Tuesday 28 June 2022

කාම්බෝජයේ පොල්පොට් 'ස' - කාම්බෝජ සංචාරය 2

පොල්පොට් පිළිබඳව මුලින්ම දැනගත්තේ 1976 නොබැඳි සමුළුව කාලයේ බව මගේ මතකයේ රැඳී ඇත. එවකට එකොළොස්වන වියේ සිටි මා ද විදේශීය නායකයන් පැමිණි රථ පෙරහැර බලන්නට ගියා මතකය. සමහරුන් තමන්ගේම  රථ ගෙනා අතර බොහෝ අය සෝවියට් දේශයෙන් සැපයු නිල් පාට ලාඩා කාර් වල ගියහ. ඒ කාර් වලට මක් වුනාද යන්න නොදනිමි.  ඉතා හොඳට මතකයේ රැඳුනේ යුගෝස්ලාවියාවේ ටිටෝ හා ලිබියාවේ ගඩාෆි ය. ඒ  කාලයේ පුවත්පත් වල  ඔවුන් වර්ණනා කළ නිසා වන්නට ඇත.  පොල්පොට් සහ ඉයන් සාරි දෙදෙනාද නොබැදි සමුළුවට කෙමර් රූජ් රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණියහ.  ඉන්පසු කලක වියට්නාමයේ හෝචිමින් ගේ කතා ද උතුරු කොරියාවේ කිම් ඉල් සුන්  ගේ වීරකම් ද පොත් වලින් කියවූ මට පොල්පොට් ද ඒ හා සමාන වීරයෙකු විය. ඒ 1982-82 ශ්‍රී ලංකාවේ සිටි කාලයේ තිබූ  පොත් පත් කියවීමෙනි. ඇමෙරිකා  එක්සත් ජනපදය, ප්‍රංශය හා එක්ව  වියට්නාමයට ට හා කාම්බෝජයට කරන ලද අමානුෂික  බෝම්බ දැමීම් වලින් කෝපයට පත්වුවද  පසුව උතුරු කොරියාව හා වියට්නාමය ඒ ආක්‍රමණිකයන් පරාජය කිරීම ආශ්වාදජනක දෙයක් විය. වසර 1975 දී පොල්පොට් ගේ හමුදා ඇමෙරිකානු ගැති  ලොන්නොල් ගේ රජය පරදවා  නොම්පෙන් නගරයට විජයග්‍රාහී ලෙස ඇතුළු විය. තරුණ තරුණියන් මෙන්ම ළමා සොල්දාදුවන් ගෙන්ද සැදුම් ලත් ඒ  කෙමර් රූජ් හමුදාව සියල්ලෝම අත් පොලසන් නගා පිළිගත්හ. ඒ අතර මගේ යහළුවා එන්ග් වෙන්ග් න්ගුයෙන් ද   විය. ඔහුගේ වයස දොළහකි. 

සෝවියට් දේශයේ මා උගත් කාලයේ උතුරු කොරියානු සිසුන් සිටියේ අනිත් සිසුන්ගෙන් බොහෝ ඈත්වය. ඔවුන්ට අප හා කතා කිරීමට පවා එතරම් අවසරයක් නොවීය. ඔවුන් අතර කොරියානු රජයට සම්බන්ධ සිසුන් සිටි අතර ඔවුන් සියලුම සිසුන් පාලනය කළහ. කාම්බෝජ සිසුන්ට එවැනි ප්‍රශ්නයක් තිබුනේ නැත. ඔවුන් නිදහස්ය. කාම්බෝජ ජාතික එන්ග් වෙන් න්ගුයෙන් සිටියේ අපේ  කණ්ඩායමේය. ඔහුගේ කාමරය අප සිටි නේවාසිකාගාරයේ උඩම තට්ටුවේ තිබු අතර ඔහු සිටියේ නේරංජන නම් තවත් සිංහල සිසුවකු සමගය. 


වරෙක ඔහුගේ කාමරයට මම හදිසියේ ඇතුළු වූයේ නෙරංජන් සොයමින්ය. ඇඳේ නිදා සිටි එන්ග් එක්වරම නැගිට්ටේ පිහියක් ඇඳ  විට්ටමින් අදිමිනි. මම ""උඹට පිස්සු දැයි ඇසුවා" මතකය. ඔය කතාව කී  විට නේරංජන කීවේ එන්ග්  කොට්ටය  යට මෙන්ම ඇඳ පැත්තේද අනම්  මනම් තබාගෙන සිටින බවය. එන්ග් ට තරහ ගියද මම ඔහු ගේ කොට්ටය පෙරලා බැලුවෙමි. එහි විදුලි පන්දමක් හා කුඩා පිහියක් විය. මේ ගැන හාරා ඇවිස්සිමේදී එන්ග් කීවේ අමුතු කතාවකි. කලෙක විප්ලවීය වීරයෙකු ලෙස මා සිතා  සිටි පොල්පොට් හා ඔහුගේ  ඔහුගේ බලාධිකාරයේ සිටි කියූ සම්පන්, ඉයන් සාරි ආදින් මා සිතු අන්දමේ  හොඳ මිනිසුන් හෝ විප්ලවවාදීන් නොවේ. 

පහල ඇත්තේ මා කාම්බෝජයට 2019 දී  ගිය අවස්ථාවේ එන්ග් සමග හා පසුව ව ලුමුම්බා සරසවියේ උගත් තවත් මිතුරෙකු සමගත් ගත්  පින්තුරය. 


අප ගියේ රසවත් ලෙස බාබෙකිව් කල මස් සමග නොයෙකුත් සුප් ජාති ද ෆ්‍රයිඩ් රයිස් ද විකුණන අවන්හලකටය. 



කෙමර් රූජ් හමුදාප්නොම් පෙන් නගරයට ඇතුළු වුනේ 1975 අප්‍රේල් 17 දාය. පැය කිහිපයකට පසු සියලුම ජනතාවට නගරයෙන් තමන් උපන් ගම ප්‍රදේශ බලා යන ලෙස ඔවුහු නියෝග කළහ. එසේ අණ  දුන්නේ අමෙරිකානුන් බෝම්බ දමන බව පවසමිනි. (අමෙරිකානුන් වියට්නාම් දේශ සීමාව අසල කාම්බෝජ ගම්වලට ඊට පෙර  කාපට් බෝම්බ  දැමු බව සත්‍යයකි. ඒ ප්‍රංශයට හා ඇමෙරිකාවට එරෙහිවුණු සිහනුක් රජුට පාඩමක් ඉගැන්වීමටත් එක්කය )  . නගරවාසීන් සිතුවේ මේ ගමන දෙතුන් දිනක තාවකාලික එකක් ලෙසය.    ඒ වෙනුවට ඔවුන්ට අවුරුදු තුනකට වඩා ඉතා අසීරු තත්ව යටතේ ගම් ප්‍රදේශ වල වසන්නට සිදු විය. එන්ග් ගේ පවුලද කිලෝ මීටර හැටක් පයින්ම ගමන් කර ඔවුන්ගේ ගමට ගියහ.

එසේ ගිය ඔවුන්ද දැඩි ලෙස දුක් වින්දහ. වාහන තිබුනේ නැත. තිබුන වාහනත් ඉන්ධනත් අයත්ව තිබුනේ පොල්පොට් ගේ කෙමර් රූජ් හමුදාවටය.  ඒ කාලයේ මිලියන් තුනක පමණ ජනතාවක් සමාජවාදී රාජ්‍යයක් වසර බින්දුවේ සිට නිර්මාණය කිරීම උදෙසා  දිවි පිදුවහ. මෙයින් මිලියන් දෙකක් පමණ  නොයෙකුත් හේතුන් මත  මරා දැමු අයයි. ඒ මරා දැමූ ස්ථාන කිලින් ෆිල්ඩ්ස් (මරණයේ නිම්න) ලෙස හැඳින්වෙන අතර ඒවා බොහොමයක් කෞතුකාගාර ලෙස රට පුරා විසිර  තිබේ. 

සිරකරුවන් දහ අට දහස් එකසිය තිස් තුනක් මරා දැමුණු ටුඕල් ස්ලෙන් නමැති භීෂණයේ කෞතුකාගාරයට මම එන්ග් සමග ගියෙමි. එය කෙමර් රූජ් වරු හැඳින්වුයේ ආරක්ෂක සේවා සිර කඳවුර,  නොම්මර 21 නමිනි. 

ඉන් එක තැනකදී බත් පොඩ්ඩක් දමා වතුර, හතු හා ලුණු දැමූ කැඳක් මිනිසුන්ට කඳවුරු වලදී දුන් බව කි එන්ග් කැඳ  හදන විශාල බඳුනක් මට පෙන්වීය. ඉන්  මොහොතකට පසු ඉතා සංවේදී වුනු ඔහු ගොඩනැගිල්ලෙන් ඉවතට ගියේය. පහත ඇත්තේ ඒ බඳුනයි.



මේ පහල පින්තුරයේ සිටින ළමයින් වැඩ කළ ආකාරයට එන්ග් ද වැඩ කර තිබේ. සියල්ලෝම ගම්වලට යැවු අතර සියල්ලෝම ගොවි තැනේ යෙදිය යුතු විය. පොහොර තිබුනේ නැති අතර ඒ වෙනුවට භාවිතා වුනේ මිනිස් අපද්‍රව්‍යය හා සත්ව අපද්‍රව්‍යය. මිනිසුන් සිටින කාමරවල බාල්දියක මළපහ කලයුතු අතර උදේ වනවිට අයෙක් ඒවා රැගෙන වගා බිම් වලට යෙදිය යුතුවිය. වගා බිම් වල ගමන් කරන විට නැගෙන්නේ අධික දුර්ගන්ධයකි. කඳවුරු වල ජීවිතය  අතිශය දුෂ්කර එකක් විය. බොහෝ අය කුස ගින්නේ මිය ගියහ. 



පොල්පොට් ගේ කණ්ඩායම බලයට පත්වීමට හේතු කිහිපයක් තිබේ. එකක් ඇමෙරිකාව විසින්  තිරශ්චින ලෙස වියට්නාමයට බෝම්බ දැමීමයි. වියට්කොන් ගරිල්ලන් කාම්බෝජ දේශ සිමාවේ සැඟවුණු විට ඇමෙරිකාව ඒ ප්‍රදේශ  වලටද බෝම්බ දැමූ අතර සාමාන්‍ය වැසියන් බොහොමයක් මිය ගියහ. සිහනුක් කුමරා  ඇමෙරිකාවට  විරුද්ධව සෝවියට් හා චීන ආධාර පැතූ  අතර පරණ කොමියුනිස්ට් පක්ෂ පරදා පොල්පොට් ගේ බලය වැඩි වීමට ඇමෙරිකන් ප්‍රංශ හමුදා ක්‍රියා කාරකම් ප්‍රබල හේතුවක් විය. මුලදී වියට්නාම් කොමියුනිස්ට් වරු  හමුදා සමග සම්බන්ධකම් තිබුනත් පොල්පොට් පසුව ඔවුන් මග හැරීය. බොහෝ දෙන නොදන්නා  කාරණයක් නම් පොල්පොට් ට සිහනුක් කුමරු සමග ඥාති සම්බන්ධයක් තිබූ බවයි. එනම් ඔහුට රජ පවුලට  ඥාතිත්වයක් තිබූ බවයි. 

පහත  පින්තූර වල සිර කඳවුර 21 හිදී  මියගිය සමහර අයගේ පින්තුර තිබේ.


















- අජිත් ධර්මකීර්ති 

Wednesday 15 June 2022

අදානිගේ සුළං විදුලිය , ක්‍රෙඩිට් ලයින් එක සහ මෝඩ මෝඩි


පෙසපේ පුබුදු ජයගොඩ වගේම ජවිපෙ ත් අදානි දාන්න හදන සුළං බලාගාරයට විරුද්ධව කතා කරන නිසා මට දැන ගන්න අවශ්ය වුනා එයාලගේ ස්ථාවරය සහ විරුද්ධ වෙනවට අමතරව එයාල යෝජනා කරන්නේ මොකක්ද කියල දැන ගන්න . මේක ජවිපෙ බහුතරයක් ඉන්න වට්සැප් ගෘප් එකක් ඇහුව. කවුරුත් පිළිතුරක් දුන්නේ නැහැ. වෙන තැනක් ලින්ක් එකක් හොයන්න ඇහුවම පරල වෙලා. ටෙන්ඩර් පටිපාටියට විරුද්ධව ගෝටා දුන් බව හෙලි වෙලා ඉවරයි. ඒකට ගෝටා ට දඬුවම් කරමු. එයා එලවන ප්රොජෙක්ට් එකේ නේ හැමෝම ඉන්නේ. රනිලුත් එලවමු. අවුලක් නැහැ. අදානි ගේ ප්රොජෙක්ට් එක ලංකාවට ගේන එක හොඳ නැත්ද ?
මේ වෙලාවේ ඩොලර් නැහැ බෙහෙත් වලට, කන්න බොන්න ගන්න මුදල් නැහැ. රටේ අපනයන අදායම දෙන ගාමන්ට් ඇතුළු කර්මාන්ත කරගෙන යන්න වත් විදුලිය නැහැ. තෙල් නැව් එන්නේ ඉන්දියාවෙන්. ඉන්දියාව කොහොමත් දැන් අත දාලා ඉවරයි.
අදානි ගේ ප්රොජෙක්ට් එක ගත්තොත් ඒකෙන් අවශ්ය ය කරන ඩොලර් ටිකක් හම්බ වෙනවා. රුසියාවෙන් තෙල් ගන්න පුළුවන් ඒකෙන්. විදුලිය එක පාරටම ලැබෙන්නේ නැහැ. මාස ගානක් යනවා තමයි. නමුත් ලංකාවට සල්ලි නැහැ හදන්න. ඉන්දියාවට බැරිනම් රුසියාවට කීවත් කමක් නැහැ . රුසියාව කීව ගමන් ඇවිලෙන පැත්තක් තියෙන නිසා ඒකත් අමාරුයි. ඇමෙරිකාව එන්නේ නැහැ දැන්ම. චීනේ සල්ලි දෙන්න බැහැ කියනව. එහෙම නැත්නම් ඔය කියන පක්ෂ දෙක 43 සේනාංකයේ කට්ටියත් එක්ක එකතු වෙලා බලය අතට ගන්න නොපමාව. මොකද තනියම ඔය කාටවත් බලයට එන්න බැරි සයිස් එකක් තියෙන්නේ කියල පේනවනේ දැනට.
මේ ප්රශ්න වලට කවුරු හරි පිළිතුරු දන්නවද?
අදානි ගේ ප්රොජෙක්ට් එක කොපමණ මිල වැඩිද? ඒකෙ යුනිට් එකක් කීයට විකුණනවද CEB එකට? ඒක ඩිසල් බලාගාර විකුණන ගානට වඩා අඩුද?
මේ ප්රොජෙක්ට් එකේ වෙන අය බිඩ් කලාද?
ඒ දෙවැනි හා තුන්වැනි තේරීම් තිබෙන ආයෝජකයන් සිටිනවාද? ඒ අයට මේ ප්රොජෙක්ට් එක අදානි ගෙන් අරගෙන දෙන්න බැරිද? (පිළිතුරු ඉන්බොක්ස් කලත් කමක් නැහැ.)

මම අහපු ප්‍රශ්න වලට විදුලි ඉංජිනේරුවකු වන බුද්ධික විජේවර්ධන මහතා පිළිතුරු දීල තිබුනා. ඒ මහතාට ස්තුතියි.
ඒකෙන් තව ප්‍රශ්න ටිකක් මතු වුනා.
මේ මම අහපු ප්‍රශ්න:
//අදානි ගේ ප්රොජෙක්ට් එක කොපමණ මිල වැඩිද? ඒකෙ යුනිට් එකක් කීයට විකුණනවද CEB එකට? ඒක ඩිසල් බලාගාර විකුණන ගානට වඩා අඩුද?
මේ ප්රොජෙක්ට් එකේ වෙන අය බිඩ් කලාද?
ඒ දෙවැනි හා තුන්වැනි තේරීම් තිබෙන ආයෝජකයන් සිටිනවාද? ඒ අයට මේ ප්රොජෙක්ට් එක අදානි ගෙන් අරගෙන දෙන්න බැරිද?//
මේ ඔහුගේ පිලිතුරු
//
අදානි ටෙන්ඩරයක් ඉදිරිපත් තරල නැහැ. මේක unsolicited proposal එකක් විදියට හෝ නැතිනම් G to G proposal එකක් හැටියට එන්නෙ. තරඟකාරීත්වයක් නැතිව මේවගේ විශාල පරිමාණයේ ව්‍යාපෘතියක් දෙන්න විදුලිබල පනතෙන් ප්‍රතිපාදන නැති නිසයි පනත සංශෝදනය කරන්න ඕන වෙලා තියෙන්නෙ. මේ පනත් සංශෝධනය දූෂණයට දොර විවෘත කිරීමක් විදියට තමයි CEB ebgineersල දකින්නෙ.
දැනට wind power unit එකක production cost එක ඉන්දියාවෙ නම් INR 3 කට අඩුයි. මෑතක CEB එක ADB funds වලින් කරපු 100MW Mannar plant එකේ cost එක unit එකට USD cents 4ට අඩුයි. අදානිට දෙන්න හදන්නෙ USD cents 7.55ට. පැහැදිලිවටම industry standard එක වගේ දෙගුණයක මිළකට අනවශ්‍ය තරම් wind resource ප්‍රමාණයක් දෙනව.//

මගේ පිළිතුර :
මේ කමෙන්ට් දෙකටම ස්තූතියි . අදානි ටෙන්ඩරයක් ඉදිරිපත් කරලා නැහැ කියල දැනුයි දැන ගත්තේ.  G to G proposal අමුතු දේවල් නෙමෙයි නේ. 
// මේ පනත් සංශෝධනය දූෂණයට දොර විවෘත කිරීමක් විදියට තමයි CEB ebgineersල දකින්නෙ.// මෙතැන ප්‍රශ්නේ තියෙන්නේ - (සමාවෙන්න මේක ලියනවට. මගේ යහළුවෝ කිහප දෙනෙකුත් CEB ඉන්නවා.) ටෙන්ඩර් අවශ්‍ය තැනත් සමාගම් පිහිටුවන් ඉන්න  CEB ඉංජිනේරුවෝ සහ බිස්නස් යහළුවන්ට ඒ ටෙන්ඩර් වලට අයැදුම් කරන්න කියල එයාලට ප්‍රමුඛතාව දෙනවා කියන චෝදනාව. එතැනත් දුෂණ වෙලා තියෙනවා කියන එක තමා ඔය කිහිප දෙනෙක්ම පහල කියන්නේ.
//INR 3 කට අඩුයි. මෑතක CEB එක ADB funds වලින් කරපු 100MW Mannar plant එකේ cost එක unit එකට USD cents 4ට අඩුයි. අදානිට දෙන්න හදන්නෙ USD cents 7.55ට. පැ// මේක තමයි මම හොයා හොයා හිටියේ, එතකොට අදානිට දෙන්නේ වැඩි ගානට. එතකොට ඔයා දන්නවද ඩිසල් බලාගාර වලට ගෙවන මුදල? 
 ඔයා දන්නවද ඩිසල් බලාගාර වලින් ඒකකයක් ගන්න ගාන , මේ තියෙන්නේ ඩිසල් තියෙන කාලේ 2020 ඒකකයකට ගෙවල තියෙනවා  රුපියල් 40 වගේ . මේ දිවයින වාර්තාවක්. 

//2021 රජයේ විගණන වාර්තාවලට අනුව මෙරට පෞද්ගලික ඞීසල් බලාගාරයකින් 2020 වසරේ ලංවිමට ලබාගත් විදුලිය සඳහා ඒකකයකට රුපියල් 39.52, 36.84, 28.30 ආදී වශයෙන් ගෙවීම් සිදුකර තිබෙන අතර ඒ සඳහා එම වසරේ පමණක් රුපියල් කෝටි 400ක් ලංවිම එම සමාගමට ගෙවා ඇත// එක සමාගමකට පමණක් . 

දැන් ඩිසල් ගණන් නිසා තුන් ගුණයක් විතර මේ ගාන වැඩි වෙන්න ඕනේ නේ . 
එතකොට අදානි  USD cents 7.55  කට ගන්නවා කියන්නේ  ඩොලරයකට රුපියල් 357 ගානෙ ගත්තත් රුපියල් 27යි.  ඒ කියන්නේ ඩිසල් 2020 දී ගත්ත  ගානටත්  වඩා අදානිත් අඩුයි.

// industry standard එක වගේ දෙගුණයක මිළකට අනවශ්‍ය තරම් wind resource ප්‍රමාණයක් දෙනව.// ඒ කියන්නේ පැහැදිලිවම industry standard එක වගේ තුන් ගුණයක මිලක් ඩීසල් බලාගාරවලට ගෙවනවා. දැන් කියන්න බලන්න කාටද මේ ඩිසල් බලාගාර වැඩිපුරම  අයිති කියල. විගණනයක් කරලා බලමුද?

ඊළඟ පොයින්ට් එක තමා - ඉන්දියාව ඔය ක්‍රෙඩිට් ලයින් එක දීලා තියෙන්නේ නිකන් නෙමේ. පෙනෙන්නේ නිකන් වගේ. මොකද ලංකාවට ඩොලර් සංචිත නැහැ. වෙන රටක් තියා IMF එක දෙන්නෙත් නැහැ. ඉන්දියාව තෙල් ගන්න පවා සල්ලි දෙනවා. අපට ඒකට ගෙවන්න බැහැ කියල ඉන්දීයාව  දන්නවා. ඒත් දෙනවා. මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙමෙයි නේ .  අදානිට  ලාභයක් යනව. (බුද්ධික ගේ පිළිතුරට අනුව ඒක පැහැදිලියි) ඒ කියන්නේ BJP පක්ෂයට චන්දෙ ඉල්ලන්න  මුදල් ලැබෙනවා.. රනිල බැදුම්කර වික්ක වගේ එජාපයට චන්ද වලට දාන්න,   ඒක ඉන්දියාව පැත්තෙන් පට්ට දුෂිතයි. රාහුල ගාන්ධි හරි. ඉතින් අපට මොකද? ඉන්දියාව ඔයිට වැඩිය කැත වැඩ ලංකාවට  කරලා තියෙන එකේ . මේ වෙලාවේ ලංකාවේ මිනිස්සු  ජිවත් කරවන්න නම් මේ තෙල් ටිකයි ඉන්දියන් කෑම ටිකයි ඕනේ නැත්ද? මේ ක්‍රෙඩිට් ලයින් එකටත් දැන් කෙලවේගන යනවා නේද?  මේක තමා මගේ සිම්පල් ප්‍රශ්නේ. මොකද මට අවුලක්  නැහැ. මම ඉන්නේ එංගලන්තේ. 

