Sunday 31 December 2023

අයිස්ලන්ත සංචාරය - 1




අප  අයිස්ලන්තයට ගියේ 2023 ,  ජුලි 24 වෙනිදාය. කෙෆ්ලවික් ගුවන් තොටුපලින් අපි ටැක්සියක හෝටලයට ගියෙමු. මම අයිස්ලන්තය ගැන දැන සිටියේ බොහෝ ගිනි කඳු සහිත දූපතක් බවය. එසේම බ්යෝක් Björk Guðmundsdóttir ගායිකාවද  එම රටෙන්  නිසාය. වරක් අයිස්ලන්ත ගිනි කන්දක පුපුරා යුරෝපයේ අහස දුමින් වැසී ගියේය. ඒ දිනවල ලංකාවේ සිටි අප ලන්ඩනයට ඒමට නොහැකිව සුමාන  දෙකක් මීගමුවේ රෝස්  ගාඩ්න් නමැති හෝට ලයකට වී   සිටියෙමු.  

ශ්‍රී ලංකාවට ගුවන් යානයක් ලඟා වෙද්දී අපට පෙනෙන ප්‍රධාන දසුනක් නම් හරිත වර්ණයෙන් බැබලෙන දුපත සහ නිල් පහන් දිලෙන  මුහුදය. කටුනායකට ලඟා වන විට ගස් කොලන්ද පොල් රුප්පාවද නෙත පිනවයි. අයිස් ලන්තයේ ගුවන් තොටුපලින් රෙක්‍යවික් නගරයට යන මාර්ගයේ ගස් වැල්  නැත. තිබෙන්නේ අළු පැහැති  බිමකි. අළු -පස  ගිනි කඳු වලින් පිටවූ ලාවා සහ අළු  වලින් සැදුනු ඒවාය.  

නගරයට පිවිසෙන විට මා දුටු තවත් දෙයක් වූයේ පාර  දෙපස ගොඩ නැගිලි වල ඇති කිසියම්  ඒකාකාරී බවකි. ඔවුන් ලස්සන ට වඩා ඒවායේ කල් පැවැත්ම ගැන සැලකිලිමත් වන බව මට සිතේ. එසේම බොහොමයක් ගොඩ නැගිලි අළු පැහැයෙන්  තිබීම සිතට කිසියම් අසතුටක් ගෙන දෙයි. .  

උදේ පාන්දර ගමන නිසා රෙක්යාවික් නගරයේ අප නතර වෙන හෝටලයට  යන විට හතර දෙනාම  සිටියේ හොඳටම මහන්සි වීය. ජර්මනියේ සිට  ඉනෙස් ගේ දෙමව්පියන් (මගේ මාමණ්ඩිය හා නැන්දණිය), ඉනෙස් ගේ සොයුරිය කැතරින් හෙවත් මගේ නෑනා සහ ඇගේ පුතුන් දෙදෙනා හා සැමියා වන අන්ද්රියාස් ද  එනතුරු අප හෝටලයේ බලා සිටියෙමු. හෝටලයේ උයන්නට කුස්සියක්ද විවේක  ගැනීමට පොඩි  ශාලාවක්ද තිබුණි. මගේ බිරිඳ ඉනෙස් තේ සාදා ගෙන පැමිණියාය. ඇය උයන්නට ගෙනා නොයෙකුත් කෑම කාමරයේ පසෙක ඇසිරුවාය. ඇය ත් මගේ නෑනාත් ඒවා සියල්ල සූදානම් කරගෙන තිබුණි. මෙයට හේතුව අයිස්ලන්තයේ කෑම ඉතා මිල අධික වීමය. මෙහි එලෝලුවක් හදා ගන්නට සුදුසු බිමක් නැත. අල සහ තක්කාලි තරමක් දුරට හැදෙන මුත් මුළු ජනතාවකටම සපයන්නට ඒ මදිය. බැටළු මස් හා මාළු මෙහි මිල අඩුම ආහාර ලෙස සැලකේ. නමුත් ඒවායේ මිලද එංගලන්තයේ මිල මෙන් දෙගුණයකි. 

