Wednesday 31 December 2014

අතීරණයෙන් සුභ අලුත් වසරක්

රජානෝ දිනු යුද්ධයක් ඇත  අනේ ජනයා  ලැබු  දෙයක් නැත
සිටාණෝලා බොහෝ නම් ඇත ජනී ජනයට වැලේ වැල්  නැත

මහා ජාතිය රවටලා ඇත සුළුවූ ජාතින් තලා  දා  ඇත
ජාතියේ මහ දේවතාවුන්  බෙන්ස් රථවල රහත් වී ඇත

ඇමතිලා මන්ත්‍රී තුමාලා පළාතේ හුන් සභාපතිලා
ගසා  කති බලන හැම තැන හදන ගම් පාරෙන් පවා

පාරවල් අධිවේගයන් වී හරිම ඉක්මන් ගමන් නම් ඇත
පිටරටින්  යන අපට නම් මේ, ගමන් ටික දැන් ජොලියෙ  කල හැක

මෛත්තිරියා  කඩා ගෙන ගොස් වාසලක් දෙදරුම් කවා  ඇත
චන්දි රාජිත දෙපොල හින්දා චන්ද ටික වල් වැදී  ගොස් ඇත

ප්‍රේමයා  කකුලෙන් අදින සඳ රනිල් මංගල වැටී යාදෝ
ජෝන්ස ලන්සා  මර්වින් හින්දා  රජා අතරමන් විලා යාදෝ

මන්දබුද්ධිකද ජනයා..... ඒකදෝ සල්මනා ගෙන්නුවෙ
ජැකාලින්ගේ කකුලෙ  සුදු දැක අනේ උන් චන්දය දේවිදෝ

එහෙම ජනයින් ඉන්න රටකට එහෙම නයුවන් ලැබී ඇත් දෝ
හත් පොලේ ගාගත් වම්මු හට ඇපත් චන්දත් නැතිවී යාදෝ

මේ මොකවුනත් හැම තැන බ්ලොග ලෝකයේ හැම එකා  වාගේ
නෙලුම් යායේ සහෘද සමුහය බැබලි බැබලී ඉන්නවානේ

කිරින් පැණියෙන් තව ලියන්නට පතමි තොප හැමට වාගේ
හොඳම  සුභ නව වසරක්ම  වේවා කියවනා හැම දෙනට අපගේ

- අජිත් ධර්මකීර්ති
නෙළුම් යායේ අප හැමෝටම සුභ නව වසරක් වේවා
с новым годом




Monday 29 December 2014

කවියක්

හැමෝම කවි ලියනවා වගේ කියල හිතෙනවා. ඊයේ කියෙව්වේ අපේ හිතවත් ජයසිරි අලවත්තයන් ලියු "කාව්‍ය මකරන්ද විමංසා " එකට විචාරයක්. ඒක කියෙව්වහම හිතුනේ කවි නිසඳැස් ලිව්ව කාලයක් මතක නැහැ කියල. ඉඳල හිටලා මාතලන්ගේ දේශපාලන කවි පේලියක්, බස්සිගේ, කටුසු හදවතගේ , දිලාගේ, ශාශියගේ නිසඳැසක්, කවියක් කියවෙනකොට හිතෙනවා ලියන්න ඕනේ කියල.

ඒ අතරේදී තම මගේ සහෝදරිය මට මතක් කලේ මම  ලිව්ව නිසඳැසක් ගැන. මම ලිව්ව එක වුනත් අක්කා කිව්වේ ගොඩක් අය ඒක කොපි කරගෙන තමන් ලිව්වා වගේ සමරු පොත්වල හෙම ලියාගෙන හිටිය කියල. ඉතින් ඇත්තටම මේක මගේ. ඔරිජිනල් කොපිය ලියු පොත තවම අක්ක තියන් ඉන්නවා සිහිවටනයක්ලෙසට . (මම පිටරටක ජිවත් වෙන නිසා). මේක ලිව්වේ එක්තරා යුවතියක් ගැන 1982 විතර මම අපොස (උ.පෙ.) කරන කාලේ. කතාවත් කියලම හිටින්නම්.

ලස්සන ගෑණු ළමයෙක් හිටිය ගෙවල් ගාව. මගේ ගේ ළඟ නිසා මම සාමාන්‍යයෙන් කතාව දාගෙන  ඉන්නවා එයා එක්ක. ඒ දවස් වල මට ගණන් පුළුවන් කියල රාවයක් තිබ්බ නිසා මගෙන් ඉඳ හිට ගණන් අහගන්නත්  එනවා. හැබැයි එයා ටිකක් නම තියෙන බාලිකා විද්‍යාලයකට ගිය චුට්ටක් වෙන්න උඩඟු කෙනෙක්. මෙයාට කැමති පිරිමි ළමෙකුත් හිටිය ඒ ළඟම නුවන් කියමුකෝ නම.  ඉතින් මේ නුවන් කොළු ගැට තෙමේ මමත් දන්න කෙනෙක් වුනත් යාලුවෙක්ම නෙමේ. මිනිහ දවසක් මාව හමුවෙන්න ආව උදව්වක් ඉල්ලා ගෙන. උදව්ව මොකක්ද ඉතින් අර ගෑණු  ළමයාගෙන් අහන්න පොරට කැමතිද කියල. මන් කිව්වා මම ඔය කපු වැඩ වලට නැහැ කියල. පස්සේ මූ  කියනවා ඒ කියන්නේ උඹ යාලුයි නේද, උඹ ටියුෂන්  දෙනවා නේද ඒකද මේකද කියල. මාත් එක්ක වලිය දැන් . පස්සේ මල කරදරෙන් බේරෙන්න බැරි නිසා මම හා අහන්නම් කිව්ව.
දින දෙකකකට විතර පස්සේ කෙල්ල එක්ක කතා කරන ගමන් මම නිකමට කෝට්ටක් වතුරට දාල ඇනල බැලුව?

"ඔයා  දන්නවද නුවන් හෙම අර පල්ලහා  ගෙදර ඉන්නේ?"

කෙල්ල කියපි "අපොයි මම දන්නව ඒ වසංගතේ. අර කබල්  බයිසිකල් කට්ටත් තල්ලු කරගෙන ඇවිත් මගෙන් ඇහුවනේ යාලු වෙනවද කියල. මම බැනල එලව ගත්ත. ඌත්  එක්ක යාලුවෙන්න අර කොරියාවේ කෙල්ලක් හොයා ගන්න කිව්ව".  (කොරියාව කියන්නේ උතුරු දකුණු කොරියාව නෙමේ. ඒ දවස් වල තිබ්බ කොලඹ දුප්පත් කෑල්ලක්)

දැන් මට ටිකක් අප්සෙට්. නුවනයා  මට අහපු  කතාව කිව්වෙත්  නෑනෙ.

මං නුවනය  හම්බ වෙලා බැන්න. කලින් ඇහුව කියල කිව්වේ නැහැ කියල. මු මට කියනවා " මචන් උඹ ටියුෂන් දෙන නිසා උඹ කීවොත් ඒකි  කැමති වෙයි කියල මට හිතුන " නුවන් උසස් පෙළ අසමත් වෙලා පොඩි ජොබ් කට්ටක් පටන් අරන් හිටියේ. මම නුවන්ට කීව කෙල්ලට වෙන කොල්ලෙක් ඉන්නවා. ඒකයි කේස් එක. උඹ වෙන අතක් බලා ගනින් කියල. නුවන් දුකින් ඔලුව පහත් කරගෙන යන්න ගියා.

මේක තමයි ලිව්ව කවිය. දැන් බලන කොට බොළඳයි වගේ. වචනත් ඔහේ ලිව්වට තාරකාත් එහෙම නැහැ වගේ. ....

ඈත දිදුලන නිම්  වළල්ලෙන් 
සීත  මිදුම් කඩ තුරාවෙන් 
වැසී  ගිය රන් වළා හුයෙකින්  
දිදුල දිදුලා  සිත් කැලුම් දෙන 
නීල උත්පල දිමුතු තරුවක් 
එපා කිසිදින ඔබ පතන්නට 
විරහ ජිවන වේදනාවන් 
එහි රැඳී ඇත 
එහි රැඳී ඇත !

(ප.ලි.  මගේ අක්ක කියන විධිහට මේක ලියා  තිබුන මගේ මේ කවි පොත තියාගෙන ඉඳල තියෙන්නේ ඒ ළමය. ඒ ගොල්ලෝ ගෙවල් ඇරලා යනකොට ඒක  දීල ගිහිල්ල. (මං එතකොට වෙන රටක) ඒ ළමය හිතාගෙන ඉඳලා  තියෙන්නේ මං ගැනලු. කාටද ඉතින්  ඕව තේරෙන්නේ ඒ කාලේ. පොත්  කියව කියව හිටිය පොත් ගුල්ලනේ.)

Friday 19 December 2014

අරිට්ටදාස කීවෙන්ඩුලා හා රතුපුටින්ස්ලා

 සාමාන්‍යයෙන් මම ඉතිහාස පොත් කියවන්න සෑහෙන්න කැමැතියිපුංචි  කාලේ ඉඳලම.
ඒ දවස් වල මතකද දන්නේ නැහැ විදියේ  බණ්ඩාර කියල චිත්‍ර කතා පොතක් තිබුන. (සඳ කුමරිය, පරංගි හටන වගේ ඒවත් එක්කම) මම හරි ආස  කතා වක්. හැබැයි විදියේ බණ්ඩාරට වඩා  මම කැමති වෙලා හිටියේ සිතාවක රාජසිංහ රජතුමාට.  ඒ දහම් පාසල් යන කාලේ, අනගාරික ධර්මපාල තුමාගේ පොත් කියවන කාලේ, පෘතුගීසින් ඇතුළු විජාතික බලවේග වලට එරෙහි කාලේ. දැන්නම් එරෙහිවන බලවේග මොනවද කියලවත් හිතා  ගන්න බැරි තරම් සංකීර්ණයි. දැන් විජාතික බලවේග කිව්වහම හිතට එන්නේ එතනෝල් විජාතික බලවේගය, හෙරොයින් විජාතික බලවේගය, චීන මහින්ද ණය විජාතික බලවේගය, ඉන්දියන් චන්ද්‍රිකා විජාතික බලවේගය, ඇමෙරිකන් රනිල් විජාතික බලවේගය, අතුරලියේ විජාතික බලවේගය, ඕස්ට්‍රේලියන් ගුණරත්නම් විජාතික බලවේගය, ටිල්වින් චීන බලවේගය වගේ. මේ යන රුපවාහිනී කතා වල හැටියට, හරි සමහර පත්තර වල කියන හැටියට අතුරලිය තියෙන්නේ ලංකාවේද කියලත් ෂුවර් නැහැ දැන්නම්.

ඉතින් අපි ඉතිහාසයට පොඩ්ඩක් හැරිලා බැලුවොත් ලංකාවේ රජවරුන් හරිම අමුතු ජාතියක් තමා. හත් වන විජයබාහු රජතුමා පුත් කුමාරයන් තුන්දෙනාව  මරන්න හැදුව. ඔවුන් බේරිලා පස්සේ පිය රජුට එරෙහිව කැරලි  ගැහුවා. හත්වන විජයබාහුව මැරුව  කියන්නේ විදේශිකයකු ලවා (විජයබා කොල්ලය) . කුමරුන් තිදෙනා රාජ්‍යය 3ට බෙදා ගත්ත. හත්වන බුවෙනකබාහු කෝට්ටේ රාජධානියත්, මායාදුන්නේ (1501-1581) සීතාවක රාජධානියත් , මහා රයිගම් බණ්ඩාර රයිගම් රාජධානියත් වශයෙන්. උදාහරණයක් වශයෙන් කෝට්ටේ රාජධානිය පාලනය කල බුවනෙකබාහු රජතුමා ගමුකො. එයාගේ ආරක්ෂාව භාර කරලා තිබ්බේ පෘතුගීසින්ට. මොකද ඒ රජා තමන්ගේ මල්ලි රජා වන මායදුන්නේට භයයි. මායාදුන්නේ තමා විජයබා කොල්ලයේ හෙවත් කැරැල්ලේ මහා මොළකරු . මායා දුන්නේට කොහොමටත් ඕනෑකම තිබ්බේ බුවනකෙබාහුවත් යටත් කරගෙන මුළු ලංකාවේම රජු වෙන්න. බුවෙනකබාහුව මැරුවේ මාලිගාවේ සඳලුතලේ ඉන්දෙද්දී පෘතුගිසි තුවක්කුකරුවකු විසින්. පස්සේ ඔහුගේ පුතා දොන් ජුවන් ධර්මපාල  පෘතුගිසි රැකවරණ යටතේ තමා  රාජ්‍යය කලේ දෙවියන් කෙරෙහි විශ්වාසය තබමින්.

එතකොට කන්ද උඩරට රජ කලේ ජයවීර රජු. යාපනයේ හා වන්නිය ස්වයං පාලන ඒකක දෙකක් තිබ්බ. යාපනයේ රජු කෝට්ටේ රාජධානියට බදු ගෙවූ අතර වන්නියේ රජු කන්ද උඩරටට ගෙව්වා. නැගෙනහිර දිස්ත්‍රික්කය පාලනය කලේ කන්ද උඩරටින්. දැන් ඇත්තටම මේ රජ ගොල්ල එකතු වෙලා රාජ සමුහාණ්ඩුවක් හදල අර ලිච්චවි රජුන් වගේ රට පාලනය කලා නම් මොකද? යාපනයටත් බදු ගෙවන්න කියල ස්වයං පාලනයක් තබාගෙන. කට්ටියටම එකතු වෙලා පෘතුගීසින්ට දුවන්න දෙන්න තිබුන. නමුත් උනේ වෙන දෙයක්. කෝට්ටේ රාජධානිය පෘතුගීසින් ගෙන් උදව් අරගත්ත සීතාවක රජුට විරුද්ධව. සීතාවක රජු හැම වෙලේම යුද්ධ කලා කන්ද උඩරටයි කෝට්ටෙයි එක්ක.

