Sunday, 12 October 2014

කුරුල්ලා මැරූ අමරකීර්ති

කුරුල්ලා මැරූ අමරකීර්ති 


මගේ යාළුවෙක් වරක් පැවසුවේ  ඔහු එක වරක  කටුනායකින් ලංකාවට එද්දී ගමන් බලපත්‍රය සෝදිසි  කල ආගමන විගමන නිලධරියා  "ඔයා අපේ කෙනෙක්නෙ" කියල කිව්වලු.   මේ කතා කරන්නේ කුලය ගැන බව ඔහු තේරුම් ගත්තේ පසුවය. කොළඹ වැඩි කාලයක් හිටි නිසා සමහරවිට අපට කුලය ගැන හැඟීමක් නැති වෙන්නට ඇති. මෙය නැවත මගේ ජීවිතයේදී  කරලියට පැමිණුනේ මා  දන්නා යෙහෙලියක හා තවත් ශිෂ්‍යයෙකු අතර ප්‍රේම සම්බන්ධතාවය නැවතුනේ කුල ප්‍රශ්නයක් නිසා වීමයි. මෙහි වඩාත්ම විසුළු සහගත තත්වය ඒ දෙදෙනාම සෝවියට් දේශයේ උගත්, ලංකාවේ ප්‍රගතිශීලි යයි කියාගත් පවුල්වල දෙදෙනෙකු වීමයි. ඒ "වාමාංශික  ප්‍රගති ශීලි යයි තමන්ව හඳුන්වාගත් " දෙමාපියන්ම කුලය මත විරුද්ධ වුහ. 
එසේ වතුදු අපට මාක්ස්වාදය කියා දෙන්නේ වෙනත් ආකාරයකටය. මේ පිලිබඳ සුළු විග්‍රහයක් මේ බ්ලොගයේම ප්‍රාග්ධනය ගැන කතා කරන කොට ලියා තිබෙනවා.  වහල් යුගයේ සිට වඩා ප්‍රගතිශීලි වැඩ වසම් ක්‍රමයත් , එය බිඳ දමමින් ධනේශ්වර ක්‍රමයත් බිහිවුණු බව මාක්ස් ඉතා හොඳින් පැහැදිලි කර තිබෙන බව කවුරුත් දන්නා දෙයක්. ධනවාදී වෙළඳ පොලවට අවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය , ඒවා විවෘත වෙළඳ පොලේ විකිණීම හා ලාභ ගැනීම. ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය ශ්‍රමය විකුනන අය (හෙවත් කම්කරුවා) හෙවත් ශ්‍රමිකයා ද  එම විවෘත වෙළඳ පොලේම සිටිය යුතුයි. වෙනත් වැඩ වසම් බන්ධන වලින් බැඳුනු ශ්‍රමිකයකු අවශ්‍ය නැහැ. වැඩ වසම් යුගය හා ප්‍රවේනි දාස ක්‍රමය නිමා වෙන්නෙත් ඒ අනුවයි. ධනවාදයේ දියුණුවට උදව් දෙන ඕනේ අයෙකුට එහි ප්‍රතිලාභ ලැබෙන්නේ වෙනත් බැඳීම් අභිබවායි. දිනසිරි කුරුලුගන්ගොඩට වගේ. 

කොටින්ම කුලය වුනත් වැදගත් වෙන්නේ ඒකෙන් මොකක් හරි විකුණා ගන්න පුලුවන්නම් විතරයි. අන්තිමට කුරුලුගන්ගොඩ වලන්ගන්ගොඩ බවට යලි හැරුන වගේ. 
"කුරුළු හදවතේ" මුළු කතාවම ඔය ඉහත දැක්වූ මාක්ස්වාදී තේරුම් ගැන්මට සම්පත වෙලා ලියවිලා තියෙන්නේ කියලයි මට හිතෙන්නේ.

අපි වගේ කට්ටිය දැන් හුඟක් අඩුයි. රේඩියෝ එකේ මොනරතැන්න , මුවන්පැලැස්ස අම්ම තාත්ත එක්ක වටවෙලා අහපු අවසන් පරම්පරාව අපි වෙන්න ඕනේ .  "කට්ටියම රේඩියෝ එක ඉස්සරහ එකතු වෙන්නේ මුවන් පැලස්සට උනත් " කියල අමරකීර්ති ලියන කොට මට මැවී පේන්නේ අපි ෂෝකේස් කියල ඒ දවස් වල කියපු පිගන් බඩු තියෙන අල්මාරිය උඩ  තිබ්බ රේඩියෝව ළඟ ඉඳගන්න හැටි. තාත්තා කළු සුරුට්ටුවක් පත්තු කරගෙන සෙටිය උඩ  කකුල් දෙකත් උඩ දාගෙන  ඉන්න හැටි.  මේ සුන්දර මතකය අමරකීර්ති "කුරුළු හදවත" තුලින් ලස්සනට මතු කරලා ගන්නවා.  

