Tuesday, 26 July 2016

නිදහස් අධ්‍යාපනය හා පෞද්ගලික විශ්ව විද්‍යාල - 3 කෝබින් සහ යුරෝපය



නිදහස් අධ්‍යාපනය හා පෞද්ගලික විශ්ව විද්‍යාල - 1 - වැස්සට තෙමෙන උන්

නිදහස් අධ්‍යාපනය හා පෞද්ගලික විශ්ව විද්‍යාල - 2 - සයිටම් යනු රෝග ලක්ෂණයකි.

බ්ලොගය කියවන මගේ යහළුවකු පසුගියදා අපූරු පැනයක් ඇසුවේය.

 "ඔයා මහා පුදුම මනුස්සයෙක්නේ. මෙහෙ කෝබින් ට සපෝර්ට් කරන ගමන් ලංකාවේ නිදහස් අධ්‍යාපනය එපා කියනවා "

මේ ප්‍රශ්නය ඇසුණු විට මට හැඟුණු එක දෙයක් නම් මේ මිනිසුන්  තමන්ගේ පොල්කට්ට අස්සේ කොපමණ සිරවී සිටින්නේද යන්නය. මගේ ඉහත ලිපි දෙකේම නිදහස් අධ්‍යාපනය එපා කියා ලියා නැත. ඔහුගේ අදහස මා පෞද්ගලික අධ්‍යාපනයට සම්පුර්ණයෙන්ම සහයෝගය දෙන බවයි. එවැනි අයද සිටිති. ඒ ඔවුන්ගේ අදහසයි. මගේ අදහස නම් කිසියම් ලක්ෂ 120 වැනි අති  විශාල මුදලක් නොව අඩු ගණනක (වසරකට රුපියල් ලක්ෂ 6-7 වැනි) අයකර  රජයේ ද සහයෙන් පීඨ ඇති කිරීමට හා අපොස උ.පෙ.   සමත් එහෙත් මුල් කොටසට  හසු නොවන සිසුන්ට  ණය ක්‍රමයට ඉගෙනීම ලබා  දීමට ය. නිදහස් අධ්‍යාපනය එසේම පවත්වා ගෙන යන්නටය. බොහෝ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රටවල මේ ක්‍රමය ක්‍රියාත්මක කෙරේ.

ජර්මනියේ උසස් අධ්‍යාපනය  නොමිලේය. නාමික යුරෝ 500 ක මුදලක් ගන්නා  නමුදු සියලු පහසුකම් හා දේශන නොමිලේය. එවැනි රාජ්‍ය  විශ්ව විද්‍යාල ගණන 380කි. මේ 380න්  25 පමණ විදේශ සිසුන්ටද නොමිලේ අධ්‍යාපනය දෙයි. නමුත් ජර්මනියේ පෞද්ගලික විශ්ව විද්‍යාල 86 තිබේ. කැමති අයට මුදල් ගෙවා ඒවායේ ඉගෙනීම කල හැකිය.  ඊට අමතරව රජය විසින් ණය  ලබා දෙන පුහුණු තාක්ෂණික පාඨමාලා තිබේ. ස්වීඩනයේ ද කොලේජ් අධ්‍යාපනය හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේය. නමුත් පෞද්ගලික විශ්ව විද්‍යාල 3 ක් හා කොලේජ කිහිපයක් තිබේ.

සම්පුර්යෙණන්ම නිදහස් අධ්‍යාපනය ඇත්තේ ෆින්ලන්තයේය. එහි ජනතාව  මිලියන 5 වන අතර සම්පුර්ණ අධ්‍යාපනය පමණක් නොව නොමිලේ දහවල් ආහාරයද රජයෙනි. ඔවුන් පවසන්නේ තමන් සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී බවය.   මේවා නඩත්තුවට 6% සිට 31% දක්වා අදායම අනුව බදු අය කරනු ලැබේ. වංචා දුෂණ නොමැතිව ඒ බදු මුදල් නැවත අධ්‍යාපනය, සෞඛ්‍ය  සේවා ආදියට  යෙදවෙයි.

දැන් අපි කෝබින්  ව සාකච්චා කරමු. ඔහු සමාජ ප්‍රජාතන්ත්‍රවාදියෙකි. ඔහු වරක් තමන්ව හැඳින්වුයේ පශ්චාත් මාක්ස්වාදියෙකු ලෙසය.  බ්ලෙයාර් මුදල් අය කර ගැනීමේ  (tuition fees) ක්‍රමය රැගෙන ආ විට ඔහු ඊට විරුද්ධ වුනු අතර ඒ පිරිසේ මම ද සිටියෙමි. හේතුව
අප හැමෝම අදායමෙන් ඉතා විශාල ප්‍රමාණයක් බදු ගෙවන අතර අධ්‍යාපනය නොමිලයේ ලබා දීමට බ්‍රිතාන්‍ය රජයට හැකියාව තිබීමයි. කෝබින්ගේ තර්කය වුනේ ඉරාකයේ යුද කිරීමට මුදල් තිබේ නම් අධ්‍යාපනය දීමටද මුදල් තිබිය යුතු බවයි. පෞද්ගලික විශ්ව විද්‍යාල කොහොමත් තිබෙන නිසා මෙන්ම සුදු ජාතික වැඩ කරන ජනතාවගේ පිරිමි ළමුන් ඉතා අඩු වශයෙන් විශ්ව විද්‍යාලයට යන   නිසාත්  ඔහු මෙවැනි යෝජනාවක් ගෙනාවේය. එසේම ඔහු ජර්මන් ක්‍රමයට අධ්‍යාපනය සැකසීමට යෝජනා කරයි. එය සාධාරණ තර්කයකි.  එසේම අවශ්‍ය අයට පෞද්ගලික ව ඉගෙනිමටද හැකි අතර ඒ සඳහා ණය පහසුකම්ද පවතී.

ඊළඟ වැදගත්ම කරණය නම් මේ මිනිසා අවංක, ප්‍රතිපත්ති ගරුක නායකයෙකු වීමයි.

බ්‍රිතාන්‍යයේ ග්‍රැමර් විදුහල් කියා වර්ගයක් තිබේ. (රාජකීය, ආනන්ද, නාලන්ද, විශාඛා, දේවී බාලිකා වැනි). මේ විදුහල් හැම දිස්ත්‍රික්කයකමපාහේ  තිබේ. වැඩිපුරම තිබෙන්නේ ලන්ඩනයේය. එසේම   ඊටන් වැනි පුද්ගලික විදුහල් ද තිබේ. (මේවා ලංකාවේ  සෙන්ට් තෝමස් වැනි  හා ජාත්‍යන්තර පාසල් වැනිය). මේවායේ ඉගැන්වීම ද  හොඳය . කතෝලික පාසල් හා ඇන්ග්ලිකන් පල්ලියේ පාසල් තිබේ. එසේම  කොම්ප්‍රහෙන්සිව්
කියා පාසැල්  ජාතියක් තිබේ.  ඒවා මධ්‍ය  මහා විද්‍යාල වැනිය. හැම ජාතියේම ළමයි සිටී. ඊළඟට ඇත්තේ කුඩා රජයේ පාසැල්ය.  කතෝලික හා ඇන්ග්ලිකන් පල්ලියේ පාසල් වලට රජයෙන් ආධාර දෙනු ලබන අතර ඉගෙනිමද හොඳය.

ග්‍රැමර් විදුහල් වලට යාමට තරඟ විභාගයක් තිබේ.  එවකට කම්කරු පක්ෂ නායක ටෝනි බ්ලෙයාර් තම දරුවන් යැව්වේ ඒවාටය. දැන් කෝබින්ට විරුද්ධ හැරියට් හාමන් නමැත්තිය තම දරුවන්  යැව්වේද ඒවාටය.  කොබින් මේවා ට තදින් විරුද්ධය. ළමුන්ට මිශ්‍ර අධ්‍යාපනයක් දීම වැදගත් යයි ඔහු සිතයි. ඔහුගේ පුතා ග්‍රැමර් විදුහලේ තරඟ  විභාගයට යැවීමට ඔහු විරුද්ධ විය.  එනිසා ඔහුත් පළමු බිරිඳත් අතර විවාහය 1999 දී බිඳ  වැටිණි. විවාහය බිඳ වැටෙන්නට හැරියා මිස ඔහු තම ප්‍රතිපත්තිය පාවා දුන්නේ නැත.  ඒ විස්තරය මෙහි ඇත.

දැන් මෙහි ඉන්න ලාංකික  දෙමළ ජනතාව  ගැන බලමු,  ඔවුන් මේ රටේ පදිංචියට පැමිණි පසු ග්‍රැමර් විදුහල් වල තරඟ වලට ළමයින් ටියුෂන් යවා සුදානම් කළහ. යුදෙව් ජාතිකයන්ද තරමක් දුරට මේ ක්‍රමය අනුගමනය කරති. වැඩිදුර අධ්‍යාපනයක් නැති අය බොහොමයක් කඩවල ආදියේ වැඩ කරමින් දුකසේ උපයන මුදල් දරුවන්ගේ ටියුෂන් වලටත් කොටි සංවිධානයටත් වැය කලෝය. සිංහල උදවියද මේ ක්‍රමයම අල්ලා ගත්තේය. මේ දුටු ඉන්දියානුන් , බංග්ලාදේශ,  පකිස්තානු , අප්‍රිකන් වැසියන් සියල්ල ටියුෂන්  සරණ යාම පටන් ගති. අලුතින්ම එකතු වී ඇත්තේ චින්නුය. චීන්නුන් අන්තිම තරඟකාරීය. සමහරු ළමයින්ව නැගිට්ටවන්නේ උදේ 3.00 ටය.

මුලදී සුදු ජාතිකයන් මේ විකාරය ප්‍රතික්ෂේප කළහ.  ඔවුන්  විශ්වාස කරන්නේ ස්වභාවික දක්ෂතාවයටය. (natural talent) නමුත් තමන්ගේ ළමයි ටියුෂන් නිසා පසුබෑමට ලක්වෙන බව දුටු ඔවුන් ද ටියුෂන් දෙන්නට පටන් ගති. මෙතෙක්  කල් නොමිළයේ හොඳින් ඉගැන්වෙන පාසල් වල දැන් තරඟයකි. මේ විකාරයට එකඟ නොවන අය සිටිති. එහෙත් ටියුෂන් කාරයන් බාර් එක උස්සන නිසා දැන් ප්‍රශ්නය ඔඩු දුවා ඇත. සමර පාසල් වල තරඟ   විභාග දැන් ඉංග්‍රීසි හොඳින් දන්නා  සුදු ජාතික ළමුන්ට වාසි වනසේ සකස් කරති.

මගේ බිරිඳ ජර්මන් උගන්වන්නේ ලැටිමර් නම් ග්‍රැමර් විදුහලේය.  එහි දෙමළ  ළමයින් බොහොමයක් සිටිති. මෙහි එක ගැහැණු ළමුන්ට පමණක් ඇති ග්‍රැමර් විදුහලක ඉහළ  පන්ති කිහිපයකම බහුතරය සිටින්නේ දෙමල ළමුන් පමණය.  සිංහල ළමුන් කිහිප දෙනෙක්ද චීන ළමයින්ද අනිත් ජාතීන් අතර වෙති. ලංකාවේ  ප්‍රභාකරන්ට මුදල් යවා දිළිඳු අයගේ දරුවන් යුදයට යවන අතරේ මෙහේ තමන්ගේ දරුවාගේ අනාගතය ටියුෂන් ද යවා හදා  දෙති. ඒවා ඇහුවොත් පොස්පරස් ගැන කීවේ නැත  කියා සමහරු උඩ පනිති.

සෙන්චෝලේ  ළමයි රජයේ හමුදා  බෝම්බ දමා මැරූ වෙලේ මම එක දෙමළ මහතෙකු ගෙන් ඇසුවේ, ඔය සංවිධානයට යවන සල්ලි නවතා  රජය සමග ගිවිසුමකට එන්න බල කරන්න උඹලාට බැරිද කියාය.  ඔහු කීවේ එවැනි ප්‍රහාර වලින් සංවිධානයට ලැබෙන මුදල් වැඩි වෙන බවයි. සමහර විට සංවිධානය මගින්ම  රජයේ හමුදාවට ඔත්තු සපයන බවට ඔහු සැ ක කරන බවද පැවසුවේය. එයට හේතුව මෙහි ආධාර ඉල්ලන උත්සව ළංවෙන  කාලයට හමුදාවේ ප්‍රහාර වලින් හදිසියේ මිය යන ගණනද  ද වැඩි වූ බැවිනි .

මේ දෙමළ ජාතිකයන් මෙහි ආවේ ලංකාවේ  ලැබුන හිරිහැර නිසාය. ඒ කියන්නේ ඔවුන් සරණාගතයන්ය. එහෙත් යුරෝපයෙන් ඉවතට යාමට චන්ද විමසු වෙලේ පිටින් එන සංක්‍රමණිකයන්  රැකියා පැහැර  ගනිතියි කියා බහුතරයක් එංගලන්තයේ දෙමළ  ජනතාව  බ්රෙක්සිට් එකට චන්දය දුන්හ. (සිංහලයන්ද සමගම). ඔබලා  ආ කාලයේ සුදු ජාතිකයා එසේ හැසිරුනා නම් ඔබට සිතන්නේ මොනවාද යැයි  මම සමහරක ගෙන් ඇසුවෙමි.

ග්‍රමර් විදුහල් වල  වල වැඩිපුරම ඉන්නේ ආසියාතිකළමයිය. එකාට එකා  නැත. උන් අතර ඇත්තේ ද පුදුම තරඟයකි.  යන්තම් පහලට ගියොත් දෙමාපියන්ගේ දෝස්මුරය ලැබේ. ඒ මදිවට ටියුෂන් ද යවති.

අපේ  දරුවන් දෙදෙනාටම ඉංග්‍රීසි ටියුෂන් යවා ළටිමර් ග්‍රැමර් විදුහල මෙන්ම තවත්  විදුහල් කිහිපයක විභාග සමත් කෙරුවෙමි.  එසේ කලේ මම මෙවැනි අදහස් පළ කරන්නේ දරුවනට යාමට නොහැකි වූ නිසාය යන චෝදනාව නොඇසිමටය. මගේ බිරිඳගේ පාසැලට  දෙදෙනාම තේරුණ මුත් අපි දරුවන් දෙදෙනාම දැමුවේ රජයේ කොම්ප්‍රහෙන්සිව් එකටය. අපි දෙදෙනාටම කිවේ හොඳට ඉගෙන ගන්න පමණකි. ටියුෂන් යවන්නේ නැත. දෙදෙනාම ඉන්නේ ටොප් සෙට් එකේයය. එසේම ඉගෙනීමෙන් අදක්ෂ ළමයින්ට ඔවුන් උදව් කරති.  විදුහලේ නොයෙකුත් ක්‍රියාකාරකම් වල ඉහළින් සිටිති.

ලඟදි අපේ ආයතනයේ තාක්ෂණික අධ්‍යක්ෂක මා ලඟට  පැමිණ මෙසේ කිවේය.
ඔහුගේ පුතුන් දෙදෙනාම ඉගෙනුම ලබන්නේ මගේ දියණියන් යන පාසලේය. ඔහු කීවේ "අජිත් අද ඉස්කෝලේ පොත් කියවීම අඩු ළමයින්ට දෙමාපියන් එක්ක ඇවිත් කියවන්න පුරුදු වෙන්න වැඩ සටහනක් තිබ්බනේ, මම ගියා  ජේම්ස් අරගෙන (ඔහුගේ පුතා) . කවුද දන්නවද වැඩ සටහන් මෙහෙයවූයේ. ඔයාගේ ලොකු දුව. " මට ඒ ඇතිය.

දැන්  ඔය හැමෝගෙම ළමයි මේ රටේ ග්‍රැමර් විදුහල් තියා පෞද්ගලික පාසැල්  වලට ගෙවා  ඉගෙන ගත්තද මට ප්‍රශ්නයක් නැත. හැමෝම දරුවන්ය. තම දරුවන්ට හොඳක් කරන්නට හැමෝම ක්‍රියා කරති. මම ටියුෂන් නොයෑව්වා කියා ඔවුන්ගේ දරුවන් යවන්නට එපා යයි මා  කියන්නේ නැත.

නමුත්  මේ බොහොමයකගේ ලොකුම අමාරුව  ලංකාවේ එකෙක් ගෙවා මොකක්දෝ විදුහලකට යාමය.  ඒ විදුහලේ ප්‍රමිති හොඳ නැත්නම්, ගාණ  වැඩි නම් එය ඒවාට ගෙවන අයගේ ප්‍රශ්නයකි. රජය ඔවුන්ට රැකියා දෙන්නට බැඳී නැත. ජර්මනියේ  පෞද්ගලික විදුහල් වලින් එලියට එන අයට නොව රජයේ විශ්ව විද්‍යාල වලින් එන අයට ඇති තැන වැඩිය. ලංකාවේ ද එය එසේමය.

එංගලන්තයේ දොස්තර කෙනෙකුගේ පඩිය පවුම්  පනස්දහසක් පමණ වේ. කොන්සල්ටන්ට්  කෙනෙක් නම් එය පවුම් ලක්ෂය දක්වා  වැඩිවේ.  මේ රටට දොස්තරවරු මදිය.  හෙදියන් මදිය. ලංකාවේ ණය දී හෝ උගන්වා ගිවිසුමක් ගසා  මේ රටට එවීමෙන් රජයටද  ආදායමක් ලැබිය කිය.  ජර්මනියේ තත්වයද මෙයමය. තාක්ෂණික හැකියාව ඇති අය ගේ හිඟයක් තිබේ.

එසේම  නර්සරියේ සිටම  ටියුෂන් ගිය  එවුන් තමන් විශ්ව විද්‍යාලයට ගිය පසු, දිගටම
ටියුෂන් ගෙවා ගෙන පෞද්ගලිකව වැඩිදුර ඉගෙන ගන්නා එකාට විරුද්ධ වෙති. ජාත්‍යන්තර පාසල් වලට  ඉඩ දෙන එවුන් නිදහස් අධ්‍යාපනය රැක  ගන්න යයි මොර දෙති.  ග්‍රැමර් විදුහල් වල‍ට ළමයි යවමින් ඔවුන්ට පෞද්ගලික ටියුෂන් දෙමින් ළමුන් ලවා සමාජයේ ඊලඟ ස්ථරයට  පැන  ගැනීමට තැත්  කරන උන්  මම රනිල්ගේ ගැත්තෙකි යයිද  එජාපයෙන් සල්ලි ගන්නා  එකෙක් යයිද  කියති.


ඔය හැම එකාටම  වඩා කෝබින්ට ප්‍රතිපත්තියක් තිබේ. මම ඔහුට කැමතිද ඒ නිසාමය.



මුලාශ්‍ර - http://www.theguardian.com/politics/1999/may/13/uk.politicalnews2

බැස්ටිල් දවසේ ප්‍රහාරය හා තුර්කියේ කුමන්ත්‍රණය මවා පෑමක්ද?

බැස්ටිල් දවසේ කුමන්ත්‍රණය (ප්‍රහාරය) 

බැස්ටිල් දවසේ ප්‍රහාරය ගැන බොහෝ පාඨකයන් දන්නවා  ඇතැයි සිතමි. මාධ්‍ය වලින් කියැවුණු ලෙස ටියුනිසියන් ඉස්ලාමික ත්‍රස්තවාදියෙකු අහිංසක ජනතාව 84 දෙනෙකු මරා අවසානයේ පොලිස් වෙඩි පහරින් මිය ගියේය. ශ්‍රී ලංකාව වැනි සිවිල් යුද්ධයක්  තිබූ රටක ජනතාවට මේ ප්‍රහාරයේ බිහිසුණු   බව හඳුන්වා දිය යුතු නොවේ.  වරදවා වටහා නොගන්න. මේ මියගිය අසූ හතර දෙනා  වෙනුවෙන් මගේ සාතිශය සංවේගය හිමිවේ.  එහෙත් මා  මෙහිදී කියන්නට යන්නේ වෙනත් කතාවකි.

"ගිය අවුරුද්දේ ඉස්ලාමික  ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු පැනවූ හදිසි නිතිය මේ 26 වනදායින් පසු  දීර්ඝ නොකරන බවට ප්‍රංශ ජනාධිපති ෆ්රන්ෂුවා ඔලන්ඩ්  ප්‍රකාශ කළේය". මේ 2016 ජුලි 14 දා බිබීසිය පලකළ පුවතකි.  හදිසි නිතිය පැනවුයේ පුද්ගලයන් 130 කට මරු කැඳවමින් පැරිසියේ සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරය හේතුවෙනි.  ඉන්පසු බොහෝ ත්‍රස්තවාදීන් හා මුස්ලිම් ජාතිකයන් අත් අඩංගුවට ගැනිණි.

බැස්ටිල දවස යනු ප්‍රංශ නිදහස් දිනය වැනි එකකි.   ඔලන්ඩ් එදා මෙසේ පවසත්දීම  ඉහත  කී  නිස් නගරයේ ත්‍රස්ත ප්‍රහාරයක් දියත් වුනි. මේ ඒ ප්‍රහාරයේ වීඩියෝ වකි. 

ඉන් පැය  කිහිපයකට පසු ප්‍රංශ ජනාධිපති  ඊලඟ ප්‍රකාශය කළේය.  ඒ ප්‍රංශයේ හදිසි නීතිය දීර්ඝ කරන බවයි.

ප්‍රංශයේ රහස් ඔත්තු සේවාවන් ගෙන් සමන්විත ගැඹුරු රාජ්‍ය ව්‍යුහයක් පවතී. (deep state)  මෙය ඊශ්‍රාලය වැනි රටවල ඉතා තදින් ක්‍රියාත්මක වන්නකි. මානව හිමිකම් සංවිධාන කිහිපයක්ම යුරෝපීය රටක් වන ප්‍රංශයේ හදිසි නීතිය දිගින් දිගටම ගෙන යාම ගැන තදින්  විවේචනය කෙරෙන ප්‍රකාශ පසුගිය කාලයේ නිකුත් කළහ. බොහෝ දේශපාලන සංවිධාන බල කලේ හදිසි නීතිය ඉවත් කරන්නටය. හදිසියේම හදිසි තත්වය ඉවත් කරන්නට තිබූ  දවසේ ත්‍රස්ත ප්‍රහාරයක් සිදු විය. මෙවැනි "හදිසි ක්‍රියා " පසුගිය යුද සමයේ ශ්‍රී ලංකාවේද සිදු වීයයි දේශපාලන විචාරකයන් පවසති.

දැන් අපි ත්‍රස්තවාදියා දෙසට හැරෙමු. ඔහු ඔබේ සුපුරුදු ඉස්ලාමීය අයිසිස් දර්ශනයෙන් හිස විකෘති කරගත් අයෙක්මද? ප්‍රංශ ගමන් බලපත්‍රය හිමි ටියුනීසියන් ජාතිකයෙකු  වන ඔහු මත්පැන් බොන ගැහැණුන්  මෙන්ම පිරිමින් ද ඇසුරු කර ඇති අයෙකි. කසාදය කඩා ඉහිරුණු හරි හමන් රැකියාවක් නැත්තෙකි.

ප්‍රංශයට ජීවත්වීමට යන විදේශිකයෙකු මුහුණ පාන ප්‍රශ්න කිහිපයක් තිබේ. රැකියා ගැනීමේදී ඇති දැඩි දුෂ්කරත්වය එකකි. ප්‍රංශයේ හොඳ රැකියා සියල්ලම පාහේ ලැබෙන්නේ ප්‍රන්ශුවන්ටය. බ්‍රිතාන්‍යය හෝ ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල එවැනි තත්වයක් නැත. සමහර විට සාමාන්‍ය බේකරි රැකියාවක් පවා ප්‍රංශ බේකරියක් නම් ලැබෙන්නේ ප්‍රංශ ජතිකයෙකුටය. මොරොක්කන්, ටියුනිසියන්, ඇල්ජීරියන් වැනි මැද  පෙරදිග ප්‍රංශ යටත් විජිත වලින් පැමිණිය මුස්ලිම් සංක්‍රමණිකයන්ට රැකියා ලබා ගැනීම ඉතා අපහසුය. මේ නිසා එම ජාතීන්ට අයත් තරුණයන් පොලිසියට විරුද්ධව පැරිසියේ කැරලි කිහිපයක්ම ඇති කළහ.  බොහෝ මෙවැනි රටවලින් පැමිණි අය සුළු කඩයක් හෝ ආපන ශාලාවක් විවෘත කරන අතර රැකියා කරන්නේ ඒවා වලය.

මෙවැන්නෙකු අයිසිස් වැනි හෝ එවැනි බොරුවක් කියා වෙනත් රහස් සංවිධානයකට හෝ බඳවා ගැනීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය. දැන් එකයි එකයි දෙකයි කියා එකතු කරන්න.

තුර්කියේ ප්‍රහාරය (කුමන්ත්‍රණය)

තුර්කිය හමුදා කුමන්ත්‍රණ වලට නම් දරා තිබූ රටකි. අතතුර්ක් විසින් පිහිටවූ නව තුර්කියේ හමුදාව සෙකියුලයර් හෙවත් දැඩි ආගමික නීති පිළි නොපදින ආයතනයකි. තුර්කි ජනාධිපති එර්ඩොගාන් බලය පත්වූයේ ඉස්ලාමීය නිතින් පිලි පදින බවටත්, ෂරියා නිතිය තුර්කියේ  ක්‍රියාත්මක කරන බවටත් පොරොන්දු වෙමිනි. බලයට පත්වූ දා සිට තුර්කි හමුදාව  මෙන්ම බොහෝ ප්‍රගතිශීලි දේශපාලකයන් සමගද ප්‍රශ්න ඇති කරගත් එර්ඩොගන් හමුදා ජෙනරාල්වරු හා  විනිශ්චයකරුවන් කිහිප දෙනෙකුම සිරගත කළේය. එසේම පුවත්පත් කතුවරයෙකු මරා දැමෙන අතරම, අනිකුත් බොහෝ කතුවරුන් හා මාධ්‍යවේදීන් ට පොලිසිය හා ආධාරකරුවන් ලවා  හිරිහැර කිරීමද ද එර්ඩොගන් ගේ අනුමැතියෙන් නොකඩවා සිදු වුනි.

දකුණු දිග තුර්කියේ හක්කාරී වැනි ප්‍රදේශ වල කුර්දි වරුන්ට පහර දීමේ යෙදී සිටින තුර්කි හමුදා කරන පැහැරගැනීම් හා මිනි මැරීම ගැන යුරෝපා සංගමයේ හා ලෝකයේ අප්‍රසාදය එර්ඩොගන් ට එල්ලවී ඇත. එසේම තමන්ගේ විරුද්ධ වාදීන් නඩු නැතිව  සිර කිරීම නිසා යුරෝපා සංගමයේ උදහසට පාත්‍රවී සිටින තුර්කියේ එර්ඩොගන් යන්තම් සිරියානු සංක්‍රමණිකයන් භාර ගැනීමට ගිවිසුම් අත්සන් කිරීමෙන් යුරෝපය සමග ප්‍රශ්න සමනය කර ගැනීමට තැත්  කරමින් සිටි.

තුර්කි හමුදා කුමන්ත්‍රණය  සිදු වන්නේ මේ අතරවාරයේය. මෙය කොතරම් අඩු කාලයකින් සැලසුමකින් තොරව සිදු වුවක්ද යන්න පැහැදිලිව පෙනෙන්නේ පැය  කිහිපයකින් තමන්ගේ ආධාරකරුවන් පාරට බස්සවන්නට හා හමුදා භටයන් නිරායුධ කරන්නට රෙසේප් එර්ඩොගන් ට හැකිවන නිසාය. උදය වනවිට කුමන්ත්‍රණ කරුවන් සියල්ලන් අල්ලා තුන්දහසක හමුදා භටයන් සිර කරන්නටද ජනාධිපති  එර්ඩොගන් ට හැකිවිණි.

මේ කුමන්ත්‍රණය ගැන එර්ඩොගන් දැනසිටි බව ඇතැම් පුවත් ආයතන වාර්තා කරති. ප්‍රංශයේ ප්‍රහාරය මෙන්ම තුර්කි කුමන්ත්‍රණයද ගැඹුරු රාජ්‍යයේ (deep state ) කෙරුවාවක් වත්ද?

දැන් තුර්කියේ සිදුවන්නේ කුමක්ද?

කුමන්ත්‍රණයට මුවාවී ස්වාධින විනිශ්චයකරුවන් හා වෘත්තිකයන් 2500 ක පිරිසක් දැනට අත් අඩංගුවට ගෙන තිබේ. කුමන්ත්‍රණයට සම්බන්ධ නැතැයි පවසන ජෙනරාල්වරු 125 පමණ අත් අඩංගුවවේ සිටි.

අද වන විට පනස් දහසකට අධික පිරිසක් කුමන්ත්‍රණ චෝදනා පිට සිර ගත කර තිබේ. මින් ස්වාධින විනිසුරුවරුන්ගේ නම් කුමන්ත්‍රණය ට පෙර සිටම සුදානම් ව තිබු බව හෙළි වී ඇත. මේවා හෙළි කරන්නේ විකිලික්ස් මගිනි. එර්ඩොගන් ට හිතවත් නිලධාරීන්  ගේ ඊමේල් සොරකම් කර මේ දත්ත හා රහස්  හෙළි කිරීම නිසා විකිලික්ස් වලට තුර්කි බලධාරීන්ගේ අන්තර්ජාල ප්‍රහාර වැදී තිබුණි. එසේ වුවද ඔවුන් එම ඊමේල් පිට කර රහස් බොහොමයක්ම  හෙළි කළහ.

එසේම විශ්ව විද්‍යාල පිඨාධිපති වරු 1577 ක් , ගුරුවරුන් 21000 ක්  සහ අධ්‍යාපන නිලධාරීන් 15000 ක් පමනද රැකියාවලින් ඉවත් කර තිබේ. නිදහස් ආයතන 626 පමණ වසා  දමා  ඇත. මේ බොහොමයක් ආයතන හා නිලධාරීන් රට ඉස්ලාමිය කරණය කිරීමට විරුද්ධ වූ නිදහස් ජනතාවයි .

දැන් අප හමුවේ තිබෙන්නේ සත්‍ය ලෙසින්ම  කුමන්ත්‍රණය කලේ සෙනසුරාදා අර 200 පමණ වැසියන් මියගිය,  ප්‍රහාරයක් සිදු කල  සොල්දාදුවන්ද නැත්නම් රෙසේප් එර්ඩොගන් නැමති ඔටෝක්‍රටික් නායකයාද යන ප්‍රශ්නයයි.



මුලාශ්‍ර:
බිබිසි පුවත; http://www.bbc.co.uk/news/world-europe-36791666
http://www.independent.co.uk/news/world/europe/turkey-coup-patrick-cockburn-need-to-know-a7143316.html

Sunday, 24 July 2016

නිදහස් අධ්‍යාපනය හා පෞද්ගලික විශ්ව විද්‍යාල - 2 - සයිටම් යනු රෝග ලක්ෂණයකි.

පළමුවැනි  ලිපියට මෙතරම් ප්‍රතිචාරයක් ලැබේ යැයි මා සිතුවේ නැත.  ලැබූ ප්‍රතිචාර අතුරින් කෙන්කියුෂාගේ  සහ තවත් අයගේ නිර්නාමික ප්‍රතිචාර කිහිපයක් ඉතා වැදගත්
බව හඟිමි. මා  සිත් ගත් එක ප්‍රතිචාරයක්  වුයේ මොස්කව්  හි අධ්‍යාපනය ලද ෆිලික්ස් ප්‍රනාන්දු ගේ "නිදහස් අධ්‍යාපනය නොව අධ්‍යාපනයේ නිදහස සැමට උරුම විය යුතුය" යන අදහසය.

අසූ ගණන් වල මැද භාගයේ මා  සෝවියට් දේශයට ඉගෙනීමට  යන විට යාපනයේ සිට පැමිණි සිසුවකුද එම යානයේම ගමන් කළේය.  මුලදී ඔහු මා සමග කතා කිරීමට කැමැත්තක් දැක්වූයේ නැත. ලෙහෙසියෙන් පසු බසින්නකු  නොවූ  මම කෙසේ හෝ ඔහු සමග  යාපනයේ චිස්තර කතා කිරීමට පටන් ගතිමි.  ඒ අපේ නිවෙසේ  කලක් නතර වී සිටි යාපනයේ කාන්තාවක් කියා දුන් විස්තර කතා කිරීමෙන් මේ සිසුවාගේ දැඩි සිත තරමක් මෙළෙක්  කිරීමෙනි.

මා දැනගත් පරිදි ඔහු යාපනයේ ශ්‍රී ලංකා කොමිනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකුගේ පුතෙකි.  ඔව්, ඒ දිනවල ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෝ යාපනයේ සිටියහ.  ඔහුට ශිවා කියමු. මේ ශිවා යන්නේ පැට්‍රිස් ලුමුම්බා විශ්ව විද්‍යාලයේ  වෛද්‍ය උපාධියටයි.   මා යන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියේ ආයතනයක ඉංජිනේරු උපාධියටය. මද වෙලාවක් කතා කිරීමෙන් සිංහලයන්ට ඔහුගේ ඇති අකැමැත්ත මට පසක් විය. කළු ජුලිය සිඳුවී  අවුරුද්දක් පමණ නිසා එනිසා යයි සිතූ මම ඒ ගැන ඔහුගෙන් සමාව ඉල්ලා සිටියේ දෙමළ සටන්කාමීන්ද  හමුදා භටයන් 13 මරා දැමු බව කියමිනි. ඔහු පැවසුවේ දෙමළ සටන්කාමීන් ගේ ක්‍රියා ඔහු අනුමත නොකරන බවයි. නමුත් ඔහුට සෝවියට් දේශයට යාමට සිදුවී ඇත්තේ සිංහලයන් ගේ ජාතිවාදී දිස්ත්‍රික් ක්වෝටා ක්‍රමය නිසා බවයි.

මෙහිදී මා ඔහු සමග තර්ක කරමින් පැවසුවේ අපටද එසේ සිදුවූ බවයි. කොළඹ  සහ නුවර බහුතර සිංහල සිසුන් විශාල ප්‍රමාණයකට  මේ දිස්ත්‍රික් ක්වෝටා ක්‍රමය නිසා විශ්ව විද්‍යාලයට යාමට නොහැකි වෙන බව පැවසුවෙමි.  මා අපොස උසස් පෙළ කළේ එක වරකි. මට ඉංජිනේරුවකු වීමට ලකුණු මදි වුනත් ගම්පහින් හෝ ගාල්ලෙන් එම ලකුණු ප්‍රමාණයටම ඉංජිනේරු පීඨයට යාමට හැකි බවත් පැවසුවෙමි. ඒ බොහොමයක් සිසුන් කොළඹට පෞද්ගලිකව අමතර අධ්‍යාපනය ලැබීම සඳහා (ටියුෂන්) පැමිණෙන බවත් පැවසුවෙමි.  කොළඹ විශ්ව විද්‍යාලයට යාමට ලිපිය  පැමිණුනත් නොසිතු ලෙස සෝවියට් දේශයට යාමට ශිෂ්‍යත්වය ලැබුණු නිසා එසේ යාමට තීරණය කල බවත් පැවසුවෙමි. .

එනිසා එය ජාතිවාදී නොවන බවත් පියා  කොමියුනිස්ට් පක්ෂයක වන ඔහු එවැනි අඩු පහසුකම්  සහිත  වන්නි, මුලතිව් ප්‍රදේශ වල සිසුන්ට ඉඩ දීම වරදක් ලෙස නොසිතිය යුතු බවත් පැවසුවෙමි.  එවර ඔහු මගෙන් පැනයක් ඇසුවේය. කීදෙනෙක් දිස්ත්‍රික් ක්‍රමයට වන්නි, මුලතිව් ආදී දුෂ්කර දිස්ත්‍රික්ක වලින් විශ්ව විද්‍යාලයට ගියේද යන්නයි. මා  දන්නේ නැති බව පැවසුවෙමි.
"අජිත් එක ළමයෙක් වත් නැහැ. ඔයා දන්නවද යාපනයේ විශ්ව විද්‍යාලය ලකුණු කිහිපයකින් මිස් වෙච්ච  සිය ගණනකට වඩා කට්ටිය ඉන්නවා කියල."
(පහත මුලාශ්‍රය බලන්න.)

ඉන්පසු අපි ඒ ගැන වැඩිපුර කතා නොකෙරුවෙමු.

මා ඉහත මුල් ලිපිය පල කල පසු එක වාමාංශික මහතකු පැවසුවේ  පහසුකම් අඩු දිස්ත්‍රික් වල සිසුන්ට විශ්ව විද්‍යාල දොර විවෘත කිරීම  අගය කළ යුතු බවත්  ඉන්දියාවේ දලිත් වැනි කුලහීනයන්ට රැකියා හා විශ්ව විද්‍යාල අධ්‍යාපනය දීමේදී එවැනි ක්‍රමයක් ක්‍රියාත්මක කරන බවත්ය. එනම් ක්වොටා ක්‍රමයට එය දෙන බවයි.  බ්‍රිතාන්‍යයේ හා යුරෝපයේ ඇතැම් ශාරීරික ක්‍රියා සාමාන්‍ය  ලෙස කල නොහැකි ජනතාව සඳහා රැකියා දීමේදී එවැනි ක්වෝටා ක්‍රමයක් ක්‍රියාත්මක වේ.

නමුත් මෙහි වන්නේ එය නොවේ. එක අසාධාරණයක් ඉවත් කිරීම සඳහා තවත්  අසාධාරණයක් කිරීමයි. ඉන්දියාවේ කුලවතුන් කුලහීනයන් මඩිති. සවි බල ඇත්තන් බොහෝ විට ශාරීරිකව තමන් සේ නොවන අයව නින්දා,  පරිභව හා වෙනස්කම්  කරති. එනිසා එහිදී ක්වොටා  ක්‍රමය සාධාරණය.

ප්‍රාදේශීය මට්ටමට වඩා ලකුණු වැඩි එහෙත් කොළඹ, යාපනය, නුවර සීමාවට අයත් නොවන සිසුන් දැන දැන ප්‍රාදේශීය සිසුන් ට අහිතක් නොකරති. බොහෝ අය ශිෂ්‍යත්වය වැනි විභාග සමත්ව අග නගර වලට එති. ඉන් පසු එම රජයම ඔවුන් අතරමන් කර දමති.  නගර වල පහසුකම් වැඩි පාසැල් තිබීම ඔවුන් ගේ වරදක් නොවේ. එය සමාජ ක්‍රමයේ වරදකි.  එක් ඇනෝ වරයෙකු කිවේ ඔහේට විශ්ව විද්‍යාල යන්න බැරි වුනාට අපි පලිද, එසේ නැත්නම් හැමෝටම වෛද්‍යවරු වෙන්නට බැරිය වැනි අති උද්දච්ඡ කතාය.

මගේ සොයුරියද ශිෂ්‍යත්වයෙන් ලුණුගල සිට කොළඹ විශාඛාවේ අධ්‍යාපනයට පැමිණියාය. ඇයද සෝවියට් ශිෂ්‍යත්වයට අයැදුම් කාලය. ඒ ඇගේ උසස් පෙළ දෙවන
වර ප්‍රතිඵල වලිනි. ඇයද සම්මුඛ  පරික්ෂණයට ගියාය.  පරීක්ෂණයේ සිටි නිලධාරියා කෙසේ හෝ නමින් අප දෙදෙනා එක පවුලේ කියා දැන ඇගෙන් ඒ පිළිබඳ විමසා තිබේ. ඉන්පසු ඇයට දෝෂාරෝපණය කරමින් පවුලේ ඔක්කොම යන්නද හදන්නේ. අනිත් ළමයින්ට අවස්‌ථාව දෙන්නේ නැත්ද කියා ඇගෙන් විමසා තිබේ. ඇය නිවසට පැමිණි පසු මේ සිදුවීම අපට කිවේ කඳුළු පිරි දෙනෙතිනි.  මේ කියූ නිලධාරියාගේ පුතා ඉන් වසර දෙකකට පසු සෝවියට් දේශයේ ඉගෙනීමට පැමිණියේය. බොහෝ දේශපාලනික පවුල්වල සහෝදර සහෝදරියන් පමණක් නොව මාමලා බාප්පලාද සෝවියට් දේශයේ ඉගෙනීමට පැමිණෙන බව පසුව දැන ගතිමි. මට නම් එය ප්‍රශ්නයක් නොවේ.  ප්‍රශ්නය මෙයින් සමහරක් අද නිදහස් අධ්‍යාපනයේ මුර දේවතාවුන් වී සිටීමය. තව කෙනෙකුට ඉගෙනීමට ඉඩ දෙන්නේ නැත්ද මහත්වරුනි?

ඖෂධවේදිනියක් වන මගේ සොයුරිය සැමියා සමග  බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යන්නීය. හැමෝටම දොස්තරවරුන් විය නොහැකිය. නමුත් හැකි සැමට අවස්ථාව  ලබා දීම හොඳ දෙයකි.

සමහර ගුරුවර ගුරුවරියන්ගේ, විදුහල්පති වරුන්ගේ මෙන්ම අධ්‍යාපන නිලධාරීන් ගේ ළමයි කොළඹ  ඉගෙන අවසන් වසරේ ගමේ විදුහලක ලියා පදිංචි වී අපොස උසස් පෙළ කර ක්වෝටා ක්‍රමයට විශ්ව විද්‍යාල වලට ගියහ. බොහෝ අය ටියුෂන් ද යති. ඒ අර නගරවල තාවකාලික නවාතැන් වල නැවතිලාය .

අර කියන අන්දමේ අති දුෂ්කර පළාත්වල ළමයි ද විශ්ව විද්‍යාල වලට ක්වෝටා ක්‍රමය නිසා විශ්ව විද්‍යාල වලට තේරුණි. ඒ වැඩිපුරම කලා විෂයන් වලටය.

දැන් ශ්‍රී ලංකාවේ තත්වය වඩා හොඳය. විශ්ව විද්‍යාල 15 පමණද වෛද්‍ය පීඨ 6 පමණද  තිබේ. ඒත් මදිය. ලංකාවේ ජනතාව අධ්‍යාපනය ඉහලින් අගය කරති. දිස්ත්‍රික් ක්වෝටා ක්‍රමයද වඩා සාධාරණ ලෙස  සංශෝධනය  කර තිබෙන බවට ප්‍රතිචාරයක් ලැබුණි.

එහෙත් දරුවන් ටියුෂන් යවා හෝ අමාරුවෙන් උගන්වන දෙමාපියන්  ලංකාවේ විශ්ව විද්‍යාලවල වෛද්‍ය විද්‍යාව හැදෑරීමට ඔවුන්ට නොලැබුන හොත්  අන්තිමේදී වෛද්‍ය අධ්‍යාපනය සඳහා පිටරට වලට මුදල් ගෙවා හෝ යවති.  ලංකාවේ විශ්ව විද්‍යාල වලම මුදල් ගෙවා හෝ ණය ක්‍රමයක් ක්‍රියාත්මක කර ඒ සිසුන්ටත් අධ්‍යාපනය දීම වරදක්ද? සයිටම් නමැති ආයතනය අමතක කරමු. එහි වැරදි ඇත්නම් ආණ්ඩුව පරීක්ෂණයක් කර අය කරන  මුදල අඩු කර බොහෝ පිරිසකට යා හැකි ලෙස වෙනස්කිරීම  වරදක්ද?

අසූවේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටන උඩු දුව දුව තිබුණු අතරවාරයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ගිලිහුණු  බොහෝ යාපන සිසුන් කැරලිකාර කණ්ඩායම් වලට
බැඳුණහ. ශිෂ්‍ය අරගල හා සටන් උතුරේ හා දකුණේ එක විට දියත් වුනි. ඉන්දීය සාම සාධක හමුදා ශ්‍රී ලංකාවට එව්වේ බලෙන්ය. වඩමාරච්චි ක්‍රියාන්විතය බලෙන් නැවැත්වීමෙන් පසුවය. වඩමාරච්චි ක්‍රියාන්විතය දිගටම සිදු වුනානම් 2009ක් එන්නේ නැත.  එය එසේ වුවද ජවිපෙ හා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ඉන්දීය හමුදා ගෙන්වීම ගැන චෝදනා කළේ එවකට පැවති  රජයටය.


 ඉන්දිරා  ගාන්ධි හා රජීව් ගාන්ධි ඉන්දියාවේ සෝවියට් හිතවාදී ප්‍රතිපත්තියක් හා මිශ්‍ර ආර්ථිකයක් ගෙන ගිය අතර බටහිරට හිතැති යුඑන්පී  රජයේ විවෘත ආර්ථිකය ඉන්දියාවේ සිත් ගත්තේ නැත.  යාපනේ බෙදුම්වාදී කැරලි කණ්ඩායම් වලට  ඉන්දීය සහය ලැබීමේ මුලික හේතුව තිබුනේ එතනය. නමුත් ශ්‍රී ලංකාව  බෙදා වෙන් කිරීමට  හෝ ප්‍රභාකරන්ට බලය ලබා දීමට ඉන්දීය අදහසක් තිබුනේ නැත. ඔවුන්ට අවශ්‍යව තිබුනේ ශ්‍රී ලංකා රජය නම්මා ගැනීමට පමණි.

උතුරු කොළඹ  වෛද්‍ය විද්‍යාලයෙන් පටන් ගත්  ශිෂ්‍ය අරගලය සාර්ථක ලෙස ඉන්දීය විරෝධි  අරගලයක් දක්වා ගෙන යන්නට විජේවීර ප්‍රමුඛ ජවිපෙත් ශ්‍රීලනිප හා තවත් පක්ෂ කිහිපයකින් සමන්විත ජවිපෙ මෙහෙයවූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයත් සමත් විනි.

වසර 1985 දෙසැම්බර් 15 බොල්ගොඩ වැව අසලදී දයා පතිරණ මරා දැමුණි.  වසර 1987 ජුලි මස  මා ග්‍රීෂ්ම නිවාඩුවට ශ්‍රී ලංකාවේය. මගේ සෙනිත් කැමරාවද සහිතව පිටකොටුවේ ඉන්දීය හමුදාවට විරුද්ධ උද්ඝෝෂණය බලමින් සිටියෙමි. බස් කිහිපයක්ද ගිනි තැබුණි. ඔවුන් ඉන්දියානුන් නම් කලේ ඉන්දීය වඳුරු හමුදාව ලෙසය.

 ඒ දිනවල හමුවූ කිහිප දෙනෙකුට විරුද්ධවාදීන් මැරීමෙන් හා පුද්ගලික විශ්ව විද්‍යාල ගැන කතා කිරීමෙන් මේ අරගල වෙනතක යා හැකි බවත් විශ්ව විද්‍යාල රජයට ගැනීම හෝ වසා දැමීම රජයට කල හැකි බවත් ඉන්දීය හමුදා ආවේ බලෙන් බවත් පැවසුවෙමි. දේශපාලන හා සමාජ විද්‍යාවන් නොදත් සුළු ධනේෂ්වර තක්කඩියෙකු ලෙස මාව බෞතිස්ම කරන ලදී.

කොළඹ වෛද්‍ය විද්‍යාලයේ කැඳවුම්කරු ත්‍රිමා  විතාන සොයුරා 1988 ඔක්තෝබරයේ මරා දැමුණි. (දිවයින  පුවත බලන්න) මා වෙනුවෙන් මගේ සොයුරිය  හා තවත් යහළු යෙහෙලියන් බොහෝ දෙනෙකු මරණයට අවසන් ගෞරව දැක්වීමට නොබියව ගියහ. වෙනුර එදිරිසිංහ හා තවත්  බොහෝ අයද නොඑන ගමන් ගියහ.  (මේ බ්ලොග් සටහන බලන්න).   වෙනුර සිර කළ  තැන බිත්තියේ ලෙයින් ලියුවා යයි  සමහරුන්ගේ හැම සමරු රැස්විමකම  කියවේ.

එදා පුද්ගලික වෛද්‍ය විද්‍යාල සටන නිමවූයේ ජනාධිපති ප්‍රේමදාස මහතා  විසින් එය රජයට පවරා  ගැනීමෙනි.   ඉන්දීය විරෝධය නිම වුයේ ප්‍රේමදාස මහතා ද්‍රවිඩ ඊලම් විමුක්ති කොටි සංවිධානය ලවා ඉන්දියානුන්ට පහර දීමෙනි. ඉන්දියානුවන් ආපසු ගියහ. ජවිපෙ "දැවෙන ප්‍රශ්න " දෙක විසඳූ ප්‍රේමදාස රජය ජවිපෙ දෙසට හැරුණේය. ඉතිරිය ඉතිහාසයට අයත්ය.

එදා වගේම  අදද පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ලෙස  සයිටම් එකක් හා එයට විරෝධයක් තිබේ. ගිය ආණ්ඩුව කාලේ වැඩිය කෑ ගහන්නට නොහැකිව තිබුනේ කොටි පැරදවූ දේශප්‍රේමී රජයක ආශීර්වාදය හිමිව තිබු නිසා විය යුතුය.  ඒ මදිවට ඒ ආණ්ඩුවේ අර ත්‍රිමා ගේ ඝාතනයට චෝදනා එල්ලවූ අයද ඇමතිකම් දැරූහ. විහිලුව නම් ඒ ආණ්ඩුව ගෙන ඒමට සහය දුන්නේ ත්‍රිමා ගේ කට්ටියම වීමය.)


ත්‍රීමලා දැන් හිටියා  නම් පුද්ගලික සේවාවක් ගෙන හෝ නවලෝකේ චැනල් කරමින් සිටීද?

ඔවුන් එසේ කරන්නට ඉඩ නැති බවත් එසේ නොකරන දහසක් දොස්තරවරුන් ලංකාවේ සිටින බවත් මම ඔහුට කීවෙමි.

මේ ආණ්ඩුව යටතේ එවැනි ප්‍රශ්නයක් තවම නැත. ඇරත් ප්‍රේමදාස රජයේ හිටි තරුණ ඇමති දැන් අගමැතිය. ඔහුට විරුද්ධව ද පරණ බටලන්ද චෝදනාවක් තිබේ. ඉන්දීය විරෝධයක්ද තිබේ. ඒ එට්කා නම් ගිවිසුමෙන්  දොස්තරවරු හා අනිකුත් වෘත්තිකයන් පැමිණ රැකියා සොරා ගැනීමට ඉඩ ඇති නිසා යයි කියති.  සියල්ල ගානට සෙට්ය.

1. සයිටම්
2. එට්කා (ඉන්දියානු ව්‍යාප්තවාදය පන්තිය 5)
3. දේශපාලන විරෝධතාවන්  මර්දනය කිරීමට එරෙහි වීම  (කුමාර් ගුණරත්නම් මහතාගේ සිර දඬුවම, සිසු විරෝධ වලට කඳුළු ගෑස් )

අංක 3 ට එකඟ විය හැකිය.

අනුර කුමාර දිසානායක මහතා හා ඔහුගේ පක්ෂය,  කුමාර් ගුණරත්නම් මහතා නොමැතිව ඔහුගේ පක්ෂය හා නිර්මාල් දේවසිරි වැනි මහත්වරුද නිදහස් අධ්‍යාපනය රැක  ගැනීමේ වේදිකාවේ පෙනේ. දීප්ති කුමාර ගුණරත්න මහතා හා අනිකුත් වාමාංශික දේශපාලන ක්‍රියාධරයන්ද  මේ පැත්තටම හෙමින් ඇදෙති.

අර ඇනෝවරයෙක් මුල් ලිපියේ  කියා ඇත්තේ මා සමාජ විද්‍යාවන් නොදන්නා බවය. ඉතින් මේ දේශපාලන විද්‍යාවන් දන්නේ නැති, සමාජ විද්‍යාවන් හදාරා නැති සුළු ධනේශ්වර තක්කඩියා නැවතත් කණගාටුවෙන් යුතුව කියන්නේ මෙසේය.

මහත්වරුනි සයිටම් යනු රෝග ලක්ෂණයකි. රෝගය නොවේ.

ත්‍රිමා විතාන ලා , වෙනුරලා දිවි දුන්නේ පාදෙනියලාට, එස් බි ලාට , රාජිතලා ට වේදිකා හදන්නය.

මගෙන් ඊයේ පෙරේදා යහළුවෙක් මෙසේ ඇසුවේය.


ඔහොම යංය.   කවද හරි දවසක ඔය මොකක් හරි බිහි වෙන්නේ නැතෑ.


මුලාශ්‍ර: 1983 විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා ලකුණු :

Ethnic Unrest in Modern Sri Lanka: An Account of Tamil-Sinhalese Race Relations

By Haraprasad Chattopadhyaya
මගෝඩියා 
ත්‍රිමා විතාන නඩුව 
ඉන්දියානු සාම සාධක හමුදාව 
දයා පතිරණ 

Monday, 18 July 2016

නිදහස් අධ්‍යාපනය හා පෞද්ගලික විශ්ව විද්‍යාල - 1 - වැස්සට තෙමෙන උන්

මේ මාතෘකාව පිළිබඳව මැදිහත් නොවී සිටීමට සිතා  සිටියත් දිනෙන් දින ශ්‍රී ලංකාවේ මතුවන අරගල හා සාකච්ඡා සංවාද තුල එය ඉතාමත් අපහසු බව දැනේ.   මුහුණු පොතේ (facebook) පලවූ පින්තුර දෙකකින් තවදුරත් මෞන වෘත්තය රැකීම නොකළ හැක්කක් බව මට පසක් විය. මින් එකක් වුයේ කෙලින්ම සයිටම් ආයතනයේ පැත්ත ගන්නා  අපේ බ්ලොග් මිත්‍ර මාතලන් පළ කල පින්තුරයකි. ඔහුගේ බ්ලොගයේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට පක්ෂාපාතීව ලිපි කිහිපයක්ද පලවිය.  ඔහුගේ මේ පින්තුරයට බුකියේ සුපතල ලයික් එකක් දැමුවෙමි.


මේ තර්කයට මටද එකඟ විය හැකිය.  ගණිතයෙන් අපොස උසස්  පෙළ සමත් වන සිසුන්ට මොරටුව, පේරාදෙණිය ය ආදී විශ්ව විද්‍යාල වලට අමතරව තවත් විශ්ව විද්‍යාල ගණනාවක් තිබේ. එසේම විශ්ව විද්‍යාලයකට යාමට නොහැකි නම් වෙනත් තාක්ෂණික පාඨමාලා ද තිබේ. එසේත් නොමැති නම් SLIIT වැනි  ආයතන තිබේ. ගණකාධිකාරී විභාගයකට වුවද උගත හැකිය.  මේ සමහර ආයතන වලට  මුදල් ගෙවා අධ්‍යාපනය ලබා ගත යුතු වුවත් ඒවාට විරුද්ධව ශිෂ්‍ය උද්ඝෝෂණ ඇති වන්නේ නැත.

ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ කිහිපයක්ම තිබේ. වෛද්‍ය විද්‍යා උපාධියට ලකුණු මදි නම්, දන්ත වෛද්‍ය විද්‍යාව, සත්ව වෛද්‍ය විද්‍යාව (veterinary science) , කෘෂිකර්ම  විද්‍යාව ද (agronomy )විශ්ව විද්‍යාල වල උගත හැකිය.  එසේත් නොමැති නම් ඖෂධ වේදී පාඨමාලාව හැදෑරිය හැකිය. 

කිසියම් ශිෂයෙකුට මේ අවස්ථා තිබියදීත් වෛද්‍යවරයෙකු වීමටම ආශාවන් ඇති විය හැකිය. එකළ  මගේ මිතුරෙකු තෙවරක්ම අපොස උසස්  පෙළ කළේය. පළමු වර දන්ත වෛද්‍යවරයෙකු වීමට අවශ්‍ය ලකුණු තිබුණි. දෙවන හා තෙවන වර විශ්ව විද්‍යාලයට යා හැකිව තිබුණු මුත් වෛද්‍ය පීඨයට  යාමට නොහැකි විනි. බයෝ සයන්ස් කල ඔහු ජපානයේ ආචාර්ය උපාධිය කළේය. 

එවැන්නෙකුට ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල  තිබුණි නම් තමන්ගේ සිහිනය සැබෑ කර ගැනීමට හැකියාව තිබුණි. ඔහු සාමාන්‍ය  මැද පන්තියේ පවුලක සිසුවකු මිස ධනතියෙකුගේ දරුවෙකු නොවිය.

එකල බොහෝ දෙනා පිටරටවල අධ්‍යාපනය  සඳහා ගිය බව මම දනිමි. අප වැනි අයට  රජයේ ශිෂ්‍යත්ව ලැබුණු අතර තවත් අය  මුදල් ගෙවා ඉගෙනීමට ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවලට ගියහ. එසේ ඇමෙරිකාවේ උසස් විශ්ව විද්‍යාලවල  උගත් ඇතැමුන් ශ්‍රී ලංකාවේ පෞද්ගලික විද්‍යාල ඇරඹීමට විරුද්ධ  වෙති. "අපි ඇමෙරිකාවේ ගිහින් සල්ලි දීල ඉගෙන ගත්තට මුන්ට එහෙම ඉඩ දෙන්න පුලුවන්ද" යන තර්කය එතන ඇති යයි සිතමි. 

අපේම සහෝදර සිසුන්ට අවශ්‍ය නම් මුදල් ගෙවා ඉගෙන ගැනීමට ඉඩ දීමට අපට නොහැකි ඇයි? මෙය කුහක කමක් නොවේද?  ඔවුන්ද අපොස උසස් පෙළ සමත්ය. සමහරුන්ගේ දෙමාපියන්ට මුදල් තිබේ. සමහරු ණය රැගෙන හෝ ඉඩම් විකුණා හෝ දරුවන්ට අධ්‍යාපනය දෙති. ජර්මනියේ හා ස්වීඩනයේ නිදහස් අධ්‍යාපනය තිබෙන අතර පෞද්ගලිකව අධ්‍යාපනය ලැබීම සඳහාද ඉඩ තිබේ.  

දෙවැනි පින්තුරය කවියක් ද සහිතවම පළ කර ඇත්තේ  ඇත්තේ මගේ තවත් හිතවතකු වන පෙරේරා හිල්මි  සුපුන් සහෝදරයාය. වාමාංශික අදහස් ඇති ඔහු ඉතාලියේ වෙසෙන්නෙකි. ඔහුගේ කවි බොහොමයක් වෙබ් අඩි වල පළවේ.
මේ ඔහුගේ කවියයි.

ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය
අද රෑ නිදි වරන්නේ
හෙට උදේ අවදිවෙන
ඔබේ දරුවන්ගේ
අධ්‍යාපනයේ නිදහසත් 
නිදහස් අධ්‍යාපනයත්
රැකගැනීම වෙනුවෙනි
හිල්මි සුපුන්
13072016

පින්තුරයේ දැක්වෙන්නේ පසුගියදා පිටකොටුවේ සයිටම් එකට විරුද්ධව හා නිදහස් අධ්‍යාපනය රැක  ගැනීමට අරගලයක  ශිෂ්‍ය ශිෂ්‍යාවන් ය. ඔවුන් සියල්ලෝම පාහේ ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වල නිදහස් අධ්‍යාපනය ප්‍රතිඵල ලබන්නන්ය.

දොළොස්වන ශ්‍රේණිය  දක්වා ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලැබූ මා ප්‍රථම උපාධිය ලැබුවේ සෝවියට් දේශයේ විශ්ව විද්‍යාලයකිනි.  එනම් සෝවියට් රජය අපගේ ඉගෙනුම සඳහා  වියදම් කලේ සෝවියට් වැසියන් ගේ බදු මුදල්ය. සෝවියට් දේශය තම වැසියන් සියල්ලන්ටම නිදහස් අධ්‍යාපනය දුන් රටකි. මේ පින්තුරයට ද මම බුකියේ සුපතල ලයික් එකක් දැමුවෙමි. ඒ මා නිදහස් අධ්‍යාපනයෙන් පල ලබා ගත්  අයෙකු බැවිනි.

 මා උගත් විශ්ව විද්‍යාලය රුසියානු රජයට අයත් වුවත් දැන් ඕනෑම අයෙකුට මුදල් ගෙවා එහි උගත හැකිය. එනම් ශිෂ්‍යත්ව වලින් පැමිණ නොමිලයේ ඉගෙනුම ලබන රුසියානු සිසුන්ට අමතරව ඉතිරි අයට හා විදේශික සිසුන්ට  මුදල් ගෙවා අධ්‍යාපනය ලැබිය හැකිය. මෙසේ වුයේ සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු අවම වශයෙන් ගුරු වැටුප ගෙවීමට පවා විශ්ව විද්‍යාල වලට මුදල් හිඟවූ හෙයිනි. රටේ ආර්ථිකයද  බිඳ වැටී තිබුණි.

ජනාධිපති පුටින් විසින්  රට ගොඩ නගන විට විශ්ව විද්‍යාල වලට මුදල් අයකර සිසුන් ඇතුලත් කර ගත හැකි ලෙස නීති වෙනස් කළේය.

බ්‍රිතාන්‍යයේ රජයේ  විශ්ව විද්‍යාල වලට විදේශික සිසුන්ට පැමිණ මුදල් ගෙවා උගත හැකිව තිබුණි. දේශීය සිසුන්ට ඉතාම අවම මුදලකට ඉගෙනීමේ හැකියාව තිබුණි. 

හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් විශ්ව විද්‍යාල වලට නොමිලේ අධ්‍යාපනය දීමට නොහැකි යයි පවසා වසරකට පවුම් 3000 දක්වා ගාස්තු වැඩි කළේය. කැමරන් ගේ රජය එය පවුම් 9000 දක්වා වැඩි කළේ ය. බැංකු ණය ලැබෙන මුත් සිසුවෙකුගේ  වසර හතරක සාමාන්‍ය උපාධිය අවසන් වන විට පවුම් 36000 ක ණයකාරයෙකු වී හමාරය. 

 මේ නිසා මම එයට එරෙහිව කටයුතු කරන සංවිධාන වලට හා ජෙරෙමි  කෝබින් නමැති කම්කරු  පක්ෂයේ  නායකයා ට සහයෝගය දෙමි. ඔහු විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසු කම් ලැබුවන්ට නැවත වරක් නිදහස් අධ්‍යාපනය දීමට යෝජනා කරයි. නමුත් බ්‍රිතාන්‍යයේ කිසිදු පුද්ගලික අධ්‍යාපන ආයතනයක් වසා  දැමෙන්නේ  නැත. මුදල් ගෙවා ඉගෙනීමට අවශ්‍ය අයට ඒ පහසුකම නැති කරන්නේ නැත.

බ්‍රිතාන්‍යය වැනි රටක අධ්‍යාපනය නොමිලයේ ලබා දිය හැකිය. අප සියලු දෙනාම අපේ බදු නොවැරදීම ගෙවන හෙයිනි. නිදහස් සෞඛ්‍ය  සේවාවට යන්නේ අප ගෙවන බදු මුදල් වලින් කොටසක්ය. ඇතැම් අති විශාල බහු ජාතික සමාගම් බදු ගෙවීම අඩු කිරීමට නොයෙක් උපක්‍රම යොදන  නමුත් බොහෝ සුළු වෙළඳම් හා මධ්‍යම ප්‍රමණයේ ව්‍යවසායකයන් නිවැරදි ලෙස බදු ගෙවති. 

එසේම ජර්මනියේ හා ස්වීඩනයේ තත්වයද මෙසේමය. ඒ රටවල ජනතාව  තම ආදායමින් සැලකිය යුතු ප්‍රමාණයක් බදු ගෙවති. එම රටවල  නිදහස් අධ්‍යාපනයට, නගර ගොඩ නැගීමට, සඛ්‍ය සේවයට යෙදවෙන්නේ එම බදු මුදල්ය.  

ඉහත වැකි ලියන ඉතාලියේ වෙසෙන හිල්මි සහෝදරයාගේ යහළුවන් ගේ දරුවන් සමහරක් එංගලන්තය වැනි රටවල ගෙවා උගෙනීම  ලබන බව ඔහු දන්නවා ඇති යයි මම සිතමි. එයට මගේ විරුද්ධත්වයක් නොමැත. නමුත් තමුන්ගේ ළමුන්ට එය අනුමත කරනවා නම් ලංකාවේ ළමයෙකුට එසේ අධ්‍යාපන ලැබීමේ  අයිතියක් නැත්ද යන ප්‍රශ්නයට ඔහු ගේ අදහස් දැන ගැනීමට කැමැත්තෙමි. මා  දන්නා වාමාංශිකයන් බොහොමයකගේ දරුවන් එසේ මුදල් ගෙවා ඉගෙනීම ලබති. 

ලංකාවේ සිටින්නේ බදු ගෙවන ජනතාවක් නොවේ. ඉතා ටිකක් බදු ගෙවන රජයේ සේවකයන් හා ව්‍යාපාර කිහිපයක බදු මුදලින් සහනාධාර ලබන ජනතාවකි. කන්නට මුදල් ලැබෙන්නේ ණයටය. කන්න හා ජිවත් වෙන්න මෙන්ම අති විශාල දේශපාලන නළුවන් රැසක් නඩත්තු කරන්නේ ණයෙනි. ණය  වාරික ගෙවන්නේ පිටරටවල වැඩ කරන අය එවන මුදලින්, තේ අපනයනයෙන්   (තේ නෙලන කම්කරුවන් ගෙන්), නිමි ඇඳුම අපනයනයෙන්   හා අනිකුත් සුළු අපනයන ද්‍රව්‍ය වලිනි. යුරෝපා සංගමයට  නැවත මාළු අපනයනය කිරීම පටන් ගෙන තිබේ.. (තහනම් ව තිබුණි) වැඩි විස්තර සඳහා මේ වෙබ් අඩවියට යන්න.

ඉතින් මෙවැනි රටකට නිදහස් අධ්‍යාපනය සඳහා  මුදල් වියදම් කිරීමට මුදල් නැත. එසේ වුවද රජය විශ්ව විද්‍යාල අටක් පමණ නඩත්තු කරයි. විශ්ව විද්‍යාලයට යා නොහැකිව අතරමන් වෙන සිසුන්ගෙන් සුළු කොටසක් සයිටම් එකේ උගනිති. . කොතලාවල ඩිෆෙන්ස් ඇකඩමියේද කොටසක් මුදල් ගෙවා උගනිති. ඔවුන්ට විරුද්ධව උද්ඝෝෂණ නොකරන්නේ මන්ද යන ප්‍රශ්නය මෙහිදී ඇතිවේ. සයිටම් එකට  පමණක් විරුද්ධ වන්නේ ප්‍රමිතිය නිසා නම් ප්‍රමිතිය ගැන කතා කරන්න. එසේනම් එයට නිදහස් අධ්‍යාපනය අදාල නැත. නිදහස් අධ්‍යාපනය අවසන් කරන්නට කවුරුත් සැරසෙන්නේ නැත. එවැන්නක් මහින්ද රජය කිරීමට සරසි සිටියේ නැත. එදා අධ්‍යාපනයට 6% ඉල්ලා  පෙළපාලි ගිය සිසුන් දෙදෙනෙකු හදිසි අනතුරකින් මිය ගියහ. එය හදිසි අනතුරක් නොවේ යයිද කියති.   මේ  රජය නිදහස් අධ්‍යාපනය එහෙම පිටින්ම පෞද්ගලික අංශයට දෙන කතාවක් ද  නැත.   එසේනම් මේ හිල්මි සහෝදරයා කියන "ඔබේ දරුවන්ගේ අධ්‍යාපනයේ නිදහසත් නිදහස් අධ්‍යාපනයත් රැකගැනීම වෙනුවෙනි " යන අදහස මතභේදයට තුඩු දෙන එකකි. 

මේ දේශපාලන ක්‍රමයේ දුර්වලකම් බොහෝ තිබේ. දේශපාලකයන් ගේ වරප්‍රසාද හා පඩි නඩි අඩු කර ඒවා අධ්‍යාපනයට යොදවන්නැයි කියා අරගල කළ හැකිය. එසේ නැතිනම් සිසුනට  කල හැකි අනිත් දෙය නම් සමජවාදී සමාජයක් හා රටක් සඳහා සටන් කිරීමය.  නමුත් ශිෂ්‍ය සටන් ව්‍යාපාරයකට පමණක් එවැන්නක් සාක්ෂාත් කල නොහැකි බව අප අත්දැකීමෙන් දන්නෙමු. එවැනි අරගල දෙකකින් එකක් කැරැල්ලට  ජනතා සහයෝගයක් නොතිබූ නිසා   නිසා අවසන් වූ අතර අනෙක  දේශපාලන ත්‍රස්තවාදයකට පෙරලි දරුණු ලෙස මුදා හළ රාජ්‍ය භිෂණයකින් කෙළවර විය.

කෙසේ හෝ වේවා එසේ රජයක් පිහිටෙව්වා යයි සිතමු.  එසේ  පිහිටුවන රජයකට කියුබාවේ මෙන් නිදහස් අධ්‍යාපනය දිය හැකිය. කියුබාවේ නිදහස් සෞඛ්‍ය සේවය ලෝකයේ ප්‍රසංශාවට පාත්‍ර වුනු එකකි. නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් වෙදවරු, හෙදියන් වූ කියුබානුවන් ආරෝග්‍යශාලා වල තමන්ගේ සේවා මුරය අවසන් වූ පසු සංචාරකයන්ට මාර්ගෝපදේශකයන් හෝ ටැක්සි රියදුරන් ලෙස වැඩ කරමින් අමතර මුදලක් උපයති. ඒ ලැබෙන පඩිය ප්‍රමාණවත් නොවන නිසාය. කියුබාවේ අනිකුත් ජනතාවට ජිවත් වීමට එතරම් මුදල් නැත. රජයෙන් සලාකයට දෙන  දේ කා ජිවත් වෙති. නිදහස් අධ්‍යාපනය  වෙනුවෙන් ඔවුන් බදු ගෙවන්නේ තමන්ට වඩා  හොඳින් ජිවත් වීමට තිබෙන හැකියාව උකස් කරමිනි. නමුත් කියුබාවේ ඒ තත්වය දැන් වෙනස් වෙමින් යයි. එසේ වෙනස් වන්නේ කියුබානු කොමියුනිස්ට් පක්ෂය විසින් රාජ්‍ය ධනවාදය මූලික කොටගත්  ආර්ථික ක්‍රමය  තව දුරත් පවත්වා ගෙන යා නොහැකි බව වටහාගෙන සිටින නිසාය. 

ස්වීඩනයේ හෝ ජර්මනියේ ජනතාව දිළින්දන් නොකර මෙම නිදහස් අධ්‍යාපන අයිතිය ලබා දී තිබේ. 

 ශිෂ්‍ය අරගලයකින් පමණක් සමාජවාදී ආණ්ඩුවක් පිහිටවිය නොහැකිය. ඒ සඳහා අනිකුත් වැඩකරනජනතාව ගේ උදව් අවශ්‍යය. නමුත් අවම වශයෙන් ගාමන්ට් වල වැඩ කරන සේවකයන්  පවා තම සුළු බදු මුදලින් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට වියදම් කිරීමට කැමති නැත. රටේ අනිකුත් ජන කොටස් වල මතයද එසේමය.   

ලංකාවේ මිනුසුන් එවැන්නකට කැමති කර ගන්නට ඔබට ඇති හැකියාව ගැන මගේ විශ්වාසයක් දැනට නැත.    

සයිටම් එකේ ඉගෙන ගන්නේ ඇමැති දු පුතුන් නම් ඔවුන් එතනට ගීයේ අදාල අපොස උසස් පෙළ ප්‍රතිඵල නොමැතිව නම් එයට විරෝධය පල කරමු. නමුත් අනිකුත් සිසුන්ට ඇති ඉගෙනීමේ අයිතියට ගරු කරමු.

(නිදහස් අධ්‍යාපනය සඳහා අන්තර්  විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය ගෙන යන අරගලය ගැන මගේ මතය ඉදිරියේදී වෙනස් කරන බව  වාමාංශික පක්ෂයකට සහය දෙන මගේ ඉතා සුහද මිත්‍රයෙකුට පැවසුවෙමි. මේ ලිපිය එහි ප්‍රතිඵලයකි.මේ ලිපිය මෙතනින් අවසන් වන්නේ නැත. මේ ලිපි පෙළ මා ලියන්නේ තවත් අත්දැකීම් කිහිපයක් අදාළ කරගෙනය. ඒවා ඉදිරි ලිපිවල පළවනු ඇත)


Saturday, 16 July 2016

ජිජැක් සමග පැයක්

රයින් ගඟේ සුරූපිනියෝ 
"මේ ජනමත විචාරණයේදී බ්‍රිතාන්‍ය වැසියන්ට තිබුනේ නරක තේරීම් දෙකකින් වඩා සුදුසු  නරක තේරීමට චන්දය දෙන්නටය. එහෙත්  ඔවුන් ගෙන් බහුතරය චන්දය භාවිතා කලේ වඩාත්ම  නරක තේරීම සඳහාය. " ස්ලාවොයි ජිජැක් මෙසේ පැවසුවේ  රාජකීය උත්සව ශාලාවේ පසුගිය ජුනි මස අග සිට පැවති  "බලයේ  බලය Power of  Power " මැයින් වූ වැඩ සටහන් මාලාවක ප්‍රධාන ආරාධිත දේශනය කරමිනි.

 රිචර්ඩ් වැග්නර් නමැති ජර්මන් ජාතික සංගීතඥයාගේ නිබෙලුන්ගන් ගේ  මුද්ද (ring cycle - Der Ring des Nibelungen)  නැමති ඔපෙරා හතර වේදිකාගත කිරීමෙන් මෙය ඇරඹුණි. ජූලි 2 වන  සෙනසුරාදා  ස්ලවේනියානු දර්ශනවාදියකු වන ස්ලාවොයි ජිජැක්  "බලය සහ පාවාදීම " යන මැයෙන් කළ ප්‍රධාන දේශනයට සහභාගී වුනෙමි.

ජිජැක් ඉහත කතාව පැහැදිලි කිරීමට තවත් උපහැරණයක් භාවිතා කළේය. ඒ හිටපු  සෝවියට් නායකයෙකු වූ ස්ටාලින්ගේ කියමනකි. "මිනිසුන් ඡන්දයක් තිබේ යයි දැනගැනීම පමණක් ප්‍රමාණවත්ය. ඡන්දය දමන්නා කිසිවක්  තීරණය කරන්නේ නැත. සියල්ල තීරණය කරන්නේ ඡන්ද ගණන් කරන්නාය. "

රිචර්ඩ් වැග්නර් යනු ජර්මානු නාසි ආඥා දායක හිට්ලර් විසින් ප්‍රශංසා කරන ලද සංගිතඥයෙකි. ඔහුගේ නිර්මාණ නාසි ජර්මනියේ  භාවිතා වුනු නිසාම බොහෝ යුදෙව් ජාතිකයන් මෙන්ම ඊශ්‍රායල යද ඔහු ගේ ඔපෙරාවන් වර්ජනය කළහ. වැග්නර් ජිවත්ව සිටියේ නාසි ව්‍යාපාරය පටන් ගැනීමට බොහෝ කලකට පෙර වුවද හිට්ලර් විසින් ඔහුගේ සංගීතය හා ඇතැම් යුදෙව් විරෝධී අදහස් නාසිවාදී අදහස් පැතිරවීම සඳහා  උපයෝගී කරගත් බවට චෝදනා තිබේ.

ජිජැක් මෙහිදී  නිබෙලුන්ගේ මුද්ද සම්බන්ධ කතාව සැකෙවින් ඉදිරිපත් කළේය. මේ ඇත්තෙන්ම  ඩස් රයින්ගෝල්ඩ්, ඩී වැල්කිරී, සිග්ෆ්‍රිඩ් හා ගොටර්දමරුන්  යනුවෙන් හඳුන්වන ඔපෙරා හතරකි.

දෙවියන්ගේ රජු වන වෝටන් නිබෙලුන්ගෙන් නම් ගෝත්‍රයේ කුදු මිනිසෙකු වන  ඇල්බරික් සතු  මැජික් මුද්ද සොරකම් කරයි. ඇල්බරික් මුදුව සාදන්නේ රයින් මේඩන් හෙවත් රයින්  ගඟේ සුරූපිනියන් ගෙන් සොරාගත් රත්රන් වලිනි. මැජික් මුද්ද සතු තැනැත්තාට  මුළු ලොවම පාලනය කිරීමට බලය (power) ලැබේ.  (බලය කාටත් වැදගත්ය) නමුත් ෆෆ්නර් සහ ෆසොල්ට් නමැති යෝධයන් දෙදෙනා දෙවියන්ගේ වල්හාල්ලා නමැති දෙවොල සාදා දීම වෙනුවෙන් කුලිය ලෙස වෝටන් ගෙන් මුදුව තමන්ට  දෙන ලෙස බල කරයි. නැතහොත් රත්රන් ඇපල් ලබාදෙන දෙවඟන ෆ්‍රෙයා (Freia) පැහැරගන්නා බවට තර්ජනය කරයි. ආලයට, තාරුණ්‍යයට හා සුන්දරත්වයටද අධිපති දෙවඟන වන ෆ්‍රෙයා වොටන්ගේ බිරිඳ වන විවාහයට අධිපති ෆ්‍රිකා දෙවඟන ගේ සොයුරියයි. එනිසා ඇය බේරා  ගැනීමට වෝටන් ට මුදුව දීමට සිදුවේ.  (බලය සඳහා හුවමාරුව )

වෝටන් ගේ පුතා සිග්මුන්ඩ් හා ඔහුගේ ම සොයුරිය වන  සිග්ලින්ඩ් ගේ පුතා වන්නේ සිග්ෆ්‍රිඩ් ය.  එම සම්බන්ධය අයත් වන්නේ වෙනත් ජනකතාවකටය.  සිග්ලින්ඩ් විවාහ වන ගේටිෂ් රජු වන සිගියෙර් ට ඇය අකමැතිය. එම රජු සිග්ලින්ඩ් ගේ පියා සහ සහෝදරයන් මරා  දමයි. ඇය සිග්මුන්ඩ් පමණක් මරණයෙන් බේරා ගැනීමට  සමත් වන්නීය. සිග්ලින්ඩ් ඇගේ පුතුන් කැළයේ සැඟවී  සිටින සිග්මුන් ට යවන අතර ඔහු ඔවුන් මරා දමයි. (බලය හා ජීවිතය පිළිබඳ ආශාව නෑදෑ කමද යට කර දමයි) මන්ත්‍රකාරියක සේ වෙස්වලා ගන්නා සින්ග්ලින්ඩ් තම සොයුරා  වන සිග්මන්ඩ් සමග ලිංගිකව හැසිරේ . සිග්ෆ්‍රිඩ් වීරයා  උපදින්නේ එලෙසය.  පසුව තම ක්‍රියාව හෙළි දරව් කරන ඇය තම සැමියා වන සිගියෙර් රජු  ගේ චිතකයට පැන දිවි නසා ගනී.

 සිග්ෆ්‍රිඩ් දරුණු මකරෙකු මරා උගේ ලෙයින් තම සිරුර නහවන්නේ කිසිදු සටනකින් ඔහුව  මරා දැමීමට සතුරන්ට නොහැකි වනු පරිදිය. නමුත් ගසක කොළයක් වැටීම නිසා ඔහුගේ ඇලපතේ කොටසක් මකර ලේ වලින් නැහැවෙන්නේ නැත.  (බලය පිලිබඳ අරගලයේදී නොදැනීම සිදුවන වැරදීම පසු කලෙක මාරාන්තික විය හැකිය. ) සිෆ්රිඩ් විසින් යෝධයන් දෙදෙන මරා මුදුව වෝටන්ට යලි  ලබා දෙයි.

සිග්ෆ්‍රිඩ් ට ගුන්තර් නමැති රජුගේ සොහොයුරිය ක්‍රිම්හිල්ඩ් විවාහ කර ගැනීමට අවශ්‍ය වෙයි. ගුන්තර් ට අයිස්ලන්තයේ බලවත් රැජින වන වැල්කිරේ බ්රුන්හිල්ඩ් විවාහ කරගැනීමට සිග්ෆ්රිඩ් ගේ සහය පතයි. ඇය ඉතා බල සම්පන්න කාන්තාවකි. එනිසා නොපෙනී යා හැකි බලයක් ඇති සිෆ්රිඩ් ගුන්තර් රජු සඳහා ඇයව මෙල්ල කරයි. බ්රුන්හිල්ඩ් යටත් කර ගන්නා  සිග්ෆ්රිඩ් ඇගේ මුදුව හා මේඛලාව සොරා ගෙන තම බිරිඳට දෙයි. මෙසේ නොයෙකුත් කූට උපක්‍රම මධ්‍යයේ ගුන්තර් රජු හා බ්රුන්හිල්ඩ්ව අතර විවාහය සිදුවෙයි.

පසුව මේ කූට උපක්‍රම වටහා ගන්නා රැජින ගුන්තර් ඇතුළු සියල්ලෝම මරා දමයි. සිග්ෆ්රිඩ් ගේ යහළු හැගෙන්  සිග්ෆ්රිඩ් ගේ ඇලපතේ රහස දැන ඔහු පාවා  දෙයි. මේ හැගෙන්  ඇල්බරික් ගේ පුත්‍රයාය. සිග්ෆ්‍රිඩ් මරා දැමෙන අතර  ඔහුගේ බිරිඳ ක්‍රිම්හිල්ඩ් සිග්ෆ්රිඩ් මරා  දැමූ පලිය ගන්නේ හැගෙන් වද  මරා දමමිනි.

මේ බල අරගලය අවසන් වන්නේ දෙවියන් සහ ඔවුන්ගේ දෙවොලද ඇතුළු සියල්ලෝම විනාශ වී යාමෙනි.

ජෙරෙමි කෝබින් යුරෝපය පිලිබඳ බැලුවේ සුභවාදී ආකල්පයකින් නොවේ. එහෙත් බහු ජාතික සමාගම් වල බලය බ්‍රිතාන්‍යයේ බිඳ  දැමෙන්නේ යුරෝපා සංගමයේ කම්කරු නීති නිසා බව කෝබින් පිළි  ගනී.  එසේම සමස්තයක් වශයෙන් ගත් කළ බ්‍රිතාන්‍යයේ බල අරගලය තුල ඇති දක්ෂිණාංශික බලවේග ඉදිරියට ඒම හොඳ දෙයක් නොවේ.

එනිසා ජිජැක් ගේ මතයට අනුව යුරෝපා සංගමයෙන් ඉවත්ව යාමට චන්දය දීමෙන් අති දක්ෂිණාංශික බලවේග වලට නව පණක් යුරෝපය පුරා  ලබා දී තිබේ. මේ නිසා ඉදිරි බල අරගලයන් මේ හැම තැනකම ඉතා තියුණු විය හැකිය. බ්රුටස් මෙන් පිටු පසින් පිහියෙන් ඇනීම්ද  සිදු විය හැකිය.

බොරිස් ජොන්සන් අගමැති සටනින් ඉවත් කිරීම, බ්‍රිතාන්‍ය අගමැති අපේක්ෂක  තෙරේසා මේ  ට ඉඩදී ඇන්ජෙලා ලෙඩ්සන් ඉවත් වීම තුලින් ජන මාධ්‍ය හා අති  දක්ෂිනාංශය ජයගෙන තිබෙන බව පැහැදිලිය. මේ ජනමාධ්‍ය හා කම්කරු පක්ෂයේ බ්ලෙයාර් වාදී මන්ත්‍රීවරු කම්කරු පක්ෂයේ වඩා වාමවාදී නායකයා එළවිමටද  සටන් වැද  තිබේ.  බ්‍රිතාන්‍යය එක්සත් රටක් ලෙස තව දුරටත් පවතීද යන්න ද අවිනිශ්චිතය.

අද ජූලි  12 දා ලැබුණු ප්‍රවෘත්තියකට අනුව කොන්සර්වටිව් දක්ෂිනාංශයේ  තෙරේසා  මේ බ්‍රිතාන්‍ය අගමැතිනිය වනු ඇත.  කම්කරු පක්ෂයේ නායකත්වය සඳහා ඇන්ජෙලා ඊගල් සමග චන්දයකට මුහුණ දීමට කෝබින්ට සිදු වී තිබේ.

ජිජැක් ගේ අදහසට අනුව සියල්ල විනාශයකින් කෙළවර විය නොහැකිය. ප්‍රතිවිරෝධී බලවේගයන් සහිත බල අරගලයක් විසින් නිර්මාණය  වන්නේ කුමක්ද යන්න වඩා  බලවත් බලය විසින් තීරණය කරනු ඇත.

මේ අනුව ජිජැක් වැග්නර් ගේ ඔපෙරාව අනුසාරයෙන් ඉදිරිපත් කළ  බල අරගලය එකිනෙකා  විනාශ කරමින් ඇදී  යන ආකාරය අපට මේ දේශපාලන වේදිකාවේ සැබවින්ම  නැරඹිය හැකිය.

ශ්‍රී ලංකාවේ වන්නේත් මෙයම නොවේද?

 මෙය 16/07/2016 සත්හඬ පුවත්පතේ යුරෝපියානුවාගේ කොළම යටතේ පළ වූවකි.)


මූලාශ්‍ර:
http://www.jewishvirtuallibrary.org/jsource/anti-semitism/Wagner.html
https://en.wikipedia.org/wiki/Rhinemaidens
http://www.classicfm.com/composers/wagner/guides/wagner-ring-cycle-where-start/

Wednesday, 13 July 2016

අපේ දියණියන් අපට හොඳයි

මේ කෙටි සටහන ලියන්නට සිතුනේ රන්දිල් ගේ මේ ලිපිය කියවීමෙන් පස්සේ. බෝධිනී විසින් ඇයට එවූ ලිපියක පරිවර්තනයක්. කියෙව්වට පස්සේ  මම ප්‍රතිචාරයකුත් දැම්මා.

මට සිටින්නේ දියණියන් දෙදෙනෙක්. මම උන් දෙන්නට මේ ලෝකේ තියෙනේ හැම දේටම වඩා ආදරෙයි. මගේ බිරිඳත් එහෙමයි.

අපේ  වැඩිමහළු දියණිය වසරක පමණ කාලේ (දෙවෙනි දියණිය ලැබී නැහැ) අපේ ඉන්දීය සම්භවයක් ඇති යාලුවෙකුගේ නිවසක සාදයකට ගියා. ඔහුගේ බිරිඳ ප්‍රංශ යුවතියක්. ඇයත් මගේ බිරිඳත් යෙහෙලියන්. එදා ඒ ගෙදර හිටියේ ඉන්දියාවෙන් සංචාරයකට පැමිණ සිටි ඉන්දීය පවුලක්. ඉන්දියන් කාරයා  මගෙන් ඇහුව,
"මෙච්චරද " කියල. ඒ කියන්නේ දුව විතරද කියල. මම ඔව් කිව්වා.   ඒ ගමන මූ දුව හිටිය ප්‍රෑම් එකට එබිලා බැලුව මූනා ඇඹුල් කරගෙන.  මූට ඉන්නේ පුතාල දෙන්නයි දුවයි.

"ආ ලස්සනයි නේ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. හොඳ කසාදෙකට දෙන්න පුළුවන්."  මට මල පැන්නා. යාළුවෙකුගේ ගෙදර අමුත්තෙක් වශයෙන් ඉන්න නිසා මූට බනින්නත් බැහැ.
මම කිව්වා "අපි  දරුවා හැදුවේ කසාද බඳින්න දෙන්නම නොවේ.  ඉන්දියන් කොල්ලෝ ඔච්චර ඉන්දෙද්දී අජටකාශයට යවන්න තේරුණ අර කල්පනා චව්ලා වගේ වෙන්න. මැරුණත් කමක් නැහැ . ගෑණුන්ට ගරහන ඉන්දියන් කොල්ලෙක් බඳින්නේ නැතුවට කමක් නැහැ."
පොර හීන් සීරුවේ සාදයේ පැත්තකට ගියා.

අපෙන්, හුඟක් වෙලාවට මගෙන් නිතර අහන ප්‍රශ්නයක් තමයි - ළමයි දෙන්නම ගෑණු ලමයිද?  ඔව් කිව්වම එක්කෝ "ආඃ" ගාල සුසුමක් අරිනවා - එහෙම නැත්නම් "අපරාදේ කෙල්ලෝම දෙන්නෙක් නේද" කියල.
හුඟක් වෙලාවට මම උත්තර දෙන්නේ මෙහෙම.
(කියන කෙනා ලංකාවේ නම් - හුඟක් වෙලාවට  එහෙමයි)
"කෙල්ලෝම දෙන්නෙක් තමා. උන් දෙන්නම මට හරි ආදරෙයි. කොන්දේසි නැති එහෙම ආදරයක් ලබන්න මම කොච්චර වාසනා වන්තද කියල හැම වෙලේම හිතෙනවා."

ඊට පස්සේ කතාව යන්නේ මෙහෙම.
"ඔය ගොල්ලන්ට නම් ප්‍රශ්නයක් නැහැ. එංගලන්තෙනේ ඉන්නේ. කෙල්ලන් කියලා වෙනසක් නැහැනේ ඔය රටේ. රස්සා කියලද  කොල්ලෙක් හොයා ගන්න කියලද ? ඔක්කොම ලේසියි. අනික දෑවැදි දෙන්න කියලද?"
මම කියනවා එතකොට.
"අපි ලංකාවේ හිටියයි කියලත් ඕක වෙනස් වෙන්නේ නැහැ. මම කවදාවත්  දෑවැදි දෙන්න යන්නේ නැහැ. අනික ඔයාල හිතනවට වඩා දැන් ලංකාවේ කොල්ලෝ දියුණුයි. උන් ඔච්චර පසුගාමී නැහැ කියල මට හිතෙන්නේ. අනික ලංකාවේ  කෙල්ලොත් ඔයිට වඩා ඉදිරියෙන් ඉන්නේ. නව පරම්පරාව. උන් කොල්ලෝ කන්න දෙනකන් ඉන්නේ  නැහැ. තමන් හම්බ කරගෙන ජිවත් වෙන කෙල්ලෝ මට ලංකාවේ ඕන තරම් හමුවෙලා තියෙනවා. අනික අරාබි ගිහිල්ල හරි පවුලට ගෙයක් හදන්නේ, මිනිහට බොන්න සල්ලි දෙන්නේ පවා ගැහැනුණේ. ඉතින් ලංකාවේ ගෑණියෙක් ඉන්න එක මිනිහෙකුට නම් වාසනාවක්. "
ඊට පස්සේ කතාව නවතිනවා.

සුද්දෝ ඒ කියන්නේ ජර්මන් කාරයෝ, ඉංග්‍රීසි මිනිස්සු මේ වගේ කතා කවදාවත් කියල නැහැ. කෙල්ලෙක් ලැබෙන එක ඉන්දියාවේ වගේ බරක් නොවෙන නිසා වෙන්න ඇති.

 වරක් එක්  කාන්තාවකගේ පුංචි පුතා සමග මම පාපන්දු සෙල්ලම් කලා. ඇය ටිකකින් කියනව.
 "පුතෙක් නැති එක ගැන දුකයි නේද ?" කියල. මම ඇහුවා,
"නැහැ. ඇයි එහෙම අහන්නේ " කියල.
"නැහැ ඔයා මගේ පුතා එක්ක ආදරෙන් සෙල්ලම් කරනවනේ. මගේ හස්බන්ඩ් ට නම් ඕවට වෙලාවක් නැහැ "  මට හිතා ගන්න  බැරි වුණා මොකක් කියන්නද  කියල.  ඇගේ සැමියා ලාංකිකයෙක්.
මම කිව්වා මම ෆුට් බෝල් ගහන්න කැමතියි කියල.

ඉන්පස්සේ දවසක ඇය අපේ උත්සවයකට පැමිණි අවස්ථාවක දුටුවා මම දියණියන් දෙදෙනා සහ තවත්  ළමයි සමග ක්‍රිකට් සෙල්ලම් කරනවා.  සෙල්ලම් කරන්න පුතෙක්ම ඕනේ නැති  බව ඇයට තේරෙන්න ඇති. මොකද මට ඇහුනා සැමියාට බනිනවා." ළමයත් අරගෙන යනවකෝ පොඩ්ඩක් සෙල්ලම් කරන්න අතනට" කියල.


මට හුඟක් දුක හිතුනේ මගේ පොඩි දුව මිට වසර දෙකකට කලින් කියපු කතාවකට . ඇයට අවුරුදු 9යි එතකොට. අපි පිරිමි පූස් පැටියෙක් බේරා ගත්ත වයස සතියක දෙකක. වෙන කට්ටියක් අතරමං  කරලා ගිය. පූසා මට හරිම ආදරෙයි. ඌව බේරා  ගත්ත නිසා හරි, උගේ මව මම කියල හිතපු නිසා හරි වෙන්න ඇති. මම එලියට ගියත් ඌ මගේ පස්සේ.
දුව කියනවා "තාත්තට දැන් හිතට සතුටු ඇති නේද "
"ඇයි පුතේ "
"ඇයි දැන් පූස් පුතා ඉන්න වනේ  "
"ඒ කිව්වේ "
"අම්ම කිව්වා ඔයා  හරි කණගාටුවෙන් ඉන්නේ පුතෙක් නැති නිසා. හැමෝම අහනව කියල ඔයාගෙන් ඒ ගැන. දැන් හරිනේ.  අපි දුවල දෙන්නයි . පූස් පුතයි. "
මම පොඩි එකාව බදා ගත්තා. මම උන්ට කතා කරන්නේ පුතේ කියල. ඒක මගේ දෙමාපියෝ මට එහෙම කතා කරපු නිසා වෙන්න ඇති. මම කිව්වා මම සිංහලෙන් පුතේ කියල කතා කරන්නේ ඒක පුරුදු වෙලා නිසා කියල. මම නෑදෑ ළමයින්ට කතා කරන්නෙත් එහෙම වෙනසක් නැතුව. දුව හෝ පුතා වුනත් මම පුතේ කියලයි කියන්නේ.
මම කිව්වා එයාට "මම කවදාවත්  කියල නැහැ ඔයාල දෙන්න  වෙනුවට පුතෙක් හොඳයි කියල.  පුතෙක් නැති වුනා කියල දුක් වෙලත් නැහැ. උඹල දෙන්නට මම මේ ලෝකේ තියෙන මොනම දේටත් වඩා ආදරෙයි. අම්ම එහෙම කියන්න ඇත්තේ අනිත් අය  අහන ප්‍රශ්න නිසා වෙන්න ඇති කියල".

හැබැයි එදා රෑ නම් ගෙදර ලොකු වාදයක් ගියා  බිරිඳ එක්ක. එදා නම් පැහැදිලිවම මම එයාට  කිව්වා.
 "ඔය එක එක  මිනිස්සු කියන ඒවා අහන්න එපා. මම ඔයාට කවදාවත් කියල තියනවද පුතෙක් නැති එක ප්‍රශ්නයක් හෝ දුකක් වගේ දෙයක්. නැහැනේ. ළමයින්ට මිට පස්සේ ඔහොම දේවල් කීම තහනම්."

වරදවා වටහා ගන්න නම් එපා. මම පුතාලට ආදරෙයි. දෙගොල්ලටම. කිසි වෙනසක් නැහැ. නමුත් මට මගේ දුවල දෙන්න සම්පතක්. මම කවදාවත් කණගාටු වෙලා නැහැ දූලා දෙන්නෙක් ලැබීම ගැන.

එක පාරක් උන් දෙන්නට වයස 4, 6 යි කාලේ අපි හිටපු හෝටලේ ඉඳන් උදේ හෝටන් තැන්නේ ලෝකාන්තයට ගියා බලන්න. කිලෝ මීටර 8කට වැඩි දුරක් පයින්ම නේ  යන්න ඕනේ. අව්වට හෙම ළමයි මහන්සි වෙලා අඬයි ,  දෙන්න පොඩියි කියල හෝටලෙන් කෙනෙක් ආව අපිත් එක්ක උදව්වට. දෙන්නම දවල් මධ්‍යහ්නයේදීත් ඇවිදගෙනම ආව . කිසිම මොහොතක වඩා ගන්න කීවේ නැහැ. අර මහත්මයටත් පුදුමයි. පොර ළමයි දෙන්න හෝටලේට ආපහු ආවට පස්සේ වඩා ගත්ත.  පොඩි දෙන්න පයින්ම ආව කියල. දැනුත් උන් දෙන්න කඳු නගින්න,  හැතැප්ම පහ දහය  එක දිගට ඇවිදින්න  හපන්නු.

දෙන්න අවුරුදු හතර පහේ ඉඳන් තනියම බෙදල දෙන කෑම එක කනවා. පස්සෙන් දුවන් ගිහින් කවන්න ඕනේ නැහැ. කවදාවත් කෑම වෙලාව කරදරයක් කරගෙන නැහැ. මගේ මල්ලිගේ පුතාට අවුරුදු නමයයි.  ඒ නංගි කැව්වේ නැත්නම් කන්නේ නැහැ.  අක්කගේ ලොකු පුතා අවුරුදු 14 වෙනකනුත් මගේ අම්ම (කිරි අම්මා) කැව්වා. හැබැයි අක්කගේ දුවට කැව්වේ නැති එක ගැන නම් මම බැන්න. අම්මා කියනවා කෙල්ලන්ට මොකටද කවන්නේ. බෙදාගෙන කන්න  දැන ගන්න  එපයි කියල. එදා නම් අම්මාට මම ටිකක් තදින් කතා කළා. දුව පුතා කියල වෙනසක් කරන්න එපා . ඒ ආදි කාලේ . කවදාවත් මෙහෙම   කරන්න නම්  එපා. ඒ දුවලට කොච්චර දුක හිතෙනවා ඇත්ද? මම එදා ඒ දුවගේ මුහුණින් දැක්කා ඒක.

පුංචි කාලේ මම පොඩි උන් ට නින්දට යන්න කිව්වා "නිල්  අහස්  තලේ අගේ " කියන් ගීතය, දෙන්නටම අදටත් ඒ පද ටික මතකයි.

මට මගේ කෙල්ලෝ දෙන්න රත්තරන්.




Saturday, 9 July 2016

යුරෝපියානු සහෝදරත්ව රැලිය

පසුගිය ජුලි 2 වන සෙනසුරදා දහවල සිට පැවතුනු යුරෝපා සංගමයෙන් වෙන්වී යාමට විරෝධය පෑමේ රැලියට සහභාගී වුනෙමි. මා  සමග මගේ බිරිඳ  හා දියණියන් දෙදෙනාද මේ රැලියට සහභගි වූයේ පැන  නගින ජාතිවාදී සිද්ධීන් වලට විරෝධය  පෑමටය.

 හතලිස් දහසක පමණ ජනකායක් සහභාගී වූ රැලිය අමතා කථිකයන් කිහිප දෙනෙක්ම කතා කළ අතර,  යුරෝපා සංගමයෙන් ඉවත්ව යාමට සහයෝගය දුන් කණඩායම අසත්‍ය පොරොන්දු දෙමින් ජනතාව මුලා  කිරීම පිළිබඳව ඔවුනට චෝදනා නැගුහ.
මිලියන් 350ක් නැත 

මින් එකක් වූයේ  බ්‍රිතාන්‍යය යුරෝපයට ගෙවන මුදලින්  සතියකට  පවුම් මිලියන 350 බ්‍රිතාන්‍යයේ නිදහස් සෞඛ්‍ය සේවය  නගා සිටවිමට යෙදවිය හැකි  බවයි. මෙය  ඉටු කල නොහැකි පොරොන්දුවක් වන්නේ බ්‍රිතාන්‍යයෙන් ඇත්තටම ගෙවන  සතියකට පවුම් මිලියන් 180ක් පමණ වන හෙයිනි. එයිනුත් වසරකට පවුම් බිලියන 2-3 ත් අතර ප්‍රමාණයක් විද්‍යාත්මක පර්යේෂණ හා අධ්‍යාපන පර්යේෂණ සඳහා බ්‍රිතාන්‍ය ආයතනවලට නැවතත් ලැබෙයි.  එසේම යුරෝපා සංගමය විසින් පවුම් බිලියන 4 ක පමණ සහනාධාර මුදලක් බ්‍රිතාන්‍යයේ ගොවීන්ට ලබා දෙයි. වේල්සයේ බැටළු මස් 40% පමණ මිලදී ගන්නේද යුරෝපා සංගමයයි.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්ව යෑම ගැන සිහි කරමින් දර්ශන වාදියෙකු වන ජිජැක් පැවසුවේ බ්‍රිතාන්‍ය වැසියන්ට තෝරාගැනීමට දී තිබුනේ "නරක තේරීම්" දෙකක් බවයි. යුරෝපා සංගමයේ රැඳී සිටීම ද ප්‍රශ්නයක් ඇති කරන අතර ඉන් ඉවත් වීමද ප්‍රශ්නයකි. මේ නිසා ජනතාවට  සිදු වුයේ වඩා හොඳ "නරක තේරීම"ට චන්දය දෙන්නටය. ඔවුන් ඉන් වඩාත්ම නරක තේරීම තෝරාගෙන ඇත.

 ග්‍රීක වාමවාදී දේශපාලනඥයෙකු වන ස්ටතිස් කුවාලකිස් මෙහිදී ගන්නා  ස්ථාවරය තරමක් ප්‍රශ්නකාරී එකකි.  ඇත්තටම යුරෝපිය නිලධාරිවාදය ප්‍රශ්නයක් බව ඇත්තය.  නමුත් යුරෝපයේ නීති වෙනස් කරන්නට නොහැකි යයි කියන කතාව තරමක්  සාවද්‍ය එකකි.  ජනතාව වඩා වාමාංශික මන්ත්‍රීවරුන්ට චන්දය දෙන්නේ නම් නීති වෙනස් කිරම ප්‍රශ්නයක් නොවේ.
උඬගු ලන්ඩන් නගරයේ සමස්ත ස්වයං තෘප්ත ස්ථාවරය  රැඳී සිටීමට සහය දැක්වූවා යැයි ඔහු දක්වන  අදහසින් ම  කුවාලකිස් සිටින ස්ථාවරයේ වැරැද්ද හෙළිවේ. ලන්ඩනයේ සිටින්නේ නොයෙකුත් ජාතීන්ගෙන් සැදුම් ලත් ජාත්‍යන්තර වැඩ කරනජනතාවකි. ඔවුන්ට වැඩියෙන් මුදල් තිබෙන බව සැබෑය. නමුත් ඔවුන් ජාතිවාදයට එරෙහිව, සැබෑ සංහිඳියාව හා ජාත්‍යන්තර සහෝදරත්වය  වෙනුවෙන් චන්දය පාවිච්චි කළහ. මට පෙනෙන්නේ කුවාලකිස් මෙහිදී අතරමන් වී ඇති බවයි.

මා 1990 දශකයේ රැකියා කල කාලයේ බ්‍රිතාන්‍යයේ කොම්පැනි හිමියන්ට අවශ්‍ය නම් සේවකයෙකුට පැය 12 ක් වැඩ කරන්නට යැයි කිව හැකිව තිබුණි. එය ප්‍රතික්ෂේප කළ හොත් රැකියාව අහිමි වේ. එසේම මාතෘ  නිවාඩු තිබුනේ සුමාන දෙකකි. පිතෘ නිවාඩු තිබුනේම  නැත. සෞඛ්‍ය  රක්ෂණය හෝ විශ්‍රාම වැටුපට මුදල් ගෙවීම අනිවාර්ය නැත. මේ නිසා රක්ෂණයක් තිබුනේ නැති අතර විශ්‍රාම වැටුප ලැබුනේ රජයෙන් පමණි. ජර්මන් හා ප්‍රංශ ජාතිකයන්ට තමන් කළ රැකියාවේ වැටුපෙන්  80%-90% පමණ විශ්‍රාම වැටුප ලෙස ලැබෙන තත්වයක් තිබුණි.

යුරෝපා සංගමය විසින් රැකියා කරන්නන් සඳහා ලියවිල්ලක් ඉදිරිපත් කර එය නීතියක් වශයෙන් සම්මත කර ගත් (worker's rights charter)  පසු බ්‍රිතාන්‍යයේ රැකියා කරන හැමෝටම පැය  අටට වඩා  වැඩ කරන්නට නම් සේවක අනුමැතිය අවශ්‍ය  බව නීතිගත කරන ලදී. පඩි සහිත මාතෘ නිවාඩු මාස හය දක්වා දික් කෙරුණි. පිතෘ නිවාඩු මාස  දෙකකි. විශ්‍රාම වැටුප සඳහා ගෙවීම  අනිවාර්ය කර තිබේ. බොහෝ බහු ජාතික සමාගම් මෙයට අකමැති වුනු අතර ශ්‍රී ලංකාවට හා ඉන්දියාවට කෝල් සෙන්ටර් හදාගෙන ගියේ මේ බහු ජාතික සමාගම්ය. යුරෝපා සංගමයේ සිටියොත් බහු ජාතික සමාගම් වල සූරාකෑම වැඩි වෙතැයි කියන කුවාලකිස් මෙන්ම ඇතැම් ශ්‍රී ලංකික වාමාංශිකයන්ගේ ස්ථාවරයද සාවද්‍ය එකකි.

දක්ෂිණාංශික පුවත් පතක් වන ඩේලි මේල් වලට විරෝධය 
එසේම බොහෝ දක්ෂිණාංශික පුවත් පත් හා වේ අඩවි බොහෝවිට  බොරු ප්‍රචාරය කළහ. යුරෝපා සංගමය බ්‍රිතාන්‍යයේ ස්වාධීනත්වය උදුරාගෙන ඇතැයි  යන්න එකකි. පසුගිය අවුරුද්දේ පමණක් වැඩි චන්දයෙන් සම්මත වූ බ්‍රිතාන්‍යයේ සශෝධන ගණන 2644 කි. වැඩි චන්දයෙන් ප්‍රතික්ෂේප වුයේ 56ක් පමණි.  අනිත් කරණය නම් තමන් මුදල් ගෙවා සංගමයක රැඳී සිටිත් නම් එහි වැඩි චන්දයෙන් සම්මත වන යෝජනාවලට හිස නමන්නට සිදුවේ. මේ බොහෝ චෝදනා හානිකර ඒවා නොවේ. මිට අමතරව රුමේනියාව, බල්ගේරියාව වැනි දියුණුවෙන් අඩු රටවල් රුසියාව තනි කිරීම සඳහා  යුරෝපියානු සංගමයට ඇතුලත් කර ගැනීමට බල කළ රටක් වුයේද  බ්‍රිතාන්‍යයයි. එසේ යුරෝපියනුන් පැමිණීම  වැඩිවූ පසු ඉවත්ව යන්නේද මේ රටමය.  

බ්‍රිතාන්‍යයේ, විශේෂයෙන්ම  ලන්ඩනය වැනි නගර වල මිශ්‍ර විවාහ බොහෝ තිබේ. මව හෝ  පියා  ජර්මන්, ප්‍රංශ, පෘතුගීසි වැනි දරුවන් බොහොමයක් සිටිති. එවැනි පවුල්ද මේ වෙන්වීමට දැඩි විරෝධය පළ කරති.  ඉහත රූ පයේ සිටින්නේ එවැනි දරුවන් දෙදෙනෙකි.

මේ ඉංග්‍රීසි ජාතික යුවල ජෝන් ලෙනන් ගේ ගීයක කොටසක් ලියාගෙන සිටිති. දේශ සිමා නැති ආගම්  භේද නැති යුරෝපයක් ඔවුන් ගේ පැතුම විය. එය දැන් බිඳී ගොස් තිබේ.

- මේ ලිපිය සත්හඬ පුවත් පතේ යුරෝපියානුවාගේ කොළම යටතේ පලවී තිබේ.

Thursday, 7 July 2016

හිත වෙනස් කල සුන්දර වෙනීසිය

මේ ලිපියේ  පළමු කොටස මෙහි තිබේ.

රෝමයේ දී හමුවූ බංගලි ජාතිකයාගෙන් මොබයිල් එකට ස්ටික් එකක් මිලදී ගත්තෙමි. පින්තුරයේ සිටින්නේ ඔහුය.
 පින්තුරය ගත්තේද ඔහු විකුණු ස්ටික් එක භාවිතා කරය. බිරිඳ එපා කීවත් එසේ කලේ මේ ඉන්දියානු අත්දැකීමෙන් පසුවය. "දීපන්" නම් චිත්‍රපටියේ දෙමළ සහෝදරයා පැරිසියේ කළේත් මේ රැකියාවමය.

රෝමයෙන් පසු අප දුම්රියෙන් ගියේ වෙනිසියටය. රෝම දුම්රිය පලේ ළමයි හා බිරිඳ තනියම දමා යා නොහැකිය. රුමේනියානු ජිප්සී වරුන් අසල කැරකේ. මගේ මිතුරෙකු තම දියණිය හා බිරිඳ සුට්කේස් සමග තනි කොට දුම්රිය වෙලාවල් බැලීමට ගිය වෙලේ ඔවුන්ගේ බඩු භාණ්ඩ උදුරා දිව ගොස් තිබුණි. ගමන් බලපත්‍ර මුදල් ආදියද ඒවායේ තිබුණි. නමුත් එවැන්නන් සිටීම යුරෝපයෙන් ඉවත්ව යාමට හේතුවක් නම් නොවේ. ඉතාලියේ කිසියම් ප්‍රමාණයකට නීතිය  ගැන එතරම් සලකන්නේ නැති බව  නම් පෙනුනි.

 ඒ  නිසා දුම්රිය එනතුරු අප අවන්හලකට වී සිටියෙමු. සැපපහසු  සීඝ්‍රගාමී දුම්රියේ ගමනද ප්‍රියජනක එකක් විය.

වෙනිසියේ කොලොම්බෝ නම් පෙදෙසක් තිබේ.  මේ එහි කොලොම්බෝ නම් හෝටලයයි. මා මේ ඡායාරූපය ගත්තේ නම නිසාය. ගමයා කිය කෑල්ලක් සොයා ගැනීමට තිබුනේ නැත.

මේ නොම්මර 4L බස් රථය  වෙනිසියේ සිට කොළඹට යන එකකි.

මින් හැතැප්මක් දෙකක් දුරින් පිහිටි ගමක් වැනි පෙදෙසක අප වෙන් කරගත්  කුඩා හෝටලය පිහිටා  තිබුණි. එය අයත්ව තිබුනේ ඉතාලියානුවෙකුටය. ඔහු අප සාදරයෙන් පිළිගත් අතර අපට හෝටලයේ මුළුතැන් ගෙය හා ශීතකරණ ද භාවිතා කිරීමට ඉඩ දුන්නේ මටත් එක දියණියකටත් ආහාර වලින් ඇතිවන අසාත්මිකතා ප්‍රශ්න  ඇති බැවිනි. අපි ඔහුගෙන් හොඳ  ඉතාලියන් ආහාර ඇති තැන්  ගැන විමසුවෙමු.  ලන්ඩනයේදීත් ඉතාලියානු හා ජර්මන් ආහාර වල තත්වයන් උසස් බව පිලි ගන්නා  කාරණයකි.  ඒ නිසාම ලන්ඩනයේ ඉතාලි  ආහාර වල  මිල අධිකය.  තත්වයෙන් හොඳ ආහාර සාමන්‍යයෙන් විකුණන්නේ වේට්‍රෝස්, මාක්ස් ඇන්ඩ් ස්පෙන්සර් වැනි සුපර්මාර්කට් වලය. එනමුදු ජර්මනියේ හා ප්‍රංශයේ ආහාර තත්ත්ව පාලන නීති ඉතා දැඩි නිසා ඕනෑම ලාභ වෙළඳ පලක වුවද ආහාර වල තත්වය උසස්ය.  (යුරෝපයෙන් ඉවත්ව යාමට තව හේතුවක් දෙන්නට මට හැකිය . එංගලන්තයේ මිනිසුන්ට කුණු කැවීමට ව්‍යාපාර වලට දැන් වඩා ලෙහෙසියෙන් පුළුවන.)  

අප නැවතී සිටි බ්‍රෙඩ් ඇන්ඩ්  බ්‍රෙක්ෆස්ට් හෝටලයේ අයිතිකරු අපට ඒ ළඟ තිබෙන ආපනශාලාව ඉතාලියානුවන් කරන අවට ප්‍රදේශයෙන් ගෙනන අලුත්ම  එළවලු, මස් මාළු පිළියෙළ කරන හොඳ තැනක් ලෙස හඳුන්වා දෙන ලදී. එය ඇත්තෙන්ම ඉතා 
ප්‍රණීත ආහාර පිළියෙළ කරන තැනකි. ඉතාලියේ කෑම ලෝකයේ කොහොමත් නම් දරා  තිබෙන අතර මේ  අවන්හල ඒ නමට ගෞරවය ගෙන දෙන්නක් විය. විශාල සිසිලියානු පිට්සා එකක් යුරෝ 7 ක් පමණ වන අතර ඒ ලන්ඩන් වල ගණනින් නම් භාගයකි. නමුත් පුරුද්දට එකක් ගත්තත් අඟල් 14 පිට්සා  එක තනියම කෑමට නොහැකිය. එසේම එය ඉතා රසවත්ය. මෙලෙස ඒ දින කිහිපයේ නොයෙකුත් ඉතාලි කෑම වර්ග වල රස  විඳින  අතරම සුන්දර වෙනිසියේ සංචාරය කළෙමු. 

පහල ඇති පින්තුරයේ ඇත්තේ අපායට  යන මහා මාර්ගය ඇත්තේ එතැන බවයි. වෙනිසිය ගැන නම් වෙනත් ලිපියක්ම  ලිවිය යුතුය.   
අපායට යන මහමග 
අප සිටි  ගමේ හෝටලය පැත්තේ ඇති කුඩා කඩ එකෙන් දෙකෙන් කිරි, පලතුරු, චීස් වැනි දේ උදේ ආහාරයට ගන්නට ගියෙමු. කඩ හිමි කාන්තාව  ඉතා ප්‍රීතියෙන් අපට බඩු විකුණුවා පමණක් නොව අප හා කතා කිරීමටද එළඹුනාය. වැඩිපුරම කැඩුණු ඉංග්‍රීසියෙන් මා සමගය. ලංකාවේ ඉපදී ලන්ඩනයේ ජිවත් වන කතාව  දෙතැනකම කියන්නට සිදුවිය. හැබැයි මට මෙය තරමක් විමතිය දනවන්නක් විය.  මුල් දවසේ හවස අපි අර අවන්හලේ එළියේ ඇති කොටසේ  ආහාර ගනිද්දී එහි ඇති වැටට උඩින් අප දෙස විමතියෙන්  මෙන්  දකුණු ආසියාතිකයන් දෙදෙනෙකු බලාගෙන යනු දුටිමි.    

එදින වෙනිසියට  ගොස් පැමිණි පසු අපි අවට ඇවිදීමට ගියෙමු. ඒ අසල බංග්ලාදේශ ජාතිකයන්ට අයත් කඩයකින් පලතුරු ආදිය  මිලට ගනිද්දී ඔවුන් හා කතාවට  වැටුණු මා දැනගත්තේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු පමණ එහි ජිවත් වන බවයි.  නේපාල ජාතිකයන්ද සිටි අතර බොහෝ අය බංග්ලා ජාතිකයන්ය. අප සිටි හෝටලයේ ඉතාලියානු හෝටල් හිමියා ගෙන් දැනගත් පරිදී  ඔවුන් ප්‍රදේශයේ ඉතාලියනුන් සමග ඇයි හොඳයියක්  නැත. දෙකොටස ජිවත් වන්නේ වෙනමය. බන්ගලියන් ඉතාලියානුන් ගේ කඩ වලට යන්නේ නැත. ඉතාලියානුන් බංගලි කඩවලට යන්නේ නැත. නැගෙනහිර යුරෝපීයයන් දෙකොටසටම යති. 

මා සමග අර කඩ හිමියන් වඩාත් යහළු කමින් කතා කලේ ඒ නිසා විය යුතුය. 

ලන්ඩනයේ ශ්‍රී ලංකා දෙමළ, යුදෙව්, බංගලා දේශ හා පකිස්ථානු ජාතිකයන් බොහෝ විට එක තැනකට, එක  පෙදෙසකට ගොනුවී ජිවත් වීමට ප්‍රිය කරති. සිංහලයන්ගේ මේ තත්වය එතරම් දුරට නැත. 

මෙසේ වෙන්වී ජිවත් වීම ප්‍රශ්න ඇති කරන බව මම අත් දැකීමෙන් දනිමි. ලන්ඩනයේ බංග්ලාදේශයෙන් ආ  අය හා සුදු ජාතිකයන් අතර අනූ   ගණන් වල ඇවිලුණු ජාති වාදී සටන මෙයට නිදසුනකි.  මා ලියූ බ්ලුග් පොතේ අවසන් කොටසේ සඳහන් කර ඇති පොලිසිය විසින් මා නැවැත්වීමේ හේතුව ඒ දිනවල  පැවති මේ කලබලය. 

මේ ඉතාලියානු පෙදෙසේ වෙනත් පැත්තකට ගිය විට තට්ටු නිවාස දුටුවෙමි. මේවා බොහොමයක් බිත්ති අඳුරු ඒවාය. බැල්කනි වල රෙදි වනා තිබේ. බොහෝ අය සුදු ජාතික ඉතාලියනුන් නොවන බව පෙනුනි.  මේ පැත්ත මා දුටු  පැරිසියේ ඇල්ජිරියානුන් සිටි පෙදෙස් වැනි වෙන්වූ ඒවාය. සාමාන්‍ය  ඉතාලියානුන් එක පැත්තකටත් අනිත්සංක්‍රමණිකයන්  තව  පැත්තකටත් ගොනු වී ඇත.

මේ තත්වය යුරෝපියානු සංගමයට එතරම් හිතකර නැත. මිනිසුන් අතර අවිශ්වාසය ඇති වන්නේ මේ අනුවය. 

අතර මගදී තරමක් විශාල හෝටලයකට චීන්නු පැමිණෙනු දුටිමි. මේ චින්නුන්ම ඉන්පසු හවසට මධු පානයට යන  බාර් එක අයත් වන්නේද  චිනෙකුට බව දැනගතිමි. එහි සිටියේ චීන්නු පමණය.  චීනුන් යන්නේ චිනෙන්ම පැමිණ  පදිංචි වී ඇති අයගේ තැන්  වලට පමණය. මා  සිතන්නේ සංචාරකයන් වුවත් රටකට සංචාරයකට පැමිණි විට එම රටේ  ජාතිකයන් ගේ භාණ්ඩ හා සේවා මිලදී ගැනීම කළ යුතු බවයි. හොඳ හිත ඇති වීම පමණක් නොව එම රටේ දේශීය ආර්ථිකයට සැලකීමද හොඳ දෙයකි.  

මේ පින්තුර දෙක  දමන්නේ විචාරක වෙනුවෙන්ය.  එකක් අප සිටි හෝටලයේ බිත්තියය. අනික  පැලස්සෝ  වෙනිසියා මාලිගය තුලදී ගත් එකකි. 

හෝටල් බිත්තිය 

පැලස්සෝ වේනිසියා  හි පරණ ආයුධ ප්‍රදර්ශනයේ 







Tuesday, 5 July 2016

සුන්දර ඉතාලිය ජාතිවාදී ද (Racist?)


අප ගිය වසරේ ඉතාලියට ගිය අවස්ථාවේ පළමු දින කිහිපය ගත කළේ රෝමයේය. ප්‍රෞඩ වතිකානය මෙන්ම  පෞරාණික කොලෝසියම ද අපගේ ඉතාමත් සිත් ගත් ස්ථානයන් විය.

 මේ කතාව සම්බන්ධ වන්නේ අප නැවතී සිටි හෝටලයටය. එය රෝමයේ ඖරෙලියා පෙදෙසේ පිහිටා  තිබු හොලිඩේ ඉන් ජාලයේ එකකි.  ග්‍රීෂ්ම උණුසුම නිසා එහි   ඇති පිහිනුම් තටාකය ද අපගේ සිත් ගති. අපි වැඩියෙන්ම කල්පනා කලේ එහි දෙන උදය ආහාරය ගැනය. එතරම් වැඩි නැති මුදලකට ඉංග්‍රීසි උදය ආහාරය (English Breakfast - බදින ලද බිත්තරය, බේකන්, සොසේජස්, බෝංචි ඇට සහ පාන් ) මහාද්වීපික උදය (continental breakfast) ආහාරය (ජෑම්, ක්‍රොසන්ට් -Croissant, සීරියල් සහ කිරි) මෙන්ම යුරෝපීය උදය ආහාරයට එන හැම් වර්ග, සැල්මන් මාළු ආදියෙන් ද සමන්විත  මෙහි උදෑසන  බුෆේ එක සංචාරකයන් අතර ප්‍රසිද්ධියක් උසුලයි.

මගේ බැංකු කාඩ් පතින් හෝටලයට මුදල් ගෙව්වද කාමර ලියා  පදිංචිය මෙන්ම උදය ආහාරයද වෙන් කරවා (booking)  ගත්තේද බිරිඳගේ නමිනි. ඒ මගේ නම සෑහෙන වෙලාවක් අමාරුවෙන් කියවනවාට වඩා බිරිඳගේ නම දීම ලෙහෙසි හෙයිනි.

 බිරිඳ හා දරු දෙදෙනා උදයේම නැගිට ආහාර ගැනීමට ගොස්ය. ඉතින් රැය හොඳින් නිදාගත් මා  උදයේ ආහාරය ගැනීමට ලංකාවේ වේලාවෙන් ගියේ මදක් පමා වීය.  ප්‍රධාන වේටර්වරයා වැන්නෙකු හෝටලයේ භෝජනාගාරය ඉදිරිපස ඇතුළුවන තැන  සිටියේය. ඔහු සමග උදව්වට තවත් පියකරු ඉතාලියානු  වේටර්වරියක්ද  සිටියාය.

වේටර්වරයා මදක් මහළු තැනැත්තෙකු බවද නිරීක්ෂණය කළෙමි. ඔහු මගේ කාමරයේ අංකය ඇසුවේය. මම කාමරයේ අංකය කීවෙමි.  ඔහු සමග තිබූ ලැයිස්තුවක් බැලූ ඔහු වෙන්න බැහැ යයි කීවේය. මම නැවතත් මගේ කාමරයට ඇතුළුවන කාඩ් පත පෙන්වා එම අංකයම පැවසුවේය. ඔහු මදක් උස ස්වරයකින්  මෙන් "නෝ බුකින් නෝ බුකින්" යැයි කීවේය.
 මට ටිකක් වෙන්න මල පැන්න බව වටහා ගත් වේටර්වරිය  කැඩුණු ඉංග්‍රීසියෙන් ඔබේ නම නැහැ කීවාය. මම බිරිඳගේ වාසගම පැවසුවෙමි . වේටරයා මෙවර උස් හඬින්  වේටර්වරියට මොනවදෝ කියාගෙන ගියේය. ඇය මට කැඩුණු ඉංග්‍රීසියෙන් පැවසුවේ මගේ  නම එම ලයිස්තුවේ  නැති බවත් මට වැරදීමක් වී ඇති බවත්ය.

එවර නම් මට යක්ෂයා ආරූඪ වුනේය. මගේ බැංකු කාඩ් පත ඇද මම එයින් ගෙවූ බව කියා පිළිගැනීමේ කාර්යාලයට ගොස්  බලන ලෙස කී  මම ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලයට පැමිණිලි කරන බවද ඉතා උස්  හඬකින් පවසා කළමනාකරුට (front office manager) කතා කරන ලෙස වෙටර්වරියට ඉතා තදින් පැවසුවෙමි.

මේ කාලගෝට්ටිය ඇසී කිහිප දෙනෙකු එබී බැලූ අතර මගේ බිරිඳ ද වහා  එලියට පැමිණියාය. ඇය වහා  "මේ මගේ සැමියා  my husband "යැයි  ඉංග්‍රීසියෙන් හා ඉතාලි භාෂාවෙන්  "මියෝ මරිටෝ"  කියමින් ලයිස්තුවේ ඇගේ නම පෙන්වූවාය.
මෙහිදී වේටර්වරිය වහ වහා ප්‍රධාන වේටර් වරයා ට  යමක් ඉතාලි භාෂාවෙන් කී  අතර මි දිස්පෙචේ වැනි යමක් කිහිප වතාවක් ද  එක්ස්කුසීමි යයි කියමින් ද  කලබලවූ
ප්‍රධානවේටර්වරයා මා භෝජනාගාරය තුලට කැඳවා ගෙන ගියේය.

සාමන්‍යයෙන් බුෆේ එකක් තමන් ගොස් කෑම බෙදා ගත යුතු වුවත් වේටර්වරයා මා අසලම රැඳී සිටිමින් කෝපි තේ  ගෙන එමින්ද ද, බැදපු බිත්තර ඇතුළු අනිකුත්  අහර ඔහුම සාදන තැන රැඳී සිටිමින් මට ගෙන එමින් දුක සැප විමසමින් ළඟම කැරකුනේය . මා සිතුවේ මට ඇතුලට යන්නට නොදීම ගැන ඔහු කණගාටු වන බවයි. එහෙත් ටිකකින් පිළිගැනීමේ කවුන්ටරයේ කළමණාකරුද එබී බැලූ අතර "සියල්ල හොඳ ද everything   ok sir " යැයි ඔහු  මගෙන් විමසීය. එය එසේ යයි මා පැවැසූ පසු මෙතෙක් ළඟ සිටි ප්‍රධාන වේටර්වරයා අතුරුදන් විය. නමුත් අප නැවති සිටි දිනයන්හි  උදයේ මට නැවත හොඳින් සලකන්නට ඔහු වග බලා ගත්තේය.

මගේ බිරිඳ නම් කීවේ මට ජර්මන් නමක් තිබිය නොහැකි යයි ඔහු සිතු බවයි. මගේ දියණියන් ගේ මතය වූයේ බිරිඳ මට වඩා උස වැඩි නිසා අප දෙදෙනා විවාහක යයි ඔහු නොසිතු බවයි. මගේ අදහස නම් ඔහු ජාතිවාදී (රැසිස්ට් )අයෙකු බවයි. ඉතාලියේ ඕනෑ තරම් මිශ්‍ර විවාහ කරගත් යුවලවල් සිටිති. මිශ්‍ර විවාහයක් කරගත් ගුවන් යානයක් පැහැරගත් ශ්‍රී ලාංකිකයෙකුද සිටි.  එසේම මේ කාලයේ උස එතරම් ප්‍රශ්නයක්ද නොවේ. එවැනි යුවලවල් ඕනෑ තරම් සිටිති.

මා  පෙන්වා දුන්නේ එම හෝටලයේ රැකියාව කරන වෙනත් කිසිම කළු හෝ ආසියානු  ජාතිකයකු  අපි නොදුටු බවයි.  පිහිනුම් තටාකය අසල බාර් එකේ මෙන්ම, පිළි ගැනීමේ කවුන්ටරයේද, භෝජනාගාර වලද සිටියේ ඉතාලියානුන් හෝ සුදු ජාතිකයන්ය.
මෙය මා ප්‍රංශයේද නිරීක්ෂණය කළ  දෙයකි. ප්‍රංශ ජාතිකයන්ද ලෙහෙසියෙන් වෙනත් රටක අයෙකුට රැකියාවක් නොදෙතැයි හැඟීමක්  මට ඇති වුනේ දෙවරක් පමණ ප්‍රංශයට ගිය පසුය.

එංගලන්තයේ එසේ නොවේ. වෙනත් ඕනෑම ජාතියක ගෙන් රැකියා ස්ථාන පිරි පවතී. බොහෝ හොටල කළමණාකරුවන්  ආසියාතිකයන්ය.

හෝටලයේදී එසේ වුවත් අප වතිකානුව අසල කුඩා කෝපි විකුණන ආපන ශාලාවකට ගිය විට ඉහල පිළිගැනීමක් ලැබුණි. අප එංගලන්තයෙන් පැමිණියත් දෙදෙනා රටවල් දෙකක යයි කියූ පසු එය අයිති ඉතාලියානු  කාන්තාව හා සැමියා අප සමග සතුටු සාමිචියේ යෙදුනහ. ජර්මනිය, ලන්ඩනය ගැන මෙන්ම ශ්‍රී ලංකාව  ගැනත් අසමින් ඔවුහු
අපට ඔවුන්ගේ ආපන ශාලාවේ ඇති ඉතාලියානු කෑම නොමිලයේ රස බලන්නට දුන්හ.  ඉහත පින්තුරයේ ඇත්තේ ඉන් එකකි. නම දන්නේ නැත. මුදල් ගත්තේ අප ගත් කෝපි දෙකට පමණි. දියණියන් ට ද රසවත් ඉතාලියානු අයිස්ක්‍රීම් නොමිලයේම දුන්හ.

මේ නිසා ඉතාලියනුන් පිලිබඳ  මගේ  අදහස තරමක් වෙනස් වුනි. නමුත් මට නවතැහැ වරක් සිතුනේ අප සංචාරකයන් නිසා ඔවුන් එසේ සැලකූ බවකි.  වෙනිසියට හා වෙරෝනාවට ගිය පසු මේ අදහස මදක් තහවුරු වුනි. ඒ ගැන ඊළඟ ලිපියෙන්  කියමි.