Saturday, 20 June 2026

නාඳුනන ගැහැණියක ගේ, සමනළ මරණයෙන් තිළිනාවෝ ගේ මධුසමය අහිමි වීම

සන්ධ්‍යාව (වේචර්)
"සන්ධ්‍යාව" 

තිළිණා වීරසිංහ ගේ කුඩා ග්‍රන්ථ කිහිපයට නිසි අවධානයක්  ලැබුනේ දැයි සැක සහිතය. මා ලියූ  "සියාමා" පොත හදිසියේ වැඩි වියට පත් දැරියකගේ හා ඒ දැරිය දෙමාපියන් නොමැතිව ලෝකයට තරුණියක සේ මුහුණ පානා ආකාරය පිලිබඳ සටහනකි .  තිළිණා ගේ පොත් කියවද්දී මට සිතුනේ අප දෙදෙනාම  එක හා සමාන ලෙස මේ ස්ත්‍රී අපයෝජනය, වධ හිංසා සහ අසාධාරණ හංවඩු ගැසීම් එකසේ හෙලා දකින බවයි .   

ශ්‍රී ලංකාවේ දේශීය සාහිත්‍යය ලෝක සාහිත්‍යයේ මහා ප්‍රවාහය සමඟ සම්බන්ධ කිරීම මා කරන්නේ මිනිස් ජීවිතයේ පොදු අත්දැකීම්, විශේෂයෙන්ම කාන්තාවන්ගේ අරගල, හදවත් බිඳීම් සහ ඔරොත්තු දීමේ හැකියාව ,  කෙතරම් ගැඹුරින් එකිනෙකට බැඳී ඇත්දැයි වටහා ගැනීමට එය කදිම පිවිසුමක් නිසාය . 

කාන්තාවන්ගේ අවදානම, පෙම්වතුන්ගේ පාවාදීම් සහ තමාගේම පෞද්ගලික විවාහ ජීවිතයේ කටුක අත්දැකීම් පිළිබඳව ඉතා අව්‍යාජ ලෙස ලියමින්, ශ්‍රී ලාංකේය ලේඛිකා තිළිණා වීරසිංහ සහෝදරිය  ගමන් කරන්නේ ඉතිහාසයේ ලොව සුප්‍රකට ස්ත්‍රීවාදී සහ යථාර්ථවාදී ලේඛිකාවන් විසින් සොයා මග හෙළි පෙහෙළි කල  මාවතකය.

ඇයගේ කෘති තුන හරහා දිවෙන තේමාත්මක සබඳතාවන් ලෝක සාහිත්‍යයේ විශිෂ්ට කෘතීන් සමඟ අලංකාර ලෙස මුසුවේ .  

මට මුලින් මතක් වුනේ සෝවියට් දේශයේ සිටි ශ්‍රේෂ්ඨ කිවිඳියක වන  ඇනා අක්මාටෝවා පිළිබඳවය. සිල්වියා ප්ලැත් හරහා පුරුෂාධිපත්‍යය හමුවේ කාන්තාවකගේ අභ්‍යන්තර මානසික ලෝකයේ සිදුවන යුද්ධය නිරූපණය වන්නේ නම්, ඇනා අක්මාටෝවා හරහා නිරූපණය වන්නේ පක්ෂ නොවන ඇතැමුන් ඇතැම් විටෙක කුරිරු ලෙසින් හඳුන්වන  ලද පාලනයක් හමුවේ සමස්ත කාන්තා ප්‍රජාවම මුහුණ දෙන දේශපාලනික සහ පොදු සමාජයීය ඛේදවාචකයයි.

තිළිණා ඇතැම් විටක  කතා රචනා කරන්නේ කාව්‍යයක් විලසින්ය .  සමහර විට කාව්‍යමය නොවන සංවාද ලෙසිනි .  මේ මිශ්‍ර ආකාරය සමහර විට කියවන්නාට හිසරදයක්ද වේ. එනිසා  ඔබ තිළිණා ගේ පොත් කියවිය යුත්තේ ඉවසිල්ලෙන්ය . 

අක්මාටෝවාගේ විශිෂ්ටතම කාව්‍ය නිර්මාණය වන රෙක්වියම්  (මළවුන් වෙනුවෙන් ගයන ගීය) සහ තිළිණා වීරසිංහයන්ගේ කෘතීන්,  විශේෂයෙන්ම නාඳුනන ගැහැනිය සහ පෞද්ගලික ජීවිතයේ කටුක බව කතා කරන මධුසමය අහිමි මංගල්‍යය  අතර , ගැඹුරු තේමාත්මක සමානකමක් පවතී.   උදාහරණයකට සිරගෙදර පෝලිමේ සිටි "නාඳුනන ගැහැනිය" ගන්න . අක්මාටෝවාගේ රෙක්වියම්  කාව්‍යයේ ප්‍රස්තාවනාව  කියවන විට එය හරියටම නාඳුනන ගැහැනිය යන තේමාවේ ලෝක සාහිත්‍යමය පූර්වාදර්ශයක් බඳුය.

සෝවියට් දේශයේ පාලකයාව සිටි ජෝසෆ්  ස්ටාලින්ගේ  කාලයේ වරදවා රජයට විරුද්ධ යයි සිතූ බුද්ධිමතුන්  ,  නිදහස් ලේඛකයන් ආදීන්  කෙරෙහි කිසියම්  මර්දනයක් දියත් වුනි. මෙම  මර්දන සමයේදී අක්මාටෝවාගේ එකම පුත්‍රයාව අත්අඩංගුවට ගන්නා ලදී. ඔහුව දැක ගැනීමට හෝ කෑම ටිකක් දීමට ඇය මාස දාහතක් තිස්සේ ලෙනින්ග්‍රෑඩ් සිරගෙදර ඉදිරිපිට අධික සීතලේ දිගු පෝලිම්වල බලා සිටියාය. දිනක්, සීතල නිසා තොල් නිල් පැහැ ගැන්වුණු තවත් එක් නන්නාදුනන කාන්තාවක් ඇයව හඳුනාගෙන, ඇය අසලට පැමිණ: "ඔබට පුළුවන්ද මේ වේදනාව විස්තර කරන්න?" යන්න රහසින් ඇසුවාය. අක්මාටෝවා ඊට පිළිතුරු දුන්නේ, "ඔව්, මට පුළුවන්" යනුවෙනි.

 ඒ මොහොතේදී අක්මාටෝවා, එම සිරගෙදර පෝලිමේ සිටි දහස් සංඛ්‍යාත, නමක් ගමක් නැති "නාඳුනන කාන්තාවන්ගේ" පොදු හඬ බවට පත් වූවාය.  අක්මාටෝවාගේ කාව්‍යයෙන් තර්ක කරන්නේ රජයක් හෝ සමාජය විසින් කාන්තාවකගේ දරුවෙකු, සැමියෙකු හෝ ඇගේ ජීවනෝපාය උදුරා ගත් විට ඇගේ පෞද්ගලික අනන්‍යතාවය අහිමි වන බවයි. ඇය පොදු වේදනාවකින් බැඳුණු, ජනකායක් අතර සිටින තවත් එක් නොපෙනෙන මුහුණක් පමණක් බවට පත්වෙයි. 

තිළිණා ගේ නාඳුනන ගැහැනිය කෘතියේ "මෙතන ඉන්න කවුරු හරි  මේ ගෑණිව අඳුනනවද?" යනුවෙන් ජේෂ්ඨ හමුදා නිලධරයා ප්‍රශ්න කරයි .  කිවෙකුත් පිළිතුරු දුන්නේ නැත . සිරුර වැඩිපුර කලුපාට නිසා දෙමළ ගැහැනියක් විය යුතුය. නාසයෙහි කුඩා කරබුවක් ඉතිරිව තිබුණි. මෙය වර්ණවාදී කතාවකි .  උතුරේ  සුදු පාට ගැහැණු ද සිටිති.  නමුත් මෙහිදී තිළිණා සමාජීය යථාර්තය ඒ අයුරින්ම  මුහුණට දමා ගසයි.   නාඳුනන ගැහැණිය අතවරයට පත් එකියක් විය හැකිය.  අක්මටෝවා ගේ මෙන් සැමියා හිරේ,  පුතා විමුක්ති කොටි පැහැරගෙන විය හැකිය.  නැත්නම් පුතා ආණ්ඩුවේ හිර ගෙදර සිටියදී ,  සැමියා අතුරුදහන් වූවා  විය හැකිය .  තිලිනා මේ සමාජ ඛේදවාචකය තම කෙටි කතාවෙන් උස්සා  පොළොවේ ගසන්නීය . 

තිළිණා වීරසිංහ ගේ කෘතිවල දුප්පත් මෙන්ම ධනවත් කාන්තාවන්ද පිරිමින්ගේ කුරිරුකම් හෝ අත්හැර දැමීම් නිසා පීඩාවට පත්වන ආකාරය ද   පන්ති භේදය අභිබවා ගිය පොදු වේදනාවද මැනැවින් සටහන්වේ . 

රෙක්වියම්  කාව්‍යය තුළින්ද සිදු කරන්නේ ඒ හා සමාන දෙයකි. එහිදී අක්මාටෝවා තමා ගැන ලියන්නේ ලෝක ප්‍රසිද්ධ, ප්‍රභූ ලේඛිකාවක ලෙස නොව, සාමාන්‍ය මවක ලෙසිනි. ඇය ගොවි කාන්තාවන්ගේ, සොල්දාදුවන්ගේ බිරින්දෑවරුන්ගේ සහ ඉහළ පන්තිවල කාන්තාවන්ගේ හඬවල් එකට මුසු කරයි. මහා ඛේදවාචකයක් හමුවේ ඔවුන්ගේ සමාජ තත්ත්වය හෝ ධනය සම්පූර්ණයෙන්ම දියවී යයි. පුරුෂාධිපත්‍යය හෝ ඒකාධිපති පාලනය කාන්තාවකගේ ධනවත්කම දෙස බලන්නේ නැත; වේදනාව පැමිණි විට, එය හැමෝටම එක හා සමානව දැනේ.

රෙක්වියම් කාව්‍යය  තුළ නිවස යනු තවදුරටත් ආරක්ෂිත නවාතැනක් නොවේ. එය මධ්‍යම රාත්‍රියේ රහස් පොලිසිය දොරට තට්ටු කරන භීෂණයේ ස්ථානයකි. ජීවිතයේ සාමාන්‍ය සන්ධිස්ථාන (විවාහ උත්සව, මධුසමයන් හෝ සාමකාමී පවුලේ රාත්‍රී භෝජන සංග්‍රහයන්) තමන්ට පාලනය කළ නොහැකි බාහිර බලවේගයන් විසින් උදුරා ගනු ලැබූ විට කාන්තාවක පත්වන අන්ත අසරණභාවය ඇය විස්තර කරයි.

ප්ලැත් සහ අක්මාටෝවා යන  ලේඛිකාවන් දෙදෙනාම වීරසිංහයන්ගේ තේමාවන්ට සමීප වුවද, ඔවුන් ඒ දෙස බලන්නේ එකිනෙකට වෙනස් කෝණයන්ගෙනි:

සිල්වියා ප්ලැත් බලන්නේ අභ්‍යන්තරය දෙසය. ඇගේ කාව්‍යයන් පවුල් ජීවිතයේ හුස්ම හිරකරවන සුලු ස්වභාවය සහ පෞද්ගලික මානසික පීඩනය නිසා ඇතුළාන්තයෙන් සිදුවන පිපිරීමක් බඳුය.

ඇනා අක්මාටෝවා බලන්නේ බාහිර සමාජය දෙසය. ඇගේ කාව්‍යයන් ඉතිහාසයේ සාක්ෂිකරුවෙකු බඳුය. ඇය තම පෞද්ගලික දිනපොත පීඩාවට පත් මිලියන සංඛ්‍යාත කාන්තාවන් වෙනුවෙන් ඉදි කළ ස්මාරකයක් බවට පත් කළාය.

තිළිණා වීරසිංහයන් තම පෞද්ගලික ජීවිතයෙන් උපුටා ගනිමින් කෘතීන් රචනා කිරීමේදී මේ දෙඅංශයම මනාව සමබර කරයි. ඇය තුළ ප්ලැත් සතු වූ අභ්‍යන්තර, අව්‍යාජ නිර්භීතකම පවතින අතරම, ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යුහය දෙස තම පෑන මෙහෙයවීම හරහා ඇය අක්මාටෝවා මෙන් තම සමාජයේ සහෝදරියන් වෙනුවෙන් සාක්ෂි දරන්නියක බවටද පත්වෙයි.

"නාඳුනන ගැහැනිය" පොතේ "පෙම්වතියකගේ රාත්‍රිය" වැනි කතා වලින් පෙන්නුම් කරන්නේ ස්ත්‍රී අනන්‍යතාවය විශ්වීය ලෙස අකාමකා දැමීමකි . විවිධ සමාජ පන්තිවල කාන්තාවන් පිරිමින් අතින් පීඩාවට පත්වීම සහ ආදරවන්තයින් විසින් ඔවුන්ව පහසුවෙන්ම අත්හැර දැමීම පිළිබඳව මෙම කෘතියෙන් කෙරෙන විග්‍රහය, ගෝලීය ස්ත්‍රීවාදී සාහිත්‍යයේ ප්‍රධාන තේමාවක් මනාව පිළිඹිබු කරයි. එනම්, සමාජය විසින් කාන්තාවකගේ ස්වාධීනත්වය උදුරා ගැනීම හරහා ඇයව "නාඳුනන" හෝ නොපෙනෙන කෙනෙකු බවට පත් කරන්නේ කෙසේද යන්නයි. මෙය ප්‍රකට ලේඛිකා වර්ජිනියා වුල්ෆ් ගේ සුප්‍රසිද්ධ ප්‍රකාශය වන "ඉතිහාසයේ බොහෝ කාලයක් පුරා 'නිර්නාමික' වූයේ ගැහැණියකි" යන්න දැඩි ලෙස සිහිපත් කරයි.

මම තිළිනාගේ පළමු පොත පිළිබඳ කරන ලද සටහනේදී   මා විසින් නොබෙල් ත්‍යාගලාභී නදින් ගෝර්ඩිමර් ගේ පොතක් උපමාවකට  ගැනීම තිළිනා ගේ සිතට ඇල්ලුවේ නැත .  ඇයව තවත් ලේඛිකාවකට සංසන්දනය කිරීම ගැන කැමැත්තක් නැති ඇය මට කීවාය. මා කළේ සංසන්දනය කිරීමක් නොව නදින් ගේ පොත් ඇසුරින් තිළිනා ගේ පොත විස්තර කිරීමයි . රටවල් දෙකක හෝ කිහිපයක එකම සිද්ධිය වෙනස් ආකාරයෙන් සිදුවන්නේ කෙසේද ?  ඒ මිනිස් ස්වභාවයද ?  

