Sunday 23 August 2020

ගිලෙන්න යන මිනිහාට තණ පතක් දෙන්න

පුංචි කාලේ වතුරට පැන්න ඒවා මතකයේ  තියෙන්නේ ලුණුගල දී කුඹුකන් ඔයට පැනලා නෑව හැටි ගැන. ඊට පස්සේ ඒ ලෙවල් කරලා ඉවර වෙලා රක්වානේ හිටි රවින්ද්‍ර ප්‍රසාද් ගේ නිවසට ගිය වෙලේ අපි එහා තිබ්බ ලස්සන  කන්දකට ඇවිදින්න ගියා. එතන අලංකාර  දිය ඇල්ලක් තිබිල ඒකෙ නෑවා.

සෝවියට් දේශයේදී නම් මොස්කව් වල වැවක දෙහෙක , ගඟක හෙම නාල තියෙනව. ජෝරිජියන් සෝවියට් සමුහාණ්ඩුවේ සුහුමි කියන පැත්තට ගිය වෙලේ  ලස්සන විලක් දැකල ඒකෙත් බැහැල නෑව.     එංගලන්තේ නම් එහෙම  තැනක් හොයන්න අමාරුයි. සමහර වෙලාවට අවසරයක් දෙන්නත් නැහැ  නාන්න. 

අපේ සරෝජ් පතිරන සහෝදරයා පික්නික් එකකට යන්න කතා කරා. කොවිඩ් 19 නිසා යාළුවෝ ගොඩකට ගෙදරකට සෙට් වෙන්න බැහැ. ඉතින් අපි කට්ටිය අනිල්, සරෝජ්, සුමුදු, විපුල හෙම භාර්යාවෝ පිරි වරාගෙන ෆුට්ස් ක්‍රේ මිඩොව්ස්  (Foots Cray Meadows) කියන පැත්තට ගියා. පොඩි එවුන් ටික වතුරේ බැහැල හිටිය.

සරෝජ් අපිටත් නාන්න තුවා එහම අරන් එන්න කීවට  සරෝජ් ට අමතක වෙලා (හෙවත් අමතක කරවලා) ඉතින් අන්තිමට  මම විතරයි ඉතුරු වුනේ. 

කොවිඩ් 19 නිසා මේ රටේ පබ්ලික් පිහිනුම් තටාක ඔක්කොම වහල. මම මාසෙකට දෙපාරක් වත් සාමාන්‍යයෙන් පිහිනන්න යන කෙනෙක්. ඉතින් වතුර ටික දැක්කම නොබැහ ඉන්න බැරි වුනා. 

මොනව කරන්නද ආපු එකේ බැහැල නෑව හිතේ හැටියට.
 පින්තූර ගත්තේ විපුල ලියනගම සහ සුමුදු වික්‍රමාරච්චි 

  





Monday 17 August 2020

අග්ගෝ හමස්මී පොලිටික්ස........අරුණ පෙරේරා


ඇත්තම කියනවා නම් මම මැටි වැඩ වලට කැමැතියි. සමහර වෙලාවට කරන්නෙත් මැටි වදනේ. සම්මාන උළෙලවල් ඕගනයිස් කරනවා වගේ ඒවා. තවමත් සමහර බූරුවෝ ඒක අල්ලලා එන් ජී ඕ වලින් මට ආපු සල්ලි ගැන,කියනවනේ.  
ලුණුගල ඉන්න කාලේ පොඩි දොළක් තිබුනා. සුදු වැලි පාර පහල. දැන් නැහැ ඒක . ඒ හරියේ මැටි තිබුනා. මම ඒවා ගෙනත් ගෙදර එක එක දේවල් හදනවා. 
අනික මැටි භාණ්ඩ හැදීම ඇත්තටම කලාවක්. හදල පිටරට යවන්න උනත් පුළුවන්.

මේ පහල ලියා ඇත්තේ මගේ අදහසක්ම  නොවේ. නමුත් එකඟ වෙන්න පුළුවන්. කලක් බ්ලොග් ලෝකයේ වැජඹී සිටි "අවුල් වෙන්නට පෙර " බ්ලොගය ලියූ අරුණ පෙරේරා සහෝදරයා ගේ සටහනකි. ඔහුගේ අවසරය ඇතිව මෙහි පළ කරමි.

අග්ගෝ හමස්මී පොලිටික්ස........

 මෙයින් කියවෙන්නේ දේශපාලනයෙන් ලොව පහලවු ශ්‍රේෂ්ඨයා මම වෙමි යන්නය. එසේ සිතනා කෙනෙක් සිටීනම් එය ක්‍රියාවෙන් ඔප්පුකර සිටිය යුතුවේ. එහෙම එවුන් නැත. මට මෙය ලියන්නට හිතුනේ සමගි ජන බලවේගයේ(සජිත් ජලනි බලවේගය යැයි කීමට මම ඉක්මන් නොවෙමි )පශ්චාත් මැතිවරන හැසිරීම දෙස බලා සිටීමෙන් පසුවය. ලපටි පක්ශයක් ලෙස සජිත්ලා නරකම නැත. ඔවුන් ආසන 54ක් ලබා ප්‍රධාන විපක්ෂය ලස පත්වී සිටී. ඉන් පහලොවකට ආසන්න ප්‍රමානයක් සහෝදර දෙමල-මුස්ලිම් ධාරාව නියෝජනය කරනා පක්ෂවලින්වේ. එය පිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදයේ නිවැරදි ලක්ශනයක් යැයි මම සිතමි.
                                සජබය ලපටි දේශපාලන පක්ෂයක් යැයි කීවේ කරුණු දෙකක් නිසාවෙන්වේ. එකක් නම් එය  ආරම්භ කර ඉතාමත් කෙටි කාලයක් වීමය. අනික එහි සිටින්නේ අහුනොවෙන්නට ගේමක් ගසාගන්නටවත් බැරි, කටට එනදේ ඒ අයුරින්ම දෙසා බානා මයික් කටා පන්නයේ, ෆුට්නෝට් අත දරුවන් බැවින්ය. පොහොට්ටුවන් වැනි අංක එකේ සුදු කරපටි චෞර රාජයින් අතරේ මොවුන් ලපටියන් හැර අන් කවරේද.. ශවර් එක තියෙද්දි ,බාල්දියෙන් නාගන්නා මොඩ්ල් එකේ බුවාලාය.

                           ඇසළ පෝයට කැළණි යන්නාසේ සුදු හැඳගත් පොහොට්ටුවෝ 
 පෝලිම් ගැසී සැදෑ සිතින් දියවන්නාවට වඩිමින් සිටී. සුදු හැඳගත් මේ උපාසක භ්‍රන්තයන්ගෙන් බොහෝ දෙනා සියළු දුශ්චරිතයෙන් කෙළ පැමිණි අශ්ඨාංග අශීලයෙන් ගොජ දමන අපතයන් බව නොදන්නේ අපේම රටේ සිල්වත් ඡන්ද දායකයින්ම නිසා ඒ පිලිබඳ පුන පුනා කීම අවැසි නොවේ. ඔවුන් දැන් තේරී පත්වී හමාරය. බොහොමයක් අපතයෝ ඇමතිවරුන්ය. සම හරක් චෞරයෝ රාජ්‍ය ඇමතියෝය. හොඳ මිනිසුන්ද නැත්තේ නොවේ.  එලොවටත් ,මෙලොවටත් නැති ගන්ධබ්බයෝ රොත්තක් කැබිනෙට්ටුවෙන් විසිවී ගොස්ය. කෙසේ හෝ වේවා අපට දැන් නීත්‍යානුකූල රජයක් පත්වී ඇත. ඒ අපෙ රජයයි. උන් අපේ ආණ්ඩුවයි.

                       මට නම් මේ පත්වූ සම හරක් ඇමති පරාණ පිලිබඳ මහ ලොකු විශ්වාසයක් නැත. ඇත්තේම නැතැයි කීවත් වරදක් නැත . නමුත් ඔවුන් වෙත පවරා ඇති අමාත්‍යාංශ සහ එහි වගකීම් සහ විශයන් පිලිබඳ යම්තාක් දුරට පැහැදීමක් සහ අවබෝධයක් තිබේ. ලිපිය දීර්ඝ වන නිසා මේ පිලිබඳව ඉදිරියේදී පැහැදිලි කරගැනීමට උත්සාහ කරමි. ඒ කෙසේ වෙතත් වගකිව යුතු විපක්ශයක් ලෙස මේ ලපටියෝ මේ කිසිවක් දෙස විචක්ශනශීලි ඇසින් සහ මනසින් නොබලා වචන විසිකිරීමට පටන්ගෙන තිබේ. මෙය පැහැදිලි ඊරිසියාව දැයි ලපටි හරීන්ලාගේ හැසිරීමෙන් සිතාගන්නට සිදුවේ. අප කතා කල යුත්තේ අමාත්‍යාංශ විශය පථය පිලිබඳව මිස එහි නාමකරණය පිලිබඳව නොවේ. බල්ලාට සුනඛයා කීවත් දඩෝරියා කීවත් සරළ නාමකරණයේදී ඌ බල්ලාම වේ. අප සැලකිය යුතුවන්නේ ඒ බල්ලා සතු රාජකාරිය ,වගකීම සහ ඌගේ සුභ සාධනය ගැන පමනි. පැණියා වුනත් හනි (Honey) වුනත් බල්ලා බල්ලාමය. මේවා වටහා ගැනීම ලපටියන් සතු වගකීමවේ. එය වටහා ගතහොත් කතිරෙ ගැසු නොගැසු කාටත් ප්‍රයෝජනවත් වේ. අමාත්‍යාංශ පිලිබඳ පසුව කතා කරමු.
                                                                                        අරුණ පෙරේරා...A.N.Perera

Saturday 15 August 2020

යුරි විස්බර් ගේ මීලයා මයා ගීතය Милая моя - මගේ පරණ ගිටාරය සමග

"ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ" පොතේ තව පිටපත් දෙසීයක් වත් ඉතිරි වෙලා තියනවලු. පොත් තිහ හතළිහක් ලන්ඩන් වලට ගෙනාවට කොවිඩ් 19 නිසා හමුවීමක් වත් සංවිධානය කරන්න බැරිවුනා. හදිසියේ හම්බවෙන හිතවතුන්ට තමා පොත් දුන්නේ.

ඒ අතරේ වරක් චේස් ෆාර්ම් රෝහලට ලේ දෙන්න ගියා මාස හයේ චෙකප් එකට. ඒ වෙලේ ලේ ගත්ත ප්ලේබොටොමිස්ට් බලන කොට ලංකාවේ මහත්මියක් ප්‍රභා ඕපාත කියල. සිංහල පොත් කියවන්න ගොඩක් කැමැතියි කියල දැනගත්තා ඒ අතරේ. ඉතින් එයා සියමා පොතයි ප්‍රථම ප්‍රේමයයි දෙකම ගත්ත. එහෙම තමා  ඉතින් ලන්ඩන් වල විකුනුනේ.  එය කෝල් කරලම කීව පොත් දෙකටම කැමතියි කියල.

පොතේ එකතැනක මේ ගීතය ගැන ලියල  තියනවා. මම හුඟක් කැමති ගීතයක්. 
මේක මට කියල දුන්නේ අපේ විශ්ව විද්‍යාලයේ අපේ කණ්ඩායමේ හිටි ලූදා. මේ පින්තුරේ ඉන්නේ එයා සහ මගේ කණ්ඩායමේම  හිටපු යාළුවෙක් වන කාම්බෝජ ජාතික එන්ග්. ගිය අවුරුද්දේ එයාව හම්බ වෙන්නත් ගියා කාම්බෝජයට.  

පොත ලංකාවේ එලි දක්වන දවසේ මේ ගීතය ලස්සනට ගායනා කලේ ආචාර්ය සුනිල්  විජේසිරිවර්ධන. ඒ ගායනය මෙතන තියනවා යු ටියුබ් එකේ මගේ චැනලයේ.  