ඉතා ඉක්මනින් ලංකාවේ රජය සම්පුර්ණයෙන්ම වෙනස් විය යුතු බව තමා මට හිතෙන්නේ. 

මේ ඩිල් එකට කෙලින්ම විරුද්ධ 43 සේනාංකය, ජවිපෙ සහ පෙසප ත් අනිකුත් අයත්  එකතු වෙලා  රජයක් පිහිටුවන්න. 

පහල මගේ වෝල් එකේ අනිකුත් මත ඇති. 
-අජිත් ධර්මකීර්ති 

අනිකුත් මත 

විදුලිබල මාෆියාව
⛔මන්නාරම සහ පුනරීන් වල මෙගාවොට් 500 බැගින් වූ සුළං විදුලි බලාගාර දෙකක් ඉදිකිරීම සඳහා ඉන්දියාවේ අදානි සමාගමට දෙන්න යනවා.
😊 ඉතිං හොඳයිනෙ.
⛔ ඔව්. සුළං බලයෙන් විදුලිය නිපදවන එක හොඳයි. දැනටමත් ලංකා විදුලිබල මණ්ඩලයට අයිති සුළං විදුලිබලාගාරයක් තියෙනවා මන්නාරමේ. ඒකෙ නම් තම්බපන්නී. ඒකෙන් මෙගාවොට් 100 ක පමණ ධාරිතාවයක් ජාතික විදුලි පද්ධතියට එකතු කරනවා.
😮එහෙනම් ඇයි. විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති රටම අඳුරෙ තියන්න හැදුවෙ.
⛔ ලංකාවේ නීතිය අනුව මෙගා වොට් 25 ට වැඩි විදුලි බලාගාරයක් හදනවනම් ඒකට ටෙන්ඩර් කැඳවලා අඩුම මුදලකට විදුලි ඒකකයක් සපයන්න පුළුවන් කෙනාට තමයි ඒ ව්‍යාපෘතිය භාර දෙන්න ඕන.
😮 ඉතිං දැන් එහෙම නෙමෙයිද ඔය අදානි සමාගමට කොන්ත්‍රාත් එක දීලා තියෙන්නෙ.
⛔ නෑ. ටෙන්ඩර් කැඳවීමක් කරනවා වෙනුවට විදුලිබල පනත වෙනස් කරන එක තමයි ඊයෙ පාර්ලිමේන්තුවේ කරේ. දැන් ටෙන්ඩර් කැඳවීමකින් තොරව අදානි සමාගමට වැඩේ භාරදෙන්න පුළුවන්. ඒ පනත වෙනස් කරන එකට එරෙහිව තමයි විදුලි සේවකයො වර්ජනය කරේ. ටෙන්ඩර් කැඳවලා අඩුම මුදලකටවිදුලිය සපයන්න පුළුවන් අයට ව්‍යාපෘති භාරදෙන්න පුළුවන් විදියට පනත වෙනස් කරන්න කියලා තමයි වෘත්තීය සමිතිවල ඉල්ලීම වුනේ.
😮 එතකොට දැන් ඔය අදානි සමාගම විදුලිය සපයන්න එකඟ වෙලා තියෙන්නෙ අඩු මිලකට නෙමෙයිද ?
⛔ දැනට ලංකා විදුලිබල මණ්ඩලයට අයිති මන්නාරමේ තියෙන තම්බපණ්නි විදුලි බලාගාරය මගින් සුළං බලයෙන් නිපදවන විදුඉ ඒකකයක පිරිවැය ඩොලර් ශත තුනකටත් වඩා අඩුයි. ඒක මෙගාවොට් 100 ක බලාගාරයක්. අදානි සමාගමට භාරදෙන්න යන්නෙ මෙගාවොට් 500 ක ධාරිතාවයක් තියෙන බලාගාරයක් හදන්න. සාමාන්‍යයෙන් ධාරිතාවය වැඩියෙන් නිපදවද්දි පිරිවැය අඩුවෙනවනෙ. ඒත් අදානි සමාගම එකඟ වෙලා තියෙන්නෙ ඩොලර ශත 755 කට විදුලි ඒකකයක් සපයන්න.
😌 හැබැයි මේ වෙලාවෙ විදේශ ආයෝජන ඕන නේද ? අපිට ඩොලර් ඕන නේද ?
⛔ ඔව් මේ ව්‍යාපෘතිය සඳහා අදානි සමාගම ඩොලර් මිලියන 400 ක පමණ මුදලක් ගේන්න බලාපොරොත්තු වෙනවා. මේ ව්‍යාපෘතිය වසර 30 ක ව්‍යාපෘතියක්. මේ සඳහා ආයෝජනය කරන මුදල ඔවුන් වසර 03 කින් උපයගන්න බලාපොරොත්තු වෙන්වා. ඒ කියන්නෙ ඉතුරු අවුරුදු 27 පුරාවටම ඔවුන් අපේ රටෙන් ඒ වගේ විශාල ගුණයක ඩොලර් එළියට අරගෙන යනවා.
😮 කවුද මේ අදානි සමාගම ?
⛔ අදානි සමාගම තමයි ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් යොදවන්නෙ. මෝදි අගමැතිඋනාටපස්සෙ 2018 දී ඉන්දියවේ ගුවන් තොටුපොළවල් 06 ක් පෞද්ගලීකරණය කරන්න තීරණය කරනවා. ඒ ගුවන් තොටුපොළවල් 06 ම මිලදී ගන්නෙ අදානි සමාගම. ඒ වගේම අදානි සමාගම තමයි දැනට ඉන්දියාවෙ ඉන්න විශාලතම පෞද්ගලික වරාය මෙහෙයුම්කරුවා. ඒ වගේම විශාලතම ගල් අඟුරු බලශක්ති සැපයුම්කරුවා. මෝදි අගමැති වූවායින් පසුව අදානි සමාගමේ හිමිකරු ගෞතම් අදානිගේ දළ වත්කම් 230% කින් ඉහළ ගොස් තිබෙන අතර, ඇමරිකන් ඩොලර් බිලියන 26 ක පමණ රජයේ ව්‍යාපෘති ඔහු විසින් ලබාගෙන තිබෙනවා. කොළඹ වරායේ බටහිර ජැටිය දෙන්න ගියෙත් මේ අදානි සමාගමටම තමයි.
😮 ඒ කියන්නෙ මෙතන වෙන මොකක් හරි ගේමක් තියෙනවා
⛔ ඔව්. පසුගිය කාලෙ ඉන්දියාව දිගටම ලංකාවට ණයට තෙල් දුන්නා. ඒ අපට ආදරේට නෙමෙයි. ඔවුන් මේ අර්බුදය හරහා ලංකාවේ බලශක්තිය පිළිබඳ ඒකාධිකාරී බලය ඉන්දියාවට ලබාගන්න හදන්නෙ. ඒ හරහා ඉදිරියේදී එන ලංකාවේ ඕනෑම ආණ්ඩුවක් පාලනය කරන්න ඉන්දියාවට බලයක් ලැබෙනවා. ලංකාවේ දැන් ඉන්න ගෝඨා, රනිල් පාලකයන්ට ඒවා වැඩක් නෑ. ඔවුන්ට ඕන මේ වෙලාවේ බලය තමන්ගෙ අතේ තියාගන්න විතරයි.
- රොෂාන් අක්මීමන

