Tuesday, 26 September 2017

ධවල භිෂණය නැවතත්

ධර්මසිරි බණ්ඩාරනායකයන  කියන්නේ සිංහල සිනමා ලෝකයේ විතරක් නෙමේ වේදිකාවේත් පතාක යෝධයෙක්. ඒකා - අධිපති , මකරාක්ෂයා , යක්ෂගමනය, ට්‍රෝජන් කාන්තාවෝ එතුමා විසින්  බිහිකළ අමතක නොවෙන නිර්මාණ.
චිත්‍රපට ගත්තොත් සුද්දිලාගේ කතාව, භාව දුක, තුන්වෙනි යාමය , භව කර්ම, හංස විලක් වැනි චිත්‍රපට සිංහල සිනමාවේ නිම වළලු පුළුල් කළ අමරණිය නිර්මාණයන්. අදත් සාජ්ජයක් දාන කොට සුනිලා  අබේසේකර , ටී එම් ගේ මියුරු හඩින්  ගැයුණු ඒ  "හෙමින් සැරේ පියා විදා " ගීතය අපි හැමෝම අහන බැරි බරියාවෙන් හරි ගයන්නට තැත් කරන අපුර්ව ගීතයක්.

ප්‍රේමසිරි කේමදාස ගේ සුසංයෝගයෙන් බිහිවුණු මේ නිර්මාණ අති  විශිෂ්ටයි කිවොත් අතිශයෝක්තියක් නෙමෙයි.

ත්‍රිකෝණ සංස්කෘතික පදනමේ ගොඩනැගිලි අරමුදලට ආධාර  පිණිස ධර්මසිරි  බණ්ඩාරනායක මහතා විසින් අධ්‍යක්ෂණය කල "ධවල භීෂණය" නාට්‍යයේ විශේෂ දර්ශනයක් ඔක්තෝබර් මස පළමු වැනි දින බොරැල්ල පුංචි තියෙටර් හිදී  නැවතත් වේදිකා ගත කෙරෙනවා. පුලුවන්නම් යන්න. 

ඔබට අරමුදලට ආධාර කිරීමට අවශ්‍ය නම් ආධාර මේ ගිණුම් අංකයට යවන්න.

Name of the Account : Trikone Cultural Foundation
Account Number : 1200029179
Name of the Bank: Commercial Bank of Ceylon PLC
Branch: Nugegoda



Saturday, 23 September 2017

සෝවියට් සාහිත්‍යය සහ ලංකාවේ වම 3 - විජේවීර හා පොල්පොට්

සෝවියට් සාහිත්‍යය සහ ලංකාවේ වම 1 - පැරැණි වමේ මූලාරම්භය

සෝවියට් සාහිත්‍යය සහ ලංකාවේ වම 2 - පැරැණි වම තුළින් නව වම බිහිවීම


සලොත් සර් හෙවත් පොල්පොට් 
ජනතා  විමුක්ති පෙරමුණ මෙහෙයවූ ප්‍රථම කැරැල්ලේදී සිරගතව සිට ඉන්පසු අධ්‍යාපනය ලැබීමට සෝවියට් දේශයට පැමිණි කිහිප දෙනෙක් මට මොස්කව් වලදී හමුවුණි. ඔවුන් සියල්ලගේම මතය වූයේ සෝවියට් දේශයට පැමිණි පසු දැනගත් කරුණු එදා දැන   සිටියා නම් කිසි විටෙකත් කැරැල්ලට සහභාගී නොවන බවයි. මේ අනුව විජේවීර මහතාගේ (සහෝදරයාගේ) සංවිධාන ශක්තිය, ව්‍යාපාරයට ඇති කැපවීම, පක්ෂයක් ගොඩ නැගීම ආදී සියල්ල නොඅඩුව තිබුනද '71 කැරැල්ල වනාහී ඕනෑ කමින් කළ අත්හදා බැලීමක් පමණක් වී යයි සිතමි. හැත්තෑ එකේ කැරැල්ල දක්ෂිණාංශික ධනවාදී ආණ්ඩුවකට එරෙහිව නොව අර්ධ වාමාංශික සංවෘත ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කළ  රජයකට එරෙහිව කළ එකක් වීම නිසාම  එය පැහැදිලිය.

එසේම වාමාංශික රජයක් වුවද එහි පොලීසිය සහ නීතිය  සම්බන්ධ ආයතන කැරැල්ලට ප්‍රථමව ජවිපෙ හා අනිකුත් රජයට පක්ෂ නොවන වාමාංශික සංවිධාන වල සාමාජිකයන් නීති විරෝධී ලෙස අත් අඩංගුවට ගැනීම් කරමින් මර්දනයක් දියත් කළ බවද නොරහසකි.

සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව රට නැංවීම සඳහා 1971 නොවැම්බර් මාසයේදී පස් අවුරුදු සැලැස්මක් ප්‍රකාශයට පත් කළේය. මේ පස් අවුරුදු සැලැස්ම සෝවියට් දේශයේ මෙන්ම  අනිකුත් සමාජවාදී රටවල ක්‍රියාවට නංවන ආකාරයේ පස් අවුරුදු සැලසුම් හා සමාන එකකි.  සෝවියට් දේශයට පක්ෂපාති ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ට්‍රොස්ට්කිවාදී සම සමාජයද රජයේ හවුල් කරුවන් විය.

සෝවියට් සාහිත්‍යය ශ්‍රී ලංකාවේ  ප්‍රචලිත වන්නට හරියට පදනම වැටුනේ මේ කාලයේය.

හැත්තෑවේ මැද කාලයක මගේ පියා කරත්ත රෝදයක් සම්බන්ධ කතාවක්  රැගත් සෝවියට් ළමා පොතක පරිවර්තනයක් ගෙනදුන් අයුරු මට මතකය. ඒ කාලයේ සෝවියට් ළමා පොත් ඉතා ජනප්‍රිය විය. සෝවියට් දේශය සඟරාවද සෝවියට් සංස්කෘතික මන්දිරය හරහා බෙදා හැරීමද සිදු විය. නොබැඳි සමුළුව (1976) පවත්වන කාලයේ රජයේ බොහෝ ප්‍රකාශන සෝවියට් ආධාරයෙන් කළ ඒවා වුනු අතර සෝවියට් හා රුසියන් පොත් වල පරිවර්තන කිහිපයක් එලි දැක්වුණි.

