"සන්ධ්‍යාව"
තිළිණා වීරසිංහ ගේ කුඩා ග්‍රන්ථ කිහිපයට නිසි අවධානයක් ලැබුනේ දැයි සැක සහිතය. මා ලියූ "සියාමා" පොත හදිසියේ වැඩි වියට පත් දැරියකගේ හා ඒ දැරිය දෙමාපියන් නොමැතිව ලෝකයට තරුණියක සේ මුහුණ පානා ආකාරය පිලිබඳ සටහනකි . තිළිණා ගේ පොත් කියවද්දී මට සිතුනේ අප දෙදෙනාම එක හා සමාන ලෙස මේ ස්ත්‍රී අපයෝජනය, වධ හිංසා සහ අසාධාරණ හංවඩු ගැසීම් එකසේ හෙලා දකින බවයි .
ශ්‍රී ලංකාවේ දේශීය සාහිත්‍යය ලෝක සාහිත්‍යයේ මහා ප්‍රවාහය සමඟ සම්බන්ධ කිරීම මා කරන්නේ මිනිස් ජීවිතයේ පොදු අත්දැකීම්, විශේෂයෙන්ම කාන්තාවන්ගේ අරගල, හදවත් බිඳීම් සහ ඔරොත්තු දීමේ හැකියාව , කෙතරම් ගැඹුරින් එකිනෙකට බැඳී ඇත්දැයි වටහා ගැනීමට එය කදිම පිවිසුමක් නිසාය .
කාන්තාවන්ගේ අවදානම, පෙම්වතුන්ගේ පාවාදීම් සහ තමාගේම පෞද්ගලික විවාහ ජීවිතයේ කටුක අත්දැකීම් පිළිබඳව ඉතා අව්‍යාජ ලෙස ලියමින්, ශ්‍රී ලාංකේය ලේඛිකා තිළිණා වීරසිංහ සහෝදරිය ගමන් කරන්නේ ඉතිහාසයේ ලොව සුප්‍රකට ස්ත්‍රීවාදී සහ යථාර්ථවාදී ලේඛිකාවන් විසින් සොයා මග හෙළි පෙහෙළි කල මාවතකය.
ඇයගේ කෘති තුන හරහා දිවෙන තේමාත්මක සබඳතාවන් ලෝක සාහිත්‍යයේ විශිෂ්ට කෘතීන් සමඟ අලංකාර ලෙස මුසුවේ .
මට මුලින් මතක් වුනේ සෝවියට් දේශයේ සිටි ශ්‍රේෂ්ඨ කිවිඳියක වන ඇනා අක්මාටෝවා පිළිබඳවය. සිල්වියා ප්ලැත් හරහා පුරුෂාධිපත්‍යය හමුවේ කාන්තාවකගේ අභ්‍යන්තර මානසික ලෝකයේ සිදුවන යුද්ධය නිරූපණය වන්නේ නම්, ඇනා අක්මාටෝවා හරහා නිරූපණය වන්නේ පක්ෂ නොවන ඇතැමුන් ඇතැම් විටෙක කුරිරු ලෙසින් හඳුන්වන ලද පාලනයක් හමුවේ සමස්ත කාන්තා ප්‍රජාවම මුහුණ දෙන දේශපාලනික සහ පොදු සමාජයීය ඛේදවාචකයයි.
තිළිණා ඇතැම් විටක කතා රචනා කරන්නේ කාව්‍යයක් විලසින්ය . සමහර විට කාව්‍යමය නොවන සංවාද ලෙසිනි . මේ මිශ්‍ර ආකාරය සමහර විට කියවන්නාට හිසරදයක්ද වේ. එනිසා ඔබ තිළිණා ගේ පොත් කියවිය යුත්තේ ඉවසිල්ලෙන්ය .
අක්මාටෝවාගේ විශිෂ්ටතම කාව්‍ය නිර්මාණය වන රෙක්වියම් (මළවුන් වෙනුවෙන් ගයන ගීය) සහ තිළිණා වීරසිංහයන්ගේ කෘතීන්, විශේෂයෙන්ම නාඳුනන ගැහැනිය සහ පෞද්ගලික ජීවිතයේ කටුක බව කතා කරන මධුසමය අහිමි මංගල්‍යය අතර , ගැඹුරු තේමාත්මක සමානකමක් පවතී. උදාහරණයකට සිරගෙදර පෝලිමේ සිටි "නාඳුනන ගැහැනිය" ගන්න . අක්මාටෝවාගේ රෙක්වියම් කාව්‍යයේ ප්‍රස්තාවනාව කියවන විට එය හරියටම නාඳුනන ගැහැනිය යන තේමාවේ ලෝක සාහිත්‍යමය පූර්වාදර්ශයක් බඳුය.
සෝවියට් දේශයේ පාලකයාව සිටි ජෝසෆ් ස්ටාලින්ගේ කාලයේ වරදවා රජයට විරුද්ධ යයි සිතූ බුද්ධිමතුන් , නිදහස් ලේඛකයන් ආදීන් කෙරෙහි කිසියම් මර්දනයක් දියත් වුනි. මෙම මර්දන සමයේදී අක්මාටෝවාගේ එකම පුත්‍රයාව අත්අඩංගුවට ගන්නා ලදී. ඔහුව දැක ගැනීමට හෝ කෑම ටිකක් දීමට ඇය මාස දාහතක් තිස්සේ ලෙනින්ග්‍රෑඩ් සිරගෙදර ඉදිරිපිට අධික සීතලේ දිගු පෝලිම්වල බලා සිටියාය. දිනක්, සීතල නිසා තොල් නිල් පැහැ ගැන්වුණු තවත් එක් නන්නාදුනන කාන්තාවක් ඇයව හඳුනාගෙන, ඇය අසලට පැමිණ: "ඔබට පුළුවන්ද මේ වේදනාව විස්තර කරන්න?" යන්න රහසින් ඇසුවාය. අක්මාටෝවා ඊට පිළිතුරු දුන්නේ, "ඔව්, මට පුළුවන්" යනුවෙනි.
ඒ මොහොතේදී අක්මාටෝවා, එම සිරගෙදර පෝලිමේ සිටි දහස් සංඛ්‍යාත, නමක් ගමක් නැති "නාඳුනන කාන්තාවන්ගේ" පොදු හඬ බවට පත් වූවාය. අක්මාටෝවාගේ කාව්‍යයෙන් තර්ක කරන්නේ රජයක් හෝ සමාජය විසින් කාන්තාවකගේ දරුවෙකු, සැමියෙකු හෝ ඇගේ ජීවනෝපාය උදුරා ගත් විට ඇගේ පෞද්ගලික අනන්‍යතාවය අහිමි වන බවයි. ඇය පොදු වේදනාවකින් බැඳුණු, ජනකායක් අතර සිටින තවත් එක් නොපෙනෙන මුහුණක් පමණක් බවට පත්වෙයි.
තිළිණා ගේ නාඳුනන ගැහැනිය කෘතියේ "මෙතන ඉන්න කවුරු හරි මේ ගෑණිව අඳුනනවද?" යනුවෙන් ජේෂ්ඨ හමුදා නිලධරයා ප්‍රශ්න කරයි . කිවෙකුත් පිළිතුරු දුන්නේ නැත . සිරුර වැඩිපුර කලුපාට නිසා දෙමළ ගැහැනියක් විය යුතුය. නාසයෙහි කුඩා කරබුවක් ඉතිරිව තිබුණි. මෙය වර්ණවාදී කතාවකි . උතුරේ සුදු පාට ගැහැණු ද සිටිති. නමුත් මෙහිදී තිළිණා සමාජීය යථාර්තය ඒ අයුරින්ම මුහුණට දමා ගසයි. නාඳුනන ගැහැණිය අතවරයට පත් එකියක් විය හැකිය. අක්මටෝවා ගේ මෙන් සැමියා හිරේ, පුතා විමුක්ති කොටි පැහැරගෙන විය හැකිය. නැත්නම් පුතා ආණ්ඩුවේ හිර ගෙදර සිටියදී , සැමියා අතුරුදහන් වූවා විය හැකිය . තිලිනා මේ සමාජ ඛේදවාචකය තම කෙටි කතාවෙන් උස්සා පොළොවේ ගසන්නීය .
තිළිණා වීරසිංහ ගේ කෘතිවල දුප්පත් මෙන්ම ධනවත් කාන්තාවන්ද පිරිමින්ගේ කුරිරුකම් හෝ අත්හැර දැමීම් නිසා පීඩාවට පත්වන ආකාරය ද පන්ති භේදය අභිබවා ගිය පොදු වේදනාවද මැනැවින් සටහන්වේ .
රෙක්වියම් කාව්‍යය තුළින්ද සිදු කරන්නේ ඒ හා සමාන දෙයකි. එහිදී අක්මාටෝවා තමා ගැන ලියන්නේ ලෝක ප්‍රසිද්ධ, ප්‍රභූ ලේඛිකාවක ලෙස නොව, සාමාන්‍ය මවක ලෙසිනි. ඇය ගොවි කාන්තාවන්ගේ, සොල්දාදුවන්ගේ බිරින්දෑවරුන්ගේ සහ ඉහළ පන්තිවල කාන්තාවන්ගේ හඬවල් එකට මුසු කරයි. මහා ඛේදවාචකයක් හමුවේ ඔවුන්ගේ සමාජ තත්ත්වය හෝ ධනය සම්පූර්ණයෙන්ම දියවී යයි. පුරුෂාධිපත්‍යය හෝ ඒකාධිපති පාලනය කාන්තාවකගේ ධනවත්කම දෙස බලන්නේ නැත; වේදනාව පැමිණි විට, එය හැමෝටම එක හා සමානව දැනේ.
