Tuesday, 7 October 2014

මුදලේ අගය , ප්‍රාග්ධනය හා BRICS

මුදලේ අගය  , ප්‍රාග්ධනය හා BRICS -
මුදල් සංසරණය වන ආකාරය පිළිබඳව හා ලාභය ප්‍රාග්ධනයට පරිවර්තනය වන ආකාරය සාකච්චා කලේ අන්තිම ලිපි දෙකේදී (ප්‍රාග්ධනය පිළිබඳව). මෙහිදී මේ මාතෘකාව තවදුරටත් ඉදිරියට ගෙනයමින් ප්‍රාග්ධනය පොතේ පරිච්චේද 5 හා 6 ඇසුරින් BRICS රටවල් ගැන හා එයින් සිදුවන්නට යන්නේ කුමක්ද ගැන පැහැදිලි කිරීම මෙම ලිපියේ අරමුනයි.

අපි දැන් සමීකරණ තුනක්  දන්නවා. එක, C–M–C එනම් භාණ්ඩ මුදලට පරිවර්තනය වීම (හුවමාරු වටිනාකමක් ගැනීම) හා එය නැවත එම මුදල භාවිතා කර භාණ්ඩයක් ගැනීම. දෙක, M -C -M , එනම් මුදල් ළඟ තබාගෙන භාණ්ඩයක් ගැනීම , එය නැවත විකුණා මුදල් කර ගැනීම. තුන, සමීකරණ දෙකක්  විධිහට තියෙන්නේ. එනම් M - C - M', ( ලකුණ ' බලන්න. ඉන් අදහස් වන්නේ දෙවන මුදල පලවන මුදල් අගය හා සමාන නොවන බවයි. එනම් මුදල' හෙවත්  M' = M + ΔM.
මෙහිදී ΔM යනු ලාභය බව පැහැදිලි කලා.
දැන් අපි බලමු ව්‍යවහාර මුදලේ (currency of money) ප්‍රවේගය කියන්නේ මොකක්ද කියල.  ඒ කියන්නේ නියමිත කාලයක් තුල කිසියම් ව්‍යවහාරික මුදල් ප්‍රමාණයක් (ඩොලර්, පවුම් වැනි) සංසරණ ක්‍රියාවන් වාර කීයකට මැදිහත් වෙනවද (ගමන් කීයක් කරනවද) යන්න.
අපි හිතමු කිසියම් භාණ්ඩ හතරක් සංසරණය වීම සඳහා දවසක් ගන්නවා කියල. ඒවා සඳහා එකතු  විය යුතු මුදල (පවුම්) £8 නම්,  මුදල් කෑලි  2 ක සංසරණ වාර ගණන   (number of moves ) හතරකි. එතකොට සංසරණ වන මුදල් ප්‍රමානය (පවුම්) £2 කි.  
උදාහරණය: අපි හිතමු පහත සඳහන් භාණ්ඩ හතර තැන්  කීපයක විකිනීමට තිබෙනවා කියා.  හාල්  කිලෝ එකක්,  රෙදි යාර  20ක්, පොතක් (වටින එකක්- මාක්ස් මෙහිදී බයිබලය යොදා ගනී.), සහ VSO අරක්කු බෝතලයක්. මේ හැම එකකම අගය £2, කියා සිතුවොත් සාක්ෂාත් (එකතු විය යුතු ) කරගත යුතු මුළු මුදල   £8 කි. එනම් £8ක මුදල් ප්‍රමාණයක් සංසරණයට යා  යුතුයි.  හැබැයි මේ ක්‍රියාදාමය  රුපාන්තරණය (metamorphose)   වන්නේ මෙසේ නම්:  හාල්  කිලෝ එකක් -£2 -  රෙදි යාර  20ක් - £2 - පොතක් -£2 - VSO අරක්කු බෝතලයක් - £2, මේ ක්‍රියා දාමයේදී £2  විසින් මේ භාණ්ඩ එකක් පසුවට එකක් වශයෙන්  සංසරණය සිදු කරන බව පෙනේ. අන්තිමේදී භාණ්ඩ  හතරේම මුළු මුදල වන £8 සාක්ෂාත් කර ගැනීමෙන්  අනතුරුව  වයින් කඩේ හිමිකරු ගේ සාක්කුවට  අන්තිම £2 යයි. මෙහිදී මේ £2 සංසරණ ක්‍රියා වාර හතරකට සහභාගී වේ.  (make four moves) 
මේ නිසා සංසරණ ක්‍රියාවලියේදී  දී තිබෙන නිශ්චිත කල සීමාවක මේ සම්බන්ධය තිබේ:
සංසරණ මාධ්‍යය හැටියට භාවිතා වෙන මුදල් ප්‍රමාණය = භාණ්ඩවල මිල ගණන්වල එකතුව /(බෙදීම)  එකම වර්ගයේ මුදල් කාසි වලින් කරන සංසරණ වාර ගණන (£2=£8/4). මේ නියමය සාමන්‍යයෙන් ගත් කල නිවැරදි බව මාක්ස් ප්‍රග්ධනයේ සඳහන් කරයි.