පරිවර්තකයන් අතුරින් සෝවියට් දේශයේ වාසය කරමින් ම රුසියානු පොත් පරිවර්තනය කල දැදිගම වී රුද්‍රිගු ගේ පොත් මින් ප්‍රධාන තැනක් ගති.   "වානේ පන්නරය ලැබූ හැටි " සහ ගෝර්කිගේ "අම්මා " පොත තරුණ මනසට බලපෑම් කරන අන්දමේ පොත් විය. එසේම බොරිස් පලේවොයි ගේ "සැබෑ  මිනිසෙකුගේ කතාවක්", ෂෝලහොව් ගේ "මිනිසෙකුගේ ඉරණම"වැනි සෝවියට් සොල්දාදුවන්ගේ වීර ක්‍රියා සම්බන්ධ පොත් ද සිංහලට පරිවර්තනය වී මොස්කව් හි  ප්‍රගති ප්‍රකාශක මන්දිරයෙන් පල කෙරුණි.

විවෘත ආර්ථිකයක් ගොඩ නැංවීම ප්‍රධාන අරමුණ කොට ගත්  ජේ ආර් ජයවර්ධන රජය 1977 දී බලයට පත්වන විට ඉන්දියාවේ තිබුනේ සෝවියට් හිතවාදී සංරක්ෂණවාදී ආර්ථික ප්‍රතිපත්තියක් සහිත රජයකි. මේ නිසා ඉන්දියානු විදේශ ප්‍රතිපත්තිය බටහිර දෙසට  නෙත් යොමු කරමින් සිටි ශ්‍රී ලංකාවට ප්‍රති විරෝධී එකක් විය.

අපරාධ විමුක්ති කොමිෂන් සභාව අහෝසි කළ නිසා ඒ යටතේ දඬුවම් ලබාසිටි රෝහණ විජේවීර ඇතුළු ජවිපෙ නායකයන් නිදහස් වුනි. ජවිපෙ ග්‍රාමීයව හා සිසු ප්‍රජාව අතර සීග්‍රයෙන් වැඩුණත් නාගරික කම්කරු පන්තිය අතරේ වැඩි බලයක් තිබුනේ නැත. කම්කරු බලය තිබුනේ නව සමසමාජය, සම සමාජය, බාලා තම්පෝගේ වෙළඳ හා කාර්මික   කම්කරු සංගමය ආදීන් අතය.

පැරණි වම විසින් වැඩි පඩි ඉල්ලා 1980 දී දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් දියත් කරන ලදී. තමන්ගේ සීමිත කම්කරු සාමාජිකත්වය ආරක්ෂා කර ගැනීමේ අරමුණින්  ජවිපෙ නායකත්වය තම සාමාජිකයන්ට වර්ජනයට සඳහා  එලියට බැසීමට අණ කලේ නැත. මා අසා තිබුනේ වැඩ බිම්වල, තම නම්ගම් ප්‍රසිද්ධ සුළුතරයක් ජවිපෙ සාමාජිකයන්ට පමණක් වර්ජනයට සහභාගිවන ලෙස අණ දුන් බවකි.

බ්‍රිතාන්‍යයේ මාගරට් තැචර් ගල් අඟුරු ආකර වසා දමා  කම්කරු වර්ජන නැවැත්වූ ආකාරයෙන්ම ජේ ආර් සියලුම වර්ජිත සේවකයන් අස් කර දමා  වර්ජනය මැඩ පැවැත්වූවේය.  පරණ වමට වැදුණු මේ දැඩි ප්‍රහාරයෙන් ඔවුන් අකර්මණ්‍ය වුනු අතර ජවිපෙ බලය වැඩි විය. ජවිපෙ ක්‍රම ක්‍රමයෙන් ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී දහරාවට එකතු විය.

ජයවර්ධන රජය සමයේ කළ ප්‍රධාන වැරදි දෙකින් එකක් වූයේ 1982 කුප්‍රකට ජනමත විචාරණයයි. ජයවර්ධන මහතාට පහසුවෙන් දිනිය හැකි වුවත් ඔහු ප්‍රබල භිෂණයක් විපක්ෂයට එරෙහිව දියත් කළේය. සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා  අයිතිය අහෝසි කර තිබු අතර විපක්ෂයේ ප්‍රබල චරිතයක් වූ  විජය කුමාරණතුංග නැක්සලයිට් චෝදනාවට සිරගත කරන ලදී.

දෙවැන්න නම් 1983 ජාතිවාදී  කෝලාහල පාලනය කිරීම  ප්‍රමාද වීම සහ එයට වැරැද්ද පටවමින් නිරපරාදේ  ප්‍රධාන වාමාංශික පක්ෂ තුනක් තහනම් කිරීමයි.  අනිත් පක්ෂ දෙකේ තහනම ඉවත් කළද ජවිපෙ තහනම  ඔහු ඉවත් කළේ නැත. මෙම 82/83 ජයවර්ධන රජයේ ක්‍රියා කලාපය ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි විශ්වාසය තබා සිටි තරුණ පරපුරේ බලාපොරොත්තු බිඳවන්නක්  විය.

 මහා බ්‍රිතාන්‍යය, නොබැඳි රටක් වූ ආර්ජන්ටිනා රජයට එරෙහිව කළ ෆෝක්ලන්ත සටනට සහය  දුන් රටවල් හතින් එකක් වූයේ ශ්‍රී ලංකාවයි. ඉන්දියාව ඇතුළු නොබැඳි රටවල් ගත්තේ ආජන්ටිනාවේ පැත්තයි. මේ සිද්ධීන් සමුහයේ ප්‍රථිපලයක් ලෙස වැඩුණු ලංකාවට එරෙහි ඉන්දියාවේ නුරුස්නා  භාවය උතුරේ සන්නද්ධ කණ්ඩායම් වලට තමිල්නාඩුවේ පුහුණුව හා ආයුධ ලබා දීම් මගින් පැහැදිලි විය.

ජයවර්ධන රජය විමුක්ති කොටි සංවිධානය පරදවන්නට ඔන්න මෙන්න තිබියදී යුද ආක්‍රමණයක් කරන බවට තර්ජනය කොට ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කෙරෙනුයේ 1987 දීය. රෝහණ විජේවීරගේ "ඉන්දියානු ව්‍යාප්තවාදය " පන්තියට තද ගැම්මක් ලැබුනේද මෙනයිනි.

