Saturday, 29 April 2017

මේජර් ගුණරත්න හෙවත් ආදරණීය විචා ඔබට සුභ ගමන්

විචාරක තුමාගේ බ්ලොග් ලිපි කාලයක් තිස්සේ කියැවූ කෙනෙක් මම.  ඔහු බ්ලොග් ලෝකයේ සිටියේ 2011 ඉඳන්. හමුදාවේ අයගේ ලිපි කියවන්නේ මොකද කියල වරෙක කෙනෙක් මගෙන් ඇහුව. ඒ අර චෝදනා ආපු කාලෙක. පස්සේ මම විචාරක තුමාගේ බ්ලොගයයි කල්‍යාණ මිත්‍ර ගේ බ්ලොගයයි  ඔහුට හඳුන්වල දුන්න.  එක්කෙනෙක් හමුදාවේ හිටියේ . අනික් එක්කෙනා නේවි එකේ. කියවල එන්න කියල.

මේ තියෙන්නේ විච අන්තිමට වගේ ලියපු එකක්.

කාලෝ ෆොන්සේකා ගිනි පාගපු හැටි


හමුදාවේ ඉන්නෙත් උඹල අපි වගේ මිනිස්සු. හිතක් පපුවක් තියෙන. ඕන කෙනෙකුට විවේචනය කරන්න  පුළුවන්. ඒත් ඒ බූට් එක දාගන්න කම් ඒ රස්සාව ගැන තේරුම් ගන්න අමාරුයි. පඩි ගෙව්වත් උඹල අපි වගේ උන් යන්නැති රස්සාවකට හැමෝම පඩිය නිසා යනවා කියල හෑල්ලු කරන්න  එපා කියල මම ඔහුට කිව්වා. සමාජයේ නරක යැයි  සම්මත මිනිස්සු ඉන්නවා නම් එහෙම අය හමුදාවල නොවේ වෙන ඕනම  තැනක , ආයතනයක, සංස්ථාවක ඉන්න පුළුවන්.  ඒත් මුළු සමාජයක්ම එහෙම නරක කෙනක් ගෙන් හෝ දෙදෙනෙකු ගෙන් මනින්න බැහැ වගේ හමුදාවක් මනින්නත් එහෙම බැහැ.

මේ තුවක්කු ගැන ලියපු එකක්. 

මේජර් ගුණරත්න මහත්මයාගේ හමුදා ජීවිතය ගැන මම දන්නේ නැහැ. බ්ලොග්කරුවෙකු වශයෙන් තමා මා  ඔහුව හඳුනා ගත්තේ. ඔහුව මුහුණින් දැක හඳුනා ගත්තේ  2016 වසර නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙලේදී. වැඩි වෙලාවක් සතුටු සාමිචියේ යෙදෙන්න  බැරි වුණා. විචා, ඔමා නංගි ගාව ඉඳගෙන හැමෝටම විහිළු කර කර හිටිය. හමුදාවේ හිටිය කෙනෙක් වගේ නෙමේ බොහොම සෞම්‍ය ගති තියෙන විදුහල්පති කෙනෙක් වගේ.  එදත් හැබැයි වෙනත් මරණයකට යන්න  ඕන වෙලා හදිසියෙන් වගේ ආවේ කිව්වා.  හරිම ආසයි  හවස එකතු වෙලා කතා කරන්න. ඒත් ළඟම  ඥාතියෙක් නිසා යන්න වෙනවා කියල නිහතමානීව ඒ ගැන සමාව ඉල්ලුව. ඒ තමයි විචා. මම කිව්වා විචා මොහොතකට හරි සහභාගී වෙන්න ආපු එක ලොකු දෙයක් කියල.

අපිට වඩාත් ඉස්මතුවෙලා පෙනුනේ,  වයසට ගියහම ජිවිතේ ගැන කළ කිරිල හදිසියේම පන්සල පැත්තේ යන කෙනක් වෙනුවට ආගම දහම අදහන ගමන්  තරුණ තරුණියන් එක්ක හරි හරියට බ්ලොග් ලියපු හැටි. වාද කරපු හැටි. සමහරකුට බ්ලොග් එකක් අරින්න, ලියන්න කියා දුන් හැටි. සංචාරයකට ගියහම හොඳ පින්තුර ටිකක් අරන් ඒ ගැන ලියපු හැටි. හමුදාව පිලිබඳ අප නොදන්නා  තොරතුරු කිවූ හැටි. හමුදාවකට ජනතාවකට වඩා සමීප වෙන්න පුළුවන් නම් විචා වගේ අයගේ ක්‍රියා මාර්ගය තමා අනුගමනය කරන්න  ඕනේ.

විචා අසනීප වෙලා කියල මුලින්ම කිවේ ප්‍රා . බලන්න ගිහිල්ලත් තිබුන. අටමා, කල්‍යාණ, රුවන් චන්දිම සහ මම තීරණය කළා මෙවර නෙලුම් යාය විශේෂ සම්මානය පිදිය යුත්තේ ඔහුට කියල. ඒ බව දන්වන්න  ඔහුට දුරකතනයෙන්  කතා කළ වෙලේ විචා බොහොම හැඟුම්බර වුණා.  මටත් ඒ හැඟීම්බර බව දැනුනා.  අජිත් මට සතුටයි දුකයි දෙකම මේ අවස්ථාවේ එනවා. මට ලියන්න  අමාරුයි දැන්. ආයි කවද  ලියන්න වෙයිද දන්නේ නැහැ. සම්මාන උළෙලට කොහොම හරි එනවා කිව්වා. මට වාහනය පදවන්න අමාරුයි. කවුරු හරි හොයා ගන්නම් කියලත් කීවා. නමුත් එදා දවසේ විචාට සෑහෙන්න අමාරුයි. ඒ නිසා ඔහුට ඒමට හැකි වූයේ නැහැ.

ප්‍රා සහ ඉවාන්  ඔහුට ගිහින් සම්මානය භාර දීල තිබ්බ. ගුණරත්න මහත්මිය කියල තිබ්බ ඒ දවස්  කිහිපයම විචා  ඒ ගැන ගොඩක් සතුටින් හිටිය කියල. "සමහර විටක දවසට පැය දහ අටක් පරිගණකය සමග ඔට්ටු වේවි ලියපු ඒවාට කවුරුහරි අගය කරාවි කියල මම ඔයාල ට කිව්වා නේද කියල.  "
ඔබට ඒ අවසන් අවස්ථාවේ හරි එහෙම  සතුටක් දෙන්න ලැබීම ගැන අපට ගොඩක් සතුටුයි.  බොහෝ බ්ලොග් කරුවන් නොයෙකුත් උපකාර ආදිය කළ  බව දැන ගන්න ලැබුන.
ඇත්තටම එක දවසක් පමණක් ළඟින් දැක  කතා කරලා අනිත් හැම වෙලේම වර්චුවල් අවකාශයේ හමුවුනත් මේ මරණය මෙපමණ   දැනෙන්නේ ඇයි කියලත් හිතුන. බ්ලොග් ලෝකයේ තවත් එක් සොඳුරු මිනිසෙකුගේ  නික්ම යාමක් නිසා.

ආදරණිය  විචාරක තුමා - ඔබට නිවන් සුව.

-
ප.ලි:

දේශකයා මේ තොරතුරු ෆේස්බුක් හි පල කර තිබුණි . (ගස් ගෙන් රැගෙන)
සංවේගයෙන් දැනුම්දීමයි.
2011 දී බ්ලොග් ලොවට පිවිස, තමා සතු දැනුම සමාජයට මුදා හැරීමට කටයුතු කළ අප කව්රුත් දන්නා අයුරින් නම්, විචාරක, විචා, විචාමාමා (මම කියන්නෙ නාකිවිසේ) මහතා ඊයේ රාත්‍රි අභාවප්‍රාප්ත වූ අතර, ඒ මහතාගේ දේහය පිළීබඳ අවසන් කටයුතු 2017 මැයි 01 වැනිදා සවස 3.00ට කුරුණෑගල පොදු සුසානභූමියේදි සිදු කිරීමට නියමිතය. දේහය ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇත. සුභ ගමන් නාකිවිසේ මාමේ

අංක 100, දිද්දෙනිය වත්ත පළමු පියවර,
බෝයගනේ
වර්ඩ්ප්‍රෙස් අඩවිය හරහා බ්ලොග් වලට පිවිසි ඒ මහතා පසුව blogspot අඩවියක්ද පවත්වාගෙන යමින් එම අඩවි දෙකම යාවත්කාලීන කිරීමට කටයුතු කරන ලදි. බ්ලොග් ලොව වෙතරානුවා (Veteran) මේජර් ගුණරත්න මහතාණෙනි, ඔබට සුභ ගමන්..
තොරතුරු ලබාදීම සම්බන්ධව ගස් ගබ්බා මහතාට ස්තුතියි.
රුවන් ජයතුංග මෙය ලියා  තිබේ.


ඉන්දික කොඩිතුවක්කු මෙසේ සටහනක් තබා ඇත.

විචාරක යනු විශ්‍රාම යෑමෙන් පසුව බ්ලොග් ලියන්නට එකතු වූයෙකි. එහෙත් ඔහු සිතින් තරුණව, ඔහුගේ දරුවන් වයස් වූ බහුතරය හා සමව සතුටින් සහ ජවයෙන් යුතුව අන්තර්ජාලයට සිංහලෙන් දැණුම බෙදන්නට එක්විය.
අදටත් ඊමේල් මගින් අතින් අත යැවෙන පහත සඳහන් සබැඳියේ ඇති ගිනි අවි, උණ්ඩ ඈ හමුදාමය උපකරණ, නීති සහ භාවිතය ගැන වූ අති සාරගර්භ ලිපි වල නියම රචකයා ඔහු බව දන්නේ සිංහල බ්ලොග් පාඨකයන්ම අපමණි. කලක් අසනීපව සිටි විචාරක අද සවස නික්ම ගිය බව දැනගන්නට ලැබුනි.

බෝධිනී සමරතුංග 

good bye dearest blog friend, wicharaka...සුබ ගමන් විචාරකතුමනි.... ඔහු අප සමග ලියූ බ්ලොග්කරුවෙක්. මම අනිත්කොන බ්ලොග් එක ලියද්දී වෛද්‍ය රුවන් එම් ජයතුංග ලියූ සංග්‍රාමයට පසු පොත් ගැන කියා මගේ ලිවීමට බොහෝ දිරි දුන් කෙනෙකි. ඔහු ගේ නික්ම යෑම දුකකි....අමා මහ නිවනින් සැනසීම පතන්නෙමි....

අටමා ගෙන් :

මාම කියන්ඩද මචං කියන්ඩද අයියා කියන්ඩද සර් කියන්ඩද අක්කට ඉගැන්නුවට මට ඉගැන්නුවයැ අනික ඒකිත් නැති කොට සීයා කියලවත් කියන්ඩද එහෙම නමක් අපේ යාළුකමට තිබුනෙම නැනේ නාකියෝ ස්තුතියි උඹට වෙන මොකටවත් නෙමෙයි පැන්සොන් ජීවිතේ පන්සලටයි මරණාදාර සමිතියට අනුන්ගේ රෙද්ද අහක්වෙච්චා හොයන්ඩයි වැය නොකර හවසට මං ගෙදර ආවහම කියවන්ඩ දෙයක් ලියලා තිබ්බට

පහල ලියල තියෙන ප්‍රතිචාරය ෆේස්බුක් එකෙන් උපුටා ගත්තේ ඉන්දික ගෙන්.

Monday, 24 April 2017

නමයේ පන්තිය - නමය නරකද


පහේ පන්තියේදී
හතේ පන්තියයි අටේ පන්තියයි 
අටේ පන්තියෙන් නමයට 

නමයේ පන්තියේ දෙවන භාගයේ  සිංහල සාහිත්‍ය සංගමයේ රැස්වීම්  වලට සහභාගී වුනෙමි. සිංහල  සංගමය (හෝ ඉතිහාස සංගමය)  විසින් පන්ති අතර ඉතිහාසය සම්බන්ධ ප්‍රශ්න වලින් සමන්විත තරඟයක් පවත්වන ලදී. මම එය දිනුවෙමි. මට සහතිකයක් වැනි යමක් ලැබුණා දැයි මතක නැත. නමුත් ඉතිහාස පොත් කියවීමෙන් ලැබූ දැනුමට වටිනාකමක් ලැබුන බවට හැඟීමක් තිබුණි.
 රාජකීය විදුහලේ රැස්වීම් පවත්වන ශාලාවට ඇතුළු වන තැන විශාල දැන්වීම් පුවරුවක් තිබේ. බොහෝ දැන්වීම් ඇත්තේ ඉංග්‍රීසියෙනි. ඒ අතරේ වටකුරු ලක්ෂණ සිංහල අකුරු වලින්  සිංහල සාහිත්‍ය සංගමයේ රැස්වීම් ගැන ලියැවුණු දැන්වීම් ද දුටුවෙමි. ඒවායේ අත්සන් කර තිබුනේ සමන් ආතාවුද හෙට්ටි යන නමකිනි.

සමන් අයියලා බොහෝ දේවල් සංවිධානය කිරීමට දක්ෂයන් විය. සමන් ආතාවුද හෙට්ටිට  ඒ දිනවලත් ගුවන් විදුලිය සමග  යම් සබඳතාවක් තිබුණි.  ඒ අතර ඔවුන් පාඨශාලාන්තර සාමාන්‍ය දැනීමේ තරඟයක්ද සංවිධානය කළහ. මෙයට සහභාගී වන රාජකීය කණ්ඩායම තෝරා ගැනීම සඳහා පුස්තකාලයේ ප්‍රශ්නපත්‍රයකට පිළිතුරු දීමට තිබුණි. මට වැඩිම ලකුණු තිබූ හෙයින් මම කණ්ඩායම් නායකයා වීමි. මේ කණ්ඩායමට සිටියේ මමත්, ප්‍රදීප් ජෙගනාදන් ( මහාචාර්යවරයෙකු වන  ප්‍රදීප් ජෙගනාදන් මේ දිනවල ඉන්දියාවේ ශිව් නාඩර් විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාය ලෙස රැකියාව කරයි.), මහේෂ් ත්‍රිමාන්න සහ ඒ ටි ඩී දාබරේය.

තරඟ පැවතියේ බේරේ වැව මැද පිහිටි සිඟිති උයනේය.

ජයග්‍රාහක පාසල් කණ්ඩායමට තිළිණ සහ ශූරතා පලිහ ප්‍රදානය කිරීමට පැමිණියේ එවකට අග්‍රාමාත්‍යවරයා වූ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන  හේමා ප්‍රේමදාස මැතිනියයි. සමහර විට සිඟිති උයන ලැබුනේද එනිසා විය හැකිය.

සිඟිති උයන ආර් ප්‍රේමදාස මහතා විසින් ළමයින් සඳහා ක්‍රීඩා කිරීමටද හැකි උයනක් බවට පත් කිරීමට ප්‍රථම ලට්ට පට්ට හා කුණු ගොඩ ගසා  තිබූ තැනක් විය. එහි රාත්‍රියට ගණිකා  වෘත්තීය සුලභව කෙරුණු, ගංජා හා වෙනත්  මත්ද්‍රව්‍යද විකුණූ තිප්පලක්ද විය. ප්‍රේමදාස මහතා  මෙයට තිත තැබුවේ එය දරු පවුල් පිටින් ගොස් විනෝද විය හැකි උයනක් බවට පත් කිරීමෙනි. යාමට තිබුනේ ලණුවෙන්  අදින ලද බෝට්ටුවකිනි.  එකල කොළඹ නගරය  (විශේෂයෙන් මැද කොළඹ) අලංකාර කිරීමට ඔහූ බොහෝ දේවල් කළේය . ජරා ජිර්ණව තිබු පාරවල් වල වටරවුම් අලංකාර කිරීම, පදික වේදිකා සෑදීම , උයන් පිරිසිදු කිරීම ආදී බොහෝ දේ සිදු කරන ලදී.

බේරේ වැවේ ගංගාරාමයේ සීමා මාලකයද මේ දිනවල නිම කරන ලද්දේ ගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ උත්සාහය නිසාය. මේ නිසා  ඒ අවට ප්‍රදේශය සැන්දෑ කාලයේ පන්සල් යන ජනයාගෙන් හා සවස ඇවිදීමට යන අයගෙන් පිරි තිබුණි.

සමන් ආතාවුද හෙට්ටි සහ සිංහල  සාහිත්‍ය සංගමයේ  තවත් කිහිප දෙනෙක්ම අප කණ්ඩායම සමග තරඟය පවත්වන තැනට පැමිණියහ. මුල් වට කිහිපයම අපට පහසුවෙන් දිනිය හැකි විය. අවසන් පූර්ව තරඟය තිබුනේ විශාඛා විද්‍යාලය සමගය. අපට ඔවුන් ලෙහෙසියෙන් පරදවා අවසන් වටයට යාමට හැකි විය. දේවී බාලිකාව හෝ වෙනත් විදුහලක් පරදවා ආනන්ද විදුහල් කණ්ඩායමද   අවසන් වටයට අපේ කණ්ඩායම සමග තේරුණි. ආනන්ද කණ්ඩායමේ නායකයා ගේ නම අජිත් ගුණතිලක බවද මතකය.
ආචාර්ය ජෙගනාදන් හෙවත් ජෙගා ලඟදි කිව්  කරුණක් නම් එම තරඟාවලියේ අප විසින් පැරදවූ කාන්තා විද්‍යාල කණ්ඩායමේ (Ladies college ) ඔහුගේ ප්‍රියම්බිකාව වන මාලතී ද සිටි බවය. ඔවුන්ට මේ බව හෙළි  වුනේ  විවාහයට  පසුව කළ කතා බහකදී බව ඔහු පැවැසීය.

 තරඟයේදී වට තුනකින් අපට ආනන්ද විදුහල පැරදවිය හැකි විය. ආනන්ද කණ්ඩායම අසමත් වුනු ප්‍රශ්නයකට මම පිළිතුරු දුනිමි. ඒ "අසාහි ෂිම්බුන්" යනු කුමක්ද යන්නය . ඉතියෝපියානු යුද්ධය හා එරිත්‍රියාව ගැන ප්‍රශ්නයකට ජෙගා පිළිතුරු දුන්නේය. ශූරතා පළිහ හේමා ප්‍රමදාස මහත්මිය අපට ප්‍රදානය කරන ලදී.

අප ජයග්‍රහණය කළ ප්‍රීතියට  ත්‍රිමාන්න ගේ   පියා  විසින් මුළු බේරේ  වැව පුරා බෝට්ටු සංචාරයකට මුළු කණ්ඩායම ම රැගෙන ගියේය. ඉන්පසු රාජකීය විදුහලට ගොස් එවකට එහි සිටි විදුහල්පති තුමාට ජයග්‍රහණය ගැන පවසා ශූරතා පළිහ භාර දුනිමු.
මිහිර පුවත්පත 

පසුදා  මා පාසැල අවසන් ව නිවසට එද්දී අපේ නිවෙස් අසළ යහළු යෙහෙලියන් සමූහයක් මිහිර පත්‍රයක් අතැතිව කෑ ගසමින් සිටිනු දුටිමි. ඒ අපේ ඡායාරූපයක් මිහිර පුවත්පතේ දෙවෙනි පිටුවේ පළවී තිබූ නිසාය. උස කොල්ලන් තිදෙනෙකු අතර උසින් අඩු මම ශූරතා  පළිහ ද අතැතිව සිටින ඡායාරූපයකි.  එක දිනෙන් අපේ නිවෙස් අසල මම ජනප්‍රිය වී සිටියෙමි.

ඊළඟ වසරේ ප්‍රදීප් ජෙගනාදන් ශ්‍රී ලංකා රුපවාහිනියේ පාසැල් අතර ඉංග්‍රීසියෙන් පැවැත්වුණු සාමාන්‍ය ය දැනීමේ තරඟාවලියටද සහභාගී වුනි.

මගේ මව කළකට ඉහත "තරුණි" පුවත්පතට  කොස් ඇට වලින් පිටි හදා ඉඳි ආප්ප සාදා ගන්නා ක්‍රමය ලියා  තිබුනි. ඒ කලින් තිබූ ශ්‍රීලනිප ආණ්ඩුවේ වගා  සංග්‍රාමයට සහයටය.    එම ලිපියද සමග මෙම මිහිර  පත්‍රයේ පිටුවද මා සුරක්ෂිතව  තබාගෙන සිටි මුත් ඒවා දැන් නැත.

අර පළමු ලිපියේ සඳහන්   ගුරුතුමා නැවතත් පන්ති භාර ආචාර්ය වරයා වූ මෙම පන්තිය ට තරඟ ජයග්‍රහණයෙන් පසු දිනයේ ගියවිට යහළු සිසුන් දෙදෙනෙකු හැර වෙන කිසිවෙක් මෙම ජයග්‍රහණය ගැන සුභ පැතුවේ නැති බවද මට මතකය.

නමයේ සිටියදී බාල දක්ෂයකු ලෙස නොයෙකුත් කඳවුරු හා පාඨමාලා වලට සහභාගි  වුනෙමි. ඉන් එකක් නම් බාලදක්ෂ ව්‍යාපාරය හා තරුණ  සංගමය ක් විසින් සංවිධානය කල ඡායාරූප ශිල්පය  පිළිබඳ පාඨමාලාවයි. මෙහි ප්‍රධාන දේශකයා හා සංවිධායක සමන් අමරසිංහ නම් වූ  රාජකීය විදුහලේ ගුරුවරයෙකි. ඒ දිනවල මා ළඟ තිබුනේ පෙට්ටි කැමරා (box camera) නමින් හඳුන්වන සවි කරන ලද කාචයක් හා ෂටර් ස්පීඩ් තුනක් පමණක් ඇති පොඩි කැමරාවකි. සමන් අමරසිංහ මහතා අප මිගමු වෙරළට ඡායාරූප  ගැනීමට රැගෙන ගිය අතර හෑගොඩ නිවසටද රැගෙන ගොස් හෑගොඩ මහතා ලවා දේශනයක් ද කරවීය . පාඨමාලාව අවසානයේ අපේ ෆිල්ම් රෝලවල  කළු කාමරයක සාන්ද්‍රණ  වල දමා ඩිවලොප් කළ යුතු විය. එහිදී ආලෝකයට නිරාවරණය වීමෙන් මගේ පින්තුර විනාශ විය. නමුත් ප්‍රශ්න පත්‍රයේ වැඩිම ලකුණු තිබුනේ මටය. ප්‍රයෝගික පරීක්ෂණයේදී මට වුනු අකරතැබ්බය වටහා ගත්  සමන් අමරසිංහ  මහතා මා සමත් කළේය. සමන් අමරසිංහ මහතා තවමත් රාජකීය විදුහලේ සේවය කරන ඉතා ජනප්‍රිය ගුරුතුමෙකි.

සමන් ආතාවුද හෙට්ටි සහ ඔහුගේ සංචාර ගැන කෘතියක් 

සමන් අතාවුද හෙට්ටි  අයියා නැවත  හමුවන්නේ "ලන්දේසි දූපත" ළමා නාට්‍යය හරහාය. ඔහු රඟ පෑවේ ජිල් ජෝනා ට ද වන්දබෞනා ට ද යන්න මට මතක නැත.  අවුරුදු 38 කට පසු පසුගියදා දැන  හෝ නොදැන සහෘද කිවිඳියක හරහා රූපවාහිනියේ සංවාදයක යෙදෙන්නට ස්වාධීන රුපවාහිනියේ සභාපති සමන් අතාවුද හෙට්ටි මහතා අපට අවස්ථාවක්  ලබා දුන්නේය.

එසේම පාසලේ සහෝදර සිසුන් කණ්ඩායමකට තම දක්ෂතා  පෙන්වා තමන් උගත් විදුහලට ආඩම්බරයක් ලබා දීමට එම තරඟාවලිය සංවිධානය කල සමන් අයියා ප්‍රමුඛ සිංහල සාහිත්‍ය සංගමයට හැකිවිය.

ඔබලාට ස්තූතියි.




Saturday, 22 April 2017

අටේ පන්තියෙන් නමයට

පින්තුරය අන්තර් ජලයෙනි (ලෝක ගෝලයක් හා සමාජ අධ්‍යනය)
පහේ පන්තියේදී 

හතේ පංතියයි අටේ පන්තියයි

අටේ පන්තියේ සමාජ අධ්‍යයනය විෂය ඉගැන්වූ  ගුරුතුමිය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හොඳ ගුරුතුමියකි. ඇය එම විෂය පිලිබඳ අප තුල ඇල්මක් ඇති කිරීමට තරම් දක්ෂ ලෙස ඉගැන්වූවාය. ඇගේ පුත්‍රයාද අපේ පන්තියේ සිටි මුත් ඇය ඒ බවක් කිසි විටෙකත් හැඟවූයේ නැත. මා ඒ බව දැනගත්තේද  පසුව වෙනත් සිසුවකුගෙනි. ඔහු ශිෂ්‍යත්වය සමත්වී රාජකීය විදුහලට පැමිණි අයෙකි.

