Sunday, 15 July 2018

නොකියැවුණු කතාව - නිධානය

නිධානය 
දැනට මාසයකට පමණ පෙර "සුළඟ අප රැගෙන යාවි " චිත්‍රපටයේ තරුණ අධ්‍යක්ෂක වරයා වන නුවන් ජේත්, සිනමාවේදය උගන්නා  සිසුවකු වන සන්ජයත්, චන්දන ගුණසේකරත්,  අගෝරා කලා කවයේ සහෘදයනුත් එක්ව "නිධානය" සිනමාපටය  ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාට උපහාර පිණිස ලන්ඩනයේ දී තිරගත  කළා. සභාව මෙහෙයවීමට ආරාධනාවක් ලැබී තිබුන නිසා කෙටියෙන්  කතාවක්ද සූදානම්  කරගෙන පැමිණි මුත් එයට අවස්ථාවක් ලැබුනේ නැහැ. එනිසා මම ඒ කියන්න හිටිදේ මෙතන ලියනව කියල හිතුව.

පහුගිය අවුරුද්දේ ලංකාවට ගිය වෙලාවේ යාළුවෙක් එක්ක දවල්ට කෑමට ගියා ජා ඇල වෙළඳ මධ්‍යස්ථානයකට. එංගලන්තේ ස්ට්‍රට්ෆොර්ඩ් වෙළඳ මධ්‍යස්ථානයට ගිය කෙනෙක් දන්නවා ඒකෙ එක තට්ට්ටුවක ලෝකයේ රටවල් ගණනාවක  කෑම තිබෙන ආපන ශාලා තිබෙනවා  කියල. චීන, මැලේසියන්, කැරිබියන්,  ඉන්දියන්, ඉතාලි, ඉංග්‍රීසි ,  ඇමෙරිකන් ආදී වශයෙන්.  මේ ජා ඇල  මම කියන වෙළඳ මධ්‍යස්ථානයත් ඒ වගේ හැබැයි ටිකක් ප්‍රමාණයෙන් කුඩායි.

ඉතින් අපි ලංකාවට ගියහම අපේ යාලුවෝ අපිව එක්කන් යන්නේ හුඟක් වෙලාවට චයිනීස්, මැලේසියන් , මැක්ඩොනල්ඩ්ස්, කේ එෆ්සී වගේ තැන් වලට තමා වැඩියෙන්ම. අපිත් සද්ද නැතිව යනවා. මට හිතෙනවා වෙලාවකට ඒ ගොල්ලට ඕන පෙන්වන්න මේ මෙහෙත් මේවා තියනවා කියල. නැත්නම් ඒ ගොල්ලන්ගේ අවිඥානක ආශාවක් තියනව ඇති ඒ වලින් ආහාර ගන්න. නමුත් ඒක යටපත් කරගෙන ඉන්නවා ඇති. නැත්නම් "මේ බලන්නකෝ එංගලන්තේ විතරක් නෙමේ මෙහෙත් මැක්ඩොනල්ඩ් තියනවා, කේ එෆ් සී තියනවා" කියල කියාගන්න ඕන වෙන සියුම් ආශාව වෙන්න ඇති.

ඉති ඔය දවසෙත්  අපි ඔය කියන වෙළඳ සංකීර්ණයේ ඇවිද්ද දවල්ට කන තැනක් හොයාගෙන.  මැලේසියන් කෑම , චයිනීස් කෑම , ඉතාලි පැස්ටා, චිකන් තිබ්බත් ඔහේ ඇවිද්ද. එකක් වත් හිතට හරි ගියේ නැහැ. අන්තිමේදී දැක්ක මුල්ලක පොඩි කඩ කෑල්ලක්. හට්ටි වල මාළු ඇඹුල් තියල්, හාල් මැස්සෝ බැදලා, පොළොස්, කන්කුම්, ගොටුකොළ සලදේ, වම්බටු බැදලා, රතු බත්, සුදු බත්, පොල් සම්බෝල, නෙලුම් අල, කොහිල ඔක්කොම එක්ක. ගාණ අර අනිත් කෑම වගේමයි හැබැයි.  ඉතින් බත් එකට දෙන වෑංජන පහ දෙන්නට අරගෙන අතිරේක බත් එකක් ගත්ත අනිත් වෑංජන ටිකෙත්  රහ බලන්න. අර හැංගිලා හිටිය ගමයා එලියට පැන්නද? ලන්ඩන් වලින් ලංකාවට ගියහම අර හිතේ කොනක සැඟවී තිබූ අවිඥානක ආශාව එළියට ආවද?

මේ  අවිඥානක ආශාව ඇවිල්ල සෑහෙන්න බලගතු දෙයක්. භෞතික දේවලින් වගේම මානසිකව කරන බලපෑම් (manipulation) වලිනුත් එය පාලනය කරන්න පුළුවන් කියල හිතෙන්නේ නැත්ද? පාලනය වෙන්න පුළුවන් නේද .
ඒ කියන්නේ නිධානයක් ගැන ඇතිවන අවිඥානක ආශාව?  පුස්කොල පොතක් වගේ දෙයක ලියල තියෙන දේවල් සියල්ලම සත්‍ය යයි  විශ්වාස කිරීම වගේ අතාර්කික (irrational) දෙයක් වෙත මනස  යොමු කරවන්න මේ අවිඥානක ආශාවට පුළුවන්ද?

අවිඥානක ආශාව නිසා මානසිකව ලෙඩෙක් වෙන්න පුලුවන්ද? චිත්‍රපටයේ ප්‍රධාන චරිතය විලී අබේනායක අසු පිට නැගල මහා වැස්සේ නිධානය හොයන්න ගිහින් නැවත  නිවසට ඇවිත් බිමට  වැටෙනවා. පිටින් තුවාලයක් නැහැ. මානසිකව ලෙඩ වීමක්  නොවෙයිද එතැන පෙන්වන්නේ?

ඒ කියන්නේ මේ අවිඥානක ආශාව - නිධානය රැගෙන ණය මුදල් ගෙවා,  සින්න වීමට යන වලව්වද  බේරා ගෙන පරම්පරාවේ ගෞරවය රැක ගැනීම, අතීත ශ්‍රී විභූතිය කරා යාම සාක්ෂාත් කර ගන්න විලී ව  යොමු කරවනවා.  නමුත් ඒකෙන් යථාර්තය, නැත්නම් අර විධිහට සැලසුමක් ගහලා  අර තුන් කුළුඳුල්, උපන් ලපේ තියෙන කෙල්ල  (අයිරින්) කසාද බැඳලා ඒ දේ සැලසුමේ විධිහටම කරද්දී යථාර්තය විලී ගෙන් සැඟවෙන්නේ කොහොමද? යථාර්තය හා මායාව අතර ඉරක් ඇන්දොත් විලී මේ දෙක අතර දෝලනය වෙනවා කියල  හිතෙන්නේ නැත්ද?  එතකොට විලී ගේ සිත තුල ඇතිවන මේ මායාව හා සැබෑ ලෝකය අතර ඇති ගැටුම  දයලෙක්තික  විඝටනයක් නෙවෙයිද?

ලෙස්ටර් මේ ජවනිකා සුක්ෂම ලෙස පෙළ ගැසුවේ  එම හේතුවෙන්ද? මම හිතන්නේ නිධානය ලෝක සිනමාව තුලට යන්නේ මෙන්න මේ ගැටුම ( අවිඥානක ආශාව) අධි යථාර්තවාදී ලෙස (ultra realistic) (දීප්ති කියන විධිහට සිනමාත්මක  ෆැන්ටසිය) තමන්ගේ සිනමා කෘතිය තුලට ගෙන ඒම  නිසා කියලයි මට හැඟෙන්නේ.
ඉතින්ම ට හිතෙන්නේ මේ එක ක්‍රමයකින්  නිධානය කියවා  ගත හැකි විධිහක් කියල.

චිත්‍රපට  විචාරය හා දේශපාලනික විචාර වලට මනෝ විශ්ලේෂණය විෂයක් වශයෙන් යොදා ගත්තේ මම හිතන්නේ එක්ස් කණ්ඩායම සහ දීප්ති කුමාර ගුණරත්න කියලයි. එනිසා ඔහුගේ විචාර හැම එකක්ම වගේ මම කියවනවා.  දීප්ති කිහිප තැනකම  හයිඩගර් තෝරා
ගන්නවා. හයිඩගර් ගැන මම මේ "කැත ගැහැණියගේ අගෝරා සෙල්ෆිය" ලිපියේ කියලා තියනවා ටිකක්.
මම ගෙඩිය පිටින්ම ඒ ලිපියේ කොටස මෙතැන දානවා නැවත ලියන්න කම්මැලි නිසා.

'හයිඩගර් ලියනව  "කලා  කෘතියක මූලාශ්‍රය" (the origin of the Work of Art) කියල ලිපියක්.  මෙන්න මෙහෙම දෙයක් ඒ ලිපියේ ඔහු කියනවා. ඔහු පෙනී සිටින්නේ වර්තමාන (ඔහුගේ කාලයේ) සම්ප්‍රදායක දර්ශනවාදී සෞන්දර්යය සඳහා   නොවේය නමුත් සත්‍යම වූ සත්‍යයම පිළිඹිබු කරන  කලා කෘති සඳහාය කියල. (Heidegger is against the modern tradition of philosophical "aesthetics" because he is for the true "work of art"). ඔහු කියනවා නියම කලා කෘතිය සෞන්දර්යය නිසා අඳුරු වෙනවා (eclipsed) කියල. හැබැයි හෛඩගර් ම ඒ එක්කම කියනවා මේක මහා ඔක්සිමොරොන් (oxymoronic) එකක් කියල. ඒ කියන්නේ  "හතරැස් වෘත්තයක්" "කන් බිහිරි කරවන නිශ්ශබ්දතාවය" වගේ .  "ජිවත් වුනත් මැරිලා වගේ " ඉන්න මිනිස්සු. මැරිලා නම් ජිවත් වෙනවා කියන්න බැහැනේ.  "අවංක නීතිඥයෙක්", "කොළඹ ගමයා" වගේ තව උදාහරණ ගන්නත් පුළුවන් .
සුන්දරත්වයක් නැති කලා කෘති පවතින්න පුලුවන්ද? (ඔව් තියනවා, බොක්ස් ඔෆිස් එකේ වැඩිය සාර්ථක නොවිච්ච)

මොකද  කලාවේ  නියම ඓතිහාසික වටිනාකම හදුනාගන්නට බටහිර මිනිසාට හැකිවුණේ එය  සෞන්දර්යවාදී වීම නිසාම යයි කියල ඔහු නැවත නැවතත් අවධාරණය කරනවා ඒ එක්කම. හතරබීරි කතාවක්නේ. ඒ කියන්නේ තමන් කියන එකටම ඔහු විරුද්ධ වෙනවා.

