Wednesday, 22 October 2014

පුහුල්වැල්ලේ විමලවංශ හාමුදුරුවෝ සහ නාථ වාදය හෙවත් නාතිස්ම් (Nathism)

අපි දහම් පාසල් ගියේ බොහොම දුප්පත් වගේ තිබ්බ පන්සලකට. හැබැයි ඒක තිබ්බේ ගේ ළඟමයි. කට්ටිය අපේ අම්මට කිව්වා ගඟ ළඟ ආරාමයේ තියෙන දහම්පාසලට ළමයිව දාන්න කියල. ඒක ඈත වැඩියි. අනික ඒකෙ පොඩි හාමුදුරුවෝ අපේ අම්මට වැඩිය ඇල්ලුවේ නැහැ. (හොඳ වෙලාවට)

ඉතින් මේ පුංචි පන්සල තමා කොම්පඤ්ඤ විදියේ ගුණවර්ධනාරාමය. හයේ පන්තියේ කාලේ ඉඳල අපි දහම් පාසල් ගියේ ඒකට. අපට ධර්මාචාර්ය පන්ති වලදි (මන් හිතන්නේ අන්තිම වසර ටික) ඉගැන්වුයේ පුහුල්වැල්ලේ විමලවංශ පොඩි හාමුදුරුවෝ. පොඩි කීවට උන්නන්සේට අවුරුදු 50 - 60ක් වත් වෙන්න ඕනේ ඒ කාලේ. තව හුඟක් වයස නායක හාමුදුරු කෙනෙක් හිටි නිසයි මන් හිතන්නේ එහෙම කිව්වේ. හාමුදුරුවෝ කැලණියේ හරි විද්‍යෝදය විශ්ව විද්‍යාලේ හරි කථිකාචාර්ය තනතුරකුත් දැරුවා.

 පුහුල්වැල්ලේ හාමුදුරුවොයි මායි අතරේ සංවාදය ඇරඹුණු සිද්ධිය මෙහෙමයි. අපොස සාමාන්‍ය පෙළ විභාගයට යන්න කලින් අම්මට ඕන වුණා මාව බෙල්ලන්විල පන්සලට ගෙනියන්න. ගිහිල්ල කතරගම දෙවියන්ගේ දේවාලේ භාරවෙන්න. මම වැඩේට විරුද්ධ වුනා සම්පුර්ණයෙන්ම. හාමුදුරුවෝ අපට උගන්වල නැහැ දෙවියෝ වඳින්න. පස්සේ තාත්ත කිව්වා ඔන්නහේ යන් කියල. අම්ම කියන ඕන තැනකට තාත්ත වැඩි කතාවක් නැතුව යනව. මාත් ගියා පවුලේ අනිත් අයත් එක්ක. හැබැයි මං දේවාලේ ඇතුලටවත් අඩිය තිබ්බේ නැහැ. දැන් අම්ම කපු මහත්තයට කියල එයත් වැඩේට ඇතුල් වෙලා. මට දෙනවා උපදෙස්.
අම්ම තාත්තගේ කීම අහන්න ඕනේ, හිත රිද්දන්න එපා. ("මට හම්බ වෙන ගාන නැතුව යනවා" - ඒකනම් කිව්වේ නැහැ). මං කිව්වා මම මහන්සිවෙලා විභාගේ ලියල පාස් වුනොත් වෙන කාටවත් ඒකෙ ගෞරවේ දෙන්නේ මොකටද කියල. පාස් වුණාම කියයි භාරහාර වුන නිසා පාස් වුණා කියල. පස්සේ අන්තිමට තාත්ත අම්මට කිව්වා
"ඔන්න ඔහේ ගිහින් භාර වෙනවා. එයාට යන්න ඕනේ නැත්නම් කියල. "
තාත්ත මොනවා වුනත් ඒ පැත්තෙන් අපේ ස්වාධින මත වලට සහයෝගය දුන්න. අම්ම මේක පුහුල්වැල්ලේ හාමුදුරුවන්ට කිව්වා. හාමුදුරුවෝ ගත් කටටම ඇහුවේ
"නෝනා මේ පන්සලේ දෙවිවරු එහෙම ඉන්නවා දැක්කද?, දේවාලයක් දැක්කද කියල "
ඒ වෙලාවේ තමා මගේ ඔළුවට ආවේ මේ පන්සලේ දෙවිවරු නැහැනේ කියල. හාමුදුරුවෝ කීවේ
"පන්සල දියුණු කරන්න නම් දේවාල දාන්න තිබ්බ නමුත් අපි බුදුන්ගේ ඉගැන්වීම් වලට පිටින් යන්නේ නැහැ" කියලා .
 එදා තමා මම හාමුදුරුවෝ හරියට දැන ගත්තේ. දෙය්යෝ කවදාවත් මොනවහරි මිනිස්සුන්ට දෙනවා මම දැකල නැහැ. පන්චේන්ද්රියන්ට අහුවෙන්නේ නැතිවෙන්න ක්වන්ටම් භෞතික ආකාරයෙන් හොරෙන්ලුනේ දෙන්නේ. මිනිස්සු නම් දෙයියෝ ඉන්න තැන් වලට ගිහිල්ල හරියට දාන මාන, මුදල් දෙනවා. ඉතින් දෙයියෝ තියාගෙන ඉන්න කට්ටියනම් හරියට පෝසත් වෙනවා.
 දහම් පාසලේදී හාමුදුරුවෝ ඉගැන්නුවේ වැඩි පුරම අභිධර්මය. හාමුදුරුවෝ මට කතා කලේ පියන්ත කියල (මගේ දෙවෙනි නම ප්‍රියන්ත ) . හාමුදුරුවෝ කිවේ, "පියන්ත මේ මිනිස්සු ගස්, ගල් , මහා පර්වත, හිරු, ජලාශ , විදුලි කෙටිම ඕවට වැඳ වැඳ හිටියේ. අපි ඒ වෙනුවට ඒ ගොල්ලන්ට කිව්වා, මේ බෝධියට (බෝ රුකට) වඳින්න, බුදු හාමුදුරුවෝ නිර්වාණය ලබද්දී පිට දුන් බෝධිය වගේ හරි ඒ බෝධියේ අන්කුරකින් හැදිච්ච එකක් හරි තමා තියෙන්නේ කියල. අපි මිනිසුන්ට කියල දුන්න රුක් සංරක්ෂණය. බුද්ධ ප්‍රතිමා හදල එතුමන්ට ගෞරව කරන්න කිව්වා, ගල් වලට වදින්නේ නැතුව. පර්වත , හිරු මොකටද ඔය දාගැබට වදින්න කියල. ඒවල වැඳිය යුතු ගරු කලයුතු රහතුන්ගේ ධාතු නිදන් කරලා තිබෙනවා කියල. ඒව වැඳලා බන ටිකකුත් අහන්න කිව්වා."

අපිට වෙන ලෝක තියෙනෙව කියල ඉස්සෙල්ලම ඉගැන්වුයේ බුද්ධාගමේ. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක, එක සිතට චෛතසික 52ක් තියෙනව කියලා රුප (matter ) 28ක් තියෙනව කියල, සිතිවිලි 17 වර්ගයක් ඇසුරින් ඥානනය උපදිනවා කියල, මනෝ විශ්ලේෂණය ඉස්සෙල්ලම ඉගැන්වුයේ හාමුදුරුවෝ.
පැවැත්මට (existence ) තලයන්, හෝ ලෝක (planes ) 31 තිබෙනවා, සිත මිස කය නැත බඹලොව සතරෙකි ආදී දේවල් ඉස්සෙල්ලම ඉගැන්වූයේත් දහම් පාසලේදී. ඔය ලෝක අතරට නිරය, සත්ව ලෝකය, අවතාර නැත්නම් අසුර ලෝකය , ප්‍රේත ලෝකය, මනුස්ස ලෝකය හා දේව ලෝකය හෙවත් අපට වඩා සංවේදීතාව අතින් උසස් කස්ටියක් ඉන්න ලෝකය වගේ.
ඔය දේව ලෝකෙත් බුධත්වයට පත්වෙන මනුෂ්‍යයාට යටත් හැබැයි. දේව ලෝකේ කියන්නේ අපට වඩා දියුණු පිට සක්වල ජීවින් වෙන්න බැරිද කියල හිතුන වාර අනන්තයි. ඔය අතරේදී මිනිසුන් මේ ලෝකයට බැඳ තබන දේවල් නුත් ඉගැන්නුවා. තමන්ට ස්ථිර පෞද්ගලිකත්වයක් ඇත්තෙක් බව සිතීම (සක්කාය දිට්ඨි), සැකය හෙවත් විචිකිච්චාව, නීති, රිචුවල් (ritual ) ආදියට ආසාව (සීලබ්බත පරාමාස), කාම රාග, තරහ, (පටිඝ) රූප රාග , අරූප රාග , මානය, නොඉවසිලිවන්ත කම (උද්ධච්ච ) හා අන්තිම එක අවිද්‍යාව (මෝහය) අවිජ්ජා (ignorance ).
අන්තිම එකෙන් කියන්නේ අවිජ්ජාව නැති කර ගන්න ඉගෙන ගන්න කියල. කලාම සුත්‍රයේ කියන ඕන දෙයක් ප්‍රශ්න කරන්න කියලත් තියෙනවා කියල උන්නාන්සේ කියල දුන්න. ඉතින් අපිත් ප්‍රශ්න පිට ප්‍රශ්න ඇහුව භය නැතුව.

 මට විශිෂ්ට සම්මාන හයක් ලැබුනම සාමාන්‍ය පෙළ විභාගෙදි උන්වහන්සේ කිවේ පියන්ත , දේවාලේ එළිපත්තේ ඉඳන් ගත්ත D6 ඔය තියෙන්නේ කියල. අපේ අක්ක කිව්වා දෙවියෝ පිට ජාතියේ නිසා (ඇය අදහස් කලේ හින්දු දෙවියෙකු බව ) දඬුවම් වශයෙන් ඉංග්‍රීසි වලට සම්මානයක් (C ) දීල කියල මට.
(ඉන්දියාවේ මිනිසුන්ගේ හා දෙමල යාලුවන්ගේ ඉංග්‍රීසි හොඳ කියා මතයක් තිබුන - බණ්ඩාරනායක මැති තුමා ගෙන් තමා ඒක අහන්න ඕනේ. )

 දැන් ඔය නාසි වාදය තියෙනවනේ. පටන්ගත්තේ කොහොමද? ආර්ථිකය හෙම හදන්න , උද්ධමනය වැඩි වෙච්ච රටක (ජර්මනියේ) රස්සාවල් නැති සොල්දාදුවෝ ටිකක් එකතු වෙලා. යුදෙව් ධනවාදය ප්‍රතික් ෂේප කරමු. යුදෙව් කලාව, යුදෙව් විද්‍යාව ප්‍රතික්ෂේප කරමු උන් තමා අපට වින කටින්නේ. (අපිම තමයි පලවන ලෝක යුද්ධයට ගිහිල්ල ඇන ගත්තේ කියල නියම ඇත්ත නම් කිව්වේ නැහැ ජර්මන් වරුන්ට ) . යුදෙව් කොමියුනිස්ට්වාදය ප්‍රතික්ෂේප කරමු (ට්‍රොට්ස්කි, කාමනෙව්, සිනොවියෙව් ආදින් නිසා) කියල පටන් ගත්තේ. විද්‍යාත්මක පදනමකුත් දැම්මා ඇත්තට හිතෙන විධිහට. අපි ආර්යයන් අනිත් එවුන් (රුසියානුවෝ එහෙම) සත්තුන්ට ළඟ ජාතින්.

සාමාජීය ඩර්වින්වාදය (social darwinism ) - දුර්වලයන් පරිනාමයෙන් නැතිවී ප්‍රබලයා ජය ගැනීම. හොඳ ජාන ඇති රන්වන් හිසකේ, නිල් ඇස ඇති සුදු ආර්ය ජාතිය බලවත් වීම වගේ දේ. නාසි පක්ෂය බිහි වුනේ ජර්මන් කම්කරු පක්ෂයෙන් , පන්ති අරගලය සහ සමාජවාදය මුලදී පිලි අරන් පස්සේ ඈත් වුනු බුද්ධිමතුන් සහ සොල්දාදුවන් ගෙන්. එය නාසි පක්ෂය බවට පත්වී ජාතික සමාජවාදය (national socialism ) කියල න්‍යායක් ඉදිරිපත් කලා. සමහර කර්මාන්ත ජනසතු කරන, පන්ති අරගලයට හා කොමියුනිස්ට්වාදයට විරුද්ධ පෞද්ගලික දේපොළ රකින රාජ්‍ය ධනවාදයක්.1933දී නාසි පක්ෂය ජර්මන් මහජන චන්දෙන් බලයට පත් වුනා. මුලින්ම කල දෙයක් තමයි පොත් ගිනි තැබීම. මිනිසුන්ට දැනුම දුන්නොත් උන් කියන්නේ බොරු කියල මිනිස්සු තර්ක කරයි. ඒ නිසා තමන්ට පක්ෂ එවා ඇරෙන්න අනිත් හැම පොතක්ම ගිනි තිබ්බ. (අගොරාවේ වගේ) . ඊට පස්සේ වුන දේවල් දන්නවනේ.

අවිද්‍යාව පැතිරවීමට ඇති හොඳම දේ තමා අනිත් අයට කියවන්ට ඉඩ නොදීම. පුහුල්වැල්ලේ හාමුදුරුවෝ ළඟ සුමන සමන් දෙවියො වත් නාථ දෙවියෝ වත් හිටියේ නැහැ. උන්වහන්සේ කිව්වේ සමහර හොඳට මිනිසුන්ට සැළකු හොඳ, කරුණාවන්ත ප්‍රදේශාධිපතිවරු මිනිසුන් පසුව දේවත්යෙහි ලා සලකන්න ඇති කියල.

 නාථ දෙවියෝ කියල හරි නොකිය හරි වකුගඩු රෝග හැදිච්ච අහිංසක මිනිසුන්ව, අපේ ගොවියන්ව බේරා ගන්න එකත් , ඔවුන් වෙනුවෙන් කතා කරන එකත් ඉතාම හොඳ දෙයක්. පහුගිය අවුරුදු ගාන මුළුල්ලේ මේ බහු ජාතික සමාගම් කරන ව්‍යසනය ගැන හැමෝම නිහඬව හිටිය. දැන් ඒක මේ වැඩේ නිසා හොඳ මාතෘකාවක් වෙලා දේශපාලකයන්ට නොවිසදා පැනල යන්න බැරි. හැබැයි නාථවාදය නාසිවාදය කර ගන්න නම් එපා. අපට අපේ දැනුම බෙදා දෙන්නත් , අපට කියවන්නත් , බුදුන් වහන්සේ කාලාම සුත්‍රයේ දෙසුවා වගේ ප්‍රශ්න අහන්නත් අයිතිය තිබෙනවා. බුදුන් වහන්සේ හා පුහුල්වැල්ලේ හාමුදුරුවො මට ඉගැන්වුවේ , බුදුන් කිව්වත් , මහාචාර්ය වරයෙක් කිව්වත්, ගුරුවරයෙක් කිව්වත්, වෙන කවුරු කිව්වත් , තමන් හොයා බලා පිලි ගන්න කියල. මගේ නිදහස මට තියෙන්නේ එහෙම කරන්න.

Sunday, 19 October 2014

අවකාශ-කාලය යනු කුමක්ද හා අයින්ස්ටයින් ගේ ගණන්

අවකාශ-කාලය යනු කුමක්ද?
කලින් ලිපියෙන් පැහැදිලි කලේ නිව්ටන් තමන්ගේ නියමය අවකාශය නියතයක් ලෙස ගනිමින් ඉදිරිපත් කල බව. එතකොට අයින්ස්ටයින් ඉන් එහා යමින් අවකාශය හා කාලය එකට නියතයක් ලෙස ගත්තා. මෙය මෙසේ පැහැදිලි කල හැකියි.
දැන් මම ඔබ ඉදිරියේ දේශනයක් කරනවා යයි සිතන්න. මම එක තැනම සිටගෙන සිටියහොත් ඉහත ප්‍රස්ථාරයේ තනි කෙලින් ඉර මගින් මගේ ගමන පිළිඹිබු වේ. එනම් වෙනස් වන්නේ කාලය  පමණි. (කාලය ඉදිරියට යන්නේ රේඛියවය. තනි ඉරක් ලෙස).  අපි හිතමු මම දැන් ශාලාවේ එහා මෙහා ඇවිදිමින් මේ දේශනය කරනවා කියා. එහිදී සිග් -සැග් ක්‍රමයට ඇති ඉරෙන් මගේ චලිතය පෙන්නුම් කලේ. මෙහි තලය ද්විමාන නිසා (X - Y මාන   දෙකක් පමණක් මොනිටරයේ ඇත. සිරසට හා තිරසට  ) අපට X-Y-Z  ත්‍රිමාණ තලය පෙන්වන්නට නොහැකියි. මේ අවකාශය තුල මගේ ගමනේ path එක නැත්නම් මාර්ගය (පථය) හඳුන්වන්නේ worldline කියලයි. අවකාශ- කාලය වෙනස් වෙනවා කියන්නේ මේ වගේ දෙයකටයි.
අයින්ස්ටයින් මහාචාර්ය නලින් ද සිල්වා අදුරුතුමාණන් තරම් ගණන් දැනගෙන හිටියේ නැති නිසා මේ ගැන අහන්න ගියේ හර්මන් මින්කොව්ස්කි නමැති ජර්මන් ගණිතඥයා ලඟට. මින්කොව්ස්කි  ගොතින්ගන් විශ්ව විද්‍යාලයේ ගණිත මහාචාර්යවරයායි.
අප දහය පන්තිය  තෙක් හෝ සමහරවිට පසුවත් ඉගෙන ගන්නේ යූක්ලීඩියානු ගණිතයයි. යුක්ලිඩියන් අවකාශයේ පැතලි තලයේ ද්වි-මාන ( Euclidean space ) අවකාශය හා ත්‍රිමාණ අවකාශය (උස, දිග හා පළල) ගණිතයේදී උපයෝගී කර ගනී.  එයට spacelike හෙවත් අවකාශයවගේ (මානයක්) ලක්ෂනයක් ඇති බව කියවේ. 
මින්කොව්ස්කි අවකාශයට   spacelike  'අවකාශයවගේ' මානයට අමතරව timelike 'කාලයවගේ' මානයද ඇතුලත් වේ. යූක්ලීඩියානු ගණිතය යුක්ලිඩියන් කාණ්ඩයට අයත් වන අතර මින්කොව්ස්කි ගේ අවකාශ-කාලය අයත් වන්නේ පොයින්කෙයර් කාණ්ඩයටයි. (Poincaré group ). මින්කොව්ස්කිගේ මෙම අවකාශ-කාලයේ සිද්ධීන් දෙකක් පරතරය (interval)  මේ අවස්ථා තුනින් එකකි.  එනම් spacelike (අවකාශයවගේ)  timelike (කාලයවගේ) හෝ ආලෝකයවගේ lightlike.

අයින්ස්ටයින් භාවිතා කලේ මෙම මින්කොව්ස්කිගේ අවකාශ-කාලය පිලිබඳ නියමයි.  
අයින්ස්ටයින් මෙහිදී භාවිතා කලේ spacetime fabric යන අරුතයි.  මෙය අර සින්දුවක කියන සුරන්ගනිගේ රෙද්ද හෝ ඇයගේ මවගේ රෙද්ද වැන්නක් නොවේ. කසි සළුවක් හිතෙන්  මවා ගන්න. (වඩා හොඳ උදාහරණයක් නම් මදුරු දැල් නැත්නම් ධිවර දැලක් ) මදුරු දැලක් හෝ තුනී සළුවක් දෙදෙනෙකු ලවා අල්ලා ගෙන හොඳට තද වන ලෙස දිග හරින්න.  එයට ක්‍රිකට් ලෙදර් බෝලයක් හා ටෙනිස් බෝලයක් තැන්  දෙකකකින් තබන්න. වැඩි  බර වැඩි බෝලය යටට යනු ඇත. බර වැඩි බෝලය සඳහා තව විශාල බෝලයක් භාවිතා කරන්න. බර වැඩි බෝලයේ බලයට නතුවී අනිත් බෝල  එක හෝ දෙක එතනට එනු ඇත. මෙහිදී බෝලය මත ක්‍රියාත්මක වන්නේ ගුරුත්ව බලය සමග ඇති බරයි. (අභ්‍යවකාශයේදී තාරකාවක හෝ ග්‍රහලෝකයක ස්කන්ධය හා එයින් ඇතිවන ගුරුත්ව බලය ). මෙම දැල් හා බෝල පිලිබඳ උදාහරණය ඔබේ ත්‍රිමාණ අවකාශයේ වන්නකි.  ඔබ කාලය එයට අදාල කලවිට එය සිව්මාන අවකාශයේ සිදුවන බව පැහැදිලි වේ. 

පහත පින්තුරය බලන්න.

අයින්ස්ටයින් නිව්ටන්ගේ ගුරුත්ව බලය බර හා අවකාශය නමැති දෙක ඉවත් කර ඒ වෙනුවට මින්කොව්ස්කිගේ අවකාශ-කාලය අවකාශවගේ (spacelike ) හා (timelike ) කාලයවගේ මාන  ආදේශ කල විට බොහෝ බර වස්තුන් විසින් space හෙවත් අවකාශය වක්‍ර කරන බව සොයා ගත්තා. මෙය වක්‍ර වන්නේ කාලය සමගයි. කාලයෙන් පිටත නොවේ. (සිව්මාන මින්කොව්ස්කි අවකාශය) 
(ගුරුත්වාකර්ෂණ  බලය නැතැයි කියන අය තමන් උඩ පැන්න  විට පාවී යන්නේ නැතුව බිමට වැටෙන්නේ ඇයි  දැයි පැහැදිලි කරන්න. )

මේ අනුව ආලෝකය මේ විශ්වීය අවකාශ-කාලය මතින්  ගමන් කරද්දී වඩා ස්කන්ධයෙන් වැඩි  වස්තුන් (මන්දාකිණි , තාරකා, විශාල ග්‍රහලෝක  ආදී) ළඟදි  ආලෝකය නැවෙන බව (වක්‍ර වෙන බව ) අයින්ස්ටයින් පැවසුවා.  සාමාන්‍ය සපෙක්ෂතාවාදය පිලිබඳව ඔප්පු කිරීමට මෙම ආලෝකයේ නැවීම උපයෝගී කරගනු ලැබුවා. ඉන් එකක් නම් මර්කරි (Mercury) ග්‍රහයා ගේ ඔර්බිට් (හිරු වටේ ගමන් කිරීම) එකේ වෙනස්වීම. එය අවුරුදු 100 කට අංශක 0.159 පමණ වෙනවා, මර්කරි හිරුට ළඟම තැනදී. නිව්ටන්ගේ ගුරුත්වයට අනුව අනික් විශාල ග්‍රහයන් නිසා එසේ වන බව මුලින් සිතූ  නමුත් එය (ගුරුත්ව බලය නිසා වෙනස් වීම perturbation ) අංශක 0.147ක් බව නිවරදිව ගණනය කරනු ලැබුවා. එතකොට ඉතුරු අංශක 0.012? එය එන්නේ අති විශාල හිරුගේ ස්කන්ධයේ බලපෑම නිසා අවකාශය වක්‍ර වීමෙන්. 
පහත පින්තුරය බලන්න.  අපට හිරු පිටුපස ඇති තාරකාවක් පෙනෙන්නේ හරි කෙලින්ම තිබෙනවා වගේ. නමුත් අයින්ස්ටයින්ට (සාපෙක්ෂතාවාදයට අනුව ) අනුව එය ඇත්තේ හිරුට පිටුපසින් පැත්තට වෙන්න. ආලෝකය නැමීගෙන එන නිසා අපට  පෙනෙන්නේ කෙලින් තිබෙනවා වගේ. 

මෙය බ්‍රිතාන්‍ය තාරක විද්‍යාඥ ආතර් එදින්ග්ටන් විසින් 1919 දී  නිවැරදියි කියා ඔප්පු කලා. අප්‍රිකාවේ ප්‍රින්සිප නමැති දුපතේදී මැයි මාසයේ තිබු පුර්ණ සුර්යග්‍රහණයක් වෙලාවේදී ඔහු තාරකා වල පිහිටීම් ලකුණු කර ගත්තා. ඉන්පසු මාස  හයකට විතර පසු රාත්‍රී කාලයේදී පියවි ඇසට පෙනෙන එම තාරකා වලම  පිහිටීම් ලකුණු කලා. මෙහිදී සාමාන්‍ය සාපේක්ෂතා වාදය ඇසුරින් තාරකාවන්ගේ පිහිටීම පිලිබඳ කල  ගණනයන් නිවැරදි බව තහවුරු වුනා. Gravitational lensing නමැති හෙවත් ගුරුත්වාකර්ෂණ කාච ක්‍රමයේදී භාවිතා කරන්නෙත් මෙවැනි  උපක්‍රමයක්. ඒ පිලිබඳ පහත පින්තුරයෙන් බලන්න.  ක්වෙසාර් නමැති දිලිසෙන විශ්ව වස්තුන්ගේ ආලෝක කිරණ මැද තිබෙන විශාල මන්දාකිනියේ බරින් වක්‍ර වී  නිරීක්ෂකයාගේ ඇසට ලඟා  වේ. 

ගුරුත්වාකර්ෂණ කාච ක්‍රමය පිලිබඳ ඔබ දන්නා ගණිතඥයෙකු වන මහාචාර්ය නලින් ද සිල්වා මහතාත් විද්‍යා ලිපියක් පල කර තිබෙනවා. අවශ්‍ය නම් එය මෙතනින් බා  ගත හැකියි.  එතුමාගේ ලිපියේ ගණනය කිරීම කර ඇත්තේ අවකාශ-කාලය ස්ථතික (static ) හා යුක්ලිඩියනු ලෙස උපකල්පනය කරගෙනයි. (පින්තුරය බලන්න. ) 
http://www.nature.com/nature/journal/v228/n5277/abs/2281180a0.html

මේ කොටස උපුටා ගත්තේ මහාචාර්ය නලින් ද සිල්වා මහතා 1970 සසෙක්ස් විශ්ව විද්‍යාලයේ සිටියදී පලකල විද්‍යාත්මක ලිපියකිනි. 
මෙය මට යොමුකළ ඇනෝ මහතාට ස්තුතියි. 

Saturday, 18 October 2014

නිව්ටන් හා අයින්ස්ටයින් බිග් බැන් මොඩලයට මග පෑදුවේද?

නිව්ටන් හා අයින්ස්ටයින් බිග් බැන් මොඩලයට මග පෑදුවේද? :
 "මට මා  පෙනෙන්නේ වෙරළේ ක්‍රීඩා කරන කුඩා දරුවෙක් මෙනි. මට ඉදිරියෙන් ඇත්තේ තවමත් අනාවරණය කල නොහෙන සත්‍යය  නමැති අසීමිත සාගරයයි . "- අයිසැක් නිව්ටන්

නිව්ටන් ව අපට මෙහිදී අමතක කල නොහැකියි.. මොකද නිව්ටන් ගේ Universal Law of Gravitation ගුරුත්වාකර්ෂණය පිලිබඳ විශ්වීය නියමය අපට වැදගත් නිසා.  මේ නියමය නම් කිසියම් වස්තුන් දෙකක් ( m1, m2) එකිනෙකට ආකර්ෂණය වන්නාවූ  බලය F  එම වස්තුන් දෙකේ ස්කන්ධයන් වල ගුණය ට අනුලෝමව සමානුපාතික වන අතර එම වස්තුන් දෙක අතර දුරෙහි වර්ගයට  (d) ප්‍රතිලෝමව සමානුපාතික වේ. මේ පිලිබඳ සමීකරණය අවශ්‍ය අයට පහත විස්තර කර ඇත.

ඇයි  මේ නියමය  විශ්වය ගැන කතා කරන කොට වැදගත්? මෙහි ගුරුත්ව බලය වලංගු වන්නේ වස්තුන් නිශ්චලව තිබෙන අවස්ථාවක හෝ ආලෝකයේ වේගයට සාපේක්ෂව ඉතාම සෙමින් ගමන් කරන්නේ නම් පමණි. මෙහි වැදගත්ම කාරණය නම් නිව්ටන් අවකාශය (space) (නිරපේක්ෂ) නියතයක් (absolute space) ලෙස සැලකීමයි.

මෙහිදී පළමු ස්කන්ධය mති විශාල නම්  (හිරු වැනි) දෙවැනි ස්කන්ධය නොසලකා හරින්නට වුවත් පුළුවන්. නිව්ටන් ගේ යකඩ බෝල (iron ball ) ප්‍රමේයේ කියවෙන්නේ මෙසේයි. දෙවැනි වස්තුවට ඇති දුර r වලට එහායින් තිබෙන වස්තුන් වලට පළමු වස්තුවෙන් කිසිම බලයක් නොයෙදේ. r හෙවත් වස්තුන් දෙක අතර දුර අරය වශයෙන් ගෙන මවා  ගන්නා  ගෝලිය අවකාශය තුල පමණක් ඒ බලය රඳවා පවතී.
අපට ඇති විශාල ලෙස පෙනෙන ග්‍රහලෝක හා එහි චන්ද්‍රයන් අතර ඇත්තේ මෙම ගුරුත්වාකර්ෂණ බලයයි. හිරු වටේ යන ග්‍රහලෝක හිරුට බැඳ තබා ගන්නේද මේ ගුරුත්වාකර්ෂණ බලයයි. ගුරුත්ව බලය මෙහිදී ද්‍රව්‍යය මත බලපාන බව ඔබට පෙනෙනු ඇත . 



නමුත් පරමාණු පිළිබඳව සැලකීමේදී ගුරුත්ව බලය ගණන් ගැනීමට නොහැකි තරම් කුඩායි.
මෙහිදී බර (weight) සහ ස්කන්ධය(mass) අතර වෙනසත් කල්පනා කරන්න. බර යනු කොපමන තදින් ගුරුත්වයට වස්තුවක් අදින්නට හැකි වේද යන්න මැනීමයි.  ස්කන්ධය යනු වස්තුවක කොපමන ද්‍රව්‍ය (matter) තිබේද යන්නයි.
බර මැනීමේදී පෘතුවියේ ගුරුත්ව බලය (Gravity: 9.78 m/s²)  සාධකයක් බව ඔබ දන්නවා.
අයින්ස්ටයින් මෙහිදී කල්පනා කලේ ගුරුත්ව බලය නැති විටදී නිව්ටන් ගේ නියමයන්ට අදාල පරීක්ෂණ හා ගණනය කිරීම කරන්නේ කෙසේද කියායි. මෙහිදී අභ්‍යාසයක් වශයෙන් එලවේටරයක කැබින් එක තුල ඔබ සිටින්නේ නම් ඔබ උඩ පැන නිදහසේ වැටෙන විට (freefall) සිදු වන්නේ කුමක්ද කියා සිතන්න.  අයින්ස්ටයින් (equivalence principle) තුල්‍යතා නියමය වශයෙන් ගොනු කලේ මෙයයි. ඔබ සිටින එලවේටරය 9.78 m/s² තත්පර වර්ගයට මීටර 9.78 (acceleration) වේගයෙන් යන (අභ්‍යවකාශයේ) රොකට්ටුවක් තුල තිබෙන්නේ යයි සිතන්න. එවිට ඔබ යමක් අත හැරියොත් ඔබට පෙනෙන්නේ එම වස්තුව කැබින් එකේ බිමට වැටෙන බවද එසේ නැතිනම් රොකට්ටුව එම වස්තුව දෙසට එන බවද?
මෙලෙස කල්පනා කිරීමෙන් අයින්ස්ටයින් වටහා ගත්තේ ගුරුත්ව බලයන් ක්‍රියාකරන්නේ කිසියම් රාමුවක් (frame ) මත බවයි. මේ අනුව අයින්ස්ටයින් අවකාශ-කාලය (space-time) නමැති සංකල්පය ඉදිරිපත් කල අතර එය නියත යයි නිගමනය කළේය.
අයින්ස්ටයින් තමන්ගේ  සාපේක්ෂතාවාදය පිලිබඳ සාමාන්‍ය නියමය (General theory of relativity) ඉදිරිපත් කලේ නිව්ටන්ගේ පරණ ප්‍රතිපලම  "බර-weight " නොසලකා හැර ලබා ගනිමිනි.

මෙහි වැදගත්ම දෙය වන්නේ මෙම නියමය චලිතයේ (ගමනේ යෙදෙන) මෙන්ම චලිතයේ නොවන (නිසලව පවතින) වස්තුන් වලටද වලංගු වීමයි.

මේ කොටස අවසන් කරන්නට වන්නේ ජෝන් වීලර් ගේ කියමනකින්. "ද්‍රව්‍යය අවකාශයට කොහොමද වක්‍ර වෙන්නේ කියා කියා දෙන අතර , අවකාශය ද්‍රව්‍යයට කෙසේ චලනය වෙන්නයි කියා දෙයි.
"Matter tells space how to curve, and space tells matter how to move."  
මතක තබා ගත යුත්තේ නිව්ව්ටන් අවකාශය (space is absolute) නියත යයි ගෙන තම නියමයන් ඉදිරිපත්  කල අතර  අයින්ස්ටයින් අවකාශය වෙනස් වෙන බවත් ඒ නිසා අවකාශ-කාලය (Space -Time ) නියත(absolute) ලෙස ගෙන සාපේක්ෂතාවාදය පිලිබඳ නියමයන් ඉදිරිපත් කල බවයි.

ක්වන්ටම්  අංශුන් ගැන කතා කරද්දී අවකාශ-කාලය (Space -Time ) ද නියත නොවන අතර අවකාශය හා කාලය නියත ලෙස ගෙන ක්වන්ටම් අංශුවක පිහිටීම ගණනය කල නොහැක.

මීළඟ ලිපියෙන් අවකාශ - කාලය  (space-time)  පිළිබඳව තවදුරත් සාකච්චා කෙරෙන අතර ඉන්පසු හබල් ගේ නියමයත් සාකච්චා කෙරෙනු ඇත.



******************************************

අවශ්‍ය නම් කියවන්න :

නිව්ටන්ගේ සමීකරණය ; බලය F α (mx  m2) / (දුරෙහි වර්ගය)
මේ සමීකරණයට සමාන ලකුණ දැමීමට නම් නියතයක් යෙදිය යුතුය. එම නියතය ගුරුත්වාකර්ෂණ  නියතය G නමින් හැඳින්වේ. එවිට එය පහත පරිදි ලිවිය හැකියි.

F = force between the masses, m1 = first mass, m2 = second mass,
d =distance between the centres of the masses.G is the gravitational constant =

වැඩි දුර කියවන්න : http://www.einstein-online.info/spotlights/equivalence_principle

- අජිත් ධර්මකීර්ති 

Wednesday, 15 October 2014

බිග් බැන් (Big Bang ) තහවුරු කල CMB

බිග් බැන් (Big Bang ) තහවුරු කල CMB:
CMB කියල  කියන්නේ  cosmic microwave background හෙවත් විශ්වීය මයික්‍රෝවේව් පසුතලය ( microwave - කුඩා හෝ මයික්‍රෝ තරංග) කියන එකට. මෙහෙම දෙයක් තියෙන්න පුලුවන් කියල පළමුවෙන්ම 1948දී කිව්වේ රැල්ෆ් අල්ෆෙර් සහ රොබර්ට් හර්මන්. ඔවුන් කිව්වේ කිසියම් මහා පිපුරුමකදී විහිදෙන තාප විකිරණය මනින්න පුළුවන් වෙන්න ඕනේ කියල. ඔවුන් මුලින් කිව්වා CMB එකේ තාපය (උෂ්ණත්වය )   කෙල්වින් 5ක් විතර වෙයි කියල. පසුව එය කෙල්වින් 28කට වැඩි කලා.
සෝවියට් විද්‍යාඥ යකොව් සෙල්දොවිච් මෙය නැවත  තහවුරු කලා.

CMB එක හරියටම හම්බ වුනේ අහම්බෙන්. ඒ 1964 දී ඇමෙරිකානු තාරකා විද්‍යාඥයන් දෙදෙනෙකු වන අර්නෝ පෙන්සියස් සහ රොබර්ට් විල්සන් විසින් චන්ද්‍රිකා  මාර්ග දත්ත සෙවීමට රේඩියෝ ටෙලස්කෝපයකට ඇන්ටෙනාවක් සවි කිරීමට යද්දී කල නිරීක්ෂණයක් නිසයි. ඔවුන් චන්ද්‍රිකා සිග්නල් අහද්දී ඔවුන්ට වෙනත් 'බර බර හා ර්ර්ර්  ' ශබ්දයකුත් ඇසෙන්නට පටන් ගත්තා. මෙය දිගින් දිගටම ඇහුනා.













-අර්නෝ පෙන්සියස් සහ රොබර්ට් විල්සන්

එවැනි ශබ්දයක්  මෙතනින් අහන්න:http://faculty.washington.edu/jcramer/BigBang/Planck_2013/BBSnd20.wav

ඔවුන් දෙදෙනා මුලින් මේ ශබ්දය එන්නේ පරෙයියන් ගෙන් යයි සිතා  පරෙයියන් එලවා ඇන්ටෙනාව කීපවතාවක් ශුද්ධ කලා. නමුත් සද්දය දිගටම එන විට ඔවුන් නිරීක්ෂණය කලා තමන්ගේ ඇන්ටේනාවේ  උෂ්ණත්වය කෙල්වින් 4ක් පමණ බව. ඔවුන්  පසුව මෙම ශබ්ද ගබඩා කර ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයට යැව්වා. ඔවුන් හා ප්‍රින්ස්ටන් මෙහිදී කල විශ්ලේෂණයෙන් තහවුරු වුයේ කවුරුත් හොයමින් සිටි විශ්වයේ මුල් පිපිරුම වැනි යමක් සිදු වුනානම් එයින් පිටවූ තාප විකිරණ (heat radiation)  වල ශබ්දය මෙය බව.

මෙම ශබ්දය හා තාපයේ වර්ණාවලිය (spectrum ) අපිට වැඩිය ලැබෙන්නේ නැත්තේ පෘතුවියේ වායු ගෝලය එහි වැඩි හරියක් අවශෝෂණය කර ගන්න නිසා. මේ නිසා ඇමෙරිකාව විසින් COBE නමැති චන්ද්‍රිකාව ගුවන් ගත කලා . (COBE -Cosmic Background Explorer - විශ්වයේ  පසුබිම සොයන්නා )  

 මෙහිදී සොයා ගත්  දත්ත වලින් ප්‍රස්ථාරයක් අඳින්න පුලුවන්. මෙයට කෘෂ්ණ වස්තුව හෙවත් කළු ද්‍රව්‍යයේ  වර්ණාවලිය කියා කියනවා. (Black body spectrum ).
 මෙහිදී ඉතාමත් නිවැරදිව CMB එකේ උෂ්ණත්වය කෙල්වින් 2.73 (2.73 K.)කට මැනගන්න පුළුවන්. (කෙල්වින් 273ක් යනු සෙන්ටිග්‍රේඩ්  0, 0 Centigrade=273 K)

මෙතැනදී කලින් ලිපියේ සඳහන් හොයිල්ගේ steady state තියරියට කන කොකා හැඬුවා.

මෙයින් ඉතා වැදගත් නිගමන කීපයක් ලැබුණි.

1. COBE  චන්ද්‍රිකා  දත්ත පෙන්නුම් කලේ විශ්වයේ එක කොටසක උෂ්ණත්වය 10000 කින් 1 කට තත්‍යව (ඉතා නිවැරදිව)  තවත් ඕනෑම  තැනක උෂ්ණත්වයට සමාන බව. (මෙහිදී විශ්වීය අවකාශය ගැන මිස තාරකා  හෝ ග්‍රහලෝක වල උෂ්ණත්වය ගැන කතා නොකෙරේ. )

2. එක දිසාවක විශ්වය ප්‍රසාරණය (විහිදීමේ )  අනුපාතය (expansion rate )  තවත් ඕනෑම දිසාවක ප්‍රසාරණ අනුපාතයට සමාන බව  (මේ පිලිබඳ වෙනත් ප්‍රමේය සහ සාධක ඉදිරියේදී පල කරමි)

3. විශ්වය ඕනෑම පැත්තකට  එක වගේම බව (uniform)

පහතින් ඇත්තේ CMB විකිරණ විශ්වයේ විහිදී තිබු සැටි පෙන්වන ඡයාරූපයකි.  මෙයින් පෙනේනේ බැලු ඕනෑම පැත්තක විශ්වය uniform ඒකාකාරී බවයි. 

මෙහි කාලය විශ්වය ඇතිවී අවුරුදු 300 සිට බිලියන් කීපයක් දක්වායි.


මේ පින්තුරය WMAP Wilkinson Microwave Anisotropy Probe නමැති මයික්‍රෝ වේව් ටෙලස්කෝපයෙන් ගත්  එකකි. (පින්තුරය  නාසා වෙබ් අඩවියෙන්) .

WMAP ස්පේස් සැටලයිටයේ චායාරුපයක් පහත දැක්වේ:

අජිත් ධර්මකීර්ති

උපුටා ගැනීම්:
1.  http://map.gsfc.nasa.gov/
2. බිග්බැන් ශබ්දය  : http://www.washington.edu/news/2013/04/04/listening-to-the-big-bang-in-high-fidelity-audio/

Tuesday, 14 October 2014

බිග් බැන් BigBang හෙවත් මහා පිපිරුමට නම ලැබුන හැටි

බිග් බැන් BigBang හෙවත් මහා පිපිරුමට නම ලැබුන හැටි:
සාමාන්‍යයෙන් තාරක විද්‍යාව ඉගෙන ගනිද්දී cosmology කියලා විෂයක් තිබෙනවා.  ඒ කියන්නේ විශ්වය ගැන ඉගෙනුම. එහිදී මුල්න්ම සාකච්චාවට ගන්න කාරණයක් තමා bigbang හෙවත් මහා පිපිරුම. මේ නමින් ඇත්තටම සිද්ධ වුනේ මොකක්ද කියන පර්යේෂණාත්මක තත්වයට  දෙන්නේ කිසියම් වැරදි හැඟීමක්. (misnomer). මේ නම දැම්මේ 1950 දී සර් ෆ්‍රෙඩ් හොයිල් කියන බ්‍රිතාන්‍ය තාරක විද්‍යාඥයා විසින් ඔහු විසින් විශ්වය තව දුරටත් සීග්‍රයෙන් විශාල වෙනවා (ප්‍රසාරණය - expanding universe) කියන අදහසට විරුද්ධ වීම නිසා.
සර් ෆ්‍රෙඩ් හොයිල් (1915 - 2001)
ෆ්‍රෙඩ් හොයිල් ගේ කැමැත්ත තිබ්බේ "Steady State model " හෙවත් සිංහලෙන් කිවොත් නියත (අචල හෝ වෙනස් නොවන) තත්වයේ මොඩලය කියන එකට. 
 එතකොට මොකක්ද මේ තියරිය. මේකට මුලිකව සහය දුන්නේ හර්මන් බොන්ඩි, තෝමස් ගෝල්ඩ් හා ෆ්‍රෙඩ් හොයිල්.  මේ තියරියෙන් උපකල්පනය කරන්නේ ඕනෑම වෙලාවක හැම නිරික්ෂකයෙකුටම විශ්වය පෙනෙන්නේ එකම විධිහට බව.  ඒ මොකද විශ්වය "Perfect Cosmological Principal" හෙවත් පරිපුර්ණ විශ්වීය නියමයකට හැම වෙලේම යටත් නිසා කියල. 
එනම් " විශ්වය ඉතා විශාල පරිමාණයෙන් ගත්කල බලන හැම පැත්තෙන්ම  එක හා සමාන වන අතර අනාගතයේදී ද එය එසේම වේ ".
මේ ප්‍රමේය කිසියම් ප්‍රමාණයකට විශ්වය විශාල වෙනවා යයි පිලි ගත්තත් එය සදාකාලික විශ්වයක් තුල වන්නේ යයි පිළිගනී.  මේ තියරියේ ප්‍රධාන ප්‍රශ්නයක් නම් ද්‍රව්‍යය ඇති වන්නේ නැත්තකින් බව (Matter created from nothing) පිලි ගැනීමයි.












මෙයට විරුද්ධ මතය ඉදිරිපත් කලේ කතෝලික දේවගැතිවරයෙකු හා තාරක විද්‍යාඥයෙකු වූ ජෝර්ජස් ලේමටර් (Georges Lemaître) විසින්. ඔහු කිවේ එක්තරා නියත වෙලාවක කිසියම් අංශුවක් පිපිරීමෙන් විශ්වය ඇතිවූ බවයි. එය ඉන්පසු සීග්‍රයෙන් ප්‍රසාරණය වන්නට ඇති බවයි. ඔහු 1927 -30 දි සාපේක්ෂතා වාදය උපයෝගී කරගෙන මේ බව ඔප්පු කරන්නට ලිපියක් පල කලා. 












නමුත් ඔහු දැන හෝ නොදැන රුසියානු විද්‍යාඥයකු හා ගණිතඥයෙකු වන ඇලෙක්සැන්ඩර් ෆ්රිද්මන් (Alexander Friedmann ) 1922 දී සාපේක්ෂතාවාදය ගණිතමය වශයෙන් ඔප්පු කරමින් විශ්වය ප්‍රසාරණය වන බව ඔප්පු කලා.

මෙය කන වැකුණු සර් ෆ්‍රෙඩ් හොයිල් තරහෙන්  "එහෙනම් ඔහෙලා කියන්නේ මහා ලොකු පිපිරිමකින් (bigbang එකකින්) විශ්වය බිහි වුණා  කියලද? "  කියා අවඥා කලා. ඒ වචනය ඉන්පසු හැමෝම භාවිතා කරන්නට පටන් ගත්තා.
 නමුත් 1930 දී බ්‍රිතාන්‍ය රාජකීය තාරක විද්‍යාඥ සර් ආතර් එඩ්දින්ටන් , අයින්ස්ටයින් හා ඩි සිටර් විසින් මෙම static හෙවත් එකම විදහට තිබෙන විශ්වයක් නැති බව පිළිගත්තා.

