඩාංක තලය ද්විමාන සහ එවැනි තල එක උද තැබුවහොත් z අක්ෂයක් ඉබේම ඇතිවනවා නේ. ඒ කියන්නේ ද්විමාන වස්තුන් එකතුවන විට හැදෙන්නේ ත්‍රිමාණ වස්තුවක්

      Delete
    5. ගොඩක් ස්තුතියි අජිත්!
      වෙන මොකුත් කියන්න හිතක් නෑ- මේවාට විස්තර එකතු කරන්න තරම් ප්‍රාමාණිකයෙක් නොවෙන හින්දා.

      Delete
    6. Jagath Pathirana16 January 2024 at 06:34

      ද්විමාන හෝ ත්‍රිමානයට වැඩි විශ්වයක ආලෝකය තියෙන්න පුලුවන්ද?
      මම කියන්නේ තරංග වාදයට අනුව
      මට හිතෙන විදියට නම් ද්විමාන විශ්වයක ආලෝකය නෑ. එහෙම නැතිනම් නිපදවෙන ආලෝකය විශ්වයෙන් පිටට යනවා
      ත්‍රිමානයට වැඩිවිට ආලෝකයට මොකක් හරි අමුතු දෙයක් වෙයි

      Delete
    7. ද්විමාන විශ්වයක ආලෝකය තියෙන්න බැහැ කියන්නත් අමාරුයි. ආලෝකය කියන්නේ ක්වන්ටා අංශුන් කියල හොයාගෙන තියනවනේ. ඒවා ත්‍රිමාණ මද - ඒ කියන්නේ ෆොටෝන් එකට බරක් නැහැ. බරක් නැත්නම් ඝනත්වයක් නැත්නම් එක ද්විමාන වෙන්න පුළුවන්. wave–particle duality අනුව ෆොටෝන් එක තරඟයක් හැටියටත් තියෙන නිසා ද්විමාන අවකාශයක ආලෝකය තියෙන්න පුළුවන්. . තරංගවාදය කියන්නේ මොකක්ද? ක්වන්ටා අංශුන් කියන්නේ ආලෝකය නිසා ත්‍රිමාණ විශ්වයෙන් බැහැරට ඒවා ඇතිවී නැතිවී යා හැකියි කියන එකයි මගේ අදහස

      Delete
    8. A photon is not a particle (or a wave) so it won't have a dimension or size (mass or radius). However, it does have particle like properties. For example - measurable momentum. The momentum is given by de Broglie equation - momentum is the ratio of Planck's constant and the photon's wavelength

      Delete
    9. Jagath Pathirana16 January 2024 at 17:47

      ෆෝටෝනය අංශුවක් විදියට සැලකුවත් සාපේක්ෂතාවාදයට අනුව ආලෝකයේ වේගයෙන් යනකොට එහි ඝනකම 0යි. ඒ කියන්නේ ද්විමානයි.

      ඒත් මම කිව්වේ තරංගවාදය ගැන. ආලෝකය යන්නේ විද්‍යුත් සහ චුම්බක් ක‍්ෂේත්‍ර චලනය වන දිශාවට ලම්බක දිශාවට. මාන 3කදි තමයි මේ වැඩේ නිවැරදිව වෙන්නේ.

      Delete
    10. ඒ දැනට තියෙන යථාර්තයනේ . Electromagnetic radiation ෆොටෝන් ආලෝකයේ වේගයෙන් ගමන් කරන එකට. අපි කතා කරන්නේ කල්පිත ද්විමාන අවකාශයක් ගැන නම් ස්කන්ධයක් නැති ෆෝටෝනයක් එක්ස්-වයි තලයේ ගමන් කරන්න පුළුවන්නේ . තියරෙටිකලි. ඒක හැබැහින් වෙන්නේ නැහැ. මොකද ඒ අංශුව චලනය වෙන්නේ ත්‍රිමාණ ව්‍යුහයක නිසා

      Delete
    11. අජිත් ජගත් දෙදෙනාටම තුති පුදමී
      'තව තව කරුණු දැනගන්නට දෙති' සිතමී!

      Delete
  8. දේවල් වෙන්න / තියෙන්න චාන්ස් එකක් තියනව. සමහර ඒවාගේ චාන්ස් එක හොදයි. සමහර ඒවා නොසැලකියහැකි /negligible ගාණට තියෙන්නෙ.
    මේවා වීමේ සම්භාවිතාව ගැන මං දන්නෙ නෑ. ආගම් වගේම තමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකත් හරි. කිසියම් සම්භාවිතාවක් තියනවා. සමහර විට හිප්නොටිස්ම් වගේ දෙයක් ඇතැම් තැනක වෙනවා කියල හිතුන හැකි. මම නොදැන ජැමිට විස්තර කීවද කියන අදහස මගේ ඔලුවේ තියනව. මට ඒක මතක නැති කරවල. වෙලා

      Delete
  9. හාඩ් මෙටල් සින්දු වලට හැමෝටම සෙට් වෙන්නෙ නැ...ඒත් ඒකේ යම්කිසි රසයක් තියෙනවා...මම ඒසී ඩීසී තමයි අහන්නේ..

