Wednesday, 31 August 2016

වලා පටල (penumbra) ගැන අදහසක්

උතුරු ලන්ඩනයේ දී අපි වලා පටල චිත්‍රපටය  පෙන්වුයේ පසුගිය මැයි මාසයේය. මට වලා පටල ගැන ලියන්නට අදහසක් සිතේ තිබූමුත්  එයට සුදුසු අවස්ථාවක් නොලැබිණි. මගේ පෙර ලිපියේ යථාර්තවාදී කලාව පිලිබඳ ව වූ චිත්‍ර ප්‍රදර්ශනය ගැන ලියවුනු හෙයින් වලා පටල ඒ හා සම්බන්ධ කොට ලියන්නට සිතුවෙමි.  එදින මවිසින් ප්‍රවීන නාට්‍යවේදී විජිත ගුණරත්නයන් සභාවට හඳුන්වා දීමේ දී බ්‍රෙෂ්ට්ගේ  "එපික් තියෙටර්" පිලිබඳ කෙටි හැඳින්වීමක්  කලෙමි.  එපික් නාට්‍යය ක්‍රමයේ දී කියවෙන්නේ නාට්‍යය විසින් ප්‍රේක්ෂකයාට,   නාට්‍යයේ චරිත සමග භාවාත්මක ලෙස බැඳීමට  (තදාත්මිකව) අනුබල නොදිය යුතුය යන්නය. ඒ වෙනුවට තර්කාන්විත ස්වයං ප්‍රත්‍යාවේක්ෂණයක් හා වේදිකාවේ රංගනයන් කෙරෙහි විවේචණාත්මක දැක්මක්   ඇති කර ගැනීමට ප්‍රේක්ෂකයා සමත් විය යුතුය.

මෙහිදී විජිත ගුණරත්නයන්ගේ  අදහසට අනුව හෙන්රි ජයසේන වැනි ප්‍රතිභාපුර්ණ කලාකරුවන් වුවද කලේ බ්‍රෙෂ්ට් සෞන්දර්යාත්මක කිරීමයි. බ්‍රෙෂ්ට් ගේ නාට්‍යවල මෙය දැකිය නොහැකිය.  තවත් කෙටි චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන නන්දන වීරරත්න එදා පැවසුවේ කිසියම් අන්දමකින් සෞන්දර්ය රසයක් ඉස්මතු  නොවන තැන නීරස ගතියක් මතුවන බවයි. බ්ලොග් ලියන අරුණ පෙරේරා මහතාගේ අදහස වූයේ වළා පටල වාර්තාමය චිත්‍රපටයක් විනා  වැඩි යමක් නොවන බවයි.

වලා පටල චිත්‍රපටියක් මිස වේදිකා නාට්‍යයක් නොවේ. බ්‍රෙෂ්ට්ගේ "එපික්" ක්‍රමය ඒ ආකාරයෙන්ම ගොඩ නැංවීමක් සිනමාව තුල කිරීම අපහසුය. නමුත් නොකළ හැක්කක් නොවේ. චිත්‍රපටය නරඹන අතරතුර  "වලා පටල  "  යථාර්තවාදී (realism )  සිනමා කෘතියක ඉදිරිපත් කිරීමක්  බව සිතුණි. මෙහිදී යථාර්තය යනු ඔබ හා මා අද දවසේ අත්විදින යථාර්තය නොවිය හැකිය.

චිත්‍රපටියේ පසුබිම නිර්මාණය කිරීම සඳහා අධ්‍යක්ෂකවරයා ඉමහත් වෙහෙසක් දරා තිබේ. ඒ සඳහා 1970 සමයේ ශ්‍රී ලකාවේ පැවති පන්නයේ අර්ධ නාගරික ගමක් වෙනමම නිර්මාණය කර තිබුණි. චිත්‍රපටිය නිම කරන ලද්දේ 2008 දී පමණ නිසා හැත්තෑව දශකයේ ඇඳුම් පැළඳුම් ද ඒ ආකාරයෙන්ම සැකසීමට මහත්  වෙහෙසක්  දරා  තිබුණි. එසේම ඒ කාලයේ භාවිතා කල රථ වාහන පවා ඉතා අපහසුවෙන් සපයා ගෙන තිබූ බවක් ද පෙනුනි. මා වැනි පරණ රථ වාහන වලට ඇළුම් කරන්නන්ගේ නෙත පිනවන දසුම් කිහිපයක් ද විනි..

චිත්‍රපටය  1971 අරගලයට ප්‍රථමයෙන් සිදුවුණු සත්‍ය සිද්ධින්  සමුහයක් විචාරය   කරන්නට ප්‍රේක්ෂකයා පොළඹවයි.  චිත්‍රපටයේ රූප රාමු කොටස් කිහිපයකට බෙදිය හැකිය.  එක කොටසක් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන දෙමළ වෛද්‍යවරයා වන මනෝහරන් මහතා වටා රූගත වේ. දෙමළ දොස්තර මහතා හොඳ, මිනිසුන්ට කරුණාවෙන් රැකියාව කරන අයෙකු වන අතර ගමේ සුභ සිද්ධිය සඳහා වූ සමාජ වැඩ වලට උපකාරී වෙයි. ඔහු හා ගමේ ඒ සඳහා  වෙහෙසෙන තරුණ ගුරු මහතෙකු ද මිතුදමක් ද මේ නිසා ඇතිවේ. මේ දෙදෙනාගේ හා ගමේ තරුණ පෙලේ සුභ සාධන කටයුතු වලට ගමේ මන්ත්‍රීවරයා  නොසතුට පළ කරයි. මන්ත්‍රීවරයා සිතන්නේ ඔවුන් ඔහුට විරුද්ධව ගමේ චන්දදායකයන්  පෙළ ගස්වන බවයි.  ඒ සඳහා පෙරමුණ ගන්නේ මන්ත්‍රීට කේලාම් කියන ගමේ සුළු ධනවතුන්, කඩ හිමි මුදලාලි ආදීන්ය. සාමාන්‍යයෙන් වන පරිදි මන්ත්‍රීවරයා පැත්තේ  ගමේ චන්ඩින් වන ගණන් කාරයන් කිහිපයක්ද  පොලිසියද වේ.

මන්ත්‍රීවරයා ගේ වත්තේ කුලියට වැඩ කරන දිළිඳු ගැමියන් දෙදෙනෙක් වෙති. මන්ත්‍රී ඔවුන්ට සලකන්නේ ඉතා පහත්  ලෙසය. එක පස් කපන්නෙකු,  අනිකාගේ බිරිඳ  අසනිපවූ දරුවා රැගෙන රෝහලට  ගොස් ඇති බවත් පස්කපන්නා රෝහලට දිව ගිය බවත් පැවසූ විට මන්ත්‍රී කෝපයෙන් කඩා පනියි. මන්ත්‍රී ගෝරනාඩු කරන්නේ  "ඇයි , උඹ කියන්නේ මට පස් කපන්න කියලද?".

එහෙත් ඒ අසනීප වන දරුවා ට සැත්කමක් කරන දොස්තර හොඳහිත අමාරුවේ දැමීමට මෙයින් පොටක් පෑදෙන බව වැටහෙන මන්ත්‍රීවරයා ඉන්පසු පස් කපන  කුලී වැඩ කරුවාට මුදලින් සංග්‍රහාදිය  කරමින් හිත දිනාගනී. මේ සටකපට කම භාවිතා වෙන්නේ රෝහලේ වෛද්‍යවරයාගේ උපදෙසට විරුද්ධව ළමයා ප්‍රදේශයේ රජයේ රෝහලට ගෙනයාම සඳහාය.

චිත්‍රපටිය ආරම්භයේදී ඉහත කි දෙමළ ජාතික දොස්තර හොඳහිත හා ගුරුවරයා සංවිධානය කරන ගමේ රැස්වීමට කඩා වදින මන්ත්‍රීගේ මැර  පිරිසක් පහර දීමෙන් තරුණයෙකුගේ අතක් කැඩේ. මේ තරුණයා ද අර ගමේ රෝහලේම ප්‍රතිකාර ලබයි. ඒ අතර දොස්තර හොඳ හිත වටා මැවෙන ජවනිකාවද නිරීක්ෂණය කරයි.

මේ කරුණාවන්ත වෛද්‍යවරයා දරුවාට බෙහෙත් කර සුව කිරීමට එරෙහිව මන්ත්‍රී එතනට කඩා වදින අතර සමහර හෙදියන්ද, රෝහලේ සුළු සේවකයන්ද වෛද්‍යවරයාට එරෙහිව කුමන්ත්‍රණය කරයි. මුදල් දී බාගන්නා දරුවාගේ පියා මන්ත්‍රී ගේ බලපෑම මත  දරුවා රැගෙන දිස්ත්‍රික් රෝහලට යයි. එහිදී දරුවා මිය යයි. අසාධාරණ ලෙස එහි වරද එල්ල වන්නේද දොස්තර හොඳ හිතටය.

ඔය අතරවාරයේ වෙනත්  සම්බන්ධයක් නැති රූප රාමු  කිහිපයක් ලෙස පොලිසියෙන් මුද්‍රණාලයකට කඩා වැදී දේශපාලනික පත්‍රිකා මෙන්ම එහි වැඩ කරන සේවකයන්ද අත්අඩංගුවට ගනිති. මෙයින් ඉඟි කරන්නේ  1971 අරගලයට ප්‍රථම චේගුවේරා  කාරයන් ගැන ඉව වැටී එවකට පැවති  රජය ජවිපෙ හිතවාදීන් අත් අඩංගුවට ගැනීම යයි කෙනෙකුට  සිතිය හැකිය. තරුණ ගුරුවරයාගේ යහළුවෙකු ද අත් අඩංගුවට  ගන්නා  හෙයින් ගුරුවරයා ආරක්ෂාව තකා ගමින් පිටව යයි. එයට උපකාර කරන්නේද දෙමළ වෛද්‍යවරයාය.

නමුත් ඊට කලින් දා  දිනයක පොලිසියේ ලොකු මහත්තයාද  මුදලාලි හා පළාතේ මන්ත්‍රී  සමග මත්පැන් සාදයකට එක්වෙයි. එනිසා මෙයද මන්ත්‍රී සම්බන්ධ කුමන්ත්‍රණයක් යයි කිව හැකිය. තමන්ගේ චන්ද බලයට එදිරිව ඒ යැයි  සිතන ඕනෑම බලවේගයකට මන්ත්‍රීවරයා විරුද්ධය. ඉන් කාටවත් හානි වූවාට ඔහුට ප්‍රශ්නයක් නැත.

චිත්‍රපටිය පුරාවට ඉඳහිට අර රෝහලේ නතරවී ප්‍රතිකාර ලබන තරුණයා ද  පෙන්වයි. විටෙක විමතියෙන්ද, විටක බියෙන්ද,  විටෙක කුතුහලයෙන් ද  යුතුව ඔහු තිරයට පැමිණෙයි.   අතරමන් වූ තරුණ පරපුරක  ඉච්ඡා භංගත්වය තුලින් පැන නගින අසහනය, අවි අතට ගැනීමට හේතු සාධකයක් වන්නේ  කෙසේද යන්න පෙන්වා දෙන අයුරු අපූරුය.

