Saturday, 5 June 2021

අරක්කු බෝතලයෙන් ශේප් වුනු කළු රන්ජි ගේ සුදු පොත


ලංකාවේ සිට ඉරිදා උදයේ පැමිණ  දෙපැයක විරාමයකට පසු  මම සූට්කේස් දෙක අස් කරන්නට ගතිමි. ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන්,  කටාර් එයාවේස් තරම් බර කිලෝගණනක්  නොදෙන  නිසා ගෙන ඒමට ගත්  සමහර දේ සුපුරුදු පරිදි දමා  එන්නට සිදු වුනි. ඔය අතරේ ගේන්නට අමතකු වුනු  වැදගත් දෙයකුත් තිබුණි.    
බිරින්දෑතුමී  පළමුවෙන්ම  ඇහුවේ ඒ ගැනය. 

"කෝ තුනපහ."

"මළ කෙළියයි, තුනපහ ගේන්න අමතක වුනානේ".

 මම ඇයට අමාරුවෙන් ඔබාගෙන ආ අනිකුත් තෑගී පෙන්වූයෙමි.

" මේ තෑගී (ඇඳුම්  වගයක් ගෙනාපුවා) , මේ කජු , ලෝකේ හොඳම කජු. මල්ලිගේ වයිෆ් කිරි ටොෆි, අලුව දුන්න. අක්කා මුං කැරලි දුන්න.  හේමාලි ඉස්සෝ, මාළු හෙම දුන්න." 

 "ඉතින් ඒවාට  ලොකු ඉඩක් ගිහිල්ල නැහැනේ. මම ඔයාට කීවේ හොඳ අලුත් තුනපහ ටිකක් ගේන්න කියලනේ. මේ කඩවල පරණ ඒවා කන්න පුලුවන්ද?" 

එයාගේ සූදානම  ගේමටය. ඉනෙස් කොහොමටත් ඉන්දියන් කඩවල තුනපහ ගැනීමට කැමැති නැත. ඈ කියන්නේ ඒවා හදා ඇත්තේ වර්ණ ගැන්වෙන රසායන, රස කාරක  ආදිය දමා බවය. තුර්කි කඩවල විකුණන රතුම රතුපාට මිරිස් සහ කෑලි මිරිස් තද රක්ත වර්ණයකින් ඇත්තේ එබැවිනි.

මිත්‍රවරුනි, කලින් ලිපියේ ලියූ පරිදි ජර්මන් අයට බුද්ධාගම කියා දීමට යාම පමණක් නොව  තුනපහ දැමූ  කෑම කන්නට දීමද පසුව ප්‍රශ්න  ඇති කරන  දේ බව  හිතට ගන්න.  යූ ටියුබ් අම්මලා ගේ පිහිටෙන් ඉනේස්ට දැන් මටත් වඩා හොඳට තුනපහ දමා ඉවිය හැකිය. ප්‍රශ්නය වන්නේ  දැන් ටික ටික ජර්මන් කෑම වලටද ඒවා එකතු වීමය.  

"ඉතින් ඔයා කියන්නේ කිලෝ දෙක තුනක් ගේන්න නේ. කාටද ඕවට ඉඩ තියෙන්නේ" මම ශේප් එකේ කියුවෙමි.

"ඉඩ, ඉඩ මම හොයල දෙන්නද?  මේ පොත් මොනවාද, ඕව බර වැඩියිනේ .  ඔයා ගිය පාර ගෙනාව ඒවත් කියෙව්වද තවම.  මේ පොත් මොනවාද , ගොඩක් ලොකු ඒවා. "

ඒ පොත් තුන හතර ටිකක් ප්‍රමාණයෙන් ලොකු බව ඇත්තය. පොඩි පොත් කියවන්න කියා නියමයක් මා දන්නා තරමින් නැත. 

"ඔයාට තේරෙන්නේ නැහැ  අනේ. මේ කාලේ පොත් ගේන්නේ කියවන්නම නෙමේනේ. ඕව කවද කියවන්න බැරිද? ඒ වගේද මම ඒවා දෙපැත්තෙනුයි , උඩිනුයි  තියල, කෝපි කෝප්පයක් හෙම ළඟින් තියල, ෆේස්බුක් එකේ ෆොටෝ එකක් දැම්මම හොඳටම ඇති, කාටද ආඩම්බර"

"එතකොට දැන් ඔයා  ෆේස් බුක් දාන්නද මේවත් ගෙනාවේ " ඉනෙස් ගේ මූණ දැන් දෙහි මිරිකා හැරි  ලෙමන් ලෙල්ලක් වගේය.