උදාහරණයකට කියන්නේ නම බැදපු මාළුවෙක් හා චිප්ස් ලන්ඩනයේ රුපියල්  2400-3000 අතර වේ. අයිස්ලන්තයේ එය රුපියල් 6000-8000 අතර වේ.   (මම පසු දින අතරමගදී දියණියන්ට හැම්බර්ගර් දෙකක් අරන් දුන්නෙමි. එංගලන්තයේ ඒවා පවුම් 5 - රුපියල් 2000- පමණ වන නමුත් අයිස්ලන්තයේ බර්ගර් එකක් රුපියල් 7200 පමණය.) අපි ඉවීමට අවශ්‍ය බඩු ගත්තේ ඒ අසල පෝලන්ත කඩයකිනි. ඒවායේ කෑම වල මිල සාපේක්ෂව අඩුවිය. 

හෝටලයේ කළමනාකරු අපට බොහෝ දේ විස්තර කල අතර අයිස්ලන්තයේ මුළු ජනගහනය ලක්ෂ තුනහමාරක් , ලක්ෂ හතරත් අතර ප්‍රමානයක් යයි කීවිට අප මවිත වීමු. ඊට වඩා ජනකායක් අප නිරීක්ෂණය කළ බැවිනි. ඒ අයිස්ලන්තයට වරකට එන මිලියන් දෙකක් පමණ වූ සංචාරක ප්‍රජාව නිසා බව ඔහු පැවසිය. එසේම ඔහු පැවසුවේ හැම අයිස්ලන්ත ජාතිකයන් පස් දෙනෙකුගෙන්ම එක අයෙකු ඔහුගේ නෑදෑයෙකු විය හැකි බවය. ඔවුන්ට තම තමන් නෑදෑයන් දැයි සොයා ගැනීමට ෆෝන් ඇප් එකක් තිබේ. එයට හේතුව දෙදෙනෙකු තර ආදර සම්බන්ධයක් ඇති කර ගැනීමේදී ඥාති  ප්‍රශ්නයක් ඇති නොවීමටය. 
 

රෙක්‍යවික් අගනුවර මුළු ජනගහනය එක් ලක්ෂ විසි තුන් දහසකි. නගරය ඇත්තේ අත්ලාන්තික සාගරය අසලය. නගරයේ මුහුදට ආසන්න එක තැනක ධීවරයන් වෙනුවෙන් ස්මාරකයක් පිහිටුවා ඇත (උඩ පින්තූරය) . ඒ මුහුදු ගිය ධීවරයන් ගෙන් බොහෝ අයෙකු මුහුදේ රළු බව හේතුවෙන් ඒ අසල ගල් පරවල බෝට්ටු වැදී විනාශ වීමෙන් මිය යාම නිසාය.




අයිස්ලන්තයේ දුම්රිය මාර්ගයක් නැත. එනිසා එහි ඇති එකම දුම්රිය එන්ජිම ළමයින්ට සෙල්ලම් කරන්නට හැදූ  එකකි. 

අයිස්ලන්තයේ අශ්වයන් ඉතා කුඩාය. උන් ඇත්තටම  පෝනින් මිස් අශ්වයන් කියා කිව නොහැකි මුත් එසේ කියා අයිස්ලන්ත ජාතිකයන් තරහා කර ගන්නට යෑම අනවශ්‍ය දෙයකි. 




  අයිස්ලන්තයට පැමිණි මුල්ම ජාතිකයන් නොර්විජියානුවන්ය. එනිසා ඔවුන්ගේ මුල් භාෂාව  නෝර්ස් ය. නමුත් මෙහිදී අමුතු දෙයක් සිදුවී තිබේ. අයිස්ලන්ත ජාතිකයන්ගේ නෝර්ස් බස ඉතා පැරණිය.  මෙය හරියට සිංහලයන් අවුරුදු 1300 කට කලින් පුස්කොල පොත් හෝ ශිලා ලිපි වල සිංහල භාෂාව කතා කරන්නක් මෙනි. නොර්වේ  රටේ නෝර්වේජියානු භාෂාව කාලයත්ලු සමග නවීකරණයට ලක්ව  තිබේ. පැරැණි  නොර්වේ භාෂාව කතා කළද අයිස්ලන්තය බොහෝ කාලයක් ඩෙන්මාර්කයට යටත්ව පාලනය  වුනි. එනිසා  ඔවුන්ට ඩේනිෂ් භාෂාවද යම් තරමකට වැටහේ.   
අයිස්ලන්තය අත්ලාන්තික් සාගරයේ මැද ඇති දූපතකි. එනිසා මාළු බොහෝ තිබුනද ඒවා මිල ධිකය. හේතුව නම්  අයිස්ලන්තයේ සියලුම ධීවරයන් වැඩ කරන්නේ තනි සමාගමක් යටතේ නිසාය. සමාගම  ඔවුන්ගේ බෝට්ටු මිලදී ගන්නට කලින් ධීවරයන් තමන්ම  මුහුදු ගොස් ගෙනා මාළු ලාභයට වික්කහ. නමුත් ඔවුන්ට කිසිදු ආරක්ෂාවක් තිබුනේ නැත. රක්ෂණ ආවරණයක් තිබුනේ නැත. සමාගම මේ සියල්ල ලබා දුන් නමුත් මාළු මිල තීරණය කරන්නේ ඔවුන්ය.

ශ්‍රී ලාංකිකයන් කැමැති වන සුවිශේෂී කරුණක් මෙහි තිබේ. අනික් යුරෝපීය ජාතිකයන් මෙන් නොව අයිස්ලන්ත  ජාතිකයන් කරෝල කති. ඔය උඩ තිබෙන පින්තූරයේ ඇත්තේ  අයිස්ලන්ත කරෝල පැකට්  එකකි. ඒවා උන් කන්නේ නිකම්මය. හරියට පොටෙටෝ ක්‍රිස්ප් කන ලෙසටය. වේලාපු කරෝල කෑලි උන්ගේ ස්නැක් එකකි. මේ පහල පින්තූරයේ ඇත්තේ අයිස්ලන්ත කරෝල වතුරේ දමා  පොඟවා ගෙන එයින් මවිසින් හැදූ  කරෝල කරියකි. (මේ කරිය හදන හැටි දැන ගත්තේ ඉවාන් පව්ලුෂා අපේ නිවසට පැමිණ කරෝල හදපු  හැටි බලන් ඉඳලාය. ඉවනායා ඒක දන්නේ නැති නිසා කියන්නට  එපාය.) 

ආදරණිය බ්ලොග් පාඨක සමුහයාටද, මගේ සහෝදර බ්ලොග් රචක  රචිකාවියන්ටද සිතූ පැතුම්  සඵල වන, අමාරුකම් දුෂ්කරතා මධ්‍යයේ වුව ජිවන ඔරුව පැද යන්නට යෝධ ශක්තිය සවිය බලය ලැබෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා. 2024 


--අජිත් ධ. 31/12/2023 




31 comments:

  1. එක හුස්මට කියෙව්ව...අපූරුසටහන් පෙලක් වෙයි වගේ...මෙච්චර උයන මටත් අර කරවල එක දැකල පිස්සු හැදුනා..රස පාටයි අප්පා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි . අපේ නිදි සොහොයුරා වගේම ඇපල් පයි එකේ (කුණු හරපයක් නොවේ) හැම තැනින්ම කඩාගෙන කන්න හදන්නේ. ඒ කියන්නේ හැම මාතෘකාවකටම ලියන්න ගන්නවා.

      Delete
  2. අපිත් රට රටවල සංචාර යනවා 2048න් පස්සේ!

    ReplyDelete
    Replies
    1. අන්න ජන්සන් බස්සා වත් බලල මම එතකනුත් ජීවත් වෙලා හිටියොත් මෙහෙත් එන්න.

      Delete
  3. විස්තරය නං ආසාවෙන් කියෙව්වා. වයිකිංලාගෙ රටක් වුනාට, විස්තරය අනුව මෙලෝ රහක් නැති රටක් වගෙයි තේරුනේ. එතකොට ඔච්චර සංචාරකයො එන්නෙ ගිනි කඳු බලල හොට් ස්ප්‍රින් වල නාන්නද?🤔

    ReplyDelete
    Replies
    1. තාම viking naming system එක

      Delete
    2. මෙලෝ රහක් නැති - මේ පළමු කොටස හෙවත් හඳුන්වා දිමනේ. පස්සේ එනවා හොඳ හරිය. මෙහෙම හඳක් නැත තවත් සඳක් නැත අයිස්ලන්තයට පෑ සඳ වාගේ

      Delete
  4. අර කිව්වත් වගේ කරවල එක නං හොඳ පාටයි. බයිට් එකට කනවා නං, චීනුන්ගෙ කරවල සහ දුං ගැසූ මාලු වගේ නරක නැතුව ඇති.🤔

    ReplyDelete
    Replies
    1. චීනුන් ගේ ඒවා කාල නැහැ. ඇත්තම දුගඳ නැහැ මේවා. චිප්ස් වගේ උන් ඕව නිකම්ම කනවා. කරෝල ගඳක් එනව් ඓතින්. හැබැයි ලුණු නැහැ මේවල

      Delete
  5. මම අවුරුදු කීපයකට කලින් කියවපු අයිස්ලන්ඩ් කතෘ කෙනෙක්ගෙ පොතක ( මං හිතන්නෙ crime/detective genre ) ඉන්ග්‍රීසි පරිවර්තනකින් මතක හිටපු එකම දේ හැමෝම මුල් නමෙන් කතා කිරීම

    https://www.icenews.is/2016/01/29/a-nation-on-a-first-name-bases-the-icelandic-naming-system-explained/

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. පොඩි රකට නිසා හැමෝම අඳුනනවා හුඟක් වෙලාවට. මුල් නමින් යන්නේ ඒකයි . එංගලන්තේ වුනත් ඉතින් මුල් නමින් නේ කතා කරන්නේ

      Delete
    2. ලින්ක් එකට ස්තූතියි

      Delete
  6. අයිස් වගේ සීතලයක් මට දැනුණා
    අළු පාටේ මඳ අඳුරත් මට පෙනුණා
    නුහුරු රටක් වුව මම එහි බව හිතුණා
    අජිත්, වදන් සිත්තම් ගෙතුමට හපනා!

    ReplyDelete
    Replies
    1. අයිස්ලන්තයේ අයිස් බොහොමත් ඇතී
      අළු පාටේ කරදරයත් තවම ඇතී
      ඒ වුනාට මිනිසුන් එහි දිවි ගෙවතී
      කවියට මගෙන් එහෙනම් බොහොම තුතී

      Delete
  7. ආදරණිය බ්ලොග් පාඨක සමුහයාටද, මගේ සහෝදර බ්ලොග් රචක රචිකාවියන්ටද සිතූ පැතුම් සඵල වන, අමාරුකම් දුෂ්කරතා මධ්‍යයේ වුව ජිවන ඔරුව පැද යන්නට යෝධ ශක්තිය සවිය බලය ලැබෙන වාසනාවන්ත සුබ නව වසරක් වේවා. 2024

    ReplyDelete
  8. අපූරු සටහනක්. එහෙ ගියාවගේ තමයි. ඔබටත් සියලු යස ඉසුරින් පිරි සුබ නව වසරක් පතමි.

    ReplyDelete
  9. අයිස් සහ ගින්නේ දේශය කියලනේ කියන්නේ...

    අයිස්ලන්තෙනට හමුදාවක් නෑ නේද?

    Mayya

    ReplyDelete
    Replies
    1. ඔව් හරි. අයිස් සහ ගින් න එකම තැන.ඔව් හමුදාවක් නැහැ. පොඩි කොස්ට්ගාර්ඩ් එකක් තියනව. එපමණයි

      Delete
  10. අගනා ගමන් විස්තරයක් . අර කරවල ෆොටෝ එකත් කෝච්චි ෆොටෝ එකත් දාහක් වටිනවා. තව විස්තර කියවන්න බලාගෙන ඉන්නවා. මගේ ලැයිස්තුවේ තියෙන රටක් . සතියක් විතර ආර් වී වෑන් එකක් අරගෙන රට වටේම යන්න බලන්න ගොඩක් දේ තියෙනවා. ඔබටත් සුබ 2024 ක් වේවා.

    ReplyDelete
    Replies
    1. දාහෙන් පන්සියක් විතර ණයට ගන්න බැරිද? 😀 ස්තූතියි අනුරුද්ධ. // සතියක් විතර ආර් වී වෑන් එකක් අරගෙන// මේ අදහස නම් මරු.

      Delete
  11. පොටෝ එකේ හැටියටනං කරිය රස පාටයි!

    පවුලේ සැමටත්, අයියටත් සුබ නව වසරක් වේවා... ❤🙏

    ReplyDelete
    Replies
    1. කරිය රසයි මට නම්. මමනේ හැදුවේ. සුභ නව වසරක් ඔබටත් පවුලේ සැමටත්

      Delete
  12. ඉතාමත් ආසාවෙන් කියවූවා. අගනා විස්තරයට තුති.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ පැත්තේ ආවාට

      Delete
  13. අපි කොහෙ හරි යන්න ප්ලෑන් කරනකොට සාමාන්‍යයෙන් එකපාරට ඔලුවට එන්නෙ නැති රටක් ගැන අජිත් විස්තර ලියන්න ගත්ත එක හොඳයි.

    "එසේම බොහොමයක් ගොඩ නැගිලි අළු පැහැයෙන් තිබීම සිතට කිසියම් අසතුටක් ගෙන දෙයි". ඉතින් අජිත්ලගෙ එංගලන්තෙත් buildings ගොඩක් දුර්වර්ණයි නේද. (මම කියන්නෙ ටිකක් ඇතුලට වෙන්න) මම මුලින්ම ගිය නගරයක් තමයි Bath. උදේ නැගිටලා වටේම දුඹුරු පාට ගොඩනැගිලි පේනකොට මටනම් තරමක් depressing. හැබැයි ඉතින් රටේ තියෙන ස්වබාවික සුන්දරත්වය නිසා ඒවා අමතක වෙනවා.

    ReplyDelete
    Replies
    1. අජිත්ලගෙ එංගලන්තෙත්- 😀 මොකක්. සුද්දේකට ඇහුන නම් සිය දිවි හානි කර ගනී. මම ඔය ද්‍ය්ම්බුරු පාටට කැමතියි. ගඩොල් බිල්ඩින් වලටත් කැමැතියි. එංගලනතේ තියෙන්නේ පරණ ගොඩ නැගිලි. ඒවාට මම කැමතියි. මොස්කව්, සොෆියා වගේ නගර වලත් ඒ වගේ කහ ගැහුණු පරණ බිල්ඩින්. ඒවා හොඳයි, ඒවා එකිනෙකාට වෙනස්. එංගලන්තේ මම කැමැති නැත්තේ උස කවුන්සිල් ගෙවල් වලට. ඒවා හා නැගෙනහිර යුරෝපයේ බිල්ඩින් එක වගේ. ඔය සමාජවාදී රටවල හදපු ඒකාකාරී ගෙවල් වගේ අයිස්ලන්තේ තියෙන්නේ.

      Delete
  14. නැහැනේ. හේතු දෙකක් නිසා. සාමාන්‍යයෙන් මම අමු මාළු කනවා. ස්මෝක් එක කනවා. නමුත් මේක ගඳයි. පට්ට ගඳයි . දෙක කවුද කීව මිනිමස් උනත් කාල තියෙන්න පුළුවන් කියල. 😀 හැබැයි කරෝල ටිකක් ගෙනාව හා හා. ඉවාන් පවුලුෂ උයල කෑවේ ඒක . මම කිව්වේ නැහැ ඒවා කියල. හා හා මේක කියවන එකක් නැහැ.

    ReplyDelete
  15. සුභ නව වසරක් වේවා .....

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .