Friday 23 February 2024

ගංජාසීල වලිමඩුව කතා වස්තුව


 අර ගංජාසීල  වලිමඩුව  මහත්තය කියන කතා හරියටම හරි කියල මම මේ කල්පනා කොලේ. 
රෑ දහයෙන් පස්සේ මෙසේජ් එවන අය ඕන තරම් ඉන්නවා. 

ඔන්න මට දුවරුම දෙන්නෙක් ඉන්නවා. පෙර ආත්ම වල මම තරම් බොරු කියන කෙනෙක් හිටියේ නැති නිසා හම්බවෙච්චි දූවරු., පෙර ආත්මේ ගැන මම දන්නේ කොහොමද කියලා අහන්න එපා. දන්න අය ඉන්නව. ඔය මම ණය දුන්න නෑදෑයෝ මිත්තරයෝ හෙම. ඒ ගොල්ලෝ කියන්නේ ගිය ආත්මේ මම ඒ ගොල්ලන්ට ණය වෙච්චි නිසා මේ ආත්මේ මට එයාලට ණය  දෙන්න වෙනවා කියල. ඒ ගොල්ලෝ පන්සලේ හාන්දුරුවන්ගෙන් තමා අහල දැනගෙන තියෙන්නේ. ඉතින් නැහැයි කියන්න පුළුවන්ය.

ඔන්න ඔය දූවරු දෙන්නට කෝල් කලාට මෙසේජ් කලාට පෝං එක ගන්නේ වත් උත්තරයක් දෙන්නේ වත් නැහැ මේ කපේට. ඉතින් මම කරන්නේ, මෙන්න "ඩෑඩ් යනව කේඑෆ්සි හරි, මැක් එකට හරි,  පිට්සා හට් හරි" කියල මෙසේජ් එකක් යවනවා. මම යන කේ එෆ් සියක් නෑ.  මෙන්න හැරෙන තැපෑලෙන් උත්තර එනව. "මට වින්ග්ස් දහයක් ඕනේ. මට බිග් මැක් එකක් ඕනේ"  වගේ කියල. යුනි ගියාට පස්සේ , කොහොමද විභාග කටයුතු කියල හෙම ඇහුවට මෙලෝ උත්තරයක් දෙන්නේ නැහැ. ඒ යුනි වල විභාග නැත්ද කොහෙද? අපි ගිය කාලේ වගේ නෙමේ. හැබැයි මෙන්න "මමී චීස් කේක් එකයි, චොකලට් කප් කේක් එකයි හැදුව " "ඩැඩි හොඳ චිකන් කරි එකක් හැදුව. පව්ලුසා අන්කල් ලෑම්බ් කරි එකක්  හදල දීලා ගියා කීවොත්, දෙන්නම එවනවා   උත්තර  රෑ දොළහට නැත්නම් උදේ තුනට. 
"මේ ඩැඩි  ඔයා උදේ වැඩ පටන් ගන්න කලින් මාව  ගන්න ඉට්ටේසමට ඇවිල්ල. මම එනවා. අර කෑම ඩීප් ෆ්‍රිසර් එකට දැම්මද. කන්න හෙම එපා ඔන්න මම එනකන්" . ඔන්න ඔහොමයි ගංජාසීල මහත්තයෝ.

ඔය මට යෙහෙලියක් ඉන්නව මාතර ගෙවල් තියෙන. අනේ එයත් නිදා ගන්න කෙනෙක් හෙම නෙවේ. ඉස්සර කාලේ පත්තර වලට ලියපු චිර ප්‍රසිද්ධ ලේඛිකාවක් ඈ.   ලන්ඩන් වල හවස හයට වැඩ ඉවර වෙච්චි ගමන් වගේ එයා  කතා කරනවා. මම ඉතින් රෑ දොළහටත් බ්ලොග් පල් හෑලි කියවා කියව ඉන්න එකෙක් නිසා අවුලක් නැහැ. ලංකාවේ ඉඳන් නිසා හෙන වැදගත් වැඩක් වෙන්න ඇති කියල කෝල් එක ගන්නවා. 
"මේ කොහොමද මගේ වොයිස් එක යූටියුබ් දාන්නේ " කියන එක තමා ලොකු ප්‍රශ්නේ. මම ඕව දන්නවා නම් මොකද. මම කිව්වා පින්තුරයක් එක්ක වීඩියෝ එකක් හදන්නකෝ කියල. 
"අනේ මේ ඔයාගෙන් කිසිම වැඩක් නැහැ. යාළුවෙක් කියල කීවට" කියල කෝල් එක තියනවා. මෙන්න ලන්ඩන් වල රෑ දොළහට  විතර  තව කෝල් එකක්  එනවා. ඒ කියන්නේ ලංකාවේ  වේලාවෙන් උදේ හතරහමාරයි. 
"මේ ඔයාගෙන් වැඩක්  නැහැ. මගේ යාළුවෙක් අර වොයිස් දාන වැඩේ කරා". මම කොන්ෆියුසියස් හොඳ එකෙන්. මේ මනුස්සය රෑට නිදා ගන්නේ නැත්ද? අර මොබයිල්  එකේ කොට කොටා උදේ වෙනකන් ඇහැරලද? ඒක ඇහුව ගමන් මේ ඔයාට ඒකෙන් වැඩක් නැහැනේ. යාළුවෙක් උදව්වක් ඉල්ලුවම කරන්න බැරිනම් කියල පෝං එක කට් කරා. මගේ හදවත රනිල් මැති තුමා ශ්‍රී මුඛය ඇරිය  ගමන්  කොළඹ කොටස් වෙළඳපොලේ අගය බහිනවා වගේ කඩා වැටුනා  මිත්රෝවරුනි. ගන්ජසිල මහත්තයට කියන්න ඕනේ  තවම කතා කලේ නැති නිසා තරහ වෙලා වෙන්න ඇති කියල.

ආ තව  යෙහෙලියක් ඉන්නව. ලංකාවේ හොඳම පශු වෛද්‍ය තුමී. එහෙම තමා එයාගෙන් බෙහෙත් ගත්ත බල්ලෝ පූසෝ හෙම කියන්නේ. නැහැ බලු හාමිලා  එයාලගේ හාං පුතාලට කියල තියෙන්නේ. (ඒක ඇත්තම ඇත්ත ඈ). උත්තමාවිත් ඕන වෙලේක බල්ලන්ට පූසන්ට උදව් කරනවා. මම කිව්වේ බෙහෙත් දෙනවා. ඒ මදිවට හයිකුත් ලියනවා. ඔන්න මට ලන්ඩන් රෑ   හතට විතර  හයිකුවක් එවනවා අදහස කියන්න කියල. ලංකාවේ වෙලාව එකොළහමාරට විතර ඇති. ඉතින් මම මගේ නෙට්ෆ්ලික්ස් ෂෝ එක බලල ඉවරවෙලා උත්තරයක් ලියනවා රෑ දහයට එකොළහට විතර. ලංකාවේ වෙලාව උදේ තුනහමාර නැතිනම් හතරහමාර. එයා උදේට නැගිට්ටහම බලන්නේ නැතැයි කියල දාන්නේ . මෙන්න යකෝ හැරෙන තැපෑලෙන් උත්තර එනවා. අනේ බෝම ස්තූතියි අයියා කියල. අම්මප මේ උන්දලා බුදිය ගන්නේ නැත්ද? බල්ලන්ටයි පුසන්ටයි එකම ඉන්ජෙක්ෂන් එක ගහන නිසා සමහර විට නිදාගන්න ඕනේ නැතිව ඇති. මොකද උන් නඩු යන එකක්ය .ඔන්න  ඕව තමා   නිදාගන්න යන ගමන් මටත් හිතෙන්නේ.


ගංජාසීල මහත්තයට කියන්න, මට අක්ක කෙනෙක් ඉන්නව.   ලන්ඩන් වලට වලට කතා කරනවා උදේට එයාගේ ව්‍යාපාරික ස්ථානයේ ඉඳන්. අවුලක් නැහැ මමත් ගන්නවා. රෑට උයන්න යනව ඒ ගමන් කතා කරන්නේ කියල කියනව.  අනේ ඉතින් ඔය තාවකාලිකව වහල  උයන්න යනවකෝ කියල මම කියනව  අනුකම්පාවට. නැහැ හලෝ එතකොට කවුරුහරි ආවොත් හම හොඳ  නැහැනේ එයාලට එහෙම කරන්න කියල කියනවා. ඉතින් මම වැඩ ඉවර වෙලා ලංකාවේ  රෑ එකොළහ වගේ වෙලාවට කතා කරනවා, 
"කෝ ඔයා උයල , ඉවරද නිදා ගන්න යනවද".
"පිස්සුද මල්ලි  හස්බන්ඩ් ආවහම කාලා වීවී  බලල මේවා අස් පරස් කරල රෑ එකට  විතර තමා  නිදා ගන්නේ" කියල කියනව.  මෙන්න ලංකාවේ උදේ හතරට විතරට මෙසේජ් එකක් එනවා. ඉතින් මමත් නිදි මරගාතේ අහනව "මේහ් නිදි නැත්ද? " කියල. 
"ආ නෑ, මේ ඇහැරිලා හස්බන්ඩ් ට උයනව කෑම ගෙනියන්න."
 වැඩේ කියන්නේ ඊට පැයකට පස්සේ කතා කලොත් ඒත් නිදි නැහැ . "ආ, මං මේ පුතාට කෑම උයනව ගෙනියන්න. " 
"ඇයි වදේ උදේ ඉව්වේ හස්බන්ඩට  "
 "හරි ඒ වුනාට පුතා අරයට උයන ඒවා කන්නේ නැහැ. එයට වෙනම උයන්න ඕනේ"   ලංකාවේ කාන්තාවන්ට තියෙන ප්‍රශ්න බලන්න  අපේ ගන්ජසිලා සද්ධා හිතවතුනි. 

තව අක්ක කෙනෙක් ඉන්නව. හරිම අහිංසකයි. මේ කපේට කෝල් කරාට ගන්නේ නැහැ ෆෝන් එක. දූවරු තුන් දෙනාටත් කන්න දීල , වැඩටත් ගිහිල්ල, තුන් වේලෙටම උයනවද දන්නේ නැහැ. ඉස්සර නම් ඉව්ව. ඊට පස්සේ ගංජා සීල මහත්තය කියනව වගේ දහයෙන් පස්සේ කෝල් කරනවා. නැත්නම් මෙසේජ් එකක් දානවා හාව හඳ දකිනවා වගේ. 

ඉතින් රෑ දහයෙන් පස්සේ කෝල් කරන , මෙසේජ් දාන කාන්තාරත්නයන් ටික ඔක්කොම කොණ්ඩවලු වලින් අල්ලලා සෙක්කුවක ගැට ගහල වටේ යවන්නද කියන්නේ ගන්ජාසිල මහත්තයෝ?

ඉතින් අපේ ගන්ජසිල මගමෙව්නාව , වැරදුනා  වලිමඩුව මහතා ඔය  දිරන, කුණු  කයක් ඇති කාන්තාවකගේ ගර්භාෂයෙන් මේ අපි වගේ පහත් මනුෂ්‍ය  කුලේ  ඉපදුන කෙනෙක්  නම් වෙන්න බැහැ . එතුමාණෝ ශුද්ධවූ පාරිලෙය්‍ය වනයේ බුදුන් වහන්සේ  දුටු ඇත් රජාගේ පරම්පරාවෙන් පැවත එන අලි උන්නාන්සේ කෙනෙක්,  හිමාලය වනයට ගිය වෙලේ  දාපු ශුද්ධවූ  ගොම වලට වැටුණු අඹ පලයක්, පස්සේ  ශුද්ධ වූ  අඹ ගහක් වෙලා ඒකෙ  අඹ පලයක් කන්න ආපු වඳුරෙක් , ඒක තපස් රකින ශාස්තෘන් කෙනෙකුට වළඳන්න දීල, ඒ පිනෙන් ශුද්ධ වූ පිරිමි කුමාරයෙක්  හැටියට  ඕපපාතිකව ඉපදිලා, පස්සේ කොක් වහන්සේ කෙනක් ඒ ඕපපාතික පුත්‍ර රත්නය හොටින් උස්සාගෙන දුරු කතර, මහා මුහුද සිසාරා පියඹා ඇවිත් මගමෙව්නාවේ ශුද්ධවූ වනාන්තරයේ බොහොම පරිස්සමින් තියල ගිහින්.  ඊට පස්සේ හදා වඩාගෙන තියෙන්නේ ඒ ඇත්තෝ. ඉතින් ඔය අමනුෂ්‍ය ගැහැණු පුළුටක් වත් ගෑවිලා නැති නිසා ඉරිසියාවට කියන කතා නෙමේ ඔය. 

ඔන්න ඕකයි කතා වස්තුව 

-- ගමයා ලීවේ බුකියට 20/02/2024

ප.ලි. 

මේ අහිංසකය ගැනත් වචනයක් ලියන්න ඕනේ. කතරගම වඳින්න පයින් යනවා නම්, මඩු පල්ලි වඳින්න පයින් යනව නම්, කැන්ටබරි , හේඩ්රියන් වෝල් වඳින්න පයින් යනවා නම් ඇයි ශ්‍රී පාදේ යන්න බැරි. මට නම් කිසි ප්‍රශ්නයක් පේන්නේ නැහැ මෙතන. ආධාර එකතු කිරීමේ ප්‍රශ්නයකුත් නැහැ දෙන්න කැමති අය ඉන්නවනම් මුදල් විශුද්ධිකරණයක් නෙමෙයි නම් ඔය ලොකු පන්සල් පල්ලිවලට දෙන ආධාර වගේ .


 

Sunday 18 February 2024

රහස් කියන කන්දෙන් මතුවුනු පාරිභෝගික වාදයේ මළගම හා ජගත් මනුවර්ණ



අද  පෙබරවාරි 17 දා ලන්ඩනයේ හවුන්ස්ලෝව් කලායතනයේ ශ්‍රී ලාංකික සිනමා කෘතියක් අගෝරා කළා  කවය මගින්  ඔවුන්ගේ  පියාපත් ශිෂ්‍යත්ව අරමුදලට සහය ගැනීම සඳහා ප්‍රදර්ශනය කෙරුණි. ඉතාමත් හොඳ චිත්‍රපටි කිහිපයක්ම ඔවුන් නිසා නැරඹීමට හැකි වූ නිසාත් චිත්‍රපටයේ ඉංග්‍රීසි උපසිරැසි තිබීම නිසාත් මගේ දියණිය සහ බිරිඳද  එය නැරඹීමට පැමිණයහ. චිත්‍රපටය අවසානයේ වූ කතාබහේදී ප්‍රශ්නයක් නැගු කෙනෙක් මෙය ජාත්‍යන්තරයට ගැලපෙන්නේ නැති බවක් හෝ ඔවුන්ට නොතේරෙන බවක් හෝ චිත්‍රපටයේ තිබුනේ යයිද ඇතැම් වර්තමානයේ කළහැකි නොයෙකුත් පරිගණක භාවිතයන්  හා වෙනයම් තාක්ෂණික උපක්‍රම මගින් වඩා  උසස් කෘතියක් නිර්මාණය කරන්නට ඉඩක්  තිබුණි යයිද පැවසුවේය. 

මගේ ජර්මන් බිරිඳ සහ සිංහල කතා කල නොහැකි දියණිය ගේද අදහස වූයේ ඉංග්‍රීසි උප සිරැසි ප්‍රමාණවත් බවත් ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසය ගැන ඔවුන් වැඩිදුර නොදන්නා මුත් චිත්‍රපටයේ කලාත්මක ගලා යාමද, චිත්‍රපටයේ ඉස්මතු කරන  නොයෙකුත් තේමාවන් ද ඔවුන්ට බොහෝ සෙයින් වැටහුණු බවය. ඔවුන් ලෝකයේ දැනට පවතින යුදමය  ප්‍රශ්න පවා චිත්‍රපටය ඇසුරින් විග්‍රහ කලහ. එනිසා ජාත්‍යන්තරය ජය ගැනීමේ ප්‍රශ්නයක් අධ්‍යක්ෂක ජගත් මනුවර්ණට  නැතැයි සිතමි.      

චිත්‍රපටයේ අවසානයේ සඳුන් ප්‍රියංකර  සහ අනුෂා ශිවලිංගම් යන දෙදෙනා ශ්‍රී  ලංකාවේ සිට විචාරයන් ඉදිරිපත් කළහ. සඳුන් චිත්‍රපටය බොලිවියාවේ, නිකරගුවාවේ හෝ වෙන ඕනෑම තැනක සිදුවිය හැකි දේ  වුවත් චිත්‍රපටය  ලංකාවේ 88-89 සිද්ධීන්  අළලා කල එකක් බව පැහැදිලිව  පෙනෙන බවත් පැවසිය. හාමුදුරුවන්ගේ ඇඟේ සිමෙන්ති වැටීම වැනි කලාත්මක කෝණයන් ඇති බවද  ඔහු වැඩි දුරටත් පැවසුවේය. අනුෂා ශිවලිංගම් කිවේ බෞද්ධ භික්ෂුන් වහන්සේ විසින්  මලගිය අයට පාංශ කුළය දෙන ගමන් පිඩකයන් අතරද සිට ගන්නා බවය. එසේම චිත්‍රපටය 1971 කැරැල්ල, 1983 කෝළාහල , 88-89,  2009 අවසන්වූ වර්ගවාදී යුද්ධය ආදී මේ සියල්ලටම අදාල වන බවය. පසන් එය ප්‍රභු පන්තියට එරෙහි අරගලයක් ස්මරණය කරන  බවද තව දුරටත් පැවසිය. ඔවුන් දෙදෙනාම චිත්‍රපටය උසස් නිර්මාණයක් ලෙසට හැඳින්වූහ.

චිත්‍රපටය කලකින් මා  දුටු උසස්ම ගණයේ  සිනමා කෘතියක්ය යන්නට මටද  එකඟ විය හැකිය. ඒ සහමුලින්ම වෙනත් කාරණා කිහිපයක් නිසාය. පළමුවෙන්ම චිත්‍රපටයේ ප්‍රධාන  චරිතයක් නොමැති වුවද  පැහැර ගන්නා කණ්ඩායමේ දෙවැනි නායකයා ගේ චරිතය වඩාත් ඉස්මතුව පෙනේ. මියගිය තරුණ තරුණියන්ය මල සිරුරු සමග සොරාගත් සිසිල් ෆ්‍රිජ් එක සහ භාණ්ඩ ඔහුගේ නිවසට ගෙන යාමට දරන "අහිංසක උත්සාහය" කෙළවර වන්නේ ඔහුගේ ම සගයෙකු ඔහුව මරා දැමීම තුලිනි. එම භාණ්ඩද සමග ඔහුගේ සිරුර මග දමා සගයන් යති. අන්තිමේදී එම භාණ්ඩ උස්සන්නේ පරණ බඩු වෙළෙන්දන්ය. 

චිත්‍රපටය පුරා  ඉස්මතු වන්නේ පරිභෝජනවාදය නිසා සිත්පිත්  නැති කරවූ අසංවේදී වූ සමාජයක් හැසිරෙන ආකාරයය.  චිත්‍රපටයේ හාමුදුරුවන්ගේ උසස් රංගන විලාශය මත ඉස්මථූ වෙන  කරුණ නම් ඔහු තමන් ගොඩ  නගන තට්ටු තුනේ ආවාසයට ආශාක්ත වෙන ගමන්ම මරා දැමූ වුන්ට  පාංශු කූලය දෙමින් පිඩකයා සමගද ගනුදෙනු කිරීමයි. එහෙත් විශ්ව විද්‍යාලයේ උගන්නා තමන්ගේ  භික්ෂු සිසුන් ගැන ඔහු යම් තරමකට වද වෙයි,
මේ සියල්ල ප්‍රතික්ෂේප කරමින් පන්සලේ දැව  ගිනි තියමින් හැසිරෙන මහලු භික්ෂූන් වහන්සේට මනසේ විකාරයක් කියා පරිභව කළද සැබෑ බෞද්ධ භික්ෂුව වන්නේ ඒ මහලු වහන්සේය.

