Wednesday 23 June 2021

ශ්‍රී ලංකාවේ දේශපාලනය හා පුබුදු ජයගොඩ ගේ අහිංසක කම


පුබුදු ජයගොඩ ගැන ඇත්තටම දුක හිතෙන්නේ නැත්ද? ඒ ප්‍රශ්නය ඇහුවේ දීප්ති කුමාර ගුණරත්නය. කල්පනා කර බැලූවිට ඇත්තය. ලඟකදී ධීවරයන්ගේ උද්ඝෝෂණයට ගිය පුබුදුව පොලිසියෙන් අත් අඩංගුවට  ගැනීමට තැත් කළේය.  ධීවරයන් කෑ කෝ ගසා ඔහුව බේරා ගත්හ. මෙහිදී ධීවරයන් ගේ ප්‍රශ්නයට සමහරවිට  තත්පර දෙකක බුකියේ හා මාධ්‍ය වල ප්‍රසිද්ධියක් ලැබෙන්නට ඇත. ඊළඟ මැතිවරණයේදී ඔය ධීවරයන් ගේ චන්දය වත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ලැබෙන්නේ නැත. 

මේ ඉන්ධන ප්‍රශ්නය මෙන්ම අනිකුත් ප්‍රශ්න අටෝරසියක් හැමෝටම ඇත. මේ කාලයේ එදා වේල ටුවර්ස් රැකියා කරණ අය, පෞද්ගලික වෙළඳම් අනිකුත් අත්‍යවශ්‍ය නොවන රැකියා කරන බයියන්, ටොයියන් , ජෙප්පන්, පෙරට්ටන්  ආදී සියල්ල අමාරුවේය. අමාරුවක  නැත්තේ ඔය  රජයේ හෝ අත්‍යවශ්‍ය සේවා රැකියා කරන වෛද්‍ය, හමුදා, සෞඛ්‍ය සේවයේ අනිකුත් අය , දේශපාලකයන් හා සල්ලි තිබෙන අයත්, පිටරට සිටින ජෙප්පන්, පෙරට්ටන් ආදීනුත්ය. 

ඒ අතරේ ලංකාවේ දේශපාලනය ගැන යහපාලන ආණ්ඩුව පත් වූ පසු 2015 පෙබරවාරි 19 "පුටින් ගේ අපේ ටිකිරි මොළේ (හෙවත් රජ්ජුරුවන්ගේ ප්ලෑන)" ලියූ ලිපිය නැවත රිසයිකල් කර 2019 නොවැම්බර    19 දින "අපේ රජ්ජුරුවෝ" මැයින් පල  කලෙමි. නැවත එම ලිපියම අද 2021 ජුනි 21 රිසයිකල්  කරමි. ලංකාවේ දේශපාලනය ගැන පේන කීමට ජ්‍යෝතිෂය අවශ්‍ය නැත. 


2019-11-19 : 
අපේ රජ්ජුරුවෝ අද නැවත  දිවුරුම්  දුන්නේය. ඒ අගමැතිතුමන් වශයෙනි.
මම  යහපාලන ආණ්ඩුව පත්වුණු 2015 මාසයේ ඒ ආණ්ඩුවේ පිළිවෙත  දෙස බලා මෙම ලිපිය ලීවෙමි.

අද නැවතත් විපස්සයා විපස්සයාම  වී ඇත.

ඒ ප්‍රීතිය නිමිත්තෙන් 2015 පෙබරවාරි 19 ලියූ ලිපිය නැවත  පළ කරමි.
කියවා  සැනසෙන්න.
( දැන්වීමයි- මේවා ලිවීමට ජ්‍යොතිෂය උපයෝගී කර නොගත්තෙමි.)

එදා 2015 පෙබරවාරි 19 ලිපිය: (මේ ලිපියේ අනාවැකියේ පොඩි වරදක් තිබේ. එහි කියවෙන්නේ  ලේකම් කොලූ නැවත  ජනාධිපති වන බවයි. ඒ වෙනුවට ජනාධිපති වූයේ බාල සොහොයුරාය. ඉතිහාසය වෙනස් වනු ඇත.)

පුටින් ගේ අපේ ටිකිරි මොළේ (හෙවත් රජ්ජුරුවන්ගේ ප්ලෑන)

ඔන්න ඉතින් අපේ පුටින් උන්නැහේ දන්නවනේ රුසියාවේ. සෝවියට්  දේශය කාලේ  කේජිබී  ලෙෆ්ටිනන්ට් කෙනෙක්. පස්සේ ලෙනින්ග්‍රාද් (සාන්ත පිතර්බුර්ගය) පැත්තේ දේශපාලනේ කරලා යෙල්ට්සින් හරහා ඇවිත් ජනාධිපති වුණා. ඇස්වහක් කටවහක් නැහැ මන් මනාපය දෙන පොරක්. වෙන හේතුවකට නෙමේ වැටිලා තිබුන රුසියාව නැගිට්ටේවට. රුසියාව දියුණු රටක් වශයෙන් රුස්සට ජාතියේ ආඩම්බරය ඇතුව ජීවත් වෙන්න යලි ඉඩ සලසා දුන්නට. හැබැයි පොර මෙහෙමත් කලා. හොරකම් කර කර හිටි මදාවියෝ ටික තමන්ගේ යටතට අරගෙන ඒක  පිළිවෙලක් ඇතුව ගානට කරන්න හදල දුන්න, තමන්ට ගානක් එන විධිහට. දෙන්නේ නැති නහර කාරයන්ව එංගලන්තෙට පිටුවහල් කලා.  නාකි මිනිසුන්ව මරල උන්ගේ දේපල උස්සන එවුන්ව  අල්ලල හිරේ දාල ඒක  නවත්තල, උන්ට පැන්ෂන් වැඩි කරලා පාරවල් ටික අලුත් වැඩියා කලා රුසියාවේ, බෙදුම් වාදී චෙචේනියාවට කෙලින්ම බෝම්බ  දාල  හමුදා යවල මට්ටම් කරලා සාමය හැදුව,   අමෙරිකාවට කෝචෝක් එකක් එහෙම දාල  දැහැමෙන් සෙමෙන් වාර  දෙකක් හිටිය. පස්සේ ජනාධිපතිවරණේ  එනකොට පොර දැනගත්ත ආයි ඉල්ලන්න බැරි නීතියක් මේ යෙල්ට්සින් කියන වසවර්තිය දාල තියෙනවා කියල.

ඉතින් මොකද කරන්නේ. ටක් ගාල පක්ෂයක් ගත්ත සල්ලි වලට. මෙද්වෙදෙව් මලයට කිව්වා ජනාධිපති කමට ඉල්ලන්න කියල.  පූටින්  අය්යා  අගමැති කමට ඉල්ලුව. ඉතින්  අපේ නාමික ජනාධිපති ඉන්නවා මඟුල් ගෙවල් වලට යනවා එහෙම, කම්හල් අරිනවා පීත්ත  පටිය කපල හෙම වැඩ ගොඩයි.. පුටින් අගමැති රට පාලනය කළා. ඇමෙරිකන් කාරයා නම් වැඩිය කැමති වුනේ නැහැ. ඒත් ඔය අධිරාජ්‍යවාදියෝ කවුද ගණන් ගන්නේ. මෙන්න අවුරුදු 4 ගියා. ජනාධිපති හැටියට අවු 8 , අගමැති හැටියට 4 යි. 12 යි.  මෙන්න ව්‍යවස්ථාව වෙනස් කරලා ජනාධිපතිට අවුරුදු 6 ක් ඉන්න පනතක් ගේනවා. 2012 අගමැති පුටින් ආයේ  චන්දෙ ඉල්ලල ජනධිපති වුණා . අර කලින් කොමියුනිස්ට්  නායකයෝ මැරෙන  කන් හිටියේ එල්ලිලා.  15හක් ඉවරයි තව අවුරුදු 3 ක්  තියෙනව. ඊට පස්සේ හතරවැනි වතාවට ඉල්ලුවම (ඇයි දෙපාරක් පුළුවන්නේ ) ආයේ ඉතින් යාවජිව ජනාධිපති කිව්වත් කමක් නැහැ.

ඉතින් ඔන්න රුසියවට එහා ඈතම ඈත ඩිස්නිලන්තෙක හරිත වර්ණ කට්ටියක් අවුරුදු 17ක්  රට කාල  බීල  අහවර වුණාම, නීල  වර්ණ කට්ටියක් 1994 ඉඳන් රට පාලනේ කලා. ඒගොල්ල ගත්තෙත් කන බොන ගමන් රට වැසියටත්  පොඩ්ඩක්  දෙන්නම්  කියල පොරොන්දු වෙලා . හරිතවර්ණ එවුන් රක්ත වර්ණ උන්ගේ කැරැල්ලක් මැඩ  පැවත්වුවට උතුරු පැත්තේ චෙචෙන් කාරයන්ට වැඩක් දීගන්න බැරි වුන.  නීල වර්ණ එකීටත් බැරි වුනා . අවුරුදු දහයක් ඔහේ අද්ද අද්ද ගියාට පස්සේ රජතුමෙක් ජනපති වුනා. වණයක්  වෙලා හිටිය චෙචෙන් වගේ කට්ටියට විතරක් නෙමේ උන්ගේ අඹු දරුවන් ගේ ගෙවල් දොරවල් වලටත් බෝම්බ දාල මට්ටම් කරලා කොහොම හරි සාමය ගෙනාව. ඉතින් මිනිසුනුත් කැමැත්තෙන් පලවෙනි අවුරුදු පහ දුන්න . දෙවෙනි අවුරුදු පහ යනකොට  හරිත වර්ණ කට්ටියකුත් සෙට් වෙලා කාගෙන කාගෙන ගියා. සුදු අස්ස කරත්ත හෙම හිටි හැටියේ මතු වෙන්න ගත්ත. මිනිසුන්ට එපා වෙන්න ගත්ත. රජතුමා ව්‍යවස්ථාව වෙනස් කළා තුන්වෙනි පාර ඉල්ලන්න. මිනිස්සු කීව  දැන් කෑව ඇති කියල. රජතුමාගේ උපදේශකයන්ට තේරුණා වැඩේ වල්  වේගෙන එන බව. රජතුමා මේ පාරනම් සෙට් කියල උපදෙස් දුන්න. පිස්සුද බොල මන් වගේ එකෙකුට හේමත් වෙනවද කියල උදහස් වෙලා හැච් කළා ප්ලෑනක්.

රජතුමා කතා කලා සාස්තර කියන පුරෝහිතයට. " මම තුන්වෙනි පාර ඉල්ලනවා. මම දිනනවයි  කියල මුසාවක් කියපිය රට වටේ " කියල උපදෙස් දුන්න . පුරෝහිතය කීව ග්‍රහ බලපෑම  අනුව විතරක් නෙමේ  මිනිස්සු කියන කතා අනුවත් ඔබතුමා මේ පාරනම් පරදිනවා කියල. රජතුමා උදහස් වෙලා කිව්වා "යකෝ තෝ මාව දිනනවා කියල කිව්වේ නැත්නම් තෝව  දඬු කඳේ ගහල රජ අලියට කියල පාගවනවා" කියල. අරූ භයවෙලා අඬ බෙර ගහල යැව්වා  රජා  දිනනවා කියල. ඔය අව්වස්සේ මේ රටේම හිටිය විපස්සයෙක් . හරිම ආසයි විපස්සේට වෙලා ඉන්න.  විපස්සේ එවුන් කොච්චර තල්ලු කලත් ම්හු හොලවන්නම බැහැ. රජතුමා කතා කලා විපස්සයාට. කිව්වා විපස්සයෝ දන්නවනේ මම උඹට හැමදාම සලකනවා තේ බොන්න කෝපි  බොන්න කතා කරනවා.  මේක තියාගන්න ඕනේ නම් මට උදව් කරපිය කියල. විපස්සයත් කියන ඕන ලබ්බකට කැමති පොරක්. ඉතින් හැදුව ප්ලෑන. ඔහේ අර පරණ නෝනවයි ඉන්දියන් ඇමෙරිකන් කාරයෝ ටිකයි අන්ද ගන්නවා. වමාල ටිකත් සෝසෝ හරහා උඹ බලා ගනින්. සෝමේ ටිල්විල අනූ ලා මගේ පරණ කොල්ලෝ සැට් එක මාව 2005දී උස්සපු එවුන් ටිකනේ.  උන්වත් උඹ ගාවට එවන්නම්. ඉන් පස්සේ මම මගේ විශ්වාසවන්තම  ලේකම් කාරයා එවනවා උඹේ පැත්තට. ඕන වෙලාවක මම කියන එක අහන එකෙක්.  මාව යුද්දෙට තල්ලු කරපු අර කිව්වා නාහන පිංචක රතන සෙට් එකත් එවන්නම් ජාජිත් කොලූ එක්ක. මිනිස්සු ටික අන්ද ගන්න ඒ ඇති.  ඊළඟට උඹ  එවපන් උඹේ එකා මගේ පැත්තට. ඊට පස්සේ උඹ අගමැති  වෙලා මගේ එකාව  ජනාධිපති කරපන්. විපස්සයත් බොහොම අකමැත්තෙන් විපස්ස කම දාල යන්න බෑ කියල බෑඟිරි ගහල හෙම කැමති වුණා.  පොර අහනවා.

