Tuesday 29 March 2022

පූටින් යන්නේ කොයි පාරේ ෂි ජින් පිං යන පාරේ - පෙට්‍රෝ ඩොලර, පෙට්‍රෝ යුආන් සහ පෙට්‍රෝ රූබල්


පසුගියදා ලිපි කිහිපයක්ම ලීවේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් ගේ යුක්‍රේනියානු ආක්‍රමණය වෙනුවෙනි.  රුසියාව  තමන්ගේ යුද්ධයේ ප්‍රථම කොටස අවසන් බව පසුගියදා  ප්‍රකාශ කළේය. යුද්ධය යුක්රේනය දිනා ඇතැයිද පූටින් දුවන බවද ඩේලි මේල් පුවත්පත ඒ සමගම වාර්තා කළේය. සශ්‍රීක පුරාණ  නගර ගණනාවක් විනාශ  වුනු මිලියන් දෙකක් ජනයා අනාථයන් කල යුද්ධය යුක්රේනය දිනුවාද? තමන්ගේ රටට සම්බාධක පනවා ගනිමින්, බටහිර ලෝකයේ හොඳ හිත පලුදු කර ගනිමින් , යුධ භටයන් දහසත්  පන්දහසත්  අතර ප්‍රමාණයක්  අහිමි කරගනිමින් පූටින් දිනා ඇත්ද? මගේ අදහස නම් දැනට මේ රටවල් දෙකම එක පැත්තකින් පරාජය  වී  තවත් පැත්තකින් දිනා ඇති බවය. 

පූටින් ගේ රුසියානු හමුදා කීව් නගරය අසල දැඩි පරාජයකට ලක්වී ඇතැයි බටහිර මාධ්‍ය කියති.. (දැන් ඔවුන් හමුදා කිව් නගරයෙන් ඈත් කර ගනිමිනි සිටින්නේ වෙනත් හේතුවකට බව මගේ අදහසයි..)  රුසියානු හමුදාවට  වැඩිම ප්‍රශ්නය  වී ඇත්තේ බ්‍රිතාන්‍ය රජය සැපයු ජවෙලින් යුධ ටැංකි නාශක අවිය බව පැවසේ. පූටින් ගේ ටැංකි හමුදා දෙකක් සම්පුර්ණයෙන්ම විනාශ කර දමන්නට  යුක්‍රේන/ඇමෙරිකන්, දකුණු අප්‍රිකානු හමුදා සමත් වී ඇත. (බටහිර මාධ්‍ය විසින් රුසියානු  වැග්නර් කුලී හමුදා යුක්රේනය සටන් කරන බවට ප්‍රචාරයක් රැගෙන ගියේ මේ ඇමෙරිකානු හා  දකුණු අප්‍රිකානු කුලී හමුදා සටන් කරන බව සඟවන්නටය. ඇමෙරිකානු රජයට කුලී හමුදා නිත්‍යානුකුලව  සපයන්නට නොහැකිය. නමුත් රුසියන් වැග්නර් කණ්ඩායම මෙන් රටවලට ඔවුන් මිලදී ගත හැක.  මේ හේතුව නිසාම  රුසියානු යුධ සැලසුම, බටහිර මාධ්‍ය සැලසුමෙන් වෙනස් වන්නේ ඇයි නමැති ලිපියේ පරිදි කීව් නගරය මාර්තු 24 වනවිට අල්ලාගනු ඇතැයි මා සිතුවද එය එසේ වූයේ නැත. නමුත්  ක්‍රිමියාව දක්වා ගොඩබිම් මාර්ගයක් විවර කරගෙන එය පවත්වාගෙන යන්නට නම් ඔහුට දිගින් දිගටම කීව් නගරයට තර්ජනයක් එල්ල කල යුතු වේ. 

මේ පින්තුරය ෂේන් මැතිව් නම් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ගේය. ඔහු කීව්  නගරයේ "නිදහස" උදෙසා සටන් කරමින් සිටි. 


උක්රයිනය  මාධ්‍ය මෙහෙයුමෙන් ද  බටහිර ලෝකයේ හොඳහිත සහ ඩොලර්  බිලියන ගණනින් ආධාර  දිනා ගනිමින්ද ජය ලබා ඇත. පූටින් ගේ රුසියාව සම්බාධක ද පනවා ගනිමින්  එහිදී පරාජය වී ඇත.  
පූටින් දිනා  ඇත්තේ මොන පැත්තෙන්ද? ඔහු දොන්බාස් ප්‍රදේශයේ හමුදාව රඳවා , ක්‍රිමියාවද තබා ගනිමින් රට දෙකඩ කර ඇත. එසේම බටහිර පමණක් නොව මුළු ලෝකයේම ආර්ථිකය පහල දමමින් උද්ධමනය වැඩි කරමින් ආර්ථික යුද්ධයක් ද  දියත් කර ඇත. ඒවා පූටින් ගේ සීමිත ජයග්‍රහණයන්ය. 
මේ යුද්ධය හෝ පූටින් කියන අන්දමට විශේෂ මෙහෙයුම විග්‍රහ කර ගැනීමට නම් ආවේගීව පාර්ශවයක් තමන්ගේ කර ගැනීම නොකළ යුතු දෙයකි.එයින් සිදුවන්නේ කුමක්ද යන්න ගැන හරි වැටහීමක් ලබා ගැනීමේ හැකියාව නොමැතිව යයි.   

මම  2014 දී පමණ පූටින් ගේ ස්ටාලින්වාදී  ස්ථාවරය සහ මහා ජාතිවාදය ගැනද රුසියාවේ ඔටෝක්‍රසිය ගැනද ලිපි දෙකක් ලීවෙමි.  විසි පස් වසරකට පෙර ඇද වැටුණු බර්ලින් තාප්පය, පූටින් හා ස්ටාසිලන්තය හා ඔටෝක්‍රසි හා ඉගෙන ගන්න, ඉගෙන ගන්න, ඉගෙන ගන්න යන ලිපි දෙකයි. ඒ නිසා ඒ ගැන නැවත ලිවීමට අවශ්‍යතාවයක් තිබුනේ නැත. පළමු සඳහන්ලි පියේ පූටින් චීන ආර්ථික හා දේශපාලනික  විධි ක්‍රම අනුගමනය කරන බවද ලීවෙමි. 
 
මේ යුද්ධයට හේතු කිහිපයක් පැහැදිලි කිරීමට මම ලිපි කිහිපයක් ලීවෙමි. රුසියානු ආක්‍රමණයට මා ලියූ හේතු කිහිපයක් මෙසේය.

1. යුධ සංවිධානයක් වන නේටෝවේ ව්‍යාප්තවාදය. (මේ ලිපි දෙක බලන්න.   කාමරය ඇතුලේ අලියා  නොදැකීම රුසියානු යුක්‍රේන ප්‍රශ්නයේ තවත් පැතිකඩක් ) නේටෝව නිසා රුසියාව රූකඩයක් මෙන් උඩ  පනින්නේද යන මුග්ධ අදහසක් නොව එවැනි සැබෑ ප්‍රශ්නයක් තිබිම ගැන මෙහි සාකච්චා කෙරේ. ඉතිහාසය නොදන්නා, මාධ්‍ය මගින් පමණක් ඉගෙන ගන්නා අයට ඒවා එසේ විය හැකිය. ජෙරෙමි කෝබින් කිහිප වතාවක්ම ඒ ගැන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ  ප්‍රශ්න කල අතර රුසියනු ඔලිගාර්ක් හොරුන්ට එරෙහිවද කතා කළේය. ඔලිගාර්ක් ලාගේ  කළු සල්ලි  භාවිතා කල ලන්ඩනය කෝබින් කියූ දෙයට කන් දුන්නේ නැත. අද ඒ ජඩ මාධ්‍ය ඔහු පූටින් ගේ පැත්තේ  යැයි වංක ලෙස  චෝදනා කරති. කෝබින් ගේ කතාව මෙහි ඇත.  බොහෝ රුසියානු මුදල් 2014ට පෙරද ඉන් පසුවද ලන්ඩන් වල හොල්මන් කළේය.  යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත් වීමට කල ජන මත විචාරණයේද රුසියානු මුදල් සංසරණය විය. 

2. මහා රුසියානු ජාතිවාදය - ඉතිහාසය  පැහැදිලි කරමින් ලියා  ඇති මේ ලිපියෙන් ඒ ගැන අදහසක් ලබා ගැනීමට පුළුවන්. රුසියානු ඉතිහාසය සහ යුක්රේනියානු  පෙකනිවැල  තවත් බොහෝ වාමාංශික අය  මේ  පිළිබඳව ලියා ඇත.)

3. උක්රයිනයේ  භාෂා ප්‍රශ්නය  (රුසියානු භාෂාවට සම තැන නොදීම)  ඊයේ මාර්තු 25 යුක්‍රේන විදේශ ඇමති වරයා කියා සිටියේ රුසියානු රාජ්‍ය භාෂාව යුක්‍රේන භාෂාව පමණක් බවයි. මේ බීබීසී ලිපියේ ඒ ගැන සඳහනක් ඇත.

4. යුක්රේනයේ නාසි හමුදා කණ්ඩායම් පිලිබඳ ප්‍රශ්නය - එවැන්නක් තිබෙන  බව ලිපි කිහිපයකම ලීවෙමි.  නමුත් බටහිර මාධ්‍ය විසින් ඒක පාක්ෂික වීම නිසා මේ පිලිබඳ සත්‍යය යටවී ඇත. මෑතකදී ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් පත ඒ ගැන සඳහනක් කර තිබුණි. මගේ  "අලියා නොදැකීම" ලිපියේ බීබීසී වීඩියෝ බලන්න. 

ලඟකදී යහළුවෙකු මට මෙවන් දෙයක් ලියා එවා තිබුණි. සෙලෙන්ස්කි යුදෙව් ජාතිකයෙකු බැවින් ඔහුට නාසීන් ට සහය දීම ගැන චෝදනා නොකළ යුතු බවයි. සෙලෙන්ස්කි අසා තිබුනේද මම යුදෙව්වෙක් නම් මම නාසිවාදියෙකු වන්නේ කෙසේද යන්නය. ඔහුට ඇති චෝදනාව නාසි වාදියෙකු වීම නොව නාසිවාදීන් සමග ඩීල් දැමීමයි. ඇසෝව් බ්‍රිගේඩ් එක ගැනීමෙන් පසු දෙවන වරට නාසි භට කණ්ඩායම් ප්‍රධාන හමුදාවට අනුයුක්ත කලේ ඔහුය. ඒ ඔහුගේ ජනාධිපති කම බේරා ගැනීමටය. 

එසේම මේ අය ඊශ්‍රායලය පැත්තක් නොගැනීම ගැන කියන්නේ කුමක්ද? ඔවුන් රුසියාවට එරෙහි සම්බාධක වලට එක්වී නොමැත. සෙලෙන්ස්කි එහි පාර්ලිමේන්තුව ඇමතුවත් ඔවුන් ආයුධ එවීම පවා  ප්‍රතික්ෂේප කළහ. සෙලෙන්ස්කිට වඩා ඔවුන්ට වටින්නේ රුසියාව විසින් ඉරානයට න්‍යෂ්ටික ආයුධ නොදීමයි. ඒ කියන්නේ යුදෙව් රාජ්‍යය වඩා තැකීමක් කරන්නේ තම රටේ ආරක්ෂාව ගැනය. (අරාබිකරයේ තනි යුදෙව් ප්‍රජාතන්ත්‍රවාදී රජය වන එයට ඒ ගැන චෝදනා කිරීමට මටනම් නොහැකිය.)