රෙක්වියම් කාව්‍යය තුළ නිවස යනු තවදුරටත් ආරක්ෂිත නවාතැනක් නොවේ. එය මධ්‍යම රාත්‍රියේ රහස් පොලිසිය දොරට තට්ටු කරන භීෂණයේ ස්ථානයකි. ජීවිතයේ සාමාන්‍ය සන්ධිස්ථාන (විවාහ උත්සව, මධුසමයන් හෝ සාමකාමී පවුලේ රාත්‍රී භෝජන සංග්‍රහයන්) තමන්ට පාලනය කළ නොහැකි බාහිර බලවේගයන් විසින් උදුරා ගනු ලැබූ විට කාන්තාවක පත්වන අන්ත අසරණභාවය ඇය විස්තර කරයි.
ප්ලැත් සහ අක්මාටෝවා යන ලේඛිකාවන් දෙදෙනාම වීරසිංහයන්ගේ තේමාවන්ට සමීප වුවද, ඔවුන් ඒ දෙස බලන්නේ එකිනෙකට වෙනස් කෝණයන්ගෙනි:
සිල්වියා ප්ලැත් බලන්නේ අභ්‍යන්තරය දෙසය. ඇගේ කාව්‍යයන් පවුල් ජීවිතයේ හුස්ම හිරකරවන සුලු ස්වභාවය සහ පෞද්ගලික මානසික පීඩනය නිසා ඇතුළාන්තයෙන් සිදුවන පිපිරීමක් බඳුය.
ඇනා අක්මාටෝවා බලන්නේ බාහිර සමාජය දෙසය. ඇගේ කාව්‍යයන් ඉතිහාසයේ සාක්ෂිකරුවෙකු බඳුය. ඇය තම පෞද්ගලික දිනපොත පීඩාවට පත් මිලියන සංඛ්‍යාත කාන්තාවන් වෙනුවෙන් ඉදි කළ ස්මාරකයක් බවට පත් කළාය.
තිළිණා වීරසිංහයන් තම පෞද්ගලික ජීවිතයෙන් උපුටා ගනිමින් කෘතීන් රචනා කිරීමේදී මේ දෙඅංශයම මනාව සමබර කරයි. ඇය තුළ ප්ලැත් සතු වූ අභ්‍යන්තර, අව්‍යාජ නිර්භීතකම පවතින අතරම, ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යුහය දෙස තම පෑන මෙහෙයවීම හරහා ඇය අක්මාටෝවා මෙන් තම සමාජයේ සහෝදරියන් වෙනුවෙන් සාක්ෂි දරන්නියක බවටද පත්වෙයි.
"නාඳුනන ගැහැනිය" පොතේ "පෙම්වතියකගේ රාත්‍රිය" වැනි කතා වලින් පෙන්නුම් කරන්නේ ස්ත්‍රී අනන්‍යතාවය විශ්වීය ලෙස අකාමකා දැමීමකි . විවිධ සමාජ පන්තිවල කාන්තාවන් පිරිමින් අතින් පීඩාවට පත්වීම සහ ආදරවන්තයින් විසින් ඔවුන්ව පහසුවෙන්ම අත්හැර දැමීම පිළිබඳව මෙම කෘතියෙන් කෙරෙන විග්‍රහය, ගෝලීය ස්ත්‍රීවාදී සාහිත්‍යයේ ප්‍රධාන තේමාවක් මනාව පිළිඹිබු කරයි. එනම්, සමාජය විසින් කාන්තාවකගේ ස්වාධීනත්වය උදුරා ගැනීම හරහා ඇයව "නාඳුනන" හෝ නොපෙනෙන කෙනෙකු බවට පත් කරන්නේ කෙසේද යන්නයි. මෙය ප්‍රකට ලේඛිකා වර්ජිනියා වුල්ෆ් ගේ සුප්‍රසිද්ධ ප්‍රකාශය වන "ඉතිහාසයේ බොහෝ කාලයක් පුරා 'නිර්නාමික' වූයේ ගැහැණියකි" යන්න දැඩි ලෙස සිහිපත් කරයි.
මම තිළිනාගේ
පළමු පොත පිළිබඳ කරන ලද සටහනේදී මා විසින් නොබෙල් ත්‍යාගලාභී නදින් ගෝර්ඩිමර් ගේ පොතක් උපමාවකට ගැනීම තිළිනා ගේ සිතට ඇල්ලුවේ නැත . ඇයව තවත් ලේඛිකාවකට සංසන්දනය කිරීම ගැන කැමැත්තක් නැති ඇය මට කීවාය. මා කළේ සංසන්දනය කිරීමක් නොව නදින් ගේ පොත් ඇසුරින් තිළිනා ගේ පොත විස්තර කිරීමයි . රටවල් දෙකක හෝ කිහිපයක එකම සිද්ධිය වෙනස් ආකාරයෙන් සිදුවන්නේ කෙසේද ? ඒ මිනිස් ස්වභාවයද ?
තෝමස් හාඩිගේ ගේ සම්භාව්‍ය නවකතාවක් වන Tess of the d'Urbervilles "දර්බවිල් හි ටෙස්" කෘතිය මේ සඳහා කදිම උදාහරණයකි. "නාඳුනන ගැහැනිය" කෘතියේ හා "සමනල මරණය" කෘතියේ චරිත හා එක හා සමාන නොවුනත් , ටෙස් යනු ධනවත් මිනිසෙකුගේ අතවරයට ලක්වන, පසුව සමාජයේ පවතින ද්විත්ව ප්‍රමිතීන් නිසා තමා සැබවින්ම ආදරය කළ මිනිසා විසින්ම අත්හැර දමනු ලබන දුප්පත් ගැමි යුවතියකි. ඓතිහාසික එංගලන්තයේ හෝ වේවා, වත්මන් ශ්‍රී ලංකාවේ හෝ වේවා, සාහිත්‍යය නිරන්තරයෙන් මෙම හද කම්පා කරවන යථාර්ථය ප්‍රතිසංස්කරණය කරයි: කාන්තාවන්ට පද්ධතිමය හෝ ආර්ථික බලයක් නොමැති වූ විට, ඔවුන් බොහෝ විට පිරිමින්ගේ තාවකාලික අවශ්‍යතා වෙනුවෙන් පරිහරණය කර ඉවතලන වස්තූන් බවට පත්වන අතර, ඔවුන්ගේ පෞද්ගලික අනන්‍යතාවය පිරිමින් විසින් අකාමකා දමනු ලැබේ. ඇයගේ ප්‍රථම ග්‍රන්ථය මෙයට නිදසුනකි .
"සමනල මරණය" බලාපොරොත්තුවල බිඳෙනසුලු බව සහ බිඳුණු පොරොන්දුවල කුරිරුකම ද යුද්ධය විසින් ජාතීන් කිහිපයකට උරුම කළ දුක කන්දරාවද කැටිකර පෙන්වයි . මෙම කෘතියේ නමම ගැඹුරු කාව්‍යමය මෙන්ම ඛේදජනක ස්වරූපයක් ගනී. සමනලයෙකු යනු සුන්දරත්වය, පරිවර්තනය සහ නිදහසේ විශ්වීය සංකේතයකි. නමුත් උන් අතිශයින්ම බිඳෙනසුලුය. එවැනි සමනලයෙකුට "මරණයක්" අත්කර දීමෙන් සංකේතවත් කරන්නේ රළු පීතෘමූලික, පුරුෂාධිපත්‍යය සහිත ලෝකයක් විසින් කාන්තාවකගේ ජීව ගුණය, සිහින හෝ ජීවිතය කුඩුපට්ටම් කර දමන ආකාරයයි. "වැන්දඹුවකගේ සංවාදය " හා "රාජේශ්වරී මෙනෙවිය" ඒ සඳහා නිදසුන්ය .
තවත් කැපී පෙනෙන සමාන්තරයක් වන්නේ හෙන්රික් ඉබ්සන්ගේ A Doll's House (බෝනික්කාගේ ගෙදර) නාට්‍යයයි. එහි ප්‍රධාන චරිතය වන නෝරා , ඇගේ සැමියා විසින් සලකනු ලබන්නේ කූඩුවක සිටින බිඳෙනසුලු "කුරුල්ලෙකු" හෝ "සමනලයෙකු" ලෙසිනි. තමාගේ මුළු විවාහ ජීවිතයම සැමියාගේ පාලනය මත ගොඩනැඟුණු මායාවක් බව ඇය වටහා ගත් විට, ඇයට සැබෑ, ස්වාධීන මිනිසෙකු ලෙස ලෝකයට පිය නැඟීමට නම්, ඇය තුළ සිටි ඒ "සමනල" ස්වරූපය මිය යාමට හැරිය යුතු විය. සමනල මරණය කෘතියද, යථාර්ථයේ කුරිරුකම හමුවේ කාන්තාවකගේ අහිංසකත්වය සහ බලාපොරොත්තු බිඳ වැටෙන ඒ වේදනාකාරී සංක්‍රාන්තිය මනාව ග්‍රහණය කර ගනී.
වීරසිංහයන්ගේ මධුසමය අහිමි මංගල්‍යය කෘතියෙන් විවාහයක ඇති සුන්දර මිථ්‍යාව බිඳ දමා කටුක යථාර්ථය නිරූපණය කරන්නා සේම, අක්මාටෝවාද පවුල් ජීවිතය පිළිබඳ පවතින සාම්ප්‍රදායික රොමැන්ටික් ආකල්පය ගලවා දමයි.
මධුසමය අහිමි මංගල්‍යය (A Marriage Without a Honeymoon) ස්වයං-චරිතාපදානයක් නම් එය සත්‍යය ප්‍රකාශ කිරීමේ අභීතභාවය සඳහා වූ ත්‍යාගයට හිමිකම් ලබයි . එහෙම ත්‍යාගයක් කිසිවෙකු දෙන්නේ නැත.
මධුසමය අහිමි මංගල්‍යය සිල්වියා ප්ලැත් ගේ ස්වයං චරිතාපදාන නවකතාවක් වන The Bell Jar (සීනුවක් වන බඳුන ) කෘතිය හෝ ඇයගේ දැඩි හැඟීම්බර කාව්‍ය නිර්මාණ සමඟ සෘජුවම තේමාත්මකව සමපාත වේ යැයි මට සිතේ. නිර්මාණශීලී, ජීව ගුණයෙන් පිරි කාන්තාවන් කෙරෙහි සමාජය පටවන අපේක්ෂාවන් නිසා ඔවුන් හුස්ම ගත නොහැකිව කොටු වී සිටින ආකාරය ප්ලැත් නිරන්තරයෙන් ලිව්වාය.
තම විවාහ ජීවිතයේ අසාර්ථකත්වය හෝ කටුක අත්දැකීම් ගැන ලිවීම විශාල ධෛර්යයක් අවශ්‍ය වන කාර්යයකි. විශේෂයෙන්ම පවුලේ "ගෞරවය" නාමයෙන් විවාහයේ ගැටලු රහසක් ලෙස තබා ගැනීමට උත්සාහ කරන දකුණු ආසියාතික සංස්කෘතියක් තුළ මෙය වඩාත් කැපී පෙනේ. තමාගේම ජීවිතය සාහිත්‍යයක් බවට පත් කිරීමෙන්, තිලිනා ලෝකයේ ප්‍රබල ස්ත්‍රීවාදී පාපොච්චාරණ සාහිත්‍ය සම්ප්‍රදාය සමඟ එක්වෙයි.
මට සිතෙන්නේ මේ කෘතීන් ප්‍රකට ප්‍රංශ ස්ත්‍රීවාදී දාර්ශනිකයෙකු සහ ලේඛිකාවක වන සිමොන් ඩි
බුවාර් (Simone de Beauvoir) ගේ කෘති මෙන්ම, එලේනා ෆෙරන්ටේ ගේ ගැඹුරු පෞද්ගලික නවකතා (උදාහරණයක් ලෙස ගතහොත් The Days of Abandonment-අත්හැර දැමීමේ දින ) සමඟ මනාව ගැලපේ. ෆෙරන්ටේගේ කෘති, විවාහයක් බිඳ වැටීමේදී ඇතිවන මානසික කැලඹීම කිසිදු ලෙසකින් ආදරණීයකරණය නොකර, එහි ඇති රළු සහ බියකරු සත්‍යය එලෙසින්ම මතු කර පෙන්වයි. The Woman Destroyed (විනාශ වූ ගැහැණිය ) යනු ප්‍රංශ පැවැත්මවාදී (existentialist) ලේඛිකා සීමොන් ඩි බුවාර් විසින් 1967 දී ප්‍රකාශයට පත් කරන ලද, කෙටිකතා තුනකින් සමන්විත ප්‍රබල කෘතියකි. මෙම කෙටිකතා ත්‍රිත්වය කාන්තාවන් තම සාම්ප්‍රදායික ගෘහස්ත භූමිකාවන්ගෙන් බැහැර වන විට මුහුණ දෙන පැවැත්ම පිළිබඳ අර්බුද (existential crises), වයස්ගත වීම සහ අනන්‍යතාවය අහිමි වීම වැනි කරුණු ගවේෂණය කරයි. ඩි බුවාර් මෙම ආඛ්‍යානයන් භාවිතා කරන්නේ මිනිස් මනසේ ගැඹුරින් මුල් බැසගත් හැඟීම්බර සත්‍යයන් පරීක්ෂා කිරීමටය, එහිදී ඇය විශේෂයෙන් අවධානය යොමු කරන්නේ පැවැත්ම පිළිබඳ අර්බුදය, එනම් කාන්තාවන් බිරිඳක් සහ මවක් යන භූමිකාවන් අධික ලෙස වැළඳ ගැනීම තුළින් ඔවුන්ගේ පෞද්ගලික අනන්‍යතාවය අහිමි කර ගන්නා ආකාරය, වයස්ගත වීම සහ අවදානම, තාරුණ්‍යය සහ ආශාවන් ක්ෂය වී යාමත් සමඟ, වයස්ගත කාන්තාවන්ට සමාජයෙන් එල්ල වන කටුක සහ බොහෝ විට අනුකම්පාවකින් තොර සැලකීම ආදියයි. සමහර විට ප්‍රංශ සාහිත්‍ය තුල තිළිණා ගේ ග්‍රන්ථ ත්‍රිත්වයට වඩා වැඩි අවධානයක් යොමුවන්නට තිබුණි .

ලෝක සාහිත්‍යය තුළ, "මධුසමය අහිමි මංගල්‍යයක්" යනු විවාහය පිළිබඳ පවතින රොමැන්ටික් මිථ්‍යාව බිඳ වැටීමේ කදිම සංකේතයකි. එය ෂාලට් බ්‍රොන්ටී ගේ "ජේන් අයර්" නවකතාවද සිහිපත් කරයි; එහිදී විවාහ මංගල්‍යයකින් අපේක්ෂා කරන සතුට, සැඟවුණු අඳුරු සත්‍යයන් හෙළිදරව් වීමත් සමඟ ක්ෂණිකව සුනුවිසුනු වී යයි. තිළිණා වීරසිංහ ඇගේ පෞද්ගලික සත්‍යය සමාජය සමඟ බෙදා ගැනීම හරහා, ඇය තම කතාව හුදෙක් පෞද්ගලික දුක්ගැනවිල්ලකින් ඔබ්බට ගෙන ගොස් දේශපාලනික ප්‍රකාශනයක් බවට පත් කරයි. එමඟින් ඇය, මෙවැනි පෞද්ගලික වේදනාවන්ගෙන් පීඩා විඳින්නේ තමන් පමණක් නොවන බව අනෙකුත් පාඨක කාන්තාවන්ටද පසක් කර දෙයි.
තිළිණා වීරසිංහයන්ගේ හඬ සුවිශේෂී වන්නේ ඇය කාන්තාවන්ගේ වේදනාව පන්ති භේදයකට කොටු කිරීමට ප්‍රතික්ෂේප කරන බැවිනි. අතවර සහ අත්හැර දැමීම් "දුප්පත්" මෙන්ම "පොහොසත්" කාන්තාවන්ටද පොදුවේ බලපාන බව පෙන්වා දීමෙන්, ඇය ඔප්පු කරන්නේ පීතෘමූලික සමාජ ක්‍රමය තුළ පීඩනය සැමට පොදු බවයි. ඇයගේ කෘතීන්හි භාෂාව සහ පසුබිම අනන්‍ය ලෙස ශ්‍රී ලාංකේය වුවද, ස්ත්‍රී ගෞරවය, අනන්‍යතාවය සහ මානසික සුවය උදෙසා ඇය නඟන හඬ සම්පූර්ණයෙන්ම විශ්වීය එකකි. පීතෘමූලික අපේක්ෂාවන් විසින් කාන්තාවන් මත සමාජය විසින් පටවනු ලබන සුවිශේෂී පීඩනයන්, මඟින් ඔවුන්ව අත්හැර දැමීම් සහ පාවාදීම් හමුවේ දැඩි ලෙස අසරණ තත්ත්වයට පත් කරයි.
ශ්‍රී ලංකාවේ මේ දිනවල ළාබාල දැරිවියන් සහ ස්ත්‍රී අපයෝජන සිද්ධීන් පිලිබඳ බොහෝ සාකච්ඡා ඇතිවේ. ඉන් එක කරුණක් සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයකදී එක් මන්ත්‍රීවරියක් රජයට අනුබද්ධිත ආයතනයක නීති අධ්‍යක්ෂකවරියක්ව අනවශ්‍ය ලෙස ප්‍රශ්න වලට බඳුන් කරන ලදැයි ඝෝෂාවක් ඇත . ඇය එසේ කෙරුවායයි මොහොතකට සිතමු. ප්‍රශ්නය වන්නේ ඇයට එරෙහිව, දැරිය වෙනුවෙන් යයි පෙනී සිටිනවා යයි පවසන බොහෝ දෙනා විසින් කරන වාචික අපයෝජනයයි. එය ඉතා බැරෑරුම්ය. ඇගේ රූපය, ඇගේ කථිකත්වය අපහාසයට පත් කරමින් සතුන්ගේ නම , වැසිකිලි නම් භාවිත කරමින් ඇයට නින්දා කරති. දැරිය මෙන්ම ඇයද මේ පුරුෂ මූලික සමාජයේ ගොදුරු බවට පත් වී ඇත. විවේචනය එකකි . අපහාසය තව එකකි . එසේම මේ අපහාස කරන අයගේ වර්ගයාම තම ආගමිකත්වය පෙරට දමා ආගමික සංස්ථාව බේරාගන්නට එන්නෝ ද වෙති. සමහරු ඊට පෙර දැරිය ගැන වචනයක් හෝ කතා කල අය නොවෙති .