ව්‍යවහාරික මුදල යනු නියත සහ නැවත නැවතත් ඒකාකාරී ලෙස සිදුවන එකම ක්‍රියාවලියයි. භාණ්ඩය  සැමවිටම විකුනන්නා අත ඇති අතර මුදල් , මිලදී ගැනීමේ මාධ්‍යය ලෙස මිලදී ගන්නා අත පවතී. මිලදී ගැනීමේ මාධ්‍යය ලෙස මුදල කටයුතු කරන්නේ භාණ්ඩයේ මිල සාක්ෂාත් කර දීමෙනි.  කඩදාසි  මුදල්  රත්රන් සංචිත හෝ (කාසි ) මුදල් නියෝජනය කරයි. භාණ්ඩවල අගය එක හා  ප්‍රමාණයක අගයෙන් ප්‍රකාශනය කරන අතර කඩදාසි මුදල් එම අගයම (රත්රන් වල) සංකේතීයව  ප්‍රකාශ කරයි. එනම් කඩදැසි මුදලද අගයේම සංකේතයකි.

භාණ්ඩ සන්සරණයේදී මේ නිසා සිදුවුයේ කුමක්ද? නිෂ්පාදිත භාණ්ඩය විකුණුවේ වෙනත්  දෙයක් මිලදී ගන්නට නොව භාණ්ඩය වේශය මුදල් වේශය බවට පත් කිරීමටයි. මේ ක්‍රියාදාමයේ ප්‍රතිඵලය නම් මුදල් නිදන් ගත කිරීම (ගොඩ ගසා  ගැනීම  - hoard) බිහිවීමත් විකුනන්නා  මුදල් ගොඩ ගසා ගන්නා  බහිරවයා ( hoarder) බවට පත් වීමත්ය. 