මේ අය 1933 අගෝස්තු 25 සියොන්වාදී සංවිධානය මුදල් ඇති යුදෙව්වන් පලස්තීනයට  රැගෙන යාමට නාසි ජර්මනිය සමග කල ගිවිසුම ගැන දන්නවාද?  ඒ ගැන ඉංග්‍රීසි ලිපියක් මෙහි ඇත.  ඒ වන විටත් නාසීන් විසින් යුදෙව් මර්දනය දියත් කර තිබුණි. යුදෙව් මර්දනය වෙනත් රටවලද පැතිර යමින් තිබු නිසා සියෝන්වාදීන් කළ ක්‍රියාව ගැන මගේ විවේචනයක් නැත. එසේම සෙල්න්ස්කි නාසී කණ්ඩායම් හමුදාවට ගැනීම ගැන  විවේචනයක් ද නැත. විවේචනය ඇත්තේ ඒ බව සැඟවීමට තැත් කිරීමයි. ඒ සැඟවීම කරන්නේ  එය රුසියාවේ තර්කයට වාසියක් වන නිසාය.  
නාසින් ඇරඹු දෙවන ලෝක යුද්ධ සමයේ ඝාතන කඳවුරු  හා ගෙටෝවල පාලනයට නාසීන් යුදෙව්වන් භාවිතා කල අතර ඔවුන් හැඳින්වුණේ යුදෙන්රට්  යනුවෙනි. මේ අයගෙන් සමහරු තම පවුල්බේරා  ගැනීමට වෙනත් යුදෙව්  පවුල් ජර්මන් එස් එස්  භටයන්ට සහ ගෙස්ටාපෝ  වට පාවා දුන්හ. මේ ඉතිහාසය මගින් පැහැදිලි වන්නේ යුදෙව් වූ පමණින් කිසිවකු නාසීන් සමග ගිවිසුම් ගත වන්නේ නැතැයි  අපට නිශ්චිතව කිව නොහැකි බවයි.  එනිසා පෙනෙන්නේ එවැනි  තර්කයක අතිශය බොළඳ කම පමණකි. 

5. පෙට්‍රෝ ඩොලරය
පෙට්‍රෝ ඩොලරය ගැන කියවීමට පෙර එකොනෝ ගේ බ්ලොගයේ ලියා ඇති මේ ලිපි දෙක,  සල්ලි බාල්දු වීමේ කතාව හා රත්තරන් මංකොල්ලය කියව්වොත් වඩා හොඳ වැටහීමක් ලැබෙනු ඇත.  බොරතෙල් අපනයනය කිරීමේදී සිදුවන ගනුදෙනු  සඳහා යොදා ගන්නේ වැඩි වශයෙන්ම ඇමෙරිකානු  ඩොලරය  නිසා පෙට්‍රෝ ඩොලරය යන නම වැටී ඇත. ඇමෙරිකානු ඩොලරයේ අගය  මුලින් තීරණය වූයේ රත්රන් මතය. 1970 කාලයේ තෙල් මිල ඉහල යාමෙන්  ඇතිවූ අර්බුදයත් තෙල් අපනයනය කරන රටවල ඇති වූ  මුදල් අතිරික්තයත්  මත ඩොලරය තෙල්ග නුදෙනු වලට භාවිතා වීම ඇරඹුණි. ඩොලරයේ බලය තහවුරු කිරීමට  ලොව විශාලම ආර්ථිකය  හා බලවත්ම හමුදා බලය හිමි රට වන ඇමෙරිකා  එක්සත් ජනපදය සිටීමද  ඇමරිකාව වඩාත් භාණ්ඩ   ආනයන කරන රටක් වීමද ඩොලරය  වඩා ජනප්‍රිය මුදල් ඒකකය වීමට  වඩාත් බලපෑ සාධකය.   
 මේ නිසා සියලුම රටවල් ඩොලර් සංචිත තබා ගැනීමට පෙළඹුණි. ලෝකයේ මුදල් ඒකකය වුයේ මේ අනුව අමෙරිකානු ඩොලරයයි. බ්‍රිතාන්‍ය පවුමට ඒ තැන තිබුනද බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය අවසන් වීමත් සමග එය නැතිවුණි.

 මේ පෙට්‍රෝ ඩොලරය නිසාම ඇමෙරිකා  එක්සත් ජනපදයට ලෝකයේ ප්‍රබල දේශපාලන අධිකාරයක්ද හිමිවුණි.  පෙට්‍රෝ ඩොලරයේ අධිකාරයට අභියෝග කිරීම ලෙහෙසි නැත. එසේ කිරීමට තැත් කල ලිබියාවේ ගඩාෆි බලයද අහිමිව මරා දැමුණි. ඒ යුද්ධය  ඇරඹු  නේටෝ සංවිධානය ලිබියාවට බෝම්බ හෙලීමට හොඳ වැදගත් හේතුවක් පෙන්වීමට ද අසමත් විය. එයට ප්‍රථම  ලිබියාව ත්‍රස්තවාදීන්ට සෝවියට්  අවි සැපයු රටක් වුවද සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු  ප්‍රංශය හරහා බටහිර සමග හිතවත්කමක් ගොඩ නගාගෙන තිබුණි. 
 
පෙට්‍රෝ ඩොලරයට ඊලඟ තර්ජනය පැමිණියේ යුරෝ මුදල් ඒකකයෙන් සහ චීනයේ යුආන් හෙවත් රෙන්මින්බි වලිනි. චීන රජය සහ සමාගම් යුආන් වලින් තෙල් වලින්  ගෙවීම ඇරඹු අතර එනිසා මුදල් ඒකකය  පෙට්‍රෝයුආන්  නමින්ද හැඳින් වේ. රුසියාව තමන්ගේ තෙල්, ගෑස්  සහ ගල් අඟුරු යුරෝපයට යුරෝ වලින් විකිණීම ආරම්භ කරන ලදී. මේ නිසා ඩොලරයේ අගය කිසියම් ප්‍රමාණයකින් පහත  වැටුණි.  නමුත්  පෙට්‍රො ඩොලරය ඉහල පවතින්නේ අමෙරිකා එක්සත් ජනපදය ලෝකයේ විශාලතම දැවී තෙල් නිෂ්පදකයා නිසා මෙනම් ඔපෙක් සංවිධානයේ රටවල් තවමත් ගනුදෙනු කරන්න ඩොලර් වලින් වීම නිසාය.

රුසියාව උක්රයිනය (ඉංග්‍රීසියෙන් යුක්‍රේනය) ආක්‍රමණය කිරීමත් ඒ හේතුව නිසා රුසියාවට සම්බාධක පැනවීමත් සමග තත්වය වෙනස්වී තිබේ. රුසියාව  තව  දුරටත් තම තෙල්, ගෑස් සහ ගල් අඟුරු ඩොලර් වලින් විකිනීමට කැමති නැත. ඔවුන් රූබල් වලින් ගනුදෙනු කරන ලෙස තෙල සහ ගෑස් ආනයන කරන රටවලට දන්වා තිබේ. . යුරෝපය විශේෂයෙන් ජර්මනිය එයට කැමති  නැත. රුසියාව ගිචිසුම් වෙනස් කරන බවට තර්ජනය කරයි. ඔචුන්ට එසේ කල හැකිය. නමුත් ඉදිරියේදී යුරෝපයට වෙන විකල්පයක් නැති අතර රුබල් වලින් ගෙවීමට සිදුවේ. රූබලය පෙට්‍රෝ රූබල් බවට  පත්වීම එක්සත් ජනපදයට දැඩි තර්ජනයකි. දැමූ සම්බාධක ආපහු හැරෙමින් ඇමෙරිකාවේ ආර්ථිකයට ප්‍රශ්න ඇති කරයිද?

දැනට නම් ඒ බවක් පෙනෙන්නේ නැත. ජෝන් කෙනඩි තුර්කියේ පිහිටවූ මිසයිල හොරෙන් රෑ යාමයේ ඉවත් කර න්‍යෂ්ටික යුද්ධයක්  වළක්වා ගත්තද ඇමෙරිකාවේ ආයුධ වෙළෙන්දන් ගේ උදහසට ලක්විය. බයිඩන් එතරම් මෝඩ නැත. ඔහු අති විශාල ආයුධ ප්‍රමාණයක් උක්රයිනයට සපයන අතර බ්‍රිතාන්‍යය ද  එයම කරයි. මේ නිසා ආයුධ නිපදවන සමාගම් වලට කරල පැහී තිබේ.   

ඊළඟ තර්ජනය එන්නේ ස්විෆ්ට් නමැති බැංකු හරහා මුදල් හුවමාරු කිරීමේ ක්‍රමයෙන් රුසියාව  ඉවත් කිරීම නිසාය.  2014 ක්‍රිමියානු ආක්‍රමණයෙන් පසු  රුසියාව තමන්ගේම ක්‍රමයක් වර්ධනය කරමින් සිටියි.  මුල්‍ය ගනුදෙනු මාරු පිළිවෙත (SPFS) යනුවෙන් මෙය නම් කර ඇත. ප්‍රශ්නය නම් ඔවුන් එය චීන ක්‍රමය සමග ඒකාබද්ධ කිරීමට දරන ප්‍රයත්නයයි.  චීන ක්‍රමය "දේශ සිමා අතර අන්තර බැංකු ගෙවීම් ක්‍රමය " හෙවත් CIPS  නමින් හැඳින්වේ. මේ දෙක ඒකාබද්ධ කළහොත් චීනය හා රුසියාව හරහා තෙල් සහ ගෑස් හුවමාරු ගනුදෙනුව සිදුවනුයේ රූබල් හා පෙට්‍රෝ යුආන් අතරය. මෙය පෙට්‍රෝ ඩොලරයට මෙන්ම ඇමෙරිකානු දේශපාලන අධිකාරිය ටද බලවත් පහරක් එල්ල කරයි.

මේ අතරම ඉන්දියාව සහ පකිස්ථානයද රුසියාව සමග තමන්ගේ මුදල් ඒකක වලින් ගනුදෙනු කිරීමට සැරසේ.   ඉන්දියාව මාර්තු අග සිට මේ ගනුදෙනුව ඇරඹීමට සූදානම් වන බව මෙම ලිපියෙන් පැහැදිලි වේ.  පකිස්ථානයට  තෙල් සපයන්නේද ඉන්දියාවට ආයුධ සපයන්නේද රුසියාවයි. 
  
ඉන්දියාව රුසියාවට එතරම් අපනයනය කරන දෙයක් ඇත.  මේ නිසා ආනයන අපනයනඅනුපාතය  රුසියාවට වාසි දායක ලෙස තිබුනත් දැන්  ඉන්දියානු  සමාගම්, බටහිර සම්බාධක වලින් රුසියාවට අහිමි වන භාණ්ඩ හා අමුද්‍රව්‍ය සැපයීමට සුදානමින් සිටි. ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට රජ මගුල්ය.

පූටින් චීනය අනුගමනය කරන බව මම 2014 ලියූ ලිපියක පැහැදිලි කලෙමි. (ලිපියේ යොමුව උඩ) . රුසියානු ඔලිගාර්ක් ලා කෙරෙහි ඔහුගේ බලපෑම චීන රජය චීනයේ බිලියනපතියන් හා ධනපති සමාගම් වලට දක්වන බලපෑමම  මෙනි. එසේම පූටින් ගේ දේශපාලන ක්‍රමයද ඒකාධිකාරී එකකි.  කොමියුනිස්ට් පක්ෂයක් නැති වුවද පූටින් විරුද්ධ පක්ෂ තදින් මර්දනය කර ඇත. එසේම රුසියාව තුල ඔහු මිශ්‍ර  ධනවාදී අර්ථ ක්‍රමයක් ක්‍රියාත්මක කරයි. 

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා මිනීමරු රුසියානු ජනාධිපති වරයා බලයෙන් පහ කල යුතු බව පැවසුවේ පෝලන්තයේ දීය . සාමාන්‍යයෙන් රාජ්‍යතාන්ත්‍රික  වදන් භාවිතයක දී මෙවැනි තර්ජන එසේ කෙරෙන්නේ නැත. බයිඩන් ගේ කෝපය යුක්‍රේනය නිසාම වූවක් යි මට සිතෙන්නේ නැත. පෙට්‍රෝ ඩොලරයේ  සම්බන්ධය ඕනෑවටත් වඩා වැඩිය. 

7. පූටින් තුල පැරණි  සෝවියට් ආධිපත්‍යය පිළිබඳ නොස්ටල්ජියාව (nostalgia) - ජනාධිපති පුටින් උක්රයිනයේ ස්වාධිනත්වය පිලි ගන්නේ නැත. ඔහුගේ වරද නම් රුසියානු බස වහරන උක්රයින ජනතාව  ඔහුගේ පැත්තේ යයි සිතීමයි. බහුතරයක් දෙනා රුසියාව යටතේ සිටීමට වඩා යුරෝපා සංගමය සමග සිටීමට වඩා කැමතිය.  මම අද මගේ  යහළුවෙකු වන ඉංජිනේරු කිත්සිරි  පෙරේරා සමග කතා කලෙමි. ඔහු උක්රයිනයෙන් පැමිණ තම උක්රයින බිරිඳ සමග ජර්මනියේ නතරව සිටී.  ඔහු පැවසුවේ  1990 න්  පසු උපන් නව පරම්පරාව යුරෝපීය ක්‍රමයට හැඩ ගැසුණු අය බවත් පූටින් ගේ පැරණි තලයේ ජිවන රටාවකට  ඔවුන් කිසිදාක කැමති නොවන බවත්ය. පුටින් ක්‍රිමියාව ආක්‍රමණය කල පසු ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මෙර්කල් පූටින් හා දුරකතනයෙන් සංවාදයේ යෙදුනාය. ඉන්පසු ජනාධිපති ඔබාමාට කතා කළ ඇය පවසා තිබුනේ  පූටින් සිටින්නේ යථාර්තයෙන් බොහෝ ඈත බවය. ඇගේ වදනින් "he is in another world", ඔහු ඉන්නේ වෙනම ලෝකයක යයි ඇය පවසා ඇත.

7. ********* මේ කරුණ  තහවුරු කිරීමට තවමත් අවශ්‍ය තොරතුරු මද බව නිසා දැනට නොලියමි.  ඉදිරියේදී ලිවීමට ඉඩ ඇත. 

බටහිර මාධ්‍ය  වාර්තාකරණය රුසියාවේ මෙන්ම ඒක පාක්ෂික යයි මට සිතේ. මම දැනට ග්‍රවිටාස් , අල් ජසීරා , ෆ්‍රාන්ස් 24 වැනි මාධ්‍ය වාර්තාද පරීශීලනය කරමි. 

විනාශ වන අති පෞරාණික උක්රයින නගර  දෙස බලන විට  මට දැඩි දුකක් දැනේ. කීව්, හාර්කොව්  හා මරියපෝල් වල විනාශය ශෝකජනකය. නමුත් මම බටහිර  මාධ්‍ය මෙන්  සියයට සියයක්ම  වරද එල්ල කරන්නේ තනි පුද්ගලයෙකු වෙත  නොවේ. රුසියාවේ තෙල් සහ ගෑස් 2014 ක්‍රිමියාව  පවරා ගැනීමෙන් පසු  පවා මිලදී ගත්  රටවල් සමුහයක් බටහිර වෙති.   වසර  2000 පමණ සිට බොහෝ සිද්ධීන් සමූහයක තර්කානුකුල  අවසානය 2014 ක්‍රිමියා  පවරාගැනීම  හා 2022 රුසියාව විසින් සිදුකල උක්රයින  ආක්‍රමණයයි.   

රුසියානු  ජනාධිපති පුටින් , තමන් බටහිර ආධිපත්‍යය අවසන් කරන බවට තර්ජනය කළේ නිකම්ම  නොවේ. ඔහුගේ යුද්ධ යන්ත්‍රය  පරාජය වෙමින් පවතින බවත්  යුක්රේන හමුදා ජය ලබමින් සිටින බවට ද බටහිර මාධ්‍ය වාර්තා පලවෙයි. නමුත් මට හිතෙන්නේ පුටින් තමන්ගේ  අභිප්‍රායන් බොහොමයක් සාක්ෂාත් කරගෙන ඇති බවය. ලෝකය නැවතත් 1990-2022 පශ්චාත් සෝවියට් බල අධිකාරයකට යන්නේ නැත. 

බ්‍රිතාන්‍යයේ තෙල් මිල වැඩිය. උද්ධමනය වැඩිය . මේ අවුරුද්ද අවසානය වන තෙක් රුසියානු ගෑස්  මිලදී ගන්නට සිදු වේ.  මේ ඇත්ත පලවන්නේ යන්තමිනි. ජර්මනියට,ප්‍රංශයට , ඉතාලියට, ස්පාඤ්ඤයට  රුසියානු ගෑස්  නැවැත්වීමට දැනට කල නොහැකි දෙයකි. ඇමරිකාව ආයුධ විකුණා දැනට ආර්ථිකය ගොඩ දාගත්තත් පෙට්‍රෝ ඩොලරයේ  වැටීම ප්‍රශ්නයක් වනු ඇත. එය සිදු නොවීමට නම් වෙනිසියුලාවට හා ඉරානයට ඔවුන්ගේ ඇති විරෝධතා සමනය කර ගත යුතුව ඇත.  


ඇමෙරිකානු ජනාධිපති බයිඩන් මස් වෙළෙන්දෙකු ලෙසට නම් කල  රුසියානු ජනාධිපති   පූටින් දැනටමත් ලෝකයේ අනාගත ගමන් මග වෙනස් කර ඇත. තවත් iron curtain -වානේ තිරයක් නිම වෙමින් තිබේ. මේ වර චීනය හා   රුසියාව එතුලට ගමන් කරයිද? ඉන්දියාව සිටින්නේ කොතනද? ලෝකයේ බිලියන දෙකහමාරක ජනගහනයක් හා ආර්ථිකයන්  තුනක් බටහිරට අමතක කරන්නට හැකිද? 



මරියපෝල් වල රුසියාවට පක්ෂ රුසියානු උක්රයින කොටසක්: (මේ සුළු පිරිසකි)

මේ වීඩියෝ වේ මිනිසුන් කියන්නේ රුසියානු ප්‍රදේශ වලට පහර දෙන්නේ උක්රයින් හමුදා බවයි. ඇමෙරිකානු දක්ෂිනාන්ශය  පුටින් ට සහය දෙන බවක් පෙනේ. මෙහි අර්ථය කුමක්ද  යන්න මට දැනට කිව නොහැකිය. 


- අජිත් ධර්මකීර්ති 

සබැඳි ලිපි:






Wednesday 16 March 2022

කාමරය ඇතුලේ අලියා නොදැකීම


යුක්‍රේන රුසියානු යුද්ධයේ ප්‍රධාන මායිම සලකුණු වී ඇත්තේ මෙසේය. නිදහස් ස්වාධින රටක් ආක්‍රමණය කිරීමට වෙන රටකට කිසිදු  අයිතියක් නැත යන්නය.  එය සම්පුර්ණයෙන්ම නිවැරදි ස්ථාවරයකි. එසේ නොවුහ හොත් අනිත් හැම ප්‍රබල රටක්ම කුඩා රටවල් ආක්‍රමණය  කරනු ඇත. එසේත් නැතිනම් එලෙස කරන බවට තර්ජනය කරනු ඇත.  එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ඇත්තේ එවැනි ආක්‍රමණ වැළැක්වීමටය. 
කුඩා රටවල්ද අර බලවත් රටවල් අමනාප කර නොගෙන සිටීම වැදගත්ය.  එම කියන්නේ එම රටවල් යටවී සිටීමට නොවේ උපායමාර්ගිකව කටයුතු කිරීමයි.
යුක්‍රේනයේ අද පවතින්නේ තමන් ළඟ සිටින චන්ඩියා ට කින්ඩි දමමින් ඈතින් චන්ඩින් ගෙන්වීමේ පල විපාකයකි.  නිදහස් රටක් වශයෙන්  ඈතින් චන්ඩින් ගෙන්වීමට යුක්රේනයට අයිතියක් ඇති බව සැබෑවකි . නමුත් රටේ අනාගතයත් වැසියන්ගේ ජිවිතත් පරදුවට තබා එසේ කල යුතුද? රටක් කියන්නේ ගෙයක් නොවේ. සමහරු මෙය ගෙයක් අසල චන්ඩියෙක් ජීවත් වීමට ලඝු කරති. චන්ඩියා ජනාධිපති නම් ඔබ දෙවරක් සිතන්නේ නැත්ද? චන්ඩියා ජනාධිපති නම් කල යුත්තේ ගෙදර අයගේ ජිවිත බේරාගෙන ජනාධිපති විරෝධී කෙනෙක් හොයා තමන් අයින් වී උගුලක් ඇටවීම වන්නකි. 

1. ඇමෙරිකා එක්සත් ජනපදයට සැප්තැම්බර් 11 වනදා එල්ල කල ප්‍රහාරයෙන් පසුව මම නේටෝ රටවල් ඇෆ්ඝනිස්ථානයට පහර දීම පිළිබඳව සතුටු වුනෙමි. නේටෝව ගැන මගේ සිතේ තිබුනේ පහන් හැඟීමකි. එහිදී නේටෝව ස්වාධින රටක් ආක්‍රමණය කිරීමෙන්  එක්සත් ජාතීන්ගේ වගන්තිය 2(4)  (article 2.4) කැඩීම පිළිබඳව කරදර නොවුනෙමි. වෙන්නේ මම කැමති දෙයක් නම්, වෙන්නේ හොඳ වැඩක් කියා මට සිතෙන්නේ නම් ඒ ගැන කරදර වන්නේ කුමටද යන්න මගේ ස්ථාවරය විය. බටහිර මාධ්‍ය ක්‍රියා කරන්නේද ඒ ආකාරයෙන්ම බව මට පසක් වුයේ බොහෝ පසුවය.