 තෝමස් හාඩිගේ ගේ  සම්භාව්‍ය නවකතාවක් වන Tess of the d'Urbervilles "දර්බවිල් හි ටෙස්" කෘතිය මේ සඳහා කදිම උදාහරණයකි. "නාඳුනන ගැහැනිය" කෘතියේ හා "සමනල මරණය" කෘතියේ  චරිත හා එක හා සමාන නොවුනත් , ටෙස් යනු ධනවත් මිනිසෙකුගේ අතවරයට ලක්වන, පසුව සමාජයේ පවතින ද්විත්ව ප්‍රමිතීන් නිසා තමා සැබවින්ම ආදරය කළ මිනිසා විසින්ම අත්හැර දමනු ලබන දුප්පත් ගැමි යුවතියකි. ඓතිහාසික එංගලන්තයේ හෝ වේවා, වත්මන් ශ්‍රී ලංකාවේ හෝ වේවා, සාහිත්‍යය නිරන්තරයෙන් මෙම හද කම්පා කරවන යථාර්ථය ප්‍රතිසංස්කරණය කරයි: කාන්තාවන්ට පද්ධතිමය හෝ ආර්ථික බලයක් නොමැති වූ විට, ඔවුන් බොහෝ විට පිරිමින්ගේ තාවකාලික අවශ්‍යතා වෙනුවෙන් පරිහරණය කර ඉවතලන වස්තූන් බවට පත්වන අතර, ඔවුන්ගේ පෞද්ගලික අනන්‍යතාවය පිරිමින් විසින් අකාමකා දමනු ලැබේ. ඇයගේ ප්‍රථම ග්‍රන්ථය මෙයට නිදසුනකි . 

"සමනල මරණය" බලාපොරොත්තුවල බිඳෙනසුලු බව සහ බිඳුණු පොරොන්දුවල කුරිරුකම ද යුද්ධය විසින් ජාතීන් කිහිපයකට උරුම කළ දුක කන්දරාවද  කැටිකර පෙන්වයි . මෙම කෘතියේ නමම ගැඹුරු කාව්‍යමය මෙන්ම ඛේදජනක ස්වරූපයක් ගනී. සමනලයෙකු යනු සුන්දරත්වය, පරිවර්තනය සහ නිදහසේ විශ්වීය සංකේතයකි. නමුත් උන් අතිශයින්ම බිඳෙනසුලුය. එවැනි සමනලයෙකුට "මරණයක්" අත්කර දීමෙන් සංකේතවත් කරන්නේ රළු පීතෘමූලික, පුරුෂාධිපත්‍යය සහිත ලෝකයක් විසින් කාන්තාවකගේ ජීව ගුණය, සිහින හෝ ජීවිතය කුඩුපට්ටම් කර දමන ආකාරයයි. "වැන්දඹුවකගේ සංවාදය " හා "රාජේශ්වරී මෙනෙවිය" ඒ සඳහා නිදසුන්ය .   

 තවත් කැපී පෙනෙන සමාන්තරයක් වන්නේ හෙන්රික් ඉබ්සන්ගේ A Doll's House (බෝනික්කාගේ ගෙදර) නාට්‍යයයි. එහි ප්‍රධාන චරිතය වන නෝරා , ඇගේ සැමියා විසින් සලකනු ලබන්නේ කූඩුවක සිටින බිඳෙනසුලු "කුරුල්ලෙකු" හෝ "සමනලයෙකු" ලෙසිනි. තමාගේ මුළු විවාහ ජීවිතයම සැමියාගේ පාලනය මත ගොඩනැඟුණු මායාවක් බව ඇය වටහා ගත් විට, ඇයට සැබෑ, ස්වාධීන මිනිසෙකු ලෙස ලෝකයට පිය නැඟීමට නම්, ඇය තුළ සිටි ඒ "සමනල" ස්වරූපය මිය යාමට හැරිය යුතු විය. සමනල මරණය කෘතියද, යථාර්ථයේ කුරිරුකම හමුවේ කාන්තාවකගේ අහිංසකත්වය සහ බලාපොරොත්තු බිඳ වැටෙන ඒ වේදනාකාරී සංක්‍රාන්තිය මනාව ග්‍රහණය කර ගනී.

වීරසිංහයන්ගේ මධුසමය අහිමි මංගල්‍යය කෘතියෙන් විවාහයක ඇති සුන්දර මිථ්‍යාව බිඳ දමා කටුක යථාර්ථය නිරූපණය කරන්නා සේම, අක්මාටෝවාද පවුල් ජීවිතය පිළිබඳ පවතින සාම්ප්‍රදායික රොමැන්ටික් ආකල්පය ගලවා දමයි.

 මධුසමය අහිමි මංගල්‍යය (A Marriage Without a Honeymoon) ස්වයං-චරිතාපදානයක් නම් එය  සත්‍යය ප්‍රකාශ කිරීමේ අභීතභාවය සඳහා වූ ත්‍යාගයට හිමිකම් ලබයි .  එහෙම ත්‍යාගයක් කිසිවෙකු දෙන්නේ නැත.  
මධුසමය අහිමි මංගල්‍යය සිල්වියා ප්ලැත්  ගේ ස්වයං චරිතාපදාන නවකතාවක් වන The Bell Jar (සීනුවක් වන බඳුන )  කෘතිය හෝ ඇයගේ දැඩි හැඟීම්බර කාව්‍ය නිර්මාණ සමඟ සෘජුවම තේමාත්මකව සමපාත වේ යැයි මට සිතේ. නිර්මාණශීලී, ජීව ගුණයෙන් පිරි කාන්තාවන් කෙරෙහි සමාජය පටවන අපේක්ෂාවන් නිසා ඔවුන් හුස්ම ගත නොහැකිව කොටු වී සිටින ආකාරය ප්ලැත් නිරන්තරයෙන් ලිව්වාය.

තම විවාහ ජීවිතයේ අසාර්ථකත්වය හෝ කටුක අත්දැකීම් ගැන ලිවීම විශාල  ධෛර්යයක් අවශ්‍ය වන කාර්යයකි. විශේෂයෙන්ම පවුලේ "ගෞරවය" නාමයෙන් විවාහයේ ගැටලු රහසක් ලෙස තබා ගැනීමට උත්සාහ කරන දකුණු ආසියාතික සංස්කෘතියක් තුළ මෙය වඩාත් කැපී පෙනේ. තමාගේම ජීවිතය සාහිත්‍යයක් බවට පත් කිරීමෙන්, තිලිනා  ලෝකයේ ප්‍රබල ස්ත්‍රීවාදී පාපොච්චාරණ සාහිත්‍ය සම්ප්‍රදාය සමඟ එක්වෙයි.

 මට සිතෙන්නේ මේ කෘතීන්  ප්‍රකට ප්‍රංශ ස්ත්‍රීවාදී දාර්ශනිකයෙකු සහ ලේඛිකාවක වන සිමොන් ඩි බුවාර්  (Simone de Beauvoir) ගේ කෘති මෙන්ම, එලේනා ෆෙරන්ටේ ගේ ගැඹුරු පෞද්ගලික නවකතා (උදාහරණයක් ලෙස ගතහොත් The Days of Abandonment-අත්හැර දැමීමේ දින ) සමඟ මනාව ගැලපේ. ෆෙරන්ටේගේ කෘති, විවාහයක් බිඳ වැටීමේදී ඇතිවන මානසික කැලඹීම කිසිදු ලෙසකින් ආදරණීයකරණය නොකර, එහි ඇති රළු සහ බියකරු සත්‍යය එලෙසින්ම මතු කර පෙන්වයි. The Woman Destroyed (විනාශ වූ ගැහැණිය )  යනු ප්‍රංශ පැවැත්මවාදී (existentialist) ලේඛිකා සීමොන් ඩි බුවාර් විසින් 1967 දී ප්‍රකාශයට පත් කරන ලද, කෙටිකතා තුනකින් සමන්විත ප්‍රබල කෘතියකි. මෙම කෙටිකතා ත්‍රිත්වය කාන්තාවන් තම සාම්ප්‍රදායික ගෘහස්ත භූමිකාවන්ගෙන් බැහැර වන විට මුහුණ දෙන පැවැත්ම පිළිබඳ අර්බුද (existential crises), වයස්ගත වීම සහ අනන්‍යතාවය අහිමි වීම වැනි කරුණු ගවේෂණය කරයි. ඩි බුවාර් මෙම ආඛ්‍යානයන් භාවිතා කරන්නේ මිනිස් මනසේ ගැඹුරින් මුල් බැසගත් හැඟීම්බර සත්‍යයන් පරීක්ෂා කිරීමටය, එහිදී ඇය විශේෂයෙන් අවධානය යොමු කරන්නේ පැවැත්ම පිළිබඳ අර්බුදය, එනම්  කාන්තාවන් බිරිඳක් සහ මවක් යන භූමිකාවන් අධික ලෙස වැළඳ ගැනීම තුළින් ඔවුන්ගේ පෞද්ගලික අනන්‍යතාවය අහිමි කර ගන්නා ආකාරය, වයස්ගත වීම සහ අවදානම,  තාරුණ්‍යය සහ ආශාවන් ක්ෂය වී යාමත් සමඟ, වයස්ගත කාන්තාවන්ට සමාජයෙන් එල්ල වන කටුක සහ බොහෝ විට අනුකම්පාවකින් තොර සැලකීම ආදියයි. සමහර විට ප්‍රංශ සාහිත්‍ය තුල තිළිණා ගේ ග්‍රන්ථ ත්‍රිත්වයට වඩා වැඩි අවධානයක් යොමුවන්නට තිබුණි .  


ලෝක සාහිත්‍යය තුළ, "මධුසමය අහිමි මංගල්‍යයක්" යනු විවාහය පිළිබඳ පවතින රොමැන්ටික් මිථ්‍යාව බිඳ වැටීමේ කදිම සංකේතයකි. එය ෂාලට් බ්‍රොන්ටී ගේ   "ජේන් අයර්" නවකතාවද  සිහිපත් කරයි; එහිදී විවාහ මංගල්‍යයකින් අපේක්ෂා කරන සතුට, සැඟවුණු අඳුරු සත්‍යයන් හෙළිදරව් වීමත් සමඟ ක්ෂණිකව සුනුවිසුනු වී යයි. තිළිණා වීරසිංහ  ඇගේ පෞද්ගලික සත්‍යය සමාජය සමඟ බෙදා ගැනීම හරහා, ඇය තම කතාව හුදෙක් පෞද්ගලික දුක්ගැනවිල්ලකින් ඔබ්බට ගෙන ගොස් දේශපාලනික ප්‍රකාශනයක් බවට පත් කරයි. එමඟින් ඇය, මෙවැනි පෞද්ගලික වේදනාවන්ගෙන් පීඩා විඳින්නේ තමන් පමණක් නොවන බව අනෙකුත් පාඨක කාන්තාවන්ටද පසක් කර දෙයි.

තිළිණා වීරසිංහයන්ගේ හඬ සුවිශේෂී වන්නේ ඇය කාන්තාවන්ගේ වේදනාව පන්ති භේදයකට කොටු කිරීමට ප්‍රතික්ෂේප කරන බැවිනි. අතවර සහ අත්හැර දැමීම් "දුප්පත්" මෙන්ම "පොහොසත්" කාන්තාවන්ටද පොදුවේ බලපාන බව පෙන්වා දීමෙන්, ඇය ඔප්පු කරන්නේ පීතෘමූලික සමාජ ක්‍රමය තුළ පීඩනය සැමට පොදු බවයි. ඇයගේ කෘතීන්හි භාෂාව සහ පසුබිම අනන්‍ය ලෙස ශ්‍රී ලාංකේය වුවද, ස්ත්‍රී ගෞරවය, අනන්‍යතාවය සහ මානසික සුවය උදෙසා ඇය නඟන හඬ සම්පූර්ණයෙන්ම විශ්වීය එකකි. පීතෘමූලික අපේක්ෂාවන් විසින් කාන්තාවන් මත සමාජය විසින් පටවනු ලබන සුවිශේෂී පීඩනයන්, මඟින් ඔවුන්ව අත්හැර දැමීම් සහ පාවාදීම් හමුවේ දැඩි ලෙස අසරණ තත්ත්වයට පත් කරයි.

ශ්‍රී ලංකාවේ මේ දිනවල ළාබාල දැරිවියන් සහ ස්ත්‍රී අපයෝජන සිද්ධීන් පිලිබඳ බොහෝ සාකච්ඡා ඇතිවේ. ඉන් එක කරුණක් සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයකදී  එක් මන්ත්‍රීවරියක්  රජයට අනුබද්ධිත ආයතනයක නීති අධ්‍යක්ෂකවරියක්ව  අනවශ්‍ය ලෙස ප්‍රශ්න වලට බඳුන් කරන  ලදැයි ඝෝෂාවක් ඇත .  ඇය එසේ කෙරුවායයි  මොහොතකට සිතමු.  ප්‍රශ්නය වන්නේ ඇයට එරෙහිව,  දැරිය වෙනුවෙන් යයි පෙනී සිටිනවා යයි පවසන  බොහෝ දෙනා විසින් කරන වාචික අපයෝජනයයි.  එය  ඉතා බැරෑරුම්ය. ඇගේ රූපය, ඇගේ කථිකත්වය අපහාසයට පත් කරමින්  සතුන්ගේ නම ,  වැසිකිලි නම් භාවිත කරමින් ඇයට නින්දා කරති. දැරිය මෙන්ම ඇයද මේ පුරුෂ මූලික සමාජයේ ගොදුරු බවට පත් වී ඇත. විවේචනය එකකි .  අපහාසය තව එකකි .  එසේම මේ අපහාස  කරන  අයගේ වර්ගයාම තම ආගමිකත්වය පෙරට දමා ආගමික සංස්ථාව බේරාගන්නට එන්නෝ ද වෙති.  සමහරු ඊට පෙර දැරිය ගැන වචනයක් හෝ කතා කල අය නොවෙති .       