ශ්‍රී ලංකාවේ දේශපාලනය 1970 දී  බරපතල ලෙස වෙනස් වූයේ වාමාංශික  පක්ෂ සමග සභාගයකට එළඹුණු  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමිගි පෙරමුණු  රජය පිහිටුවීමෙනි. නමුත්  1971 වනවිට විජේවීර ගේ ජනතා විමුක්ති පෙරමුණ තරුණ බලවේගයක් ගොඩ නගා තිබුණි.

චිත්‍රපටියේ වෛද්‍ය මනෝහරන් උදව් කරන්නේ ගමේ සමාජ සුභ සාධන වැඩ සටහනකටය. එයට උදව් දෙන්නේ තරුණ ගුරුවරයෙකි. දෙදෙනාම මන්ත්‍රීගේ උදහසට හා ගමේ සුළු ධනපති මුදලාලි ආදීන්ගේත් උදහසට පත්‍ර වේ. ගුරුවරයා පලායයි. වෛද්‍යවරයාට රැකියාව අහිමි වෙයි. ගුටි කා අතක් කඩාගත් තරුණයාට මේ වැරැද්ද  පෙනුනන්ත් එය නිවැරැදි කිරීමට ක්‍රමයක් නැත.

දියුණු ධනවාදී සමාජයක මෙවැන්නක් සිදුවුවහොත් ඒ සඳහා පැමිණිලි කිරමට ස්වාධීන අධිකරණයක් තිබෙන අතර, ප්‍රබල සමාජ සංවිධාන මුලිකත්වය ගෙන උද්ඝෝෂණ පෙත්සම් ආදියෙන් එවැනි තත්වයන් වලකති.  ඒ කාලයේ  වැඩවසම් ක්‍රමයට වඩාත් හුරු ශ්‍රී ලාංකික සමාජය එවැනි බලවේග නොමැති කමින් අසරණ වෙයි. එවැනි අවස්ථාවක සමාජ සාධාරණය ගැන කතා කරන   සංවිධානයකට තරුණයාට බැඳීමට සිදු වන්නේ නම්  එසේ වීමට අවශ්‍ය ඕනෑ තරම් කරුණු තිබෙන  බව මේ චිත්‍රපටිය පුරාවට ඇදෙන සිද්ධි මාලාව තුලින් පෙන්වයි.

චිත්‍රපටියේ සෞන්දර්යාත්මක පැත්තක්  නොමැති බවට නැගෙන චෝදනාවේ ද  කිසියම්  සත්‍යයක් සාපේක්ෂව තිබිය හැකිය.  මන්ත්‍රීවරයා පොලිස් නිලධාරීන් හා මුදලාලි ආදීන් සමග මත්පැන් පානය කරන අවස්ථාවේ ඔහුගේ සහායකයන් එකතුවී ගී ගයනු වැන්නක් රූගත කල හැකිව තිබුණි. එසේ වුවද ගමේ පියකරු දොළක දරුවන්  කෙලි දෙලෙන්  ස්නානය කරන අයුරු එක  දර්ශනයක තිබේ. ඒ දර්ශනයක බෞද්ධ කවියක්ද පසුබිමින් ගායනා කෙරේ.

වෛද්‍ය මනෝහරන් ලෙස ගාමිණී හත්තොටුව  මහතා ගේ රංගනය ප්‍රශංසනාත්මක වුවද ඔහුගෙන් අපේක්ෂා කළ තරම් ප්‍රබල රංගනයක් ඉස්මතුවූ බවක් ද නොපෙනේ.  ඔහුගේ ප්‍රධානියා වන දෙල්ගොඩ නමැති වෛද්‍යවරයාගෙන් මෙන්ම මන්ත්‍රීවරයා ගෙන්ද වඩා ප්‍රබල රංගනයක් ඉස්මතු වෙයි.

සමහර විට මනෝහරන් වෙදැදුරු ගේ අහිංසකත්වය ඉස්මතු කිරීමට එසේ වූවාදැයි ද සිතේ. මේ ප්‍රශ්නය තුලින් පහත දැක්වෙන විමසීමකට යාමට මට සිත්විනි.

යථාර්තවාදී සිනමාවක් ගැන කතා කිරීමේදී සිදුවෙන හෝ සිදු වී ඇති යයි සිතෙන දේ ඒ ලෙසම රූගත  කිරීමම  අවශ්‍ය  නොවේ. වාර්තා චිත්‍රපටයක එය කළ හැකිය.

ත්‍රිමාණ වෙබ් අඩවියේ මෙසේ සඳහන්ව තිබුණි.  (ත්‍රිමාණ වෙබ් සඟරාවේ ලිපිය )

ලකාන් "සත්තාව" යනුවෙන් අදහස් කරන්නේ මෙය නොවේ. "සත්තාවට සිරුරේ දිග පළල පමණක්  නොව සංකේතාත්මක මානයක් ද ඇත.එම සංකේතයන් මේ පද්ධතිය තුල ව්‍යුහ ගත කරන්නේ  තවත් සම්බන්ධතා පද්ධතියක් තුල හා සංකේතයන් රැඳී  ස්ථාන වලින් "ලෝකය (සැදී ඇති) අනුපිළිවෙල" ට අනුවය.  මේ නිසා පද්ධතියක  ස්ථානගත වන  නිවැරදි සංකේතාත්මක සම්බන්ධයක් දෙයක ගුණාත්මක භාවයේ නිරූපණයක් ම නොවේ. 

මේ නිසා ලකාන් ට "සත්තාව" යනු පද්ධතියක රිකල්පනික කල්පිතයක්  හා සංකේතාත්මකයක් අතර  සහවාදයක් (synthesis) වන අතර  එහි  අනුපිළිවෙළ (order) එකිනෙකා (කල්පිතය හා සන්කෙතත්මකය) පරස්පර ලෙස ව්‍යුහගත කරයි.  මේ දෙ ආකාරයේ සංයෝගය, මිනිස් සිරුර හා සංකේතාත්මක සාමාජිය අනුපිලිවෙල ට ආශ්‍රිතව  ඇති ව්‍යුහගත පද්ධතියක, අප ඉදිරියේ සිදුවන දෘශ්‍යමානය මෙන්ම අතාත්වික ලෙස ප්‍රාදුර්භූත වීමද   තීරණය කරයි.  