අපි හිටියේ බදුල්ල පැත්තේ ලුණුගල කියන පොඩි නගරයේ. ඒ දවස්වල බස් හතරයි ගියේ පස්සරින් ලුණුගල පහු කරලා බිබිලේට. තේ වතු ලැයිම් එහෙම තිබ්බ නිසා සැහෙන දුප්පත් දමිල ජාතිකයොත් එවැනිම දුප්පත් සිංහල ගම් කීපයකුත් අහල පහල තිබුන වගේ මතකයි. බෙර තමා  හැමතැනම තිබ්බේ.  ගිටාර් එකක් තිබ්බේ පොලිස් ස්ථානාධිපතිගේ ගෙදර. නගරාධිපතිගේ පුතාට තව සංගීත භාණ්ඩ කීපයක් තිබුන.
මේ වෙනස දිනසිරි (කුරුළු) කියන්නේ මෙහෙම. 
"ඇත්තටම රන්දිමා හා මධුවන්ති අතර අක්කයි නංගියි තරම් වන රූපමය සමානකමක් තිබුනත් මධුවන්ති වයලීනය අතට ගත්  විට ඒ සමානකම අතුරුදහන් වෙනවා."
කතාව ගලාගෙන යන්නේ හරියට ඒ දවස්වල තිබ්බේ සින්හල වෙළෙඳ සේවයේ ප්‍රචාරක දැන්වීම් අස්සේ යන අසන්නාගේ ඉල්ලීම් තිරය වගේ විටෙක සුන්දරව, විටෙක ගොරහැඩිව.
"එහෙත් ' මේ දැන් පෝලිමට (ලේ දන් දෙන්න)  එකතු වුනේ ' දිනසිරි කුරුලුගන්ගොඩ බව..පෝලිමේ අය නොදැන සිටීම...කිසියම් උපහාසයකුත් එක්ක අමරකීර්ති ලියන්නේ. 
කුල ප්‍රශ්නෙත් හීන් සීරුවේ මාරුවෙන් මාරුවට උලුප්පනවා. එක කුලේ කට්ටිය මේ වගේ අනික් අයව හොයනවා කියන එක අපි වැඩිය දන්නා දෙයක් නෙමේ. 
"විජිතයිය කිව්වා විද්‍යා පන්තියේ අපේ ජාතියේ කොල්ලෙක් ඉන්නවා කියල. සැහෙන දවසක් හෙව්වට පස්සෙයි දන්නේ උඹ කියලා " සරත් කියනවා දිනසිරිට. ඒ සරත්ම ඊට පස්සේ පේරාදෙණි ගියාට පස්සේ ලියනවා දිනසිරිට ටිකක ඉදිමුන ඔලුවක් එක්ක "සියලු විෂයන්ට බොහෝ පොත පත කියවන නිසාත්, ම කොහොමටත් සිංහල හා ඉංග්‍රීසි දෙබසින්ම පොත් පත් කියවන නිසාත් වැඩි කාලයක් පේරාදෙණියේ ගත කරන...". හම්බෙලා නැත්ද මේ වගේ සියල්ල දත්ලා  පේරාදෙණිය , කොළඹ , විද්‍යෝදය ඉවර කරලා ආපු. විශේෂයෙන්ම දේශපාලනය කරපු. වැඩියෙන්ම ජවිපෙ දේශපාලනය ටිකක් ලඟින් ගිය ඈයෝ.  භාවිතාවයි න්‍යාය යි ඔක්කොම දන්නවා. ඉගෙන ගන්න තව දෙයක් ඉතුරු වෙලා නැති කට්ටිය. 
මෙන්න උත්ප්‍රාසාත්මක ලෙස අමරකීර්ති එයාලව හඳුන්වලා දෙනවා: 
"මේ යුගයේ අප උරමත පැවරී තියෙනවා ඓයිතිහාසික  වගකීමක්. එක පැහැර හරින්න බැහැනේ සහෝදරයා" ලලිත් උද්යෝගයෙන් කිව්වා. ...
..මේ සහෝදරයාගේ නම කවුරුත් දන්නවා. දැක්කනේ කඩේ ගාවදී .
ඒක තමයි. ඒ ප්‍රසිද්ධිය පාවිච්චි කරන්න පුළුවන් යුගයේ ඓයිතිහාසික කාර්යට, දවසේ සුජාත යුතුකමට දායක වෙන්න. " ලලිත් සහෝදරයා ඔහුට සුපුරුදු කතා විලාසෙන්  කියනවා.
මන් හිතන්නේ අමරකීර්ති දිනසිරි  "ඔහේගේ ආච්චිගේ රෙද්ද" කියල කිව්වයි කියල ලිව්වේ නැත්තේ ගම්වල එහෙම නොකියන නිසා වෙන්න ඇති. 
නමුත් ලංකාවේ තිබ්බ දරුණු මර්දනය කාලේ (88-89) ලලිත් ගෙයි, සරත් ගෙයි දිනසිරිගෙයි හමුවීම ටිකක් අභව්‍ය සිදුවීමක් වගේ.  
ඊට පස්සේ එන්නේ 77න් පස්සේ ලංකාවේ සිදුවන පෙරළියත් එක්ක ආපු FM රැල්ල ගැන කතාව.  යමක් විකුණගන්න, විකුණන කට්ටියට ඒ කියන්නේ බහු ජාතික සමාගම් වල සිට සාමාන්‍ය සුළු වෙළෙන්දා දක්වාත්, මහා කම්හල් වල සිට සුළු කර්මාන්ත කරු දක්වාත් විහිදුන හොඳ වෙළඳ සේවයක් හදන්න, බල්ලෝ මරල හරි සල්ලි හොයපු කාලයකදී ආපු රේඩියෝවට දිනසිරි එකතු වෙනවා. කුලය වගේ භේද මේ ධනවාදයට අවශ්‍ය නැහැ. එක හරි. එතන ඒක  ප්‍රගතිශීලියි. හරියට රනිල් වික්‍රමසිංහ වගේ. ඔන්න ඔය ප්‍රගතිශීලි කම වැරදියට වටහා ගන්න අපේ සමහර හිටපු වමේ පක්ෂවල ඈයොත් සිරිකොත පැත්තට මාරු වෙනවා මේ දවස් වල. 
අමරකීර්ති ලියනවා මෙහෙම ඒ ගැන. 
"සිල්ලර බදු වෙලන්දමෙන් ධන කුවේරවූ බිග්එම්  සමගම මියුරු එෆ්එම් ගුවන් විදුලිය ආරම්භ කරද්දී ජනමාධ්‍යය යනු භාණ්ඩ විකිනීමට භාවිතා කල හැකි උපකරණයක් පමණක් නොව විකිණිය හැකි භාණ්ඩයක්ද බවට පත් වන බව වටහා ගෙන තිබුනා. කතා කිරීම, සිනා සීම, විහිළු කිරීම, ගායනය යන සිල්ල විකිණිය හැකි පුංචි පුංචි භාණ්ඩ ජාතියක් බව සමාගමට තේරුණා. ....රේඩියෝ චැනලය නීතිමය වශයෙන් අරඹන්නට අවශ්‍ය කොමිස් දීම්, පගා දීම්, ආරම්භ කර තිබුනේ අවුරුදු ගානකට කලින්."    

