Saturday, 20 June 2026

නාඳුනන ගැහැණියක ගේ සමනළ මරණයෙන් තිළිනාවෝ ගේ මධුසමය අහිමි වීම

සන්ධ්‍යාව (වේචර්)
"සන්ධ්‍යාව" 

තිළිණා වීරසිංහ ගේ කුඩා ග්‍රන්ථ කිහිපයට නිසි අවධානයක්  ලැබුනේ දැයි සැක සහිතය. මා ලියූ  "සියාමා" පොත හදිසියේ වැඩි වියට පත් දැරියකගේ හා ඒ දැරිය දෙමාපියන් නොමැතිව ලෝකයට තරුණියක සේ මුහුණ පානා ආකාරය පිලිබඳ සටහනකි .  තිළිණා ගේ පොත් කියවද්දී මට සිතුනේ අප දෙදෙනාම  එක හා සමාන ලෙස මේ ස්ත්‍රී අපයෝජනය, වධ හිංසා සහ අසාධාරණ හංවඩු ගැසීම් එකසේ හෙලා දකින බවයි .   

ශ්‍රී ලංකාවේ දේශීය සාහිත්‍යය ලෝක සාහිත්‍යයේ මහා ප්‍රවාහය සමඟ සම්බන්ධ කිරීම මා කරන්නේ මිනිස් ජීවිතයේ පොදු අත්දැකීම්, විශේෂයෙන්ම කාන්තාවන්ගේ අරගල, හදවත් බිඳීම් සහ ඔරොත්තු දීමේ හැකියාව ,  කෙතරම් ගැඹුරින් එකිනෙකට බැඳී ඇත්දැයි වටහා ගැනීමට එය කදිම පිවිසුමක් නිසාය . 

කාන්තාවන්ගේ අවදානම, පෙම්වතුන්ගේ පාවාදීම් සහ තමාගේම පෞද්ගලික විවාහ ජීවිතයේ කටුක අත්දැකීම් පිළිබඳව ඉතා අව්‍යාජ ලෙස ලියමින්, ශ්‍රී ලාංකේය ලේඛිකා තිළිණා වීරසිංහ සහෝදරිය  ගමන් කරන්නේ ඉතිහාසයේ ලොව සුප්‍රකට ස්ත්‍රීවාදී සහ යථාර්ථවාදී ලේඛිකාවන් විසින් සොයා මග හෙළි පෙහෙළි කල  මාවතකය.

ඇයගේ කෘති තුන හරහා දිවෙන තේමාත්මක සබඳතාවන් ලෝක සාහිත්‍යයේ විශිෂ්ට කෘතීන් සමඟ අලංකාර ලෙස මුසුවේ .  

මට මුලින් මතක් වුනේ සෝවියට් දේශයේ සිටි ශ්‍රේෂ්ඨ කිවිඳියක වන  ඇනා අක්මාටෝවා පිළිබඳවය. සිල්වියා ප්ලැත් හරහා පුරුෂාධිපත්‍යය හමුවේ කාන්තාවකගේ අභ්‍යන්තර මානසික ලෝකයේ සිදුවන යුද්ධය නිරූපණය වන්නේ නම්, ඇනා අක්මාටෝවා හරහා නිරූපණය වන්නේ පක්ෂ නොවන ඇතැමුන් ඇතැම් විටෙක කුරිරු ලෙසින් හඳුන්වන  ලද පාලනයක් හමුවේ සමස්ත කාන්තා ප්‍රජාවම මුහුණ දෙන දේශපාලනික සහ පොදු සමාජයීය ඛේදවාචකයයි.

තිළිණා ඇතැම් විටක  කතා රචනා කරන්නේ කාව්‍යයක් විලසින්ය .  සමහර විට කාව්‍යමය නොවන සංවාද ලෙසිනි .  මේ මිශ්‍ර ආකාරය සමහර විට කියවන්නාට හිසරදයක්ද වේ. එනිසා  ඔබ තිළිණා ගේ පොත් කියවිය යුත්තේ ඉවසිල්ලෙන්ය . 

අක්මාටෝවාගේ විශිෂ්ටතම කාව්‍ය නිර්මාණය වන රෙක්වියම්  (මළවුන් වෙනුවෙන් ගයන ගීය) සහ තිළිණා වීරසිංහයන්ගේ කෘතීන්,  විශේෂයෙන්ම නාඳුනන ගැහැනිය සහ පෞද්ගලික ජීවිතයේ කටුක බව කතා කරන මධුසමය අහිමි මංගල්‍යය  අතර , ගැඹුරු තේමාත්මක සමානකමක් පවතී.   උදාහරණයකට සිරගෙදර පෝලිමේ සිටි "නාඳුනන ගැහැනිය" ගන්න . අක්මාටෝවාගේ රෙක්වියම්  කාව්‍යයේ ප්‍රස්තාවනාව  කියවන විට එය හරියටම නාඳුනන ගැහැනිය යන තේමාවේ ලෝක සාහිත්‍යමය පූර්වාදර්ශයක් බඳුය.

සෝවියට් දේශයේ පාලකයාව සිටි ජෝසෆ්  ස්ටාලින්ගේ  කාලයේ වරදවා රජයට විරුද්ධ යයි සිතූ බුද්ධිමතුන්  ,  නිදහස් ලේඛකයන් ආදීන්  කෙරෙහි කිසියම්  මර්දනයක් දියත් වුනි. මෙම  මර්දන සමයේදී අක්මාටෝවාගේ එකම පුත්‍රයාව අත්අඩංගුවට ගන්නා ලදී. ඔහුව දැක ගැනීමට හෝ කෑම ටිකක් දීමට ඇය මාස දාහතක් තිස්සේ ලෙනින්ග්‍රෑඩ් සිරගෙදර ඉදිරිපිට අධික සීතලේ දිගු පෝලිම්වල බලා සිටියාය. දිනක්, සීතල නිසා තොල් නිල් පැහැ ගැන්වුණු තවත් එක් නන්නාදුනන කාන්තාවක් ඇයව හඳුනාගෙන, ඇය අසලට පැමිණ: "ඔබට පුළුවන්ද මේ වේදනාව විස්තර කරන්න?" යන්න රහසින් ඇසුවාය. අක්මාටෝවා ඊට පිළිතුරු දුන්නේ, "ඔව්, මට පුළුවන්" යනුවෙනි.

 ඒ මොහොතේදී අක්මාටෝවා, එම සිරගෙදර පෝලිමේ සිටි දහස් සංඛ්‍යාත, නමක් ගමක් නැති "නාඳුනන කාන්තාවන්ගේ" පොදු හඬ බවට පත් වූවාය.  අක්මාටෝවාගේ කාව්‍යයෙන් තර්ක කරන්නේ රජයක් හෝ සමාජය විසින් කාන්තාවකගේ දරුවෙකු, සැමියෙකු හෝ ඇගේ ජීවනෝපාය උදුරා ගත් විට ඇගේ පෞද්ගලික අනන්‍යතාවය අහිමි වන බවයි. ඇය පොදු වේදනාවකින් බැඳුණු, ජනකායක් අතර සිටින තවත් එක් නොපෙනෙන මුහුණක් පමණක් බවට පත්වෙයි. 

තිළිණා ගේ නාඳුනන ගැහැනිය කෘතියේ "මෙතන ඉන්න කවුරු හරි  මේ ගෑණිව අඳුනනවද?" යනුවෙන් ජේෂ්ඨ හමුදා නිලධරයා ප්‍රශ්න කරයි .  කිවෙකුත් පිළිතුරු දුන්නේ නැත . සිරුර වැඩිපුර කලුපාට නිසා දෙමළ ගැහැනියක් විය යුතුය. නාසයෙහි කුඩා කරබුවක් ඉතිරිව තිබුණි. මෙය වර්ණවාදී කතාවකි .  උතුරේ  සුදු පාට ගැහැණු ද සිටිති.  නමුත් මෙහිදී තිළිණා සමාජීය යථාර්තය ඒ අයුරින්ම  මුහුණට දමා ගසයි.   නාඳුනන ගැහැණිය අතවරයට පත් එකියක් විය හැකිය.  අක්මටෝවා ගේ මෙන් සැමියා හිරේ,  පුතා විමුක්ති කොටි පැහැරගෙන විය හැකිය.  නැත්නම් පුතා ආණ්ඩුවේ හිර ගෙදර සිටියදී ,  සැමියා අතුරුදහන් වූවා  විය හැකිය .  තිලිනා මේ සමාජ ඛේදවාචකය තම කෙටි කතාවෙන් උස්සා  පොළොවේ ගසන්නීය . 

තිළිණා වීරසිංහ ගේ කෘතිවල දුප්පත් මෙන්ම ධනවත් කාන්තාවන්ද පිරිමින්ගේ කුරිරුකම් හෝ අත්හැර දැමීම් නිසා පීඩාවට පත්වන ආකාරය ද   පන්ති භේදය අභිබවා ගිය පොදු වේදනාවද මැනැවින් සටහන්වේ . 

රෙක්වියම්  කාව්‍යය තුළින්ද සිදු කරන්නේ ඒ හා සමාන දෙයකි. එහිදී අක්මාටෝවා තමා ගැන ලියන්නේ ලෝක ප්‍රසිද්ධ, ප්‍රභූ ලේඛිකාවක ලෙස නොව, සාමාන්‍ය මවක ලෙසිනි. ඇය ගොවි කාන්තාවන්ගේ, සොල්දාදුවන්ගේ බිරින්දෑවරුන්ගේ සහ ඉහළ පන්තිවල කාන්තාවන්ගේ හඬවල් එකට මුසු කරයි. මහා ඛේදවාචකයක් හමුවේ ඔවුන්ගේ සමාජ තත්ත්වය හෝ ධනය සම්පූර්ණයෙන්ම දියවී යයි. පුරුෂාධිපත්‍යය හෝ ඒකාධිපති පාලනය කාන්තාවකගේ ධනවත්කම දෙස බලන්නේ නැත; වේදනාව පැමිණි විට, එය හැමෝටම එක හා සමානව දැනේ.

රෙක්වියම් කාව්‍යය  තුළ නිවස යනු තවදුරටත් ආරක්ෂිත නවාතැනක් නොවේ. එය මධ්‍යම රාත්‍රියේ රහස් පොලිසිය දොරට තට්ටු කරන භීෂණයේ ස්ථානයකි. ජීවිතයේ සාමාන්‍ය සන්ධිස්ථාන (විවාහ උත්සව, මධුසමයන් හෝ සාමකාමී පවුලේ රාත්‍රී භෝජන සංග්‍රහයන්) තමන්ට පාලනය කළ නොහැකි බාහිර බලවේගයන් විසින් උදුරා ගනු ලැබූ විට කාන්තාවක පත්වන අන්ත අසරණභාවය ඇය විස්තර කරයි.

ප්ලැත් සහ අක්මාටෝවා යන  ලේඛිකාවන් දෙදෙනාම වීරසිංහයන්ගේ තේමාවන්ට සමීප වුවද, ඔවුන් ඒ දෙස බලන්නේ එකිනෙකට වෙනස් කෝණයන්ගෙනි:

සිල්වියා ප්ලැත් බලන්නේ අභ්‍යන්තරය දෙසය. ඇගේ කාව්‍යයන් පවුල් ජීවිතයේ හුස්ම හිරකරවන සුලු ස්වභාවය සහ පෞද්ගලික මානසික පීඩනය නිසා ඇතුළාන්තයෙන් සිදුවන පිපිරීමක් බඳුය.

ඇනා අක්මාටෝවා බලන්නේ බාහිර සමාජය දෙසය. ඇගේ කාව්‍යයන් ඉතිහාසයේ සාක්ෂිකරුවෙකු බඳුය. ඇය තම පෞද්ගලික දිනපොත පීඩාවට පත් මිලියන සංඛ්‍යාත කාන්තාවන් වෙනුවෙන් ඉදි කළ ස්මාරකයක් බවට පත් කළාය.

තිළිණා වීරසිංහයන් තම පෞද්ගලික ජීවිතයෙන් උපුටා ගනිමින් කෘතීන් රචනා කිරීමේදී මේ දෙඅංශයම මනාව සමබර කරයි. ඇය තුළ ප්ලැත් සතු වූ අභ්‍යන්තර, අව්‍යාජ නිර්භීතකම පවතින අතරම, ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යුහය දෙස තම පෑන මෙහෙයවීම හරහා ඇය අක්මාටෝවා මෙන් තම සමාජයේ සහෝදරියන් වෙනුවෙන් සාක්ෂි දරන්නියක බවටද පත්වෙයි.

"නාඳුනන ගැහැනිය" පොතේ "පෙම්වතියකගේ රාත්‍රිය" වැනි කතා වලින් පෙන්නුම් කරන්නේ ස්ත්‍රී අනන්‍යතාවය විශ්වීය ලෙස අකාමකා දැමීමකි . විවිධ සමාජ පන්තිවල කාන්තාවන් පිරිමින් අතින් පීඩාවට පත්වීම සහ ආදරවන්තයින් විසින් ඔවුන්ව පහසුවෙන්ම අත්හැර දැමීම පිළිබඳව මෙම කෘතියෙන් කෙරෙන විග්‍රහය, ගෝලීය ස්ත්‍රීවාදී සාහිත්‍යයේ ප්‍රධාන තේමාවක් මනාව පිළිඹිබු කරයි. එනම්, සමාජය විසින් කාන්තාවකගේ ස්වාධීනත්වය උදුරා ගැනීම හරහා ඇයව "නාඳුනන" හෝ නොපෙනෙන කෙනෙකු බවට පත් කරන්නේ කෙසේද යන්නයි. මෙය ප්‍රකට ලේඛිකා වර්ජිනියා වුල්ෆ් ගේ සුප්‍රසිද්ධ ප්‍රකාශය වන "ඉතිහාසයේ බොහෝ කාලයක් පුරා 'නිර්නාමික' වූයේ ගැහැණියකි" යන්න දැඩි ලෙස සිහිපත් කරයි.

මම තිළිනාගේ පළමු පොත පිළිබඳ කරන ලද සටහනේදී   මා විසින් නොබෙල් ත්‍යාගලාභී නදින් ගෝර්ඩිමර් ගේ පොතක් උපමාවකට  ගැනීම තිළිනා ගේ සිතට ඇල්ලුවේ නැත .  ඇයව තවත් ලේඛිකාවකට සංසන්දනය කිරීම ගැන කැමැත්තක් නැති ඇය මට කීවාය. මා කළේ සංසන්දනය කිරීමක් නොව නදින් ගේ පොත් ඇසුරින් තිළිනා ගේ පොත විස්තර කිරීමයි . රටවල් දෙකක හෝ කිහිපයක එකම සිද්ධිය වෙනස් ආකාරයෙන් සිදුවන්නේ කෙසේද ?  ඒ මිනිස් ස්වභාවයද ?  

 තෝමස් හාඩිගේ ගේ  සම්භාව්‍ය නවකතාවක් වන Tess of the d'Urbervilles "දර්බවිල් හි ටෙස්" කෘතිය මේ සඳහා කදිම උදාහරණයකි. "නාඳුනන ගැහැනිය" කෘතියේ හා "සමනල මරණය" කෘතියේ  චරිත හා එක හා සමාන නොවුනත් , ටෙස් යනු ධනවත් මිනිසෙකුගේ අතවරයට ලක්වන, පසුව සමාජයේ පවතින ද්විත්ව ප්‍රමිතීන් නිසා තමා සැබවින්ම ආදරය කළ මිනිසා විසින්ම අත්හැර දමනු ලබන දුප්පත් ගැමි යුවතියකි. ඓතිහාසික එංගලන්තයේ හෝ වේවා, වත්මන් ශ්‍රී ලංකාවේ හෝ වේවා, සාහිත්‍යය නිරන්තරයෙන් මෙම හද කම්පා කරවන යථාර්ථය ප්‍රතිසංස්කරණය කරයි: කාන්තාවන්ට පද්ධතිමය හෝ ආර්ථික බලයක් නොමැති වූ විට, ඔවුන් බොහෝ විට පිරිමින්ගේ තාවකාලික අවශ්‍යතා වෙනුවෙන් පරිහරණය කර ඉවතලන වස්තූන් බවට පත්වන අතර, ඔවුන්ගේ පෞද්ගලික අනන්‍යතාවය පිරිමින් විසින් අකාමකා දමනු ලැබේ. ඇයගේ ප්‍රථම ග්‍රන්ථය මෙයට නිදසුනකි . 

"සමනල මරණය" බලාපොරොත්තුවල බිඳෙනසුලු බව සහ බිඳුණු පොරොන්දුවල කුරිරුකම ද යුද්ධය විසින් ජාතීන් කිහිපයකට උරුම කළ දුක කන්දරාවද  කැටිකර පෙන්වයි . මෙම කෘතියේ නමම ගැඹුරු කාව්‍යමය මෙන්ම ඛේදජනක ස්වරූපයක් ගනී. සමනලයෙකු යනු සුන්දරත්වය, පරිවර්තනය සහ නිදහසේ විශ්වීය සංකේතයකි. නමුත් උන් අතිශයින්ම බිඳෙනසුලුය. එවැනි සමනලයෙකුට "මරණයක්" අත්කර දීමෙන් සංකේතවත් කරන්නේ රළු පීතෘමූලික, පුරුෂාධිපත්‍යය සහිත ලෝකයක් විසින් කාන්තාවකගේ ජීව ගුණය, සිහින හෝ ජීවිතය කුඩුපට්ටම් කර දමන ආකාරයයි. "වැන්දඹුවකගේ සංවාදය " හා "රාජේශ්වරී මෙනෙවිය" ඒ සඳහා නිදසුන්ය .   

 තවත් කැපී පෙනෙන සමාන්තරයක් වන්නේ හෙන්රික් ඉබ්සන්ගේ A Doll's House (බෝනික්කාගේ ගෙදර) නාට්‍යයයි. එහි ප්‍රධාන චරිතය වන නෝරා , ඇගේ සැමියා විසින් සලකනු ලබන්නේ කූඩුවක සිටින බිඳෙනසුලු "කුරුල්ලෙකු" හෝ "සමනලයෙකු" ලෙසිනි. තමාගේ මුළු විවාහ ජීවිතයම සැමියාගේ පාලනය මත ගොඩනැඟුණු මායාවක් බව ඇය වටහා ගත් විට, ඇයට සැබෑ, ස්වාධීන මිනිසෙකු ලෙස ලෝකයට පිය නැඟීමට නම්, ඇය තුළ සිටි ඒ "සමනල" ස්වරූපය මිය යාමට හැරිය යුතු විය. සමනල මරණය කෘතියද, යථාර්ථයේ කුරිරුකම හමුවේ කාන්තාවකගේ අහිංසකත්වය සහ බලාපොරොත්තු බිඳ වැටෙන ඒ වේදනාකාරී සංක්‍රාන්තිය මනාව ග්‍රහණය කර ගනී.

වීරසිංහයන්ගේ මධුසමය අහිමි මංගල්‍යය කෘතියෙන් විවාහයක ඇති සුන්දර මිථ්‍යාව බිඳ දමා කටුක යථාර්ථය නිරූපණය කරන්නා සේම, අක්මාටෝවාද පවුල් ජීවිතය පිළිබඳ පවතින සාම්ප්‍රදායික රොමැන්ටික් ආකල්පය ගලවා දමයි.

 මධුසමය අහිමි මංගල්‍යය (A Marriage Without a Honeymoon) ස්වයං-චරිතාපදානයක් නම් එය  සත්‍යය ප්‍රකාශ කිරීමේ අභීතභාවය සඳහා වූ ත්‍යාගයට හිමිකම් ලබයි .  එහෙම ත්‍යාගයක් කිසිවෙකු දෙන්නේ නැත.  
මධුසමය අහිමි මංගල්‍යය සිල්වියා ප්ලැත්  ගේ ස්වයං චරිතාපදාන නවකතාවක් වන The Bell Jar (සීනුවක් වන බඳුන )  කෘතිය හෝ ඇයගේ දැඩි හැඟීම්බර කාව්‍ය නිර්මාණ සමඟ සෘජුවම තේමාත්මකව සමපාත වේ යැයි මට සිතේ. නිර්මාණශීලී, ජීව ගුණයෙන් පිරි කාන්තාවන් කෙරෙහි සමාජය පටවන අපේක්ෂාවන් නිසා ඔවුන් හුස්ම ගත නොහැකිව කොටු වී සිටින ආකාරය ප්ලැත් නිරන්තරයෙන් ලිව්වාය.

තම විවාහ ජීවිතයේ අසාර්ථකත්වය හෝ කටුක අත්දැකීම් ගැන ලිවීම විශාල  ධෛර්යයක් අවශ්‍ය වන කාර්යයකි. විශේෂයෙන්ම පවුලේ "ගෞරවය" නාමයෙන් විවාහයේ ගැටලු රහසක් ලෙස තබා ගැනීමට උත්සාහ කරන දකුණු ආසියාතික සංස්කෘතියක් තුළ මෙය වඩාත් කැපී පෙනේ. තමාගේම ජීවිතය සාහිත්‍යයක් බවට පත් කිරීමෙන්, තිලිනා  ලෝකයේ ප්‍රබල ස්ත්‍රීවාදී පාපොච්චාරණ සාහිත්‍ය සම්ප්‍රදාය සමඟ එක්වෙයි.

 මට සිතෙන්නේ මේ කෘතීන්  ප්‍රකට ප්‍රංශ ස්ත්‍රීවාදී දාර්ශනිකයෙකු සහ ලේඛිකාවක වන සිමොන් ඩි බුවාර්  (Simone de Beauvoir) ගේ කෘති මෙන්ම, එලේනා ෆෙරන්ටේ ගේ ගැඹුරු පෞද්ගලික නවකතා (උදාහරණයක් ලෙස ගතහොත් The Days of Abandonment-අත්හැර දැමීමේ දින ) සමඟ මනාව ගැලපේ. ෆෙරන්ටේගේ කෘති, විවාහයක් බිඳ වැටීමේදී ඇතිවන මානසික කැලඹීම කිසිදු ලෙසකින් ආදරණීයකරණය නොකර, එහි ඇති රළු සහ බියකරු සත්‍යය එලෙසින්ම මතු කර පෙන්වයි. The Woman Destroyed (විනාශ වූ ගැහැණිය )  යනු ප්‍රංශ පැවැත්මවාදී (existentialist) ලේඛිකා සීමොන් ඩි බුවාර් විසින් 1967 දී ප්‍රකාශයට පත් කරන ලද, කෙටිකතා තුනකින් සමන්විත ප්‍රබල කෘතියකි. මෙම කෙටිකතා ත්‍රිත්වය කාන්තාවන් තම සාම්ප්‍රදායික ගෘහස්ත භූමිකාවන්ගෙන් බැහැර වන විට මුහුණ දෙන පැවැත්ම පිළිබඳ අර්බුද (existential crises), වයස්ගත වීම සහ අනන්‍යතාවය අහිමි වීම වැනි කරුණු ගවේෂණය කරයි. ඩි බුවාර් මෙම ආඛ්‍යානයන් භාවිතා කරන්නේ මිනිස් මනසේ ගැඹුරින් මුල් බැසගත් හැඟීම්බර සත්‍යයන් පරීක්ෂා කිරීමටය, එහිදී ඇය විශේෂයෙන් අවධානය යොමු කරන්නේ පැවැත්ම පිළිබඳ අර්බුදය, එනම්  කාන්තාවන් බිරිඳක් සහ මවක් යන භූමිකාවන් අධික ලෙස වැළඳ ගැනීම තුළින් ඔවුන්ගේ පෞද්ගලික අනන්‍යතාවය අහිමි කර ගන්නා ආකාරය, වයස්ගත වීම සහ අවදානම,  තාරුණ්‍යය සහ ආශාවන් ක්ෂය වී යාමත් සමඟ, වයස්ගත කාන්තාවන්ට සමාජයෙන් එල්ල වන කටුක සහ බොහෝ විට අනුකම්පාවකින් තොර සැලකීම ආදියයි. සමහර විට ප්‍රංශ සාහිත්‍ය තුල තිළිණා ගේ ග්‍රන්ථ ත්‍රිත්වයට වඩා වැඩි අවධානයක් යොමුවන්නට තිබුණි .  


ලෝක සාහිත්‍යය තුළ, "මධුසමය අහිමි මංගල්‍යයක්" යනු විවාහය පිළිබඳ පවතින රොමැන්ටික් මිථ්‍යාව බිඳ වැටීමේ කදිම සංකේතයකි. එය ෂාලට් බ්‍රොන්ටී ගේ   "ජේන් අයර්" නවකතාවද  සිහිපත් කරයි; එහිදී විවාහ මංගල්‍යයකින් අපේක්ෂා කරන සතුට, සැඟවුණු අඳුරු සත්‍යයන් හෙළිදරව් වීමත් සමඟ ක්ෂණිකව සුනුවිසුනු වී යයි. තිළිණා වීරසිංහ  ඇගේ පෞද්ගලික සත්‍යය සමාජය සමඟ බෙදා ගැනීම හරහා, ඇය තම කතාව හුදෙක් පෞද්ගලික දුක්ගැනවිල්ලකින් ඔබ්බට ගෙන ගොස් දේශපාලනික ප්‍රකාශනයක් බවට පත් කරයි. එමඟින් ඇය, මෙවැනි පෞද්ගලික වේදනාවන්ගෙන් පීඩා විඳින්නේ තමන් පමණක් නොවන බව අනෙකුත් පාඨක කාන්තාවන්ටද පසක් කර දෙයි.

තිළිණා වීරසිංහයන්ගේ හඬ සුවිශේෂී වන්නේ ඇය කාන්තාවන්ගේ වේදනාව පන්ති භේදයකට කොටු කිරීමට ප්‍රතික්ෂේප කරන බැවිනි. අතවර සහ අත්හැර දැමීම් "දුප්පත්" මෙන්ම "පොහොසත්" කාන්තාවන්ටද පොදුවේ බලපාන බව පෙන්වා දීමෙන්, ඇය ඔප්පු කරන්නේ පීතෘමූලික සමාජ ක්‍රමය තුළ පීඩනය සැමට පොදු බවයි. ඇයගේ කෘතීන්හි භාෂාව සහ පසුබිම අනන්‍ය ලෙස ශ්‍රී ලාංකේය වුවද, ස්ත්‍රී ගෞරවය, අනන්‍යතාවය සහ මානසික සුවය උදෙසා ඇය නඟන හඬ සම්පූර්ණයෙන්ම විශ්වීය එකකි. පීතෘමූලික අපේක්ෂාවන් විසින් කාන්තාවන් මත සමාජය විසින් පටවනු ලබන සුවිශේෂී පීඩනයන්, මඟින් ඔවුන්ව අත්හැර දැමීම් සහ පාවාදීම් හමුවේ දැඩි ලෙස අසරණ තත්ත්වයට පත් කරයි.

ශ්‍රී ලංකාවේ මේ දිනවල ළාබාල දැරිවියන් සහ ස්ත්‍රී අපයෝජන සිද්ධීන් පිලිබඳ බොහෝ සාකච්ඡා ඇතිවේ. ඉන් එක කරුණක් සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයකදී  එක් මන්ත්‍රීවරියක්  රජයට අනුබද්ධිත ආයතනයක නීති අධ්‍යක්ෂකවරියක්ව  අනවශ්‍ය ලෙස ප්‍රශ්න වලට බඳුන් කරන  ලදැයි ඝෝෂාවක් ඇත .  ඇය එසේ කෙරුවායයි  මොහොතකට සිතමු.  ප්‍රශ්නය වන්නේ ඇයට එරෙහිව,  දැරිය වෙනුවෙන් යයි පෙනී සිටිනවා යයි පවසන  බොහෝ දෙනා විසින් කරන වාචික අපයෝජනයයි.  එය  ඉතා බැරෑරුම්ය. ඇගේ රූපය, ඇගේ කථිකත්වය අපහාසයට පත් කරමින්  සතුන්ගේ නම ,  වැසිකිලි නම් භාවිත කරමින් ඇයට නින්දා කරති. දැරිය මෙන්ම ඇයද මේ පුරුෂ මූලික සමාජයේ ගොදුරු බවට පත් වී ඇත. විවේචනය එකකි .  අපහාසය තව එකකි .  එසේම මේ අපහාස  කරන  අයගේ වර්ගයාම තම ආගමිකත්වය පෙරට දමා ආගමික සංස්ථාව බේරාගන්නට එන්නෝ ද වෙති.  සමහරු ඊට පෙර දැරිය ගැන වචනයක් හෝ කතා කල අය නොවෙති .       

තිළිණා ගේ පොත් වල අඩුව ලෙස මම දකින්නේ මෙන්න මේ තත්වය ඇයට මග හැරී  යාමය. ඇගේ පළමු ග්‍රන්ථය වන 'ආදරණීය දෙවියන් වහන්සේ '  පොතෙහි ගැහැණියක් තවත් ගැහැණියක ගේ ප්‍රශ්නය තේරුම් නොගත් බවක් පෙන්වයි .  ඉහත කී  දැරියගේ සිද්ධියේදී දැරිය ගේ මවද අපයෝජකයන් ට උදව් දීමක් වාර්තා වේ. සමහර  ගැහැණු තමන් අභිබවා යන පිරිමි චරිතයට වඩා ගැහැණු චරිතයට එක්කෝ ඊර්ෂ්‍යා කරති .  නැතිනම් පිරිමි සමග එක්ව අපහාස  කරති .  එනිසා තිළිණා ගේ පොත් ස්ත්‍රීවාදී සෙයක් පෙන්නුම් කළද තිළිණා ඒ පිලීබඳව දක්වන උදාසීන උකටලී භාවයද හඟවයි . 
 
ඇගේ "මෙහෙකරුවා සමග කල සෙල්ලම ' කෙටි කතාව මට සිහිපත් කලේ ධර්මසිරි බණ්ඩාරණායක ගේ "තුන් වෙනි යාමය" චිත්‍රපටයයි . දෙමාපියන්ට මෙන්ම ළමයින්ටද ලිංගික අධ්‍යාපනය අවශ්‍ය වන්නේ ළමුන් ක්‍රමයෙන් වැඩි වියට පත් වන්නේ කෙසේද යන්න වඩා හොඳින් වටහා ගැනීම සඳහාය. 

ඇගේ පොත් වල නිසඳැස් ද බහුලය .  විටෙක කෙටි කතාව තව විටෙක කාව්‍යයකි .  

'අඳුරටත් අහසටත් මම කොතරම් ඇලුම් කරමිද ..?
එහෙත් ,  ඒ  සියල්ලට වඩා අද   
මම ඔබට ආදරය කරමි . 
දිගුම දිගු රාත්‍රියට පසුවද 
ඔබේ උණුසුමින් 
මගේ හදවත නිදි බරය .." පි 33 "නාඳුනන ගැහැණිය" 

සමහර විටෙක විවේචනය තියුණුය.  නමුත් ඇත්ත කියන්නටද බිම ඉඳ ගන්නටද බිය විය යුතු නැත යයි කියමනක් තිබේ .  
"තාත්තා හිතන්නේ අම්මයි  තාත්තයි උගනන්පු දේවල් වත් හරියට ඉගෙන ගත්තේ නැති නිසා මං විශ්ව විද්‍යාලේදීවත් ඔහේ උඩ  බලන් ඉන්න  ඇති කියලයි .  විශ්ව විද්‍යාලයේ ගිහින් උඩ  බලන් හිටියත් එහෙ මෙහෙ බල බල හිටියත් නිකම්ම හිටියත් උපාධිය දෙනවා . ඇයි විශ්ව  විද්‍යාලේ උගන්නන අයත් වැඩි දෙනෙක් ඔහේ උඩ බිම බලන් නිකන් ඉන්න අයනේ . " පි 45 - සමනල මරණය 

සමනල මරණය කතාව මියගිය යුද සෙබළෙකු ගැනය .  අප දන්නේ රණවිරුවන් හා ඔවුන්ව දේශපාලන වේදිකාවේ හා සමාජ මාධ්‍යව වල විකුණන් උන් ගැන පමණකි .  සැබෑ වීරයන් අඩි හයක් යටය .  
"මිය ඇදුණවුන් කිනම් කඳවුරකට අයත්දැයි සෙවීමට ඔවුන්ගේ ලේ සෝදා පිරිසිදු කිරීමට අවශ්‍ය විය . " පි 57 

සොල්දාදුවගේ මරණය මෙන්ම ඔහු ගේ අහිමි වීම තුල වැළපෙන තරුණ බිරිඳ ගැන කතා කෙරෙන්නේ අඩුවෙනි. 
"ඇය ඔහු විවාහකරගෙන සුළු කාලයකි . 

සීතල දුරුත්තේදී  ඔහු හා එක්වූ ඇය 
සිතල උඳුවප් මහේදී ඔහුගෙන් වෙන් වූවාය.   

ඔතන ලද සිංහ කොඩිය සමඟ ඔහුගේ හමුදා ආයිත්තම් ඇය වෙත පිරිනමන මොහොතේ ඇය ඒ දෙස නොබලා කොඳුරන්නට පටන් ගත්තාය.

"මං ආවේ ජිවත් වෙන්න. එයත් එක්ක  ජිවත් වෙන්න .  එයා මාව  එක්ක ආවේ ජීවත් වෙන්න .  එයා රස්සාව කෙරුවේ ජීවත් වෙන්න  ඒත් එයා . .."
පි 64 සමනල මරණය 

අපේ  හද වේදනාවෙන් පිරී  යන්නේ මේ සත්‍යයම  වූ යථාර්තය  බැවිනි .  මේ යුද්ධයේ  එක පැත්තක් පමණකි .  අපි හොඳින්  හිටියද ඔවුන් සිටියේ ද සිටින්නේද  දුකෙන් පීඩිතවය. යුද්ධයම  සොයනා කෙනෙකුට එය වැටහෙන්නේ  නැති බව  අදද ලෝකය දෙස බලන විට පෙනේ .   

මා සිමොන් ඩි බොවුවාර් ගැන ඉහත ලීවේ අහම්බයකින් නොවේ .  

සිමොන් ඩි බොවුවාර් ගේ ' ද  බ්ලඩ් බ්‍රදර්ස්' නමැති කෘතියේ රිවර්තනයට තිලිනා කැමති බව  "මධු සමය අහිමි මංගල්‍යය "  පොතේ සඳහන්ය .  
"ඔයා දන්නවද ස්ත්‍රීවාදීන් සිමොන්ව විවේචනය කරනවා  එයා සාත්‍රගෙ  (ෂෝන් පෝල් සාත්‍ර) හෙවනැල්ල උනා කියල .  "සෙකන්ඩ් සෙක්ස්"කියන පොතින් ස්ත්‍රීන් ගේ අයිතීන් ගැන කතා කරන සිමොන්ගේ "ප්‍රයිම් ඔෆ් ලයිෆ්" කියන පොතේ සාත්‍රගෙන් වෙන් වෙච්ච  අනන්‍යතාවයක් නැතිලු . " පි 46

සිමොන් ඩි බුවාර් ගේ චරිත කතාව ලෙස සැලකෙන 'ද ඉන්සෙපරබල්ස් - වෙන් කළ නොහැකි ' නම් ග්‍රන්ථයේ  අග්‍රේගට්සියොන් agrégation නම් විභාගයේ දී සිමෝන් ඩි බුවාර් ෂෝන් පෝල් සාත්‍රේ ට සම  ලකුණු ගත්  බවත් ජූරිය (විභාග කොමිසම ) ගැහැණියකට පළමු තැන දීම  නුසුදුසු සහ ප්‍රශ්න ඇති කරන්නක් බවට තීරණය කල බවත් ගැන රාවයක් පවතින  බව  සඳහන් වේ .    

 අපට ලංකාවේ පහල වන්නට සිටි සිමොන් ඩි බොවුවාර් අහිමි වූවා වත්ද  තිළිනා?

මා  කැමති වදන් පෙළක් මෙහි තිබේ . 

"මගේ ආදරය 
වෙළඳපලක් නැති 
නිෂ්පාදනයකි "  පි .  53

"මධු සමය අහිමි මංගල්‍යයේ" මෙසේද ඇත.

"දැන් බලන්න මේ විප්ලවවාදී නායකයන් එංගලන්තයේ හරි අමෙරිකාවේ හරි ජීවත් වෙන්නෙත් අපි වෙනුවෙන් ආරක්ෂා වෙන්නනේ .  ඒ ගොල්ල අදිසි බලවේග වගේ ඉඳලා හිටලා මවුබිමට ඇවිත් ජනතාව අමතනවා .  පහළ පන්තියේ අයට ඒ කියන්නේ ගොවියන්ට කම්කරුවන්ට ..ඔය දේශපාලන න්‍යාය ..උපාය .. ගැන ඒ තරම් දැනුමක් නැහැනේ . .."පි .  66 

මේ ලියන්නේ ලංකාවට වනි පළමු වතාවෙම පැය ගණනක් කතා කල 'සහෝදරයා '  ගැන විය යුතුය . 

පළමුවෙනි කාරණය  නම් තිළිනා ට අමතකව ඇත්තේ ලෙනින් , මාක්ස් ආදී දේශපාලන  නායකයන්ද එංගලන්තය, ජර්මනිය , ස්විට්සර්ලන්තය  වැනි රටවල් වල දේශපාලන   රැකවරණ ලැබ විසූ බවයි. අවාසනාවකට ශ්‍රී ලංකාවේ එවකට පැවති  තත්වයන් අනුව සමහරුන්ට රටින් පිට වෙන්නට සිදුවීම ඔවුන්ගේම වැරැද්දක් නොවේ . දෙවෙනි කරුණ නම් පෙරටුගාමී (vangaurd) පක්ෂයක  කේඩරය කම්කරුවන්ට  දැනුම රැගෙන යා  යුතු බවට ලෙනින් තුන්වෙනි කොන්ග්‍රසයේ දී කළ කතාවද ඇයට අමතකව ඇත. ඔවුන්ට දැනුම අහසින් වැටෙන්නේ නැති අතර එසේ නැතහොත් ඔවුන් වෘත්තීය සමිති ජිවිතයකට බැඳෙන බවද ඔහු පවසා ඇත. 
  
    මේ ස්ත්‍රීවාදී කතිකාවට ඇත්තටම දේශපාලන භේදයක් හෝ පන්ති භේදයක් නැත .  ශ්‍රී ලංකාවේ දේශපාලනික ශිෂ්‍ය සංවිධානය වන අන්තර්විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අතීතයේ සිටම කාන්තා  සිසුන්ට වෙන අපයෝජන , කරදර අභියස බොහෝ විට ඔවුන් වෙනුවෙන් පෙනී සිට නැත. ඔවුන්ගේ උප සංස්කෘතියද ඇඳුම් පැළඳුම් වලට නීති පනවන තරමට ගතානුගතිකය.