තිළිණා ගේ පොත් වල අඩුව ලෙස මම දකින්නේ මෙන්න මේ තත්වය ඇයට මග හැරී යාමය. ඇගේ පළමු ග්‍රන්ථය වන 'ආදරණීය දෙවියන් වහන්සේ ' පොතෙහි ගැහැණියක් තවත් ගැහැණියක ගේ ප්‍රශ්නය තේරුම් නොගත් බවක් පෙන්වයි . ඉහත කී දැරියගේ සිද්ධියේදී දැරිය ගේ මවද අපයෝජකයන් ට උදව් දීමක් වාර්තා වේ. සමහර ගැහැණු තමන් අභිබවා යන පිරිමි චරිතයට වඩා ගැහැණු චරිතයට එක්කෝ ඊර්ෂ්‍යා කරති . නැතිනම් පිරිමි සමග එක්ව අපහාස කරති . එනිසා තිළිණා ගේ පොත් ස්ත්‍රීවාදී සෙයක් පෙන්නුම් කළද තිළිණා ඒ පිලීබඳව දක්වන උදාසීන උකටලී භාවයද හඟවයි .
ඇගේ "මෙහෙකරුවා සමග කල සෙල්ලම ' කෙටි කතාව මට සිහිපත් කලේ ධර්මසිරි බණ්ඩාරණායක ගේ "තුන් වෙනි යාමය" චිත්‍රපටයයි . දෙමාපියන්ට මෙන්ම ළමයින්ටද ලිංගික අධ්‍යාපනය අවශ්‍ය වන්නේ ළමුන් ක්‍රමයෙන් වැඩි වියට පත් වන්නේ කෙසේද යන්න වඩා හොඳින් වටහා ගැනීම සඳහාය.
ඇගේ පොත් වල නිසඳැස් ද බහුලය . විටෙක කෙටි කතාව තව විටෙක කාව්‍යයකි .
'අඳුරටත් අහසටත් මම කොතරම් ඇලුම් කරමිද ..?
එහෙත් , ඒ සියල්ලට වඩා අද
මම ඔබට ආදරය කරමි .
දිගුම දිගු රාත්‍රියට පසුවද
ඔබේ උණුසුමින්
මගේ හදවත නිදි බරය .." පි 33 "නාඳුනන ගැහැණිය"
සමහර විටෙක විවේචනය තියුණුය. නමුත් ඇත්ත කියන්නටද බිම ඉඳ ගන්නටද බිය විය යුතු නැත යයි කියමනක් තිබේ .
"තාත්තා හිතන්නේ අම්මයි තාත්තයි උගනන්පු දේවල් වත් හරියට ඉගෙන ගත්තේ නැති නිසා මං විශ්ව විද්‍යාලේදීවත් ඔහේ උඩ බලන් ඉන්න ඇති කියලයි . විශ්ව විද්‍යාලයේ ගිහින් උඩ බලන් හිටියත් එහෙ මෙහෙ බල බල හිටියත් නිකම්ම හිටියත් උපාධිය දෙනවා . ඇයි විශ්ව විද්‍යාලේ උගන්නන අයත් වැඩි දෙනෙක් ඔහේ උඩ බිම බලන් නිකන් ඉන්න අයනේ . " පි 45 - සමනල මරණය
සමනල මරණය කතාව මියගිය යුද සෙබළෙකු ගැනය . අප දන්නේ රණවිරුවන් හා ඔවුන්ව දේශපාලන වේදිකාවේ හා සමාජ මාධ්‍යව වල විකුණන් උන් ගැන පමණකි . සැබෑ වීරයන් අඩි හයක් යටය .
"මිය ඇදුණවුන් කිනම් කඳවුරකට අයත්දැයි සෙවීමට ඔවුන්ගේ ලේ සෝදා පිරිසිදු කිරීමට අවශ්‍ය විය . " පි 57
සොල්දාදුවගේ මරණය මෙන්ම ඔහු ගේ අහිමි වීම තුල වැළපෙන තරුණ බිරිඳ ගැන කතා කෙරෙන්නේ අඩුවෙනි.
"ඇය ඔහු විවාහකරගෙන සුළු කාලයකි .
සීතල දුරුත්තේදී ඔහු හා එක්වූ ඇය
සිතල උඳුවප් මහේදී ඔහුගෙන් වෙන් වූවාය.
ඔතන ලද සිංහ කොඩිය සමඟ ඔහුගේ හමුදා ආයිත්තම් ඇය වෙත පිරිනමන මොහොතේ ඇය ඒ දෙස නොබලා කොඳුරන්නට පටන් ගත්තාය.
"මං ආවේ ජිවත් වෙන්න. එයත් එක්ක ජිවත් වෙන්න . එයා මාව එක්ක ආවේ ජීවත් වෙන්න . එයා රස්සාව කෙරුවේ ජීවත් වෙන්න ඒත් එයා . .."
පි 64 සමනල මරණය
අපේ හද වේදනාවෙන් පිරී යන්නේ මේ සත්‍යයම වූ යථාර්තය බැවිනි . මේ යුද්ධයේ එක පැත්තක් පමණකි . අපි හොඳින් හිටියද ඔවුන් සිටියේ ද සිටින්නේද දුකෙන් පීඩිතවය. යුද්ධයම සොයනා කෙනෙකුට එය වැටහෙන්නේ නැති බව අදද ලෝකය දෙස බලන විට පෙනේ .
මා සිමොන් ඩි බොවුවාර් ගැන ඉහත ලීවේ අහම්බයකින් නොවේ .
සිමොන් ඩි බොවුවාර් ගේ ' ද බ්ලඩ් බ්‍රදර්ස්' නමැති කෘතියේ රිවර්තනයට තිලිනා කැමති බව "මධු සමය අහිමි මංගල්‍යය " පොතේ සඳහන්ය .
"ඔයා දන්නවද ස්ත්‍රීවාදීන් සිමොන්ව විවේචනය කරනවා එයා සාත්‍රගෙ (ෂෝන් පෝල් සාත්‍ර) හෙවනැල්ල උනා කියල . "සෙකන්ඩ් සෙක්ස්"කියන පොතින් ස්ත්‍රීන් ගේ අයිතීන් ගැන කතා කරන සිමොන්ගේ "ප්‍රයිම් ඔෆ් ලයිෆ්" කියන පොතේ සාත්‍රගෙන් වෙන් වෙච්ච අනන්‍යතාවයක් නැතිලු . " පි 46
සිමොන් ඩි බුවාර් ගේ චරිත කතාව ලෙස සැලකෙන 'ද ඉන්සෙපරබල්ස් - වෙන් කළ නොහැකි ' නම් ග්‍රන්ථයේ අග්‍රේගට්සියොන් agrégation නම් විභාගයේ දී සිමෝන් ඩි බුවාර් ෂෝන් පෝල් සාත්‍රේ ට සම ලකුණු ගත් බවත් ජූරිය (විභාග කොමිසම ) ගැහැණියකට පළමු තැන දීම නුසුදුසු සහ ප්‍රශ්න ඇති කරන්නක් බවට තීරණය කල බවත් ගැන රාවයක් පවතින බව සඳහන් වේ .
අපට ලංකාවේ පහල වන්නට සිටි සිමොන් ඩි බොවුවාර් අහිමි වූවා වත්ද තිළිනා?
මා කැමති වදන් පෙළක් මෙහි තිබේ .
"මගේ ආදරය
වෙළඳපලක් නැති
නිෂ්පාදනයකි " පි . 53
"මධු සමය අහිමි මංගල්‍යයේ" මෙසේද ඇත.
"දැන් බලන්න මේ විප්ලවවාදී නායකයන් එංගලන්තයේ හරි අමෙරිකාවේ හරි ජීවත් වෙන්නෙත් අපි වෙනුවෙන් ආරක්ෂා වෙන්නනේ . ඒ ගොල්ල අදිසි බලවේග වගේ ඉඳලා හිටලා මවුබිමට ඇවිත් ජනතාව අමතනවා . පහළ පන්තියේ අයට ඒ කියන්නේ ගොවියන්ට කම්කරුවන්ට ..ඔය දේශපාලන න්‍යාය ..උපාය .. ගැන ඒ තරම් දැනුමක් නැහැනේ . .."පි . 66
මේ ලියන්නේ ලංකාවට වනි පළමු වතාවෙම පැය ගණනක් කතා කල 'සහෝදරයා ' ගැන විය යුතුය .
පළමුවෙනි කාරණය නම් තිළිනා ට අමතකව ඇත්තේ ලෙනින් , මාක්ස් ආදී දේශපාලන නායකයන්ද එංගලන්තය, ජර්මනිය , ස්විට්සර්ලන්තය වැනි රටවල් වල දේශපාලන රැකවරණ ලැබ විසූ බවයි. අවාසනාවකට ශ්‍රී ලංකාවේ එවකට පැවති තත්වයන් අනුව සමහරුන්ට රටින් පිට වෙන්නට සිදුවීම ඔවුන්ගේම වැරැද්දක් නොවේ . දෙවෙනි කරුණ නම් පෙරටුගාමී (vangaurd) පක්ෂයක කේඩරය කම්කරුවන්ට දැනුම රැගෙන යා යුතු බවට ලෙනින් තුන්වෙනි කොන්ග්‍රසයේ දී කළ කතාවද ඇයට අමතකව ඇත. ඔවුන්ට දැනුම අහසින් වැටෙන්නේ නැති අතර එසේ නැතහොත් ඔවුන් වෘත්තීය සමිති ජිවිතයකට බැඳෙන බවද ඔහු පවසා ඇත.