සමාජ අධ්‍යයනයට ක්ෂේත්‍ර පොතක් සැකසිය  යුතු අතර අප සැවොම වෙහෙස මහන්සිවී වී එය කළෙමු. සොයාගත් නොයෙකුත් විස්තර ලිවිම මෙන්ම පින්තූර ඇලවීමද නොයෙකුත් පාට වලින් විසිතුරු චිත්‍ර ඇඳීම් ද කළෙමු. දිනක් එක්තරා සිසුවකු ගේ ක්ෂේත්‍ර පොත ඉතා හොඳ බව කියා ගුරුතුමිය වර්ණනාවක් කළාය. මේ නිසා මාත් තවත් සිසුවකුත් එය බැලීමට ඉල්ලුවෙමි. ඔහු ක්ෂේත්‍ර පොත තමන් කිහිල්ලේ හිර කරගෙන වහා ගොස් තම බෑගයට දැම්මේය. අප අපගේ පොත් එකිනෙකා  අත යවමින් බලමින් සාකච්චා කලද අර සිසුවා මෙන් තවත් කිහිප දෙනෙකු තමන්ගේ පොත් වෙනත් අයට පෙන්වීම ප්‍රතික්ෂේප කළහ.  ඒ අනිත් අය තමන් ගේ දේ කොපි කරති යයි බියෙනි. ගුරුතුමියද  මදක් වික්ෂිප්තව සිටි බව පෙනුනි.

මේ සිසුවා  ඉගෙනීමේ දක්ෂයෙකු වූ අතර අර පසුගිය ලිපියේ සඳහන් කළ ත්‍යාග ප්‍රදානෝත්සවයේ වැඩිම  විෂයයන් සංඛ්‍යාවකට ත්‍යාගද ලැබූ අයෙකි. නමුත් පන්තියේ කිසිවෙකුට කිසිදා උදව්වක් කළ අයෙක් යයි නොසිතමි. පුද්ගලාර්ථවාදය (individualism) පිලිබඳ හොඳ පාඩමක්ද   ඉන් උගත්තෙමි.

නවය (1979) පන්තියේදී අර ගුරුතුමා වෙනත් විෂයක් ඉගැන්වීම සඳහා පැමිණියේය. මා පැමිණි ප්‍රදේශය දැන  සිටි නිසාදෝ වැඩි අවුලක් තිබ්බේ නැත. එම විෂය සඳහා ඇති අච්චු පොත විශාල නිසා,  නමය පන්තියේ සිටි අපගෙන් සමහරක් බෑග එල්ලා ගෙන පාසැල් යාම වෙනුවට සෝබනයට අතේ පොත් කිහිපයක් පමණක් රැගෙන යාමට පුරුදු වී සිටියෙමු.  එම නිසා විෂයට අදාල පොත නිවසේ තබා පැමිණීම පුරුද්දක් විය.

එහෙත් එක් දිනක් මමත් තවත් පන්ති සගයකු වූ ගම්පහ සිට එන යූ කේ ත් අච්චු පොත රැගෙන නොආ වරදට හසු වුනෙමු.  ගුරුතුමා කලේ අප දෙදෙනාව පන්තියෙන් එලියට දැමීමයි. වරද අපේ අතේ හෙයින් පහරක් කෑමට සුදානමින් සිටි මට එය  සැනසිල්ලක් විය. අප සිටියේ ක්‍රීඩා පිට්ටනියේ ඇති විශාල සියඹලා වැනි ගසක් අසල වූ පන්තියකය. එනිසා පන්තියෙන් එළියේ සිටීම ලොකු ප්‍රශ්නයක් වූයේ නැත.එකම ප්‍රශ්නය උප විදුහල්පති (කටයා මහතා) ලඟින් ගියොත් පමණය.

වාසනාවට එදා අප පසු කර යාමට පැමිණියේ රාජකීය විදුහලේ එවකට ක්‍රිකට් නායක මෙන්ම ප්‍රධාන ශිෂ්‍ය නායක ද  වූ රන්ජන් මඩුගල්ලය. (මඩුගල්ල ගේ උපන් දිනය අප්‍රේල් 22 ය)  මඩ්ඩා ලෙසින්ද හැඳින්වුනු  මඩුගල්ල 1979 රාජකීය ශාන්ත තෝමස් ශත සංවත්සරයට ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රීඩා කරන නිසා මෙන්ම නිහතමානී ගතිය නිසාද ජනප්‍රියව සිටියේය.
   වරක් උප විදුහල්පති විසින් අප කෑ කෝ ගැසීම නිසා පුටු උඩ සිට ගෙන සිටීමට නියම කර ඉවත්ව ගියේය. එතනින් ගිය මඩුගල්ල අපට නැවත  හිඳ ගන්නට කියා විෂය වෙලාව අවසන් වනතුරු නොයෙකුත් දේ ගැන කතා කරමින් ඊළඟ ගුරුතුමා එනතුරු පන්තියේ සිටියේය. එනිසා ඔහු මගේත්  වීරයකු විය.

අප දුටු මඩුගල්ල අප එළියේ සිටින්නේ ඇයි දැයි විමසිය. විෂය පොත අමතක වීම නිසා යයි දැනගත් ඔහු "පොඩ්ඩක් ඉන්න " යයි කියා අසල තිබු ශිෂ්‍ය  නේවාසිකාගාරයට ගියේය. මද වෙලාවකින් පොත් දෙකකුත් රැගෙන පැමිණි ඔහු ඒවා රැගෙන පන්තිය තුලට යන ලෙස අපට දැන්වීය. ගුරුතුමා කෝප ගනිතැයි බියෙන් අප අදිමදි කරනු දුටු ඔහු දොර හැර පන්තිය තුලට හිස ඔබා ගුරුතුමා ඇමතීය. කතා කරන්නේ මඩුගල්ලය. ගුරුතුමාද මුවේ ඒ කොනේ සිට මෙහා කොන තෙක් විශාල හිනාවක් රඳවා ගෙන පැමිණ මඩුගල්ල සමග කතා කර අප දෙදෙනාට පන්තිය තුලට යන ලෙස සන් කළේය. ශිෂ්‍ය නායක කාමරයට පොත් දෙක නැවත දෙන ලෙස දන්වා  මඩු ගාල්ල ගුරුතුමා සමග වචන දෙක තුනක් කථා කර නික්ම ගියේය.  

 කාර්ය නියමයක් හෝ කිසියම් විෂයක් උගන්වන්නේ දැයි මා දැන  නොසිටි තවත් ගුරුවරයෙකුද මේ කාලයේ සිටියේය. විෂය භාර ගුරුවරයා නැති අවස්ථා වල  පන්තියකට කඩා වදින  මොහු කතා කලේ ඉංග්‍රීසියෙනි.  "ඔබේ නම කුමක්ද -what is your name  " කියා අසන විට "මගේ නම --"යනුවෙන් පටන් ගෙන මුළු නමම වාසගම්  ද සහිතව කිව යුතුය.  බැරි වෙලාවත් අමතක වී එක නමක් නම් දෙකක් හෝ කිවොත් හෝ  මගේ නම යනුවෙන් කියා පිළිතුර පටන් නොගත්තොත් කම්මුලට දැඩි පහරක් වදී. නම හරියට කියන තෙක්ම ඒ කම්මුල් පහර දීමටද ඔහු වග බලා ගනී.  අටේ පන්තියේදී පහර කෑ නිසා නමය පන්තියේදී නම හරියට පිළිවෙලට කියා ඔහුගෙන් බේරී සිටීමට හැකිවිය. නමුත් පන්තිය පළමුවෙනි පේලිය නිතරම කම්මුල් පහර කෑහ. ඒ ඔහු එන හදිසියට නම සහමුලින්ම කීම සිසුන්ට අමතක වෙන නිසා යයි සිතමි.

ඔහු ෆේස්බුක් හි සිටිනු මම හදිසියේ මෑතකදී දුටුවෙමි. ඔහුගේ පොස්ට් එකකට ප්‍රතිචාර දක්වන ඇතැම් පරණ සිසුන් එම  ගුරුවරයා  තමන් හදා නිවැරදි මගට ගත් බව කියනු දුටිමි.  ඔහු හැදුවේ මොකක්ද යන්න  මට අදටත් ප්‍රශ්නයකි.

අපොස උසස් පෙළ කරන සමයේ විදුහල්පති ගේ නෑදෑයෙකු යයි කිවූ ගණිත ගුරුවරයෙකු විය. මේ ගුරුතුමාට අපි අර "කම්මුලට ගසන මගේ නම  " ගැන විස්තරය පැවසුවෙමු. ඒ ගුරුතුමා අපට කිවේ මෙවැනි  කතාවකි. ඔය කියන ගුරුවරයා විශ්ව විද්‍යාලයට පැමිණියේ ඉතා ඈත ගමක  සිට බවත්  රාජකීය විද්‍යාලයට ඉගැන්වීමට පැමිණි ඉංග්‍රීසියෙන් කතා කිරීමට හා මේ අමුතු හැසිරීමට පෙළඹී ඇති බවත්  මුල පටන් කොළඹ  සිටි අයෙකු පරිද්දෙන් හැසිරෙන බවත්ය. මේ කතාවේ ඇත්තක් නොදනිමි.

මේ ගණිත ගුරුවරයා ගේද අමුතු පුරුද්දක් විය. ඔහුගේ විෂය තිබුනේ අන්තිමටය. තරුණ ගුරුවරයෙකු වූ ඔහුට පෙම්වතිය හමුවීමට කලින් යාමට අවශ්‍ය විය. මේ නිසා ඔහු දවල් 1.15 ට පමණ "ජනතාවට විමුක්තිය  අවශ්‍යද?  "යයි අසයි.අපි සියලු දෙනා  එක හඬින් ඔව් කියන්නෙමු. ඔහු කරන්නේ  ගෙන ආ පොත් දෙක තුනද  කිහිලිගන්නා ගෙන ආයුබෝවන් කියා පැන යාමයි.

ඉන්පසු බාස්කට් බෝල් පිට්ටනිය පැත්තේ තාප්පෙන් රීඩ් මාවතට, පාසැල අවසන් වීමට කලින් පැන තාවකාලික විමුක්තියක් ලබා ගැනීමට ඇතැම් නිර්භීත සිසුන්ට හැකිවිය.

- මතු සම්බන්ධයි

Thursday, 20 April 2017

හතේ පන්තියයි අටේ පන්තියයි

පින්තූරය අන්තර්ජාලයෙනි 
පහේ පන්තියේ සිට හයේ පන්තියට ආ ගමන මේ ලිපියෙන් විස්තර කළෙමි. මේ දිනවල එක්තරා විද්‍යාලයකට "උපන්දා සිට" පැමිණි යයි කියන ඇතැමුන් බ්ලොග් කොමෙන්ට් වලත් බුකියේත් ඔජ දමන හෙයින් මේ ලිපි පෙළ දිගටම ලියන්නට සිතුවෙමි.   එවැනි මිනිසුන් මට කොතෙකුත් මුණ ගැසී ඇත. මා  සිතන්නේ කළ යුත්තේ තමන් උගත් විදුහලින් එළිය ගැනීම නොව උගත් විදුහලට ආඩම්බරක් වන ලෙස හැසිරීමයි.

 රාජකීයේ  හයේ පන්තිය ඉන්පසු සිදුවීමක් නැතිව ගලා ගිය අතර මට මතක මා පොත් රැගෙන ගිය විශාල සූට්කේස් එකයි. ඒ කාලේ "පොත් සුට්කේස්" ජනප්‍රිය අංගයක් විය. එය ඔසවා ගෙන බසයට නැගීම ඉතා අපහසුය.

 මේ හතේ  පන්තියට ගිය විටදී පන්ති  භාර ගුරුවරයා අප එකිනෙකා  කොහි සිට එන්නේ දැයි මුලදීම ඇසුවේය. කො.... සිට බව මම කීවෙමි. ඒ ගැන එතරම් එදින නොසිතුවෙමි.
 එම වසරේ සිල් සමාදන් වීමට ගංගාරාමයට යා යුතු විය. මම සීල ව්‍යාපාරයට සහභාගී නොවන බව ගුරුතුමාට දැන්වූයෙමි. එයට හේතුව වෙනත් පන්සලක සිල් ගැනීමට මගේ මව සැරසී සිටි නිසාය. ඔහු ගත් කටටම කිවේ "කො...එවුන් කවද සිල් ගත්ත  එවුන් ද කියායි".  මට ඔහුගේ කෝපය මහත් ප්‍රශ්නයක් වුනු අතර ඔහු ගේ වදන් ද මගේ සිත් ගත්තේ නැත.

අපේ පන්තියේ "මඩොල්දූව" චිත්‍රපටියේ උපාලි ගිනිවැල්ලගේ ළමා කාලය රඟ පෑ ළමා නළුවා ද එක්තරා ගත් කතුවරයෙකු ගේ පුතෙක් ද විය. අප මැනර්ස් හෝ එවැනි නමකින් බිත්ති සඟරාවක් කරන්නට කතා කරගත් බවද මතකය. එච් ජි වෙල්ස් ආදීන්ගේ ගේ නවකතා පරිවර්තන කියවූයේද මේ කාලයේ බව මතකය. සාමාන්‍යයෙන් හතේ පන්තිය හයේ පන්තියටත් වඩා ප්‍රියජනක වූයේ අප පාසැලට පුරුදු වී සිට නිසා විය යුතුය.  එසේම මට තවත්  යහළුවෙකු සිටි අතර ඔහු පන්තියේ රෙකොර්ඩ් මොනිටර් විය. ඔහුගේ කාර්යය පන්තියේ ළමයින් ගේ නම් ආදිය ඇතුලත් රෙකොර්ඩ් පොත තබා ගැනීමය.

වරක් අප සියල්ල වෙනත් විෂයක් සඳහා සභාගි වීමට  පන්තියෙන්   එලියට දිව  ගියෙමු. අප සිටියේ දඟලමින් හා දුවමිනි. කිසියම් හේතුවකින් ඉහත කි මගේ වඩා යහළු  සිසුවෙකු අත  තිබූ වතුර බෝතලය මගේ අතේ වැදී රෙකොර්ඩ් පොතට වැටුණි. එසේ වූයේ රෙකොර්ඩ් මොනිටර් මගේ පිටුපසින් තල්ලු කරමින් පැමිණි හෙයිනි. මගේ අතේ එය වැදුනේ අහම්බයෙනි.  නමුත් රෙකොර්ඩ් පොතේ පිටු කිහිපයක් බොඳ වී තිබුණි.

රෙකොර්ඩ් මොනිටර් අප දෙදෙනාට චෝදනා කළ අතර මා පැවැසුවේ ඔහු තල්ලු කල නිසා බෝතලය මගේ අතේ වැදුන බවත් අනිත් සිසුවා  තදින් බෝතලය අල්ලා ගෙන සිටියේ නම් එය ඉහිරෙන්නට ඉඩ නොතිබූ බවත්ය. ඔහු ජලය පානය කරන්නට මූඩිය ඇර තිබූ බැවින් රෙකොර්ඩ් මොනිටර් ඕනෑ කමින් මා  තල්ලු කලේ ඔහුගේ ඇඟේ වදින්නට බවත් පැවසුවෙමි .

ඉහත කී  පන්ති භාර ගුරුතුමා  මිනිත්තු කිහිපයකට පසු රෙකොර්ඩ් මොනිටර් ගෙන් පොත ගැනීමට පැමිණියේය. වතුර ඉසුණු රෙකොර්ඩ් පොත  දුටු ඔහු එය වූයේ කෙසේ දැයි ඇසුවේය. රෙකොර්ඩ් මොනිටර් මා පෙන්වමින් මා වතුර හැලූ බව පැවසීය. මගෙන් නිදහසට කරුණක් නොඅසාම ඔහු මට මිනිත්තු කිහිපයක්ම  තඩි බෑවේය. තඩි බාන අතර "කො .. සිට එන එවුන් " යන්න ඔහුගේ මුවින් නැවත පිට විය. මගේ කෝපය ඉහවහා ගොස් තිබුනද මා  නිහඬව ඒ පහරවල් විඳ  දරා  ගතිමි. හදිසියේම මට මතක් වූයේ අර ලුණුගල මාධ්‍ය මහා විදුහලේ පහර කෑ ශිෂ්‍යයාය. ඒ මොහොතේ මම එතනට පත්වී සිටි මුත් මේ ගුරුවරයා ට ඒ ජය නොදීමට මා තීරණය කළේද ඒ මොහොතේය. නිවසේ කිසිවකුට මම මේ සිද්දිය ගැන නොකීමි. නමුත් එම වසර අවසන් වන තුරුත් ඉන් පසුවත් අර සිසුවා  සමග මම වචනයක් වත් කථා කළේ නැත.

ඉන් වසරකට පසු අටේ පන්තියේදී  ඔහු අපේ පන්ති භාර ගුරුවරයා නොවුවත් සීල ව්‍යාපාරයේ සිටියේය. එහි තවත් ගුරුවරයකුද සිටි අතර මේ වැඩි මහලු ගුරුවරයා කරුණාවන්ත අයෙකු ලෙස මා  දැන සිටියෙමි. විදුහල්පති කාර්යාලය අසල නිතර ගැවසුන ඔහු පන්තියකට ඉගැන්වූයේ දැයි නොදනිමි. ඔහු සැම විටම හැඳ සිටියේ තද දුඹුරු කලිසමක් හා ක්‍රීම් පැහැති අත් කොට කමිසයකි.

ඔහු මගෙන් මා  කොහි සිට එන්නේද ආදී විස්තර රැසක් ඇසුවේය. මා එන පෙදෙස "කො..." කි පසු ඔහු හාර හාරා මා පාසැල් ඒමට බසය ගන්නා තැනද  නිවැරදි ලෙසම ජිවත් වන තැන ද විමසුවේය. ඉන්පසු ඔහු කීවේ ම එන්නේ "කො..." සිට නොවන බවත් ජනප්‍රිය සිනමා හලක් අසල සිට බවත්ය. ඒ පෙදෙසේ නම පටන් ගන්නේ  ද "කො..යන්නෙනි " නමුත් මින්පසු එතැන සිට එන බව කියන ලෙස මට අවවාදයක් ද දුන්නේය.  නම් ලිස්ට් එක ගනිද්දී ඔහු මා එන තැන ගැන අර අනිත් ගුරුවරයා ටද කී අතර ඔහු කීයේ "ආ කො ..." අයත් සිල්  ගන්න ඇවිල්ල ඉන්නේ කියාය. නමුත් මෙහිදී ඔහු අර දෙවැනියට කී පෙදෙසේ නම සිනාමුසුව භාවිතා කළේය.    

අපි අටේ පන්තියේදී (1978 වසර) එවකට ශ්‍රී ලංකාවේ  ප්‍රථම ජනාධිපති වරයා ලෙස පත් වූ ජේ ආර් ජයවර්ධන මහතා රාජකීය විද්‍යාලයට පැමිණියේය. ඒ වසරේ පැවති වසරේ ත්‍යාග ප්‍රදානෝත්සවයට ද ඔහු පැමිණියේය. මටද එක් විෂයකට පමණක් ත්‍යාගයක් විය. අපේ පවුලේ පියා හා මව දැඩි  ශ්‍රීලනිප පාක්ෂිකයන් වූ නිසා මගේ පක්ෂපාතිත්වය තිබුනේ ද මැතිනි ටය.    නමුත් රටේ ජනාධිපති තුමාගෙන් ත්‍යාගය ගැනීමට මා යා යුතු බව පියාගේ අදහස විය. ඔහු ත්‍යාගය දෙන්නේ මගේ දක්ෂතාවය ඇගයීමටය. මේ නිසා විදුහලේ ටයි පටියක්ද මිලදී ගෙන උත්සවයට දෙමාපියන් සමග ගියෙමි. මට ත්‍යාගය ලැබුනේද මට ඒ විෂයට වැඩිම ලකුණු තිබුණු නිසාය.ඒ අර මට තඩි බෑ ගුරුවරයා ඉගැන්වූ විෂයකටය. මා මෙන්ම අනිත් සිසුන්ද ත්‍යාගය ගන්නා විට ඡායා රූපයක් ගැනීමට මුදල් දී තිබුණි. කැමරාකරු අසල අර ගුරුවරයාද වේදිකාවට යාමට සිසුන් මෙහෙයවන්නන් අතර සිටියේය. කෙසේ හෝ වේවා  පසුව අනිත් සියළුම ළමයින්ගේ ඡායාරුප ලැබුනද ජේ ආර් ජයවර්ධන මහතා අතින් ත්‍යාගය ගන්නා මගේ ඡායාරූපය තිබුනේ නැත.

රාජකීය ප්‍රයිමරියේ (මුල් අවුරුද්දේ සිට රාජකීය විදුහලට එන සිසුන්)  ශිෂ්‍යත්වයෙන් සමත්වී හා රාජකීය විදුහලේ විභාගයෙන් සමත්වී එන සිසුන් සමග එකතු කළේ මට මතක විධිහට මේ වසරේය. අප අට සිංහල  එක (8S1)  , අට සිංහල තුන වැනි පන්ති වලද ඔවුන් අට සිංහල දෙක , අට  සිංහල හතර වැනි ඉරට්ටේ නොම්මර සහිත පන්ති වලද වූහ . මොවුන් හැතැප්ම දෙකේ සීමාවට අසුවන අයයි. සජිත් ප්‍රේමදාස මහතා ද කෙසේ හෝ මේ සීමාවට ඇතුළුව ප්‍රයිමරියේ සිට පැමිණ තිබුණි. ඒ දිනවල ජනක්, සමන් වැනි සිසුන් මේ ප්‍රයිමරියෙන් පැමිණි සිසුන් සමග දබර ඇති කර ගෙන එකිනෙකාට ගුටි දී ගත්හ.

ඉන්පසු දවසක මා දැන  ගත්තේ කුරුඳුවත්තෙන් හැතැප්ම 15 -20 ඈතින් වෙසෙන අර ගුරුතුමා ගේ පුත්‍රයාද රාජකීය විදුහලේ උගන්නා බවය. මේ අර කොමෙන්ට් කරුවන්ට අනුව රාජකීය විදුහලේ උරුමඃකාර පොල්මඃකාරයන්ය. මට කිසිම විද්‍යාලයකට බැඳී සිටීමේ අවශ්‍යතාවයක් නැත. සෝවියට් දේශයේ ඉගෙනීමට පැමිණි එක සිසුවෙක් "ඔබ ආවේ කොහෙන්ද" යයි ජ්‍යෙෂ්ඨ සිසුන් ඇසු විට "මා රෝයල් එකෙන්" යයි පැවසිය. සිසුන් ඇසුවේ ඔහු පැමිණි ගම් පළාත ගැනය. ඉන්පසු එදා සිට ඔහු රෝයල් එකේ .......විය. වෙනත් වසරක තවකෙකු ඔහු  ආනන්දයෙන් යැයි පැවසීය. ඔහු ආනන්ද ..... විය. මේ විදුහල් භේදය විහිළුවක් හැටියට සියල්ලෝම සැළකුහ .

සිසුවෙකු එන පළාත අනුව ඔහු ගැන තීරණය කරන ගුරුවරු සීල ව්‍යාපාර වලටද සහභාගී වෙති.  බුදු හිමියන් පතිරූප දේශ වාසේච යනුවෙන් හොඳ පළාතක ජීවත්වීම  මංගල කරුණකැයි පැවසුවේ මේ නිසා විය හැකිය. නැතිනම් හේතුවක් නැතිවම සමහර ගුරුන් ගෙන් ගුටිකන්නට පවා සිදු විය හැකිය.

Monday, 17 April 2017

චූලා ගේ කොච්චි කවි

පසුගියදා ශ්‍රී ලංකාවට ගිය අවස්ථාවේ කොළඹ යාමට සිදු වූයේ "අහවල්" උත්සවයේ වැඩකටය. අන්තිමේදී ගිය කාර්යය තුන හමාරට පමණ අවසන් වූ අතර ඊළඟ සාකච්චාව තිබුනේ හවස හතටය. හදිසියේම මට සිහි වූයේ දන්නා  හඳුනන සොඳුරු මිනිසකු ඒ අසල කාර්යාලයක රැකියාව කරනා බවය. චූලානන්ද සමරනායක මහතා රැකියාව කළේ ඒ අවට  නිසා ඔහුට ඇමතුමක් දුනිමි. ඔහුගේ කාර්යාලයට යනවිටම වාගේ  ඒ අසල රජයේ කාර්යාලයකට එන ඇමතිවරයෙකු දුටිමි. පයිලට් කාර් ද සමග පැමිණි ඔහුට හමුදා වෙන් හෝ එම් එස් ඩී එකෙන් ආයුධ  සන්නද්ධ රැකවලුන් ද  ලබා දී තිබුණි. යුද්ධය අවසන්ව ඇති නිසා මේ කුමන  හේතුවකටදැයි මට සිතා ගත නොහැකි විය. ඇමතිවරුන්ගේ නැති ප්‍රතිබිම්බ ඉලිප්පීමට යයි නිකමට සිතුනි.

චූලා ගේ ඔෆිසියේ කැන්ටිමෙන් හැලපයක් කා තේකක් බිව් පසු හවස 7 තෙක් රැඳී සිටීමේ අදහස වෙනස් කර  චූලා ගේ ආරාධනය පිට ඔහුගේ නිවසට යෑමට පිටත් වුනෙමු.