    ReplyDelete
    Replies
    1. හෙවි මෙටල්. AC/DC මගේ බිරින්ඩ් අකමැති කණ්ඩායමක්. ඒ දවස් වල අපි බ්ලැක්සබාත් , AC/DC තැටි අරන් ගිහින් සෝවියට් දේශයේ විකුනනවා. (එහෙ තහනම් නිසා)

      Delete
  10. බීලා ආයෙ කියවන්ඩෝන, අපි හොල්මං වෙලා නවතින්නෙ

    ReplyDelete
  11. බොහෝ ඒව සත්යය සිදුවීම් නෙමේ තමා. ඒත් සියලුම සිදුවීම්... අසතයද කියන පුරස්නය එනව.

    ReplyDelete
    Replies
    1. මේ අඹ ගහද අර අඹ ගහද හැර වෙනත් අඹ ගස් තිබේද ස්වාමිනි

      Delete
  12. Replies
    1. ස්තූතියි. මගේ මීඩියම් වැඩ කරන එක යෙහෙලියක් කීවා එය රෝහල් වලට ගියහම ගොඩක් "ශබ්ද - කතා කරන ඒවා " මනසට ඇහෙනවා කියල. බය වෙන්න එපා ඉතින්. 😀

      Delete
  13. "කිසිදු දෙයක් අවඥාවෙන් බැහැර කිරීමට ඒ ගැන සොයා බැලීම මගේ සිරිතය". ඔව් ඒක නම් හොඳයි.

    "මා බොහෝ විට සොයන්නේ ඒවාට විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කළ හැකිද යන්නය" නමුත් අජිත් කරන්නෙ speculation නේද. අනිත් අය පර්යේශණ කරලා විද්‍යාත්මකව ඔප්පු කරන්න සාධක නැහැයි කිව්ව දේවල් අජිත් එක data point එකකින් ඔප්පු කරන්න හදනවා. "මට සිතෙන්නේ ඇගේ සහෝදරයා ADHD (Attention deficit hyperactivity disorder - සිංහල නම නොදනිමි) තිබිම නිසා අනාථ නිවාසයකට රැගෙන යාමෙනි. ඒ නිසා ජැනට් ගේ ඇතැම් අස්වභාවික හැසිරීම් වලට හේතුව (පවුලේ ළමුන් තිදෙනෙක්ම) එය විය හැකිය". It will take months to clinically diagnose these things.

    "විශේෂයෙන් දැන් අපට මෙවැනි කතා අසන්නට ලැබෙන්නේ නැත්තේ ඇයි? බොහෝවිට යුරෝපයේ, බ්‍රිතාන්‍යයේ හෝ ඇමෙරිකාවේ මෙවැනි සිදුවීමකදී අවශ්‍ය කරන සහයෝගය, එනම් මානසික වෛද්‍යවරුන්ගෙන් , පාසැලෙන් , නගර සභාව වැනි ආයතනවලින් ලැබේ. ඒ කාලයේ නොතිබූ ආරක්ෂාවක් දැන් තිබේ. ඒ කාලයේ නොතිබූ දැනුමක් දැන් තිබේ" ඔව් that makes better sense.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කොමෙන්ටුවට. //අනිත් අය පර්යේශණ කරලා විද්‍යාත්මකව ඔප්පු කරන්න සාධක නැහැයි කිව්ව දේවල්// ඔයා කලින් ලිපි දෙක කියෙව්වා නම් පෙනෙයි විද්‍යාත්මක පර්යේෂණ නෙමෙයි වුනේ කියල. ඒ ළමයි දෙන්නට නොයෙක් විධිහට පහර ගහපු එක එක කට්ටියක්. අනිත් කට්ටිය එයාලව භාවිතා කරමින් පැරනොමල් දේවල් ගැන ඔප්පු කරන්න හදපු එක. //"මට සිතෙන්නේ ඇගේ සහෝදරයා ADHD (Attention deficit hyperactivity disorder - සිංහල නම නොදනිමි) තිබිම නිසා අනාථ නිවාසයකට රැගෙන යාමෙනි. ඒ නිසා ජැනට් ගේ ඇතැම් අස්වභාවික හැසිරීම් වලට හේතුව (පවුලේ ළමුන් තිදෙනෙක්ම) එය විය හැකිය". It will take months to clinically diagnose these things.// මේක මම චිත්‍රපටය බලල සහ ඒ පවුල ගැන කියවල ආපු තීරණයක්. මමත් ADHD සහ ඕටිස්ම් තියෙන දෙතුන් දෙනෙකු ගැන පෞද්ගලිකව දන්නා නිසා -එය විය හැකිය- කියල ලියල තියෙන්නේ. තියනවම කියල නෙමේ.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .