Wednesday, 25 May 2016

පොල්කට්ටෙන් එපිටට පැමිණ ද්‍රෝහියාගේ දියණිය හමු වෙමු - වාද විවාද ගිනි කෙළි බලන්න එන්න

පොල්කට්ටෙන් එපිටට පැමිණ ද්‍රෝහියාගේ දියණිය හමු වෙමු.

වාද විවාද ගිනි කෙළි බලන්න එන්න 

"මම බ්‍රෙෂ්ට් ගැන කතා කරලා, නාට්‍ය ගැන විවරණයක් දීල, චිත්‍ර පටිය ගැනත් සාකච්ඡා කරලා, පොත් දෙක ගැනත් කියන්නම්. වෙලා ඇති වෙයිද. කට්ටිය නිදිය ගනීද දන්නේ නැහැ නේද? " - විජිත ගුණරත්න

"මචං , මම බීබීසී එකට සම්බන්ධ නිසා කට්ටිය  එයිද මේ වැඩේට. මටත් ද්‍රෝහියා කියලනේ කියන්නේ. මට නම් ෂුවර්  නැහැ. කමක් නැහැ ඔන්නොහෙ මගේ පොත ගේන්නම්.  " - සරෝජ් පතිරණ

"මේ පරණ සෝවියට් කතා කියවල ඇති වැඩේ මොකක්ද? ඔයා  මේ ගරිල්ලා කාරයා වගේ බ්ලොග් ලෝකෙට ඇවිත් දැන් පොතුත් ගහනවා. මේවා තනි කරම  බොරු වැඩ. "
 - අරුණ  පෙරේරා

"මේ කොළඹ ගමයාගේ වැඩේ තනිකරම ප්‍රෝඩාවක්. ඔය කරන්න  හදන්නේ බොරුවට පොතක් එලියට දානවා කියල ජනතාව නොමග යවන්න.  " - සරද සමරසිංහ

"ටයෙක්වොන්ඩෝ වලට තැනක් ඇත්තෙම නැත්ද?" දුෂාන්ත පෙරේරා

"චිත්‍රපටි ගැන කතා කරනව නම් මටත් අවස්ථාවක් දෙයිද? අපි කලොත් නම් ඉතින් අපිමයි කතා කරන්නේ." - බැද්දේ සුදත්

"විචේචන වලට  සූදානම්. ජිම් එකට ගියා. ටයෙක්වොන්ඩෝ ප්‍රක්ටිස් කලා.  කවුරු හරි එයාර් ගන් එකක් එහෙම විකුණනවද. නිකමට අතේ තියා ගන්න " - අජිත්
  
සරෝජ් පතිරණ - "ද්‍රෝහියාගේ දියණිය සමග "


විජිත ගුණරත්න - පොල්කට්ටෙන් එපිටට ගමනක්   

අජිත් ධර්මකීර්ති - කොළඹ ගමයා සමග පොල්කට්ට 


විජිත ගුණරත්නයන්  ගේ   "වලා  පටල " 


සංවාදය හා චිත්‍රපටිය 


මැයි 28 වනදා විට් ශීෆ් ශාලාවේදී සවස ප.ව. 5.00 සිට ප.ව. 9.00 දක්වා 



WHEATSHEAF HALL
Main Avenue (by A10 Dual Carriageway)
Enfield
EN1 1DS
Nearest Station Bush Hill park, From Enfield Town Station bus number 121, 307 
අජිත් - 077985 245418 සරෝජ් - 07803 727516 


Inline images 1

Tuesday, 24 May 2016

නැගෙනහිර ප්‍රධාන අමාත්‍යවරයා හෙළා දකිමු - නමුත් ඔහු මුස්ලිම් නිසා නොවේ


නැගෙනහිර පළාතේ ප්‍රධාන ඇමති නසීර් අහමඩ් මහතා නැගෙනහිර ආණ්ඩුකාරවරයා හා අමෙරිකානු තානාපතිවරයා ඉදිරියේ නාවික හමුදා නිලධාරයෙකුට බැණ වැදී තිබේ.  මා මෙය මුලින්ම දුටුවේ බ්ලොග් කරුවෙකු වන සින්දු ඇනෝ විසින් ෆේස් බුක් හි පලකළ සටහනකිනි. මම එහිදී නසීර් මහතා ගේ ක්‍රියාවට විරෝධය පළ කලෙමි. එයට හේතුව ඔහුට නාවික හමුදා නිලධාරියා සමග ප්‍රශ්නයක් තිබුනා නම් එය විසඳිය යුතුව තිබුනේ තමන් ගේ කාර්යාලයේදී හෝ නාවික හමුදාපතිට පැමිණිලි කිරීමෙනි.  නාවික හමුදා නිලධරයා කළ වැරැද්ද කුමක්ද යැයි මම නොදනිමි. ඔහු එවෙලේ වැරදි වුවත් නොවූවත්  මෙහිදී ප්‍රධාන ඇමැතිවරයා හැසිරුණු ආකාරය ඊටත් වඩා අතිශයින්ම වැරදි සහගත බව මගේ අදහසයි.

මෙහිදී සින්දු ඇනෝ ගේ කොමෙන්ටුවේ මෙන්ම මේ ලිපිය පළවී තිබෙන වෙබ් අඩවියකද ප්‍රතිචාර දෙස  බැලීමෙන් හෙළි වන්නේ වෙනත් කතාවකි. ඒවා  තනිකරම ජාතිවාදී ස්වරුපයක් ගෙන ඇත . එනම්
මුස්ලිම් ඇමතියෙක් විසින් සිංහල නාවික හමුදා දු නිලධාරියෙකුට බැනීම පිළිබඳව මහා ජාතියේ ආකල්පයෙන් බැණ වැදීමකි.
 ඒවායේ ඇත්තේ "තෝ කොහොමද යකෝ සිංහල නිලධාරියෙකුට බැන්නේ හම්බයෝ " ආකාරයේ ප්‍රතිචාරය. මේ ප්‍රතිචාර දක්වන්නන් ද වැරදිය. එහි ඇත්තේ කෙලින්ම ජාතිවාදී ස්වරුපයක් මිස නාවික හමුදාවේ ගෞරවයට හානි කිරීම  ගැන ප්‍රශ්න කිරීමක් නොවේ.

මෙහිදී මතකයට එන්නේ  විමල් විරවංශ මහතා  විසින් කළ උද්ඝෝෂණයකදී එවකට සිටි ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා  විසින් උසස් පොලිස් නිලධාරයෙකුට බැණ වැදී  එතැනින් ඉවත් වන්නට කීමයි. ආරක්ෂක ලේකම් වරයා  වශයෙන් ඒ මහතාට ඒ අයිතිය තිබුණා විය හැකිය. නමුත් ඉන්පසු විරවංශ මහතා  මෙන්ම අනිත් අයත් ඒ "සිංහල " උසස් පොලිස් නිලධාරීන්ට බැන වැදුණු අතර ගහන්නට පවා ගියහ . ඔවුන්ගේ රාජකාරි හිස්වැසුම් පවා උදුරා ගැනිණි. වෙබ් අඩවියට එය අමතකදැයි නොදනිමි.


එසේම එවකට දෙතුන් වතාවක දීම සමහර පළාත් සභා මන්ත්‍රීවරුන්  විසින් පොලිස් නිලධාරීන්ට  පහර දෙන  හා තර්ජනය කෙරෙන ප්‍රවෘත්ති දුටුවෙමි. නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයාද පොලිසියට බලපෑම් කල ප්‍රවෘත්තියක් අසන්නට ලැබුණි. අප එදා ඒවා විවේචනය කෙරුවේ නීතියට එරෙහිව කටයුතු කිරීම පමණක් නොව ඒවා එම ආයතනයන් ට කළ තර්ජනයන්  ලෙසය.

මේ සිද්ධියේ දී ද අප විසින් කල යුතුව ඇත්තේ ප්‍රධාන අමාත්‍යවරයාගේ  ක්‍රියාවට විරෝධය පෑමයි. ඔහු මුස්ලිම් නිසා නොව එම ක්‍රියාව වැරදි බැවිනි.

මෙතන ඇත්තේ රණවිරු කතාවක් නොවේ. 

Sunday, 22 May 2016

සමාජවාදය එළඹෙන තුරු උදව් නොකරමු - රජය අහෝසි වී යාමට ඉඩ නොදෙමු

සමාජවාදය යයි කියා රාජ්‍ය ධනවාදය කර පින්නා  ගත් රටවල් බොහොමයක් දියවී ගියහ.  ඉතිරිව ඇත්තේ උතුරු කොරියාව, චීනය හා කියුබාව පමණකි. රාජ්‍ය ධනවාදය ගැන මා මුල් වරට කතා කලේ අරුණි ශපිරෝ ගේ බ්ලොගයේ 2012 පමණ දීය. කාල් මාක්ස් ගේ දාස් කැපිටාල් කෘතියට බෝවෙර්ම් බර්ක් ගේ අදහස් මගින් කල විවේචනයකට දුන් පිලිතුරකදී එය සඳහන් කලෙමි.

රාජ්‍ය ධනවාදය යනු රජය විසින් ශ්‍රමිකයා සූරා කමේදී ඇතිවන තත්වයයි. බොහෝ විට දියුණු ධනවාදී රටකට වඩා දරුණු ලෙස සමාජවාදී රටවල ශ්‍රමිකයා  හෙවත් තමන් ට වැඩ කරන අය ගේ මුදල් බදු හරහා මෙන්ම අඩු පඩි හරහාත් සූරා කෑහ. ඉහල නිලධාරීන් නොයෙකුත් දුෂිත ක්‍රම මගින් තම ආදායම සරි කර ගත්හ.  පහල නිලධාරීන් ද එය අනුගමනය කළහ.

ධනවාදය වෙනුවට රාජ්‍ය ධනවාදය පිහිටුවීමේ තේරුමක් නැති බව වටහා ගත්  ටිටෝ යුගෝස්ලාවියාවේ නිර්මාණශීලි ජනතාවට සුළු පරිමාණ වෙළඳාම් හා කර්මාන්ත ක්‍රමයක් හඳුන්වා දුන් මුත් ඔහුගේ ඇවෑමෙන් එය කඩා වැටුණි.

මහජන චීනය එළිපිටම රජය සමගම ධනවත් සමාගම් පිහිටුවීම මගින් ක්‍රමය වෙනස් කරගෙන තිබේ. නමුත් එහි ශක්තිමත්ම බලය ඇත්තේ රාජ්‍යය හා පක්ෂය අතය.

රාජ්‍යය අහෝසි වී යා  යුත්තේ කිනම් අවධියකදී ද ? එය වියැකි යායුත්තේ නම් ඒ බලය මාරු විය යුත්තේ කා  හටද?

මට මේ සියල්ල  මතක් වුයේ w3ලංකා බ්ලොගයේ මේ ලිපියට අරුණ පෙරේරා දැමු ප්‍රතිචාරය කියවිමේදීය.
//මට හිතෙන්නේ මේ අත්‍යාවශ්යම අවස්තාවේත් සමහරුන්ගේ අදහස් පටු දේශපාලනිකයි සහ න්‍යායත්මකයි කියලා. ආපහු පට්ට ගහන තියරි ටික ගංවතුරත් එක්ක එලියට ගේනවා. මීඩියා කාරයෝ දන්නවා උන්ගේ ගේම. පක්ෂ දන්නවා උන්ගේ ඇජෙන්ඩා එක. හැබැයි මේ මොහොතේ කන පරිප්පුවට ඔය කිසිම මගුලක් අදාල නැහැ. බඩගින්නට පාන් බාගයක් ඕන මිනිස්සුන්ට, සමාජවාදය හැදෙනකම් ඉන්න කියනවාට වඩා රතු කොඩියක් හෝ රතු ලන්කට් එකක් ගහගෙන හරි වැඩේට බැහපු එවුන් පිලිබඳ විවේචන තියෙන්න බැහැ. එතන තියෙන්නේ දේශපාලනික කුහකත්වය. සමාජවාදී සුපිරි රාජ්‍ය ගොඩනගනකම්, ඔලුවට උඩින් වතුර ගලන කම් බලා ඉමු. මලවුන් අතරින් නිර්මානය වෙන ඒ රාජ්‍යයේ අපි ස්විමින්ග් සූට් ඇඳන් පීනමු. පීනන ගමන් මැරිච්ච එවුන්ට රතු රෙදි අන්දලා ජීවිත පුදකරපු එවුන්ට දිනයක් වෙන්කරමු. දාස් කැපිටාල් එකේ හරි පිටුව හොයාගන්නකං තොපි ගිලිලා මැරියවු.//
- අරුණ පෙරේරා

 මේ ලිපියට විරුද්ධ අදහසක් දරන  ලිපියක් ත්‍රිමාණ වෙබ් අඩවියේ පළවී තිබේ. මගේ මිතුරෙකුද ෆේස්බුක් හි පින්තූරයක් හා ලිපියක් බෙදා ගෙන තිබුණි. සිරස, දෙරණ වැනි මාධ්‍ය මේ ගංවතුර විපත උපයෝගී කර ගනිමින් තම ආයතන වල ප්‍රසිද්ධිය වැඩි කර ගැනීමට කරන ක්‍රියා මාර්ග එහි විවේචනය කර ඇත. පල කර ඇත්තේ විවර නිව්ස් ය.   නමුත් පින්තුරයේ ඇත්තේ ජවිපෙ නායකයෙක්ය. 