මායාදුන්නේ රජුගේ පුතා ටිකිරි බණ්ඩාර (වයස අවුරුදු 12 දී) , විදිය බණ්ඩාර මෙහෙයවූ කෝට්ටේ හමුදාවට පහරදී යටත් කලා අලුත්නුවරදී . (අලකේශ්වර යුද්ධය) මායාදුන්නේ මියගියාට පසුව ටිකිරි බණ්ඩාර පලමුවන රාජසිංහ  නමින් රජවුණා. ඔහු තම පියරජු මැරුවා කියා කියන නමුත් එයට සාක්ෂි නැහැ. ලංකාව එක්සේසත් කරන්නටත් පෘතුගීසින්ට විරුද්ධවත් සටන් කළ  සීතාවක රාජසිංහ රජතුමා වඩා  ප්‍රසිද්ධ මුල්ලේරියවේ කළ සටන සහ කොළඹ කොටුව වැටලීම පිලිබඳ. "කොළඹ කොටුවේ බළල් මසුත් ගිනි ගණන් ගියා වුනා  " කියල සින්දු කෑල්ලකුත් තියෙන්නේ. පසුව පෘතුගීසින් යවපු කොන්නප්පු බණ්ඩාර උඩරට කලබල ඇති කරපු නිසා සීතාවකට පසු බැස්ස රාජසිංහ වික්‍රමසිංහ මුදලිට දෝෂාරෝපණය කරලා තිබෙනවා. කොහොමහරි අසනීප ව සිටි මෙම හොඳ  සෙනෙවියා කවුරුන් හරි වසදීම නිසා මැරුන.
මෙන්න මේ වෙලාවේ තමා  සොලී රටේ ඉඳන්  අරිට්ට කීවෙන්ඩු පෙරුමාල් කියන සන්නසියා තව හතර දෙනෙකු සමග ලංකාවට ගොඩ බැස්සේ. මේ යුද සටනේ දක්ෂයෙක් කියන සොලී ජාතික සන්‍නාසියාට මාන්නප්පෙරුම මොහොට්ටි කියන තනතුර ලබා දෙන රාජසිංහ රජතුමා තමන්ගේ අන්තඃපුර යුවතියකුත්  (රාජහෙට්ටිගේ දෝනියන්දෑ ) බාර  දෙනවා. මේ අරිට්ට කීවෙන්ඩු තම රජතුමාගේ සිත දින ගන්නවා ඊට පස්සේ. මේ කාලේදී තම රජතුමා බුද්ධාගම අත්හැරලා හින්දු දෙවිවරු අදහන්න පටන් ගන්නේ. මෙහෙම කරන්නේ අරිට්ට කීවෙන්ඩු  නිසා කියලයි කියන්නේ. බාර  හාර, බලි යාග  එහෙමත් කලාලු.
රාජසිංහ රජු කන්ද උඩරට රාජධානිය අල්ලන්න ගියත් කොනප්පු බණ්ඩාරට පැරදෙනවා. ඉන්පසු පෙතන්ගොඩට පසු බැස  විවේක ගන්නකොට කටුවක් ඇණිල ඔත්පලව මිය යනවා. අර කවියකුත් තියෙන්නේ.
"රුදුරු පෙතන්ගොඩ උයනට වැඩියාය
නපුරු උණ  කටුව පතුලේ ඇනුණාය
ඉන්න සිටි සැවොම මතුලාය
රාජසිංහ දෙවි නා මෙත් මැකුණාය "

පස්සේ ආපු අරිට්ට කීවෙන්ඩු  ලොකු වුන එකත් ඔහුගේ කීම පිට බහුතරයේ ආගම අත හැරීමත් නිසා රාජසිංහ රජු තමන්ගේම නිලධාරීන් හා නෑදෑයින් අතරේ වෛරයට ලක්වූ නිසාත්  තමා  "ඉන්න සිටි සැවොම මතුලාය " කියා කියන්නේ මේ කවියේ.රජු මැරුනේ 1514 කියන සක වර්ෂයේ කියල රාජාවලියේ සඳහන් වෙන්නේ.
අරිට්ට කීවෙන්ඩු කියන්නෙත්  මාර චරිතයක්. රාජසිංහ මැරුනහම දොන් ජුවන් ධර්මපාල පෘතුගීසි හමුදාවක් යවනවා සීතාවකට. අරිට්ට කීවෙන්ඩු හෙවත් මාන්නප්පෙරුම මොහොට්ටි මීගමුවේදී මේ පෘතුගීසි සේනාව පරදවනව. සීතාවක මිනිස්සු සන්නාසිය කියා ගරහන නිසාය කියා පසුව දොන් ජුවන් ධර්මපාලට එකතු වෙනවා මේ මාන්නපෙරුම මොහොට්ටියා  හෙවත් අරිට්ට කීවෙන්ඩු  පෙරුමාල්. නමුත් ඇත්ත හේතුව නම් වඩා බලය ඇති තැනට පනිනවා පෙරුමාලයා. පසුව ජයවීර බණ්ඩාර නමින් ඔහු ධර්මපාලට සේවය කරනවා. ජයවීර බණ්ඩාර පෘතුගීසීන්ගේ උදව්වෙන් ගුරුබෑවිල සටනේදී සීතාවක හමුදා පරාජය  කරලා සිතාවක අල්ල ගන්නවා ධර්මපාල වෙනුවෙන්. රාජ්‍යය දෙන්න කුමාරයෙක් නැතුව මැරෙන ධර්මපාල නිසා පහතරට රාජ්‍යය පෘතුගාල රජුට අයිති වෙනවා.
මේ අතරේ දෙවනගල තෙරුන්නනස්සේ ප්‍රමුඛ වෙලා  කොන්නප්පු බණ්ඩාර පළවන  විමලධර්මසූරිය නමින් රජකමට පත්කරනවා. ඔහුට පසු  උඩරට රජවුනු  දෙවන රාජසිංහ පස්සේ ඉඟුරු දීලා  මිරිස් ගන්නවා.

රස්පුටින් රුසියානු සාර්  රජ පවුලට හේත්තු වෙලා එක එක මන්ත්‍ර ගුරුකම් වලින් රැජින අල්ලාගෙන , පවුලේ කුමාරිකාවන් හා අනිත් සේවිකාවන් වසඟයට ගෙන කාමභෝගී ජිවිතයක් ගත කරනවා. මිනිස්සු දුක් විඳිද්දී උන්ට පෙනුනේ සාර්  පවුල පාලනය කරන්නේ මන්ත්‍රකාරයෙක් කියලා. අර පළමුවන ආලවන්ත දාස ගෙයි බාබු මහත්තැන් ගෙයි පයුරු පාසානය වත් අඩුම ගානේ  ඒ කාලේ  පාරේ යන්න එපා කියලවත් සේනා  පියා  රතුපුටින්ස් කිව්වද? ඉතින් අමනදාස කීවෙන්ඩුලා රතුවපූටින්ස් ලා හැමකාලේම පහලවෙනවා මිනිස්සුන්ව බොරුවෙන් රවට්ටලා තිරුපති දේශවලට යවල තමන්ගේ මඩිය තර කරගන්න. දන්න බුද්ධාගම අදහගෙන ඉන්නේ නැතුව අපේ මිනිස්සු දෙය්යෝ අදහන්න ගියාම කෙළවෙන්නේ කාටද කියල දන්නේ වැඩේ වුනාට පස්සේ.

මුලාශ්‍ර: රාජාවලිය - ගුණසේකර බ .
විකිපෙඩියා http://en.wikipedia.org/wiki/Rajasinha_I_of_Sitawaka

- අජිත් ධර්මකීර්ති 

Thursday 11 December 2014

විශ්වයේ දුර මැනීම හා සාක්ෂි සොයා ගැනීම

ඔරායන් නෙබුලාව - විකිපෙඩියා වෙන් හබල් දුරේක්ෂයෙන් ගත්  එකක් 

විශ්වයේ දුර මැනීම හා සාක්ෂි සොයා ගැනීම  

මම පසුගිය ලිපියෙන් මන්දාකිනි හා අප අතර දුර මැනීමට දුරේක්ෂයන් භාවිතා කරමින් හබල් විසින් ඉදිරිපත් කල නියමය සාකච්චා කලා. දැන් දුරේක්ෂ වලින් නිරීක්ෂණය කර ලබා ගත්  ආලෝක වගු  ඇසුරින් මේ දුර මනින්නේ කෙලෙසද කියා බලමු.
පහත ඇත්තේ හයිඩ්‍රජන් ලාම්පුවක්  (පින්තුරය 1).  හයිඩ්‍රජන් වායුවේ වර්ණාවලිය එයටම ආවේනික වුවක්. එය ඊළඟ පින්තුරයේ දැක්වෙනවා. එක්තරා නිශ්චිත තරංග ආයාමයක්  එයට තිබෙනවා. මෙහි දෙවන පින්තුරයේ නැනෝ මීටර 656 රතු  ලකුණ (රතු ඉර) බලන්න.   මේ හයිඩ්‍රජන් වර්ණාවලිය අපට ලබාගන්න පුළුවන් පර්යේෂණාගාරයකදී එම තත්වයන් තුල. (in Laboratory conditions).

පින්තුරය 1

පින්තුරය 2
















මේ තුන්වන පින්තුරයෙන් පෙන්වන්නේ ඔරායන් නෙබුලාවයි. (nebula).  නෙබුලාවක් කියල කියන්නේ ඈත අභ්‍යවකාශයේ එක ගොණුවකට දිලිසෙන දුවිලි සහ වායු  වලාකුළු සමුහයක්. මේවායේ අලුත් තාරකා  පවා නිර්මාණය වෙනවා.. ඔරායන් නෙබුලාව කියල කියන්නේ අපේ චක්‍රාවාටයේ එවැනි තාරකා  සෑදෙන  අඩවියක්. ඉතින් මේ නෙබුලවල වැඩි හරියක් තියෙන්නේ හයිඩ්‍රජන්. ඔක්සිජන්නුත් යම් ප්‍රමාණයක් තිබෙනවා. දැන් බලමු මෙම ඔරායන් නෙබුලාවෙන් එන වර්ණාවලිය දිහා.
ඔරායන් නෙබුලාව 
හතරවන පින්තුරයේ පෙන්වන්නේ එයයි. හයිඩ්‍රජන් තිබෙන බව පෙන්වන නැනෝ මීටර 656 යේ රතු ඉරත් ඔක්සිජන් තිබෙන බව පෙන්වන කොළ පාට ඉරත් බලන්න.









පින්තුරය 4

දැන් අපි බලමු රක්ත විතැන් වීම (Red Shift රතු පාටේ වෙනස් වීම)  කියන්නේ මොකක්ද කියල. පහල පින්තුරය තවත් චක්‍රාවාටයක් වන UGC 12915. මෙය උප්සලා කියන අභ්‍යවකාශ වස්තු කැටලෝගයෙන් (නාමාවලිය) ගත්  එකක්. එහි උතුරු අර්ධගෝලයේ සිට පෙනෙන මෙවැනි මන්දාකිණි 12921 වගු ගත කර තිබෙනවා.  දැන් බලන්න එයින් ලැබෙන වර්ණාවලිය දිහා. (පින්තුරය 6) මෙය කලින් එක වගේම මන්දාකිණියක වර්ණාවලියක්. මෙම වර්ණාවලියේ  නැනෝ මීටර 656 යේ හයිඩ්‍රජන් ඉර එසේම තිබුනත් එය දකුණු පැත්තට ගිහින් (displaced) තිබෙන බව පේනවාද ? මෙයට කියන්නේ red shift කියල.
පින්තුරය 5 UGC 12915.


පින්තුරය 6
එතකොට මෙහි (මන්දාකිණියේ ) අපෙන් ඉවත්වී යන වේගයත් මැනලා  තිබෙනව. එය තත්පරයකට කිලෝමීටර 4350ක්. (Recession velocity: 4350 km/s). දැන් හබල්ගේ නියමය මෙතනට දැම්මහම අපට පුළුවන් දුර මැනගන්න.  (හබලයාගේ නියමය) .
අපි තව දුරටත් බලමු මේ ප්‍රසාරණය වන විශ්වය ගැන තියෙන සාක්ෂි. පින්තුර වලින් මේක පැහැදිලි කරන එක ලේසි නිසා ගොඩක් පින්තුර මේකේ දානවා. චක්‍රාවාටය ඈතට යන්න යන්න red shift එක එහෙම නැත්නම් වර්ණාවලියේ හයිඩ්‍රජන් ලකුණ රතු පැත්තට යනවා වැඩිය. UGC 12508 මන්දාකිනිය තත්පරයට කිලෝමීටර 9100 ක වේගයෙන්  අපෙන් ඉවතට යන එකක්. එහි වර්ණාවලියේ  red shift එක බල ඉහත එක එක්ක සසඳන්න. රතු ලකුණ තව දකුණට ගොස් ඇත.
පින්තුරය 7 UGC 12508 මන්දාකිණිය 



















පින්තුරය 8 තරංග ආයාමය තව දකුණට 

දැන් මෙහිදී තේරෙනවා ඇති මේ red ශිෆ්ට් එක වෙන්නේ  අවකාශය (space)  ප්‍රසාරණය වීම නිසා කියල. red shift එක වැඩි වෙන තරමට චක්‍රාවාටය ඉවත් වී යන වේගය (receding) වැඩියි. 
අවසන් වශයෙන් මේ පින්තුර දෙකත් බලන්න. පින්තුරය 9 යේ තිබෙන්නේ KUG 1217 කියන චක්‍රාවාටය.
මෙහි වේගය ඉතාම වැඩියි. තත්පරයට කිලෝමීටර 31400ක් (Recession velocity: 31,400 km/s).
මෙය තිබෙන්නේ ursa Major හෙවත් මහා වලහ කියන තාරකා මණ්ඩලයේ. KUG කියල කියන්නේ Kiso Ultraviolet Galaxies කියන එක.
පින්තුරය 9 kug 1217

පින්තුරය 10 red ශිෆ්ට් තවත් එහාට 
දහවන පින්තුරයේ හයිඩ්‍රජන් 656 ලයින් එක redshifted එහෙම නැත්නම් ඉතාමත් රතු පැත්තට ගිහින්. ඒ කියන්නේ infrared අධෝරක්ත කිරණ පෙන්වන හරියටම ගිහින්. එයින් පෙනෙන්නේ ඉතාමත් සීග්‍රයෙන් අපෙන් ඉවත් වී යන බව. 

අන්තිමට මම මේ පින්තුරය පල කරනවා. "මන්දාකිණියෙන් ඔබ්බට" බ්ලොගයේත් මේ පින්තුරය තිබුන. විශ්වය ප්‍රසාරණය  වීමේ සාක්ෂි අපට තිබෙන නිසා දැන් මෙය වඩාත් අදාලයි. විශ්වය බැලුමක් ප්‍රසාරණය වෙනවා වගේ ප්‍රසාරණය වෙන්නේ කියන අදහස තමා  එන්නේ.


කලින් ලියු ලිපිවල ලින්ක් පහත ඇත:
බිග් බැන් BigBang හෙවත් මහා පිපිරුමට නම ලැබුන හැටි

බිග් බැන් (Big Bang ) තහවුරු කල CMB

නිව්ටන් හා අයින්ස්ටයින් බිග් බැන් මොඩලයට  මග පෑදුවේද?

අවකාශ-කාලය යනු කුමක්ද හා අයින්ස්ටයින් ගේ ගණන් 

හබලයාගේ නියමය

මුලාශ්‍ර හා පින්තුර : නාසා වෙබ් අඩවියෙනි.

- අජිත් ධර්මකීර්ති 

Wednesday 10 December 2014

කොන්ඩෝම් පාලනය

මේ දවස් වල සෑහෙන්න වැඩ අධික නිසා දාන්න හිතන් ඉන්න පොස්ට් ටික ඔක්කොම හිර වෙලා. නමුත්  කොන්සේර්වටිව්  රජය ගැන කියන්න මේ ලෝගෝ එක මීට සෑහෙන කාලෙකට කලින් කාර්යාලයේ වැඩ කරන සගයකු (ඉංග්‍රීසි ජාතිකයකු) එවුවක්, ලෝකේ බොහොමයක් ආණ්ඩුවලට ගැලපෙනවා කියල හිතුන නිසා පොස්ට් කරන්න හිතුන.

මේකේ කියන්නේ මෙහෙම අදහසක්. 
"අද ආණ්ඩුව නිවේදනය කලා ආණ්ඩුවේ ලෝගෝ එක එහෙම නැත්නම් රාජ්‍ය ලාංචනය වෙනස් කරනවා කියල කොන්ඩෝම් පින්තුරයකට. ආණ්ඩුවේ ප්‍රතිපත්ති හා දේශපාලන ස්ථාවරය හොඳින් නිරුපනය වන්නේ ඒකෙන් කියල.
කොන්ඩෝම් එකක් උද්ධමනයට එරෙහිව ඉදිරිපත් වෙනවා, නිෂ්පාදනය නවත්වනවා, ඊළඟ පරම්පරාව විනාශ කරලා දානවා, මොලේ නැති හොරු   ටික ආරක්ෂා කරනවා,   ඔවුන් ඔබට ඇත්තටම කෙළවන මුත් ඔබට දැනෙන්නේ  ඔවුන් ඔබට ආරක්ෂාව ලබා දෙනවා යයි හැඟීමකි. 

- ආණ්ඩුව පිලිබඳ මිට වඩා හොඳ ලාංචනයක් තිබේද ?
එංගලන්තේ මෙහෙම වුනාට වෙන රටවල මෙහෙම වෙන්නේ නැත. - සුනිල් පෙරේරා 



(ප.ලි: pricks යනු slang එකකි. එය පුරුෂ ලිංගය සම්බන්ධ කර මොලේ නැති විධිහට වැඩ කරන පිරිමියා යන අරුත දෙයි)

Tuesday 2 December 2014

යුගොස්ලාවියාවට බැඳී පෙමට ඉකි බින්ද යුවතියන්

යුගෝස්ලාවියාවේ අර්ථ ක්‍රමය  ගැන  හෙම දන්නවද කියල අහපු කොමෙන්ටුවක් තිබුනා. එතකොට මට මතක් වුනේ මා අනූ ගණන්වල දැන  සිටි ළාබාල යුගොස්ලාවියන් තරුණියන් තිදෙනෙකු  ගැන. මම අනූ ගණන්වල කාමර එකසිය ගාණක් තිබුන ලන්ඩනයේ  හෝටලයක කළමණාකාර තනතුරක වැඩ කලා.  මුලදී ඒක  සංචාරක හෝටලයක් වුනත් පස්සේ පස්සේ දේශපාලන (හෝ ආර්ථික) අනාථයන් වයි   අර ගත්තේ. මේකට හේතුව සංචාරකයන් ගන්න නොයකුත් දැන්වීම් දාන්න ඕනේ. ඒජන්සි වලට ගෙවන්න ඕනේ. නමුත් අනාථයන්ගේ කාමර කුලිය ආණ්ඩුවෙන් ගෙවනවා. අනික බ්‍රිතාන්‍යයේ රැඳී සිටීමේ වීසා ලබනකන් අනාථභාවය ඉල්ලපු අයට ඉන්න වෙනවා  ටිකක් දිග කාලයක් හෝටලයේ නැවතිලා. ඉතින් මේක හෝටලයට ස්ථිර ආදායමක්.
අර යුවතියන් තුන් දෙනාත් එකටම හිටපු නිසා මම එකම කාමරයකට දැම්මා. තුන් දෙනාම හරිම ලස්සනයි. මාත්  එක්කත් හොඳට කතා බස් කරනවා දැක්ක තැන. ඔය තුන්දෙනාට හෝටලේ ඇතුලෙත් පිටතත් කොල්ලොත් හරියට බැලුම් හෙලනවා. වැඩිපුරම බොස්නියා වල මුස්ලිම් කට්ටිය තමා  හිටියේ. ඒ දවස් වල ජාතිවාදී සර්බියානුවන්,  බොස්නියන් හා ක්‍රෝශියන්  වරු සමග යුද වැදුණු කාලය මේ.

ඔන්න එක දවසක් හෙන රණ්ඩුවක් එළියේ. හෝටලේ සිකියුරිටි හිටිය ඊජිප්තු ජාතිකයා මට ඇවිත් කිව්වා අර ගෑනු ළමයින්ට ප්‍රශ්නයක් ඇතිවෙලා කියල. එළියේ පුංචි යුද්ධයක් වගේ. අර තරුණියන් සමග හිතවත්ව හිටි ඉංග්‍රීසි ජාතික තරුණයන්ට හෝටලේම බොස්නියන් කොල්ලෝ කට්ටියක්  ගහන්න හදනවා.
මම මැදිහත්වෙලා පොලිසියට කතා කරනවා, උන්ව හෝටලෙන්  එලියට දානවා හෙම කියල තර්ජනය කරලා ඉංග්‍රීසි තරුණයන්ව බේරලා යැව්වා.  මම කෙල්ලන්ගෙන්  ඇහුව මොකද වුනේ කියලා. බොස්නියන් මුස්ලිම් කොල්ලෝ තර්ජනය කලාලු උන්ගේ කෙල්ලෝ එක්ක යාලු වෙන්න එන්න එපා හෙම කියල. සර්බියන් කෙල්ල මැදිහත් වුනහම එයටත් තර්ජනය කරලා අපේ කෙල්ලව නරක්  කරන්නේ උඹ තමා  කියල.  පස්සේ මම බොස්නියන් කොල්ලන්ට පොඩි තර්ජනයක් දැම්මා උඹලගේ රටේ ජාතිවාදය මෙතනට අරන් එන්න එපා කියල.  මෙතැනදී මම ඇහුව ඒගොල්ල  මොන රටවලින්ද කියල. එතකොට දැන ගන්නට ලැබුනේ එක තරුණියක් සර්බියාවේ ක්‍රිස්ටියන් ඔර්තොදොක්ස් ආගමේ (අද්රියානා කියමු නම). දෙවැනි යුවතිය බොස්නියාවේ මුස්ලිම් යුවතියක් (අයිඩා කියමු නම). තුන් වැන්නිය ක්‍රෝෂියාවේ කතෝලික යුවතියක්, වෙරේනා කියමුකෝ නම . මට එක පාරටම ඇහුනා,  උඹල මරාගන්න ඕනේ එවුන් එක කාමරේ ඉන්න කොහොමද කියල. මුස්ලිම් තරුණිය අඬන්න පටන් ගත්ත. ක්‍රෝෂියන් කෙල්ල වෙරේනා ගේ  ඇස් වලත් කඳුළු. ඇය කාමරයට දුව ගියා මොනවාද අරන් එන්න. සර්බියන් කෙල්ල අද්රියානා ත්  ඇස් වල කඳුළු පුරෝගෙන හෝටලේ කුස්සියට ගිහින් තේ හදා ගෙන ආවා ඔක්කොටම බොන්න.  වෙරේනා ඇල්බම් පොදියක් අරන් ආව.
ඇල්බම් වල තිබ්බේ තුන්දෙනාම සරාජිවෝ වල විශ්ව විද්‍යාලේ ඉගෙන ගත්ත හැටි. බොස්නියන් මුස්ලිම් අයිඩා ගේ ගෙදර වත්තේ තේ බිව හැටි. කට්ටිය සයිකල් සවාරි ගිය හැකි. මේවා දැකල මම ඔවුන් ගෙන් ඇහුව යුගෝස්ලාවියාවේ ජීවිතය ගැන. ඔවුන් හැමෝටම හොඳ  ගෙවල් තිබුන (පින්තුර වල හැටියට).  ඒවායේ තත්වය බටහිර යුරෝපියානු තත්වයටම වගේ උසස්. වාහන තිබුන හැම ගෙදරකම. නමුත් වාහන හොඳ ජපන් වාහන නෙමේ. ඉතාම ටිකක් ජර්මන් වාහන හා ඉතාලියානු වාහන තිබුන.  වැදගත්ම දේ තමා 1990 ගණන්වල
යුගෝස්ලාවියාව බෙදී එකිනෙකා  අතර යුද වැදීමට කලින් ඔවුන් හොඳ ජිවිතයක් ගත කල බව.

1970 දශකය අවසන් වනතුරු යුගෝස්ලාවියාවේ තිබ්බේ හොඳ කාලයක්. ලංකාවේ 70-77 ආණ්ඩුවත් ටිකක් මිශ්‍ර ආර්ථික ක්‍රමයක් හදන්න හැදුවත්  වංචා දුෂණ නිසා හරි ගියේ නැහැ. අනික පෝලිම් යුගය මතකනේ. සෝවියට් දේශයේ බලපෑමෙන් යුගෝස්ලාවියාව ඉවත්වී හිටියත් එහි කොමියුනිස්ට් පක්ෂයක් තිබුන.ජෝසප්  ටිටෝ තමයි ඒකාධිපති පාලකයෙක් වගේ හිටියේ. නමුත් ඔහු දැඩි පාලකයෙක්ම නොවෙයි. ඔහුගේ වඩාත් හොඳම අත්හදා බැලීම තමා ආශ්‍රිත ශ්‍රමය නමැති ක්‍රමය. (партнер труда හෙවත් පර්ත්නොයිර් ත්රුදා ) මෙහිදී කලේ කම්හලක වැඩ කරන කම්කරුවන්ට සහ ඉහල නිලධාරීන්ටත් ඉන්ජිනේරුවන්ටත් එහි කොටස් අයිතිය පැවරීම. වැඩියෙන් වැඩ කරන කට්ටියට වැඩියෙන් කොටස් ලැබෙනවා. අද්රියානා ගේ තාත්තත් ඉංජිනේරුවෙක්. ඔහුටත් තමන්ගේ කම්හලේ කොටස් අයිතිව තිබුන. අනිත් දෙදෙනාගේම මව් පියන් ගුරුවරු. ඔවුන්ගේ වැටුප එතරම් ඉහල නොවුනත් ඉන්ජිනේරුවෙකුගේ හෝ දොස්තර කෙනෙකුගේ වැටුපට වඩා වැඩි වෙනසක් තිබුනේ නැහැ.  මේ තත්වය මත ඔවුන් ජිවන තත්වය ඉහල මට්ටමක තිබුන.

ගොවියන්ගේ තත්වය වුනේත් මිශ්‍ර ක්‍රමයකට වගා කටයුතු කිරීම. එනම් සුළු ගොවීන්ට තමන්ගේ වගා  කිරීම කරගෙන යන්නට ඉඩ තිබු අතර තමන්ගේ කැමැත්තෙන් රජයේ ගොවිපලවලට එකතු වීමට ඉඩ කඩ තිබුනා. ඊට අමතරව පෞද්ගලික පොළක්  නොහොත් සුළු ගොවීන්ට හෝ තමන්ගේ ගෙදර වත්තේ බව බෝග හදන අයට පවා විකුණ  ගන්න හැම නගරයකම වගේ පොළක් තිබුන. හැබැයි තමන්ම තමා විකුනන්න ඕනේ.

මීට  අමතරව  ඕනෑම කෙනෙකුට සුළු ව්‍යාපාර අරඹන්න පුළුවන්. තමන් සමාජයට,  කම්හලකට හෝ ගොවිපලකට අවශ්‍ය දෙයක් නිෂ්පාදනය කරන්න දන්නවා නම් සුළු ව්‍යාපාරයක් , සුළු කර්මාන්තයක් අරඹන්න පුළුවන්. ඒ සඳහා හතර දෙනෙක් වෙනකම් වැඩට ගන්න පුවන්. හුඟක් වෙලාවට හතර දෙනාම යහළුවෝ හෝ අසල්වාසීන්. ඔවුන් සමග කතා කරලා ලාභය ශ්‍රමයට සරිලන පරිදි බෙදා ගන්න ඕනේ. ව්‍යාපාරය පටන් ගත්  කෙනාට තමයි වැඩි පඩිය ලැබෙන්නේ.  එයටම බදු ක්‍රමයත් වෙනස් ලෙස හරි ගස්සල තිබුන.
ටිටෝ ගේ මරණය සිදුවුනේ 1980දී.  ෆෙඩරල් යුගෝස්ලාවියාව කොන්ෆෙදරේෂණයක් විය යුතුයි කියන අදහස ආවේ මේ කාලේ. සමුහාණ්ඩුවේ රටවල් (republics) වල (සර්බියාව, මොන්ටෙනෙග්‍රෝ , ස්ලවේනියාව,  බොස්නියා සහ හර්සගොවිනාව , ක්‍රෝෂියාව, මැසිඩෝනියාව) නායකයෝ එකිනෙකා  අවුරුද්ද බැගින් නායකත්ව මණ්ඩලයට පත් වුනා. නමුත් මේ කාලේදී යුගෝස්ලාවියාව ඩොලර් මිලියන් 16,000 පමණ ණයවී තිබුනා . වැඩියෙන්ම මුදල් ආවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන්. මුලදී ණය  මුදල් ලැබුනේ යුරෝපයේ නිපදවන සුඛෝපභෝගී බඩු  ගන්න. එනම් බෙන්ස්, BMW වගේ වාහන ජර්මනියෙන්, ප්‍රංශයෙන් සුවඳ විලවුන් හා ඉහල පන්නයේ නිමි ඇඳුම් ඉතාලියෙන්, මෙන්න මේ වගේ. මිට අමතරව බ්‍රිතාන්‍ය, ඇමෙරිකාව , ජපානය වැනි රටවලින් යුගොස්ලවියානු කම්හල් දියුණු කිරීමට අවශ්‍ය උපකරණ අමතර කොටස්.  නමුත් පසුව ණය ලැබුනේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි සහිතව. ආශ්‍රිත ශ්‍රමය නමැති ක්‍රමය නැති කිරීම,
ව්‍යාපාර වලට තමන්ට අවශ්‍ය සංඛ්‍යාවක්  බඳවා ගැනීමට ඉඩ දීම හා අයිතිකරු විසින් පඩි නඩි තීරණය කිරීම. රටේ ශ්‍රම අතිරික්තයක් ඇති කිරීම. ඒ කියන්නේ ආණ්ඩුවේ "වැඩි" සේවකයන් අස්  කිරීම වැනි කොන්දේසින්.

 මෙහිදී (මේ නිසාමත්)  80 මැද හරිය වනවිට ලක්ෂ අටක පමණ රැකියා විරහිතයන්  සංඛ්‍යාවක් බිහිවී තිබුනා. මෙතැනදී ජර්මනිය ප්‍රමුඛ යුරෝපා සංගමය යුගොස්ලාවියානු  රටවල් වලට වෙන  වෙනම බලපෑම් කලා යුරෝපා සංගමයට එකතු වෙන ලෙස. හිට්ලර්ගේ නාසි යුද සමයේ (දෙවන ලෝක යුද්ධය )  නාසින්ට වැඩිපුරම උදව් කලේ ක්‍රෝෂියන් වරු හා බොස්නියන් වරු (තුර්කින් සමග). ඔවුන් නැවත හිස ඔසවන්නට වුනා . ජර්මනියේ දඬුවම් නොලබා බේරුණු නාසිවාදීන් හා ව්‍යාපාර මේ සඳහා සක්‍රිය දායකත්වයක් දැරුවා  කියා කියනවා. කෙසේ හෝ 1980 අග භාගය වනවිට තම තමන් පාලනය කල කොමියුනිස්ට් පක්ෂ මාර්ගයෙන්ම මෙම රටවල් ස්වයං නිර්ණන අයිතිය ක්‍රියාත්මක කරවීමට ඉල්ලුවා. ප්‍රශ්නයක් නැතුවම ඉවත්වන්නට පුළුවන් වුනේ මොන්ටෙනේග්රෝවට හා ස්ලවේනියාවට පමණයි. ඊට හේතුව මේ රටවල සිටි ජාතිය,  සජාතීය (හෙවත් homogeneous හෝ සමජාතීය)  වීමයි. ස්ලවේනියන්වරු හා  ස්ලාව් වරුන් වන සර්බියන් වරුන් හා  වැඩි වෙනෙසක් නැති ජාතියක් වුන අතර මොන්ටෙනෙග්‍රෝ වරුන්ගේ රටේ සිටියේද ඔවුන් පමණයි. (හන්ගේරියන් වරුන් ඉතාමත් සුළුතරයක් සහිතව). එනිසා මේ සජාතීය  රටවලට වෙන්වීම ප්‍රශ්නයක් වුනේ නැහැ . නමුත් සර්බියානුන් වැඩිපුර සිටි ක්‍රෝෂියාවේ සහ බොස්නියා - හර්ට්සගොවේනියාවේ වල සර්බ වරු සුළු ජාතියක් වන්නට කැමති වුනේ නැහැ. මේවා multicultural හෙවත් බහු සංස්කෘතික රටවල්. මෙහි ක්‍රෝෂියන්  වරු හා බොස්නියක් ලා සර්බියන් වරුන් දෙවන ලෝක යුද්ධයෙන් පසු පදිංචි වුනු ආක්‍රමණිකයන් යයි කියා (මෙහිදී  සර්බවරුන් ප්‍රමුඛව නාසිවාදයෙන් රටවල් ගලවා  ගත්  බව ඉතා පහසුවෙන් අමතක කරමින්)  ඔවුන් එලවන්නට හා මරා  දමන්නට, ගෙවල් ගිනි තියන්නට පටන් ගත්තා. (සමජාතීය වීම සඳහා - අප දන්නා රටකත් මේ පිළිවෙතම මෙසේ එක්තරා සුළු ජාතික අවිගත් කණ්ඩායමක් මගින් ක්‍රියාත්මක කල අතර ඇතැම් වමේ පක්ෂ ස්වයං නිර්ණන  කතාවේදී මෙය වුවමනාවෙන්ම කතා කිරීමෙන් මග හරිති.)
ක්‍රෝෂියාවේ  සර්බවරුන් හා මුස්ලිම් වරුන්ට එරෙහිවත් බොස්නියාවේ සර්බියන්, මුස්ලිම් බොස්නියන් හා ක්‍රෝෂියන්  වරු අතරත් සටන් පණ නැගුනා. අවාසනාවකට ජාතිවාදය තදින් ඇවිස්සු පක්ෂයක් සර්බියාවේ බලයට පත්වූ අතර ඔවුන් සර්බියන් වරු බේරා ගැනීමට  යයි කියා අර රටවල් ආක්‍රමණය කර මිනිසුන් බොහොමයක් මරා දැමුණ,  ම්ලේච්ච ජාතිවාදී යුද්ධයක් ක්‍රියාත්මක කලා. ඉන්පසු අමෙරිකා එක්සත් ජනපදය හා නැටෝව මැදිහත්වී සර්බියාවට බෝම්බ දමා තත්වය පාලනය කරමින් ඉතිරි රටවල් බෙදා දැමුවා.