තිළිණා ගේ පොත් වල අඩුව ලෙස මම දකින්නේ මෙන්න මේ තත්වය ඇයට මග හැරී  යාමය. ඇගේ පළමු ග්‍රන්ථය වන 'ආදරණීය දෙවියන් වහන්සේ '  පොතෙහි ගැහැණියක් තවත් ගැහැණියක ගේ ප්‍රශ්නය තේරුම් නොගත් බවක් පෙන්වයි .  ඉහත කී  දැරියගේ සිද්ධියේදී දැරිය ගේ මවද අපයෝජකයන් ට උදව් දීමක් වාර්තා වේ. සමහර  ගැහැණු තමන් අභිබවා යන පිරිමි චරිතයට වඩා ගැහැණු චරිතයට එක්කෝ ඊර්ෂ්‍යා කරති .  නැතිනම් පිරිමි සමග එක්ව අපහාස  කරති .  එනිසා තිළිණා ගේ පොත් ස්ත්‍රීවාදී සෙයක් පෙන්නුම් කළද තිළිණා ඒ පිලීබඳව දක්වන උදාසීන උකටලී භාවයද හඟවයි . 
 
ඇගේ "මෙහෙකරුවා සමග කල සෙල්ලම ' කෙටි කතාව මට සිහිපත් කලේ ධර්මසිරි බණ්ඩාරණායක ගේ "තුන් වෙනි යාමය" චිත්‍රපටයයි . දෙමාපියන්ට මෙන්ම ළමයින්ටද ලිංගික අධ්‍යාපනය අවශ්‍ය වන්නේ ළමුන් ක්‍රමයෙන් වැඩි වියට පත් වන්නේ කෙසේද යන්න වඩා හොඳින් වටහා ගැනීම සඳහාය. 

ඇගේ පොත් වල නිසඳැස් ද බහුලය .  විටෙක කෙටි කතාව තව විටෙක කාව්‍යයකි .  

'අඳුරටත් අහසටත් මම කොතරම් ඇලුම් කරමිද ..?
එහෙත් ,  ඒ  සියල්ලට වඩා අද   
මම ඔබට ආදරය කරමි . 
දිගුම දිගු රාත්‍රියට පසුවද 
ඔබේ උණුසුමින් 
මගේ හදවත නිදි බරය .." පි 33 "නාඳුනන ගැහැණිය" 

සමහර විටෙක විවේචනය තියුණුය.  නමුත් ඇත්ත කියන්නටද බිම ඉඳ ගන්නටද බිය විය යුතු නැත යයි කියමනක් තිබේ .  
"තාත්තා හිතන්නේ අම්මයි  තාත්තයි උගනන්පු දේවල් වත් හරියට ඉගෙන ගත්තේ නැති නිසා මං විශ්ව විද්‍යාලේදීවත් ඔහේ උඩ  බලන් ඉන්න  ඇති කියලයි .  විශ්ව විද්‍යාලයේ ගිහින් උඩ  බලන් හිටියත් එහෙ මෙහෙ බල බල හිටියත් නිකම්ම හිටියත් උපාධිය දෙනවා . ඇයි විශ්ව  විද්‍යාලේ උගන්නන අයත් වැඩි දෙනෙක් ඔහේ උඩ බිම බලන් නිකන් ඉන්න අයනේ . " පි 45 - සමනල මරණය 

සමනල මරණය කතාව මියගිය යුද සෙබළෙකු ගැනය .  අප දන්නේ රණවිරුවන් හා ඔවුන්ව දේශපාලන වේදිකාවේ හා සමාජ මාධ්‍යව වල විකුණන් උන් ගැන පමණකි .  සැබෑ වීරයන් අඩි හයක් යටය .  
"මිය ඇදුණවුන් කිනම් කඳවුරකට අයත්දැයි සෙවීමට ඔවුන්ගේ ලේ සෝදා පිරිසිදු කිරීමට අවශ්‍ය විය . " පි 57 

සොල්දාදුවගේ මරණය මෙන්ම ඔහු ගේ අහිමි වීම තුල වැළපෙන තරුණ බිරිඳ ගැන කතා කෙරෙන්නේ අඩුවෙනි. 
"ඇය ඔහු විවාහකරගෙන සුළු කාලයකි . 

සීතල දුරුත්තේදී  ඔහු හා එක්වූ ඇය 
සිතල උඳුවප් මහේදී ඔහුගෙන් වෙන් වූවාය.   

ඔතන ලද සිංහ කොඩිය සමඟ ඔහුගේ හමුදා ආයිත්තම් ඇය වෙත පිරිනමන මොහොතේ ඇය ඒ දෙස නොබලා කොඳුරන්නට පටන් ගත්තාය.

"මං ආවේ ජිවත් වෙන්න. එයත් එක්ක  ජිවත් වෙන්න .  එයා මාව  එක්ක ආවේ ජීවත් වෙන්න .  එයා රස්සාව කෙරුවේ ජීවත් වෙන්න  ඒත් එයා . .."
පි 64 සමනල මරණය 

අපේ  හද වේදනාවෙන් පිරී  යන්නේ මේ සත්‍යයම  වූ යථාර්තය  බැවිනි .  මේ යුද්ධයේ  එක පැත්තක් පමණකි .  අපි හොඳින්  හිටියද ඔවුන් සිටියේ ද සිටින්නේද  දුකෙන් පීඩිතවය. යුද්ධයම  සොයනා කෙනෙකුට එය වැටහෙන්නේ  නැති බව  අදද ලෝකය දෙස බලන විට පෙනේ .   

මා සිමොන් ඩි බොවුවාර් ගැන ඉහත ලීවේ අහම්බයකින් නොවේ .  

සිමොන් ඩි බොවුවාර් ගේ ' ද  බ්ලඩ් බ්‍රදර්ස්' නමැති කෘතියේ රිවර්තනයට තිලිනා කැමති බව  "මධු සමය අහිමි මංගල්‍යය "  පොතේ සඳහන්ය .  
"ඔයා දන්නවද ස්ත්‍රීවාදීන් සිමොන්ව විවේචනය කරනවා  එයා සාත්‍රගෙ  (ෂෝන් පෝල් සාත්‍ර) හෙවනැල්ල උනා කියල .  "සෙකන්ඩ් සෙක්ස්"කියන පොතින් ස්ත්‍රීන් ගේ අයිතීන් ගැන කතා කරන සිමොන්ගේ "ප්‍රයිම් ඔෆ් ලයිෆ්" කියන පොතේ සාත්‍රගෙන් වෙන් වෙච්ච  අනන්‍යතාවයක් නැතිලු . " පි 46

සිමොන් ඩි බුවාර් ගේ චරිත කතාව ලෙස සැලකෙන 'ද ඉන්සෙපරබල්ස් - වෙන් කළ නොහැකි ' නම් ග්‍රන්ථයේ  අග්‍රේගට්සියොන් agrégation නම් විභාගයේ දී සිමෝන් ඩි බුවාර් ෂෝන් පෝල් සාත්‍රේ ට සම  ලකුණු ගත්  බවත් ජූරිය (විභාග කොමිසම ) ගැහැණියකට පළමු තැන දීම  නුසුදුසු සහ ප්‍රශ්න ඇති කරන්නක් බවට තීරණය කල බවත් ගැන රාවයක් පවතින  බව  සඳහන් වේ .    

 අපට ලංකාවේ පහල වන්නට සිටි සිමොන් ඩි බොවුවාර් අහිමි වූවා වත්ද  තිළිනා?

මා  කැමති වදන් පෙළක් මෙහි තිබේ . 

"මගේ ආදරය 
වෙළඳපලක් නැති 
නිෂ්පාදනයකි "  පි .  53

"මධු සමය අහිමි මංගල්‍යයේ" මෙසේද ඇත.

"දැන් බලන්න මේ විප්ලවවාදී නායකයන් එංගලන්තයේ හරි අමෙරිකාවේ හරි ජීවත් වෙන්නෙත් අපි වෙනුවෙන් ආරක්ෂා වෙන්නනේ .  ඒ ගොල්ල අදිසි බලවේග වගේ ඉඳලා හිටලා මවුබිමට ඇවිත් ජනතාව අමතනවා .  පහළ පන්තියේ අයට ඒ කියන්නේ ගොවියන්ට කම්කරුවන්ට ..ඔය දේශපාලන න්‍යාය ..උපාය .. ගැන ඒ තරම් දැනුමක් නැහැනේ . .."පි .  66 

මේ ලියන්නේ ලංකාවට වනි පළමු වතාවෙම පැය ගණනක් කතා කල 'සහෝදරයා '  ගැන විය යුතුය . 

පළමුවෙනි කාරණය  නම් තිළිනා ට අමතකව ඇත්තේ ලෙනින් , මාක්ස් ආදී දේශපාලන  නායකයන්ද එංගලන්තය, ජර්මනිය , ස්විට්සර්ලන්තය  වැනි රටවල් වල දේශපාලන   රැකවරණ ලැබ විසූ බවයි. අවාසනාවකට ශ්‍රී ලංකාවේ එවකට පැවති  තත්වයන් අනුව සමහරුන්ට රටින් පිට වෙන්නට සිදුවීම ඔවුන්ගේම වැරැද්දක් නොවේ . දෙවෙනි කරුණ නම් පෙරටුගාමී (vangaurd) පක්ෂයක  කේඩරය කම්කරුවන්ට  දැනුම රැගෙන යා  යුතු බවට ලෙනින් තුන්වෙනි කොන්ග්‍රසයේ දී කළ කතාවද ඇයට අමතකව ඇත. ඔවුන්ට දැනුම අහසින් වැටෙන්නේ නැති අතර එසේ නැතහොත් ඔවුන් වෘත්තීය සමිති ජිවිතයකට බැඳෙන බවද ඔහු පවසා ඇත. 
  
    මේ ස්ත්‍රීවාදී කතිකාවට ඇත්තටම දේශපාලන භේදයක් හෝ පන්ති භේදයක් නැත .  ශ්‍රී ලංකාවේ දේශපාලනික ශිෂ්‍ය සංවිධානය වන අන්තර්විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අතීතයේ සිටම කාන්තා  සිසුන්ට වෙන අපයෝජන , කරදර අභියස බොහෝ විට ඔවුන් වෙනුවෙන් පෙනී සිට නැත. ඔවුන්ගේ උප සංස්කෘතියද ඇඳුම් පැළඳුම් වලට නීති පනවන තරමට ගතානුගතිකය.

   එසේම ධනපති පන්තියේ හෝ නිර්ධන පන්තියේ කියා වෙනසක් ද නොමැත .  නිර්ධන  පන්ති නිවසක කාන්තාව සමහර විට කුසගින්නේ පවා වැඩියෙන් වැඩ කරද්දී ධනපති පවුලක ගෘහස්ත  හිංසනයන් සිදුවිය හැක . එසේම මොන ආගමික සංස්ථාවද කියා වෙනසක් ද නැත. වර්තමානයේ පවා ඒ ගැන මාධ්‍ය වල පළවේ.   ආගමික සංස්ථා  සියල්ලක් ම පාහේ ස්ත්‍රී හිංසනයන්  හෝ අපයෝජනයන් සම්බන්ධයෙන් චෝදනා ලබා ඇත .  දියුණු රටවල් කියාද  වෙනසක්  නැත. නිතිය නොදියුණු වඩා දුප්පත් රටක හිංසන වැඩි විය හැකි වුවද පොහොසත් රටවල්ද ඒ ආකාරයෙන්ම හිංසන පවතී .  නැතිනම්  ඒ සඳහා විශේෂ නියමයන් පනවන්නට හේතුවක්  නැත.

 දක්ෂිණාංශික හෝ වාමාංශික කියා භේදයක්ද නොමැත .  මේ දෙපසින්ම එක හා සමාන ප්‍රශ්න තිබෙන අතර ලිංගිකත්ව අතර සමානතාවය පිලි ගත්තද ක්‍රියාත්මක කිරීමේදී දෙගොල්ලම අතරේ   වෙනසක් නැත. වාමන්ශිකයන් වඩා හොඳ යයි පිලි ගැනීමක් තිබුනද සම විටම එය ම එසේ නොවේ. ඔවුහු  බොහෝ විට තමන් පැත්තෙන් සිදුවන දේවල් 'පවුලේ දෙයක් '  ලෙස සඟවා පක්ෂ නායකත්වය වැසුනු දොරවල් තුල  විසඳන්නට උත්සාහ ගනිති.  එංගලන්තයේ ප්‍රසිද්ධ වාමාංශික පක්ෂයක සිදුවීම් කිහිපයක් ඇතුලේ සඟවා ගැනීම ගැන ඇතිවුන කලබලයක් මට මතකය.  සමහර ගත්  කතුවරුන්,  වෙබ් කතෘවරුන් , කලාකරුවන් අතරින්ද , ලෝකයට එක මුහුණක් පෙන්වා  නිවසේ  යක්ෂයන් ඒ හැසිරෙන්නවුන් පිලිබඳ කතා මම දනිමි .     

දැනට ලෝකයේ පවතින දක්ෂිණාංශික නැඹුරුව අතරේ ස්ත්‍රීවාදී කතිකාවට දැඩි ප්‍රහාරයක් එල්ල වේ . බ්‍රිතාන්‍යයේ  නයිජල් ෆරාජ් ගේ රිෆෝම් නමැති දක්ෂිණාංශික පක්ෂය,  ගැහැණු ළමුන්ට වෙනත්  සංක්‍රමණික ජාතිකයන් ගෙන් වන  හිංසා ගැන උලුප්පා කතා කලද (එසේ වන බව සැබෑය) ඔහුගේ පක්ෂයේ මෙන්ම අලුතින් පිහිටුවන ලද රෙස්ටෝ පක්ෂයේද සාමාජිකයන් දේශපාලනයේ හා වෙනත් ක්ෂේත්‍ර වල  ප්‍රසිද්ධ කාන්තාවන්ට  අවඥා සහගතව හා පිළිකුල් සහගත ත ලෙස පරිභව කරන වීඩියෝ  හා සමාජ ජලා ප්‍රතිචාර බොහොමයක් හෙළි දරව් වෙමින් පවතී.   

ඒ නිසා අපට ඉතිරිවන්නේ පක්ෂ හෝ දේශපාලන  භේදයකින් තොරව එක හා සමාන අවස්ථාවන් දෙපක්ෂයටම උරුම කර දීමටත් ස්ත්‍රී පුරුෂ සමානත්වය රැකීමත් හිංසනයෙන් හා  අපයෝජනයෙන් තොර සාමකාමී ජිවිතයක්  ගත කිරීමේ අයිතියත්  තහවුරු කිරීමය. ඒ සඳහා දිගින් දිගටම් කටයුතු කිරීමය. 

තිළිනා වැනි ලේඛක ලේඛිකාවන් ගේ පොත් වලට සම්මාන නොලැබුනද , පිළිගැනීම අඩු වුනද අප උකටලී විය යුතු නැත.
 


තවත් සටන් කරන්නට ,  ලියන්නට තිළිනා ට ධෛර්ය පතමි . 

සැ.යු - මුල් පින්තූරය යෙව්ගෙනි ලන්සර් ගේ  "සන්ධ්‍යාව" (1912) නමැති සිතුවමයි .  එය අක්මටෝවා ගේ කාව්‍ය අඩංගු  පොතකින් ඡායාරූප ගත කෙළෙමි .   

මූලාශ්‍ර:
The Inseparables ,The Women Destroyed- Simone De Beauvoir
The Complete poems of Anna Akhmatova  - Judith Hemschemeyer
The Bell Jar - Sylvia Plath
The Days of Abandonement - Elena Ferrante 
තෝරාගත් කෘති - ලෙනින් (මාක්ස්වාදී ලේඛන ගබඩාව )  

-අජිත් ධර්ම (කොළඹ ගමයා )  20/06/2026

Friday, 12 June 2026

බ්ලොග් පියවර වෙනුවට රවී ගේ අභාවය - සුභ ගමන් රවියෝ


මම කොළඹ ගමයා  බ්ලොගය  ලිවුම  අරඹන ලද්දේ වසර 2013 ජනවාරි නම වනදාය.  දැනට අවුරුදු  දහතුනකි. ඇත්තටම මම ඊයේ ම ලියන්න පටන් ගත්තේ වෙනම කතාවකි .  ඒ මගේ බ්ලොග් එක ගැනය . ගිය සතියේ  බ්ලොග් එකට පැමිණි සංඛ්‍යාව දසලක්ෂය ඉක්මවා ගොස් තිබුණි.  මම ලියන්නට හිතුවේ  බ්ලොග් ලෝකයේ පතාක යෝධයන් ලෙස සිටි අය බ්ලොග් ලිවීම් හැරදා ගිය බව ගැනය. ඔවුන් බුකියේ හා යූ බටයේ  දැහැමෙන්  සෙමෙන් වැඩ වාසය කරති .  බොහෝ අය මෙන් රවියාද බ්ලොගය හැරපියා ෆේස්බුක් බිත්තිය ඔහුගේ නිවහන කර ගත්තේය. 
 ඒ ගැන මෙන්ම  මෙවර පසුගිය මාසයේ ලංකාවේ සිටියදී වූ සිදුවීම් කිහිපයක්ද ලියන්නට සිතා සිටියෙමි . 

නමුත් අද උදයේ ඉවාන් පව්ලුෂා එවූ පණිවිඩයකින් මගේ සිත ගැස්සුනි . ඒ රවී වීරසිංහ අකාලයේ අප සමුගත් බවට ඔහුගේම බිත්තියේ  තිබූ දැන්වීමයි .  මම කෙලින්ම ප්‍රා ජේ ට හා දම්මිකා චාන්දනී ට  කතා කළෙමි. ඔවුන් දෙදෙනා දැන සිටියේ නැත. ඉන්පසු රවීගේ නොම්මරයට කෝල් එකක් ගත්තෙමි .  පණිවුඩයක් යැව්වෙමි .  පිළිතුරක් නැත.
මට එවර මතක් වුනේ රන්දිකා නංගිය. රවියා 'නිදහස් සිතුවිලි '  බ්ලොගය බෙදා හදා ගත්තේ රන්දිකා සමගය .  එනිසා මම රන්දිකා ට  කතා කලෙමි.  රන්දිකා දැන  සිටියේද  නැත .  නමුත් ඇය රවී ගේ නිවසට කතා කර මට පණිවුඩය එව්වාය. ඔහු හදිසියේම යන්නට ගොසිනි . 

රවීගේ බ්ලොගය අපේ ඇස නිතර ගැටුණු එකක් විය .රන්දිකා හෝ  රවී අප ඒ දිනවල හඳුනන්නේ නැත.  සුමිත් යාපා බණ්ඩාර  හා මම ඔහුගේ බ්ලොගය සම්මාන උළෙල  සඳහා තෝරා ගත්තෙමු ඒ අප නිතර කියවන සතුට විඳි බ්ලොගයක් නිසාය .   මට මතක විධිහට ඒ 2014 දීය. සම්මාන  උළෙල පැවැත්වුනේ 2015 දීය. රවියා ඔහුගේ ඉතිහාසාත්මක ප්‍රබන්ධය 'නිල්  කටරොළු මල්' ලියන කාලයේය .  එයට හොඳම බ්ලොග් පෝස්ටුව සඳහා දෙවන ස්ථානය ලැබී තිබුණි .  ඒ බ්ලොග් ලිපිය මෙතැනින් කියවිය හැකිය . 
දෙවන බ්ලොග් සම්මාන උළෙලේදී හොඳම බ්ලොගයට හිමි සම්මානය  2016 දී  දිනා ගත්තේ රවී සහ රන්දිකා ගේ 'නිදහස් සිතුවිලිය.'

රවී ඇත්තට ම හැබැහින් හමුවුනේ බොහෝ කලකට පසු 2021 අප්‍රේල් වලය . අප හමුවීමට ඔහු නුවර සිටම පැමිණ සිටියේය. නිකවැරටියේදී අපි , සුමිත්, ප්‍රා ජේ, ඉවාන් සහ රවී සමග පොඩි සප්පායමක් ගත්තෙමු. ධම්මිකා ද එදා පැමිණ සිටියාය .  පුටුවත් උස්සාගෙන බොන්නට තැනක් හොයාගෙන යන්නේ රවියාය.ඊට පස්සේ තමන් අරන්ගිය පුටුවේ හොඳින් සැදී පැහැදී ඉන්නේද ඔහුය. කෝච්චිය වගේ සිගරට් බීවේ ද රවී ය. මට මේ දවස හොඳින් මතක කවුරුත් විශ්ව නොකරන ඉවාන් පවුලුෂා 'හොඳට දැම්ම' පින්තුරය ගත්තේ රවියා වීමය. හැම වෙලේම අප අතර හොඳටම ජොලියෙන් ද සුදියෙන් ද සොමියෙන්ද සැනසීමෙන් ද හිටියේ  රවීය.  . ඇත්තට ම ඒ ගැන අපි උඹට ස්තූතිවන්ත විය යුතුය .    




  ඉන්පසු මට ඔහු හමුවුනේ පේරාදෙණි ගිය විටෙක තේකක්  බොන්නට ගොඩ වැදී  ඔහුගේ නිවසේදීය . 

රවී ඊට පසු හමුවන්නේ මැරීන් ඩ්‍රයිව් එකේ බැරකුඩා හෝ එවැනි තැනක පාටියක දීය . එදා "දම්පාට දේදුන්න"ලියූ  ජිවන ප්‍රනාන්දු සහ තට්ටයා ගේ කොලම ලියන  මන්ජුලද පැමිණ සිටියේය . ඒ 2023 අගෝස්තු වලය.

 . 

 මට අවසන් වරට රවී හමුවුනේ පේරාදෙණිය හංදියේ  දුම්රිය නැවතුම් පලේදීය. හදිසියේ නුවර යන්නට සිදුවූ මා හමුවන්නට ඔහු පැමිණ සිටියේය .  ඔහු සමග තේකක් බී කයියක් දාගෙන යන්නට හිටි මුත් නුවර සිටි තවත් යහළුවෙකු ලිෆ්ට් එකක් දුන් නිසා ඔහුත් සමග ගියෙමි. නැවත දෙතුන් පාරක් ඒ අසලින්ම ගිය මුත් මට වෙලාවක් තිබුනේ නැත .  මේ මැයි මාසයේ මම රවී සහ පංච තන්ත්‍රය ලියන නිදි හමුවෙනවා යයි සිතා  සිටියෙමි .  නමුත් මෙවරද මිස් විය . 
යාළුවන් අපි වෙලාව හදා  ගන්න තුරු සිටින්නේ නැත. වෙලාව ආ විට අපි හැමෝම යා යුතුය .  රවියා මා දන්නා කාලයේ සිටම සතුටින් සිනාවෙන් සිටි සුහද මානව හිතවාදියෙකි. සොඳුරු මිනිසෙකි .  අපුරු ලියන්නෙකි .  මේ අපුරු ලියන්නාට  කවදාවත් පොතක් ලියන්නට සිතුනේ නැත . ඒ ගැන ඇසූ විට ඔහු මගෙන්  ඇහුවේ 'මොකටද'  කියා පමණකි. ඒ රවී ගේ හැටිය.     ඔහුට කතා ගොඩක් තිබුනේය .  බ්ලොග් එකේ අවසන් නොකළ කතා බොහොමයකි .  ඔහුගේ අපමණක් යහළුවන් ගැන, ලංකාවේ බොහෝ තැන්වල ඔහුගේ චමරි ගැන අප දැනගත්තේ ඒ කතා වලිනි .  ඒ කතා නිම නොකරම ඔහු ගිහින්ය . ඔහු සොඳුරු මිනිසෙකි .   ඔහු ඒ සතුට පිරි හදින්ම  නික්ම යන්නට ඇති බව මගේ විශ්වාසයයි . 

සුභ ගමන් රවී 
-කොළඹ ගමයා     



Monday, 25 May 2026

පල්ලේගම කතාව, ආණ්ඩුව සහ නිතර බණ අසන හුදී ජනයා

පල්ලේගම හිමි ඉන්දියානු මහා කොමසාරිස් වරයෙකු සමග 

අයර්ලන්තයේ රයන්ගේ වාර්තාව (2011)  සහ මර්ෆි ගේ වාර්තාව (2009)  වශයෙන් සඳහන්  කතෝලික පල්ලියේ ඇත්තන් විසින්  ළමයින්ට එරෙහිව පසුගිය අවුරුදු තිහ ඇතුලත සිදු කල  ලිංගික අපරාධ හා අපයෝජන ගැන වාර්තා දෙකක් පළවුනා.   මේ වාර්තා වලින් හෙළි වුනා කතෝලික පල්ලියේ  ඉහල  තැන් වලින් (බිෂොප් වරුන් ආදීන්)  මේවා සඟවන්නට,  අපයෝජන වුවන් නිහඬ කරවන්නට තැත් කළ ආකාරය.  අයර්ලන්ත රජයේ නිලධාරීන්, අධිකරණය  සහ පොලිසියත් තම රටේ ප්‍රධාන  ආගම නිසාම  මේ පර්යේෂණ යටපත් කල හැටිත් හෙළිදරව් වුනා. 

බ්‍රිතාන්‍යයේ (එංගලන්තයේ සහ වේල්සයේ ) කතෝලික පල්ලියේ අය ළමුන්ට එරෙහිව කල ලිංගික අපරාධ පිලිබඳ වාර්තාව එලි දැක්වුනා 2020 දී .  මෙහිදී රජයේ අනුග්‍රහයක් කතෝලික පල්ලියට  නොතිබුනත් (එංගලන්තයේ ප්‍රධාන ආගම ඇන්ග්ලිකන්) පොලිසිය අපයෝජනවලට භාජනය වූවන් ගේ  පැමිණිලි භාර ගැනීමට මැළිකමක් දැක්වීම මෙන්ම ඒවා හොයා නොබැලීම් ආදියත්  හෙළිවුණා .  





ඇමෙරිකා  එක්සත් ජනපදයේ බොස්ටන් ග්ලෝබ් වාර්තාව සහ තවත් වාර්තා වලින් මේ ආකාරයේ පල්ලියේ අපයෝජන ගැන හෙළිදරව් වුනා 2002 සහ 2018 දී.  ඇමෙරිකානු රජය මේවා හෙළිදරව් වීම වැළැක්වීමට කිසි දෙයක් නොකලත් ඒ ඒ ප්‍රාන්ත ජනපද  වල ආණ්ඩු,  පොලිසිය සහ අනෙකුත් ආයතන වතිකානයේ හා බිෂොප් වරුන්ගේ මැදිහත් වීමෙන් මේ සිද්ධීන්  යටපත් කරන්න කටයුතු කරලා තියනවා .  
 
නමුත් නිර්භීත පුවත්පත් කලාවේදීන් සහ සමහර ස්වාධින නීති ආයතන නිසා මේ හෙළිදරව් වීම සිදු කරගෙන කතෝලික  පල්ලියට විශාල මුදලක් වන්දි වශයෙන් ගෙවන්න සිදු වුනා .  එසේම සමහර  බිෂොප් වරු දිවි  හානි කරගත්ත   සමහරු හිරේ ගියා . 

මුස්ලිම් ආගම ප්‍රධාන කරගත්  රටවල් ගත්තොත්  මැලේසියාවේ රජය 2024 දී අත්අඩංගුවට ගැනීම් විශාල ප්‍රමාණයක් කළා කිසියම්  ආගමික ආයතනයක් සම්බන්ධව.  මේ දේම ඉරානයේ සහ පකිස්ථානයේ පවා වෙලා තිබෙනවා .  මුලධර්මවාදීන් ගේ විරෝධය නොතකා ඒ ඒ රටවල් රජයන් ක්‍රියාත්මකව මැදිහත් වෙලා තිබෙනවා.  

මේ රටවල ජනතාව පැහැදිලිව තේරුම් ගත්තා මේ ක්‍රිස්තියානි ,  කතෝලික ආගමට එරෙහි කුමන්ත්‍රණයක් නොව දූෂිත බිෂොප්වරුන් හා   දේවගැතිවරුන් ගේ ක්‍රියාකලාපයන් හෙළිදරව් කිරීමක් බවට . 

එතකොට ලංකාවේ වගේ රටක මෙවැනි චෝදනාවක් වැඩිපුරම එල්ල වෙන්න ඉඩකඩ තිබෙන්නේ බහුතරයක්   අදහන ආගම සහ ඒ හා සබැඳි පුද්ගල සම්බන්ධතා තුල. ලංකාවේ  ඒ ආගම බුද්ධාගම නිසා  හා පැවිද්දන් සංඛ්‍යාව අනිත් ආගම්  තුනට සාපේක්ෂව  වැඩියි .  ඒ නිසා වැරැද්දකට අහුවීමේ සම්භාවිතාවත් වැඩියි. මේක  නිරාගමිකයන් ගේ කුමන්ත්‍රණයක් කියා බොරු කරන්න බැහැ.