ලංකාව සතු ජලය, ගල් අඟුරු සහ සුළං විදුලි උත්පාදන බලාගාර මගින් විදුලි බලය සඳහා ඇති දෛනික ඉල්ලුම සැපයීමට බැරි අවස්ථාවක මෙවැනි විදෙස් ව්‍යාපෘතියක් ඉතා වැදගත් වන්නේ ලංකාවේ රජයට හෝ සමාගමකට මෙවැන්නක් ඉදිකිරීමට කිසිසේත්ම මුදල් නොමැති නිසයි.
නමුත් මෙම ව්‍යාපෘතියෙන් ලංකාවට ඩොලර් ලැබෙනවා කියන එක නම් කෙලින් ම සිදු වෙන දෙයක් නොවේ. මෙම ඉදිකිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, යන්ත්‍රසූත්‍ර මෙන්ම මිනිස් ශ්‍රමය ද අදානි සමාගමට ඉන්දියාවෙන් ගෙන එන්නට හැකියි. ඒ කිසිවක් ලංකාවට ඩොලර් ලැබීමක් නොවේ.
දේශීයව මිලට ගන්නා භාණ්ඩ සඳහා සහ දේශීය ශ්‍රමය සඳහා රුපියල් වලින් ගෙවීමට අදානි සමාගමට ඩොලර් හෝ ඉන්දියානු රුපියල් ලංකාවට ගෙන ඒමට සිදු වෙනු ඇති. නමුත් ඒ සඳහා අදානි සමාගම ලංකාවේ බැංකුවකින් ණයක් ගත්තොත් පුදුම වෙන්න එපා. එය කළ හැකියි.
මට හිතෙන විදිහට මෙම ව්‍යාපෘතියෙන් ලංකාවට ඩොලර් ලැබෙනු ඇත්තේ අනියම් ආකාරයටයි. එනම් මෙම විදුලි බලාගාරය නිපදවා එයින් උත්පාදනය කරන විදුලිය ජාතික බෙදාහැරීමේ පද්ධතියට එකතු කළ විට අද කෙරෙන ඩීසල් පිච්චීම අවශ්‍ය නොවෙන නිසා සිදුවන ඉතිරියයි.
නමුත් ඒ ඩීසල් විදුලි බලාගාර ද තනිකරම වසා දැමීමට හැකි වෙතැයි මා සිතන්නේ නෑ එයට හේතුව සුළං බලාගාරය බිඳ වැටීමක් හෝ උත්පාදන කරන ජවයේ අඩුවීමක් හෝ සිදුවුණු විට ප්‍රයෝජනයට ගැනීම සඳහා තබාගත යුතු බැවිනි.

- රසික සුරිය ආරච්චි 

Thilak Hettiarachchi
තමන්ට ජනතාව අතර බෙදාහරින්න මාතෘකාවක් ලැබෙනවා නම් මෙයාලාට ඒක තමයි වැදගත්. රටට බලශක්තිය ගන්න වෙනත් උපක්‍රම හෝ ක්‍රියාමාර්ග ඇහුවොත් දෙසා බානවා අර සාම්ප්‍රදායික ටෙන්ඩර් පටිපාටි කතන්දරය. නමුත් ටෙන්ඩර් දාන උන් ඩීසල් මාෆියාව එක්ක එකතුවෙලා ගහන ගේම දැන් නිරුවත් වෙලා ඉවරයි නේ. එහෙම ටෙන්ඩර් දාන්න කියනවා නම් සුරැකුම් විදිහට ටෙන්ඩර් වටිනාකමින් ආපසු ගෙවන වත්කමක් හැටියට අවම 35% විතර තැන්පත් කරන්න කිව්වොත් එකෙක් දාන්නෙ නෑ ටෙන්ඩර්. අනික බංකොළොත් රටක ව්‍යාපෘති කරන්න එයිද කිසි කෙනෙක් වෙනත් යටි අරමුණු නැතුව. යටි අරමුණු අපිට උවමනා විදියට කළමනාකරණය කරගන්නයි ඕනේ. නැත්නම් ඉතින් හැමදාම 120/130 විතර අරගෙන 20 විකුණලා වැඩ කරන උන්ට අහස උසට පඩිත් ගෙවලා මහජන මුදල් කාබාසිනියා කරන ක්‍රමයට යමු. එතකොට සනීපයි නේ ඔය තියන අමාරු.

Ajith Priyankara
 මචං අජිත්දැන් අපි නොබැඳි පිළිවෙතක් නෙමේ අනුගමනය කරන්නේ, ගැති පිළිවෙතක්, ඒකෙ අවසානය ukraine අර්බුදය වගේ, මහා ව්‍යසනයක් කරා යන්නත් පුළුවන්, දැන් මේ ප්‍රධාන පක්ෂ දෙක අවුරුදු විසිපහකට තිහකට ආසන්න ව බලය දෙපැත්තට දෝලනය වෙනවා රනිල් අගමැති 6 මහින්ද ජනාධිපති මහින්දගේ සහෝදරයෝ ජනාධිපති, කනගාටුයි කියන්න , කෝ අපේ රටේ තිබ්බ අර දේශීය නිෂ්පාදන ටික තුල්හිරිය vetex වැල්ලවත්ත රෙදි මෝලේ වානේ සංස්ථාව කඩදාසි කම්හල පැලවත්ත සීනි සමාගම තව ගොඩක් අමතකයි සාමාන්‍ය පවුල් ජීවිත ගැටගහ ගත්තෙ ඒවයින් මුන් සම්පූර්ණයෙන්ම රටේ ජනතාව විනාශ කරා, මම අර උඩින් දැම්ම පෝස්ට් එක මතක තියා ගනින් කවද හරි ලංකාවෙ මිනිස්සුන්ගෙ වකුගඩුවට මිල නියමකරනවා අනිවාර්යයි

Wmk Samarasekara
 ටෙංඩර් කරනවා කියන්නෙ හොඳ එකක්. ඒකෙ තර්කයක් නෑ. නමුත් අපේ රටේ උන් ඒක අල කරනන්නෙ මෙහෙමයි. උන් ටෙංඩර් කීපයක්ම දාල අර නියම ටෙංඩර් කරු මකල දානව. උන් මේ වැඩේ කරන්නෙත් නෑ. කරන එකාට කරන්න ඉඩ දෙන්නෙත් නෑ.

ඇණයා රාජවිපක්ෂ
සාමාන්‍යෙයන් ලංකාවේ පලදායී නැති රජයේ විධායක නිළධාරීන් ගේ (පිදුරු කන්නෙත් නැති කන ගොනාට දෙන්නෙත් නැති) ස්තාවරය තමයි ජවිපේ ස්තාවරය, විදුලි ඉංජිනේර්වෝ එක්ක වැඩ කරලා අත්දැකීම් නෑ, වාරිමාර්ග ඉංජිනේර්වෝ ගැන දන්නවා, ජිවිතේටම අවුරුදු දෙකක් පන දාගෙන වැඩ කරනවා ඊට පස්සේ පඩ අර අර බුදියගන්නවා, ලංකාවේ ජල කළමණාකරණ ප්‍රතිපත්තියක් හදන්න ලොකුම බාධාව ඔවුන් තමයි.
කෘෂිකර්මයට බාවිත කරන ජලයට ප්මා‍රණය අනුව බදු අයකල යුතුයි, එය කිරීමට ප්‍රධාන බාදාව රජය වතුර බහු ජාතික සමාගම් වලට විකුනනවා කියා ගොවීන් අවුලවන ඉංජිනේරුවන්,

Tuesday 7 June 2022

ටෙලි නාට්‍යයක්, චිත්‍රපටයක් හා අභිනිෂ්ක්‍රමණයක්

දමිත
දමිත  චන්ද්‍රසිරි 


ක්‍රිස් මැක්කැන්ඩ්ල්ස්

සමහර කතා අපට දැන  ගන්න ලැබෙන්නේ හුඟක් පරක්කු වෙලා. මේ එහෙම කතාවක්. පසුබිම කියන්න කලින් ලියන්න ඕනේ මෙහෙම. මමත් කාලයක් වහන් වෙලා හිටිය ලෝකෙන්. අනූ ගණන් වල මුල භාගයේ. හරියටම මොකද්ද කරන්නේ කියල දන්නේ නැතිව. ජිවිතයේ  එල්ලයක් නැති වෙලා ගිය මොහොතක. ඊට පස්සේ   පසු  කලෙක  මගේ බිරිඳ වුන ඇය  මුණ ගැසුන. මම  ලෝකෙන් වහන්  වෙලා හිටි කාලේ අවසන්  වුනා.
අපි තවමත් යනව නිවාඩු, හිටපු ගමන් වේල්ස් පැත්තේ ගම්මාන වලට. කඳු වලින් වටවෙච්චි පහත් තැනිතලා බිම්වල. ඉන්ටනෙට් නැහැ. මොබයිල් දුරකථන වැඩ කරන්නේ නැහැ. ෆේස්බුක්, වට්ස්ඇප් මුකුත් නැහැ.  සුමානයක් දෙකක්  ලෝකෙන් අයින් වෙලා ඉන්න. ජිවිතේට සමහර වෙලාවට ඒ නිදහස ඕනේ. ඒ සැනසීම ඕනේ. 

හැබැයි සම්පුර්ණයෙන්ම හැමදේම එපා වෙලා යන්න හිතුනොත්. අපි ඒකට  අභිනිෂ්ක්‍රමණය කියල නම් කරනවා. එහෙම ගිය එක්කෙනෙක් පසු කලෙක බුද්ධත්වයටත් පත් වුනා.

මේ ටික මතක් වුනේ පහුගිය දිනෙක හමුවුණු තුමිඳු දොඩන්තැන්න කියපු කතාවක් නිසා. තුමිඳු රඟපෑව, බොහොමයක්  අපි ඉතා කැමත්තෙන් නරඹපු කුඹියෝ ටෙලි නාට්‍යය ලියපු දෙන්න තමයි ලක්මාල් ධර්මරත්න සහ  දමිත චන්ද්‍රසිරි. ඒ ගොල්ලෝ මාස ගාණක් පුරාවට ස්ක්‍රිප්ට් එක ලීවට පස්සේ තුමිඳු ට කතා කරල කියල, මෙහම කතාවක් තියනවා කියල.. තුමිඳු එවන්න  කීවම එදා රෑම ෆයිල් කිහිපයක් හැටියට මෙසෙන්ජර් එකෙන් එවල තියෙන්නේ. තුමිඳු ඒක කියවල  රඟපාන්න කැමති වෙලත් ඕස්ට්‍රේලියාවේ යන්න තියෙන නිසා ඒ වෙලාවේ කියලා තියෙනවා වෙන කෙනක් ගන්න කියල. . නමුත් දමිත සහ ලක්මාල් දෙන්නම තුමිඳු ඕස්ට්‍රේලියාවේ ඉඳන් එනකන් ඉන්න කැමති වෙලා තියනවා. මොකද ඒ දෙන්නගෙම අදහස් වෙලා තියෙන්නේ ජෙහාන් ගේ චරිතයට ගැලපෙන්නෙම  තුමිඳු බව. දමිත කියල තියෙනව තුමිඳු හිතේ තියාගෙනමයි කතාව ලීවෙ කියලත්.  පෞද්ගලික මොහොතක් වුනත් මම ඉහත පින්තූරය දැම්මේ තුමිඳු ඒ කතාව අපට කී දවස නිසා. හැබැයි එතකොට වෙනත් නිෂ්පාදකයෙක් ඉඳල තියෙන්නේ.
තුමිඳු ඕස්ට්‍රේලියාවේ ඉන්න කාලේ ඒ නිෂ්පාදකයා නාට්‍යය ව්‍යාපෘතියෙන් අයින් වෙලා. ඒ අවස්ථාවේ තමයි තුමිඳු ගේ අයියා කතාව කියවල කැමැති වෙලා තියෙන්නේ. ඉතිරි හරිය හැමෝම දන්නවා. 

ඊට පස්සේ මම නොදන්නා  කතාව තමයි  (ලංකාවේ හිටිය අය නිව්ස් වලින් දකින්න ඇති මේක) දමිත චන්ද්‍රසිරි අතුරුදහන් වුනු බව.  අනුරාධපුරේ ඈත ගමකින් කොළඹ ආපු දමිත නැවතිලා හිටියේ නාවල. තුමිඳු කියන විධිහට තමන්ගේ නවාතැනේ බිල් ඔක්කොම ගෙවල, බැංකු කාඩ් පත් ආදිය ඉවත් කරගෙන, ලැප්ටොප් එක මේස උඩ තියල කාමරයත් අස් කරල දමිත් ගිහින්.. හරිම ලස්සන හිතක්  තිබුණු සංවේදී වගේම අසාමාන්‍ය චරිතයක්. 

මුලදී හැමෝම දමිත හොයල තියනවා. නමුත් පස්සේ ලක්මාල් කියල තියෙනව දමිත නිතර බලපු චිත්‍රපටයක් තියෙනව. ඒකෙ විධිහට නම් දමිත ට අවශ්‍ය නැහැ අපි එයාව හොයා ගන්නවට කියල. තුමිඳු, ලක්මාල්, අසංග  ඇතුළු යහළුවෝ ඒ චිත්‍රපටය බලල ඉතාමත් දුකින් වුනත් දමිත ගැන සෙවීම අතහැර දාල තිබෙනවා. ඒත් තුමිඳු ඉතාමත් සංවේගයෙන් අදත් කියන්නේ  "දමිත ආපහු එනවනම් හොඳයි අයිය" කියල.  

තුමිඳු මේ විස්තරය කීව දාට පහුවදාම මම ඒ චිත්‍රපටය බැලුව. "ඉන් ටුද වයිල්ඩ්" - වනයට අභිනිෂ්ක්‍රමණයක් කියල පරිවර්තනය  කළ හැකි ඒ නම.   මට චිත්‍රපටය බලන්න  හිතුනේ මට මතක් වුනා හර්මන් හෙස ලියපු "සිද්ධාර්ථ" නමැති කතාව. සිද්ධාර්තත් කිසියම්  සත්‍යයක් සොයාගෙන යනවා හැමදේම අත හැරලා. ඒ යන ගමනේ ගෝවින්ද කියල යහළුවෙක් හම්බ වෙනව. ඉන්පසු ගෞතම බුදුන් වහන්සේ  මුණ ගැසෙනවා දෙන්නටම, ගෝවින්ද බුදුන් සරණ යද්දී සිද්ධාර්ථ තමන්ගේ  විමුක්තිය තමන්ම හොයා ගන්න ඕනේ කියල යනවා. ඒ කතාව තවත් දුරට යනවා.

