Wednesday 29 March 2023

දෙපතුල් දැවීමේ රෝග ලක්ෂණය සහ කකුල් වල වෙහෙසකාරී බව සුව වීම


කාලයක සිට මගේ දෙපතුල දැවීමක් සහ කකුල් වල පහල කොටසේ එබඳුම දැවිල්ලක්ද ඒවායේ කිසියම් විඩා ගතියකින්ද මම   පීඩා වින්දෙමි.  මෙම ගැටලුව බොහෝ විට රාත්‍රියේදී මා නිදා සිටියදී සිදු වූ අතර, මම රාත්‍රියේදී අවදි වූයේ දැවෙන පාද සමඟය. වේදනාව සමනය කිරීම සඳහා, මම නිදා ගැනීමට ප්‍රථම පාදවල සහ යටි පතුල්  සීතල වතුරේ ඔබාගෙන සිටියෙමි. ඇතැම් විට විවිධ තෙල් වර්ග සහ නොයෙකුත් ක්‍රීම් වර්ගද භාවිතා නිතර භාවිතා කලෙමි. වඩාත්ම කරදරය වූයේ මට සුව නින්දක් නොලැබීමය.

මේ රෝග ලක්ෂණ මොනවා දැයි සෙවීමට හේතූන් ගූගල් කර උපදෙස් ලබා ගැනීමෙන් පසු මම ඉක්මනින් සුවයක් සෙවීම  සඳහා බටහිර වෛද්‍ය විද්‍යාවට යොමු වුනෙමි. ගූගල් විමසීම් වලින් කියවුනේ  අනුව, පාද වල දැවීමේ ගතිය බොහෝ විට ස්නායු ආබාධයක (peripheral neuropathy)  සලකුණක් බවය.  දියවැඩියාව, නිදන්ගත මත්පැන් භාවිතය, ඇතැම් විෂ රසායන වලට නිරාවරණය වීම ,  ඇතැම් බී විටමින් ඌනතාවයන් ඇතුළු විවිධ හේතු තිබිය හැකි බවද කියැවුණි. මීට අමතරව, හෙල්ත්ලයින් නමැති වෙබ් අඩවියක  සඳහන් වූනේ කකුලේ තුවාල හැදීම නිසා, දැඩි ව්‍යායාම, අධික තාපයට හෝ සීතලට නිරාවරණය වීම හෝ විෂ සහිත ද්‍රව්‍යයක් නිසා කකුල් වල දැවෙන සංවේදීතාවයක් ඇති විය හැකි බවයි. එහි සඳහන් වුනේද දියවැඩියාව, මත්පැන් භාවිතය ආබාධ, Guillain-Barré සින්ඩ්‍රෝමය සහ මල්ටිපල්  ස්ක්ලේරෝසිස් (MS) ද මෙයට හේතු විය හැකි බවයි. 
අපේ සර්ජරියේ  වෛද්‍යවරයා මුලින්ම මට  cetirizine නියම කළේ මට යම් දෙයකට අසාත්මිකතාවයක් ඇති වී තිබේ යැයි සලකමිනි.  මගේ රෝගී තත්ත්වය දියවැඩියාව නිසා විය හැකි බවත් ඔහු යෝජනා කළ අතර මට නිදා ගැනීමට උපකාර කිරීමට සාමාන්‍ය  විෂාදයන් ඇති රෝගීන්  සඳහා දෙන බෙහෙත්  වර්ගයක් නියම කළේය. එහෙත් එම බෙහෙත් නිසා මට දහවල දැඩි නිදිමතක් දැනුනි. රැකියාව කිරීමටද අපහසු නිසා මම ඒ ඖෂධ ගැනීම නතර කලෙමි.  මමරැකියාවෙන් ලැබෙන පුද්ගලික සෞඛ්‍ය රක්‍ෂණ සේවයේ විශේෂන්ඥ වෛද්‍ය සේවාවද  මගේ GP දැනටමත් යෝජනා කර ඇති දෙයට වඩා වෙනත් උපදෙසක් ලබා දීමට අසමත් වුනි.

පසුගිය වසරේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී මම ශ්‍රී ලංකාවේ සිටියදී පානදුර ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන පහසුකම් සපයන රෝහලකට ගියෙමි. එහි සිටි   ආයුර්වේද වෛද්‍යවරයා හමුවීම මට මග හැරුණද, මට ආයුර්වේද සම්බාහනයක් ලබා දීමට එකඟ වූ මනා පුහුණුව ලත් සම්බාහන වෛද්‍යවරයකු වූ මංජුල ගුරුගේ මහතා මට හමු විය. මගේ යටි පාද සහ පාද වල දැවීමේ ගතියද දෙකකුලේ ආතතිය සහ විඩාව ගැනද  දන්වා එම ප්‍රදේශයන්  කෙරෙහි අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටියෙමි.



ගුරුගේ මහතා  “මහා නෙල්‍යාධි තෛලය” ට සමාන  ආයුර්වේද තෙල් භාවිත කර මගේ පාදවලට නිසි සම්බාහනයක් ලබාදුනි. එයට පැයක පමණ කාලයක් ගතවිය.   ඉන්පසු ඔහු මා "නික" කොළ ලෙස හඳුනාගත් ඖෂධ පැළෑටි සහිත වසා දැමූ බෙහෙත් ඔරුවක්  සහිත වාෂ්ප කාමරයකට ගෙන ගියේය. ඔහු සඳහන් කළේ මට පෙර ජර්මානු යුවළක් එම ආයුර්වේද ප්‍රතිකාරය රැගෙන නික්ම  ගිය බවයි.  

නික කොළ සහිත වාෂ්ප ප්‍රතිකාරයෙන් පසු, මට ඉමහත් සැහැල්ලුවක් දැනුණු අතර, මගේ ශරීරය සම්පූර්ණයෙන්ම දහදියෙන් පෙඟී තිබුණි.  වැදගත්ම දෙය නම්, මම තවදුරටත් දෙපතුල් සහ  පාද දැවීමේ සින්ඩ්‍රෝමයෙන් අත් මිදීමයි. දෙකකුලේ වෙහෙස ගතිය ඉඳහිට ඇති මුත්ඒ  මා බොහෝ විට දහවල ඇවිදීමෙන් පසුව දැනෙන දෙයක්  නිසා ඒ ගැන කරදර නොවෙමි. ආයුර්වේද  සම්බාහනය සහ ප්‍රතිකාර ලබාගෙන දැන් මාස පහක් ගතවී ඇත. මෙම නිදන්ගත රෝග තත්ත්වයන් ගෙන් මා සුව වූයේ මන්දැයි මට තවමත් තේරුම් ගත නොහැක. එම තෙල් වර්ගයද මංජුල මහතාගේ උපදෙස් පරිදි රැගෙන ආවෙමි. 

මන්ජුල ගුරුගේ මහතා රැකියාව කරන්නේ පානදුරේ කස්තුරිආරච්චි ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ ය. ඔහුගේ දුරකථන අංකය  +94 777547419.  මේ ලිපිය ලිවීමට කලින් මේ තොරතුරු සපයන බව ඔහුට දන්වා සිටියෙමි. 

ref:

Burning feet

Burning Legs

- අජිත් ධර්මකීර්ති 30/03/2023

Tuesday 7 March 2023

උපන් දින සුබ පැතුම

ඔබේ ජිවිතයේ ඉතාම වැදගත් දින දෙකින් එකක් වන්නේ ඔබේ උපන් දිනය වන අතර අනික ඔබ උපන්නේ ඇයිද යන්න වටහා ගත් දිනය බව මාර්ක් ට්වේන් කියාඇත.  
කාල් මාක්ස් කියා ඇත්තේ උපන් දින සුභ පැතීම ධනවාදී දෙයක් කියාය. සමහරවිට  එසේ කියන්නට ඇත්තේ බොහෝ අය දුක් විඳිද්දී සුළුතරයක් විශාල මුදලක් වියදම් කර සාද දමන නිසා විය හැක. 
නමුත් උපන්දින සුභ පැතුමක් කරන්නට වියදමක් යන්නේ නැත.