දැන් මාක්ස් ගේ උපුටා දැක්වීමක් බලමු: "1740 ගණන්වල ජිවත් වුන ජෙකොබ් වැන්ඩර්ලින්ට් ගේ ආශාව වුනේ භාණ්ඩ වල මිල ඒ ඒ රටේ තිබෙන රත්රන් හා රිදී සංචිතය මත තීරණය කරන්න. නමුත් ඔහුට ඉන්දියාවේ භාණ්ඩ මෙපමණ මිල අඩු ඇයිද යන්න ප්‍රහේලිකාවක් වුණා. (දැනුත් ඉන්දියාවේ ආහාරවල මිල එහෙම සාපේක්ෂව හුඟක් අඩුයි. )  පිළිතුර: ඉන්දියානුවන් තමන්ගේ මුදල් වළ දැමීම නිසා. වැන්ඩර්ලින්ට් කියන්නේ,  1602 සිට 1734 දක්වා  ස්ටර්ලින් පවුම් මිලියන් 150 ක් වටිනා රිදී ඔවුන් වල දැමු බවයි. මේ රිදී මුලදී ඇමෙරිකාවේ සිට යුරෝපයට ගෙනා ඒවායි . 1856 සිට 1866 දක්වා අවුරුදු දහය තුල එංගලන්තය £120,000,000 වටින රිදී ඉන්දියාවට හා චීනයට අපනයනය කර තිබුණි. (ඒවා ලැබී තිබුනේ ඕස්ට්‍රේලියානු රත්රන් වලට හිලව්වටය. ) චිනයට අපනයනය කල රිදී බොහොමයක්ද ඉන්දියාවට පසුව ලඟා වුනි. "
කොලම්බස් 1503 දී ජැමෙයිකාවේ සිට එවූ ලියුමේ මෙසේ කියයි. - "රත්රන් කියන්නේ පුදුම දෙයක්. එය අයිති ඕන කෙනෙක් තමන්ට අවශ්‍ය ඕන දෙයක් ගැන ස්වාමියෙක් වෙනවා. රත්රන් තියනවනම් තමන්ගේ ආත්මය වුනත් ස්වර්ගයට යවා  ගන්න පුළුවන්. "

සංසරණයේ අවශෝෂණ බලය තුල දියවීමට අවශ්‍ය සමස්ත මුදලේ අගය කාසි වලින් බැලුවොත් එම මුළු අගයට වඩා රටක රත්රන් හා රිදී සන්චිතය වැඩි විය යුතුයි.  මේ වැඩි ප්‍රමාණය ( gold and  silver reserves) මුදල් සංසරණයට දැමීමට (රටක)  හෝ සන්සරණයෙන් ඉවත් කර ගැනීමට අවශ්‍ය කරන සාධකය වන අතර බැංකු රත්රන් වලින් පිරි ඉතිරි නොයන්නට හේතුවක්ද වෙයි.  

දැන් අපි බලමු රන් රටවල් වල රන් සංචිත ප්‍රමාණයන්. 
විකිපෙඩියා වලින් ගත් දත්ත අනුව (ටොන් වලින්)  ජුනි 2014 දක්වා :
ඇමෙරිකා  එක්සත් ජනපදය (1 ස්ථානය )- 8133.5 
ජර්මනිය (2)- 3384.2
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (3) - 2814.0
ඉතාලිය (4) - 2451.8
ප්‍රංශය (5) - 2435.4
එක්සත් රාජධානිය (18 ස්ථානය )  310.3 
BRIC රටවල් හතර:
රුසියාව (6) - 1094.7
චීනය (7) - 1054.1
ඉන්දියාව(11) -557.7
බ්‍රසීලය (41) - 67.2 

බ්‍රික් රටවල් රත්රන් සංචිත  හතරේ එකතුව: ටොන් 2773.7  මෙය රටවල් බොහොමයකට මුල්‍යාධාර ලබාදෙන IMF හෙවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සිටින තෙවන ස්‌ථානයට  ලඟයි. 
 රුසියාව කියන ධනවාදී රටේ පාලකයා වන පුටින් ඉගෙන ගත්තේ අපි සෝවියට් දේශයේ සිටි කාලයේමයි. ඒ නිසා ඔහු මාක්ස්වාදය උපාධියට (මොන උපාධිය කෙරුවත්) අනිවාර්ය විෂයක් නිසා හදාරන්නට ඇති.  ඔහු තමා  මේ BRICS රටවල ගාමක  බලවේගය.  ඔහු යෝජනා කලා පසුගිය පාපන්දු ලෝක කුසලානය අතරවාරේ  තිබ්බ BRICS සමුළුවේදී ඩොලරය අත හැර නව මුදල් ඒකකයක් භාවිතා කරන්නට.  මාක්ස් කිව්වා වගේ ඔවුන්ට තම  රටවලට මුදල් ඒකකයක් හඳුන්වා දීමට බැරි කමක් නැහැ. 
 එහෙම වුනොත් මොකද වෙන්නේ. රුසියාවේ පුටින් හා චීනයේ උප අගමැති ශාන් ගෝලී ඩොලර් බිලියන් 70 වටිනා ගෑස් නල මාර්ගයකට ගිවිසුම් අත්සන් කල අතර පුටින් යෝජනා කලේ දැනට බාටර ක්‍රමයට මේ රටවල් හතර අතර භාණ්ඩ හුවමාරු කර ගන්නටයි. (මාක්ස්ගේ පොතෙන් පිටුවක් හොරා  ගන්නා  ධනවාදී හොරෙක්ද?) මේ රටවල් හතරේ ඇත්තේ අති විශාල වෙළඳ පොලක්. 