මේ වනයට අභිනිෂ්ක්‍රමණය කරන ඇමෙරිකානු තරුණයා, ක්‍රිස්ටෝපර්  විශ්ව විද්‍යාල අධ්‍යාපනය  හොඳින් අවසන් කළ, ක්‍රීඩා වලට දක්ෂ කොටින්ම ඉදිරි ජිවිතය "සාර්ථක වීම" සඳහා  සම්ප්‍රදායානුකුල අර්ථයෙන් ගත්තොත් සුදුසුකම් සම්පූර්ණ කළ අයෙක්. මව සහ පියා ඔහුට හොඳ කාරයක් අරන් දෙන්න උත්සාහ කරනවා. පළමුවෙනි ගැටුම පෙනෙන්නේ එතනින්.  ක්‍රිස් අහනවා "ඇයි මගේ පරණ හොන්ඩා කාරෙකේ වැරැද්ද මොකක්ද?" කියල. කාරෙක යනවනම් පාරේ, අවශ්‍ය ප්‍රධාන දේ කෙරෙනවා නම් අලුත් එකක් ගන්න අවශ්‍ය නැහැ.
නමුත් අපට සමාජයෙන් හොඳ කාරයක්, ගෙයක් දොරක් හෙම තියනවා නම් එන තත්වයක් තියෙනවනේ. මවගේ සහ පියාගේ අදහස වුනේ ඒ තත්වය රැක ගන්න එක. 

අපට ඒ දවස්වල තිබුන හොඳ හුරු බුහුටි ෆෝඩ් ෆියෙස්ටා කාරෙකක්. ජර්මනියෙන් ගෙනාපු නිසා වමෙන් පදවන්නේ. ඒකෙ සර්විස් මට තනියම කරන්න පුළුවන් විධියට හරි සරලයි. මේ වන්ඩියට අපි කොච්චර කැමති වුනත් යන යන තැන යාළුවෝ කියන්න ගත්ත "අජිත් මොකද්ද බං , හොඳ කාරෙකක් ගනින්කෝ , ලැජ්ජා නැත්ද  ඕකේ  යන්න" මේ සුපිරියට යන වාහනේ.  අන්තිමට ඔෆිස් එකේ උනුත් කියන්න ගත්ත වමෙන් යන කාර් එකකින් යන්නේ ඇයි වගේ කතා. අන්තිමට බොහොම අකමැත්තෙන් ඒක දෙන්න වුන. සමාජයේ ජිවත් වෙනවා නම් කිසියම් පීඩනයක් , තෙරපුමක් එනවා කිසියම් හට පද්ධතියක් යටතේ ජිවත් වෙන්න. ඒකෙන් ගැලවෙන්න ටිකක් අමාරුයි.
 
ක්‍රිස් ගේ   සොයුරිය පවසාගෙන යන කතාවේ ඉක්මවා පෙන්වන තව දෙයක් තමා ලෝකයට පෙන්වන ඔවුන්ගේ දෙමව්පියන් ගේ විවාහ ජීවිතය  ඇත්තටම බොරුවක් බව. පියාට තිබ්බ වෙනත් අනියම් බඳතාවකින්  තව පුතෙක් සිටිනවා.  ක්‍රිස් මෙය දැනගත්තත් සොයුරිය ගෙන් ඉල්ලා සිටිනවා ඔවුන් ඒ රහස දන්නා බව හෙළි නොකරන ලෙසට. මව හා පියා කරන ව්‍යාපාර වලදී එකමුතුව සිටියත් නිවසේදී දැඩි ලෙස වාද කළා, රණ්ඩු කළා. ආඩම්බරකාර පියා   කෝපාවිෂ්ට ලෙස මවට තර්ජනය කරනවා වගේම පහරදීමත් කර තිබුන.  

ක්‍රිස් අභිනිෂ්ක්‍රමණය කරන්න තීරණය කරන්නේ මේ වටාපිටාව තුල. තමනට තමන්ව හොයා ගන්න නැත්නම් සියළුම බැඳීම් වලින් මිදිලා වනගත දිවියකට යන්න. ඒ ගමන යන්නේ තාවකාලිකාවද නැත්ද  කියන එක  එයාම දන්නේ නැහැ. තමන්ගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ට ලද මුදල් ඩොලර් විසි පන්දාහක් ඔහු පුණ්‍ය කටයුතු වලට බැර කරනවා. තමන්ගේ හැඳුනුම් පත, ගමන් බලපත්‍රය , ක්‍රෙඩිට් කාඩ් ඔක්කොම විනාශ කරල දානවා. දාලා ඔහු බටහිර පැත්තට යනවා. ඒ යන ගමනේදී බොහෝ දෙනා මුණ ගැහෙනවා. අළුත් සබඳතා හදා ගන්නවා. නමුත් ඔහු කිසි තැනෙක රැඳෙන්නේ නැහැ. මෙක්සිකෝවට යන ඔහු නැවැත ඇමෙරිකාවට පැමිණ හැඳුනුම් පතක් ගන්න යනවා අනාථයන් පිලි ගන්න තැනකට. එතනදී තමන්ගේ නම දෙන්න  ඇලෙක්සැන්ඩර් සුපර්ට්‍රෑම්ප් කියල. "සුපිරි හිඟන්නා" කියන වාසගම සහිතව.

හිපි යුවලක් වන රෙයිනි සහ ජෑන් ඔහුට මගදී මුණ ගැහෙනවා. ඔවුන්ටත්  පුතෙක් ඉඳල වෙන්වෙලා ගිහින්.  ඔවුන් ක්‍රිස් ට ආදරය  කරනවා වගේම නවතින්නත් ආරාධනා කරනවා. හිපි දිවියේ නිදහස ගැන කියල.  එසේම ගොවියකු වන වෙයින් ඔහුට උදව් කරනවා, මුදල් සොයන්න. ගොවිපළවල වැඩ කරන්න. ඒ කිසිම තැනක ක්‍රිස් බැඳී හිටින්නේ නැහැ. ඒ හැම තැනම  නිදහස තිබුනත් ඔහුගේ අවසාන බලාපොරොත්තුව උනේ ඇලස්කාවට යාම නිසා.

 පසු කලෙක ට්වයිලයිට් චිත්‍රපට මාලාවේ රඟපාන කර්ස්ටන් ස්ටුවර්ට් ආරම්භක නිලියක් වශයෙන් මේ චිත්‍රපටයේ ළාබාල හිපි තරුණියක් ලෙස රඟ පානවා. සුන්දර ප්‍රථම ප්‍රේමයක් ලෙස ඈ සමග නවතින්න පුළුවන් වුනත් වරෙක ඈ  සමග එකතුව ගිටාරය වයමින් ගීතයක් ගැයූවත්,   ඔහු ඇයත් හැරදා  යනව.   