කාර්යාල වසන වෙලාව නිසා රැකියා කර නිවෙස් බලා යන මගීන් ගෙන් බස් රථ පිරී ඉතිරී ගොසිනි. හැම බසයක්ම කට්ට කපා පුරවා ඇත. අව් රශ්මිය තවමත් ඇති ඉමහත් ලෙස දහදිය ගලන ඒ වේලාවේ බසයක සිරවීම නම් අනුවණ කමකි. තෙසක් රියක් නැවතූ අප බම්බලපිටිය දුම්රිය ස්ථානයට ගියෙමු. ඒ යන අතරමග රටේ ඉහළ හමුදා නිලදරුවන් මෙන්ම මන්ත්‍රී ඇමතිවරු වෙසෙනා හරියක්ද පසු කළෙමු.  ඒවා වල තවමත් දැඩි රැකවල් ලා ගෙන ඇත.

 දුම්රිය ස්ථානයේදී  පළමු දුම්රියට ගොඩ නොවුනේ එයද අර ලෙසින්ම මගී ජනයාගෙන් පිරි ඉතිරී තිබූ හෙයිනි.   අපි කළුතර පිහිටි චූලා ගේ නිවසට ගියේ ඊට පසු පැමිණි "ස්ලෝ කෝච්චියෙනි " වසර ගණනකට පසු මුහුදු මාර්ගයේ යන දුම්රියක සුළන්  රැල්ලේ සැප විඳ  ගැනීමට නොහැකි වුනේ එහි මැදිරිද සෑහෙන්න පිරි තිබුණු හෙයිනි. ඇත්තටම කියනවා නම් මේ කාර්යාල අවසන් වන අවස්ථාවේ එන තදබදයට (මීතොටමුල්ල මෙන් බලා නොසිට) දැන්ම විසඳුමක් සෙවිය යුතුය. රැකියාව කර නිවෙස් වලට යන ජනයාට මීට වඩා පහසුකම් සැලසිය යුතුය. ඔවුන් පසු දිනයේ වඩා කාර්යක්ෂම වන්නේ අද දිනයේ වැඩි අමාරුවකින් තොරව නිවෙස් බලා ගියහොත්ය. ගතින් මෙන්ම සිතින් ද විඩා  බර මිනිසුන්ගෙන් වඩා වැඩි යමක් කාර්යාලයකදී  බලා පොරොත්තු විය නොහැකිය.

චූලා ගේ නිවසේදී ඔහු විසින් අලුතින්ම ලියු කාව්‍ය සංග්‍රහය මට තිළිණ කළේය. ගුවන් යානයේ ලන්ඩනය එන අතරමග පැයකට අඩු කාලයක්  තුල  එය කියවා හමාර කලෙමි. මහගම සේකරයන් ගේ නිසඳැස් පොතක් කියෙව්වාක්  වැනි හැඟීමක් මට ඇතිවුණි. හයිකු වැනි කෙටි කවි වලට මම ඉතා ප්‍රිය කරමි. වරක් බ්ලොග් කරුවන් හබරල කවි නමින් කෙටි කවි ලියන්නට පටන් ගෙන තිබුණි. එම රැල්ල වැඩිකල් පැවතියේ නැත. චුලා ගේ "යකුළු" කවි පොතේ සියල්ල කෙටි කවිය. ඒවා පද හතරේ කෙටි කවි හෝ කෙටි නිසඳැස් ලෙස නම් කලද යගදා වන මෙන් බලවත් ලෙස මනසට පහර දෙයි. යකුළු යනුවෙන් නම් කළේ එනිසා වත් දැයි සිතුවෙමි.

පොත පටන් ගන්නේම  මෙවැනි ආන්දෝලාත්මක කවියකිනි.
"වැවෙන හැටි මෙතරම්
කාක බෝ තුරු
ලැබ කාක පුද හසර
සදමින් සෙවණ උන්ටම "
ලඟදි  පැවති ඇතැම් උද්ඝෝෂණ අනුව බලන විට කවියේ  කියවෙන කාකයන් කවුරුන්ද කියා සැසඳුමක ට සිත යොමු  වෙයි.

ඔහුගේ නිවසට යන අතරතුර අප දුටු බසයේ දුම්රියේ තැලී පොඩි වී යන මගීන් දෙස බලමින් සිගරැට් පෙට්ටියක ඇතුල් පැත්තේ ලියූවක්ද මේ? චුලා දුම් පානය නොකරන බව මදකට අමතක වුනි.
"රට කරන  මහතුනේ
ඔජ වඩන
මදිය
මාසෙක මහන්සිය
අපට
සිරි සිරි බෑගයක්  පිරෙන්නට වත්
බඩු  ගන්න "
ඒ ලඟින් ම මෙයත් ලිවී ඇත.

"ආණ්ඩු පෙරළිය
භූමිකා මාරුවකි
රජුන් සොරු වෙන
වේගයෙන්ම
සොරුන් රජවෙන "
අර මගීන් ගැන නැවත සිතෙයි. සොරුන් වෙන රජුන් ගෙන් හෝ රජුන් වෙන සොරුන් ගෙන් පිහිටක් නැති ජනකායකි ඒ .

පිටු කිහිපයකට පසු ලියැවුණු මේ කවියත් මෙතැනටම අදාළය.
'පක යනු
ගෙඩියට
පර්යාය
පදයෙකැ'

ආයිබෝවන්ඩ,
එතකොට
මැතිසබේ කියන්නේ
කුණුවුණ
පකවල් ගබඩා කරන
ඉස්ටෝරුවද?"

ගබඩා වී සිටින ඇත්තන් ඇඟ මැලි කඩා එලියට එන්නේ සය වසරකිනි. එතෙක්  සිටිනුය  "පකවල් හෙවත් ගෙඩි " දෙස බලාගෙන.

මේ තියෙන්නේ සේකර පන්නයද  ද චූලා පන්නයද නොදනිමි. නමුත් හිතට වැදෙන කවි පද පහරවල්ය.

ඔහු නිවසට යන මග දෙපස චුලා ගේ විචක්ෂණ දෙනෙතට බඳුන් වෙයි. ඉන්පසු ඒවා මතු වන්නේ කොච්චි මෙන් සැර  කෙටි කවි ලෙසය.
"ඉපලක්
සෑම උදයකම
අමදියි
ඉදලකින්
මාවතක්"

ඒ හුස්මටම මෙයත් ලියන්නද? සිතන්නට වඩාත් පොළඹවන කවි පෙළක්. යන්නේ කොහාටද තරුණ පෙළ නැවතත්.
"පෝස්ටර් පේළියක්
ගරා වැටෙනා
තාප්පය
රැක ගැනීමේ
අරගලයක"

මේ හැම කවියකම මහා කථාවක්  ගැබ්ව ඇත. හැම කවියක්ම අරඹයා ම මට බ්ලොග් කතාවක් ලිවිය හැකියයි සිතේ.  විජිත ගුණරත්නගේ පළමු සිනමා කෘතිය ගැන ලිවූ වලාපටල ගැන අදහසක්   ලිපියේ යථ හෙවත් අප අත්  දකින යථාර්තය පිලිබඳ සාහිත්‍ය නිර්මාණ කිරීම ගැන සාකච්ඡා කළෙමි. මේ කවි වල චූලානන්ද සමරනායක තමන් අත් විඳින යථාර්තය මගින් සිතේ පැන නගින ප්‍රබලතම හැඟීම් සමුදාය කවියට පෙරළයි. ඒවා කිසිම දෘෂ්ටිවාදයකට (ideology) බැඳ නොතබා තම සිතින් විචාර කළ යුතුය. මාක්ස්වාදි හෝ ධනවාදී හෝ සමාජවාදී   හෝ ගුරු කුලයකට බෞද්ධ, ක්‍රිස්තියානි මුස්ලිම් වැනි ආගමික සංස්ථාවකට අනුගත නොවී ස්වාධීන සිත මෙහෙයවන විට එය නතර වන්නේ කොතැනද එය ඔබේ දෘෂ්ටිවාදය විය යුතුය. ඒ සඳහා යථාර්තවාදී සාහිත්‍ය කෘතියක් අපට කරන  පෙළඹීම මනසින් විමසීමක් , විශ්ලේෂණය කිරීමක් කළ යුතුය.
"පාරිලෙයිය වනයෙන්
මදු ගසා ඇල්ලූ
ඇත් රජුන් දෙව්රමෙහි
විලංගුවේ
'බුදු පුදට' "

දෙව්රමේ විලංගුවේ සිටි ඇත් රජෙක් ගැන ඔබ කියවා තිබේද? දැන සිටියාද?  එවන්ම වූ තවත් කවියක් වෙන තැනක මෙසේ දුටිමි.

"ගරුතර හාමුදුරුවනේ
කියනු මැන
බුදු හාමුදුරුවෝ සිංහලද?
උන්වහන්සේගේ නම
දේවදත්තද?"

 රටක පැතිර යන අන්තවාදී අදහස් ගොන්නකට එල්ල කරන කවි ප්‍රහාරයක් නැවත මෙසේ කවි උණ්ඩයක් කවි අවියට දමයි.
"මොන තරම්
බලයක්ද
අර බලන්
සීසීටීවී කැමරා
මුර කරයි
දේවාල භූමියද "
 මේ නම් අපට නිතර සිතෙන දෙයකි? දෙවියන්ට මුරකාවල් කුමටද ඔබ ඔබේ සිතෙන් මැව්වේ නැත්නම්?

ඒ කොච්චි මිරිස් වැකි පෙළට තවත් එකතුවක් එයි මෙසේ.
"දෙපැත්තම
පොල් ගසති
නැද්ද දෙවියන්ට
තර්ඩ් අම්පයර් කෙනෙක්"
සිංහල කවියට ඉංග්‍රීසි එකතු කිරීම ගැන විචාරයක් කියෙව්වා මතකයි. නමුත් ජනතාව තුල මුල් බැස ඇති වදන් තව දුරත් එම භාෂාවටම අයත් නොවෙයි. ඒ යෙදුම තුලින්ම කවියේ අර්ථය වඩාත් ප්‍රබලව නැගෙයි.

අර තම නිවසට යාමට ඔහු නගින  ස්ලෝ කෝච්චියේදී චූලා ගේ මනසද මොහොතකට නතර වී ඇති සැටියකි.
"ගැස්සී නතරවුණ
දුම්රිය
යළිත් අරඹයි
අතරමග නැවතූ
සුපුරුදු
ගමන "
අපේ ජිවිතත් ඒ ස්ලෝ කෝච්චිය වැනි යයි මට මොහොතකට සිතෙයි. ගැස්සී නතර වෙන වාර නම් කොපමණද?

තව දුරටත් ලිවිය හැකියි. නමුත් මුළු කවි පොතම මගේ බ්ලොග් ලිපියේ ලිවීමට සිදු වෙතයි බියෙන් මේ කවි දෙකින් නවතිමි.
"නොමිලේය
නිදහස්ය
සුව සේවය

සරති ආතුරයෝ
ආධාර පත්‍රිකා
අතැතිව
සොයා ගනු පිණිස
පිරිවැය
වකුගඩුවක
බයි පාස්  සැත්කමක
පිළිකා බෙහෙත් වඩියක

සුව සේවා ඇමැති සඳ
ඒරොප්පේ
ගිලන් හලක
ලබනු වස් සුව සේවය
හුදී ජන තරු දකින
මිලකට"
 සුව සේවය ගැන මෙන්ම එහි පාලනය ගැනද ලියවෙන කියැවෙන මෙකළ ඔහු දකින ද්විත්ව ඝට්ටනය සරල ලෙස ලියැවී ඇත. මේ මිරිස් සැර අඩුම  කවිය පෙළද කියාත් සිතුනි.
ඉතින් මේ ලිපිය අවසන් කරමි මෙලෙස.
"ආං
තවත්
වවුලෙක්
ඉගිල එනවා
පල ඇති රුකකට"

"උත්සවයට" කලින් ලියුවක් නිසා ඒ ගැන නම් විය නොහැකිය.
මා ලිපිය අවසන් කරන්නේ මේ කවෙනි.

"සුවඳ විඳ විඳ
කුඩා දරුවෙක්
රැගෙන ගාටයි
පේර  මල්ලක්
හන්දියේ
පළතුරු කඩේ වෙත "
ඔහු ගේ දයලෙක්තිකය මෙයයි. මේ දයලෙක්තිකය මනසට මෙන්ම හැඟීම් බර හදවතටද ආමන්ත්‍රණය කරයි.

චුලානන්ද සමරනායකයන් ගේ "යකුළු"පොතේ පළමු මුද්‍රණය අවසන් වී ඇති බව දැන ගතිමි. මා  දුටු පරිවර්තන සාහිත්‍යයේ නයුවකු ප්‍රබල කවියෙකු ලෙසින් ඉදිරියට පැමිණ ඇත. තවත් සේකර කෙනෙක් , නෙරූඩාවෙක්, මයකොව්ස්කියෙක්  බිහිවීමට නියමිතද?
මා  නම් කැමති කමිසයේ උඩ  බොත්තම් හැරගෙන සම්මානයක් දෙන්නට වේදිකාවට  එනු දුටු සරල සොඳුරු සුන්දර මිනිසාටය. 