මම බොහෝ  තිස්සේ පවුලේ අයට, ඥාතීන් ට  මෙන්ම දන්නා  හඳුනන  අයට උපන් දිනට සුභ පැතුමක් කරමි.  මොස්කව් හි උගන්නා කාලයේ  පන්තියේ හිටි  ලූදා නම් ශිෂ්‍යාව හැමෝටම සුභ පැතු අතරම හැකි සෑම විටම මුදල් එකතු කර කේක් එකක්  මිලදී රැගෙන විදේශ ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍යාවක නම්  නේවාසිකාගාරයේ ඔවුන්ගේ කාමරයට අප සියල්ල සමග ගොස් සුභ පතන්නීය. එවැනි  එක සුහද උපන්දින  හමුවකදී ඉරාන ජාතික ශිෂ්‍යාවක වූ ෆරීඩා ට තිබු ප්‍රශ්නයක් ගැන අප දැන  ගතිමු. ඇගේ  ප්‍රශ්නය ට විසඳුමක් ලබන තුරු පන්තියේ උන් ඈ  සමග සිටියහ.  මගේ බිරිඳ ගේ මව සහ පියාද බොහොමයක් ඥාතීන් ගේ හා මිතුරු මිතුරියන් ගේ නම් ගොනුවක් තබාගෙන උපන්දිනයට දුරකථන ඇමතුමක් දෙති. ෆේස්බුක් එන්නට කලින් මටද එවැනි නාම ලේඛනයක්  තිබුණි. ඒ ගූගල් හා මයික්‍රොසොෆ්ට් කැලැන්ඩරය හරහාය. පසුව මේ පුරුද්ද ෆේස්බුක් එකට මාරුවිනි.    

ඒ කාලයේ දවසක මම මදක්  හඳුනන මිතුරෙකුට උපන් දින සුභ පැතුමක් මේලයක් හරහා යැවීමි.  දිනකට පමණ පසු ඔහු ඒ ගැන ස්තුතී කර මගේ මොබයිල් නොම්මරය අසා මේලයක් එවීය.ඉනුත් දෙදිනකට පසු ඔහු මට කතා  කළේය. 
 "අජිත් ඔයා මට පහුගිය වසර කීපයේම මට උපන්දින සුභ පැතුම් එව්වනේ. මම තෑන්ක් යූ කියල නෝට් එක්ක එව්වා විතරයි"
එයට කමක් නැති බව කීවෙමි. හැමෝටම වැඩ රාජකාරි තිබේ. 

 ඔහු පැවසුවේ ඒ දිනයේ ඔහුට සුභ පැතූ එකම කෙනා මා බවය. ඔහුට ප්‍රශ්න රාශියක්  ඇති බවත් සියදිවි නසා ගන්නට පවා සිතෙන බවත් මට පැවසුවේය. ඒ ඇසූ වහාම ඔහුට  මා හමුවී කතා කරන ලෙස දන්වා  එවේලේම හමුවන්නට වෙලාවක් හා පබ් එකක නමක්ද කීවෙමි. සියදිවි නසා ගැනීම් ගැන මිනිසුන් විහිළු කරන්නේ නැතැයි මට සිතුනි.

පබ් එකේ දී ඔහු පැමිණියේ පැය භාගයක් පමණ පරක්කු වීය, ඔහු පරක්කු වීමේ හේතුව  ගැන මොනවදෝ කිවේය. මම බියර් දෙකක් මිලදී ගතිමි.  තමන්ගේ ජිවිතයේ ප්‍රශ්න රාශියක් ඔහු  මා හට කියා පෑවේය. ඔහු ගේ බිරිඳ දරුවන් සමග ඔහු හැර ගොස් ඇත. ඇත්තට ම ඔවුන් සිටි නිවසේ ඇය ජිවත් වී  ඔහුව එලියට දමා ඇත.  ඇය එසේ කලේ ඔහුට රැකියාව අහිමි වීමෙන් පසුව යයි කී  ඔහු, බිරිඳට දෝෂාරෝපණය කළේ ඈ නිසා  රැකියාව අහිමි වූ බව පවසමිනි..ඔහු ජීවත් වන්නේ කවුන්සිල් එකෙන් සහනාධාර  කුලිය ගෙවන කාමරයකය. රැකියා විරහිතයන්ට ලැබෙන සහනාධාරයෙන් ඔහු යන්තමින් ජීවත් වෙයි.

ඔහුත් සමග දෙවන බියර් වීදුරුව හිස් කරන විට වඩා විස්තර එලියට එන්නට විය. ඔහුට රැකියාව නැති වී ඇත්තේ දෙතුන් වරක්ම  ප්‍රමාද වී  සේවා දායකයන් හමුවීමට යෑමෙනි.  ඔහු නරකට වැඩ කරන අයෙක් නොවේ. ඔහු තමන් කළ  රැකියාව පිලිබඳ ප්‍රාමාණික දක්ෂයෙකි. එහෙත් පමාවී වැඩට ඒම හෝ පමාවී සේවා දායකයන් හමුවීමට යාම පිළිබඳව ඔහුට කාර්යාලයෙන් අනතුරු හඟවා තිබුනේ වරක් දෙවරක් නොවේ.  ඔහු බිරිඳට වරද පටවන්නේ දරුවන් පාසැලට ගොස් ඇරලීම ඔහුට පවරා  ඇය කලින් රැකියාවට යන නිසාය. උඹට ටිකක් කලින් ළමයි ගිහින් දාල වැඩට ගියානම් මොකද වෙන්නේ කියා අසන්නට සිතූ මුත් මම එය නොඇසුවේ ඔහු සිටින තත්වය සලකාය. 

ඔහුට දරුවන් බැලීමට ලැබෙන්නේ සතියකට වරක් යයි ඔහු මැසිවිලි නැගීය. දරුවන්ට දැන් සුළු පියෙකු ද සිටි. බිරිඳ පෙම්වතෙකු සොයාගෙන ඇත. බිරිඳට පෙම්වතා කලින් සිටම ඉන්නට ඇතැයි ඔහු  සැක කරයි. මේ සියල්ලම නිසා වේදනාවට පත්වුණු ඔහු දිවි තොර කර ගන්නට තීරණය කර ඇත.   මගේ උපන් දින සුභ පැතුම නිසා මා  හමුවී කතා කරන්නට තීරණය කර ඇත. තමන් ගැන කිසිවෙකු සිතා ඇතැයි යන සිතුවිල්ල ඔහු තුල තතදින් ඉස්මතුව ඇත ඇත. මට නොකියා නික්ම යාම නුසුදුසු යයි ඔහු සිතා ඇති බවකි.
 
ඔහු මට ඇත්තක් පවසනවාද බොරුවක් ගොතනවා ද යන්න මට සිතා  ගත නොහැකි වුනි.
 
මම ඔහුට ෆුල් මොන්ටි  චිත්‍රපටයේ කතාව කීවෙමි. එහි ඇත්තේ රැකියා විරහිත වුනු පියෙකු තම පුතා බැලීමට යාමට ගන්නා උත්සාහයයි,. දික්කසාද බිරිඳ පුතා බැලීමට ඉඩ නොදෙන්නේ පියාගේ  රැකියා විරහිත කම නිසා මෙන්ම කිහිප වරක්ම පොරොන්දුවී ළමයා බැලීමට නොපැමිණ මග හැරීම නිසාය. ඔහු මග හරින්නේ ළමයාට යමක්ය අරන්  වත්කමක් නොමැති වූ හෙයිනි.  ඔහු ඒ කාලයේ ටැබුවක් වූ පිරිමින් (චිපන්ඩෙල්ස්  වැනි) කිහිපදෙනෙක්  විසින්  ගැහැණු උදෙසා  ක්‍රම ක්‍රමයෙන් සංගීතයට අනුව ඇඳුම් උනන ස්ට්‍රිප් ෂෝ එකක් සංවිධානය කරයි. පොලිසිය පසුපස එලවීම් සිනා උසුළු විසුළු මැද නිකුත් රැකියා විරහිත යහළුවන් සමග ඔහු එය කරන අතර හිටපු බිරිඳ  පවා එය නැරඹීමට පැමිණේ. අවසානයේ ඔහුට  තම පැතුම ඉටු  කර ගනිමින් පුතා කැටුව දවසක් විනෝදයෙන් ගත කිරීමට ඉඩ ලැබේ.