හරියට මුදල භාණ්ඩ බවටත් භාණ්ඩ මුදල් බවටත් , භාණ්ඩ මුදල් හා ලාභාංශය බවටත් පරිවර්තනය වෙනවා වගේ බඩහැලගංගොඩ හෙවත් වළන් ගංගොඩ  දිනසිරි , කුරුළු ගංගොඩ හැටියට රුපාන්තරණය වෙනවා.  වැඩක් හරියට කරන්නේ නැතුව සල්ලි හම්බවෙනකොට අර තවම අවිහිංසක කුරුළු ගංගොඩ ගිහින් එපා කියනවා වැඩි සල්ලි. නමුත් ව්‍යාපාරයන් ආයෝජනය කරන්නේ ඉස්සරහ බලා ගෙන. ව්‍යාජ නම් වලින් තැපැල් පත් ලියල මේ වෙළඳ ප්‍රයෝගයේ පලවන් පාඩම දිනසිරිම පටන් ගන්නවා එයාගෙම මුලිකත්වයෙන්. දිනසිරි තමන්ගේ ගම විකුනන්න පටන් ගන්නවා. 
අමරකීර්ති ඩෑෂ් පහරකින් උස්සල දෙනවා මෙන්න මෙහෙම:
"කිරිපිටි ආනයන සමාගම් ඒ කිරි ගමේ කිරි බව කියන්නට, සුවඳ සබන් නිෂ්පාදන සමාගම් ඒ සබන් ගැමි සුවඳ ගැමි සුවඳ විහිදුවන බව  කියන්නට, කෘෂි රසායන ආනයන සමාගම් ඒවා දේශීය ගුණපණ ඇති තෙල් බව කියන්නට ඉල්ලන තාරකාව බවට පත් වුනේ කුරුළු ගංගොඩ. "   

මට එකඟවෙන්න බැරි එකම තැන මෙන්න මෙතන ලියනගේ ලියනවා:
"දිනසිරි කුරුළුගංගොඩ ධනවතෙක් විය" කියල.
ධනවත් කියල කියන්නේ අර වලන් හද හද ජිටපු ගැමි කොල්ල කොළඹ ඇවිත් සමාගමක වැඩ කරලා ටයි පොල්ලක් ගැට ගහ ගත්තට පස්සසේ කොම්පැනියෙන් හම්බ වෙන රතු නිසාන් සනිය අරගෙන ගමට යන නිසාද? ණයක්  අරගෙන ගේ හදන නිසාද? මෙන්න මෙතැන ප්‍රශ්නයක්. දැන් එංගලන්තේ හුඟක් අයට බිරිඳට හා සැමියාට කාරය  බැගින් තිබෙනවා. ණයක්  අරගෙන (mortgage කරලා) ගෙයක් ගන්නවා. අවුරුද්දට දෙපාරක් හෝ තුන් පාරක් නිවාඩු යනවා. දැන් ඒ අය ධනවත්තුද , මධ්‍යම පන්තියද? ඔය හැදෙන්නේ ලංකාවේ මධ්‍යම පංතිය  මිසක් ධනවත්තු නෙමෙයි. ඒගොල්ලෝ එහෙම හිතන් නම් ඉන්නවා ඇති. 
මේක නම් ඇත්ත " හිතේ තියෙන දේවල් කරන්න  අතේ සල්ලි සල්ලි තියෙන එක තමයි ජිවිතේ. -වැඩ සටහන් අධ්‍යක්ෂකගේ කතාව". ලංකාවේ සල්ලි නැතුව මුකුත් කරන්න බැහැ. පගාවක් දීල වැඩක් කර ගන්නවත් බැහැ  නේ. 

අපිව ඔලු තවමත් කුරුවල් කරවන ඉතිහාසයකුත් ගලා යනවා මේ අතර තුර. 
"කමක් නෑ. ප්‍රේම් හිටිය නම් මේ වගේ චැනල් එකක ලොක්ක  වෙන්න තිබුන. ජේවීපී එකේ බිලට දාලා ඇතුළෙන්ම වැඩේ දුන්න වෙනද පුළුවන්. මොකද ඒවගේ දක්ෂයෝ හිටිය නං ජන මාධ්‍ය ඇමති උනත් වෙනද තිබුන " - ප්‍රේමකීර්ති - ජන මාධ්‍ය ඇමතිට - පිස්සුද ඒකනම් කවදාවත් වන්නේ නැහැ. ප්‍රේමකීර්ති ජිවතුන් අතර හිටිය නම්. ප්‍රේමකීර්තිත් බොරු කිව්වද?

"ඇත්තද සර් " දිනසිරි අහනව. "ඇතුලෙන් මැරුව කියන්නේ?"
 "ඒක  කතාවක්. ඇතුලේ ඉන්න උන් බල්ලෝ වගේ පොරකනවනේ තනතුරු වලට "
"මන් හිතුවේ ජේවීපී කියල"
"අප්පේ! එයාල අහිංසකයි කියල නෙමේ මන් කියන්නේ. උනුත් මැරුව කෙළවරක් නැතුව.  බුදු මැරිල්ලක්නේ උන් මැරුවේ. "
මරණ ගාන  හැටියට බුදු ගානක් වෙන බුදු නම දාලා කියන රටක් තමා  මේ. මුල හරියෙම ගෝනවල සුනිල්ට දඬු කොටෙන්  පිඹපු වෙලාවේ අපිත් කාලකන්නි සතුටක් වින්ද. ඒ වෙලාවේ ඒක වැරදියි. නඩු අහලයි මිනිසුන්ට දඬුවම් කරන්නේ ඕනේ කියල අපිට හිතුනෙත් නැහැ. දැන් ඒක සිය දහස් ගුණයෙන් වැඩි වෙලා. සැක කාරයෝ ආයුධ පෙන්වන්න යනව විතරයි. ගංගා වල ඔහේ ගිලෙනවා. එකනම් පටන්ගත්තේ 71 කාලේ ඉඳන්. අපිත් මේ හැම දේටම වරද කාරයෝ. කට වහගෙන හිටියට. 
දැන් සිද්ධවෙන අන්තිම  ජරා ජීරණ වෙළඳ  පිළිවෙත් ගැනත් කියවෙනවා මේකේ.

"මියුරු එෆ් එම්  නිවෙදිකාවකට ඉව අල්ලන ඇමති කෙනෙක් සිය අමාත්‍යංශයට අයත් කොන්ත්‍රාත් ලබා දෙන්නට හොඳටම ඉඩ ඇති නිසා රොහාන් විමලවීර ඇය (දිනසිරි හා වැඩ සටහන් අධ්‍යක්ෂකගේ සමාගම -පැහැදිලි කිරීම මගේ ) සිහල කලා අධ්‍යක්ෂිකාවක් බවට පත් කොට සුළු මාසික දීමනාවක් දෙමින් කල් යල් බලමින් ඉන්නවා. තව ටික කාලයක් ඇතුලත මේ සුරූපී යව්වනිය කන්‍යාභාවය පිලිබඳ ගතානුගතික අදහස් අත් හළ  වහාම  ඒ අමාත්‍යංශයේ දැන්වීම වැඩ සිහලකලා වෙත ඒමට නියමිතයි."

මුත්තු ආතට කිව්වා නම් අනේ අප්පේ,  අපි කමතේ නිකන් ඇල්ලුවා විතරනේ බොල කියල කියයි නේද?

පහත වචන පේලියෙන් ලංකාවේ වමේ දේශපාලන පක්ෂයක භාවිතාවේ සහ න්‍යායේ තිබ්බ පරතරයත් , එනමුත් ඒ පක්ෂවලම සිටි හිත හොඳ අහිංසක පරාර්ථකාමී සගයනුත් ගැන අපට යලිත් මතක් කිරීමක් කරනවා.
"ලලිත් සහෝදරයා කොච්චර කිව්වත් මට ඒත්තු ගියේම නෑ. එයාල කටපාඩන් කරගෙන මොනවාද කියනවා වගේ තමයි මට පෙනුනේ "
"එහෙම තමයි සමහරු. උද ඉන්න කවුරුහරි කියන එක ගිරව් වගේ කියනවා මිසක් තමන්ටත් හිතන්න පුළුවන් කියල දන්නේ නැහැ. "

හැබැයි ඒ ඉතිහාසයේ අමතක නොවෙන, අර කුමාර කෙනෙක් ඉල්ලුවත් අනිත් අය සමාව නොඉල්ලන එකම දෙයට කිසියම් සාධාරණයක් ඉටු කරනවා අමරකීර්ති.

"ආයේ දවසක්  එනවා කිව්වා මාව හම්බවෙන්ඩ පුස්තකාලේ ගාවට. මන් ගියේ නෑ. එයා එන්ඩත්  නැතුව ඇති. ආවනං ගෙදර හරි එනවනේ. - දිනසිරි කිව්වා."
"ලලිත් සහෝදරයා ආවා. අපහු ගියේ නෑ. පුස්තකාලේ ලනගට එනකල් ....එකෙන් ෆලෝ කරලා ලලිත් සහෝදරයාව ගත්ත. කාව  හම්බවෙන්ඩද  කියල ඇහුව. ඒත්  කිව්වේ නෑ."
පාවා නොදී පොළවට පස්වුනු (පස්කල) ජිවිත ගැන සමාව ඉල්ලන්න අමාරුයි.

ජාතික විමුක්ති අරගල හරියන කාලෙකුත් තියෙනෙව. වැරදෙන කාලෙකුත්  තියෙනව. මේ එහෙම වැරදෙන කාලයක්.
"නෑ මන් කිව්වේ අපි කැරැල්ල ගහන්ඩ පාවිච්චි කරපු වචනම අරගෙන කෘෂි සමාගම් , සබන් සමාගම්, රෙදි සමාගම් ගමට එනවා. විප්ලවේ කරන්නේ අපිද එයාලද කියල හිතන්න බැරි විධිහට". අනික් පැත්තෙන් ඒ වචනම පාවිච්චි කර කර ජාතිකවාදීයෝ පෙළපාලි යනවා. "සරත් අඳුර දෙස බලාගෙන කිව්වා. 

ඊළඟට එක්තරා වාමාංශික දේශපාලන පක්ෂයක් (ඔබටත් මටත් හිතා ගත හැකි) ගැන පොඩි සඳහනක් කරන අමරකීර්ති මෙසේ කියනවා. (ඉංග්‍රීසියෙන් ඇඟට  නොදැනෙන්න පොඩි swipe එකක් ගන්නවා  කියන්නේ මේකට)  
"මනොවිශ්ලේෂණය න්‍යාය ජනප්‍රිය කල දේශපාලන කණ්ඩායමක් තමන් හැර අනුන්ගේ මනස් විශ්ලේෂණයෙන් ලබන කුරිරු ප්‍රීතියට තමනුත් ආකර්ෂණය වෙමින් ඉන්න බව සරත්ට දැනෙනවා. "
මටනම් කියන්නේ තියෙන්නේ ඔබත් විශ්ලේෂණ කරන්න ඔවුන්ගේ. ප්‍රතිවිරෝධය ඇතිවෙන්නේ එතනින්නේ.

දැන් අවුරුදු ගානක් පොස්ට්කාට් (දිනසිරිගේ වචනෙන්) ලියල තමන් පෙලූ කුලය හා බැඳුනු වලන්ගන්ගොඩ නම දිනසිරි ඉවත් කරගෙන කුරුලුගන්ගොඩ  ජනප්‍රිය කර ගන්නවා. භේද නොසලකන ශ්‍රමය හා ලාභය පමණක් වැදගත් ධනවාදය ඔහුව අමරකිර්තිගේ වචනෙන් ධනවතෙක් කර අවසන් කඩුල්ල පනින්න වලව්කාර  කෙල්ලෙකුත් සෙට් කර ගන්නවා. නමුත් ඒ ධනවාදයම  කුලය මාකට් කරනවා කියල කුරුළු හෙවත් දිනසිරි තේරුම් ගන්නකොට පමා වැඩියි.
ගමේ නම නැවත වළන්ගන්ගොඩ කියල ඒගොල්ලම ගහ ගන්නවා. මොකද බස් පිටින් බිස්නස් එන්නේ එහෙම කලොත් විතරයි. මතක තබා ගන්න. බස් වලින් මිනිස්සු නෙමෙයි එන්නේ. බිස්නස්. 

ඊට පස්සේ ඉතින් ඉස්සර කොළඹ ලොකු විද්‍යාල වල විතරක් තිබූන දැන් හැම මාධ්‍ය මහා විද්‍යාලයකම, නගරයකම (මේක හොඳ දෙයක්) තිබෙන ස්විමින් පූල් එකකට බැහැල පිහිනීම ඉගෙන ගන්න වරප්‍රසාදයක් නොතිබුණු දිනසිරි කුරුළු ගංගොඩව දියවන්නා  ඔයේ  ඔබල මරල දානවා අමරකීර්ති විසින්. 
ඒක  හරි තර්කාන්විත අවසානයක් . වෙන ඉවර වෙන්න විධියක් නැහැ ඒ ගිය විධිහට. මේ යන විධිහට, චන්ද වැටෙන විධිහට  ලංකාවේ  වැඩි හරියක් දියවන්නා  ඔයේ ගිලිලා මැරෙයි වගේ. 

මට හිතා  ගන්න බැරි මේ පොතට ආණ්ඩුව විසින් පත් කල කොමිටියක් මගින් පලවෙනි තැන තෝරා  ගැනීම ගැන.  ජයවේවා මහත් වරුනි. 

මට තව ගොඩක් ලියන්න තිබුනත් බ්ලොගය දිග වැඩි වෙන නිසා නතර කරනවා මෙතනින්.  මට දැන් කම්මැලියි තව ලියන්ඩ. හෙට ළමයිව ඉස්කෝලේ ගිහින් දාන්න  ඕනේ, කුටුම්භ සංරක්ෂණය සඳහා වෙහෙස වීමට මිසක් තව ලිවීමට කාලයක් නැත. මේක ආත්මාර්ථකාමී කමක්.