මට මේ චිත්‍රපටය මතක් කරන්නේ මා සෝවියට් දේශයේ සිටියදී නැරැඹු ඔලිවර් ස්ටෝන් ගේ  "සැල්වදෝර්" නමැති සිනමා කෘතියයි.   කතෝලික පල්ලියේ කොටසක් දක්ෂිණාංශික මිලිටරිය සමග ගනුදෙනු කරද්දී ආච් බිෂොප් රොමෙරෝ සමග විමුක්ති දේව ධර්මවාදී පියතුමන් ලා කැරලිකරුවන් හා සාමාන්‍ය ජනතාව අතර සිට ගනිති.  ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වල උගත් භික්ෂූන් කණ්ඩායම් කරදරයට පත් වුවද ඉහල භික්ෂු සංස්ථාවට හානියක් සිදු වූයේ නැත. 

චිත්‍රපටයේ විදහා දක්වන  තවත් වැදගත් තේමාවක් නම් පීඩක භට කණඩායමේ හැසිරීමය.  ජගත් මනුවර්ණ හා තිර රචකයා බොහෝ වගකීමකින් යුක්තව පිඩක කණ්ඩායම වන්නේ අප අතරම සිටින සාමාන්‍ය මිනිසුන් බව පෙන්වා දෙයි. රජයේ නියෝගය කෙසේ හෝ ක්‍රියාත්මක කිරීමට ඔවුන් බැඳී සිටිති. ඔවුන් එකිනෙකා ට පහර  දී ගනිද්දී මගේ ඉදිරි පෙලේ සිටි ප්‍රේක්ෂකයන් කොක් හඬලා සිනා සුනද  අපට සිනහ ගියේ නැත. ඒ භටයන් ගේ  විශාදි තත්වය  (PTSD) මා  බොහෝ තැන්වල දුටු දෙයකි. මේ මිනි මැරීම් තුලින් සමාජයට පිවිසෙන ආරක්ෂක කණ්ඩායම් ද මනස තුවාල වූවන්ය. ඔවුන් සිටින්නේද ජිවත් වන්නේද අප අතරය. එක භටයෙකු වින්දිතයා ට පලා යාමටද සලස්වයි. ඔහුම අවසානයේ තමන්ගේ දෙවෙනි නායකයාට පිහියෙන් අනියි.  බෙදී වෙන්වී මරා ගන්නේ එකම සමාජයක එක ළඟ ජිවත් වන්නන්ය. මට මෙන්ම තවත් සමහරුන්ටද මේ  ඝාතකයන් ගැනද සමාජය ගැනද මතුවන්නේ වෛරයක් නොව කම්පාවකි. ඔවුන්ගේ කම්පා විරහිත කම පරිභෝජනය ප්‍රකට කොට ගත්  මේ අනුකම්පා විරහිත වූ   සමාජයේම දිගුවක් බව වැටහෙන බැවිනි.
 
බුදුන් වහන්සේ මෙන්ම  යේසු වහන්සේද නගර ශෝභිනියන් කෙරෙහි අනුකම්පාව පහල කල සේක. තමන්ට ඇති තර්ජනය නොතකා පැනගිය වින්දිත  තරුණයාට ප්‍රතිකාර කරන්නේ නගර ශෝභිනියකි. අන්තිමේදී ඔවුහු ඇයවද කුදලාගෙන යති.  මේ දර්ශනයන් ඉතා ප්‍රබල ලෙස ප්‍රේක්ෂක මනසසංවේදී  කරයි. 

විජිත ගුණරත්න ගේ "වලා පටල" චිත්‍රපටය  ගැන සංවාදයේදී (2016) නන්දන වීරරත්න සහෝදරයා ගේ ප්‍රධාන චෝදනාවක් වුයේ එහි සෞන්දර්යාත්මක පැත්ත නොසළකා හැර ඇති බවයි. නමුත් එහි  බෙර්ට්‍රෝල්ඩ් බ්‍රෙෂ්ට් ගේ එපික් තියටර් ක්‍රමය එලෙසම කාවද්දා ඇත.  " එපික් නාට්‍යය ක්‍රමයේ දී කියවෙන්නේ නාට්‍යය විසින් ප්‍රේක්ෂකයාට,   නාට්‍යයේ චරිත සමග භාවාත්මක ලෙස බැඳීමට  (තදාත්මිකව) අනුබල නොදිය යුතුය යන්නය. ඒ වෙනුවට තර්කාන්විත ස්වයං ප්‍රත්‍යාවේක්ෂණයක් හා වේදිකාවේ රංගනයන් කෙරෙහි විවේචණාත්මක දැක්මක්   ඇති කර ගැනීමට ප්‍රේක්ෂකයා සමත් විය යුතුය."

මට සිතෙන්නේ "රහස් කියන කඳු" චිත්‍රපටය මේ ක්‍රමයට අනුගත වෙන ගමන්ම සෞන්දර්යාත්මක ලෙස ප්‍රේක්ෂකයා සමග සම්බන්ධ වෙමින් සිනමාවක්  නොවන සිනමාවක් නිර්මාණය කර ඇති බවය. ප්‍රධාන චරිතයක් නැති මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ආරුඪ කර ගන්නේ ප්‍රේක්ෂකයාය. සමහර ප්‍රේක්ෂකයන්ට එය හුරුවීමට මදක් ප්‍රමාද වුවද  බ්‍රෙෂ්ට් ට එරෙහිව චිත්‍රපටය සමග භාවාත්මක බැඳීමක් ඇති කරගැනීමටද  බහුතරයක් සමත්වේ. එය  ත්‍රාසය මෙන්ම කුතුහලයද සපිරි අපරාධ (crime) වර්ගයේ රහස් පරීක්ෂක චිත්‍රපටයක් නොවූ එහෙත් එසේ යයි හැඟෙන චිත්‍රපටයකි. එහි සංකේතාත්මක හැඟවීම්  බොහෝය. බෙර වයන්නා හා වැලේ  වනා ඇති  ඔහුගේ පුතාගේ ඩෙනිම් කලිසම හා කමිසයද එවැනි හැඟවුම්කාරකයන්ය . 

