Tuesday, 11 November 2014

විසි පස් වසරකට පෙර ඇද වැටුණු බර්ලින් තාප්පය, පූටින් හා ස්ටාසිලන්තය


බර්ලින් තාප්පය ඇද  වැටුන කාලේ අපි සෝවියට් දේශයේ ශිෂ්‍යයෝ. අපි බටහිර බර්ලිනයට හෝ එංගලන්තයට ආවේ දුම්රියේ. ඒක හරි රසවත් ගමනක්.  දුම්රිය ලන්ඩනයට  එන්නම දවස් තුනක් යනවා. රුසියාව, බෙලෝ රුසියාව හා පෝලන්තය පහු කරලා තමා එන්නේ. ඒ දවස්වල බර්ලිනය ලං වෙනකොට බර්ලින් තාප්පය පේන්න  පටන් ගන්නවා. ඉස්සෙල්ලම දකින වෙනස තමා  අති  විශාල වෙළඳ දැන්වීම් පුවරු. සාමාන්‍යයෙන් සමාජවාදී රටවල වෙළඳ දැන්වීම ඒ වගේ තිබ්බේ නැහැ. ඉතින් අපි දුම්රියේ ඇවිත් ෆ්‍රෙඩ්රික්ස්ට්‍රාස (Friedrichstrasse) කියන දුම්රිය පොලෙන් බැහැල , චෙක්පොයින්ට් චාලි කියන බර්ලින් තාප්පය මැද  හරියේ තියෙන ප්‍රසිද්ධ රැකවල්  ගේට්ටුව පහු කරලා තමා බටහිර බර්ලිනයට එන්නේ.  විදේශිකයන්ට ඒක  යටින් තිබෙන උමගින් ගිහිල්ල ආගමන විගමන නිලධාරින් පහු කලාම  වැටෙන්නේ බටහිර බර්ලිනයේ   සූගාර්ඩ්න් (Zoo Garden) උමන් නැවතුම් පොලට.  (පහත තියෙන්නේ එහි මුල් කාලයේ තාප්පය.)
දැන් ඊයේ මෙර්කල්, ගොර්බචෝව් හෙම ඇවිල්ල තාප්පය බිඳ හෙලා ජර්මනිය එක්සත් වුනු  25 වන අවුරුද්ද සැමරුවා. එහිදී ගොර්බචෝව්, තාප්පය බිඳ හෙලීමට උදව් දුන් සෝවියට් නායකයා  පුටින්ගේ මතය තහවුරු කරමින් කතා කලා. බටහිර විසින් සෝවියට් දේශය රැවටු බව. ගොර්බ කියන කතාව ටිකක් ඇත්ත . සෝවියට් දේශය නය ඉල්ලලා තිබෙනවා බටහිර ජර්මනියෙන් තාප්පය අයින් කරනවට. ඒක ලැබුනෙත් නැහැ. අනික නැටෝ එකට රුසියාව ගන්න කියල ඉල්ලා තිබෙනවා. එය ලැබුනෙත් නැහැ. පහල මුල් පින්තුරයෙන් නැගෙනහිර ජර්මානුවන් බටහිර දෙස බලන අයුරුත් , දෙවැන්නෙන් තාප්පය බිඳින අවස්ථාවකුත් දැක්වෙනවා . 

දැන් එතකොට මේ සිද්ධිය වෙනකොට පුටින් හිටියේ කොහෙද? පුටින් හිටියේ ඩ්‍රෙස්ඩන් කියන නගරයේ. පුටින් සෝවියට් තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් කියල කියනවා (විකිපෙඩියා එකේ වෙන විධිහකට තිබෙන්නේ). තුන්වන ලේකම් හැටියට සාමාන්‍යයෙන් දාන්නේ කේජිබී නිලධාරියෙක්. පුටින් කේජිබී විදේශ සේවා අංශයේ කෝප්‍රල් කෙනෙක් හැටියට පටන් අරන් ලුතිනන් තත්වයේ සිටිද්දී තමා ඩ්‍රෙස්ඩන් හිටිය කියන්නේ. ඒ නගරයේ විදේශික ශිෂ්‍යයන් එහෙම  හිටි නිසා සෝවියට් කඳවුර සඳහා විදේශිකයන්ගෙන් ප්‍රවෘත්ති එක් රැස් කරනවා වගේ මහා නීරස රස්සාවක් තමා කරලා තියෙන්නේ. 