-ප්‍රකාශනය - ග්‍රැෆිකෙයා දුරකථනය 011 4007193 - පළමු මුද්‍රණය 

Sunday, 9 April 2017

සම්මාන උළෙල - රාජිත - ප්‍රාජිත , හෙන්රිගේ දිව දෙකේ කතා සමග මංජුලගේ අපස්මාරය

දැන් තවත් නෙළුම් යාය සම්මාන උළෙලක් හමාර වී තිබේ.  මෙවර සම්මාන උළෙල පිලිබඳ කතා බහ තවමත් අවසන් වී නොමැත.
රාජිත, පණ්ඩුක, මහින්ද දේශප්‍රිය, කරු ජයසූරිය සම්මාන උත්සවයේ දී 
 එය ඇත්තෙන්ම ප්‍රීතියකි. විවේචනද වැඩි වී තිබේ. කෙටියෙන්  කියනවා නම් මුල් නෙළුම් යාය සම්මාන උළෙලවල් වලින් බ්ලොග්වලට ලැබුණු ප්‍රසිද්ධියට වඩා ප්‍රසිද්ධියක්,  ප්‍රසිද්ධ බ්ලොග්කරුවන් කිහිප දෙනෙකුගේ වර්ජන මධ්‍යයේ වුවද මෙම උළෙල නිසා ලැබී ඇත. සම්මාන උළෙලේ මුලික අරමුණ ලෙස මා සලකන බ්ලොග් ප්‍රවර්ධනයට ලැබී ඇත්තේ විශාල තල්ලුවකි. සමාජයේ ඒ පිලිබඳ කතාබහ තවමත් අවසන් වී නොමැත.

මේ අතරේ සම්මාන උළෙල පිලිබඳ ඇතිවන හා හූව සෙමින් මැකී යන තත්වයක් තුල නොකී කතා ලියන හෙන්රි වර්ණකුලසූරියත් බුකියේ මංජුල සමරසේකරත් එකම ප්‍රශ්නයක් ඇදගෙන නෑමක් කරනු පෙනුනි . ඒ රාජිත සේනාරත්න ඇමතිවරයාගේ සහභාගිත්වය ගැනය.  හෙන්රිට අනුව මේ ඇවිල්ලා නොටෝරියස් ප්‍රා - ජිතය. මංජුලට අනුව නෙළුම් යාය බ්ලොග් කාරයන්ව  රාජිතට විකුණලාය. මේ නයිට් වරු (knights in shining armour) තම අසිපත් ලෙලවා ගෙන බ්ලොග්කරුවන් බේරා ගැනීමට බුකියේ සටන් වැද සිටියහ.
රාජිත සේනාරත්න මහතා සම්මාන ප්‍රදානයේදී 
සම්මාන උළෙලේ දේශපාලනය මගේ මිතුරන්ටද තදබල ප්‍රශ්නයක් වී ඇති බව පෙනේ. බොහෝදෙනා ඇසට පෙනුනත් සඟවන සත්‍යය මෙවර නෙළුම් යාය සම්මාන උළෙල තුලින්  ඉස්මතුවී තිබේ. ඒ මෙසේය.

පසුගිය පෙබරවාරි මස ලන්ඩනයේ සිටි හඳුනන අයෙකු විසින්  එවන ලද පණිවිඩයක කියවුනේ "වියත් මග " නම් සංවිධානයක් ශ්‍රී ලංකා හමුදාවක  එක්තරා හිටපු සෙනෙවියකු ගේ මුලිකත්වයෙන් රැස්  වෙන බවත් එයට සහභාගී  වන ලෙසත්ය.  එදින වෙන කටයුත්තක් තිබූ  බැවින් මට සහභාගී වීමට නොහැකි විය. දින කිහිපයකට පසු  ලැබුණු තවත්  දුරකථන ඇමතුමකින් හඳුනන අයෙකු පැවසුවේ නව ව්‍යවස්ථාවෙන් රට  බෙදීමට යන බැවින් නැගෙනහිර ලන්ඩනයේ පැවතෙන රැස්වීමක ට වහ වහා පැමිණෙන ලෙසය.  මේ අවස්ථා දෙකේදීම  ගෝඨාභය යන  නම සමග බැඳුනු සටන් පාඨයක් යෝජනා වෙන බව මට දැන  ගන්නට ලැබිණි. ඒ "ගෝඨාභය  රාජපක්ෂ ජනපති කරමු" යන්නය. මේ රැස්වීම්  සංවිධානය කරන්නේ ද කලක සිට  ලංකාවේ කිසියම් හෝ විධියක ව්‍යවස්ථා සංශෝධනයක ට විරුද්ධව කටයුතු කළ, කරන ලංකාවේ කිසිදු ජාතික ප්‍රශ්නයක් තිබෙන්නේ නැත යන මතයේ සිටින පිරිසක් විසිනි.

මේ තත්වය  මත බ්ලොග් අවකාශයේද  කිසියම් බෙදීමක් උවමනාවෙන් ඇති කරන කණ්ඩායමක් මතු විය. ඔවුන් කලක් නිහඬව සිටියද ඉස්මතු වුයේ හෙළ බස රකින නියායෙනි. මේ ගැන විරුද්ධත්වයක් නැති වුවද මේ අදහස පිටුපසින්  ඉස්මතු වූයේ, හිටපු ජනාධිපති රාජපක්ෂ මහතා ගේ රජය පැරද වූයේ ලංකාවේ සංවර්ධනයට  ඉරිසියා කරන බටහිර ජාතින් බවත් ඔවුන් යුඇන්පී/මෛත්‍රී සන්ධානයට උදව් කළේ  එනිසා බවත් යන අදහසය.  විවෘත ආර්ථිකය මත ලංකාව කිසියම් ප්‍රමාණයකින් මැලේසියාවේ ක්‍රමයට දියුණු වෙද්දී ජේ ආර් ගේ රජයට විරුද්ධව දෙමළ සංවිධාන වලට  යුද පුහුණුව දුන්නේ ඉන්දියාව බව වීම මොවුන් අමතක කරන කරුණකි. (රාජපක්ෂ මහතා විසින් නුවුමනා ලෙස චීනයට ආවැඩීම නිසා ඉන්දියාව කලබල වුනු බවද  මේ අය ඉතා පහසුවෙන් අමතක කරති.) මේ කල්ලියේ අදහස ද ගෝඨාභය රාජපක්ෂ කරලියට ගෙන ඒමය.

ඔවුන් මේ සඳහා ජනප්‍රිය බ්ලොග්කරුවෙකු ගේද සහය ලබා ගනී. මේ බ්ලොග් කරු කලක සිටම ගෝඨාභය ලංකාවට  සුදුසු නායකයෙකු යයි කියන්නෙකි.  ඔහු  ජාතිවාදයට ආගම්වාදයට විරුද්ධව  ප්‍රගතිශීලි ලෙස ලියන්නෙකු වුවද "ගෝඨා ගෙන ඒමේ " ව්‍යාපාරයේදී  ගෝඨාභය අතිශයින් ජාතිවාදී ලෙස කටයුතු කරන්නෙකු බව අමතක කරන සෙයක් පෙනී යයි.  එහිද ප්‍රශ්නයක් නැත. ඔහු තමන්ගේ මතය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කෙලින් ප්‍රකාශ කරන කෙනෙකි.

ප්‍රශ්නය ඇතිවූයේ ඉහත කී  කණ්ඩායම අතිශය පුද්ගලික ලෙස හා අපහාසාත්මක ලෙස මට පහර දීමයි.  විසුළු සහගත  වූයේ එම පහරදීම් මධ්‍යයේ වුවද ඒවා යුඇන්පී මාධ්‍ය මෙහෙවරට විරුද්ධව කෙරෙන්නක් මිස මට විරුද්ධව නොවන බව කියමින් එක්තරා නීතිඥ මහතෙකු හරහා පණිවුඩ එවීමටද මේ කණ්ඩායමේ මඩ නයුවා කටයුතු කිරීමයි. මට එරෙහිව  මේ පහරදීම් චන්දිම  විතානආරච්චි මහතා ගණන් ගත්තේ නැත. කුප්‍රසිද්ධියත් හොඳ බව ඔහු තර්ක දමමින් පැහැදිලි කළේය. මේ විවේචන කණ්ඩායමට පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ  බ්ලොග් ලියන්නෙකුද එක්  වුනු අතර එහිදී කෝප සහගත බවක් මා මවා  පෑවේ ඕනෑ කමිනි. කොටින්ම  ගෝඨා ගෙන ඒමේ ව්‍යාපෘතියට පෙරටුගාමී සමාජවාදී සහය ලැබෙන්නේ නම් එසේ වන්නේ ඔවුන් ගේ ඇති රනිල්ට විරුද්ධ භාවය නිසා බව දන්නා බැවිනි. රනිල් ගේ "බටලන්දේ භූමිකාව " මේ හැමෝම ඉස්මතු  කරන්නේද මේ නිසාය. දෙමළ  ප්‍රශ්නය කුමාර් ගුණරත්නම් ද මග හරින නිසා මේ සුසංයෝගය පෑහෙන බව පෙනී යයි. නොඑසේ නම් ලලිත් කුමාර් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදහන් වුයේ මොන ආණ්ඩු කාලයේද යන්න  කුමාර් ගුණරත්නම් නිදහස් කල පසු ඔවුන්ට අමතකවී යන්නට ඇත.

මේ අන්දමින් තත්වය පැහැදිලි ලෙසම වෙනස් වූයේ චන්දිම විතානාරච්චි එල්ල කරමින් කළ පහරදීම් නිසාය. මංජුල සමරසේකර නොදන්නා කරුණක් නම් චන්දිම විතාන ආරච්චි පළමු  බ්ලොග් සම්මාන උළෙලේ පටන්ම තිරය  පිටුපස සිටි බවයි.

ඔහුගේ ලංකානිව්ස්වෙබ් හි  නෙළුම් යාය කොටසට ජනප්‍රිය  බ්ලොග් ලිපි හා නිසඳැස් ආදිය  එකතු කිරීමට මා  කල යෝජනාව ඔහු පිළිගත්තේ 2014 පමණ කාලයේය. එවකටද නෙළුම් යාය නම් අංගයක් ලංකානිව්ස්වෙබ් හි තිබුණි. ප්‍රථම සම්මාන උළෙල පැවැත්වීමට කරු පරණවිතාන හරහා ශාලාව සොයා දුන්නේද සමරු  සඟරාවේ දැන්වීම් වලට යහළුවන්ගේ ව්‍යාපාර හරහා මුදල් සොයාගෙන උළෙලේ වියදම් පියවූයේ ද චන්දිමය. මෙහිදී අපේ පෞද්ගලික මුදල්ද වැයවූ නමුත් පොදු කාර්යයක් හා කැමැත්තෙන් කළ දෙයක් නිසා ඒ ගැන අපි කතා නොකෙලෙමු.

පළමු සම්මාන උළෙලෙන්  පසු කියවන බ්ලොග් සංඛ්‍යාව වැඩිවූ හෙයින් ලංකා නිව්ස්වෙබ් හි නෙළුම් යාය අංශයේ ඉඩකඩ මද විය. මේ නිසා නෙළුම් යාය නමින් වෙබ් අඩවියක් ඇතිකර ජනප්‍රිය බ්ලොග් ලිපි ඒවායේ පළ කිරීමට අප දෙදෙනා සාකච්චා කොට තීරණය කළෙමු. මේ නිසා දෙවෙනි සම්මාන උළෙලද පැවැත් වීමට  හා බ්ලොග් සංසදයක් පිහිටුවීමටද තීරණය කෙළෙමු. මගේ වියදමින් බ්ලොග්පවර් නම් වූ වෙබ් අඩවිය ලියාපදිංචි කළේද ඒ අනුවය.

මේ කාලයේදී චන්දිම විතාන ආරච්චි මහතාට ඇති රතු වරෙන්තුව ගැන නීතිඥ මහතෙකු ඇතුළු කිහිප දෙනෙක්ම මා  දැනුවත් කළහ. ඔහුගෙන් ඒ ගැන අසා බැලූ  විට පෙනී ගියේ ඔහු එංගලන්තයේ සිටින තුරු අත් අඩංගුවට ගැනීමක්  නොකෙරෙන බව හා ඔහු ගේ නිව්ස්වෙබ් අඩවියද  ශ්‍රී ලංකාවේ  තහනම් කර ඇති බවයි. ලංකානිව්ස්වෙබ් හි තහනම ඉවත් කරන ලද්දේ  පසුවය. ඔහුගේ රතු වරෙන්තුව දේශපාලන පලි ගැනීමක් යන්න  මගේ අදහස විය.  ඔහු ලන්ඩනයේදී හමුවුණු නොයෙකුත් දේශපාලන පක්ෂ නායකයන් මෙන්ම සිවිල් සංවිධාන වල ලොක්කන් ගැනද මා  දැන සිටි අතර මේ නිසාම ඔය කියන වරෙන්තුව දේශපාලනික එකක් බව නිගමනය කලෙමි. නොඑසේ නම් මේ වරදකාරයා හමුවන්නට මේ දේශපාලන නායකයන්ට ලොකු උවමනාවක් තිබුනා විය හැකිය.

එසේම ලංකානිව්ස්වෙබ් අඩවියට නොයෙකුත් වාමාංශික දේශපාලන පක්ෂ වල නිවේදන, ලිපි ආදිය  ලැබෙන අතර චන්දිම විසින් මේවා නොකඩවා පළ කරන ලදී. මංජුල සමරසේකරට, ඔහු නියෝජනය කරන ජවිපෙ ට හෝ හෙන්රි වර්ණකුලසුරියට ඒ කාලයේ චන්දිම ගේ ප්‍රශ්නයක් තිබුනේ නැත.

කරු පරණවිතාන පළමු හා දෙවන  සම්මාන උළෙලට සහභාගී වුයේ ශාලාව ලබා දීමෙන් උදව් කිරීම  නිසා මෙන්ම බ්ලොග්කරුවෙකුද නිසාවෙනි. කරු ජයසුරිය සහභාගී වූයේ තොරතුරු දැන  ගැනීමේ පනත ගැන බ්ලොග්කරුවන් මෙන්ම ජනතාවටද කරුණු පැහැදිලි කිරීමට අපගේ සහය දිය යුතු යයි තීරණය කළ නිසාය. එසේම ඔහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකද වේ.

තෙවෙනි සම්මාන උළෙලට ඉහත  කී කිසිවෙක් සහභාගී කර නොගැනීමට තීරණය වුනු අතර මහවැලි කේන්ද්‍රය ශාලාව වෙනුවෙන් මුදල් ගෙවීමටද මම සූදානම් වී සිටියෙමි.  ඒ දෙවෙනි උළෙලින්  පසු සම්මාන උළෙලකට  යාමට මගේ අදහසක් නොතිබූ නිසාය. මේ තීරණය වෙනත් පුද්ගලික හේතූන් මත ඉතා කලින් ගත්  එකකි. අප බ්ලොග් කරුවන් තිස් දෙනෙකු පමණ සමග කතා කරමින් සිටියත් එක් අයෙකු හැර ඒ කිසිවෙක් මුදලින් දායක වීමට උනන්දු වූයේද නැත. ඒ බ්ලොග්කරුවා නැවත  වතාවක් නිර්නාමිකව සම්මාන  මුදල් ප්‍රදානය කිරීමට  එකඟවී තිබුණි. ගිය වර සේම සමරු කලාපයට ලැබිය හැකි වෙළඳ දැන්වීම්  තුලින් ඉතිරි මුදල් සපයාගෙන සම්මාන ආදිය පිළියෙළ  කරන බව  චන්දිම දැන්වීය. මට දැන්වූ පරිදි මේ ක්‍රමය ගියවර එතරම් සාර්ථක නොවුයේ දැන්වීම් මුද්‍රණය කල පසු අදාල සමාගම් මුදල් නොගෙවූ බැවිනි. ඒ එසේ වුවද චන්දිම ඒ වගකීම භාර ගන්නා බැවින් මගේ කටයුත්ත වූයේ අනිකුත් විනිශ්චය මණ්ඩල සාමාජිකයන් සමග බ්ලොග් තේරීමයි.

මෙසේ  මහවැලි කේන්ද්‍රයේ උළෙල පවත්වන්නට සියලු විධි විධාන සලසමින් යද්දී එය බත්තර මුල්ලේ වෝටර්ස් එජ් හි පවත්වන බව ලංකානිව්ස්වෙබ් අඩවියේ ප්‍රධාන විධායක චන්දිම විතාන ආරච්චි විසින් දන්වන ලදී.  ඒ සඳහා දායකත්වය ලැබෙන නිසා මවිසින් ශාලාව සඳහා මුදල් වියදම් කිරීම අනවශ්‍ය බවද චන්දිම දැන්වීය.  මූලික  වටයේ බ්ලොග් තෝරා ගැනීම අටම් හෙවත් ලක්මාල් ගේ සහයෙන් කළ  නිසා මා  කලේ වහාම ලංකාවට යාමට ගුවන් ටිකට් පතක් මිලදී ගැනීමයි. (මුල් වතාවේ මෙන් දෙවෙනි හා තෙවැනි වතාවල  එයා මයිල් ලැබුනේ නැත). කරු ජයසූරිය මහතාට නැවත  ආරාධනා කරන බව මේ වන විට මා දැන සිටි අතර ඔහුගෙන් සම්මාන ගැනීමට බ්ලොග් කරුවන්ගේ විරුද්ධත්වයක් නැතිනම් මා එය ප්‍රශ්නයක් කර නොගන්නා  බව දැනුම් දුනිමි.

රාජිත ඇමතිවරයාට ආරාධනා කිරීම  සිදු වුයේ මේ අතරවාරයේදීය. එනිසා සංවිධායක වරු රාජිත ඇමතිවරයාට ආරාධනා කල බව මා  දැනගත්තේද පමා වෙලාය . නමුත් මා එය ප්‍රශ්නයක් කර ගැනීමට සිතුවේ නැත. ඒ වනවිට මා කාර්යාලයෙන් නිවාඩුද අනුමත කරවාගෙන තිබුණි.  අප විසින් බ්ලොග් තේරීම් සඳහා  කියවීම් රාශියක් කල හෙයින් ඒ දිනවල පැමිණෙන අමුත්තන් කවුද යන්න ගැනද  එතරම් තැකීමක් නොකළෙමි. එයට  හේතුව මෙවර නෙළුම් යාය පදනමින් සියලු  සංවිධාන කටයුතු කළ නිසාය.   මාත්  සුමිත් කලණසිරි  මහතාත් සංවිධාන කටයුතු වලින් මුලදීම ඉවත් වුනෙමු. මවිසින් චන්දිම හා සාකච්චා කොට එක්කල එකම අංගය වූයේ තරුරසී  හරහා සම්බන්ධීකරණය කළ "ධර්මිෂ්ඨ සමාජය " නම් නාට්‍යයයි.

හෙන්රි වර්ණකුලසුරිය දෙවෙනි සම්මාන උළෙල විවේචනය කළේ එය පාසැල් උළෙලක් හා සම කරමිනි. එය සංවිධානය කලේ තනිකරම බ්ලොග් කරුවන් එකිනෙකා සමග ඊමේල් වලින් අදහස් හුවමාරු කර ගනිමින්ය. බොහෝ අය ජිවත් වූයේ එක ළඟ ද නොවේ. එය පාසල් උළෙලෙකට  සමකල හෙන්රි තෙවැනි උළෙලට විරුද්ධ වන්නේ දෙවැනි උළෙල හොඳ බව කියමිනි. මේ නම් දිව දෙකේ කතාවකි. ඔහුට අනුව ප්‍රා ඝාතක රැල්ලේ ප්‍රා-ජිත ගෙන්වීම වැරැද්දකි . චන්දිම විතානාරච්චි රාජිත "නූතන  සේනක බිබිලේ " ලෙස නම් කලේ ඔහුට අනුව රාජිත  ඖෂධ සමාගම් සමග සටන් කරන හෙයිනි. (මේ ගැන පසු දවසක ලියමි) ජවිපෙ හිතැති මංජුලට මේ දෙකම ප්‍රශ්නයකි.

රාජිත ඝාතකයෙක් නම් හෙන්රි හා මන්ජුලලා කවුරුන්ද?  ජයවර්ධන මහතාගේ එජාප ආණ්ඩුව ජවිපෙ තහනම් කර රහසිගත  දේශපාලනයකට යොමු කිරීමම බලවත් වරදක් බව පිළි ගනිමි. නොඑසේ නම් විජේවීර ජවිපෙ තවත් පාර්ලිමේන්තුවාදී පක්ෂයක් කරන සළකුණු පෙනෙන්නට තිබුණි. එය එසේ වුවද දයා පතිරණ නම් ස්වාධින ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා මරා දමමින් ඝාතන රැල්ලක් පටන් ගැනීමේ අපවාදයෙන් බේරීමට ඔවුන්ට හැකිද? දයා  පතිරණ ඝාතනය ගැන අක්ෂය බ්ලොග් අඩවිය මෑත කාලයේ ලියු ලිපියක් මෙහි ඇත. මේ ඝාතන රැල්ල  ඉන්පසු එජාප ලේකම් වරයාගේ සිට වෙනත් එජාප දේශපාලකයන් දක්වාද පැරණි වමේ දේශපාලකයන් දක්වාද විහිදුනි. තමන් හැරගිය නන්දන මාරසිංහ වැනි ජවිපෙ හිටපු සාමාජිකයන් පොලිස් ඔත්තුකරුවන් ලෙස නම් කර මරා දැමීමද සිදුවුණි.  එජාප රජය සාර්ථක ලෙස තම ඝාතන රැල්ල දියත් කලේ මින් පසුවය. කමල් ධර්මසිරි ප්‍රමුඛ කොට  ප්‍රා බිහි වුනේද  ස්වාධින ශිෂ්‍ය සංගමයේ  සාමාජිකයන් මරා දැමූ තත්වයක් තුලය. මේ අනුව මේ එක ඝාතක කණ්ඩායමක් තවත් ඝාතක කණ්ඩායමකට කරන චෝදනාවක් නොවේද? (මෙහිදී සිදුවූ බොහෝ තරුණ ඝාතන ගැන අවතක්සේරුවක් නොකරමි. මේ ලිපිය බලන්න.)

අනිත් චෝදනාව එන්නේ මහින්ද-ගෝඨා ට සහය දෙන  කණ්ඩායමෙනි. ලංකානිව්ස්වෙබ් බොහෝවිට පෙනී සිටියේ යුද්ධය ජාතිවාදී ස්වරූපයෙන් ගෙන යන්නක් නිසා එය නවතා සාකච්චා කළ යුතුය යන අදහසේය. මේ නිසා මෙම වෙබ් අඩවිය මහින්ද-ගෝඨා රජයේ යුද ක්‍රියාකාරකම් තදින් විවේචනය කල අතර ලසන්ත වික්‍රමතුංග ඝාතනය ආදියද මේ වෙබ් අඩවියේ තදින් විවේචනය විය.  වෙබ් අඩවිය තහනම් වුයේද ඒ අනුවය. ඔවුනට මෙන්ම  ඇතැම් දෙමළ ඩයස්පෝරා වැසියන්ටද  අනුව 2009 අවසන් වූ යුද්ධය මනුෂ්‍ය ඝාතන රැල්ලක් තුලින් සිදු වුවකි. කොටි සංවිධානය මෙන්ම රජයද එම ඝාතන  රැල්ලේ සාමාජිකයන්ය.

කුමාර් ගුණරත්නම් ප්‍රමුඛ පෙරටුගාමී සමාජවාදී ලෙස කැඩී ගිය කොටසද ජවිපෙ තුල මේ ජන ඝාතක යුද්ධයට සහය දෙමින් සිටියහ.  සත් හඬේ ලිපි වලින් තමන් ජාතිවාදියකු නොවේ යයි විලාප දෙන හෙන්රි වර්ණකුලසුරිය මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඇත්තන්ටද , ජවිපෙට ද  මිනීමරු කොටි සංවිධානයට එරෙහි වූ යුද්ධය ශුද්ධ යුද්ධයකි. (මමද ඒ කාලයේ සිටියේ යුද්ධය පැත්තේ බව කණගාටුවෙන් යුතුව වුවද පිළි ගනිමි. එසේ කලේ  කොටි සංවිධානය අවසන් සාම සාකච්චා වටද  පයින් ගැසූ කල ඔවුන් මැඩීමට  වෙන ක්‍රමයක් නොමැතිය යන හැඟීමෙනි. එසේම චැනල් 4 නාලිකාවට විරුද්ධව ලන්ඩනයේ කළ උද්ඝෝෂණ වලටද සහභාගී වූවෙක්මි. නමුත් එම යුද්ධය විශාල මනුෂ්‍ය ඝාතනයකින් නිමවූ බවත්  යුධ අපරාධ සිදු වුනි නම් ශ්‍රී ලංකාව ඒවා විභාග කළ යුතු බවත් පිළි ගන්නා ස්ථාවරයක සිටිමි.)

