Thursday, 20 April 2017

හතේ පන්තියයි අටේ පන්තියයි

පින්තූරය අන්තර්ජාලයෙනි 
පහේ පන්තියේ සිට හයේ පන්තියට ආ ගමන මේ ලිපියෙන් විස්තර කළෙමි. මේ දිනවල එක්තරා විද්‍යාලයකට "උපන්දා සිට" පැමිණි යයි කියන ඇතැමුන් බ්ලොග් කොමෙන්ට් වලත් බුකියේත් ඔජ දමන හෙයින් මේ ලිපි පෙළ දිගටම ලියන්නට සිතුවෙමි.   එවැනි මිනිසුන් මට කොතෙකුත් මුණ ගැසී ඇත. මා  සිතන්නේ කළ යුත්තේ තමන් උගත් විදුහලින් එළිය ගැනීම නොව උගත් විදුහලට ආඩම්බරක් වන ලෙස හැසිරීමයි.

 රාජකීයේ  හයේ පන්තිය ඉන්පසු සිදුවීමක් නැතිව ගලා ගිය අතර මට මතක මා පොත් රැගෙන ගිය විශාල සූට්කේස් එකයි. ඒ කාලේ "පොත් සුට්කේස්" ජනප්‍රිය අංගයක් විය. එය ඔසවා ගෙන බසයට නැගීම ඉතා අපහසුය.

 මේ හතේ  පන්තියට ගිය විටදී පන්ති  භාර ගුරුවරයා අප එකිනෙකා  කොහි සිට එන්නේ දැයි මුලදීම ඇසුවේය. කො.... සිට බව මම කීවෙමි. ඒ ගැන එතරම් එදින නොසිතුවෙමි.
 එම වසරේ සිල් සමාදන් වීමට ගංගාරාමයට යා යුතු විය. මම සීල ව්‍යාපාරයට සහභාගී නොවන බව ගුරුතුමාට දැන්වූයෙමි. එයට හේතුව වෙනත් පන්සලක සිල් ගැනීමට මගේ මව සැරසී සිටි නිසාය. ඔහු ගත් කටටම කිවේ "කො...එවුන් කවද සිල් ගත්ත  එවුන් ද කියායි".  මට ඔහුගේ කෝපය මහත් ප්‍රශ්නයක් වුනු අතර ඔහු ගේ වදන් ද මගේ සිත් ගත්තේ නැත.

අපේ පන්තියේ "මඩොල්දූව" චිත්‍රපටියේ උපාලි ගිනිවැල්ලගේ ළමා කාලය රඟ පෑ ළමා නළුවා ද එක්තරා ගත් කතුවරයෙකු ගේ පුතෙක් ද විය. අප මැනර්ස් හෝ එවැනි නමකින් බිත්ති සඟරාවක් කරන්නට කතා කරගත් බවද මතකය. එච් ජි වෙල්ස් ආදීන්ගේ ගේ නවකතා පරිවර්තන කියවූයේද මේ කාලයේ බව මතකය. සාමාන්‍යයෙන් හතේ පන්තිය හයේ පන්තියටත් වඩා ප්‍රියජනක වූයේ අප පාසැලට පුරුදු වී සිට නිසා විය යුතුය.  එසේම මට තවත්  යහළුවෙකු සිටි අතර ඔහු පන්තියේ රෙකොර්ඩ් මොනිටර් විය. ඔහුගේ කාර්යය පන්තියේ ළමයින් ගේ නම් ආදිය ඇතුලත් රෙකොර්ඩ් පොත තබා ගැනීමය.

වරක් අප සියල්ල වෙනත් විෂයක් සඳහා සභාගි වීමට  පන්තියෙන්   එලියට දිව  ගියෙමු. අප සිටියේ දඟලමින් හා දුවමිනි. කිසියම් හේතුවකින් ඉහත කි මගේ වඩා යහළු  සිසුවෙකු අත  තිබූ වතුර බෝතලය මගේ අතේ වැදී රෙකොර්ඩ් පොතට වැටුණි. එසේ වූයේ රෙකොර්ඩ් මොනිටර් මගේ පිටුපසින් තල්ලු කරමින් පැමිණි හෙයිනි. මගේ අතේ එය වැදුනේ අහම්බයෙනි.  නමුත් රෙකොර්ඩ් පොතේ පිටු කිහිපයක් බොඳ වී තිබුණි.