ඒ වගේම මගේ මිතුරු නන්දන වීරරත්න ලියා තිබෙනවා  ලංකාවේ මුස්ලිම්, හින්දු  සහ කතෝලික ප්‍රජාවන් ඇතැම් විට එවැනි අපයෝජන තම සිද්ධස්ථාන ආශ්‍රිතව සිදු වුනත් සාමුහික ලෙස ඒවා ගැන හෙළි දරව් නොකර සිටින්න උත්සාහ කරණ බවට . මැද  පෙරදිග දී අඩු වයසින් මරණ දඬුවම ලත්  රෙසානා ගේ  සිද්ධියේදී මෙන්ම  රාවතාවත්තේ ළමුන් විකුණන සිද්ධියකදී මේ ලෙස පල්ලිවල ඉහල තනතුරු දරුවන් මෙන්ම  අවට  ජිවත්වන ප්‍රජාවද පරීක්ෂණ වලට සහයෝගය නොදුන් බවට චෝදනා තිබෙනවා .  

මේ හැමදේම ලිව්වේ මේ අපයෝජන  සිද්ධිය බුද්ධාගමට පමණක් එල්ලවුණු ප්‍රහාරයක් නොවන බව කියන්න .  සැකකාර පැවිදි පුද්ගලයා  වරදක් කර තිබෙනවා නම් ඒ ගැන සොයා බැලීම, අධිකරණ කටයුතු වලට සහය දීම  සහ වින්දිත දැරියට සහන සැලසීම , වන්දි ලබා දීම රජය විසින් කලයුතු දෙයක් සහ  එය රජයක වගකීමක් .  
  
ඒ වගේම  ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ අංක 9 වගන්තියට අනුව රජය විසින් ථෙරවාද බුදු දහම රැකීමට බැඳී තියනවා.  බුද්ධ ශාසනය සුරැකීමට හා ආරක්ෂා කිරීමට රජය බැඳී සිටිනවා .  ඒ අනුව දුශ්ශිල භික්ෂුවක් හෝ වෙනත් කෙනෙක් සසුනේ චිරස්ථිතියට බාධාවක් නම් ඔවුන් ඉවත් කිරීමට,  නෙරපීමට බුද්ධ ශාසන ඇමතිට නිත්‍යානුකුල බලයක් තිබෙනවා ව්‍යවස්ථාවෙන්ම හදල දීලා. ඊහ්ම ආම්ති කෙනෙක් ලංකාවේ දැනට ඉන්නවද ?   

මේ සිද්ධියේ දකින තවත් අවාසනාවන්ත අසික්කිත දෙයක් තිබෙනවා .  ඒ තමා විපක්ෂයේ අපූරු නිහඬතාවය . ගල් අඟුරු වංචාවක් ගැන මෙන්ම මුදල් වංචා ගැනත් දිගින් දිගටම බෙරිහන් දුන් විපක්ෂය අරුම පුදුම නිහඬ වතක් පිලි පදිනවා මේ සිද්දිය ගැන.  එසේම ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතන සියල්ලක්ම පාහේ නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා .  අනිත් පැත්තට  වාමාංශික දේශපාලනයේ යෙදෙන අපේ ජන බලය,  පෙරටුගාමී සමාජවාදීන්  සහ බහුතරයක්  ජවිපෙ පාක්ෂිකයන් තමන්ට එල්ලවන අසාධාරණ නිරාගමික ලේබලය නොතකා වින්දිත   පාර්ශවය වෙනුවෙන් පෙනී සිටීම ඇත්තෙන්ම අගය කල යුතුයි . 

හැබැයි කිහිප   දෙනෙක් ( වාමාංශික දේශපාලනයේ යෙදී  ඉන්න අයත්)  පල්ලේගම හේමරතන සැකකාර භික්ෂුව  සහ ජනාධිපති අනුර කුමාර ඉන්න පින්තුරයක් දිගින්  දිගටම පල කරනවා .  එක්කෝ මේක ද්වේශ සහගතව කරන දෙයක් .  නැත්නම් මෙයාල අනියමින් කියන්නේ  අනුර ප්‍රමුඛ රජය  පල්ලේගම හේමරත්න නමැති සැකකාර භික්ෂුව ආරක්ෂා කරනවා කියල.  මෙතන සෑහෙන අනතුරුදායක තත්වයක් නිර්මාණය කරනවා මේ පින්තුර වලින්.  ඉන් පොලිසිය වැනි ආයතන,   පෙර කාලවල තිබූ රාජ්‍ය නායකයන් කරපු ඇඟිලි ගැසීම් මතක් කරගෙන  පරීක්ෂණ වලට සක්‍රීය ලෙස සහයෝගය නොදී ඉන්නට ඉඩක් ඇති කරනවා .  මේ සැකකාර  භික්ෂුව ප්‍රධානියා වෙලා ඓන්නේ රටේ ප්‍රධානතම සිද්ධස්ථානයක .  අපි හැමෝම වඳින්න යන තැනක්. ඒ නිසා ගෝඨාභය,  රනිල්,  මොරගොඩ ,  අනුර කුමාර එතනට ගියා කියල ඔවුන් එම අපරාධයේ කොටස් කරුවන් වන්නේ නැහැ .    ඒ වගේම කලාකරුවන් ,  කවියන් ,  ගායකයන් ආදී බොහොම දෙනෙක්  බොහෝ විට මේ ස්ථානයේ නැවතී මේ සැකකාර  භික්ෂුවගේ නොයෙකුත් සංග්‍රහ විඳ තිබෙන  බවත් ප්‍රසිද්ධ කාරණයක් . ඔය මුල් පින්තූරයේ ඉන්නේ ඉන්දියානු මහා කොමසාරිස්.  

ඔය හැමෝම මේ සිද්ධියට සම්බන්ධ නැහැ ජනාධිපති වගේම .  ඒ නිසා පරීක්ෂණවල ස්වාධිනත්වය සඳහාත්  සහයෝගය දීම සඳහාත් මේ අවබෝධය ඉතා  වැදගත් . 

අවසාන වශයෙන්  මෙය  බුදු දහමේ ප්‍රශ්නයක් නොව ආගමික  ස්ථානයක භාරකාරයෙකු තමන්ගේ තත්වය හා බලය  අනිසි ලෙස භාවිතා කිරීමක්  සහ ළමා ආපයෝජනයක් පිලිබඳ සිද්ධියක්. එය ඒ ආකාරයෙන් සැලකීම වැදගත්.  මගේ "සියාමා" නමැති පොත නිකුත් කල පසු කිසියම් වාමාංශික දේශපාලනප්‍රවණතාවයක්  ඇති කිහිප දෙනෙක් එල්ල කල විවේචනය වූයේ එය කිසියම් ආගමකට  හා ජන කණ්ඩායමකට එරෙහිව ලියන ලද බවට .  මා එය වෙනත් භාෂාවකට පරිවර්තනය කිරීමට තැත්  කරද්දී පරිවර්තනයට එකඟවූ කෙනෙක් ,දෙන්නෙක්  එවැනි සඳහනකුත් කර පරිවර්තනය කිරීම ප්‍රතික්ෂේප කළා .  අවාසනාවකට එවැනි වැරදි වටහාගැනීම් වෙනවා .  අපි හෝ වෙනත් සමාජ මාධ්‍ය පරිශීලකයන්,  ලියන්නන් , මාධ්‍යවේදීන් හඬ නගන්නේ පොත් පල කරන්නේ කිසියම් ආගමකට ,  ජන කණ්ඩායමකට එරෙහිව නොව සමාජ විරෝධී ක්‍රියාවන්ට විරෝධය පල කිරීමට බව තේරුම් ගැනීම වැදගත් . 

අවසාන වශයෙන් අපි  ඉල්ලා සිටින්නේ නීතිය  නිවැරදි ලෙස ක්‍රියාත්මක කරන ලෙසයි. තවම විත්තිකාර  පාර්ශ්වය සැක කරුවෙකු පමණක් බව පිලිගන්නවා .  වින්දිත දැරියට එරෙහිව  මුළු ආගමික සංස්ථාවක් ,  බලගතු  නීතිඥ කණ්ඩායමක් සහ  බලපුළුවන්කාරකම් ඇති පුද්ගලයන්  රැසක් එකතුවී සිටිනවා.  ඒ නිසා නීතිය  ක්‍රියාත්මක වීම පමණක් නොව විනිවිද භාවයෙන් එසේ ක්‍රියාත්මක වන බවට පෙන්විමද  වැදගත්.

ලංකාවේ ළමාරක්ෂණ අධිකාරියට පුර්ණ සහයෝගය දීම ඉතා වැදගත් .  
 
මා විසින් ලන්ඩනයේදී සාවිත්‍රි පෝල්රාජ් ඇමැතිනියගෙන් විඳිත දැරිය සඳහා නීතිඥ සහය ලබා දෙන්නේද  කියා ප්‍රශ්න කලා. එසේම ප්‍රධාන නියෝජිතයන් කිහිප දෙනෙකුත් දැනුවත් කලෙමි. මන්ත්‍රිනී කණ්ඩායමක් අනුකමිටුවක් පත් කර ඇති බව දැනගන්නට ලැබිම තරමක සතුටක් දනවනප්‍රවෘත්තියකි. 


-බණ අසන හුදී ජනයා--------
"කිරිපාට - සුදුපාට -  සුඳු අඳින  - ශුද්ධ සිංහල - සුදුපාට ධාතු කරඬුව - පෝදා වඩම්මන සුදෝ සුදු සුදු බාප්පාය. ගමේ ලොකු හාමුදුරුවන්ගේ සන්මිත්‍ර පින්වත් දයකයාය. - පිටුව 21 "පිරිමි ගොඩයි මන් විතරයි "- උපුල් ශාන්ත සන්නස්ගල 

මුලාශ්‍ර සහ වෙනත් ලිපි : 




--කොළඹ ගමයා 25/05/2025 


     

Monday, 4 May 2026

අපේ හඳ ගමන , ටෙනරිෆ් වලට

(Tenerife භූමිය  සමග  ඉමේජ් එක හැදුවේ ගූගල්  ජෙමිනි නංගිය.)

ළඟදී අභ්‍යවකාශ සඳ ගමනකට එක්වූ ඇමෙරිකානු අජටාකාශගාමින් සතර දෙනා සඳට ගොඩ බැස්සේ නැතිබව දන්නවනේ .  එයාලා ගියේ සඳ වටා පමණයි .  ඒත්  මෙතෙක් මිනිසෙක් නොගිය දුරක් ඈත අභ්‍යවකාශයේ එයාල ගියා .  හරි ඒක  මන්ෂ්‍ය වර්ගයාගේ ජයග්‍රහණයක් කියමු .  එයාලා සඳේ  අපිට නොපෙනෙන පැත්තත් දුටුවා ප්‍රථම වතාවට .  හැබැයි චීනය මිට කලින් යානයක් බැස්සුවා සඳේ නොපෙනෙන  පැත්තට .  ඒකත්  ජයග්‍රහණයක් .  

මම බ්ලොග් එකේ තවම නොලිව්ව සංචාරයක් ගියා  ටෙනරිෆ් වලට ගිය අවුරුද්දේ .  අපගේ    විවාහ සංවත්සරය සැමරීමට සහ සෝවියට් දේශයේ මා  සමග උගත් කියුබන් මිතුරකු වන ඔස්වල්දෝ ඔලිවා හමුවීමට. 
ටෙනරිෆ් වල ටිඩේ  කියන කඳු යායේ  තිබෙනවා ගිනි කන්දක්. ලස්  කැනඩාස් කියන කල්දේරාව තුල අවුරුදු එක්ලක්ෂ හැත්තෑ දහසකට කලින් හැදුනු තවමත් ප්‍රාණවත් ගිනි කන්දක් .  අවසන් වරට පිපිරුනේ 1909 දී .  නැවත පිපිරෙන්න ඉතාමත් ඉඩක් තිබෙන එකක්.  ලා පාමා  (la palma ) කියන රූපවාහිනි  චිත්‍රපටය ඒ සම්බන්ධව  සැබෑ සිදුවීම් මත හදපු හොඳ ප්‍රබන්ධාත්මක චිත්‍රපටයක්. 

ඇමෙරිකන් වරු හඳට මුලින්ම ගොඩ බැස්සේ 1969 ජුලි විස්ස කියලා දන්නවනේ .  ඊට පස්සේ හය පාරක් විතර ගියා 1972 වෙනකන් .  ඒක  මිල අධික එතරම් ලාභයක් පර්යේෂණ  පැත්තෙන් වත් නොලැබෙන වග තේරුම් ගත්ත නිසා නතර වුනා මම හිතන්නේ .  ඇයි  ඇමෙරිකාව ඇත්තටම හඳට ගියේ.  

අපි ඇමරිකාව හිතපු විධිහට හිතුවොත් ?  
ඒ දවස්වල ඇත්තටම අභ්‍යවකාශය ජයගෙන තිබ්බේ ළඳරු සෝවියට් දේශය .  පිහිටුවල අවුරුදු හැටක් විතර වුන රටක් .  ලෝක යුද්ධෙකටත් මුහුණ දීල මිලියන් විස්ස්සක් මැරිලා ඒත්  ගොඩ ආව රටක් .  ඒ මදිවට උන්ගේ සමාජවාදය පතුරවනවා ලෝකේ වටේ .  කියුබාව 1953 විප්ලවයක් කළා නේ .  ඇමෙරිකාවේ ඉතිහාසය අවුරුදු 200 ක් විතර .  ධනවාදී ලෝකයේ ප්‍රබලම රට ඒ වෙනකොට .  පරදින්න පුලුවන්ද කොමියුනිස්ට්. ඒවාට ඒ දිනවල් වැඩි ප්‍රසිද්ධිය වාදී  සෝවියට් සොක්කන්ට. ඒ වෙනකොට ලයිකා බැල්ලිව උඩු ගුවනට  යවල (දැන් ඒකට  විවේචන  එනවා තමයි ,  ඊට පසු අජටාකාශයට  යැවූ ප්‍රථම මිනිසා යූරි  ගගාරින් ,  ප්‍රථම කාන්තාව වලන්ටිනා තෙරෙශ්කොවා. සෑහෙන්න ඉදිරියෙන් හිටියේ .  යුරෝපය ඇතුළු අනිත් රටවල් ළඟින්වත් නැහැ .  ඇමෙරිකාවේ මුහුණ බේරා ගන්න රැඩිකල් යමක් කරන්නම ඕනේ .  ඉතින් හඳ ගමන ලැහැස්ති කළා . 

ඇමෙරිකාව ගිහින් හඳේ පස් සාම්පලත් ගෙනාවට පස්සේ  සෝවියට් දේශය කලේ ලුනාර් යානා යවල කෘතීම (robotic ) අතකින්  පස් සාම්පලයක් රැගෙන ඒම. ඒවාට ඒ දිනවල වැඩි ප්‍රසිද්ධියක් ලැබුනේ නැහැ තමා .  
ඔලිවා කියනවා ගිනි කන්ද පිපිරුනට පස්සේ මේ ප්‍රදේශය හඳ  මතුපිට වගේ එහෙමත් නැත්නම් අඟහරු ලෝකය මතු පිට වගේ පෙනුමක් තියනවා කියල විද්‍යාඥයෝ කියනවලු .  
 චෙක් කරල බැලුවහම කතාව ඇත්ත .  මට හිතුනා  ඇත්තටම ඇමෙරිකාව සඳ ගමනක් කලාද  කියල ඒ වෙලේ.  සෑහෙන ප්‍රමාණයක් හොයා ගන්න පුළුවන් වෙබ් එකේ ඇමෙරිකාව නොගිය බවට කරුණු කාරනා . (conspiracy theories). රොකට්ඩයින් කියන  කම්පැනි එකේ රැකියාව කල  බිල් කේසින්  තමා මුලින්ම ඔය කතාව ප්‍රසිද්ධ කලේ .  මුල් හඳ ගමන වංචාවක් කියල . 
ඉතින් ඇත්තටම හිතෙනවා තමා ඒ කාලයේ ටෙනරිෆ් අයිති ස්පාඤ්ඤයට නිසාත් වැඩිය සෙනගක් නැති සංචාරකයන් ඉතා අඩු තැනක් නිසාත්වුන දිළිඳු රටක් වූ නිසාත් මෙවැනි මෙහෙයුමක් කලාද  කියලත්.  නීල්  ආම්ස්ට්‍රෝන් ව ඔතනට ගෙනත් බස්සල වීඩියෝ කලාද  කියලත් .  ඇමෙරිකන් කොඩිය හුළඟට වැනෙන්නේ ඒකද? ඔන්න පින්තූර  ටික බලා ගන්න. 


































හැබැයි දැන් කවුරුහරි මගෙන් ඇහුවොත් ඇමෙරිකාව 1969 දී ඇත්තටම හඳට ගියාද  කියල, මගේ පිළිතුර වන්නේ ඔව් කියන එක .   හේතුව හඳේ සිට කිලෝ 300 පමණ පාෂාණ රැගෙන ඒම, සෝවියට් දේශය ,  ජපානය වගේ රටවල් සඳ ගමන විමසිල්ලෙන් බලා සිටීම , තව ලූනා ඕබිටර් කියන යානයෙන් මුල් අජටාකාශගාමින් තබා පැමිණි  උපකරණ වල පින්තූර  ගැනීමට හැකිවීම වගේ දේ කියන්න පුළුවන් .  හැබැයි ටෙනරිෆ් පැත්තේ ගිහින් පුරුදු වුනාද දන්නෙත් නැහැ . 

කොළඹ ගමයා 04/05/2026

Friday, 17 April 2026

හැට එකේ මෙලන්කොලිය





හැට එකේ මෙලන්කොලිය ********************
මම අද (අප්‍රේල් 15) ටිකක් පොඩි මෙලන්කොලියකින් හිටියේ . ෆේස්බුක් එකේ සාමාන්‍යයෙන් අවුරුද්දට දාන පින්තූර දාන්න අදහසක් තිබ්බෙත් නැහැ. නමුත් පවුලේ අය වට්සැප් මෙසේජ් එවනකොට, යාළුවොත් ප්‍රයිවෙට් මැසේජ් එවන්න ගත්තම පෝස්ට් එක ඉබේට දැමුනා වගේ උනා . අද මට හැට එකක් (අප්‍රේල් 15). මගේ පියා මිය යන කොටත් හැට එකයි. ඉස්සර හිතුන ඔහු අඩු වයසින් මිය ගියා කියල . හැබැයි එතකොටත් අපේ අපේ තිස් ගණන් වල. දැන් දැනෙනවා කොපමණ අඩු වයසින්ද ඔහු ගියේ කියල . අවුරුදු විසි අටකට කලින් දුක තිබුනත් මේ වයසට ආවහමයි හිතුන අම්මට එතකොට පනස් ගණනක් නේද කියල (පියාගේ දිනය කියල කවියක් ලීව කලකට කලින්).
තාත්තා මිය ගියේ අක්මාවේ ප්‍රශ්නයකට .

ඒ දවස් වල මුලදී හෘදයාබාධයක් වෙන්න ඇති කියල මහා රෝහලේ හිටිය . පස්සේ තමා අක්මාවේ ප්‍රශ්නයක් කියල හොයා ගත්තේ. රුධිර පරීක්ෂණයක් කරලා හෙපටයිටස් සී වලට බෙහෙත් දුන්න. පස්සේ දැන ගත්ත ඒකත් නෙමේ කියල. අක්මාවේ සිරෝසිස් කියන ලෙඩේ හැදිලා කියල කීවේ පසු පරීක්ෂණ වලින්. ඔන්න ප්‍රශ්න එන්න ගත්තේ එතකොට. ආරෝග්‍යශාලා වල සේවය කරන හෙද සහ අනිකුත් සේවයේ අය බනිනවලු , "බීල බීල වැඩිවෙලා එනව මෙතන අපට කරදර කරන්න" වගේ දේ කියනවලු . ඊට වඩා අහන් ඉන්න අපහසු දේත් අම්මට කියනවලු .


සිරෝසිස් හැදෙන්නේ බීල වැඩි වුනහම නැත්නම් හෙපටටිටිස් නිසා කියලා තමා සාමාන්‍ය මතය. ඒකෙ ඇත්තක් තිබෙනවා. අක්මාවේ සෛල මැරිලා ස්කාර් ටිෂු හෙවත් කැළැල් පටක හැදෙනවා. ඒ නිසා අක්මාව එන්න එන්නම දුර්වල වෙනවා. සාමාන්‍ය 'පිරිසිදු කිරීමේ ' වැඩ කරන්න එයාට බැහැ. දැඩි මහන්සිය , බර අඩු වීම , කෑම අප්පිරියාව, වමනය , බඩේ රුදාව වගේ තමා රෝග ලක්ෂණ හැටියට මුලින් එන්නේ .
අන්තිමට බැරිම තැන මල්ලි යුරෝපයේ ඉඳල ගියා තාත්ත බලාගන්න . අම්මට තනියම , අනුන්ගෙන් බැනුනුත් අහගෙන තාත්තාව හොස්පිටල් ගෙනියන්න බැරි නිසා.



ඔන්න ඔය වෙලාවේ තමා "නියම වෙදැදුරු " කෙනෙක් පිහිට වුනේ . ජෙනරල් හොස්පිටල් එකට ගෙනිච්ච වෙලේ ආපහු ටෙස්ට් කරලා ඒ හොඳ දොස්තර මහත්මයා හොයා ගත්ත ලෙඩේ. හෙමක්‍රොමටසිස්. එය සුවකරන්න සම්පුර්ණයෙන් බැරි බවත් ඒ වෙනුවට රුධිරය ඉවත් කරලා (venesection ), රුධිර ප්ලාස්මා ලේ වලට ඉන්ජෙක්ට් කලහම හොඳයි කියලත් කීව . හැබැයි මහා රෝහලේ ඒක කරන්න බැහැ . ගෙවල අරන් එන්න ඕනේ පිටින් . ඒ දවස් වල රුපියල් 5000ක් (පවුම් 100-120 විතර) . ඒ කියන්නේ උද්ධමනය ගණන් අරගෙන බැලුවහම දැන් කාලේ මුදලින් ශ්‍රී ලංකා රුපියල් 50,000-60,000 අතර). හැබැයි දැන් වුනත් ඔය ලෙඩේට මෙහෙ NHS එකෙන් කරන්නෙත් ඒක . තාත්තට සැහෙන්න සනීපයි කිව්වා . ඇවිදින්න උනත් පුළුවන් . හොඳ දොස්තර කිව්ව තාත්තගේ ලේ වල අයන් (යකඩ ) වැඩි නිසා ඇති වුනු ප්‍රශ්නයක් කියල ඒ දවස් වල අන්තර්ජාලය දැන් වගේ නැහැනේ . මම ඇහුව මෙහෙ (එංගලන්තේ ) ඩොකෙක් ගෙන්.එයා කිව්වා ඕක වැඩිපුර තියෙන්නේ ටිබෙට් , නේපාල වගේ රටවල අයට කියල. දැන් අන්තර්ජාලය තියෙන නිසා ඕනේ කෙනෙකුට හොයන්න පුළුවන්. මේක සංජානනීය තත්වයක් (පරම්පරාවෙන් එන ජානමය තත්වයක් ). ටිබෙට් වල වගේ උඩ කඳු වල ජිවත් වෙන මිනිසුන්ට ඔක්සිජන් වැඩියෙන් අවශ්‍යයි සෛල තුල දහනය සඳහා. මේ නිසා ඔවුන්ගේ පෙනහළු විශාලයි වඩා වාතය අවශෝෂණය කර ගන්න . ඒවා ගෙනියන්න රතු රුධිර සෛල හෙවත් හිමොග්ලොබින් අවශ්‍යයි. හිමොග්ලොබින් කියන්නේ අයන් තියන ප්‍රෝටීනයක් . ඔක්සිජන් පෙනහළු වල සිට සෛල වලට ගෙනයාම, කාබන් ඩයොක්සයිඩ් අරන් ඒම , ශක්තිය නිපදවීම් , ප්‍රතිශක්තිය ඔය ඔක්කොටම අදාලයි. වැඩි අයන් කතාව එන්නේ ඔතැනට. අරහෙම අයට අයන් වැඩි ප්‍රමාණයක් තියනවා . පරිණාමවාදය . වැඩේ කියන්නේ එහෙම තත්වයක් තියෙන කෙනෙක් අවුරුදු ගානක් තිස්සේ පහතරටක ජිවත් වුනහම වැඩි යකඩ අක්මාවේ තැන්පත් වෙනවා . කාලයක් යද්දී අක්මාවේ වැඩ වලට මේක කරදරයක් වෙනවා වගේම අක්මා සෛල අර ඉහත තියෙන කැළැල් පටක බවට පත් වෙනවා . බොන්නම ඕනේ නැහැ සිරෝසිස් හැදෙන්න .
(අමතර කතාවක් . එංගලන්තේ ජාතික සෞඛ්‍ය සේවයට පින් සිද්ධ වෙන්න එයාල හැම අවුරුද්දෙම මගේ රුධිර පරීක්ෂනයක් කරනවා අයන් ප්‍රමාණය බලන්න )

ඔන්න වෛද්‍ය සංගම් සහ මාරුවීම් ප්‍රශ්නෙකට අර 'හොඳ දොස්තර ' කළකිරිලා රජයේ සේවයෙන් ඉවත් වෙනවා. එයා ඊට පස්සේ පිටරට යනවා. දැන් 'නරක දොස්තර 1' එන්ටර් වෙනවා. එයා අපහු ටෙස්ට් කරනවා , තාත්තයි, අම්මයි මල්ලියි තුන්දෙනාම නොයෙක් විධිහට අර අලුත් දොස්තරට බැගෑපත් වෙනවා ප්ලාස්මා ට්‍රාන්ස්ෆියුෂන් එක කරන්න . ඒකෙන් හොඳයි කියල . මෙයා බැහැ කියනව . හුඟක් උඩඟු කෙනෙක්ලු . අනිත් දොස්තරලා කරපුව කරන්න බැහැලු. දැන් තාත්තගේ තත්වය එන්න එන්නම හොඳ නැහැ . මේ උගුඩුවා හෙපටයිටිස් සී වලට දුන්න බෙහෙතම ලියල දෙනවලු .

මමත් දැන් හොයනවා අර ප්ලාස්මා ටට්‍රාන්ස්ෆියුෂන් තාත්තාට කරගන්න විදහක් . ලන්ඩන් වල යහළුවෙක් ලංකවේ මේ වට ඉන්න හොඳම විශේෂන්ඥ වෛද්‍යවරයෙක් කියල කෙනෙක්ව හඳුන්වා දුන්නා. ඇත්තටම එයා ෆේමස් කෙනෙක් . ඒ දවස් වල රත්නම් කියල පෞද්ගලික රෝහලක් තිබ්බ . දැන් තියෙනවද දන්නේ නැහැ . ඒකෙ ලෙඩාව ඇඩ්මිට් කරන්න ඕනේ එයාව හමුවෙන්න . එතැනදී එයා නැවතත් ටෙස්ට් වගයක් නියම කළා . ඊට පස්සේ එයාගේ රජයේ වාට්ටුව වන රාගම රෝහලක නතර කරන්න කිව්වා. දැන් ආපහු මුල් ඉඳන් අර තාත්තට කරපු ටෙස්ට් ඔක්කොම එකක් නෑර කරගන යනව. ප්‍රයිවෙට් හැබැයි. අම්මල කීවට අර හොඳ දොස්තර ගේ ප්‍රතිකාර ක්‍රමයෙන් තාත්තා නැගිටලා ඉන්නව කීවට, මෙයා අහන්නෙත් නැහැ . අනික මහාචාර්ය කෙනෙක්නේ. එයා දොස්තරලට උගන්වන කෙනෙක් වගේ දේවල් කියල තිබ්බ. ඒවා ඇත්ත . ඒවා මට කීවට පස්සේ අර ඇඳුනුම් කමත් මතක් කරලා මම කෝල් කළා ලන්ඩන් ඉඳන්. තාත්තට දැන් ආයෙත් අමාරු වේගන නේ එන්නේ . මෙයා මට කිව්වා . "කිසි ප්‍රශ්නයක් නැහැ ලන්ඩන් එවන්නන් අක්මාව බද්ධ කරන්න. ඔයාට තියෙන්නේ ලැහැස්ති වෙන්න. මම දන්න තැනකුත් සෙට් කරලා දෙන්නම් වගේ දේ කිව්වා ". අපිත් ඉක්මනට පොඩි එක බෙඩ් රූම් එකක් සහ නමුත් ඉඩ තියෙන , තාත්තට පහසුවෙන් ඇවිදින්න පුළුවන් වෙන්න බිම් මහලේ අපාට්මන්ට් එකකුත් මෝගේජ් කළා . මම ඒත් ඇහුවා අර "ට්‍රාන්ස්ෆියුෂන් එකෙන් හොඳයි නේ. එයාට ඒක දැනට කරන්න බැරිද" කියල .

"නැහැ ඕනේ නැහැ. මම මේ බෙහෙත් වගයක් ගැන පරීක්ෂණ කරන් යනව . ඒ වලින් හරි යයි . බය වෙන්න එපා . තාත්තා ව එවනව ඔහෙට" කියල.
මම විශ්වාස කළා . විශ්වාසය විතරනේ තියෙන්නේ .
ඒත් ඉතින් ලංකාවෙන් අම්මල කියන තොරතුරු හොඳ නැහැ . එන්න එන්නම අමාරුයි . මෙයාල අර ටෙස්ට් , මේ ටෙස්ට් කරනවා. වරකදී මෙඩිකල් ස්ටුඩන්ට් ල කට්ටියක් එක්ක ඇවිත් තාත්තගේ ඇඳ ගාවට ආවහම මෙයා කියල තියනව "බේර ගන්න බැහැ මෙයාව . වැඩි කාලයක් ඉන්න එකක් නැහැ " කියල තාත්තා ඒක අහගෙන ඉඳල . අම්මට කියල දුකෙන්. දැන් මට අවුල් . මොකද කරන්නේ කියල . ඒ අතරේ සෙම් ප්‍රතිශ්‍යා, නියුමෝනියා හැදිලා තිබුන ලෙඩෙක් තාත්තා ඉන්න ඇඳට අල්ලපු ඇඳට ඇඩ්මිට් කරලා තිබුන.

දැන් , මතක තියාගන්න අක්මාව දුර්වලයි කියන්නේ පිළිකා රෝගියෙක් වගේ තමා . ප්‍රතිශක්තිය හොඳටම දුර්වලයි . ඕන ලෙඩක් ටක් ගාල හැදෙනවා . අම්මා , මල්ලි තාත්ත ව හොඳට පරිස්සම් කළා. හොස්පිටල් එකෙන් කෙළියා. තාත්තා මැරුනේ නියුමෝනියාව හැදිලා. වයස හැට එකේදී . අපි හැමෝම මැරෙනවා තමයි . නමුත් අපි හදන්නේ හැකි තාක් කල් ඇදගෙන යන්නනේ . හැමෝම එහෙමයි . තාත්තා මැරුනේ මගේ දැන් වයසේදී. පපුව මිරිකගෙන එන වේදනාවක් තියනව. වළක්වා ගන්න බැරි, පලා යන්න බැරි. මට තව මොනවාද කරන්න තිබ්බේ කියන අදහස හැම වෙලේම එනවා.

අර මහාචාර්ය වෙදැදුරු ට මම කතා කරලා ඇහුවා ඇයි මෙහෙම කලේ කියල. එයාට කරන්න දෙයක් නැතිලු. වාට්ටුවේ උන් කරපු වැඩක් ලු . එයා බැන්නලු. මම කිව්වා" ඔයා ට්‍රස්න්ෆියුෂන් කළා නම් අපි ගෙදර තියා ගන්නවනේ කියල" . ප්‍රයිවෙට් හොස්පිටල් තියා ගන්න තිබ්බලු . ඉතින් එයාමනේ කීවේ එයාගේ වාට්ටුවට ගෙනියන්න කියල . මම නඩුවක් දාන්න හිතුව . වාට්ටුවේ අනිත් වෛද්‍යවරු සහ දන්න කෙනෙක් කීව "තේරුමක් නැහැ " කවුරුත් සාක්කි දෙන්නවත් එන්නේ නැහැ . ලංකාවේ ඕව වෙන්නේ නැහැ .
අපට හොඳට කරුණාවෙන් සළකපු හෙද නිලධාරීන් හිටිය . නිර්මලී මදුරාවල කියන දැන් එංගලන්තයේ NHS හි රැකියාව කරන කරුණාවන්ත හෙද නිලධාරිනියක් හුඟක් උදව් කළා කියල අපට මතකයි තවම .
ඒ විශේෂන්ඥ වෛද්‍යවරයාව හඳුන්වා දුන්න යහළුවට මම වරදක් කීවේ නැහැ . නමුත් වුන දේ කීව. එයා දැන්මා සමග කතා බහක් නැහැ .එයාගේ වරදක් නැහැ. මමනේ උදව්ව ඉල්ලුවේ . ඔය කතාව දැන ගත්ත වෙනත් විශේෂන්ඥ වෛද්‍යවරියක් කීව දුවල පුතාල පිටරට ඉගෙන ගන්න යවනව . ඒවාට වියදම් අවශ්‍යයි . ඒ නිසා ගොඩක් අය ඕවගේ දේවල් කරනවා කියල . (අනවශ්‍ය ටෙස්ට් රිපීට් කරන එක ) . පෞද්ගලික විශ්ව විද්‍යාල තිබ්බනම් එයාලට ළමයි පිටරට යවන්න ඕනේ වෙන්නේ නැහැ නේද කියල හිතුන ඒ වෙලාවේ.

මගේ තව යාළුවෙක් ඉන්නව විශේෂන්ඥ වෛද්‍යවරයෙක් . එයා එක්ක කතාවකදී එයා ඇහුවා "අජිත්ට මතකද දිස්ත්‍රික් බේසිස් එක මත අඩු ලකුණු වලින් ගම්වල ඉන්න අය මෙඩිකල් ෆැකල්ටි ගන්නවා . (හැමෝම වගේ ප්‍රධාන නගර වලට ටියුෂන් ඇවිත් ඊට පස්සේ හොරෙන් ඈත දුෂ්කර පළාත්වල ලියා පදිංචි වෙලා විභාග පාස් වෙලා අඩු ලකුණු වලින් විශ්ව විද්‍යාල එන ක්‍රමය ) . ඒ ඇරෙන්න ඇත්තටම දුෂ්කර පළාත්වල ඉඳල අපු අයත් ඇති . එහෙම ඒ දවස් වල දුන්නේ ඊට අමතරව ඒ වෛද්‍යවරු තමන්ගේ ගම් පළාත්වලට ගිහින් සේවය කරයි කියල හිතලලු. එහෙමෙ දේවල් වෙන්නේ නැහැලු . ඇත්තට වෙන්නේ වෛද්‍ය සංගමයේ ලිස්ට් එකකින් තමයි මාරුවීම් හෙම දෙන්නේ . එයා දන්න එක වෛද්‍යවරයෙක් (ගමකින් ආපු කෙනෙක් ) පටන ගත්ත දවසේ ඉඳලම කොළඹලු . ලන්ඩන් ගිහින් ඇවිත් නුත් ආපහු එතනම දුන්නලු . සංගමේ තදයෙක්. එයාල වගේ පිටරටවල ඉගෙන ගත් අයව (මෙයා සෝවියට් දේශයේ ) කෙලින්ම එක්කෝ යුද්ධය තියන නගරවල , නැත්නම් අනුරාධපුරයටත් එහා, වන්නියේ හෝ දකුණේ පොඩි දුෂ්කරතා තියන රෝහල් වලටලු දාන්නේ. තවත් දෙයක් කිව්වා මේ සමහර 'දුෂ්කර" කියන සමහාර රෝහල් හදල තියෙන්නේ සුද්දගේ කාලයේ ලු. ගම්වල ජනතාව සඳහා ඒ කාලේ ඉඳන්ම. හැබැයි 1870 පිහිටවපු කොළඹ මෙඩිකල් කොලේජ් එකෙන් පිට වුනු වෛද්‍ය වරු ගිහින් තියනව සේවය කරන්න ඒ කාලයේ . මෙයාලට (යාළුවට සහ ඒ වගේ පිටරටින් ආපු අයට) සෑහෙන අසාධාරණ වුනාලු.

අක්මාව බේරා ගන්න එක හරි වැදගත් . මගේ යහළුවෙකුගේ තරුණ දරුවෙක් අකාලයේ දෙමාපියන් හැර ගියා මෑතකදී. ඔහුට තිබුනෙත් ලෝකයේ ප්‍රධාන නගරයක ගෙවන හදිසි ජීවිතය තුල අක්මාව දුර්වල වීම පිලිබඳ ප්‍රශ්නයක් .

රතු මස් වැඩිපුර කන්න හොඳ නැහැ (හරක් මස් , බැටළු මස් , එළු මස් ) විශේෂයෙන් ෆැටි ලිවර් කියන තත්වය තියනවනම්. අපි සැහෙන්න මස් කන පවුලක් . හේතුව බිරින්දෑ ගේ ජර්මන් සම්භවය . නමුත් දැන් අඩු කරගෙන යනවා . හරක් මස් කන එක සෑහෙන්න අඩුයි . ලංකාවේ සමහරු කියනවලු පලතුරු කන්න එපා කියල . සම්පුර්ණයෙන්ම වැරදියි . ඇන්ටි ඔක්සිඩන්ට් (ප්‍රති ඔක්සිකාරක ) ආහාර කියල කියන පලතුරු හොඳයි අක්මාවට . ගස්ලබු, ඇපල් , අනෝදා, නෙල්ලි , ක්රැන්බේරී වගේ මාදන් වර්ග , කොමඩු මේවා හුඟක් හොඳයි කන්න . දෙහි සහ දොඩම් වතුරත් හොඳයි . අලිගැට පේරත් ඉතා හොඳ පළතුරක් මතක් තියා ගන්න . ලංකාවේ කවුද ඩොකෙක් අලිගැටපේර වලින් කොලෙස්ටෙරෝල් එනවා කියල කන්න එපා කීවලු. ඒක වැරදියි . අලිගැට පේර වල ඕලියෙක් ඇසිඩ් කියල එකක් තියනවා . ඒකෙන් නරක කොලෙස්ටෙරෝල් අඩු කරලා හොඳ කොලෙස්ටෙරෝල් වැඩි කරනවා . අනික ග්ලූටතයෝන් Glutathione කියල අක්මාවට හානිකර විෂ ද්‍රව්‍ය පෙරීමට අවශ්‍ය දෙයක් නිපදවන්න ඒක හොඳලු . අක්මාව දුර්වල නම් හෝ රෝගයක් හැදිලා නම් පමණක් කෙසෙල් සහ අඹ එපමණ සුදුසු නැහැ කියා කියනවා . (සීනි වැඩිනම් ඒත් හොඳ නැහැනේ ඒවා වැඩිය කන්න)

සාමාන්‍යයෙන් කෙනෙක් වතුර ලීටරයකට වැඩිය දවසකට බොන්න ඕනේ . විෂ ඉවත් කිරීමට පමණක් නෙමේ, ශරීරයේ උෂ්ණත්වය පාලනයට , ශරීරය තුල පෝෂක ආහාර බෙදා හැරීම , වකුගඩු හොඳින් වැඩ කරන්න තව දාහක් දේට වතුර ඕනේ . කොකා කෝලා , ෆැන්ටා බීවට වතුර බිවහම ලැබෙන ගුණය ලැබෙන්නේ නැහැ .

අක්මාව අපේ සිරුරේ ප්‍රධානතම රසායනික කර්මාන්තශාලාව ලෙස හැඳින්විය හැකියි. රුධිරයේ ඇති විෂ ද්‍රව්‍ය සහ අනවශ්‍ය රසායනික ද්‍රව්‍ය පෙරා ඉවත් කර ශරීරය පිරිසිදු කරනව, අපි ලබාගන්නා ආහාරවල ඇති පෝෂ්‍ය පදාර්ථ (කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ මේදය) ශරීරයට අවශ්‍ය ශක්තිය බවට පත් කරනව. මේදය ජීර්ණය කිරීම සඳහා අත්‍යවශ්‍ය වන පිත් යුෂ (Bile) නිපදවනව.ශරීරයට අවශ්‍ය විටෙක ප්‍රයෝජනයට ගැනීම සඳහා විටමින්, ඛනිජ ලවණ සහ ග්ලුකෝස් (ග්ලයිකොජන් ලෙස) ගබඩා කර තබා ගන්නවා.

අපි අපේ ළමයින්ට කොකා කෝලා වගේ බිම වර්ග දීල නැහැ . පොඩි කාලේ මැක්ඩොනල්ඩ් එක්කන් ගියහම මුලිනම් කෙල්ලෝ දෙන්නම ඉල්ලුවේ කැරට් පැකට් . බර්ගර් අඳුනන්නේ නැහැ . පස්සේ පාසල් යනකොට පුරුදු වුනා . දැන් දෙන්නම අත ඇරලා ෆාස්ට් ෆුඩ්. කිසිම ෆිසි ඩ්‍රින්ක් එක්ක ගෙදරට ගේන්නේ නැහැ. බීවට කමක් නැහැ . පාලනය කරගෙන . දුවල ලංකාවට ගිහින් එනකොට කොත්තුමි (නුඩ්ල්ස් ) පිස්සුවක් හදාගෙන ආව. ඒවත් දැන්නම් නතර වෙලා . දැන්නම් මැක්ඩොනල්ඩ් ගිය කාලයක් මතක නැහැ . ඈතක ඩ්‍රයිවින් කරනකොට විතරක් කලාතුරකින් යන තැනක් . අපි දීයුණු නගරවල ජීවත් වුනාට , මේ ඉක්මන් ජිවිතයට හරියන්න ගන්න මේ ඉක්මන් ආහාර සුදුසු නැහැ . පරිස්සම් වෙන්න . කියන්න තියෙන්නේ එච්චරයි .

මම වෛද්ය වෘත්තියට හෝ වෛද්‍ය වරුන්ට විරුද්ධ නැහැ . රැකියාව හොඳින් කරන යහළුවෝ ගොඩක් ඉන්නව . එංගලන්තයේ නම් දැන් වෛද්‍යවරු දන්නවා අපි ලෙඩ ගැන කියන්න කලින් හොඳින් හොයල බලල, ගුගල් බලල ජෙමිනි ගෙන් හරි චැට් ජිපිටි ගෙන් හරි අහල එන්නේ කියල.