යහළුවාට රැකියාවක් නැතිකම ප්‍රශ්නයක් නිසා ඒ ගැන උනන්දුවන බව කීවෙමි. ඔහු ප්‍රමාද වෙන නිසා ඒ බවක් නොතකන තැනක්ම සෙවිය යුතුය. අනතුරුව මට යහළුවෙකු හරහා ඕනෑම වෙලාවක පැමිණ රැකියාව කිරීමට හැකි සර්විස් ස්ටේෂන් රැකියාවක් සොයා ගත හැකිවිය. උදේ කාලය අතර තුර ඕනෑම වෙලාවක පැමිණ බිල්පත් සැකසීම ඔහුගේ කාර්යයය විය.  ඔහු එය සතුටින් කළ අතර එම අවුරුද්ද පුරා මම ඔහු කිහිප වරක්ම මුණ ගැසුනෙමි. එතනම රැකියාව කල පෝලන්ත තරුණියක්  වන ඇග්නේෂ්කා සමග ඔහු සම්බන්ධයක් ද අරඹා තිබුණි. දරුවන් බැලීමට පමණක් නොව සමහර සති  අන්ත වල බිරිඳම  කතා කර දරුවන් ඔහුට භාර දී තිබුණි. ඒ කාලයේ මම ඔහුගේ එක්තරා ගතියක්ද නිරීක්ෂණය කළෙමි. ඔහුට කිසියම්  දෙයක්කි රීමට ඇති උදාසීන බවයි. පෝලන්ත තරුණිය ඔහුව නිවාඩු රැගෙන යයි. වෙනත් ගමන් , උත්සව ආදිය ට වුවද ඇය කීවේ නැත්නම් නිවසට  වී සිටීම ඔහුගේ සිරිතයි.  ඔහුගේ බිරිඳ සමග සිටියදී කිසිම බිල් පතක් ගෙවීමට ඔහු උන්නදු නොවූ අතර බිරිඳ ඒ සියල්ලම කලාය. පෝලන්ත තරුණිය වුවද ඔහුගෙන් මුදල් ගෙන ඒ සියල්ල ඉටු කලාය.

ක්‍රම ක්‍රමයෙන්  ඔහු හා මා අතර හමුවීම් අඩුවූයේ අප දෙදෙනාටම වෙනත් වැඩ තිබු බැවින් යයි සිතමි. ඉන්පසු ෆේස්බුක් ගිණුමක් පටන් ගත්  නිසා මම මගේ ගූගල් හා MSN ගෘප් ද නවතා දැමුවෙමි. මට තව දුරටත් උපන්දින සඳහා එන නෝටිස් ගූගල් මේලයෙන් ලැබුනේ නැත. 

අවුරුදු ගණනකට පසු කෝවිඩ් කාලය ද අවසන් ව පැවති මුල්කා ලයේ අපේ කම්පැනියේ  අය  සමග නත්තල් සන්ධ්‍යාවකට සහභාගී වුනෙමි. මෙවැනි සමහර සාද  ප්‍රදේශයේ කම්පැනි කිහිපයක් එකතු කොට ඉවෙන්ට් සංවිධාන කරන කම්පැනි විසින් මෙහෙයවන  ඒවාය. මට අර යහළුවා ගේ පෝලන්ත පෙම්වතිය  ඇග්නේෂ්කා ද එහිදී හමුවිණි. මා දුටු වහාම ඇගේ මුහුණ කඩා වැටුණි. මම ඇගෙන් දෙදෙනාගේම විස්තර විමසුවෙමි, ඇය මාත් සමග එම ශාලාවෙන් එලියට ගොස් මධ්‍යසාර සහ අනිකුත්බී ම දෙන ස්ථානය අසල  හිඳ ගත්තේ ලොකු විස්තරයක් කීමටය. ඇගේ නෙත් කඳුළින් බරව තිබුණි. 

"එයාට ඔයාට කතා කරන්න ඕනෑ කම තිබුන. නමුත් ඔයා කාලෙකින් උපන් දින සුභ පැතුමක් වත් එව්වේ නැහැ කියලා කීව."
 මම ෆේස්බුක් ගිණුම ගැන පවසමින්  නිදහසට කරුණු කීවෙමි. මගේ ෆේස්බුක් ගිණුමේ ඔහු සිටියේ නැත. කෙසේ වෙතත් ඈ  පැවසුවේ, මට කතා කිරීමට ඔහු පසුබට වූයේ  ඒ නිසාම නොවන බවය.  බොහෝ කලකින් කතා නොකළ නිසා නැවත  කතා කරන්නේ කෙසේද යන්න ගැන ඔහුට අපහසු බවක් දැනී තිබුණි.  මම ඒ ගැන කවදාවත්ඔ නොතකන බව ඇයට පැවසුවෙමි. යහළුවෙකු නම්හු අවුරුදු  ගණනකට පසු වුවද කතා කළ හැකි විය යුතුය. 
ඇය කී පරිදි ඔහු  නැවතත් තද විශාදයකට පත්ව ඇත. එහි මුලික හේතුව වී තිබුනේ දරුවන්ය.  ඔහුගේ බිරිඳ දරු දෙදෙනා රැගෙන නව සැමියා ගේ රටට ගොස්ය. ඔහු ඔවුන් රටින්ය න දවසේ ගුවන් තොටුපලේදීදරු දෙදෙනා වැළඳ ගෙන ඬා වැලපී ඇත. දරුවන්ද වැලපී ඇතත්, එවෙලේ  කෝපයට පත් බිරිඳ දරුවන් උදුරා ගෙන යාමට තැත් කරද්දී ඇගේ නව සැමියා එය වළකා ඇත. එසේම ඔහුට ඕනෑම අවස්ථාවක එම රටට පැමිණ දරුවන් බැලීමටද එසේම ඔවුන් නැවත  ලන්ඩන් පැමිණිය හොත් දරුවන් සමග ඔහු හමුවට පැමිනෙණ බවට පොරොන්දුවකද දී ඇත . ඔහු සැබවින්ම මහත්මයෙකි,