රෙකොර්ඩ් මොනිටර් අප දෙදෙනාට චෝදනා කළ අතර මා පැවැසුවේ ඔහු තල්ලු කල නිසා බෝතලය මගේ අතේ වැදුන බවත් අනිත් සිසුවා  තදින් බෝතලය අල්ලා ගෙන සිටියේ නම් එය ඉහිරෙන්නට ඉඩ නොතිබූ බවත්ය. ඔහු ජලය පානය කරන්නට මූඩිය ඇර තිබූ බැවින් රෙකොර්ඩ් මොනිටර් ඕනෑ කමින් මා  තල්ලු කලේ ඔහුගේ ඇඟේ වදින්නට බවත් පැවසුවෙමි .

ඉහත කී  පන්ති භාර ගුරුතුමා  මිනිත්තු කිහිපයකට පසු රෙකොර්ඩ් මොනිටර් ගෙන් පොත ගැනීමට පැමිණියේය. වතුර ඉසුණු රෙකොර්ඩ් පොත  දුටු ඔහු එය වූයේ කෙසේ දැයි ඇසුවේය. රෙකොර්ඩ් මොනිටර් මා පෙන්වමින් මා වතුර හැලූ බව පැවසීය. මගෙන් නිදහසට කරුණක් නොඅසාම ඔහු මට මිනිත්තු කිහිපයක්ම  තඩි බෑවේය. තඩි බාන අතර "කො .. සිට එන එවුන් " යන්න ඔහුගේ මුවින් නැවත පිට විය. මගේ කෝපය ඉහවහා ගොස් තිබුනද මා  නිහඬව ඒ පහරවල් විඳ  දරා  ගතිමි. හදිසියේම මට මතක් වූයේ අර ලුණුගල මාධ්‍ය මහා විදුහලේ පහර කෑ ශිෂ්‍යයාය. ඒ මොහොතේ මම එතනට පත්වී සිටි මුත් මේ ගුරුවරයා ට ඒ ජය නොදීමට මා තීරණය කළේද ඒ මොහොතේය. නිවසේ කිසිවකුට මම මේ සිද්දිය ගැන නොකීමි. නමුත් එම වසර අවසන් වන තුරුත් ඉන් පසුවත් අර සිසුවා  සමග මම වචනයක් වත් කථා කළේ නැත.

ඉන් වසරකට පසු අටේ පන්තියේදී  ඔහු අපේ පන්ති භාර ගුරුවරයා නොවුවත් සීල ව්‍යාපාරයේ සිටියේය. එහි තවත් ගුරුවරයකුද සිටි අතර මේ වැඩි මහලු ගුරුවරයා කරුණාවන්ත අයෙකු ලෙස මා  දැන සිටියෙමි. විදුහල්පති කාර්යාලය අසල නිතර ගැවසුන ඔහු පන්තියකට ඉගැන්වූයේ දැයි නොදනිමි. ඔහු සැම විටම හැඳ සිටියේ තද දුඹුරු කලිසමක් හා ක්‍රීම් පැහැති අත් කොට කමිසයකි.

ඔහු මගෙන් මා  කොහි සිට එන්නේද ආදී විස්තර රැසක් ඇසුවේය. මා එන පෙදෙස "කො..." කි පසු ඔහු හාර හාරා මා පාසැල් ඒමට බසය ගන්නා තැනද  නිවැරදි ලෙසම ජිවත් වන තැන ද විමසුවේය. ඉන්පසු ඔහු කීවේ ම එන්නේ "කො..." සිට නොවන බවත් ජනප්‍රිය සිනමා හලක් අසල සිට බවත්ය. ඒ පෙදෙසේ නම පටන් ගන්නේ  ද "කො..යන්නෙනි " නමුත් මින්පසු එතැන සිට එන බව කියන ලෙස මට අවවාදයක් ද දුන්නේය.  නම් ලිස්ට් එක ගනිද්දී ඔහු මා එන තැන ගැන අර අනිත් ගුරුවරයා ටද කී අතර ඔහු කීයේ "ආ කො ..." අයත් සිල්  ගන්න ඇවිල්ල ඉන්නේ කියාය. නමුත් මෙහිදී ඔහු අර දෙවැනියට කී පෙදෙසේ නම සිනාමුසුව භාවිතා කළේය.    