1989 නොවෙම්බර් 8 වෙනිදා මේ තත්වය වෙනස් වුනා. තාප්පය හරහා යන්න නැගෙනහිර ජර්මන්  රජය අවසර දුන්න. ගොර්බාගේ නායකත්වයෙන් යුත් සෝවියට් රජය නිහඬ වුණා. මේක බුෂ් (ඇමෙරිකන් ජනාධිපති) හා හෙල්මුට් කෝල් (බටහිර ජර්මන් චාන්සලර්) සමග කලින් ඇතිකරගත් එකඟත්වයක ප්‍රතිපලයක්. ඩ්‍රෙස්ඩන් වල තිබ්බ නැගෙනහිර ජර්මන් රහස් ඔත්තු සේවය හෙවත්  ස්ටාසි එකේ ගොඩනැගිල්ලක්.  මේකේ ගොඩක් තිබුනේ ස්ටාසි එක විසින් නැගෙනහිර ජර්මන් වැසියන්ගේ  පෞද්ගලික විස්තර හොයල ඔත්තු සේවා සඳහා තබා  ගත්ත දත්ත. බර්ලින් තාප්පය කඩන රැල්ලේදී මිනිස්සු මේකටත් පහර දීල මේ ෆයිල් හා දත්ත විනාශ කලා. (හැබැයි මිනිස්සු එන්න කලින් ස්ටාසි ඔත්තු කරුවන් තමන්ව අපරාධකරුවන් හැටියට චෝදනා කල හැකි වන  ගොඩක්  ෆයිල් තමන්ම විනාශ කරලා තිබුන.) පස්සේදී මිනිස්සු මේවා ආරක්ෂා කලා නඩු සඳහා. නමුත් මේ ඇතිවුන ජනතා නැගිටිමේදී ඒ ගැන කවුරුත් කල්පනා කලේ නැහැ.

අද පරණ නැගෙනහිර ජර්මනියේ ඩ්‍රෙස්ඩන්, ලිප්සිග් වැනි නගර වල හා තුරින්ගියා ප්‍රදේශයේ තත්වය බර්ලිනයට වඩා වෙනස්. බර්ලිනයේ මේ තාප්පය වැටීම සමරද්දී නැගෙනහිර කට්ටිය පරණ සමාජවාදී පක්ෂයට චන්දය දීල. ඔවුන්ට ඕනේ මුලින් තිබ්බ වගේ මාපියන් වැඩට යනවා නම් ළමයි බලන්න හදල තිබ්බ නිකේතන (මේවා අතිශයින් කාර්යක්ෂම හා හොඳ ඒවා. වැඩ කරන අයත් ළමයි ගැන, ළමා මනෝ විද්‍යාව ගැන  උපාධි පවා අරගත් අය) නැවත  ඇති කරන්න . සමහර ඒවා දැනටමත් තිබෙනවා. ඒවගේම මුලින් තිබ්බ ජිවිත කාලයටම බලපාන රැකියා, ආදියත් ඔවුන්ට ඕන වෙලා. 

මෙතනින් පස්සේ ලියන මේ ටිකට මට කිසිම සාක්ෂියක් නැහැ. අහපු කතාවක් විතරයි. 
අර උද්ඝෝෂණ කරපු නැගෙනහිර ජර්මන් වැසියන් ඊළඟට ඇවිල්ල තිබෙන්නේ පුටින් හිටපු ගොඩනැගිල්ලට. එකට පහර දීල විනාශ කරන්න ඒ අයට ඕන වෙලා තිබුන. මොකද ඔවුන් දැන සිටිය මෙතනත් intelligence gathering හෙවත් මිනිසුන්ගේ රහස් දත්ත ගබඩා කරල  තිබෙනවා කියල. හැබැයි මේක රුසියානු තානාපති කාර්යාලයට අයිති ගොඩ නැගිල්ලක්. ඒ කියන්න තානාපති නීති හා ආචාර  පද්ධති වලට අනුව සංග්‍රාහක (host ) රටේ පොලිසියට වුනත් ඒවා ඇතුලට යන්න බැහැ රජයේ විශේෂ අධිකරණ බලයකින් තොරව. ලංකාවෙත්  එහෙමයි. තානාපති කාර්යාල හා ගොඩ නැගිලි භුමිය අයත් ඒ රටට.  මේ ගොඩ නැගිල්ල ආරක්ෂා කල භටයන් ඔවුන්ට එන්න ඉඩ දුන්නේ නැහැ. නමුත් මිනිස්සු තල්ලු කරගෙනම එනවා. නවත්වන්න විධිහක් නැහැ. වෙඩි තිබ්බොත් යුධ අපරාධ චෝදනා එන්නත් පුළුවන්. කවුරුත් දන්නේ නැහැ මොනවා වෙනවද කියල. පුටින් හා ඔහුගේ ඊළඟ  උසස් නිලධාරියා හමුදා සහය ඉල්ලුව. මේ කාලේ රතු හමුදාවේ කොටස් නැගෙනහිර ජර්මනියේ තැන් තැන්  වල රැදී හිටිය. ඕනේ වේලාවක බටහිර ආක්‍රමණයකට මුහුණ දෙන්න. නමුත් මේක සුවිශේෂ අවස්ථාවක් නිසා ඔවුන් ආවේ නැහැ. පුටින් ගේ කට්ටිය කීව  හමුදා නිලධාරීන්ට මොස්කව් වලින් අහන්න කියල. ඔවුන් කියල තියනවා "moscow silent " කියල. මොස්කව් ඒ කියන්නේ සෝවියට් දේශයේ ඉහල පාලනාධිකාරය නිහඬයි කියල. කවුරුත් තීරණයක් ගන්නේ නැහැ. 
දැන් මේ ගොඩනැගිල්ලේ හිටපු අධිකාරි බලය ඇති ඉහල නිලධාරියා (rank) පුටින්. පුටින් තමන්ගේ පිස්තෝලය  අරගෙන  අනිත් සොල්දාදුවෝ අට දෙනාට කියල ඉදිරියට එන්න කියල තමන්ගේ ආයුධ load කරගෙන.  ඇවිත් ගොඩනැගිල්ලට කඩා පනින්න තැත්  කරන ජර්මන් වැසියන්ට කියල තිබෙනවා "ඔහු ළඟ හා අනිත් සොල්දාදුවන් ළඟ  මුනිස්සම් 120-130 පමණ තිබෙනවා. ඔහු හමුදා නිලයක් දරන්නෙක්. ඔහුට තිබෙන නියෝගය තමා, තම රටට අයිති දේපල හා භුමිය ආරක්ෂා කිරීම. ඒ නිසා ගොඩනැගිල්ලට  බලෙන් ඇතුළු වුනොත් වෙඩි තබන බව. ජර්මානුවන් කියා තිබෙනවා ඔවුන්ගේ පිරිස වැඩි බව හා පුටින්ලා ගේ සංඛ්‍යාව අඩු බව. නමුත් පුටින් තදින් කියා තිබෙනවා ඔහු වෙඩි තබන්නට නියෝග කරන බව. " ටික වෙලාවකට පසු පැමිණි ජර්මන් වැසියන් විසිර ගොස්  තිබෙනවා. ඔවුන් විශ්වාස කලා පුටින් වෙඩි තබන බව. මන් හිතන්නේ නිදහස ලැබෙමින්  තිබියදී අනිවාරතේ මැරෙන්න කාටවත් ඕනේ නැතිව ඇති. අනික කිසිම  මරණයක් මේ තාප්පය වැටෙද්දී සිදුවුනේ නැහැ. නැගෙනහිර ජර්මන් කොමියුනිස්ට් පක්ෂ නිලධාරින්  බලය පාවිච්චි කලෙත්  නැහැ තම වැසියන්ට විරුද්ධව. 
මින් දවස් කීපයකට පස්සේ කේජිබී එකෙන් පුටින් නැවත ලෙනින්ග්‍රාද් (ශාන්ත පිතර්බුර්ගයට ) නගරයට කැඳවා  තිබෙනවා.

සමහරවිට පුටින් තම රටේ බලය තිබු අය මෙහිදී නිහඬව සිටිමින් තමන් පාවාදීම පිළිබඳව කෝපයක් ඇති කර ගන්න ඇති. ඉන්පසු ඔහු කේජිබියෙන් ඉවත්වී ශාන්ත පිතර්බුර්ග නගරාධිපති සොබ්චාක් ළඟට  වැඩට යනවා. එතන සිට දිගටම උඩට ආ  ගමන නතර වුනේ ජනාධිපති වීමෙන්. 

පුටින් මහා රුසියන් ජාතිවාදයට අනුග්‍රහ දක්වමින් රුසියානු ඔර්තොදොක්ස් පල්ලියේ  අනුග්‍රහයද ලබමින් එක්තරා අන්දමක ඒක  පාක්ෂික පාලනයක් ගෙන යන්නෙක්.  ගොර්බචෝව් කල වැරැද්ද හැටියට ඔහු දකින්නේ මිනිසුන්ට දේශපාලන නිදහස දීම. ඔහුට අනුව මිනිසුන්ට දෙන්නට තිබුනේ   චීනයේ වැනි ආර්ථික නිදහසක් ධනවාදය නැවත ස්ථාපිත කරන්න. දැනට පෙනෙන්නේ ඔහු ඒ අනුව කටයුතු කරන බවයි. ඔහු යටතේදී රුසියාව නැවතත් ධනවත් රටක් බව පත් වෙලා තිබෙනවා. රුසියානු රන් සංචිතය ඉහලයි. ඔහු වැඩිමහල් උදවියට දුන් විශ්‍රාම වැටුප වැඩි කරලා සමජ සුභ සාධක දීමනාත් තරමක්‌  වැඩි කරලා තිබෙනවා. වැටී තිබුන ආරක්ෂක දෙපාර්තමේන්තුව හා හමුදාව නැවත ගොඩ නංවා  තිබෙන අතර , අභ්‍යවකාශ විද්‍යාව හා අභ්‍යවකාශ යානා  සැදීම සඳහා යොදන  මුදල් හා සම්පත් වැඩිකර විද්‍යාත්මක ගවේෂණ සඳහාද මුදල් වැඩි කර තිබෙනවා. මේ නිසා බටහිර අකමැති වුනත් වැඩි මිනිසුන් ප්‍රමාණයක් ඔහුට කැමතියි රුසියාව  තුල.

පුටින් ගේ ක්‍රියාවලින් පෙනෙන්නේ ඔහු ස්ටාලින්වාදියෙක් බව. නමුත් ඔහු ලෙනින්වාදියෙක්  වත් මාක්ස්වාදියෙක් වත් නොවේ.

මුල්ම පින්තුරය: ඇනා ෆුන්ඩර් ගේ නවකතාව ස්ටසිලන්තය (මේ දවස් වල පරිවර්තනය කරගෙන යනවා. ළඟදීම  බ්ලොගයකින් කියවන්නට ලැබේවි.) 
-අජිත් ධර්මකීර්ති 


39 comments:

  1. නොදන්න යමක් දැන ගත්තා.. පුටීන් ගැන කතාව..

    මේන් මගේ සත පහ..

    http://maathalan.blogspot.com/2012/11/end-of-cold-war.html

    ReplyDelete
  2. ස්තුතියි ලින්ක් එකට. ඒ පොස්ට් එකත් හොඳයි. සින්දුවත් ලස්සන යි. නමුත් ඕක බිරුවක්නේ. අර ලෙනන්ගේ සින්දුව වගේ. එකතු වීමකට වඩා නැවතත් රුසියාව වට කරමින් තෙල් සහ ගෑස් සඳහා යුද්ධයකට නේ යන්නේ. උක්රයිනය හරහා වෙන්නෙත් ඒක. මිනිස්සුයි කලාකරයෝයි හොඳ දේවල් තමා බලා පොරොත්තු වෙන්නේ. දේශපාලකයන්ට ඒවා ඕනේ නැහැ. මමත් ගෝර්කි පාක් එක දිගේ ඇවිද තිබෙනවා මගේ රුසියානු පෙම්වතිය සමග. ඒ හැගීම් වචනයෙන් විස්තර කරන්න මට අමාරුයි. වෙලාවක පොතක් තමා ලියන්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අර රුසියානු පෙම්වතිය ගැනත් ලියන්න...

      Delete
    2. මොන එක්කෙනා ගැනද? හේ හේ

      Delete
    3. හෙහ් හෙහ් හොඳම එක ගැන කියන්නකෝ ඉස්සෙල්ල .. :D

      Delete
  3. Do you say Putin is a Stalinist? What do you mean by that.