එසේම ඔහුට හමුවන තවත් චරිතයක් තමයි හදිසි අනතුරකින් තමන්ගේ බිරිඳ සහ  පුතා මියගිය පසු තනිව ජීවත්  වෙන රොන්. රොන් ට අවශ්‍ය වෙනවා ක්‍රිස් ව තමන්ගේ මුණුපුරා ලෙස තබා ගන්න. රොන්ව කන්දක් මුදුනට රැගෙන  යන ක්‍රිස් ඔහුගේ ගමනාන්තය ඇලස්කාව බව පවසන ගමන්,  ලොව සියල්ල දැක තිබුනා  කියා හිතාගෙන සිටින  රොන් වැරදි බවත් නිදහස සොයා ක්ෂිතිජයේ ඉමට යන ගමන මනරම් බවත් පහදා  දෙනවා. රොන් පිලි ගන්නව ඔහුට ඒ කන්ද නගින්න අමාරු වගේම එවැනි ගමනක්  යන්නත් අමාරු බව. තමන්ගේ හිම සපත්තු හා තුවක්කුව  ක්‍රිස් ට දෙන රොන් ඔහුව ඇලස්කාව ට හැරලනව. එසේ කරන්නේ නැවත ඔහු සමග ජීවත් වන්නට එන ලෙසට ඉල්ලීමක් කරමින්.

හිම වලින් පිරිණු සුන්දර ඇලස්කාව ක්‍රිස් ව  මන්මත් කළත් එය ඉතා අසීරු ජිවිතයක්  බව ඔහු ජර්නලයක  නිති  පතා සටහන් කරනවා. ඔහු සිටින්නේ සතුටින්. නමුත් බාධක බොහොමයක් හමුවෙනවා.  දඩයම් කිරීම ලෙහෙසි නැහැ, වෙඩි තබා මැරූ ගෝනා ගේ මස් කල් තබා ගන්න ඔහුට අපහසු වෙනවා. කෑම හොයන්න බොහෝ දුර ඇවිදින්න වෙනවා. 

මේ අතරවාරයේ ක්‍රිස් නැතිව දැඩිව සොවින් තැවෙන දෙමාපියන් ඔහුව සොයනවා. අවසානයේදී ක්‍රිස් ගේ නික්ම  යාම තුල දෙමාපියන් තමන් කල වැරදි වටහා ගන්නවා. 

ක්‍රිස් අත් හැර දැමූ පරණ  බසයක් හොයාගෙන එහි ජිවත් වන්නට උත්සාහ කරනවා. .  ඔහුට ඉතා හොඳ මිනිසුන් ගෙන උදව් මුලදී ලැබුනත්, මිතුරන්ගේ සොයුරිය ගේ උදව් ලැබුනත්,  ඇලස්කාවේ ඔහුගේ තනිවීම තුල, ඔහු ජීවිතය නැවත ආවර්ජනය කරන්නේ අප හැමට යහළුවන් සහ පවුල සමහර විට අවශ්‍ය වෙනවා නොවේද යන්න පසක් කරමින්. අපි කෙතරම් ආත්මීය ලෙස, මේ ලෝකය  මායාවෙන් පිරුනක් ලෙස  හැර යන්නට උත්සාහ කලත් එය හැම විටම සාර්ථක වන්නේ නැහැ . ඒ තරමට මේ සාමාන්‍ය  යයි අප සලකන ලෝකය අපට හුරු පුරුදුයි.

තරුණ තරුණියන්  කැරලි ගසන්නේද , අරගල කරන්නේද  තමන් ජිවත් වන සමාජයේ දෙබිඩි බව දකින විට. එහි දුකින් හෝ කෝප ගැනීමකින් තොර ජීවිතයක් ගෙවීමට නම් පවතින ක්‍රමයට අනුගතව රොබෝවක් මෙන් ජිවත් වන්නට සිදුවන බව වැටහෙන විට.  සමහරු කැරලි හා අරගල අතහැර තම නිදහස හා විමුක්තිය සොයා යනව. හැත්තෑ එකේ කැරැල්ලෙන් පස්සේ ජී අයි ඩි ධර්මසේකර හා තවත් එවැනි අය සමාජය අතහැර වනගතව ජීවත් වූ බව මම අසා තිබෙනවා. 

ක්‍රිස් ට මිය යාමට කිසි සේත් අවශ්‍ය වන්නේ නැහැ, ඒ වෙනුවට ඔහු ජිවත් වීමට දරන වෙහෙස අප්‍රමාණයි. දඩයමක් කර ගැනීමට නොහැකිව, ගෙනා සහල් අවසන් වුනු පසු ගඩා ගෙඩි හා පැළෑටි අනුභව කරන්න ඔහු පෙළඹෙනවා. නිවැරදිව තම පොතේ සඳහන් වුවත් විෂ බව හනුනා නොගෙන පැළෑටිය ක ගෙඩි සහ කොළ  අනුභව කිරීමෙන් ඔහු ලෙඩ වෙනවා. නැවත පොත බැලීමේදී ඔහු දැන  ගන්නවා තමන් අනුභව කලේ විෂ සහිත ශාකයක් සහ එහි ඵල බව. ක්‍රිස් අවාසනාවන්ත ලෙස, වේදනාකාරී ලෙස ජිවිතයෙන් සමු ගන්නවා.

පසුව දඩයක්කරුවෙකුට ක්‍රිස් ගේ සිරුර බසයක් තුලදී හමුවෙනවා. ඔහුගේ සොහොයුරියට  ක්‍රිස් ගේ බෑගය සහ දිනපොත හමුවීම තුලින් ක්‍රිස් ගතකල කාලය පිළිබඳව ලෝකයා දැන  ගන්නවා. නමුත් ඒ වනවිට ඔහුගේ පවුලටත් මිතුරු මිතුරියන් ටත් ක්‍රිස් අහිමි වී හමාරයි.   

මටත් වෙලාවකට හිතෙනව සමාජ ජාලා වල ගිණුම්  අකර්මන්‍ය කරලා  බ්ලොග් ලිවිල්ලත් නවත්වල AWOL හෝ MIA වෙන්න. ෆේස්බුක් එක යහළු වන ප්‍රමාණය නම් සීග්‍රයෙන් අඩු කරමින් ඉන්නේ. ඒත් ක්‍රිස් වගේ සම්පුර්ණයෙන්ම සමාජයෙන් අහක් වෙන්න බැරි  තරමේ බැඳීම් හුඟක් අපි හැමෝටම තියනවා. ඉතින් ඒක කරන්න අමාරුයි. නමුත් බැඳියාවන්  අඩු වෙනකොට නිදහස වැඩි වෙන එකනම් සත්‍යයක්. 

තුමිඳුලා හිතන් ඉන්නවා දමිත කවද හරි ආයේ එයි කියල. ඔහුගේ කැමතිම චිත්‍රපටය නරඹල තියෙන නිසා  ඔවුන්  නැවත ඔහුව හොයන්නේ නැහැ. නමුත් මට හිතෙන්නේ මේ අප ගත කරන්නේ  ඔහු වැන්නන් අවශ්‍යම කාලයක් බව. නැවත පැමිණ ඔහුගේ අත්දැකිම් තුලින් සාර්ථක නිර්මාණයක්, සාමාන්‍ය එකක් නොව ලොවට වෙනස් යමක් පහදා දෙන නිර්මාණයක් කරන්නට  හැකිනම් අගෙයි.  ක්‍රිස් අභිනිෂ්ක්‍රමණය කළේ ජිවිතය එපාවී නොවෙයි ජිවිතයට ආදරය කළ නිසා. 

හැම දිනකම නොනැවතී  වෙනස් වෙන ක්ෂිතිජයක්ද නව සහ වෙනස් සුර්යයා  ද  දැකීම තරම් වෙනත් සතුටක් නැත.  - ක්‍රිස් මැක්කැන්ඩ්ල්