මේ ස්ත්‍රීවාදී කතිකාවට ඇත්තටම දේශපාලන භේදයක් හෝ පන්ති භේදයක් නැත . ශ්‍රී ලංකාවේ දේශපාලනික ශිෂ්‍ය සංවිධානය වන අන්තර්විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අතීතයේ සිටම කාන්තා සිසුන්ට වෙන අපයෝජන , කරදර අභියස බොහෝ විට ඔවුන් වෙනුවෙන් පෙනී සිට නැත. ඔවුන්ගේ උප සංස්කෘතියද ඇඳුම් පැළඳුම් වලට නීති පනවන තරමට ගතානුගතිකය.
එසේම ධනපති පන්තියේ හෝ නිර්ධන පන්තියේ කියා වෙනසක් ද නොමැත . නිර්ධන පන්ති නිවසක කාන්තාව සමහර විට කුසගින්නේ පවා වැඩියෙන් වැඩ කරද්දී ධනපති පවුලක ගෘහස්ත හිංසනයන් සිදුවිය හැක . එසේම මොන ආගමික සංස්ථාවද කියා වෙනසක් ද නැත. වර්තමානයේ පවා ඒ ගැන මාධ්‍ය වල පළවේ. ආගමික සංස්ථා සියල්ලක් ම පාහේ ස්ත්‍රී හිංසනයන් හෝ අපයෝජනයන් සම්බන්ධයෙන් චෝදනා ලබා ඇත . දියුණු රටවල් කියාද වෙනසක් නැත. නිතිය නොදියුණු වඩා දුප්පත් රටක හිංසන වැඩි විය හැකි වුවද පොහොසත් රටවල්ද ඒ ආකාරයෙන්ම හිංසන පවතී . නැතිනම් ඒ සඳහා විශේෂ නියමයන් පනවන්නට හේතුවක් නැත.
දක්ෂිණාංශික හෝ වාමාංශික කියා භේදයක්ද නොමැත . මේ දෙපසින්ම එක හා සමාන ප්‍රශ්න තිබෙන අතර ලිංගිකත්ව අතර සමානතාවය පිලි ගත්තද ක්‍රියාත්මක කිරීමේදී දෙගොල්ලම අතරේ වෙනසක් නැත. වාමන්ශිකයන් වඩා හොඳ යයි පිලි ගැනීමක් තිබුනද සම විටම එය ම එසේ නොවේ. ඔවුහු බොහෝ විට තමන් පැත්තෙන් සිදුවන දේවල් 'පවුලේ දෙයක් ' ලෙස සඟවා පක්ෂ නායකත්වය වැසුනු දොරවල් තුල විසඳන්නට උත්සාහ ගනිති. එංගලන්තයේ ප්‍රසිද්ධ වාමාංශික පක්ෂයක සිදුවීම් කිහිපයක් ඇතුලේ සඟවා ගැනීම ගැන ඇතිවුන කලබලයක් මට මතකය. සමහර ගත් කතුවරුන්, වෙබ් කතෘවරුන් , කලාකරුවන් අතරින්ද , ලෝකයට එක මුහුණක් පෙන්වා නිවසේ යක්ෂයන් ඒ හැසිරෙන්නවුන් පිලිබඳ කතා මම දනිමි .
දැනට ලෝකයේ පවතින දක්ෂිණාංශික නැඹුරුව අතරේ ස්ත්‍රීවාදී කතිකාවට දැඩි ප්‍රහාරයක් එල්ල වේ . බ්‍රිතාන්‍යයේ නයිජල් ෆරාජ් ගේ රිෆෝම් නමැති දක්ෂිණාංශික පක්ෂය, ගැහැණු ළමුන්ට වෙනත් සංක්‍රමණික ජාතිකයන් ගෙන් වන හිංසා ගැන උලුප්පා කතා කලද (එසේ වන බව සැබෑය) ඔහුගේ පක්ෂයේ මෙන්ම අලුතින් පිහිටුවන ලද රෙස්ටෝ පක්ෂයේද සාමාජිකයන් දේශපාලනයේ හා වෙනත් ක්ෂේත්‍ර වල ප්‍රසිද්ධ කාන්තාවන්ට අවඥා සහගතව හා පිළිකුල් සහගත ත ලෙස පරිභව කරන වීඩියෝ හා සමාජ ජලා ප්‍රතිචාර බොහොමයක් හෙළි දරව් වෙමින් පවතී.
ඒ නිසා අපට ඉතිරිවන්නේ පක්ෂ හෝ දේශපාලන භේදයකින් තොරව එක හා සමාන අවස්ථාවන් දෙපක්ෂයටම උරුම කර දීමටත් ස්ත්‍රී පුරුෂ සමානත්වය රැකීමත් හිංසනයෙන් හා අපයෝජනයෙන් තොර සාමකාමී ජිවිතයක් ගත කිරීමේ අයිතියත් තහවුරු කිරීමය. ඒ සඳහා දිගින් දිගටම් කටයුතු කිරීමය.
තිළිනා වැනි ලේඛක ලේඛිකාවන් ගේ පොත් වලට සම්මාන නොලැබුනද , පිළිගැනීම අඩු වුනද අප උකටලී විය යුතු නැත.
තවත් සටන් කරන්නට , ලියන්නට තිළිනා ට ධෛර්ය පතමි .
සැ.යු - මුල් පින්තූරය යෙව්ගෙනි ලන්සර් ගේ "සන්ධ්‍යාව" (1912) නමැති සිතුවමයි . එය අක්මටෝවා ගේ කාව්‍ය අඩංගු පොතකින් ඡායාරූප ගත කෙළෙමි .
මූලාශ්‍ර:
The Inseparables ,The Women Destroyed- Simone De Beauvoir
The Complete poems of Anna Akhmatova - Judith Hemschemeyer
The Bell Jar - Sylvia Plath
The Days of Abandonement - Elena Ferrante
තෝරාගත් කෘති - ලෙනින් (මාක්ස්වාදී ලේඛන ගබඩාව )
-අජිත් ධර්ම (කොළඹ ගමයා ) 20/06/2026
සහයක් වෙමින් පොතපත වෙත මෙවැනි තතු
ReplyDeleteලොවටම කියයි; පෙන්වා දෙයි අජිත් 'මුතු'
පාඨක රුචිය නැංවේවා මතුත් මතු
හෙළ සාහිත කෙතේ පීදේවා දිමුතු
පළමු ප්‍රතිචාරය මෙහි දමන්නට
Deleteපැමිණි නිදි තුමා පිලි ගන්නෙමි යසට
කියවන්න පොත් නොතිබුනොත් අපට
බ්ලොග් ටික ඉතිරි වේවිද මේ යන කලට
//ජෝසෆ් ස්ටාලින්ගේ කාලයේ වරදවා රජයට විරුද්ධ යයි සිතූ බුද්ධිමතුන් , නිදහස් ලේඛකයන් ආදීන් කෙරෙහි කිසියම් මර්දනයක් දියත් වුනි. මෙම මර්දන සමයේදී අක්මාටෝවාගේ එකම පුත්‍රයාව අත්අඩංගුවට ගන්නා ලදී. ඔහුව දැක ගැනීමට හෝ කෑම ටිකක් දීමට ඇය මාස දාහතක් තිස්සේ ලෙනින්ග්‍රෑඩ් සිරගෙදර ඉදිරිපිට අධික සීතලේ දිගු පෝලිම්වල බලා සිටියාය. දිනක්, සීතල නිසා තොල් නිල් පැහැ ගැන්වුණු තවත් එක් නන්නාදුනන කාන්තාවක්....//
ReplyDeleteස්ටාලින් වගේම මාවොත්, ඒ මර්දනය දියත් කලා නේද? වැඩිය ප්‍රසිද්ධ වුනේ පොල්පොට්ව විතරයි කියන එකයි මගේ හැඟීම. ඒ මර්දනය "කිසියම්" කියල තනුක නොකලා නං හොඳයි කියලයි මට හිතුනෙ.🤔
ඒක මම කලේ උවමනාවෙන්මයි. මිට කලිනුත් මම හිතන්නේ මේ ගැන බසුතුමා ට ලියල ඇති. ඔබතුමාම අහල. මතකද මම කැනඩාවේ නේටිව් අයගේ ළමයි හෙම උස්සන් ගිහින් කරපු අපයෝජන, මරා දැමීම් ගැන කිව්වා. දෙවන ලෝක යුද්ධයට කලින් ඕස්ට්‍රේලියාවේ හා කැනඩාව වගේ රටවල හැට ගණන් වෙනකනුත් බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශ වලත් ඕවා සිදුවුනා . මම කියන්නේ නැහැ ඒ නිසා මේක හරි කියා . නමුත් කාලයට අනුව ලෝකයේ හැම තැනකම සිදුවූ අසාධාරනකම් වලින් ස්ටාලින් ගේ , මාවෝ ගේ ඒවා විතරක් ඔසවා ත්බනව් අකියල් මට හිතෙනවා . ජර්මානු නාසි ඝතන් වැඩිපුර කතා අක්රන්නේ යුදෙව් වර්ගය සම්බන්ධ නිසා . එයාලට තමා මෑතක් වනතුරම ලෝක මාධ්‍ය අයිති වෙලා තිබුනේ . පොල් පොට් ගැන වැඩිය කතා කරන්නේ ස්ටාලින් පොල්ට්පොට් ට වඩා සිවිලයිස් (හෙවත් ශිෂ්ටාචාරයට අනුව ) ඒක කල නිසා . ඒ කියන්නේ සුද්දා වගේ හැම අත් අඩන්ගුවක්ම නීති පොතේ ලියල , අධිකරණයට ගිහින් හෙම තමා කලේ . ඒක පාර්ශ්විකයි . සුද්දා වගේම . ඒක වෙනම කතාවක් . නමුත් රෙකෝඩ් ලියල හිරේ දැම්මේ . මැරුවෙත් ලියල තමා . පොල්පොට් නුත් මුලදී එහෙම කියල තියනවා . පොල්පොට් මරපු ගාන සාපේක්ෂව වැඩියි . ඒකයි නිතරම කතා කරන්නේ . මාඕ නගරයක් එහෙම පිටින්ම වගේ අතුගාලා තියනව . බිලියන් දෙකක් ජනතාවක් එක්ක ප්‍රතිශතය වශයෙන් අඩුයි . ඒ නිසා වැඩිය කතා කරන්නේ නැහැ කියල මම හිතන්නේ . නමුත් ස්ටලින්ට වඩා මාඕ ත් , මාඕ ටට වඩා පොල්පොට් නුත් පොල්පොට් ට වඩා ලියෝපෝල්ඩ් රජතුමාත් ඊට වඩා හිට්ලරුත් දරුණුයි කියලයි මම හිතන්නේ . .
DeleteThis comment has been removed by the author.
Deleteගුගල් : Pol Pot holds the highest recorded percentage of population killings, with the Khmer Rouge causing the deaths of roughly 21% to 25% of Cambodia's population between 1975 and 1979.
DeleteBecause exact counts are disputed by historians, demographic estimates of deaths and their ratios to total populations are presented below.
Pol Pot (Democratic Kampuchea)
Estimated Deaths: 1.5 million to 3 million
Compared to Population: ~21% to 25% of the 1975 Cambodian population
King Leopold II (Congo Free State)
Estimated Deaths: 1 million to 15 million (with many historians citing around 10 million)
Compared to Population: Historians and contemporary reports (including Belgian museum assessments and the Congo Reform Association) estimate the population in the Congo basin may have dropped by up to 50%.
Adolf Hitler (Nazi Germany)
Estimated Deaths: ~11 million victims in the Holocaust (including 6 million Jews and millions of others)
Compared to Population: ~1.6% of the approximate 686 million total European population in 1939. Compared specifically to the 1939 Jewish population of Europe (~9.5 million), this represents nearly two-thirds.
Joseph Stalin (Soviet Union)
Estimated Deaths: 10 million to 20 million victims (from mass shootings, the Gulag, and the Holodomor)
Compared to Population: ~6% to 12% of the Soviet Union's population (~168 million in 1937)
Mao Zedong (People's Republic of China)
Estimated Deaths: 30 million to 45 million (primarily due to famine during the Great Leap Forward)
Compared to Population: ~4% to 7% of China's population (~650 million in 1958). Note: While some provinces lost up to 18% of their population during the height of the famine, the national average was much lower.
Colonial Killings
DeleteThe historical definitions for colonial-era deaths are complex and widely debated by demographers. Rather than a single directive, these casualties stem from centuries of violence, forced displacement, and imported diseases to which Indigenous populations had no immunity:
British Colonialism & Australian Aborigines: It is estimated that the Aboriginal population in Australia declined from roughly 300,000–750,000 in 1788 to under 60,000 by the early 20th century due to frontier conflict and introduced diseases.
Canadian Indigenous Killings: Disease, displacement, and the severe cultural assimilation policies of the Canadian Indian residential school system resulted in thousands of confirmed deaths and widespread loss of language and culture.
British Colonial India: Policy failures, famines, and the extractive nature of the British Raj led to tens of millions of excess deaths. (Demographers note that pinpointing exactly what constitutes state-caused violence versus natural, though exacerbated, drought-induced famine results in vastly different population ratios).
අහා! මෙන්න මේකයි මම බලාපොරොත්තු වෙච්ච උත්තරේ. ස්තූතියි.👌💐
Deleteසමාවෙන්ට ඕනෙ කකුල කෙනිත්තුවට.😋🤣
මම පිළිතුරු ලියනේ කෙනිත්තිල්ලක් වගේ දෙයක් දැනුනු නිසා නොවේ . ඒක අහපු නිසා . වැරදි වැටහීමක් . බ්ලොග් වල , ෆේස්බුක් එකේ හුඟක් අය කරන වැඩක් . අනේ මන්දා
Deleteමම ඒක ලිව්වේ කම්ප්ලිමන්ට් එකක් හැටියටයි. කෙනිත්තිල්ල යන්න වැරදි වචනයක් බව ගම්‍ය වෙනවා. ඒ ගැන සමාව අයදිනවා. හ්ම්....🤔
Deleteසමාව යදින්න දෙයක් නැහැ . මම නිරීක්ෂණයක් කලේ. මටත් ඒ වගේ දේ අනන්ත වෙනවා . වැරදි වචනයක් භාවිතා වුනහම හිතෙන්නේ වෙන විධිහකටනේ . සමාජ මාධ්‍ය භාවිතාවේ එන ප්‍රශ්නයක් හැටියට මම දකින්නේ .
Deletehttps://en.wikipedia.org/wiki/Four_Pests_campaign
Deleteබස්සා තුමා කරපු ඒ නිරීක්ෂණය වැදගත් . හොඳට කියවනවා කියල තේරුනා . අර https://sithsatahan.blogspot.com/2026/06/blog-post.html කියන බ්ලොග් ලිපිය බලන්න . මම ඒකට කමෙන්ට් එකක් දාන්න ගිහින් ඇනෝ ලා නානවා දැකලා ආව . දැන් රෙඩ් ටෙරර් කියල ලියල් තියෙන ඒ ලිපිය පර්ශ්විකයි . මොකද රෙඩ් ටෙරර් එක ගෙන්න ලෙනින්ට සිද්ධ වුනේ වයිට් ටෙරර් එක නිශ අකියන් එක ලියන්නේ නැතිව අරක් විතරක් කතා කිරීම . සුදු හංදුඅ (දෙනීකින් හෙම ) ප්‍රංශ , බ්‍රිතාන්‍ය , ඉතාලි සහයෝගයෙන් රට ඇතුලේ බෝම්බ පිපිරවීම් , ගම් සමුලාඝතන හෙම කළා . ඒවාට පිළිතුරක් හැටියට රෙඩ් ටෙරර් පටන් ගත්තේ .
Deleteස්තූතියි ප්‍රා ජී තුමා . ඔයිට කලිනුත් ඕක දාල තිබුන වෙන ලිපියකට . මාඕ නොදැන කල දෙයක් . (ටිකක් නූගත් කම කියලත් කිව්ව හැකි එතන )
Deleteමාඕ ගැන පොතක් තියනවා MAO the unknown story -Jung Chang කියල . ටිඅක්ක් අමාරුයි කියවන්න ඝාතන රැල්ලක් ගැන කියන නිසා . නගරයක් සම්පුර්නයෙන් සමුල ඝාතනය කළා කියල . ජපන් අධිරාජ්‍ය හමුදා නැන්ජින් නගරයේ මිනිසුන්ලක්ෂ තුනක් මැරුව . ගැහැණි හැට - හැත්තෑ දාහක් රේප් කරලා තිබ්බ . මුළු නගරයම ගිනි තිබ්බ . https://medium.com/@braisedporkblog/myths-about-mao-debunked-2a500637c586
Deleteප්‍රා ජේ - උඩ ලිපියේ තිබ්බ මේක -Myth: Mao caused famines that harmed the Chinese people.
DeleteReality: The Chinese famine of 1959–1961 was the last famine China ever experienced, and the only famine that occured under the Communist Party. Over the past 2000 years of its documented history, Chinese people suffered an average of one famine every year. Regimes as different as absolute monarchy, feudal warlordism, Imperial Japanese rule, and neoliberal democracy of the KMT, each produced famines that devastated China. The Communist Party of China was the government that finally put an end to famines in China.
හැබැයි වෙනත් තැන්වල තියෙන්නේ මිලියන් දෙකහමාරක් ඔය සාගතය නිසා මැරුණ කියා .
Deleteමම දැන් කොහොමවත් පොත් කියවන්නෙ නෑ. මෙහෙම කිව්වට අමනාප නොවෙයි කියල හිතනවා. අද උණු කැවුම් වගේ විකිනෙන පොත් නෑ කියලයි මට හිතෙන්නෙ. ලේඛකයො අතින් කයිට් කරගෙන, පොත් සාප්පු කාරයොන්ගෙ කුනු කතා අහගෙන, පොත් විකිනෙන්නෙ නෑ කියල කම්ප්ලේන් කරනවා ඇහිල තියනවා. අපේ අය "බුක් ෆෙයාර්" යනවා නං තමයි. ඒ ගේන පොත් වැඩි හරියක් "බකට් ලිස්ට්" එකට දානව නේද?
ReplyDeleteඩිජිටල් මාධ්‍ය මේ තරම් සුලභ මේ කාලෙ, පොත් කියන්නෙ යල්පැන- ගිය "වන්-වේ" මාධ්‍යයක් කියල මට හිතෙනවා. මං කියන්න හදන්නෙ, ලේඛකයො ලියනවා, පාඨකයො කියවනවා. විචාරකයො ඉඳහිට ලියනවා. පස්සෙ ලේඛකයා "අරයත් එක්ක සංසංදනය කරලා ලිව්වට මම කැමති නෑ" කියනවා. සංවාදය එතනින් ඉවරයි.