දැන් නිධානයේ ආදර  ගීත , අයිරින් ගේ නැටුමක් හෙම නැහැ.  අනික ඒක  සුදු - කළු චිත්‍රපටයක්. වර්ණ ගැන්වීම්, පරිසරයේ සුන්දරත්වය අපට පේන්නේ නැහැ. හැබැයි අතීත කාලය මතක් වෙනවා.




හැබැයි ලෙස්ටර් සංගීතය අරන් එනවා චිත්‍රපටියට කේමදාසයන් හරහා. ආරම්භයේදී පසුබිම් සංගීතය ඉතා ප්‍රබලයි. "මට මතක විධිහට ගොළු හදවතින් තුන්වෙනි යාමයට " කියන කැසට් පටියේ ඒ කොටස අහන්න පුළුවනි.  විලී අබේනායක නිධානය තිබෙන තැන මුලින්ම බලන්නට යනවිට ඇති සංගීතය බෙර වාදන  සමග සම්මිශ්‍රණය වූ එකක්.  ටිකක පුස්කොළ පොත් කතා , බෙර වාදන එකට ගත්තම අර ගුප්ත ගතිය සිතේ ඇති කරවනවා.
 ඒ කියන්නේ ලෙස්ටර් සෞන්දර්යය පැත්ත අමතක කරලා නැහැයි කියන එක. නමුත් ලෙස්ටර් ඒක ගන්නේ හයිඩගර් කියන විධිහටම විලී  අබේනායක තම  මුහුණ දෙන  දෙමුහුන් යථාර්තය උලුප්පා    පෙන්වන්න. කොටින්ම  ඔක්සිමොරෝන් එකක් විධිහට.

මම ඇත්තටම කැමතියි කවුරු හරි ලැකානියානු මනෝ විශ්ලේෂණයක් (Psychoanalysis)  හරහා  මේ චිත්‍රපටය ගැන කියවීමක් කරනවා නම්. (එහෙම කරලා තියනවද දන්නේ නැහැ)/
ඒ කියන්නේ හැත්තෑව දශකයේ සිමියෝටික්ස්,  අපරේටස් තියරි  (Apparatus theory) (ඒ කියන්නේ සිනමාව ස්වභාවිකවම සංකල්පික  හා මතවාදීය යන අදහස) ආදිය උපයෝගී කරගෙන සහ ඉන් පසු දශක වල ජැකලින් රෝස් ආදීන්ගේ අදහස් (අතුරුදහන් වූ ආශාවේ අරමුණ)  උපයෝගී කරගෙන කරන විචාරයක්.  මට ඒ පිළිබඳව දැනුම අඩු නිසා ඒ ගැන කතා කරන්න  කැමති නැහැ. කාට හරි කරන්න  පුළුවන් නම් හොඳයි. 
**************************
මෙතැනින් එම කතාවේ අවසානය එළැඹෙනවා. තවත් අදහස් දෙකක් කියන්න කැමැතියි මෙන්න මේ සම්බන්ධව. මම හුඟක් කැමති (එයා ලියන පොත්  වලට වැඩියෙන්ම   ) මහාචාර්ය වරයෙක් ලියනවා චිත්‍රපටයක් ගැන කරන  එක්තරා විචාරයකදී, "එයා මේ විචාරය කරන්නේ බසාන් , ජිජෙක්, චිචෙක්, ලැකාන්    වැනි කෙනෙක් ඇසුරින් නොවේය".  එයා චිත්‍රපට පිස්සෙක් වශයෙන් ය  කියල. හැබැයි මෙතැන සියුම්ව කරන පහරදීමකුත්  තියනවා කියල හිතෙනවා  එවැනි චිත්‍රපට විචාර කරන අය කෙරෙහි. උදාහරණයක් වශයෙන් දිප්තිලා වගේ අයට මම හිතන්නේ . මේ මහාචාර්යතුමා අමෙරිකා එක්සත් ජනපදයේත් ඉගෙන ගත් අයෙක්. ඇත්තම කියනවා නම්  එයාට ඒ රටවල් වලට නොගිහින්ම ලංකාවේම ඉන්න තිබ්බ නේ. එහේ ගිහිල්ල මොකට ඉගෙන ගත්තද?
ඇත්තටම මෙවැනි මහාචාර්ය වරුන්ගෙන් අපි අපේක්ෂා කරන්නෙම අපි නොදන්න දේ, අපිට නොපෙනන සියුම් දේ, වෙනත් රටවල සංවර්ධනය වුනු අදහස්,  වෙනත් චින්තකයන් ගේ අදහස් ඔවුන්  ගේ ලිපි මගින් , කතා මගින් අපට පැහැදිලි කරලා  දෙයි කියලනේ. නැත්ද මං අහන්නේ.ඒ  වෙනුවට අපිට වෙලා තියෙන්නේ   දීප්ති ලා  වගේ විශ්ව විද්‍යාල වල ගිහින් ඉගෙන ගත්තේ නැති අයගේ ඒව කියවන්න.  ඒ යයි බලාගෙන ගියහම ඒ දැනුම අරන් එන්නේ.

මොකද මහාචාර්ය වුනහම ඒ ගොල්ලෝ කියන්නේ අපිට නාථ දෙයියෝ අදහන්න, නැත්නම් අර හිටපු  ජනාධිපති කෙනක් දෙවියෙක් වෙලාය එයට වැඳුම් පිදුම් කරන්න , එහෙමත් නැතිනම් අපිට ඔය චින්තකයෝ වැඩක් නැහැ. චිත්‍රපටි  පිස්සෙක්  වගේ මම කියන  දේ අහන්න. මහාචාර්ය වරුන්ට ලංකාවේදී ඉනා බේත් වගේ මොනවා හරි කවනවද ?
(හැබැයි ඒ ලිපියේ ඉතිරිය නම් හොඳයි. එම චිත්‍රපටය ගැන හොඳ විචාරයක් හම්බවුනොත් කියවන්න)

දෙවෙනි එක තමයි, මේකත් බුකියේ දැක්ක දෙයක්. කෙනෙක් අහනව හිට්ලර් ගැන කතා කරන්න  එපා කියන වමේ බුවාලා හෙම හයිඩගර් වගේ අය කියපු දේවල් ගැන කතා කරනවා. ඇයි එතකොට හයිඩගර්  නාසි හිතවාදියෙක් නොවෙයිද කියල. ඔව් ඒක ඇත්ත. හයිඩගර් ට එහෙම ප්‍රශ්නයක් තිබුන. නාසි වාදියෙක් සහ ෆ්‍රිද්බර්ග් විශ්ව විද්‍යාලයේ කුලපතිත් වුණා. ප්‍රංශ හමුදා පරීක්ෂණයක් කරලා, හයිඩගර් ට අපහු උගන්වන්න අවසර දුන්න.
මේ කතාව කියල තියෙන්නේ මට පේන්නේ "බයියෝ" නමින්  ලංකාවේ හඳුන්වන ජන කොට්ඨාශයේ කෙනෙක් කියල. මොකද අර හිට්ලර්  ප්‍රශ්නය එතනට අදාල නිසා.

 මහින්ද රාජපක්ෂ  ජනාධිපති තුමාට අකමැති කෙනෙක් ගමු. (උදාහරණයක් වශයෙන් ඔය ටොයියෝ කියල හඳුන්වන ජන කොට්ඨාශයෙන් කෙනෙක් ) . ඉතින් ඔය ටොයිය කැමති වුනත් නැතත් මහින්ද සමයේ හදපු දක්ෂිණ අධිවේගී මාර්ගයේ යන්න  එපැයි. ඇත්තම කියනවා නම් ගාල්ලට විනාඩි 45කින් යන්න පුළුවන්නේ. ඉතින් මහින්දට අකමැතියි කියා නොයා ඉන්නවයි? නැහැනේ.

අපි කැමති වුනත් නැතත් හයිඩගර් කියපු  දේ අපෙයි කියල ගන්න  බැහැනේ. කලාව හෝ යම් දෙයක් ගැන හයිඩගර් කියපු දේ කොතැනක හරි එයාගේ කියල ලියවිලා නම් තියෙන්නේ අපිට ඒකට  අයිතිවාසිකම් කියන්න බැහැ. හයිඩගර් තමයි  කිව්වේ කියල ඒ අයිතිය දීල තමයි භාවිතා කරන්න වෙන්නේ.

තව උදාහරණයක්  ගත්තොත් කොළඹ කුණු ඇළවල් පිරිසිදු කරලා, බෝට්ටු යන්න හදල ඒ පැත්ත ලස්සන  කරලා ගත්තේ ගෝඨාභය රාජපක්ෂ මහත්මය හිටපු කාලේ එයාගේ උපදේශකත්වයෙන් නේ.  අපි ඒක පිළි ගන්න  ඕනේ. දේශපාලකයෙකු වශයෙන් අපි ගෝඨාභයට කැමතිද නැත්ද හෝ ගෝඨාභය නාසිද නැත්ද  කියන එක එතනට අදාල වෙන්නේ නැහැනේ.