ගීතයේ සිංහල තේරුම:

අපේ හැම හමුවීමක්ම අහෝ, විනිශ්චයකින්,  වෙන්වීමක්ය
රන් පැහැ පයින් ගස අසල දොළ නිහඬව සොවින් බරව  ගලයි
කඳවුරු භුමියේ ඇවිලුණු ගිනි මැලයේ  පුලිඟු අළු වලින් වැසී ඇත
හැම දෙයක්ම අවසානය - වෙන්වන  මොහොත එළඹ ඇත

රුසියානු බසින්
ව්සියෙම් නාශිම් ස්ත්රෙචම් - රස්ලුකි උවි සුශ්දෙනි
තිහ් ඉ පෙචලෙන් රුචෙයි උ යන්තර්නෙය් සොස්නි
පෙප්ලෝම් න්යේස්මෙල්නීම් පදෙර්නුලිස් උග්ලි කස්ත්‍රා
වොත් ඉ අකන්චිලස් ව්ස්යෝ රස්තවත්සා පරා


ගීතයේ සමූහ ගායනා  කොටස (කෝරස් එක හෙවත් දෙතුන් වරක් කියවෙන කොටසේ)  අදහස මෙවැන්නකි.

"මගේ දයාබරිය මේ වනයේ පුංචි හිරු
කොහේද කුමන  දෙසකද  ද ඔබ මා  හමු වූයේ"

(මීලයා මයියා සොල්නෙච්ක ලෙස්නොයේ
ග්ද්යේ ව් කකිහ් ක්‍රයාහ් ව්ස්ත්ර්තිල්ස්ය සම්නෝයු )



කුඩාරමේ තටු හකුළුවා ඇත එහි දවස නිමාවී 
ගුවන් යානය තටු විහිදුවා රාත්‍රිය සොයන්නාට පියඹා යන්නට  
 රෝදයට ඇති  අඩ ඉවත් කෙරෙයි සෙමින් 
මේ කම්මැලි ඈනුම අප අතර පරතරය වැඩි කරයි 

වචන මට එපා ,, එපා මා සන්සුන් කරන්න 
පයින් ගස් අසල තිබෙන පුංචි  නදිය හොයන්න ඉඩ දෙන්න  
මේ අඟුරු නැවත  දිලිසෙයිද තුමානය මැද්දෙන් 
මගේ දයාබරිය මා එනතුරු ගිනිගොඩ ළඟ හිඳිද නැවතත් 

 
මට ගිටාරයක් මුලින්ම හම්බ වුනේ පද් එකේ එහෙම නැත්නම් පළමු වසරේ මොස්කව් වල මාදි කියන විශ්ව විද්‍යාලේ ඉන්න කොට. මගේ උපන් දිනයට ඒ තෑග්ග දුන්නේ ප්‍රභා ගුණවර්ධන, ජානක ලියනගම සහ උපාලි හේවගේ කියන ජ්‍යෙෂ්ඨයෝ  තුන් දෙනා . හැබැයි මට එතරම් ගිටාර් ගහන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ.

ඊට පස්සේ මම මෙයි එකට (විදුලි හා බලශක්ති තාක්ෂනය  පිලිබඳ විශ්ව විද්‍යාලය) ඇතුළු වුනහම  ඒකෙ හිටිය   හේමාලි  කරුණානායක හා මාලා (අක්කලා) කියල සීනියර්  දෙන්නෙක් එක්ක ගිටාර් ගහන්න ඉගෙන ගන්න ගියා රුසියානු ගුරුතුමෙක් ගෙන්. ඒ නෝට්ස් නම් තවම මා ළඟ තිබෙනවා.  

එළිමහනේ  ගිනි මැලයක් ගහගෙන වරක් දෙකක් ඉඳල තියනවා දන්නා රුසියානු යහළුවන් එක්ක. ඒ වගේ වෙලාවක ගිටාර් ගැහුවේ ලූදා හා ස්වේතා.  ඒ වගේම  පන්තියේ උන් එක්ක කාමරේ පාටියක් දාන කොටත්  ගිටාර් එක  ගැහුවේ ලූදා. එයා තමා  මට රුසියානු සින්දු කිහිපයක්ම ගහන්න කියල දුන්නේ.