   එසේම ධනපති පන්තියේ හෝ නිර්ධන පන්තියේ කියා වෙනසක් ද නොමැත .  නිර්ධන  පන්ති නිවසක කාන්තාව සමහර විට කුසගින්නේ පවා වැඩියෙන් වැඩ කරද්දී ධනපති පවුලක ගෘහස්ත  හිංසනයන් සිදුවිය හැක . එසේම මොන ආගමික සංස්ථාවද කියා වෙනසක් ද නැත. වර්තමානයේ පවා ඒ ගැන මාධ්‍ය වල පළවේ.   ආගමික සංස්ථා  සියල්ලක් ම පාහේ ස්ත්‍රී හිංසනයන්  හෝ අපයෝජනයන් සම්බන්ධයෙන් චෝදනා ලබා ඇත .  දියුණු රටවල් කියාද  වෙනසක්  නැත. නිතිය නොදියුණු වඩා දුප්පත් රටක හිංසන වැඩි විය හැකි වුවද පොහොසත් රටවල්ද ඒ ආකාරයෙන්ම හිංසන පවතී .  නැතිනම්  ඒ සඳහා විශේෂ නියමයන් පනවන්නට හේතුවක්  නැත.

 දක්ෂිණාංශික හෝ වාමාංශික කියා භේදයක්ද නොමැත .  මේ දෙපසින්ම එක හා සමාන ප්‍රශ්න තිබෙන අතර ලිංගිකත්ව අතර සමානතාවය පිලි ගත්තද ක්‍රියාත්මක කිරීමේදී දෙගොල්ලම අතරේ   වෙනසක් නැත. වාමන්ශිකයන් වඩා හොඳ යයි පිලි ගැනීමක් තිබුනද සම විටම එය ම එසේ නොවේ. ඔවුහු  බොහෝ විට තමන් පැත්තෙන් සිදුවන දේවල් 'පවුලේ දෙයක් '  ලෙස සඟවා පක්ෂ නායකත්වය වැසුනු දොරවල් තුල  විසඳන්නට උත්සාහ ගනිති.  එංගලන්තයේ ප්‍රසිද්ධ වාමාංශික පක්ෂයක සිදුවීම් කිහිපයක් ඇතුලේ සඟවා ගැනීම ගැන ඇතිවුන කලබලයක් මට මතකය.  සමහර ගත්  කතුවරුන්,  වෙබ් කතෘවරුන් , කලාකරුවන් අතරින්ද , ලෝකයට එක මුහුණක් පෙන්වා  නිවසේ  යක්ෂයන් ඒ හැසිරෙන්නවුන් පිලිබඳ කතා මම දනිමි .     

දැනට ලෝකයේ පවතින දක්ෂිණාංශික නැඹුරුව අතරේ ස්ත්‍රීවාදී කතිකාවට දැඩි ප්‍රහාරයක් එල්ල වේ . බ්‍රිතාන්‍යයේ  නයිජල් ෆරාජ් ගේ රිෆෝම් නමැති දක්ෂිණාංශික පක්ෂය,  ගැහැණු ළමුන්ට වෙනත්  සංක්‍රමණික ජාතිකයන් ගෙන් වන  හිංසා ගැන උලුප්පා කතා කලද (එසේ වන බව සැබෑය) ඔහුගේ පක්ෂයේ මෙන්ම අලුතින් පිහිටුවන ලද රෙස්ටෝ පක්ෂයේද සාමාජිකයන් දේශපාලනයේ හා වෙනත් ක්ෂේත්‍ර වල  ප්‍රසිද්ධ කාන්තාවන්ට  අවඥා සහගතව හා පිළිකුල් සහගත ත ලෙස පරිභව කරන වීඩියෝ  හා සමාජ ජලා ප්‍රතිචාර බොහොමයක් හෙළි දරව් වෙමින් පවතී.   

ඒ නිසා අපට ඉතිරිවන්නේ පක්ෂ හෝ දේශපාලන  භේදයකින් තොරව එක හා සමාන අවස්ථාවන් දෙපක්ෂයටම උරුම කර දීමටත් ස්ත්‍රී පුරුෂ සමානත්වය රැකීමත් හිංසනයෙන් හා  අපයෝජනයෙන් තොර සාමකාමී ජිවිතයක්  ගත කිරීමේ අයිතියත්  තහවුරු කිරීමය. ඒ සඳහා දිගින් දිගටම් කටයුතු කිරීමය. 

තිළිනා වැනි ලේඛක ලේඛිකාවන් ගේ පොත් වලට සම්මාන නොලැබුනද , පිළිගැනීම අඩු වුනද අප උකටලී විය යුතු නැත.
 


තවත් සටන් කරන්නට ,  ලියන්නට තිළිනා ට ධෛර්ය පතමි . 

සැ.යු - මුල් පින්තූරය යෙව්ගෙනි ලන්සර් ගේ  "සන්ධ්‍යාව" (1912) නමැති සිතුවමයි .  එය අක්මටෝවා ගේ කාව්‍ය අඩංගු  පොතකින් ඡායාරූප ගත කෙළෙමි .   

මූලාශ්‍ර:
The Inseparables ,The Women Destroyed- Simone De Beauvoir
The Complete poems of Anna Akhmatova  - Judith Hemschemeyer
The Bell Jar - Sylvia Plath
The Days of Abandonement - Elena Ferrante 
තෝරාගත් කෘති - ලෙනින් (මාක්ස්වාදී ලේඛන ගබඩාව )  

-අජිත් ධර්ම (කොළඹ ගමයා )  20/06/2026

No comments:

Post a Comment

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .