Wednesday, 24 February 2016

පුවත්පත් කලාවේ අඳුරු අනාගතය හා බ්ලොග් කරුවන්ගේ සොඳුරු අනාගතය

බ්ලොග් සම්මාන උලෙල්ලේ සම්මාන දෙන බ්ලොග් කරුවන් නිර්දේශ කරන වැඩ මෙන්ම වෙනත් වැඩ කීපයක් ගොඩ ගැසී තිබෙන අතරේදී මෙවන් ලිපියක් ලියන්නට සිත් වූයේ බ්ලොග් කරුවන් අනාගතයට නොව අතීතයට පා තබනා සෙයක් දකින්නට ලැබෙන බැවිනි. උඩුවා විසින් කරන ලද කොමෙන්ටුවකදී කියවුනේ රාමචන්ද්‍රගේ බ්ලොග් ලිපි පුවත්පතක කොලමකට සුදුසු බවයි. මෙයට විවාදයකින් තොරව එකඟ වෙමි. නමුත් මුද්‍රණාලයක පල කරන පුවත් පතකට වඩා අන්තර්ජාලයේ පල කරන පුවත්පතක නම් වඩා හොඳය. මා උඩුවාගේ බ්ලොගයේ දුටු තවත් ප්‍රවෘත්තියක් නම් අප දන්නා ජනප්‍රිය බ්ලොග්කරුවකු වන රසිකලොජි සහ බ්ලොග්කාරියක වන බස්සි රාවය පුවත් පතට ලියන බවයි.

මා දන්නා පරිදි රාවය පුවත්පත වැසෙන්නට ඔන්න මෙන්න කියා තිබු එකකි. මගේ හොඳම යහළුවකුද එනගලන්තයේ රාවය පුවත්පත වැසි යාමට දුකින් වෙනුවෙන් ආධාර එකතු කල බව දනිමි. මගේ අදහස වුයේ මිනිසුන් මිලදී නොගන්නේ එය වැසි යාමට ඉඩ දීම මිස බලෙන් ඇදගෙන යාම නොකළ යුතු බවයි. මගේ මිතුරාගේ අදහස වූයේ මිනිසුන්ට ගැනීමට මුදල් නැති කම නිසා මිස ඔවුන් රාවය බලන බව හා එය ජනප්‍රිය පුවත්පතක් බවයි.

රාවයේ යන ලිපි ගැන මගේ අකමැත්තක් නැත. රාවයේ පලවන ලිපි මා කැමැත්තෙන් කියවන අතර ලංකාවේ සිටින විට මා මිලදී ගන්නා එක් පුවත්පතක් වන්නේද රාවයයි .

මේ තර්කයම ජනරළ පුවත් පතටද ද ගෙන එන ලදී. එනිසා මූල්ය ආධාරයක් දීමෙන් හා පුවත්පත මිලදී ගැනීමෙන් උදව් කරන්නට සිතුවෙමි. සෑහෙන කාලයක් එය මිලදී ගත් මුත් ඉඳහිට පලවන සුමිත් චාමින්දගේ ලිපි හැර පුවත්පතේ පලවන සමහර ගතානුගතික අදහස් කියවීමට කාලය වැය කිරීම අපරාධයක් ලෙස සිතුවෙමි. එනිසා නොවැම්බරයේ පුවත් පත මිලදී ගැනීම නවත්වන්නට තීරණය කලෙමි. උඩුවා ගෙන් දැන ගන්නට ලැබුනේ පුවත් පත නවතා ඇති බවය.

 දැන් නැවතත් අපේ බ්ලොග් කරුවන්ට හැරෙමු. බස්සි, රසික ඇතුළු අනිකුත් බ්ලොග්කරුවන්ට රාවයේ මෙන්ම වෙනත් පුවත්පත් වලද කොලම් ලියන්නට ලැබීම හොඳය. එයින් ඔවුන්ට කිසියම් ආදායමක් ලැබෙනවා නම් තවත් හොඳය. මම නම් හිතන්නේ රසික වැන්නවුන් නොමිලයේ ලියනවා කියාය. ඔවුන්ගේ ලිපි කියවන පාඨක ප්‍රමාණය වැඩි වීම ඕනෑම මාධ්‍යවේදියෙකුට හෝ බ්ලොග් කරුවෙකුට ප්‍රීතිය උපදවන කරුණකි.