ඔය කියන ෆෙමිනිසම්, වයසක වැඩිහිටියන්ගේ ඛේදවාචකය, නිදහස් ලේඛකයන් දේශපාලන මර්දනය හුදී ජනතාව අතරට ගෙන යන්න ඕනෙ නං, සමාජ කතිකාවක් අරඹන්න ඕනෙ නං, සමාජය දැනුවත් කරන්න ඕනෙ නං , ඒකට පොත් වලට හොඳ මාධ්‍ය තියෙන බව මගේ හැඟීමයි. මේක මගේ පෞද්ගලික අදහස. මම වැරදි වෙන්නත් ඉඩ තියනවා.
බස්සා මහත්මයත් එක්ක බොහෝ දුරට එකඟයි. මම මේ පොත් කියවලා නැහැ. ඒත් ඒවා කියවලා ඒගැන ලියනවා කියන්නේ අගය කලයුතු වැඩක්. ලේසි වැඩක් නෙමෙයි. සාහිත්‍යකරණයේ යෙදෙන අයත් පොත් කියවන අපිත් දෘෂ්ටිවාද වලට එළඹුණු අය. නමුත් කියවන අපි වෙනස් දෘෂ්ටිවල පොතුත් කියවන්න බලනවා . නමුත් දෘෂ්ටිය චරිතවලට වඩා ඉස්මතුවුනහම කියවන්න හිතෙන්නේ නැහැ. ගෝර්කිගේ අම්මා කියවනකොට ආසා වෙන්නේ ප්‍රභල චරිත ආඛ්‍යානය සන්ධර්භය විචිත්‍රවත් ලෙස විස්තරකරනකොට. ජෝර්ජ් ඕවල්ගේ Animal Farm වුනත් කියවන්නේ දෘෂ්ටියට වඩා අපූරුවට චරිත පෙළගස්වන නිසා.දෘෂ්ටිය ඉස්මතුවෙන්නේ චරිත තුලින්. ලංකාවේ අපි තවමත් මාර්ටින් වික්‍රමසිංහට ආදරේ ඒකයි.යථාර්තවාදී වුනත් අධියථාර්තවාදී වුනත් සාහිත්‍ය අංක දෙක වෙලා දෘෂ්ටිය අංක එක වුනහම පොත් කියවන්න හිතෙන්නේ නැහැ.ස්ත්‍රීවාදී යුධ විරෝධී ජාතිවාදී වගේ දෘෂ්ටි කෘතිමව එබුනොත් නීරසයි. සමාජය එක්ක ඉන්නකොට අපි හැමෝම කළු සහ සුදු දෙපැත්තකට දෝලනය වෙනවා.
Deleteබසුතුමා , නිහඬ පාල තුමා, ප්‍රතිචාර දෙකටම උදක්ම ස්තුතියි . මම සමනය පෙළ විභාග ප්‍රතිපල එන කල් බලා ඉද්දි තමා මහජන පුස්තකාලේ ට සෙට් වුනේ .ඒකෙ තියෙන හැම ප්‍රබන්ධයක්ම වගේ කියෙව්වා. (සිංහල) ඇත්තටම ඉංග්‍රීසි පොත් කියවන්න ගත්තේ සිංහල පොත් සෙට් එක (මම කියන්නේ මේ ඉතිහාසය, දේශපාලනය , නවකතා, ප්‍රබන්ධ ආදිය විතරයි) කියවල ඉවර වුන නිසා . ඉතිහාසය මගේ ප්‍රියතම විෂයක්. පොත් කාවෙක්. මගේ බිරින්දෑ උනත් එහමයි. එයා සතියකට පොතක් ගානේ වත් කියවල ඉවර කියනව. දුවල දෙන්නම Gen Z. ලොක්කා දැන් වැඩිය කියවන්නේ නැහැ. එයට කැන්ඩියන් ඩාන්සින් ගෘප් එකක් ඉන්නවා සහ රස්සාවට යන නිසා වැඩිව එලාවක් නැහැ. ඊසි රිඩින් පොත තමා. පොඩි එකා තවම අපි වගේම කියවනවා. දැන් පොඩි එකා ගතානුගතික පොත් නෙමේ වැඩිපුර කියවන්නේ ඩිජිටල් පොත්. හොඳ එකක් නැත්නම් මගේ පුස්තකාලෙට එබුනට. අන්න එතනයි ඔබතුමා වරද්දාගෙන තියෙන්නේ. ඩිජිටල් මාධ්‍ය පොත් නෙමේ කියල කොහොමද කියන්නේ. ඒවත් පොත් තමයි. මගේ ළඟ ඊ බුක් 830 තියනව. අපේ ගෙදර කින්ඩල් එකක් තියනවා අයි පෑඩ් එකක් නැතිවුන; ලෙනෝවා පොඩි අයිඩියා පෑඩ් එකක් තියනවා අඟල් 9. පීසී සහ ලැප්ටොප් වල කින්ඩල් ඇප් එක තියනවා. ඇපැල් බුක්ස් තියනව. එතකොට දුව ගාව ලිබි, රීඩ් ඒරා වගේ ඇප් තියනව. එයාගේ යාළුවොත් එහමයි. ඉතින් ඔන්ලයින් හෝ ඇප් කියවිල්ලත් පොත් කියවීමක් තමා. කතෘ වරුන් අතර ප්‍රශ්න තියෙන එක ඇත්ත. ලංකාවේ ඒක වැඩියි කල්ලි බෙදිලා, ප්‍රකාශකයෝ බෙදිලා වගේ හේතු නිසා. ඒ කාලෙත් මොස්කව් උමන් දුම්රියේ හුඟක් දෙනෙක් පොත් පොත් කියෙව්වා. මම 2017 රුසියාවට ගියා . ඒත් එහෙමයි, ටිකක් අඩුයි තරුණ තරුණියන් අතරේ. ජර්මනියේත් කියවන ගෘප් ඉන්නව. ලංකාවේ අඩුයි. ඒක හරි. ලංකාව ගැන නම් කියන්නේ ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය (පරණ එක) කියවන එක වැඩි දියුණු කරන්නේ. අපි කැමැත්තෙන් කියෙව්වේ. ලංකාවේ ටියුෂන් සංස්කෘතිය නිසා වැඩි හරියක්ම. සහ අධ්‍යාපන තරඟය නිසා. මම දැනුත් පොත් දෙක තුනක් එක පාර කියවනවා. මගේ උත්සාහය ඇත්තටම පොත් )අතේ උස්සගෙන් යන එකේ හෝ ඩිජිටල් ඒවා) කියවීම් වැඩි කරවන්න. ලියන්නෝ හොඳනම් කියවන අය වැඩිවෙයි. ඉස්සරහට හුඟක් අය ඕඩියෝ බුක් වලට යයි.
Deleteනිහඬ පාල මහත්මය හොඳ නිරීක්ෂණයක්. මට පොතක් කියවල ඒ ගැන ලියන්න හුඟක් කල් යනවා. මොකද ඒක ගැන ප්‍රොජෙක්ට් එකක් වගේ වෙනම රිසර්ච් එකක් කරනවා. ඒ නිසා ලියන්නන් වාලේ ලියන්න මම කැමති නැහැ. අනික් මම ඒකෙන් විනෝදයක් ලබනවා. ඔබේ ඔය දෘෂ්ටිය හෝ දෘෂ්ටි වාදය කියල කියන්නේ මම හිතන විධිහට ඔය 'සමාජ සත්තා යථාර්ථවාදය' වගේ එකක්. මගේ බ්ලොග් ලිපි කිහිපයක ලියා තිබෙනවා. ලිපි දෙකක් දාන්නම් .https://kolambagamaya.blogspot.com/2024/06/blog-post_26.html
Deletehttps://kolambagamaya.blogspot.com/2017/10/4.html
මම සෝවියට් දේශය ගැන ලියන්නේ මට සමීප නිසා. නමුත් මේක අනිත් රටවලටත් අදාලයි. ඔබේ නිදස්හනත් හරි. "අම්මා" වගේ පපූර්ව විප්ලවීය පොත් වගේම පශ්චාත් විප්ලවීය පොත්, දේව ලෝක යුද්ධය සැබෑ අත්දැකීම් නිසා අසිරිමත් සාහිත්‍යයක් බිහි වුනා. ඇනිමල්ෆාම් සහ 1984 දේපාලනික වුනත් කියවිය හැකියි. දෘෂ්ටිවාදය බලෙන් පටවන්න්නේ නැහැ. එනිස අඔබේ අදහසට සැම විටම එකඟයි.