සෝවියට් දේශයේ ඒ කාලේ ඉගෙන ගත්ත ලංකාවේ  සිසුන් අතරින් හොඳටම  ලස්සනට ගිටාර් එක  ගැහුවේ පල්තාවා කියන නගරයේ මුල් අවුරුද්දේ ඉගෙන ගත්ත ජගත් ජයවික්‍රම. ජගත් ඊට පස්සේ කීව් නගරයේ උගත්තේ. මම ශිෂ්‍ය සංගමයේ ලේකම් වුනු අවධියේ මොස්කව්  ගිටාර් ගහල සින්දු කීව සංගමඅය සංවිධානය කල කලා උත්සවයේදී.  එයා  දැන් ලංකාවේ ජීවත්  වෙන්නේ ඔහුගේ රුසියානු බිරිඳ සමග බව මුහුණු පොතින් දැක්ක. ඔහු  තවම ගිටාරය වයන   සංගීතයට ලැදි හදවතක්  ඇත්තෙක්

ඉතින් මම වැඩිය පාටි අරවල මේවල ගිටාර් ගහල නැහැ. ගිටාර්  හොඳට ප්ලේ කරන රුපියල්   අතරේ අලුක්කාල් ගහන්නේ මොකටද කියලා හිතල. ඉතින්  හුඟක්  පෞද්ගලිකව තමයි ගිටාරය අතට අරගෙන ගැහුවේ.  ඒත් මේ කෝවිඩ් කාලේ ආපහු ගිටාරය අතට අරගෙන් සින්දු කියන්න ගත්ත. පාළුව යන්නත් එකක්.


  මේ තියන්නේ ඒ සින්දුවේ  මගේ වර්ෂන් එක .   

  



Friday 7 August 2020

චන්දය සහ දිනන පැත්තට සුභ පැතීම

බ්‍රිතාන්‍යයේ පැවති යුරෝපීය සංගමයෙන් වෙන්වීම සඳහා පැවති ජනමත විචාරණයේදී  මා චන්දය දුන්නේ බ්‍රිතාන්‍යය යුරෝපීය සංගමය තුල සිටිය යුතුය යන මතයටය.  මගේ බිරිඳ ජර්මානු නිසාත් අප බොහෝ දුරට වසරකට දෙවතාවක් වත් ජර්මනියට යන නිසාත් ඒ පැත්තට වැඩි නැඹුරුවක් තිබුණි.   මා සමාජ ජාලා අඩවි වලද පෙනී සිටියේ එම මතයට පක්ෂයවය. ඒ මතය වැඩි චන්දයෙන් පැරදුණි.

කාර්යාලයේ බොහොමයක් ඉංග්‍රීසි ජාතිකයන් හා ආසියාතිකයන් චන්දය දුන්නේ බ්‍රිතාන්‍යය යුරෝපීය සංගමයෙන් ඉවත් විය යුතුය  යන මතයටය. මම පහුවදා ඔවුන්ට ජයග්‍රහණයට සුභ පැතුවෙමි. බොහෝ අය නිහතමානිව එය පිළිගත් අතර උඩපැන උදම්  අනන  කිසිවෙකු  නොසිටියහ. පැරදුනු පැත්තේ සිටීම ගැන සමහර මට පොඩි විහිළුවක් කලද එය එතනින් නිම විය.

මේ දිනවල ජර්මනිය කෝවිඩ් 19 වසංගතය වඩා හොඳින් කළමනාකරණය කරන බව මින් සමහරෙක් නිරීක්ෂණය කර තිබුණි. ඒ අතර බ්‍රිතාන්‍යය යුරෝපයෙන් ඉවත්විය යුතුය යන මතයේ දැඩිව එල්බ සිටි ඉංග්‍රීසි ජාතිකයෙකු මා අමතා කීවේ "අප යුරෝපා සංගමයේ සිටිය යුතු බවට" ඔහු දැන් විශ්වාස කරන බවයි. ඔහු අදහස වෙනස් කරගෙන තිබේ. මේ චන්දවල හැටි එහෙමය.