විශ්වය දයනමිකව (dynamic ) (ගතික ලෙස)  ප්‍රසාරණය වන බවත් එක මුලයකින් පටන් ගන්නට ඇති බවත් නිගමනය කෙරුණා.

මේ අලුත් නියමය ඔප්පු වන්නේ කෙසේද යන්නඊළඟ  ලිපියෙන් පැහැදිලි කරන්නට පුළුවන්.  -අජිත් ධර්මකීර්ති  

Monday, 13 October 2014

නිර්මාල් එන්න මල් පිපිදැයි බලන්න - විමුක්ති දේශපාලනයේ විභවය සොයා

නිර්මාල් එන්න මල් පිපිදැයි බලන්න - විමුක්ති දේශපාලනයේ විභවය සොයා 
පසුබිම 
මේ ලිපිය ලිවීමට ඌවේ මැතිවරණය අවසන් වනතුරු සිටියෙමි. චන්ද ප්‍රතිපල එක්කල විට රජයට 3,49,906 කිත් විපක්ෂයට (එජාප, ජවිපෙ, ප්‍රජාපෙ ) 3,19,272 කුත් ලැබී ඇත. ආණ්ඩුව යන්තම් චන්ද 30,634 කින් දිනා තිබේ. මේ ජනාධිපතිවරණයකදී  පෙරලිය හැකි සංඛ්‍යාවකි.

අගෝස්තු 17 ජනරළ පත්තරේ නිර්මාල් මහතා කියන්නේ මේ සංවාදයෙන් ඔහුට පෙනී යන්නේ මෙහි නිමක් දැකීම අපහසු බවයි. එයට හේතුව ඔහු දකින විධිහට සංවාදයේ නියැලෙන පාර්ශව දෙකටම තම ස්ථාවරය සාධාරණිකරණය කිරීමට සැහෙන දුරට කරුණු තිබීම යන්නයි.  එසේ කියන අතරම අනිත් පාර්ශවය ඉදිරිපත් කරුණු වලංගු ඒවා බව ඔහු කියයි.
එසේ නම් ආචාර්ය දෙවසිරි මහතාට අනුව ප්‍රශ්නය කුමක්ද? ඔවුන් කොපමණ වලංගු කරුණු ඉදිරිපත් කලත් මේ අනිත් අය ඔහුගේ "සෝභිත හිමි පොදු අපේක්ෂක කිරීමේ ව්‍යාපාරයට" සහය නොදීමයි. නිර්මාල් ගේ ප්‍රධාන තර්කයක් වන්නේ විධායක ජනාධිපති ධුරය නැති කිරීමෙන් දැනට පවතින හෙජමොනික සමතුලිතතාවයට මරු පහරක් වදින බවයි. තමන්  ජවිපෙ සිංහල ජාතිකවාදය සමග උපාය මාර්ගික සන්ධානයකට යන බවට රාමචන්ද්‍ර පවසතියි කියන නිර්මාල් එය ප්‍රතික්ෂේප කරයි. එසේම ලංකා  සම සමාජ පක්ෂය හා එහි දේශපාලන ව්‍යාපාරය සමග තම පොදු අපේක්ෂක ව්‍යාපාරය සසදන ඔහු රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ මෙන්ශේවික ප්‍රවණතාවය සමගද සසඳයි. සාර් පාලනය පෙරලා කෙරෙන්ස්කි  පිහිටවුයේ ධනවාදී රජයක් බව නිර්මල්ට මෙහිදී අමතක වී ඇත.

ඔහු තව දුරටත් උදාහරණද සපයමින් රාමචන්ද්‍ර හා සුමිත් චාමින්දට චෝදනා කරන්නේ, සෝභිත හිමිට දෙන සහයෝගය නිසා තම ව්‍යාපාරය සින්හල බෞද්ධ වර්ගවාදී එකක් ලෙස ඔවුන් හෙළා දකින බව පවසමිනි. නමුත් සෝභිත හිමිගේ ව්‍යාපාරයට ඇතිවන ආකර්ශනය අභියෝගයක් ලෙස භාර ගෙන තමන් අතර පෙර නොවූ විරු ඒකාබද්ධ තවක් ගොඩ නංවා ගැනීමට රාමචන්ද්‍ර අයත් වාමාංශික කතිකාවට හැකි බවයි.
මිට පිළිතුරු සපයන සුමිත් චාමින්ද අගෝස්තු 24 පත්‍රයේ පලකල ලිපියේ පවසන්නේ නිර්මාල් දේවසිරි මහතා සහයෝගය දෙන මේ පොදු අපේක්ෂක ව්‍යාපාරය තුල ඇත්තේ දක්ෂිණාංශික විභවයක් බවයි.
ඔහු නිවැරදි විනිශ්චයන් කීපයක් මෙහිදී කරන බව සඳහන් කල යුතුයි.
පළමු වැන්න මැතිවරණ අවකාශයක් තුල පැන  නැඟෙන යම් ව්‍යාපාරයක් විමුක්ති විභාවයකින් යුක්ත වේ යයි නිගමනය කල නොහැකි බවයි.  සාමාන්‍යයෙන් විමුක්ති දේශපාලනය යන්න අදාල වනුයේ කුමන හෝ පීඩනයකට, මර්දනයකට, වරප්‍රසාද අහිමි කිරීමකට ලක් කරන ලද ජන කොටසකගේ අභිලාෂයන් හා සම්බන්ධව යන්න දෙවැන්නයි.
මෙහිදී සුමිත් චාමින්ද නිර්මාල්ට මග හැරී ගිය ලංකා  සම සමාජ පක්ෂ ව්‍යාපාරය කල අරගලයන් පිලිබඳව ඉතා නිවැරදිව මතක් කිරීමක් කරයි. ග්‍රම්ස්චියානු දේශපාලනයේ ප්‍රමුඛත්වය උපුටා දක්වමින් සම සමාජ අරගලයන් විසින්  කල සංයුක්ත මැදහත් වීම් විමුක්ති දේශපාලනයේ විභවය නිර්මාණය කරන බව නිවැරදිව පෙන්වා දෙයි.
මේ ලිපියේ දෙවෙනි කොටස අගෝස්තු 31 පළවුණු  අතර ඔහු රාමචන්ද්‍රගේ සෝභිත ව්‍යාපාරය ජවිපෙ සිංහල ජාතිකවාදය සමග උපාය මාර්ගික සන්ධානයකට යන බවට කරන චෝදනාවට සිය සහය පල කරයි.
මෙහිදී සුමිත් චාමින්ද කියන මේ මතය "පශ්චාත් යුද කාලින ලංකාව තුල දේශපාලනික ස්ථාවරයන් මත නොව තාක්ෂණික හා උපක්‍රමික තෝරා ගැනීම් මත පදනම්ව දේශපාලන සන්ධාන ගොඩ නැගීම කැපී පෙනෙන ලෙසත් ප්‍රමාණාත්මක  ලෙසත් වර්ධනය විය" යන්නට එකඟ විය නොහැකියි. එසේ වුයේ සරත් පොන්සේකා පොදු අපේක්ෂකයා කල ජනාධිපතිවරණයේදී පමණි. එහිදීද සිටින ජනාධිපති පැරදවීමේ අභිලාෂය  පමණක් වන දේශපාලන ස්ථාවරයක් පැවති  අතර එයින් පසු කිසිම සන්ධානයක් පැවතුනේ නැත.

නව වමේ හැටියට මා  සලකන පෙරටුගාමි සමාජවාදී පක්ෂය රජයට එරෙහි විරෝධතා වලදී සහ මැයි  දින රැලි වලදී සමාජවාදී පක්ෂය (මහින්ද දේවගේ) එක්සත් සමාජවාදී පක්ෂය (සිරිතුංග) හා  නව සම සමාජය සමග එකතු වුවත් සන්ධානයකට ගියේ නැත. ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය හෝ සමජවාදී සමානතා   පක්ෂය කිසිම සන්ධානයකට හෝ පොදු විරෝධතාවයකට එන්නේ නැත. ඔහු කියන මේ සන්ධාන ගොඩ නැගුනේ කොහේද?
එසේම සරත් පොන්සේකා මහතාට යාපනයේ අඩු චන්ද ප්‍රමාණයක් ලැබුණු පමණින් සෝභිත හාමුදුරුවන්ටත් එසේ වනු ඇතැයි පැවසීමත් වැරදිය. පොන්සේකා මහතා යුද්ධය මෙහෙයවූ හමුදාපති නිසා ඔහුට අනිවාර්යයෙන්ම ලැබෙන්නේ අඩු චන්ද ප්‍රමාණයකි. ඒ නිසා සුළු ජාතික පක්ෂ නායකයන් සමග ඇති කර ගන්නා උපක්‍රමික සන්ධානයක් සුළුතර ජනවර්ගවල මුළු අපේක්ෂාවන් නියෝජනය කිරීමක්ම නොවුනත්  ඔවුන්ගේ ආණ්ඩු විරෝධී චන්ද ලැබීමට ඉන් බාධාවක් නොමැත. එහිදී දේවසිරි මහතා නිවැරදිය.

රනිල් හා සෝභිත හිමි එක්ව විහාර හා දේවාලගම් පනතට එරෙහිව ව්‍යාපාරයක් ඇරඹීම හා එයින් විහාරස්ථාන කේන්ද්‍ර කොටගත් ගතානුගතික හා පීඩාකාරී ඉඩම් හිමිකම් රටාව ආරක්ෂා කර ගන්නට හා  එනයින් වාර්ගික-ආගමික බහුතරවාදය  ප්‍රතිස්ථාපනය කරන්නට පරිසරය සකසන බවද සඳහන් කරමින්චාමින්ද මහතා කරන විවේචනය  අපට පිළිගැනීමට හැකිය.
මීළඟට අපට එකඟවිය හැකි නිගමනයක් වන්නේ රාමචන්ද්‍ර විසින් සැප්තැම්බර් 07 පත්‍රයට ලියන ලද ලිපියේ සඳහන් පරිදි, සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයේ වැඩ පිළිවෙල දේශපාලන හා ආණ්ඩුකරන තලයේ ලිබරල් ප්‍රජාතාන්ත්‍රික වටිනාකම් ශක්තිමත් කිරීම අරමුණු කරගත් වැඩ පිළිවෙලක් යන්නයි.

නමුත් ඔහු ඊළඟට (රාමචන්ද්‍ර) එහි සමුළුවකට සහභාගිවූ පිරිස උපුටා දක්වමින් කියන්නේ ඔවුන් සාපේක්ෂව වරප්‍රසාදිත ස්තරයක් ලෙස සැලකිය හැකි උගත් මැද පන්තික සමාජ තීරුවේ බුද්ධිමතුන් ගෙන් සමන්විත ව්‍යාපාරයක් බවයි. මෙය විමුක්ති දේශපාලනයකට බාධාවක් වෙන්නේ කෙසේද යන්න රාමචන්ද්‍ර පැහැදිලි කල යුතුයි. ඔහු අයත් වන දේශපාලන තීරුවේ හැමෝම කම්කරු පන්තියේ හෝ නිර්ධන පන්තියේද? මා  නම් සිතන්නේ එය එසේ නොවන බවයි. ඔහු හඳුන්වන හෝ අයත්වන  නව වමේ එවැනි කම්කරු පන්ති බලයක් සහිත පක්ෂ කීයක්  තිබේද?
රාමචන්ද්‍රගේ ඊළඟ  චෝදනාව වන්නේ මේ ව්‍යාපාරය නව ලිබරල් ධනවාදය වැරැද්දක් හැටියට පෙනෙන්නේ නැති බවයි. මට නම් පෙනෙන්නේ මේ ව්‍යාපාරය තවම ආර්ථිකය හැසිරවීමේ පැත්ත ගැන සාකච්චා කොට නැති බවයි.

එසේම මෙහිදී රාමචන්ද්‍ර කොතරම අපහසු හා අසීරු කාර්යයක් වුවත් දිගු කාලින අරගල  ක්‍රියාමාර්ගය ඇර වෙන විසඳුමක් නැති බව කියයි. එය එසේ වුවත් මෙය කරන්නේ කෙසේද යන්න ගැන ඔහු පැහැදිලි නොකරයි.
සැප්තැම්බර් 14 ජනරලේ,  නිර්මාල් මහතා "මල් නෙලන්නේ" කෙසේදැයි පැහැදිලි කිරීමක් කරයි.
"ඒ සඳහා මම දැනට මම ක්‍රියාමාර්ග දෙකක් යෝජනා කරමි. එකක් නම් මා  මේ ව්‍යාපාරය තුල ම දකින විමුක්ති විභවයන් විකසිත කර ගැනීමට තරම් ශක්තිමත් මැදිහත් වීමක් මේ ව්‍යාපාරය තුලට ඇතුල් කල හැකි පිරිස් වැඩි වැඩියෙන් මේ ව්‍යාපාරය තුලට ගෙන ඒමයි. මෙය සුමිත් හුදෙක් 'පුද්ගලයන්' පිලිබඳ ප්‍රශ්නයක් ලෙස දැක්කත් මා එසේ දකින්නේ නැත. 'ප්‍රමාණය ගුණය වීම' පිලිබඳ න්‍යාය අප සැම  දන්නා දයලෙක්තික ක්‍රමයේ මුලික පිලි ගැනීමකි. " (උපුටා ගැනීම මගෙනි)

මෙහිදී මට සිතෙන විධිහට නිර්මාල් මහතා කියන්නේ මෙවැනි කතාවකි. එංගල්ස් ගේ ඇන්ටි-ධුරින් (1877) ප්‍රකාශනයේ ප්‍රමාණය හා ගුණය ගැන හයවන පරිච්චේදයේ මෙසේ දක්වා ඇත.  එංගල්ස් organic chemistry වල මොලේකියුල කීපයක් රැගෙන  උදාහරණ සපයන අතර පැරෆින් ගැන මෙසේ කියයි.
//සාමාන්‍ය  පැරෆින් වල (CnH2n+2,) අඩුම මොලේකියුල සම්බන්ධය ඇත්තේ වායුවක් වන මීතේන් වලටයි. (CH4) වැඩිම එක හෙක්සඩිකෙන් ය ( C16H34),  එය පාටක් නොමැති තද ක්‍රිස්ටල් වර්ගයකි. මෙම ශ්‍රේණි දෙකෙහිම අලුත් සාමාජිකයන් හැදෙන්නේ  CH2 එකක් එකතු වීමෙනි.  එනම් කාබන් පරමාණුවක් හා හයිඩ්‍රජන් පරමාණු දෙකක් පළමු මොලේකියුල සමීකරණයට එකතුවීමෙනි. මෙම ප්‍රමාණාත්මක වැඩිවීම සෑම අවස්ථාවකම ගුණාත්මක අගයෙන් වෙනස් ද්‍රව්‍යයක් නිපදවයි. -Anti-Dühring by Frederick Engels 1877//
එසේම  මේ ප්‍රකාශනයේ අවසන් හරියේ එංගල්ස් මෙසේ ලියයි.
 //මේ සටහන සමාප්ත කිරීමට අපි තව ප්‍රමාණය ගුණය බවට හැරීම පෙන්වීමට තව එක  උදාහරණයක් ගමු. එනම් නැපෝලියන් ගැනයි. ධුරින් මමෙලුක්  වරු හා ප්‍රංශ හමුදාව අතර සටනේදී නරක අශ්වරෝහකයන් වන මුත් විනය ගරුක ප්‍රංශ හමුදාව ප්‍රමාණයෙන් වැඩි හොඳ අශ්වාරෝහකයන් වන නමුත් විනයක් නැති මමෙලුක්වරු පරාජය කල බව කියයි.  :“Two Mamelukes were undoubtedly more than a match for three Frenchmen; 100 Mamelukes were equal to 100 Frenchmen; 300 Frenchmen could generally beat 300 Mamelukes, and 1,000 Frenchmen invariably defeated 1,500 Mamelukes.”
මාක්ස් සමග බැලුවොත්, කිසියම් නිශ්චිත හා අවම හුවමාරු-අගයන් ( exchange-values) වල එකතුව එය ප්‍රාග්ධනය බවට පත්කරලීම සඳහා අත්‍යවශ්‍ය වන්නාසේ , නැපෝලියන් සමග  බැලුවොත් කිසියම් නිශ්චිත (සංඛ්‍යාවක් ) භට කණ්ඩායමක් හොඳින් පුහුණු කර , විනය ගරුක කර , තමන්ට වඩා සංඛ්‍යාවෙන් වැඩි , අවිනීත හමුදාවක් (ඔවුන් වඩා  හොඳ අශ්වාරෝහකයන් හා සටන්කාමීන් වුවත්) පරාජය කිරීමේ හැකියාවක් තිබෙන්නට පුළුවන්. නමුත් මෙය ධුරින් මහතා කියන දෙයට විරුද්ධව ඔප්පුවන්නේ කෙසේද? නැපෝලියන් යුරෝපයේදී පරාජය වුයේ නැත්ද? ව්‍යාකුල හා අපැහැදිලි ලෙස හේගල් ගේ සංකල්පනාව භාවිතා කිරීමේ ප්‍රතිඵලය නොවේද?//
Anti-Dühring by Frederick Engels 1877

මා  ඉහත උපුටා ගැනීම කලේ නිර්මාල් දේවසිරි මහතා සමග මම එකඟවන බව කියන්නයි. නමුත්  දැන් ප්‍රශ්නය වන්නේ මේ ව්‍යාපාරයට වැඩි වැඩියෙන් එකතුවීමෙන් එයට ලැබිය හැකි ගුණාත්මක වෙනස කුමක්ද  යන්නයි. එය දේවසිරි මහතා පැහැදිලි කර නැත.
පසුගිය  සතියේ ලැබුන අවසාන පුවත්පතේ ඥානසිරි උදම්මිට මහතා රාමචන්ද්‍ර මහතා ඉදිරිපත් කල අදහසම ඉදිරිපත් කල බව මගේ හැඟීමයි. 
නමුත් මේ දේවසිරි මහතාගේ ගුණාත්මක වෙනස්විම පිලිබඳ පැහැදිලි කිරීමේ අඩුපාඩුව හා ඔහුගේ ව්‍යාපාරය දැනට තිබෙන දේශපාලනික හා සමාජ ප්‍රශ්න විසඳීමේ එකම මාර්ගය වන්නේද යන්න ඔහුගේ පැහැදිලි කිරීමක්ද නැත. එසේම සුමිත් චාමින්ද මහතා සහ රාමචන්ද්‍ර මහතාගේ ඉහත  දැක්වූ මතයන්ට ම සහය දැක්වුවද ඔවුන් මේ ප්‍රශ්නය සාර්ථකව (tackle ) විසඳ ගන්න ක්‍රියා මාර්ගයක් ඉදිරිපත් නොකරයි. 

මගේ යෝජනාව:
මා  සිතන්නේ මෙය අවධි කීපයකින් යුතු දිගු ගමනක් වන අතර ඉදිරියෙන්ම ඇත්තේ ජනාධිපතිවරණය හා පොදු අපේක්ෂකයකු තෝරා ගැනීම යන ප්‍රශ්නයයි.  මෙහිදී මේ වගුව ආධාරයෙන් මගේ පැහැදිලි කිරීම කරමි. කාලය y අක්ෂයේත්  අරගල සහභාගිත්වයේ ප්‍රමාණාත්මක වැඩි වීම X අක්ෂයේත් පෙන්වා ඇත. 
මේ සම්බන්ධ අවධීන් මෙසේ දක්වමි.
1. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය 
ආචාර්ය දේවසිරි නිවැරදිව පවසන්නා සේ අප මෙහිදී ඇති හැකි පමණට මේ ව්‍යාපාරයේ ප්‍රමාණාත්මක වැඩිවීමට සහය දැක්වීමක් කල යුතුය. මෙම ව්‍යාපාරයේ  ඉල්ලීම් ලක්ලැව් පාවෙන හැඟවුම්  කාරක (floating signifier) පිළිබඳව හඳුන්වාදුන් පරිච්ඡේදයේ අරගල ක්‍රමය  
(මෙහි D 1.. ආදිය ඉල්ලීම් හෝ ඒ සඳහා වන අරගල) 
මෙන් (දීප්තිගේ, සුමිත් චමින්දගේ ලිපි බලන්න. මෙයට මාද  පිළිතුරක් මගේ බ්ලොගයේ සපයා ඇත. ) පවතින රාජ්‍ය බලාධිකාරයට එරෙහිව සාර්ථකව යොදා ගත හැක. 

2. පොදු පක්ෂ අරගල මෙහෙයුම් මධ්‍යස්ථානය - පසුගිය මාසයේ මට හමුවූ ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ (පෙරටුගාමී සමාජවාදී පක්ෂය නොවේ) සාමාජිකයකු ඇසුවේ මම වාමාංශික  පක්ෂවල සරලම එකතුවක් අපේක්ෂා කරන්නේ ඇයි කියයි. (පෙසපේ එවැන්නකට  සහයෝගය දෙන බව පෙනෙන්නට තිබේ) ඔහුට දිග  පිළිතුරක් ඒ අවස්ථාවේ දීමට නොහැකි වුන අතර එයට පිළිතුර ඇත්තටම මෙයයි. පොදු පක්ෂවල අරගල මෙහෙයුම් මධ්‍යස්ථානයක අවශ්‍යතාවයයි. ඉතාම සරලව ගත්තොත් තම තමන් තුල  ඇති න්‍යායික ප්‍රශ්න, පෞද්ගලික ප්‍රශ්න, සංවිධාන ප්‍රශ්න ආදී සියල්ල කාපට් එක යටට දමා  එකතු විය යුතු වෙලාව මෙයයි. හැම පක්ෂයකම විවිධ අන්දමේ හැකියාවන් තිබෙන අය  සිටිති. වාමාංශික පක්ෂවල මේ සංඛ්‍යාව වැඩිය. 
ඒ අය එකතු කර පිහිටුවන මෙහෙයුම් මධ්‍යස්ථානය ඉහත ව්‍යාපාරයට ඉහලින් ඔසවා  තැබිය යුතුය.

3. අරගල මෙහෙයවීමේ ක්‍රියාවලිය 
මෙහිදී ධනවාදීන් තමන් සතු සියලු සම්පත් උපයෝගී කර ගන්නා  සේ අපට ඇති සීමිත  සම්පත් බොහොමයක් උපයෝගී කර ගත යුතුයි. සරල පක්ෂ එකතුවකට මෙය කල හැකිය. පවතින, සංවිධානය කරන සියලු අරගල නියමිත පරිදි විශ්ලේෂණය කල යුතුයි. ඒවාට සහබාගි වූ ජන සංඛ්‍යාව, පැවතුන කාලය, ඉල්ලීම් වර්ග ලේඛන (වැඩ හොඳින් පරිගණක ගත කොට)  ගත කොට ප්‍රස්ථාර ගත කොට, අරගලය විහිදෙන ස්වභාවය හදාරමින් ඒවා මෙහෙයවිය යුතුයි. මෙය කල හැක්කේ එකතු වීමෙනි. අරගල මධ්‍යස්ථානයේ විශ්ලේෂකයන් අරගල වල සිට ඒවා සංඛ්‍යාගත  කිරීම කල යුතුයි. විදෙස් වල සිටින අයට ඒවා විශ්ලේෂණය (analyse ) කිරීමෙන් උදව් කල හැක. 

4. මෙසේ වන අතර සිදුවීම් ( event ) දෙකක් සිදුවිය හැක. එනම්,

a ) පොදු අපේක්ෂකයා ජය ගැනීම හෝ නොගැනීම හා 
ජය ගත හොත් ඇතිවිය හැකි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පන්නයේ  ආණ්ඩුව 
b ) ජය නොගතහොත් ඇති විය හැකි මර්දනකාරී ආණ්ඩුව 
ඉහත අවස්ථා දෙකෙන් පලවන එකේදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවකට සියලු ප්‍රශ්න විසඳිය නොහැකිය. එහිදී නිර්මාල්  කීවාක්  මෙන් මෙන්ශේවික් පන්නයේ ආණ්ඩුවක් බිහිවීමට ඇති ඉඩකඩ වැඩිය. 
දෙවැන්න විස්තර කිරීම අවශ්‍ය නැත.

5. අරගලය දිගටම මෙහෙයවීම - ඉහත අවස්ථා දෙකේදීම අරගලය දිගටම මෙහෙයවීමේ අවශ්‍යතාවය පැන නැගී. සුමිත් චාමින්ද, රාමචන්ද්‍ර හා උදම්මිට තිදෙනාම මෙතනට අති ධාවනකාරී පිම්මක් පනින්නට යන අතර මෙය කල හැක්කක් නොවේ. 

6. වඩා ඉදිරියෙන් ඇති වාමාංශික  පක්ෂ මුල් තැනට ඒම - අරගල අවස්ථාවන් වැඩි වීම ඒවායේ මෙහෙයවීම අනුව වඩා  සංවිධිත , දැඩි විනයක් සහිත වාමාංශික පක්ෂයක් හෝ පක්ෂ දයලක්තික ප්‍රතිවිරෝධයන් වල විසඳීම  හමුවේ බිහිවනු, හෝ විකාශනය වනු ඇත.

7. ජන අරගලයේ හැරවුම් ලක්ෂය - නිර්ධන පන්තියේ , හමුදාවල, ගොවීන්ගේ  හා ශිෂ්‍යන්ගේ සහභාගිවීමේ ප්‍රමාණාත්මක වැඩිවීමේ ප්‍රතිපලය හා මෙහෙයුම් පක්ෂවල ක්ෂණික එකතුව (Fuse වීම) මගින් එන ගුණාත්මක වෙනස අරගලයේ හැරවුම් ලක්ෂය සනිටුහන් කරනු ඇත.

මෙය තවදුරටත් සංවාද කර ගොඩ නැගිය යුතු තත්වයකි. ප්‍රශ්නය වාමාංශික  පක්ෂ එවැන්නකට  සුදානම්ද යන්නය. 

(උපුටා ගැනීම (https://www.marxists.org/archive/marx/works/1877/anti-duhring/ch10.htm)






Sunday, 12 October 2014

කුරුල්ලා මැරූ අමරකීර්ති

කුරුල්ලා මැරූ අමරකීර්ති 


මගේ යාළුවෙක් වරක් පැවසුවේ  ඔහු එක වරක  කටුනායකින් ලංකාවට එද්දී ගමන් බලපත්‍රය සෝදිසි  කල ආගමන විගමන නිලධරියා  "ඔයා අපේ කෙනෙක්නෙ" කියල කිව්වලු.   මේ කතා කරන්නේ කුලය ගැන බව ඔහු තේරුම් ගත්තේ පසුවය. කොළඹ වැඩි කාලයක් හිටි නිසා සමහරවිට අපට කුලය ගැන හැඟීමක් නැති වෙන්නට ඇති. මෙය නැවත මගේ ජීවිතයේදී  කරලියට පැමිණුනේ මා  දන්නා යෙහෙලියක හා තවත් ශිෂ්‍යයෙකු අතර ප්‍රේම සම්බන්ධතාවය නැවතුනේ කුල ප්‍රශ්නයක් නිසා වීමයි. මෙහි වඩාත්ම විසුළු සහගත තත්වය ඒ දෙදෙනාම සෝවියට් දේශයේ උගත්, ලංකාවේ ප්‍රගතිශීලි යයි කියාගත් පවුල්වල දෙදෙනෙකු වීමයි. ඒ "වාමාංශික  ප්‍රගති ශීලි යයි තමන්ව හඳුන්වාගත් " දෙමාපියන්ම කුලය මත විරුද්ධ වුහ. 
එසේ වතුදු අපට මාක්ස්වාදය කියා දෙන්නේ වෙනත් ආකාරයකටය. මේ පිලිබඳ සුළු විග්‍රහයක් මේ බ්ලොගයේම ප්‍රාග්ධනය ගැන කතා කරන කොට ලියා තිබෙනවා.  වහල් යුගයේ සිට වඩා ප්‍රගතිශීලි වැඩ වසම් ක්‍රමයත් , එය බිඳ දමමින් ධනේශ්වර ක්‍රමයත් බිහිවුණු බව මාක්ස් ඉතා හොඳින් පැහැදිලි කර තිබෙන බව කවුරුත් දන්නා දෙයක්. ධනවාදී වෙළඳ පොලවට අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය , ඒවා විවෘත වෙළඳ පොලේ විකිණීම හා ලාභ ගැනීම. ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය ශ්‍රමය විකුනන අය (හෙවත් කම්කරුවා) හෙවත් ශ්‍රමිකයා ද  එම විවෘත වෙළඳ පොලේම සිටිය යුතුයි. වෙනත් වැඩ වසම් බන්ධන වලින් බැඳුනු ශ්‍රමිකයකු අවශ්‍ය නැහැ. වැඩ වසම් යුගය හා ප්‍රවේනි දාස ක්‍රමය නිමා වෙන්නෙත් ඒ අනුවයි. ධනවාදයේ දියුණුවට උදව් දෙන ඕනේ අයෙකුට එහි ප්‍රතිලාභ ලැබෙන්නේ වෙනත් බැඳීම් අභිබවායි. දිනසිරි කුරුලුගන්ගොඩට වගේ. 

කොටින්ම කුලය වුනත් වැදගත් වෙන්නේ ඒකෙන් මොකක් හරි විකුණා ගන්න පුලුවන්නම් විතරයි. අන්තිමට කුරුලුගන්ගොඩ වලන්ගන්ගොඩ බවට යලි හැරුන වගේ. 
"කුරුළු හදවතේ" මුළු කතාවම ඔය ඉහත දැක්වූ මාක්ස්වාදී තේරුම් ගැන්මට සම්පත වෙලා ලියවිලා තියෙන්නේ කියලයි මට හිතෙන්නේ.

අපි වගේ කට්ටිය දැන් හුඟක් අඩුයි. රේඩියෝ එකේ මොනරතැන්න , මුවන්පැලැස්ස අම්ම තාත්ත එක්ක වටවෙලා අහපු අවසන් පරම්පරාව අපි වෙන්න ඕනේ .  "කට්ටියම රේඩියෝ එක ඉස්සරහ එකතු වෙන්නේ මුවන් පැලස්සට උනත් " කියල අමරකීර්ති ලියන කොට මට මැවී පේන්නේ අපි ෂෝකේස් කියල ඒ දවස් වල කියපු පිගන් බඩු තියෙන අල්මාරිය උඩ  තිබ්බ රේඩියෝව ළඟ ඉඳගන්න හැටි. තාත්තා කළු සුරුට්ටුවක් පත්තු කරගෙන සෙටිය උඩ  කකුල් දෙකත් උඩ දාගෙන  ඉන්න හැටි.  මේ සුන්දර මතකය අමරකීර්ති "කුරුළු හදවත" තුලින් ලස්සනට මතු කරලා ගන්නවා.  

අපි හිටියේ බදුල්ල පැත්තේ ලුණුගල කියන පොඩි නගරයේ. ඒ දවස්වල බස් හතරයි ගියේ පස්සරින් ලුණුගල පහු කරලා බිබිලේට. තේ වතු ලැයිම් එහෙම තිබ්බ නිසා සැහෙන දුප්පත් දමිල ජාතිකයොත් එවැනිම දුප්පත් සිංහල ගම් කීපයකුත් අහල පහල තිබුන වගේ මතකයි. බෙර තමා  හැමතැනම තිබ්බේ.  ගිටාර් එකක් තිබ්බේ පොලිස් ස්ථානාධිපතිගේ ගෙදර. නගරාධිපතිගේ පුතාට තව සංගීත භාණ්ඩ කීපයක් තිබුන.
මේ වෙනස දිනසිරි (කුරුළු) කියන්නේ මෙහෙම. 
"ඇත්තටම රන්දිමා හා මධුවන්ති අතර අක්කයි නංගියි තරම් වන රූපමය සමානකමක් තිබුනත් මධුවන්ති වයලීනය අතට ගත්  විට ඒ සමානකම අතුරුදහන් වෙනවා."
කතාව ගලාගෙන යන්නේ හරියට ඒ දවස්වල තිබ්බේ සින්හල වෙළෙඳ සේවයේ ප්‍රචාරක දැන්වීම් අස්සේ යන අසන්නාගේ ඉල්ලීම් තිරය වගේ විටෙක සුන්දරව, විටෙක ගොරහැඩිව.
"එහෙත් ' මේ දැන් පෝලිමට (ලේ දන් දෙන්න)  එකතු වුනේ ' දිනසිරි කුරුලුගන්ගොඩ බව..පෝලිමේ අය නොදැන සිටීම...කිසියම් උපහාසයකුත් එක්ක අමරකීර්ති ලියන්නේ. 
කුල ප්‍රශ්නෙත් හීන් සීරුවේ මාරුවෙන් මාරුවට උලුප්පනවා. එක කුලේ කට්ටිය මේ වගේ අනික් අයව හොයනවා කියන එක අපි වැඩිය දන්නා දෙයක් නෙමේ. 
"විජිතයිය කිව්වා විද්‍යා පන්තියේ අපේ ජාතියේ කොල්ලෙක් ඉන්නවා කියල. සැහෙන දවසක් හෙව්වට පස්සෙයි දන්නේ උඹ කියලා " සරත් කියනවා දිනසිරිට. ඒ සරත්ම ඊට පස්සේ පේරාදෙණි ගියාට පස්සේ ලියනවා දිනසිරිට ටිකක ඉදිමුන ඔලුවක් එක්ක "සියලු විෂයන්ට බොහෝ පොත පත කියවන නිසාත්, ම කොහොමටත් සිංහල හා ඉංග්‍රීසි දෙබසින්ම පොත් පත් කියවන නිසාත් වැඩි කාලයක් පේරාදෙණියේ ගත කරන...". හම්බෙලා නැත්ද මේ වගේ සියල්ල දත්ලා  පේරාදෙණිය , කොළඹ , විද්‍යෝදය ඉවර කරලා ආපු. විශේෂයෙන්ම දේශපාලනය කරපු. වැඩියෙන්ම ජවිපෙ දේශපාලනය ටිකක් ලඟින් ගිය ඈයෝ.  භාවිතාවයි න්‍යාය යි ඔක්කොම දන්නවා. ඉගෙන ගන්න තව දෙයක් ඉතුරු වෙලා නැති කට්ටිය. 
මෙන්න උත්ප්‍රාසාත්මක ලෙස අමරකීර්ති එයාලව හඳුන්වලා දෙනවා: 
"මේ යුගයේ අප උරමත පැවරී තියෙනවා ඓයිතිහාසික  වගකීමක්. එක පැහැර හරින්න බැහැනේ සහෝදරයා" ලලිත් උද්යෝගයෙන් කිව්වා. ...
..මේ සහෝදරයාගේ නම කවුරුත් දන්නවා. දැක්කනේ කඩේ ගාවදී .
ඒක තමයි. ඒ ප්‍රසිද්ධිය පාවිච්චි කරන්න පුළුවන් යුගයේ ඓයිතිහාසික කාර්යට, දවසේ සුජාත යුතුකමට දායක වෙන්න. " ලලිත් සහෝදරයා ඔහුට සුපුරුදු කතා විලාසෙන්  කියනවා.
මන් හිතන්නේ අමරකීර්ති දිනසිරි  "ඔහේගේ ආච්චිගේ රෙද්ද" කියල කිව්වයි කියල ලිව්වේ නැත්තේ ගම්වල එහෙම නොකියන නිසා වෙන්න ඇති. 
නමුත් ලංකාවේ තිබ්බ දරුණු මර්දනය කාලේ (88-89) ලලිත් ගෙයි, සරත් ගෙයි දිනසිරිගෙයි හමුවීම ටිකක් අභව්‍ය සිදුවීමක් වගේ.  
ඊට පස්සේ එන්නේ 77න් පස්සේ ලංකාවේ සිදුවන පෙරළියත් එක්ක ආපු FM රැල්ල ගැන කතාව.  යමක් විකුණගන්න, විකුණන කට්ටියට ඒ කියන්නේ බහු ජාතික සමාගම් වල සිට සාමාන්‍ය සුළු වෙළෙන්දා දක්වාත්, මහා කම්හල් වල සිට සුළු කර්මාන්ත කරු දක්වාත් විහිදුන හොඳ වෙළඳ සේවයක් හදන්න, බල්ලෝ මරල හරි සල්ලි හොයපු කාලයකදී ආපු රේඩියෝවට දිනසිරි එකතු වෙනවා. කුලය වගේ භේද මේ ධනවාදයට අවශ්‍ය නැහැ. එක හරි. එතන ඒක  ප්‍රගතිශීලියි. හරියට රනිල් වික්‍රමසිංහ වගේ. ඔන්න ඔය ප්‍රගතිශීලි කම වැරදියට වටහා ගන්න අපේ සමහර හිටපු වමේ පක්ෂවල ඈයොත් සිරිකොත පැත්තට මාරු වෙනවා මේ දවස් වල. 
අමරකීර්ති ලියනවා මෙහෙම ඒ ගැන. 
"සිල්ලර බදු වෙලන්දමෙන් ධන කුවේරවූ බිග්එම්  සමගම මියුරු එෆ්එම් ගුවන් විදුලිය ආරම්භ කරද්දී ජනමාධ්‍යය යනු භාණ්ඩ විකිනීමට භාවිතා කල හැකි උපකරණයක් පමණක් නොව විකිණිය හැකි භාණ්ඩයක්ද බවට පත් වන බව වටහා ගෙන තිබුනා. කතා කිරීම, සිනා සීම, විහිළු කිරීම, ගායනය යන සිල්ල විකිණිය හැකි පුංචි පුංචි භාණ්ඩ ජාතියක් බව සමාගමට තේරුණා. ....රේඩියෝ චැනලය නීතිමය වශයෙන් අරඹන්නට අවශ්‍ය කොමිස් දීම්, පගා දීම්, ආරම්භ කර තිබුනේ අවුරුදු ගානකට කලින්."    

හරියට මුදල භාණ්ඩ බවටත් භාණ්ඩ මුදල් බවටත් , භාණ්ඩ මුදල් හා ලාභාංශය බවටත් පරිවර්තනය වෙනවා වගේ බඩහැලගංගොඩ හෙවත් වළන් ගංගොඩ  දිනසිරි , කුරුළු ගංගොඩ හැටියට රුපාන්තරණය වෙනවා.  වැඩක් හරියට කරන්නේ නැතුව සල්ලි හම්බවෙනකොට අර තවම අවිහිංසක කුරුළු ගංගොඩ ගිහින් එපා කියනවා වැඩි සල්ලි. නමුත් ව්‍යාපාරයන් ආයෝජනය කරන්නේ ඉස්සරහ බලා ගෙන. ව්‍යාජ නම් වලින් තැපැල් පත් ලියල මේ වෙළඳ ප්‍රයෝගයේ පලවන් පාඩම දිනසිරිම පටන් ගන්නවා එයාගෙම මුලිකත්වයෙන්. දිනසිරි තමන්ගේ ගම විකුනන්න පටන් ගන්නවා. 
අමරකීර්ති ඩෑෂ් පහරකින් උස්සල දෙනවා මෙන්න මෙහෙම:
"කිරිපිටි ආනයන සමාගම් ඒ කිරි ගමේ කිරි බව කියන්නට, සුවඳ සබන් නිෂ්පාදන සමාගම් ඒ සබන් ගැමි සුවඳ ගැමි සුවඳ විහිදුවන බව  කියන්නට, කෘෂි රසායන ආනයන සමාගම් ඒවා දේශීය ගුණපණ ඇති තෙල් බව කියන්නට ඉල්ලන තාරකාව බවට පත් වුනේ කුරුළු ගංගොඩ. "   

මට එකඟවෙන්න බැරි එකම තැන මෙන්න මෙතන ලියනගේ ලියනවා:
"දිනසිරි කුරුළුගංගොඩ ධනවතෙක් විය" කියල.
ධනවත් කියල කියන්නේ අර වලන් හද හද ජිටපු ගැමි කොල්ල කොළඹ ඇවිත් සමාගමක වැඩ කරලා ටයි පොල්ලක් ගැට ගහ ගත්තට පස්සසේ කොම්පැනියෙන් හම්බ වෙන රතු නිසාන් සනිය අරගෙන ගමට යන නිසාද? ණයක්  අරගෙන ගේ හදන නිසාද? මෙන්න මෙතැන ප්‍රශ්නයක්. දැන් එංගලන්තේ හුඟක් අයට බිරිඳට හා සැමියාට කාරය  බැගින් තිබෙනවා. ණයක්  අරගෙන (mortgage කරලා) ගෙයක් ගන්නවා. අවුරුද්දට දෙපාරක් හෝ තුන් පාරක් නිවාඩු යනවා. දැන් ඒ අය ධනවත්තුද , මධ්‍යම පන්තියද? ඔය හැදෙන්නේ ලංකාවේ මධ්‍යම පංතිය  මිසක් ධනවත්තු නෙමෙයි. ඒගොල්ලෝ එහෙම හිතන් නම් ඉන්නවා ඇති. 
මේක නම් ඇත්ත " හිතේ තියෙන දේවල් කරන්න  අතේ සල්ලි සල්ලි තියෙන එක තමයි ජිවිතේ. -වැඩ සටහන් අධ්‍යක්ෂකගේ කතාව". ලංකාවේ සල්ලි නැතුව මුකුත් කරන්න බැහැ. පගාවක් දීල වැඩක් කර ගන්නවත් බැහැ  නේ. 

අපිව ඔලු තවමත් කුරුවල් කරවන ඉතිහාසයකුත් ගලා යනවා මේ අතර තුර. 
"කමක් නෑ. ප්‍රේම් හිටිය නම් මේ වගේ චැනල් එකක ලොක්ක  වෙන්න තිබුන. ජේවීපී එකේ බිලට දාලා ඇතුළෙන්ම වැඩේ දුන්න වෙනද පුළුවන්. මොකද ඒවගේ දක්ෂයෝ හිටිය නං ජන මාධ්‍ය ඇමති උනත් වෙනද තිබුන " - ප්‍රේමකීර්ති - ජන මාධ්‍ය ඇමතිට - පිස්සුද ඒකනම් කවදාවත් වන්නේ නැහැ. ප්‍රේමකීර්ති ජිවතුන් අතර හිටිය නම්. ප්‍රේමකීර්තිත් බොරු කිව්වද?

"ඇත්තද සර් " දිනසිරි අහනව. "ඇතුලෙන් මැරුව කියන්නේ?"
 "ඒක  කතාවක්. ඇතුලේ ඉන්න උන් බල්ලෝ වගේ පොරකනවනේ තනතුරු වලට "
"මන් හිතුවේ ජේවීපී කියල"
"අප්පේ! එයාල අහිංසකයි කියල නෙමේ මන් කියන්නේ. උනුත් මැරුව කෙළවරක් නැතුව.  බුදු මැරිල්ලක්නේ උන් මැරුවේ. "
මරණ ගාන  හැටියට බුදු ගානක් වෙන බුදු නම දාලා කියන රටක් තමා  මේ. මුල හරියෙම ගෝනවල සුනිල්ට දඬු කොටෙන්  පිඹපු වෙලාවේ අපිත් කාලකන්නි සතුටක් වින්ද. ඒ වෙලාවේ ඒක වැරදියි. නඩු අහලයි මිනිසුන්ට දඬුවම් කරන්නේ ඕනේ කියල අපිට හිතුනෙත් නැහැ. දැන් ඒක සිය දහස් ගුණයෙන් වැඩි වෙලා. සැක කාරයෝ ආයුධ පෙන්වන්න යනව විතරයි. ගංගා වල ඔහේ ගිලෙනවා. එකනම් පටන්ගත්තේ 71 කාලේ ඉඳන්. අපිත් මේ හැම දේටම වරද කාරයෝ. කට වහගෙන හිටියට. 
දැන් සිද්ධවෙන අන්තිම  ජරා ජීරණ වෙළඳ  පිළිවෙත් ගැනත් කියවෙනවා මේකේ.

"මියුරු එෆ් එම්  නිවෙදිකාවකට ඉව අල්ලන ඇමති කෙනෙක් සිය අමාත්‍යංශයට අයත් කොන්ත්‍රාත් ලබා දෙන්නට හොඳටම ඉඩ ඇති නිසා රොහාන් විමලවීර ඇය (දිනසිරි හා වැඩ සටහන් අධ්‍යක්ෂකගේ සමාගම -පැහැදිලි කිරීම මගේ ) සිහල කලා අධ්‍යක්ෂිකාවක් බවට පත් කොට සුළු මාසික දීමනාවක් දෙමින් කල් යල් බලමින් ඉන්නවා. තව ටික කාලයක් ඇතුලත මේ සුරූපී යව්වනිය කන්‍යාභාවය පිලිබඳ ගතානුගතික අදහස් අත් හළ  වහාම  ඒ අමාත්‍යංශයේ දැන්වීම වැඩ සිහලකලා වෙත ඒමට නියමිතයි."

මුත්තු ආතට කිව්වා නම් අනේ අප්පේ,  අපි කමතේ නිකන් ඇල්ලුවා විතරනේ බොල කියල කියයි නේද?

පහත වචන පේලියෙන් ලංකාවේ වමේ දේශපාලන පක්ෂයක භාවිතාවේ සහ න්‍යායේ තිබ්බ පරතරයත් , එනමුත් ඒ පක්ෂවලම සිටි හිත හොඳ අහිංසක පරාර්ථකාමී සගයනුත් ගැන අපට යලිත් මතක් කිරීමක් කරනවා.
"ලලිත් සහෝදරයා කොච්චර කිව්වත් මට ඒත්තු ගියේම නෑ. එයාල කටපාඩන් කරගෙන මොනවාද කියනවා වගේ තමයි මට පෙනුනේ "
"එහෙම තමයි සමහරු. උද ඉන්න කවුරුහරි කියන එක ගිරව් වගේ කියනවා මිසක් තමන්ටත් හිතන්න පුළුවන් කියල දන්නේ නැහැ. "

හැබැයි ඒ ඉතිහාසයේ අමතක නොවෙන, අර කුමාර කෙනෙක් ඉල්ලුවත් අනිත් අය සමාව නොඉල්ලන එකම දෙයට කිසියම් සාධාරණයක් ඉටු කරනවා අමරකීර්ති.

"ආයේ දවසක්  එනවා කිව්වා මාව හම්බවෙන්ඩ පුස්තකාලේ ගාවට. මන් ගියේ නෑ. එයා එන්ඩත්  නැතුව ඇති. ආවනං ගෙදර හරි එනවනේ. - දිනසිරි කිව්වා."
"ලලිත් සහෝදරයා ආවා. අපහු ගියේ නෑ. පුස්තකාලේ ලනගට එනකල් ....එකෙන් ෆලෝ කරලා ලලිත් සහෝදරයාව ගත්ත. කාව  හම්බවෙන්ඩද  කියල ඇහුව. ඒත්  කිව්වේ නෑ."
පාවා නොදී පොළවට පස්වුනු (පස්කල) ජිවිත ගැන සමාව ඉල්ලන්න අමාරුයි.

ජාතික විමුක්ති අරගල හරියන කාලෙකුත් තියෙනෙව. වැරදෙන කාලෙකුත්  තියෙනව. මේ එහෙම වැරදෙන කාලයක්.
"නෑ මන් කිව්වේ අපි කැරැල්ල ගහන්ඩ පාවිච්චි කරපු වචනම අරගෙන කෘෂි සමාගම් , සබන් සමාගම්, රෙදි සමාගම් ගමට එනවා. විප්ලවේ කරන්නේ අපිද එයාලද කියල හිතන්න බැරි විධිහට". අනික් පැත්තෙන් ඒ වචනම පාවිච්චි කර කර ජාතිකවාදීයෝ පෙළපාලි යනවා. "සරත් අඳුර දෙස බලාගෙන කිව්වා. 

ඊළඟට එක්තරා වාමාංශික දේශපාලන පක්ෂයක් (ඔබටත් මටත් හිතා ගත හැකි) ගැන පොඩි සඳහනක් කරන අමරකීර්ති මෙසේ කියනවා. (ඉංග්‍රීසියෙන් ඇඟට  නොදැනෙන්න පොඩි swipe එකක් ගන්නවා  කියන්නේ මේකට)  
"මනොවිශ්ලේෂණය න්‍යාය ජනප්‍රිය කල දේශපාලන කණ්ඩායමක් තමන් හැර අනුන්ගේ මනස් විශ්ලේෂණයෙන් ලබන කුරිරු ප්‍රීතියට තමනුත් ආකර්ෂණය වෙමින් ඉන්න බව සරත්ට දැනෙනවා. "
මටනම් කියන්නේ තියෙන්නේ ඔබත් විශ්ලේෂණ කරන්න ඔවුන්ගේ. ප්‍රතිවිරෝධය ඇතිවෙන්නේ එතනින්නේ.

දැන් අවුරුදු ගානක් පොස්ට්කාට් (දිනසිරිගේ වචනෙන්) ලියල තමන් පෙලූ කුලය හා බැඳුනු වලන්ගන්ගොඩ නම දිනසිරි ඉවත් කරගෙන කුරුලුගන්ගොඩ  ජනප්‍රිය කර ගන්නවා. භේද නොසලකන ශ්‍රමය හා ලාභය පමණක් වැදගත් ධනවාදය ඔහුව අමරකිර්තිගේ වචනෙන් ධනවතෙක් කර අවසන් කඩුල්ල පනින්න වලව්කාර  කෙල්ලෙකුත් සෙට් කර ගන්නවා. නමුත් ඒ ධනවාදයම  කුලය මාකට් කරනවා කියල කුරුළු හෙවත් දිනසිරි තේරුම් ගන්නකොට පමා වැඩියි.
ගමේ නම නැවත වළන්ගන්ගොඩ කියල ඒගොල්ලම ගහ ගන්නවා. මොකද බස් පිටින් බිස්නස් එන්නේ එහෙම කලොත් විතරයි. මතක තබා ගන්න. බස් වලින් මිනිස්සු නෙමෙයි එන්නේ. බිස්නස්. 

ඊට පස්සේ ඉතින් ඉස්සර කොළඹ ලොකු විද්‍යාල වල විතරක් තිබූන දැන් හැම මාධ්‍ය මහා විද්‍යාලයකම, නගරයකම (මේක හොඳ දෙයක්) තිබෙන ස්විමින් පූල් එකකට බැහැල පිහිනීම ඉගෙන ගන්න වරප්‍රසාදයක් නොතිබුණු දිනසිරි කුරුළු ගංගොඩව දියවන්නා  ඔයේ  ඔබල මරල දානවා අමරකීර්ති විසින්. 
ඒක  හරි තර්කාන්විත අවසානයක් . වෙන ඉවර වෙන්න විධියක් නැහැ ඒ ගිය විධිහට. මේ යන විධිහට, චන්ද වැටෙන විධිහට  ලංකාවේ  වැඩි හරියක් දියවන්නා  ඔයේ ගිලිලා මැරෙයි වගේ. 

මට හිතා  ගන්න බැරි මේ පොතට ආණ්ඩුව විසින් පත් කල කොමිටියක් මගින් පලවෙනි තැන තෝරා  ගැනීම ගැන.  ජයවේවා මහත් වරුනි. 

මට තව ගොඩක් ලියන්න තිබුනත් බ්ලොගය දිග වැඩි වෙන නිසා නතර කරනවා මෙතනින්.  මට දැන් කම්මැලියි තව ලියන්ඩ. හෙට ළමයිව ඉස්කෝලේ ගිහින් දාන්න  ඕනේ, කුටුම්භ සංරක්ෂණය සඳහා වෙහෙස වීමට මිසක් තව ලිවීමට කාලයක් නැත. මේක ආත්මාර්ථකාමී කමක්.

 ඒ නිසා මෙහි ම ලිවූ දෙයින් පිටත දෙයක් නැත.

ඩෙරීඩා "ඔෆ් ග්‍රමටලොජි - Of Grammatology" එකේ ලියල තියෙන්නේ il n’y a pas de hors-texte” හෙවත් “there is no outside-text” හෙවත් ලිවූ දෙයින් පිටත දෙයක් නැත කියලනේ.


කුරුළු හදවත - ලියනගේ අමරකීර්ති

This book is available to buy from Agora art Circle London.
උපුටා ගැනීම් ස්තුතිය: 
1. කුරුළු පින්තුරය: http://uncyclopedia.wikia.com/wiki/File:Dead-bird-feet-up.jpg
2. ඩෙරීඩා වාක්‍යය: https://www.inkling.com/read/the-philosophy-book-buckingham-1e/chapter-6/jacques-derrida-19302004 

Thursday, 9 October 2014

ඕන් ඉන්නවෝ ඕන් නැතෝ කුමාර්

මම පුංචි කාලයේ මගේ ආදරණිය පියා මා නින්දට යනතුරු කිවූ කතාවක් තවම මතකය.  එක්තරා ගොවියෙක් තම කිව්වා නාහන පුතා ගොවිපල ලඟම තිබෙන වතුර පාර සැර  දොලකට තල්ලු කලේ "යන අහක පල කියාය." පීනන්ට බැරි පුතා දොළ පාරෙන් වතුර පාරට වැටී "මාව බේරා ගනියෝ " කෑ ගසමින් පාවී යන විට තව ගොවියෙක් බේර ගත්තා. අරගෙන ගොවි ගෙදරට අරන් ගියා. කොල්ලගෙන නම ඇහුවම පොර  කිවේ "ගියෝ" කියල. ගොවි බිරිඳටත් සතුටුයි. දිග දෙන වයසේ දුවෙකුත් ඉන්නවනේ කියල. කොල්ල ගොවි බිරිඳට කිව්වේ පොරගේ  නම "ඉන්නවෝ ". ගොවි දියණිය ටත් මාර ජොලි. වේලි වේලි හිටිය මට කොල්ලෙක් ගෙදරටම ගෙනත් දුන්න කියල  දෙය්යන්ට පානකුත් පත්තු කරලා.  කෙල්ලට අපේ පොර නම කිව්වේ "ආවෝ" කියල.
මාස කීපයකට පස්සේ මේ කිව්වා නාහන කොල්ලට එක තැන ඉන්න එක අරහන්. පොර ගොවියගේ බෝට්ටුවත් අරන් පැනල යනවා. තුන් දෙනාම දැන් කොල්ල හොයනවා.
ගොවි තාත්ත කෑ ගහනවා "ගියෝ " "ගියෝ " කියල. කෙල්ලයි අම්මයි දුවගෙන ඇවිල්ල කොල්ල ඉන්න වද කියල බලල ගොවියට බනිනවා " අපි දන්නවනේ යකෝ මිනිහෝ කොල්ල ගිහින් කියල". ඊළඟට ගොවි බිරිඳ කෑ  ගහනව "ඉන්නවෝ" "ඉන්නවෝ "කියල. අනිත් එවුන් දෙන්න දුවල  ඇවිත් බලල ගොවි බිරිඳ ට බනිනවා "කෝ ඉන්නවා කිව්වේ. ඔහෙට පිස්සුද අරකද මේකද " කියල.
ඊළඟට ගොවි කෙල්ල හොයනවා කොල්ලව. " ආවෝ " ආවෝ" රත්තරනේ කිය කිය". ගොවියයි බිරිඳයි ඒක ඇවිල්ල දුවගෙන ඇවිත් බලපුවම කවුරුත් නෑ. දෙන්නම අල්ලල තඩි බානවා කෙල්ලට.

දැන් මේ කථාව ඔළුවට ආවේ මේ කුමාර් මහත්තය හෙවත් කුමාර් ගුණරත්නම් නමැති පෙසපේ නායකයා ගැන පලවෙන නිව්ස් දැකල.

ඔන්න අද එනවලු කටුනායකට. ඔන්න හෙට එනවලු බෝට්ටුවකින් යාපනේට. අන්න ගිය පාර හැංගිලා ගියාට ගියේ නෑලු. දැන් ඉන්නේ ඉන්දියවෙලු. ඕවගේ කතා.
තව කවුද කිව්වා එයා ලංකාවෙන් ගියේම නෑලු. වෙන කාටද ඕස්ට්‍රේලියන් පොත විකුණලා හොඳ ගාණක් අරගෙන ලංකාවේම  ඉන්නවලු. සමහර පක්ෂේ කස්ටියත් දන්නේ නැතිලු.
කවුරුහරි හොයන්න එනකොට "මේක ගුනේ අයියාගේ බජව් දාන කාමරේ " කියන සින්දුව හයියෙන් දානවලු. එන කට්ටියට ඇහෙන්න.

කුමාර් ගුණරත්නම් බලාගෙන ගියාම ක්වන්ටම් අංශුවක් වගේනේ. මේ ඉන්නවා . මේ නෑ. මොන ඩයමෙන්ෂන් එකේ ඉන්නවද කියලා හොයා ගන්නත් බැහැ.

දැන් අනුර කුමාර බැලුවොත් , හොයා ගන්න හරිම ලේසියි. එක්කො පුටුවක කැරකි කැරකි සම්මුඛ සාකච්චාවක් දෙනවා. එක්කෝ මේං එංගලන්තේ ඉන්නවා. ඊට පස්සේ කටාර් වල කැරකෙනවා. පත්තරයක් බැලුවොත් ඉන්නවා බැබලි බැබලි.

දීප්ති කුමාර බැලුවොත් ඔය ගල්කිස්ස රත්මලාන පැත්තේ බැලුවොත් ඉන්නවා ඇති. නැත්නම් හේගල් සම්මන්ත්‍රණයක් පැත්තට , සිනමා, පොත් විචාරයක් කරන තැනකට ගියොත් හොයා ගන්නත් පුළුවන් මන් හිතන්නේ.

කුමාර් ගුණරත්නම් ලංකාවට ඇවිත් ජනාධිපතිවරනෙට ඉල්ලුවොත් ඉස්සෙල්ලම බ්ලාස් වෙන්නේ මහා ආචාරි  නිර්මාල් ගේ සාධාරණ සමාජයක් ව්‍යාපරේට යි සෝභිත හාමුදුරු මහත්තැන් ටයි. .  ඊට පස්සේ අනුර කුමාර ඉල්ලන්න ඉන්නවනම් එයාට දෙන්න හිතන් ඉන්න පෙසපේ චන්ද ටික හැලෙනවා. කට්ටිය එකතුවෙලා ඉල්ලුවත් ඒත් චන්ද ටිකක්‌  කැඩෙනවා.

ඒ කියන්නේ ඔය කොච්චර කිව්වත් කුමාර් ව ලංකාවට ගෙන්නන්න කාටහරි ඕනේ ඇති. එහෙම නැත්නම් ශික් මේ ජවිපෙ ගුණ්ඩු ගිලල එලෙව්වේ අපරාදේ කියල හිතෙනවා ඇති.

හොයා ගන්න එක තමා ප්‍රශ්නේ.

"ආවෝ " "ගියෝ" ඉන්නවෝ "





Tuesday, 7 October 2014

මුදලේ අගය , ප්‍රාග්ධනය හා BRICS

මුදලේ අගය  , ප්‍රාග්ධනය හා BRICS -
මුදල් සංසරණය වන ආකාරය පිළිබඳව හා ලාභය ප්‍රාග්ධනයට පරිවර්තනය වන ආකාරය සාකච්චා කලේ අන්තිම ලිපි දෙකේදී (ප්‍රාග්ධනය පිළිබඳව). මෙහිදී මේ මාතෘකාව තවදුරටත් ඉදිරියට ගෙනයමින් ප්‍රාග්ධනය පොතේ පරිච්චේද 5 හා 6 ඇසුරින් BRICS රටවල් ගැන හා එයින් සිදුවන්නට යන්නේ කුමක්ද ගැන පැහැදිලි කිරීම මෙම ලිපියේ අරමුනයි.

අපි දැන් සමීකරණ තුනක්  දන්නවා. එක, C–M–C එනම් භාණ්ඩ මුදලට පරිවර්තනය වීම (හුවමාරු වටිනාකමක් ගැනීම) හා එය නැවත එම මුදල භාවිතා කර භාණ්ඩයක් ගැනීම. දෙක, M -C -M , එනම් මුදල් ළඟ තබාගෙන භාණ්ඩයක් ගැනීම , එය නැවත විකුණා මුදල් කර ගැනීම. තුන, සමීකරණ දෙකක්  විධිහට තියෙන්නේ. එනම් M - C - M', ( ලකුණ ' බලන්න. ඉන් අදහස් වන්නේ දෙවන මුදල පලවන මුදල් අගය හා සමාන නොවන බවයි. එනම් මුදල' හෙවත්  M' = M + ΔM.
මෙහිදී ΔM යනු ලාභය බව පැහැදිලි කලා.
දැන් අපි බලමු ව්‍යවහාර මුදලේ (currency of money) ප්‍රවේගය කියන්නේ මොකක්ද කියල.  ඒ කියන්නේ නියමිත කාලයක් තුල කිසියම් ව්‍යවහාරික මුදල් ප්‍රමාණයක් (ඩොලර්, පවුම් වැනි) සංසරණ ක්‍රියාවන් වාර කීයකට මැදිහත් වෙනවද (ගමන් කීයක් කරනවද) යන්න.
අපි හිතමු කිසියම් භාණ්ඩ හතරක් සංසරණය වීම සඳහා දවසක් ගන්නවා කියල. ඒවා සඳහා එකතු  විය යුතු මුදල (පවුම්) £8 නම්,  මුදල් කෑලි  2 ක සංසරණ වාර ගණන   (number of moves ) හතරකි. එතකොට සංසරණ වන මුදල් ප්‍රමානය (පවුම්) £2 කි.  
උදාහරණය: අපි හිතමු පහත සඳහන් භාණ්ඩ හතර තැන්  කීපයක විකිනීමට තිබෙනවා කියා.  හාල්  කිලෝ එකක්,  රෙදි යාර  20ක්, පොතක් (වටින එකක්- මාක්ස් මෙහිදී බයිබලය යොදා ගනී.), සහ VSO අරක්කු බෝතලයක්. මේ හැම එකකම අගය £2, කියා සිතුවොත් සාක්ෂාත් (එකතු විය යුතු ) කරගත යුතු මුළු මුදල   £8 කි. එනම් £8ක මුදල් ප්‍රමාණයක් සංසරණයට යා  යුතුයි.  හැබැයි මේ ක්‍රියාදාමය  රුපාන්තරණය (metamorphose)   වන්නේ මෙසේ නම්:  හාල්  කිලෝ එකක් -£2 -  රෙදි යාර  20ක් - £2 - පොතක් -£2 - VSO අරක්කු බෝතලයක් - £2, මේ ක්‍රියා දාමයේදී £2  විසින් මේ භාණ්ඩ එකක් පසුවට එකක් වශයෙන්  සංසරණය සිදු කරන බව පෙනේ. අන්තිමේදී භාණ්ඩ  හතරේම මුළු මුදල වන £8 සාක්ෂාත් කර ගැනීමෙන්  අනතුරුව  වයින් කඩේ හිමිකරු ගේ සාක්කුවට  අන්තිම £2 යයි. මෙහිදී මේ £2 සංසරණ ක්‍රියා වාර හතරකට සහභාගී වේ.  (make four moves) 
මේ නිසා සංසරණ ක්‍රියාවලියේදී  දී තිබෙන නිශ්චිත කල සීමාවක මේ සම්බන්ධය තිබේ:
සංසරණ මාධ්‍යය හැටියට භාවිතා වෙන මුදල් ප්‍රමාණය = භාණ්ඩවල මිල ගණන්වල එකතුව /(බෙදීම)  එකම වර්ගයේ මුදල් කාසි වලින් කරන සංසරණ වාර ගණන (£2=£8/4). මේ නියමය සාමන්‍යයෙන් ගත් කල නිවැරදි බව මාක්ස් ප්‍රග්ධනයේ සඳහන් කරයි.

ව්‍යවහාරික මුදල යනු නියත සහ නැවත නැවතත් ඒකාකාරී ලෙස සිදුවන එකම ක්‍රියාවලියයි. භාණ්ඩය  සැමවිටම විකුනන්නා අත ඇති අතර මුදල් , මිලදී ගැනීමේ මාධ්‍යය ලෙස මිලදී ගන්නා අත පවතී. මිලදී ගැනීමේ මාධ්‍යය ලෙස මුදල කටයුතු කරන්නේ භාණ්ඩයේ මිල සාක්ෂාත් කර දීමෙනි.  කඩදාසි  මුදල්  රත්රන් සංචිත හෝ (කාසි ) මුදල් නියෝජනය කරයි. භාණ්ඩවල අගය එක හා  ප්‍රමාණයක අගයෙන් ප්‍රකාශනය කරන අතර කඩදාසි මුදල් එම අගයම (රත්රන් වල) සංකේතීයව  ප්‍රකාශ කරයි. එනම් කඩදැසි මුදලද අගයේම සංකේතයකි.

භාණ්ඩ සන්සරණයේදී මේ නිසා සිදුවුයේ කුමක්ද? නිෂ්පාදිත භාණ්ඩය විකුණුවේ වෙනත්  දෙයක් මිලදී ගන්නට නොව භාණ්ඩය වේශය මුදල් වේශය බවට පත් කිරීමටයි. මේ ක්‍රියාදාමයේ ප්‍රතිඵලය නම් මුදල් නිදන් ගත කිරීම (ගොඩ ගසා  ගැනීම  - hoard) බිහිවීමත් විකුනන්නා  මුදල් ගොඩ ගසා ගන්නා  බහිරවයා ( hoarder) බවට පත් වීමත්ය. 

දැන් මාක්ස් ගේ උපුටා දැක්වීමක් බලමු: "1740 ගණන්වල ජිවත් වුන ජෙකොබ් වැන්ඩර්ලින්ට් ගේ ආශාව වුනේ භාණ්ඩ වල මිල ඒ ඒ රටේ තිබෙන රත්රන් හා රිදී සංචිතය මත තීරණය කරන්න. නමුත් ඔහුට ඉන්දියාවේ භාණ්ඩ මෙපමණ මිල අඩු ඇයිද යන්න ප්‍රහේලිකාවක් වුණා. (දැනුත් ඉන්දියාවේ ආහාරවල මිල එහෙම සාපේක්ෂව හුඟක් අඩුයි. )  පිළිතුර: ඉන්දියානුවන් තමන්ගේ මුදල් වළ දැමීම නිසා. වැන්ඩර්ලින්ට් කියන්නේ,  1602 සිට 1734 දක්වා  ස්ටර්ලින් පවුම් මිලියන් 150 ක් වටිනා රිදී ඔවුන් වල දැමු බවයි. මේ රිදී මුලදී ඇමෙරිකාවේ සිට යුරෝපයට ගෙනා ඒවායි . 1856 සිට 1866 දක්වා අවුරුදු දහය තුල එංගලන්තය £120,000,000 වටින රිදී ඉන්දියාවට හා චීනයට අපනයනය කර තිබුණි. (ඒවා ලැබී තිබුනේ ඕස්ට්‍රේලියානු රත්රන් වලට හිලව්වටය. ) චිනයට අපනයනය කල රිදී බොහොමයක්ද ඉන්දියාවට පසුව ලඟා වුනි. "
කොලම්බස් 1503 දී ජැමෙයිකාවේ සිට එවූ ලියුමේ මෙසේ කියයි. - "රත්රන් කියන්නේ පුදුම දෙයක්. එය අයිති ඕන කෙනෙක් තමන්ට අවශ්‍ය ඕන දෙයක් ගැන ස්වාමියෙක් වෙනවා. රත්රන් තියනවනම් තමන්ගේ ආත්මය වුනත් ස්වර්ගයට යවා  ගන්න පුළුවන්. "

සංසරණයේ අවශෝෂණ බලය තුල දියවීමට අවශ්‍ය සමස්ත මුදලේ අගය කාසි වලින් බැලුවොත් එම මුළු අගයට වඩා රටක රත්රන් හා රිදී සන්චිතය වැඩි විය යුතුයි.  මේ වැඩි ප්‍රමාණය ( gold and  silver reserves) මුදල් සංසරණයට දැමීමට (රටක)  හෝ සන්සරණයෙන් ඉවත් කර ගැනීමට අවශ්‍ය කරන සාධකය වන අතර බැංකු රත්රන් වලින් පිරි ඉතිරි නොයන්නට හේතුවක්ද වෙයි.  

දැන් අපි බලමු රන් රටවල් වල රන් සංචිත ප්‍රමාණයන්. 
විකිපෙඩියා වලින් ගත් දත්ත අනුව (ටොන් වලින්)  ජුනි 2014 දක්වා :
ඇමෙරිකා  එක්සත් ජනපදය (1 ස්ථානය )- 8133.5 
ජර්මනිය (2)- 3384.2
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (3) - 2814.0
ඉතාලිය (4) - 2451.8
ප්‍රංශය (5) - 2435.4
එක්සත් රාජධානිය (18 ස්ථානය )  310.3 
BRIC රටවල් හතර:
රුසියාව (6) - 1094.7
චීනය (7) - 1054.1
ඉන්දියාව(11) -557.7
බ්‍රසීලය (41) - 67.2 

බ්‍රික් රටවල් රත්රන් සංචිත  හතරේ එකතුව: ටොන් 2773.7  මෙය රටවල් බොහොමයකට මුල්‍යාධාර ලබාදෙන IMF හෙවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සිටින තෙවන ස්‌ථානයට  ලඟයි. 
 රුසියාව කියන ධනවාදී රටේ පාලකයා වන පුටින් ඉගෙන ගත්තේ අපි සෝවියට් දේශයේ සිටි කාලයේමයි. ඒ නිසා ඔහු මාක්ස්වාදය උපාධියට (මොන උපාධිය කෙරුවත්) අනිවාර්ය විෂයක් නිසා හදාරන්නට ඇති.  ඔහු තමා  මේ BRICS රටවල ගාමක  බලවේගය.  ඔහු යෝජනා කලා පසුගිය පාපන්දු ලෝක කුසලානය අතරවාරේ  තිබ්බ BRICS සමුළුවේදී ඩොලරය අත හැර නව මුදල් ඒකකයක් භාවිතා කරන්නට.  මාක්ස් කිව්වා වගේ ඔවුන්ට තම  රටවලට මුදල් ඒකකයක් හඳුන්වා දීමට බැරි කමක් නැහැ. 
 එහෙම වුනොත් මොකද වෙන්නේ. රුසියාවේ පුටින් හා චීනයේ උප අගමැති ශාන් ගෝලී ඩොලර් බිලියන් 70 වටිනා ගෑස් නල මාර්ගයකට ගිවිසුම් අත්සන් කල අතර පුටින් යෝජනා කලේ දැනට බාටර ක්‍රමයට මේ රටවල් හතර අතර භාණ්ඩ හුවමාරු කර ගන්නටයි. (මාක්ස්ගේ පොතෙන් පිටුවක් හොරා  ගන්නා  ධනවාදී හොරෙක්ද?) මේ රටවල් හතරේ ඇත්තේ අති විශාල වෙළඳ පොලක්. 

දැන් බලමු මේ රටවල් වල බාහිර ණය: 
ඇමෙරිකා  එක්සත් ජනපදය (1 ස්ථානය - බාහිර  ඩොලර්  $ 17,754,467,569,229.71 (ට්‍රිලියන්  17) 
එක්සත් රාජධානිය (2 ස්ථානය )  බාහිර නය $ 9,590,995,000,000 - ට්‍රිලියන් 9 
ජර්මනිය (3) - $  5,546,869,000,000 
ප්‍රංශය (4) 5,750,152,000,000
චීනය (18) - $ 863,200,000,000 -බිලියන්  863
රුසියාව (20 ස්ථානය) - $ 715,819,000,000 - බිලියන් 715
ධනවාදී ලෝකයේ ඉහලින්ම සිටින එක්සත් ජනපදයේ හා අනිත් රටවල් දෙක තුනේම  ට්‍රිලියන් ගානක් වෙත්දී රුසියාව හා චීනයේ එය හුඟක් අඩුයි.  ශ්‍රී ලංකාව සිටින්නේ 71 වන ස්ථානයේ. ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයෙන් (GDP)  36% නය. ඉන්දියාවේ එය 20%, චීනයේ 37.5%, බ්‍රසීලයේ 15%, රුසියාවේ 23%. එක්සත් ජනපදයේ නය  දල ජාතික නිෂ්පාදනයෙන් 106% ක්. එංගලන්තයේ 406% ක්. 

දැන් BRICS වැඩේ හරි ගියොත් ඇමෙරිකාව ප්‍රමුඛ  ගෝලීය පැරණි ධනවාදී කොම්ප්‍රෝදෝරු අධිරාජ්‍යට වදින්නේ මරු පහරක්.  එතකොට පුටින් බ්‍රසීලයේ අවසන් වෙච්ච තරගය බලා  තමාගේ ජෙට් යානයෙන්  උක්රයිනය  උඩින් ඇවිත් පැය භාගයකට පසුව එවැනිම යානයක් (රුසියානුවන් අතින්ම වුණා  යයි මාධ්‍යන් පුපුණ පුපුණ කියන) බිඳ හෙලුනේ අහම්බයෙන්ද? ලුමුම්බාගේ යානය කඩා වැටුනේ අහම්බයෙන්ද?  පුටින් ඉවත් කෙරුවොත්  එන නායකයා  වන මෙද්වෙදෙව් එතරම් තද අයෙකු වත් මෙවැනි බලා  පොරොත්තු ඇත්තෙක් වත් නොවන බව හැමෝම දන්නා දෙයක්.

දැන් අපි මෙතනට පොඩි හේගල්ගේ දයලේක්තික ප්‍රතිවිරෝධයක් දාමු .  ඩොලරය ප්‍රමුඛ ලෝක ආර්ථිකයට විරුද්ධව එවැනිම රත්රන් සංචිතයක් ඇති රටවල් හතරක් වෙන මුදල් ඒකකයක් භාවිතා වීම තුල පැන  නගින ප්‍රතිවිරෝධය විසදෙන්නේ කෙසේද? 
ඩොලරය, පවුම හා යුරෝව මෙන්ම ජපානයේ යෙන්ද   මෙතෙක් කල් භාණ්ඩයක් හැටියට මායාකාරී ලෙස භාවිතා වුනි. මුදල භාණ්ඩයක් නොවන අතර ධනවාදී ආර්ථික විශේසඥයන් අපිට කියන්නේ මුදල භාණ්ඩයක් බවයි. මේ මායාකාරී භාණ්ඩයට තවත් අභියෝගයක් එක්කර  පුටින් විසින් ගොඩ නගන්නට බලාපොරොත්තු  වන විකල්ප අධිරාජ්‍යය යුද්ධයකින් කෙළවර වෙයිද?
වෙළඳ පල සඳහාවන  වන තරගයේදී අධික නය බර ඇති රටවල් හා නය අඩු රටවල් අතර ප්‍රති විරෝධය විසදෙන්නේ කෙසේද?
ප.ලි:
දකුණු අප්‍රිකාව - මෙය බ්‍රසීලයට වඩා රත්රන් නිෂ්පාදනය කරන රටකි. රත්රන් සංචිතය 125.1 වන අතර සොයා ගන්න රත්රන්  බහු ජාතික සමාගම් යටතේ එක්සත් රාජධානියේ හා එක්සත් ජනපදයේ විකුණති. දකුණු අප්‍රිකාව 2011 දී BRIC කණ්ඩායමට එකතු වුනි. බාහිර ණය  $137,500,000,000. දකුණු අප්‍රිකාව අත හැරියේ ඕනෑ කමිනි. දකුණු අප්‍රිකානු ආණ්ඩුව අමෙරකා එක්සත් ජනපදයේ අවශ්‍යතා කලාපයේ තදින් ඉටු කරමින් සිටින රටකි. 
 මුලාශ්‍ර:
ලාභය ප්‍රාග්ධනයට පරිවර්තනය වන ආකාරය පහත ලිපියෙන් පැහැදිලි කිරීමක් කලා.

http://kolambagamaya.blogspot.co.uk/2014/07/blog-post_10.html

මුදලේ සංසරණය ගැන පැහැදිලි කිරීම ඇත්තේ මෙතන. http://kolambagamaya.blogspot.co.uk/2014/05/1-7.html

http://en.wikipedia.org/wiki/Gold_reserve

http://en.wikipedia.org/wiki/List_of_countries_by_external_debt