මේ කාලය වනවිට ජේ ආර් විසින් මුදාහල  ලිබරල් වාදී ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා රැකියා අවස්ථාවන්  වැඩිවී තිබුණු අතර නව ධනපති කොටසක්ද රටේ බිහිවෙමින් පැවතුනි. මොවුන් ඊට කලින් අවුරුදු වල සිටි සම්ප්‍රදායික ධනපති රාමුවෙන් ඔබ්බට ගිය පිරිසක් විය. එසේම මහවැලිය ආදී විශාල යෝජනා ක්‍රම, ගම් උදාව, මහපොළ ආදියද ක්‍රියාත්මක විය. මේ වෙනස්  කමට අසු නොවුණු  ගම්බද සහ නාගරික තරුණ පිරිසක් සිටියහ.  "සාහිත්‍යය කන්න දැයි " ඇසූ  ජේ ආර් ට එරෙහිව පෙළගැසුණු මේ තරුණ පෙලට ජවය සැපයු සාහිත්‍යයක් ද  විමුක්ති කාමී ලේබලයේ සංගීතයක්ද නිදහස් ආර්ථිකය යටතේම බිහිවුණි. ඔවුන් බලා සිටියේ අවස්ථාවකි.

තහනමින්  පසු සැඟවී වැඩ කළ ජවිපෙ, බහුලව තිබූ සෝවියට් පොත පත කියවා  බිහි වෙන්නට සිටින ලංකාවේ තරුණ පාවෙල් කොර්චාගින් ලාට ගර්භාෂය විය.

අරගලය මතු වූයේ ප්‍රථමයෙන්ම අධ්‍යාපන ඇමති  රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කල ධවල පත්‍රිකාවට එරෙහිවය. ඉන් මතුවූ අරගලය ඉන්පසු රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිවත් ඉන්පසු නිදහස් අධ්‍යාපනය රැක ගැනීම දක්වාත් දිග ඇදුනි.

කාම්බෝජයේ 1925 මැයි 19 උපන් සලොත් සර් ධීවර ගම්මානයක උපත ලද්දෙකි. ඔහු මුලින් උගත්තේ බෞද්ධ ආශ්‍රමයකය. කාම්බෝජය එවකට පැවතියේ ප්‍රංශ ආධිපත්‍ය යටතේය. සලොත් සර් කාර්මික අධ්‍යාපනයක් ලබන්නට ශිෂ්‍යත්වයක් ලබා ප්‍රංශයේ පැරිස් නුවරට ඉගෙනීමට  ගියේය. (සලොත් 1949-1953 දක්වා ගුවන් විදුලි කාර්මික ශිල්පය උගත්තේය). ඔහු 1950 දී පමණ  ජාත්‍යන්තර කම්කරු සහෝදරත්වය මගින් යුගොස්ලවියානු සමාජවාදී සමුහාණ්ඩුවේ සගේර්බ් නගරයේ මංමාවත් ඉදි කිරීමේ තරුණ කණ්ඩායම් වලට එකතු වී වැඩ කළේය.ඔහු සහ ඉයන් සාරි  ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂයට බඳුනේ 1951 දිය.

සෝවියට් දේශය වියට්මින් ගරිල්ලා කණ්ඩායම වියට්නාමයේ නිත්‍යානුකුල  රජය ලෙස පිළිගත් පසු සලොත් සර් වියට්නාම නිදහස් අරගලයට ප්‍රංශයේ  සිට සහය දුන්නේය. වසර 1951 දී පැරිසියේ රහසිගත අධිරාජ්‍ය විරෝධී (ප්‍රංශ) කොමියුනිස්ට් කණ්ඩායමකට බැඳුණි. විභාග එක දිගට අසමත් වීමෙන් පසු මේ සලොත් සර් කාම්බෝජයට පැමිනියේ අර රහසිගත කොමියුනිස්ට් කණ්ඩායමේ කාම්බෝජ ශාඛාවට ඇතුළු වෙමිනි.

කාම්බෝජයේ  කොමියුනිස්ට් පක්ෂය තහනම්ව පැවතුණි. එහි නායකයා වන  ටෞ සමුත් නරෝදම් සිහනුක් රජු ගේ ඔත්තු සේවා විසින් අත් අඩංගුවට ගෙන මරා දැමුණි. වසර 1963 දී පක්ෂයේ ඊළඟ රහසිගත  සැසි වාරයේදී සරොත් සර් මධ්‍යම කාරක සභාවේ ලේකම් වරයා ලෙස පත් වුනි. මේ වෙන කිසිවකුත් නොව පොල් පොට් ය.
ඔහුගේ දෙවැනියා වූයේ ඉයන් සාරි ය.

වියට්නාම සහයෙන් කාම්බෝජයේ බේස් කඳවුරක් පිහිටුවා ගත් පොල්පොට් තමන්ගේ මුලික බෞද්ධ ඉගැන්වීමේ බලපෑමෙන් කොටසක් තම දර්ශනයට ඇතුලත් කර ගත්තේය. ඒ සුඛෝපභෝගී භාණ්ඩ ආදිය  කෙරෙහි ඇති ඇල්ම නැති කර ගත යුතුය යන්නයි. එසේම කම්කරු පන්ති අරගලය මුලික කරගත් ප්‍රධාන මාක්ස්වාදී දහරාවෙන් පිට පැන ගම්බද ගොවින් ප්‍රධාන නිර්ධන  පංතියක්  ලෙසද විප්ලවයට ජිවය සපයන්නන් ලෙසද හඳුන්වා ගත්තේය. ඔහුගේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ වැඩි හරියක් මේ වැඩවසම් දාස  භාවයේ සිටි දිළිඳු ගොවීන්ගෙන් පැවතෙන්නන් විය.

ගොවීන්ගේ අරගලය 1966 දී පටන් ගත් අතර පොල්පොට් සහ පක්ෂය 1968 සිට එයට නායකත්වය දුනි. චීනය විසින් ආයුධ සහ මුදල් වලින් දෙන ආධාර වලින් පොහොසත්ව පොල්පොට් ගේ කෙමර් රූජ් ගරිල්ලන් කාම්බෝජ හමුදා වලට පහර දුනි. වසර 1975 දී ඔහු කාම්බෝජයේ බලය අල්වා ගැනීමට සමත් වුනි. ඉන්පසු පිහිටුවන ලද "ප්‍රජාතන්තවාදී " කම්පුචියා  ජනරජයේ අගමැති වූයේ පොල් පොට්ය. නාමික ජනාධිපති වූයේ  කියූ සම්පන් ය. කියූ සම්පන්ට ආර්ථික විද්‍යාව පිලිබඳ ආචාර්ය උපාධියක්ද තිබුණි.  කෘෂිකර්මාන්තය රටේ ප්‍රධාන ජිවනාලිය ලෙස හඳුන්වා දුන් පොල්පොට් -කියූ සම්පන් රජය ගොවිතැන් කාර්මීකරණය කිරීම තුලින් රටම ස්වයංපෝෂිත කල හැකි යයි විශ්වාස කළේය. කිසිම රටකින් භාණ්ඩ ආනයනය තහනම් කෙරිණි. වසර 1975 නම් කරන ලද්දේ බින්දුවේ වසර (year zero) ලෙසය. ඉතිහාසය පටන් ගන්නේ එතැනිනි.
පොල්පොට් රජයේ ඝාතන 

ඉන්පසු නොම්පෙන් සහ ප්‍රධාන නගරවලින් සියලුම් ජනයා ගම්  වලට පිටමන් කරන ලදී. ගම්වල කොමියුන් පිහිටවන ලද අතර ජනතාව  වර්ග තුනකට බෙදන ලදී . එනම්  මූලික සියලු හිමිකම් සහිත  (බේස් මිනිසුන් - නිර්ධන ගොවි ජනයා සහ කෙමර් රූජ් සහායකයන්) ,  අයදුම්කරුවන් (මුලික වෙන්නට අයදුම් කරන, කෙමර් රූජ් දර්ශනයට  විරුද්ධ නොවන වැසියන්.) , ශේෂයන් (මේ අය බොහෝ විට නගර වලින් පිටුවහල් කළ බුද්ධිමතුන්, බටහිර රටවල අධ්‍යාපනය ලද්දන්, යම් ධනයක් තිබු මධ්‍යම පන්තිකයන්,  අනිකුත්  නගර වැසියන්  ආදීන් විය)  ලෙසය. "ශේෂයන්" ට කන්නට දුන්නේ දවසටම  කුඩා බත් පොල්කටු දෙකකි.  බොහෝ දෙන්නෙක් සාගින්නෙන් මිය ගියහ. සාගතයෙන් මියය යන  බොහෝ දෙනාට තමන්ගේම අතින් වලවල් සාරා ගෙන වැතිරෙන්නට නියම විය. නැත්නම් වෙඩි තබා මරා  දමන ලදී.

මේ කොමියුන් වල ළමුන් ජිවත් වූයේ දෙමව්පියන්ගෙන්  වෙනම ය. සමහර විටක වැඩිමහල් ළමුන් කෙමර් රූජ් හමුදාවට බඳවා ගන්නා ලදී. ඔවුන් බොහෝ විට ඝාතකයන්ගේ භූමිකාවට යොදා ගන්නා  ලදී.

මේ අතරේ  පොල්පොට් චීනයේ මාඕවාදයට සම්බන්ධ පිළිවෙතක් අනුගමනය කල අතර සෝවියට් හිතවාදී වියට්නාමයටත් සෝවියට් දේශයටත් විරුද්ධ පිළිවෙතක් අනුගනමය කළේය. සෝවියට් දේශය තම ප්‍රධාන සතුරා ලෙස සලකාගෙන සිටි ඇමෙරිකා  එක්සත් ජනපදය ප්‍රමුඛ  බටහිර රටවල් මේ නිසා පොල්පොට් ගේ ප්‍රතිපත්ති කෙරෙහි මුලදී තැකීමක් නොකළහ. පොල්පොට් කාම්බෝජයේ සිටි සුළු ජන කොටස් කෙරෙහිද තැකීමක් නොකළේය. මේ බොහෝ අය අධිරාජ්‍යවාදී ගැත්තන් ලෙස නම්කර ඝාතනය කරන ලදී.

සියලු ආගම් තහනම් කරන ලද අතර බෞද්ධ හිමි වරුන් 25000 පමණ ඝාතනය කරන ලදී. ඔවුන් විසින් නගරයෙන් පිටමං කළ මිනිසුන්ටත් ගම්වල  සිට කැලෑවලට දක්කන ලද මිනිසුන් ටත් කෑම බිම හෝ ජලය මේ දීර්ඝ ගමන් වලදී ලබා දුන්නේ නැත. මේ නිසා  විශාල සංඛ්‍යාවක් කුස ගින්නෙන් සහ දුර්වල කමින් හැදුනු ලෙඩ රෝගවලින් මිය ගියහ. වෙඩි තබා හෝ ආයුධ වලින් පහර දී මරා දැමුවන් ද සමග  සමග මේ ඝාතනය වූ සංඛ්‍යාව මිලියන 1.7 ත්  2 ත් අතර වේ යයි නොයෙකුත් අධ්‍යයන වලින් තහවුරු වී ඇත.

දැනුදු මගේ යහළුවෙකු වන මේ ලිපියේ ඡායාරූපයේ සිටින මා  සමග විශ්ව විද්‍යාලයේ උගත් එන්ග්  වෙන් න්ගුයෙන් රාත්‍රියේ සෑම විටම විදුලි පන්දමක් කොට්ටය යට තබා නිදා ගත්තේය.  ඔහු පසුව කී  පරිදි ඒ පුරුද්ද ආවේ සිටි තැනින් කොයි වෙලේ පැන යන්නට සිදුවේද නොදන්නා නිසා බවයි. ඔහු නිතර ගැස්සී නැගිටියි. ඔහුගේ පවුලේ අය විඳි දුෂ්කරතා බොහොමයක් ඔහු මට විස්තර කළේය.

