Thursday, 18 July 2019

තේනු ගෙන් චිත්‍ර ප්‍රදර්ශනයක්



මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා සංවිධානය කරණ  චිත්‍ර  ප්‍රදර්ශනයන් දෙකක් ජූලි 23 දා සවස 5.00 ට ලයනල් වෙන්ඩ්ට් හිදී හා සවස 6.00 ට සස්කියා ප්‍රනාන්දු  කලායතනයේදී ද  ආරම්භ වේ. මේ චිත්‍ර ප්‍රදර්ශන පිළිවෙලින්  ජුලි  31  දින දක්වා අගෝස්තු 13 දින උදය 10.00 සිට සවස  7 දක්වා  පැවැත්වේ.

තේනු වෙනුවෙන් චිත්‍ර ප්‍රදර්ශනය හැකිනම් නරඹන ලෙස පාඨක ඔබට ආරාධනය කරමි.



Professor Chandraguptha Thenuwara                                            
Department of History and Art Theory
Faculty of Visual Art                                          
University of the Visual and Performing Arts     
46, Horton Place                                               
Colombo-7                                                           

Director: IQAU, University of Visual and Performing Arts                                               


Founder: Vibhavi Academy of Fine Arts

Tuesday, 16 July 2019

චෙර්නෝබිල් - සැඟවිය නොහුණු සත්‍යය 1

ලෝකයේ ප්‍රථම න්‍යෂ්ටික විදුලි බලාගාරය ඔර්බින්ස්ක් 1 සෝවියට් දේශය 
මා  සෝවියට් දේශයේ ඉගෙනුමට ගියේ 1984 වසරේ අගෝස්තුවලය.  එවකට එහි ජනාධිපති හා කොමියුනිස්ට් පක්ෂ ලේකම් වූයේ කොන්ස්ටන්ටින් චෙර්නෙන්කෝ ය.  ඔහුට  පසුව පත්වුනු ගොර්බචොව් නොයෙකුත් ප්‍රතිසංස්කරණ ඇති කිරීම  ඇරඹීය.

 විදුලි ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට මොස්කව් විදුලි හා බලශක්ති තාක්ෂණික විශ්ව විද්‍යාලයට අප ඇතුළු වුනේ 1985 සැප්තැම්බර් මාසයේය. මගේ විෂය ධාරාව හැඳින්වුණේ  විදුලි බලශක්ති  බලාගාර යන නමිනි (Electrical Power  Stations). නමුත්  එයට න්‍යෂ්ටික බලාගාර ඇතුළු වූයේ නැත. න්‍යෂ්ටික බලාගාර හා ඒවායේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක (nuclear reactors ) ගැන ඉගැන්වූයේද ඉතා යන්තමිනි. නමුත් අප විශ්ව විද්‍යාලයේ න්‍යෂ්ටික බලාගාර සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් තිබූ අතර කියුබානුවන් හා නැගෙනහිර ජර්මානුන් හැරුණු විට අනිත් විදේශික ශිෂ්‍යයන්ට එය විවෘත වූයේද නැත. කියුබානුවන් ට උගන්වන ලද්දේ සෝවියට් දේශය විසින් න්‍යෂ්ටික විදුලි බලාගාරයක් කියුබාවේ තැනීමට    සැලසුම් කර තිබු බැවිනි.

න්‍යෂ්ටික විද්‍යාව ගැන වැඩිදුරටත් ඉගැන්වූයේ අප විශ්වවිද්‍යාලයට යාබද එකක් වූ බෞමන්ස්කයා විශ්ව විද්‍යාලයේය. එය සම්පුර්ණයෙන්ම විදෙස් සිසුන්ට තහනම් වූ එකක් විය.  මරියා ෆෙදරෝව්නා අධිරාජිනිය ගේ නියමයෙන් එය පිහිටුවන ලද්දේ වසර 1826 දීය. එය ප්‍රථම රුසියානු තාක්ෂණික විශ්ව විද්‍යාලයයි. මෙහි ඉගැන්වූ අධ්‍යාපන ක්‍රමය වූයේ ප්‍රබල න්‍යායික දැනුම සමග එවැනිම ප්‍රයෝගික දැනුමද ඉතා ගැඹුරින් ලබා දීමයි. රුසියානු ක්‍රමය ලෙස හැඳින්වූ මේ ඉගෙනීමේ ක්‍රමය කොතරම් අගය කරන ලද්දේද යත් මහාචාර්ය  ජෝන් රැන්කල් විසින් ඇමෙරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණික විද්‍යා ආයතනයටද (MIT) මේ ක්‍රමය හඳුන්වා දෙන ලදී. (විකිපෙඩියා )
 මෙම විශ්ව විද්‍යාලය විප්ලවවාදියෙකු වන බෞමන් ගේ නමින් හඳුන්වන ලද්දේ සෝවියට් කාලයේදීය.