(Heidegger is against the modern tradition of philosophical "aesthetics" because he is for the true "work of art"). හෙයිඩගර් කියනුයේ නියම කලා කෘතියක්  සෞන්දර්යය නිසා අඳුරු වන බවය (eclipsed). නමුත් ඒ  හෛඩගර් නැවතත් පවසන්නේ එසේ නොමැති වීමත් ප්‍රශ්නයක් බවය.  (oxymoron) චිත්‍රපටය මේ දෙපැත්තම ඉතා හොඳින් සමබර කරගෙන ඇති බවක් වැටහේ. 

මා මව රැගෙන  ඉන්දියා වන්දනාවේ  ගිය විටදී  මගේ අහිංසක මව රෙදි කෑලි වල නම් ලියා  පවුලේ අයට සුභ පතමින් එල්ලුවේ මගේ උසුලු  විසුළු මැදය. නමුත් මගේ අහිංසක අම්මා ඒ විහිළු මැද  වුවත් බුද්ධගයා බෝධියේ ඒවා එල්ලුවාය. ඒ ඇගේ භක්තියයි. නමුත් තමන්ගේ  නැති වුනු පුතු සොයන ලෙස කන්නලව්  කර බෝ ගහේ  රෙදි එල්ලන මාතාව ගැන සිනා වෙන්නට අද මට සිත දුන්නේ නැත. ඒ  අහිංසකයන්ට භික්ෂුන් ගේද ඔවුන් වෙනුවෙන් පෙනී සිටිය යුතු  රජයේද   පිහිටක් නැති කළ බෝ ගස් හා නොපෙනෙන දෙවියන්  හැර වෙනත් සරණක් නැත. 

මෙතැනදී අප  ආතර් ශෝපන්හවර් දෙසට හැරුන හොත්  ඔහු ලියන්නේ මෙසේය. "කලාකරුවා අපට ඔහුගේ දෙනෙත් තුලින් ලෝකය බලන්නට ඉඩ දෙයි. සෑම සම්බන්ධයකම එපිටින් ඇති අත්‍යවශ්‍යම දේ ගැන ඔහු දන්නා බැවින් ඔහුට  ඇති මේ දෙනෙතින්, අපට බලන්නට ඉඩ දීම, මේ අත්පත් කර ගැනීම  කලාවේ තාක්ෂණික පැත්තය."- The World as Will and Representation.
 ඔහු මෙය හඳුන්වන්නේ mimicry යන නමිනි. ඒ කියන්නේ හොඳින් අනුකරණය කිරීමෙන් විනෝදය හෝ උපහාසය  සැපයීමය.  ශෝපන්හවර් ට අනුව කලාකරුවෙකු මූලිකව ඉස්මතුවන්නේ ඔහු හෝ ඇය  අති දක්ෂයෙකු  ( genius) වීම නිසා නිමවන කලාවකින් නොව ඇය හෝ ඔහු ලෝකයේ සාරය (essence) ග්‍රහණය කර ගන්නා නිසාය.  යථාර්තවාදී සිනමාවක් යනු  ප්‍රබන්ධයකි.  ඕනෑම සිදුවීමක් ලිවූ වහාම හෝ නාට්‍යක, චිත්‍රපටයක රඟපෑ වහාම එය ප්‍රබන්ධයක් බවට පත්වෙයි. නමුත් ප්‍රේක්ෂකයාගේ ක්ෂිතිමය අත්දැකීම තුල එය ඇයගේ මනසේ යලි යථාර්තයක් වෙයි. 

ජගත් මනුවර්ණ ගේ කුළුඳුල් සිනමා කෘතිය විසින් ප්‍රේක්ෂකයාගේ මනසේ වැඩෙන යථාර්තය වනාහි  ඔහු හෝ ඇය නිතිපතා අත් දකිනා  දේය . ප්‍රවෘති හෝ සමාජ ජාලා හා අනෙක විධ මාධ්‍ය හරහා රැගෙන එන දේය. එනිසා මේ කෘතිය ශ්‍රී ලංකාවේ එක්තරා කාලයකට සීමා වුවක් නොවන බවට ජගත් මනුවර්ණ ඉදිරිපත් කල මතයට එකඟවෙමි. එය ඊට වඩා උසස් ගෝලීය සත්‍යයක් කර නරඹන්නා රැගෙන යයි.

ඔහුගේ කුළුඳුල් කෘතිය මෙතරම් සාර්ථක අත්දැකීමක් කිරීම ගැන කෘතඥ වෙමි.

- අජිත් ධර්ම 18/02/2024 . 



Sunday 4 February 2024

අයිස්ලන්ත සංචාරය - 2 - යෝසිෆ් ටිටෝ - වයිකිං තරුණියන්




අයිස්ලන්ත සංචාරයේ දෙවෙනි දිනයේ  අපි නැවතී සිටි හෝටලය ළඟින්ම සංචාරක බස් රථයකට ගොඩ වුනෙමු.  මට මතක  හැටියට එහි නම  ගෝල්ඩන් ටුවර්ස් වැනි එකකි. අපේ සංචාරක මග පෙන්වන්නාගැන  අප සිතා සිටියේ ඔහු අයිස්ලන්ත ජාතිකයකු බවයි. නමුත් අපට දැන  ගන්නට ලැබුනේ ඔහු ක්‍රොශියානුවකු බවයි.  මිලියන් ගණනක් අයිස්ලන්තයට සංචාරකයන් පැමිණෙන නිසා ඔවුන්ට  සේවා සපයන්නට අවශ්‍ය තරම් ජනගහනයක් නැත. 

අයිස්ලන්තයේ මුළු ජනගහනය ලක්ෂ හතරක් පමණ වේ.  අපේ බසයේ වැඩිපුර සිටියේ ජර්මන් සංචාරකයන්  වුවද ඔහු කතා කලේ ඉංග්‍රීසියෙනි. ජර්මන් මග පෙන්වන්නන් ඉතා අඩු බවද  ඔහු පැවසීය.  ඒ අතරම ඔහු කීවේ අපූරු කතාවකි. අයිස්ලන්තයේ ජනගහනය ඉතා අඩු නිසාත් බොහෝ අය එකිනෙකාට ඥාතීන් වන නිසාත් ඔවුන්ට කසාද බැඳීම මහත් ප්‍රශ්නයකි. තමන් ආදරය කරන තරුණිය හෝ තරුණයා ඥාතියෙක් දැයි දැන  ගැනීමට මොබයිල් ෆෝන් ඇප් එකක්ද තිබේ.  

දෙවන  ලෝක යුද්ධ  සමයේදී ජර්මන් හමුදා අයිස්ලන්තයට ගොඩ බැස්ස  හොත් බ්‍රිතාන්‍යය හා ඇමෙරිකාව අතර නාවික ගමනගමනයට  බාධා සිදුවිය හැකිව තිබුණි. අයිස්ලන්තය ඇත්තේ නොර්වේ, ග්‍රීන්ලන්තය හා ඇමෙරිකා  එක්සත් ජනපදය අතර නෝර්වේජියන් මුහුද හා අත්ලාන්තික සාගරය අතරය. මුලින් බ්‍රිතාන්‍ය හමුදා ගොඩ බට අතර ඔවුන්ට පසුව අමෙරිකානු හමුදා ඩිවිෂන් එකක්ද  එහි නතර කරන  ලදී. අයිස්ලන්තයට පමණක් නොව  පියකරු අයිස්ලන්ත වයිකිං තරුණියන්ටද ආරක්ෂාව සැපයීම නිසා යුද්ධය අවසන් වන විට බොහෝ ඇමෙරිකානු භටයන් මේ වයිකින් කෙල්ලන් සමග ඇමෙරිකාව බලා ගියහ. අයිස්ලන්ත පිරිමින් තම තරුණ ගැහැණුන්  ඈත ගොවිපල වලට යවමින්, නීති වෙනස් කරමින් මේ  සම්බන්ධතා නැවතීමට උත්සහ කලද ඔවුන් අසමත් විය. අයිස්ලන්තයේ කාන්තා ජනගහනය අඩු විය.  මේ නිසා 1949 අවුරුද්දේ සිට යුද්ධයෙන් පරාජය වී සිටි ජර්මනියේ තරුණ කාන්තාවන් ට අයිස්ලන්තයට ඒමට අරාධනා කරන ලදී.

බොහෝ ජර්මන් කතුන් පැමිණ අයිස්ලන්තයේ ගොවිපල වල රැකියා කලද ඔවුන්ට අයිස්ලන්ත පිරිමින් සමග විවාහය පවත්වා ගැනීම  අසීරු විය. අයිස්ලන්ත පිරිමින්ට  අවශ්‍ය වූයේ ඔවුන් ධිවර රැකියාව හෝ වෙනත් සීමිත රැකියා ප්‍රමාණයක් කරණ විට නිවසට වී ළමයි බලාගෙන, උයාගෙන  සිටින බිරිඳකි. ජර්මානු කාන්තාවන්  බොහොමයක්ජර්මනියේ  රැකියා කල පුරුදු අය වීම නිසා ඔවුන් බෝහෝ දෙනෙකු නැවත ආපසු ජර්මනිය බලා ගොස් තිබේ. මේ නිසා වසර ගණනක් යනතුරු  අයිස්ලන්ත ජනගහනයේ කිසිම  වැඩි වීමක් සිදුව තිබුනේ නැතිලු. 