මෙහි තක්කඩින් වශයෙන් බැණ  වැදී ඇත්තේ සිරස ඇතුළු මාධ්‍ය ජාලයටය. නමුත් ඡායාරූපයේ සිටින්නේ ජවිපෙ නායකයෙකි.  මෙහිදී සිරස අයිති කරුට  බනින ගමන්ම වෙබ් අඩවිය සියුම් පහරක් තමාගේ මහා අනිකාට ගසා තිබේ.

මා මෙහිදී ඇසුවේ මෙවැනි ප්‍රශ්නයකි. 2004 දී සුනාමියේදී කුමාර් ගුණරත්නම් මහතා ද නායකයෙකු වශයෙන් සිටි ජවිපෙ රතු තරුව සංවිධානය මෙවැනි උදව් කලේ නැත්ද යන්නය. එසේ නම් එදා එය වැරැද්දක් නොවුයේ ෆේස්බුක් එතරම් ජනප්‍රිය නොවුණු නිසාද? නමුත් පුවත්පත් වල විස්තර ගිය අතර එය වැරැද්දක් හැටියට මම නොදකිමි.  ජවිපෙ යනු පාර්ලිමේන්තුවාදී පක්ෂයකි.  චතුරිකා සිරිසේනට, නාමල් රාජපක්ෂට, හිරන්ති රාජපක්ෂට , සුජීව සේනසිංහට, දහම් සිරිසේනට හොඳ නම් ජවිපෙට එය නොකිරීමට හේතුවක් නොමැත. පාර්ලිමේන්තුවට යාමට ඡන්ද අවශ්‍යය.  ඡන්දයට නොඉල්ලන කුඩා පක්ෂ වලට මේ දෙය කිරීමේ තේරුමක් නැත.

ත්‍රිමාණ වෙබ් අඩවියේ වසන්ත මහතා අර්ථ දක්වා ඇත්තේ මේ mass hysteria තත්වයක්  තුල ඇතිවුණු  mass altruism එකක් බවයි. මේ ආස්ථානයන් දෙකෙහිම කිසියම් වැරැද්දක් මම දකිමි.

ඔහුගේ ඉහත අර්ථ දැක්වීම මෙන්ම විවර නිව්ස් අර්ථ දැක්වීමද සිහියට නගන්නේ ස්මාර්ට් ෆෝන් එකක් අත ඇත්තෙක් ගිලෙන්නෙකු ගේ ඡායාරුපයක් ගැනීමටය.

ආපදාවේ  මුල් දින කිහිපයේ රජය නොව ආධාර දීමට හා තම අසල්වැසියා රැක ගැනීමට ඉදිරිපත් වූයේ සහෝදර ජනතාවය . ෆේස්බුක් වැනි සමාජ ජාලා භාවිතා කරමින් ඔවුන් සංවිධානය වූහ. රජයට කලින් මාධ්‍ය වලට කලින් ඔවුන් ගේ සංවිධානය වීම බුකියට පින්තුරයක් දැමීමට යයි කීම මේ තත්වය ඉතා ලඝු කොට ගැනීමකි. පින්තූරය රැගෙන වුවත් උදව්ව කෙරී තිබුණි.

මහත්වරුනි, කාල් මාක්ස් කිවේ ධනවාදීන් ගේ කාර්යයන් සඳහා පමණක්ම රාජ්‍ය බලය පවතින්නේය යන්නය. ඔහුගේ අදහස වුයේ පසු ධනවාදී සමාජයක රජය අහෝසි වී යා හැකි බවයි. ( "The executive of the modern state is but a committee for managing the common affairs of the whole bourgeoisie." )
ඉතින් මහත්වරුනි, මිනිසුන් රජයක් තමන් පාලනය කරන බව අමතක කර තමන් සංවිධානය වන විට ඔබ බිය වන්නේ ඇයි? රජයේ මැදිහත්වීම ඉල්ලා හඬන්නේ ඇයි?

එංගලන්තයේ හා ග්‍රීසියේ මොමන්ටම් සංවිධානය මෙන්ම නගර චතුරශ්‍ර වල හිඳගෙන විරෝධය පෑමේ සංවිධානද ගොඩ නැගුනේ සමාජ ජාල, වෙබ් අඩවි  හා බ්ලොග් අඩවි  හරහාය.

මා නිරීක්ෂණය කල දෙවැනි කරුණ නම් රජය උදව් නොකරනවා  යනුවෙන් විවේචනය කරන බොහෝ අය හමුදාව විසින් කරන ආධාර දීමේ කටයුතු පිලිබඳ වාර්තා ඉතා කැමැත්තෙන් ලයික් දමමින් ෂෙයාර් කරන බවය. මමද නාවික හමුදාව, ගුවන් හමුදාව හා යුධ හමුදාවේ එවන් කටයුතු ගැන පලවූ ඡායාරුප වලට ලයික් දැමුවෙමි. (මේ නැත්නම් හොඳ නෑනේ යන හැඟීමෙනි. එනම් කවුරුන් කළත් හොඳ වැඩක් නම් අගය කරමු න්‍යායෙනි.)

2009 නන්දිකඩාල් වලින් අවසන් වූ යුද්ධයේ ජයග්‍රහණය පිලිබඳ ගෞරවය ලැබුනේ දේශපාලන බලයකටය. දේශපාලන නියෝජනයටය. හමුදාවට නොවේ.  හමුදාව  රණ විරුවන් වූවා පමණි. නමුත් මේ ආපදා  සමයේ හමුදාවේ ක්‍රියා ජනතාව (බුකියේ ජනතාව හා නිව්ස් වලින් පෙනෙන පරිදි) හමුදාවන් ගේ ස්වාධින ක්‍රියා වශයෙන් පිලි ගත්තා මිස ඔවුන් (හමුදාව)  රජයේ නියෝජිතයන් බව පිළි ගත්තේ නැත. රජය කිසිවක් නොකළේ යයි කියන අයද හමුදාවේ පින්තුර බෙදා ගත්හ. මෙය අපූරු තත්වයකි.

   මේ හැම දෙනාම හදිසියේ ම  මේ රජය නොව හමුදාව යයි සිතුවේ කෙසේද? හමුදාවන් යනු රාජ්‍ය බලයේ (executive) නියෝජිතයන්ය. රාජ්‍යය වෙනුවෙන් ඔවුන් ගේ වගකීම හිරිහැරයට පත් ජනතාවට  උදව් කිරීමය. එය රාජකාරියයි. අවාසනාවට ජනතාව ඝාතනය කිරීම ද ඒ රාජකාරියටම අයත්ය.  හමුදාව කලින් කලේ එයයි. ඒද රජයේ නියෝගය පරිදිය. මා  මේ සඳහන් කරන්නේ  රජයට විරෝධය එල්ල කළ අවි අතට ගත්
සංවිධාන වල සාමාජිකයන් සමග සටන් කර ඔවුන් ඝාතනය කිරීම  ගැන නොවේ. එය නිත්‍යානුකුලව  රජයේ හමුදාවක් ඉටු කරන හෙවත් රජයේ ආධිපත්‍යය පතුරුවලීම සඳහා ගනු ලබන ක්‍රියා මාර්ගයකි.  ලෝකයේ ඕනෑම රටක එය එසේය.


මේ ආපදාවන් පිලිබඳ  ස්වයං සංවිධානය මෙතනින් නතර වී නොමැත.  පශ්චාත් ආපදා කාල සීමාව සඳහාද ඔවුන් සංවිධාන ගොඩ නංවති. ගං වතුරෙන් පසු නිවෙස් වල රැඳෙන කුණු කසල ඉවත් කරන්නට උදව් වීමට ස්වේඡාවෙන් ඉදිරිපත් වෙති .

මේ ශ්‍රමදාන වැඩ පිලිවෙළම  බයිකල් අමුර් දුම්රිය මග ගොඩ නැංවීමටද සෝවියට් ජනතාව ක්‍රියාත්මක කළහ.  ආඃ, මට අමතක වුනු කරුණක් තිබේ. එය පක්ෂය විසින්  සංවිධානය කරන ලද්දකි. (ස්වේඡා සේවකයන්ට පසුව මුදල් ගෙවන ලදී). පක්ෂය විසින් සංවිධානය වී රාජ්‍යයේ අනුග්‍රහයෙන් කිරීම මිස ජනතාව තමන්ම සංවිධානය වී ක්‍රියා කිරීම මාස් හිස්ටිරියාවකි. දැන ගත්තේ ලඟදිය.

 උදව් කරන්න යයි ඉල්ලා එවුනු ෆේස්බුක් හරහා පණිවිඩයක අතහිත නැමති වෙබ් අඩවියක් ගැන දක්වා තිබුණි. ඒ තමන්ගේ පොත් පත් හා අධ්‍යාපන සටහන් ගංවතුරෙන් විනාශ වුනු  සිසුන් ගේ උපකාරයට නිර්මාණය කරන ලද වෙබ් අඩවියකි. ඒ හරහා සංවිධානය වී ඔවුන්ට අවශ්‍ය සටහන් පිටපත් කර දෙන්නට , නිදහස් අධ්‍යාපනයට සහයෝගය දෙන්නට ඉදිරිපත් වීමකි. එසේ ඉදිරිපත් වන ඇතැමෙක් පෞද්ගලික විදුහල් වලින්ය.

ඊළඟට  එන උපද්‍රවයකදී මෙතනින් නොනැවතී රජය සතු ශාලා, ගබඩා, යාන  වාහන ද මේ සන්ධානය වන ජනතාව විසින් පවර ගත හොත් කුමක් වේද?.  විශේෂයෙන්ම දේශපාලකයන් ගේ වටිනා යාන වාහන ආදියද, . තමන් ගෙවූ බදු මුදලින් ගත් ඒවා නිසා ඒවා අයිති මිනිසුන් විසින් බලහත්කාරයෙන්  ඒ වාහන අත්පත් කරගෙන  මේ ආධාර බෙදා දීම ආදියට යෙදුවොත් කුමක් සිදු වේද?

අවාසනාවකට මෙන් ලංකාවේ වාමාංශික  පක්ෂ මෙන්ම රජයේ හා විපක්ෂ දේශපාලකයන් ද සිටින්නේ තරුණ පිරිසට ගව් ගානක් පිටුපසින්ය.

බස්සිගේ මේ වචන ස්වල්පයෙන් ලිපිය හමාර කරමි. උපුටා ගත්තේ ෆේස්බුක් එකෙනි.

//ඉවසලා ඉවසල බැරිම තැන මේ ටික කියන්නෙ.
අනිත් මිනිස්සු වෙනුවෙන් තම තමන්ට පුළුවන් capacity එකේ වැඩ කරන මිනිස්සුන්ගෙ සේවය හෑල්ලු කරන හාන්සිපුටු විචාරකතුමාලා, ප්ලීස් උණුවතුර ටිකක් බීලා නිදාගන්ඩ.
අරූ ඕක කරන්නෙ නම අප් කරගන්ඩ, මේකිලා ඔය සහන සේවෙට බැස්සෙ තමන්ගෙ සංවිධානෙට ලකුණු දාගන්ඩ වගේ අනුන්ගේ ඇජෙන්ඩා දිවැසින් දැක්ක වක්තෘ මහත්තුරු නෝනලා, වැඩක් නැත්නං කටපියාගෙන ගිහින් ස්වප්නා බලන්ඩ.
වතුර බහින්ඩ ගත්තු වෙලේ ඉඳන් කැමරා කරේ තියන් කන සාක්කුවෙ වැටෙන්ඩ බීලා ඩිසාස්ටර් වොචින් යන පොස් නෝනා මහත්තුරු මිනිස්සුන්ගෙන් ගල් පාරවල් නොවදින්ඩ කෝකටත් කියලා හෙල්මට් බොඩි ආමර් ඇඳගෙන යන්ඩ.
මේ මිනිස්සු ක්ෂුද්‍ර පරිමාණයෙන් තමන්ට පුලුවන් දේ කරන්නෙ එයාල මහ දානපතියො නිසාවත්, ඕනෙ තරම් ෆ්‍රී ටයිම් තියෙන්න ජොබ්ලස් නිසාවත් නෙමෙයි. "අච්චරක් ස්පෙන්ඩ් කරන්න බැරි මොකද?, මෙච්චර වෙලා ගිහිනුත් එච්චරද කලේ?, කොච්චර දුරට ප්ලෑන් එක හැදුවද?" වගේ මරිමෝඩ ප්‍රශ්ණ අහලා ඒ මිනිස්සුන්ගේ මූඩ් කාබාසිනියා කරන්නෙ නැතුව, වෙන වැඩක් ඇත්තෙම නැත්තං ගිහිං වත්ත පහල කංකුං ටිකක් හිටවගන්ඩ.// - බස්සි 

Thursday, 19 May 2016

විපතට පත් ජනතාවට උදව්වක් කරමුද? ඉවාන් පව්ලුෂා ගැන ආරංචියක් නැත.