අපි අටේ පන්තියේදී (1978 වසර) එවකට ශ්‍රී ලංකාවේ  ප්‍රථම ජනාධිපති වරයා ලෙස පත් වූ ජේ ආර් ජයවර්ධන මහතා රාජකීය විද්‍යාලයට පැමිණියේය. ඒ වසරේ පැවති වසරේ ත්‍යාග ප්‍රදානෝත්සවයට ද ඔහු පැමිණියේය. මටද එක් විෂයකට පමණක් ත්‍යාගයක් විය. අපේ පවුලේ පියා හා මව දැඩි  ශ්‍රීලනිප පාක්ෂිකයන් වූ නිසා මගේ පක්ෂපාතිත්වය තිබුනේ ද මැතිනි ටය.    නමුත් රටේ ජනාධිපති තුමාගෙන් ත්‍යාගය ගැනීමට මා යා යුතු බව පියාගේ අදහස විය. ඔහු ත්‍යාගය දෙන්නේ මගේ දක්ෂතාවය ඇගයීමටය. මේ නිසා විදුහලේ ටයි පටියක්ද මිලදී ගෙන උත්සවයට දෙමාපියන් සමග ගියෙමි. මට ත්‍යාගය ලැබුනේද මට ඒ විෂයට වැඩිම ලකුණු තිබුණු නිසාය.ඒ අර මට තඩි බෑ ගුරුවරයා ඉගැන්වූ විෂයකටය. මා මෙන්ම අනිත් සිසුන්ද ත්‍යාගය ගන්නා විට ඡායා රූපයක් ගැනීමට මුදල් දී තිබුණි. කැමරාකරු අසල අර ගුරුවරයාද වේදිකාවට යාමට සිසුන් මෙහෙයවන්නන් අතර සිටියේය. කෙසේ හෝ වේවා  පසුව අනිත් සියළුම ළමයින්ගේ ඡායාරුප ලැබුනද ජේ ආර් ජයවර්ධන මහතා අතින් ත්‍යාගය ගන්නා මගේ ඡායාරූපය තිබුනේ නැත.

රාජකීය ප්‍රයිමරියේ (මුල් අවුරුද්දේ සිට රාජකීය විදුහලට එන සිසුන්)  ශිෂ්‍යත්වයෙන් සමත්වී හා රාජකීය විදුහලේ විභාගයෙන් සමත්වී එන සිසුන් සමග එකතු කළේ මට මතක විධිහට මේ වසරේය. අප අට සිංහල  එක (8S1)  , අට සිංහල තුන වැනි පන්ති වලද ඔවුන් අට සිංහල දෙක , අට  සිංහල හතර වැනි ඉරට්ටේ නොම්මර සහිත පන්ති වලද වූහ . මොවුන් හැතැප්ම දෙකේ සීමාවට අසුවන අයයි. සජිත් ප්‍රේමදාස මහතා ද කෙසේ හෝ මේ සීමාවට ඇතුළුව ප්‍රයිමරියේ සිට පැමිණ තිබුණි. ඒ දිනවල ජනක්, සමන් වැනි සිසුන් මේ ප්‍රයිමරියෙන් පැමිණි සිසුන් සමග දබර ඇති කර ගෙන එකිනෙකාට ගුටි දී ගත්හ.

ඉන්පසු දවසක මා දැන  ගත්තේ කුරුඳුවත්තෙන් හැතැප්ම 15 -20 ඈතින් වෙසෙන අර ගුරුතුමා ගේ පුත්‍රයාද රාජකීය විදුහලේ උගන්නා බවය. මේ අර කොමෙන්ට් කරුවන්ට අනුව රාජකීය විදුහලේ උරුමඃකාර පොල්මඃකාරයන්ය. මට කිසිම විද්‍යාලයකට බැඳී සිටීමේ අවශ්‍යතාවයක් නැත. සෝවියට් දේශයේ ඉගෙනීමට පැමිණි එක සිසුවෙක් "ඔබ ආවේ කොහෙන්ද" යයි ජ්‍යෙෂ්ඨ සිසුන් ඇසු විට "මා රෝයල් එකෙන්" යයි පැවසිය. සිසුන් ඇසුවේ ඔහු පැමිණි ගම් පළාත ගැනය. ඉන්පසු එදා සිට ඔහු රෝයල් එකේ .......විය. වෙනත් වසරක තවකෙකු ඔහු  ආනන්දයෙන් යැයි පැවසීය. ඔහු ආනන්ද ..... විය. මේ විදුහල් භේදය විහිළුවක් හැටියට සියල්ලෝම සැළකුහ .

සිසුවෙකු එන පළාත අනුව ඔහු ගැන තීරණය කරන ගුරුවරු සීල ව්‍යාපාර වලටද සහභාගී වෙති.  බුදු හිමියන් පතිරූප දේශ වාසේච යනුවෙන් හොඳ පළාතක ජීවත්වීම  මංගල කරුණකැයි පැවසුවේ මේ නිසා විය හැකිය. නැතිනම් හේතුවක් නැතිවම සමහර ගුරුන් ගෙන් ගුටිකන්නට පවා සිදු විය හැකිය.

46 comments:

  1. අජිත්, ඔබට සැබෑ පාසල් උණක් තියේ නම් ඔහොම නොවෙයි ලියන්න ඕනෑ මෙන්න මෙහෙමයි.

    එදා අර ගුරුවරයා මට පහර දුන් නිසා මා හොඳ ළමයෙකු වුනා. මා ඔහුට සදා ණයගැතියි. එවැනි ගුරුවරු සදා වාසනාවන්.

    ReplyDelete
    Replies
    1. මම නියම රාජකීයයෙක් නෙමේලුනේ. ඒ නිසා අවුලක් නැහැ.

      Delete
  2. මොකද මේ කො..... කියා ලියන්නේ?

    කොම්පඤ්ඤවීදිය කියා ලියන්න අකුරු දන්නේ නැති හින්දා ද?

    කොල්ලුපිටිය, කොටහේන, කොටුව කියා ලිවීම නම් හයේ පන්තියේ ළමයෙකුට අමාරු නෑනේ.

    ReplyDelete
    Replies
    1. වෙන හේතුවක් නිසා.

      Delete
    2. දැනුයි තේරුණේ කො..... කියන්නේ කොළඹ 7 නේද?

      ;-)

      Delete
  3. මේ හතේ පන්තියට ගිය විටදී පන්ති භාර ගුරුවරයා අප එකිනෙකා කොහි සිට එන්නේ දැයි මුලදීම ඇසුවේය. කො.... සිට බව මම කීවෙමි. ඒ ගැන එතරම් එදින නොසිතුවෙමි.
    එම වසරේ සිල් සමාදන් වීමට ගංගාරාමයට යා යුතු විය. මම සීල ව්‍යාපාරයට සහභාගී නොවන බව ගුරුතුමාට දැන්වූයෙමි. එයට හේතුව වෙනත් පන්සලක සිල් ගැනීමට මගේ මව සැරසී සිටි නිසාය. ඔහු ගත් කටටම කිවේ "කො...එවුන් කවද සිල් ගත්ත එවුන් ද කියායි". මට ඔහුගේ කෝපය මහත් ප්‍රශ්නයක් වුනු අතර ඔහු ගේ වදන් ද මගේ සිත් ගත්තේ නැත. /////// සිවිලයිස්ඩ් රටක ගුරුවරයෙකු මේ ප්‍රකාශය කලේ නම් ගුරුවරයා ගෙදරය

    2) අර ගුරුවරයාගේ නම ලියන්නේ නැත්තේ ඇයි. පෙන්‍ෂන් ගියත් මුන් වගේ එවුන්ව සමාජයට හෙලි කල යුතුයි

    ReplyDelete
    Replies
    1. එතකොට ලංකාව සිවිලෛස් නෑ. අනේ පල ඩෝ යන්න

      Delete
    2. එහෙම අවශ්‍යතාවයක් නැහැ . මේ ලිපිය ලිව්වේ මේ සිද්දි වලින් බලපෑමක් ඇති වුනාද කියල කල්පනා කරන්න සහ වෙනත් හේතුවකට. ඊළඟ ලිපි දෙක බලන්න.

      Delete
  4. ඒ කාලෙ සාරසය පහල පංතියක හුජ්ජ කොල්ලෙක්ද ?

    ReplyDelete
    Replies
    1. සමහර විට හයේ පන්තියේ වන්නට ඇත.

      Delete
  5. බ්ලොග් ලියන උන් වැඩි හරියක් රාජකීයේ ඉගෙන ගත්තු උන්ද මන්දා.

    ReplyDelete
    Replies
    1. රාජකීය බ්ලොග් ගැට්ට ජනසතු කරව්

      Delete
    2. සෑහෙන පිරිසක් හිටියා/ඉන්නවා

      මේ මගේ මතකයට එන පිරිස-
      1. ඉයන්
      2. අජිත් ධර්මා
      3. රයිගම
      4. අරූ
      5. බීටල්
      6. සුපුන් සුදාරක
      7. බඩා මාමා (මිගාර වීරක්කොඩි)
      8. බ්ලොග්-ගඩොල් ලියූ අය
      9. ටැබූ සබ්ජෙක්ට්ස් (විටින් විට කියූ පරිදි)

      Delete
    3. සජ්ජා
      සාරස

      රයිගම්?? ෂුවර් ද?

      Delete
    4. ඇයි කකාගේ හිතවතා මාතලන්.

      Delete
  6. මම අදටත් සමහර ගුරුවරු/ගුරුවරියන් ගැන මතක් කරන්නවත් කැමති නැත්තේ ඔය වගේ හේතු නිසයි. සමහර අය හිතන් ඉන්නේ ළමයි හැමදාම ළමයි විදියට ඉඳි කියල. එහෙම හිතාගෙන පුළුවන් තරන් කුඩුකේඩු කම් කරන්න තමයි බලාගෙන ඉන්නේ

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. සමහර අය විතරයි. මටත් හොඳ ගුරුවරු හිටිය. අර පහේ පන්තියේ උගන්නපු එක්කෙනා වගේ.
      මේ කොමෙන්ට් ඩිලීට් කරන්නේ නැතිව එඩිට් කරන්න පුලුවන්නම්.

      Delete
  7. බොහොම කරුණාවන්ත ගුරුවරු අතරෙ ඉන්නා නිරතුරූ
    ඔහොම ගතිගුණ තිබෙන උදවිය හිඳී නමකින් ගුරුවරූ
    කොහොම කීවත් ඔවුන්නම් නෑ වෙන්නෙ සිසුනගේ ළොව විරූ
    බොහොම සතුටුයි ලිව්ව ලිපියට සිහිවුණා මගේ ගුරුවරූ.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. හැබැයි මේ ගුරුතුමා උගන්වන්න දක්ෂයි. ඒ බවත් කියන්න ඕනේ.

      Delete
  8. අය්යෝ අජිත් අය්යේ මම ඉස්කෝලෙදි ගුටිකාලා තියෙන හැටියට ඔයා වාසනාවන්තයි. වේවැල කැඩෙනකන් මම ගුටිකාලා තියෙනවා. සමහර වෙලාවට ඉගෙනගැනීම පැත්තක. අපි සර්ලගේ මිස්ලාගේ කුඹුරුවල වැඩ.

    ReplyDelete
    Replies
    1. බොහොම කණගාටුයි මල්ලි. ගැහීම හා උගැන්වීම කියන්නේ දෙකක්.

      Delete
  9. //ඇතැමුන් බ්ලොග් කොමෙන්ට් වලත් බුකියේත් ඔජ දමන හෙයින්//
    මට හැමදාම නොතේරුන මානසිකත්වයක් ඒක.
    රෝයල් නොගියට මාත් ගියේ එක ඉස්කෝලෙකට (අවු 12 1/2ක්)විතරයි. ඒක තේරුවේ සහ ඒකට දැම්මේ දෙමාපියන් විසින්. මගේ achievement එකක් නෙමෙයිනෙ. ආඩම්බරවෙන්න හෝ පසුතැවෙන්න මා තනියෙන් තීරණය කල හා කරපු ක්‍රියා ඕනෙ තරම් තියනවෙනෙ. මොනවටද ඉස්කෝලයක් අල්ලගෙන උඩඟු වෙන්නේ හෝ ලැජ්ජාවෙන්නේ?
    ලංකාවෙ අපේ තීරණ මත ජීවිතය ගෙවන්න පටන් ගන්නේ රස්සාවකට හෝ උසස් අධ්‍යාපන ආයතනයකට ගියාමනෙ

    ReplyDelete
    Replies
    1. මවත් ඉතින් විභාග වලට අරන් ගියේ දෙමාපියෝ තමයි. කතාව ඇත්ත.

      Delete
  10. අජිත් ඔයත් පොතක් පල කරන්නකෝ සත් වසරක් කොළඹ කුරුඳුවත්තේ කියලා. ඒ අත්දැකීම් වලින් ඔයාට හීනමානයක් එහෙම ඇතිවුනේ නැද්ද ඔබඉගෙනගත් පාසැල ගැන

    . මට ත්‍යාගය ලැබුනේද මට ඒ විෂයට වැඩිම ලකුණු තිබුණු නිසාය.ඒ අර මට තඩි බෑ ගුරුවරයා ඉගැන්වූ විෂයකටය.,,,
    මෙහිදී ඔබට තෑගි ලැබුනේ ඔබේ දක්ෂතවටද නැත්නම් ඒ විෂය ඔබට උගැන්වූ ගුරුවරයාගේ ඉගැන්වීමේ දක්ෂතාවයන් ඔබ උපරිමය ප්‍රෝයෝජනයක් ලබාගත් නිසා ද?

    ReplyDelete
    Replies
    1. එම ගුරුතුමා උගැන්වීමට දක්ෂ අයෙකි. මම ඉන් ප්‍රයෝජන ගතිමි. මා ද ඉගෙනීම දක්ෂත්වයක් ඇති සිසුවකු ලෙස සිතමි. නැතිනම් ශිෂ්‍යත්වයෙන් සහ අනිකුත් විභාග වලින් සමත් වන්නේ නැත.

      Delete
    2. හැබැයි එහෙම කියන්නත් බැහැ. ඒ ගැන කල්පනා කලහම. මම විෂය කිව්වේ නැත්තේ ගුරුතුමා හඳුනා ගනී කියල. ඒක අවශ්‍ය නැති නිසා. විෂය බුද්ධාගම. මම දහම් පාසල් ගිය නිසා විෂය කොහොමත් ලෙහෙසියි. අපට දහම් පාසැලේ ඉගැන්වූයේ හුඟක් හොඳ ස්ථවිරයන් වහන්සේ කෙනෙක් පුහුල්වැල්ලේ විමලවංශ කියල. එනිසා ගුරුතුමාට ලොකු ක්‍රෙඩිට් එකක් දීමට අවශ්‍යතාවයකුත් නැහැ.

      Delete
  11. අජිත් අයියා කො..... කියල දැනන් හිටිය නම් අපිත් කොන් කරනවා නෙළුං යායෙදි...

    මටත් මතක් වුණා අපේ ඉස්කෝලෙ වයිස් ප්‍රින්සිපල්... එයා වලව්වක කුමාරිහාමි කෙනෙක්... මං සාමාන්‍ය පෙළ පාස් වුණ වෙලාවෙ එයා කියපි ‘‘සයනස්, මැත්ස් වගේ විෂයන් කරන්න ඔය ළමයට බෑ. දෙමව්පියන්ට වියදම් කරන්න පුලුවන්කමක් නෑනෙ. ඔය ළමය කලා කරන්න‘‘ කියල. කතාවෙ යම් ඇත්තකුත් තිබුණා. ඒත් ඇත්තටම ඔය සයන්ස්, මැත්ස් ගැන හීනෙකින්වත් මං හිතල තිබුණෙ නෑ. මට ඕන වෙලා තිබුණෙ කලාවම විතරයි...

    අමරකීර්තිගෙ කුරුලු හදවතේ එන ඉස්කෝලෙ හාමිනේ දෙකක් නෑ ඒ වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. මම නම් ඒ වෙලාවට බැරි මරගාතේ හරි සයන්ස් කරනවා. නොකා නොබී හරි ඉගෙන ගන්නවා.
      කොන් කරා කියන්නේ ඔය කතා කළේවත් නැහැනේ. දුව දුව හිටිය මිසක්.

      Delete
  12. ඉස්කෝලෙ යන කාලෙ ඔය වගේ අහක යන කේස් මටත් වැටිල තියෙනවා. එක සැරයක් වෙනින් ළමයෙක් කෑ ගහපු දේකට සර් කෙනෙක් මාව ඇදල අරං හොඳට තැලුවා. ලොකු සර් ට කිව්වට වැඩක් උනෙත් නෑ...

    ReplyDelete
    Replies
    1. එතන සර්ටත් වඩා අනික් ළමයාගේ වැරැද්ද මටනම් වුනේ. නමුත් සර් අර ආව පැත්ත ගැන කීම වැරදියි.

