Thursday 16 November 2023

එන්ෆිල්ඩ් හි අද්භූත කතාව පිළිබඳ විග්‍රහයක් - Enfield Poltergeist - reasoning

මොරිස් ග්‍රොස්
මොරිස් ග්‍රොස් ටේප් රෙකෝඩරය සමග 


මුල් ලිපිය:   එන්ෆිල්ඩ් හි භුතයා ගේ  නිවස , 284 ග්‍රීන් ස්ට්‍රීට් (ග්‍රීන් වීදිය) - Enfield Poltergeist

මේ භූතයා පැමිණෙන්නේ යයි කියූ නිවස ඇත්තේ අපේ නිවසට මීටර නමසීයක් පමණ දුරින් බව කලින් ලිපියේ  ලීවෙමි.ඔහු භූමදාන කළා  යයි කියන  සොහොන් භුමිය තිබෙන්නේ ඩුරන්ට් ක්‍රීඩා පිටිය අසලමය.  ඒ පිටියේ පොඩි දරුවන් ට කෙළි සෙල්ලම් කරන තැනක් ඇති අතර දියණියන් කුඩා කල අපි එහි නිතර ගියෙමු.   මේ කතාවේ  දියණියන්ද එහි  සෙල්ලම් කරන්නට ඇත.

මේ ගැහැණු ළමුන් දෙදෙනා දරුවන් ලෙස බොරුවක් කරන්නේ යයි කියන කතාව මදක්  විමසා බලමු. 

විකිපෙඩියා හි ඒ ගැන ලියා ඇති තැනැත්තා වැඩි බරක් දී තිබෙන්නේ එයටය. 

මෙහිදී බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයට සම්බන්ධ වාමාංශික ටැබ්ලොයිඩ් එකක් වන මිරර් පුවත්පත කුමන්ත්‍රණයක් දියත්  කළේය. වාමාංශිකයන් ඒ කාලයේ කොහොමටවත් මේ විශ්වාස වලට විරුද්ධ විය. සෝවියට් දේශයේ කේජිබිය මේවා ගැන  හොර රහසේ පර්යේෂණ පවත්වන බව මේ කාලයේ දැන සිටියේ නැත.  මිරර් පුවත්පත  කලේ දෙතොල් නොසොල්වා තමන්ගේ අතේ කිසියම් රූකඩයක් එල්ලගෙන කතා කරන (ventriloquist ) නාට්‍ය  ශිල්පී  රේ ඇලන් කැඳවාගෙන ඒමයි. ඔහු ඒ දිනවල එංගලන්තයේ ප්‍රසිද්ධය. ඔවුන්ගේ තර්කය වූයේ ජැනට් එලෙස කතා  කරන  බවත් මිය ගිය බිල්වි ල්කින්ස් ඇය හරහා කතා කිරීම බොරුවක් බවත්ය. 

ජැනට් හා එලිසා, ඔවුන් ගේ  මව නොමැතිව කාමරයකට කැඳවා ගත්  ඔවුහු මිරර් මාධ්‍යවේදියා ඉදිරියේ ඔවුන් කරන්නේ බොරුවක් බවට පිළි ගන්නා ලෙසට බල කළහ. රේ ඇලන් කතා  කරන අයුරු පෙන්වමින් තමන් එවැනි දෙයක් කර බවටත් ඔවුන්ගේ මව හා මොරිස් ඔවුන්ට කියන දේ ඔවුන් කරන බවටත් ගැහැණු ළමුන් කී  බවට පසුව ලිපියක් පලවිය. ජැනට් හා මාගරට් දෙදෙනාම තමන් එවැනි දෙයක් කී  බව ප්‍රතික්ෂේප කල අතර පසු කාලෙකදී ද  එය නැවතත්එ ලෙසම ප්‍රතිකෙෂේප කළහ. 
  