 ඒ නිසා මෙහි ම ලිවූ දෙයින් පිටත දෙයක් නැත.

ඩෙරීඩා "ඔෆ් ග්‍රමටලොජි - Of Grammatology" එකේ ලියල තියෙන්නේ il n’y a pas de hors-texte” හෙවත් “there is no outside-text” හෙවත් ලිවූ දෙයින් පිටත දෙයක් නැත කියලනේ.


කුරුළු හදවත - ලියනගේ අමරකීර්ති

This book is available to buy from Agora art Circle London.
උපුටා ගැනීම් ස්තුතිය: 
1. කුරුළු පින්තුරය: http://uncyclopedia.wikia.com/wiki/File:Dead-bird-feet-up.jpg
2. ඩෙරීඩා වාක්‍යය: https://www.inkling.com/read/the-philosophy-book-buckingham-1e/chapter-6/jacques-derrida-19302004 

7 comments:

  1. පොත ගැන කියලා තියෙන රටාව දැක්කම කියවන්න හිතුනා ..

    //""මේ යුගයේ අප උරමත පැවරී තියෙනවා ඓයිතිහාසික වගකීමක්. එක පහර හරින්න බැහැනේ සහෝදරයා""// මේ වචන සෙට් එක කීපාරක් නම් අහලා තියෙනවද කියලා මම කල්පනා කලේ, ඇත්තටම දැන් ඒ වචන වල තියෙන වටිනාකම දියවෙලා ගිහින්ද කියලත් වෙලාවකට හිතෙනවා .

    ReplyDelete
    Replies
    1. මේ චාචන සෙට් එක නම් දැන් දියාරු වෙලා ගිහින් ඉවරයි. ලංකාවේ අධිරාජ්‍යවාදයට විරුද්ධව ජාතික විමුක්ති අරගලයක් නෙමේ කරන්න තියෙන්නේ. නේ ද?

      Delete
  2. ඉවාන් මල්ලි , මේ පැත්තේ හිටියනම් දෙන්න තිබ්බ. අපි ඉතින් ලනක්වට වැඩිය වැඩි ගානක් දෙන්න ඕනේ පොතක් ගන්න මෙහෙ. පොස්ටේජ් එකත් එක්ක. පුලුවන්නම් කියවන්න. හොඳ පොතක්.

    ReplyDelete
  3. ඒක හරි තර්කාන්විත අවසානයක් . වෙන ඉවර වෙන්න විධියක් නැහැ ඒ ගිය විධිහට. මේ යන විධිහට, චන්ද වැටෙන විධිහට ලංකාවේ වැඩි හරියක් දියවන්නා ඔයේ ගිලිලා මැරෙයි වගේ.

    :) :)

    ReplyDelete
    Replies
    1. රන්දිල් මලයට වාක්‍යය තේරුණා කියල ගිය ලොකු හිනාවෙන්ම පේනවා. ස්තුතියි කොමෙන්ටුවට.

      Delete
  4. කුරුලු හදවත මා කියැවූ අපූරුම පොතක්. මේ විචාරයෙන් පස්සෙ ආයෙමත් කියවන්න හිතුනා. කතාවේ පේලි අතරින් සමාජ කතිකාවතක් ගොඩනගන හැටි අපූරුයි.

    හැබැයි මට අපැහැදිලි කුරුලු පිහිනීමට නොදන්නාකමින් ගිලුනද, කළකිරීම නිසා සියදිවි නසාගත්තද කියන එකයි.

    ReplyDelete
  5. මමත් හොයාගෙන කියෙව්වා. මෙහෙ නම් පුස්තකාලවල තියෙනවා.(මමත් රටින් පිට) කාලෙකින් කියවපු හොඳ පොතක්. ඒකට ආසා හිතුණු නිසා 'අර මිහිරි සීනු නාදේ'ත් හොයාගෙන කියෙව්වා. ඒකත් හොඳයි. අපරාදේ කුරුළු ව මැරුවේ කියලත් හිතුනා. ඒත් ඒ එක්කම වෙන ඉවර කරන්න විදිහක් නැහැනේ කියලත් හිතුනා.

    ReplyDelete

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.