දැන් බලමු මේ රටවල් වල බාහිර ණය: 
ඇමෙරිකා  එක්සත් ජනපදය (1 ස්ථානය - බාහිර  ඩොලර්  $ 17,754,467,569,229.71 (ට්‍රිලියන්  17) 
එක්සත් රාජධානිය (2 ස්ථානය )  බාහිර නය $ 9,590,995,000,000 - ට්‍රිලියන් 9 
ජර්මනිය (3) - $  5,546,869,000,000 
ප්‍රංශය (4) 5,750,152,000,000
චීනය (18) - $ 863,200,000,000 -බිලියන්  863
රුසියාව (20 ස්ථානය) - $ 715,819,000,000 - බිලියන් 715
ධනවාදී ලෝකයේ ඉහලින්ම සිටින එක්සත් ජනපදයේ හා අනිත් රටවල් දෙක තුනේම  ට්‍රිලියන් ගානක් වෙත්දී රුසියාව හා චීනයේ එය හුඟක් අඩුයි.  ශ්‍රී ලංකාව සිටින්නේ 71 වන ස්ථානයේ. ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයෙන් (GDP)  36% නය. ඉන්දියාවේ එය 20%, චීනයේ 37.5%, බ්‍රසීලයේ 15%, රුසියාවේ 23%. එක්සත් ජනපදයේ නය  දල ජාතික නිෂ්පාදනයෙන් 106% ක්. එංගලන්තයේ 406% ක්. 

දැන් BRICS වැඩේ හරි ගියොත් ඇමෙරිකාව ප්‍රමුඛ  ගෝලීය පැරණි ධනවාදී කොම්ප්‍රෝදෝරු අධිරාජ්‍යට වදින්නේ මරු පහරක්.  එතකොට පුටින් බ්‍රසීලයේ අවසන් වෙච්ච තරගය බලා  තමාගේ ජෙට් යානයෙන්  උක්රයිනය  උඩින් ඇවිත් පැය භාගයකට පසුව එවැනිම යානයක් (රුසියානුවන් අතින්ම වුණා  යයි මාධ්‍යන් පුපුණ පුපුණ කියන) බිඳ හෙලුනේ අහම්බයෙන්ද? ලුමුම්බාගේ යානය කඩා වැටුනේ අහම්බයෙන්ද?  පුටින් ඉවත් කෙරුවොත්  එන නායකයා  වන මෙද්වෙදෙව් එතරම් තද අයෙකු වත් මෙවැනි බලා  පොරොත්තු ඇත්තෙක් වත් නොවන බව හැමෝම දන්නා දෙයක්.