මේ විශ්ව විද්‍යාලය කතාවට සම්බන්ධ වන්නේ එහි න්‍යෂ්ටික භෞතික  විද්‍යාව  ගැඹුරු ලෙස ඉගැන්වූ නිසාම නොවේ. එහි උගත් පසුව  ප්‍රසිද්ධියට පත්වුණු විද්‍යාඥයන් අතර සිටි න්‍යෂ්ටික භෞතික  විද්‍යාඥ නිකොලායි දොලෙෂල් නිසාය. ලෝකයේ ප්‍රථම න්‍යෂ්ටික විදුලි බලාගාරය වන රුසියානු සමුහාණ්ඩුවේ ඔබ්නින්ස්ක් න්‍යෂ්ටික විදුලි බලාගාරය 1954 දී ගොඩ නගන්නට මුලික වූයේ දොලෙෂල්ය.

එසේම ප්‍රධාන විදුලි පද්ධතියට න්‍යෂ්ටික බලයෙන් නිපදවු විදුලිය සම්බන්ධ කළේද , න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක සිවිල් භාවිතාවට  ගැනීම  සඳහා කාර්මික නිෂ්පාදනයට මුල පිරුනේද මෙහිය. වසර 1959 දී විදුලිය දීම නැවත්වුවද 2002 දක්වා පර්යේෂණාත්මක බලාගාරයක් වශයෙන් එය ක්‍රියාත්මක වුනි.  මෙහි භාවිතා වූ  ප්‍රතික්‍රියාකරකය AM 1 හෙවත් ඇටම් මිර්නි (සාමයේ  පරමාණුව) 1 ලෙස හැඳින්වුණි. මෙය චෙර්නෝබලයේ ඉදි කෙරුණු  RBMK ප්‍රතික්‍රියාකාරකයේ මුල් සැලසුමයි. (prototype) දෙවැන්නේ  ලෙසම මෙහි නියුට්‍රෝන සීමා කරන ග්‍රපයිට් තුඩ හා ජල- ශීත  පද්ධතිය (Water cooling system) ක්‍රියාත්මක වුනි.

මා ඉහත හැඳින්වූ  ප්‍රසිද්ධ බෞමන් විද්‍යායතනයේ උගත්  නිකලොයි ඇන්තනොවිච් දොලෙෂල් කාර්මික ඉංජිනේරුවකු පමණක් නොව සෝවියට් න්‍යෂ්ටික බෝම්බ නිපදවීමේ ක්‍රියාවලියේ පුරෝගාමියෙකු මෙන්ම ප්‍රථම ප්ලූටෝනියම් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක නිපදවීමේ ප්‍රධාන ඉංජිනේරුවා ද විය.

එසේම ඔහු න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන සඳහාද සැලසුම් සකස් කළේය.

ඔහු විසින් ප්‍රධානත්වය දරන ලද ආයතනය විසින් 1957 දී සිවිල් භාවිතය හා යුධායුධ සඳහා භාවිතාවන ප්ලූටෝනියම්  (weapons-grade plutonium) සඳහා බලාගාරයක් පිහිටවූ අතර 1965 දී බෙලොයර්ස්ක් න්‍යෂ්ටික විදුලි බලාගාරය පිහිටුවන ලදී. මෙම ආයතනයෙන් VVER (water-water energetic reactor (WWER))  හා RBMK (Russian: Реактор Большой Мощности Канальный, РБМК; Reaktor Bolshoy Moshchnosti Kanalnyy, “High Power Channel-type Reactor”) න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක නිපදවීම ආරම්භ කරන ලද්දේ ඉන් පසුවය,

මේවා සියල්ල ඉතා හොඳ තත්වයේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක  විය.

එසේ නම් චෙර්නොබිල් හි  සිදුවූයේ කුමක්ද? මෑතකදී පෙන්වූ HBO රූපවාහිනි වෘත්තාන්තයේ පෙන්වූ සියල්ල නිවැරදිද? සෝවියට් ජනතාවගේ කැප කිරීම් නියම ලෙසින් පෙන්වූයේද?

ඊළඟ ලිපියෙන් ඒ සියල්ල සාකච්ඡා කිරීමට  බලා  පොරොත්තු වෙමි.

මුලාශ්‍ර : ඔර්බින්ස්ක් ලෝකයේ න්‍යෂ්ටික විදුලි ප්‍රථම බලාගාරය 
බෞමන්ස්කයා විශ්ව විද්‍යාලය