අර තරුණියන් තිදෙනා එංගලන්තයේ සරණාධාර පතා  ආවේ එලෙසයි. අර සිද්ධියෙන් පසු ඔවුන් හැඬුවේ තමන්ට අහිමි වුනු, ඔවුන් ජාතින් වශයෙන් නොබෙදී සිටි ඒ සුන්දර අතීතය වෙනුවෙනුයි.

පසු වදන: ඉහත  පින්තුරයෙන් දැක්වෙන්නේ සර්බියන් පෙම්වතා හා ඔහුගේ ක්‍රෝෂියන් පෙම්වතිය සිප ගන්නා  ආකාරයයි. වැඩිහිටි ක්‍රෝෂියන් ජාතිවාදී කාන්තාවක් සර්බ පෙම්වතාගේ අත අල්ලාගෙන සිටින ක්‍රෝෂියන් පෙම්වතියට දෝෂාරෝපනය කරනවා. මෙය අසා පෙම්වතිය ඕනෑ කමින්ම හැමෝම ඉදිරිපිට පෙම්වතාව සිපගන්නවා.
http://www.huffingtonpost.com/2013/03/10/croatian-girl-kisses-serb_n_2839945.html
දැන් නැවතත් සර්බියන් හා ක්‍රෝෂියන් වරු සමගියෙන් සිටින බවක් පේනවා.ක්‍රෝෂියාව, ස්ලවේනියාව ස්වයං නිර්ණය ලැබීමෙන් පසු යුරෝපා සංගමයට එකතුවුණු අතර  ඔවුන් සර්බියාවට යුරෝපා සංගමයට ඇතුලත් වෙන්න උදව් කරනවා.

- අජිත්

Monday 24 November 2014

හබලයාගේ නියමය

හබලයාගේ නියමය -
මුලින් ගිය ලිපි පෙලේදී විශ්වය ප්‍රසාරණය වන බව පැහැදිලි කලා. එම ලිපි වලට සබැඳියන් මේ ලිපියේ පහත පළවේ. මිට අමතරව "මන්දාකිනියෙන් ඔබ්බට " බ්ලොගයෙන්ද හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්.  මුලදී විශ්වය කියා සිතා සිටියේ ක්ෂිරපථය (milky way) තුල ඇති තාරකා  ගොන්න පමණයි.  විශ්වය ප්‍රසාරණය වන බව අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය තුලින් තහවුරු වුවත් ඔප්පු කරන්නට සාධක මතුවුයේ එඩ්වින් පවෙල්  හබල් (1889-1953)  විසින් කල නිරීක්ෂණයන් නිසයි.  ඔහු ඔප්පු කලා අපේ මන්දාකිණිය ට ඔබ්බෙන් තවත් චක්‍රාවාට විශාල සංඛ්‍යාවක් ඇති බව.
 ඔහු මේ සඳහා උපයෝගී කරගත්තේ කැලිෆෝර්නියාවේ පිහිටා  ඇති මවුන්ට් විල්සන් (විල්සන් කඳු මුදුනේ) ටෙලෙස්කෝපයයි.  මෙය අඟල් 100 ක විශ්කම්භයකින් යුත් එවකට තිබු බලවත්ම ටෙලස්කෝපයක්.

මෙහිදී හබල් ට මුණ ගැසෙන හාලොව් ශේප්ලි තමා අපි සිටින මන්දාකිණිය වන  ක්ෂිරපථයේ දුර මැන්නේ. ශේප්ලි මේ සඳහා උපයෝගී කරගත්තේ ආලෝකය විහිදවිම නිතර වෙනස් වන (විචල්‍ය) සේෆියෙඩ්  වේරියබල්ස් (Cepheid variables) නමැති දීප්තිමත් තාරකා  සමුහය. මේ තාරකා සමුහයෙන් විහිදුවන ආලෝකය වෙනස්විම නියතයක් කර එයට සාපේක්ෂව දුර මැනීමේ ක්‍රමය සොයා ගත්තේ හෙන්රියෙටා  ලේවිට් විසින්. ශේප්ලි ක්ෂිර පථය ආලෝක වර්ෂ 300 000 පළල යයි ගණන් බැලුව. එය එදා දැනසිටි ප්‍රමාණයට වඩා  බොහොම වැඩියි. නමුත් ඔහුත් සිතා  සිටියේ විශ්වයේ විශාලත්වය එපමණයි කියා. ශේප්ලි ඇදහුවේද ඈතින් පෙනෙන නෙබුලා දුවිලි හා ගෑස් වලාකුළු බවට. (ෆ්‍රෙඩ්රික් එංගල්ස් ලියු සොබාදහමේ දයලෙක්තිකය (1883) පොතේ  ඔහු සඳහන් කරන්නෙත් මන්දාකිනිය අපේ දුපත් විශ්වය බවත් ඉන් එහා පෙනේනේ නෙබුලා හෙවත්  දුවිලි වලාකුළු බවත්ය.)

සිතල රාත්‍රීන් වල තරු  බලමින් සිටි හබලයා 1923 ඔක්තෝබර් 23 ද දුටු දෙයින් කැළඹුනා. සාමාන්‍යයෙන් ආයු කාලය අවසන් වන තාරකා විශාල ආලෝකයක් විහිදුවමින් පිපිරෙන බවත් ඒවා නෝවා යන නමින් හඳුන්වන බවත් ඔබ දන්නවා ඇති. අන්ද්‍රෝමීඩා තාරක මණ්ඩලයට අයත් යයි සිතු  (constellation of Andromeda) M -31 නමැති නෙබුලාව තුල මේ නෝවා තාරකාව ඉතා ආලෝකමත්ව බැබලෙනවා ඔහු නිරීක්ෂණය කලා. නමුත් එහි පින්තුර නැවත නිරීක්ෂණය කිරීමෙන් හා වෙනත් තාරකා  විද්‍යාඥයන් ගත පින්තුර නිරීක්ෂණය කිරීමෙන් එය තවත් සේෆියෙඩ්  වේරියබල් හෙවත් සේෆියෙඩ්  විචල්‍යයක් බව ඔහු හඳුනා ගන්නවා. එහි දුර ශේප්ලි කල විධිහටම ගණනය කිරීමෙන් M-31 කියන නෙබුලාව ආලෝක වර්ෂ මිලියන ගනනක ඈතින් එනම් ක්ෂිර පථයට බොහෝ ඈතින් පිහිට ඇති බවත් එය නිකම් දුවිලි වලාකුලක් නොව තාරකා මිලියන ගානක් ඇති තවත් මන්දාකිණියක්  (චක්‍රවාටයක් ) බවත් ඔහු සොයා ගන්නවා. අප දන්නා විශ්වය අති මහත් විශාල බව හරියටම  සොයාගත්තේ එදයි.

ඔහු තවදුරටත් තමන් සොයාගන්නා තාරකා  හා නෙබුලාත්,  ඒවායේ ප්‍රවේගයන්  ඒවා වලින් නිකුත්වන  ආලෝක වර්ණාවලි (Spectra) වලින් ගණනය කරමිනුත් වගු ගත කලා. සොයාගත් හැම චක්‍රාවාටයක්ම ඒවායේ සිට පොලොවට තිබෙන දුර ප්‍රමාණයට සමානුපාතික වේගයකින් අපෙන් ඉවත්ව යන බව 1929 දී ඔහු සොයා ගත්තා.

මෙයට Hubble's Law හෙවත් හබල් නියමය කියා කියනවා.

මුලිකවම මන්දාකිණිය වඩා ඈතින් පිහිටන විට එය අපෙන් ඈත් වෙන චලනයේ වේගය වැඩි  වන බවක් පේනවා.
 හබලයාගේ නියමය:
චක්‍රාවාටයේ පෙනෙන වේගය = හබල් නියතය  X (වැඩි කිරීම )  චක්‍රාවාටයට  ඇති දුර
මේක ඕනනම් අනිත්  පැත්තට ලියන්නත් පුලුවන්.
 චක්‍රාවාටයට  ඇති දුර=චක්‍රාවාටයේ පෙනෙන වේගය/ හබල් නියතය (H0)
එතකොට  හබල් නියතය කියන්නේ වේගය චක්‍රා වාටයට ඇති දුරෙන් බෙදුවාම ලැබෙන නියතය (H0).
 මෙය මෙගා පර්සෙක් එකකට (චක්‍රාවාටයට ඇති දුර ) තත්පරයකට කිලෝ මීටර 72 ක්  පමණ වෙනවා. මේ අගය තව තත්පරයට කිලෝමීටර 8 ක් අඩු හෝ වැඩි විය හැකියි.
චක්‍රාවාටවලට ඇති දුරවල් අති විශාල නිසා මනින්නේ පර්සෙක් (pc) වලින්. පර්සෙක් 1ක් කියන්නේ කිලෝමීටර බිලියන් තිස් එක් දාහක්  විතර.   (3.1 x 1031km) . එනම් ආලෝක වර්ෂ 3.3 පමණ වෙනවා. වෙන විධිහකට කියනවා නම් ආලෝක කදම්බයකට පර්සෙක් එකක දුරක් යන්නට අවුරුදු 3 පමණ ගත වෙනවා.

මේ දුර ගැන යම්  අවබෝධයක් ලබා ගන්නට පහත  සැසඳීම කරන්න පුළුවන්.  පොළොවේ සිට සුර්යයා ට ඇති දුර කිලෝමීටර 150000000 (මිලියන් 150ක් පමණ) වෙනවා. මෙය පර්සෙක් වලින් නම් 0.000 005 pc පමණයි. දැන් අපි මේ දුරවල් මන්දාකිණි  දක්වා පෙන්වන්නේ කොහොමද කියා බලමු.  පර්සෙක් එකක් තව දාහකින් වැඩි කලොත් කිලෝ පර්සෙක් එකක් වෙනවා. අපේ  ක්ෂිරපථය කිලෝ පර්සෙක් 40ක් පමණ වෙනවා. එයත් අන්ද්‍රෝමිඩා චක්‍රාවටයත් අතර දුර කිලෝ පර්සෙක් 660ක් පමණ වෙනවා. එතකොට අපේ අසල්වැසියා වන  අන්ද්‍රෝමිඩා චක්‍රාවටය හා අපේ ක්ෂිරපථය අයත් වන්නේ "ප්‍රාදේශීය චක්‍රාවාට කාණ්ඩයටයි -local group of galaxies"


එයත් අනිත්  ප්‍රාදේශීය චක්‍රාවාට කාණ්ඩය වන කොමා ක්ලස්ටර් එකත් (කොමා චක්‍රාවාට ගොනුව)  අතර පරතරය මෙගා  පර්සෙක් 100 ක් පමණ වෙනවා. මේ විශ්වයේ පොඩි කොටසක් පමණයි.

ඉතාමත් ලඟදි එනම් 2011 දී සෝල් පර්ල්මුටර්,  බ්‍රයන් ශ්මිද්ට්, ඇඩම් රයිස් (Saul Perlmutter of Lawrence Berkeley National Laboratory in California, Brian Schmidt of the Australian National University in Weston Creek,  Adam Riess of the Space Telescope Science Institute in Baltimore) තිදෙනාට නොබෙල් ත්‍යාගය සමසේ ලැබුණා. ඔවුන් වෙන වෙනම සුපර්නෝවා 1a නම් තාරකා වල පිපිරුම අධ්‍යනය කලා. මේ සුපර්නෝවා 1a වලින් විහිදෙන ආලෝකය අභ්‍යවකාශයේ අති විශාල දුර මැනීමට භාවිතා කරනවා. සුපර්නෝවා 1a කියන්නේ තාරකා යුගලයක (binary stars) කුදු සුදු තාරකාව (white dwarf star ) අනිකේ ස්කන්ධය තමන්ට ඇද ගනිමින් විශාල පිපිරීමක් ඇති කිරීමයි. මේ අධ්‍යනයෙන් ඔවුන් ඔප්පු කලා විශ්වයේ ප්‍රසාරණය වීමේ වේගයේ විශාල ත්වරණයක් ඇති බව. එනම් විශ්වයේ ප්‍රසාරණ වේගය අධිවේගී වී ඇති බව.
ඉතින් මෙහි සුබලයා ගේ පින කවුද ගත්තේ. හබල් ගේ නියමයෙන් හා සොයා ගැනීමෙන්  ලේමටර් , ෆ්රිද්මන් ඉදිරිපත් කල ගැමොව් ඔප මට්ටම් කල විශ්වයේ මහා පිපිරුම හා එහි ප්‍රසාරණය පිලිබඳ මොඩලය තහවුරු කරනු ලැබුවා පමණක් නොව අයින්ස්ටයින් විසින් ඉදිරිපත් කල සාපෙක්ෂ්තාවාදයෙන් ස්ථතික විශ්වය වෙනුවට විශ්වය ප්‍රසාරණය වන බවට කළ  අනාවැකියත් සාධක සහිතව තහවුරුවුණා.

අවශ්‍ය කෙනෙකුට කාර්ල් සේගන් ලියු අභ්‍යවකාශය පිලිබඳ පොත මේ යොමුවෙන් නොමිලයේ කියවිය හැකියි.
http://www.slideshare.net/berbecaruliana/carl-sagancosmos
මීළඟ ලිපි වලින් සාමාන්‍ය ටෙලස්කෝපයක් තෝරා  ගන්න හැටි සහ ආලෝක වර්ණවලින් දුර මැනීම  පිළිබඳව සඳහන් කරමි.
පෙර ලිපි:
බිග් බැන් BigBang හෙවත් මහා පිපිරුමට නම ලැබුන හැටි

බිග් බැන් (Big Bang ) තහවුරු කල CMB

නිව්ටන් හා අයින්ස්ටයින් බිග් බැන් මොඩලයට  මග පෑදුවේද?