2. ඉරාකයට  කළ  පළමු ආක්‍රමණයට පෙර   සදාම් හුසේන් ඇමෙරිකාවේ හා බ්‍රිතාන්‍යයේ ලණු  හොඳටම ගිල්ලේය. බ්‍රිතාන්‍ය හා ප්‍රංශය  ඔහුට බිලියන්  ගණනින් ආයුධ  විකිණුහ. ඔහු කුවේට් රාජ්‍යය ආක්‍රමණය කළේය. මෙහිදී තමන්ට ඇමෙරිකාවේ අනුමැතිය ලැබුනහයි ඔහු වරදවා සිතුවේය. එවකට සිටි ඇමෙරිකානු තානාපතිනිය මේ ගැන ලියා ඇත. නේටෝව ඉරාකයට පන්න පන්නා පහර දුන්නේ එක්සත් ජාතීන්ගේ අනුමැතිය සහිතවය.  නේටෝව  දෙවන වරට ඉරාකය ආක්‍රමණය කලේ එක්සත් ජාතින් ගේ අනුමැතිය නැතිවය  (2003).
එයට ඉදිරිපත් කරන ලද පළමු හේතුව වුයේ සුළු ජාතියක් වූ කුර්දි වරුන්ට එරෙහිව රසායනික අවි භාවිතා කිරීමය (මෙහිදී 30000 කුර්දින් මිය ගියා යයි පැවසුනි) . දෙවන හේතුව වූයේ  අති ප්‍රබල මිනිසුන් දහස් ගණනින් මරණ (WMD)  බලවත් ආයුධ තබා ගත්තේ යයි චෝදනා එල්ල වුනි.  (එම අවි අදටත් සොයාගෙන නොමැත) 
ඉරාකයේ මියගිය සටන්කාමීන් නොවන සාමාන්‍ය ජනතාව  මිලියන් දෙකක් පමණ  යයි ගණන් බලා තිබේ.

3. නේටෝව යුගොස්ලවියාවට නොනවත්වා බෝම්බ දමා  පහර දුන්නේ 1991 දීය . ඒ බොස්නියන් මුස්ලිම් වරුන් ට එරෙහිව ක්‍රියාත්මක කල යුද්ධය නිසාය. මෙයටද  එක්සත් ජාතින් ගේ අනුමැතිය ලැබුනේ නැත. නේටෝව එය නොතකා ස්වාධින රටක් වූ යුගොස්ලවියාවට පහර දුන් අතර එනිසාම බෙදී වෙන්වූ රාජ්‍යයක් බවට පත්විය. හේතුව වුයේ සුළු ජාතීන්ට අමානුෂික ලෙස සැලකීම සහ යුදමය ලෙස පහර දීමයි. (කෝසොවෝ). යුගෝස්ලාවියාව බිඳී යාම ගැන පසු තැවුනත් එම රට සුළු ජාතීන්ට හොඳින් සැලකුවේ නැති සිතා එයද මට  සාධාරණීකරණය කර ගතිමි.  මේ මම ඒ ගැන ඒ කාලයේ ලියු ලිපියකි. 

4. සිරියාවේ ප්‍රශ්නයට රටවල් කිහිපයක්ම මැදිහත් වුනි. ඒ අයිසිස් නිසාය. නමුත් අයිසිස් නිර්මාණය වුනේද බයිඩන් ගේ පුත්‍රයා සහ ඊශ්‍රායල සම්බන්ධයකිනි. ඒ අසාද් බලයෙන් පහ කිරීමටය. ඒ ගැන මම ලිපි පෙළක්ම ලියා තිබේ. මේ අවසාන ලිපියයි . නමුත් අයිසිස් සංවිධානය ලෙවන්ත් නමැති පැරණි රාජ්‍යය සැදීමට උත්සුක වුන අතර ඔසාමාගේ අල් කයිඩා සංවිධානය මෙන් ඔවුන්ද  ඇමෙරිකානුවන් ගොනාට ඇන්දූහ. (ඔසාමා සහ මුජෙහදින් සෝවියට් ආක්‍රමණයට එරෙහිව පුහුණු කලේ ඇමෙරිකාවයි) . මේ නිසා ඇමෙරිකාව ඉරාක  කුර්දි හා මෙහ්දී වරුන් ට අවි සපයා අයිසිස්  වරුන්ට  එරෙහිව ප්‍රොක්සි  යුද්ධයක් දියත් කළේය. ඒ සමගම  අස්ථාවර වුනු සිරියාවේ අසාද් ට එරෙහි විධ ත්‍රස්තවාදී කණ්ඩායම් වලට උදව් කළේය.මේ සියල්ල කලේ එක්සත් ජාතීන්ගේ අනුමැතිය නැතිවය. එක්සත් ජාතීන්ගේ අනුමැතිය නැතිව පැමිණි පූටින් ගේ  රුසියානු යානා  අලෙප්පෝ  නගරය බෝම්බ දමා සමතලා කළේය. ඉරානය තව පැත්තකින් පහර දුන්නේ අයිසිස් අන්තවාදීන්ට ඔවුන්ද විරුද්ධ හෙයිනි. මේ යුද්ධයේදී මම සිරියාව පැත්ත ගැනීමට මුලික හේතුව වුනේ අසාද් තම රටේ මිනිසුන්ට හොඳින් සැලකීම නිසාය. මට සිරියානු යහළුවන් බොහොමයක් සිටි අතර තරුණ  තරුණියන් දෙකොටසටම විදේශ රටවල ඉගෙනීමට රජයෙන් ශිෂ්‍යත්ව දුනි. ඔවුන්ගේ නිදහස් සෞඛ්ය  සේවයක් හා නිදහස් අධ්‍යාපනයක්  ඇති  අතර සවුදියේ මෙන් නොව තරුණියන්ට රිය පැදවීමට හා රැකියාව කිරීමට ද පිරිමියෙකු නැතිව ඇවිදිමටද  නිදහස තිබේ. එවැනි රටක්  අයිසිස් වැනි අන්තවාදී සංවිධානයක් අල්ලා ගැනීම අපරාධයක් ලෙස සැලකුවෙමි. 
පුටින් සිරියාවට  මැදිහත් වුයේ එහි රුසියානු නාවුක හමුදා භාවිතා කරන වරායක් තිබෙන නිසාය.

සිරියාවේ මිලියනයක පමණ වූ දේශපාලන  අනාථයන්ට වැඩිපුරම රැකවරණ දුන්නේ ජර්මනියයි.  ප්‍රශ්නය ඇති කල රටවල් පවා ඒ දේශපාලන අනාථයන් භාර ගත්තේ නැත. 

5. යේමනයේ යුද්ධයේදී සවුදි අරාබිය සහ ඊජිප්තුව  කෙලින්ම ඉරානය සහයෝගය දෙන හුති ගරිල්ලනට විරුද්ධව අනිත් පැත්තට ආයුධ  දීම පමණක් නොව බෝම්බද දමති. අවුරුදු හතක්  තිස්සේ දිග ඇදී යන මේ යුද්ධයේ අනාථයින් බොහෝය. ඔවුන්ට යාමට රටක් ද නැත. දරුවන් මන්දපෝෂණයෙන් පෙලෙයි.  දරුවන් දහදාහක් පමණ දැනට මිය ගොස් තිබේ.

පූටින් ද ඉහත අන්දමේ තර්ක කිහිපයක් එකතු කර තිබේ. මා ඒවා ලිවූ පසු විවේචනය කල බොහෝ  අය පැවසුවේ මා පූටින් ගේ ආක්‍රමණය සාධාරණිකරණය කරන බවයි. මධ්‍යස්ථ ස්ථාවරයක්  ගැනීම යනු පූටින් ගේ පැත්ත ගැනීම බවත් තිබෙන එකම නිවැරදි ස්ථාවරය යුක්රේන් පැත්ත බවත් ප්‍රබල මතයක් සමාජ මාධ්‍ය වල  පැතිරෙයි. මේ මතයට හේතුව මාධ්‍ය වල මෙහෙයුම යයි සිතමි. ලිබරල් සුරතලෙකු  වන පකිස්ථාන අගමැති ඉම්රාන්  ඛාන් ද ඉන්දියාවද රැගෙන ඇත්තේ මධ්‍යස්ථ ස්ථාවරයකි. ඒ කියන්නේ මේ අයට අනුව ඒ පූටින් ට සහය දැක්වීමකි.

මේ හිස්ටිරියාව ඇති කර ඇත්තේ මාධ්‍ය විසිනි. මෙහි දරුණු බව කෙතරම්ද යත් ඩොස්ටොයෙව්ස්කි ගේ පොත්  පිළිබඳ  උගන්වන  විශ්ව විද්‍යාල පාඨමාලා ඉවත් කර තිබේ. පූටින් ගේ ආක්‍රමණය හා ඩොස්ටොයෙව්ස්කි අතර සම්බන්ධය හරියට  හැත්තෑ එක කැරැල්ලේදී ලංකා පොලිසිය  "ගම්  පෙරළිය " පොත අත් අඩංගුවට ගත්තාක් මෙනි. වොඩ්කා තහනමට අමතරව චයිකොව්ස්කි වැන්නන්  ගේ සම්භාව්‍ය සංගීතයද ඔපෙරා ආදියෙන් ඉවත් කරමින් යයි. මෙය විකාරයකි. 

පූටින් ගේ එක තර්කයක් නාසි හමුදාය. 
බටහිර මෙන්ම ශ්‍රී ලංකාවේ ලියන්නන් ගේ ද ප්‍රධාන තර්කයක් වන්නේ නාසි කොටස යුක්රේනයේ නැත යන්නය. ඒ මදිවාට මෝඩ තර්කද  ඉදිරිපත් කරති. එනම් අසොව්  බලකාය හැදුනේ යුක්‍රේනයේ  සටන් කරන චෙචේනියානු මුස්ලිම් බලකායට විරුද්ධව කියාය.  සුදු ජාතිවාදීන් (white nationalist group) විසින් එම බලකාය  එය පිහිටෙව්වේ 2014 දීය.  එදා සංචිතය භටයන් 12000 කින් සමන්විත වුවකි. . 
මේ තිබෙන්නේ එම බලකාය ගැන වීඩියෝ එකකි.


මේ බිබිසි මගින් යුක්‍රේනයේ නාසීන් ගැන 2018 දී කළ විඩියෝවකි. 


මේ 2015 එකකි. මින් පෙනී යන්නේ මේ කණ්ඩායම් ඊයේ පෙරේදා හැදුනු ඒවා නොවන බවයි. නාසි හමුදා ඛණ්ඩාංක  සමහර නම් මෙසේය:  ස්වබෝදා (නිදහස ) , ප්‍රාවී සෙක්ටර් (දකුණු අංශය ) , නැෂනල් කෝ , ඇසොව් හමුදාව, අයිඩර් හමුදාව, දොන්බාස් හමුදාව, ද්නිපර් -1 හමුදාව. ද්නිපර් -2 හමුදාව.  Svoboda, Pravy Sektor, National Corps, C14, the Azov Battalion, the Aidar Battalion, the Donbas Battalion, the Dnipro-1 Battalion, the Dnipro-2 Battalion

හැබැයි යුක්රේනයට මේ චෝදනාව ගෙන ආවද පූටින් ගේ රුසියාවේද තරුණ තරුණියන්ට කැපවුණු ජාතික  ව්‍යාපාරයක් ඇත. අරුම පුදුම ලෙස එහි නම නාශි ය. නාශි යන රුසියානු වචනයේ තේරුම "අපි " යන්නය. නමුත් එය බොහෝවිට බටහිර විරෝධී ජාතිවාදී සංවිධානයකි.  එය ඔලිගාර්ක්ලාට , නාසින්ට , ෆුට්බෝල් රස්තියාදුකරුවනට විරුද්ධ සංවිධානයක් වුවද විරුද්ධ පාක්ෂිකයන්ට පහර දුන් අවස්ථා ඇත.

සෙලෙන්ස්කි මේ අයට මුලදී සහයක් දැක්වූයේ නැත. ඔහු රුසියාව සම්බන්ධව මිත්‍රශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. නමුත් ඔහුට විරුද්ධව විරෝධතා (යනුකොවිච් ට මෙන්) වැඩි වන විට ඔහු මෙම කණ්ඩායම් යුක්‍රේනයේ සාමාන්‍ය හමුදාවට අනුයුක්ත කළේය. (ඇසොව් බලකාය අනුයුක්ත කලේ ඊට කලිනි)


දැන් යන මාධ්‍ය මෙහෙයුම අතිශය අන්තරාකාරී එකකි. මධ්‍යස්ථ හා රුසියාව පැත්තට කතා කරන  කිසිම දෙයක් ෆේස්බුක්, ගූගල් හා යුටියුබ් වලින් ඉවත් වෙමින් පවතී. එසේ වන්නේ  යුක්‍රේනියානු ජාතිවාදීන් බොහොමයක් ඒවාට එරෙහිව චෝදනා කරන හෙයිනි. ඔවුන්ට අවශ්‍ය රුසියාව  සමග යුද්ධයයි. රුසියාවට අවශ්‍ය ඔවුන් නිරායුධ කිරීමයි. නේටෝවට අවශ්‍ය පුටීන් ඉවත් කිරීමටයි. පුටීන් ට සහ බහුතරයක් රුසියානුන් ට අවශ්‍ය නේටෝව රුසියාව අසලට මිසයිල සමග නොපැමිණීමයි. රුසියාවේ තත්වය ඊට දෙවැනි නැත. රුසියාවේ නිදහස් මාධ්‍ය සියල්ල තහනම් කර හෝ වසා දමා ඇත. රුසියානුන් දන්නේ  ජනාධිපති පූටින් අනුමත  කරන දේ   පමණකි. යුක්‍රේන ප්‍රශ්නය ගැන කාලයකට  කලින් පටිගත කෙරුණු වීඩියෝවක් තිබේ.  
 
යුක්රේනය ගිනි ගනී නමැති මේ චිත්‍රපටය දැන් යුටියුබයෙන්  ඉවත් කර තිබේ. කිසිවෙකු විසින් එය මේ ස්ථානයේ රඳවා ඇතත් එය ඉවත් කිරීමට ඉඩ තිබේ.  මේ වීඩියෝවේ කියන  සියලුම දේ නිවැරදි නොවූවත් රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කරන බවට ඉඟියක් එහි පළවේ. 

තම රට එක්සේසත් කිරීම සඳහා පූටින්  චෙචේනියාවේ ග්‍රොස්නි  නගරය සම්පුර්නයෙන්ම සමතලා  වන තුරුම  බෝම්බ දැම්මේය. ඒ ඊට කලින් රුසියානු හමුදාව  දුදායෙව් ගේ හමුදා වලින් පරාජය කිරීමේ  පලිය ගැනීමටත් සමගය. එහිදී මියගිය ප්‍රමාණය 25000 ත් ලක්ෂ දෙකත් අතර වනු ඇති ගණන් බලා ඇතත් කිසිවෙක් එය නොදනී.  රුසියානු සොල්දාදුවන් අටදහසක් පමණ මිය ගොස් ඇත. පූටින් සහ රුසියාව ඔවුන් රණ විරුවන් කර ඇත. රුසියානු මව්වරුන්ට ඇර වෙන කාටවත් එය ප්‍රශ්නයක් නොවේ. චේචේනියාව නැවතත් රුසියානු පාලනයට ගැනීම ගැන  ඔවුන් සතුටු වෙති. සිරියාවේ අලෙප්පොවේ සිදුවූයේද එයයි. යුක්රේනයේ නගර වලට සිදු වන්නේද සිදු වන්නට යන්නේද එයයි. මම ඒ බෝම්බ දැමීමට  සහයෝගය දෙනවා නොවේ. සාම සාකච්ඡා හා යථාර්තය පිලි ගැනීම කෙතරම් වැදගත් ද යන්න මම මේ යුද්ධය පිළිබඳ ලියු හැම ලිපියකම සඳහන් කලෙමි. 

රුසියාව විසින් කරන්නේ ජන ඝාතක යුද්ධයකි. නෙටෝවේ ඉහත සඳහන් යුද්ධද ශ්‍රී ලංකාවේ යුද්ධයද බුරුමයේද අනිත් තැන්වලද ජනඝාතක යුද්ධ සිදු විය. සිදුවෙමින් පවතී. නමුත් ඒවා නිසාය කියා   පූටින් ගේ ජන ඝාතක යුද්ධය ට සමාව දීමට නොහැකිය. නමුත් මෙහි වරද සම්පුර්ණයෙන්ම පූටින් ටම පැවරිය නොහැකිය. බටහිර මාධ්‍ය කියන්නේ එසේය. වැරැද්ද එතනය. මරියෝපොල් නගරයේ රුසියනුන් හා යුක්‍රේන් වරු සමසේ සිටිති (ලක්ෂ දෙකක් පමණ). පුටින් එය සම්පුර්ණයෙන්  සමතලා නොකරන්නේ එහි සිටින රුසියානු ජනතාව නිසා යයි සිතමි. නමුත් පූටින් නොසිතු ප්‍රශ්නය වූයේ එහි සිටින රුසියානු ජනතාව පූටින් යටතේ නොව යුක්රේනය සමග සිටීමට දක්වන කැමැත්තයි.  පහත ඇති විඩිය වෙන් එය පැහැදිලිය. මේ ප්‍රශ්නය පූටින් ට අනිකුත් නගර වලින්ද මතුවී තිබේ. යුක්‍රේනයේ රුසියානුන් ආක්‍රමණයට විරුද්ධ වීම නිසා රුසියානු සොල්දාදුවන් ඔවුන්ට වෙඩි නොතැබීම ප්‍රශ්නයක් වී තිබේ. රුසියාව හෙමින් යාමට එක හේතුවක් වන්නේද එයයි. (අනෙක නම් කලින් ලිපියේ සාකච්චා කල දෙවෙන ලෝක යුද්ධයේ සැලසුම් අනුව යාම) 

මම  1991 යෙල්ට්සින් මොස්කව් වල ඔහුගේ විප්ලවය මෙහෙයවන විට එහි සිටියෙමි. රුසියානු හමුදාවේ යුද්ධ ටැංකි කුමන්ත්‍රණ කල කොමියුනිස්ට් නායකයන් මොස්කව් මධ්‍යයට ගෙන ආවද ඔවුන් ජනතාවට වෙඩි තැබීම ප්‍රතික්ෂේප කළහ.  බොහෝවිට යුක්‍රේනයේ අනිත් නගර වල සිටින රුසියානුවන් මේ යුද්ධය අනිත්  පැත්තට හැරවීමට හේතුවක්  විය හැකිය. 
නමුදු  ප්‍රශ්නයක් වන්නේ ඔවුන් පූටින්  ට විරුද්ධ පැත්තේ සිටියද යුක්‍රේන හමුදාවේ ජාතිවාදී සේනාංක කොටස්  (ඉහත දැක්වූ නම් බලන්න ) ඔවුන්ට නගර වලින් එලියට යාමට දෙන්නේ නැත. ඔවුන්ද ඒ පෙදෙස් වලට ප්‍රහාර  එල්ල කරති. (හරියට ශ්‍රී  ලංකාවේ දෙමළ  ජාතිවාදයට විරුද්ධ දෙමළ  අයද ඒ පැත්තට ජාතිවාදී සිංහලයන් විසින්  ඇද දැමු අයුරින්) මේ ප්‍රවෘත්ති බටහිර මාධ්‍ය වල යන්නේ නැත. 

එක්කෝ නේටෝවත් රුසියාවත් දෙකම වැරදි විය යුතුය.  නැත්නම් දෙගොල්ලම හරි විය යුතුය. සෙලෙන්ස්කි මෙහි රඟ  පාන්නේ  useful idiot  හෙවත් අවශ්‍ය මෝඩයා ගේ චරිතයයි. පමාවී හෝ ඔහුට මෙය අවබෝධ වන දවසක් එනු ඇත.  
(ඒ දවස පැමිණ ඇති බව මේ ලිපියෙන් පෙනේ. Ukraine will not join Nato, says Zelenskiy, as shelling of Kyiv continues.)


 රටක් වශයෙන් නේටෝවට ඇතුළු වීමට අයිතිය තිබේ යන  සුන්දර කතා ලිවිම පලක් ඇති දෙයක් නෙමේ. දෙමල ජනතාවට ස්වයං නිර්ණය ඇති මුත් ඉන්දියාව එයට කිසි සෙත් ඉඩ දෙන්නේ නැති බව කීවිට මගේ සමහර දෙමළ  මිතුරන් මෙන්ම ශ්‍රී ලංකාවේ රැඩිකල් වම වෙනුවෙන් පෙනී සිටිනා මිතුරන් ද  කීවේ මා ජාතිවාදියෙකු බවය.
දැන් අප අතර නැති පිටරට මාධ්‍යයක වැඩ කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු එම චෝදනාවම මට එල්ල  කලේ මම ජවිපෙට සම්බන්ධ ජාතිවාදියෙකු බව කියමිනි. මම එදා ඔහුට කීවේ ශ්‍රී ලංකා හමුදාව කැරලි දෙකක්  මර්දනය කර තිබෙන බවත්   එසේ කරන ලද්දේ ඉතා දරුණු ලෙස බවත්ය. සාම සාකච්චා වලින් ඉවත් වෙන  ප්‍රභාකරන් හා එල් ටි ටි එකට සිදු වන්නේ ද එය බවයි. ඉන්දියාව ශ්‍රී ලංකා දෙකඩ කිරීමට කැමති නැත. එය ඔවුන්ට ප්‍රශ්නයක් වන නිසාය.  එල් ටි ටි එක කල යුත්තේ සාම සාකච්චා වල සිටිමින් ඊළම නොව සාමාන්‍ය යම් බලතල සහිත පාලනයක් ගැනීමය. ඔහු කිවේ එල් ටි ටි එක ඉතා බලවත්  බවත් ලංකා හමුදාවට හැරෙන්නට වත් බැරි බවත්ය.   මගේ දෙමල මිතුරන්ද ඔය ඉන්දීය කතාවට විරුද්ධ වූහ. එසේම ඔවුන් සිතුවේ බටහිර ඔවුන්ගේ සහයට එයි කියාය. ඔවුන් උදම් ඇනුවේ ඉන්දියාව එළවූ බව කියමිනි. බොහෝ දෙනෙක් මිය යමින් මේ කතාවේ ඉතිරිය ඉතිහාසයට අයිති වුනි.  මගේ එකම ස්ථාවරය වූයේ ජාතිවාදියෙකු නොවීමය.


කෙනෙකු තවත් ප්‍රශ්නයක් අසා තිබුනේ බලය  ඇති නිසා, ශ්‍රී ලංකාව චීනයට සහය දෙන්නේ යැයි කියා, ඉන්දියාවට ලංකාව ආක්‍රමණය කිරීමට අප ඉඩ දෙන්නේද? මෙය කියවන්නා  නොමග යවන ප්‍රශ්නයකි. ශ්‍රී ලංකාව ඕනෑ තරම් චිනයට සහයෝගය දී ඇත. විශේෂයෙන්ම  සිරිමාවෝ රාජ්‍ය සමයේදී ඒ බව මට හොඳින්  මතකය. චෞ එන් ලායි ශ්‍රී ලංකාවේ  හොඳ මිත්‍රයෙකු වී සිටියේය. ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ට ප්‍රශ්නයක් තිබුනේ නැත. ප්‍රශ්නය ආවේ 1977න් පසු ජේ ආර් ඇමෙරිකාවට සහයෝගය දීම නිසාය.  එසේම ෆෝක්ලන්ඩ් යුද්ධයේදී බ්‍රිතාන්‍යයට සහය පලකළ රටවල් හතෙන් එකක් වුයේ ශ්‍රී ලංකාවයි.  ඉන්දියාව මේවා ඉවසුවේ නැත.

ඉන්දියාව මෙහිදී  වැරදිය. එසේම  නේටෝව ඉරාක - කුර්දි ප්‍රශ්නය භාවිතා කලාක්  මෙන් ඉන්දියාව ලංකාවට එරෙහි වීමට  භාවිතා කලේ දෙමළ  ප්‍රශ්නයයි. පූටින් භාවිතා කරන්නේ  නැගෙනහිර උක්රයින  දොන්බාස් රුසියානුන් ගේ ප්‍රශ්නයයි. ලංකාව ඇත්තටම දෙමළ ජනතාවට හොඳින් සැලකුවේ නැත. නමුත් ඒ නිසාම  ඉන්දියාව ලංකාව ආක්‍රමණය කිරීම වැරදිය. එසේම එදා  මුළු බටහිර ලෝකයම හා සෝවියට් දේශයද  සහයෝගය දුන්නේ ඉන්දියාවටය.

දොන්බාස් පෙදෙසේ මෙන්ම  අනිත් තැන්වලද රුසියානු භාෂාවෙන් වැඩ කිරීම  යුක්‍රේනියානු  රජය තහනම් කළේය. පාසල් වල එම බස ඉගෙනීම පවා තහනම් කළේය. යුක්රේනියානු බස නොදන්නේ නම් රජයේ උසස්වීම් ලබන්නට නොහැකිය. මේ ක්‍රියා යුරෝපා සංගමය  හෙළා දකින්නට මැලි වුනි. ඒවා පිට දමමින් ක්‍රිමියාව  ඈඳ ගත්  පුටින් යුක්රේනය දෙකඩ කළේය.  නමුත් ඇත්ත හේතුව ක්‍රිමියාවේ සේවස්තොපල් වරාය නේටෝවට හිමිවීම වැළැක්වීමයි.
 
ශ්‍රී ලංකාවේ ඇතැමුන් යුක්‍රේනය  රුසියාවට තර්ජනයක්  නිසා එය ආක්‍රමණය කිරීමට රුසියාවට හැක යන අදහසක්  පවසන බව දැන ගතිමි.   මෙය මෝඩ තර්කයකි. තර්ජනය යුක්රේනය නොවේ. එහි මිසයිල පිහිටුවීමට දරන තැතය. එම අදහස පිටුපස ඉන්නේ නේටෝවය. තර්ජනය නේටෝවෙනි.

චීනය ලංකාවේ මිසයිල පිහිටුවන්නට ලැහැස්ති වුවහොත් ඉන්දියාව ලංකාව අනිවාර්යයෙන් ආක්‍රමණය කරනු ඇත. එදාට ලංකාව  ස්වාධින රටක්ය  කියා  කිසිවෙකුට කරන්න පුළුවන් ලබ්බක් ද නැත. චීනය ඉන්දියාව සමග සටනට ගියොත් මිස වෙන කවුරුත් ලංකාව වෙනුවෙන් සටනට එන්නේද නැත. චීනය ඉන්දියාව සමග සටනට ගියොත් න්‍යෂ්ටික අවි සහිත රටවල දෙකක් නිසා ඇතිවන තෙවන ලෝක යුද්ධයෙන් ලංකාව වැනසී යනු ඇත.

සෙලෙන්ස්කිට මට කියන්නට ඇත්තේද එපමණය.

මේ රටවල ශිතල අන්තිම දරුණු ශීතලක් බව මා දන්නේ එහි ජිවත්ව සිටි බැවිනි.  කඩයකින් ඉවීමට බඩු රැගෙන  නවාතැනට යනටික පවා දරුණු  ශීත සමයේ ඉමහත්  මහන්සියක් දනවයි. ෂෙල් වලට ජීවිතය බේරා ගැනීමට දිවීම, බිම් ගෙවල වල වතුර නොමැතිව, ආහාර නොමැතිව  ශීතලේ සිටීම කොපමණ අපහසුද? අපට බටහිර හෝ ඔස්ට්‍රේලියාව , කැනඩාව  වැනි රටවල් වල සිට  යුක්‍රේනයට  සටන් කරන්නට කියා ලියන්නට පුළුවන.  නමුත් එහි  අමාරුව  දන්නේ එහි ජිවත් වෙන මිනිසාය. ආක්‍රමණිකයාට එරෙහිව කරන යුක්‍රේන සටන සුන්දර අදහසක් බව ඇත්තය. එය  හරියට ස්ටාර් වෝස්  චිත්‍රපටයේ  විප්ලවීය ගරිල්ලා සන්ධානය (Rebel Alliance) එක එම්පයර් එකට එරෙහිව සටන් වැදීම මෙන්  අපට උත්ප්‍රාසය මෙන්ම  සතුට දනවයි. මහා සතුරෙකුට,  ගොලායත් ට විරුද්ධව  කුඩා ඩේවිඩ් ගේ සටන හා එහි ජයග්‍රහණය ට හැමෝම උදම් වෙති. ශ්‍රී ලංකා හමුදා එල්ටිටිඊ සංවිධනයට විරුද්ධව කළ  සටනේ බටහිර මාධ්‍ය ශ්‍රී ලංකාව පැත්තේ සිටියේ නැත. ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාව ක්‍රිකට් කුසලානය ඔසවනවිට ඔවුන් සිටියේ ලංකාව පැත්තේය.  අද හැමෝම යුක්‍රේනය පැත්තේ ඉන්නේ ඒ අනුවය. 

නමුත් සැබෑව නම් යුක්රේනය පිටුපස රුසියාවට  වඩා බලවත් නේටෝ සංවිධානය සිටීමයි.  මෙතැන ඇත්තේ බලවත් යුධ කඳවුරු දෙකක් අතර හාල්මැස්සන් ගේ භුමීයේ පවතින  සටනකි. 

මේ යුද්ධය මාධ්‍ය කියන  ආකාරයට දිනාගෙන යන්නේ  යුක්රේනයයි. නමුත් එසේ  දිනනවා නම් ජනාධිපති බයිඩන්  තෙල් සහ ගෑස් රුසියාවෙන් ගැනීම  තහනම් කරන්නේ නැත. එක්සත් රාජධානිය මේ අවුරුද්ද අවසානය වන විට රුසියානු තෙල් සහ ගෑස් මිලට  ගැනීම නවතන බව කියයි. යුරෝපය ගෑස් නවතන බවක් කියන්නේම  නැත.  ගෑස් සහ තෙල් වලින් රුසියාවට  දිනකට ඩොලර් බිලියන් එකත් එකහමාරත් අතර  ආදායමක් ලැබේ. ඒ වෙනුවට රුසියානු ධනපතීන් හෙවත් ඔලිගාර්ක්ස් නොහොත්  කතිපයාධිකාරීන් (වචනය උපුටා ගත්තේ මෙතැනිනි.)  ලාට සම්බාධක පනවා ඇත. එයින් පූටින් ට වත් රුසියානුන් ට වත් වගේ  වගක් නැත. නැතිවන්නේ ඔවුන්ගේ මුදල් නොවේ. ආයෝජන නැතිවන්නේ බටහිරටමය. රුසියානුන් ඔලිගාර්ක්ස් ලාට කොහොමටත් කැමති නැත. සෝවියට් දේශයේ මහජන  මුදල් සොරා ගත්  ඔවුන්ට නවාතැන් දුන්නේ ලන්ඩනය ඇතුළු බටහිර යයි ඔවුහු චෝදනා කරති. එයත් නිවැරදිය. රුසියාවට පැනුන සම්බාධක වලින් ඔවුන්ට යම්  පහරක්  වැදෙනු  ඇත. හැබැයි රුසියාව මිලදී ගන්නා සුඛෝපභෝගී භාණ්ඩ නැතිවීම නිසා පහර වදින්නේ නාගරික ජනයාටය. පූටින් ට විරුද්ධ උද්ඝෝෂණ වලට යන්නේ ඔවුන්ය.  තවමත් බහුතරයක් රුසියානු ජනතාව ඉන්නේ පූටින් ගේ පැත්තේය. 

 බටහිර ජිවත්වන අපට වැදෙන  පහරද සුළුපටු නැත. ලන්ඩනයේ තෙල් මිල නොවූ විරු ලෙස ඉහල ගොස් ඇත. වාහනයේ පෙට්‍රල් ටැංකිය පිරවීමට යන මුදල දෙගුණ වී ඇත. මාසික ගෑස් මිල දෙගුණ වී ඇත. ඒ නිසා අනිකුත් බඩු  බාහිරාදියේ මිලද ඉහල යමින් පවතී. සීඝ්‍ර උද්ධමනයක් අත ළඟය.  බටහිර ආර්ථිකයට වදින පහරද සුළුපටු නැත. ඒ ආර්ථික යුද්ධය එන්නේ ඉදිරියටය. 

පූටින් ඇරඹු යුද්ධයෙන් තවත් අයට වාසි සිදුවී ඇත. 
වෙනිසියුලාවේ සමාජවාදී ආණ්ඩුව තව දුරටත් නරක එකක් නොවේ.එහි ජනාධිපති  නිකොලස් මදුරෝ චෝයි බබෙකි. මේ බව අපට කියන්නේ  එහි ගිය ඇමෙරිකානු නියෝජිතයන්ය. ඔවුන්ට පැනවූ සම්බාධක ලිහිල් වෙන අතර අඩු මිල තෙල් ලෝක වෙළඳ පොලට ඒමට නියමිතය. රුසියාවෙන් නොගන්නා තෙල් ඇමෙරිකාව සැරසෙන්නේ වෙනිසියුලාවෙන් ගැනීමටය. 

එසේම ඉරානයේ  සිර  දඬුවම් විඳිමින්   සිටි බ්‍රිතාන්‍ය පුවත්පත් කලාවේදිනිය අද නිදහස් කරන ලදී. ඒ නිසා (allegedly ඒ නිසා) ඉරානයේ තෙල් වලට පනවා ඇති සම්බාධක  ඉවත් වෙනු ඇත. බොරිස් ජොන්සන් අද සවුදි අරාබියට ගියේ අසූ එක් දෙනෙකු එල්ල මැරූ හේතුව අහන්නට නොවේ. තෙල් නිෂ්පාදනය වැඩි කරන්නට කියන්නටය.
මේවා ඔක්කොම අපට හොඳය. ඒ නිසා කට වහගෙන සිටීම වාසිය. ෆේස්බුක් එකේ මවිසින්  මේවා විවේචනය කරනු ඔබට දැකිය නොහැක්කේ ඒ නිසාය. 

මේ යුද්ධයට ඇති හොඳම විසඳුම සෙලෙන්ස්කි විසින් නේටෝව අමතක කර  සාකච්ඡා වලට යාමය. ක්‍රිමියාව  ඔවුන්ට අහිමි වනු ඇත. නමුත් රට ගොඩ නගා තායිවානය මෙන් හොඳ ආයුධ  ටිකක් රැස් කර ගතහොත්  රුසියාවට නැවත  ඔවුන්ට අත තැබීම අපහසු වනු ඇත. ඒත් දැන්නම් පමා වැඩි විය හැකිය.   නේටෝව හමුදා යැව්ව හොත් හෝ පියාසර තහනම්  කලාපයක් ක්‍රියාත්මක  කළහොත්  තෙවන ලෝක යුද්ධයක් ඇරඹීමේ අවදානම වැඩිය.  

පූටින් ගේ අදහස යුක්‍රේනය අල්ලා ගැනීමම  නොවේ.  ඔහුගේ සැලසුමේ ඩොලරයට පහර දීමේ කොටසක්ද ඇත. ඒ සඳහා  ඔහුට චීනයේ සහයද  අවශ්‍යය.  
වෙන කෙනෙකු නොලිව්වොත්  ඒ ගැන විස්තරයක් ඉදිරියේදී සපයමි.


Ukraine on fire: film you can watch here: or here.



යුක්‍රේන ප්‍රශ්නය පිලිබඳ ලිපි මාලාව:






Tuesday 8 March 2022

මගේ පෙම්වත!

මගේ පෙම්වත !

මම නොදනිමි 

නැවත 

ඔබ දකීවි දැයි මම 

මගේ පෙම්වත 

මා වල්ලභය 

මගේ මිතුර 

ඔබ පෙරමුණට යන්නෙහිය 

මා වෙනුවෙන් 

අපේ ජිවිතය වෙනුවෙන් 

අපේ මතකය වෙනුවෙන් 

අපේ නිදහස වෙනුවෙන් 

අප වෙනුවෙන් 

මට ඔබ නැවත 

දකින්නට හැකිවේද 

මට ඔබේ උණුසුම ලබන්න  හැකිවේද 

වේදනාවක් යයි පසාරු කර ගෙන හද 

නමුත්  මගේ හදවත ඉන් බිඳී නොයේ 

ඔබ ගැන සිතනා නිසා 


******************************

මගේ පෙම්වතිය  !

මම නොදනිමි 

නැවත 

ඔබ දකීවි දැයි මම 

මගේ ආදරිය  

මා පිය බිරිඳ  

මගේ මිතුරිය  

මම  පෙරමුණට යමි  

ඔබ  වෙනුවෙන් 

අපේ ජිවිතය  වෙනුවෙන් 

අපේ මතකය වෙනුවෙන් 

අපේ නිදහස වෙනුවෙන් 

අප වෙනුවෙන් 

මට ඔබ නැවත 

දකින්නට හැකිවේද නොදනිමි 

මට ඔබේ උණුසුම ලබන්නට  හැකිවේද  නොදනිම්  

මූනිස්සමක්  හද පසාරු කර ගෙන ගියත්  

 මගේ හදවත ඉන් බිඳී නොයේ 

ඔබ ගැන සිතනා නිසා 

****************************


මේ යුක්‍රේනියානු යුවලගේ පින්තූරය දුටු නිසා ලියන්නට සිතුනි. එම පින්තුරයේ ඇති සැබෑ බව හදවත සොවින් බර කරවීය. යුද්ධය කුරිරුය. එය පෙම්වතුන්, අඹු සැමියන්, දරුවන්, මාපියන් වෙන් කරයි.


--අජිත්  




Saturday 5 March 2022

රුසියානු යුධ සැලසුම, බටහිර මාධ්‍ය සැලසුමෙන් වෙනස් වන්නේ ඇයි

රුසියානු යුධ සැලසුම, බටහිර  මාධ්‍ය සැලසුමෙන් වෙනස් වන්නේ ඇයි 
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
මේ ලිපිය මා ලිවීමට උත්සාහ කරනුයේ කිසිදු  පාර්ශවයකට සහයෝගය දීමට නොවන බව කරුණාවෙන් සළකන්න. මේ රුසියානු ආක්‍රමණය හෙවත් විශේෂ මෙහෙයුම පිළිබඳ  මා නිරීක්ෂණය කරන පරිදි විග්‍රහ කිරීමකි. එසේම වර්තමාන තත්වයන් යටතේ බටහිර රටක සිට ලිවීමේදී ඇතැම් කරුණු මග හැරීමට සිදුවේ. ඊට හේතුව දැන් යුරෝපයේ හා බ්‍රිතාන්‍යයේ ඇත්තේ නිල නොවන යුධමය වාතාවරණයක් නිසාය. එසේ සිදුවීමට හේතුව රුසියානු නායකයා විසින්  න්‍යෂ්ටික අවී භාවිතාව පිළිබඳව කරන ලද නියෝගයයි. 

රුසියානු යුක්රේන යුද්ධය පටන් ගත්  මුල සතියේ බොහෝ දෙනාට ඇති වූ ප්‍රශ්නයක් වූයේ රුසියාව එතරම් ප්‍රබල නොවන  භට කණ්ඩායම් හා පරණ යුධ රථ එව්වේ මන්ද යන්නය.  එසේම යුක්‍රේන් ජනතාවගේ ප්‍රතිවිරෝධය හමුවේ රුසියානු  භටයන් පසු බසින බවද  ඔවුහු වාර්තා කළහ. නමුත් සත්‍යය එලිවුනේ පසුවය. මූලික රුසියානු හමුදා සිදුකළේ විදගෙන (incursion) යාමකි. එහි අරමුණ වූයේ  යුක්‍රේන් නගර වල ඇති ගුවන් යානා නාශක අවි විනාශ කිරීමය. එසේම යුක්රේන ගුවන් හමුදාව  බල රහිත කිරීමය. රුසියානු ජනාධිපතිවරයා බොහෝවිට සිතන්නට ඇත්තේ මෙම මුලික ආක්‍රමණ ක්‍රියාවෙන් හා දොන්බාස් ප්‍රදේශය එනම් ලුගාන්සක් , දනියෙත්ස්ක් ස්වාධින රජයන් ලෙස පිළි ගැනීමෙන් පසු   බටහිර මෙන්ම යුක්‍රේනියානු  රජය නේටෝ වට ඇතුළු වීමේ නිගමනය ආපසු හරවනු ඇත කියා යයි සිතමි.

එය සිදුවුනේ නැත්තේ බොහෝවිට යුක්‍රේන ජනාධිපතිවරයාට සහය දෙන  ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ රටවල් සෙලෙන්ස්කිට එසේ නොකිරීමට උපදෙස් දුන් නිසා විය හැකිය.  යුක්‍රේනය සමග වන යුද්ධය හරහා  පුටින් බලයෙන් පහ කිරීම  ඔවුන්ගේ පරමාර්ථය විනැයිද  සිතමි. 

මේ යුද්ධයේදී යුක්‍රේනය හා එහි ජනතාව  බලවත් ජාතීන් ගේ වැරදි වලට වන්දි ගෙවන බව පැහැදිලිය. එසේම පුටින් කිහිප වතාවක්  වසර 2000 සිට නේටෝ සංවිධානයට සම්බන්ධ වීමට කැමැත්ත පළ කර තිබුණි. එයට පිළිගැනීමක් බටහිරින් විශේෂයෙන්  එක්සත් ජනපදයෙන් නොලැබුණි. (මේ කිසිවක් යුද්ධය සාධාරණය කරන්නේ නැත) 

පූටින් ගේ යුධ මෙහෙයුම දෙස බැලීමේදී ඔහු දෙවන ලෝක යුද්ධ සමයේ නාසි ජර්මනිය පරාජය කල ජෙනරාල් ෂුකොව් ගේ යුධ සැලැස්ම අනුගමනය කරන බවක් පෙනී යයි. බොහෝ බටහිර මාධ්‍ය වලට එය මග හැරී ඇත. 
නාසි ජර්මනිය පළමුව සෝවියට් දේශයට ඇතුළු වූයේ බෙලරුසියාවේ බ්‍රෙස්ට් නමැති නගරයෙනි. ඒ 1941 ජුනි 22 ය.බ්‍රෙස්ට් නගරයට ඔවුන් ඇතුළු වූයේ පෝලන්තය ආක්‍රමණය  කිරීමෙන් පසුවය. ඒ සමගම ඒ  වනවිට වර්තමාන නේටෝ රටවල් වන රුමේනියාව ,චෙකොස්ලොවේකියාව ද නාසීන්  ආක්‍රමණය කර තිබුණි.හිට්ලර් 1941 අගෝස්තු මාසයේ යුක්රේන සෝවියට් සමුහාණ්ඩුව ආක්‍රමණය කළේය. 


අපට වැදගත් සිද්ධීන් දෙකක් තිබේ. පලමුවැන්න  හිට්ලර් ගේ ඔපෙරේෂන් බාබරෝසා ය (Unternehmen Barbarossa බාබරෝසා යනු  12 සියවසේ  ජර්මන් රජෙකි.).  ඒ හිට්ලර් ගේ සෝවියට් දේශය අල්වා ගැනීමේ මෙහෙයුමට දැමූ නමයි. ඒ යටතේ  හිට්ලර් ගේ කීව් නගරය  අල්වා  ගැනීමේ  මෙහෙයුමේදී ජර්මන් හමුදා සම්පුර්ණයෙන්ම කීව් නගරය වට කල අතර මෙම  පළමු කීව් යුද්ධයේ දී ලක්ෂ 7 පමණ සෝවියට් රතු හමුදා භට පිරිසක් දිවි පිදුහ.  වැදගත් සිද්ධියක් නම් හිට්ලර් ඔඩෙසා වරාය නගරයටද එකවර පහර දීමයි. ඒ මගින් රතු හමුදාවට කීව් නගරයේ සහයට ඒම වලක්වන ලදී. ජර්මන් හමුදා සමග ඉතාලි සහ රුමේනියානු හමුදා ද එක්ව සිටියහ. සෝවියට්සේ නාංක කිහිපයක්ම මෙහිදී  යටත් වුනි. ඉන්පසු හිට්ලර් මොස්කව් සහ  ලෙනින්ග්‍රාද් නගර  අල්ලා ගැනීමට හමුදා පිටත් කල අතර ඉතාම ලෙහෙසියන් අල්ල ගැනීමට සිතා  ක්‍රිමියාව , නැගෙනහිර යුක්‍රේනයේ දොන් බාස් පෙදෙස මෙන්ම රොස්ටොව් නගරය දෙසටද හමුදාව මෙහෙයවිය. හිට්ලර් ගේ හමුදා මේ හැම තැනදීම පරජයට පත්විය. ස්ටාලින්ග්‍රාඩ් නගරය අල්ල ගැනීමේ යුද්ධයේදී මිලියන් දෙකක් මියගිය ලොව සිදුවූ දරුණුතම මෙහෙයුමක් විය. එහිදී හිට්ලර් ගේ හමුදාවේ පරාජයට අඩිතාලම වැටුණි.

හිට්ලර් ගේ නිවැරදි තැන ඔඩෙසා , ලිතුවේනියා ආදී පැතිවලට එකවර පහරදී රතුහමුදා සැපයුම් මාර්ග බිඳ දැමීමයි. ඔහුට වැරදුන තැන ක්‍රිමියාව සහ  නැගෙනහිර  උක්රයිනය අල්ලා නොගැනීමයි. සේම තම හමුදා සෑම තැනකටම යවා විහිදුවිමයි. 

දැන් මාෂල් ශුකොව් මෙහෙයවූ දෙවැනි කීව් මහා යුද්ධය දෙස බලමු. මෙය සිදු වුනේ 1943 දීය. මෙය සෝවියට් දේශය බේරා ගැනීමේ මෙහෙයුමේම කොටසක් වුවද කීව් දක්වාවූ  සෝවියට් හමුදා වල්  මෙහෙයවීම,  විමසීම වටී. මෙම මෙහෙයුම ද්නීපර් යුද්ධය ලෙසින් හඳුන්වන  ලද අතර එහි කුර්ස්ක් සඳහා වූ සටන මුල්ම සටන විය. මෙහිදී වොරෝනේෂ් නගරයේ සිට සෝවියට් හමුදා සටන් කරමින් ඉදිරියට ගිය අතර   මෙය පසුව පළමු යුක්රේනියානු පෙරමුණ  ලෙස නම් කරන ලදී.  රතු හමුදාවේ දෙවන යුක්‍රේනියානු පෙරමුණ කිශිනෙව් (මොල්දාවියානු  නගරයෙන්) යුධ පෙරමුණ සමග සම්බන්ධ  විය.  මේ හමුදා කුර්ස්ක් දිනූ බල ඇණි සමග  හර්කොව් (ඛාකිව්) නගරය අල්ල ගන්නා  ලදී. දෙවන කීව් යුද්ධයේදී නැගනහිර යුක්රේනය සෝවියට් හමුදා  අත පැවති  අතර ඔඩෙසා නගරයද ක්‍රිමියාවද  සෝවියට් හමුදා අත තිබුණි.   මේ පැත්තෙන් හිට්ලර් ගේ හමුදා  පරාජය විය. අනිත් පැත්තෙන් චර්නොබිල් -රදොම්ශිල් මෙහෙයුමද චෙර්නොබිල් ගොර්ණස්ටයිපිල් (hornostaipil) මෙහෙයුමද සමගාමිව අරඹන  ලදී. මේ නගර කීව් ප්‍රදේශයේ වමෙන්   සහ උතුරින් (සිතියමේ උඩ) පිහිටා තිබේ.  ලුෂ්ටෙක් මෙහෙයුමේදී ජර්මන් 24 වැනි හමුදා කොටු කර ගන්නා ලදී. මෙහිදී නොමග යාමේ උපක්‍රමයක් වශයෙන් බුර්කින් ප්‍රදේශයට ,  කීව් නගරයට උතුරින් ප්‍රහාර එල්ල කළ සෝවියට් හමුදා ඉන්පසු  පසුබැස්සහ. 

මේ අතරේදී ද්නිපරය පැත්තෙන් පැමිණෙන හමුදා කීව් වට කල අතර  ජර්මන් 4 වන පැන්සර් හමුදාව පරාජය විය. ඉතිරි ජර්මන් හමුදා කීව් නගරය අතහැර පෝලන්තයට පසු බැස්සහ.  (මේ යුද්ධයේ තව විස්තර මෙහි තිබෙන අතර මා ලීවේ ලිපියට අවශ්‍ය දෑ පමණි. ) මේ මෙහෙයුම්  1943 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා ගෙනයන ලදී.  

දැන් පූටින් ගේ යුධ සැලසුම දෙස බලන්න. මගේ අදහසේ හැටියට ඔහු මෙය සැලසුම් කරන්නට ඇත්තේ 2010 දී යුක්රේනය නෙටෝවට එක් නොවීමේ ව්‍යවස්ථාව අවලංගු කළ පසු විය යුතුය. ඔහු කලේ මුලින්ම 2014 දී  ක්‍රිමියාව නැවත ඈඳා ගැනීමය. ක්‍රිමියා ව මූලික කරගෙන මෙහි සිට හමුදා විහිදුවිම (staging post) හොඳින් කළ හැකිය. ඉන්පසු ඔහු යුක්‍රේනය දෙකඩ කළේ භාෂා ප්‍රතිපත්තිය මතය. (රුසියානු වැසියන්ට එම භාෂාවෙන් ඉගෙනීම තහනම් කිරීම හා හිංසා කිරීම යන හේතු මත) . නැගෙනහිර යුක්‍රේනය (දොන්බාස් පෙදෙස) දැන් ඔහු අතේය. 

කාලයක් බලා සිටි පූටින් කෝවිඩ් ප්‍රශ්නය අතරතුර හමුදා තර කරමින් සිටියේය. ඉන්පසු කීව් ආසන්නයේ බෙලො රුසියාවේ හමුදා අභ්‍යාස පටන් ගති.  පෙබරවාරි 24 දා යුද්ධය ඇරඹු  ඔහු  කළේ කීව් වලට උතුරින් ඇති චෙර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය පුපුරා ගිය ස්ථානය  අල්ලා ගැනීමයි. දැන් එම පෙදෙස් ඔහු අතේය.  ඉන්පසු එතන සිට චෙර්නිව් නගරයට ප්‍රහාර එල්ල කරමින් සිටි. ඒ අතරේ ෂුකොව් කලාක් මෙන් අනිත් පැත්තෙන් මරියපෝල් නගරයට පහර දෙන අතරේ කෙර්සන් වරාය නගරය  අල්ලා ගන්නා ලදී.   ඒ අතරේ හර්කොව් (ඛාකිව්) වලටද පහර දෙයි. මේ නිසා යුක්‍රේන හමුදා දිග ඇදී ඇති අතර ඔවුන්ට කීව්වල  සහයට යාමට නොහැකිය. 

පූටින් ඇරැඹු මේ යුද්ධයට තවම ගතව ඇත්තේ සති දෙකකි. ඔහු ඔඩෙසා නගරය අල්ලා ගත් පසු මොල්දෝවා පැත්තෙන්ද හර්කොෆ්  (ඛාකිව්) නගරය පැත්තෙන්ද කීව් කරා එනු ඇත. සඵරෝශියාව දැනටමත් යටත් වී ඇත. බොහෝ ෆේස්බුක් පණ්ඩිතයන්ගේ අදහස කුමක් වුවද පූටින් යන්නේ තමන්ගේ සැලසුමට හෙවත් මාර්ෂල් ෂුකොව් ගේ සැලසුමට අනුව පැහැදිළිය. ඔහු ඉක්මන් නොවන්නේ එබැවිනි. 

දැනට යුක්‍රේන හමුදාවන්ට උඩින් පහර දීමට නොහැක්කේ ඔවුන්ගේ ගුවන් යානා මුලින්ම විනාශ කර දැමූ නිසා බව සිතමි.
යුක්රේනයට නේටෝ රටවල් අවි ආයුධ මගින් සහය දුන්නද රුසියනු හමුදාව භට පිරිස හා යුධ ටැංකි ඇතුළු අනෙකුත් ආම්පන්න අතින් පොහොසත්ය. තෙල් සහ ගෑස් වලින් මුදල් එනතුරා භාණ්ඩාගාරය ට ප්‍රශ්නයක් ද නැත.  ඔහු තවම ගුවන් යානා මෙන්ම බර අවි වලින් කොටසක්ද භාවිතා කර නැත. ඉදිරියේදී මෙය තවත් බිහිසුණු කොටසකට ඒමට නියමිතය. යුක්‍රේන ජනාධිපති  සහ ඔහුගේ හමුදාවේ ප්‍රබල විරෝධය හමුවේ වුවද  පූටින් පහර දෙනු ඇත. වෙනත් හදිසි දෙයක් සිදු නොවුහ හොත් (බහුතරයක් රුසියානුන් යුද්ධයට එරෙහිව නැගී සිටීම වැනි)   මගේ අදහස වන්නේ මාර්තු 24-31 වනවිට ඔහු කීව් නගරය සම්පුර්ණයෙන්ම යටත් කර ගනු ඇත කියාය. ඔහු ල්වෝව් නගරයට නොයනු ඇත යනු මගේ විශ්වාසයයි. ඒ නගරය පෝලන්තය ආසන්නයේ පිහිටා ඇති අතර දැනට පෙනෙන්නේ නේටෝව සමග යුද්ධයකට එළඹීමට ඔහුගේ ඇති අකමැත්තයි. නේටෝව "යානා පියාසර තහනම් කලාපයක් " (no fly zone ) ප්‍රකාශ නොකරන්නේ ද එබැවිනි. එවැන්නකින් න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීම වැලැක්විය  නොහැකි වේ. අගමැති බොරිස් ජොන්සන් කලේ සිහි බුද්ධිය ඇති ප්‍රකාශයකි.     

ඕනෑම යුද්ධයකට මම විරුද්ධය.මහාමාර්ග , ගොඩනැගිලි නැවත ගොඩ නැගිය හැකි වුවත්  යුද්ධයකදී මියයන සොල්දාදුවන් සහ ජනතාව  නැවත ඉපදවීමට නොහැකිය. දෙපසම නයුවන්ට ඥානය පහල වෙනු ඇතැයි පතමි.  

- අජිත් 
මගේ ලිපියට විරුද්ධ මතයක් මේ ලිපියේ ප්‍රකාශ වේ. එයද කියවන්න.

සමහර අමතර හමුදා ගැන සඳහනක් වෙන නිසා කියවීම වැදගත් විය හැක.