    ReplyDelete
    Replies
    1. if you read this article written by me or http://quantumchecks.blogspot.co.uk/2014/05/will-new-russia-turning-back-to.html
      the sinhala version: http://kolambagamaya.blogspot.co.uk/2014/05/2014-9.html
      You can understand that Putin cleverly uses old soviet style "common man's leader" concept. Then he also plays the Russian nationalism card but does not show it rude way. he does it like Stalin who allowed pushed soviet people's patriotism with himself on top. As Stalin putin is developing a personality cult. There are T-Shirts of him, people trying to worship him. These are not European more like Asian. Stalin took elements of some of his Georgian macho men style to his governing style and Putin does the same. Pitin also favours more or less same party to be in power and changes with Medvedev, he himself picked up. He chooses his own circle of loyal yes men to run the country. Only difference his he does not have Gulag and he cannot send anybody to concentration camp. But Russian prisons are not that comfy any way as Michael kardowsky et al got the favour of it. Stalin ditched Leninism in the first instance he could do so. Putin is hardly a Communist.

      Delete
    2. Putin cult: http://www.dailymail.co.uk/news/article-2831226/I-m-Putin-hold-Boutique-brand-Caviar-reveal-gold-titanium-2-300-iPhone-6-Russian-leader-s-face-engraved-iPhone-5-edition-sold-days.html

      Delete
    3. There can be similarities of the personality traits of Stalin and Putin. But you can't say Putin is Stalinist by looking at them. Western media campaign of trying to match Stalin and Hitler is bit similar to your attempt. Stalin might be a distorted version of Marxism, but not Putin or Hitler. You can't forget the philosophical background of Stalin

      Delete
    4. This is not a conclusion by merely looking at them. I am a Marxist and I learned Marxism, Leninism first in Sri Lanka, then in Soviet Union and afterwards in UK. Putin also studied Marxism in Soviet Style. Even though Khrushchev denounced Stalin they did not ditch Stalin's government style etc. Putin follows the way Stalin governed the country. Stalinism is nowhere near to Marxism. Not even a distorted version. that's your opinion. Putin is not a Stalin. I am saying he is a stalinist. Western media's attempt match Stalin and Hitler is different to what I am saying here. I am marxist does not mean I am equal to Marx. If I am a leninist it does not mean I am Lenin is it?

      Delete
  4. අපේ තාත්ත ඔය බර්ලින් තාප්පෙන් නැගෙනහිර බටහිර වෙන් වෙලා තිබිච්ච කාලේ ඔහේ ඇවිදලා තිබුණ. ඉස්සර ඒ කතා කියනවා ...

    මම නම් මේවා ගැන කතා කරන්න මෙලෝ දෙයක් දන්නේ නෑ .. හැබැයි මේ ඉතිහාස කතා කියවන්න හරි කැමතියි ... සමහරවෙලාවට හිතෙනවා මිට අවුරුදු 30කට විතර කලින් ඉපදිලා හිටියනම් හොඳයි කියල හෙහ් හෙහ් ....

    ReplyDelete
    Replies
    1. නෑ දැන් ඉපදෙච්ච එක හොඳයි. ඉස්සරහට කොච්ච්චර දේවල් ඔයාට කරන්න පුලුවන්ද.

      Delete
    2. තාත්ත බර්ලින් වල ඉගෙන ගත්ත ද ? අපේ ශිශ්යයෝ සැහෙන ප්‍රමාණයක් හිටිය.

      Delete
    3. තාත්ත 60-70 ගණන් වල බොහොම තදේට දේශපාලනේ කළා .. බණ්ඩාරනායක මැතිනි ගේ තද පාක්ෂිකයෙක් ...ඒ කාලේ රුසියාවේ, ජර්මනියේ වගේ රටවල ඇවිදලා තිබුනා .. මම හිතන්නේ රටවල් 20ක් විතර .. ඒ ගිය ගමන් ගැන ඉස්සර විස්තර කියනවා .. ඒ මතකෙන් මම කිව්වේ .. අම්මා ආපු වෙලාවක අහල බලන්න ඕනේ ... ඔය අජිත්ල කතා කරන දේශපාලන සිද්දි ගැන හොඳ දැනුමක් තිබුනා .. . ඒවා කියන කාලේ මම පොඩියි නේ .. දැන් මට මතක නෑ ..

      Delete
  5. අදයි මේක දැක්කේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ආවාට.