අපේ සහෘද බ්ලොග්කරුවකු වන ඉවාන් පව්ලුෂා (ප්‍රගීත්)  කිසිම ආරංචියක් නැති බව දැනගන්නට තිබේ, බස්සි ද දුරකතනයෙන් අමතන ලද නමුත් පිළිතුරක් නොමැති බව ලියා ඇත. කවුරුන් හෝ විස්තරයක් දන්නවාද?
වර්ෂාව මෙන්  ජල ගැලීම් ද වැඩි වී ඇති අතර බොහෝ අය විපතට පත් වී තිබේ.

ශ්‍රී ලංකාවට සුපුරුදු ලෙස බොහෝ අය විපතට පත් ජනතාවට   උදව් කිරීමට ඉදිරිපත් වී සිටිනු  නොයෙකුත් වෙබ් අඩවි වලින් දුටුවෙමි.  නාවික හමුදාව ප්‍රමුඛ ශ්‍රී ලංකා හමුදාවන් ද පොලිසියද විපතට පත් ජනතාව බේරා ගැනීමේ සහ සහන සැලසීමේ සිටිනු දුටුවෙමි. හමුදාවන්ගේ ඒ මානුෂික කටයුත්ත කෘතඥතා පුර්වකව අගය කරමු. බ්ලොග් කරුවෙකු හා මාධ්‍යවේදියෙකු වන නලින් දිල්රුක්ෂ මහතාද ආහාර  පාන බෙදා හැරීමේ වැඩ පිළිවෙලක නිරතව සිටි.

බ්ලොග් ලියන රසිකයා ගුණවර්ධන මල්ලිද අරනායක ප්‍රදේශයේ ජනතාවට උදව් කිරීමට හැකිදැයි සොයා බලන ලෙස අද මගෙන් ඉල්ලා සිටියේය. මේ නිසා ඔහුගේ පෝස්ටුව  මෙහි පලකරමි. ලන්ඩනයේ  සිටින යහළුවන් ගෙන්ද විමසා බලමි. කිසියම් සහයෝගයක් දිය හැකි නම් මේ අවස්ථාවේ  එය කරමු.

මුදල් ආධාර එකතු කළහොත් ලංකාවේ සිටින ඇතැම් මනෝ විකාර කාරයන් ගෙන්  චෝදනා එල්ල විය හැකි නිසා රසික ද්‍රව්‍යමය ආධාර පමණක් දැනට බලා පොරොත්තු වේ.

ලන්ඩනයේ සිට ද්‍රව්‍යමය ආධාර යැවීම අපහසු නිසා මුදල් වලින් ආධාරයක් කිරීම පමණක් කළ හැකිය.

රසිකගේ පෝස්ටුව:

අසරණ අපේම මිනිසුන්ට සහයක් වීම...😍
පැවති අවපීඩන තත්වය දකුණු ඉන්දියාව දක්වා පැතිරීමට ආරම්භ වීමත් සමගම දිවයිනේ පැවති අයහපත් කාලගුණය මේ වන විට ක්‍රමක්‍රමයෙන් පහ වී යන අයුරු අද උදේ වන විට දැකගන්නට ලැබුණි. දින කිහිපයක් තිස්සේ බලාපොරොත්තු වූ හිරු රැස් අද උදයේම පොලෝ තලයට වැටී තිබීම සතුටට කරුනක්. අයහපත් කාලගුණයෙන් අනෙක් ප්‍රදේශ වලට සාපේක්ෂව අඩු බලපෑමක් ඇති නගරයකි, කුරුණෑගල. එවන් නගරයක ජීවත් වුවත් අවට නගරවල දකින්නට අසන්නට ලැබෙන ආපදා තත්වයන් හමුවේ කම්පා නොවී සිටිය හැක්කේ කෙසේද ?
මෙහිදී විශේෂයෙන්ම අප කාගේත් මතකයට නැගෙන්නේ 'අරණායක' ඛේදවාචකයයි. එම ඛේදවාචකය සිදුවූ අයුරු පිලිබදව තොරතුරු, සටහනක් ලෙස මෙහි තැබීමට අදහස් නොකරන්නේ එය පිළිබදව නොදන්නා කෙනෙක් සිටිය නොහැකි නිසාය.
එහි අවතැන් වී සිටින අපේම ජනතාවට අපිට හැකි අයුරින් පිහිටක් වීමට හැකිනම් එය කෙතරම් උතුම්ද ?
අප ඒ අපේම ජනයාට උපකාර කිරීමට තීරනය කලෙමු....ඒ සදහා අප වියලි ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය ඔව්නට ලබා දීමට කටයුතු කරමින් සිටී.....කුරුණෑගල අවට ඔබට ඒ සඳරා ඔබටද දායක විය හැක....ඔබත් දායක වීමට කැමති නම් අපගේ පත දුරකථන අංක වලට අමතන්න...
076 807 96 99
037 397 72 15
[නොදන්නා අයවලුන්ට දැනුවත් වීමට මෙය ශෙයාකර සහයෝගය දැක්වීමට කටයුතු කරන්නේන් නම් ස්තූතිවන්ත වෙමි..]

සංඛ රණධිර  විතාන ගෙන් 

ගංවතුර හා නායයෑම් සහ අපේ දායකත්වය

SANKHA RANADHEERA VITHANA·THURSDAY, 19 MAY 2016
ලංකාව තුළ ඇතිව තිබෙන ගංවතුර සහ නායයාම් ආශ්‍රිත හදිසි තත්ත්වය තුළ ලංකාවේ සමාජ මාධ්‍ය (ෆේස්බුක්) හි හැසිරීම ප්‍රශංශනීයය. සුපුරුදු නොදියුණු, පසුගාමී කතාබස් අල්පයක් පැවතියා වුවත් සමස්තයක් ලෙස ෆේස්බුක් තුළින් සාධනීය මෙන්ම, වඩාත් සක්‍රීය දායකත්වයක් මේ වනවිටත් ලබාදෙමින් සිටී.

බොහෝ පිරිස් සහ සංවිධාන මේ වන විටත් බඩුභාණ්ඩ එකතුකිරීමේ කර්තව්‍යයන්වල නිරතවෙමින් සිටී. ඒ පිරිස් මගින් රජයේ අසවිධානාත්මක තත්ත්වය අභිබවා හදිසි තත්ත්වයෙන් එතෙරවීමට දායකත්වය ලබාදෙමින් සිටී.

කෑගල්ලේ වෙසෙන මගේ පුද්ගලික මිතුරෙකුට අනුව, අරනායක සහ බුලත්කොහුපිටිය තුළ පවතින තත්ත්වය තුළදී එතරම් ශ්‍රම අඩුපාඩුවක් නොමැත. විශේෂයෙන් රජයේ හමුදාවන් ඒ වෙනුවෙන් දැඩි දායකත්වයක් ලබාදෙමින් සිටී. එසේම එදිනෙදා කෑමබීමද ප්‍රදේශවාසීන් විසින් සපයමින් සිටිති. කෑගල්ල ප්‍රදේශයට ආධාර රැගෙන යන අයවළුන් විසින් විශේෂයෙන් අවධානයට ලක්කළ යුතු බඩු භාණ්ඩ නම් වියළි ආහාර, සනීපාරක්ෂක උපකරණ, බෙහෙත්, කුඩා ළමුන් සහ කාන්තාවන් වෙනුවෙන් වූ භාණඩ වැනි දෑය. මගේ මිතුරා අදාළ ප්‍රදේශය තුළ ස්වේඡ්ඡා සේවය තුළ නිරතව සිටින අතර ඔහුගේ විශ්වාසවන්ත භාවය පිළිබදව මට වගකිවහැක. අවශ්‍ය ඕනෑම කෙනෙකුට ඔහුව සම්බන්ධ කරගැනීමට 0716244202 (ඉන්දික) තුළින් සිදුකළ හැක.

අවධාරනය - කැමරා බහුල සමාජයක සියළුදෙනාහටම මාධ්‍ය කාර්යභාරයක් ඇත. එහෙත් ඡායාරූප ගැනීමේදී මූලික මාධ්‍ය සදාචාරයන්වත් පිළිපැදීමට සිහිතබා ගන්න. විශේෂයෙන් මළසිරුරු සම්බන්ධයෙන් වන ඡායාරූප සමාජජාල තුළ සංසරණය නොවන්නේ නම් වඩාත් හොදය. මියගොස් ඇත්තේ අපවැනිම ගෞරවයකින් ජීවත් වූ අපේම සහෝදර සහෝදරියන්ය.

මේ හිමාශි කරුණාරත්න ගෙන්.

අරණායක මිනිස්සු සිය ගණනකගේ,
ප්‍රාණ වායුව මහ පොළොව යට මිහිදන් වුණා ..
ඒ විතරක්ද කොළඹ අවිස්සාවේල්ල තව හුඟාක් පැතිවල
අහිංසක මිණිසුන්ගේ පුංචි දරු පැටවු
ඇගට ඇදගන්න රෙදී කෑල්ලක් නැතුව හීතලේ හැහෙනවා
සමහර විට හීතලක් දැනෙන්නේ නැතුව ඇති
උන්ගේ සිත් වල කැකෑරෙන වේදනාව හීතල වසං කරලත් ඇති.
පුංචි රෙදි කෑල්ලක් , ඇදුමක් පැලදුමක් , බිස්කට් පැකට් එකක්
සිද්දාලේප කුප්පියක් පැනඩෝල් පෙත්තක්
තව මොන තරම් දේවල් මේ අහිංසක මිනිසුන්ට උවමනා වෙලා ඇත්ද?
ආදරණිය මිනිසුනි.....!!
අපි එකතු වෙලා මේ අහිංසකයන්ගේ නැතිවුන ජීවිත ගන්න බැරි උනත්
මේ මොහොතේ සිදු විය යුතු යුතුකම ඉටු කරමුද
දේශපානය අරමුණු , වර්ග වාද , ගෝත්‍රවාද ගැන හිතන්න කලින්
මිනිස්සු විදිහට අපට දෙයක් කරන්න තියෙනවා
ඔයාලට පුළුවන්නම් හෙට හා අනිද්දා දවස් දෙකේ
මේ අය වෙනුවෙන් පුංචිම දෙයක් හරි අරන් එන්න
* කොළඹ - අංක 56,දාබරේ මාවත,කොළඹ 5
* කැළණිය - ගුරුකුල විද්‍යාලය අසල විහාරය
*කිරිබත්ගොඩ සහ දළුගම - ඔටෝ ලර්න් රියදුරු පාසල කියන ලිපින වල ඔයාලගේ ආදරය ඒ හද ගැහෙන මිනිස්සුන්ට එකතු කරන් යන්න අපේ කට්ටිය බලා ගෙන ඉන්නවා.
ඒ අයව සම්භන්ධ කරගන්න ඔනි නම් දුරකථන අංක තුනක්ම තියෙනවා
ෂේන් - 071 933 6444
රන්දික - 0775685930
Kasun - 077 2345168
ආදරණිය මිතුරනි,
ඔයාලාගේ පුංචිම පුංචි පැනඩෝල් පෙත්තත්
ඒඅයට ලොකු සවියක් වේවි



Sunday, 15 May 2016

අවසානයේ දී කහසල්ලි සරදයා ද බ්ලොග් ලියන්නට ආවේය......................