      Delete
  13. පාසල් කාලය කියල මතකෙට හිටල තියෙන කරුණුත් එක්ක බලනකොට ළමයි එක්ක කරන ගණුදෙණු කොච්චර පරිස්සමින් කරන්න ඕනෙද කියලා තේරෙනවා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඕවගේ දේවල් තදින් මතක හිටිනවා .

      Delete
  14. හොඳම විහිළුවක් තමයි ඔය විදියට පළාත අනුව මිනිස්සු වෙන්කරලා සලකන උන් සමානාත්මතාවය ගැන පොර ටෝක් දෙන එක.

    ReplyDelete
  15. අයියත් අපේ ඉස්කෝලෙනෙ. හැබෑවටම කොළඹ 7 රෝයල් එකේ උපරිම පහසුකම් තිබුණා කිව්වට, වැඩි හරියක් හිටියෙ හොර ගුරාල. ඇග්‍රි උගන්නපු බම්බා එකෙක්, ඌගෙ පීරියඩ් වලින් 90%ක්ම අපි කළේ එලවලු පලතුරු ගෙවතු වගාව. මුළු වෙලාවෙ බිම් කොටනවයි, වල් ගලවනවයි. යන්තම් 9 වසරෙදි වාණිජ තෝරා ගත්තා. අනිත් එකා ඉංග්‍රීසි උගන්නපු මල්ලවයා. ඌ පන්තියට එන්නෙත් කලාතුරකින්. ආවත් කරන්නෙ රෝල් ප්ලේ. සා. පෙ ඉංග්‍රීසි පේපර් එක කියන්නෙ අන්තිම ලේසි කරපු හුජ්ජ පේපර් එකක් නිසා ඔක්කොටොම සම්මාන, අධි සම්මාන. බැරි වෙලාවත් අර සිංහල පේපර් එකේ මට්ටම තිබුණානම්, දෙයියන්ගෙ පිහිටයි. ඒ අතින් මම මේ ඉන්න රටේ අක්කගෙ පුතා ඉන්නෙ තාම දෙක වසරෙ, ආණ්ඩුවෙ ඉස්කෝලෙක. මේ ගුරුවරු කොච්චර ළමයින්ට උගන්නන්න මහන්සි වෙනවද කියල මම දැක්කා. හැම විෂයකටම වට්සප් ගෲප් එකක් තියෙනවා. වෙනම ඔන්ලයින් අප්ඩේට්ස් දෙනවා, දුර්වල ළමයින්ට අමතර පන්ති. මේ ගුරුවරුන්ගෙ පුදුම කැපවීමක් තියෙන්නෙ. හැබැයි ළමයින්ගෙ යාළුවො වගේ ඉන්නෙ, වන්ද ගැනීම්, දඬුවම් මුකුත් නෑ. නැතුව ඉතින් ලෝකෙන් එකට එන්නත් බෑනෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් නේ. ඔය පින්ලන්තේ ගැනද කියන්නේ.

      Delete
  16. ඔය කො කො කියල ලියලා තියෙන එක කියවන අපිට හරි කරදරයක්.. ගමේ නම ලියන්න බැරි ඔච්චර ලොකු හේතුව මොකක්ද?
    අන්න අද සයිබර් යායේ කෙහෙල් කොටුවේ චූටි මහත්තයා ලියලා තියෙනවා සුපිරි ටීචර් කෙනෙක්ගේ කතාවක්.. ඒ වගේ ගුරුවරු අතර මෙහෙම උනුත් ඕනෙ තරං ඉන්නවා..

    අපිටනං ඉතින් මහ විද්‍යාල වලිං ආපු නිසා ඔජ වඩන්න දේවල් නෑ..

    ReplyDelete
    Replies
    1. බජට් ගැන මෙන්ම හේතු ඇහීමද තහනම්ය.

      Delete
  17. එතකොට මේ කස්ටිය කියන්නේ අජිත් අයියා ඉස්කෝලේ ගියේ නෑමයි කියලා , එව්වා බොරුද එතකොට

    ReplyDelete
    Replies
    1. මළා අහු වුනානේ.

      Delete
  18. Replies
    1. සොරි ඈ ..............------------

      Delete
  19. මම හිතුවේ රෝයල් කිව්වම ඔය ගෝත්‍රික ස්වභාවය අඩු ඇති කියල. ඒ අතින් ගත්තම අපේ කතෝලික පාසල් වල තත්වය සියට දාහක් ඉහලයි.

    ReplyDelete

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.