      Delete
  6. ඇත්තටම නියම ලිපියක් අකුරක් නෑර කියෙව්ව....
    අර කියන කතාවත් වෙන බොගක නැතිව මෙකෙම දාන්න එහෙනං...
    ඔතෝඩොක්ස් කියන්නෙ අන්තවාදී ආගමික නිකායක් නේද... පුටින් වුණත් ටිකක් අන්තවාදී නේද...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මහේෂ්. මොන කතාවද ඔබ කියන්නේ ස්ටසිලන්තය මේකේ දාන්න අමාරුයි. මොකද එක දෙක වශයෙන් යන නිසා. රුසියානු ඔර්තොදොක්ස් ආගම අන්තවාදී ආගමක් කියා කියනන් බැහැ. එය ග්‍රීක ඔර්තොදොක්ස් ක්‍රිස්තියානියට ඉතාම සමානයි. සර්බියානු එකත් මේකමයි. මෙය පුරාණ කතෝලික ආගමට ඉතාම සමානයි. එකම වෙනස ඔවුන් පාප් වහන්සේව නායකයා වශයෙන් පිලි ගන්නේ නැහැ. ඔවුන්ගේ පාප් කෙනෙක් සිටිනවා.
      පුටින් අන්තවාදියෙක් කියන්නේ මොන තේරුමෙන්ද?

      Delete
  7. ළඟදී කියවූවා මොස්කවූ පෙරලිය කියලා පොතක්. CIA ඔත්තුසේවා වල රුසියානු කියාකරීත්වය ගැන හොඳට විස්තර කරලා තිබුනා. තොරතුරු රුසියාවේ ඉඳලා නැගෙනහිර ජමනියට ඇවිත් තාප්පයට උඩින් අනෙක් පැත්තට යාම ගැන සඳහන් කරලා තිබුනා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කොමෙන්ටුවට. පොතේ නම මොකක්ද?

      Delete
    2. මම කියවපු පොත සිංහල පරිවර්තනය නම "මොස්කවූ පෙරලිය" එහි මුල් පොත තමයි Icon මෙන්න විකි ලින්ක් එක http://en.wikipedia.org/wiki/Icon_%28novel%29

      Delete
    3. ස්තුතියි. මේක නවකතාවක්. සමහර නවකතාවල ඇත්ත තොරතුරු තිබෙනවා. සෝවියට් දේශය පෙරලෙන දවසේ 1991 මම හිටියේ රතු චතුරශ්‍රයේ. යෙල්ට්සින් යුද ටැංකියක් උද නැගල කතා කරන වෙලේ.

      Delete
  8. ගොඩක් තොරතුරු දැණගත්තා මේ ලිපියෙන්. කියවීමට පහසු රචනා විලාශයක්. අජිත් රුසියාවේ ජීවිතය ගැන යමක් ලියන්න කැමති නැද්ද.....

    අර ෆොටෝ එකේ ඉන්න කුරුල්ලා ඇටිකුකුලෙක් නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. රුසියාවේ ජීවිතය නවකතාවක් වශයෙන් ලියන්න හිතන් ඉන්නේ. ඉංග්‍රීසියෙන් තමා පටන් ගත්තේ. සමර විට සිංහලෙන් ලිව්වනම් හොඳයි වගේ.
      ෆොටෝ එකේ නම වෙනස් කලා. ලංකාවේදී ගත්තේ. එතන හිටි කෙනෙක් කිව්වා කොවුලෙක් කියල. මම දන්නා කුරුල්ලෝ. හේ හේ

      Delete
    2. ඉන්ගිරිසියෙන් ලියන්න.. පස්සෙ බැරිය පරිවර්ථනයක් කරන්න.. අපේ මිනිස්සු ජාත්‍යන්තරයට යන්න ඕන..

      Delete
    3. ඒක තමා අදහස. මට තවම තීරණයක් ගන්න බැරිව ඉන්නේ අත්දැකීම් ලියනවද . නවකතාවක් ලියනවද කියල. මාතා , අරු මොකද කියන්නේ (සමහර අත්දැකීම් ඇත්ත නමින් ලිව්වොත් ........හ්ම් )