කෙසේ නමුත් ප්‍රශ්නය ඇත්තේද මෙතනමය. ඔවුන් තමන්ගේ බ්ලොග් හා අන්තර්ජාල පාඨක පිරිසට වඩා මෙය තත්වයෙන් ඉහල වීමක් ලෙස සිතීමක් මා දුටුවෙමි. මෙහිදී මා වරදවා වටහා ගත්තා වෙන්නටත් පුළුවන. එසේම මා මහත් වික්ෂිප්ත භාවයට පත් වුයේද මෙහිදීය. උඩුවා සිතන අන්දමට පුවපතක කොලමකට කතා කිරීම බ්ලොගයට පිලි ගැනීමක් ලැබීමකි. මට සිතෙන්නේ මෙහි අනිත් පැත්තය. බ්ලොග් වලින් විශේෂයෙන්ම බස්සි වැනි අයගේ විසිතුරු ලිපි වලින් පුවත්පතේ තත්වය ඉහල යන බ අවය. ජනප්‍රිය හා ඉතා පැරණි බ්ලොග් කරුවෙකු වන රසිකට තමන්ගේම පතක සංක්‍යාවක් සිටී. ඒ ඔහු තවම ලිවීමේ ශක්තියෙන්ම ගොඩ නගා ගත තත්වයකි.

මමත් මගේ බ්ලොගයේ පලවූ ලිපි පොතක් වශයෙන් පල කරන්නට තීරණය කර තිබුනත් එය තවම සිදු වුනේ නැත. එය ඊ ෆෝර්මැට් හෙවත් පිඩිඑෆ් එකක් ලෙස දැනට තිබේ. එයට හේතුව බ්ලොග් නොබලන අය අතට පත් වීමට ඉඩ සැලසීම සහ ග්‍රන්ථයක් ලෙස පල කිරීමට ඇති "පොඩි එකාගේ " ආශාවයි. පොත් කියවන ඉතා විශාල පාඨක පිරිසක් ශ්‍රී ලංකාවේ සිටි. බස්සි, රසික, තිලකසිත ආදී බ්ලොග් කරුවන් මේ මාර්ගයේ දැනට දුර ගමන් කර තිබේ. බ්ලොග් ලියන හෙන්රි වර්ණකුලසුරිය ගේ ඉතා සාර්ථක පොත් දෙකක් ඊයේ පෙරේද කියවා අවසන් කලෙමි. කින්ඩල් එකකින් හෝ ටැබ් එකකින් පොත් කියවන විශාල පාඨක ප්‍රමාණයක් නැති රටක පොතක් පල කිරීමට තවම අවකාශය තිබේ.

නමුත් පුවත්පත්වල තත්වය මෙය නොවේ. එංගලන්තයේ ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් පත වසා දැමුවේ මේ නොබෝදාය. එහි අයිති කරු වන රුසියන් දස ලක්ෂපතියකු වන ඇලෙක්සැන්ඩර් (සාෂා) ලෙබෙදෙව් පැවසුවේ තව දුරටත් ජනතාව මිලදී නොගන්නා පුවත්පතක් පල කිරීමේ තේරුමක් නැති බවයි. මින් කියවෙන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පතේ කියවන පාඨක පිරිසේ තදබල අඩුවීමක් සිදුවුන බවයි. මාද ඇතුළු බොහෝ අය කියවන්නේ වෙබ් එඩිෂන් එක හෙවත් අන්තර්ජාල පුවත්පතය. රහස ඇත්තේ එතනය. ලේබෙදෙව් ට තිබෙන මුදල් ප්‍රමාණයේ හැටියට ඔහුට අවශ්‍ය නම් පුවත්පත පාඩු පිට හෝ සමහර ලංකාවේ පුවත්පත් මෙන් "නමට" පමණක් පවත්වා ගෙන යා හැකිව තිබුණි. නමුත් එය ඔහුට අවශ්‍ය වුයේ නැත. ඒ වෙනුවට අන්තර්ජාල පුවත් පත වඩා මුදල් ආයෝජනය කර දියුණු කරන බව ඔහු පැවසිය. බොහෝ පුවත්පත් කලාවේදීන්ට තමන්ගේම බ්ලොග් අඩවි තිබෙන අතර බොහෝ අය තම ලිපි අන්තර්ජාල පුවත්පත් වලට විකුණති. නැත්නම් තම මුල් රැකියාවම තබාගෙන ලිපි ලියති.

එංගලන්තයේ ගාර්ඩියන් පුවත්පතේ තත්වය මෙයට දෙවෙනි නැත. එහි පාඨක සමාජයේ සිටින මට මේ දිනවල නිතර දෙවේලේ ඊමේල් ලැබේ. එහි ඇත්තේ පුර්ණ සාමාජිකත්වයට මුදල් ගෙවා පැමිණ පුවත් පත ලබා ගන්න ලෙසය. අන්තර්ජාලයෙන් කියවන නිසා මට එහි අවශ්‍යතාවයක් නැත. ගාඩියන් මාධ්‍යවේදීන් මෙන්ම ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදීන් ද බ්ලොග් අඩවි පවත්වාගෙන යති. ඒවා අන්තර් ජාල පුවත්පතට සම්බන්ධ කොට තිබේ. ගාඩියන් පුවත්පතද හෙට අනිද්දා වැසී යනු ඇත. දක්ෂිණාංශික ටැබ්ලොයිඩ් එකක් වන සන් පුවත්පත මෙතරම් කලක් පවත්වාගෙන ගියේ තුන්වන පිටුවේ උඩුකය නිරුවත් තරුණියන්ගේ ඡායාරූප පල කිරීමෙනි. දැන් එයටද තිත තබා ඇති නිසා එම පුවත්පතේ අලෙවිය සිඝ්‍රයෙන් පහත වැටී ඇත. නමුත් එහි අන්තර්ජාල මුද්‍රණය කියවන පාඨක පිරිස වැඩි වී ඇත.