රාජිත සේනාරත්න ඇමතිවරයා විජය කුමාරතුංග ගේ මහජන පක්ෂයේ  සිටි කාලයේ සිටම ජාතිවාදයට විරුද්ධ වූ අයෙකි. දයා  පතිරණ වනාහි ජවිපෙට හා කුමාර් ගුණරත්නම් ලාට ඇකැප ද්‍රවිඩ ස්වයං නිර්ණය වෙනුවෙන් කෙලින්ම පෙනී සිටි අයෙකි. ජනපති මෛත්‍රීපාල සිරිසේන ගේ "යුගයේ කාර්යභාරය" ඔහු "ඉපදුනු" ශ්‍රීලනිපය බේරා ගැනීම මිස රට පාලනය නොවේ. පෙනෙන විධිහට අග්‍රාමාත්‍ය රනිල් විකුම්සිහ මහතා තැත් කරන්නේද ඔපමණ චෝදනා කළ ගිය ආණ්ඩුවේ ලොක්කන් හිරේ නොදමා තම ආණ්ඩුවේ ඇමතියන්ටද  ගසා  කෑමේ වරම් දී කොහොමින් හරි 2020 වෙනතුරු ආණ්ඩුව ඇද ගෙන යාමටය.

මෙනිසා තෙවන බ්ලොග් සම්මාන උළෙල තුලින් මතුවුයේ මෙන්න මේ දේශපාලන බලවේගයන් ගේ හැසිරීමය. ජවිපෙ කට්ටිය දඟලන්නේ  ගෝඨා පැත්තට යනවාද ස්වාධීනව සිටිනවාද කියාය. බොහෝ විට මේ ප්‍රශ්නය මත අනුර කුමාර එක පැත්තකටත් තවත් කට්ටියක් තව පැත්තකටත් ගොස් ජවිපෙ නැවතත් බෙදී යනු ඇත. පසු ගියදා ජවිපෙ  ලාල් කාන්ත විමල් විරවංශ  ගැන අනුකම්පාව පළ කරමින් ප්‍රකාශයක් කළේත් එය බුකියේ ෂෙයාර් වෙද්දී ඇතැම් පෙරටුගාමී සමාජවාදී පාක්ෂිකයන් බුකියේ ලයික් දමන්නේත් මේ නිසා විය යුතුය. විමල් නමැති පහළ පන්තියෙන් ආ එකා මේ ධනවාදී ආණ්ඩුව හිරේ දමමින් "නොසලකද්දී "  මහින්ද ඇතුළු කුමාරයන්   නිදැල්ලේ සිටින බවට  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බ්ලොග් කරුවෙක් මතයක්ද පල කර තිබුණි දුටිමි. දැඩි ස්ටලින්වාදී කුමාර ගුණරත්නම් කිසි විටෙකත් දෙමළ  ජාතියේ ස්වයං නිර්ණය පිලි ගන්නේ වත් ඔවුන්ට බලයක් දීමට වත් තම පක්ෂය මෙහෙයවන්නේවත්  නැත.

සම ලිංගිකයන්ට   බෙහෙත් දීමට තතනන වෛද්‍යවරු සිටින ජවිපෙ එතනට කොහෙත්ම යන්නේ නැත. ස්වයං නිර්ණය කෙසේ වෙතත් කිසිම බලයක් දෙමළුන්ට ලැබෙනවාට  මේ හැමෝම විරුද්ධව ක්‍රියා කරනු ඇත. එසේම බුකියේ දැක්වෙන පරිදි එළඹෙන මුස්ලිම් ආක්‍රමණයට  මුහුණ දීමට ට්‍රම්පච්චි වැනි ඒකාධිපති නායකයෙකු අවශ්‍යය.  මොවුනට අනුව එම සුදුසුකම් ඇත්තේ ගෝඨාභය රාජපක්ෂට පමණි. එල්ලෙන්නට වැලක් නැතිව සිටින නිර්මාල් දේවසිරි මහතාද  ගෝඨාභය පත් කිරීමේ ප්‍රොජෙක්ට් එකේ සිටින්නේ එවැනි ඒකාධිපතියෙකු බලයට පත්වූ පසු සමාජවාදී විප්ලවය ඉක්මනින් ම වේ යයි සිතා ගෙන විය යුතුය.
සම්මාන උළෙලේ ඔපෙරාව 

මේ නිසා චන්දිම විතානාරච්චි ට දැනට මේ ගෝඨා ප්‍රොජෙක්ට් එකට එරෙහිව ගෙන ආ හැකි එකම ඇමතිවරයා රාජිත සේනාරත්නය. ඔහු කළේ එයයි. ඔහුට විරුද්ධව චෝදනා එන්නේද ඒකාබද්ධ විපක්ෂයේ බ්ලොග් කණ්ඩායම - ජවිපෙ , පෙසප කලබලවී දඟලන්නේද එනිසාය. කොටින්ම  සම්මාන උළෙල දේශපාලන පාපන්දුවක් බවට යම් විධිකින්  පත්වූවා නම් එසේ වූයේ ශ්‍රී ලංකාවේ දේශපාලන බලවේගයන්ගේ හැසිරීමෙන් වියුක්ත වන්නට බ්ලොග් කරුවන්ටද සංවිධායකයන් ටද  නොහැකි වූ නිසාය.

රාජිත සේනාරත්න මහතා සමග සම්මාන දෙන්නට කිසිවෙක් සිටියේ නැති අතර නෙළුම් යාය  සංස්කාරක වශයෙන් මම එය භාර ගතිමි.  හෙන්රි වර්ණකුලසුරිය සමග ලංකානිව්ස්වෙබ් එකේ රැකියාව කරන  ජවිපෙ / පෙරටුගාමී සමාජවාදී එකෙන් ආ අපේ  සගයෝද සුළුදිය පහ කරන්නටදෝ මන්දා එලියට ගිය බව කියති. මා එවැන්නක් නිරීක්ෂණය නොකළ මුත් එවැන්නක් වී තිබේ.

හැබැයි ඒ අතින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නම් සාඩම්බරයෙන් හිස කෙලින් කරගෙන ඇමතිවරුන් අතර වාඩිවී සිටිය පමණක් නොව තම දේශනයද කළේය.  ඔහුගේ ඇතැම් නෑදෑයින් අප්‍රේල් කැරැල්ලටද  හසුවී සිරගතව දඬුවම් ද විඳි අයයි.  සම්මාන උළෙලකට  දේශපාලකයන් සිටියාට එහි ගරුත්වයට හානියක් සිදු නොවන බව ඔහු පෙන්වා දුන්නේ එසේය.

 රාජිත මහතා දුන් එක සම්මානයක වීඩියෝ හදුන්වා  දීමේදී රනිල් හාමු   යන බ්ලොග් ලිපියද රිවිහාර පින්නදුව ගේ අප තෝරා ගත්  සයිටම් ජාතිවාදියෝ ලිපියද විය. රාජිත පැමිණියා  කියා අප ඒවා වෙනස් නොකෙලෙමු. එම බ්ලොග්කරුවන් සම්මාන  ගැනීමට නොපැමිණියා කියා ඒවා ඉවත් කිරීමක්ද  නොකෙලෙමු.  විනිශ්චය මණ්ඩලයේ බොහෝ අය සයිටම් ප්‍රශ්නයේදී අන්තරයේ ස්ථාවරයට විරුද්ධ අයයි. නමුත් ලිපි තෝරා ගැනීමේදී අප ඒ බව නොසලකා හැරියෙමු.

බ්ලොග් යනු ස්වාධින මාධ්‍යයක් වන අතර කිසිම දේශපාලන මතවාදයකට , පක්ෂයකට තනි අයිතියක් නොගත හැකි තැනකි. කිසියම් බ්ලොග් කරුවෙක් හඳුනාගෙන තර්ජනයක් එල්ල වන්නේ නම් ඔහුට හෝ ඇයට එය අතහැර වෙනත් බ්ලොග් අඩවියක් නිර්මාණය කර ගැනීම හා ලියන ශෛලිය වෙනස් කර ගැනීම ඉතා සුළු දෙයකි. දේශපාලකයන් නිසා ස්වාධිනත්වය අහිමි වීමේ චෝදනාව ඒ ගැන නොදන්නා  අයගේ බොළඳ කතාවකි.  මේ නිසා දේශපාලකයන් සහභාගී වුවද මේ සම්මාන උළෙල බොහෝ පැතිවලින් සාර්ථක බව ඇතිවූ සංවාද වලින් පැහැදිලිය.

බ්ලොග් සම්මාන උළෙල  හතරවන වරටත් පවත්වන බව නෙළුම් යාය පදනම ඊයේ මට දැන්වීය. හතර වැනි වර ගෙන්වන්නේ තමන් පටිසෝතඝාමි යයි නොදෙසන එහෙත් ඉතා පටිසෝතඝාමි, ජනප්‍රියවාදය මත පදනම්ව තම මතය කිසිදා වෙනස් නොකළ, චෝදනා නැති, බලයේ සිට නැති දේශපාලනඥයකු  බව ද ඔවුන් දන්වා තිබේ. වෝටර්ස් එජ් නොව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ගැනීමටද යෝජනා කර තිබේ. දේශපාලන පාපන්දුවක් බවට පත්වීමේ අවදානම ඇති නිසා එයට සහභාගී වීමේ තීරණයක් තවම මා ගෙන නැත. කොන්දේසි සහිතව පමණක් සහභාගී විය හැකි බව සුමිත් කලණසිරි මහතා මිට කලින් දන්වා  තිබේ.

"ධර්මිෂ්ඨ සමාජය " නාට්‍යයේ කියවෙන්නේ නිදහසේ බස් නැවතුමක සිටින තරුණයෙකු "ත්‍රස්තවාදියෙකු " කර දඬුවම් කරන ගෝත්‍රික සමාජයක් ගැන කතාවකි. එය රඟපාද්දී කෑම ගැනීම සඳහා  බ්ලොග් කරුවන් ඇතුළු පිරිස එලියට දිව ගිය අතර ඇතුලේ සිටියේ අප කිහිප දෙනෙක්  පමණි. ලොකුම විහිළුව එම නාට්‍යය පෙන්වීමේදී සිදුවූ අසාධාරණය  ගැන බුකියේ පලවූ ලිපියකට ලයික් දමන්නේත් ඒ ගැන ඔජ වඩවමින් සම්මාන උළෙලේ අසාර්ථක භාවය ගැන කියන්නේත් ඉහත කී " ගෝඨා කණ්ඩායම" වීමයි. සමහර විට නාට්‍යය හරියට බැලුවා  නම් එවැන්නක්  නොකියනු ඇත.

පෙන්වද්දී සෙනග විසිර ගිය ජූඩ් වසන්ත ක්ලෝඩියස් ගේ "ධර්මිෂ්ඨ සමාජයක්" නාට්‍යයේ වදන් පෙලකින් ලිපිය සමාප්ත කරමි.
"ධර්මිෂ්ඨ සමාජය " නාට්‍යයේ අවස්ථාවක් (පින්තුරය මා ගත්  එකකි)

ධර්මදාස: පොඩ්ඩක් ඉන්නවා. මං මෙතෙන්ට එනකොට තමුසේ ඇපල් ගෙඩියක් කකා  හිටියේ.
තරුණයා: ඔව්. ඉතින් දැන් ඒකත්  වැරදිද?

රත්නායක: මුගේ අම්මට .. මූ ඇපල් කකාද හිටියේ? යකෝ මේ රටේ මෙච්චර දුප්පත් මිනිස්සු එකේ වේලක් කන්න නැතුව දුක් විඳිනවා. තෝ මෙතන ඇපල් කනවා. 

ප්‍රනාන්දු: බස් වල සින්දු කියන එකෙක් කොහොමද ඕයි ඇපල් කන්නේ?

ධර්මදාස: මු ෂුවර් එකට ඔය ඇන් ජි ඕ එකකින් සල්ලි අරගෙන මේ රටට කෙළවන බල්ලෙක්....
..............................
රත්නායක: (තරුණයාට පහර දෙයි) මුගේ කට වැඩියි බල්ලා.

ධර්මදාස : සහතික ඇත්ත රත්නායක මහත්තයා. මේ රටට කෙළවෙලා තියෙන්නේ මේ වගේ අවජාතක බල්ලෝ නිසා.

තරුණයා: ඔව් ඔව්  දැන් තනි මමයි මේ රට කාල තියෙන්නේ... මේ රටේ දෙකෝටි අනුනම ලක්ෂ අනූනවදාස් අනූනවයක්  තමුසෙලා මුනිවරු, ශාන්තුවරු, බෝධිසත්වයෝ, දේශප්‍රේමියෝ. මේ මම තමයි රට කෑවේ ..........


(පිරිස තරුණයාට පහර දෙයි)


ප.ලි. - ගෝඨාගමනය ගැන දෙසැම්බර් මාසයේ ලියූ  ලිපියක්