පසුගිය වසරේ පැවති බ්‍රිතාන්‍ය මහා මැතිවරණයේදී මා සහයෝගය දුන්නේ ජෙරෙමි කෝබින් නායකත්වයෙන් සිටි බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයටය. ඔහුගේ සමාජවාදී ප්‍රතිපත්ති වලට තිබුණු කැමැත්ත නිසා විය හැකිය. අසාධාරණ ලෙස අධික ලාභ ලබන එහෙත් පහසුකම් අඩු බ්‍රිතාන්‍ය දුම්රිය  කොම්පැනි ජනසතු කිරීමට යෝජනා කිරීම , එසේම අධික ලාභ ලබන ගෑස් කම්පැනි ජනසතු කිරීමට සහ විශ්ව විවිද්‍යාල ගාස්තු ඉවත් කිරීමට යෝජනා කරන  ප්‍රතිපත්ති වලට ඇති කැමැත්තද විය හැක. 

අපේ කාර්යාලයේ  ඉන්දියානු සම්භවයක් ඇත්තෙකු මා සමග නිතර වාද කළේ කෝබින්ට බිලියන් ගණනක් වියදම් වන මෙම ප්‍රතිසංස්කරණ  වලට මුදල් නොමැති බවටත් ඔහු අපෙන්  බදු වැඩියෙන් අය කරනු ඇති බවත්ය.  බ්‍රිතාන්‍යය පොහොසත් රටක් බවත් එසේම ස්වීඩනයේ මෙන් බදු වැඩි කර ජනතාවට වඩා හොඳ ලාභ ප්‍රවාහන  පද්ධතියක් සහ අනිකුත් සහන ලැබෙන්නේ නම් එය හොඳ බවත් ඔහුට පැවසුවෙමි.

නමුත් කෝබින්ට මම ෆේස්බුක් වැනි සමාජ ජාලා ආදියේ සහය දුන්නේ නැත. හේතුව විරුද්ධ මතවාදී මිතුරන් බොහොමයක් ඒවායේ  සිටින අතරම ඔහුගේ යුදෙව්වන් සම්බන්ධ ප්‍රතිපත්තියත් අගතිගාමී යයි සිතුනු බැවිනි. මා කොහොමත්  ඊශ්‍රායලයරටක් වශයෙන් පැවතිය යුතු යයි සිතන අයෙක්මි.  
කෝබින් ගේ පක්ෂය පරාජය වුනු අතර මම බොරිස් ජොන්සන් ට සහය දුන කාර්යාලයේ මිතුරන්ට  සහ අසල්වාසීන් ට සුභ පැතුවෙමි.

කවුරු චන්දයෙන් දිනුවත් මම පබ් එකට බියරයක් බොන්නට යන්නේ, දහවල් කෑම වේලේ කතා කරන්නේ මේ සගයන් සමගය. බාබෙකිව් දාන්නේ අසල්වාසින් සමගය. මම පසු දිනයේද සාමයෙන් විහිළුවෙන් ජිවත් වන්නේ ඔවුන් සමගය. ඔවුන් මෝඩ යයි කියා අපහාස  කිරීමට හෝ  ජීවිතය නැති වුනාක් මෙන් දැඟලීමට නොයමි. චන්ද වලින් සිස්ටම් වෙනස් කල නොහැකියි කියා ආයුධ ගැනීමටද නොයමි. ඒ කාලය ලෝකයෙන් තුරන් වී හමාරය.  දැන් ලෝකය වෙනස් ය. මිනිසුන්ට දැනුම දීම වඩා වැදගත්ය. හොඳ මිනිසුන් කොයි කණ්ඩායමේ ත් සිටී . නරක මිනිසුන්ද එසේමය.