මේ ඝාතන  හා  මිනිසුන් සාගින්නෙන් හාමතින්  මිය යාම නතර වුයේ සෝවියට් දේශයේ අනුග්‍රහයෙන් වියට්නාම හමුදා කාම්බෝජය ආක්‍රමණය කිරීමෙනි. වියට්නාම ආක්‍රමණයෙන් පොල්පොට් ගේ බිහිසුණු ක්‍රියා බොහොමයක් හෙලිදරව්  වුනි. එය එසේ වුවත් නැවතත් මහජන චීනයේ සහ තායි රජයේ ආධාරයෙන් පොල්පොට්,  හෙන්  සම්රින්, ඉයන් සාරි නැවතත් වියට්නාම හමුදා සහ ඔවුන් සමග එක්ව සිටි කැම්පුචියා  සමාජවාදීන්ට පහර දුනි. වියට්නාම චීන යුද්ධයක් සුළු වශයෙන්  පටන් ගත්තේද මේ කාලයේය.  කාම්බෝජ හමුදා ජයගත් අතර පොල්පොට් චීනයට පැන ගියේය. ඔහු මියගියේ 1998 අප්‍රේල් 15දාය.

රෝහණ විජේවීර සහෝදරයා හැට ගණන්වල වෛද්‍යවරයෙකු වීමට සෝවියට් දේශයේ උගත් අතර ඉගෙනීම හැර දමා පැමිණිය හෝ විසා නැති වීම නිසා ලංකාවේ හිර විය. ඔහු සෝවියට් දේශයේ සිටියදී බයිකල් අමූර් දුම්රිය මාර්ගය හදන තරුණ  කණ්ඩායම් වල වැඩ කළේය. ඔහු තම මුලික පක්ෂ දේශපාලන අයන්න ශන්මුගදාසන් ගේ කොමියුනිස්ට් පක්ෂයෙන් (චීන පිල ) කියැවූ  බවද 71 කැරැල්ල බොහෝ විට ගම්වල තරුණයන් මූලික කොට හටගත් එකක් මිස නාගරික  කම්කරුවන්ගේ සහයෝගයක් නොතිබූ බවද කීවෙමි. කොටින්ම  විජේවීර සහෝදරයා  මාක්ස්වාදයේ මුලික ඉගෙනුමකින් බැහැරව කටයුතු කළේය.

ලයනල් බෝපගේ 1984 ඉවත් වනවිට ජාතීන් ගේ ස්වයං නිර්ණය (මෙය බොහෝ ධනවාදී රටවල් අනුගමනය කරන පිළිවෙතකි) පිළිබඳ විජේවීරගේ මතයට විරුද්ධ වූ බව මා ඒ දිනවල අසා තිබේ. (ඔහුගෙන් විමර්ශනය කළ යුතුය). අප උගත් සෝවියට් රුසියානු පොත්වල රුසියානු රජවරුන් (මහා පීටර් ග්‍රේට් වැනි අය) හා  නැපෝලියන් පැරදවූ සාර් හමුදාවේ ජෙනරාල් කුතුසෝව්  වැනි වීරවරුන් ගැන වර්ණනා කර තිබේ. චීන මාඕවාදීන් මෙන්ම පොල්පොට් ද   කාම්බෝජ වීරයන් භාවිතා කළේය. ඔහුට දාව උපන්  (පොල් පොට් ගේ ) 1986 උපන් දියණියගේ නම "සීතා" රැගෙන ඇත්තේ කාම්බෝජයේ ප්‍රසිද්ධ රාමායනයේ පරිවර්තනයකිනි. (එහි නම් රීම්කර් ය) රෝහණ විජේවීර යොදා ගත්තේ සොළින්ට එරෙහිව සටන් කළ කිර්ති කුමරු (පසුව විජයබාහු රජු) ආදීන් ය.

1977 දී හෙළිදරව් කරන තුරුම පොල්පොට් ගේ පක්ෂයේ නම වූයේ අන්කාර් (angkar) ය. ඔහුගේ ව්‍යාපාරය ඛේමර් රූජ් ය. එනම් කම්පුචියාවේපෞරාණික නම  සහිත කේමර් දේශප්‍රේමී ව්‍යාපාරයයි.  පොල්පොට් ගේ නියම නම සලොත් සර් ය. ඔහුගේ පක්ෂයේ ප්‍රධානීන්ට ප්‍රාදේශීය  නායකයන්ට හෝ පක්ෂ කේඩර්  වරුනට තිබුනේ අන්වර්ථ නාමයන්ය. පොල්පොට් මුලිකව අනුගනය කළේ මාඕ වාදයයි. ඉන්පසු කෘෂිකාර්මික සමාජවාදයයි. පොල්පොට් ලාට සැබවින් අවශ්‍ය වුයේ පෞරාණික  කාම්බෝජ රාජධානියක් වූ අන්කාර් වට් හි ශ්‍රී  විභුතිය නැවත  ගොඩ නැගීමටයි.  මිලිනය ගණනක ජනතාවක්  මේ පර්යේෂණයට භාජනය කළේ එබැවිනි.

රෝහණ  විජේවීර ද රහසිගත ජනතා  විමුක්ති පෙරමුණට යොදා ගත්තේ එම උපක්‍රමයන්මය.  දේශප්‍රේමී ජනතා  ව්‍යාපාරය, දේශප්‍රේමී කම්කරු මධ්‍යස්ථානය අසූව දශකයේ මැද පිහිටවුනි.  සාමාජිකයන්ට තිබුනේ අන්වර්ථ නාමයන්ය.  ජවිපෙ මුලික ආර්ථික ප්‍රතිපත්තියක් වුයේ ගරා වැටුණු වැව් ප්‍රතිසංස්කරණය කර  රටේ කෘෂි ආර්ථිකය නගා සිටුවීමය. කාර්මික දියුණුව සමග මිනිසුන් ගේ රැකියා අවස්ථා  අඩුවෙන බවට  ජවිපෙ චෝදනාවක් විය. විජේවීර සෝවියට් දේශයේ සිටි කාලයේත් ඉන් පසුවත් මුලිකව අනුගමනය කළේ ස්ටාලින්වාදී  මාඕ වාදයයි. ලෙනින් ගේ හා මාක්ස් ගේ පින්තුර රැගෙන පෙළපාලි ගියේ ඔවුන් මූලික විප්ලවකාරීන් නිසා හා පක්ෂ සාමාජිකත්වය රවටන්නට පමණක් යයි සිතමි.