පෝලන්ත තරුණියගේ කතාවෙන් මට වැටහුනේ ඒ දුකට එහා ගිය දෙයක් එතන තිබී ඇති බවය. ඔහු රැකියාව කළද සතුටින් සිටියද සමහරගති සහ පුරුදු අත හැර නැත. බිරිඳ  දරුවන් සමග නව  සැමියාගේ රටට යෑමට අවසර ඉල්ලා පවුල් උසාවියේ සාමාන්‍ය නඩුවක් පවරා ඇත. එය ඉතා සාමාන්‍ය, විරසක  දෙදෙනෙකුට නීතිඥයන් ඇතිව හෝ නැතිව විසඳා ගත හැකි දෙයකි. ඔහු උසාවියේ කිසිම ලියුමක් විවෘත කර නැත.එයට මා කලින් කී  ඔහුගේ උදාසීන භාවයද හේතුවක් වන්නට ඇත. දරුවන් බැලීමට ගිය දින වලද බිරිඳ දරුවන්  නිවසින් පිටතට එව්වා විනා ඒ බවක් ඔහුට කියා  නැත.   ඇග්නේෂ්කා සිතන්නේ ඔහුට ඒ බව කියා ඇතත් ඔහු එය අමතක කරන්නට ඇති බවය. දරුවන් ඔවුන් පිටරට යන බව ඔහුට පවසා තිබුනද ඔවුන් නිවාඩුවට යාමක් යයි සිතා  ඔහු ඒ ගැන  වද වී නොමැත. 

 දරුවන් ගේ නික්ම යාමෙන් ඉතා ශෝකයට පත්ව ඔහු කාලය ගත කර ඈත්තේ රැකියාවට යාමද අතපසු කරමිනි.
අවසානයේ සිදුව ඇත්තේ ඇග්නෙෂ්කා ඔහු හැර යාමයි. ඊට සති දෙක තුනකට පසුව ඔහුගේ උපන් දිනය යෙදී  තිබුණි. ඇග්නේෂ්කා එදා ඔහුට කතා කර පවසා ඇත්තේ  ඇයට වැඩක් යෙදී ඇති බැවින් පසුව ඔහු හමුවට එන බවකි. එහිදී තම දරුවන් උපන් දිනයේ දවසේ වත් කතා නොකළ බව ඇග්නේෂ්කාට පවසා ඇත. ඇය ඔහු අස්වසා ඇත්තේ දරුවන් මව සමග  කොහේ හෝ යන්නට ඇතියි කියාය. 

ඔහු තමන්ගේ දිවි තොර කරගෙන ගෙන් ඇත්තේ එදා රැයේදීය.

සමහර කරුණු කාරණා සිදුවන පිළිවෙල අනුව යමක් සිද්ධවීම වළකන්නට අපට නොහැකිය. එනමුදු ඔහු කතා නොකලද ඔහුට ඉඳහිට හෝ  කතා කරන්නට තිබුනා යයි යම්ප සු තැවීමක් දැනුදු මට තිබේ.   දැනුදු මම යහළුවෙකුගේ  උපන්දිනයක්  දුටුවොත් සුභ පැතීමක් කරමි. එක් අයෙකුට හෝ එය වැදගත් විය හැකිය. 

- අජිත් ධර්මකීර්ති 07/03.2023