මෙම පිළිකා කොර්පුසය පොත , "පිළිකා වාට්ටුව" නමින් අනුලා ද සිල්වා මහත්මිය පරිවර්තනය කර තිබේ. එය කුඩා පොතකි. මට ඌවේ එච් බි ගුණරතන මහතා පැවසූ අයුරින් එහි සම්පූර්ණ කතාව නොව ඇත්තේ සංක්ෂිප්තයකි. එනිසා කිසියම් අවස්ථාවක මේ පරිවර්තනය කල යුතු යයි සිතා සිටියෙමි. මේ එහි අරම්භයයි. පිලිකා කොර්පුසය යන වචනයම පිළිකා වාට්ටුව යනුවෙන් වරදවා පරිවර්තනය වී ඇත. කොර්පුසය යන වචනය වාට්ටුව නොවේ. රෝහල් වාට්ටුව රුසියානු භාෂාවෙන් බල්නිච්නයා පලාතා යනුවෙන් හැඳින් වේ. එසේනම් කතුවරයා වන ඇලෙක්සැන්ඩර් සොල්ෂෙනිට්සින් කොර්පුස් යන වචනය භාවිතා කලේ ඇයි? කොර්පුසය යනු නවාතැනක (හොස්ටල්) එක ගොඩ නැගිල්ලකි. උදාහරණයක් වශයෙන් ස්තුදෙන්චෙස්කි ඔබ්ස්හෙශිතිය යනු ශිෂ්‍ය නවාතැන ය. එහි කොර්පුස් එක යනු පළමු ගොඩ නැගිල්ලය. කතුවරයා මේ වචනය පොතේ නමට යෙදීමෙන් අදහස් කරන්නේ මේ පිලිකා රෝහලේ බෙහෙත් නොලැබෙන බවය. නවාතැන යනු තවකාලික දෙයකි. ඔබ නවාතැනක සිටින්නේ තාවකාලිකවය. ඒ නිසා මේ පිලිකා කොර්පුසයේ නවතින දෙනා එහි නවතින්නට එන්නේ තාවකාලිකවය. එතනින් යන්නේ සදහටම නැවත නොඑනා තැනකටය. එම නමේ තේරුම එයයි.
පිළිකා කොර්පුසය
පරිච්චේදය 1 -කොහෙත්ම පිළිකාවක් නැත
වෙනත් අංකයන් තිබෙද්දීත් පිළිකා වාට්ටුවේ නොම්මරය වූයේ 13 ය. පාවෙල් නිකොලායෙවිච් රසානොව් කවදාවත් මිත්‍යා විශ්වාස ඇදහුවේ හෝ එසේ අදහන්නෙකු වූයේ නැති වුවත් , "වාට්ටුව අංක 13 " ලෙස ලියූ ඇතුළු වන පෝරමය අතට ලැබුන විට ඔහුගේ හද කඩා වැටුණේය. අවම වශයෙන් කැඩුණු අවයව වලට කෘතිම ඒවා පාස්සන වාට්ටුවට හෝ ප්‍රසව විද්‍යා වාට්ටුවට හෝ එම නොම්මරය දමන්නට කාටවත් සිහි වූයේ නැත.
කෙසේ හෝ වේවා, මෙම වෛද්‍යායතනය හැරෙන්නට ජනරජයේ වෙනත් කිසිදු තැනක ඔහුට උදව් කිරීමට තැනක් තිබ්බේ ද නැත.
"කොහොම හරි මට - --පිළිකාව නැහැ නේද, දොස්තර? මට ..කොහොමටත් ---පිළිකාව --නැහැ හරි? "
පාවෙල් නිකොලායෙවිච් බලාපොරොත්තු සහගතව ඇසුවේ, තමන්ගේ ගෙලේ දකුණු පස, තරහකින් මෙන් දවසින් දවස පිම්බී එන, නමුත් බැලූ බැල්මට කිසිදු වණයක් නොපෙනෙන සුදු සමකින් යුත් පිළිකා ගෙඩිය සෙමින් අතගාමිනි.
"දෙයියන්ගේ නාමෙට නැහැ , සත්තකින්ම නැහැ" , දහවෙනි වතාවටත් ඔහු සනසවමින් දොස්තර දන්සොවා තෙපළේ, පිටු ගණනක් පුරා රෝග ඉතිහාසය තම අත් අකුරින්ම ලියමිනි. යමක් ලියන විට ඇය තම හතරැස් එහෙත් අග්ගිස්සෙන් රවුම් වූ කණ්නාඩි කුට්ටම පැළඳ සිටියත්, ලියා අවසන් කළ වහාම කණ්නාඩි යුවල ගැලවූවාය. තව දුරටත් තරුණ වියේ නොවූ ඇයගේ සුදුමැලි වූ මුහුණින් දැඩි විඩාබර බවක් දිස් විය.
එය සිදුවුනේ මිට දවස් කිහිපයකට පෙර බාහිර රෝගීන් පිලි ගන්නා තැන දින කිහිපයකට ඉහතදීය. පිළිකා වාට්ටුවට අනුමත කෙරුණු රෝගීන්ට පමණක් නොව , සමහර විට බාහිර රෝගීන් ලෙසින් සඳහන් කෙරුණු අයටත් , ඊළඟ රැයේ නිදා ගැනීමට හැකි වූයේ නැත. එහෙත් වෛද්‍ය දන්සොවා ,පාවෙල් නිකොලායෙවිච් ට ක්ෂණයකින්ම ඇඳට යාමට නිර්දේශ කළාය.
බලාපොරොත්තු නොවූ ලෙස, කිසි සූදානමක් නොමැතිව, හමාගිය සුළඟක හඬ මෙන් සති දෙකක්ඇතුළත මේ මිනිසා සිටියේ කිසිදු බරක් පතලක් නැතිවය. නමුත් මේ රෝගයෙන්ම වධයක් විඳිමින් පාවෙල් නිකලයේවිච්ට රෝහලට ඇතුළු වීමට සිදු වූයේ සාමාන්‍ය රෝගියෙකු පරිද්දෙන්ය. අවසාන වතාවට ඔහු රජයේ රෝහලක සිටියේ කවදා දැයි ඔහුට මතකයක් තිබ්බේ නැත. බොහෝ කලකට පෙර විය යුතුය. යෙව්ගිනි සිමිනෝවිච් ට, ශෙන්ද්‍යාපීනු ට, උල්මසබායෙව් ට දුරකතනයෙන් කථා කර තිබූ අතර, ඔවුන් විසින් තම තමන් දන්නා හඳුනන අයට කතා කරමින් ද උත්සාහ ගත්තේ එම රෝහලේ විශේෂ වී අයි පී වාට්ටුවක් හෝ සමහර විට වෙනම කාමරයක් විශේෂිත එකක් ලෙස සකසා හෝ ලබා ගත හැකිදැයි කියාය. රෝගීන් පිරී සිටි රෝහලේ එම ප්‍රයත්නයන් පළ දැරුවේ නැත.
ඒ කෙසේ වෙතත් ප්‍රධාන වෛද්‍යවරයා හරහා කතා බහ කර ලබා ගත හැකිවූ එකම දෙය නම්, රෝහලට ඇතුළු කර ගන්නා තුරු නැවතුම් ශාලාවේ හිඳීමට සිදු නොවීම, ඇඳුම් මාරු කරගැනීමට සිදු නොවීම හා පොදු නෑමට සහභාගී වීමෙන් වැළකී සිටීමට ලැබීමත්ය
තමන්ගේ නිල් පැහැති මොස්ක්විච් රථයෙන් යූරා, තම මව හා පියා ව දහතුන්වන වාට්ටුවේ පඩි පෙළ අසලටම ගෙන ආවේය.
අවට අතිශයින්ම ශීතල වුවද, ඒ ගැන මදකුදු නොසලකමින් කඩදහි මෙන් මැදපු සාත්තු සේවිකා කබා හැඳි ගැහැනුන් දෙදෙනෙකු රෝහලේ ගලින් බැඳි ඉදිරි අංගනයේ සිටගෙන උන්හ.
එම අවලස්සන සාත්තු සේවිකා කබාය වලින් පටන් ගෙන මෙහි ඇති අනිත් සියලු දේ පාවෙල් නිකොලායෙවිච් ට රිසි වූයේ නැත. ඉදිර අංගනයේ සිමෙන්ති පොලොව දහස් ගණන් පාද වලින් ගෙවී ගොස් තිබුණි. කුළුණු මත නැංවුණු දිරා ගිය සිමෙන්ති වහලද, රෝගීන් නිතර ඇල්ලීම නිසා ගෙවී ගිය යන ටුලා නගරයේ තනනලද දොරවල සොයිබද, තීන්ත ගැලවී ගිය බිත්ති සහිත පිළි ගැනීමේ අංශයද , දුර්වර්ණ ඔලිව් පැහැ ගත් ඉතා උස බිත්ති ද (ඔලිව් පැහැය කොහොමටත් අපිරිසිදු ලෙස පෙනුනි) සහ බොහෝ රෝගීන්ට ඉඩක් නොතිබුණු විශාල දිග බංකු ද එහි විය. ඒවායේ සහ ඒ අසල පොළොවේ වැතිර උන්නේ ඉතා ඈත පෙදෙස් වලින් පැමිණි රෝගීන්ය. පුළුන් වැනි දෙයක් ඔබ්බා මහතාට පෙනෙන සේ සකස් කළ කබා හැඳ උන් උස්බෙක් වරු, සුදු දිග පොරෝනා පැළඳ සිටි මහලු උස්බෙක් ගැහැණු සහ රතු සහ කොළ සහ දම් පැහැති ඇඳුමින් ද සැරසී සිටි තරුණ උස්බෙක් ගැහැණුද එහි වූහ. ඒ සියල්ලෝම වතුර ඇතුලට නොඒමට ගලෝෂි නැමති උස සපත්තු පැළඳ සිටියහ.
එක් තරුණ රුසියානුවෙක් පමණක් මුළු බංකුවක්ම තම භාවිතයට ගෙන දිග ඇදී සිටියේ බිමටද ඇදී තිබුණු දිලිසෙන කබායක් පොරවාගෙන , තමන්ගේ ඉදිමුණු කුස අල්ලාගෙන වේදනාවෙන් මොර දෙමින්ය. පාවෙල් නිකොලාවිච් ගේ කන් අගුලුලමින් ආ ඒ වැළපීම ඔහුට දැනුනේ රෝගී තරුණයා වැළපෙන්නේ ඔහු වෙනුවෙන් නොව රුසානොව් වන තමන් පිළිබඳව බවයි.
සුදුමැලිව ගිය මුහුණින් එතනම නැවතුණු පාවෙල් නිකොලායෙවිච් බිරිඳට කෙඳිරුවේය.
-"කාපා , මම මෙතන මැරෙයි. මෙතැන නවතින්න අවශ්‍ය නැහැ. ආපහු යමු."
ඔහුගේ අත තදින් මිරිකාගත් කපිතලිනා මත්වෙයේවා පැවසුවේ,
-පාෂේන්කා, කොහෙටද අපි ආපහු යන්නේ?ගිහිල්ල මොනවා කරන්නද ?
-"ම්හ් , සමහර වෙලාවට, මොස්කව් වලදී අපිට හරි ගියොත්."
කපිතලිනා මත්වෙයේව්නා සැමියා දෙසට හිස හැරවුවාය. ඇගේ විශාල පළල් හිස තවත් පළලට පෙනුනේ දෙපසට විසිරුණු ඝන කෙස් කැරලි නිසාය.
"පාෂෙන්කා , අපි මොස්කව් ගියොත් තව සති දෙකක් වත් ඉන්න වෙයි. සමහර විට එහෙට යන්න බැරි වෙන්නත් පුළුවන්. අපි තවත් බලන් ඉන්නේ කොහොමද? හැමදාම උදේට මේක ලොකු වෙනවනේ. "
ඇය ඔහුගේ අතේ මැණික් ඇටය ප්‍රේමාන්විතව තදින් මිරිකා තම ධෛර්යය ඔහුටද දීමට උත්සාහ කළාය. රාජකාරි කටයුතු වලදී සහ වැසියන් ගේ කටයුතු වලදී පාවෙල් නිකොලායෙවිච් ස්වාධීනව කෙලින් වැඩ කළ මිනිසෙකි. ඔහුගේ පවුලේ කටයුතු වඩා සන්සුන් හා සතුට දනවන දෙයක් වූයේ බිරිඳ එය බලා කියාගත් බැවිනි. සෑම දෙයක් ගැනම ඉක්මණින් හා නිවැරදිව තීරණ ගැනීමට ඇයට හැකියාවක් තිබුණි.
බංකුවේ වැතිරී සිටි තරුණ රුසියානුවා තවමත් අවට දෙදරුම් කවමින් විලාප දුන්නේය.
"සමහර වෙලාවට වෛද්‍යවරයා එයි අපේ ගෙදර? අපට ගෙවන්න පුළුවන් එයාලට " පාවෙල් නිකොලාවිච් තමන්ටම විශ්වාස නැති ලෙසින් වාද කළේය.
"පාසික්" ඔහු ගේ බිරිඳ තදින් කෑ ගැසුවේ ඇයද ඔහු තරම්ම වේදනා විඳි බැවිනි.
"ඔබ දන්නවා මම තමයි ඉස්සෙල්ලම එකඟ වෙන්නේ එහෙනම්. දොස්තර කෙනෙක් ගෙන්වන්නයි ගාණක් ගෙවන්නයි ඒකට. නමුත්, අපි මේක ගැන කලින් කතා කළානේ. මේ දොස්තරලා ගෙදරදී වෙදකම් කරන්නේ නැහැ. ඒ වගේම ඔවුන් මුදල් ගන්නෙත් නැහැ දුන්නත්. ඒ මදිවට ඔවුන්ගේ වෛද්‍ය උපකරණ එක්ක කොහොමත් ඔය දේ කරන්න බැහැ." .
එය කළ නොහැක්කක් බව පාවෙල් නිකොලායෙවිච් හොඳින් දැන සිටියේය. ඔහු එය මතක් කලේ තමන් මොනවා හෝ කිව යුතු යැයි සිතුනු බැවිනි.
ඔන්කොලොජි චිකිත්සාගාරයේ ප්‍රධාන වෛද්‍යවරයා සමග කතාබහ කරගත් පරිදි, හරියටම සවස දෙකට සාත්තු සේවා පාලිකාවක (මේට්‍රන්වරිය) ඔවුන් බලාපොරොත්තුවෙන් කිහුලි කරු දෙකක් වාරුවෙන් රෝගියෙකු හෙමින් හෙමින් බසින පඩිපෙළ පහල සිටිය යුතු විය. එහෙත් මේට්‍රන් කෙනෙකු පෙනෙන්නට සිටියේ නැති අතර ඇගේ කුඩා කාමරය ද ඉබ්බෙකු දමා වසා තිබුණි.
"මේ කිසි කෙනෙක් විශ්වාස කරන්න බැහැ " කපිතලිනා මත්වෙයෙව්නා කෝප ගත්තාය.
"ඔවුන්ට ගෙවන්නේ මොනවටද?"
එසේ කියමින්ම රිදීපැහැ හිවලුන්ගේ හමින් සාදන ලද අගනා ලොම් වැස්ම සහිත කබාය පැළඳගෙන සිටි ඈ කොරිඩෝරය දිගේ ඇවිද ගියේ "පිටතට පළදින ඇඳුම් වලින් ඇතුළුවීම තහනම්" යයි දක්වා ඇති දැන්වීම් පුවරුවද පසු කරගෙනය.
පාවෙල් නිකොලායෙවිච් නැවතීමේ කාමරයේ දිගටම සිටගෙන සිටියේය. දිරියක් නැත්තකු විලසින් ඔහු බෙල්ල යන්තමට දකුණට හරවා අකු ඇටය හා හක්ක අතරින් පැන නැගුනු පිළිකා ගෙඩිය අත ගෑවේය.ඔහුට සිතුනේ පැය භාගයකට පමණ ප්‍රථම අවසන් වතාවට කණ්ණාඩියෙන් බලද්දී පෙනුනාට වඩා මෆ්ලරයෙන් (හිස වසන සළුව) වසා ඇති පිලිකා ගෙඩිය තවත් විශාල වී ඇති බවය. දුබල ගතියක් දැනුණු පාවෙල් නිකොලායෙවිච් ට හිඳ ගැනීමට අවශ්‍ය විය. නමුත් බංකු අපිරිසිදු ලෙස පෙනුණු අතර උරසළුවක් (ස්කාෆ් ) පොරවාගෙන දෙපා අතර ගෝනි මල්ලක් ද තබාගෙන එහි වාඩිවී සිටි ගෙවිලියට මදක් එහාට වී ඉඩදෙන්නට කිව යුතු විය. කෙසේ හෝ වේවා ගෝනි මල්ලෙන් නැගුනු දුර්ගන්ධය ඈත සිටම ඔහු ගේ නහයට වදිනු ඔහුට දැනුනි.
අපේ මිනිස්සු කවදද ඉගෙන ගන්නේ පිරිසිදු, පිළිවෙලකට ඇති සූට්කේස් ගෙනියන්න! (හැබැයි ඉතින්, දැන් ඔහුට මේ පිළිකා ගෙඩිය තියෙන නිසා ඒකෙන් ඇති වැඩකුත් නැහැ .)
තරුණයාගේ ඝෝෂාකාරී හැඬුමින් සහ ඔහුට ඇස දුටු දෙයින් සහ නාසයට රින්ගුනු දෙයින්ද දැඩි ලෙස වද විඳි රුසානොව් කොට බිත්ති කොටසට ඇලවී සිට ගත්තේය. ගොවියකු කහ පාට ද්‍රවයක් සහිත, ලේබලයක් ගසා ඇති භාග ලීටරයේ විදුරු බෝතලයක් ඔසවාගෙන පැමිණියේය. බෝතලය සැඟවීමට කිසිදු වෙහෙසක් නොගත් ඔහු එය ජයග්‍රාහී ලෙස ඔසවාගෙන සිටියේ හරියට පෝලිමේ සිට වෙහෙසවී ලබාගත් බියර් ජග්ගුවක් මෙනි. පාවෙල් නිකොලායෙවිච් ට බියර් ජග්ගුව දෙන්නට මෙන් ඔහු ඉදිරියේ යමක් කියන්නට මෙන් සිටගත් ගොවියා, ඔහුගේ සීල් මත්ස්‍යයන්ගේ හමින් සාදන ලද වටිනා හිස් වැසුම දැක ඉවතට හැරුණේය. මදක් වටපිට බැලූ ගොවියා කිහිළිකරු මත සිටි රෝගියා ඇමතුවේය.
"මේක මම කාටද දෙන්න ඕනේ, සහෝදරයා? "
දෙපා විරහිත මිනිසා පරීක්ෂණාගාරයේ දොරටුව දෙසට අත දිගු කළේය. පාවෙල් නිකොලායෙවිච් ට වමනය එන සෙයක් දැනුනි.
බාහිර දොරටුව නැවත විවෘතව සුදු කබායක් හැඳගත් මේට්‍රන් වරිය ඇතුළට පැමිණියාය. ඉතා දිගටි මුහුණක් ඇති ඇය පියකරු තැනැත්තියක් නුවූවාය. සැණෙකින්ම පාවෙල් නිකොලායෙවිච් දුටු ඈ , ඔහු කව්දැයි අනුමාන කර ඔහු වෙතටම පැමිණියාය.
"මට සමාවෙන්න " ඈ පැවසුවේ අපහසුවෙන් හුස්ම අල්ලමිනි. ඇගේ තදියමට කම්මුල දෙතොලේ ලිප්ස්ටික් පැහැයම ගති. "කරුණාකරලා මට සමාවෙන්න. ඔබ හුඟක් වෙලා බලා සිටියාද ? ඔවුන් ඖෂධ වගයක් ගෙනාව නිසා මට එතනට ගිහින් අත්සන් කරලා භාර ගන්න වුනා "
තද පරුෂ ලෙස පිළිතුරු දිය යුතු යයි පැන නැගුනු සිතිවිල්ල පාවෙල් නිකොලායෙවිච් අපහසුවෙන් යටපත් කර ගත්තේය. කබාය හෝ හිස් වැසුම නැතිව තමන්ගේ ඇඳුම් කට්ටලය පමණක් ඇඳ සිටි යූරා ඉදිරියට ආවේ සූට්කේසය සහ අවශ්‍ය ද්‍රව්‍ය අඩංගු මල්ලක්ද සමගිනි. රන්වන් කෙස් රොදක් ඔහුගේ නළලෙහි රැඟුවේය. ඔහු ඉතා සන්සුන්ය.
"මාත් එක්ක එන්න " පැවසූ මේට්‍රන්වරිය පඩිපෙළ යට පිහිටි ගබඩා කාමරයක් වැනි ඇගේ කන්තෝරුවට යාමට පෙරමුණ ගත්තාය.
"නිසමුට්දින් බහ්රමොවිච් කිව්වා ඔබ ඔබේම යට ඇඳුම් සහ නිදි ඇඳුම් රැගෙන එනවා කියල ඒවා ඇඳපුවා නෙමේ නේද "
"කෙලින්ම සාප්පුවෙන් "
"මේක තනිකරම අනිවාර්යයි, එහෙම නැත්නම් ඒවා විෂබීජහරණය කරන්න ඕනේ, ඔබට තේරෙනවද? මෙන්න , මෙතැන ඔබට ඇඳුම් මාරු කරගන්න පුළුවන්."
ප්ලයිවුඩ් වලින් තැනුණු දොර විවෘත කළ ඇය විදුලි ලාම්පුව දැල්වූවාය. බෑවුම් ව ගිය සීලිම සහිත ජනේලයක් නැති කුඩා කන්තෝරුවේ බිත්ති පුරා පැන්සලින් ඇඳි රූප සටහන් එල්ලා තිබුණි.
යූරි නිහඬවම සූට්කේසය ඇතුළට ගෙනවිත් කාමරයෙන් ඉන්පසු ඉවතට ගියේය. පාවෙල් නිකොලායෙවිච් ඇතුලට පැමිණියේ ඇඳුම් මාරු කර ගැනීමටය. ඒ අතරේ මෙට්‍රන්වරිය එතනින් කොහේදෝ පැන යන්නට ලැහැස්ති වුනත් කපිතලිනා මත්වෙයෙව්නා ඇය හසු කර ගත්තාය.
"නර්ස්, ඔබ හදිසියකින් වගේ " ඇය කීවාය.
"ඔව් ඇත්තෙන්ම "
"ඔබේ නම මොකක්ද "
"මීතා"
"ඒක අමුතු නමක්. ඔබ රුසියානු නොවේ නේද? "
"නැහැ, ජර්මන්..."
"ඔබ එනතුරු අපට බොහෝ වෙලාවක් බලා සිටින්නට වුනා "
"ඔව්, මට සමාවන්න , මට අත්සන් කරන්න වුනා මේ ...."
"මේ අහන්න මීතා. ඔබ කිසියම් දෙයක් දැනගත යුතුයි. මගේ ස්වාමිපුරුෂයා ඉතා වැදගත් පුද්ගලයෙක් වගේම ඔහු අතිශයින්ම වටිනා රාජකාරියක් කරන කෙනෙක්. ඔහුගේ නම් පාවෙල් නිකොලායෙවිච්"
" මට තේරෙනවා. පාවෙල් නිකොලායෙවිච් නේද , මට මතක් වෙයි නම "
"ඔහු හොඳින් රැක බලා ගත් අයෙක්. නමුත් දැන් ඔහු අතිශයින් අසාධ්‍ය තත්වයක ඉන්නේ. ඔහු සඳහාම පමණක් නිත්‍ය හෙදියක් යොදන්න බැරිද'"
මිතා ගේ කරදරකාරී පෙනුමක් ගත් මුහුණ තවත් කලබල වූ බව පෙනුණි. ඇය හිස වැනුවාය.
"ශල්‍යාගාරයේ සේවයේ නියුතු හෙදියන් තිදෙනා ඇරුනහම අපටද දිවා කාලයේ දී රෝගීන් හැටක් බලා ගන්න හෙදියන් තිදෙනෙකුත් රාත්‍රී මුරයට හෙදියන් දෙදෙනෙකුත් පමණයි සිටින්නේ."
"ඔබට තේරෙනවද! මිනිහෙක් මිය යන ගමන් තමන්ගේ හිස පුපුරුවා යන තරමට කෑ ගැහුවත් කවුරුත් එන එකක නැහැ බලන්න."
"ඔබ එහෙම හිතන්නේ ඇයි? හැමෝටම අප එකවගේ අවධනය යොමු කරනවා "
('හැමෝටම' -ඇයට මොනවා කියන්නද ඇය "හැමෝම" ගැන නම් කතා කරන්නේ)
"හෙදියන් වැඩ කරන්නේ මුරයටද?"
"ඔව්, ඒක හරි. ඔවුන් සෑම පැය දොළහකට වරක් වෙනස් කරනවා."
"මේක හරිම අමානුෂික සැළකීමක්. හරිම දරුණුයි.මගේ දියණියයි මමයි මාරුවෙන් මාරුවට එයා ගාව ඉන්නම්. එහම් නැත්නම් නිත්‍ය හෙදියක් එයා ගාව තියන්න, මම ගෙවන්නම් මගේම මුදල් වලින්. නමුත් එයාල කියනවා ඒකට අවසර දෙන්න බැහැ කියල. "
"ඇත්තටම බැහැ. එහෙම දෙයක් මීට කලින් කරලත් නැහැ. අනිත් එක වාට්ටුවේ කිසිම තැනක පුටුවක් තියන්න ඉඩක් නම් නැහැ.
"දෙයියනේ , මට හිතා ගන්න පුළුවන් මේ වාට්ටුව මොන වගේද කියල.! මම ගිහිල්ල හොඳට හොයල බලන්න ඕනේ. ඇඳන් කීයක් තියෙනවද?"
"නමයයි. ඔබේ ස්වාමිපුරුෂය හුඟක් වාසනාවන්තයි මේ වාට්ටුවට කෙලින්ම එන්නට ඉඩ ලැබීමෙන්ම. අලුතින් ආපු සමහරු ලෙඩ්ඩු වැටිලා ඉන්නේ පඩිපෙළ දිගෙයි , කොරිඩෝවෙයි."
"මම ඔබෙන් ඉල්ලා සිටින්නේ පාවෙල් නිකොලායෙවිච් ව බලා ගන්න නිත්‍ය හෙදියක් හරි සාත්තු සේවකයෙක් හරි යොදවන්න කියල. ඔබ මෙහෙ සිටින අය අඳුරන නිසා ඔබට එය සංවිධානය කරන එක පහසුයි." ඇය විශාල කළු පැහැ අත්බෑගය විවෘත කර රූබල් පහනහේ නෝට්ටු තුනක් අතට ගනිමින්ම පැවසුවාය.
අසල සිටගෙන සිටි ඇගේ පුතණ්ඩියා ඔලුව හෙමි සීරුවේ පැත්තකට හරවා ගත්තේය.
මීතා ඇගේ දෙඅතම පිටුපසට කර ගත්තාය.
"එපා, එපා , මට අයිතියක් නැහැ ගන්න "
"මම මේවා ඔබට නොවේ දෙන්නේ. " කපිතලිනා මත්වෙයෙව්නා මුදල් නෝට්ටු ප්‍රධාන මේට්‍රන්වරියගේ ඒප්‍රනයේ සාක්කුවට ඔබමින් කීවාය. මට මේක නිත්‍යානුකුලව හෝ උඩින් එන අණක් හරහා කරන්න බැරිනම් ..... මම කරන එකම දේ මේ ලැබෙන සේවයට මුදලක් ගෙවීම පමණයි. මම ඔබෙන් ඉල්ලන එකම දේ මේ මුදල් නිවැරදි පුදගලයන්ට ලබා දෙන්න කියල විතරයි."
"එපා , එපා " මේට්‍රන් වරියගේ සිරුර පුරා සීතලක් හඹා යනු ඇයටම දැනුනි. "ඒ වගේ දේවල් අපි මෙහෙ කරන්නේ නැහැ".
කිරීස් ගා ශබ්දයක් නගමින් පාවෙල් නිකොලායෙවිච් ප්‍රධාන සාත්තු සේවිකාවගේ ගුහාවක් වැනි කාමරයෙන් පිටතට පැමිණියේ ඔහුගේ නවතම කොළ සහ දුඹුරු පිජාමය හැඳ, උණුසුම් සත්ව ලොම් වලින් නිමැවුණු නිදන කාමර වලට හරියන පාවහන් දෙකක් ද පැළඳ ගෙනය. සෑහෙන දුරට තට්ටය පෑදුනු හිස මත ඔහු උස්බෙක් වරුන් අඳින පැතලි හිස් වැස්මක් පැළඳ සිටියේය. ඔහු තම ශීත කබාය මෙන්ම හිස වසාගෙන සිටි මෆ්ලරයද ඉවත් කර සිටි නිසා, මිටි කරගත් හස්තයක පමණට වූ ඔහුගේ පිළිකා ගෙඩිය පෙනුනේ අවාසනාවන්ත ලකුණක් මෙනි. ඔහුට තව දුරටත් හිස කෙළින් තබා ගැනීමට නොහැකි වූ නිසා, ඔහු සිටියේ හිස මදක් ඇලයට හරවාගෙනය. කාමරයට ගිය ඔහුගේ පුතා පියා ඉවත ලත් ඇඳුම් ටික ගුලි කර සූට්කේසයට දැම්මේය. කපිතලීනා මත්වෙයේව්නා මුදල් නැවතත් ඇගේ අත් බෑගය තුලට රුවා ගත්තාය. ඇය ඇගේ සැමියා දෙස බැලුවේ කණස්සල්ලෙනි.
"ඔයා ශීතලෙන් ගල් වෙන්නේ නැත්ද ඔහොම? නිවසට අඳින හොඳ උණුසුම් ලෝගුවක් අරන් එන්න තිබුණනේ ඔයාට. මම අරන් එන්නම් ආයේ එනකොට"
"මෙන්න, ගෙල වහන්න සළුවක්" ඇය ස්කාෆ් එකක් කබායේ සාක්කුවෙන් ගත්තාය. "මේක ඔයාගේ උගුර වටේ ඔතා ගන්න. ඔයාට හෙම්බිරිස්සාව හැදෙන්නේ නැති වෙන්න" රිදී පැහැ හිවල් සමින් ගෙල වැසුනු විශාල ලෝම කබායක් හැඳ සිටි ඇය සැමියාට වඩා තුන් ගුණයක් ශක්තිමත්ව පෙනුනි.
"දැන් යන්න වාට්ටුවට, ගිහිල්ල තැන හදා ගන්න. ඔයාගේ කෑම ටික අඩුක් කරගෙන හිතන්න තව මොනවාද ඕනෙ කියල. මම මෙතන ඉඳගෙන ඉන්නවා. ඔයා හොඳට බලල ඇවිත් මට කියන්න , මම හවසට එනකොට අරන් එන්නම්. "
ඇය කවදාවත් ඔළුව වරද්දා ගත්තේ නැත. ඊළඟ පියවරට කරන්නේ කුමක්ද යන්න ඇය හොඳින් දැන සිටියාය. ඔවුන් එක්ව ගතකල ජීවිතයේ තම සැමියාගේ සත්‍ය ගමන් සගයා වූයේ ඇයයි. පාවෙල් නිකොලායෙවිච් ඇයට සංග්‍රහ කළේ ස්තූතිය හා ශෝකය එකවර පළ කරන්නාවූ බල්මකිනි. ඔහු පුතු දෙස බැලුවේය.