අවකාශ-කාලය යනු කුමක්ද හා අයින්ස්ටයින් ගේ ගණන් 

පින්තුර මුලාශ්‍රය: How the universe works by Andrew Norton

Thursday 20 November 2014

මං නන්-දන්-නෑ තිලක ගුණා

මුලදී දන්නේ නැති වුනත් පස්සේ දැන  ගත්  දෙයක් තමා  මං නන්-දන්-නෑ තිලක ගුණා මැති සඳ මම ඒ කාලේ ජිවත් වෙලා හිටි පැත්තේ ආව ගිය වග. මේ බව දැන ගත්තේ එතුමා අර පලා බබාවකටද කොහෙද මේ ලඟදි  ඉල්ලපු වෙලේ මා  දන්නා යෙහෙළියක විසින් චන්ද ඉල්ලන පත්‍රිකාවක් බුකියේ ශෙයාර්  කලාට පස්සේ. මම එය ෂෙයාර් කිරීම ප්‍රතික්ෂේප කලත් (මගේ ප්‍රතිපත්තියට අනුව )  ඒ පැත්තේ මගේ යාලු නෑදෑ පරපුරට පත්‍රිකාව යැව්වා. ඒ ගොල්ලොත් චන්දෙ දැම්මද දන්නේ නැහැ. මොකෝ ඉල්ලලා පැරදුනා, හෙවත් මඃ ජනයා විසින් තෝරා ගත්තේ නැති නිසා. මඃ ජනයා පලා බබා ලා හැටියට තෝරා ගන්නේ බබාහුකුම් ලා හා ලොකු බබාලා බව  තිලක ගුණා නොදැන සිටියාද යන්නත් ප්‍රශ්නයක්.
දැනගෙන හිටියා නම් ඉල්ලුවේ මොකද කියන එකත් ප්‍රශ්නයක්? ඉල්ලලා පැරදුන නිසා දැන් ආණ්ඩුවෙන් බල්ටියක් ගහල නැවෙන් පැන්නාද කියන එකත් ප්‍රශ්නයක්? යකෝ ප්‍රශ්න ගොඩක් නේ. ( බ්ලොග් කරන යකාට  කරන ඇමතුමක්  නොවේ. සමාවන්න :) )
ලංකාවේ පවුල්වාදය ශතවර්ෂයකට වැඩිය ඉඳල  ක්‍රියාත්මක වෙන එකක් බව දන්නෙත් නැහැ එතුමා . අනේ පව්. ඕක පවුල් මාෆියා හතර පහක් ඒ කාලේ ඉඳන්ම  ෆුට්බෝල් ගහපු රටක්.

ඉතින් මාත් ඒ තුමා පැන්න  දවසේ බුකියේ ශෙයාර්  වෙච්ච අර ෆේමස්  කතාව ඇහුව. මසුරන් වටින කතා ටිකක් කිව්වා.  පාදඩ ධනපති පන්තියක් බිහි වෙලා තිබෙනවා. අරක කරනවා  මේක කරනවා. කොමිස්  ගහනවා ආදී වශයෙන්. කතාව ඇත්ත තමා . හැබැයි ඉතින් ඉස්සරහ පේලියේ කතාව අහගෙන හිටිය ඔය කොමිස් කතාවලට නඩුවක් ඈඳී තිබෙන නායක රවියා ත්. අර අවුරුදු දෙකක් තිබ්බ ලංකාවේ කෙටිම දුෂිත  ආණ්ඩුව කාලේ. එයා  මොන පන්තියේද කියල මන් මේ කල්පොනා  කොලේ.

ඉතින් මේ පාදඩ ධනපති පන්තිය ඉස්සර ඉඳන්ම තිබුණ  එකක්නේ. ඒ කියන්නේ 77 කාලේ නගින්න ඉඩ දුන්නේ ඒ ගොල්ලටනේ. ඔන්න ඇමෙරිකාවේ නම් ඒ රටේ ජනාධිපතිවරු FBI එක දාල වැඩේ නැවැත්තුව. අර අල් කැපෝනයගේ පටන් ඔක්කොමල අල්ලලා දැම්මා ඇතුලට. දැන් තවම තිබ්බත් ගානට කොන්ට්‍රෝල් කරන ඉන්නේ . (ඒ ජනාධිපතිවරු රටට ටිකක් හරි ආදරේ ඇති. නැත්නම් තමන්ගේ ඔය හොඳයි කියන ධනපති පන්තිය වර්ධනය කරන්නේ නැහැනේ ) ජපානේ යකුස එකත් තියෙනවා. හැබැයි රටට බලපාන තීරණ උන්ට ගන්න බැහැ. අගමැති මාරු කරලා හරි යකුස කාරයන්ව නවත් වන්න ජැප්පො දන්නවා. යෙල්ට්සින් හිටි කාලේ රුසියාවේ ඔය හොර පන්තියට කිවේ ක්‍රීශා  එක නැත්නම සිංහලෙන් "වහල" කියල. වහල නැත්නම් ක්‍රීශා එකට මාස් පතා   ගාන  දුන්නේ නැත්නම් බිස්නස් කරනවා බොරු.  පුටින් කාරයා ආපු ගමන් කලේ (පොර පරණ කේජිබි කාරයා  නිසා ගේම දන්නවා) ක්‍රීශා එකට වැඩේ දුන්න එක. කොටින්ම තමන්ට අවනත කර ගත්ත. බැරි වුන් ටික හිරේට දැම්ම. උන් ඒකට  මාර  බයයි.  රුසියාවේ හිරේට යනවට වඩා ලංකාවේ  පොලිසියෙන් ආයුධ පෙන්වන්න ගිහින් වතුරේ බලෙන් පැනල මැරෙන එක ඊට සැපයිලු.  අර අවීචි මහා නරකාදියට වඩා ටිකයිලු හොඳ.
දැන් තිලක ගුණ කියන්නේ  " කුඩු කාරයෝ ධනපති වෙලා, ජාවාරම් කාරයෝ ධනපති වෙලා, කැසිනෝ කාරයෝ ධනපති වෙලා, නංගිලා රැජිනිලා  වෙලා " කියලනේ. 
මෙන්න  ඒ අය.
.

මුන්නැහේ  අර අහවල් පක්සේ ඉන්දැද්දී ඕව කියල දුන්නේ නැත්ද මන්ද. ප්‍රාග්ධනය හොයා ගන්නේ කොහොමද නැත්නම්. ප්‍රාග්ධනය හොයා ගත්තට පස්සේ නිත්‍යානුකුලව  ආයෝජනය කරන එකනේ තියෙන්නේ. 

අර සරච්චන්ද්‍රට කාණුවේ දාගෙන නෙලපු දවස් වලම අපි දැනගත්ත හැමදාම හිටිය පාදඩ නිර්ධන පන්තිය හෙවත් ලුම්පන් නිර්ධනයෝ ටික ෆෝම් කරලා අරගෙන කියල  ඒ  කට්ටියට පාන අල්ලන්න. දැන් ඕක වැඩි ඇති. නමුත් වෙන්නේ එකම සීන් එකනේ. දැන් තිලක ගුණගේ  ඉස්සෙල්ල පෙරමුණ කියන පක්සේ බලය එයාට නැතිව ගිහින් දැන් නැවත ඇල්ලුවලුනේ. අර අධිරාජ්‍ය විරෝධී "වැරදුනු දීපාගේ රාජපස්ස " හිත හොඳ කොලූ (එයාගේ යාලුවෝ කියන්නේ එහෙමයි) කොළ පාට  වෙන්න කලින් එක්කහු කර  ගෙන දෙතුන් දෙනාම  ගිහිල්ල විපස්සයේ ඉන්න පාදඩ  ධනපති පන්තිය සුද්ධ කලා  නම් හරි.  ඕකට එක්කහු කර ගන්න ටිකක් හරි හොඳ මනුස්සයෙකුට ඉන්නේ අර පින්වන්ත සිරි වීර සමරේ විතරයි. මෑන්ටත් අර පාදඩ  ධනපති පන්තිය ෆෝම් කරපු ආලයට දාසයෙක් වුනු එතුමාගේ පුතා ලෙඩේ දානවනේ. මිනිහගේ තාත්තල ඇතුළු අයනේ ඔය පෙළපාලියවලට එහෙම  ගල් වලින්, වැලි බෝතල් වලින්, පොලු වලින්,   කුන්  ෆු වලින් ගහන ලුම්පන් පන්තිය අදුන්වල දුන්නේ.  දැන් ඒක වඩා හොඳට ක්‍රියාත්මක වෙන එකනේ වෙන්නේ.

ඉතින් ඔය අව් අස්සේ අර සුද්දන්ට බනින පස්සේ රතු අලියෙ අතන සෙට් එකත් පැන්න නොපැන්න වගේ නැව් බඳේ එල්ලිලා ඉන්නවා.
(මෙන්න ආණ්ඩුවේ නැව. පුරවා ගත්ත බඩු  වැඩි වෙලා නැව  නිකන් බත්තල වෙලා. අමාරුවෙන් යනවා වගේ. )

හැබැයි ඒ කස්ටිය තවම අන්ධානෙලු. ෆස්ට් ඔෆිසර් , ගබඩා පාලක වගේ තනතුරු විතරක් අත  ඇරළලු. මට නම් හිතෙන්නේ හොඳ ශක්තිමත් පොදු අපෙස්සක නැවක් එනකන් එල්ලි එල්ලී ඉන්නවද කොහෙද? අනේ ඒ අතින්නම් අපරාදේ කියන්න බැහැ  මං නන්-දන්-නෑ තිලක ගුණා  භය නැතුව පැනලා පීන පීන ඉන්නවා.
පොදු අපෙස්සක නැව  දැනට පේන  විධිහට මේ වගේ.  ටිකක් කෙලින් කරලා ගන්න වෙයි.
ඔය අව්වස්සේ රතු බෝට්ටු ටිකකුත් යනවා (හෝ එනවා). හරි ඩිරෙක්ෂන් (දිසාවක්) එකක් තියා  කොම්පස් එකක් වත් තියනවද කියල ෂුවර් නැහැ.  ඉස්සර වමේ නායකයෝ දොස්තරලා , අධි නීතිඥයෝ නේ. ඒ ගොල්ලෝ ඉතින් කොහොමත් අන්තිමට අර ඉහල පන්තිය එක්කම ශේප් එකක්  දා ගන්නවා කියල පහල පන්තියේ අය  කියන්නේ. හැබැයි දැන් ගොඩක් වමේ වගේ අලුත්  නායකයෝ නම් ගුණාලා. ඒ කියන්නේ  තිලක ගුණා , කුමා  ගුණා , දීපාගේ ගුණා වගේ. අර ස්වයං නිර්නනේ දෙන්නේ නැති එවුන් ඔක්කොම  මාක්ස් ගේ දරුවෝ නෙමේ කියන නැතිවුන  සසපේ ගොඩේ කොත්තු මහත්තයා ඉන්ටවිව් දේශනයක් කොරල (ඒ ජාතියේ එකක් දැක්කමයි.) කුමා ගුණාට දෑත බදලා ස්වයං නිර්නේ හබලෙනුයි ජාතිය හබලෙනුයි දෙකෙන්ම ගහල.
දීපාගේ ගුණා බණ්ඩා හබලෙන් හා තක්කඩි හබලෙන් ගහල. හබල්  ලොකු වැඩි නිසා, දරා  ගන්න බැරුව කොත්තියගෙයි  දිපගුණා ගෙයි බෝට්ටු එක තැන කැරකෙනවා. මෙන්න ඒවා.
පසුගාමී වාද සමාජ එකේ කුමා ගුණා ගේ බෝට්ටුව තව පොඩි බෝට්ටු ටිකක්  ඇදන් යන්න හදනවා. කොහේ යනවද කියල මටත් ෂුවර් නැහැ. මෙන්න ඒවා. ඒවල එන්ජින් ටිකක් හොරයි. දුම් දානවා වැඩියි. භාවිතාව වැඩියි නේ. න්‍යාය වතුරේ. 
ඉතින් ඕක තමයි කතන්දරේ.  අපිලට යි ස්වයං නිර්නනේ ඉල්ලන්න ගිහින් අන්තවාදේට  කොටු වෙලා කුඩු පට්ටම් වුන අර වර්ධන වෙඩිය කිව්වා වගේ කුවන්නගේ නෑයෝ ටිකටයි, පස්සේ ආපු  නෑයෝ ටිකටයි තියෙන්නේ පොඩ්ඩක් පීනන්න  පුරුදු වෙන්න. මේ නායකයෝ ටික බෝට්ටු හදාගෙන  ගෙන, නැව් කෙලින් කොරාගෙන , කොම්පස් හොයාගෙන එන අතරේ පීනලා  හරි ගොඩ බිමට යන්න. 

ප.ලි.-මොනවා වුනත්  දුෂණයට  මර්දනයකට එරෙහිව යන ඕනෑම ගමනකට අපේ සුභ පැතුම්.

පින්තුර මුලාශ්‍ර: http://digital-art-gallery.com/picture/gallery/mafia

Tuesday 18 November 2014

රොසෙට්ටාවේ අභාග්‍යය

මා  මිට කලින් ලිපියක රෝසේට්ටා යානය 67P චෙරුමොව් -ගෙරසිමෙන්කෝ ධුම කේතුවට අවුරුදු දහයකට පසු ලඟා  වෙන බව සහ මෙහි වැදගත්කම පැහැදිලි කලා. එම ලිපියට මෙතනින් යා  හැකියි. 
http://kolambagamaya.blogspot.co.uk/2014/08/blog-post_7.html

දැන් සිදුව ඇත්තේ යානය ගුහාවක් තුලට වැටීම නිසා එහි සුර්ය කෝෂ දින දෙකකට පසු ක්‍රියා විරහිත වීමයි. යානය ධුමකෙතුවේ පොලොවට බස්සන lander නැත්නම් ගොඩබිම් යානය නම් කර ඇත්තේ ෆිලයේ (Philae) ලෙසයි. Philae යනු ඊජිප්තුවේ,  නසර් නමැති වැවෙහි ඇති දූපතකි.  ගොඩබිම් යානයේ පින්තුරයක් පහත දැක්  වේ.


දැනට බලාපොරොත්තුව යානයේ බැටරි නිම වන්නට කලින් එවූ දත්ත වලින් සොයා ගැනීමට අදහස් කල ප්‍රශ්න වලට පිළිතුරු ලැබුණාද යන්නයි.

විශ්වයේ උපත, සෞරග්‍රහ මණ්ඩලයේ උපත මෙන්ම  ජීවයේ උපත පිළිබඳවද දැනට ඇති නිගමන හා මොඩලයන් (උදා: bigbang මොඩලය ) වඩාත් තහවුරු කිරීමටත් මේ දත්ත වැදගත්.  මෙම මිෂන් එක 2015 දෙසැම්බර් 15 වනදා දක්වා දිව යන්නක්. ගොඩබිම් යානයට අමතරව රොසෙට්ටා ඕර්බිටර් (කේතුව වටේ කැරකෙන මව්  යානය)  ද පරීක්ෂණ සිදු කරන්නට නියමිතයි.

මේ පිලිබඳව ලීඩ්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජෝන් ප්ලේන් පවසන්නේ මෙහෙම දෙයක්. "අපි දන්නවා ධුම කේතු වල ඇමිනෝ ඇසිඩ් හා පෙප්ටයිඩ්ස් වැනි කාබනික මොලේකියුල සැදෙන බව.  දැනට අපි දන්නේ නැත්තේ මෙය කේතුවේ න්‍යෂ්ටියේ හැදිලා වාෂ්ප වී යනවද නැතිනම් කේතු වල්ගයේ ඇති දුහුවිලි වල ෆොටෝරසායනික photochemical ක්‍රියාවලියකින් හැදෙනවාද කියා. එතකොට න්‍යෂ්ටියේ සැදුන  නම් මෙම දුර්වල මොලේකියුල පොලොවට පතිත වීමේ ඉඩකඩ වැඩියි. හැදුනේ කේතුවේකෙළවර දුවිලි වලින් නම් පොලොවට ඒමට ප්‍රථම ඒවා විනාශ වී (උල්කාපාත වගේ)  යනවා.  ගොඩබිම් යානයට ( Philae ) chiral amino acid - අසමමිතික (කයිරල්) ඇමිනෝ ඇසිඩ් සොයා ගන්න පුළුවන් නම් එක අතිශයින් වැදගත්.- අසමමිතික (කයිරල්) ඇමිනෝ ඇසිඩ් කියන්නේ එකම වගේ නිමවුමක් ඇති ඇමිනෝ ඇසිඩ් නමුත් එකිනෙකාගේ ප්‍රතිබිම්බයක් වගේ (mirror image). මෙහි වැදගත්කම නම් පෘතුවියේ ඇති ජිව වර්ගවල ඇත්තේ මින් එකම එක chiral   කාබනිකයක් පමණයි. "

දැන් ඔබ දන්නවා ඇති පෑන්ස්පර්මියා (Panspermia) යන උපකල්පනය ගැන. ඒ කියන්නේ විශ්වයේ හැම තැනම ජිවය ඇති බවට උපකල්පනය කිරීම. මෙහි ප්‍රභේද තුනක් තිබේ.
1.  ලිතනො පෑන්ස්පර්මියා (interstellar panspermia) - ග්‍රහලෝකවලින් විසිරුණු ගල් (rocks ) වලින් ජිවය ඇතිවීමට අවශ්‍ය මොලේකියුල පැතිරීම 
2. බැලිස්ටික් පෑන්ස්පර්මියා (interplanetary panspermia) ඉහත ආකාරයටම නමුත් ග්‍රහලෝකයෙන් ග්‍රහලෝකයට ජිවය පැතිරීම
3. මගපෙන්වන පෑන්ස්පර්මියා (Directed panspermia)  වෙනත් වඩා දියුණු ජීවින් විශේෂයක් මගින් ඕනෑ කමින් මෙය පැතිරවීම 

බකිංහැම් විශ්ව විද්‍යාලයේ  මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ ඉහත උපකල්පනය සඳහා දත්ත සොයන ප්‍රසිද්ධ විද්‍යාඥයෙක්.

ඉතින් මම ගොඩබිම් යානයේ දත්ත කොතරම් වැදගත්ද කියා හිතෙනවා නේද?

මේ ධුම කේතු ගැන සොයන යානයට අමතරව ඇස්ටරෝයිඩ හෙවත් උල්කාපාත ගැනත් සොයන්න යානා යවා තිබෙන අතර ඉදිරියටත් යවන්න සැලසුම් කරලා තිබෙන්නේ. 2007 දී යැවු ඩොව්න් (Dawn ) වෙස්ටා හා සිරෙස් නමැති protoplanet (මුලික ග්‍රහ ලෝක - කුඩා පර්වත දෙකක් වැනි) ගැන හොයන්න යවා  තිබෙනවා. එහි ආයු  කාලය 2015 දී අවසන්.

මේ ධුම කේතු වලට යානා යැවීම  හා  උල්කාපාත  (ඇස්ටරොයිඩ් ) වලට යානා බැස්සවීම හා පරීක්ෂණ ප්‍රධාන හේතු දෙකක් නිසා කෙරෙන්නක්.
එකක් නම් ඒවා වල ඇති මුලද්‍රව්‍ය (ලෝහ) පොලොවට ගෙන ඒමයි. දෙවැන්න ඒවා විනාශ කිරීමට ඇති හැකියාව සොයා බැලීමයි.

ලෝකය දෙසට ඇති විශාල උල්කාපාත  (ඇස්ටරොයිඩ් ) කඩා  වැටෙන්නට හැකි බවත් එයින් ලෝක විනාශය අපි හිතනවට වඩා  කළින් ඇති විය හැකි බවත් සුප්‍රසිද්ධ තාරකා භෞතික විද්‍යාඥ ස්ටීවන් හොව්කින්ස් පවසා තිබුණා. ඔහුගේ අදහස නම් මිනිස් වර්ගයාගෙන්  කොටසක් හෝ වෙන ග්‍රහ ලෝකයකට රැගෙන යා  යුතු බවයි.
මේ අදහස ක්‍රියාත්මක  කිරීමට හෝ ඇස්ටරොයිඩ් විනාශ කිරීමට හෝ ඒවා හාරා දුර්ලභ ලෝහ සෙවීමට පර්යේෂණ  යානාවන්  යැවීම අනිවාර්යයි
රිචර්ඩ් බ්‍රැන්සන් ගේ ගැලක්ටික් යානය කඩ වැටීම තවත් රෝසේට්ටවේ ගොඩබිම් යානය නැවතීම වගේම තවත් පසු බෑමක්.

නමුත් ඉන්දියාව, චීනය මේ අභ්‍යවකාශ තරඟයට එක්වී තිබෙන අතර, ඇමෙරිකන් ආණ්ඩුව සමග තිබෙන ප්‍රශ්න නිසා ජාත්‍යන්තර අභ්‍යාවකාශ නැවතුම් පොලට එක්වීම ඉදිරියේදී  අත හැර රුසියාව තමන්ගේම නැවතුම්  පොලක් සැදීමට සැලසුම් කරනවා. රුසියාවට මීර් නමින් අවුරුදු ගානක් අභ්‍යාවකාශයේ නැවතුම් පලක් තුබූ අතර ඔවුන්ට මේ ගැන තිබෙන අත්දැකීම් සන්කයව අනිත් රටවලට වඩා වැඩියි. ඊට අමතරව බර බදු ගෙනයන හොඳම රොකට්ටුව ඇත්තෙත් ඔවුන්ට. මේ නිසා ලෝකය නැවතත් 1960 ගණන් වල වගේ අභ්‍යාවකාශ  තරඟයකට පෙළ ගැස්වෙන බවක් පෙනී යනවා.
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටය.
ඉදිරි අවුරුදු පනහ තුල ජිවත් වීමම ඉතාමත් උනන්දුව හා කුතුහලය වඩවන එකක් විය හැකියි.

මුලාශ්‍ර:
1. http://www.leeds.ac.uk/news/article/3624/esas_rosetta_mission__what_is_the_comet_lander_looking_for
2. http://www.panspermia-theory.com/
3. http://sci.esa.int/rosetta/54342-missions-to-asteroids/

Tuesday 11 November 2014

විසි පස් වසරකට පෙර ඇද වැටුණු බර්ලින් තාප්පය, පූටින් හා ස්ටාසිලන්තය


බර්ලින් තාප්පය ඇද  වැටුන කාලේ අපි සෝවියට් දේශයේ ශිෂ්‍යයෝ. අපි බටහිර බර්ලිනයට හෝ එංගලන්තයට ආවේ දුම්රියේ. ඒක හරි රසවත් ගමනක්.  දුම්රිය ලන්ඩනයට  එන්නම දවස් තුනක් යනවා. රුසියාව, බෙලෝ රුසියාව හා පෝලන්තය පහු කරලා තමා එන්නේ. ඒ දවස්වල බර්ලිනය ලං වෙනකොට බර්ලින් තාප්පය පේන්න  පටන් ගන්නවා. ඉස්සෙල්ලම දකින වෙනස තමා  අති  විශාල වෙළඳ දැන්වීම් පුවරු. සාමාන්‍යයෙන් සමාජවාදී රටවල වෙළඳ දැන්වීම ඒ වගේ තිබ්බේ නැහැ. ඉතින් අපි දුම්රියේ ඇවිත් ෆ්‍රෙඩ්රික්ස්ට්‍රාස (Friedrichstrasse) කියන දුම්රිය පොලෙන් බැහැල , චෙක්පොයින්ට් චාලි කියන බර්ලින් තාප්පය මැද  හරියේ තියෙන ප්‍රසිද්ධ රැකවල්  ගේට්ටුව පහු කරලා තමා බටහිර බර්ලිනයට එන්නේ.  විදේශිකයන්ට ඒක  යටින් තිබෙන උමගින් ගිහිල්ල ආගමන විගමන නිලධාරින් පහු කලාම  වැටෙන්නේ බටහිර බර්ලිනයේ   සූගාර්ඩ්න් (Zoo Garden) උමන් නැවතුම් පොලට.  (පහත තියෙන්නේ එහි මුල් කාලයේ තාප්පය.)
දැන් ඊයේ මෙර්කල්, ගොර්බචෝව් හෙම ඇවිල්ල තාප්පය බිඳ හෙලා ජර්මනිය එක්සත් වුනු  25 වන අවුරුද්ද සැමරුවා. එහිදී ගොර්බචෝව්, තාප්පය බිඳ හෙලීමට උදව් දුන් සෝවියට් නායකයා  පුටින්ගේ මතය තහවුරු කරමින් කතා කලා. බටහිර විසින් සෝවියට් දේශය රැවටු බව. ගොර්බ කියන කතාව ටිකක් ඇත්ත . සෝවියට් දේශය නය ඉල්ලලා තිබෙනවා බටහිර ජර්මනියෙන් තාප්පය අයින් කරනවට. ඒක ලැබුනෙත් නැහැ. අනික නැටෝ එකට රුසියාව ගන්න කියල ඉල්ලා තිබෙනවා. එය ලැබුනෙත් නැහැ. පහල මුල් පින්තුරයෙන් නැගෙනහිර ජර්මානුවන් බටහිර දෙස බලන අයුරුත් , දෙවැන්නෙන් තාප්පය බිඳින අවස්ථාවකුත් දැක්වෙනවා . 

දැන් එතකොට මේ සිද්ධිය වෙනකොට පුටින් හිටියේ කොහෙද? පුටින් හිටියේ ඩ්‍රෙස්ඩන් කියන නගරයේ. පුටින් සෝවියට් තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් කියල කියනවා (විකිපෙඩියා එකේ වෙන විධිහකට තිබෙන්නේ). තුන්වන ලේකම් හැටියට සාමාන්‍යයෙන් දාන්නේ කේජිබී නිලධාරියෙක්. පුටින් කේජිබී විදේශ සේවා අංශයේ කෝප්‍රල් කෙනෙක් හැටියට පටන් අරන් ලුතිනන් තත්වයේ සිටිද්දී තමා ඩ්‍රෙස්ඩන් හිටිය කියන්නේ. ඒ නගරයේ විදේශික ශිෂ්‍යයන් එහෙම  හිටි නිසා සෝවියට් කඳවුර සඳහා විදේශිකයන්ගෙන් ප්‍රවෘත්ති එක් රැස් කරනවා වගේ මහා නීරස රස්සාවක් තමා කරලා තියෙන්නේ. 

1989 නොවෙම්බර් 8 වෙනිදා මේ තත්වය වෙනස් වුනා. තාප්පය හරහා යන්න නැගෙනහිර ජර්මන්  රජය අවසර දුන්න. ගොර්බාගේ නායකත්වයෙන් යුත් සෝවියට් රජය නිහඬ වුණා. මේක බුෂ් (ඇමෙරිකන් ජනාධිපති) හා හෙල්මුට් කෝල් (බටහිර ජර්මන් චාන්සලර්) සමග කලින් ඇතිකරගත් එකඟත්වයක ප්‍රතිපලයක්. ඩ්‍රෙස්ඩන් වල තිබ්බ නැගෙනහිර ජර්මන් රහස් ඔත්තු සේවය හෙවත්  ස්ටාසි එකේ ගොඩනැගිල්ලක්.  මේකේ ගොඩක් තිබුනේ ස්ටාසි එක විසින් නැගෙනහිර ජර්මන් වැසියන්ගේ  පෞද්ගලික විස්තර හොයල ඔත්තු සේවා සඳහා තබා  ගත්ත දත්ත. බර්ලින් තාප්පය කඩන රැල්ලේදී මිනිස්සු මේකටත් පහර දීල මේ ෆයිල් හා දත්ත විනාශ කලා. (හැබැයි මිනිස්සු එන්න කලින් ස්ටාසි ඔත්තු කරුවන් තමන්ව අපරාධකරුවන් හැටියට චෝදනා කල හැකි වන  ගොඩක්  ෆයිල් තමන්ම විනාශ කරලා තිබුන.) පස්සේදී මිනිස්සු මේවා ආරක්ෂා කලා නඩු සඳහා. නමුත් මේ ඇතිවුන ජනතා නැගිටිමේදී ඒ ගැන කවුරුත් කල්පනා කලේ නැහැ.

අද පරණ නැගෙනහිර ජර්මනියේ ඩ්‍රෙස්ඩන්, ලිප්සිග් වැනි නගර වල හා තුරින්ගියා ප්‍රදේශයේ තත්වය බර්ලිනයට වඩා වෙනස්. බර්ලිනයේ මේ තාප්පය වැටීම සමරද්දී නැගෙනහිර කට්ටිය පරණ සමාජවාදී පක්ෂයට චන්දය දීල. ඔවුන්ට ඕනේ මුලින් තිබ්බ වගේ මාපියන් වැඩට යනවා නම් ළමයි බලන්න හදල තිබ්බ නිකේතන (මේවා අතිශයින් කාර්යක්ෂම හා හොඳ ඒවා. වැඩ කරන අයත් ළමයි ගැන, ළමා මනෝ විද්‍යාව ගැන  උපාධි පවා අරගත් අය) නැවත  ඇති කරන්න . සමහර ඒවා දැනටමත් තිබෙනවා. ඒවගේම මුලින් තිබ්බ ජිවිත කාලයටම බලපාන රැකියා, ආදියත් ඔවුන්ට ඕන වෙලා. 

මෙතනින් පස්සේ ලියන මේ ටිකට මට කිසිම සාක්ෂියක් නැහැ. අහපු කතාවක් විතරයි. 
අර උද්ඝෝෂණ කරපු නැගෙනහිර ජර්මන් වැසියන් ඊළඟට ඇවිල්ල තිබෙන්නේ පුටින් හිටපු ගොඩනැගිල්ලට. එකට පහර දීල විනාශ කරන්න ඒ අයට ඕන වෙලා තිබුන. මොකද ඔවුන් දැන සිටිය මෙතනත් intelligence gathering හෙවත් මිනිසුන්ගේ රහස් දත්ත ගබඩා කරල  තිබෙනවා කියල. හැබැයි මේක රුසියානු තානාපති කාර්යාලයට අයිති ගොඩ නැගිල්ලක්. ඒ කියන්න තානාපති නීති හා ආචාර  පද්ධති වලට අනුව සංග්‍රාහක (host ) රටේ පොලිසියට වුනත් ඒවා ඇතුලට යන්න බැහැ රජයේ විශේෂ අධිකරණ බලයකින් තොරව. ලංකාවෙත්  එහෙමයි. තානාපති කාර්යාල හා ගොඩ නැගිලි භුමිය අයත් ඒ රටට.  මේ ගොඩ නැගිල්ල ආරක්ෂා කල භටයන් ඔවුන්ට එන්න ඉඩ දුන්නේ නැහැ. නමුත් මිනිස්සු තල්ලු කරගෙනම එනවා. නවත්වන්න විධිහක් නැහැ. වෙඩි තිබ්බොත් යුධ අපරාධ චෝදනා එන්නත් පුළුවන්. කවුරුත් දන්නේ නැහැ මොනවා වෙනවද කියල. පුටින් හා ඔහුගේ ඊළඟ  උසස් නිලධාරියා හමුදා සහය ඉල්ලුව. මේ කාලේ රතු හමුදාවේ කොටස් නැගෙනහිර ජර්මනියේ තැන් තැන්  වල රැදී හිටිය. ඕනේ වේලාවක බටහිර ආක්‍රමණයකට මුහුණ දෙන්න. නමුත් මේක සුවිශේෂ අවස්ථාවක් නිසා ඔවුන් ආවේ නැහැ. පුටින් ගේ කට්ටිය කීව  හමුදා නිලධාරීන්ට මොස්කව් වලින් අහන්න කියල. ඔවුන් කියල තියනවා "moscow silent " කියල. මොස්කව් ඒ කියන්නේ සෝවියට් දේශයේ ඉහල පාලනාධිකාරය නිහඬයි කියල. කවුරුත් තීරණයක් ගන්නේ නැහැ. 
දැන් මේ ගොඩනැගිල්ලේ හිටපු අධිකාරි බලය ඇති ඉහල නිලධාරියා (rank) පුටින්. පුටින් තමන්ගේ පිස්තෝලය  අරගෙන  අනිත් සොල්දාදුවෝ අට දෙනාට කියල ඉදිරියට එන්න කියල තමන්ගේ ආයුධ load කරගෙන.  ඇවිත් ගොඩනැගිල්ලට කඩා පනින්න තැත්  කරන ජර්මන් වැසියන්ට කියල තිබෙනවා "ඔහු ළඟ හා අනිත් සොල්දාදුවන් ළඟ  මුනිස්සම් 120-130 පමණ තිබෙනවා. ඔහු හමුදා නිලයක් දරන්නෙක්. ඔහුට තිබෙන නියෝගය තමා, තම රටට අයිති දේපල හා භුමිය ආරක්ෂා කිරීම. ඒ නිසා ගොඩනැගිල්ලට  බලෙන් ඇතුළු වුනොත් වෙඩි තබන බව. ජර්මානුවන් කියා තිබෙනවා ඔවුන්ගේ පිරිස වැඩි බව හා පුටින්ලා ගේ සංඛ්‍යාව අඩු බව. නමුත් පුටින් තදින් කියා තිබෙනවා ඔහු වෙඩි තබන්නට නියෝග කරන බව. " ටික වෙලාවකට පසු පැමිණි ජර්මන් වැසියන් විසිර ගොස්  තිබෙනවා. ඔවුන් විශ්වාස කලා පුටින් වෙඩි තබන බව. මන් හිතන්නේ නිදහස ලැබෙමින්  තිබියදී අනිවාරතේ මැරෙන්න කාටවත් ඕනේ නැතිව ඇති. අනික කිසිම  මරණයක් මේ තාප්පය වැටෙද්දී සිදුවුනේ නැහැ. නැගෙනහිර ජර්මන් කොමියුනිස්ට් පක්ෂ නිලධාරින්  බලය පාවිච්චි කලෙත්  නැහැ තම වැසියන්ට විරුද්ධව. 
මින් දවස් කීපයකට පස්සේ කේජිබී එකෙන් පුටින් නැවත ලෙනින්ග්‍රාද් (ශාන්ත පිතර්බුර්ගයට ) නගරයට කැඳවා  තිබෙනවා.

සමහරවිට පුටින් තම රටේ බලය තිබු අය මෙහිදී නිහඬව සිටිමින් තමන් පාවාදීම පිළිබඳව කෝපයක් ඇති කර ගන්න ඇති. ඉන්පසු ඔහු කේජිබියෙන් ඉවත්වී ශාන්ත පිතර්බුර්ග නගරාධිපති සොබ්චාක් ළඟට  වැඩට යනවා. එතන සිට දිගටම උඩට ආ  ගමන නතර වුනේ ජනාධිපති වීමෙන්. 

පුටින් මහා රුසියන් ජාතිවාදයට අනුග්‍රහ දක්වමින් රුසියානු ඔර්තොදොක්ස් පල්ලියේ  අනුග්‍රහයද ලබමින් එක්තරා අන්දමක ඒක  පාක්ෂික පාලනයක් ගෙන යන්නෙක්.  ගොර්බචෝව් කල වැරැද්ද හැටියට ඔහු දකින්නේ මිනිසුන්ට දේශපාලන නිදහස දීම. ඔහුට අනුව මිනිසුන්ට දෙන්නට තිබුනේ   චීනයේ වැනි ආර්ථික නිදහසක් ධනවාදය නැවත ස්ථාපිත කරන්න. දැනට පෙනෙන්නේ ඔහු ඒ අනුව කටයුතු කරන බවයි. ඔහු යටතේදී රුසියාව නැවතත් ධනවත් රටක් බව පත් වෙලා තිබෙනවා. රුසියානු රන් සංචිතය ඉහලයි. ඔහු වැඩිමහල් උදවියට දුන් විශ්‍රාම වැටුප වැඩි කරලා සමජ සුභ සාධක දීමනාත් තරමක්‌  වැඩි කරලා තිබෙනවා. වැටී තිබුන ආරක්ෂක දෙපාර්තමේන්තුව හා හමුදාව නැවත ගොඩ නංවා  තිබෙන අතර , අභ්‍යවකාශ විද්‍යාව හා අභ්‍යවකාශ යානා  සැදීම සඳහා යොදන  මුදල් හා සම්පත් වැඩිකර විද්‍යාත්මක ගවේෂණ සඳහාද මුදල් වැඩි කර තිබෙනවා. මේ නිසා බටහිර අකමැති වුනත් වැඩි මිනිසුන් ප්‍රමාණයක් ඔහුට කැමතියි රුසියාව  තුල.

පුටින් ගේ ක්‍රියාවලින් පෙනෙන්නේ ඔහු ස්ටාලින්වාදියෙක් බව. නමුත් ඔහු ලෙනින්වාදියෙක්  වත් මාක්ස්වාදියෙක් වත් නොවේ.

මුල්ම පින්තුරය: ඇනා ෆුන්ඩර් ගේ නවකතාව ස්ටසිලන්තය (මේ දවස් වල පරිවර්තනය කරගෙන යනවා. ළඟදීම  බ්ලොගයකින් කියවන්නට ලැබේවි.) 
-අජිත් ධර්මකීර්ති 


Saturday 8 November 2014

අන්ධභූත ජාතකේ ග්‍රීස් ගාමිණී

මේ කතාව ලියන්න හිටියේ සිද්ධිය වුන දවස් වලමයි. නමුත් වෙලාව මඳ වීම නිසාත් ජාතක කතාවේ නම මතක නැතිව හිටි නිසාත් පසුවුනා ලියන්න. පස්සේ අපේ මේ දිසා පාමොක් යාළුවෙක් නම මතක් කරලා දුන්නා. එයට ස්තුතියි.

කතාව මේකයි. මේ කතාව ගැන කවි බණකුත් අන්තරස්ධාන ජාලයේ යු ටියුබය පැත්තේ සැරි සරණ බවකුත් දැන ගන්නට ලැබුනා . මේ ජාතක කතාව බුදු හාමුදුරුවෝ කිව්වද කියලත් වෙලාවකට කුකුසක් පහලවෙනවා කියවගෙන යනකොට . ආලයෙන් අන්ධ වුනු හාමුදුරු නමක් අරභයා කිව්වා කියල තමා කියන්නේ. හැමදාම කියනවා වගේ බරණැස් නුවර කියල නගරෙක එක රජ කෙනෙක් හිටියලු. රජතුමා දාදු කැටේ (dice) සෙල්ලන් කරන්න හෙන දස්සයාලු. හැබැයි හැම වෙලේම දිනනවලු. පුරෝහිත බමුණා එක්ක සෙල්ලම කරන හැම වෙලේම බමුණා පරාදයි. හැබැයි රත්රන් දාදු කැටේ රිදී මේසෙට අත හරින කොට රජතුමා කවියක් කියවනවලු. සොබා දහමේ නියමයක් ලෙස ගඟක් හැරි හැරි ගලන්නේ සොබා දහමේ නියමයක් ලෙස කැලේ ගස් වැඩෙන්නේ අවස්ථාවක් ලැබූ පමණින් ගැහැණු වරදින් බැඳෙන්නේ (හැම ගැහැනියෙක්ම චපලයි ) (immoral) අර කවියකුත් ඒ කාලේ අහල තියනවා "අවසර ලද රහස් තැන - ගැහැණු කවුරුද වරදේ නොබැඳෙන " කියල.

වැඩේ කියන්නේ මේක හාමුදුරුවරු දේශනා කරන කොට උපසක්කම්මලත් සාධු කාර දෙනවා. තමන් ගැන ඕවගේ අන්තවාදී කතාවක් කියද්දීත් සාධුකාර දෙන අපේ අම්මල වගේ අහිංසක හිත හොඳ ලංකාවේ කාන්තා පක්ෂය ගැන දුක නැද්ද? ඉතින් මේ කවිය කියන්නේ මහා සත්‍යයක් නිසා (ඒ කාලේ බ්‍රාහ්මණ ඇදහීම් වල හැටියට) මේක කියන තාක්කල් පුරෝහිත බමුණට මංඤන් වෙලා පොර පරදිනවා. රජු දිනනවා. ඔහොම යනකොට පුරෝහිතය නැතිවෙන සයිස් එකට දැන් ගේම සෙට්. පුරෝහිත තැන කල්පනා කරනවා
"මෙහෙම හරියන්නේ නැහැ. වැඩක් දෙන්නම ඕනේ. මම කිසිම පිරිමියෙක් දැකපු නැති පුංචි ලමිස්සියක් ගෙදර තියා ගන්න ඕනේ කියල. පස්සේ පොරට ඔළුවට ආවා , නැහැ, හොඳම වැඩේ අලුත ඉපදුණු පුංචි ගෑනු දරුවෙක් තමන් යටතේ අරන් හදා ගෙන ගෙයි යතුරු දාල තියා ගන්නවා කිසිම පිරිමියෙක් පේන්නේ නැති වෙන්න. එතකොට ඒ කෙලිත්ති එක මිනිහෙක් ගැන විතරයි හිතන්නේ. එතකොට මට රජාව පරද්දල පොහොසත් වෙන්න පුළුවන් "
මේ වගේ. දැන් ඉතින් බලන්න පින්වත්නි මෙහෙම කතාවක් දැන් හිතල ක්‍රියාත්මක කලොත් "ළමා අපචාර " යටතේ නඩු වැටිලා හිරේ ලගින්න වෙන්නේ.

ඉතින් පුරෝහිතය පුංචි ළමෙක් හොයන කොට දැක්ක බඩදරු දුප්පත් කාන්තාවක්. පොර අනාවැකි කියන නිසා දැනගත්තලු ලැබෙන්න ඉන්නේ ගැණු දරුවෙක් කියල. ඉතින් මේ ගල් බමුණා අර කාන්තාවට සල්ලි දීල නම්ම ගෙන තමන්ගේ ගෙදර ගෙනත් තියන් ඉඳල ළමය හම්බ වුනාට පස්සේ තෑගි බෝග දීල යව්වලු, දැන් ළමය හැදෙනවලු බමුණු ගෙදර. තාප්ප 7ක් වටේට දාල, බල කොටුවක් වගේ මාලිගාවේ ගැහැණු සේවිකාවෝ විතරයි ළමය බලන්න ඉන්නේ. මේ ළමය හරි ලස්සනට හැදෙනවා. තුදුස්විය පැමිණුනාම බමුණ (ඒ කියන්නේ ළමයට අවුරුදු 13 වුණාම කසාදත් බඳිනවා.

ඒ කියන්නේ ඉතින් දන්නවනේ. ඕව දැන් කාලේ නම් හිරේ යන වැඩ. ) පහල පින්තුරයෙන් පෙන්වන්නේ යේමනයේ අඩුවයස් මනාලියෝ දෙදෙනෙක්. (තවම වෙනවා ඔය ආකාරෙ වැඩ)
 ඔය අතරේ පුරෝහිත බමුණා රජ්ජුරුවන්ට චැලේන්ජ් එකක් දානවා ආපහු දාදු සෙල්ලම් කරමු කියල. රජතුමා කැමති වෙලා සෙල්ලම් කරනවා. හැබැයි අර කවිය කියල ඉවර වෙනෙවත් එක්කම බමුණා කියනවා "මගේ ගෑනු ළමය ඇර (අනිත් හැමෝම චපලයි) " කියල. මේක අහල රජතුමා මංඤන් වෙලා පරදිනවා. රජතුමා බැලුව වැඩේ හරියන්නේ නැහැ තමන්ගේ මේ මහා සත්‍යයට සීරියස් තර්ජනයක්, මොකක් හරි කොස්සක් තියෙනවා කියල. සුචරිත පතිවත රකින කෙල්ලක් බමුණාගේ ගෙදර ඉන්නවා ඇති කියල හිතල රජතුමා මිලිටරි ඉන්ටලිජන්සිය යවල චෙක් කරලා බලනවා. බලන කොට රජතුමා හිතපු විධිහ හරි. ගෑනු ළමයෙක් ඉන්නවා නේන්නම්.

 රජතුමා එන්න කියනවා ගෑනු දැපනේ දාගන්න දක්ෂ පිරිමි gigolo (ගිගොලෝ) (ජි මල්ලි කියමු ) කෙනෙකුට. දෙනවා මේ ගනු දරුවාව වරදේ පොලම්බවගන්න කොන්තරාත්තුව. පොරත් ගිහිල්ල අර බමුණු මාලිගාව ගාව සුවඳ විලවුන් විකුණන කඩ කෑල්ලක් ප්‍රාදේශීය සභාවට පගාවක් දීල අරගෙන (නැත්නම් ඕව එකපාරටම ගන්නත් බෑනේ ) මල් නුයි (අර මල් නෙමේ) සුවඳ කුප්පියි විකුනනවා. අර බමුණු ගෙදර පොඩි කෙල්ලගේ ටිකක් වයස සේවිකාවත් මෙතනින් යනව එනවා. දවසක ජි මල්ලි අර සේවිකාවගේ දෙපතුල ළඟ වැටිලා කියනවා "මේ ඉන්නේ මගේ අම්ම. මම අම්මව හොයා ගත්ත වගේ කියල" හෙන රංගනයක් දාල සේවිකාව රවට්ටනවා. ඊට පස්සේ අර සේවිකාවට නිකන් මල්, සුවඳ කුප්පි දෙනවා ගොඩක්. බමුණාගේ කෙල්ල අහනවා දවස් කීපයක් ගියාම සේවිකාවගෙන් මෙච්චර මල්, සුවඳ කුප්පි ගන්න බමුණා දැන් වැඩිපුර සල්ලි දෙනවද කියල. සේවිකාව කියනවා මොන පිස්සුද දිගු කලක් නැතිව හිටි මගේ පුතා ඇවිත් අර කඩේ දාගෙන ඉන්නවා. එයා මට මේවා නිකන් දෙන්නේ කියල. කෙල්ලට ටක් ගාල පැහැදීමක් ඇතිවෙනවා වැඩේට.

මේ අතරේ ජි මල්ලි හෙන දුක මුණක් දාල සේවිකාවට කියනවා පොරට කෙල්ල ගාවට යන්න ඕනේ නැත්නම් මම ලිඳේ පනිනවා, වතුර බීල මැරෙනවා , අස්ස කෝච්චියකට පැනල මැරෙනවා ඔන්න ඔහොම. පස්සේ සේවිකාව පොඩි මායමක් දාල පොරව ඇතුලට ගන්නවා. ජි මල්ලි අර ගෑනු ලමයව වරදේ පොළඹව ගන්නවා. ඒ මදිවට දවස් කීපයක් කෙල්ලගේ කාමරේ ලැගල කෙල්ලට කියනවා බමුණට ටොක්කක් දෙන්න ඕනේ කියල. කෙල්ල බමුණා ඉස්සරහ නැටුමක් දාන්න ඕනේ කියල ඉල්ලලා , පස්සේ ලැජ්ජයි කියල බමුණාගේ ඇස් රෙදි කඩකින් බඳිනවා. බමුණා බට නලාව වයන අතරේ ජි මල්ලි ඔටු මොල්ලියක් වගේ උඩට ඉදිමිලා එන්න බමුණු ඔළුවට දඩ ටොක්කකුත් දෙනවා. බමුණා කෙල්ලගේ අත අල්ලලා කියනවා , ඔබේ අතනම් සුමුදුයි මගේ පණ , නමුත් පහරට දැස නිලංකාර වුණා කියල.
ජි මල්ලි ගිය වැඩේ සාක්ෂාත් කරගෙන රජතුමා හම්බ වෙලා ගිහිල්ල සම්පුර්ණ රිපෝර්ට් එක ෆයිල් කරනවා. ඊළඟ දවසේ දාදු සෙල්ලමේදී රජතුමා සුපුරුදු පරිදි ශ්ලෝකය කියනවා. බමුණා කියනවා නැහැ මගේ කෙල්ල සුචරිතයි කියල. රජතුමා කින්ඩි හිනාවක් දාල අර අල්ලස් කොමිසමේ ෆයිල් ඇමතිවරු අතට දීල කටවල් ලොක් කරනවා වගේ, රජතුමාගේ ඔපරේෂන් ගිගොලෝ එකේ වාර්තාව බමුණට දෙනවා.

ඇස් බැඳලා නටන සීන් එකේ ඉඳන් ඔළුවට ටොක්කක් අනපු එකත් කියල රජතුමා කියනවා කිසිම ගැහැණියෙක් එක මිනිහෙකුට විතරක් විශ්වාසයෙන් ඉන්නේ නැහැ කියල. (ජාතක කාරයට මෙතැනදී අමතක වෙනවා අර ගිගොලෝ ගැනයි, රජ තුමාගේ අන්තඃ පුරෙයි .) බමුණා ගේම පැරදිලා හන්දියේ බාර් එකක ෂොට් එකක් දාගෙන ගෙදර ගිහින් කෙල්ලත් එක්ක වලිය ඇද ගන්නවා. කෙලිත් අත අරින්නේ නැහැ.

කියනවා, ගිනි මාලයක් ගහපන් මට පනින්න. මම වෙන පිරිමියෙකුගේ අතින් අල්ලල තියෙනවනම් මව පිච්චිලා මැරෙන්න ඕනේ. ඊට පස්සේ අර සේවිකාව හරහා පණිවිඩයක් අරිනවා අර ජි මල්ලිට ඇවිත් පනින්න කලින් අතින් අල්ලන්න කියල. පොරත් මොන වුනත් ඇවිත් ඒක කරනවා. බමුණා හැබැයි ඒත් කෙල්ලව එලවනව. මේ ජාතක කතාවේ ඊට පස්සේ තියන දේවල් ලිව්වොත් ගෑනු ළමයි ගහයිද දන්නේ නැහැ මට .

"ගැහැණුන්ගේ දරුණු කම වටහා ගන්න. ඔවුන් හැම අපරාධයක්ම කරති. , තමන්ගේ ස්වාමියාට දිවුරා පොරොන්දු දී ඒවා කඩ කරති. හදවත් නැති ගැහැණුය ඔවුන්. වරදෙහි බැඳෙති හොර රහසේ" ඔන්න ඔය වගේ. අර එක ආගමක කට්ටියක් තමන්ගේ ගෑනුන්ට මුළු ඇඟම වහගෙන යන්න කියනවා. එයාලගේ අහවල් එක කැළඹෙයි කියල බයට.

 ඉතින් කල්පනා කරලා බලන්න පින්වතුනී, අර කවුද කියනවා ග්‍රීස් ගාමිණී අර පොඩි දරුවා පැහැරගෙන තියෙන්නේ ෆේස්බුක්, යු ටියුබ්, නිල් චිත්‍රපටි බලල කියල. ඒකගේ ගෙදර ෆොටෝ පත්තර වල ගියානේ . මට නම් හිතුනේ යු ටියුබ් තියා එස්ලෝන් ටියුබ් එකක්වත් නෑ කියල ඒ ගෙදර නම්. නමුත් මේ පුතය අම්ම එක්ක පන්සල් යන්න ඇති බණත් අහන්නැති ඒ කාලේ. ජාතක කතා , කවි බන අහන්න ඇති. පොරට හිතෙන්න ඇති බමුණා කලා නම්, ඒකට අනිත් උන් සාදුකාරත් දෙනවනම් මන් කලාම මොකද වෙන්නේ කියල.

මේ අතරේ තව අහිංසක පුත්තු සුද්දන්ට , මේ බ්‍රිතාන්‍ය කාරයන්ට , ගහනවලු මරනවලු. සමහර වෙලාවට කියල දීපු විධිහට ගහන්න ගියාම මේ වනචර සුද්දොත් ගහනවලු ගුටි කාල ඉන්නේ නැතුව. මොන ජාතකෙන්ද ඒක කියල දුන්නේ කියල හොයන කොට දැන ගන්න ලැබුණා , මන්ගම්වල පිලය කියන ඇමැත්තෙක් සුද්ද නිසා නාය යනවා කියල අලුත් විද්‍යාත්මක නීතියක් හොයා ගෙනලු. සුද්ද ගිහිල්ල අවුරුදු 66ක් වෙනවා. ඊට පස්සේ ආපු එවුන් අහවල් කෙන්ගෙඩියක්ද කලේ එහෙම නම්. මම දැකල තියනවා තේ වතුවල යටම පැත්තේ ගල් බැමි බැඳලා තියනවා. පාංශු ඛාදනය වලක් වන්න. සුද්ද වැරදියි කියමු. එත් ඇමති ලට පඩි ගෙවන්න එන සල්ලි ලැබෙන්නේ පිට රට යවන තේ වලින්. සුද්ද ට යවන ගාමන්ට් කෙල්ලෝ මහන ඇඳුම් වලින්. ඒ නිසා ඇමතිලා පඩි වර්ජනය කරලා ආදර්ශයක් දෙන්න ඕනේ. නැත්නම් මේ අහිංසක ළමයි සුද්දන්ට ගහල ගුටි කන්න ඕනය.
 මේ ජාතක කතාවේ අවවාද:
 රජුන් සමග දාදු කෙළියට යාම සුදුසු නැත .
 නාය යෑම වැළැක්වීමට නම් සුද්දන්ට ගහන්න.
 ලිව්වේ 2014 නොවැම්බර් 8

Monday 3 November 2014

හික් හික් සුවා

මේක ලියන්න නිමිත්ත තමා වෙන නිව්ස් අඩවියක දැක්ක පින්තුරයක්. අපේ හික් හික් සුවා  දේව මහා සහෝදරයා හෙවත් ඇමතිතුමා අධිරාජ්‍යවාදයේ මුදුන් මල්කඩ වන එක්සත් ජනපදයට ගිහින් සිටිනවා දැක්කට පස්සේ. එක්සත් ජනපදයට යන එකේ කිසි අවුලක් නැහැ. හොඳ රට. සාමාන්‍ය  මිනිස්සුත් හොඳයි. බෙහෙත් ගන්න නම් කියුබාවේ තරම් ලේසි නැහැ. පෞද්ගලික රක්ෂණයක් ඕනේ මන් හිතන්නේ. අධිරාජ්‍යවාදයේ ලකුණක් කියන දිස්නිලන්තෙටත් ගොඩ වැදුනා ඊයේ පෙරේදා . ඒ ගැන වෙනම ලියන්න ඕනේ.
මාත් මේ ඉන්නේ ධනවාදී අධිරාජ්‍යවාදී රටක. සූරාකෑම කොහොම වෙතත් මානුෂික නිදහස වගේ දේවල් අතින් මේ රටවල් සුවා  දේව ඇමතිතුමාගේ රට හෙවත් අපි උපන් රටට වඩා නම් හොඳයි. (උපන් රට බාල්දු කරනවා නෙමේ මේ).
මට තිබෙන එකම ප්‍රශ්නේ මේ සුවා  දේව වැනි මහා අධිරාජ්‍ය විරෝධියෙක්  ඔතෙන්ට ප තබන්නේ කොහොමද කියල ධනවාදී රජයක ඇමතිවරයෙක් හැටියට. බාහු විකුම් නම් ගියත් කමක් නැහැ. අනික සුවා ගේ අධිරාජ්‍ය විරෝධය  එන්නේ තමන්ට අවශ්‍ය වෙලාවට ඇමෙරිකාවට එරෙහිව විතරයි. හුඟක් වෙලාවට චන්ද කාලෙට.

මේ සිද්ධිය වුනේ 1983. එවකට හිටි ඇමෙරිකන් ගැති ජනාධිපති '83 ජුලි කලබල වලට සහය දුන්න කියල චෝදනා කරලා වාමාංශික  පක්ෂ තුනක් තහනම් කලා. ජා අවිපෙයි, සිරිලංකාවේ කොපිකැට් කොපයයි, නානාගේ සපෙයි.  හැමෝම දන්නව ගුල්ලේ ඇනවන්ශලා, මැද කොළඹ පජාප අනු සංවිධායකළ තමා චන්ද ලිස්ට් අරන් වැඩේට බැස්සේ කියලා. නමුත් ඉතින් යැංකි ඩිකී එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් නෙමේ කීප දෙනෙක්ම මරන්න නේ හැදුවේ.

සුවා ගෙයි බාහුවිකුම් ගෙයි පක්ෂේත් තහනම් කරලා සොයල දුන්නොත් මුදල් ත්‍යාගයක් දෙනවා කියල පෝස්ටරුත්  ගහල තිබුන. මමත් ඒ දවස්වල හර බර පත්තරේ හෙම ගන්නවා කොම්පඤඤ විදියේ කම්කරු කාර්යාලයෙන් එගොල්ලගේ.  ඒක  නම් වහල තිබුනේ නැහැ. අපි සමහර වෙලාවට සෙට් වෙනවා සෝවියට් සංස්කෘතික මන්දිරේ ෆිල්ම් බලන්න, පොත් ගන්න එහෙම. එහෙම වෙලේක මේ පාටියේම  බුවෙකුත් සෙට් වෙලා හිටිය. හොඳ මනුස්සය.  එක දවසක් මේ ෆූල් ටයිමර් මාව එක්කන් ගියා  තේකක් බොන්න වරෙන් කියල කොම්පඤඤ විදියේ හතරමන් හන්දියේ දුම්රියපළට යන පාරේ හෝටලෙකට. ඒකෙ නම අමරදිසිය. තවම තියෙනවද දන්නේ නැහැ.  ඉතින් ගිහිල්ල බනිසෙකුයි තේකකුයි අරගෙන ඉඳගත්ත කතාවට. සහෝදරයා  ඊට පස්සේ මට පෙන්වනවා එක මුල්ලේ මේසෙක ඉඳගෙන ඉන්න හතර දෙනෙක්ව. අර ඉන්නේ ලී.... අර ඉන්නේ කම්කරු බුවා අනිත් අර මුණ වහගෙන වගේ ඉන්න රැවුල බාපු බුවාලා කවුද දන්නවද කියල? මම නෑ  කිව්වා.   සහෝදරයා කියනවා, ඒ ඉන්නේ අපේ සුවායි බාහු විකුම්නුයි කියල. මන් ඇහුව ඉතින් හැංගිලා නේද ඉන්නේ කියලා. ඌත් කිව්වා ඔව් තමා  කියල.

දැන් 83න් අවුරුද්දක් දෙකක් ඉස්සරහට දාමු. මට අපේ නානාගේ සාපෙ සහෝදරයා හම්බවෙනවා මොස්කව් වලදී. මේකා කියනවා එදා මාව හෝටලේට අරන් ගියේ මා  ලව්වා පොලිසියට ඔත්තුව දෙන්නලු. පොරවල් වලට ඕනේ වෙලා තිබ්බේ බලෙන් පොලිසියට අහුවෙලා ප්‍රසිද්ධියක් ගන්න. පොලිසිය ගණන් ගත්තවත් නෑනේ මේගොල්ල කොහේ හිටියත්. බොරුවටයි තහනම් කලේ කියල ඒගොල්ලත් දන්නවා. මට හිතුනේ මේ වගේ මගඩි රැලක් කියල.

ඩිකියගේ ආණ්ඩුවට ඇත්තටම ඕන වෙලා තිබ්බේ වැඩි තර්ජනයක් නැති නානාගේ සපෙයි, කොපිකැට් කොපයයි ට වඩා , වීර විජේ නිසා ජනප්‍රිය වේගෙන එන ජා අවිපෙට වැඩේ දෙන්න.  වීර විජේගේ ජාතික ප්‍රතිපත්තියට අකමැති වුනත් නානාගේ සපේට බැඳෙන්න ගියෙත් නෑ මම නම්. ඒ දවස්වලත් පොඩි ඉවක් තිබ්බා.

ඔය සිද්ධිය මන් දන්නා  කොම්පඤඤ විදියේ පොලිසියේ කෙනෙකුට කිවම මිනිහ තව කතාවක් කියපි. එක පාරක් කම්කරු පෙළපාලියක යනවලු කට්ටිය. පොලිසියත් මග මාර්ග බාධක දාල ඉන්නවලු සබ්බුව දෙන්න. සුවා  දේව  බය නැතුව ඉස්සරහට ගියාලු. එතන හිටපු  පොලිසියේ ලොකු තැනට (මිනිහගේ යාළුවෙක්) කීවලු "මචං ඇතුලට ගනිං කියල" මිනිහ අකමැත්තෙන් වගේ මේ අධිනීතිඥ පොර කියන නිසාම මාංචු දාල ගත්තලු. කම්කරුවෝ කෑ ගහනවලු. පස්සේ අර ලඟදි  මැරුන නායකයාටත් දෙකක් ඇනල පොලිසිය පෙළපාලිය  විසිරුවා දැම්මලු. සුවා  දේව පොලිසිය ඇතුලට ගිය ගමන් මාංචු ගලව ගෙන අර ලොක්ක පොලිස් කැන්ටිමෙන් ගෙන්වා දුන් තේ එකකුත් බිල ගෙදර ගියාලු.

මේකේ ශෝක ජනක කතාව මේකයි. අර නානාගේ සපේ සහෝදර බුවාගේ තාත්ත හොඳ මනුස්සයෙක්. 80 වර්ජනෙන් රස්සාව නැති වෙලා ඒත් වමේ පොලිටික්ස් බාහු විකුම් එක්ක කර කර ඉඳල. 88 හරි 89 හරි මැරුම්  කෑව එක්කෝ වැරැදි මතයක හිටි කට්ටියකගෙන්. එක්කෝ ආණ්ඩුවෙන්. දැන් එන ආරංචි වල  හැටියට කවුරු කලාද කියන එකත් ප්‍රශ්නයක්නේ. නානාගේ සපේ සහෝදරයා මරණෙට ගෙදර ගියා. ඒ මනුස්සය හිත අවුල් කරගෙන ආවේ නැවත ඉගෙන ගන්න. බොනපාට්වාදය වැළඳ ගත්  නිසා ඒකත්  නැවතුනනා.  නමුත් දැනුත් රස්සා තුනක් විතර කරගෙන නානාගේ සපේට උදව් කරනවා කියල තමා ආරංචිය.  සමහර න්‍යාය පැත්තේ ප්‍රශ්න නිසා බාහු විකුම් ට අපි අකමැති වුනත්,  මන් දන්නා විධිහට අර භීෂණ කාලේ - "නොමග ගිය ඈයෝන්ට එරෙහිව අපි ආණ්ඩුවේ ආයුධ ගන්නේ  නැහැ " කියන මතයේ හිටිය කියල තමා කියන්නේ. ගරු කල යුතු ස්ථාවරයක්.

හැබැයි ඉතින් සුවා දේව ගැන ඉතින් ඔය මුකුත් කියන්න බැහැ. මුල ඉඳන්ම පජාපේ වගේ  කොම්ප්රෝදෝරු අධිරාජ්‍යවාදයට පක්ෂව හිටියනම් එකක්. හැබැයි ඒකට විරුද්ධව ඉඳල කම්කරුවන් මුල කරලා, වර්ජන කරලා සිය දිවි නසා ගත්ත වුන් මැදින්,  භීෂණ වලට මුණ දීල දිවි දුන් අය මතින් ආව ගමනක් නහින දෙහින කාලේ  අමෙරිකාවෙන් කෙළෙවර වෙන කොට හික් හික් කියල තමා හිනා වෙන්න හිතෙන්නේ. හොඳ වේලාවට අපි බේරුනේ.

මුලාශ්‍ර: පින්තුරය උපුටා ගත්තේ http://www.tfmetalsreport.com/comment/185207