දැන් අපි මෙතනට පොඩි හේගල්ගේ දයලේක්තික ප්‍රතිවිරෝධයක් දාමු .  ඩොලරය ප්‍රමුඛ ලෝක ආර්ථිකයට විරුද්ධව එවැනිම රත්රන් සංචිතයක් ඇති රටවල් හතරක් වෙන මුදල් ඒකකයක් භාවිතා වීම තුල පැන  නගින ප්‍රතිවිරෝධය විසදෙන්නේ කෙසේද? 
ඩොලරය, පවුම හා යුරෝව මෙන්ම ජපානයේ යෙන්ද   මෙතෙක් කල් භාණ්ඩයක් හැටියට මායාකාරී ලෙස භාවිතා වුනි. මුදල භාණ්ඩයක් නොවන අතර ධනවාදී ආර්ථික විශේසඥයන් අපිට කියන්නේ මුදල භාණ්ඩයක් බවයි. මේ මායාකාරී භාණ්ඩයට තවත් අභියෝගයක් එක්කර  පුටින් විසින් ගොඩ නගන්නට බලාපොරොත්තු  වන විකල්ප අධිරාජ්‍යය යුද්ධයකින් කෙළවර වෙයිද?
වෙළඳ පල සඳහාවන  වන තරගයේදී අධික නය බර ඇති රටවල් හා නය අඩු රටවල් අතර ප්‍රති විරෝධය විසදෙන්නේ කෙසේද?
ප.ලි:
දකුණු අප්‍රිකාව - මෙය බ්‍රසීලයට වඩා රත්රන් නිෂ්පාදනය කරන රටකි. රත්රන් සංචිතය 125.1 වන අතර සොයා ගන්න රත්රන්  බහු ජාතික සමාගම් යටතේ එක්සත් රාජධානියේ හා එක්සත් ජනපදයේ විකුණති. දකුණු අප්‍රිකාව 2011 දී BRIC කණ්ඩායමට එකතු වුනි. බාහිර ණය  $137,500,000,000. දකුණු අප්‍රිකාව අත හැරියේ ඕනෑ කමිනි. දකුණු අප්‍රිකානු ආණ්ඩුව අමෙරකා එක්සත් ජනපදයේ අවශ්‍යතා කලාපයේ තදින් ඉටු කරමින් සිටින රටකි. 
 මුලාශ්‍ර:
ලාභය ප්‍රාග්ධනයට පරිවර්තනය වන ආකාරය පහත ලිපියෙන් පැහැදිලි කිරීමක් කලා.

http://kolambagamaya.blogspot.co.uk/2014/07/blog-post_10.html

මුදලේ සංසරණය ගැන පැහැදිලි කිරීම ඇත්තේ මෙතන. http://kolambagamaya.blogspot.co.uk/2014/05/1-7.html

http://en.wikipedia.org/wiki/Gold_reserve

http://en.wikipedia.org/wiki/List_of_countries_by_external_debt

9 comments:

  1. මෙහි දක්වා ඇති පරිදි , ඩොලර් බිලියන අටක් චීනයේ දළජාතික නිෂ්පාදනයෙන් 37.5% ක් වෙනවා නම් , චීනයේ දල දේශීය නිෂ්පාදනය ඇමෙරිකාව හා සැසඳීමේදී පහල අගයක් ගන්නවා නේද? එහෙම වෙන්න පුලුවන්ද ?

    2. මෙහි සඳහන් BRIC රටවල් හතරවන බ්‍රසීලය, රුසියාව, චීනය සහ ඉන්දියාව BRICS බවට පත්වෙන්නේ දකුණු අප්‍රිකාව සමග එක්වීමෙන් නෙවෙයිද? (S - South Africa ) මම අහල තියෙන විදිහනම් එහෙමයි ,ඒක හරිද? , ඒ ගැන සඳහනක් නැත්තේ ඇයි ?

    ReplyDelete
  2. ivan බොහොම ස්තුතියි වැරැද්ද පෙන්වා දුන්නට.
    දකුණු අප්‍රිකාව - මෙය බ්‍රසීලයට වඩා රත්රන් නිෂ්පාදනය කරන රටකි. රත්රන් සංචිතය 125.1 වන අතර සොයා ගන්න රත්රන් බහු ජාතික සමාගම් යටතේ එක්සත් රාජධානියේ හා එක්සත් ජනපදයේ විකුණති. දකුණු අප්‍රිකාව 2011 දී BRIC කණ්ඩායමට එකතු වුනි. බාහිර ණය $137,500,000,000. දකුණු අප්‍රිකාව අත හැරියේ ඕනෑ කමිනි. දකුණු අප්‍රිකානු ආණ්ඩුව අමෙරකා එක්සත් ජනපදයේ අවශ්‍යතා කලාපයේ තදින් ඉටු කරමින් සිටින රටකි.

    ReplyDelete
  3. ඉවාන් මට මෙතන වැරදි ලෙස ඩොලර් බිලියන් 8 ලෙස ලියා ඇත. චීනයේ බාහිර නය ඩොලර් බිලියන 863කි. චීනයේ දල ජාතික නිෂ්පාදනය ඩොලර් ට්ට්‍රිලියන් 9.24කි. ඇඑ ජනපදයේ ඩොලර් ට්‍රිලියන 16.8 කි.

    ReplyDelete
  4. මෙවැනි ලිපි පළ කිරීම ගැන ඔබට සියල්ලන්ගේම ස්තුතිය හිමිවිය යුතුයි.මන්ද මේවායෙන් කියවන අයට දැනුම ලැබෙනවා පමණක් නොව බුද්ධි කලම්බනයක්ද සිදුවන නිසයි.
    තනි පක්ෂ ක්‍රමය හා නරුම ආන්ඩුක්‍රම නිසා මාක්ස්වාදය තිත්ත වී සිටි මා එය කිසියම් මැදහත් බවකින් හදාරන්නට පටන් ගත්තේ ඔබගේ මගපෙන්වීමෙන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. කිසිම දෙයක් දේව භක්තියෙන් වැළඳ ගන්නේ නැතුව විවේචනාත්මකව ඉගෙන ගන්න එක තමා හොඳ.

      Delete
  5. සංසරණ වාර 4 කදී යූරෝ 8ක වටිනාකමක් හුවමාරු වුනත් සැබෑ වටිනාකම යූරෝ 2 ක් නේද
    ඇත්තටම වෙළා තියෙන්නෙ භාන්ඩ එහා මෙහා වෙන එක විතරයි නේද.භාන්ඩ හුවමාරු ආර්ථිකයක වගේ

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත . ඔයාද මිට කලින් බ්ලොගයක ඕකම ලියල තිබුනේ. යුරෝ දෙක තමා වටේ ගිහිල්ල තියෙන්නේ.

      Delete
  6. පුලුවන්නම් භෞතික විද්‍යාව ගණිතය වගේ වීශයයන් ගැන සිංහලෙන් මෙතෙක් නොලියවුනු දේවල් ලියන්
    මොකද දේශපාලනය ආර්ථික විද්‍යාව වගේ දේ ගැන ලියන්න ඕනතරම් අය ඉන්නවා
    මෙව්වා ගැන ලියන අය ඉතා අඩුයි

    ReplyDelete
  7. හොඳ අදහසක්.මන් දන්නා විධිහට විද්‍යාව පිලිබඳ සිංහල බ්ලොග් එකක් තිබෙනවා. මම වෙලාව අරගෙන තම යමක් ලියන්නේ. ප්‍රාග්ධනය ගැන ලියන්නේ මා ඒ පිලිබඳ කිසියම් මාක්ස්වාදී පිරිස් සමග කතා කල අවස්ථාවේ බොහෝ මුලික කරුණු ගැන ඔවුන්ගේ තිබු අනවබෝධය දැක්ක නිසා. සමහරවිට ලැකන් , සිජැක් ගැන කතා කරන අය මාක්ස් ගේ මුලික නියමයන් ගැන දන්නේ ටිකයි. හිනා යන වැඩේ ඒකයි. හැමදේම ලියමු. මමත් තනිය නෙමේ කියල හිතෙනවා. ලංකාවේ සිංහලෙන් බ්ලොග් ලියන්නන් හරිම දියුණු පිරිසක් . මේවගේ මිනිස්සු ඉන්න රටක දේශපාලකයෝ අරහෙම වෙලා තියෙන්නේ මොකද කියන එක තමා මගේ ප්‍රශ්නය. කවුරු හරි ලියන්න ඒකට උත්තරයක්.

    ReplyDelete

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.