රෝගීන් ගොඩක් බලනකොට වෛද්‍යවරයෙකුට ඒ තවත් එක රෝගියෙක් විතරයිනේ කියන එක මට තේරෙනවා. අපි හැම ක්ලයන්ට් කෙනෙකුටම එකම විධිහට සලකන්නේ නැහැනේ. ලන්ඩන් වල ප්‍රයිවෙට් ගියහම විශේසන්ඥ වෛද්‍ය්වරයෙකුට රක්ෂණයෙන් පවුම් 250 ගෙවනවා පැයකට . ඉතින් ළඟටම ඇවිත් නම කියල කතා කරගෙන යන්නේ . NHS එකෙත් එහෙමම තමයි. රෝගියාට සැලකීම උසස්. ඒ පැත්තෙන් නම් වරදක් කියන්නම බැහැ . NHS බුදු වේවා තමා . ඒත් අපේ පැත්තෙන් බැලුවොත් තව අවුරුදු තුනක් හිටියනම් අඩුම ගානේ ලොකු දුවව හරි දකිනවනේ කියල අපට හිතෙනව. ඊටත් වැඩිය අපි ඒ වයසට එනකොට , අපටම තේරෙනව. එයා ගියා කලින් වැඩියි .
******************************************* 
15/04/2026 - අජිත් ධර්මකීර්ති  
            



Saturday, 11 April 2026

ගල් අඟුරු කතාවේ පරණ කතාව සහ අලුත් කතාව



(මෙය ඉංග්‍රීසි ලිපියේ පරිවර්තනයක් බව කරුණාවෙන් සලකන්න )  

ගල් අඟුරු ආනයනය පිළිබඳ මතභේද විශ්ලේෂණය (2011–2022)

මෑතකාලීන පාර්ලිමේන්තු විවාදවලින් අනතුරුව, පාඨලී චම්පික රණවක සහ රංජිත් සියඹලාපිටිය බලශක්ති අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ කාලසීමාවන් තුළ ගල් අඟුරු ආනයනය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා පිළිබඳව මා ගවේෂණය කළෙමි. විවිධ මතභේද පවතින අතර සමහරක් අධිකරණය දක්වා ගොස් තිබුණද, මෙම චෝදනාවල ස්වභාවය පිළිබඳව පැහැදිලි රටාවක් දැකගත හැකිය.

බාල ප්‍රමිතියේ ගල් අඟුරු ආනයනය පිළිබඳ චෝදනා

2011–2015 කාලසීමාව: මුල්කාලීන මතභේද කේන්ද්‍රගත වූයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය වටා ය. බලාගාරයේ සැලසුම් පිරිවිතරයන්ට වඩා වැඩි අළු (Ash) සහ සල්ෆර් (Sulfur) ප්‍රමාණයක් සහිත ගල් අඟුරු ආනයනය කිරීම නිසා බොයිලේරු ඒකක නිතර බිඳවැටීම්වලට ලක්වන බවට චෝදනා එල්ල විය.

දේශපාලන චෝදනා 

චම්පික රණවක - 2010 - 2013  -ලංකා ගල් අඟුරු සමාගම (LCC) සහ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) තුළ "ගල් අඟුරු මාෆියාවක්" ක්‍රියාත්මක වන බවත්, කොමිස් ලබාගැනීම සඳහා හිතාමතාම බාල ගල් අඟුරු ආනයනය කරන බවත් ප්‍රකාශ කළේය.

පවිත්‍රා වන්නිආරච්චි -2013 - 2015 - රණවක මහතාගේ යුගයේ ඇති කළ දෝෂ සහිත ප්‍රසම්පාදන පද්ධති හේතුවෙන් තමන්ට ගැටලුවලට මුහුණ දීමට සිදු වූ බවට ප්‍රති-චෝදනා එල්ල කළාය.

මෙම කාලසීමාව තුළ මතභේදය වූයේ හුදෙක් "නරක ගල් අඟුරු" ගැන පමණක් නොවේ; එම ගල් අඟුරු මගින් ඩොලර් බිලියන 1.3 ක් වටිනා බලාගාරයට සිදු වූ භෞතික හානිය සහ එතැන් සිට නොරොච්චෝල බලාගාරයට හිමි වූ "විශ්වාස කළ නොහැකි" යන අපකීර්තිය පිළිබඳවයි.
2016 වසරේ වංචාව (රුපියල් බිලියන් 2.9 ක පාඩුවක් ) 

ස්විස්-සිංගප්පූරු සමාගමකට ලබා දුන් ගල් අඟුරු ටෙන්ඩරයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් පැවතිණි. ටෙන්ඩර් ක්‍රියාවලිය "පටිපාටිමය වශයෙන් දෝෂ සහිත" බව අධිකරණය තීන්දු කළද, එහි මූලික අවධානය යොමු වූයේ ගල් අඟුරු වල ගුණාත්මකභාවයට වඩා ටෙන්ඩරයේ නීත්‍යානුකූලභාවය කෙරෙහි ය.

මෙය ශ්‍රී ලංකාවේ බලශක්ති ඉතිහාසයේ වඩාත්ම කැපී පෙනෙන ප්‍රසම්පාදන මතභේදයකි. මෙය Swiss Singapore Overseas Enterprises Pte Ltd සමාගමට ලබා දුන් මෙට්‍රික් ටොන් මිලියන 2.2 ක දිගුකාලීන ගල් අඟුරු කොන්ත්‍රාත්තුවක් වටා ගෙතුණකි.

බලශක්ති අමාත්‍යවරුන්ගේ ලැයිස්තුව:

2012 - 2013 , 2015: චම්පික රණවක 

2013 - 2015, 2022: පවිත්‍රා වන්නිආරච්චි

2015 – 2019: රංජිත් සියඹලාපිටිය

2019 – 2020: මහින්ද අමරවීර

2020 – 2021: ඩලස් අලහප්පෙරුම

2021 – 2022: ගාමිණී ලොකුගේ

2022 – 2024: කාංචන විජේසේකර

චෝදනාවල ස්වභාවය

මාගේ අවබෝධය අනුව, අමාත්‍ය රණවක හෝ අමාත්‍ය සියඹලාපිටිය මෙම ගනුදෙනු වලින් පෞද්ගලිකව ප්‍රතිලාභ ලැබූ බවට හෝ  කොමිස් ලබා ගත් බවට නිශ්චිත චෝදනා නොමැත. කුමාර ජයකොඩි මහතා සම්බන්ධයෙන්ද එය එසේමය. ඔහු සෘජු මූල්‍ය දිරිගැන්වීමක් ලබා ගත් බවට පැහැදිලි සාක්ෂි හෝ නිල චෝදනාවක් නොමැත. (මරික්කාර් මහතා කල සාක්ෂි විරහිත චෝදනාවක්  තිබේ )  

මෙය ප්‍රධාන ප්‍රශ්නයක් මතු කරයි. පෞද්ගලික ධනය උපයා ගැනීමක් පිළිබඳ චෝදනා නොමැති නම්, "වංචා" හෝ "දූෂණ" යන ප්‍රකාශ මතු වන්නේ කොතැනින්ද?

2011 සහ 2022 අතර කාලය තුළ නුසුදුසු ගල් අඟුරු ආනයනය දිගටම පැවතියේ නම් සහ එමගින් රජයට දැවැන්ත මූල්‍ය අලාභයක් සිදු වූයේ නම්, චම්පික රණවක, පවිත්‍ර වන්නි ආරච්චි, රන්ජිත් සියඹලාපිටිය  සහ  කුමාර ජයකොඩිගේ කාර්යභාරය දැඩි විමසුමට ලක් වේ. 

මෙහිදී නිගමන දෙකකට එළඹිය හැකිය:

පරිපාලනමය අදක්ෂතාවය: ඇමතිවරුන් සිය අධීක්ෂණ රාජකාරිවලදී අතිශයින් අදක්ෂ වූ අතර ආනයනයන්හි ගුණාත්මකභාවය සහ මිල තහවුරු කිරීමට අපොහොසත් විය.

පද්ධතිමය පීඩනය: පවතින බලශක්ති අර්බුදය හමුවේ විදුලි පද්ධතිය ක්‍රියාත්මකව තබා ගැනීම සඳහා සම්මත ප්‍රොටෝකෝල මඟ හැරීමට  ඔවුන්ට සිදු විය.

මතභේදයට තුඩු දුන් ප්‍රධාන කරුණු

ප්‍රසම්පාදන අපගමනයන්: බොහෝ චෝදනා පැන නගින්නේ තාක්ෂණික ඇගයීම් කමිටුව (TEC) සහ ස්ථාවර කැබිනට් ප්‍රසම්පාදන කමිටුව (SCAPC) මඟ හැරීමෙනි.

ගුණාත්මකභාවය සහ හදිසි අවශ්‍යතාවය: 

බාල ගල් අඟුරු සඳහා නිතර ඉදිරිපත් කරන තර්කය වන්නේ "හදිසි ප්‍රසම්පාදනය" යන්නයි. රට පුරා විදුලිය විසන්ධි වීම වැළැක්වීම සඳහා දැඩි ගුණාත්මක පරීක්ෂාවන් කැප කළ බව ඔවුහු පවසති.

මූල්‍ය අලාභය එදිරිව පෞද්ගලික වාසිය: 

පොදු කතිකාවේදී බොහෝ විට සඳහන් වන "වංචාව" පෞද්ගලික අල්ලසකට වඩා රාජ්‍ය දේපළවලට සිදු වූ අලාභය හා සම්බන්ධ විය හැකිය. ශ්‍රී ලංකාවේ නීතියට අනුව, නොසලකා හැරීම හරහා රජයට පාඩුවක් සිදු කිරීම සක්‍රීය දූෂණයක් ලෙසම නඩු පැවරිය හැකිය.

දූෂණය පිළිබඳ පුළුල් අර්ථ දැක්වීම: 

අමාත්‍යවරයෙකු ශතයක්වත් පෞද්ගලිකව නොගත්තද, රජයට මුදල් අහිමි වන ගනුදෙනුවකට දැනුවත්ව අත්සන් තැබුවේ නම්, එය නීත්‍යානුකූලව "දූෂණය" යටතට වර්ග කළ හැකිය.

මෑතකාලීන ගැටලු (2025–2026)

2026 මුල් භාගය වන විට සැලකිය යුතු මතභේදයක් පවතී. දකුණු අප්‍රිකාවෙන් (Trident Chemphar හරහා) ගෙන්වන ලද මෑතකාලීන තොගවල අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු දහන අගයක් (Gross Calorific Value - GCV) ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) පෙන්වා දී ඇත.

කෙටියෙන් කිවහොත්, ගල් අඟුරු වල ගුණාත්මකභාවය අවශ්‍ය ප්‍රමිතීන්ට වඩා අඩු වූ අවස්ථා වාර්තා වී ඇති අතර, එය පාරිසරික ගැටලුවලට මෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයට අමතර මූල්‍ය බරක් වීමටද හේතු වී ඇත.

2011 සහ 2015 අතර කාලය

මෙම කාලය තුළ ගල් අඟුරු ගුණාත්මකභාවය පිළිබඳ මතභේදය ප්‍රධාන දේශපාලන සහ තාක්ෂණික ගැටලුවක් විය.

1. දහන අගය (Energy) පිළිබඳ ආරවුල
2014 අගභාගයේදී ඉන්දුනීසියාවෙන් පැමිණි ගල් අඟුරු නැව් තොගයක් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ මතභේදයක් ඇති විය.

සොයාගැනීම්: ඕස්ට්‍රේලියාවේ කරන ලද ස්වාධීන පරීක්ෂණ මගින් තහවුරු වූයේ කොන්ත්‍රාත්තුවේ සඳහන් ප්‍රමාණයට වඩා අඩු GCV අගයක් ගල් අඟුරු වල ඇති බවයි.

ප්‍රතිඵලය: අමාත්‍යාංශය මෙය පිළිගත්තද, එය බලාගාරයට "අනතුරුදායක" නොවන බවත් හුදෙක් "කාර්යක්ෂමතාව අඩු" බවත් තර්ක කළේය. මෙයින් අදහස් කළේ රජය "B-ශ්‍රේණියේ" බලශක්තියක් සඳහා ඉහළ මිලක් ගෙවා ඇති බවයි.

2. අළු (Ash) සහ සල්ෆර් මතභේදය
නොරොච්චෝල බලාගාරය සැලසුම් කර ඇත්තේ අළු ප්‍රමාණය 11% ට අඩු සහ සල්ෆර් ප්‍රමාණය 0.5% ට අඩු ගල් අඟුරු සඳහා ය.

වැඩිපුර අළු: ඇතැම් නැව් තොගවල අළු ප්‍රමාණය 15-20% දක්වා වූ බව වාර්තා විය. මෙය යන්ත්‍රෝපකරණ වේගයෙන් ගෙවී යාමට සහ නිතර බලාගාරය බිඳවැටීමට (Tripping) හේතු විය.

පාරිසරික බලපෑම: ඉහළ සල්ෆර් මට්ටම අම්ල වැසි ඇති කිරීමට හේතු වේ. ගොවීන් සහ ප්‍රදේශවාසීන් සිය වගාවන් මත "කළු දූවිලි" තැන්පත් වන බවට පැමිණිලි කළහ.

3. හදිසි මිලදී ගැනීම් 
දිගුකාලීන කොන්ත්‍රාත්තු නියමිත වේලාවට ලබා ගැනීමට අපොහොසත් වීම නිසා, "Spot Tenders" හරහා හදිසියේ ගල් අඟුරු මිලදී ගැනීමට සිදු විය. වෙනත් රටවල් ප්‍රතික්ෂේප කළ බාල ගල් අඟුරු ශ්‍රී ලංකාවට අලෙවි කිරීමට සැපයුම්කරුවන් මෙම අවස්ථාව භාවිතා කළ බවට විවේචකයෝ චෝදනා කළහ.

2016 ගල් අඟුරු වංචාව - විස්තරාත්මකව

ප්‍රසම්පාදන උල්ලංඝනය: විමර්ශනවලින් හෙළි වූයේ Swiss Singapore සමාගම මෙම ගනුදෙනුව ලබාගෙන ඇත්තේ ඇගයීම් ක්‍රියාවලියට සිදු කළ "සෘජු සහ නීතිවිරෝධී මැදිහත්වීම්" හරහා බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව: 2016 ජුනි මාසයේදී එවකට අගවිනිසුරු කේ. ශ්‍රීපවන් ප්‍රකාශ කළේ: "Swiss Singapore සමාගමට ටෙන්ඩරය පිරිනැමීමේදී සිදු වූ සිදුවීම් අධිකරණයේ හෘද සාක්ෂිය කම්පනයට පත් කරයි."

මූල්‍ය බලපෑම: විගණකාධිපති වාර්තාවකට අනුව, මෙම දෝෂ සහිත කොන්ත්‍රාත්තුව දිගටම කරගෙන යාම නිසා රජයට රුපියල් බිලියන 3.9 ක (එවකට ඩොලර් මිලියන 26 ක) පාඩුවක් සිදු වී ඇත.

සාරාංශය:

ප්‍රධාන පාර්ශවකරු: Swiss Singapore Overseas Enterprises

නීතිමය ප්‍රතිඵලය: ටෙන්ඩරය "ශුන්‍ය සහ අවලංගු" (Null and Void) ලෙස ප්‍රකාශයට පත් කළද, ජාත්‍යන්තර බේරුම්කරණය වළක්වා ගැනීමට කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට ඉඩ ලබා දෙන ලදී.

මේ සියලු විස්තර  අන්තර්ජාලය ඇසුරිනි . 

11/04/2026 අජිත්