~ මතු සම්බන්ධයි

මුලාශ්‍ර:

http://www.bbc.co.uk/history/historic_figures/pot_pol.shtml
https://en.wikipedia.org/wiki/1987%E2%80%9389_JVP_insurrection
https://en.wikipedia.org/wiki/Khmer_Rouge


Saturday, 9 September 2017

සෝවියට් සාහිත්‍යය සහ ලංකාවේ වම 2 - පැරැණි වම තුළින් නව වම බිහිවීම

මුල් ලිපිය මෙතැනින්  කියවන්න.
විජේවීර ලුමුම්බාවේ 

ලංකා සමසමාජය ගැන කතා කරන විට පොපි මල් එකතු කිරීමේ ව්‍යාපාරයට එරෙහිව සුරිය මල් ව්‍යාපාරය පැන නැගුනු හැටි මතක් කලෙමි. එලෙසම ලංකාවේ මැලේරියා මර්දන ව්‍යාපාරයටද පැරණි වාමාංශික නායකයන් මහත්  සේ සහය දුන්හ. මිනිසුන්ට ඒ කාලයේ පරිප්පු ඇතුළු සහනාධාර බෙදු හෙයින් ඇන් ඇම් "පරිප්පු මහත්තයා"  වශයෙන් ද ප්‍රසිද්ධ විය. එනිසාම  ඔහු 1977 දක්වාම රුවන්වැල්ල ආසනය නියෝජනය කළේය.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි නිදහස් සටනේ පුරෝගාමීන් වූයේද ඔවුන්ය.  බ්‍රිතාන්‍යයෙන් පුර්ණ නිදහස ඉල්ලා ගැනීම ඔවුන්ගේ අරමුණ විය.

බ්‍රිතාන්‍ය පාලනයෙන් ක්‍රම ක්‍රමයෙන් සහන ලබා ගැනීම මගින් නිදහස දිනා  ගැනීමට එෆ් ආර් සේනානායක ප්‍රමුඛ ලංකා ජාතික සභාව (Ceylon National Congress) කටයුතු කළේය. ඔහු සමග දෙමළ  ජාතික පොන්නම්බලම් අරුණාචලම්, සර් ඩී බි ජයතිලක , සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර , ඊ  ඩබ්. පෙරේරා , එච් ඩබ් අමරසුරිය ආදීන්ද වූහ .

වර්ෂ 1943 දී ඩී එස් සේනානායක මහතා ජාතික සභාවෙන්  ඉවත්  වූයේ ඔවුන් (ජාතික සභාව)  ඩොමිනියන් තත්වයෙන් පමණක් සෑහීමට පත් වීම නිසාය. එක්සත් ජාතික පක්ෂය 1946 දී  බිහි වූයේ මින් පසුවය. මේ නිසා ආරම්භයේදී එක්සත් ජාතික පක්ෂය මෙන්ම ඇන් ඇම් කොල්වින්ලාගේ සම සමාජයද රටේ පූර්ණ නිදහස උදෙසා සටන් කළහ.

මා පෙර ලිපිය අවසන් කලේ පැරණි  වමට සෝවියට් සාහිත්‍යයේ  බලපෑමක් සිදු නොවීයයි යන නිගමනයට එළඹෙමින්ය.

පැවති එජාප පාලනය බිඳ දමා බණ්ඩාරනායක මහතා බලයට පත්වූයේ 1956 දීය. මේ වනවිට ලංකා සම සමාජ පක්ෂයෙන් බිඳුණු සෝවියට් වාදී  එක්සත් සමාජවාදී පක්ෂය, ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂය ලෙස නම වෙනස් කරන ලදී. මහජන එක්සත් පෙරමුණ වශයෙන් ඔවුන් හා සම සමාජ පක්ෂය බණ්ඩාරනායක රජයට එක්විය.  බණ්ඩාරනායක ආණ්ඩුව කිසිම බල කඳවුරකට නොබැඳී සිටීමේ ප්‍රතිපත්තිය යටතේ සෝවියට් දේශය සහ චීනය සමග තානාපති සම්බන්ධතා 1957 දී  අරඹන ලදී. සෝවියට් ශ්‍රී ලංකා  මිත්‍රත්ව සංගමය 1959 දී පිහිටුවන ලදී.ඉතා සීමිත ලෙසින් සෝවියට් සාහිත්‍යය හා පුවත්පත් ශ්‍රී ලංකාවට ඒමට පටන් ගත්තේ ඉන් පසුවය. ඔරුවල වානේ කම්හල, මෝදර පිටි කම්හල හා කැලණිය ටයර් කම්හල පිහිටුවීමට ගිවිසුම් අත්සන් කෙරුණේද මේ කාලයේය.

එවකට පැවති දෙවන ලෝක යුද්ධයේ දී සෝවියට් වැසියන්ගේ වීරකම් මෙන්ම රතු හමුදාවේ ජයග්‍රහණයන් ලොව පුරා ප්‍රචාරණය කිරීමට "සෝවියට් සතිය " නමින් සඟරාවක් 1942 දී පමණ සෝවියට් විදේශ අමාත්‍යංශය හා සෝවියට් ආරක්ෂක අමාත්‍යාංශය එක්ව පළ කරන ලදී. මේවා මුලදී බෙදා හරින ලද්දේ තානාපති කාර්යාල මගිනි. පසුව "සෝවියට් දේශය" යනුවෙන් මාස් පතා පල කෙරුනේ මේ සඟරාවයි.

ස්ටාලින්ගේ මරණයෙන් පසු  චීනය සෝවියට් දේශයට ප්‍රතිවිරුද්ධ මතයක සිටියේය. එයට හේතුව නිකිතා කෘෂෙව් (1953-1964)  හා ඔහුගෙන් පසු බලයට පත්වූ සෝවියට් ජනාධිපති/පක්ෂ ලේකම් වරු ස්ටාලින් වාදයට විරුද්ධව අදහස් පල කිරීමයි. ලෙනින් අසලම  එම්බාම් කර සංරක්ෂනය කර තිබු ස්ටාලින්ගේ මිනියද කෘෂෙව්  ගේ අණින්   ඉවත් කර ලෙනින් ගේ සොහොන්  ගෘහය පිටුපස තාප්පය අසල මිහිදන් කරන ලදී.

නිකිතා  කෘෂෙව් ස්ටාලින් විසින් පක්ෂයට කරන ලද ද්‍රෝහී ක්‍රියා ගැන ප්‍රසිද්ධ කතාවක්  කරන ලද අතර මේ ක්‍රියාවලිය "ස්ටාලින් ඉවත් කිරීම   de-Stalinization" ලෙස නම් කරන ලදී.  ස්ටාලින් ගේ අණින්  මරණ ලද හෝ සයිබීරියාවේ වැඩ කඳවුරු (ගුලාග්) වලට යවන ලද  මිලියන් 20ක පමණ සෝවියට් ජනතාව ගැන ප්‍රසිද්ධියේ  විස්තර සපයන ලදී.  එසේම ගුලාග් (වැඩ කඳවුරු) වසා දමා  සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලදී. රුසියාවට අයත්ව තිබූ ක්‍රිමියාව උක්රයිනයට භාර දුන්නේද මේ කෘෂෙව් මය.
ස්ටාලින් වළ දමා ඇති ස්ථානය (පින්තූරය මා විසින් ගත්  එකකි)

මහජන චීන ජනාධිපති හා කොමියුනිස්ට්  පක්ෂ සභාපති මා ඕ සේතුං හා අගමැති චෞ එන් ලායි සෝවියට් දේශය ස්ටාලින්වාදයෙන් පිට පැනීමට විරුද්ධ විය.  මේ නිසා සෝවියට් දේශය සහ චීනය අතර මතවාදී  විරුද්ධත්වයක් හට ගැනිණි. " මොස්කව් වල වැස්සොත් කොළඹ කුඩ ඉහළනවා" යයි විරුදාවලි ලත් ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂය මොස්කව් පිල හා පීකිං වල වැස්සොත් කොළඹ කුඩ ඉහලන චීන පිල ලෙසින් බෙදිණි. චීන පිල බිහි වූයේ 1960 පමණය.

සෝවියට් දේශය ස්ටාලින් වාදය ඉවත දමමින් නැවතත් මාක්ස් ලෙනින් වාදයට යාම පිලිබඳ ප්‍රකාශ නිකුත් කරන සමයේ චීනයේ මාඕ සේතුං සංස්කෘතික විප්ලවය දියත් කරන ලදී. (cultural revolution) මේ සමයේ මිලියන් 30 කට අධික චීන ජනතාවක්  ඝාතනය වුනි. මාඕ ට සහය දුන් සටන් සගයන් පවා "නැවත ඉගෙනීම" පිණිස අති  දුෂ්කර තත්වයන් යටතේ ජිවත් වීමට ගම්වලට පටවන ලදී. (ඩෙන් ෂියා ඕ පින් එවැන්නෙකි)

වසර 1963 දී කම්පුචියානු කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් පදවියට පත් වූයේ මාඕවාදී පොල්පොට්ය. වසර 1979 දක්වා පැවති ඔහුගේ පාලනයේදී "නැවත ඉගෙනීම" සඳහා ගම් වලට  යැවුණු  මිලියන් 1 සිට 3 දක්වා ජනතාවක්  ඝාතනය විය.

ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂය  නැවතත් සිරිමාවෝ බණ්ඩාරනායක රජය යටතේ 1962 සභාග ආණ්ඩුවකට පිවිසුණි. එක්සත් වමේ පෙරමුණ යටතේ කොමියුනිස්ට් පක්ෂය, ට්‍රොට්ස්කිවාදී සම සමාජය හා මහජන එක්සත් පෙරමුණ රජයේ සිටියද ඇමති ප්‍රශ්න නිසා එය බිඳී ගියේය.  ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට සිසුන් 31 දෙනෙකු උසස් අධ්‍යාපනය සඳහා සෝවියට් දේශයට පිටත් කෙරුනේ මෙම වාමාංශික රජය සමග අත්සන් කළ ගිවිසුමකිනි. ශිෂ්‍යත්ව ලබා දුන්නේ මිත්‍රත්ව සංගමය හරහා වන අතර බොහෝ විට කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ සිසුන්ට පමණක් අවස්ථා ලැබිණි. සමහර විට  අයදුම් කරන ලද්දේද ඔවුන් පමණක් වන්නට ඇත.

මෙසේ ගිය එක සිසුවකු වන රෝහණ විජේවීර  වසර කිහිපයකින් පසු රෝගී තත්වයක් උඩ ශ්‍රී ලංකාවට නැවත පැමිණි විට ඔහු චීන පිලේ නිසා රුසියානු තානාපති කාර්යාලය වීසා ප්‍රතික්ෂේප කල බව කියති. මේ කතාව  පිළිගත නොහැක්කේ සෝවියට් වීසා ලබා දෙන්නේ කාල වකවානුවකට බැවිනි. එම කාල වකවානුව තුළ නැවත පැමිණීමේ ගුවන් ගමන් බලපත්‍රය ඇත්නම් රුසියානු තානාපති කාර්යාලයට යාමේ අවශ්‍යතාවයක් නැත.

මා වඩාත් විශ්වාස කරන කතාව නම් විජේවීර සමග කිසියම්  අමනාපයකින් හෝ ඉරිසියාවකින් සිටි සිසුවෙකු හෝ දෙදෙනෙකු ඔහුට එරෙහිව මිත්‍රත්ව සංගමයට චෝදනා කළ පසු ඔහු විශ්විද්‍යාලයෙන් පහ කිරීමට මිත්‍රත්ව සංගමය කටයුතු කල බවය.  ඔහුට එරෙහි චෝදනාවල ඔහු චීනයට පක්ෂව කතා කරන බවටද චෝදනාවක් අඩන්ගුවී තිබුනේ යයි කියති. විජේවීර පැහැදිලිව කියා තිබුනේ සෝවියට් දේශය ධනවාදය කරා ගමන් කරන බවත් මාඕ ගේ ස්‌ථාවරය නිවැරදි බවත්ය. විජේවීරගේ පියා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකු නිසා ඔහු සෝවියට් දේශයට පැමිණියේ එහි එවකට නායක එස් ඒ වික්‍රමසිංහ මහතාගේ අනුග්‍රහයෙන් බව කියවේ.  එසේම නැවත රුසියාවට පැමිණීමට ඔහු පක්ෂයේ උසස් අයගේ උදව් පතා ගියත් එයද නොලැබී තිබුණි.

මිත්‍රත්ව සංගමය හෝ කොමියුනිස්ට් පක්ෂය හරහාත්  පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහාත් ගිය සිසුන් ගේ ශිෂ්‍ය භාවය අහෝසි  කල හැකි වුයේ අදාල විශ්ව විද්‍යාලයට සහ මිත්‍රත්ව සංගමයටය.