"ඉතින් ඊට පස්සේ මට විපස්ස කම හම්බ වෙන්නෙම නැත්ද ?"

"ඔය ඉතින් සරත්මධු වෙන්න යනවනේ. ඉඳපන් කියනකන්.  ඔන්න උඹ අගමැති වුනාට පස්සේ අර මාත් එක්ක ටුවර්  ගිය ජිල්ජෝනට භාර දීපන් පොලෝසිය. ඔය පෙළපාලි ගිය නීතිඥ උන්ට හොඳ සභාපති කමක් දෙකක් දීපන්. ජනරාලයත් පව්නේ ආපහු ඔක්කොම දීලා තියන් ඉඳපන්. නැත්නම් මිනිස්සු  බලයි මොකද කියල. වැඩිය දෙන්න එපා ගන්න අමාරු වෙයි. "
"ඉතින් ඊට පස්සේ "..

"ඔය ආයි ඉතින් මට ඔය දේදුනු කැලුම් පෙන්නන්න බැහැ". මොන් ගලයව පුළුවන් තරම් එලියෙම්ම  තියා  ගනින්. ගල් ආඳා. අපේ වැඩේ මාට්ටු වෙයි. යවපන් ලෝකේ වටේ. මම බයිලලනිපේ ලේකම් ටම දෙන්නම් සභාපති කොමත් . එතකොට ඒකත් හරි. උඹේ හිටිය ලේකන්ව මිනිස්සුන්ට පේන්න දවසක් දෙකක් ඇතුලට දාල ගනින් එලියට. හැබැයි ඔන්න මගේ කොල්ලෝ ටික  හෙම ඇතුලට දාන්නේ නැහැ විහිළුවටවත්. බිසෝ තුමී මගේ ඔලුව පලයි. ඕන් ඔහොම යනකොට මිනිසුන්ට උඹව නිකම්ම එපා වෙනවනේ.
ආ කියන්න අමතක වුනා. දන්නවනේ මගේ පුරෝහිත වංශ, නානලා සෙට් එක. උන් උගේගොඩ හෙම රැස්වීමක් දෙකක් තියල  මාව ආපහු ඉල්ලයි. උඹට තියෙන්නේ ආපහු චන්දෙ තියන්න.
එතකොට මං අගමැති , මගේ ලේකම් කොලූ ජනාධිපති උඹ ආයිත් විපස්සේ. ඊට පස්සේ මම ව්‍යවස්ථාව වෙනස් කොරනවා මට අවුරුදු දහය ගානේ ඉන්න. උඹ අවුරුදු 20ක් විපස්සේ ආයි. කොහොමද මගේ ටිකිරි මොලේ." විපස්සයට කොච්චර ජොලියක්  ගියා ද කියනවනම් රජතුමාව ඉඹින්නත්  හැදුව. හොඳ වෙලාවට රජතුමා සාටකෙන් මුණ වහ ගත්ත.
ඔය වෙලාවේ සුදු අස්ස කරත්තයක් හය්යෙන් ඇවිල්ල අස්ස කකුල් හතරම තද කරලා බ්රේක් ගැහුවා.
"ඒ සද්දෙට මට ඇහැරුණා."

2015 පෙබරවාරි 19 ලියන ලද්දකි.

- කොළඹ ගමයා 

 

Sunday 20 June 2021

පියාගේ දිනය


මගේ ආදර දූලා දෙන්නා 

තෑගි දුන්නා මල් කළඹක් එක්ක 

වැළඳගෙන තදින් සිඹ සෙනෙහසින් 

කේක් හදනවා උන් බිරිය සමග 

ඈ දුන්නා මට මල් සමග 

ෂැම්පේන් බෝතලයක් 

බොන්න තහනම් නැහැනේ මේ රටේ 

ඇය හදනවා ශික්ට් ක්‍රවුට් 

මස් එක්ක  ගෝවා 

මේක තනිකර ජර්මන් වැඩක් 


මේ පියවරුන්ගේ දිනය 

මට මතකයි මගේ දුප්පත් තාත්තා 

පියවරුන්ගේ දිනයක් තිබුණාද ඔහුට 

අදහගන්නට අදත් බැහැ 

හැදුවේ කොහොමද ඔහු අපි 

ඒ පුංචි පඩියෙන් 


අපි විභාග පාස් කෙරුවම 

විදුහලේ, එළියේ දස්කම් දුටුවහම 

ඒ තමයි ඔහුට පියවරුන්ගේ දිනය 

ඔහු අප හැර  ගියේ හරි ඉක්මනින් 

යන්තම් හැට දෙකට ළඟ 

මගේ මව බාලය මගේ දැන් වයසටත්  වඩා 

හිතා  ගන්නට බැහැ  මට 

මා හිතන්නේ හදවතින් මම 

තවත් තරුණයි කියා

පනස් හයක්ම මට,

හිතා ගන්නට බැහැ මට 

ඇය කෙතරම් තනිදැයි කියා 

ඇයට කෙතරම් දුක දැයි කියා 


පොරොන්දු විය හැකි ඔබට

දයාබර තාත්තේ  

රැක බලා ගනිමි අප  

ඔබේ ජිවිතයේ ආදරය 

ඔබට සෙනෙහස පිදූ 

ඒ සුන්දර කාන්තාව 

අප මුළු දිවිය පුරාවට 

අපට කළ හැකි 

එයම පමණකි 

ඔබ කළ සියල්ලට 

ඔබේ දරුවන් හතරට 

ඔබ දමාගිය එකම වස්තුව 


 - පියවරුන් ඇති නැති සැමට පිදුමකි 


Friday 18 June 2021

බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට ගිය දෙවෙනි චාරිකාව

පෙර කථාව:  

 කෝවිඩ් ව්‍යසනය ආරම්භ වී යන්තන් අවසන් වුනේ යයි අපට සිතුනු  වසර දෙදහස් විස්සේ නොවැම්බරයේ දිනෙක,  මම බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට ගොස් එලියට ඒමට නොහැකිව හිරව සිටියදී අති උත්තම රාවණා නරේන්ද්‍රයන් හමුවූ බව ඔබට මතකයේ ඇති.  මතකයේ  නැත්නම් මේ යොමුවෙන් කියවාගෙන මොළේ කුරුවල් කරගත හැකිය.   