අනික දියත උයනට ටොයියොත් යනවනේ.

******************
ප.ලි :
(උපුටා ගැනීමකි.) https://media.edusites.co.uk/article/film-theory-and-language/
Apparatus Film Theory
‘Apparatus’ is another word for the means in which a specific production is created. In the case of film / cinema, the film projector and the screen. Apparatus Theory is a model of spectatorship and institutions. It argues that cinema is ideological (based on ideas) because the films are created to represent reality. This means that because film is created to illustrate different ideas, everything has meaning - from the camerawork to the editing. It argues that ideology is not imposed on cinema, but is part of its nature (through the viewer) and it shapes how we think. Apparatus theory was dominant in the 1970s (following the 1960s where psychoanalytical theories and debates were very popular) and is derived from a combination of Marxist theory, semiotics and psychoanalysis. In film theory, the idea is that representation must include the mechanics of film, for example the camera and editing. The production of meaning in a film text, the way a text constructs a viewing subject and the mechanics of making a film all affect the representation of the subject. This theory is that the central position of the spectator/ viewer within the perspective of the text is also ideological - it is a reproduced reality and the experience of cinema influences the viewer on a deep level.

This problematic theory is best explored in Jean-Louis Baudry’s work. Firstly, the idea that inactive viewers (the common people, or Marx’s ‘proletariat’) are unable to differentiate between the world of film / illusion and the real world is seen in the Hypodermic Needle Theory (see FilmEdu’s Understanding Audience). Also that viewers of film misidentify their identities with those on the screen (the characters), which makes them sensitive to ideological positioning.

Wednesday, 11 July 2018

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (30) - දුපතේ ගීතය

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (29) - හරිත දූපතට  

තමන් දුපතට එන බව තාන්යා ලේනාට දුරකතනයෙන් දැනුම් දී තිබුණි. ලේනා  පැමිණියේ ඔවුන්ගේ නිවෙස අසල ජීවත්වූ යහළුවන් පිරිසක් ද සමගය. එහි උක්රයින  ජාතික ඇන්ජලිකා  නම් පියකරු තරුණියක්ද වුවාය. ඇයට අසාමාන්‍ය ලෙස දිග කළු කොණ්ඩයක් තිබුණි. කොසැක්  තරුණයින් දෙදෙනෙකුද රුසියානු තරුණයන් හා තරුණියන් කිහිප දෙනෙක්ද  උස්බෙක් ජාතිකයෙක් ද විය .ගිටාරයක් හා බලලයිකාවක් ද  ඔවුන් අත විය.

එකෙකු වොඩ්කා බෝතල් කිහිපයක් බෑගයකින් ගෙන එළියෙන් තැබීය. . ඒවා ගිහාන් ගෙන් බව ලේනා පැවසීය. සාදයකට වුවමනා මොනවාදැයි ඇසූ විට තමන් වොඩ්කා ගන්නට මුදල් දුන් බව ගිහාන්ට සිහි විය. තරුණ සමූහය උණුසුම් ලෙස ගිහාන් වැළඳ ගත්හ. වොඩ්කා නිසාද සැබවින්ම සුහද කමටදැයි ගිහාන්ට සිතා ගත නොහැකි විය.

ලේනා ඇතුළු තරුණියන් කල්බසා, අගුර්සි, දුම් අල්ලන ලද මාළු වහ වහා බිම ඇතිරූ ඝන රෙදි කඩක තැබූහ. එක රුසියානුවෙකු ගේ  මල්ලකින් වීදුරු දහයක් දොළහක් එලියට ආවේ පිහියක්ද සමගය. මේ වීදුරු ස්තලොවායා (කෑම කැෆේ) වල තේ කෝපි බීමට දෙන ඒවා බව ගිහාන් දුටුවේය. ඔහු ඒ ගැන මුකුත් කීවේ නැත.

සෑම වොඩ්කා අඩියක් පාසාම එය ගැනීමට කලින් කුඩා හැඳින්වීමක් රුසියානුවන් කරති. ඇත්තටම ඒ කුඩා කතාවකි.  තාන්යා හෙමින් සීරුවේ කළු පාන් ගෙඩියක් කපන්නී  තමන්ගේ වොඩ්කා වීදුරුවට දමා ගත්තේ ඉතා කුඩා මත්පැන් ප්‍රමාණයකි.

"මම මෙච්චරයි  බොන්නේ "

"මෙයා දැන්ම ආසියානු බිරිඳක් වෙන්න  හදනවා " ලේනා කීවාය.
"මම කොහොමත් වොඩ්කා බොන්නේ අඩුවෙන්. වයින් වලට වඩා කැමැතියි"

ඇන්ජලිකා බල්ගේරියන් වයින් බෝතලයක් එලියට ගත්තාය.

"අපි දෙන්න මේක බොමු. හැබැයි අරින්න විධිහක් නැහැ" ඇබය පෙන්වා කීවාය.

හැඩි දැඩි රුස්සෙකුවූ ගේනා බටර් පිහියක් ඇබය උඩ  තබා එක පහරකින් එය බෝතලය ඇතුලට දමා කෙල්ලන් දෙදෙනාට වයින් වත් කර දුන්නේය.  හැමෝම ඔහුට අත්පුඩියක් ගැසීය.

ලේනාගේ පෙම්වතා වලෝද්යා සෑම විටම නායකයා සේ ක්‍රියා කල බව ගිහාන් දැන  සිටියේය.
"පළමුවෙනි වීදුරුව අපේ අමුත්තා වන ගිහාන් සහ ඔහුගේ සුන්දර පෙම්වතිය තාන්යා සඳහා." වලෝද්යා වීදුරුව එසවීය. ඔහු සමග සියල්ලෝම වොඩ්කා වීදුරු එක වරම හිස් කළෝය.

රුසියානුවන් වොඩ්කා වලට  කිසිවක් කලවම් කරන්නේ නැත.  වොඩ්කා එක උගුරට ගිල දමා ඉක්බිතිව දොඩම් (මැන්ඩරින් ) කෑම, කළු පාන් කෑල්ලක්  සැපීම, කල්බසා කෑම ඔවුන්ගේ සිරිතයි.

"උඹලගේ  රුසියන් කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටියත් මාව හොඳින් පිළි ගත්ත එකට ස්තූතියි " ගිහාන් කීවේය.

"තාන්යා ට හොඳනම් ලේනාට හොඳනම් , අපේ රටට උඹව ගෙන්නලා උගන්වන්න  හොඳනම් අපි උඹට අකමැති වෙන්නේ ඇයි " රුස්සෙක් ඇසුවේය.
"මගේ යහළුවෙක් ජෝර්ජියාවේ ටිබිලිසි නගරයට ගියා එයාගේ රුසියානු පෙම්වතිය එක්ක. ඒ කෙල්ලගේ කොන්ඩේ රන්වන් පාට  නෙමේ. උන්ගේ කෙල්ලන්ගේ වගේ කළුයි. මෙයා වගේ" ඇන්ජලිකා පෙන්වමින් ගිහාන් කීවේය.

"පාරේ යනකොට කාරෙකක ගිය ජෝර්ජියන් කොල්ලෝ වගයක් එයාව කාරෙකට ඇද ගන්න හදල තියනවා. මෙහෙ වර වේසි විදේශිකයෝ එක්ක යන්නේ කියල.  ඒ මදිවට වැවකට නාන්න ගිය වෙලාවේ ජෝර්ජියන් කාරයෙක් ඇඳුම්  මාරු කරන අර කුටියක කෙල්ල ඉද්දි  යටින් බඩ ගාගෙන ඇවිත් බැලුවලු."

රුසියානුවන් නැවතත් බඩවල්  අල්ලාගෙන මහා හඬින් සිනා සුනහ.

"හොඳ වෙලාවට බරටශ්විලි ආවේ නැත්තේ " රුසියානුවෙක් ජෝර්ජියානු නමක් සඳහන් කරමින් කීවේය.

"එක පාරක් ට්බිලිසි (ජෝජියානු අගනුවර )  වල ලොකු රථවාහන ප්‍රශ්නයක්ලු. මහා පාරේ වාහන දෙපැත්තෙන්ම නවත්වලා මිනිස්සු ගොඩක් පොර කනවලු  පාර මාරු වෙන්න. ගයි කාරයා ගියාලු බලන්න (ගයි යනු පොලිස් රථවාහන හසුරුවන  නිලධාරීන් හඳුන්වන පදයකි). බලනකොට මේ අපේ තාන්යා වගේ  කොන්ඩේ රන්වන් උස ලස්සන රුසියන් කෙල්ලෙක් පාරු මාරු වෙනවලු. ජෝර්ජියන් කාරයෝ පෝලිමට එක පොදියට  ඒකිගේ පස්සෙන්  පෝලිමේ ඇවිත් පාර මාරු වෙන්න පොර කනවලු ".

තරුණ  පිරිස  නැවතත් කොක් හඬලා සිනා සුනහ.

වොඩ්කා දෙක තුනකින් පසු කතාබහ දේශපාලනයට මාරු විය. ඒ දිනවල  සෝවියට් නායකයා වූයේ ගොර්බචොව් ය. ඔහුගේ පෙරෙස්ට්‍රොයිකා හෙවත් නැවත  ගොඩ නැගීමත් ග්ලාස්නස්ට් හෙවත් විවෘත විවේචනයත් සෝවියට් වැසියන් දෙකඩ කරවීය. වලොද්යා ලේනා ඇතුළු කේජිබි විදුහලේ උදවිය ගොර්බා විශ්වාස කළේ අඩුවෙන් බව ගිහාන්ට පෙනුනි. උක්රයින කෙල්ල, උස්බෙක් ජාතිකයා ඇතුළු තවත් පිරිසක් මේ වෙනසට කැමති විය.

"අපට  නිදහස ඕනේ. දැන් ඇඳුම්  පැළඳුම්, බටහිර භාණ්ඩ හෙම එනවා.  කොකා කෝලා විකුනනවා, මැක්ඩොනල්ඩ් එකක් මොස්කව් වල ඇරලා. ගිහාන් ලා ගියාද ඒකට. මටත් යන්න  ආසයි. අපට පිටරට වල යන්නත් දෙනවලු " ඇන්ජලිකා උද්යෝගයෙන් කීවාය.

"අපි ගියා මැක්ඩොනල්ඩ්. ගිහාන් මාව එක්කන් ගියා. මම අර කිරි වලින් හදපු බීමට ආසයි. " තාන්යා කීවාය.
"මිල්ක් ෂෙයික් "  ඇන්ජලිකා තොල් උල්කර ඉංග්‍රීසි වදන් උච්චාරණය කලාය.
"ඒ උනාට මම වැඩිය කැමති ගිහාන් උයන ඒවා කන්න " තාන්යා ගිහාන්ට තුරුළු වෙමින් කීවාය.

"මම කිවේ මේකි  දැන්මම ආසියානු වෙලා."  ලේනා ඔලොක්කුවට මෙන් කීවාය.

"ඕවා එන එක හොඳයි. නමුත් වැඩි නිදහස දුන්නොත්, දේශ සිමා ඇරියොත්  බටහිර එවුන් මේකේ ඇවිල්ල කාල විනාස කරලා දායි " වලොද්යා උද්වේගයෙන් කීවේය.

"අපි සින්දු කියමු. අර සිගන් සින්දුව කියන්න මොෂින් "  දේශපාලන කතා උණුසුම් වූ නිසාදෝ ගිහාන්ට නම අමතක රුසියානු කෙල්ලක් උස්බෙක් ජාතිකයා අමතමින් කීවාය. සිගාන් යනු රුසියාවේ   අහිකුන්ඨක ජනතාවට  කියන නමයි. මොවුන් සෝවියට් දේශයේ වෙනම ජනපදවල පදිංචි වී සිටියා වුවත් අනිකුත් ජාතින් සමග මිශ්‍රවද  ජිවත් වූහ.

බලලයිකාව වයමින් උස්බෙක් ජාතිකයා සින්දුවක් කිවේය. අංජලිකා හා රුසියන් කෙල්ල දර්ශනීය ලෙස සිගාන් නැටුමක් නැටූහ.
ගිහාන්ට මතක විධිහට එය "මහ්නාති ශ්මෙල්  හෙවත් මීවද සුවඳ " නමැති සින්දුවකි. සිගාන් වරයෙකු ගේ දියණියක් තමන් ගේ ආදරය සොයා අසු පිට නැගී තම ඉරණම කුමක් වන්නේ නැත්දැයි නොදැන යන ගමනක් ගැන කියවෙන චිත්‍රපටයක  ගීතයකි. ඉතා සෙමින් පටන් ගන්න ගීතයේ අවසානය ඉතා වේගවත් වෙයි. සියල්ලෝම නැගිට වේගයෙන්  නටන්නට පටන් ගත්  අතර තාන්යා ද ගිහාන් වටා කරකැවෙමින් නර්තනයේ යෙදුනාය.

එය අවසන් වෙත්ම කාමරෝවා නම් ගීතයද ඔවුහු එක්ව ගයන්නට හා නටන්නට වූහ.

දොන් නදිය අසබඩ ගුප්ත  දුපතේ රාත්‍රිය  එළඹෙමින් පැවතුණි. වොඩ්කා වලින් ද ගීත ගයා වයා නැටීමෙන් වෙහෙසට පත් පිරිස තැනින් තැන වැටී ගිමන් හරින්නට වූහ. කෑමද අවසන් වෙමින් පැවතුනි. අගුර්සි හා තක්කාලි දැමූ බෝතල් වල ඇඹුල්  වතුරද  රුස්සන් බොන්නට පටන් ගත්හ.

"මේ ඉන්දියන් කොල්ලා, ඔයා තාන්යා එක්ක තරහ වෙනවා නම් හෙම මට කතා කරන්න. මම නොම්මරේ දෙන්නද " අංජලිකා  ගිහාන් ගේ අතින් අදිමින් කීවාය.
ගිහාන් මදක් ලජ්ජා සහගත විය.

"ඕනනම් ගනින් මට මොකද , හැබැයි එයා ලංකාව කියන රටේ" තාන්යා සිනා සුනාය.

" මම මගේ තනුච්කා  ට විතරයි ආදරේ " ගිහාන් සිනාවෙමින් පැවසීය.

"නමත් වෙනස්  කලාද තත්යානා ගේ , තනුච්කා කියල " ඇන්ජලිකා  නැවතත් ඔහුගේ අතින් අදිමින් සිනා සුනාය.
තත්යානා යනු තාන්යා ගේ නියම විධිහට  කියැවෙන දීර්ඝ නමයි.

සියල්ලෝම  දිග ඇදී  සිටිද්දී ගිටාරය ගත් තාන්යා ගීයක් පටන් ගත්තාය. මව සංගීත ගුරිවරියක් නිසාදෝ ඇයට හොඳින් ගිටාරය වාදනය කිරීමට හැකිය. කොහොමත් බොහෝ රුසියානුන් තම දරුවන්ට කුමක් හෝ සංගීත භාණ්ඩයක් වැයීමට හෝ නර්තනයක් කිරීමට  උගන්වති. එය වඩාත් පැතිර ඇත්තේ රුසියානු යුදෙව් ජාතිකයන් අතරය. බොහෝ විට පියානෝව හා වයලීනය හෝ  ඔපෙරා නැටුම් ගැහැණු ළමුන්ටද ගිටාරය හා ජිම්නාස්ටික් පිරිමි ළමුන්ටද උගන්වති.

තාන්යා පටන් ගත් ගීතය මදක් දුර ගයන විට සියල්ලෝම  නිසොල්මන් වූහ.
ඇය දැන්මම අනාගතය දකින්නීද? ඇය ගයන්නේ විටින් විට මද සිනහවකින් මුව සරසා ගෙන ඔහු දෙස බලාගෙනය. ගිහාන් ගේ සිත වටහා ගත නොහැකි දුකකින් පිරී ගියේය.

"ව්ස්යෝ නාපොමිනායේත් අ තෙබ්යේ
 අ තී නි ග්ද්යේ
අස්තල්ස්යා මීර්
කතෝරි ව්ම්ස්ත්යේ විදෙල් නස්
ව් පස්ලෙද්නි රස්....."

  ලෙසින් ගැයූ ගීතයේ තේරුම රහසකට වඩා හදවතේ තෙරෙපෙන අදහසක් කියා පෑමක් වැනි විය.

"හැකි හැම විටම  මතකයට නැගෙනුයේ  නුඹයි
නමුත් නුඹ නැත පෙනෙනා මානයක
අප එක්ව සිටි හැටි දුටු   ලොව පමණක්
ඉතිරිව ඇත
අවසන් වරට (ව් පස්ලෙද්නි රස්)

බැල්කනිය සහ ජනේලය ඇති කාමරය
ආලෝකයෙන් පිරීලා
පිරිසිදුයි එදා වගේම
අප එක්ව සිටි හැටි දුටුවා  මෙන්
අවසන් වරට 

කාලය ඉක්ම යාවී , නුඹට අමතක වේවි
සිඳුවූ හැම දෙයක්ම අප අතර ,
සිඳුවූ  හැම දෙයක්ම  අප'තර

නැහැ , මා නුඹ වෙනුවෙන් බලා  සිටින්නේ
නමුත් දැනගන්,
මා පෙම්  කළේ
අවසන් වරට, අවසන් වරට
අවසන් වරට, අවසන් වරට

දිනත් ගෙවී යයි ,
හිම සමයන්ම කොපමණ ඉකුත් වී ද නොදනිම්
නැත්නම් වසර කීයක්  ගත වුනිද
සමහර විට  තවෙකෙකු සමග මා
තුටිව දිවි ගෙවනු  වනු ඇත
සමහර විට එහෙමත් නැතිව

කිසිවක් මේ සඳු යට සදාකාලික නොවේ 
එකම හෝරාවකදී  වත්
මට කිසිදා
අමතක නොවෙනු ඇත
නුඹ  මා සමග සිටියුරු
අවසන් වරට

කාලය ඉගිලී යාවී 

නුඹට අමතක වේවි 
සිදුවූ සියල්ලක්ම අප අතර
නැහැ , මා නුඹ වෙනුවෙන් බලා  සිටින්නේ
නමුත් දැනගන්,
මා පෙම්  කළේ
අවසන් වරට, අවසන් වරට
අවසන් වරට, අවසන් වරට"

ගීතය අවසන් වී බොහෝ වෙලාවක් යනතුරු කිසිවකු කතා කළේ නැත.  ෂෝලහොව් ලීවාක් මෙන් දොන් නදිය නිසලව ගලා යයි. නිහඬතාවය බිඳිමින්  ඉඳහිට වතුර පොදක් පමණක් වෙරළේ වැදුණි.

නිහඬ බව බිඳිමින් කතා කළේ වලොද්යා ය.
"උඹල දෙන්න දැන් තනියම මේ බෝට්ටුවේ රෑ ආපහු  යන්න එපා. ඒක ටිකක් අනතුරු දායකයි. ගිහාන් අපි එක්ක පාලමෙන් යමු. මිලිට්සියා (පොලිසිය) ඇහුවොත්  මම මොනව හරි කියන්නම්."

පාලමෙන් දොන් නදිය තරණය කළ  පසු ඒ අසලම වාගේ විසු අනික් සියල්ලෝම සමු ගෙන පයින්ම නික්ම ගියහ. වලොද්යා කුලී රථයක් නවතා ගත්තේය.  කුලී රථය තුල තාන්යා ගිහාන් ගේ අත තම දෑතට ගෙන  සිය උකුල මත  තබාගෙන ගමන අවසන් වනතුරු නිහඬව සිටියාය. වලොද්යා මොනවදෝ රියැදුරු  සමග කතා කළේය. ලේනා රථයේ ජනේලයෙන් මාර්ගය  දෙස බලාගෙන සිටියාය.

තාන්යා ගේ දෙමාපියන් ඔවුන් එනතුරු සිටියේ අවදියෙනි.




~~මතු සම්බන්ධයි

ප.ලි - ඉහත දෙවැනි ගීතයේ වදන් ව්ලදිමීර් ලුගවොයි ගෙනි. මේ ගීතයේ තනුව සහ මුල් ගීතය ස්පාඤඤ හොසේ ලුයිසා ගේ "නුඹ  යන්නේ (ඇයි 0 කොහිද " යන ගීයෙනි.
මුල් ගීතය

Monday, 9 July 2018

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (29) - හරිත දූපතට

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (28) - තගන්රොග්

පසුදා දහවල් වනතුරු නිදා සිටි තාන්යා නිවසේ ඉදිරි විසිත්ත කාමරයේ රූපවාහිනිය නරඹමින් සිටි ගිහාන් අසලට වෙලෙවි  වෙමින් පැමිණියාය.

"මම මුහුණ හෝදාගෙන එන්නම්. ඔයා උදේට කෑවද "

"ඔයාගේ අම්මා නූඩ්ල්ස්  කාෂා එකක් හදල දුන්න. එයාලා වැඩට ගියා. ඔයාගේ එක තියනවා කුස්සියේ. "

"මම කන්නම්. කාෂා එක රහද " කාෂා යනු කැඳ වලට  රුසියානු භාෂාවෙන් කියන නමයි.  මේවා වර්ග කිහිපයකි. නූඩ්ල් කැඳ එක නූඩ්ල්ස් වලට කිරි සහ සීනි දමා පිළියෙළ කරන එකකි. බක්වීට්(තිරිඟු වැනි )  හා පොරිජ් (තලප වැනි)  වලින් හදන කැඳ මෙන්ම  කිරි බත් කැඳ ද තිබේ. බත් වලට කිරි සෑහෙන පමණ දමා කුරුඳු කුඩු දැමූ සීනි සමග කැඳ එකක් මෙන් කෑමට හැකිය.

"ඔව්" ගිහාන් කෙටියෙන් පිළිතුරු දුන්නාය.

"මම හෙට උදේ  ඔයාට බ්ලිනී (පෑන් කේක් වැනි) හදල දෙන්නම්." ඔහුගේ ගෙල වටා අතක් යවා හාදුවක් දෙමින් ඇය කීවාය.

ඊයෙ තිබ්බ ප්‍රශ්නේ ඉවරයි වගේ. ගිහාන්ට සිතුනි.

"අපි යමු සිල්යෝනි දුපතට. ඒක ගැන අහල තියෙනවා නේද ? අර අද්භූත එළි යන්නේ එන්නේ. වෙන කාල පරාසයකට හරි වෙන ලෝකෙකට  හරි යන්න උමගක් තියනවා කියන්නේ එතන හැංගිලා "

තාන්යා උද්යෝගයෙන් පැවසුවාය.

සිල්යෝනි (ЗЕЛЁНЫЙ)  යනු රුසියන් භාෂාවෙන් හරිත යන්නයි.  මේ කියන්නේ රොස්ටොව්  වල හරිත දූපත ගැනය.  එයට ඒ නම වැටී ඇත්තේ වර්ග කිලෝමීටර හතරක පමණ වපසරියක් ඇති එම දූපත පුරා  විලොව් ගස් සහ එම පෙදෙසට ආවේනික ගස්වැල් වලින් පිරී කොළ පැහැයෙන්  පෙනීම නිසාය.


හරිත දුපත 
"ඔව් ඔයා කිව්වේ. අපේ රටේ දේවතා එළි කියල ජාතියක් තියනවා ඔය වගේම මිථ්‍යා කතාවක් තමයි ඒකත්. යනව නම් යමු "

"යනවා නම් යමු නෙමේ. එතැන හරිම ලස්සනයි. ඒ වගේම අද්භූතයි. ඔයා බය නැහැනේ "

"කාටද? ඔයා යන ඕන තැනක මමත් එනව." ගිහාන් කීවේය.

"අපිට ඒ වෙන ලෝකෙකට හරි වෙන මානයකට හරි යන මාර්ගේ  හම්බවුනොත් දෙන්නම යමු. අපි දෙන්නට ගිහින් හිටිය හැකි. ලංකාවට යන්න ඕනේ නැහැනේ එතකොට."

ඊයේ සිට පැවති ඇගේ දොම්නසට හේතුව ගිහාන් ක්ෂණයකින්ම  වටහා ගත්තේය.

"තානිච්කා මම ඊයේ සද්ද නැතිව හිටියේ ඔයාව ලංකාවට එක්ක යන්න බැරි කමකට නෙමෙයි. එහෙම කෙළින්ම  යන්න බැහැනේ ඔයාලට. එකම ක්‍රමය අපි විවාහය ලියා පදිංචි කරන එක. ඒක එක පාරටම කියන්න බැරි නිසා මම සද්ද නැතිව හිටියේ. මම ඔයාව කොහොම හරි ගෙනියනවා. මම අනිත් සමහර අය වගේ රුසියාවේ ඉන්න නම් කැමති නැහැ"

"එහෙම කට්ටිය ඉන්නවද "

"ඕව පොත් පරිවර්තනය කරන ලේඛකයෙක් ඉන්නව රුද්‍රිගු කියලා. එතකොට අපේ තානාපති කාර්යාලයේ වැඩ කරන දෙතුන් දෙනෙක්  ඉන්නව. ඒත් මම කැමති නැහැ. මම මේ මාතෘකාව කතා නොකළේ ඒකයි. අපි  ඉවර කලාම කොහොම හරි යමු."



"මම උපාධිය ඉවර කරන්නේ ඔයාට පස්සෙනේ."



"ඒකනේ මම ගිහින් රස්සාවක් හොයාගෙන පිළිවෙලක් වෙලා කොහොම හරි ඔයාව ගන්නම්. අපේ හුඟක් අය ලංකාවේ වැඩ කරලා ඊට පස්සේ ඔස්ට්‍රේලියාවට හෙම යනව කියල වැඩිහිටි ශිෂ්‍යයෝ කියනවා. එහෙම හරි කරන්න  පුළුවන්."

"ඔයා යන ඕන තැනකට මාත් එනවා"

ගිහාන් ගේ කම්මුලට සෙමින් පහරක් ගසා තාන්යා ගමනට සූදානම් වූවාය.

දුපතට යාමට පාලමක් තිබේ. නමුත් ඔහුත් සමග පාලමෙන් යාමට තාන්යා අකමැති වූවාය.

"ලේනා කිව්වා විදේශිකයන්ට යන්න බැහැ කියල ඒකට.   ඔයාගේ රොස්ටොව් ඉන්න ලංකාවේ  යහළුවන් ගෙන  අහන්න බැරිද? ලංකාවේ සිසුන්  ඉන්න නේවාසිකාගාර හොයාගෙන යන්න පුළුවන් "

"නැහැ ඕනේ නැහැ. වෙන විධිහක් නැත්නම් රෑ වෙලා යමු"

ලංකාවේ සිසුන් හමුවීමට ගිහාන් අකමැති විය.

"බෝට්ටුවක් තියනවා තාත්තා මාළු බාන්න යනවා යාලුවෝ කට්ටියක් එක්ක ඒකෙ සමහර දාට. කම්හලට අයිති වෙලා දැන් වැඩ කරන අයට දීල තියන එකක්. මම තියන තැන දන්නවා. මම කලින් හිතුවෙත් ඒකෙ යන්න "

"ඒකෙ යමු. "

දොන් නදියේ මෙහා පැත්තේ නිවාස යෝජනා ක්‍රමයක් අසලට ගිය තාන්යා මද වෙලාවකින් බෝට්ටුවේ භාරකරු ගේ අවසරය රැගෙන පැමිණියාය. ඇය කියා ඇත්තේ  සොයුරිය සමග යන බවකි.

"ඔයා ඔලුව පහත්  කරලා දිගා වෙන්න"

මහත් කැමැත්තෙන් ඇගේ උකුල මත හිස සඟවාගෙන, දුපතේ හිඳ ගැනීමට  තාන්යා ගෙනා පොරෝනයෙන් හිසද වසාගෙන ගිහාන් බෝට්ටුවේ ඇතිරුණේය. හබල් දෙකින් පදිමින් භාගයක් දුර දොන් නදිය දිගේ ගිය පසු ගිහාන්ට නැගිටින ලෙස  තාන්යා සන් කලාය. ගිහාන් හදිසියේ නැගිටි විලාසයට බෝට්ටුව මදක් පැත්තට ඇලවුනි.

"මේ පැත්තට එන්න" තාන්යා කෑ ගෑවාය.

දොන් නදිය දෙස බැලූ ගිහාන්ගේ ගතේ හී ගඩු පිපුනි. එය අති විශාල ගැඹුරු ගඟකි. යුරෝපයේ පස් වැනි දිගම ගඟ වන දොන් නදිය රොස්ටොව්  පෙදෙසේ දී වඩාත් පළල්ව ගලා යයි. ඔවුන් ගඟේ මැද හරියේය.

"මට හරියට පීනන්න වත් බැහැ"

"මේ හරියේ දිය රැල සැරයි. මගේ ඉස්සරහින්  බංකුවේ ඉඳ ගන්න. ඔයාගේ රට දුපතක් නේ පීනන්න පුරුදු වුනේ නැත්ද?" තාන්යා සිනා සුනාය.

බෝට්ටුවේ මැද බංකුවේ තාන්යා ඉදිරියෙන්  හිඳගත් ගිහාන් ඇය සිඝ්‍රයෙන් බෝට්ටුව පදින අයුරු නිරීක්ෂණය කළේය. ඇය මේ වැනි ගමන් කලින් ගොස් තිබේ.

හිත සැනසුමට පත් කරමින් දුපතේ වෙරළේ ගස් අඩු පෙදෙසක  බෝට්ටුව ගාල් කිරීමට ඔවුන් සමත් වුනි. තාන්යා බෝට්ටුවේ  බැඳ තිබූ ලණුව ගෙන එතනම තිබු කණුවකට  එය ගැට ගැසූ නිසා ඒ බෝට්ටුව නවත්වන සුපුරුදු ස්ථානයක් බව ගිහාන්ට වැටහුණි.

"මේ  පැත්තට යං. අනිත් පැත්තේ මිනිස්සු ඉන්න පුළුවන්. "

"ඔයා මීට  කලින් ඇවිත් තියෙනව නේද"

"ඕන තරම්. තාත්තා මාළු බාන්න එනකොට. ලේනා එක්ක හෙම"

ගස් වලින් හා නොයෙක් පඳුරු වලින් වටවූ එළි කරන ලද කුඩා පෙදෙසකට ඔවුහු පැමිණියහ.

"ඔයා මේ වගේ තැන්මයි  හොයන්නේ." ගිහාන් විහිළු කළේය.

"ඔයා අකමැතියි නේ නේද "

"එහම අකමැත්තක් තියනවනම් එනවය රොස්ටොව් "

ඔහු ඇය වැලි සහිත භූමියේ පෙරලා ගෙන සිප ගත්තේය.

"දැන් ටිකකට කලින් නම් ගඟ මැද බයේ හිටියේ. එහෙම බැහැ   සින්දුවක් කියන්න ඕනේ . හැබැයි වෙනද වගේම තේරුම කියලා"

ඇය ඔහු ගයන ගීත වලටත් වඩා ඒවායේ තේරුමට කැමති බව ඔහු දැන සිටියේය. ගීතයත් ඇගේ මනෝභාවයනුත් අතර අපූරු  සම්බන්ධයක් තිබේ.

"ලන්ඩනයේ හිටි දවස් වල යාළුවෙක් සින්දුවක් කියල දුන්න. හොඳට  සින්දු දන්න කෙනෙක්.  ඔයාව  මතක් වෙන නිසාම "

"කවුද සුහදද "

"නැහැ කුමාර කියල පළමු වෛද්‍ය විද්‍යාලේ  වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙන ගන්න යාළුවෙක්. ඔයා දැකල නැත්ද කොහෙද? සමහර විට දකින්නත් ඇති මගේ උපන් දිනේට අපි අර කෑමක්  දුන් දවසේ ආව මම හිතන්නේ. උඩු රැවුලක් හෙම තියෙන්නේ"

"ඉන්දියන් එක්කෙනද උඩු රැවුලක් තියෙන "

"නැහැ එයා නෙමේ. මෙයා  ලංකාවේ . ප්‍රියාන්  හෙම නිතර එහෙ යනව අලුත් ඉංග්‍රීසි සින්දු අහන්න.  සිංහල සින්දු කැසට් ගොඩක් තියනවා එයා ළඟ."

"ඉතින් කියන්නකෝ "

"මේකේ කියන්නේ සුන්දර කුරුළු ගීත හඬින් කණට ලං කරලා ඔයා ආදර කතා කියනවා කියල , හඳ ත් නොසිතුව විධිහට ඔයා සුවයක් රැගෙන එනවා කියල"

"හඳ කොහොමද සුවයක් රැගෙන එන්නේ "

"ඔය ඉතින්. අපේ රටේ හඳ  හරියට උපමා වලට ගන්නවා. සඳ තියෙන රැයක් සිසිලයි, සැපයි  කියල තමයි කියන්නේ. රස්නේ රටක් නේ . මීටත්  වැඩිය "

 "ඉතින් ඊළඟට "

  "ඊළඟට කියන්නේ මෙන්න මේවා ස්පර්ශ කරපු ගමන් ඔයා මත් වුනා කියල. "

ඇගේ බ්ලවුසය යටින්  අත යවා  පියයුරු තෙරපමින් ඔහු සිනා සුනේය.

 "ඉතින් මුළු දවසම සැපෙන් හිටිය කියල"

"නැත්නම්" ඇය දෙපා ඔහු වටා  පටලවමින් තුරුළු වූවා ඔහුවා නොනවත්වාම  සිප ගත්තාය.

 "ගීතයකට මෙතරම් දෙයක් කරන්න පුලුවන්ද " ගිහාන්ට සිතුනේය. ගීතයට නොව ගීතයේ  තේරුමට ඇය වශී වන්නීය.

 "ඉතින් අන්තිම හරියේ කියන්නේ ආදරයේ දෙවියා  ඊරෝස් අනුකම්පාවකින් තොරව එයාගේ හීය විදිනවා කියල හදවත තුවාල කරන්නම,  ආයි ඔයා කවදද  එන්නේ  කියල මග බලන් ඉන්නව. මම ලන්ඩන් වල හැමදාම ඔයා ගැන හිතපු නිසා සින්දුව හොඳට ගැලපුනා "

"ඉතින් කියන්න." ඇය ඔහුගේ උකුලට හිස තබා ගත්තාය.

 ඇගේ  උරහිසට තට්ටු අල්ලමින් ඔහු ගීය ගැයුවේය.

 අමකර කුරවි සරින්
තෙපලූ මධුර කතා
හිමකර නොසිතු ලෙසින්
ඔබය සුවය ගෙනා...

හස තුඩු ගැටුණු සැණින්
කැකුළ මත් වූවා
මතකයි නොහිම් සුවෙන්
දිනක් ගතවූවා...

මදරද නොමැත තෙතක්
විදියි සර ආදරේ
ළඳ ඔබ මවෙත යළිත්
කෙදින පැමිණේවි දෝ...

 සින්දුව අවසන් වීමට ප්‍රථම ඔහු සිප ගන්නට ඇයට ඕනෑ විය.

"ඔයා අර උපත් පාලන ඒවා ගෙනාවද "

"නැහැනේ. ඔයා කිව්වෙත් නැහැ "

"ඉතින් මම කියන්න  ඕනෙද , මට ළමයි හදා ගන්න බැහැ දැන්ම. මෙහෙ එනවා මම හිත වෙනස් කරන්න  කලින්.  "

 ඇය ඔහුත් ඇදගෙන එළි මහනට එපිටින් වූ පඳුරු  තුලට දිව ගියාය. ඒ කොටසේ  අතු පහළට නැමුණු විලෝ ගසක් විය. එය අසල  බිම මිනිසුන්  හිඳ සිටි ලකුණු තිබුණි.

"යකඩේ රත් වෙලා තියෙන වෙලාවේ තලා ගන්න  ඕනේ කියල අපේ කතාවක්  තියෙනවා "

ඇය ගසේ දෙබුක්කාවේ හිර කර  වැළඳ ගනිමින් ඔහු කීවේය.

 "ඔහොම නෙමේ "

ඔහු ගස පැත්තට හරවා තල්ලු කල ඈ  බිමට නැමුණු  අත්තේ දෑතින්ම එල්ලුනේ ඔහුගේ බඳ  වටා දෙකකුල් යවා ඇද බැඳ ගනිමිනි.

 "ස්ථානෝචිත ප්‍රඥාව " ඔහු කීවේය.

 "ෂ් ෂ් ෂ් " ඇඟිල්ලක් තබා ඔහුගේ මුව  වැසූ ඈ ඔහුගේ මුහුණ දෙපියොවුරු  අතර හොවා ගත්තාය.

"කවුරු හරි එන්න කලින්. " ඔහුගේ හිසට හාදුවක් දෙමින් ඈ සෙමින් තෙපලේ රිද්මයානුකුල  ප්‍රසංගය ආරම්භ කරමිනි.

 ඔහු තෘප්තියට පත්වන අවස්ථාව ඈ ඉවෙන් මෙන් දැන සිටියා වහා  දෙකකුල් මුදා හරිමින් ඉවත් වූවාය.

 නැවත එලි මහනට පැමිණ හෙවනැල්ලේ පොරෝනය එළා ඒ මත එකට තුරුළු වී දෙදෙනා කොපමණ  වෙලාවක් වැතිර සිටියේ දැයි මතක නැත.

 ඈතින් පිරිසක් ශබ්ද නගමින් කතා කරන  හඬ ඇසුනි.

"ලේනල එනවා " තාන්යා මිමිණුවාය.

 ඈතින් පෙනුනේ ඇගේ සොයුරිය ලේනා ත් ලේනා ගේ  පෙම්වතා වලොද්යා හා තවත් තරුණ තරුණියන්  පිරිසක් එන අයුරුය.

 ~~මතු සම්බන්ධයි


 ***********************************************************************************

ඉහත සඳහන්  ගීතයේ ගේය පද : කේ. ඩී. කේ. ධර්මවර්ධනයන් ගේය


 තනුව සහ සංගීතය : මොහමඩ් සාලි
ගායනය : ඩබ්ලිව්. ප්‍රේමරත්න



Thursday, 5 July 2018

විජයකලා සම්බෝලයට ගැනීම සහ ....දයාපාල තිරාණගම

විජයකළා සහ දරුවන් සැමියා මිය ගිය දා 
දයාපාල තිරාණගම ගැන මා අසා තිබුනේ රාජිනි තිරාණගම  (රාජසිංහම්) නිසා යයි කිවොත් නිවැරදිය. හෙලන් ක්ලොදොව්ස්කි  රාජිනි ගැන කළ වාර්තා චිත්‍රපටය (No more tears sister) නරඹා ඉන්පසු වෙනත් දිනෙක ලන්ඩනයේ වොල්තම්ස්ටෝව් වල දයාපාල තිරාණගම සහ ඔහුගේ දියණියන් දෙදෙනා රාජිනි ගැන කල සංවාදය නැරඹීමටද ගියෙමි. මා  දයාපාල තිරාණගම  මහතා ප්‍රථම වරට දුටුවේ එදිනය.

රාජිනි තිරාණගම ද එක්ව ලිපි පල කරන ලද "මානව හිමිකම් සඳහා වන විශ්ව විද්‍යාල ඇදුරන් " ගේ වෙබ් අඩවිය  UTHR අප ඒ දිනවල යාපනයේ සහ උතුරේ සිදුවන සිද්ධීන් ගැන දැන  ගැනීමට කියවූ ප්‍රධානතම අපක්ෂාපාතී වෙබ් අඩවියක් විය.

එදින සංවාදයේදී  "රාජිනි සැබවින්ම  මරා  දමන ලද්දේ දෙමළ විමුක්ති කොටි සංවිධානය විසින්මද , ඒ ගැන ඔබට සාක්ෂි තිබේද?" යන ප්‍රශ්නය මම ඇසුවෙමි.  එය ඇසුවේ එංගලන්තයේ විසූ බොහෝ ද්‍රවිඩ පිරිස් එය එසේ බව නොපිළිගත් හෙයිනි.   ඔහුගේ දියණිය බොහෝවිට මා  LTTE සංවිධානයට පක්ෂ අයෙකු ලෙස සලකා  පිළිතුරු දුන් බවක් පෙනුනි.

මා දැන  සිටියේ කොටි සංවිධානය ජනතාව රැඳී සිටි කෝවිලක (නල්ලූර් කෝවිල විය හැකිය) සිට හමුදාවට ෂෙල් ප්‍රහාර එල්ල කල එතනින් ඉවතට දිව ගිය බවයි. ඉන්පසු හමුදාව විසින්  එතනට එල්ල කල  ෂෙල් ප්‍රහාර වලින්  රැස්ව සිටි අහිංසක  දමිළ ජනතාවෙන් සමහරක්  මිය ගිය පසු කොටි සංවිධානය ඒවා වීඩියෝ ගත කර බටහිරට  එවන ලද බවයි. රාජිනි දැඩි ලෙස මෙම ක්‍රියාවලිය විවේචනය කළ නිසා ඇය මරා දැමුණු බවයි.

විජයකලා කොටි සංවිධානය වැන්නක් නැවත අවශ්‍ය යයි කියන්නේත් දකුණේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි දැඩි පාලකයෙක්  අපේක්ෂා කරන්නේත් එකම හේතුවක්  නිසාය. සමහරුන් හිට්ලර් ඉල්ලන තරමට මේ තත්වය දරුණු වී ඇත්තේ ඇයිදැයි හේතුව සොයනු මිස පණිවිඩය ගෙන ආ විජයකලා විවේචනය කිරීමෙන් පලක් නැත.

මේ ඇත්තේ රයිගමයා  හා ගම්පලයා විසින් කද  දෙපැත්තට ඇදීම නිසා  කදය කොහේටවත් නොයන බව අවබෝධ  කරගත නොහෙන  නායක දෙපොළක්  නිසා ඇතිවූ තත්වයක් පමණි. ඔවුන් දෙදෙනා සිතන්නේ  පණිවිඩය ගෙනා විජයකලා ඉවත් කිරීමෙන් ප්‍රශ්නය  විසඳෙනු ඇත කියානම් ඔවුන්ට වැරදී  ඇති ප්‍රමාණය ගැන ඔවුන්ටම අවබෝධයක් ඇත්තේ නැත.


තව දුරටත් කඳුළු  නොහෙළමු  සහෝදරියනි 

දයාපාල තිරාණගම මහතා මුහුණු පොතේ පළ කල මේ ලිපිය මෙහි පල කරන්නට සිතුවේ එහෙයිනි.

*******************************************************
විජයකලා සම්බෝලයට ගැනීම සහ ජාතිවාදයේ නරුම සවභාවය

ද්‍රවිඩ කොටි සංවිධානය නැවත හිස එසවීම සඳහා ඇති ඉඩකඩ නැත්නම් ඒ සඳහා අවශ්‍යවන දේශපාලන අවකාශය හුදෙක්ම අද පවතින්නේ සිංහල ජාතිවාදයේ බියකරු සිහිනයක් ලෙස පමණක් වුවද ද්‍රවිඩ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වුවමනා වෙන් ම මග හැරිම නිසා ජාතිවාදීන් බියට පත්වී ඇති බව පෙනේ.

විජයකලාගේ දේශපාලන නොමෙරුම් කමේ මේ ප්‍රකාශයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මහත්වරුන්ගේ අශෝභන සහ ද්වේශ සහගත  හැසිරීම මගින් පෙන්වුයේ එයයි.එබඳු සැහැසි දර්ශන මේ ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතියේ උරුමය ලෙස පවතින්නේ නම් අපේ රටේ ජනවාර්ගික සමගිය ට ඇති අභියෝගයන් කල්ප ගණනකට ඉවත් කල නොහැකි වනු ඇත.

කොටි සංවිධානය විසින් කරනලද තිරස්චීන ඝාතනයන් සහ ජනතා පීඩනය මම හෙලා දකින්නෙමි. මගේ බිරිඳ රාජනී මරා  දැමුවේද ඔවුන් විසිනි .එ නමුදු 2009 දී ඔවුන් පරාජය කිරීම සමගිය සහ සංහිඳියාව ගොඩ නැගීමේ එකම කොන්දේසිය ලෙස පවත්වා ගැනීමට සිංහල දේශපාලන පංතීන් කැස කැවීම ද්‍රවිඩ ජනතාව අතර ප්‍රජාතන්ත්‍ර වාදය  සහ සමානාත්මතාවය සදහා වූ සටන අති විශාල ලෙස ශක්තිමත් කරන සහ වලංගු කරන දේශපාලන අවකාශයක් නිර්මාණය වනු ඇත.මෙය විජය කලාගේ නන් දෙඩවීමට වඩා බලවත්ය.වලංගුය.



ද්‍රවිඩ කොටිසංවිධානයේ නොපනත්කම්වලට වලට සහ විජයකලා වැන්නවුන්ගේ ලාබාල ප්‍රකාශයනට මුවා වී යුධයෙන් පසුව ද්‍රවිඩ ජනතාවගේ ජීවිතයට එල්ලවී ඇති බරපතල ප්‍රශ්නයන් අමතක කිරීම ද්‍රවිඩ අන්තවාදී කොටස්වල අභිප්‍රායන්ට  ජීවය ලබා දීම හැර වෙන යමක් කල නොහැකිය.

සිංහල ජාතිවාදය මෙයට දශක ගණනාවකට කලින් සහ අද පවා තේරුම් නොගන්නා ප්‍රශ්නය මෙයයි. ඔවුන්ගේ නිවාස සහ දේපල අපසු ලබා ගැනීම,ද්‍රවිඩ දේශපාලන සිරකරුවන් නිදහස් කරනලෙස ඉල්ලා සිටීම,අතුරුදහන් කල දහස් ගණනකගේ ප්‍රශනය,පියෙක් නැති මව් වරුන් පමණක් ඇති දස දස දහස් ගානක් පවුල්වල දුෂ්කර පැවැත්ම මෙන්ම අපේක්ෂා බංගත්වය විජයකලා ගේ නොමේරු ප්‍රකාශයට වඩා දේශපාලන ගතිකත්වයක් ඇති කරගත් දාට සිංහල ජාතිවාදයට නැවතත් ඉතිරිව ඇත්තේ ප්‍රචණ්ඩත්වයේ විසඳුම පමණක් බව පෙනී යනු ඇත.


-දයාපාල තිරාණගම 



History of the Organisation - UTHR 


Wednesday, 4 July 2018

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (28) - තගන්රොග්

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (27) - සිතට වදදුන් පැනය අවසන්
තගන්රොග් වරාය නගරය  

ගමන් මහන්සියට නින්දට ගිය ගිහාන්ට  මතක තානිච්කාට  තුරුළු වෙනවා පමණය. උදයේ ඔහු නැගිටින විට නිවසේ සියල්ලෝම ලැහැස්තිවී හැඳ පැළඳගෙන සිටියහ. මිත්තණිය ද පැමිණ සිටියත් "දහස් වාරයක්" ගොස් ඇති  නිසා ගමනට එන්නේ නැතැයි කීවාය. නිරෝගීව සිටියත් කොහොමටත් ඇයට වයස අසූ ගණනකි. නමුත් හවසට ඇඟ ප්‍රාණවත් වන්නට වොඩ්කා අඩියක් ගැනීම  ඈට සාමාන්‍ය දෙයකි.

ඇලෙක්සෙයි සුපුරුදු ලෙස ගිහාන්ට ඉතිහාස පාඩමක් කියා දෙන්නට විය.
රොස්ටොව් ප්‍රදේශයේ ඇති තගන්රෝග්, දොන් නදියේ මෝය කටේ පිහිටා ඇත. ඇලෙක්සෙයි ට අනුව එම වරාය නගරය දහවැනි එකොළොස්වැනි ශත වර්ෂයේ සිට පැවත එන්නකි. මහා පීටර් රජු විසින් නාවික හමුදා කඳවුරක් 1698 වසරේ දී පමණ පිහිටුවා තිබේ. (රුසියානුන් ඉතිහාස වසරවල් කීමට උපන් හපන්නුය). කැතරින් මහා රැජින විසින් අසොව් නමැති එම හමුදා  ඛණ්ඩය පිහිටුවා ඇත්තේ එක්දහස් හත්සිය ගණන් වලය. අද දවසේ රුසියානු සෝවියට් කළු මුහුදු නාවික හමුදාව ලෙස නම් කර ඇත්තේ මෙයටය.

තගන්රෝග් සැබවින්ම සුන්දර ඓතිහාසික නගරයක් බව ගිහාන්ට වැටහුණි. ඇලෙක්සෙයි ගේ නොනවතින ඉතිහාස පාඩම ට අනුව පළමුවැනි ලෝක යුද්ධය ට මැදිවුන මෙම නගරය උක්රයිනය අසලම ඇති නිසා විප්ලව සමයේ ට්‍රොට්ස්කි ගේ රතු හමුදා හා ඩෙනිකින් ගේ (බ්‍රිතාන්‍ය සහය ඇති ) සුදු හමුදා අතර  නගරය සඳහා  දරුණු සටන් ඇතිවිය. විප්ලවීය රතු හමුදා ජයගත් අතර මෙහි සිට උකරයිනය  දෙසට හමුදා මෙහෙයුම් දියත් කරන ලදී. දෙවෙනි ලෝක යුද්ධයේදී නාසි හමුදා යටත් කර ගත්  මේ නගරය 1943 දී සෝවියට් හමුදා මගින් මුදා ගෙන තිබේ.

තාන්යා පියාට අවහිර නොකර සිටියත් ඇය කිසියම් දෙයක් කීමේ දැඩි වුවමනාවෙන් සිටින බව ඔහුට දැනුනි.

අවසානයේදී ඇලෙක්සෙයි රථය නැවැත්වූයේ   මදක් පැරණි විශාල නිවසක් වැනි ගොඩ නැගිල්ලක් අසලය. තාන්යා ට තගන්රෝග් යාමට අවශ්‍ය වූ හේතුව පැහැදිලි වූයේ එහිදීය.
චෙකොව් උගත් පාසැල (ජිම්නාසියම)

එය මහා ගත්කරු ඇන්ටොව් චෙකොව් උගත් පාසලයි. මේ පාසැල්  ඒ දිනවල සාර් රුසියාවේ හැඳින්වූයේ ජිම්නාසියම්  යනුවෙනි. පාරාදීසය පිහිටි ඇත්තේ ලංකාවේ යයි චෙකොව් ලියූ  බව දැනගත් දා පටන් තාන්යා චෙකොව් ගැන උනන්දු වූවාය. චෙකොව් ගේ "බල්ලා සමග යන කාන්තාව " ඇරෙන්නට වෙනත් පොත් කියවූ බවක් ගිහාන් ට  මතක නැත. බොහෝවිට කියවීමේ රුචියෙන් පෙළෙන  තාන්යා ඒ හැම පොතක් වගේම කියවා තිබුණාය.
අලුත්වැඩියා කළ චෙකොව් උපත ලත්  නිවස 

මහා ගත් කතුවර චෙකොව් ගේ සීයා සර්ෆ් යනුවෙන් හඳුන්වන රුසියානු ප්‍රවේණි  දාසයෙකි. රූබල්  හාර  දහසක පමණ  මුදලක් එකතු කල ඔහු තමන් ගේ නිදහස සිටුවරයා ගෙන් මිලදී ගත්තේය. ඔහුගේ මුණුපුරා වූයේ අන්ටෝන් චෙකොව් ය. ඇන්ටන් උපදින සමය වනවිට ඔවුහු  ප්‍රදේශයේ ධනවතුන්  බවට පත්ව සිටියහ. ඔහු ඉපදුනේ තගන්රෝග් හි පොලිසේයිස්කයා මාවතේ තරමක් විශාල නිවසකය.  මේ මාවත  දැන් හඳුන්වන්නේ චෙකෝව් මාවත  ලෙසිනි.සෝවියට් බලධාරීන් මේ නිවස  කෞතුකාගාරයක් ලෙස ආරක්ෂා කරගෙන තිබේ.
චෙකොව් ගේ පැරණි නිවස 

"අපට බැරි වුනත් තාන්යා ට හරි කවද හරි චෙකොව් ගේ පාරාදීසය බලන්න යන්න  පුළුවන් වෙයි." තාන්යා ගේ මව මද සිනහවකින් යුතුව කීවාය.

ගිහාන් ගේ සිත සලිත වී ගියේය.  ඔහු ඇයට පිළිතුරක් නුදුන්නේය.
තාන්යා රැගෙන ශ්‍රී ලංකාවට යාම ගැන සුහද ඇතුළු මිතුරන් උසුළු විසුළු කරන විටදීත්,  ඇය ට දුරකතනයෙන් ඇමතීමට නේවාසිකාගාරයේ පෝලිමේ සිටියදී ඇතැමුන් ඈ  ගැන විමසන විටත්  මේ හිතේ චකිතය, සලිතය  ඔහුට දැනුනි.

"මට හරි සතුටුයි මෙතැනට ආපු එක ගැන. මම වඩාත් කැමති රුසියානු පරිවර්තන කියවන්න ලංකාවෙදිත්  "  කතාව මග හරිමින් ඔහු කීවේය.

"අපි යමු මුහුදු වෙරළ පැත්තට.  අපට කවද හරි ලෝකෙ වටේ යන්න  ලැබේවි ලෝක විප්ලවය දිනුව දවසට" ඇලෙක්සෙයි එය කීවේ උපහාසයෙන් බව ගිහාන්ට තේරුණි. රුසියානුන් මෙවැනි උපහාස කතා නිතර පවසන බව ගිහාන්  දැන සිටියේය.

"ලෝක විප්ලවේ නම් ලෙනින් එක්කම ඉවර වුනානේ. මම බල්ගේරියාවට නම් ගියා අර සංගීත වාදන තරඟයට. ඒත් කියනවනේ කුකුළා කුරුල්ලෙක් නෙමේ , බල්ගේරියාව පිටරට නෙමේ කියල. තාන්යා ට හරි අඩුම ගණනේ   ලංකාව වගේ රටක්  බලල එන්න  පුලුවන්නම් හොඳයි " සංගීත ගුරුවරියක  වූ තාන්යා ගේ මව නැවත  කතාව එතැනටම ඇද්දා ය.

රුසියානු භාෂාවෙන් තිබෙන ප්‍රවාදයක් වන්නේ "කුරීත්සා න්යේ ප්තිත්සා , බල්ගාරියා න්යේ සා ග්‍රනිට්සා " යන්නයි. එහි තේරුම සෝවියට් රූකඩ රටක් වූ හා  සමාජවාදී කණ්ඩායමේ රටක්  වන බල්ගේරියාව විදේශ රටක් වශයෙන් රුසියානුවන් නොසලකන බවයි. විදේශයකට යාමට නම් සමාජවාදී කඳවුරෙන් එපිට යා  යුතු බවට ඔවුහු සලකති.

"ගිහාන් ට ඉවර කරන්න තව අවුරුද්දක් තියනවනේ. අපි තවම චාරිකා කරන්න සැලසුම් කරලා නැහැ. " තාන්යා ගිහාන්ට පිළිතුරක් දීමට ඉඩ නොතබා පිළිතුරු දුන්නාය.

 තගන්රෝග්  අසල දර්ශනීය කළු මුහුදු වෙරළේ දවස ගත කල ඔවුහු සැන්දෑ වේ නිවසට පැමිණියේ මිත්තණිය  පිලියෙල කර තිබු රාත්‍රී ආහාරය ගැනීමටය.  බීමට  තිබුනේ බල්ගේරියානු රතු වයින්ය. අසල නිවෙස්හි විසු තානිගේ මිතුරන් කිහිප දෙනෙකුද ගිහාන් දකින්නට හා රාත්‍රී  භෝජනයට එහි පැමිණ සිටියහ.

"මේවා විදේශ ඒවා නෙමේ නේද " ගිහාන් වයින් ගැන විහිළුවක් කලේ ආයාසයෙනි . සංගීත ගුරුවරිය වූ මවට හොඳින්  පියානෝ වාදනයද තාන්යා හා පියාට ගිටාර  වාදනයට  මනා හැකියාවක් ඇති බවද ගිහාන් වටහා ගත්තේ ඔවුන් ගී ගයන්නට වූ බැවිනි.

බටහිර පවුල් වලට මෙන් බොහෝ දේ නොතිබුණද, ඔවුන් සතු  වාහනය කුඩා සෝවියට් වාහනයක් වුවද මේ සෝවියට් පවුල සෑහීමකට  පත්ව දිවි ගෙවතියි ගිහාන්ට සිතුනි. ඒ බොහෝ විට ඔවුන් වෙනත් යස ඉසුරු නොසොයන නිසා විය හැකි බවද ඔහුට පසක් විනි. නමුත් විදේශයකට යාමේ සිහිනය, බටහිර වැසියන් මෙන් සංචාරය කිරීමේ ආශාව ඔවුන් හැමෝටම තිබුණි.

තගන්රොග් සිට රොස්ටොව් බලා ආපසු එන ගමනේ දී  තාන්යා සිටියේ   දැඩි කල්පනාවකින් බව ගිහාන්ට නිරීක්ෂණය විය ඒ මුහුණේ හඳුනා ගත නොහැකි විස්සෝප සහගත හැඟීමක් සටහන් ව තිබුණි.  රාත්‍රී භෝජන ගැන්මේදී හා ගීත ගායනා අතර තුරද ඒ මුහුණේ සිනාව යටින් කල්පනාකාරී බවක් තිබුණි. ඇය ඔහු සිපගෙන සුභ රැයක් පතා කලින්ම නින්දට ගියාය . ගිහාන් තවත් ගීත කිහිපයක් හා මත්පැන් විදුරු  කිහිපයක්  අවසන් වන තුරුම රැඳී සිට තාන්යා වෙනුවෙන්  සියල්ලන්ටම සමු දුන්නේ ව්‍යාකූල සිතිනි.

~ මතු සම්බන්ධයි