(මේ තත්වය වෙනස් වූයේ 1980 දී ජේ ආර් ජයවර්ධන මහතාගේ රජය සෝවියට් දේශය සමග ගිවිසුමක් ගැසීමෙනි. සෝවියට් ශිෂ්‍යත්ව වල අගය වටහා ගෙන සිටි ජේ ආර් ශිෂ්‍යත්ව සඛ්‍යාව 75 දක්වා වැඩි කිරීමට සෝවියට් දේශය එකඟ කරවාගෙන දෙරටේ අධ්‍යාපන අමාත්‍යංශ අතර ගිවිසුමක් අත්සන් කරන ලදී. අපොස උසස් පෙළ විභාගයෙන් සමත් සිසුන්  විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමින් සංවිධානය කළ සම්මුඛ පරීක්ෂණ දෙකක් හරහා තෝරා යවන ලද්දේ ඉන් පසුවය. මා  සම්මුඛ පරික්ෂණයට අයදුම් කලේද මේ ශිෂ්‍යත්ව පිලිබඳ දිවයින පුවත් පතේ පල කල දැන්වීමකට අනුවය.මේ සිසුන් ගේ ශිෂ්‍ය භාවය අහෝසි කළ හැක්කේ පක්ෂයකට හෝ මිත්‍ර සංගමයට නොව රුසියානු උසස් අධ්‍යාපන අමාත්‍යංශයට පමණය.)

කේ ශන්මුගදාසන් ගේ නායකත්වයෙන් යුත්   කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලට මුලින් බැඳුනු විජේවීර මහතා  ඉන්පසු තමන්ගේම පක්ෂයක් සංවිධානය කළේය. නව වම වුයේ ඔහු විසින් එසේ පිහිටවූ ජනතා විමුක්ති පෙරමුණයි.

වසර  1970 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් පිහිටවූ  සමගි පෙරමුණු රජයට කොමියුනිස්ට් පක්ෂය සහ සමසමාජ පක්ෂය ද ඇතුලත් වුනි. වසර 1971 වනවිට සිංහල තරුණයන් බහුතරයක් විසින් වාමාංශික සමගි පෙරමුණු රජයට එරෙහිව කැරැල්ලක් ගසන ලදී. කැරැල්ලේ න්‍යායවාදී නායකයා වූ විජේවීර අනුගමනය කළේ චීනයට හා මාඕ වාදයට පක්ෂ ප්‍රතිපත්තියකි. ඔහුගේ එක පන්තියක් වුයේ ඉන්දියානු ව්‍යාප්තවාදය යන්නය. ඉන්දියාව සමග දේශ සිමා යුද්ධයක පැටලී සිටි චීනය ඉන්දියානු  ව්‍යාප්තවාදය තදින් විවේචනය කළ රටකි. (නමුත් සැබවින්ම සිකීමය හා ටිබෙටය ආක්‍රමණය කළේ චීනයයි.)  මේ කැරැල්ලට විරුද්ධව සිරිමාවෝගේ රජයට සහය දීමට ඉදිරිපත් වූ එක රටක් වන්නේ සෝවියට් දේශයයි.කැරැල්ලට පක්ෂ යයි සැක කල එකම රට වුයේ උතුරු කොරියාවයි.

රුසියානු සාහිත්‍යයේ මුදුන් මල්කඩක් වන චෙකොව් ගේ පොත් ඒ පී ගුණරත්න මහතා විසින් පරිවර්තනය කරන ලද්දේ 1949 තරම් ඈත කාලයේය. (රුසියානු කෙටි කථා) ඉන්පසු බොහෝ රුසියානු සාහිත්‍ය පරිවර්තන කෙරුණු අතර කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධව කටයුතු කල උඩකැන්දවල  ශ්‍රී සරණංකර හිමියන් පලකල "නවලෝකය " සඟරාවේ  ඒවා පළවන්නට විය.  මේ සාහිත්‍ය පරිවර්තන බොහොමයක්ම ප්‍රේමකතා සහ පූර්ව  විප්ලවීය සම්භාව්‍ය  රුසියානු සාහිත්‍යය කෘති වීය.

විජේවීර මහතා ගේ ලුමුම්බා සමකාලීනයකු වූ පද්මහර්ෂ කුරණගේ  මහතා  චෙකොව් ගේ මෙන්ම වෙනත් කතුවරුන්ගේද කෘතීන් අනගි ලෙස  පරිවර්තනය කරණ ලදුව මොස්කව් ප්‍රගති ප්‍රකාශකයන් විසින් මුද්‍රණය කර බෙදා හරින ලදී. මේවා කිසිවක් රුසියානු විප්ලවයට සම්බන්ධ ඒවා නොවීය.  දැදිගම වී රුද්‍රිගු මහතාගේ පරිවර්තන එන්නේ පසු කාලයකය.


 මේ නිසා මේ 1971  කැරැල්ලට සහභාගී වූ තරුණයන්ට සෝවියට් සාහිත්‍යයේ බලපෑම එතරම් ප්‍රබල වුවක් යයි කීම ඉතා අපහසුය.මගේ නිගමනය නම් 1971 කැරැල්ල දක්වා වූ කාලය අතර තුර නව වමට බලපෑවේ සෝවියට් සාහිත්‍යය නොව විජේවීරගේ මාඕ වාදය බවයි. ග්‍රාමීය තරුණයන් කැරැල්ල සඳහා  විජේවීර සංවිධානය කළේත් මාඕ වාදය අනුව මිස ලෙනින් වාදය අනුව නොවේ. ලෙනින් ඔක්තෝබර් විප්ලවය ට්‍රොස්ට්කි සමග සංවිධානය  කලේ පෙත්රෝගාඩ් (සෙන්ට් පිටර්ස්බර්ග්) නාගරික කම්කරුවන් හා සොල්දාදුවන් අතර මිස රුසියානු ග්‍රාමීය ගොවි ජනතාව  අතර නොවේ.

~මතු සම්බන්ධයි
https://www.pressreader.com/sri-lanka/daily-mirror-sri-lanka/20160304/282510067654331

https://www.thoughtco.com/body-of-stalin-lenins-tomb-1779977