"අපෝ නෑ , ඒවා මේ ගුණරත්න  අයිය හම්බවෙලා කරේ ගහපුවනේ. හොඳ පොත් ටිකක් කියල තමයි දුන්නේ. මතකනේ අර අපි ගිය සැරේ ලුණුගල ගිහිල්ල හම්බ වුනේ "

"මට මතකයි, ඒත් මේ  පොතේ ලොකු" 

"ආ ඒක මේ අම්බලවනර් සිවානන්දන් කියල  දෙමළ  ලේඛකයෙක් ගේ හොඳ පොතක්. එයාගේ ඉංග්‍රීසි පොත තියනවා මම අරන් දෙන්නම් ". වැඩේ  ශේප් කර ගන්නට කීවෙමි.
 
"එතකොට මේ කළු එක්කෙනක් ගේ පොතක් තියෙන්නේ. ඒකත් ලොකු වැඩියි.  ඒ කවුද ලංකාවේ  මැන්ඩෙලා ද " ඒ කියන්නේ කළු රන්ජිත් ගැනය. 

"ඒකනම් එච්චරම  ෂුවර් නැහැ. එයා මේ හැමෝටම උදව් කරන කෙනෙක් ලු. පොතේ නම කළු රන්ජිත් සුදු මිනිහෙක් (මේක මම කීවේත්  ඉංග්‍රීසියෙන් ඈ - Black Ranjith is a white man)"

"මොකක්ද ඒකෙ තේරුම. එයා අර ඉන්දියාවේ ලංකාවේ වගේ  බ්ලිච්නුයි අරවයි මේවයි ගාල හම  සුදු කරගෙනද? දැන් පිරිමින්ටත් ඒ පිස්සුවද "

මා කළ බරපතල වැරැද්ද මට තේරුනේ එවිටය.   

"මේකයි, දැන් ඔය කළු කියල තියෙන්නේ ඉතින් පාටින් කළු වුනත්,  එයා ඇත්තටම මුළු හදින්ම  සුදුයි කියල. ඒ කියන්නේ මේ ඔයා වගේ සුදු මිනිස්සු ගැන නෙමේ මේ කියල තියෙන්නේ.  සුදු නමින් ඇඟවෙන මේ හොඳ මිනිසුන් සමූහයක් ගැන. හැමෝටම උදව් කරන හොඳ කරුණාවන්ත මදර් තෙරේස වගේ කෙනෙක් ගැන"

එයාගේ ඇස් දෙක ජම නාරං ගෙඩි දෙකක් සේ විශාල වූ  සයිස් එකෙන්ම මට තේරුණේ  මම තවත්  දිගින්  දිගටම ඇන ගනිමින් සිටින බවය. 

"ඔයා කොහොම කීවත් ඕක වර්ණවාදී  (racist) කතාවක්  නේ.  ඕක ලියපු මනුස්සය දන්නේ නැත්ද මේ දවස් වල ලෝකේ බීඑල්එම් (Black Lives Matter)  කියල ව්‍යාපාරයක් යනවා කියල.  ජෝජ් ෆ්ලොයිඩ් මැරුවට පස්සේ. එහෙම තියෙද්දී ද ඕව ලියන්නේ"




සාමාන්‍යයෙන් වාද වල එල්ලී එල්ලී යන මම  මේ වාදයෙන් ගැලවෙන මගක්  කල්පනා කරමින් සිටියෙමි. 
  
"නැහැ මේකයි ලියපු කෙනා වැඩිය ඉංග්‍රීසියෙන් කියවන්නේ නැතිව ඇති. එහම නැත්නම් අර මගේ පොතේ පිට කවරේට උනා වගේ ප්‍රකාශක තුමා කියන්න ඇති මෙහම ටයිටල් එකක් දැම්මේ නැතිනම් ලංකාවේ පොත විකුණන්න බැරි වෙයි කියල. "

"ඒ කියන්නේ අර ඔයාගෙම යාළුවෙක් කීවේ  ආසියාවත් හරිම වර්ණවාදී කියල. සුදු අයට බැන්නට. ඒක ඇත්ත. ඒක නෙමේ ඔයා  අළුත් ගම්මිරිස් ගෙනෙල්ලත් නැහැ."

මම දැන් තව තවත් එරිලාය. ගම්මිරිස් ගෙනෙන්නටද අමතක වෙලාය. පොත දුන්නාට  මම දැන් ගුණරත්න අයියාට හිතින් බැන්නෙමි .  

හදිසියේම වාසනාව  එලියට පැන්නේ බෝතලයක් ලෙසින් ය. අමර පලිහවඩන නමැති මගේ අතිජාත මිතුරු තෙමේ යන්නට කලින් දවසේ කුමුදු විජිත් සමග  පැමිණ හොඳ වර්ගයේ එක්ස්පෝර්ට් ක්වොලිටි  අරක්කු බෝතලයක් දී ගියේය. පින්තූරයේ  ඇත්තේ එයයි. 

"මේක කාටද"
" ආ ඕක පලිහවඩන දුන්නේ. ඔයාගේ අම්මටයි තාත්තටයි දෙමු. අප දෙන්නට විපුලි එක්ක බොන්න  මම තවත් ඕල්ඩ් ඇරැක් එකක් ගෙනාව."

පලිහවඩන  එදා ආවේ උන්දැගේ ආදරණිය මවද එතරම් හොඳ තත්වයකින් සිටියදී නොවන බව පසුව දැන  ගතිමි.  ඌ එතරම්ම  හොඳ බොක්කකි. මට පසුව කුමුදු විජිත් ගෙන්  ආරංචි වුනේ ඒ සුන්දර කරුණාවන්ත මාතාව අවසන් ගමන් ගිය බවය. අමරයා කවදාවත් පෞද්ගලික දේ  නොකියන නිසා අපේ විදුහලේ  83 ගෘප් එකේද ඒ බවක් නොකියැවිණි.  

මම කිහිප වරක්ම අමරගේ උඩහමුල්ලේ නිවසට ඒ ලෙවල් කරන කාලයේ ගොස් ඇත්තෙමි. අපේ දේශපාලන වාද විවාද බොහොමයක් ගියේ එහිය. තමර අයියා සහ ඔවුන්ගේ නිවසේ  සිටි සේවකයෙකුද මේ විවාද වලට  වරෙක දෙවරක  හවුල් විය. සෝවියට් දේශයට ආ පසු ලෙනින්ගේ හිස ඇඹු පිළිරුවක් ඔහුට දෙන්නට මම එහි ගියෙමි. අමරගේ මව මට දිවා  ආහාරය දෙන්නට  හරියට යමක් නැතිය  කියා බිත්තර දෙකක් එවෙලේම බැද්දාය. එළවළු මාළු පිණි  හතක්  අටක් පිඟාන පුරා තිබියදීත් කන්නට යමක් නැත්තේ ඇයිද යන්න මට වැටහුනේ නැත. සෝවියට් දේශයේදී අපි කෑවේ  මසුයි බතුයි පමණක් බවත් කෙල්ලන් නම් මාළු මිරිස් හෝ බීට් රූට් වැනි දේ ඉවූ බවත් මට මතකය.  

සමහර විට මගේ මවද මම කෝල් කරන විට එවැනිම  කතා කියයි. 
"අද කන්න  හරියට මුකුත් නැහැ."
" ඇත්තට, අනේ, අම්මා  මොනවාද කෑවේ"
 
"කරෝල බැදලා , සම්බෝල එක්ක මේ , පරිප්පු වලට තම්පලා දාල , තව බටුද මොනවද, කොස් ඇට මාළුවකුත් තිබ්බද කොහෙද, අනේ කන්න බැහැ"

"ඉතින් අම්මේ ඔය හොඳයිනේ. මම මේ පොඩි සැන්ඩ්විච් එකක් දවල්ට  කාල රෑට යන්තන් චිකන් එක්ක බත් ටිකක් කෑව "

මට හිතන්නේ අපි එංගලන්තයේ,  ලංකාවේ තරම් හොඳට එළවලු හතරක් පහක් සමග බත් නම් නොකන  බවය. කොහොමත් එහෙම හදන්නට වෙලාවක් ද නැත. අපි වෙන අනම්  මනම් කනවා  මිස බත් හැම වෙලේම කන්නේද  නැත. ඉනෙස් කොහොමත් විනාඩි තිහෙන් හතළිහෙන්  හදා ගන්නට පුළුවන් කෑම වලට වැඩි කැමැත්තක් දක්වන්නීය.

සෝවියට් දේශයේ සිටියදී උදේට පොඩි  කැන්ටිමෙන් බිත්තර නිතරම කන නිසා මට බිත්තර  වැඩිය දිරෙව්වෙ නැත. අමරයා මට දුන් බැදපු බිත්තරය එදා  ඩැහැ ගත්තේය.

ඉතින් පළිහවඩන ගේ ඒ කරුණාවන්ත අම්මාද නික්ම ගොස්ය. අමරයා ගේ දැන් ෆෙමස් අක්කා ඒ දවස් වල වෛද්‍ය විද්‍යාලයේය. යන්තමින් හිනාවීගෙන කාමරයට මාරු වෙන නිසා මට ඒ දවස්  වල හිතුනේ වෛද්‍ය විද්‍යාලයේ නිසා හෙන ආඩම්බර ඩයලයක් වන්නට ඇති බවය.  පහුගිය කාලයේ  ඇගේ  නම හැම  වෙබ්සයිට් එකකම වාගේ දුටු නිසා දැන්නම් කොහොමත් ෂුවර් නැත. නමුත් පලිහවඩනලා, ගුරුතුමියක සේ  මා දැන  සිටි ඔවුන්ගේ  මවගේ නික්ම යාම ඉතාමත් නිහඬව විඳ දරාගෙන ඇත. මම ඒ ගැන අමරයාට කතා කොට දෝස් මුරයක් දැමුවෙමි. 

"අපට එන්න බැහැ  තමයි. ඒත් උඹට මට කියන්න තිබ්බ. ඇන්ටි  හදපු තේකක් හරි බීලා තියනවා. අනික මට බැදලා දුන්  බිත්තරේ උඹ ඉස්සුවා."

 ඌට ඒක මතක නැත.     

බිරින්දෑ ගේ මුහුණේ මල් හතයි තවත් එකක් පිපුනා වගේය. ඉනෙස් ගේ අම්මයි තාත්තායි කියන්නේ ලෝකේ හොඳම රම්  එක ලංකාවේ  අරක්කු බවය. ඔවුන්ට එය ඒ තරම්ම ප්‍රිය ජනක බීමකි.   අනික ස්ට්‍රෝබෙරි , තේ, කෝපි කේක් ආදී හැම එකටමත් එය  දමති. බිරින්දෑ ට පොත ගැනද අමතකය.

ඉතින් එදා දවසේ පලිහවඩනයාගේ අරක්කු බෝතලය මගේ ජාම බේරුවේ එසේය.

ඊයේ පෙරේදා  ඉනෙස් කවුදෝ අඹරා දුන්නු  තුනපහ බෝතල් දෙකක්  ගෙනාවාය.

"මේ බලන්න සුවඳ "

"කොහෙන්ද මේ " මම ඇසුවෙමි.

"අපේ ලැටිමර් එකේ (ඉනෙස් රැකියාව කරන විදුහල)  වැඩ කරනවා බංග්ලා දේශ ලේඩි කෙනෙක්. එයාට මම කිව්වා ඔයා මේ පාර ලංකාවට  ගිහින් එනකොට තුනපහ ගෙනාවේ නැහැ කියල. එයාට අළුත් ඒවා තියනවා කියල මේවා ගෙදරම අඹරල ගෙනත් දුන්න "

"හා හා ඒ කියන්නේ ඔයා දැන් බංගලා දේශ කට්ටියගෙන්ද  තුනපහ ගන්නේ . මම ලංකාවෙන්  ගෙන්න ගන්න හැදුවේ මල්ලිට කියල "

"ඕගොල්ලන්ගේ ලංකාව  බංග්ලා දේශයෙන් ණය ගන්නවනම් මම තුන පහ ගත්තම මොකද "

මම ආයෙත් පාරක් බ්ලාස් වී ගියෙමි.

මම කියන්නේ මේ පත්තර කාරයන් හා මාධ්‍ය නිසා කිසි දෙයක් කර ගන්නට බැරි  බවය. වහාම ඔය වගේ නිව්ස් පිටට දෙන දේශද්‍රෝහී විදේශ මාධ්‍ය වේදීන් ට දඬුවම් කළ යුතුය. නැත්නම් ඉදිරියේදී අපට මුහුණවල්   මාස්ක් දෙකකින් පමණ වසාගෙන ඉන්නට වනු ඇත. 

 

29 comments:

  1. හෙහ්, හෙහ් නියමෙට ලියල තියනවා, අජිත්ගේ උත්ප්‍රහාසය සෑහෙන්න දියුණුයි දැන්. හැබෑටම, ලංකාව බංගලාදේශයෙනුත් ණය ගත්තාද?

    ReplyDelete
    Replies
    1. හේ හේ මේ බකුසු මලේ , ඒ දවස් වලත් ඕක තිබ්බ ඈ , ඔයා මේ පැත්තට පියඹුවේ නෑ . තැන්ක් යූ තැන්ක් යූ. බංග්ලාදේශයෙන් ණය ගත්ත කියල වයිෆ් තමා කීවේ. ඔය ජර්මන් වලින් කියවන නිව්ස් විශ්වාස කරන්න ටිකක් අමාරුයි ඉතින්.

      Delete
    2. මේ මට පොඩි ප්‍රශ්නයක් වෙලා. මේ ගූගල් බ්ලොග් රෝලේ දැන් එල්ලන්න දෙන්නේ 10 යයි නේ, අනිත් ඒවා ඔක්කොම අතුරුදහන් වෙලා.

      Delete
    3. නෑ, නෑ ඔක්කොම තියනවා. පෝස්ට් 10 කට කොට කරලයි තියෙන්නෙ. අර "Show All" කියල අගට තියෙන්නෙ. අළුත් "පහසුකමක්" වගෙයි පේන්නෙ. Blogger Layout එකෙන් ඊට පහලින් තියෙන ගැජට් ටිකක් දකුණු පැත්තට දාන්න වෙයි, ඔක්කොම ගන්න

      Delete
    4. අර "Show All" - මෙහෙම එකක් නැහැනේ. අළුත්න් ගැජට් එක දාන්න වෙයි වගේ

      Delete
    5. හරි දැන් දැක්ක තෑන්ක්ස්

      Delete
  2. අරක්කු බොන්නේ ඇයි? ඇයි ඔහොම නැති නාස්ති වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ඔය පොඩ්ඩක් හවහට ඇඟ රත් වෙන්න බීවට මුකුත් වෙන්නේ නැහැනේ. නියුරෝන ලක්ෂයක් විතර මැරෙන එක ඇරෙන්න

      Delete
  3. දැන් ලෝකයේ නායකයන් බයයි ගොඩක්
    සිරිලක ලොක්කො ආවොත් නං කියල හුඟක්
    බංග්ලා දේශෙටත් ණය වුණ එකේ සැකක්-
    නැතිලු, උකස් කරතියි ලොකු වජු බිල්ලක්!

    ReplyDelete
    Replies
    1. එහෙම ලොකු එකක් තියනවද
      නිදි ඕක හරි හරියට දන්නේ කෝම

      Delete
  4. ලංකාවෙන් හොද තුනපහ ටිකක් පාර්සල් සර්විස් හරහා ගෙන්න ගන්න බැරිද?
    අපි රට විස්කි හොදයි කියනවා. පිටරට අය අපේ අරක්කු හොදයි කියනවා.

    ReplyDelete
    Replies
    1. අරක්කු හොඳයි කියල ඒ ගොල්ලෝ නම් කියනවා. මගේ මංගල්ලෙට ඇවිත් තමා ඉස්සෙල්ලම බීවේ. ලනක්ව දුම ගානේ හරියට එක්ස්පෝර්ට් කරනවනම් හොඳ අදායම් මාර්ගයක්. මල්ලි එවන්න තමයි හැදුවේ. ඕනේ නැහැ කිවනේ.

      Delete
  5. අමෙරිකාවෙන්, එතකොට අජිත්ලා ඉන්න ඔය කොහෙද රටින් ආපු කොවිඩ් ආධාරත් රටේ 'අභ්‍යන්තර කටයුතු වලට' මැදිහත් වෙන්න ආවා මෙතන කියලා එපා කියපු රටක් බන්ග්ලාදේශයෙන් ආධාර ගන්න!! ඔය ජ'මන් කාරයින්ට common senseවත් නැද්ද. ඉරිසියාකාරයො.

    ReplyDelete
    Replies
    1. ඒකනේ , මටත් හිතුන. ෆේක් නිව්ස් දාන ගොබෙල්ස් ලා

      Delete
  6. බංග්ලාෙද්ශෙයන් ණය ගැනීමත් ක්‍රිකට් තරග පරාජයත් ඒකම කාසිෙය් ෙදපැත්ත බව කතා ෙවනවා.

    ReplyDelete
    Replies
    1. රියලි .....................

      Delete
    2. කොරෝනා නිසා, අපනයන ආදායම අඩු වෙලා බංගලියොන්ගෙ ඩොලර් කඳු ගැහෙනව. තව පොඩ්ඩෙන් යටවෙලා මැරෙනවා. ඔය බංගලියො මහ කුම්මැහි ජාතිය. ඉතිං අපි කිව්වා" බය නොවී හිටහල්ලා. වියදං කරන හැටි අපි පෙඤ්ඤංනා. ණය වෙලා හරි ගිතෙල් තමා වලඳන්න ඕනෙ" කියලා.

      එහෙව් අපට නෙව අපෙ හාංදුරුවනේ, මුං මේ කතා හදන්නෙ.
      බංගලි ණය

      Delete
    3. //ලංකාව ආරථිකමය අතින් බැලුවම මේ අවස්තාවේ තියෙන්නෙ ඉතාම අවදානම් තත්වයක. රුපියලේ අවප්‍රමානය , දරාගත නොහැකි ණය බර, කොවිඩ් ව්‍යසනය, අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කිරීම් වලින් පහලට වැටීම වගේ බරපතල අභියෝග රැසකට මුහුණ දෙන්න වෙලා තියනවා. මේ ප්‍රශ්න වලට පිලියම් හොයන්න පාලකයන්ට ලොකු කාලයක් නැහැ. //

      Delete
    4. කතා හදන එක වැරදියි තමා

      Delete
  7. අනික, අර බස්ස කිව්ව හරි. බ්ෙලාග් ෙරා්ෙල ෙකළවෙර් බලන්න, show all කියල ෙපාඩිවට තියෙනව.

    ReplyDelete
    Replies
    1. දැක්කා , ස්තූතියි

      Delete
  8. Replies
    1. බලෙන් බස්සෙකුගේ තැන ගන්නට යන නොබස්සා

      Delete
  9. අපි නම් දැන් 3-5 නැතුව කන්න හුරු වෙලා. 2019 ලංකාවෙන් ගෙනාපුවා ඔක්කොම ඉවරයි.. බෝතලෙකින් සතුටු කරන්න පුළුවන් බිරිඳක් ලැබීම කියන්නේ ඉතින් තව මොනවද... හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද පැතුම් මේවට උත්තර දෙන්නේ කොහොමද කියල. ප්‍රසිද්ධියේ ,ආසියානු කෑම තුනපහ නැතිව කන්න අපේ ගෙදර අයට දැන් අමාරුයි

      Delete
  10. Hilarious, mostly exaggerations? Wijebahu

    ReplyDelete
    Replies
    1. Well about the book there is a little bit of an exaggeration. She criticized the name with another 2 friends of mine, I could not defend that title. For the loan from Bangladesh, she did not really say it's that bad or anything but they knew it from German news. Most of other stuff are actually true With Paliha's mother etc. My German family really likes Arrack.

      Delete
  11. ඔබට සහ බිරිඳට ඇත්තේ කොමියුනිස්ට් චින්තනයක්.

    බංගලිදේශ ඒකීය පුද්ගලයන්ගෙන් කොල්ලකන ධනය ලංකාවේ දේශපාලන බල තන්හාධිකයන්ට බෙදා දීමක් තමයි වුනේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තද , මගේ බිරිඳට සමාජවාදය පෙන්නන්න බැහැ හේ හේ , මම නම් කොමියුනිස්ට් වාදයට කැමැතියි හැබැයි ධනවාදයෙන් පසුව එන එකට , එතකන් ධනවාදයේ හොඳට ඉන්න කැමැතියි හේ හේ
      බග්ලාදෙශයත් එකක් ලොකු අවුලක් නැහැ. අර බකුස් දාල තියෙන ලින්කෙකට ගිහින් බැලුවොත් පේනවා ආනයන අඩුවන නිසා උන්ගේ විදේශ සංචිතය වැඩිවෙලා. ලංකාවේ ණය සර්විස් කරන්න තියෙනේ නිසා ආනයන කරන්නවත් සල්ලි නැහැ. (ජීප් ගෙන්න ඇරෙන්න )

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .