Wednesday 20 December 2023

ඉගෙන ගත් දේ අපතේ යනවද

මේක ලියවෙන්න හැට්ටර් තුමාගේ ලිපිය කියවනකොට මතක් වුනු සිදුවීමක් දෙකක් නිසා. හැට්ටර් ගේ ලිපිය මෙතන.  අපේ ලොකු දුව සාමාන්‍ය පෙළ කරන කොට මුල් වාර විභාගේ භෞතික විද්‍යාවට ලකුණු හොඳටම අඩුයි. ගණන් සාමාන්‍ය මට්ටමේ. ඉතින් ඉනෙස් (බිරින්දෑ) ගෝරනාඩුවක් දැම්ම "මේ හලෝ ඔය බ්ලොග් ලියන එක නවත්තල ළමයට උගන්වනවා" කියල . මට පුලුවන්නම් ඔයාට කිය කියා ඉන්නේ නෑනේ  කියලත් කිව්වා.  මම ඉතින් වැඩේ භාර ගත්ත. ඔය අතරේ අපෙ යෙහෙළියක වන ඉන්දු ගේ  දුව අයුමිණිත්  එකතු වුනා ක්ලාස් එකට .
එයා හොඳ ගායිකාවක් මේ තියෙන්නේ එයාගේ  සින්දු.   

හැබැයි වැඩේ කියන්නේ මගේ දුවයි අයුමිණි දුවයි  දෙන්නම  අහනව මේව ඉගෙන ගෙන ඇති පලේ මොකක්ද? අපි කවදාවත් යූස් කරනවද මේ ඉගෙන ගන්න ඒවා කියල. මම කීව "ඉගෙන ගන්න  ඕන දෙයක ප්‍රයෝජනයක් තියනවා "කියල. මේ කතාව කිව්වේ එයාලට. වුනේ මට. 

අවුරුදුම එකොළහකට  කලින් දුවල දෙන්න ප්‍රයිමරියේ ඉගෙන ගන්න කාලේ මේක වුනේ. මම උදේට ඒ දෙන්නව  ප්‍රාථමිකේට ගිහින්  බස්සලා වැඩට යනවා. එතන කෙලින්ම  මහා පාරට දාන්න බැහැ . ට්‍රැෆික් වැඩියි . ආ අමතක වුනා කියන්න, ඒ කාලේ මට තිබ්බේ හොන්ඩ සිවික් එකක්. නියම කාරෙක. කිසිම කරදරයක් දුන්නේ නැති වාහනයක්. එන්ෆිල්ඩ් වල ගණකාධිකාරිවරයෙක් වන අජිත් ජයකොඩි අයිය තමා සර්විස් හෙම කලේ. ඒක එයාගේ අතිකාල රැකියාව.  එයාගෙන් ඇහුව හැකි ඒ ගැන.
  
 හරස් පාරවල් දෙකකට හැරෙව්වම   තමයි මහා පාර  වන Hertford පාර ට දාන්න වෙන්නේ. ඉ මොකද පාසැල ළඟ පාරේ වාහන පිරිලා. ස්කෝලේ ළඟින් ඇවිත් හරස් පාරට දාන්න යන කාර් පෝලිමේ ඉන්න වෙන්ව ටික වෙලාවක්.  එදා මට ඉස්සරහින් Audi A4 එකක් තිබ්බේ. මම හිටියේ පෝලිමේ දෙවෙනියට. අවුඩි එකට පස්සේ මට පාරට දාන්න පුළුවන්.. මම පිටි පස්සට වෙලා  ටිකක් ඈතින් ඉන්නව. අවුඩිය ඉස්සරහට යනවා. පොඩ්ඩක් බ්රේක් කරනවා. ටිකක් පස්සට එන්න බලනවා. ආයෙත් බ්‍රේක් කරනවා. ආයේ මහා පාරට වමට හරවන්න වගේ ඉඳල යන්නේ නැහැ. එක විකාරයයි. ගෑණු කෙනෙක් හිටියේ වාහනේ. ටික වෙලාවකින් මෙයා යනව වගේ පෙනුන. මම කාරෙක ඉස්සරහට දැම්ම. යන්තන් වැදුන. ටිකක්  සද්දෙට හැබැයි. ලොකු ඩැමේජ් එකක් දෙකටම නැහැ.  මම එළියට බැහැල කතා කළා. ඉස්සරහ අවුඩි යේ රියදුරු  මධ්‍යධරණී පැත්තේ පෙනුමක් තියෙන කාන්තාවක්.  බලනකොට  ග්‍රීක සයිප්‍රස් එක්කෙනෙක්. මරියා චරලම්බස් නමට. පැද්දී පැද්දී  ඇවිල්ල මට කියනවා.
" අනේ මොකද වුනේ ඩාලින් , ඔයා මාව හැප්පුව  නේද? අවුලක් නෑ , ගණන් ගන්න එපා , ඔයාට ඉන්ෂුරවන්ස් තියෙනවනේ. NCD (No claims discount ) තියෙනවනේ. (කලින් ක්ලෙම් කරලා නැත්නම් ලැබෙන ඩිස්කවුන්ට් එක)  අපි රක්ෂණ කම්පැනි වල නොම්මර හුවමාරු කරගමු.

මට එකපාරටම ඇල්ලුවේ නැහැ කතාව. ඉස්සල්ල ඩැමේජ් බලල, ෆොටෝ ටිකක් ගහල හෙම නේ පටන් ගන්න ඕනේ කතාව. මම කීව ඔයාට මුකුත් හානියක් වෙලා නැහැනේ. මම පවුම් 150 ක් දෙන්නම් වැඩේ ක්ලෝස් කරමු කියල. මමනේ පිටි පස්සෙන් ගිහින් හැප්පුවේ . කොහොමත් වරද මගේ වගේනේ. එහෙම හිතල කීවේ. 
ගෑනි කියන්න ගත්ත "හප්පෝ මේ වැදිලා මෙහෙන් යට ගිහිල්ල. අරහෙන් ගිහිල්ල." මම කිවා ඕව කලින් වෙලා වගේ පේන්නේ . 