අන්තර්ජාලයේ කෙරෙන වෙළඳාම බලමු. පසුගිය නත්තල් කාලයේ එංගලන්තයේ පළමුවරට ඔක්ස්ෆර්ඩ් විදියේ තිබෙන බොහෝ සාප්පු සංකීරණ වල පාරිභෝගික ජනයා රැඳුනේ නැත. එම සාප්පු ලැබූ ලාභයන්ද අඩුය. ඒ වෙනුවට අන්තර්ජාලයේ ඇති ඔන්ලයින් කඩ වලින් නත්තල් තෑගී මිලදී ගන්නා සංඛ්‍යාව දෙගුණ තෙගුණ වී තිබුණි. අන්තර්ජාලයේ තමන්ගේ වෙබ් අඩවි ඇති නෙක්ස්ට්, ජෝන් ලුවිස් වැනි සාප්පු සංකීර්ණ වල වෙළඳාම අන්තර්ජාලය හරහා ඉහල ගොස් තිබුණි.

ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය භාවිතා කරන අය බටහිරට සාපේක්ෂව අඩුය. නමුත් මේ සංඛ්‍යාව දිනපතා වැඩිවේ. සිංගර් වැනි වෙබ් අඩවි වලින් මම භාණ්ඩ මිලදී ගෙන ඇත්තෙමි. ඒවා නිසි ලෙස බෙදා හරිනු ලැබේ. ක්‍රෙඩිට් කාර්ඩ් වලින් ගෙවා අන්තර්ජාල කඩ වලින් භාණ්ඩ මිලදී ගැනීම අද එතරම් සිදු වන්නේ නැති වුවද මේ තත්වය සීග්‍රයෙන් වෙනස් වේ. මොබයිල් වලින් මෙන්ම ටැබ් වලින්ද වෙබ් අඩවි වලට පිවිසෙන සංඛ්‍යාව වැඩි වී ඇත. අන්තර්ජාල පහසුකම් හා වයිෆයි පහසුකම් වැඩිවීම අනිවාර්ය වන අතර මේ නිසාම අන්තර් ජලයේ ඇති ප්‍රවෘත්ති මෙන්ම වෙනත් ලිපි ලේඛන කියවන සංඛ්‍යාව නිරන්තරයෙන් වැඩි වේ.

මේ නිසා මම බ්ලොග්කරුවන්ට යෝජනා කරන්නේ අනාගතය ඇත්තේ බ්ලොග් තුල බවය. තමන් ගේ බ්ලොග් ලිපි අන්තර්ජාල පුවත් පත් වල පල කරන්නට මෙන්ම අන්තර්ජාල පුවත්පත් වල කොලම් ලියන්නටත් එකඟ වන්න. මුද්‍රණය වී බෙදා හරින පුවත් පතක පල කරීම හොඳ දෙයක් වුවත් අනාගතයේ මේ පුවත්පත් බොහෝ විට වැසි යනු ඇත. ජනතාව මිලදී නොගන්නා පුවත්පත් අතේ වියදමින් පල කිරීමේ තේරුමක් නැත. අන්තර්ජාල පුවත්පත් වලට පුරුදු වෙන්න. අනාගතය ඇත්තේ එතනය. ටැබ් වලින්, කින්ඩල් වලින් මෙන්ම ලැප් එකෙන් කියවන්නන් වැඩි වනු මිස අඩු වන්නේ නැත. ඔබේ පාඨකයන් රැස් වෙන්නේ එතනය. තව දුරටත් සංවාද ඇති වන්නේ බ්ලොග් අඩවි වල මිස පත්තර කිහිල්ලේ ගසා ගෙන ගමේ කෝපි කඩේ හෝ කොම්පඤඤ විදියේ සුරා සැලේ නොවේ.

2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් - දේශපාලන


දේශපාලන ලිපි අංශය  සඳහා පළමු ස්ථානයට රුපියල් 5000 ක්ද දෙවන ස්ථානයට රුපියල් 3000ක්ද තෙවන ස්ථානයට රුපියල් 2000 ක්ද පිරි නමනු ලැබේ. නෙළුම් යාය සම්මානය හා සහතිකයක්ද පිරි නැමෙනු ඇත.