රාවණා උදව් කිරීමට ඇසූ විට ඒ දිනයේ මම සම්පුර්ණ සත්‍යය ම මෙසේ පැවසුවෙමි. 
--
"අපෝ අවශ්‍ය  නැහැ දේවයාණන් වහන්ස. අපට රාවණා  පරපුරෙන් පැවත එන නෑ යකුන් බොහෝයි . ඒ අතරින් පවිත්‍රා දේවියන් වැනි සේනාධිනායිකාවන් සිටිති. සුදු එලියා වැනි සේනාධිනායකයන් සිටිති. ඔවුන් රාවණා මහිමයෙන් විශ්ව ශක්තීන් උපදවා රට රකිති. රාවණාවබෝධයෙන් යුත් රහතුන් දඬු මොණරකොප්ටරයෙන් ගොස් රට පුරා රාවණා ජලය ඉස ආශීර්වාද කරති.   රට වැසියෝ මොන ප්‍රශ්න පැමිණියත් නොබියවම ඉතා සතුටින්  කල් ගෙවති. " . --

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
වර්තමාන කථාව:

මේ පාර හම්බවුනොත් මොනවා කියන්නද කියල හිත හිත තමයි ගියේ. මොකද අර මතුරපු  ජලය  ඉහල, පිරිත් පැන් වැස්සුවත් වැඩක් වුනේ නැහැ නොවැ. හිනා වෙන්නත් බැහැ නේ  නෑ යක්කුන්ටම නේ කෙළ වෙලා තියෙන්නේ. අඬන්නත් බැහැ හිනා යන නිසා. 

මේ පාර නන්දන කියල යක් පරපුරේ කොන්සවේටිව් සමාජවාදී නෑයෙක් එක්ක තමා මියුසියම් එකට ගියේ. බ්ලොග් ලියන කට්ටකාඩුවේ ලොකු මල්ලිගේ අවාසනාවට අර හොයන්න කියපු අත් පිටපත තිබ්බේ නැහැ. ආසියානු කොටසත් වහලා. ඔය රාවණා කට්ටිය හොල්මන් කරන එක තේරිලද දන්නෙත් නැහැ.

ඉතින් නන්දන ගොයියට ඕන වුන නිසා  ගියා මිසරයේ පාරාවෝ පිළිම ආදිය බලන්න. පස්සේ මට හිතුන  කොලොම්පුරේ ලියාගෙන යන  හෝර්ස් ගේ දරුවාගේ කතාවේ අර ශාප දෙන යක්ෂ බඳුන වගේ ඒවා තියනවද දන්නේ නැහැ. ඒකත් හොයල  බලන්න ඕනේ කියල.. මේ තියෙන්නේ දැක්ක බඳුනක් තමයි.

ඔන්න ඊට පස්සේ තමයි මෙන්න මේ ශීලා ලිපිය දැක්කේ.  ඕවට කියන්නේ ස්ටෙලා  කියලද කොහෙද.   පුරාණ  මිසර අකුරු වගයක් තියෙනව නේද. ඒ අකුරු වලට  කියන්නේ හයිරග්ලිෆ්ස්  Hieroglyphs වගේ දිව උළුක් වෙන වචනයක්. මේක කියව ගන්න ගූගල් කාරය ගේ උදව්ව ගන්න   හිතන කොටම වගේ  කවුද ෂේප් එකේ ස්ස් ගෑව පැත්තක ඉඳන්. ඉස්සෙල්ල බලනකොට පාරාවෝ කෙනෙක් ගේ මමියක් පිටි පස්සේ හැංගිලා මෑන්  හිටියේ. ඊට පස්සේ නන්දනය එහා මෙහා වෙනකන් ඉඳල ආව මගේ ළඟට. සද්දන්ත මේ මනුස්සය දැකල පුරුදු කෙනෙක් වගේ.


බලනකොට මේ රාවණා නේ වෙස් වළාගෙන.

"දේවයන් වහන්ස මේ  මොකෝ මේ කලිසමක් ඇඳලා සන්ග්ලාස් දාල කෝවිඩ් මුකවාඩමකුත් බැඳන්? නොපෙනී ඉන්න පුළුවන් කම  තියෙද්දී. කෝ හිස් දහයයි අත් දහයයි " මං ඇහුවා.

"හිස් ටිකයි අත් ටිකයි අර වහපු කෑල්ලේ තියල ආවේ. තමුන්නැහේ  අද එනවා කියල මට ඔත්තුවක් ආව . මේ මිනිස්සු ඉන්න තැනක  වෙන හම්බවෙන්න විධිහක් වත්නැ හැනේ" රාවණාත් ගානක් නැතිව කීව. 

"ඒකනේ හරියට විස්තර කතා කරන්නත් විධිහක් නැහැ තමයි"

"හරි කතා කරන්න පස්සේ හම්බ වෙමු කෝ. ඔය තැනැත්තා අද මේ හරියට එනවා කියල අපට හරියටම ලංකා ඔත්තු සේවයෙන්ම කීව. එනිසා මම ශිලා ලිපිය ගැන කියලා යන්න ආවේ.  අපි ඒ කාලේ මිසරයටත් ආව කියල පෙන්නන්න  "

"අම්මට සිරි එහෙත් ගියාද , දඬු මොණරෙන් උඩින්ද  ගියේ"

"නැතිව වෙන කොහොම යන්නද මනුස්සයෝ? තමන්ගේ ෆීල්ඩ් එකේ නොවෙන දේවල් ගැන කතා කරන්නේ නැතිව ඉන්නවා. ෆේස්බුක් පොලිසියෙන් හිරේ දම්ම ගන්නේ නැතිව. මම ඉතින් ඒ කාලේ ක්ලියෝපැට්ර  නංගා බලන්නත් එනවනේ මාර්ක් ඇන්ටනි ට හොරෙන් "

"එහෙමත් සීන් එකක්ද? අපි ඕව දන්නේ නැහැනේ. කොහෙද ඉතිහාස කාරයෝ ඕව ලියන්නේ නැහැනේ. දැන් එතකොට මොකක්ද අර පෙන්වන්න හැදුවේ"

"ඔය තියෙන  ශිලා  ලිපියේ බලන්න එක්කෙනෙක් නටනවා. එක්කෙනෙක් පෙන්වනවා අතින් ඩ්‍රම් එක. "


"ඉතින්"

"ඕකේ තියෙන්නේ අවුරුදු 2070 කට පස්සේ අපේ ඉතාමත් වංශවත් හඬින් මධුර ගී ගයන රූමත්  උමාරියා සිංහවංශ  දියණිය  අපි දෙන්න අර  විල ළඟ මාක්  ඇන්ටනියට හොරෙන් දාපු  ලව් සීන් එක ගැන "මන්ද පමා" කියල සින්දුවක් කියනවා කියලනේ. ක්ලියෝ මම එනකන් තමයි බලන් හිටියේ." 

"සීරියස්ලි, එතකොට  අර පිටිපස්සේ ඉන්නේ කවුද "

"ඒ අර සුප්‍රසිද්ධ භාතිය ජයකොඩි ළමයනේ "

"හරි හරි ඒ දෙන්නනේ සින්දුවට සම්බන්ධ නේද, " 

මට ඒ වුනාට අවුරුදු ගණන් පොඩ්ඩක් අවුල් වගේ.

එනිසා  පොඩ්ඩක් බයෙන් බයෙන් ඇහැව්වා "දේවයන් වහන්ස අපේ ඉතිහාස කට්ටිය කියන්නේ  ඔබතුමා රජකලේ  අවුරුදු පන්දහකට විතර කලින් කියලනේ. වයස බැලුවහම  හරියට  ගැලපෙන්නේ නැහැ වගේ. අනික  දැන් මේ පහළ තියන විස්තරයේ තියෙන්නේ හොරයි, චූටියි ගේ සොහොනින් ආපු එකක් කියල. ඒ ගොල්ලා තමයි අමුන් මහා දෙවොලේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පීන්"

"ඔය ළමයට මම කිව්වා නේද ෆීල්ඩ් එකට අදාල නැති දේ ගැන කතා කරන්න එපා කියල. ඕව ඔය අධිරාජ්‍යවාදීන් හොරෙන් ගෙනල්ල ඉතිහාසය විකෘති කරලා ලියපුව. ඔය දෙවොල හැදුවෙත් අපි තමයි. ලංකා පුරයෙන් තමයි ශිල්පීන් අරන් ගියේ. ඔය යට මොකද්ද ලජබටකිව් කියල ගහල තියෙන්නේ. මේකට කිසිම සම්බන්ධයක් නැහැනේ." 



"හරි මට තේරුණා. තව මුකුත් ලියල නැත්ද මේකෙ දේවයන් වහන්ස . මේ දවස් වල කෝවිඩ් නිසා ලංකාවට පොඩි තර්ජනයක් තියනවා. විදේශීය සංචිත අඩු නිසා පිටරටින් මුකුත් ගෙන්වන්නේ නැතිව වවාගෙන කන්න හදන්නේ"

"ලංකාවේ නායකයෝ  කොහොමත් වවාගෙන කන්න දක්ෂයි නේද? විභිෂණය මට කළෙත් ඕකනේ. සහෝදරයෝ කොච්චර ලං වුනත් පරිස්සමින් ඉන්න ඕනේ. නැතිනම් දඬු මොණරෙට ගහන තෙල් ටිකට හරි කෙළියි.  මොන දේ වුනත් දඬු මොනර ප්‍රමාණයක් ණයකට  හරි අරගෙන මගේ යක් ජනතාව රැක බලා ගන්න  රාජ්‍ය සභාවේ එවුන් ටික රැක ගන්න ඕනේ. "

රාවණා දිව දෙකින් කතාකරන්නේ දැයි මට සැකයක් ඇතිවුණි. 

" එකනම්දැ  වෙන්නේ නැහැ දේවයන්න් වහන්ස. මේ දවස් වල ගංවතුර නිසා සරොම් කැහිපොට ගහගෙන තල රාත්තල ගානේ නෑ යකුන්ට බෙදන් යනවා සභාවේ සමහරු.  මුකුත් උපදෙසක් වත් දෙන්න බැරිද දේවයන් වහන්ස මොකද කරන්නේ කියල "

"මම මොකටද ඒක කරන්නේ අර වාරකන් කාලේ මැරෙන මාළු කන  එගොඩහේවා යකයි, සර්ව ලෝක විශාරද  දේපැණියා  යකයි ඒවා කරනවනේ.  ඔහොම ගිහිල්ල ඕක ගිලා බැස්සහම චීන මස්සිනාලට කියල වැලි වලින් තව එකක් ගොඩ දාල දෙන්නම් "

"මේ මේ දේවයන් වහන්ස "

++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

රාවණා නරිදු  පහල පින්තූරයේ තියෙන පූජකවරයෙක් ගේ විශාල  මමියක් අස්සෙන් නොපෙනී ගියේය.

 


 "මොකද බං කෞතුකාගාරේ අස්සේ කෑ ගහන්නේ "

නන්දනයාගේ හඬින් යන්තම් සමාන්තර විශ්වයෙන් මේ පැත්තට පැන ගතිමි.   


Saturday 12 June 2021

කාබනික ප්‍රශ්නය ගැන මගේ අදහස


මම ලෝකයේ ඕනෑම රටක කාබනික පොහොර භාවිතා කරනවට කැමතියි. ඒක අර ආණ්ඩුව කලාද මේ ආණ්ඩුව කලාද කියන එක කොහෙත්ම අදාල නැහැ. ඒක ප්‍රතිපත්තියක්. අපි හුඟක් වෙලාවට මිලදී ගන්නෙත් ඕගනික් එළවලු, පලතුරු සහ මස්. ටිකක් ගණන් වැඩියි තමා. නමුත් වැඩි පාරිභෝගිකයන් ප්‍රමාණයක් ගන්න කොට ඒවායේ ගාන අඩුවෙන්න ඕනේ නේද. ඒ කියන්නේ ඕගනික් (කාබනික) අහර ද්‍රව්‍ය වලට ඇති ඉල්ලුම වැඩි වෙනකොට තව ගොවින් , සහ සමාගම් ඒවා නිෂ්පාදනය වැඩි කරනවා. එතකොට තිවන තරඟය මත මිල අඩුවෙන්න ඕනේ. මම බොන සෝයා කිරි දැන් එකම ගාන වෙලා තියෙන්නේ. මුලදී ගණන්. (කාබනික සහ නැති එක) ඒක එහෙමයි වෙළඳපළේ වෙන්නේ.
(බොරුනම් එකොන් ගෙන් අහන්න)

ඉතින් මේ කාබනික පොහොර භාවිතා කරන රටවල (යුරෝපයේ) රසායනික පොහොර තහනම් කළේ නැහැ. කලේ කාබනික පොහොර භාවිතා කරන ගොවීන්ට වැඩි සහනාධාර දෙන එක. රසායනික පොහොර වලින් හදන කෑම ලාභයි. නමුත් ඒක පාරිභෝගිකයා අතේ තියෙන්නේ. තමන්ට ඕන නම් කෘමි නාශක තියෙන එලවලු සහ කෑම කෑව හැකි. කාල පස්සේ පිළිකාවකුත් පොඩ්ඩක් හදා ගත්ත හැකි. නැත්නම් ඕගනික් එක ගත හැකි. ඒක තමයි නිදහස.
ඕක බලෙන් කරන්න ගියහම අර මා ඕ ගේ අණින් ගේ කුරුල්ලෝ මරපු චීනුන්ට වුන දේ වුනත් වෙන්න පුළුවන්. පිටින් ගෙන්වනවට වඩා ලංකාවේ කාබනික පොහොර හදන එක හොඳයි කියල විද්වතුන් කියනවා. නමුත් පහුගිය වසර ගණන පුරා සමාගම් විසින් ලංකාවට කාබනික පොහොර ගෙන්වනවා.දැන් කෑ ගැහුවට හුඟක් අය ඒකත් දැනගෙන තියෙන්නේ ඊයේ පෙරේද. ගොවීන්ට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා කෘෂිකර්ම නිලධාරීන් හරහා පුහුණුව දෙන්න ඕනේ. ඒ පිළිබඳ පොත පතපත්‍රිකා ගහන්න ඕනේ. හිතුන පලියට පොල්ලකින් ගහනවා වගේ රටක වගා විනාශ කරන්න රජයකට බැහැ.ප්‍රශ්නේ තියෙන්නේ එතැන. කෘෂිකර්මය උගත් අයගේ උදව් අරගෙන සැලැස්මකට කරනවනම් හැමෝගෙම සහයෝගය ලැබේවි.

කෘෂිකර්ම නිලධාරීන්ටත් අවබෝධය නැතිනම් ඔවුන්ව පුහුණු කරන්න ඕනේ.

හැබැයි මටනම් හිතෙන්නේ විදේශ සංචිත සීග්‍රයෙන් අඩුවී ගෙන යන නිසා මේ රසායනික පොහොර තහනම පැනෙව්වා කියල. හැබැයි ඒත් ඉතින් මන්ත්‍රීන්ට ජීප් ගන්න විදේශ විනිමය තියෙනවා කියන්නේ ඉතින් එහෙම වෙන්නත් බැහැ.

ලංකාව දුප්පත් වෙනවට හෝ කරදරයේ වැටෙනවාට අපි කවුරුත් කැමති නැහැ. එනිසා බලයේ ඉන්න අය හොඳට කල්පනා ජාතියටම බලපාන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කලොත් හොඳයි.

බ්‍රිතාන්‍යයේ මේ වැඩේ බොරුවට කරන්න බැහැ. මෙන්න මේ ලිස්ට් එකේ තියෙනෙන් කාබනික සහතිකය දෙන සංවිධාන (බ්‍රිතාන්‍යයේ) . ඒක නැතිව කාබනික ලේබල් නිකන් ගහල කිසි දෙයක් විකුනන්න බැහැ.

පින්තූරය අන්තර්ජාලයෙන් 

Saturday 5 June 2021

අරක්කු බෝතලයෙන් ශේප් වුනු කළු රන්ජි ගේ සුදු පොත


ලංකාවේ සිට ඉරිදා උදයේ පැමිණ  දෙපැයක විරාමයකට පසු  මම සූට්කේස් දෙක අස් කරන්නට ගතිමි. ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන්,  කටාර් එයාවේස් තරම් බර කිලෝගණනක්  නොදෙන  නිසා ගෙන ඒමට ගත්  සමහර දේ සුපුරුදු පරිදි දමා  එන්නට සිදු වුනි. ඔය අතරේ ගේන්නට අමතකු වුනු  වැදගත් දෙයකුත් තිබුණි.    
බිරින්දෑතුමී  පළමුවෙන්ම  ඇහුවේ ඒ ගැනය. 

"කෝ තුනපහ."

"මළ කෙළියයි, තුනපහ ගේන්න අමතක වුනානේ".

 මම ඇයට අමාරුවෙන් ඔබාගෙන ආ අනිකුත් තෑගී පෙන්වූයෙමි.

" මේ තෑගී (ඇඳුම්  වගයක් ගෙනාපුවා) , මේ කජු , ලෝකේ හොඳම කජු. මල්ලිගේ වයිෆ් කිරි ටොෆි, අලුව දුන්න. අක්කා මුං කැරලි දුන්න.  හේමාලි ඉස්සෝ, මාළු හෙම දුන්න." 

 "ඉතින් ඒවාට  ලොකු ඉඩක් ගිහිල්ල නැහැනේ. මම ඔයාට කීවේ හොඳ අලුත් තුනපහ ටිකක් ගේන්න කියලනේ. මේ කඩවල පරණ ඒවා කන්න පුලුවන්ද?" 

එයාගේ සූදානම  ගේමටය. ඉනෙස් කොහොමටත් ඉන්දියන් කඩවල තුනපහ ගැනීමට කැමැති නැත. ඈ කියන්නේ ඒවා හදා ඇත්තේ වර්ණ ගැන්වෙන රසායන, රස කාරක  ආදිය දමා බවය. තුර්කි කඩවල විකුණන රතුම රතුපාට මිරිස් සහ කෑලි මිරිස් තද රක්ත වර්ණයකින් ඇත්තේ එබැවිනි.

මිත්‍රවරුනි, කලින් ලිපියේ ලියූ පරිදි ජර්මන් අයට බුද්ධාගම කියා දීමට යාම පමණක් නොව  තුනපහ දැමූ  කෑම කන්නට දීමද පසුව ප්‍රශ්න  ඇති කරන  දේ බව  හිතට ගන්න.  යූ ටියුබ් අම්මලා ගේ පිහිටෙන් ඉනේස්ට දැන් මටත් වඩා හොඳට තුනපහ දමා ඉවිය හැකිය. ප්‍රශ්නය වන්නේ  දැන් ටික ටික ජර්මන් කෑම වලටද ඒවා එකතු වීමය.  

"ඉතින් ඔයා කියන්නේ කිලෝ දෙක තුනක් ගේන්න නේ. කාටද ඕවට ඉඩ තියෙන්නේ" මම ශේප් එකේ කියුවෙමි.

"ඉඩ, ඉඩ මම හොයල දෙන්නද?  මේ පොත් මොනවාද, ඕව බර වැඩියිනේ .  ඔයා ගිය පාර ගෙනාව ඒවත් කියෙව්වද තවම.  මේ පොත් මොනවාද , ගොඩක් ලොකු ඒවා. "

ඒ පොත් තුන හතර ටිකක් ප්‍රමාණයෙන් ලොකු බව ඇත්තය. පොඩි පොත් කියවන්න කියා නියමයක් මා දන්නා තරමින් නැත. 

"ඔයාට තේරෙන්නේ නැහැ  අනේ. මේ කාලේ පොත් ගේන්නේ කියවන්නම නෙමේනේ. ඕව කවද කියවන්න බැරිද? ඒ වගේද මම ඒවා දෙපැත්තෙනුයි , උඩිනුයි  තියල, කෝපි කෝප්පයක් හෙම ළඟින් තියල, ෆේස්බුක් එකේ ෆොටෝ එකක් දැම්මම හොඳටම ඇති, කාටද ආඩම්බර"

"එතකොට දැන් ඔයා  ෆේස් බුක් දාන්නද මේවත් ගෙනාවේ " ඉනෙස් ගේ මූණ දැන් දෙහි මිරිකා හැරි  ලෙමන් ලෙල්ලක් වගේය.

"අපෝ නෑ , ඒවා මේ ගුණරත්න  අයිය හම්බවෙලා කරේ ගහපුවනේ. හොඳ පොත් ටිකක් කියල තමයි දුන්නේ. මතකනේ අර අපි ගිය සැරේ ලුණුගල ගිහිල්ල හම්බ වුනේ "

"මට මතකයි, ඒත් මේ  පොතේ ලොකු" 

"ආ ඒක මේ අම්බලවනර් සිවානන්දන් කියල  දෙමළ  ලේඛකයෙක් ගේ හොඳ පොතක්. එයාගේ ඉංග්‍රීසි පොත තියනවා මම අරන් දෙන්නම් ". වැඩේ  ශේප් කර ගන්නට කීවෙමි.
 
"එතකොට මේ කළු එක්කෙනක් ගේ පොතක් තියෙන්නේ. ඒකත් ලොකු වැඩියි.  ඒ කවුද ලංකාවේ  මැන්ඩෙලා ද " ඒ කියන්නේ කළු රන්ජිත් ගැනය. 

"ඒකනම් එච්චරම  ෂුවර් නැහැ. එයා මේ හැමෝටම උදව් කරන කෙනෙක් ලු. පොතේ නම කළු රන්ජිත් සුදු මිනිහෙක් (මේක මම කීවේත්  ඉංග්‍රීසියෙන් ඈ - Black Ranjith is a white man)"

"මොකක්ද ඒකෙ තේරුම. එයා අර ඉන්දියාවේ ලංකාවේ වගේ  බ්ලිච්නුයි අරවයි මේවයි ගාල හම  සුදු කරගෙනද? දැන් පිරිමින්ටත් ඒ පිස්සුවද "

මා කළ බරපතල වැරැද්ද මට තේරුනේ එවිටය.   

"මේකයි, දැන් ඔය කළු කියල තියෙන්නේ ඉතින් පාටින් කළු වුනත්,  එයා ඇත්තටම මුළු හදින්ම  සුදුයි කියල. ඒ කියන්නේ මේ ඔයා වගේ සුදු මිනිස්සු ගැන නෙමේ මේ කියල තියෙන්නේ.  සුදු නමින් ඇඟවෙන මේ හොඳ මිනිසුන් සමූහයක් ගැන. හැමෝටම උදව් කරන හොඳ කරුණාවන්ත මදර් තෙරේස වගේ කෙනෙක් ගැන"

එයාගේ ඇස් දෙක ජම නාරං ගෙඩි දෙකක් සේ විශාල වූ  සයිස් එකෙන්ම මට තේරුණේ  මම තවත්  දිගින්  දිගටම ඇන ගනිමින් සිටින බවය. 

"ඔයා කොහොම කීවත් ඕක වර්ණවාදී  (racist) කතාවක්  නේ.  ඕක ලියපු මනුස්සය දන්නේ නැත්ද මේ දවස් වල ලෝකේ බීඑල්එම් (Black Lives Matter)  කියල ව්‍යාපාරයක් යනවා කියල.  ජෝජ් ෆ්ලොයිඩ් මැරුවට පස්සේ. එහෙම තියෙද්දී ද ඕව ලියන්නේ"




සාමාන්‍යයෙන් වාද වල එල්ලී එල්ලී යන මම  මේ වාදයෙන් ගැලවෙන මගක්  කල්පනා කරමින් සිටියෙමි. 
  
"නැහැ මේකයි ලියපු කෙනා වැඩිය ඉංග්‍රීසියෙන් කියවන්නේ නැතිව ඇති. එහම නැත්නම් අර මගේ පොතේ පිට කවරේට උනා වගේ ප්‍රකාශක තුමා කියන්න ඇති මෙහම ටයිටල් එකක් දැම්මේ නැතිනම් ලංකාවේ පොත විකුණන්න බැරි වෙයි කියල. "

"ඒ කියන්නේ අර ඔයාගෙම යාළුවෙක් කීවේ  ආසියාවත් හරිම වර්ණවාදී කියල. සුදු අයට බැන්නට. ඒක ඇත්ත. ඒක නෙමේ ඔයා  අළුත් ගම්මිරිස් ගෙනෙල්ලත් නැහැ."

මම දැන් තව තවත් එරිලාය. ගම්මිරිස් ගෙනෙන්නටද අමතක වෙලාය. පොත දුන්නාට  මම දැන් ගුණරත්න අයියාට හිතින් බැන්නෙමි .  

හදිසියේම වාසනාව  එලියට පැන්නේ බෝතලයක් ලෙසින් ය. අමර පලිහවඩන නමැති මගේ අතිජාත මිතුරු තෙමේ යන්නට කලින් දවසේ කුමුදු විජිත් සමග  පැමිණ හොඳ වර්ගයේ එක්ස්පෝර්ට් ක්වොලිටි  අරක්කු බෝතලයක් දී ගියේය. පින්තූරයේ  ඇත්තේ එයයි. 

"මේක කාටද"
" ආ ඕක පලිහවඩන දුන්නේ. ඔයාගේ අම්මටයි තාත්තටයි දෙමු. අප දෙන්නට විපුලි එක්ක බොන්න  මම තවත් ඕල්ඩ් ඇරැක් එකක් ගෙනාව."

පලිහවඩන  එදා ආවේ උන්දැගේ ආදරණිය මවද එතරම් හොඳ තත්වයකින් සිටියදී නොවන බව පසුව දැන  ගතිමි.  ඌ එතරම්ම  හොඳ බොක්කකි. මට පසුව කුමුදු විජිත් ගෙන්  ආරංචි වුනේ ඒ සුන්දර කරුණාවන්ත මාතාව අවසන් ගමන් ගිය බවය. අමරයා කවදාවත් පෞද්ගලික දේ  නොකියන නිසා අපේ විදුහලේ  83 ගෘප් එකේද ඒ බවක් නොකියැවිණි.  

මම කිහිප වරක්ම අමරගේ උඩහමුල්ලේ නිවසට ඒ ලෙවල් කරන කාලයේ ගොස් ඇත්තෙමි. අපේ දේශපාලන වාද විවාද බොහොමයක් ගියේ එහිය. තමර අයියා සහ ඔවුන්ගේ නිවසේ  සිටි සේවකයෙකුද මේ විවාද වලට  වරෙක දෙවරක  හවුල් විය. සෝවියට් දේශයට ආ පසු ලෙනින්ගේ හිස ඇඹු පිළිරුවක් ඔහුට දෙන්නට මම එහි ගියෙමි. අමරගේ මව මට දිවා  ආහාරය දෙන්නට  හරියට යමක් නැතිය  කියා බිත්තර දෙකක් එවෙලේම බැද්දාය. එළවළු මාළු පිණි  හතක්  අටක් පිඟාන පුරා තිබියදීත් කන්නට යමක් නැත්තේ ඇයිද යන්න මට වැටහුනේ නැත. සෝවියට් දේශයේදී අපි කෑවේ  මසුයි බතුයි පමණක් බවත් කෙල්ලන් නම් මාළු මිරිස් හෝ බීට් රූට් වැනි දේ ඉවූ බවත් මට මතකය.  

සමහර විට මගේ මවද මම කෝල් කරන විට එවැනිම  කතා කියයි. 
"අද කන්න  හරියට මුකුත් නැහැ."
" ඇත්තට, අනේ, අම්මා  මොනවාද කෑවේ"
 
"කරෝල බැදලා , සම්බෝල එක්ක මේ , පරිප්පු වලට තම්පලා දාල , තව බටුද මොනවද, කොස් ඇට මාළුවකුත් තිබ්බද කොහෙද, අනේ කන්න බැහැ"

"ඉතින් අම්මේ ඔය හොඳයිනේ. මම මේ පොඩි සැන්ඩ්විච් එකක් දවල්ට  කාල රෑට යන්තන් චිකන් එක්ක බත් ටිකක් කෑව "

මට හිතන්නේ අපි එංගලන්තයේ,  ලංකාවේ තරම් හොඳට එළවලු හතරක් පහක් සමග බත් නම් නොකන  බවය. කොහොමත් එහෙම හදන්නට වෙලාවක් ද නැත. අපි වෙන අනම්  මනම් කනවා  මිස බත් හැම වෙලේම කන්නේද  නැත. ඉනෙස් කොහොමත් විනාඩි තිහෙන් හතළිහෙන්  හදා ගන්නට පුළුවන් කෑම වලට වැඩි කැමැත්තක් දක්වන්නීය.

සෝවියට් දේශයේ සිටියදී උදේට පොඩි  කැන්ටිමෙන් බිත්තර නිතරම කන නිසා මට බිත්තර  වැඩිය දිරෙව්වෙ නැත. අමරයා මට දුන් බැදපු බිත්තරය එදා  ඩැහැ ගත්තේය.

ඉතින් පළිහවඩන ගේ ඒ කරුණාවන්ත අම්මාද නික්ම ගොස්ය. අමරයා ගේ දැන් ෆෙමස් අක්කා ඒ දවස් වල වෛද්‍ය විද්‍යාලයේය. යන්තමින් හිනාවීගෙන කාමරයට මාරු වෙන නිසා මට ඒ දවස්  වල හිතුනේ වෛද්‍ය විද්‍යාලයේ නිසා හෙන ආඩම්බර ඩයලයක් වන්නට ඇති බවය.  පහුගිය කාලයේ  ඇගේ  නම හැම  වෙබ්සයිට් එකකම වාගේ දුටු නිසා දැන්නම් කොහොමත් ෂුවර් නැත. නමුත් පලිහවඩනලා, ගුරුතුමියක සේ  මා දැන  සිටි ඔවුන්ගේ  මවගේ නික්ම යාම ඉතාමත් නිහඬව විඳ දරාගෙන ඇත. මම ඒ ගැන අමරයාට කතා කොට දෝස් මුරයක් දැමුවෙමි. 

"අපට එන්න බැහැ  තමයි. ඒත් උඹට මට කියන්න තිබ්බ. ඇන්ටි  හදපු තේකක් හරි බීලා තියනවා. අනික මට බැදලා දුන්  බිත්තරේ උඹ ඉස්සුවා."

 ඌට ඒක මතක නැත.     

බිරින්දෑ ගේ මුහුණේ මල් හතයි තවත් එකක් පිපුනා වගේය. ඉනෙස් ගේ අම්මයි තාත්තායි කියන්නේ ලෝකේ හොඳම රම්  එක ලංකාවේ  අරක්කු බවය. ඔවුන්ට එය ඒ තරම්ම ප්‍රිය ජනක බීමකි.   අනික ස්ට්‍රෝබෙරි , තේ, කෝපි කේක් ආදී හැම එකටමත් එය  දමති. බිරින්දෑ ට පොත ගැනද අමතකය.

ඉතින් එදා දවසේ පලිහවඩනයාගේ අරක්කු බෝතලය මගේ ජාම බේරුවේ එසේය.

ඊයේ පෙරේදා  ඉනෙස් කවුදෝ අඹරා දුන්නු  තුනපහ බෝතල් දෙකක්  ගෙනාවාය.

"මේ බලන්න සුවඳ "

"කොහෙන්ද මේ " මම ඇසුවෙමි.

"අපේ ලැටිමර් එකේ (ඉනෙස් රැකියාව කරන විදුහල)  වැඩ කරනවා බංග්ලා දේශ ලේඩි කෙනෙක්. එයාට මම කිව්වා ඔයා මේ පාර ලංකාවට  ගිහින් එනකොට තුනපහ ගෙනාවේ නැහැ කියල. එයාට අළුත් ඒවා තියනවා කියල මේවා ගෙදරම අඹරල ගෙනත් දුන්න "

"හා හා ඒ කියන්නේ ඔයා දැන් බංගලා දේශ කට්ටියගෙන්ද  තුනපහ ගන්නේ . මම ලංකාවෙන්  ගෙන්න ගන්න හැදුවේ මල්ලිට කියල "

"ඕගොල්ලන්ගේ ලංකාව  බංග්ලා දේශයෙන් ණය ගන්නවනම් මම තුන පහ ගත්තම මොකද "

මම ආයෙත් පාරක් බ්ලාස් වී ගියෙමි.

මම කියන්නේ මේ පත්තර කාරයන් හා මාධ්‍ය නිසා කිසි දෙයක් කර ගන්නට බැරි  බවය. වහාම ඔය වගේ නිව්ස් පිටට දෙන දේශද්‍රෝහී විදේශ මාධ්‍ය වේදීන් ට දඬුවම් කළ යුතුය. නැත්නම් ඉදිරියේදී අපට මුහුණවල්   මාස්ක් දෙකකින් පමණ වසාගෙන ඉන්නට වනු ඇත.