ඔවුන්ගේ මවට රැකියාවක් නොතිබූ බව මම කලින් ලිපියේ පැවසුවෙමි,. දරුවන් හතරදෙනෙකු බලා ගැනීම අපහසු කාර්යයකි. වැඩිමහල් පිරිමි ළමයා  හරියට හැසිරෙන්නේ නැති බව කියා ළමා නිවාසයකට ගෙන යන  ලදී. මව එනිසා සිටියේ දුක් කඳුළු පෙරා ගෙනය . පියා  ඔවුන් හැර ගොස්ය. ඔවුන්ට  රජයේ ආධාර හැරෙන්නට  හරි  හමන් මුදලක් අතේ තිබුනේ නැත.  ජැනෙට් ගේ උපන් දිනයට භූත ගවේෂක මොරිස් සහ ගයි ලිඔන්  ප්ලේෆෙයාර් සුදානම් කළ  උපන්දින සාදය  ඔවුන්ට ඉමහත් ප්‍රීතියක් දැනවූ සිදුවීමක් වියා. 

 ගයි ප්ලේෆෙයාර් පසුව මේ භූත  ගවේෂණය  ගැන පොතක් ලියා පළ කළේය. 

මනෝ විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරියක් වන ඇනිටා ග්‍රෙගරි ද මොරිස් ග්‍රොස් හා  මා දන්නා මහාචාර්යවරයෙකු වන බර්නාර්ඩ් කාර් (ක්වීන්ස් මේරි විශ්ව විද්‍යාලය) ද මේ නිවසට භූත ගවේෂක SPR සංවිධානය නියෝජනය කරමින්  ගියහා. ඇනිටා ග්‍රෙගරි "ඔහුව" විශ්වාස නොකරන බැවින් "බිල් විල්කින්ස්" (නමැති භූත ආවේශය" ) ඇය දෙවරක්ම නිවසින් එළවා දමන ලදී. (බිල් ලෙස කතා කලේ ජැනට් ය). ඇනිටා ඇගේ  පොතේ තමන් මේ සිද්ධීන් විශ්වාස නොකරන බවත් මොරිස් ඇතුළු අනිකුත් ගවේෂකයන් ගැහැණු ළමුන් දෙදෙනා ට බොරු කීමට පොළඹවන බවටත් චෝදනා කලාය.

සමහර මනෝ විශ්ලේෂකයන් මෙන්ම ඇනිටා ද  හිස්ටිරියා තත්වයක් අනුමාන කළහ.

දීප්ති ගුණරත්න විසින් සංස්කරණය කළ "හිස්ටිරියාව" පොතේ සඳහන් වෙන්නේ මනෝවිශ්ලේෂණයට   අනුව එය වැළඳෙන්නේ සම්භවය (origin) පිළිබඳ ගැටලුව  විසඳීමට නොහැකි වීම තුල බවය. (පිටුව 10)   හේතුවක් නැතිව කෑ  ගැසීම, දැඟලීම, හැඬිම කලින් වූ අර්ථ දැක්වීමකි.  නමුත් මෙම පොතේම නූතන දෛව ස්ත්‍රියගේ අනුභූතික ලක්ෂණ වලින් කිහිපයක් ලෙස බුද්ධික බණ්ඩාර මෙසේ ලියයි. (පි. 314)  "ඇඟ කිළිපොලා යන ආකාරයේ කිසිම  තේරුමක් නැතිව කරන හඬනගා සිනාසීමක් හා දැඟලීමක්, අධික අනුකම්පාවක් උපදවන අසරණකමක් හා බියසුලු බවක්, අධික ගුඨත්වයක් ඇති කරවන නිශ්ශබ්දතාවයක් හා අධික ව්‍යකුලතාවයක් ඇති කරවන හදිසි චෝදනා කිරීමක්"   
මේ අර්ථදැක්වීම් ඇනිටා ග්‍රෙගරි ගේ අදහස සමග සමපාත වෙයි. මේ ඉහත සඳහන් හැසිරීම්  සියල්ල ජැනට් හා මාගරට් කළ බව සැබෑය. නමුත් මෙහිදී හිස්ටරික ස්ත්‍රිය වනුයේ ඔවුන්ගේ මව වන මිසිස් හොජ්සන් ය. ඇනිටා ඇතුළු විශ්ලේෂකයන්ට වැරදුනේ මවගේ ස්වභාවය දරුවන්ට ආදේශ කරන්නට යෑමෙනි. මවට භුතාවේශයක් සිදු වුයේ නැත. 