ශ්‍රී ලංකාවේ ඊයේ හා පෙරේදා පවතී  මැතිවරණයෙන් පොදු පෙරමුණ ජයග්‍රහණය කිරීම ගැන මා සුභ පැතුවේ එනිසාය. මගේ මිතුරු ලයිස්තුවේ පොදු පෙරමුණට සහයෝගය දුන් බොහෝ අය සිටිති. යුඇන්පී අයද සිටිති. ජවිපෙ හා පෙරටුගාමී සමාජවාදීන් ද සිටිති. මේ පරාජය නිසා ඔවුන්ට දුක හා කණගාටුව ඇතිවිය හැකිය. නමුත් පරාජයේදී නිහතමානීව ජයග්‍රාහකයන්ට සුභ පතන්න. අදත් හෙටත් ඔබ  ජිවත් විය යුත්තේ ඔවුන් සමගය. මොන පක්ෂයකින් හෝ උපන් රටට හොඳක් වෙන්නේ නම් එය හොඳ දෙයකි.

අනික මගේ සුභ පැතීම තුල දින අයගෙන් කිසියම් දෙයක් ගැනීමේ බලාපොරොත්තුවක් ඇත්තේද නැත. බ්‍රිතාන්‍යයේ ජිවත්වන  මට එහෙම දෙයක්  අවශ්‍යද නැත. මේ චන්දයේදී චන්දය ඉල්ලන ලංකාවේ කිසිම දේශපලන පක්ෂකට සමජා ජාලා තුල සහයෝගයක් ප්‍රසිද්දියේ හෝ අප්‍රසිද්දියේ නොදුන්නෙමි. 

පැරදුනාට බොරිස් ජොන්සන්ගේ රජයට විවේචනය කිරීම මම හැර දමා නැත. එහෙත් ඔවුන් කොවිඩ් 19 වසංගතයේදී රැකියා වලින් අයින්වුවන්ට හිඟ වැටුප්  ගෙවීම වැනි  හොඳ වැඩද කළහ. රිෂි සුනාක් චාන්සලර් 9මුදල් ඇමැති ) ගේ ඇතැම් මහජනතාවට සෙත සලසන වැඩ ද අගය කළ හැකිය. ඔහු පවුම් බිලියන් ගණනක් බ්‍රිතාන්‍ය ජාතිකයන්ට සහන සැලසීමට වෙන් කර තිබේ.

අර ඉන්දියානු සම්භවයක් ඇති සගයා පසුගිය සතියේ ඔහු කෝබින් බිලියන් ගණන් හොයන්නේ කෙසේදැයි ඇසීම ගැන කණගාටුව පල කළේය. රිෂි සුනාක් දැන් ඊට වඩා පවුම් බිලියන් ගණනක සහන සැලසීමට වියදම් කරන  බව ඔහ දැනගත් නිසා හා අපට බදු වැඩියෙන් ගෙවන්නට වන බවද ඔහු දැනගත් නිසාය. චන්දවල හැටි එහෙමය. මම අර සගයා සමග අමනාපයෙන් සිටියේ නම් ඔහු කතා කර කෝබින් ගේ එම ප්‍රතිපත්ති වලට මුදල් සෙවීම ගැන ඔහුගේ වැරදි වැටහීම ගැන  කියන්නේ නැත.

එසේම ශ්‍රී ලංකා චන්දයේ මගේ සිතගත් එක ප්‍රතිඵලයක් සඳහන්  කිරීමට කැමැත්තෙමි. ඒ අන්ගජන් රාමනාදන් ගැනය . 1975 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  අල්ෆ්රෙඩ් දුරේ අප්පා ඝාතනය විය. "ඊලාම් වාදීන් " පසුව එය කලබව පිළිගත්හ.  1982 අපකීර්තිමත් ලාම්පු කළගෙඩි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලනිපයේ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාට වැඩිම චන්ද ලැබුනේද යාපනය දිස්ත්‍රික්කයෙනි.

මේ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අන්ගජන් රාමනාදන් මහතාට වැඩිම මනාප ප්‍රමාණයක් ලැබී ඇත. යාපනය ජනතාවට  ප්‍රණාමය පිරි නමන  අතරම අන්ගජන් මහතාට සුභ පතමි.