මේ මගේ හොන්ඩ සිවික්  එකේ ඉස්සරහා පැත්ත 

 මම කීව මම අඳුරන ගරාජ් එකක් තියෙනවා. ගාන අහල කියන්නම් කියල. එදාම හවස කෝල් කරල කීව පවුම් 400 ට අලුත්ම බෆර් එකක් දාල දෙන්නම් කියල. ගෑණි එපා කිව්වා. මෙන්න සුමානෙකින් ඉන්ෂුරන්ස් එකෙන් කියනව එයාලාට  පවුම් 1800 ගෙවන්න වෙනවලු ඇක්සිඩන්ට් එකට. මම කිව්වා මම ඇක්සෙප්ට් කරන්නේ නැහැ ලයබිලිටි එක කියල. උන් කියනවා  "ඔයා තමා පිටි පස්සෙන් ගිහින් හප්පලා තියෙන්නේ. ඒ නිසා අපි මේක ගෙවනවා කියල. " මම කීව මගේ විරෝධය මත ගෙවන්නේ කියල ලියා ගන්න කියල. 

පින්තුරේ තියෙන්නේ එයාගේ අවුඩි කේ  හැපුණු පැත්ත (මොන මගුලක් වත් වෙලා නැති):

ඊට මාසෙකට පස්සේ මෙන්න තව ලියමනක් එනවා ගෑණි "ශරීර හානි " සිදුවුනා කියල වන්දි ඉල්ලනවලු රක්ෂණ සමාගමෙන්. මම කීව මම ඒක කන්ටෙස්ට් කරනවා එහෙම වුනේ නැහැ කියල. සාමාන්‍යයෙන්  පිටි පස්සෙන් ගිහින් හැපුනම ම "whiplash injury" එකක් වුනා කියල මෙහෙ රක්ෂණ සමාගම් වලින් පවුම් 5000 විතර ගෙවනවා. බෙල්ල හෙලවිලා ආසාදන යක් වුනා කියල.  ඕකට යන්තම් හැපුනත් රෝහලට ගිහින් පෙන්නලා දොස්තර ලියමනක් ගත්තම ඇති. එනිසා හැමෝම ඉල්ලන්න ගත්ත. එනිසාම අපේ රක්ෂණ වාරිකත් ඉහල යන්න ගත්ත. මේක ලොකු ප්‍රශ්නයක් නිසා රක්ෂණ සමාගම් සැකයකින් හිටියේ. 

නමුත් මගේ විරුද්ධත්වය මත උන් ඒකත් දෙන්න ලැහැස්ති වුණාම උන් තව ලියුමක් එව්වා. ගෑණි ඉල්ලනවලු පවුම් 15000ක්. ඔන්න රක්ෂණ සමාගමට පත්තු වුනා. මගෙන් ඇහුව අපි පරික්ෂ කරන්න ටීම් එකක් එවනව. කැමතිද අහල. මම කිව්වා හා කියල. පරීක්ෂා කරන්න ආපු  ඉන්ජිනේරුව පිලි ගත්ත ඩැමේජ් එක minimal. යන්තමට වැදිලා තියෙන්නේ කියල. දැන් ඔන්න නඩුව  යනව. මං වෙනුවෙන් ඒ ගොල්ලෝ නොමිලේ පෙනී හිටින්නේ.  රක්ෂණ කාරයන්ටත් තේරිලා මෙතැන මොකක්හ රි අවුලක් තියනව කියල. නමුත් උන්ට ඔප්පු කර ගන්න බැහැ. 
නඩුව අවුරුද්දක් විතර ඇදෙන කොට නීතිඥවරිය හෙලන් එව්වා නඩුවේ විස්තර.
" අජිත් අපට මේක ගෙවන්න  වෙනවා. මරියා ගේ නීතිඥ සමගම  විශේෂන්ඥයෝ (එක්ස්පට් expert) කෙනෙක් සහ වෛද්‍ය විශේෂඥයන් දෙදෙනෙකු ගෙනුත්  වාර්තා අරගෙන" කියල එයා ලිව්වා මට.

එක වෛද්‍ය විශේෂඥයෙක්  ඉන්දියන් සම්භවයක් තියෙන කෙනෙක්. අනිත් එක්කෙනා පකිස්ථානු. එක්කෙනෙක් කියනව උකුල පැත්තට ඉන්ජරියක් වෙලාලු. අනික් එක්කෙන කියනවා  බෙල්ල හෙල්ලිලා හරි අමාරුයි ලු. බෙහෙතුත් දෙනවලු.
ඊළඟ විශේෂන්ඥ වාර්තාව ඉංජිනේරුවා ගෙන්. එයාට BSc එකක් තියනව සහ මේ වගේ හැල හැප්පීම් කිහිපයකට ගිහින් තියනවා කියලත් ලියල තියනවා. ඊට පස්සේ එයා  නිව්ටන් ගේ පළමු නියමය , දෙවන නියමය  සහ තුන්වන නියමය පැහැදිලි කරලා, අවුඩි එකේ සහ හොන්ඩ එක බර සඳහන් කරලා මගේ අවසන් වේගය පැයට හැතැප්ම පහක්  කියල නිගමනයකුත් අරගෙන.  ඒ වැදීමේ වේගය අනුව මරියා ඉස්සරහට විසි වෙලා බෙල්ල හෙලවෙන්න හොන්දටම  ඉඩ තියනවා කියලත් ලියල. ඔන්න මම ඒවා ටික දැම්ම යට. ඒ වේගයට අනුව ඉම්පැක්ට් ෆෝර්ස් හෙවත් ඝට්ටනයේ බලය කිලෝ නිව්ටන් 17ක් ලු. 

කාල වරෙන්කො. නීතිඥ සමාගමේ හෙලන් කියනව. 
"අජිත් මොකද කරන්නේ අපට මේවා පිලි ගන්න වෙනවා නේද" කියල. මම කිව්වා මට දවසක් දෙන්න. මම ගණනය කරලා කියන්නම් කියල. 
නිව්ටන්ගේ නියමයන් නේද මල්ලි , කියල  හිත හිත තමා  එදා වැඩ ඉවර වෙලා ගෙදර ගියේ.  මම ඉන්ජිනේරුව ලියල තියෙන ඒවා හොඳින් කියෙව්ව. එයා බලය (force) එකේ වටිනාකම ලියල තියෙන විධිහ, අවුඩි එකේ සහ හොන්ඩ එකේ බර. හෑ , අවුඩි එකේ  බර වැඩියි නේ .මෙයා  කොහොමද මගේ වේගය නිර්ණය කලේ. 