//ඔය කියන ෆෙමිනිසම්, වයසක වැඩිහිටියන්ගේ ඛේදවාචකය, නිදහස් ලේඛකයන් දේශපාලන මර්දනය හුදී ජනතාව අතරට ගෙන යන්න ඕනෙ නං, සමාජ කතිකාවක් අරඹන්න ඕනෙ නං, සමාජය දැනුවත් කරන්න ඕනෙ නං , ඒකට පොත් වලට හොඳ මාධ්‍ය තියෙන බව මගේ හැඟීමයි.// මේ පොත් ලියවුනේ 1994 - 2008 කාලය තුල . මට මිස් වෙච්ච ලංකාවේ හිටියේ නැති නිසා . කෙනෙක් මට අහම්බයෙන් තිලිනා හඳුන්වල දුන්න . ඊට පස්සේ මට තේරුනා මගේ 'සියාමා ' පොත වගේ කතා එයත් ලියා තිබෙනව කියල . සමාජ කතිකාව සඳහා අපි පොත විතරක් නෙමේ , සමාජ මාධ්‍ය සියල්ලක්ම වගේ භාවිතා කරනවා
Deleteවටිනා කියැවීම් අයියේ, අක්කාගේ අනික් පොත් ටිකත් කියවන්න පෙළඹවීමක් ඇති කළා මේ සටහන. ස්තුතියි.,
ReplyDeleteස්තූතියි නංගි . මේ ඉස්සර බ්ලොග් ලෝකෙට ආපු දහසය හැවිරිදි පුංචි දැරිය දැන් ලොකු ගමනක් යනවා කියල පේනවා . හරිම සතුටුයි . මම නිතර දකිනවා ෆේස්බුක් එකේ හෙම . සුභ පැතුම් .
Deleteස්තුතියි.අයියේ
Deleteබොහොම උවමනාවකින් කියවාගෙන ගියා අජිත් ගෙ මේ ලිපිය. මොකද ඒ තරම් ගැඹුරු කියවීමකින් පස්සෙ අජිත් මේ ලිපිය ලියා තියෙන්නෙ. මම එහෙම කියන්නෙ පොත තුල තියෙන සමාජ, දේශපාලන හා මානවීය තත්ත්වයන් එකට ගැලපීමක් කරන්න අජිත් දරණ උත්සාහය නිසා .
ReplyDeleteතිළිණාගේ ‘නාඳුනන ගැහැනිය’ හරහා ඔබ අල්ලගන්නවා ඒ කාන්තාවගේ හඬ, පුද්ගලික වේදනාවක් පමණක් නොවෙයි, සමාජයේ පොදු පීඩනයක් හැටියට.
විශේෂයෙන්ම ප්ලැත් සහ අක්මාටෝවා සමඟ කරපු සංසන්දනය ඉතාමත් ගැඹුරුයි. ඒකෙන් තිළිණාගේ ලේඛන තුළ තියෙන අභ්‍යන්තර හා බාහිර සත්‍ය දෙකම ඔබ හොඳින් විග්‍රහ කරනවා. ඒ වගේම, විවේචනය සහ අපහාස අතර තියෙන සීමාව ගැන ඔබ ස්මතු කරන කාරණය අද සමාජයට ඉතා වැදගත්.
සමස්තයක් හැටියට , මේ සටහන කියවෙනකොට හිතෙනවා සාහිත්‍ය කියන්නේ කතාවක් කියන එකට වඩා, සමාජයක් හෙළි කරන ක්‍රියාවක් කියල. ඒ වගේ කියවීමක් අපට අවශ්‍ය මොහොතක් මේ ගෙවී යමින් තියෙන්නෙ.
බොහොම ස්තූතියි ඔබට. මම හැම පොතක්ම දෙපාරක් කියෙව්වා අවශ්‍ය කොටස් හඳුනා ගන්න. ඒ නිසා ඔබ හරි. අක්මටෝවා මම සෝවියට් දේශයේ සිටි නිසා ඒ කාලයේ සිටම දන්නා කිවිඳියක්. ප්ලැත් හඳුනාගත්තේ ලඟදි කිව්ව හැකි. මේකේ තියන බෙල් ජාර් පොත මං ළඟ තිබෙනවා. //මේ සටහන කියවෙනකොට හිතෙනවා සාහිත්‍ය කියන්නේ කතාවක් කියන එකට වඩා, සමාජයක් හෙළි කරන ක්‍රියාවක් කියල. ඒ වගේ කියවීමක් අපට අවශ්‍ය මොහොතක් මේ ගෙවී යමින් තියෙන්නෙ.// ඔබ සමග සීයට සියයක් එකඟයි
Deleteලංකාවේ සාහිත්‍ය ක්ෂේත්‍රයට විචාර කලාවේ අඩුවක් දැනෙනවා. පොත් කියවනවා වගේම ඒ ගැන ලියැවුන විචාර කියවන්නත් පාඨකයා කැමතියි.
ReplyDeleteඒක ඇත්ත . විචාර කලාව හොඳින් තිබ්බේ මහාචාර්ය ගම්ලත් ගේ කාලයේ කියල මම හිතන්නේ . මම නිතර ඔහුගේ විචාර කියවනවා , . ඊට පස්සේ අපට ලියන්න වෙලා තියෙන්නේ දන්නා හඳුනන අයගේ විතරයි . . ක්ෂේත්‍රය බෙදිලා තියෙන්නේ . මම හුඟක් වෙලාවට උත්සාහ කරනවා අතට හම්බවුනු කියවපු පොත් ගැන ලියන්න . නමුත් ඒක අමාරුයි . ඉන්දියාව , බ්‍රිතාන්‍ය වගේ රටවල් ගෙවීම් කරන්න ඕනේ විචාරයක් ලියා ගන්න . එහෙම තත්වයක් දැන් තියෙන්නේ .
Deleteඉතා අපුරුයි සටහන. මට කියවන්නට ටිකක් වෙලා ගියා. ඔබ සැම දෙනාගේම මේ පොත්පත් ගැන තිබෙන ගැනුම ගැන නම් ඉතා ආඩම්බරයි.
ReplyDeleteඒකනේ .පොත් ගුල්ලෝ ඉන්නේ. ආඩම්බරයි .
Deleteරුසියානු සාහිත්‍යය මම එච්චර පරිහරණය කරලා නැහැ. මේ පොත් මම කියවලා බලන්නම්..
ReplyDeleteඅපේ කාලයේ රුසියානු සාහිත්‍යය සෑහෙන්න ජනප්‍රියයි . දැන් එපමණ නැති වුනාට . හොඳ සම්භවය රුසියානු පොත් තිබෙනව. හැම පොතකම් හැමෝටම අල්ලන්නෙත් නැහැනේ . මම හුඟක් අය පොතක් ගැන කියල තියනවනම් ඒවා රැගෙන බලනවා .
Deleteමීගමුව යනු උතුම් ආර්ය ධර්මයන් බැහැරකල
ReplyDeleteමිත්‍යාදෘෂ්ඨි ගත්
සකලවිධ දුරාචාරයන්ට ආකරයක් වූ
ගැහැනු පවා මත්පැන් පානයකරන
අන්තිම අශීලාචාර පලාතකි
෴පියදාස සිරිසේන යන්
පියදාස සිරිසේන මහතාගේ ඒකාලේ ප්‍රසිද්ධයි ජයතිස්ස සහ රොසලින් , රහස් පරීක්ෂක කතා නිසා . දැන්නම් ඒවා කියවන්නත් බැහැ . ඊට වැඩිය ඩබ් ඒ සිල්වා මහත්මයාගේ පොත පත් දැනුත් කියවන්න පුළුවන් . අනික එයා කාන්තාවන් කෙරෙහි ද්වේෂයෙන් හිටපු කෙනෙක් misogynist. ඒ කාලයේ මිගමුව එහම නම් දැන් එයා උපන් ගම වන බෙන්තොටත් ඒ වගේ තමා
Deleteමට මේ වගේ පොත් වල තියෙන ගැටළු ගැන ඇත්තටම අවබෝධයක් නැහැ .. ඒක මගේ වරදක් ..අජිත් මේ වගේ පොත් කියවල මෙවැනි විචාර වන මහන්සිය මට හිතා ගන්නත් බැහැ .. ඒක සෑහෙන අගය කල යුතු දෙයක් ..
ReplyDeleteමම හැම මාසෙකටම එක පොතක් කියවනවා . ඒක ගැන හොඳ පෝස්ට් එකක් ලියන්න පුළුවන් .. මේ ලිවිල්ල තාම ඇඟට ආවේ නැහැනෙ මේ අවුරුද්දට හෙහ් හෙහ්
තිලින ගේ පොත් වල ගටල්යු ගැන මම ලියල නැහැ. මම ලියල තියෙන්නේ හොඳ තැන මොනවාද කියල , විශ්ව සාහිත්‍යයෙන් උපමා අරගෙන. මට මෙහෙම දේවල් කරන්න කරන්න අමුතු උත්තේජනයක් එනවා . ඒක විස්තර කරන්න අමාරුයි . ඔතන අන්නා අහ්මටෝවා මම සෝවියට් දේශයේ හිටි නිසා දන්නවා . සිමොන් ඩි බුවර් ස්ත්‍රී වාදිනියක් නිසා පොත් ටික මම ළඟ තියනව . සිල්වියා ගේ පොත් විතරයි අලුතින් කියෙව්වේ . ටෙස් ඔෆ් දුබර්විල් පොඩි කාලේ කියෙව්වා . මට සාමාන්‍යයන් හොන්ඩ මතකයක් තිබෙනවා
Deleteඅවාසනාවකට වගේ මට තිලිණාගේ පොත් කියවන්නට ලැබිලා නැහැ. ඒත් මේ සටහන කියෙව්වාට පස්සේ ඇගේ පොත් කියවන්න ආසාවක් ඇති වුණා. සොයා ගෙන කියවන්නම්. මේ සටහනට ස්තුතියි.
ReplyDeleteඔබට ස්තූතියි. මේවා පරණ පොත් . අසාධාරණයට ලක්වෙලා කියා සිතුනු නිසා මම මේක ලීවේ
Delete