"එහෙනම්, ඔබ යනවා, යූරි "
"මම හවස කෝච්චිය ගන්නවා තාත්තේ" ඔහු ඔවුන් ඉදිරියට පැමිණියේය. ඔහු සැම වීමට සිය පියා ඉදිරියේ හැසිරුනේ ගෞරව සම්ප්‍රයුක්තවය. ඔහු ස්වභාවයෙන්ම හැඟුම්බර මිනිසකු නොවූ අතර පියා සමග ඔහුගේ සමු ගැන්මද හැඟීම් විරහිත එකක් විය. ජීවිතය පිලිබඳ ඔහුගේ ප්‍රතික්‍රියාවන් අඩු වෝල්ටියතාවයෙන් යුත් එකක් විය.
"ඒක හරි, පුතා. මේක ඔබගේ ප්‍රථම වැදගත් නිල චාරිකාව. විශ්වාසවන්ත බව සහ මුල ඉඳන්ම නිවැරදි මගක් ගන්න එක තමා කළ යුත්තේ. ඔබේ මුදු බව ඔබේ පරිහානියට හේතු වෙන්න පුළුවන්. හැම වෙලේම මතක තබා ගන්න ඔබ යූරි රුසානොව් නොවේ , ඔබේ පෞද්ගලික මිනිසකු නොවේ. ඔබ නීතියේ නියෝජිතයෙක්, ඔබට වටහුනාද?"
යූරිට එය වැටහුනා ද නැත්ද යන්න නොව පාවෙල් නිකොලායෙවිච් ට එම අවස්ථාවට උචිත වදන් සොයා ගැනීම ඉමහත් අසීරු එකක් විය. මීතා සිටියේ අවුල සහගතව එතැනින් මිදී යාමේ තදියමිනි.
"මම අම්ම එක්ක නැවතී සිටින්නම්. " යූරි මද සිනාවක් මුවේ රඳවා ගත්තේය. "සමු ගන්න ඕනේ නැහැ තාත්තේ , යන්න "
"ඔබට තනියම පුලුවන්ද " මිතා ඇසුවාය. "ඔබලාට පෙනෙන්නේ නැත්ද මේ මනුස්සයට නැගිට ගන්නවත් බැහැ කියල. අඩුම ගානේ ඔහු වෙනුවෙන් බෑග් එකවත් උස්සන් ගිහින්, මෙයාව ඇඳට ගිහින් දාන්නවත් බැරිද?"
අනාථ වූවෙකු මෙන් සිය පවුල දෙස බැලූ පාවෙල් නිකොලායෙවිච්, මීතා උදව්වට දිගු කළ අත ද නොසලකා හරිමින්, පියගැට පෙලේ බැනිස්ටරය තදින් අල්ලාගෙන, පඩිපෙළ නැංගේය. ඔහුගේ හදවත තදින් ගැහුනේ පඩිපෙළ නැගීමෙන්ම නොවේ. ඔහු පඩිපෙළ දිගේ ඉහළට ගියේ - කුමක්ද ඒ වචනය - මිනිසුන් හිස ගසා දමන්නට තිබෙන කොටය කරා ගෙනයන්නාක් මෙනි.
ඔහුගේ බෑගය ද රැගෙන පියගැට පෙළ උඩටම දිවගිය මේට්‍රන්වරිය , උඩ සිටම මරියා නමැති යමෙකුට කෑ ගෑවාය.පවෙල් නිකොලායෙවිච් උඩටම නගින්නට පෙරම පියගැට පෙලේ අනිත් පැත්තෙන් පහලට බැසගෙන පැමිණි ඇය ගොඩනැගිල්ලෙන් පිටතට දිව ගියේ ඇගේ සැමියාට මේ ස්ථානයේ ලැබෙන්නට යන්න කුමන වර්ගයේ සැළකිල්ලක් ද යන්න විදහා දක්වමිනි. සෙමින් පඩිය නැග පාවෙල් නිකොලායෙවිච් පැමිණියේ මෙවැනි පැරණි ගොඩනැගිලි වල ඇති විශාල පඩිපෙළවල් අවසන් වන තැන ඇති විශාල ශාලාවක් වන තැනකටය. මේ කොටසේ හරි මද අවට ඇවිදගෙන යන්නන්ට අපහසු නොවන ලෙසට, ඇඳ අසල තබන රාත්‍රී මේස සමග තිබූ ඇඳන් දෙකේ රෝගීන් දෙදෙනෙකු සිටියහ. ඉන් එක අයෙකු සිරියෙ දැඩි අමාරුවකිනි. ඇඟ දියව ගිය ඔහු සිටියේ ඔක්සිජන් බැලූනයක ආධාරයෙන් අපහසුවෙන් හුස්ම ගනිමිනි.
අවාසනාවන්ත මිනිසාගේ මුහුණ දෙස නොබලන්නට යත්න දරමින් රුසානොව් වේදිකාවෙන් හැරී උඩ බලාගෙනම පඩි නැංගේය. ඔහුට උනන්දු වන්නට කිසිවක් දෙවන තරප්පු පේලිය අවසානයේ තිබුනේද නැත. කිසිදු සිනාවක් කතාවක් නැතිව ඉටි රූපයක් පරිද්දෙන් හෙදිය, මරියා එතැන සිටගෙන සිටියාය. උස, පැතලි පපුවක් ඇති ඈ ඔහු එනතුරු බලා සිටියේ දැඩි මුරකාරියක ලෙසිනි. ඔහු උඩට පය තැබූ වහාම ඇය උඩ තට්ටුවේ ශාලාව දිගේ ගියේ ඔහු යායුතු තැන පෙන්වීමටය. ශාලාවේ දෙපස දොරවල් කිහිපයක්ද වම්පස ඉඩෙහි රෝගීන් සහිත තවත් ඇඳන්ද විය. ජනෙල් කවුළුවක් නැති ගුහාවක් වැනි කොනක කවදාවත් නොනිවන මේස ලාම්පුවක් හා හෙදියන්ගේ ලියන මේසය හා ප්‍රතිකාර සයනය විය. එතනම් උඩ එල්ල තිබුනේ රතු කුරුස ධජය සහිත වීදුරු කබඩයකි. එතැනද තවත් ඇඳක් ද පසුකර ගිය පසු මරියා ඇගේ තුනී අත දික් කරාය.
"ජනේලයේ සිට දෙක"
ඇය හනිකට යාමට සූදානම්ව සිටියාය. සියලුම රජයේ රෝහල්වල තිබෙන අවලස්සනම දෙය නම් ඔබට වචන කිහිපයක් කතා කරන්නට කිසිවකු තත්පරයකට හෝ නොනැවතීමයි.
වාට්ටුවට ඇතුළුවීමට ඇති දොරවල නිතරම පාහේ සම්පුර්ණයෙන්ම ඇර තිබුනත් එය තුලට පය තබන මොහොතේම පාවෙල් නිකොලායෙවිච් ට තෙත ගතිය මුසු බෙහෙත් ගඳ දැනුනි. ඔහු වැනි ගඳ සුවඳට ඉතා සංවේදී මිනිසෙකුට එය දරුණු වධයක් විය.
ඇඳන් තබා තිබුනේ, ඒවායේ හිස පැත්ත බිත්තියට ලං කර ඇඳන් දෙකක් අතර කුඩා රෝහල් මේසයට ඉඩක් පමණක් තබමින්, එක දිගටය. වාට්ටුව මැද ඇති මගෙහි දෙදෙනෙකුට යන්තම් මාරු වෙන්නට ඉඩක් තබා තිබුණි.
මේ ඇඳන් දෙපස මැද මාර්ගයේ රෝස පාට ඉරි සහිත පිජාමාවක් ඇඳගත් , උරහිස් පළල් රෝගියෙකු සිටගෙන සිටියේය. ඔහුගේ ගෙල පෙදෙස බැන්ඩේජ් වලින් බැඳ තිබුනේ කන් වල යට කොටස දක්වා වැහෙන ලෙසය. සුදුපාට හිර බැන්ඩේජ් රවුම නිසා, නරින්ගේ දුඹුරු පාටින් යුත් හිසකේ මුඩ්ඩක් එලියට පැනුණු හිස, ඔහුට හැරවීමට වත් නොහැකිය.
රෝගියා අනිත් රෝගීන්ට යටි උගුරෙන් කැඩුණු ශබ්දයක් පිට කරමින් කතා කරමින් සිටියේය. ඔවුහු තමන්ගේ ඇඳවල් වල ඇලවීගෙන ඔහුට සවන් යොමු කළහ. රුසානොව් ඇතුලට පිවිසි වහාම ඔහු සම්පුර්ණ සිරුරම රුසානොව් දෙසට හැරෙව්වේ හිසද එයටම වැල්ඩින් කර තිබු පරිද්දෙනි. කිසිම අනුකම්පාවක් නොදක්වාම කීවේ " ඔහෝ, අපට මොනවාද මෙතන තියෙන්නේ, තව පොඩි පිළිකාවක් වගේ
පාවෙල් නිකොලායෙවිච් එවැනි සුපුරුදු වදන් වලට ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. මුළු කාමරයම ඔහු දෙස බලන බව වැටහුනත්, ඔහුට ඔවුන්ව විමසා බලන්නට හෝ ඔවුන්ට ආයුබෝවන් කියන්නට පිරියක් තිබුනේ නැත. සිටගෙන සිටි රෝගියා ඔහුට යන්නට ඉඩ දුන් අතර නැවතත් හිස ඔබ්බවා ඇති මුළු ශරිරයම හරවා ඔහු යන අයුරු බලා සිටියේය.
" මේ, යාලුවා , ඔහෙට මොන පිළිකාවද තියෙන්නේ ", ඔහු උගුර පාදමින් ඇසුවේය .
පවෙල් නිකොලායෙවිච් තමන්ගේ ඇඳ වෙත ළඟාවී සිටියේය. ඔහුට දැනුනේ එම ප්‍රශ්නය ඔහුගේ සම සීරු ලෙසිනි. ඔහු තම දෑස් ඔසවා මේ මුඩුම රෝගියා දෙස බැලුවේ තරහ වළකා ගනිමිනි. ඔහුගේ උරහිස් සොලවමින් ගම්බිරව පිළිතුරු දුන්නේය.
" මට පිළිකාවක් කියල එක්ක නැහැ. මට කොහෙත්ම පිළිකාවක් නැහැ ".
නරි හිසකේ ඇති රෝගියා නහයෙන් පිම්බේය. ඉන්පසු මුළු වාට්ටුවටම ඇසෙන ලෙසට තමන්ගේ තීන්දුව ප්‍රකශ කළේය.
"ගොන් මෝඩයා, පිළිකාවක් නෙමේනම් ඒ ගොල්ලෝ තමුසෙව මේකට දැම්මේ මොකට කියලද හිතන්නේ "
- පරිවර්තනය - අජිත් ධර්මකීර්ති 14/08/2023