සී ඩබ් ඩබ් කන්නන්ගර 
බ්ලොග් ලියන්නට අළුතින්ම  පැමිණි "කහසල්ලි" ලියන සරදට තමන් එසේ පැමිණියේ නෙළුම් යාය විසින් ඇති කළ "පිබිදීම" බව පිලි ගන්නට දිව පැටලෙන  බව පෙනේ. ඒ වෙනුවට බොහෝ වාමාංශික  "සහෝදරවරු"  පුරුද්දට (habitually) කරන්නාක්  මෙන් "විවේචනයක්" ඉදිරිපත් කරයි.

ඔහුගේ පළමු විවේචනය දේශපාලකයන් ට බ්ලොග් සම්මාන දීමට ආරාධනා කිරීම ගැනයි. කරු පරණවිතාන සම්බන්ධ කර ගැනීම ගැන "නොකී කතා"ද දෝෂාරෝපණය කල අතර ඒ ගැන පිළිතරු දී ඇති නිසා නැවත  ලියන්නට නොයමි.

සරද මෙහිදී අමුතු කතාවක්  කියයි. ඔහුගේ අන්වීක්ෂ පරීක්ෂාවෙන් පසු ඔහුට පෙනෙන්නේ අප කරු ජයසුරිය ගෙන්වන්නේ පිරිසුදු ජාතිවාදී නොවන දේශපාලකයෙකු නිසා බවයි. හැබැයි අප කොහේවත් එසේ කියා නැති බව ද ඔහු පිළිගනී.  මට නම් පෙනෙන්නේ සරද වැන්නවුන් අනිත් පාර්ශවයේ ලිපි නොකියවා අනුමාන කර ලියන බවයි. ඉන්පසු ඔහු කියන්නේ "හුදෙකලා හොඳ මිනිසුන්ට හුදකලා වීම හැර සමාජයේ තීරණාත්මකව කල හැකි දෙයක් නැත" යන්නය.   දැන් අපි මේ කතාව මදක් විශ්ලේෂණය කර බලමු.

දීප්ති  කුමාර ගුණරත්න වරක් සඳහන් කල පරිදි අපේ යුගයේ  දේශපාලන විපරිත භාවය කුමක් ද කියා හදුනා ගැනීම වැදගත්ය. මම මේ ගැන බොහෝ දුරට කල්පනා කලෙමි. මට සිතෙන්නේ මෙසේය.

පේරාදෙණි ගිය කිසියම් බ්ලොග් කරුවෙකු කි පරිදි රාජකීය විදුහලෙන් එන නවකයන්ට නවක වද දෙන සීනියර් උත්තමයන් හඳුන්වන්නේ "කුණු කන්නන්ගරෙන් " එන එවුන් කියාය.  කුණු කන්නගරේට යන එවුන් ගෙන් භාගයක්ම ශිෂ්‍යත්ව විභාගය සමත් වී රාජකීය විදුහලට එන බවද  ඔවුන් හොඳින්ම දනී.  නමුත් අර ඉරිසියාව එලෙසමය. කන්නගර කියන්නේ කවුද?

ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර ලංකාවේ බ්‍රිතන්‍ය පාලනයට  එරෙහිව නැගුනු නිදහස් ව්‍යාපාරයේ සිටි පුද්ගලයෙකි.  ඔහු ගැන සරදට අනතර්ජාලයේ කියවා ගත හැකිය. ලංකාවේ පළමු පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ඇමතිය. එස් ඒ වික්‍රමසිංහ ආදීන් ගේ සහයද ඇතිව නිදහස් අධ්‍යාපනය ඇති කලේ ඔහුය. ආදී කාලීන එජාපයේ ඩි ඇස් සේනානායක විරුද්ධ වෙද්දී  ජේ ආර්, ඩඩ්ලි, (ඔව් ජේ ආර්) , ඔලිවර් ගුණතිලක, ඇන් ඇම් පෙරේරා, මලලසේකර ආදීන්ගේ සහයෙන් ඔහු අධ්‍යාපන පනත  සම්මත කර ගත්තේය.  සරද  වැනි අය උගත් බණ්ඩාරවෙල මැදි මහා විදුහල වැනි මධ්‍ය මහා විද්‍යාල රාජකීය විදුහලේ ඌරුවට ඇති කලේත් ඔහුය. පේරාදෙණිය ද ඇතුලත් ලංකා විශ්ව විද්‍යාලය පිහිටෙව්වේද පිරිවෙන් අධ්‍යාපනයට තැනක් දුන්නේද ඔහුගේ අවුරුදු දහසයක අධ්‍යාපන ඇමති ලෙස කටයුතු කල කාලය තුලය.

අසුව දශකයේ අග භාගයේ පෞද්ගලික වෛද්‍ය විදුහල පිහිටුවද්දී එයට එරෙහිව නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් ජනතාව පෙළ ගැස්වූයේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වාමාංශික පක්ෂයන්ය.  "කුණු කන්නන්ගරය " කියා පේරාදෙණි ගියවුන් අපහාස  කරන්නේ ද තමන්ට නිදහස් අධ්‍යාපනය ලැබීමට තම පක්ෂයේම නායකයන්ගේ විරුද්ධතා මැද  කටයුතු කල යුඇන්පී කාරයෙකුටය. විපරීත භාවය ඇත්තේ මෙතනය. නිදහස අධ්‍යාපනයට අද විරුද්ධ වන්නේ යුඇන්පී සහ සමහර ශ්‍රීලංකා කාරයන්ය.

සාමාන්‍යයෙන් වාමාන්ශිකයන් අනිත් අයගේ ලිපි කියවන්නේ නැත. (දීප්ති වැනි කීප දෙනෙකු හැර )  තමන්ගේ ලිපි හෝ තමන්ට අනුබද්ධිත වෙබ් අඩවියක පත්තරයක මිස අනිකුත් දේවල් නොකියවිමේ සිරිතක් ඔවුන් තුල පවතී.  එනිසා කරු ජයසුරියට 2015 ප්‍රථම සම්මාන උළෙලට ආරාධනා කළේ ඇයිද යන්නේ මෙහි ලියා ඇති  බව කියමි.
සරද මෙතන කියවන්න.  යාපනයේදී අනවසර වැලි ගොඩ දැමීමක් කිරීම ගැන ලියු සමාජ ජාල ක්‍රියාකරුවෙකු මරා දමා තිබුණි. තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කෙරෙන පනතක් ශ්‍රී ලංකාවේ නැති නිසා ඒ ගැන තොරතුරු දැන ගන්නට ක්‍රමයක් නැත.

මේ ලිපියේ තිබෙන්නේ  අප ඔහුට ආරාධනා කළ හේතුවයි. අපි 2015 නෙළුම් යාය උළෙලේදී කරු ජයසුරිය  මහතාට තොරතුරු දැන ගැනීමේ නිදහස තහවුරු කිරීමේ පනත සම්මත කිරීමට ඔහු ගෙනයන සටන ගැන  විස්තර කිරීමට ඉල්ලීමක් කළෙමු.  කරු ජයසුරිය මහතා දෙවරක්ම තොරතුරු දැන ගැනීමේ අයිතිය පිලිබඳ  පනත ඉදිරියට  ගෙන ආවත් එය  දෙවරක්ම පාර්ලිමේන්තුවේ දී ප්‍රතික්ෂේප වුණි. බ්‍රිතාන්‍යයේ  සමහර මන්ත්‍රීවරු  මේ Freedom of Information Act  පනතට බියය. සමහර  රජයේ ආයතන ද බිවෙති. පසුගිය අවුරුද්දේ පමණක් 30,000 පමණ දෙන තොරතුරු පනතට අදාලව රජයේ ආයතන හා මන්තිවරුන් ගේ විස්තර ඉල්ලා තිබුණි .  මේ  පනත ඉදිරිපත් කලේ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ ආණ්ඩුවක් මගින් වසර 2000 දී පමණය.

රාජ්‍ය දුෂණ අවම රටක් වන ස්වීඩනයේ මේ තොරතුරු දැන ගැනීමේ අයිතිය 1766 සිට පවතී. එක්සත් ජනපදයේ ලින්ඩන්  ජොන්සන් එය අනුමත කලේ 1966 දීය.

ලංකාවේ දේශපාලකයන්  මේ පනත  ගැන බියවීම  අහන්නත් දෙයක්ද?  2016 මාර්තු 24 දා කරු ජයසූරිය මහතා  කථානායක ධුරය හොබවන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ එය සම්මත කෙරුනි.  ඔහු වෙනුවෙන් පනත සභාවට ඉදිරිපත් කලේ ජන මාධ්‍ය අමාත්‍ය
ගයන්ත කරුණාතිලකය.  නෙළුම් යාය උළෙලේට පැමිණි කරු ජයසුරිය මහතා පනත පැය 72ට කලින් සම්මත වූ බව සාඩම්බරයෙන් ප්‍රකාශ කළේය.
2016 නෙළුම් යාය සම්මාන උළෙලේ  නිමේශයක් 

 මෙවර  නෙළුම් යාය  සම්මාන දෙන අතරතුර කථානායක තුමා පනත  සම්මත වීම ගැන මගේ අදහස විමසීය.  "ජනතාව  මේ ගැන වැඩිය දන්නේ නැහැ නේද " යන්න  ඔහුගේ ප්‍රශ්නය විය.  මම ඒ මහතාට පැවසුවේ, මේ පනත  මගින් ඔහු ඉතිහාසයට එක්වන බවයි. ජනතාවට පනතේ  වටිනාකම වැටහෙන්නේ පසුව බවයි.

ශ්‍රී ලංකාවේ පවතින විපරිත ඩීල් දේශපාලනය අනුව තවත්  අවුරුද දහයකින් පමණ සමහර විට ලංකාවේ බලයට පත් වන්නේ එක්කෝ දහම් සිරිසේනය. නැත්නම් නාමල් රාජපක්ෂය. නැත්නම් සජිත්  ප්‍රේමදාසය. දහම් හෝ සජිත් ජවිපෙ අනුර කුමාර හෝ වෙනයම් නායකයකු සමග ඩීල් දමනු ඇත. පෙසපේ ගුණරත්නම් නාමල් හෝ තවත් අයෙකු සමග ඩීල් දමනු ඇත. ඉන්පසු උනුත් එකයි මුනුත් එකයි කියා ආණ්ඩුවට එක්  නොවනු ඇත.  අර පත්ව එන නායකයාට සහය ගැනීමට සිටිනා  මන්ත්‍රීවරු මෙන්ම  රජයේ නිලධාරින් බේරා  ගැනීමට නම් උන් පිලිබඳ සත්‍ය තොරතුරු හෙළි දරව් වීම  අවාසිදායක  වනු ඇත. මාතලන් වැනි හැම කුණු මුල්ලකටම හොට දමන නසරාණි බ්ලොග් කරුවන්, සමාජ ජාලා ක්‍රියාකාරීන් පනත ආධාරයෙන් තොරතුරු සොයනු ඇත. ඒ නායකයන් එවිට මේ පනත අවහිර කිරීමට  කටයුතු කරනු ඇත.

අන්න ඒ දිනට කරු ජයසුරිය ඉතිහාසගතවනු ඇත. ඔහුගේ මේ  පනත වෙනුවෙන්, අනාගතයේ එවන් දිනක පෙළපාලි යනු ඇත්තේ  ජවිපෙ හෝ පෙසප වැනි වාමාංශික දේශපාලන පක්ෂයක් හා එවකට තිබෙන විපක්ෂය වනු ඇත. එදිනට සරදට මාවද නෙළුම් යායද  මතක් වනු ඇත.

පරණම යුඇන්පී (formerly ceylon national congress ) කාරයෙක් ඉදිරිපත් කල නිදහස් අධ්‍යාපන පනතෙන් පිහිටවූ අධ්‍යාපන ක්‍රමය රැක ගැනීමට ගුණරත්නම් මහතාද සිටි ජවිපෙ බොහෝ කැපකිරීම් කළේය. සරද ද දැන් මගෙන් කරු ජයසුරිය ගැන ප්‍රශ්න කළාට අනාගතයේදී අප සමග මේ පනත  රැක ගැනීමට සටන් කරනු ඇත. මේ සරදට නොපෙනන දීප්ති වැන්නවුන්ට පෙනෙන දෙයයි.

මා දිප්තිව අදාල කර ගත්තේ  මෙවැනිම චෝදනාවක් චමීර කොස්වත්ත විසින් දීප්තිට විරුද්ධව  එල්ල කල හෙයිනි. දීප්ති යුඇන්පී එකට වැඩ කරන බවත්  සමහර විට රජයට පවා එක්විය හැකි බවත් ඔහු කිවේය.

ඉන්පසු සරද විසින් "පිරිසිදු කරූ පවා මේ රජයේ දැති රෝදයක්" බව කියමින් ලොකු කතාවක් කියයි. එය අවසන් වන්නේ මෙසේය. "අවසාන විග්‍රහයේදී රාජ්‍ය හිටගන්නේ දැනුමට අනික් පැත්තේ."

සරද අඩුම ගනනේ මගේ කතාව  හෝ කියෙව්වා නම්.  මෙන්න මේ කොටස "පුරවැසි ජනමාධ්‍ය භාවිතාව ප්‍රචලිත කිරීමටත්, බ්ලොග් කරුවන් සමාජයේ දැනුම් නිම්තෙර පුළුල් කිරීම උදෙසා කරන සේවය ඇගයීමටත් මේ සම්මාන උළෙල කරන්නෙමු.  එසේම අප කල්පනා කරන්නේ දැනුම ලබන ජනතාව රැවටිය නොහැකි බවය. " මගේ පිළි ගැනීමේ කතාවේදී  මා ඒ බව කෙලින්ම කියා සිටියෙමි.

රාජ්‍යය සිට ගන්නේ දැනුමට අනිත් පැත්තේ විය හැකිය. එහෙත්  අපේ අදහස දැනුම ලබන ජනතාව  රැවටිය නොහැකි බවත් ඒ නිසා බ්ලොග් හා අනෙකුත් සියලුම මාධ්‍යයන් භාවිතා කර අප ජනතාවට  දැනුම ගෙන යන බවත්ය.  රජයක් එයට විරුද්ධ වන අවස්ථාවක අප සිට ගන්නේ රජයට විරුද්ධ පැත්තේය. එතැනදී එය මොන දේශපාලන පක්ෂයක් නියෝජනය කරන්නේද යන්න  අපට අදාල නැත. අප නිවැරදි බව බ්ලොග් ලියන්නට මෙන්ම කියවන්නට එකතුවන ජනකායෙන් පෙනේ.  දැන් සරද ද ඒ අතර සිටීම අපේ සතුටට කරුණකි.

කරුණාරත්න පරණවිතාන යටතේ සිටින නිලධාරීන් නෙලුම් යායට කුඩම්මාගේ සැලකිලි දැක්වීම හා ඔවුන් ගෝඨා ගේ මිනිසුන් බව අර්ථ දැක්වීම සරදගේ කියවීමක් පමණකි.  මේ තියෙන්නේ හයිබ්‍රිඩ් ආණ්ඩුවකි.  ලංකා දේශපාලන  ඉතිහාසයේ ප්‍රථම වතාවට, අලුතින් පැමිණි ආණ්ඩුවේ  දේශපාලකයන් විසින් පරණ ආණ්ඩුවේ රැකියා කරන නිලධාරීන් එළවා කරන  දේශපාලන පලි  ගැනීම් කිරීමට  ඉඩක් නැති විය. අමරබන්දු  ගැන ලියු අරුණ පෙරේරා ගෙන් ඇසුවා  නම් ඔහු මේ අතීත දේශපාලන පලිගැනීම් ගැන හා ඉන් සිදුවුන ජිවිත විනාශ සරදට කියනු ඇත.  නිලධාරීන් ගුරුවරුන්ට කරන හිංසා  ගැන මනොෂ් හා හෙන්රි වැනි බ්ලොග් කරුවන් ලියූ  දේ සරද කියෙව්වා ද?  අප විරුද්ධ මේ නිලධාරිවාදයට මිස ගෝඨා කතාවකට  නොවේ.

බොහෝවිට ගෝඨාභය තමන්ගේ නම මේ නිලධාරීන් භාවිතා කරන බව දන්නේ හෝ ඒවා අනුමැත කරන්නේ වත් නැතිවිය හැකිය. ඔහු කතා කරන්නේ පවා ඊට වඩා බරපතල දේවල් ගැනය. අප පෙන්වා දුන්නේ මිනිසුන්ගේ බදු මුදල් වලින් ක්‍රියාත්මක වෙන රජයේ ආයතනයක් ගැනය. එවන් ආයතනයක නිලධාරීන් ගැන ප්‍රශ්න කිරීමට ජනතාව ගෙන් කොටසකට අයිතියක් ඇත. අප කළේද එයයි. නැතිව රජය සමග ගැටී අප සසල වූවා යයි කීම සරද ගේ හිතළුවක් පමණි.

විශ්ව විද්‍යාල සිසුන් සම්බන්ධවද එය එසේමය සරද. ජනතාවගේ  බදු මුදලින් පවත්වා ගෙන යන නිදහස් විශ්ව විද්‍යාල වල උගන්නා  සිසුන් ගේ නවකවද  හෝ වෙනයම්ම කටයුතු ගැන විමසීමට මොන උප සංස්කෘති තිබුනද, එම රටේ ජනතාවට  අයිතියක් තිබේ.  මුලින් නවක වදය කර ජනතාව  එයට එරෙහි වූ පසු රජය නීතිය අතට ගත්තේය. රජය නවකවදය මුවාවෙන්  සිසුන් මර්දනය කරනවා කීම දැන් විහිළුවකි. රජය කලේ රැල්ල යන පැත්තට අමුඩය ගැසීම පමණි. විශ්ව විද්‍යාල සිසුන්ට තිබුනේ අපත් මේ නවක වදයට විරුද්ධයි. මේ සිසුන් නිදහස් කරන්න. අපි ඔවුනට නවක ශිෂ්‍යාව ගෙන් සමාව ඉල්විමට පවසන්නෙමු කියා වැඩේ ගොඩින් බේරා ගැනීමට ය.  ඔවුන්ට අවශ්‍ය එය නොව සිසුන් අතරේ වීරයන් වීමය. දැන් පෙළපාලි යාමට තවත්  නිමිත්තක් හදිසියේ ලැබී තිබේ. මෙන්න මගෙන් අත්පුඩි.

 රාජ්‍ය නම් විශාල ඝනකම් පර්වතයේ පුංචි විය සිදුරක් හමුවීම නිසා සමස්ථය සසලවී ඇත්තේ අපට නම් නොවේ. රජය යනු කුමක් දැයි අප හොඳින් හදාරා ඇති බැවිනි.

පරණවිතාන ගේ උදව් ගැන කිවේ ඔහු නෙළුම් යායට  බලපෑමක් නොකළ  බව පැහැදිලි කිරීමටය.  සරද තනිකරම රාජ්‍යයේ සහභාගිත්වය ප්‍රශ්න  කරන්නේ ඔහු පවතින රජයට විරුද්ධ පක්ෂයක අයෙක් නිසා වීම පමණකි. නොකී කතා විරුද්ධ වන්නේද ඒ අනුවය. නමුත් එසේ නොමැති බව වටහා ගත්  මොහොතේදීම නොකී කතා නොහොත් හෙන්රි වර්ණකුලසුරිය මහතා වේදිකාවට අවතීරණ වීමට පැකිලුනේ නැත . ඒ තීරණය ගැන ඔහුට ස්තූතිවන්ත වෙමි.

සමහර විට අප පුබුදු ජයගොඩ මහතා ටත්  ආරාධනා කළා නම්  සරද මෙසේ නොලියන්නට ඉඩ තිබේ.  එසේම සමහර විට වාමාංශික රජයක් යටතේ එහි ඇමතිවරයෙකුට කතා කලා නම් ද ඔහු විරුද්ධ නොවනු ඇත.  මෙය පුහු යුඇන්පී විරෝධයක් පමණි. අපට එවැන්නක් නැත.


සිංහල  බ්ලොග් ඉතිහාසය අවුරුදු දහයකට එහා දිවෙන්නෙකි. ඒ අතරතුර  බොහෝ සින්ඩි බිහිවිය.  ඈත කාලයක එක පේලියට බ්ලොග් ලිපින ඇති වෙබ් පිටුවකින් බ්ලොග් කියෙව්වා මතකය.ඒ ලංකා බ්ලොග් කියවනය හෝ වෙන එකක්ද යන්න මට මතක නැත.

මේ බ්ලොග් ලෝකය ට වෙනත් විධිහකට ඉදිරිපත් වන්නට  අදහසක් ඇති වුනේ ඇයිද යන්න හා එයට ලංකානිව්ස්වෙබ් අඩවියේ නෙළුම් යාය අංශය එක් වුයේ කෙලෙසද යන්නත් දහ දොළොස් පාරක්  ලියා ඇති නිසා  ඒවා නැවත  ලියන්නේ නැත. සරදට අවශ්‍ය නම්  මගේ බ්ලොගයේ ඒවා කියවා  ගත හැකිය.

ඒ කිසි  තැනක නොලියු දෙයක් දැන් ලියමි.

මින් වසර දෙකකට පමණ පෙර නෙලුම් යාය සම්මාන උළෙලක්  පටන් ගැනීමට පෙර ඒ සඳහා සාකච්චාවට මගේ නිවසට පැමිණීමට මා ඇරියුම් කළේ හතර දෙනකුටය. අගෝරාවේ සිටින දැන් කහ සල්ලි බ්ලොගය පටන් ගත් සරද සමරසිංහ, සංඛ රණධිර විතාන, අරූගෙ අඩවිය ලියන අරුණ පෙරේරා හා ලංකානිව්ස්වෙබ් හි එවකට ප්‍රධාන කර්තෘ චන්දිම විතනාරච්චිටය.  මුලින් කි දෙදෙනා සරද්ද හා සංඛ කිසියම් හේතුවක් දක්වා නොපැමිණියහ. බ්ලොග් සම්බන්ධව ඔවුන්ගේ තිබුනේ මේවා වැඩක් නැති දේ  වැනි හැඟීමක් බව මට සිතුනි.  සංඛ කිවේ ඔහු බූන්දියට ලියන බවයි. එසේ නැතහොත් ප්‍රතිචාර දමන බවයි.  බුන්දියට දමන ප්‍රතිචාර වලින් වැඩක් නැත්තේ කිසිවකු ඒවාට පිළිතුරු  සපයන්නේ වත් සංවාදයට එන්නේ වත් නැති හෙයිනි. සරද ගේ ලිපි කිහිපයක්ම බුන්දියෙන් මට හමුවී තිබේ. මා දන්නා පරිදි බූන්දියේ පල වෙන්නේ කිසියම් "ප්‍රගතිශීලි" ලේබලයක ට වැටුණු ඒවා පමණි. එයිනුත් රුවන් ජයතුංග හැර අනිත් ලේඛකයන් කිසියම් කණ්ඩායමකට අයත් විය යුතුය යන හැඟීමක් මට තිබේ. මා වැරදි වෙන්නට පුළුවන. ඔවුන්ගේ වෙබ් අඩවියට යොමුව නෙළුම් යායේ තිබේ.

සාකච්චාවට පැමිණි දෙදෙනා ගෙන් අරූ එයට මුලදී කැමති වුනත් බෝතලයක සහයෝගයකින් පසු සියල්ල අවුල් වන බව මට පැහැදිලි විය. මගේ ඉංග්‍රීසි බ්ලොගයේ කිසියම් ලිපියක්  ලිවූ පසු මට හදිසියේ  මට ලැබුණු ඊමේලයක් ගැන සාකච්චාවේදී සඳහන් කලෙමි. සිංහල බ්ලොග් පවා අවශ්‍ය නම් කිසියම් ආයතනයක  හෝ කණ්ඩායමක නිරීක්ෂණයකට ලක් කල හැකි බවටත් ඒවා සම්පුර්ණයෙන් ම නිදහස් යයි  සිතීම මිත්‍යාවක් බවටත් ඇතිවූ කතා බහේදී අරූ ද සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කළේය. මා  ඔහුට කිවේ සත්‍යයකි.

නමුත් ඉන් අවුරුද්දකට පසු දෙල්කඳ හන්දිය නමින් ලංකානිව්ස්වෙබ් අඩවියට කොලමක් ලිවීමට නම් අරූ එකඟ විය. ඒ අනුව පෙනී ගියේ මෙතන  තිබුනේ වෙනත් ප්‍රශ්නයක් බවයි.  මා ප්‍රදීප් ජයතුංග නමැති සුප්‍රසිද්ධ බ්ලොග් ප්‍රතිචාර දමන්නා සමග අරූ හමුවීමට ගිය විට ඔහු එය කිවේ මෙලෙසය. "උඹ නිකන් ගරිල්ලා කාරයෙක් වගේ නේ මෙතනට කඩා වැදුනේ. එක පාරටම ඇවිත් මෙතන එක එක දේවල් කරන්න  ආවා. නිදහස්ව තිබබ් අවකාශය නැති කලා. " යනුවෙනි. මා ඔහුට මුලින්ම ආරාධනා කල බව අමතක විද? නෙළුම් යාය මුල්ම සංස්කාරක පදවිය  ඔහුට දීමට යෝජනා කල බව ඔහුට අමතක වීද?

මා  අදත් කියන්නේ කාගේවත් නිදහස් අවකාශයක් අප බදු නොගත් බවයි. ලියන අයට මොනවා ලියන්නදැයි අප කියන්නේ නැත. දැන් නැවත අරූ ද එක්තරා ප්‍රමාණයකට බ්ලොග් නිර්දේශ කිරීමට නැවත  එකඟ වී තිබේ.

සරද ගේ අනිත් අදහස  නම් මදක් විහිළු සහගතය. බ්ලොග් ලිවීමෙන් විප්ලව කල නොහැකි බවයි. බ්ලොග් වලින් විප්ලව කරන්නට අප කවදාවත්, මම පෞද්ගලිකවත් පොරොන්දු වී නොමැත.

හැබැයි විප්ලව කරන්නට යන පක්ෂ වලට නම්, වෙබ් අඩවි, පත්තර , පුවත්පත් ගණනාවක් තිබේ. ඒ පක්ෂ වලට අදාල අය බ්ලොග්ද කරති. ඔබ ඒ ප්‍රශ්නය ඔවුන්ගෙන් ඇසුවාද? ඔවුන් විමුක්තිය දෙන්නට යන්නේ තමන්ගේ  වෙබ් අඩවි හා පත්තර කියවන
සුළුතර පාඨක සංඛ්‍යාවකට පමණක් වන නිසා හා  වඩා  පළල්  අවකාශයක වැඩ කිරීමට ඔවුන්ට ඇති නොහැකියාව මා  දැක ඇති නිසා  ඔවුන්ගේ  විප්ලව ගැන මගේ විශ්වාසයක් ද නැත.

බ්ලොග් වලින් හා නෙළුම් යායෙන් කරන්නට යන්නේ ජනතාවට  දැනුම ලබාදීම, කලාව සහ සාහිත්‍ය පිලිබඳ සංවාදයන් දියුණු කිරීම  හා ඒවා කරන අය ඇගයීම පමණකි.

මට අද තවත්   සතුටුදායක  ආරංචියක් ලැබුණි. කේම්බ්‍රිජ් සරසවියේ Narratology පිලිබඳ පර්යේෂණ නිබන්ධනයක් ලියන ආචාර්යවරියක්  නෙළුම් යාය  සහ සිංහල බ්ලොග් කරුවන්ගේ සංවාද පිලිබඳ පරිච්ඡේදයක්  ඇගේ නිබන්ධනයට ඇතුලත් කර ඇති බවයි. ඉදිරියේදී ඒ ගැන ලියමි.

සරද ලා දැන් බ්ලොග් අවකාශයට එන්නේ දෙවන බ්ලොග් සම්මාන උළෙලෙන් දැනුනු දැඩි ඌශ්ණය නිසාය.  සාදරයෙන් පිළිගනිමු.


Tuesday, 10 May 2016

මොස්කව් නවක වදය 2


මොස්කව් නවක වදය 1

මා මොස්කව් හි සිටි මාදි නේවාසිකාගාරයේ තත්වය ගැන කියවූ   බොහෝ අයගේ සෝවියට් දේශය ගැන කිසියම් වික්ෂෝපයක් හටගෙන තිබුණි දුටිමි. සෝවියට් දේශයේ හොඳ නේවාසිකාගාර ඇති විශ්ව විද්‍යාල තිබුණු අතර එය  තීරණය වන්නේ කුමන රජයේ ආයතන ඒවාට සම්බන්ද ද යන්න මතය.  හැම තැනම  සියල්ල එක හා සමානව තිබුනේ නැත. උදාහරණයක් ලෙස මොස්කව් ඛනිජ තෙල් හා ස්වභාවික වායු පිලිබඳ විශ්ව විද්‍යාලය ගනිමු. ඔවුන්ට තිබුනේ හෝටල් වැනි නේවාසිකාගාරය. කුස්සියක්, කාමරය හා පුද්ගලික නාන කාමරය හා වැසිකිලියක් ද , සමහර  තැන්වල හිඳගෙන කතා කිරීමට කුඩා කාමරයක් ද තිබුණි. විශ්ව විද්‍යාලයද අළුත්ය. එයට හේතුව ගැස්ප්‍රොම් හෙවත් සෝවියට් රුසියාවේ ඛනිජ තෙල් අපනයන කරන රාජ්‍ය සමාගම සමග ඔවුන්ගේ සම්බන්ධතාවයයි. එය අදත් රුසියාවේ ධනවත්ම රාජ්‍ය සමාගමයි.

සෝවියට් මිත්‍ර පදනමේ මුදල් වෙන් කෙරුණු ලුමුම්බා වේ සාමාන්‍ය තරමක හොඳ නේවාසිකාගාර තිබුණු අතර වෛද්‍ය  විද්‍යාල හා ගුවන් යානා තාක්ෂණ විද්‍යාල මෙන්ම රාජ්‍ය විශ්ව විද්‍යාලයේ ඇතැම් කොටස් ද ඉතා හොඳ විය. එයට හේතුව ඔවුන් හා සම්බන්ධ රාජ්‍ය ආයතනද මුදල් ඇති ඒවා වීමයි. අපගේ මූලික අවුරුද්ද තිබු මාදි විශ්ව විද්‍යාලය 1930 පටන් ගත්  එකක් වන අතර අපේ නේවාසිකාගාරය ඒ කාලයේ සෑදු පරණම එකක් විය. එහි අනිත් නේවාසිකාගාර හොඳ තත්වයේ ඒවා විය. මේ නේවාසිකාගාර සියල්ලේ වාසය කිරීමද  නොමිලයේ ය. මා ඉන්පසු ඉගෙන ගත් මොස්කව් විදුලි ඉංජිනේරු විශ්ව විද්‍යාලයේ තමන් ගේම තාප විදුලි බලාගාරයක් ද තිබුණි.

මා එහි ගොස් මාස කිහිපයකට පසු ශීත සෘතුව එළඹුණු අතර ඒ නවක වදය නම් ඉතා දරුණු විය.  නේවාසිකාගාරයට යන මාර්ගයේ හිම ඉවත් කර නැත්නම් යාම ඉතා දුෂ්කරය. එහිදී අපහට නොමිලයේ ලබා දුන් පල්තෝව හෙවත් විශාල හිම කබාය ඉතා බර එකක් විය. සෘණ අංශක 15 කට පමණ උෂ්ණත්වය අඩුවෙන හෙයින් මේවා ඇඳීම අත්‍යවශ්‍යය. ඇතුලටත් හොඳින් ඇඳ බර වින්ටර් බූට්ස් දාගත් පසු ඇවිදීම සමාන වන්නේ අභ්‍යවකාශගාමියෙකු ගේ අමාරුවෙන් ඇවිදීමටය.

එක් දිනක  පන්ති ගොස් ඉන්පසු අසල වෙළඳ හල් කිහිපයකින් රාත්‍රියට  ඉවීම සඳහා (ජිවිතයට කිසි දෙයක් උයා නැති මට  චිකන් කරියක් හා එළවළුවක් හදන්නට ඉගැන්වූයේ කාරුණික ජ්‍යෙෂ්ඨ සිසුන්ය. ඒ නිසා අප මාරුවෙන් මාරුවට  කෑම ඉව්වෙමු.) මස් ආදිය  රැගෙන හිම ගොඩේ ඇවිදගෙන එද්ද ඇති වූ මහන්සියට මට එහි සිටීම එපාවිය. එදා රැයේ මගේ දුක කියා මවට  කවි පෙළක් ලීවෙමි. අර එපාකරපු ජ්‍යෙෂ්ඨයන් රැල  එයද උදුරාගෙන කියෙව්වෝය. කවි පෙළ මට දැන් මතක නැත.

මා පැමිණි අවුරුද්දට කලින් සිදුවුණු සිද්ධියකදී  ලංකාවෙන් ඉගෙනීමට ආ  ගැහැණු ළමුන් සමුහයකට ජ්‍යෙෂ්ඨ අයියලා රාත්‍රී කෑමකට ආරාධනා කර තිබිණි.  ඔවුන්ට හොඳට හොඳට ඇඳගෙන එන්න යැයි ද අවවාදයක්‌ ද කර තිබිණි. භය වුනු නංගිලා ටික උත්සවයකට අඳින්නට ලංකාවෙන් ඔතා ගෙන ආ සාරි හැට්ට, ඔසරි එලියට ගෙන ඒවා ඇඳගෙන අඩි  උස සපත්තු පැළඳගෙන,    හිමේ එරී ගෙන කට කට ගගා සීතලෙන් වෙව්ලමින් අයියලා  සිටි  නවාතැනට ගොස් ඇත. උන් ටික පුදුම වී අසා ඇත්තේ "මේ මොකද " කියාය. "ඇයි යි .. අයි යයි ..යි යලා  හොඳට ඇඳගෙන එ...න්න කිව්..වේ " යි සීතලෙන් ගැහෙමින්ම නංගිලා පිළිතුරු දී තිබේ,. "නැහැ මේ අපි හොඳට ඇඳගෙන එන්න  කිව්වේ මේස් දෙකක් වත් එක්ක බූට් දාලා  , ඝන ස්වෙටරයකුයි කබායකුයි ශීත  එන්නැති වෙන්න ඇඳන් එන්න කියල. " ඇඟට නොදැනී ඔවුන්  පිළිතුරු දී ඇත.

ඊළඟ මාසයේ අග වෙන විශ්ව විද්‍යාලයක ජ්‍යෙෂ්ඨ සිසුන් අලුත් සිසුන් වූ මටත් මගේ රූමා ටත් රාත්‍රී කෑමට ආරාධනා කළහ.  ආනන්දියකු වන මගේ රූමා දැන් සිටින්නේ ඔස්ට්‍රේලියාවේය.   මස්, බත් සහ වොඩ්කා  වලින් සමන්විත රාත්‍රී සාදයක් ඔවුන් සංවිධානය කර තිබු අතර පියකරු රුසියන් හා ලතින් ඇමෙරිකානු යුවතියන්ද බොහෝ වූහ. සාදය සංවිධානය කල ජ්‍යෙෂ්ඨයා දැන් ලංකාවේ  පෞද්ගලික විශ්ව විද්‍යාලයක සීඊඕ කෙනෙකි.

මේ ජෙෂ්ඨයා මා සහ රූමා බලා ගැනීමට කියා පියකරු යුවතියන්  දෙදෙනෙකුට  භාර දුනි.  "හොඳින් කාල බිල එන්ජෝයි කරපල්ලා. ඉන්න  අල්ලපු කාමරේත් තියනවා"  කී   ඔහු අප අනිත් අයටද හඳුන් වා  දුන්නේය.  ඔහුගේ කාමරයේ සින්ක් එකක්ද තිබු අතර පුද්ගලික නාන කාමර ද   විය.

ජිවිතේ පළමු වරට බිව් වොඩ්කා  දෙක තුනකින් මා හොඳටම   කරකැවි ගියේය. කට්ටියම නටන්නට පටන් ගත්හ. අර හඳුන්වා දුන රූමත් ගෑනු ළමයාද මා  සමගම නටන්නට වූවාය. ඇය  මගේ ගෙලට  අත දා ගැනීම හා මා  ඇය වටා  කරකැවීම හොඳටම වෙරිවී සිටි මට මහා වදයක් වූ නමුත් ජ්‍යෙෂ්ඨයන් රැල  හොඳ විනෝදයක් ලබනු පෙනිණි.   රුසියාවට පැමිණ මාස  කිහිපයක් නිසා ඇය කියන කිසිම දෙයක් මට තේරුනේද නැත.

කෑමත් කා තවත් බිබී සිටින  අතරේ කාමරේ මද අඳුරේ මගේ  ගෙල වටා අත යවා  ගෙන නටමින් සිටි කෙලි පැටික්කිය මගේ කණ වික්කාය. යකා ආරුඪ වුනු මම ඇයට බැන වැදී තල්ලු කලෙමි. බිය වූ ඇය  වහ වහා  අනිත් අය අතරට ගියාය. පසුව කවුරුන්දෝ සමග ඇය ගිය බවක්ද  පෙනුනි.

රෑ බොහෝ වු අපි අපේ නේවාසිකාගාරයට ඇරලීමට එලියට පැමිණි ජ්‍යෙෂ්ඨයා කෙල්ල සමග වුනේ කුමක්දැයි මගෙන් ඇසුවේය.  "උන්  පළමු අවුරුද්දේ අලුත් කෙල්ලෝ. ඔන්න උඹල දෙන්න අලුත්  හින්දමයි අඳුන්වල දුන්නේ". ඔහු කිවේය.  මම ඔහුට සිදුවූ දෙය පැහැදිලි කලෙමි.  සුද්ද සිංහලෙන් පද කිහිපයක් කි ඔහු බඩ අල්ලා  ගෙන පෙරලි පෙරලී  සිනා සුනේය.  "කණ විකන්නේ ආදරේට යකෝ, තෝ  වගේ ගොනෙක් ".

රුසියානු කෙල්ලන් කණ විකන්නේ ආදරේට බව පළමුවරට දැන ගත්තේ ඒ නවක වදය දවසේය.  හැමෝගෙම නක්කලය හා ආචාර මැද  නැවත  පැමිණීමට  අප දෙදෙනා ටැක්සියට නැග්ගෙමු.

මගදී ටැක්සිය නවතා  වීදුරුව  පහත් කර සුදු පාට හිමේ රුසියාවේ ප්‍රථම හෝටලය දැම්මෙමි.

උදේ පාන්දර අවදි වුනේ කොහොමදැයි මතක නැත.

මට වොඩ්කා  බොන්නට පුරුදු කළ  අර නසරාණි  ජ්‍යෙෂ්ඨයා දැන් ලංකාවේ  පන්සිල් ගනිමින්, සිල් සමාදන් වෙමින් දැහැමෙන් සෙමෙන්  ජිවත් වෙයි.

Monday, 9 May 2016

මොස්කව් නවක වදය 1

නවක වදය පිලිබඳ ලොකු සංවාදයක් යන මේ දිනවල මොස්කව් නුවර දී විඳි "නවක වදය " ගැනද යමක් ලියන්නට සිතුනි. අසූ හතර වසරේ අගෝස්තු මස මොස්කව් ගිය අපට නැවතීමට ලැබුනේ උනිවෙර්ට්ස්කයා එනම් විශ්ව විද්‍යාල හෝටලය නමැති විශාල  හෝටල් සංකීර්ණයේය. එය මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලයට අයත් එකකි. එතැනදී අපව හොඳින් පිලි ගත්තේ ඒ සඳහා යොදවා සිටි තරුණ කොම්සොමෝල් සාමාජිකයන් සමූහයකි. එහි දින දෙකක් පමණ සිටි පසු මට  මාදි හෙවත් මොස්කව්  මහා මාර්ග සංවර්ධනය පිලිබඳ (සිවිල් ඉංජිනේරු)  ආයතනයට යාමට සිදුවිය.

එහි නවාතැනේ ඉන්දියන් කාරයන් දෙදෙනෙකු සමග මුල් කාමරය ලැබුණු අතර ඇඳ රෙදි ආදිය සලසාගෙන ජ්‍යෙෂ්ඨ සිසුන් ද හමු වුනෙමු.  නවක වදයේ  පළමු කොටස ලැබුනේ වැසිකිලි යාමේදී ය. ඒ වැසිකිලි වල දොරවල් නැත.  ඒ මදිවාට අහවල් දේවලින් පිරිද තිබුණි. වතුර ගැසීමේ පුරුද්දක් එහි නැති නිසා දම්වැල ඇද්දා ට හරියට වතුර වැඩ කරන්නේ නැත.

මේ වැසිකිලි ප්‍රංශ ක්‍රමයේ ඒවාය. නොයෙකුත් රටවලින් පැමිණි සිසුන් මේවා භාවිතා කරන්නේ නොයෙක් විධිහට  නිසා එය  ප්‍රශ්නයකි. ඉතින් වැඩේ තද කරගෙන නැවත අර හෝටලයටම ගොස් පැමිණියෙමි. එයට පැයක  පමණ දුරක් උමන් දුම්රියෙන් යා යුතු විය. තවමත් ලංකාවේ සිසුන් සිටි නිසා දින දෙකක් එසේ කලෙමි. ඉන්පසු කලේ අසල පිහිටි අනිත් ජ්‍යෙෂ්ඨ සිසුන් ගේ නවාතැනට යාමය. එහි වැසිකිළි  වල දොරවල් තිබුණි. දින දෙක තුනක් එසේ  කලත් පන්ති යන්නට පටන් ගත්  විට හා රාත්‍රියට එසේ කල නොහැකි විය. ක්‍රමයෙන් ශීත සෘතුවද පැමිණේ.

ඉන්පසු මා තට්ටු පහේම ඇවිද හොඳ වැසිකිලියක් සෙවීමයි.  එසේ තෙවෙනි තට්ටුවේ සිටියදී මට හමු වුනේ දොර අසලම එකකි. අනිත් තැන්  පිරිලාය. මගේ කරුමයට වැඩේ අවසන් කල එකෙක් දොර හැර ගෙනම පිටව ගියේය. දොර නැවත  වැසුනේ නැත.  අපේ අවුරුද්දේ ම උගන්නා  පියකරු මැඩගස්කර් කෙල්ලන් රංචුවක් එතනින් ගියේ එවිටය. උන් මදෙස බලා  කටවල් අතින් වසාගෙන මහා කිචි කිචියක් නගමින් ඇදුනෝය. ඔලුව බිත්තියේ ගසා ගන්නට සිතුනේ එවිටය. දින දෙක තුනක්ම උන් සිටින පන්තිය අසලින් නොගියෙමි.

ඉහත කී තත්වය ඇති හොස්ටල් එකකට තිබුනේ අප සිටි එක පමණි. අනිත් විශ්ව විද්‍යාල වල නේවාසිකාගාර හොඳ ඒවාය.

මේවාට  පසුව පුරුදු වුනෙමි. සමහර දවසට නාන කාමරය කැඩිලා නාගන්නට විධිහක් නැත. එවිට අප බොහෝ විට මුහුණ සෝදන්නට  ඇති කාමර වලට ගොස් නෑවෙමු. ඒවායේ සින්ක් 5ක් පමණ තිබේ.මෙහිදී දොරවල් කඩා ඇති නිසා සාමන්‍යයෙන් පෙරවන ඝන රෙද්දක් ගෙන දොර හැටියට එහි ඇති ළීයක  දමා වසා  දැමීම සිසුන් පුරුද්දකට කරති.  සිසුවියන් ස්නානය කරන්නේ නම් එක අයෙකු එළියේ රැක සිටීම පුරුද්දකි.  එක තට්ටුවකට වැසිකිලි පද්ධති දෙකක්ද මෙවැනි සින්ක් සහිත කාමර දෙකක්ද පොදු කුස්සියක්ද තිබේ.  දවසක් බොහෝ රෑ වී (12.00 ට පමණ) කෑම කා පිඟාන  සෝදන්නට කුස්සියට ගියෙමි. එහි සින්ක් වල භාජන පිරි තිබු නිසා අසල ඇති මුහුණ සෝදන කාමරයට ගියෙමි.  කවුදෝ  නාමින්  සිටි අතර එළියේ  කවුරුත් නැති නිසා සිටින්නේ පිරිමියෙකු යයි සිතා  ඇතුලට ගියෙමි. අහෝ එහි සිටියේ මෝහිනීය.

පලමු වසරේ ජ්‍යෙෂ්ඨ පලස්තීන (අරාබි) සිසුවියක එහි නහමින් සිටියාය. දිගට ඇදුනු කළු කොණ්ඩයක් ඇති ඇය රැයේ කවුරුත් නොඑවී යයි සිතා නෑමට පැමිණ ඇත. ඒ මදිවාට  ඇය වම් කකුල  සින්ක් එකක් උඩ තබාගෙන අතුල්ලමින් සිටියේ මුළු ඉදිරිපසම නිරාවරණය වන අයුරුනි.  පියවි සිහිය එළඹුණු පසු මා ඇයට "සිංහලෙන් සොරි " කීවෙමි. ඉන්පසු ඉංග්‍රීසියෙන් එක්ස්කියුස් මි පාරක්ද දමා අන්තිමට යන්තම් ඉස්විනිත්යේ මින්යා (සමාවෙන්න මට) යයි රුසියානු භාෂාවෙන් කියා ගතිමි.  ඇය කිසි ගණනක්  නැතිව ම දෙස බලා සිනාසී "නිචිවෝ" (ගණන් ගන්න එපා) යයි කීවාය.  කුස්සියට ගොස් අත  පමණක් යන්තම්  සෝදා ගෙන හති හලාගෙන  කාමරයට දිව්වෙමි. කාමරයේ සිටි ජ්‍යෙෂ්ඨයා ඇසුවේ "මොකද යකෝ තෝ මෝහිනී දුටුවාද " කියාය. " අර හ.. හ..ඇබ්බි කවුරුත්  එළියේ මුරේට නැතුව අමු නිර්වස්තරෙන් නා ,,,,," හති හලාගෙන කියන්නට ලැබුනේ එපමණකි. බාගෙට බත් කකා  සිටි කාමරේ  උන් දෙන්නා පිඟන් සෝදන්නට දිව ගියෝය.


අපේ හොස්ටල් වල උතුරු කොරියාවෙන් පැමිණි සිසුන්ද සිටියහ. ඔවුන්  සියල්ලෝම ඇන්දේ එකම ඇඳුමකි. එනම් සුදු කමිසය, අළු පැහැති   ටයි එක, අළු  පැහැති  කබාය, අළු  පැහැති  කලිසමය (suit ). ඔවුන් සියල්ලෝම එකම ජාතියේ අළු පැහැති  ශීත කබායක් ඇන්දහ. ගැහැණු ළමුන් සිටියේ නැති අතර ඔවුන් එවන්නේ රුසියානුන් පමණක් සිටින විද්‍යාල වලට පමණක් බවත්  අඳින්නේ එකම විධිහේ සායක් හා බ්ලවුසයක් බවත් දැන ගතිමි.  එය ඔවුන්ගේ රජයෙන් නියම කරන ලද ඇඳුම බවත් වෙනත් ඇඳුම් ඇඳීම තහනම් බවත් පසුව අනාවරණය කර  ගතිමි. අනිත් පිටරට සිසුන් සියල්ලෝම  නොයෙකුත් ජාතියේ ඇඳුම් ඇන්ද  අතර  දුප්පත් මට නම් තිබුනේ කොටුවෙන් මසා  ගෙන ගිය කලිසම් කිහිපයක් හා එක සූට් එකක්  පමණි. සෝවියට් නංගිලා හා මල්ලිලා පිට රැටියන් ගෙන් මිලදී ගත් පට්ට ගැසූ ඩෙනිම් ඇඳ සිටියහ.     

Wednesday, 4 May 2016

පොල්කට්ටෙන් එපිටට 2016 මාර්තු 29 දා පැමිණි පසු

ඒ දිනය ඉතාමත්ම මතකයේ රැඳුනු දවසක් වූවා යැයි කිව හැකියි. නෙළුම් යාය උළෙලට එන ගමන්ම පොතේ වැඩෙත් කරලම යන්න අජිත්" කියල කිව්වේ ආදරණිය චූලානන්ද සමරනායකයන්ය . මේ ගැන මම කලින් ලිපියකද  සඳහන් කළෙමි.  ඔහු,  නිශාන්ත පරණගම මල්ලි හා  එකතුව,  මා නෙළුම් යාය උළෙලේ සංවිධාන වැඩ කටයුතු අතරේ සිරවී සිටිද්දී පොතේ ලිපි තෝරා  පොත  මුද්‍රණය කිරීම ආදිය  සංවිධානය කළේය. ධර්මසිරි බණ්ඩාරනායක නමැති සිනමා කලාවේ ප්‍රබලම පෙරටුගාමියෙකු ගේ සහයෝගය ලබා දී පොත එළි දැක්වීම සඳහා  ස්ථානයක් සොයා ඒ කටයුතු කළේද චූලාමය.

මට තිබුණු වෙලාවේ මදකම දැනගෙනදෝ එදා දවස ගැන සහෘදයන්ට දැනුම්දෙමින් බ්ලොග් ලිපියක් ලීවේ කල්‍යාණ මිත්‍රයා  සුමිත් කලනසිරිය.  මේ පොඩි පහේ උත්සවය මෙහෙයවන්නට  ඉදිරිපත් වුනේ අපේ ආදරණිය මිත්‍ර ඉවාන්  පව්ලුෂා හෙවත් ප්‍රගීත් අනුරාධයි. සැබවින්ම එම කාර්යය ඔහු මැනවින් ඉටු කළේය.
ප්‍රගීත් අනුරාධ 

මේ සියල්ල වීඩියෝගත කළේ බිබිසියේ චමී මල්ලි නමින් අපි හඳුන්වන චමී දිසානායකය.  වීඩියෝව මෙතනින් බලා  ගත හැක.  උත්සවයේ සියළුම ඡායාරූපයන් දක්ෂ ලෙස කැමරාවට හසුකර ගත්තේ ප්‍රසන්න මුදුන්කොටුව මල්ලිය. හඳුනා අවුරුද්දක් වත් ගත නොවුණු  බ්ලොග් සහෘදයන් බොහෝ දෙනෙක් එතනට පැමිණ සිටීම මා දිරි ගන්වන්නක්ම විය. ඔබලා සැමගේ නම් මෙහි සඳහන් නොකලත් ඔබලාට මම හදවතින්ම ස්තූති කරන බව ඔබලා දන්නවා ඇතැයි සිතමි.
සුමිත් කලණසිරි 

මුලින්ම හැඳින්වීම කළේ සුමිත් කලනසිරියි.   ගමේ සිට කොළඹ පැමිණි අජිත් ගම තවම හිතේ තබාගෙන ජිවත් වන බව කොළඹ ගමයා කියන නම භාවිතා කිරීමෙන්ම පැහැදිලි වෙනවා යයි  ඔහු පැවසීය. මට සිතෙන්නේ මට එයට එකඟ  විය හැකි බවයි. කුඹුක්කන් ඔයේ දියබුං ගසමින් නෑ හැටි,  කමතක "සම්බෝලේ" සෙල්ලම් කරපු හැටි කවදාවත් අමතක වන දේවල් නොවේ.  සම්බෝලේ සෙල්ලම් කරනවාට  කියන තවත් නමක් නම් පොල්කටු කැඩීමයි.  පොල් කටු ටික එක උඩ  එක තබා බෝලෙන් ගසා  කැඩීමෙන් පසු සියල්ලෝම  දිව යති.  තරඟයෙන් ඉවත් කිරීමට බෝලෙන් ඇඟට ගහන පාර ඉතා සැරය. සම්බෝලේ දෙනවා කියන්නේ මෙයටය. කොළඹ  ළමයි මේ සෙල්ලම හැඳින්වුයේ ටින් කැඩීම ලෙසය. කොළඹ වඩා  ලෙහෙසියෙන් සොයාගැනීමට හැකි හිස්  ටින් වන නිසා විය හැක.  දවා ලීමට ඇඟට ගහන පාරට කීවේ  සබ්බුව දීම වැන්නකි.
චූලානන්ද සමරනායක 

ප්‍රධාන දේශනය කළේ. චුලානන්ද සමරනායකයන් විසිනි.  ඔහු මුළු පොතම කියවා ඇති බව මට වැටහුනේ පහේ පන්තියේ කතාව  මෙන්ම සෝවියට් දේශය ගැන ලියු අදහස් හා අත්දැකීම් ගැන ඔහු කළ අගය කිරීමෙනි.

පොල් කට්ටෙන් එපිටට පොත පිලිබඳ මුල්ම විවේචනය පැමිණියේ මගේ වැඩිමහලු සොහොයුරිය ගෙනි. ඈ  පැවසුවේ ඉන්දියාවේ දී මියගිය දෙදෙනා ගැන මා  සානුකම්පිතව ලියා නැති බවයි. මගේ අදහස වූයේ එතන තනිකරම තිබුනේ තරාතිරම් වාදයක් නිසා ඒ ගැන ලිවීමේදී සිදුවූ මරණය ගැන අනුකම්පාව අදාළ  නොවන බවයි. ඇගේ දෙවැනි නිරීක්ෂණය මා රාජකීය විදුහලට යාමට  අකමැති වූ  බව දෙතැනක කියා ඇති බවත් එදා මම එතරම් එය ප්‍රශ්නයක් කර ගත්තේ නැති බවත්ය. මා රාජකීය විදුහලට අකැමති වූයේ නැති අතර විරුද්ධ වූයේ සිටි  පාසැලෙන් අස්  කර ගැනීම ගැනය. ඇත්ත වශයෙන්ම මා රාජකීය විදුහලට ආදරය කරමි. එය මා ඉගෙන ගත් විදුහලයි. මා ලියන්නේ විදුහල ගැන නොව එහි සිටි අය (ගුරුවරු ආදීන්) ගැන  හා ඔවුන් මගේ ජිවිතයට බල පෑ අන්දම ගැනය.
දීප්ති කුමාර ගුණරත්න 

මගේ කොළඹ ගමයා බ්ලොගය පටන් ගැනීමේදී ඒ සඳහා  මුල් හේතුවක් වූයේ ත්‍රිමාණ වෙබ් අඩවියේ පළවූ මගේ ප්‍රතිචාරයකි. මගේ නමින්ම පැමිණ බ්ලොග් ලිවීමට මා සිතුවේ එවිටය. මා බොහෝ කලක සිට මගේ පාසැල් මිතුරකු වන අමර හඳුන්වා දුන් X  -   කණ්ඩායමේ ලිපි කියවූ අයෙක්මි. බොහෝ විට දීප්ති කුමාර ගුණරත්නගේ ලිපි හා පොත් දර්ශනවාදය හා මාක්ස්වාදය  පිලිබඳ පසු කාලීනව මගේ අදහස් වලට එල්ල කලේ දැඩි බලපෑමකි.  ඒ නිසාම ඔහුට පෙරවදන ලියන්නටද ආරාධනය කලෙමි. එහි ඇති විවේචනාත්මක අදහස් මට පිළිගත හැකිය. ඔහු සඳහන් කළ ඇතැම් ලිපි පොත දිග වැඩි වෙන නිසා ඉවත් කර තිබේ. එක ලිපියක් මෙහි තිබේ.
මාහට බොහෝ සතුට දනවන කාරණයක් වූයේ අවුරුදු 28 කට පමණ පසු මා මුලින්ම රුසියන් භාෂාව අධ්‍යනය කල මොස්කව් හි මාදි (මාර්ග හා සිවිල් ඉංජිනේරු)  විශ්ව විද්‍යාලයේ සිටි ජ්‍යෙෂ්ඨ සිසුවෙකු හා ආදරණිය මිතුරෙකු ගේ පැමිණීමය. ඔහු මට බොහෝ කලාත්මක චිත්‍රපටි ගැන විස්තර කළේය. මොස්කව් වල හිම වලින් පිරි මාවත් ඔස්සේ එම චිත්‍රපටි ගැන සාකච්චා කරමින් ගමන් කල සුන්දර ඉතිහාසයක් අප අතර තිබේ.   පොතේ ජපන් ජාතික සිසුවකු ගැන වූ ලිපියේ ජපනා ගේ නම මට මතක් කර දුන්නේ ද ඔහුය. කසාක්ස්ථානයේ සිවිල් ඉංජිනේරුවකු ලෙස සේවය නිම කර ලංකාවට  හදිසියේ පැමිණ සිටි ඔහුගේ සහභාගිත්වය  හා ඔහුට පොතක් ප්‍රධානය කිරීමට හැකි වීම මහත් ප්‍රීතියට හේතුවක් වුනි. 
හේමාලි සෙනෙවිරත්න 

මා සෝවියට් දේශයේ  මොස්කව් හි විදුලිබල හා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ සිටි අවධියේ ජේෂ්ඨ ශිෂ්‍යාවක් හා හොඳම මිතුරියක් වූ හේමාලි සෙනෙවිරත්න (පෙර - කරුණානායක )  ගේ පැමිණීමද දැඩි සේ අගය කරමි. ශ්‍රී  ලංකාවේ ක්‍රමයට ආහාර ඉතා රසට අහර පිසින්නට මෙන්ම හොඳින්  ඉගෙනීම කරන්න ටද එකසේ දක්ෂ වූ නිහතමානී ජ්‍යෙෂ්ඨ සිසුවියක වූ   ඇය දැන්  ලංකා විදුලිබල මණ්ඩලයේ සෞඛ්‍ය  හා ආරක්ෂාව පිලිබඳ  සාමාන්‍යාධිකාරී වරියයි. මා  එදා දුටු නිහතමානී ගතියෙන්ම යුතු ඇගේ පැමිණීමද ඉමහත් සතුටට කරුණකි. 

ධර්මසිරි බණ්ඩාරනායක නමැති විශිෂ්ඨ සිනමාවේදියා හා කලාකරුවාණන්  ගැන හඳුන්වන්නට අවශ්‍ය නැත. හංස විලක් සිට තුන්වෙනි යාමයෙනුත් එපිටට කල ඔහුගේ විශිෂ්ඨ නිර්මාණ නිසාම ඔහුගේ නම සිතේ කෙටී  තිබේ.ත්‍රිකෝණය සංස්කෘතික මධ්‍යස්ථානයේ  ස්ථානය මේ උළෙල සඳහා නොමිලේ  ලබා දුන්නේද ඔහුය. පොතක් එළි දක්වන්නට පැමිණි මට ඔහුගේ මේ කාරුණික භාවය ඉමහත් පිටිවහලක් විනි.

මගේ පොතේ කොකාකෝලා , ස්ප්‍රයිට් වැනි බිම වර්ග වලට  වඩා සෝවියට් සංගමය වැනි රටවල තිබු පලතුරු යුෂ පානය දැන් බටහිර රටවල වඩා ජනප්‍රිය බව කීවෙමි.  එනමුදු වඩා  ලෙහෙසි යයි පවසා එදින සභාවෙන් පසු පානය සඳහා සැපයීමට මට අවවාද ලැබුනේ  එවැනි (කොකාකෝලා වැනි ) බිම වර්ග සපයන ලෙසය. මා ගත් දොඩම් යුෂ කාර්ටන් එක කිසිවෙක් බී තිබුනේ නැත.

ඔබ සියල්ලන්ගේම උදව් වලටත් එදා සහභාගිවීමටත් මගේ හෘදයංගම ස්තුතිය නැවත  පල කරමි.

"පොල්කට්ටෙන් එපිටට " පොත් ඇමේසන් වෙතින් එංගලන්තයේදී මිලට ගත හැක.

එසේම සරසවි, ගොඩගේ ආදී පොත් හල වල  විකිනීමට තිබේ. සුමිත් කලනසිරි මහතා හා චුලානන්ද සමරනායක මහතා  ගෙන්ද විමසිය හැකිය. 


මගේ මිත්‍ර  සරෝජ් පතිරණ සමග ඔහු ලියූ ද්‍රෝහියාගේ දියණිය " පොතත්  මගේ "පොල්කට්ටෙන් එපිටට " පොතත් ලන්ඩනයේ අපේ සහෘදයන්ට හඳුන්වා දීමට සැරසෙමි. 

මේ එහි විස්තරයයි.

පොල්කට්ටෙන් එපිටට පැමිණ ද්‍රෝහියාගේ දියණිය හමු වෙමු.

සරෝජ් පතිරණ - "ද්‍රෝහියාගේ දියණිය සමග "

විජිත ගුණරත්න - පොල්කට්ටෙන් එපිටට ගමනක්   

අජිත් ධර්මකීර්ති - කොළඹ ගමයා සමග පොල්කට්ට 


විජිත ගුණරත්නයන්  ගේ   "වලා  පටල " 

සංවාදය හා චිත්‍රපටිය 


මැයි 28 වනදා විට් ශීෆ් ශාලාවේදී සවස ප.ව. 5.00 සිට ප.ව. 9.00 දක්වා 



WHEATSHEAF HALL
Main Avenue
Enfield
EN1 1DS
එදා උත්සවයට පැමිණි සහෘදයන්ගේ ඡායාරුප කිහිපයක් මෙහි පල කරමි. 
ඉතිරිය මගේ ෆේස්බුක් පිටුවේ ඇත.
චූලා , දුලිප්, ප්‍රගීත් 

දීප්ති 
හේමාලි සහ මගේ මව 


චූලානන්ද සමරනායක  , ධර්මසිරි බණ්ඩාරනායක  සහ මාතලන්, කසුන් 

ප්‍රදීප්, සංජය , බෝධිනී 

ප්‍රදීප් , මාතලන් 

හේමාලි , පසන් , යශෝධා , ඔමා 

ඔමා, යශෝධා, බෝධිනී 

කටුස්සා , කසුන් , දුලීප් 

රසික 


ධර්මසිරි බණ්ඩාරනායක , හේමාලි 

සම්පත් සුදුසිංහ, ඔමා සහ රසික 


දුලිප්, සින්දු ඇනෝ , කසුන් 

බස්සී, බස්සා හා ඔසී 

උපුල් ෆෙර්ණන්ඩෝ, රසිකගේ කාඩ් නයා 

රන්දිකා හා උපුල් , ජයම්පති බුලත්සිංහල 

සුදීක , උපුල් නිශාන්ත , ජයම්පති 



ෆේස්බුක් පින්තුර පිටුවට මෙතැනින්  යන්න