මේ තත්වය හදිසියේම වෙනස් වුනේ  අනු ගණන්වල අග භාගයේ  සමාජවාදී ලෝකයේ  බිඳ වැටීමත් සමගය. රැකියා සොයා  නැගෙනහිර යුරෝපීය රටවලින් බොහෝ කාන්තාවන්   බටහිරට පැමිණි අතර අයිස්ලන්තයටද  එවැනි කතුන් පැමිණියහ.  අපි එහි සිටින විටද රුසියානු , යුක්රේන , පෝලන්ත භාෂාවලින් කතා කරන්නේ සංචාරක කාන්තාවන් යයි කියා මා සිතුවද ඔහුගේ පැහැදිලි කරීම අනුව ඒ බොහෝ කාන්තාවන් අයිස්ලන්ත ජාතිකයන් සමග විවාහ වී එහි නතර වී සිටින අය වෙති. මේ අනුව අයිස්ලන්තය යන්තම් පරපුර රැකගෙන ඇත.  😆

අපේ ක්‍රොෂියානු සංචාරක මග පෙන්වන්නා ගේ නම යෝසිෆ්ය. යෝසිෆ් ගමනේ යන ගමන් කතාවේදී    යුගෝස්ලාවියාවේ හිටපු ජනාධිපතිවරයා වන ටිටෝ ව  කිහිප වරක්ම මතක් කළේය. ටිටෝ ගේ මුල් නම්ද  යෝසිෆ් ය.  අප කෑමට  බසයෙන් බැස යද්දී මම ජනාධිපති ටිටෝ දුටු බව ඔහුට කීවෙමි. ඔහුට එය අදහාගත නොහැකි විය. ඔහු සමග තවත් ක්‍රොශියානුවන්  කිහිප දෙනෙක් සිටි අතර ඔවුන් යුගෝස්ලාවියාව ගැන අප සමග කතා කළහ. මා ටිටෝ දුටුවේ 1976 නොබැඳි සමුළුවට පැමිණි අවස්ථාවේය. දැන් තිබෙන සිනමන් රිසොර්ට් හෝටලය ඉදිරියේ සෙපෙට්කෝ නමැති (ඒ කාලයේ ලංකා පෙට්රෝල්)   පෙට්රෝල් ෂෙඩ් එක  ළඟ බෝගසක් තිබේ.   ඊට පිටුපස තිබුනේ දැන් හෝටලය තිබෙන තැන තිබුනේ  පාපන්දු පිට්ටනයකි.  ඊට ඉදිරියේ ඇත්තේ කොම්පඤ්ඤ විදිය පොලිසියයි.  ටිටෝ ගේ රථ පෙළපාලිය ගියේ එතැනිනි.  මා  සිටියේ බෝගස අසලය. 

මා 2014 දී "යුගොස්ලාවියාවට බැඳී පෙමට ඉකි බින්ද යුවතියන්" යනුවෙන් ලිපියක් ලීවෙමි. ("පොල්කට්ටෙන් එලියට" පොතේ මේ ලිපිය තිබේ)  ඒ ලිපිය ඒ  දිනවල  දේශපාලන අනාථයන් වශයෙන් සිටි සේම එසමයේ  ජාතිවාදී යුද්ධයකින්  පිඩා විඳින රටවල් තුනක් වූ  සර්බියන්, ක්‍රොශියන් සහ බොස්නියන් කෙල්ලන් තිදෙනෙකු ගේ සමගිය ගැනය. යුගෝස්ලාවියාවේ මාෂල් යෝසිෆ් බ්‍රොස් ටිටෝ ක්‍රොශියානු සුළු ජාතියේ වුවද එහි සමාජවාදී රාජ්‍යයේ දිගු කාලීන ජනාධිපති විය. අවුරුදු තිස්  තුනකට පසුවත් තවමත් යුගෝස්ලාවියා වට ආදරය කරන මිනිසුන් හමුවීම පුදුමයක් නොවේද? යෝසිෆ් එතරම් වයසක අයෙකු නොවේ. ඔවුන් තරුණ වියේ අයයි. නමුත් ඔවුන්ද ටිටෝට හා යුගෝස්ලාවියාව ට ආදරය කරති. බසයට නැග්ග වහාම යෝසිෆ් මා ගැන බසයේ සියල්ලන්ටම පැවසුවේය. ටිටෝ දුටු ශ්‍රී ලංකික සම්භවයක් ඇති බ්‍රිතාන්‍යයේ වෙසෙන්නෙකු හමුවීම පුදුමයක් බව ඔහු කිවේය.

අපි මුලින්ම ගියේ  කෙරිත් නමැති ගිනි කන්දක්  පුපුරා යෑමෙන් හැදුනු ආවාටය බලන්නටය. ඉතා පියකරු තැනක් වූ එහි වැහි වතුර එකතුවී සෑදුනු ස්වභාවික  විල ඉතා නිල් පැහැයෙන්  බැබලුනි.   මේ  පින්තූර ගත්තේ එහිදීය.  එහි  ජලය පානය කළ හැකි තරම් පිරිසිදුය. මෙහිදී ඉතාමත් වැදගත් දැන්වීමක්ද දුටුවෙමි. කිසිවෙකුට එහි ඇති තණකොළ හෝ කිසිම පැළෑටියක් පෑගීම තහනම් ය. එය පවුම් සීයක් පමණ දඩයක් වදින වරදකි. ඔවුන් රටේ ගහකොළ වලට එපමණ ආදරයක් දක්වති. ගහකොළ වල වටිනාකම දැනෙන්නේ ඒවා නැති රටක වැසියන්ටය.  







- අජිත් ධර්ම. 2024-02-04