"යථ" (The real) ලකානියානු විශ්ලේෂණයේදී මුළුමනින්ම වෙනත් දෙයකි. ලකාන් නැවත නැවතත් අවධාරණය කරන්නේ "යථ " යන "සත්තාව (reality ) නොවන බවයි. ඉහත සදහන් ලෙස සත්තාව හෙවත් යථාර්තය යනු කල්පිතයේ හා  සංකේතාත්මකයේ (නිමිත්තේ) සහසන්ධීය පද්ධතියකි. යථ යනු සත්තාව ඉක්මවා යන  සත්තාවේ අතිරික්තයක් වන සත්තාවෙන් මග හැර යන දෙයකි. එනයින්  යත යනු සත්තාවේ ස්ථානයක් (වෙන්ව)  නැත්තකි .  (The real is that which is -without- place in reality) 


මේ අනුව නරඹන අතරතුර   "වලා පටල " යනු  බ්‍රෙෂ්ට්ගේ නාට්‍යවාදී ස්වරූපයේ එපික් ක්‍රමයට රූගත කරන ලද යථාර්තවාදී සිනමාවේ වාර්තා චිත්‍රපටියක් යයි හැඟුනද චිත්‍රපටය අවසානයේ අපගේ චිත්ත විභාගයට ලක්වන්නේ වෙනත් දෙයකි. එනම් මේ අධ්‍යක්ෂකවරයාගේ පරිකල්පනයට හසුවූ යථාර්ථයේම  කල්පිතයක් හා සංකේතාත්මක සිද්ධීන් පද්ධතියක සහවාදයක් (synthesis) බවයි.

ප්‍රධාන දොස්තර මෙන්ම දෙමළ වෛද්‍යවරයාද ලකානියානු මනෝ විශේලේෂණයට හසුවෙන ප්‍රතිවිරුද්ධ ලෙස සාමාජිය මානසික පීඩනයකට ලක්වෙන චරිත දෙකකි. දරුවා අසනීපවන විට,  වෛද්‍යවරයා විවේකයෙන් නිවසේ සිටියදී එහි  යන මව මෙන්ම මන්ත්‍රීවරයා ගේ නිවස කුලී වැඩ කරන ඇගේ සැමියාද මේ මානසික පිඩනයට හසුවන්නේ වෙනත් සංකේතාත්මක සිද්ධීන් පද්ධතියක මුත් මේ පද්ධති දෙකම එකකට එකක් සම්බන්ධය.

 මන්ත්‍රීවරයා මෙන්ම ඔහුගේ සුළු ධනේෂ්වර හිතවතුන්ද රෝහල් සේවකයන් මෙන්ම ගැමියන්ද මේ මානසික පීඩනයටම ලක්වූවෝ වෙති.  ගුරුවරයා හා ඔහුගේ හිතවතුන්ද නීතිය ක්‍රියාත්මක කරන පොලිසියද මේ පද්ධතියටම සම්බන්ධ වන්නේද එතනින්ය. මෙහිදී අධක්ෂකවරයා සාමාන්‍ය  සෞන්දර්යාත්මක චිත්‍රපටයක මෙන් අපට ප්‍රධාන චරිත කිහිපයක් වටා යන ලෙහෙසි කතාවක යථාර්තවාදී නිරූපණයක්  වෙනුවට යථාර්තයෙන් පරිබාහිර සංකීර්ණ මනෝ විශ්ලේෂණයක් රූපරාමු අතරින් එළිදක්වයි. නමුත් මෙය අප සංවේදී වන යථාර්තයට කෙදිනක සම්බන්ධයක් තිබූ බවද අපට වැටහේ.

මේ නිසා ගාමිණී හත්තොටුව පිළිබඳව මා ඉහත සඳහන් කළ කල නිගමනය වැරදිය. ඔහුගේ චරිතයේ ඉස්මතුවීමක් තුලින් ඉහත කි සම්බන්ධයන් බිඳී යයි. එනිසා ඔහුගේ රඟපෑම් විලාසය චිත්‍රපටයේ මතුවෙන සංකීර්ණ මනෝභාවයන් හා සබැඳේ .

වර්තමාන ලංකාවේ පෞද්ගලික රෝහල් බහුලය. එවැන්නක දැකිය නොහැකි දර්ශනයක් වන්නේ රෝගීන් හා ඔවුන් බලන්නට එන්නන් විසි කරන බත් අනුභව  කරන දඩාවතේ යන සුනඛයන්ය. එවකට රජයේ රෝහල් අවට මේ දර්ශනය සුලභ බව මගේ මතකයේ තිබේ. චිත්‍රපටය අවසාන වන්නේ බල්ලෙකු රෝහලේ හිස් කොරිඩෝරය තුළින් යන දසුනකිනි. එක්තරා අන්දමක සුන්යාත හැඟීමක් මේ දසුන සිතේ  ඇති කරයි.මේ අවසන් දර්ශනය මගේ සිතේ තදින් කා වැදුනේ ඉහත සිදුවීම් සියල්ලේ අවසානය කුමක්ද යන්න  සිතීමේ දීය. අධ්‍යක්ෂකවරයා ගේ සිතේ මැවුන  මේ දර්ශනය  සිනමා කෘතියේ සංකේතාත්මක නිරූපණය තුලින් ඉහත කි සත්‍ය කතාවේ පරාජය වූයේ සමාජය බවත් ඇතිවන්නට තිබූ  සමාජීය දියුණුවේ හිඩැසත් දනවයි.

මේ චිත්‍රපටය ලංකාවේ තිරගත කිරීමට බාධා කිරීමට හේතුව මට සිතා  ගත නොහැකිය.  මා දැනගත් පරිදි 1971 සමයේ කතාවක් නිසා ජේවීපී ලේබලයක් වැදී  තිබීමයි. එකල තිබු මහින්ද රාජපක්ෂ පාලනය යටතේ නොයෙකුත් අවහිරතා බාධා කිරීම කරන ලදී. අධ්‍යක්ෂකවරයා විසින් ගම් දනව්  පුරා, විද්‍යාල ශාලාවල, සංස්කෘතික මධ්‍යස්ථානවල ප්‍රේක්ෂකයා  වෙනුවෙන් තිරගත කිරීමෙන් සාර්ථක විය හැකි චිත්‍රපටයක්  යයි සිතේ. ඉංග්‍රීසි උප සිරැසි සහිතව කිසියම් යුරෝපීය නාට්‍ය උළෙලෙකට ඉදිරිපත් කළා නම් සම්මාන ලැබිය හැකි අන්දමේ නිර්මාණයක් බව හඟිමි.   

35 comments:

  1. මේ චිත්‍රපටය මා නැරඹුවේ මීට වසර අටකට පමණ කලින් බවයි මතකය. විජිත ගුණරත්න ගේ දේශනයකුත් තිබුණා.

    නමුත් මේ චිත්‍රපටය තහනමට ලක් වූ බවක් කියවුනේ නෑ. එසේ වෙන්න ඇත්තේ ඊට පසුව විය යුතුයි

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ තහනම් කළ නිසා පෙන්නුවේ නැහැ කියල. හොයල බලන්නම්.

      Delete
    2. සමහර විත්‍රපට ලංකාවේ පෙන්නන්න (කල් යනවානේ කොහොමටත්) කලින් පිටරටවල පෙන්වනවා. වලාපටල එහෙම වෙන්ණ ඇති. විජිත ගුණරත්න මෙහේ ආවේ 2009 දී පමණ. සංවිධානය කළේ එකල සිනුවර ජේවීපී ශාඛාවෙන්, ළඟදී සෙනෙට් එකට ඉල්ලපු ජගත් බණ්ඩාර ලා. (දැන් ඒ අය බහුතරයක් පෙසපෙ!)

      මෙන්න විජිත ගුණරත්න ගැන කියවෙන කතාවක්.
      http://kathandara.blogspot.com/2012/05/wth-is-that.html

      එවැනි සමහර චිත්‍රපට ලංකාවට පෙර අප දැක තියෙනවා. නමුත් මෙහෙමත් වෙනවා. දැන් බොරදිය පොකුණ මෙහේ පෙන්නන කොට ප්‍රචාරය කළේ හරියට ලංකාවේ තහනම් කළා වගේ හිතෙන්නයි, නමුත් ඇත්තටම වෙලා තියෙන්ණේ නිෂ්පාන ප්‍රශ්නයක් නිසා පිටපත් මුද්‍රණය කල් යෑම වගේ දෙයක්. පසුව ලොකු සමාගමක් (ඉන්දීය?) චිත්‍රපටය මිළට අරං තිබුණා.

      .

      Delete
    3. ස්තූතියි මේක දැම්මට. නමුත් විජිත එක්ක කතා කරපු මුකුත් කියවිලා නැහැනේ ඒ ලින්ක් එකේ.

      Delete
    4. මෙහෙමයි. මා දැනගත් පරිදි 1971 සමයේ කතාවක් නිසා ජේවීපී ලේබලයක් වැදී තිබීමයි. එකල තිබු මහින්ද රාජපක්ෂ පාලනය යටතේ නොයෙකුත් අවහිරතා බාධා කිරීම් කරල තිබෙනව. ජේවීපී එකට සහය දෙන කතාවක් මෙතන නැහැ. නමුත් ලංකාවේ ඉන්න නිලධාරිවාදී එවුන්ට ඕව තේරුම් ගන්න බැහැ.

      Delete
  2. මම The Man Who Knew Infinity බැලුවා... අජිත්ගේ පෝස්ට් එක මතක් වුණා.. මේක නම් බලල නෑ.. අජිත් ෆිල්ම් එකේ සිද්දිය ලියල තියෙන නිසා ආයේ ඉතින් බලන්න දෙයක් නෑ.. හෙහ් හෙහ්..

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි නේද? අපරාදේ මම චිත්‍රපටියේ විස්තර ලිව්වේ.

      Delete
  3. වැඩවසම් ක්‍රමයට වඩාත් හුරු ශ්‍රී ලාංකික සමාජය එවැනි බලවේග නොමැති කමින් අසරණ වෙයි. ////// ++++++

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලාංකික සමාජය ගැන ආනන්දකුමාරස්සවාමි සියවසකට එපිට කිවුව "රාජ යුගය තවම අවසන්ව නැත. මහජන යුගය පැමිණීමට තව කල් තිබේ" යන්න අදටත් වලංගුය

      Delete
  4. ඵලදායීතා සංකල්පය සෑම ක්ශේත්‍රයකටම පොදුයි. ඒ අනුව චිත්‍රපටි කර්මාන්තයටද මෙය බලපානායුරු වලාපටල තුලින් පැහැදිලි කල හැක.

    චිත්‍රපටයක් සඳහා වෙහෙසවීම පමණක් හොඳ චිත්‍රපටියක් ගොඩනැගීමට හේතුවෙන්නේ නැත. කලාත්මක සහ වාණිජ්‍යමය යන දෙයාකාරයෙන්ද චිත්‍රපටයක් සාර්ථක විය යුතුය .

    වලාපටල සඳහා තෝරාගෙන තිබෙන්නේ සාමාන්‍යයෙන් සුලබ කතා තේමාවකි. හිතහොඳ දොස්තර කෙනෙක් (ඔහු දෙමල වීම තුල තවත් සාමාන්‍යකරණය කර ඇත) . ඔහුට එදිරිව එන දේශපාලකයෙක් සහ සුපුරුදු පරිදි ඔහුට එදිරිව කුමන්ත්‍රණය කරන ඔහු යටතේ සේවය කරන්නන්.

    සුලබ කතා තේමාවක් වුනත් සිනමානුරූපීව කතාව ගොඩනැගීමට අධ්‍යක්ෂවරයා අසමත්වී ඇතිබව මගේනම් හැඟීමයි.

    ප්‍රේක්ශකයා සිනමා ශාලාව තුලට ගෙන්වාගැනීමටත් පැය එකහාමාරක් පුරාවට සිය ආසනයේ ඇඹරෙන්නෙ නැතිව ප්‍රෙක්ෂකයා රඳවා තබාගැනීමටත් වෙහෙසවී නොමැති බව පෙනේ.

    අත කඩාගත් තරුණයා කතාවේ සක්‍රිය භාවය රඳවාගැනීම සඳහා අපූරුවට භාවිතා කල හැකිව තිබුනා. නමුත් ඒ ඔහුව රජිනිකාන්ත් පන්නයේ වීරයෙකු කිරීමෙන් නොවේ.

    එසේම වෛද්‍යවරයා සම්පූර්ණයෙන් සුදු චරිතයක් නොකලා නම මෙහි සිනමානුරූපී බව වැඩිකරගැනීමට කටයුතුකල හැකිව තිබුනා.

    ලංකාවේ අධ්‍යෂකවරුන් හැමවිටම කරන වැරැද්ද වන ප්‍රේක්ශකයා අමතක කිරීම මේ චිත්‍රපටය තුලත් අඩුනැතිව දැකිය හැකිබව මගේ මතයයි.

    පලමු කාරණය විය යුත්තේ ප්‍රේක්ෂකයා වෙනුවෙන් චිත්‍රපටය හැඩගැස්වීමයි. මන්ද කර්මාන්තයක් හෝ කලාවක් ලෙස චිත්‍රපටයට ප්‍රේක්ශකයගෙන් තොර පැවැත්මක් නැති නිසාය.

    ඒනයින් බලන කල වාර්තා චිත්‍රපටකින් එහාට අඩියක් තැබීමට වලාපටල අසමත්වී තිබේ

    ReplyDelete
    Replies
    1. මේක සුලභ කතා තේමාවක් නොවේ. සැබවින්ම සිදුවූ සිද්ධියක්. ඒක සුලබයි කියල ඉවාන් ට හිතෙන එකෙන්ම තේරෙන්නේ මේ තත්වය කොපමණ දරුණුද කියල ලංකාවේ. ඒ කියන්නේ මේ සත්‍ය සිද්ධිය ඉඅවන් ගේ හිතේ අහ් මේ නිතර වෙන සුලබ කටහ්වක් කියල ඉවත් දමන්න හිතිලා. මේකම තමයි වැරැද්ද. යුරෝපිය රටක ඔහොම කරන්න තියන අවස්ථාව අඩුයි. ප්‍රේක්ෂකයා වෙනුවෙන් චිත්‍රපටි හැඩ ගහනවා කියනන් අර රන්ජන් වගේ චිත්‍රපට කරන එකට. ඒවාට ඔය ඉන්දියන් චිත්‍රපටි තියෙන්නේ.

      Delete
    2. මම කියන්නෙත් ලංකාව ගැනතමා. මේක ඇත්තටම සිදුවූ සිද්ධියක් කියන්නෙ කවුද . එහෙම් කියන්නෙ අධ්‍යක්ෂකවරයා. ඇත්ත කතාව ගත්තොත් මේ ආකාරයේම සිද්ධි වටා ගෙතුනුකතා අනන්තයි. විමලරත්න අධිකාරිගෙ දොස්තර තාඹුගල චරිතය එන ටෙලිනාට්‍යයේ තියෙන්නෙත් මේ කතාවස්තුවමයි. ඒක බලලා නැතුව ඇති අජිත් අයියා. හොයාගෙන බලන්න. එතකොට තෙරෙයි නිර්මාණාත්මක අතින් මේ චිත්‍රපටියෙ දුර්වලකම.

      //"ප්‍රේක්ෂකයා වෙනුවෙන් චිත්‍රපටි හැඩ ගහනවා කියනන් අර රන්ජන් වගේ චිත්‍රපට කරන එකට. ඒවාට ඔය ඉන්දියන් චිත්‍රපටි තියෙන්නේ"// එතකොට චිත්‍රපට හැදෙන්න ඕන ප්‍රේක්ශකයට බලන්න නෙවේද. ඔය හදන චිත්‍රපට මිනිස්සු බලන්න ඕන නැද්ද? සිංදුවක් ඔබන එක ගැන නෙවේ මම කියන්නෙ.හඳගමගෙ ෆිල්ම් මිනිස්සු බලන්නෙ නැද්ද? ඉනෝකා සත්‍යාංගනීගෙ ෆිල්ම් මිනිස්සු බලන්නෙ නැද්ද? මිනිස්සු සල්ලි දීලා ගන්නටිකට් එකට සාධාරණයක් වෙන්න ඕන නැද්ද?

      ඊට පස්සෙ ෆිල්ම් එක දිව්වෙ නැතිවුනාම , ණය ගෙවාගන්න බැරිවුනාම, ශිල්පීන්ට සල්ලි ගෙවන්න බැරිවුනාම රජය චිත්‍රපට කර්මාන්තයට අතදෙන්නෙ නෑ කියල මරලතෝනි දෙනවා. එතකොට අජිත් අයිය කියන්නෙ අපේ රටේ ප්‍රේක්ශකයා බලන්නෙ රංජන්ගෙ ෆිල්ම් විතරයි අනික් ඒවා බලල තෙරුම් ගන්න මොලයක් උන්ට නෑ කියලද. අන්න ඔතන තමා මහලොකු චිත්‍රපට කාරයො වරද්ද්ගන්න තැන . සිනමාව කලාවක් ඒ කලාව නොදන්න එකා උගේ හිතේ තියෙන බහිබූතයක් මිනිස්සුන්ට බලපිය කිව්වට මිනිස්සු බලන්නෙ නෑ. වාර්තා තියපු කලාත්මක සම්භාවය චිත්‍රපටි ලිස්‍ට් එකක්ම තියෙනවා. මිනිස්සු ඒවා බලනවා. හැබැයි ඒ චිත්‍රපට හැදුවෙ ප්‍රේක්ශකයා රංජන් ෆෑන්ස්ලා කියලා නොහිතන අධ්‍යක්ෂකවරු.

      Delete
    3. //මේක ඇත්තටම සිදුවූ සිද්ධියක් කියන්නෙ කවුද . // ඔය දෙමළ දොස්තර ජිවත් වුනේ වැඩ කළේ අලව්වේ. ළමයා අරන් ගියේ අලව්වෙන් කුරුණෑගල ට. දොස්තරට ඔපරේෂන් එක ඉවර කරන්න නොදී ශ්‍රීලනිප මන්ත්‍රී තර්ජනය කරලා ළමය අරන් ගියේ. එදා ඕක වෙන විධිහකට විසඳුනා නම් චිවිල් සමාජය වෙන විධිහකට , ඔය තාඹුගල කතාව හෝ තවත් කතා හැදෙන්නේ නැහැ. නිර්මාණාත්මක අතින් දුර්වලයි කියන්නේ 2008 දී 1971 ගමක් හදන්න ලෙහෙසියි කියන එකද? 2008 මේක හදන්න වුනේ ලංකාවේ මේ විකාරය ටහ්වමත් සිදුවෙන නිසා නොවෙයිද? මිනිසුන්ට මේක පෙන්වල දෙන්න ඕනේ නැත්ද? ඇත්ත ඇති සැටියේ, සීනි තවරන්නේ නැතිව. මගේ අක්කා ගේ හතියට රෑ අමරුවුනහම තාත්තා අරන් ගියෙත් අලව්වට. පෞද්ගලික සේවා නැති කාලයක් ඒක . එහෙම වෙදදුරෙක් තමයි මේ පාහර රැල එලෙව්වේ.

      Delete
    4. හඳගමගේ චිත්‍රපටි හැමෝම බලන්නේ නැහැ. හැමෝටම හැම චිත්‍රපටියක්ම අල්ලන්නේ නැහැ. මම කියන්නේ නැහැ ඉන්දියන් චිත්‍රපටි රන්ජන් රාමනායකගේ චිත්‍රපටි එපා කියල. විජයේ ගේ චිත්‍රපටි බලන්න මම අදත් ආසයි . ජනප්‍රිය රැල්ලේ චිත්‍රපටි පමණක් නොවේ අපට ඕනේ. සමාජ ප්‍රශ්න ගැන ඒ ආකාරයෙන් කතා කරන ඒවත් අවශ්‍යයි. මේ චිත්‍රපටිය ප්‍රේක්ෂකයා රන්ජන් ෆෑන්ස් කියල හිතල හැදුව එකටත් වඩා සමාජයට බරපතල පණිවිඩයක් - හිතන්න - කියල කියන එකක්. ඒකයි තේරුම් ගන්න ඕනේ . ඔයාවත් විශ්වාස කරන්නේ නැත්නම් මේක ඇත්ත කියල හරි නැත්නම් මෙහෙමෙ දේ වෙන එක නවත්වන්න ඕනේ කියල හරි එහෙමත් නැත්නම් මේවා අහරි සුලබ කතා කියල හරි - ඒක හරිම කණගාටුදායකයි. ඒ කියන්නේ 1970=2016 කියන එක.

      Delete
    5. ඔන්න ඉතිං මල පනිනවා , මම කියන්නේ නෑ එතනින් කතාකරන සමාජ ප්‍රශ්නය සුලබ දෙයක් කියලා අතාරින්න කියලා . අනිවාර්යයෙන් එක කතා කලයුතු දැවෙන ප්‍රශ්නයක්. එත් සිනමාවට ඒක තේමාවක් වුනාම අපිට එහෙම නොහිතෙන්න නිර්මාණය කරන්න අධ්‍යක්ෂක දක්ෂ වෙන්න ඕන .

      අනික ඕක දෙසැරයක් කියන්න ඕනැයි හැක්

      Delete
  5. ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට නොදුන්නෙ හිතහොඳ දොස්තර දෙමල වීම නිසා වන්නට පුලුවන්, නමුත් පසුව තහනම ඉවත් කර චිත්‍රපටය පෙන්නුවා.කාලයක් ලංකාවෙ සිනමාකරුවන්ගේ සිහිනයක් තමන්ගේ චිත්‍රපටය තහනම් කරවා ගැනීම . ඉන්පසු " තහනම ඉවත්කලා, ආපහු තහනම් කිරීමට පෙර ඉකමනින් නරඹන්න " වගේ ස්ලෝගන් එකෙකින් මාකටින් කරන්න පුලුවං නිසා. හැබැයි මේකට ඒකත් හරිගියේ නෑ මට මතක විදිහට

    ReplyDelete
    Replies
    1. සින්දුවක් වගේ දැම්මා නම් මිනිස්සු බලයි කියල මටත් හිතුනා. ඒකනේ හැටි.

      Delete
  6. අද චිත්‍රපට විචාර දවසක් වගේ. පැරාගේ මෝටර් සයිකල් විචාරය කියෙවුවා විතරයි.

    ReplyDelete
    Replies
    1. යන්න ඕනෙ කියවන්න.

      Delete
  7. මගේ සිත් ගත් චිත්‍රපටියක්. යථාර්ථවාදීව සිද්ධි දාමයක් ඉදිරිපත් කර තිබෙනවා, ප්‍රේක්ෂකයාට සිතන්නට යමක් ඉතිරි කරමින්.

    ReplyDelete
    Replies
    1. අන්න ඔතනට එන්න පුළුවන් නම් හොඳයි. මාත් ජොලියට විනෝදයට බලන චිතපටි තියෙනවා. එහෙම නැති ඒවා තියෙනවා.

      Delete
  8. අද චිත්‍රපට විචාර දවසක් වගේ. පැරාගේ මෝටර් සයිකල් විචාරය කියෙවුවා විතරයි X 2.. බර වැඩියි අප්පා මේවා අපේ ටිකිරි මොළවලට :/

    ReplyDelete
    Replies
    1. ටිකිරි ??????????????????????????????????

      Delete
  9. අජිත් කතාව ලියලා හරියට ෆිල්ම් එක බැලුවා වගෙ අකියවන් අපිටත් දැනෙන්න...

    ReplyDelete
  10. අජිත් කතාව ලියලා හරියට ෆිල්ම් එක බැලුවා වගේ කියවන අපිටත් දැනෙන්න...

    ReplyDelete
    Replies
    1. එච්චර ලියල තිබ්බද? හා කතාව කියන්න බලන්න.

      Delete
  11. හොඳ කතා තේමාවක්... මේ චිත්‍රපටය බලල නෑ... මේ විස්තරේ හැටියට බලන්න හිතුනා...

    ReplyDelete
    Replies
    1. දැන් තියනවා ද දන්නේ නැහැ. dvd දාලතිබ්බ නම් හරි.

      Delete
  12. කිව්වත් වගේ මෝටර් සයිකල් විචාරය කියවලා මේකත් කියෙව්වම නිකම් හෝල් එකකට ගිහින් දෙකම බැලුවා වගේ තමා... පට්ට විචාරයක් තමයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. මෝටර් සයිකලේ කියවනං බැරි වුණා තවම.

      Delete
  13. ශේක්ස්පියර් ඔතෙලෝ හැදුවා වගේම වැනීසියේ වෙලෙන්දත් හැදුවා.
    ඒත් අපේ එවුන්ට පුළුවන් ඔතෙලෝ හදන්න විතරයි.
    මේ කතාවේ චරිත මාරු කරන්න බැරිද
    එනම් සිංහල දොස්තර හොඳහිත කෙනෙක් සහ දූෂිත දෙමළ දේශපාලඥයෙක්.
    අවංක සිංහල දේශපාලඥයෙක් සහ කපටි දෙමල දොස්තර කෙනෙක්.
    තමන් ජාතිවාදියෙක් නෙමෙයි නම් ඒ වගේ වෙනසක් කරන්න බයවෙන්න අවශ්‍ය නෑ.
    එක අතකට මේක පිටරටවල් වලත් වෙනවා. හින්දි චිත්‍රපටවල නරක මුස්ලිම් මිනිස්සු පෙන්වනවා අඩුයි පෙන්නුවත් සමබර කරන්න හොඳ එකෙකුත් දානවා.
    ඇමරිකාවේ චිත්‍රපටි වලත් කළු ජාතික අවංක පොලිස් කාරයෝ බහුලයි. කළු ජාතික හොරු අඩුයි.
    මේක කලා කාරයෝ කියන උන්ට තියෙන ලෙඩක්. මේකට වෙන්න ඇති කොමියුනිස්ට් හැදියාව කියන්නේ. :D

    ReplyDelete
    Replies
    1. දැන් මේක ඇත්ත සිද්ධියක් කියල ලියල තියනවනේ. මේ ඇත්ත සිද්ධිය පාදක කරගෙන අධ්‍යක්ෂක නිර්මාණයක් කරනවා. ජගත් ට වෙලා තියෙන්නේ දෙමල මිනිසුන්ට එහෙම වෙන්නේ නැහැ කියල කියන්න විතරයි. නමුත් එහෙම වුණා. අපි ඔය සිද්ධිය වෙනකොට ජිවත් වුනේ ඒ පැත්තේ. ඇමරිකාවේ චිත්‍රපටි වල මුල් එවල කළු ජාතිකයෝ තමයි හොරු. සමහර ඒවල මුල් පදිංචිකාරයෝ තමා දරුණු. ආක්‍රමණික සුද්දෝ හොඳ.
      //එනම් සිංහල දොස්තර හොඳහිත කෙනෙක් සහ දූෂිත දෙමළ දේශපාලඥයෙක්.// මෙහෙම ඒවත් තිබෙනවා. ජගත් හදන්න එකක්.

      Delete
  14. Today, I went to the beach with my children. I found a
    sea shell and gave it to my 4 year old daughter and said "You can hear the ocean if you put this to your ear." She placed the shell to her ear and screamed.

    There was a hermit crab inside and it pinched her ear. She never wants to go back!

    LoL I know this is entirely off topic but I had to tell someone!

    ReplyDelete

මෙහි ඇති ඕනෑම ලිපියක් අජිත් ධර්මකීර්ති, අජිත් ධර්ම හෝ කොළඹ ගමයා බ්ලොග් ලින්ක් එක යටතේ උපුටා පල කිරීමට පුළුවන.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම කොමෙන්ටුවක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ කොමෙන්ටු පමණක් පල නොකරමි. කොමෙන්ට් දමන සියල්ලන්ටම ස්තුතියි.