මෙහිදී මම කලින් ලිපියට දැමු ප්‍රතිචාරයක් නැවත සංශෝධනය කොට පල කරමි.

මෙහිදී වඩා වැදගත් කරුණු වන්නේ මේස පුටු විසිවීම, ලෙගෝ කෑලි දමා ගැසීම, ජැනට් අහසේ සුළු කාලයක් පාවීම , ආදිය මෙන්ම මොරිස් ග්‍රොස් විසින් පටිගත  කරන ලද බිල් විල්කිනස් ගේ කතා ද මෙම පර්යේෂකයන් හා පිටත මිනිසුන්ද සැබවින්ම අසා දැක තිබීමය. ජැනට් ජනේලය අසල පාවෙනවා දැක සිටි දෙදෙනෙකු ඒ ගැන ලියා සහතික කරණ ලද ලිපි (affidavit) පොලිසියට හා පර්යේෂකයන්ට දී තිබේ. එක කාන්තාවක් ඒ අසල පාසලේ ළමයින්ට පාර මාරු කරන්නට උදව් කරන කාන්තාවය. පුටු විසි කිරීම  පොලිස් නිලධරයන් හා බීබීසී  වාර්තාකාරිය  දැක තිබේ. මේවා ජැනට් ට තනියම කල නොහැකි බව ඔවුන් පිලි ගත්හ. එසේ කරන්නේ නම් ඇයට අමුතු  මානසික බලයක් තිබිය යුතුය. එසේම මේ කාලය මුළුල්ලේ බිත්තියට තට්ටු කිරීම් කරන ලදී. ඒවා විටෙක නිඅවසේ උඩ  තට්ටුවෙන්ද යට තට්ටුවෙන්ද ඇසුනි. ඒ වෙලාවට ජැනට් හෝ මාගරට් ඇඳේ වාඩිවී සිටි අතර ඔවුන්ට එසේ කිරීමට නම් අමුතු  බලයක් තිබිය යුතුය. මොරිස් මෙන්ම  අසල්වැසියන්ද ඒවාට සාක්ෂි දෙති. (බිත්ති වලට තට්ටු කිරීම සහ බඩු විසි කීරීම) 



නොවැම්බර් 12 වෙනිදා ජැනට් ගේ උපන් දිනය දවසේ ඇයව පුටුවත් සමග ඔසවා විසී කර තිබේ. එසේම සෙටියේ හිඳ සිටි දැරියන් දෙදෙනා සහ සහෝදරයා ද සෙටිය සමග පෙරලා තිබේ. මොරිස් ග්‍රොස්, ඔහුගේ සහායකයා වන ගයි , අසල්වැසි ළමයින් සහ දෙමාපියන් සියල්ලන්  ඉදිරියේ මේවා සිදු වී ඇත. ඔවුන් ඒ අවස්ථාවේ ගත් ඡායාරූප ද  තිබේ. මොරිස් ග්‍රොස්  මේ සිදුවීම්පැ සහ ජැනට්ය / බිල් විල්කින්ස් සම්මුඛ සාකච්චා  දෙසීයක්  පමණ ටේප් රෙකෝඩරයෙන්  පටිගත කර ඇත. එසේම මාස ගණනක් පුරා යම් යම් දේ  සිදුවූ අවස්ථාවලදීම ගත්  ඡායාරූප විශාල සංඛ්‍යාවක් තිබේ.   

මෙම SPR සංගමයේ සිටි ලන්ඩන්විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා ආචාර්ය වරයා වන බර්නාර්ඩ් කාර් මෙම සිදුවීම් ගැන එතනට ගොස් සොයා බලා  තිබුණි. මම ක්වීන්ස් මේරි විද්‍යාලයේ අභ්‍යවකාශ භෞතික විද්‍යාව ඉගෙනගත් කාලයේ (2012) මට මහාචාර්ය බර්නාර්ඩ් කාර් මුණ ගැසුණි. ඒ මම උපාධි නිබන්ධනයට ප්‍රොජෙක්ට් එකක් සෙවූ කාලයේය. ඔහු බහු විශ්ව (multiverse) ගැන පර්යේෂණ කරන අයෙකි. ඒ හා සම්බන්ධ දත්ත මදි කියා ඔහු සුපර්වයිසර් වීමට අකැමති වුනි. නමුත් ඔහු හා කරන කතා බහේදී ඔහු දැන් බෞද්ධයෙකු බව මට කීවේය. ඔහු මහායාන බෞද්ධයෙකු වීමේ හා මේ කතාවේ සම්බන්ධය මම නොදන්නෙමි. නමුත් මේවා ගැන සොයා යාමේදී මමද ඒ පිළිබඳව හැදෑරුවෙමි.  (අන්තරාභවය, ගන්ධබ්බ, බාඩෝ සංකල්පය හෙවත් ධර්මාත  හා මළවුන් සමග කතා කිරීම )   මෙම එන්ෆිල්ඩ් සිද්ධි පිළිබඳව කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සමුළුවක කතා කරද්දී ඔහු සමාන්තර විශ්ව ගැන කතා කර තිබෙන අතර  ඔහුට සමහර  විද්‍යාඥයන් එදා සමච්චලයට සිනහ වී තිබේ.

 එදා සමහර භෞතික විද්‍යාඥයන් සාමාන්‍ය භෞතික විද්‍යා නියම වලින් මේ සිද්ධීන් පැහැදිලි කළ නොහැකි බව පිළිගත්හ. ඒ බව පිළිගත් එක්  අයෙකු වුයේ භෞතික විද්‍යා මහාචාර්ය ජෝන් හැප්ස්ටෙඩ්ය.  හැප්ස්ටෙඩ් තමන්ගේ පරීක්ෂණ වලට ගැහැණු ළමුන් දෙදෙනා යොදා ගත්තේ ඉන් ඔවුන්ගේ මනසට වන හානිය පවා නොතකාය. ඇත්තටම මේ කුඩා කෙල්ලන් දෙදෙනාද පවුලේ අනිත් අයද ලැබ් රැට් ලා වුනු බවද  නොරහසකි.  හැඳි ගරුප්පු නැමුවේ යූරි ගෙලර් ය.  එවැන්නක් ගැන ජැනට් කතා නොකර එවැනි දෙයක්පෙ න්වා නොතිබියදී ඇයට එසේ කිරීමට හැප්ස්ටෙඩ් බල කලේ ජැනට් ට කිසියම්  මානසික බලයක් ඇතැයි යන විශ්වාසයෙනි. 

ජැනට් උගුර පිටුපසින් කතා කිරීම  ගැන වෛද්‍යවරුන් ගෙන් විමසීමේදී  කෙනෙකුට එසේ කතා කළහැකි වෙලාව මිනිත්තුවක් දෙකක් පමණක් බවත්  එසේ දිගටම කතා කරන්නේ නම් ශබ්ද උපදවන මාංශ  පේශීන් විනාශ වෙන බවත් ඔවුහු පිලි ගත්හ. එසේනම් ජැනට් දිගටම කතා කලේ කෙසේද?
මේ ගැන ලැබුණු ප්‍රතිචාරයක් නිසා මේ කොටසද එකතු කලෙමි.

ශබ්දය නිපදවන voice box එකට කියන්නේ larynx කියාය. මෙහි  මස්ල් (මාංශ පේශීන්දෙ) කක් තිබේ. . කතා  කරන ශබ්දය එන්නේ එයිනි. voice box එක තිබෙන්නේ  trachea ට්‍රිකියා එක උඩය. windpipe කියන්නෙත් එයටමය. . //The trachea is the long tube that connects your larynx (voice box) to your bronchi. Your bronchi send air to your lungs. Your trachea is a key part of your respiratory system. The trachea is made of rings of cartilage. //  අපි කතා කරන්නේ කොහොමද? අප හුස්ම ගන්නා  විට  vocal cords  විවෘතව  වාතය නිදහසේ  ඇතුලට ගමන් කරයි.කතා  කරන විට  මේ vocal cords වැහෙන්නේ හුස්ම ඉවතට යනවිටය. එවිට  මේවා vibrate වේ. මේ වෙව්ලීම නැත්නම් vibration එකින්   ශබ්දය නිපදවේ.
ඇනිටා ග්‍රේ නැති මනෝ විද්‍යාඥවරිය පැවසුවේ ජැනට් ගේ මාමා කිවේ ජැනට්  බිල් ගේ කටහඬ ලෙස ගැඹුරු කටහඬක් පුරුදු වී කරන බවයි. මතකතබා  ගන්න ඇය වයස 11ක දැරිවියකි. එසේ නම් කවුරුන් හෝ ඇයට එය පුරුදු කල යුතුය.. ඇගේ  මුවට එක මයික්‍රොෆෝන් එකකුත් ගෙල පිටුපසට්තවත් එකකුත් තබා බැලීමේදී ජැනට්  එම ගැඹුරු "භූත " කටහඬින් කතා කරන විටහඬ එන්නේ ගෙල පෙදෙසින් බවයි. 


ප්‍රශ්නය වන්නේ කෙනෙකුට යටි උගුරින් හෝ උගුරේ පිටුපස පෙදෙසින් එසේ ගමබුරු ලෙස බොහෝ වෙලාවක් කතා කල නොහැකිය. එක්කෝ කැස්සක් එන අතර වතුර බොන්නට අවශ්‍ය වේ. එසේම  වෛද්‍යවරු පවසන්නේ එසේ කතා කරන විට vocal cords විනාශ වෙන බවයි. (සොයා බලන්න)  ඒ කියන්නේ ඇය කතා කරන්නේ දෙවෙනි vocal cords නැත්නම් secondary vocal cords වලින්ය. මේවාට false vocal cord කියාද කියයි. laryngeal ventricle නමැති ටිෂු එකකින් මෙය ප්‍රධාන true vocal cord වලින් වෙනවා පවතී. මෙය ඇත්තේ කතා කිරීමට නොවේ. නමුත් ඒවාද vibrate වන තර ගැඹුරු රළු කටහන්දක් නිපදවිය හැකිය. (ඕනෑම කෙනෙකුට) නමුත් කිසියම් සීමිත වෙලාවක් පමණි. ජැනට් පැය දෙක තුන එම ශබ්දයෙන් කතා කිරීම මේ අනුව වෛද්‍ය විද්‍යාත්මකව අපහසුය. 

ඇනිටා ඒ  චෝදනාවට මොරිස් ග්‍රොස්  කලේ කුමක්ද? ජනට් ගේ කටට වතුර පුරවා කට වසා  ගන්නට අණ  කොට නැවත ටේප් රෙකෝඩරය ක්‍රියාත්මක කර "භූතයා " වන බිල් විල්කින්ස් ට කතා කිරීමට ආරාධනය  කිරීමයි. ජැනට් නැවතත් "බිල් " ලෙස කතා කළාය. ශබ්දයේ වෙනසක් සිදු වුවද තවමත් "බිල්" ගේ වචන පැහැදිලිව ඇසේ. අනතුරව අධිමානසික පර්යේෂක මොරිස්  කලේ තද සෙලෝටේප් පටියකින්  (සාමාන්‍ය  ඒවා නොව කාඩ්බෝඩ් පෙට්ටි වලට දමන පටි) වතුර පුරවන ලද ජැනට් ගේ කට වැසිමයි. (මෙය වධයක් ලෙස මට සිතේ) නමුත් මෙහිදීද ජැනට් අර විධිහටම උගුර යටින් කතා කලාය. ඔබට එසේ කල හැකිදැයි බලන්න. වයස එකොළහක් හෝ දොලහක් වයසැති කෙල්ලක් මේවා පුරුදු වී කළා යයි ඔබ විශ්වාස කරනවාද? (මේවා ඔප්පු කරන ටේප් රෙකොර්ඩර් සහ ඡායා රූපද  ඇසින් දුටු සාක්ෂිද තිබේ. ) 

ඇපල් ටෙලිවිෂනය මගින් කරන ලද වාර්තා චිත්‍රපටයේ අවසානයේ ඔවුන් ඉතා වැදගත් සොයා ගැනීමක් කරයි. ඒ භූතයා තමන් හඳුන්වා ගත්තේ බිල් විල්කින්ස් යන නමින් නිසා ඔවුන්ගේ පවුලේ අය සොයා යාමයි . බිල් ගේ පුතා  ඔවුන්ට කතා කර තිබුනේ තවත් වාර්තා චිත්‍රපටයක් බලාය.

මගේ ප්‍රශ්නය කලින් ගවේෂණ කළ අය හා සැක  පහල කළ අය විලියම් නමැති භූතයා හෙවත් බිල් විල්කින්ස් ගේ පවුලේ අයගෙන් ප්‍රශ්න කලේ නැත්තේ ඇයිද යන්නය.

බිල්ගේ පුතා මෙසේ පවසා ඇත.

1. මේ කටහඬ මගේ නැතිවුණු පියාගේ. ගැහැණු ළමයා නැති වුනු පියාගේ කටහඬින් කතා කරන්නේ කොහොමද යන්න මට වටහා ගන්න අපහසුයි. අප ඔවුන් කිසිදාක හමු වී නැහැ.

2. ජැනට් මගේ පියා  මැරුණු විධිහ ගැන කියන එක ඇත්ත. ජැනට් "බිල් විල්කින්ස්" ගේ හැඳින් පැවසුවේ තමන් (බිල්) මියගියේ  පහල තට්ටුවේ පුටුව (සෙටියේ තනි පුටුව) මත බවත් ලේ ගැලූ බවත්ය. ඔහු හදිසියේම මිය ගිය බවද ජැනට් හැඳින් කතා කල කෙනා  පැවසීය. පුතාට අනුව  බිල් මියගොස් ඇත්තේ මොළයේ හෙමොරොයිඩ් එකකින් හෙවත් අභ්‍යන්තර ලේ වහනයකිනි. මිය ගොස් තිබුනේ පහල තට්ටුවේ පුටුව මත තනියමය.  

3. බිත්ති වටා තට්ටු කිරීමේ හඬවල්  ඇසීම ගැන පුතා කීවේ මෙවැනි කතාවකි. දෙවන ලෝක යුද්ධයේදී බිල් සහ ඔහුගේ යහළුවන් ජීවත්ව ඇත්තේ මේ පැත්තේමය. මෙහි බෝම්බ වැටෙන විට දිව යාමට බිම් ගෙවල් සාදා තිබුණි. ඒවාට කිවේ බොම්බ් ශෙල්ටර් කියාය. සතුරු ගුවන් යානා එන  බවට සයිරන් මගින් දැනුම් දෙද්දී බිල් සහ ඔහුගේ මිතුරෝ බිත්ති වලට තට්ටු කර එකිනෙකට දැනුම් දෙති. ටකට ටක්, ටකට ටක් යනුවෙන් තුන් වරක් දැනුම් දී ඔවුන් බොම්බ් ශෙල්ටර් එකට දුවති. පුතා කියන්නේ බිල් ඒ ගැන ඔහුට පවසා තිබූ අතර ජැනට් ගේ බිත්ති වලට බිල්ගේ භූතයා හෝ කිසියම් අධිමානසික බලයක් ක්‍රියා කරන්නේ එම ලෙසටම බවයි.  

මේ කතාව අදටත් එංගලන්තයේ සාකච්චා වන්නේ ඇයිද යන්න ඔබට වැටහෙනු ඇත. ජැනට් සහ ඇගේ සොයුරිය තවමත් ජිවතුන් අතර සිටින අතර ජැනට්  තවමත්  මේ ප්‍රශ්නය  නිසා පීඩා විඳින බව පැවසුවාය.

මේ කතාව වැදගත් එතරම් පර්යේෂකයන් ගණනක් සොයා බලද්දිත් තවමත් එක නිගමනයකට පැමිණීමට ඔවුන් සියල්ලටම  නොහැකි වීම නිසාවෙනි. 

මගේ පෞද්ගලික අදහස නම් බහුමාන විශ්වයක මෙවැනි දෙයක් සිදුවීමට බොහෝ ඉඩකඩ ඇති බවයි. අපි වැනිම තවත් පුද්ගලයෙක් වෙනත් කාල අවකාශයක සිටිමට ඇති හැකියාව මට බැහැර කිරීමට නොහැකිය.  නිව්ටන් කාලය හා අවකාශය  නියතයක් ලෙස ගෙන භෞතික විද්‍යා නියමයන් ඉදිරිපත් කළේය. ඒවා සැබෑ වන්නේ  එම රාමුවේදී පමණකි.  අයින්ස්ටයින් තම සාපේක්ෂතාවාදය නියමය ඉදිරිපත් කරදී අවකාශකාලය  යන සංකල්පය ගෙනා අතර අවකාශය (වොලිබෝල් නෙට් එකක් මෙන්)  නැමෙන බවද පෙන්වා දුන්නේය. 
 (අවකාශ-කාලය යනු කුමක්ද හා අයින්ස්ටයින් ගේ ගණන් - ලිපිය බලන්න) ඔහුගේ රාමුවේදී අවකාශය හා කාලය එක්ව නියතයක් වේ.
ක්වන්ටම් භෞතික  විද්‍යාවේදී අප දන්නේ ඉතා කුඩා අංශු වලට එය නිවැරදි නොවන බවය. එනම් අවකාශකාලය නියතයක් නොවේ. අවකාශය-කාලය සමග නියතයක් නොවේ කියන්නේ අප සිටින මානයට අමතරව වෙනත් මාන තිබිය හැකි බවය. අංශුන් ආලෝකයේ වේගයට වඩා වේගයෙන් ඒවායේ අතුරුදහන් වීමට හැකි බවය. බහුමාන හෝ බහු විශ්ව කතාව එන්නේ එතැනිනි. 

මහාචාර්ය  බර්නාර්ඩ් කාර් මෙසේද පැවසීය. මේ භූත ආවේශය හෝ එම දේ කරන කිසියම්  දෙයක් වේ නම් ඒවා  හානිකර නොවන අතර  ඒවා mischievous බවයි. එනම් "ඔහු" කරන්නේ තරමක් දඟකාර සෙල්ලමක් නැත්නම් මැර කමකි.  මේ ගැන සිතීමේදී මට වැටහුනේ අප බලන බොහෝ ත්‍රාසජනක හොල්මන් චිත්‍රපට බොරු ඒවා නොවේද යන්නය. ඒවා කිසි විටෙක සැබවින්ම සිදු ඒවා නොවන අතර භූත ආත්ම හෝ එවන් කතා වල  ආතුරයාට කිසිම් හානියක් සිදුවී නැත. හානි සිදුවී අවස්ථාවල බොහෝ විට ඔප්පු වී ඇත්තේ ඒවා බොරුවට ආවේශ වීම් හෝ කිසියම්  යටි අදහසකින් කරන ඒවා බවය. එනම් මුදල් ලබා ගැනීම් , කපටිකමින් වෙනත් දේපල අත්පත් කර ගැනීම් හෝ තරුණියක් මුලාවෙන් වසඟ  කර ගැනීම් ආදියටය.  

මේ නිසා ඉතා කලාතුරකින් ජැනට් ගේ අත්දැකීම් වැනි දේවල් අපට දැන ගන්නට ලැබෙන අතර අර බොරු දේවල් නිසා මේ ගැන පර්යේෂණ කිරීම වැළකී යයි. 

මා සහ කැනඩාවේ සිටි ලවුලන් ද ලංකාවේ ඇතැම් මිතුරන්ද සම්බන්ධව  කරන ලද සමහර පර්යේෂණ වලින් ලැබූ දත්ත නිවැරදි  ඒවා  බව මගේ හැඟීමයි. අපට යටි අරමුණු තිබුනේ නැත.  ජැනට් ලාගේ කතාවද බොරුවක් බවට ඔප්පු කල නොහැකි එකකි.

අජිත් ධර්මකීර්ති -2023-11-16