මමත් අර විධිහටම ලිව්වා. පටන් ගත්තේ මගේ අධ්‍යපන සුදුකම් වලින්. මේවා මම සීවි එකේ විතරක් ලියන ඒවා වුනත් මෙතනදී ලියන්න එපාය. මට තියෙන උපාධි ටික ලිව්වා.  එතකොට ෆෙලොව්ශිප් එකකුත් තියනව  කියල  දැම්ම. නමේ අගට තියෙන ටයිටල් ටිකත් දැම්මා ඉතින්. ටිකක් බර වෙන්න. 

මම ඇහුව, මම කැමතියි දැන ගන්න මේ පර්යේෂක තැන ඉම්පැක්ට් ෆෝර්ස් එක (කාර් එක  වැදුණු බලය) කිලෝ නිව්ටන් ම 12.7 ක් වෙන්න ගණනය කලේ කොහොමද කියල.  කරුණාකරලා එයාගේ ගණනය කිරීම් එවන්න කියලත් ඉල්ලුව.  
මොකද මමත් ගණනය කළා.

චලිතය පිළිබඳ නිව්ට ගේ දෙවන නියමයට අනුව බලය F = m (ස්කන්ධය) X a (ත්වරණය) ඒ කියන්නේ වස්තුවක ත්වරණය එයට යොදන බලයට සමානුපාතිකව වැඩිවෙනවා කියන එක. එතකොට මොමෙන්ටම් කියලා කියන්නේ ස්කන්ධය වැඩි කිරීම ප්‍රවේගය.(  m x v) 

 එතකොට ත්වරණය a (Acceleration) කියන්නේ අවසන් ප්‍රවේගය අඩු කිරීම  මුලික ප්‍රවේගය වැයවුණු  කාලයෙන් බෙදීමට  (V2-V1)/t

ඉම්පැක්ට් ෆෝර්ස් එක එතකොට වෙන්නේ ස්කන්ධය වැඩි කිරීම  ප්‍රවේගයේ ඇතිවූ වෙනස බෙදීම එයට ගතවුණු කාලය.  F=m x (V2-V1)/t

මූලික ප්‍රවේගය එයා කියන විධිහට පැයට හැතැප්ම  තුන නම් ඒ කියන්නේ තත්පරයට මීටර් 1.33 ක් 
-->3* 1.6 = 4.8 Km per hour = 4.8*1000/3600 = 1.33 meters per second (ms-1)
මෙතැන් 1.6 කියන්නේ හැතප්මකට  කිලෝ මීටර් ගාන , දාහෙන් වැඩි කලේ මීටර් වෙන්නේ. 3600 කියන්නේ පැයට තත්පර ගණන.

දෙවෙනි ප්‍රවේගය පැයට හැතැප්ම පහ නම් අර විධිහටම හෙව්වම ඒක වෙන්නේ 2,22
 5*1.6 =8 kmph = 8*1000/3600 = 2.22 ms-1

එයා  කියන්නේ හැප්පුනේ මිනිත්තු එකත්  දෙකත් අතර කියල, අපි ගමු වැඩි අගය වන මිනිත්තු දෙක. එතකොට acceleration  හෙවත් ත්වරණය වෙන්නේ  0.0074 (තත්පර වර්ගයට මීටර්)

a = (V2 - V1) / t = 2.22-1.33/120 = 0.0074 ms-2

දැන් ගණනය කරමු බලය. 

හොන්ඩ  එකේ බර කිලෝ ග්‍රෑම්  1100

F= ma= 1190*0.0074 = 8.8478 N (newton) =0.0088KN කිලෝ නිව්ටන් වලින් 0.001 වගේ වෙන්නේ. 

 එතකොටගනිමු ඉම්පැක්ට් ටයිම් එක මිනිත්තුවයි කියල. 

ත්වරණය  a = (V2 - V1) / t = 2.22-1.33/60 = 0.0148 ms-2

බලය F= ma = 1190*0.0148=17.65 Newton.=0.017KN

හොන්ඩ එකට  කීයටවත් කිලෝ නිව්ටන් 17 ක බලයක් යොයොදන්න බැහැ 

මේ ත්වරණයම  සලකල බැලුවොත් අවුඩි එකට බර 1640 kg  නිසා එනවා නිව්ටන් 12 ක බලයක්. කෙටියෙන්  කියනවනම් අවුඩි එකේ බරින් යොදන ප්‍රතිවිරුද්ධ බලය වැඩියි. මම තර්ක කළා හොන්ඩ එකේ  ඉම්පැක්ට් එක අවුඩි එක තුල දිය වෙලා ගිහින් ඩ්‍රයිවර් ගාවට එනකොට මිනිමල් කියල. අඩුම වෙලා. ඒ කියන්නේ එයාගේ බෙල්ල ඔය විධිහට හෙල්ලෙන්න වත් උකුලපෙරලෙන්න විධිහකුත් නැහැ  කියල. හරිනම් මමයි ඉස්සරහට විසි වෙලා බෙල්ල නැමෙන්න ඕනේ. මට එහෙම වුනේ නැත්නම් එයාට වෙන්න විධිහක් නැහැ කියල. 

ඒ නිසා ඩිෆෙන්ස් (මම) එකෙන් ඉල්ලුව මරිය ගේ පරණ වෛද්‍ය වාර්තා දෙන්න. එයාට තියෙන ලෙඩ මොනවාද මිට කලින් ඇක්සිඩන්ට් වෙලා තියෙනවද , මිට කලින් වෙන ක්ලේම් (රක්ෂණ මුදල් ඉල්ලීම්)  තියනවද කියල. 


නීතිඥ හෙලන්ට අනිත් සමාගම එක්ක සාකච්චාවක් තිබ්බ. ඒකෙදි ඒ ගොල්ල කිව්වා අර පර්යේෂක ඉංජිනේරු මහතා  එයාගේ වාර්තාව ඉල්ලා අස් කර ගත්ත කියල. සුමානෙකින් දැන ගන්න ලැබුන  විශේෂන්ඥ වෛද්‍යවරු දෙන්නත් එයාලගේ පිටු දහයේ වාර්තා ඉල්ලා අස් කර ගත්ත කියල. නඩුව කොලැප්ස්ඩ්.