      Delete
  9. ගොර්බචොෆ් කලේ වරදක් කියල මටත් හිතෙනව.ඇත්තටම බටහිර විසින් සෝවියට් දේශය රැවටුවා.චීන ක්‍රමයට ගියානම් වර්තමානයේ බටහිර සිදුවෙන ආර්ථික අවපාතයත් එක්ක ලෝකයෙ තත්වය හුඟක් වෙනස් වෙනව.
    සමාජවාදය යටතෙ වැසියන්ගෙ ජීවන තත්වය උසස් බව ඇත්ත.සුරක්ෂිතව ආතතියක් නැතිව ඉන්න ඇති.මුදල් මත්තෙ මැරෙන කාලකන්නිකම ට වඩා ඒක දහස්වාරයක් හොඳයි.
    ඒත් මිනිසුන්ට දේශපාලන නිදහස එපාද
    සමාජවාදය වෙනුවෙන් දේශපාලන නිදහස කැපකරන එක ගන හිත හදාගන්න පුළුවන්.ඒත් දනවාදය වෙනුවෙන් නම් ඒක කරන්න පුළුවන්ද
    උදාහරනයකට බටහිර ලෝකයේ ධනවාදය එක්ක තියෙන්නෙ ප්‍රජාතන්තර්වාදය .චීනයෙ ධනවාදය එක්ක තියෙන්නෙ රාජ්‍ය ත්‍රස්තවාදය.
    චීනයෙ ධනවාදය කාර්යක්ෂ්මයි තමයි වැඩි පඩි ඉල්ලන එවුන්ට වෙඩිතියනවනෙ.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. //සමාජවාදය යටතෙ වැසියන්ගෙ ජීවන තත්වය උසස් බව ඇත්ත// සමාජවාදය යටතේ වැසියන්ගේ ජිවන තත්වය නොබැදි රටවලට වඩා (ලංකාව, ඉන්දියාව, අප්‍රික රටවල් වගේ) උසස් වුනත් ධනවාදී රටවල් තරම් උසස් වුනේ නැහැ. //සුරක්ෂිතව ආතතියක් නැතිව ඉන්න ඇති.//ඔව් ඒක ඇත්ත. //ඒත් මිනිසුන්ට දේශපාලන නිදහස එපාද// මිනිසුන්ට දේශපාලන නිදහස ඕනේ. ඒ රටවල් බිඳ වැටීමට එකත් එක හේතුවක්. ධනවාදය වෙනුවෙන් දේශපාලන නිදහස කැප කරන්නේ ආර්ථික නිදහස හා හොඳින් ජිවත් වීමේ බලා පොරොත්තුවෙන්. හුගක් චීන වැසියන්ට දැන් හුඟක් මුදල් තිබෙනවා. රට රටවල ඇවිදිනවා.

      Delete
  10. අජිත් මහත්මයා බ්ලොග් එකක් ලියන බව දැනගත්තෙ අද. ඒකත් බොහොම අහම්බෙන්. බර්ලින් තාප්පයට සම්බන්ධ සිදුවීම ගැන කියවල තිබුණට පුටින්ගේ සම්බන්ධයක් ගැන දැනගෙන හිටියේ නෑ. කලින් ඒකීය රාජ්‍යයක් විදිහට තිබ්බ ජර්මනිය තාප්පයෙන් දෙකට කැඩුණට පස්සෙ විදුලිය, ජලය වගේ පොදු පහසුකම් සැපයීම සිද්ධ වුණේ කොහොමද? වෙන් වෙද්දිම ඒ ඒ පහසුකම්වලට අවශ්‍ය සම්පත් එහෙමත් නැගෙනහිර, බටහිර අතර බෙදාගත්තද?

    ReplyDelete
    Replies
    1. මම ඔබතුමාව අඳුරනවා කියලනම් හිතන්නේ නැහැ. බ්ලොගයට ආවට ස්තුතියි. පුටින්ගේ සම්බන්ධය කිවේ පුටින් එතන හිටිය කියා දිව්රා කියන ජර්මන් වැසියෙක් ගෙන්. මිනිහ ඒක RT එකට යවා තිබුණා. විකියේ ඒ විස්තර නැහැ මන් හිතන්නේ . රුස්සන්ගේ ජාතිකාභිමානය හෙවත් පුටින්ට තියෙන පක්ෂපාත භාවය වැඩි කරන්න ඔහු වීරයෙක් කරන්න හදපු කතාවක් වෙන්නත් පුළුවන්. තාප්පයෙන් දෙකට කැඩෙන්න කලින් ජර්මනිය යුද්ධෙන් පැරදුන. එතකොට ඔය ඔක්කොම විනාශ වෙලා තිබුන. එතකොට රටවල් දෙකක් හැටියට තම ගොඩ නැගුනේ. ඉතින් ඒ ප්‍රශ්නය ආවේ නැහැ. බර්ලිනය තිබ්බේ නැගෙනහිර ජර්මනිය ඇතුලේ.

      Delete
    2. නැහැ, මීට මාසෙකට විතර කලින් ඔබ මගේ බ්ලොග් එකේ කමෙන්ට් කරල තිබුණා. ඔව් නේද... බොහොම ස්තූතියි දැනුවත් කිරීමට.

      Delete
  11. අපේ චන්ද්‍රිකා නෝනා වගේ කෙනෙක් බටහිර ජර්මනියේ නායකය වුනානම් බර්ලින් නගරය නැගෙනහිර ජර්මනියට බාරදෙයි විරුද්ධ අයට කියයි ඔයාලගෙ ලමයි යුද්දෙට යනවද කියලා

    ReplyDelete
    Replies
    1. ඔබේ කොමෙන්ටුවට ස්තුතියි. ජර්මන් ජාතිය දෙකට බෙදී යුද්ධ කලේ නැහැ. බර්ලිනයේ මිත්‍ර පක්ෂයේ අනිත් හමුදා (ඇමෙරිකන්, බ්‍රිතාන්‍ය) සිටි නිසා තමයි බර්ලිනය රටවල් අතර බෙදා ගැනුනේ.

      Delete
  12. අජිත් සහෝදරයා.. අද තමයි මුලින්ම මේ අඩවියට ආවේ.. මං ඉතින් තාම බ්ලොග් අවකාශෙ පොඩි එකෙක්නෙ.. පාරවල් අදුන ගන්න ටිකක් කල් යනවා..

    අද මේ අඳුන ගත්ත 'පාර' නම් පට්ටම පාරක්.. දැනුම, අත්දැකීම් හා පරිකල්පනය සමඟ රසය එකෙතු වෙච්චි තැනක මේ දේවල් ඉගෙන ගන්න ලැබීම වචනයෙන් කියා නිම කල නොහැකි භාග්‍යයක්.. ස්තූතියි ඒ අවස්ථාව දුන්නට.. තව තව විස්තර කියවන්න බලාගෙන ඉන්නවා.. ජය ශ්‍රී!

    ReplyDelete
  13. @මධ්‍යස්ථ මතධාරියා

    මේවා කුනුහරුප විග්‍රහ.
    ඵතකොට් ලoකාවේ තියෙන්නේ සමාජවාදයක්ද?
    ලoකාවෙත් වෑඩි පඩි විතරක් නෙවෙයි වතුර ඉල්ලනකොටත් වෙඩි තියනවා නේ.
    ඈමරිකාවේ වෝල් ස්ට්‍රීට් උද්ගෝශන මර්දනය කලේ කොහොමද?
    CIA අබිරහස් ඝාතන,සුදුවෑන් ක්‍රමය...... ඵ්වා තමා ඈමරිකන් මොඩලයේ ප්‍රජාතන්තරවාදයේ අනිවාර්ය ලක්ශන.
    කිසිම දනවාදී රටක ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදයක් කොහෙවත් නෑ ,ඉතාම සියුම් රාජ්‍ය මර්දනයක් මිස.
    බලන්න ලකාවේ මාද්‍ය මර්දනය වන අපූරුව.........කොච්චර සියුම්ද?අන්න ඵ්ක තමයි දනවාදී මර්දන තියරිය.
    කූල් කිල්..............

    ReplyDelete
  14. කල්‍යාණ මිත්‍ර , බොහොම ස්තුතියි ආවාට.

    ReplyDelete
  15. ඔබේ බ්ලොගයත් දැක්කා. වෙලා තියෙන තරමට කියවන්න බලාපොරොත්තු වෙනව. අද සෙනසුරාදා වැඩ වැඩියි.

    ReplyDelete
  16. අජිත්, මේක ටිකක් අවුට් ඔෆ් ටොපික් ප්‍රශ්නයක්. යුගොස්ලෝවියාව ගැන ඔබට අත්දැකීමක් තිබෙනවද? ඒ අයගේ ආර්ථික මොඩල් එක සෝවියට් එකට වඩා වෙනස් නේද?

    - රාමචන්ද්‍ර

    ReplyDelete
    Replies
    1. අවුට් ඔෆ් ටොපික් වුනාට මේක හොඳ ප්‍රශ්නයක්. අත්දැකීමක් තිබෙනවා. එකත් එක්ක ලිපියක් දාන්නම් හොඳ මාතෘකාව.

      Delete

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.