පහත සඳහන් බ්ලොග් අඩවි නිර්දේශ වී තිබේ. (අංක ඇත්තේ ලකුණු ලැබූ හෝ ලබන පිළිවෙලට නොවන බව සලකන්න)

1. අයවැය 2016  රාජ් ගේ නවාතැන
ඝාතන සංස්කෘතිය ගැන වැඩිදුරටත්  - අජිත් පැරකුම්

3. හෙලුවෙන් වැනීම සහ තැටිය රත් වූ වෙලාවේ රොටි පිලිස්සීම. (18+) - බස්සිගේ නවාතැන

4. අප්පච්චී,මාමලා,බාප්පලා සහ දරුවෝ....- කටුසු හදවත

5. දෙමළ අජීරණ වීම - විභීෂණ

6. ගොයම් කොළ මිනිමරති- අපිට හරිම සතුටුය - දයාල් බතී

7. සිංහල 'ලිබරල්වාදය' සහ සිංහල 'සමාජවාදය' - රාමචන්ද්‍ර ගේ අඩවිය

8. අසැබි නම් පුරුෂ ලිඟුව - The Sahan Blog

9. උඹලාට ඕනේ එල්ලුම්ගහනේ, ඉඳා තියාගනිල්ලා හොදට සුද්ද කරලා.......- කුරුටු ගෑ ගී පවුර

10. රෙද්ද පල්ලෙන් බේරෙන විජයග්‍රහණ සැමරුම් - සජ්ජාගේ පඩන්ගුව


නෙළුම් යාය සම්මාන උළෙලේ හොඳම බ්ලොග් කරු සඳහා නිර්දේශ වී තිබෙන බ්ලොග් අඩවි මෙතනින් බලා ගත හැක.

2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් - කාලීන සංවාද අංශය

ඉහත නිර්දේශ වී ඇති කිසියම් බ්ලොග් කරුවෙකු තමන් ගේ අඩවිය ඉවත් කර ගැනීමට අවශ්‍ය නම් අපට දන්වන්න.

Wednesday, 17 February 2016

2016 බ්ලොග් සම්මාන උළෙලේ නිර්දේශ වී ඇති බ්ලොග් - කාලීන සංවාද

නෙළුම් යාය සම්මාන උළෙලේ හොඳම බ්ලොග් කරු සඳහා නිර්දේශ වී තිබෙන බ්ලොග් අඩවි මෙතනින් බලා ගත හැක.

කාලීන සංවාද අංශය  සඳහා පළමු ස්ථානයට රුපියල් 5000 ක්ද දෙවන ස්ථානයට රුපියල් 3000ක්ද තෙවන ස්ථානයට රුපියල් 2000 ක්ද පිරි නමනු ලැබේ. නෙළුම් යාය සම්මානය හා සහතිකයක්ද පිරි නැමෙනු ඇත.

​කාලීන සංවාද  සම්මාන නිර්දේශ

1. ඇමෙරිකානු බොරතෙල් තහනම ඉවතට- ඉකොනොමැට්ටා

2.විස්ස එලියට දැමීම සහ විජ්ජානුකූල // Passing the 20 ​​, නිවනට ගඩොල් - පින්ච් පොයින්ට්  -

​3 දෘෂ්ඨි රසය - ඉවාන් පව්ලුෂා 

​4. එල්ලුම් ගහ , සුදු නංගියේ උඹ දුමියගේ අක්කාය - අමාවක  

​5​. දයා පතිරණ අවසානය ද, ආරම්භය ද? ,  මරණ දඬුවම ද මිනීමැරුමකි  - රසිකලොජි ​

6.​ Crouch, Touch, Set............! රග්බි ලෝක කුසලාන පුර්වකථන- රාජ්

7.   සුජී, ඔය ෆෝන් එක දීපං ළමයෙකුටසංගාගේ සීමාව - අසම්මතයා

8. වෙඩිං කතා....සමාවෙන්න. මම ඔයාගෙ බුද්ධාගමේ නෙවෙයි.... - හිරු නැති හෝරාව

9. විලම්භීත ධර්මද්වීප, අපට අද රෙදි ඇඳිය හැකිද?(ලෝක ළමා දිනය වෙනුවෙනි) -විභීෂණ

ඉහත නම් සඳහන් බ්ලොග් අතුරින් තෝරනු ලබන්නේ ස්ථාන තුනක් පමණක් බව කරුණාවෙන් සලකන්න.

මේ බ්ලොග් වලට අමතරව අපට සලකා බලන්නට වෙනත් බ්ලොග් අඩවි තිබේ නම් අදාල ලිපිය සමග අපට දන්වා එවන්න. ඉහත නිර්දේශ වී ඇති කිසියම් බ්ලොග් කරුවෙකු තමන් ගේ අඩවිය ඉවත් කර ගැනීමට අවශ්‍ය නම් අපට දන්වන්න.

Friday, 12 February 2016

ප්‍රථම ප්‍රෙමය ඔබ නොවේ (7 ) - පස් අවුරුදු සැලැස්ම


පළමුවන කොටස 

දෙවන කොටස 

තෙවන කොටස

හතරවන කොටස

පස්වන කොටස

සයවන කොටස

ඉතින් ඇය පැමිණියාය. ඇය පැමිණි දවසේ ඇගේ සොයුරිය ඒමට ප්‍රථම දුම්රිය ස්ථානයේදී හමුවීමට දෙදෙනා කතා බහ කර ගත්හ. වැඩිමහල් සොයුරිය කෙලින්ම විශ්ව විද්‍යාලයට ඒමට පොරොන්දුවී තිබුණි. එකිනෙකා හමුවීමට දෙදෙනාම සිටියේ දැඩි නොඉවසිල්ලකින් බව දෙදෙනාටම වැටහුනේ තාන්යා දුම්රිය නැවතූ පමණින් එලියට පැන වේදිකාවේ සිට ඔහු හමුවට ආ වේගයටත් හරියටම ඇය සිටින මැදිරිය සොයාගත් ගිහාන් මැදිරිය නවතින තැන ආසන්නයටම සොයාගෙන ඒ අසලම වගේ සිටි නිසාත්ය. දැඩි ලෙස වූ ආලිංගනයකින් හා මුව කිහිප වතාවක් තරයේ සිප ගැනීමෙන් අනතුරුව දෙදෙනාම රොස්ටොව් සිට පැමිනෙන දුම්රිය නවත්වන යරොස්ලාව් දුම්රිය පලින් පිටතට ගියහ.
"බ්ලින්චිකි එකට යමුද?" ගිහාන් ඇසුවේය. ඈ ඔහු දෙස නෙත් කොනින් බැලුවා, "ම්හ්" ලෙස සිහින් කෙඳිරියක් නැගුවා ඔහුගේ අත තදින් මිරිකා ගත්තාය. ඇය මුල් වරට හමුවූ දිනයේ මෙන්ම ගිහාන් ගේ හදවත ඩිං ඩිං ගා ගැහෙන බව ඔහුට දැනුනි.

බ්ලින්චිකි යනු පෑන් කේක් වැනි කෑම වර්ගයකි. බිත්තර හා බඩ ඉරිඟු පිටි වලින් සාදන මෙය මී පැණි, ද්‍රව චොකලට්, රෝස පාට සැමන් මාළු පෙති හෝ මිල අධික මාළු බිත්තර (caviar) සමග කෑමට තිබේ. කෑමෙන් පසු උණු චොකලට් පානයක් හෝ කිරි කෝපි කෝප්පයක් ද ලැබෙන මේ අවන්හල සම විටම ජනයා ගෙන් පිරී තිබුණි.

කෙළවරේම තිබු මේසයක අසුන් ගත් පසු දුම්රිය පළේදී ඔහු විසින් ඇගේ අතින් ඉල්ලා ගෙන පැමිණි බරැති ගමන් මල්ල ගිහාන් අයිනකින් තැබුවේය. මේසයේ හිඳගත් තාන්යා මුහුණ දෙඅත් තුල රුවා ගත්තාය. "ප්‍රශ්නයක්ද"
"මට ඔයාව හමු වෙන්නේ නැතිව අක්කා ගේ නවාතැනට යන්න වෙනවා. එයා කැමති නැහැ ඔයා ගාවට එනවට" ගිහාන් ගේ හදවත කඩා වැටුනේය.
"මදැයි පෙරුම් පුරා ගෙන හිටියා " ඔහුට සිතුනි.
 "මම කෑමට බ්ලිනි ගේන්නම්. පස්සේ කතා කරමු. ඔයා ට චොකලට් පානය"
 "ඔව්" හිත කීරි ගැස්සෙන මද සිනාවක් පැමිණ ඇය කීවාය . එදා ඇගේ දුටු අපූරු සුන්දරත්වය ඒ බැල්මේ අදත් තිබේ.
"ඉතින් මොකද වුනේ" දුරකතනයෙන් නොකියා සිටි කතාවක් කියන්නට ඇය සැරසෙන බව ඔහුට වැටහිණි.
"මම දුරකතනයෙන් කිව්වේ නැත්තේ ඔයා කණගාටු වෙයි කියල. එදා පාර්ක් කුල්තුරි උද්‍යානයේ දී මගේ සොහොයුරිය ලේනාත් හිටියා. ඔයා එනවා දැකල මම එයාට කිව්වා අර ඉන්දියන් නළුවා එක්ක අද මම කතා කරනවා කියල." ගිහාන්ට සිනා ගියේය.
 "ඒ කියන්නේ ඔයා පස් අවුරුදු සැලසුමක් ගහල මාව අල්ල ගත්ත" සෝවියට් පස් අවුරුදු සැලසුම් මතක් කරමින් ඔහු කීවේය.
"නැහැ මං ඔයාට එදා කිව්වනේ හේතුව. "
"ඔව් ඔව් මම විහිළුවට කිව්වේ."
"ලේනා කැමති වුනේ නැත්තේ එයා කේජිබී විද්‍යාලයේ ඉගෙන ගන්න නිසා. ඇයගේ පෙම්වතාත් ඒකෙමයි. ඉතින් එදා එයාට ඔයාට කතා කරමු කීවාම මටත් බැනල ගියා. ඔයා දැක්කේ නැතුව ඇති. අද ඔයා එනවා කීවාම මට කීව ඔයාව අද එක්ක එන්න එපා කියල. එයාගේ පෙම්වතා එනවා කියලා."
"මදැයි මම බලන් හිටියා ඔයාගේ සොහොයුරිය වත් මුණ ගැහිලා හොඳ ආපන ශාලාවකට කෑමකට යන්න " අක්කා කියා වචනයක් රුසියන් භාෂාවේ නැති අතර සහෝදර සහෝදරියන් බොහෝ විට නම කියා අමතා ගනී.
"ඉතින් ඔයාගේ අම්මා මුකුත් කියන්නේ නැහැනේ මම කතා කරන කොට"
"අම්මා නම් ඉතින් මගේ පැත්තේ. තාත්තා කෑ ගැහුවා ටිකක් හොඳ රුසියන් කොල්ලෝ ඇත්තෙම නැත්ද කියල" ඇය සුමුදු දත් දෙපල විහිද සිනා සුනාය. ඇගේ දෙතොලේ කිමිදී මුව මි උරා බිමට ඇත්නම් සිතමින්ම ගිහාන් ඇගේ සිනිඳු අත්ල ගෙන තම සුරතට මැදි කර ගත්තේය,

කේජිබී විදුහල ගැන ගිහාන් මුලින් ම කියෙව්වේ නවකතා වලය. මුලින්ම සෝවියට් රුසියාවට පැමිණි විට ඔවුන් නවාතැන් ගත්තේ පියකරු විශාල හෝටලයකය. එය විශ්ව විද්‍යාල හෝටලය හෙවත් රුසියානු භාෂාවෙන් ගස්තිනිත්සා උනිවෙර්ට්ස්කයා යනුවෙන් හැඳින්විනි. තරු තුනක විශාල හෝටලයක් වූ එය අසලම ඔවුන්ට කෑම ගැනීමට ඇති විශාල ආපන ශාලාවද විය. ශ්‍රී ලංකාවෙන් පැමිණි සිසුවියන් බොහොමයක් එහි ඇති රුසියානු කෑම ප්‍රතික්ෂේප කල අතර ගෙවල් වලින් ගෙන ආ මාළු ඇඹුල් තියල්, සීනි සම්බෝල ආදිය සමග පාන් කෑහ. ගිහාන්, සුහද ඇතුළු පිරිමි සිසුන්ට වැඩි ප්‍රශ්නයක් තිබුනේ නැත. ඔහු ලංකාවේ කෑම ගෙනාවේද නැත. ගව මස්, සොසේජස් හා බිත්තර ද සුප් වර්ග හා රස කැවිලිද ඔවුහු මහත් කැමැත්තෙන් ගිල දැමූහ.

 ඉන්පසු ඔවුන් කලේ එම හෝටලය ඉදිරිපස පාරේ ඇවිදීමයි. එම මාවත මැද ඇපල් ගස් වැවී තිබුණි. ශීත සෘතුව එළඹීමට කලින් අගෝස්තු මාසයේ අග භාගයේ රුසියාවට ගිය ඔවුන්ට ඇපල් වලින් පිරුණු ගස් දැකීම මහත් ප්‍රීතියට කරුණක් විය. ගිහාන් ඇතුළු පිරිමි සිසුන් කිහිප දෙනෙකුද කෙල්ලන් ට දෙන්නටද ඇති වෙන්න ඇපල් කඩා ගත්හ. අහල පහල ගමන් ගත් රුසියානුවෝ එදෙස බලමින් ගමන් ගත්තා මිස කිසිවක් කිවේ නැත. ඇපල් රුසියාවේ ඉතා ලාභ බව ගිහාන් පසුව දැන ගත්තේය.


මේ හෝටලයට ඔවුන් පැමිණි පසු ඔවුන් කණ්ඩායම් කරන්නට, අවශ්‍ය නොයෙක් දේවල් කියා දෙන්නට සිටියේ පියකරු ලාබාල රුසියානු තරුණියන් හා කඩවසම් රුසියානු තරුණයන්ය. සුහද, ගිහාන් ඇතුළු පිරිමි සිසුන් රුසියානු තරුණියන්ට වහ වැටුණු අතර නිතර ඔවුන්ට විහිළු කරන්නටත් පසු පස යන්නටත් විය. කෙල්ලන් ඔවුන්ට ලංකාවෙන් ගෙනා තේ කොළ පැකට් ආදිය දුන්හ. ඔවුන් කේජිබි විදුහලෙන් යයි ඔවුන් බැලීමට පැමිණි වැඩිහිටි සිසුවෙක් කීවේ ඒ දැකය.

ගිහාන් පසුව ඉගෙන ගත් පරිදි කේජිබි විදුහලේ නම දෙර්ශින්ස්කි උසස් විද්‍යායතනයයි. ෆීලික්ස් දෙර්ශින්ස්කි යනු පසුව කොමියුනිස්ට් වාදියෙකු වූ පෝලන්තයේ උසස් පවුලක සිටුවරයෙකි. නොවැම්බර් 7 ද සිදුවූ රුසියානු කැලැන්ඩරයට අනුව ඔක්තෝබර් විප්ලවයේ නායකයා වූ ලෙනින් විප්ලවය ආරක්ෂා කිරීම සඳහා හා ප්‍රති විප්ලවයට එරෙහිව කටයුතු කිරීමට හදිසි කමිටුවක් සාදා එය භාර දුන්නේ ෆිලික්ස්ටය. හදිසි කමිටුව යන අරුතින් සැදුනු චෙකා නමින් එය හැඳින්වුණි. විප්ලවය සුරැකීමට එය වැදගත් වූ අතර ස්ටාලින් ගේ කාලයේ එන්කවද (NKVD) හෙවත් "අභ්‍යන්තර රාජ්‍ය ආරක්ෂාව සඳහා මහජන කමිටුව" නමින් නම වෙනස් කර ලව්රෙන්ති බෙරියා නමැති ජෝර්ජියානු ජාතිකයාට භාර දුන්නේද මෙයයි. බෙරියා අතින් සෝවියට් දේශයට ද්‍රෝහීන් කියා වැරදි ලෙස හංවඩු ගසා බොහෝ ගනනක් රුසියන් බුද්ධිමතුන් හා සාමාන්‍ය ජනතාවට මරුමුවට පත් කෙරිණි. එසේම ඔහු එවැනිම බොහෝ ගණනක් ගුලාග් නමින් හැඳින්වුන දේශපාලන සිර කඳවුරු වලට යවන ලදී.

තාන්යා තම සොයුරියගෙන් අසා දැනගත් පරිදි විදේශ සිසුන් පිලි ගැනීම සඳහා මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ භාෂා අංශයේ සිසු සිසුවියන් අතරට කේජිබී විදුහලේ සිසුවියන් තමන් ගේ මුල්ම "වැඩ පුහුණුව" සඳහා යවන බව තහවුරු කලාය.

එදා ස්වෙත්නොයි බුල්වාර් (එලිය පිරුණු දෙපස වෘක්ෂයන් ඇති මාවත) උමන් දුම්රිය පළේදී මද සිත් තැවුලෙන් යුතුව කිහිප වරක් තරයේ තාන්යා වැළඳ ගත් ගිහාන් ඇයට සමු දුන්නේ නැවත දුරකතනයෙන් කතා කරන බවට ගිවිස ගනිමිනි. ඔහු ඉන්පසු ඒ ලංගම පිහිටි ප්රෝස්පෙක්ට් මීරා (සාමයේ මාවත) නමැති උමන් දුම්රිය පල අසල පිහිටි ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයට ගියේ සිංහල පුවත් පත් කියවිමටය.

~~~~~~~~~~~~~~~~මතු සම්බන්ධයි ~~~~~~~~~~~~~~~~~~~~~~~~

ගූගල් ක්‍රෝම් බ්‍ර්රව්සරයේ ප්‍රශ්න නිසා වචන නිවැරදිව පල නොවීම පිළිබඳව කණගාටුව පල කරමි.

Saturday, 6 February 2016

ව්‍යවස්ථාවට යෝජනා - නිතිය හා සාමය

ව්‍යවස්ථාව පිලිබඳ යෝජනා කිහිපයක්ම තිබුනත් මේ අවස්ථාවේ වඩාත් වැදගත් යයි සිතෙන මාතෘකාවක් ගැන මගේ අදහස් කිහිපයක් ඉදිරිපත් කිරීමට සිතුනි. එනම් පොලිස් බල තල පිළිබඳවයි. පොලිසිය විසින් කරන ලද පහර දීම්, මිනි මැරීම් කිහිපයක් ගැන මෙන්ම අල්ලස් ගැනීම් පිලිබඳවද ලිපි කිහිපයක්ම පසුගිය කාලයේ පලවිය. එසේම ඉතාම කලාතුරකින් පොලිසියේ හොඳ වැඩ ගැනද වත්පොතේ පුවත් කිහිපයක් දුටුවෙමි.

නීතිය රැකීම මෙන්ම නීතියට යටත් වීමද, නීතියට ගරු කිරීමද එක සේ වැදගත් වන බව බොහෝ දෙනා නොසිතති. අප ධනවාදී නීතියට ගරු කරන්නේ නැතියයි කියන විප්ලව වාදීන්ට ඇත්තේ දේශපාලන හේතුවකි හෝ හේතූන්ය. ඔවුන් නීතිය කඩන්නේ දේශපාලනික හේතු මතය. නමුත් ඔවුහුද පවත්නා නිතිය යටතේ අත් අඩංගුවට ගත හැකිය. ඔවුන් සිර ගෙයට යන්නේද පවතින නිතිය යටතේ එසේ වන බව දැනගෙනය. මෙහිදී ඇත්තටම කෙරෙන්නේ පවතින සමාජ ක්‍රමයටම එල්ල කරන අභියෝගයක් නිසා ව්‍යවස්ථා වෙනස්කම් වලින් මෙයට පිළිතුරක් ලැබෙන්නේ නැත. එනිසා මෙතනදී එවන් තත්වයන් සාකච්චා කෙරෙන්නේ නැත.

 පොලිස් බලතල පළාත් වලට ලබා දීම

 1. පළාතේ ජනතාවගේ චන්දයෙන් පළාත් පොලිස් කොමසාරිස්වරයෙකු පත් කල යුතුය. ඔහු වග කියන්නේ මහා ජනතාවටය. පළාත් සභාවෙන් හෝ මධ්‍යම රජයෙන් පළාතට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ද පත්වෙන අතර ඔහුත්, පොලිස් කොමසාරිස් හා පළාත් සභාවේ මහා ඇමති හෝ නිතිය සාමය පිලිබඳ ඇමති එකතුව තම පළාතේ පොලිස් ක්‍රියාකාරකම් පිළිබඳව ජනතාවට වග කිව යුතුය.

2.මිනිසුන් විසින් පොලිසියට අල්ලස් දීම ආදී ක්‍රියා පිළිබඳව තදින් සිටිය යුතු අතර පොලිසියට බලපෑම් කරන දේශපාලනඥයන් අල්ලා සිර කල යුතුය. .

3. මධ්‍යම රජයෙන් ගෙවන දීමනාවට අමතරව පොලිස් නිලධාරීන්ට විශේෂයෙන් සුළු පොලිස් නිලධාරීන්ට පළාත් සභාවෙන් ද දීමනාවක්ද ලබා දිය යුතුය. වඩා පොහොසත් පළාත් සභා වලට දීමනාව වැඩි කල හැකිය.

3. ආයුධ පරිහරණය කරන පොලිස් නිලධාරීන් සඳහා වෙනම අංශයක් පිහිටුවිය යුතුය. ඔවුන්ද ඉහත කි පොලිස් කොමසාරිස්, පළාත් සභාවේ මහා ඇමති සහ නියෝජ්‍ය පොලිස්පති යන තිදෙනාගේ අධීක්ෂණයෙන් ක්‍රියාත්මක විය යුතුය.

4. සන්නද්ධ හා සන්නද්ධ නොවන භටයන් හා නිලධාරීන් ගෙන් සමන්විත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මධ්‍යම රජයේ පාලනයට යටත්ව ක්‍රියාත්මක විය යුතුය.

5. පළාත් නමයේම මහජන චන්දයෙන් පත්වන කොමසාරිස් වරුන් විසින් ස්වාධින පොලිස් කොමිසම සමන්විය යුතුය. ජනාධිපති, අගමැති හෝ පාර්ලිමේන්තුවට ඔවුන් පත් කිරමේ බලයක් නැත. නමුත් ඔවුන් නිසියාකාරව ක්‍රියා නොකරන්නේ නම් නීතියේ ආධිපත්‍යයට ඔවුන් යටත් අතර ඔවුන් විසුරුවා හැරීම සඳහා පාරිලිමේන්තුවේ වැඩි චන්දයකින් කල හැකි විය යුතුය. නොඑසේ නම් පළාත් සභාවට තමන්ගේ කොමසාරිස් ට විරුද්ධව විශ්වාස භංගයක් ගෙන් ඒමෙන් ඉවත් කල හැක. නමුත් ඒ සඳහා නැවත අයෙක් තෝරා පත් කර ගත යුත්තේ මහජන චන්දයෙන් පමණි.

6. වඩා ජ්‍යෙෂ්ඨ නීතිඥයන් අතුරෙන් විනිසුරු වරුන් පත් කල යුතු අතර එම විනිසුරු වරුන්ගේ චන්දයෙන් හා ජේෂ්ඨත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුන් පත් කල යුතුය.

7. අග විනිසුරු පත් කල යුතු වන්නේ ජෙෂ්ඨත්වය , ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වරුන්ගේ චන්දය හා අගමැති ගේ තීරක චන්දයෙනි.

මා මෙය ලිව්වේ ප්‍රවේශයක් ලෙස පමණි. වෙනත් අදහස් ද ඉදිරිපත් කර සංශෝධනයන් ට අදාලව ඉදිරිපත් කල හැකිය. (ගුගල් බ්‍රවසරයේ ප්‍රශ්නයක් නිසා කියවීම අපහසු විය හැකිය . අනිත් බ්‍රව්සර වල මේ ප්‍රශ්නය නැත.)