 ඒ වෙනකොට විශේෂන්ඥ දොස්තර හබිස් ගැන මම වෙන දෙයක් හොයාගෙන තිබ්බ. එයා ගැහැණු ළමයෙකුට කනට ගහල GMC (බ්‍රිතාන්‍ය වෛද්‍ය සභාව) එයාව  සස්පෙන්ඩ් කරලා තිබ්බේ. මිනිහ ලියල තිබ්බෙත් හොර නමක්. හොසම් කියන නම  H Sam හැටියට.  එතකොට එයාගේ වාර්තාව කොහොමත් වැලිඩ් නැහැ. එතනට යන්න වුනේ නැහැ ඉතින්.

දුවලට භෞතික විද්‍යාවේ ඉගෙන ගන්න දේ  ප්‍රයෝජනයක් තියනවා " කියල දුන් උපදෙස මේ ආකාරයට ඔප්පු කිරීමට හැකිවීම ජයක්.

මගේ ලොකු  දුවයි අයුමිණි දුවයි විද්‍යා විෂයන් ඉහලින්ම සමත් වුනා හිතවතුනි. 

තව එක කතාවක්  මේ යටතේ තියනවා. ඒක පසුවට. 

(තට්ටයාගේ කොළම සංවිධානය කරන ශනිදා බ්ලොග් ලිවීමේ පස් අවුරුදු සැලැස්ම යටතේ කොළඹ ගමයා  විසින් ශනිදා සිට පැය 84 කට පසු ලියා පළ කරන ලදී.)

- අජිත් ධර්මකීර්ති 2023-12-20 

ප.ලි: පස්සේ කාලෙක ඔය නැගෙනහිර යුරෝපීය  සෙට් එක ගලන්න ගත්ත නේ එංගලන්තෙට. කාර් මහා පාරේ නවත්තල හප්පගෙන පවුම් 5000 ක්ලේම්  කරනවා. ඒ මදිවට දෙතුන් දෙනෙක් දාගෙන ගිහින් හප්පලා අර තමන්ගේ කාරෙකේ හිටි එවුන්ට whiplash ඉන්ජරි සල්ලි ඉල්ලනවා. ආණ්ඩුව අන්තිමට රක්ෂණ සමාගම් වලට  කීව අර අපි අහපු ප්‍රශ්න වගේ ඒවා අහල පිළිතුරු දෙන්න බැරිනම් පොලිසියට භාර දෙන්න කියලා. දැන් ටිකක් අඩුයි. 

49 comments:

  1. වැඩේ ඇදුනනං වෛද්‍ය දෙපලෙයි ඉංජිනේරුවා හා මරියගෙයි රෙදි ඉල්ලෙ වෙනවා.

    වෛද්‍ය දෙපලගෙ ලයිසන් සස්පෙන් වෙන්ඩ තියන ඉඩකඩ ඉතාම ඉහළයි
    පරණ කේස් 850කට වැඩි ගාණකට නොටිංහැම්ෂා පොලිසියට අලාබ ගෙවන්ඩ වෙයි බොරු එක්ස්පට්ල හයර් කළා කියලා
    මරියට හිරේ යන්ඩ වෙයි වංචා වලට

    අජිත් බොස්ගෙ ලියමන ආවම ඒ හතරදෙනාට බඩ ගිය හැටි නිව්ටන්ගේ හතරවන නියමයෙන් පහදා දෙන්ඩ නං ඇහැක්.

    Loose motion cannot be done in slow motion.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඒක තමා ඒ ගොල්ල ඉල්ලා අස් කර ගත්තේ වාර්තා ටික පට් පට් ගාල. මරියා ඕවගේ ගේම් තව කීයක් දුන්නද කියල දන්නේ නැහැනේ.
      //අජිත් බොස්ගෙ ලියමන ආවම ඒ හතරදෙනාට බඩ ගිය හැටි නිව්ටන්ගේ හතරවන නියමයෙන් පහදා දෙන්ඩ නං ඇහැක්.

      Loose motion cannot be done in slow motion.// නිව්ටන් ගේ හතරවන නියමය. 😀

      Delete
    2. ඇත්තටම. පෙරලන්න හදාපු බාල්ලිය අනික් පැත්තට පෙරලන්න හැදුවෙ නැද්ද.
      ඉට කලිං වාර්තා අස්කරගත් නිසාද එ. (මොනා උනත් එහෙම නොවිච්ච එක හොදා ).

      මේ සංතෑසිය කොලර් එක උසසං, සරම කැහැපට ගහං අජී අයිය... කෙල්ලට උජාරැවෙන් කියල දෙන පොටෝ එකක්, වයිපරේවත් අරං තිව්නනං තව දාහක් වටිනව 😁😁

      Delete
    3. ඒ ගොල්ල වාර්තා අස් කරගත්තේ නැත්නම් පෙරලෙන තිබ්බ අනිත් පැත්තට. මේ සන්තැසිය වෙනකොට කෙල්ලෝ දෙන්න පොඩියි. මම ලියල තියෙන්නේ ප්‍රයිමරි ගියේ කියල. මේ ඊට අවුරුදු පහකට හයකට පස්සේ ලොකු දුව එකොළහ වසරේ විභාගෙට ලියන්න කලින් මම උගන්වනකොට කීව එයාලට මේවා ඉගෙන ගන්න එකේ වටිනාකම. නොසිතු වෙලාවක එන්න පුළුවන් කියල.

      Delete
  2. එක හුස්මට කියෙව්වා. හොන්ඩා සිවික් නේද? උම්මා......මගේ එක 2009. අවුරුද්දකට සැරයක්, මීටරේ 80% ආවම එන්ජින් ඔයිල් මාරු කරනවා. 80, 000Km වලින් ට්‍රාන්ස්මිෂන් ඔයිල් මාරු කරනවා එච්චරයි. ඒව කෙරෙන්නෙ ගැරෙජ් එකේ) - මෙසී ජොබ්ස්.ස්පාර්ක් ප්ලග් මාරු කරන්නෙ මම (තේරෙනවා තෙල් ලීටරේට වැඩ කරන Km ගාණ අඩු බව). ඔය මිල අධික ඉරිඩියම්, ලේසර් ස්පාර්ක් ප්ලග් දාන එක වැඩක් නෑ හොන්ඩා සිවික් වලට. සෙට් 4 ක්ම සුපියල් 27කට ඇමසන් එකෙන් ගත්ත Bosch ප්ලැටිනම් බබා වගේ වැඩ. මතක් වුනාම බ්‍රේක් ඔයිල්, ස්ටියරින් ඔයිල්,ට්‍රාන්ස්මිෂන් ඔයිල්, එන්ජින් ඔයිල් සහ රේඩියේටර් කූලන්ට් ලෙවල් සහ කොලිටි බලනවා. මා ගාව සුපියල් 30කට බාගත්ත OBD ස්කෑනර් එකක් තියනවා "චෙක් එන්ජින්" ලයිට් එක ආවොත් බලන්න. ඉස්සරහා හෙඩ් ලයිට් LED වලට මාරු කලෙත් මම.

    ReplyDelete
    Replies
    1. ඔව් ඕක නියම කාරෙක . කිසිම වදයක් දුනෙන් නැති එකක. සර්විස් කළා. MOT ගත්ත පාරට දාන එක විතරයි. VTEC එන්ජින් එක. Valve Timing Electronically Controlled. පට්ට එකොනොමිකල් . ගොන් කමට විකුනලා ගත්ත බීඑම්ඩබ්ලිව් ත්‍රී සිරිස් ඩීසල් එකක්. . නැති වුනා ඒකෙන් . එච්චරට රෙපයාර්

      Delete
  3. මෙහෙ ඉන්න එක එක ජන වර්ග ස්පෙෂලයිස් කරපු ස්කෑම් තියනවා. මතක විදිහට හවුසින් ස්කෑම් ගයනා කස්ටිය. වාහන ඇක්සිඩන්ට් ඉන්ෂුවරන්ස් ස්කෑම් එක කලේ සී ලන්කන් ටැමිල් කස්ටිය. වාහන දෙකකින් යන්නෙ. වැඩේට ගැලපෙන ගොදුරක් ෆලෝ කරගෙන, ගිහින් ට්‍රැපික් ස්ටොප් එකකදි මොකක්ද සෙල්ලමක් දාලා, අර අසරණයට කියල අන්නව ගන්නවා.
    එතන ඉඳන් ඔය, විල් ලෑෂ් ද අරවද මේවද ඔක්කොම ගන්නවා. වැඩේ මාට්ටු වුනා.
    අදාල ගරාජ් එක, එතකොට පිෂියො තෙරපි සෙන්ටර් එක ඔක්කොම අයිති කල්ලියට තමා. උන්ටම අයිති ඉන්ෂුවරන් එකක් විතරයි නොතිබ්බෙ. ආ මෙහෙ තියනවා Holman කියල ඉන්ෂුවරන් කියල එකක්. අපේ කස්ටිය ඒකට කියන්නෙ හොල්මන් ඉන්ෂුවරන් කියල.

    ReplyDelete
    Replies
    1. මෙහෙ හවුසින ස්කෑම් එක මුලදී බංගලි, ඉන්දියන් , පකිස්තාන් , නයිජීරියන් ඔක්කොම කළා . ලංකාවේ අය විතරයි අහු වෙලා නැත්තේ . ලංකාවේ ටැමිල් අය වාහන වැඩේ කලාට LTTE එකඟ වැඩිය ඇද්දේ ක්‍රෙඩිට් කාඩ් ස්කෑම් එක. whiplash ගේම් එක වැඩිය ගැහුවේ රුමේනියා ඇල්බේනියා සෙට් එක පස්සේ

      Delete
    2. ලන්කන් ටැමිල් සැට් එක ක්‍රෙඩිට් කාඩ් ස්කෑම් එකත් කලා. LTTE කනෙක්ෂන් තිබ්බ ෆස්ට් ජෙනරේෂන් එකේ ටැමිල් සැට් එක එහෙම කලාට, සී ලන්කන් ටැමිල් කමියුනිටි එකට බෑඩ් රෙප් එකක් නෑ. විශේෂයෙන්ම සෙකන්ඩ් ජෙනරේෂන් එක හමුදාවෙ , පොලිසියෙ පවා ඉන්න යහපත් පුරවැසියො.

      Delete
    3. ඒක හරි සෙකන්ඩ් ජෙනරේෂන් එක මෙහෙත් හොඳයි . හැබැයි ඊස්ට් පැත්තේ ටැමිල් ගැන්ග්ස් ටිකක් තියනව

      Delete
  4. මහමඟ ගමන්කරමින් සිටින අවස්ථාවක මධ්‍යධරණී ප්‍රදේශයේ පෙනුමක් සහිත ග්‍රීක සයිප්‍රස් කාන්තාවක් රිය අනතුරකට ලක්කොට ඝාතනය කිරීම සඳහා කිසියම් පාර්ශ්වයක් විසින් කුමන්ත්‍රණයක් දියත්කර ඇතැයි බ්‍රිතාන්‍ය බුද්ධි අංශ මඟින් තොරතුරු හෙළිකර ඇති බවට හෙළිවිය.

    මෙම කුමන්ත්‍රණය දියත් කරන ලද්දේ කාගේ උවමනාවක් නිසාද?

    ReplyDelete
    Replies
    1. 😀 ඕකට කියන්නේ Paranoia කියල. බෙහෙතක් ගනින්

      Delete
  5. මටත් ඔය වගේ සිද්ධියක් වෙලා තියෙනවා ඕස්ට්‍රේලියාවෙදි.මම තමයි වරදකරු...ඒක නම් ඇත්තටම වරද මගේ...ස්ලෝ ට්‍රැෆික් එකක යද්දි මහන්සියට පොඩ්ඩක් ඇහැ පියවිලා ක්ලච් එක බුරුල් වෙලා ඉස්සරා වාහනේ යන්තං හැප්පුනා. ඉස්සර වාහනේ හිටියේ චීන කපල් එකක්..උන්ගෙන් මහ වදේ....අතට සල්ලි ඉල්ලුවා..මං කිව්වා ඉන්ශූරන්ස් එකට කතා කරගන්න කියලා...අනිතිමට ඔසී ඩොලර් 350 ක් විතර ගෙව්වා මගේ මතකෙ විදිහට...හැබැයි ඔය වගේ බෙල්ලෙ ඩැමේජ් නම් ක්ලේම් කලේ නෑ...උන් ඒක දන්නේ නැතුව ඇති...එහෙම උනා නම් ඉතින් නිව්ටන් සරණං ගච්චාමී තමයි.....ඒත් අජිත් ඉන්ශූරන්ස් එකට ඕනේ විදිහට ඕක කරන්න දෙන්නැතිව ඔයාම මැදිහත් වෙන්න ගත්ත් තීරණය තමයි මෙතැන වැදගත්ම පොයින්ට් එක මං හිතන විදිහට..ඒක හැමෝම කරන දෙයක් නෙමේ...- MAYYA

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කමෙන්ටුවට. ඔයාට ඇත්තටම නිදිමත වුනාද . එහෙම හිතුනද. මම අහල තියෙනව ඇමරිකාවට එන චීන , මැලේසියන් විගාමිකයෝ කරන ට්‍රික් එකක් කියල ඕක. (ඔසී වල අහල නැහැ). ආපු ගමන් සල්ලි නැති නිසා සහ රක්ෂණය ගණන් වැඩි නිසා. හිමින් ගිහින් හප්ප ගෙන සල්ලි ඉල්ලනවාලු. ඔයා බල කරලා ඉන්ෂුවරන්ස් ඉල්ලුව නම් ඒ මුදලත් නොදී යන්න තිබ්බ වෙන්න බැරිද? // අජිත් ඉන්ශූරන්ස් එකට ඕනේ විදිහට ඕක කරන්න දෙන්නැතිව ඔයාම මැදිහත් වෙන්න ගත්ත් තීරණය තමයි මෙතැන වැදගත්ම පොයින්ට් එක මං හිතන විදිහට.// ඒකත් හරි. ඉන්ෂුරන් කම්පැනි එකත් 15000 ගෙවන්න කැමති වුනේ නැහැ. ඒක තමා වෙන නීතිඥ සමාගමක් නොමිලේ අරන් දුන්නේ. එයාලගේ in-house නීතිඥයා අත ඇරලා.

      Delete
  6. ආ, දෙතුන් දෙනෙක් දාගෙන ගිහින් හප්පලා අර තමන්ගේ කාරෙකේ හිටි එවුන්ට whiplash ඉන්ජරි සල්ලි ඉල්ලන්න් ගිහින් තමයි මාට්ටු වුනේ. ඉහගෙන කෑම - milk the cow dry කියල නේද කියන්නෙ? ගේමට දාගෙන යන උන්ට හොඳට ගෙව්වලු. ඔව්, ඉතිං නිකං ඉහගෙන කන සල්ලිනෙ? ඉන්ෂුවරන්ස් කොම්පැණිවලට ගාණකුත් නෑ, රනියා ටැක්ස් ගහනව වගෙයි අවුරුදු පතා අපේ ඉන්ෂුවරන්ස් වැඩි කලේ.

    මට හිතෙන්නෙ අජිත් බොසා/ හැට්ටරේට වගේ මැත බෑ උන්ට. කැල්කියුලේෂන් අප්සැට් ගිහින් හයියෙන් හැප්පිලා, අර whiplash ඉන්ජරි සල්ලි ඉල්ලන්න දාගෙන ගිය එකෙක්ගෙ බෙල්ල කැඩුනා. මම එහෙම ගියා නං, වාහනේට නගින්න කලියෙන් අහනවා ඩැයිවරයට මැත්ස් වලට ඩිග්‍රි තියනවද කියලා? ඇයි අප්පා, අපේ බෙල්ල නෙව යන්නෙ?

    //"මේ හලෝ ඔය බ්ලොග් ලියන එක නවත්තල ළමයට උගන්වනවා" කියල . මට පුලුවන්නම් ඔයාට කිය කියා ඉන්නේ නෑනේ//

    She’s a keeper, if you ask me.🤣😂👌🙏😁

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක මරු කතාව. මුන් දැන ගත්ත බස් කම්පැනි නඩු යන්නේ නැහැ. මොකද උන්ට වෙලාවක් නැහැ. පන්දාහ ගෙවල දානවා කියල. සුද්දගේ හැටිනේ. උන් මාර කම්මැලි ජාතියක්. අපේ රටවල් කොහොම අල්ල ගත්තද මන්ද. ඉතින් මුන් කාර් එකේ රුමේනියන්, පකිස්ථාන දෙතුන් දෙනා ගෙන ගිහින් බස් වල හප්පනවා.ඩ්‍රයිවර් ගේ ඉන්සුරන්ස් එකෙන් මුන්ට ගෙවනවා. බස් එක ඇතුලේ දෙනෙක්. බලෙන් හැප්පුණු වෙලාවේ වැටිලා හොස්පිටල් දාල උනුත් ඉල්ලනවා සල්ලි. තුන් වෙනි සැරේ ගේම දෙනකොට මාට්ටු -

      Delete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය ළමයින්ටත් කියවන්න දාල තියෙන නිශ අමෙ කොමෙන්ට් එක මකනවා ඇනෝ. චතුෂයට කියහන් ඔය ස්කොට්ලන්තේ එනම් මනම් කරන්න ගිහින් පොලිසි යන්න තමා වෙන්නේ කියල. තමන් කරන දේවල් අනිත් අයත් කරන කියල හිතා ගෙනලු ඇනෝ ල කොමෙන්ට් දාන්නේ

      Delete
  8. ඉගෙන ගත්ත දේවල් තේරුම් කරලා
    ගෙවන ජීවිතේ දවසක මැන බලලා
    රැගෙන එයින් ප්‍රයෝජනේ හරි කියලා
    ලියන මතක වටිනව ඒ ගැන හිතලා...

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. අන්න ඒකයි අපේ අත්තල මුත්තල කීවේ
      පොරොවෙන් ගහන්න හරි ඉගෙන ගනිල්ලා
      මන්නෙන් කපන්න පුරුදු වෙයල්ලා
      දවසක බදු ගහගෙන උන් ඒවි

      මම මේ කියන්න හැදුවේ වැඩ කරන්න ඉගෙන ගන්න කියල

      Delete
  9. නියමයි. අන්න වැඩ

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක ස්පෑම් ගියෝ. ගොඩ ගනියෝ!

      Delete
  10. මේ අවස්ථාවේ ගනිතෙන්ම වැඩේට බැස්ස නිසා ගොඩගියා කියලා හිතුනා.
    ස්කෝලේ ළඟින් ඇවිත් හරස් පාරට දාන්න යන කාර් පෝලිමේ ඉන්න කොට එයා පොඩි පොඩි සෙල්ලම් ටිකක් දමන කොටම මට හිතුනා මොකක් හරි දෙයකට තමා කුරුමානම් අල්ලන්නේ කියලා. කිසිවක් නොදන්නා කෙනෙක් උනානම් පව් වැඩේ. අදටත් වන්දි ගෙව ගෙව ඉන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්. මම සම්පුර්ණයෙන්ම වෛද්‍ය වාර්තා සහ තාක්ෂණික වාර්තාව කියෙව්වා. නිව්ටන්ගේ නියමයි අරවයි මේවයි එක්ක. අවුඩි කාරෙක බර වැඩි කියල දැක්ක ගමන් යුරේකා වගේ තමයි. ගණන් හදල බැලුව. මුන් ඔහොම ටෙක්නිකල් ටර්ම් අරව මේවා දාලා හදන්නේ අන්නන්න. මගේ නීතිඥ වරියත් බය වුනානේ. මම වන්දි ගෙවන්නේ නැතිව රක්ෂනෙන් ගෙව්වත් මගේ වාරිකය පට්ට විධිහට ඉහලට යනව. අවුරුදු ගානක් යනකන් රෙකෝඩ් එකේ තියනවා මම තුවාල කළා කියල. ඒක අවුල් නේ.

      Delete
  11. උසස් පෙළ පන්තියේදී, විද්‍යාගාර මේසයක් උඩ සරල උපකරණ භාවිතයෙන් කරන
    යම්කිසි සිද්ධාන්තයක මූල ධර් ම අත්හදා බැලීමේ පරීක්ෂණයක භාවිතය, මහපාරේදී ප්‍රයෝගිකව අත්හදා බැලීමට ලැබීමත් ඉතාම හොඳ අවස්ථාවක්. මෙයට අවශ්‍ය පසුබිම සකස් කිරීම ගැන මරියාට ස්තුති කළ යුතුයි. ඒ වගේම, transfer of learning ලෙස හඳුන්වන පෙර දැනුම සත්‍ය ප්‍රායෝගික අවස්ථාවකදී භාවිත කිරීමත්, එසේ ගණනය කිරීම් මගින් ලබා ඇති, පෙර අවබෝධය අවශ්‍ය පරිදි ප්‍රයෝජනයට ගැනීමත් ඉතාමත් අගෙයි. ඒ අවබෝධය නිසා කූට ඉන්ජිනේරුවාගේ ගණනය කිරීම ප්‍රතික්ෂේප වීම මහත් ජයග්‍රහණයක්. ඒ වගේම එම හේතුවෙන් මරියාගේ උකුල ප්‍රදේශයේ බල සම්ප්‍රේ ෂණය සහ බෙල්ල ගැස්සී යාමේ ප්‍රවේගයද නිව්ටන්ගේ නියම ආශ්‍රීතව විසඳා ගත්තා නම් දොස්තර වරුන්ගේත් පටි රෝල් කරවන්නට තිබුණා.
    "ඉගෙන ගන්න ඕන දෙයක ප්‍රයෝජනයක් තියනවා " කියා ඔබ දියණියන්ට දුන් උපදෙස මේ ආකාරයට ඔප්පු කිරීමට හැකිවූ බවත් පසුව සඳහන් කළා නම් සටහනේ අගය තවත් වැඩි වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඔබතුමාට ස්තුතියි අනගි ප්‍රතිචාරයට. එතැනදී ඒ ගොල්ලෝ කලින්ම නඩුව ඉල්ලා අස් කරගත් නිසා දොස්තරලා ගාවට ඇදුනේ නැහැ. අන්තිම කෑල්ල ඇතුලත් කළා. මේ වගේම තව එකක් තියනව. ඒකත් ලියන්න ඕනේ කියල හිතුන.

      Delete
  12. මේ ගණන් ඔක්කොම තේරුණා වගේ හිටියොත් නේද හොඳ? මේ ක්ලේම් එක නොගෙවා ඉන්න ඔබ දුන්න දායකත්වය නියමයි. ඒත් රක්ෂණ ක්ශේත්‍රය ගැන දන්න කෙනෙක් විදිහට මට නම් රක්ෂණ සමාගම දොස්තරලගෙ සහ ඉංජිනේරුවගේ රිපෝට් වල නිරවද්‍යතාවය පරීක්ෂා කරන්න සමාගම තුලම හෝ උපදේශකයින් විදිහට දැනුම තියෙන අය නොසිටීම/පාවිච්චි නොකිරීම ගැන පුදුමයි.

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ කතාව හුඟක් අයට පුදුමයි ලංකාවේ තත්වය අනුව බැලුවහම. රක්ෂණ නොදී ඉන්නමනේ බලන්නේ. එංගලන්තේ මෙහෙම එකක් තියනව. නඩු යන්න යන වියදම හෙම බලල ඊට වඩා අඩුනම් ගෙවල දාන සීන් එකක් නේ තියෙන්නේ. ඒක මහා මෝඩ වැඩක් බව අපට පෙනුනට මෙහෙ රක්ෂණ සමාගම් හිතන්නේ එහෙම නෙමෙයි. අනික උන්ට ප්‍රශ්නයක් නැහැ. උනුත් සත්තු නේ. මොකද අපේ අතින් නේ අන්තිමට ගෙවෙන්නේ. මගේ වාරිකය වැඩි වෙනවා. ආණ්ඩුවේ ෆන්ඩ් එකට අපි හැමෝම ගෙවන ගාන වැඩි වෙනවා. හුඟක් වෙලාවට පවුම් 5000 එනකන් උන් ගෙවනවා. ඒකනේ රුමේනියන්, කට්ටියහෙම දිගට හරහට දැම්මේ මේ කේස් . අර ගෑනි වැඩිපුර නොයිල්ලුව නම් 5000 න් ශේප් වෙන්න තිබුන. නමුත් මම කොහොමටවත් ඉඩ දුන්නේ නැහැ මගේ රෙකෝඩ් එකට personal injury claim එකක් එනවට.

      Delete
  13. මේ ගණන් ඔක්කොම තේරුණා වගේ හිටියොත් නේද හොඳ? මේ ක්ලේම් එක නොගෙවා ඉන්න ඔබ දුන්න දායකත්වය නියමයි. ඒත් රක්ෂණ ක්ශේත්‍රය ගැන දන්න කෙනෙක් විදිහට මට නම් රක්ෂණ සමාගම දොස්තරලගෙ සහ ඉංජිනේරුවගේ රිපෝට් වල නිරවද්‍යතාවය පරීක්ෂා කරන්න සමාගම තුලම හෝ උපදේශකයින් විදිහට දැනුම තියෙන අය නොසිටීම/පාවිච්චි නොකිරීම ගැන පුදුමයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ගණන් එතන එපමණ අමාරු නැහැ. කියෙව්වා නම් ඉයන්ට තේරෙනවා. මගේ දුව ෆිසික්ස් බැහැයි කියල හිතන් හිටිය by default මෙයට ඔය කතාවයි තවත් දේවලුයි කිවට පස්සේ ආසාවෙන් කළා. හැබැයි දැන් දෙන්නම අත ඇරලා ඉන්නේ ඒක . එයාල අහන්නේ වෙන ලෙහෙසියෙන්ම කරන්න පුළුවන් සබ්ජෙක්ට් තියෙද්දී අමාරුවෙන් කරන්නේ මොකටද කියල. ඒ මෙහෙ ලයින් එක ළමයින්ගේ. ඉයන් දන්නවනේ ඒක

      Delete
  14. හැකි නං ඉගෙන ගන්නට හැම දේම හොඳයි
    දවසක උගත් දේ ඕනා වෙන්න හැකියි
    ගැලවිජ්ජාව හැම විජ්ජාවටම ලොකුයි
    දන්නවා නං සාස්තරේ එයාට දෙවි පිහිට ලබෙයි!

    ReplyDelete
    Replies
    1. නිදි මම හැමදාමත් වාගේ
      ඉගෙන ගන්නමයි උත්සාහේ
      දැනුම කියන්නේ බලය කියා
      මී මුත්තෝ අපේ කියා තිබේ

      Delete
  15. Replies
    1. මම කමෙන්ට් මොඩරේට් කරලා තියෙන්නේ. මෙහෙම තිබ්බට සෑහෙන කමෙන්ට් ගානක් එනවා මට බැනල , කළු තට්ටය හෙම කියල. සමහර වෙලාවට ඊට වැඩිය එහා ගිහින් ලිංගික කුණුහරුපත් ඇතුලත්. ඒ නිසා කරන්න දෙයක් නැහැ. මම උදේ නැගිට්ටට පස්සේ තමා කමෙන්ට් allow කරන්නේ. මම ඉන්නේ එංගලන්තේ. ඔඅබතුම ඕස්ට්‍රේලියාවේ . ඒ නිසා ඔබට හිටු උදාවන විට මම නින්දේ. දැන් මේ දහවල් 13.43. මගේ කෑම පැය . අද වැඩි වැඩක් නැහැ. ක්‍රිස්ට්මස් එකට වහන නිසා. ඒ නිසා බ්ලොග් එකට ආව

      Delete
    2. බැකප් එක නං හොඳ වැඩක්. හොයල බලන්න ඕනේ. මකවන්න හදන කට්ටිය වැඩියි කියන එක නම් හරි. ඕව ගණන් ගන්න ඕනේ නැහැ. මේවා ඔය තියෙන විධිහට් තියෙයි. මට එපාවුණ දවසට නවත්වනවා

      Delete
  16. හ්ම්. සහතික ඇත්ත. ඉගෙන ගත් කිසි දෙයක් වතුරෙ යන්නෙ නෑ. අඩු ගානේ එය පාවිච්චි නොවුනත්... දැනම්පතය පුලුල් කරන්ට හරි උදව් වෙනව නෙව.

    ReplyDelete
    Replies
    1. අර ඔයා ලියල තියෙන්නේ , දෙයක් ඉගෙන ගන්න තරමට අපි ඒ පැත්තෙන් ශක්තිමත් වෙනව.

      Delete
  17. හැබැයි තව පැතිකඩක් තියේ බලන්ට..

    'නැවේ ගිය ප්‍රාඥය හා කොලුගැටයගෙ' කවුරැත් දනන කතාව මතක නේ. ප්‍රායෝගීක හා තැනට අදාලම දේ නොදැන, අනික් බොහෝ දේ දැන සිටීමත්... වෙලාවක, වැඩක් නැති වෙනව!

    ReplyDelete
    Replies
    1. ඒ කොමන් සෙන්ස් කියන එක නැති වුනහම් තැනට සුදුසු නුවන.

      Delete
  18. මං හිතුවා ලංකාවේ විතරයි ඔය වගේ බලෙන් හප්ප ගන්න අය ඉන්නේ කියල.

    ReplyDelete
    Replies
    1. හපොයි එයාලා හැම තැනම ඉන්නවා

      Delete
  19. ආයෙත් කියවන්න එන්නම්!

    ReplyDelete
    Replies
    1. එක පාර කියවල දැම්ම නම් ඉවරයි 😀

      Delete
  20. මගේ පහසුව තකා ඔබගේ බ්ලොගය මගේ අඩවියේ එල්ලා ගත්තෙමි. එයට ඔබේ අකමැත්තක් නැතැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. කිසි අවුලක් නැහැ. එහෙම තමයි අපි එකිනෙකාට සපෝර්ට් කර ගන්න ඕනේ. ඔයාගේ බ්ලොගේත් මගේ එකේ තියනව

      Delete
  21. සම්පුර්ණයෙන්ම එකඟයි මේ කතාවට...අපි දවස ගානේ ජීවිතේට එකතු කරගන්න කැමති සහ අකමැති අත්දැකීම් සහ, ඉගැන් ගන්න දේවල් අනිවාර්යෙන් කවදාක හරි වුමවනා වෙනවා...හැබැයි ඒ අත්දැකීම්, හෝ අද්‍යාපනය හරහා ඉගන ගන්න දේවල් නියම තැනදී භාවිතා කරන්න තරම් අපි දක්ෂ වෙන්න ඕනේ..අවාසනාවට, හැමෝටම මේ නුවන නම් පිහිටන්නේ නෑ...ප්‍රැක්ටිකල් මිනිහෙක් වෙන්න ඕනේ..සමහරු කොයි තරම් තියරි දැනගත්තත් ඒක නියම තැනදී ඇප්ලයි කරගන්න එයාල දන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමයි.කළට වෙලාවට ඇණේ ගහ ගන්න දැන ගැනීම නේ. මම නම් හුඟක් වෙලාවට බලන්නේ දන්නා දෙයක් ප්‍රයෝජනයට ගන්නේ කොහොමද කියල.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .