Thursday 19 July 2018

ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (31) -වෙර්නිසාෂ්


සෝවියට් දේශයේ නිපදවූ ඉලෙක්ට්‍රොනිකා තැටි වාදන යන්ත්‍රයක් 
ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (30) - දුපතේ ගීතය

නැවත මොස්කව් බලා ගමනේ දී ගිහාන් සිටියේ විචිකිච්ඡාවෙනි.
"ඇයි අර වගේ සින්දුවක් කීවේ" ඔහු ඇසීය.

"මම නිවාඩුවට ගෙදර ආපු වෙලාවේ ඒ  රෙකොර්ඩ් එක ඇහුවා කිහිප වතාවක්. ඒකයි. අමතක කරලා දාන්න"

බොහෝ සෝවියට් නිවෙස් වල ඒ දිනවල තිබුනේ තැටි වාදන යන්ත්‍රය. මේවාට ඇම්ප්ලිෆයර් එකක් හා හොඳ බෆල් දෙකක් අමුණා ගත්විට සංගීත ධ්වනියන් ඉතා පැහැදිළි ලෙස ඇසෙන සුමධුර සංගීතයක් ශ්‍රවණය කළ හැකිය.

"මම තවම ඔයාව දාල ගියේ නැහැනේ"
"බබුෂ්කා (මිත්තණිය ) කොසැක් ජාතික නේ. එයාගේ පරම්පරාවේ ගොඩක් අය රතු හමුදාවට  විරුද්ධව ජෙනරාල් දෙනීකින් ගේ පැත්තේ සටන් කරලා තියෙන්නේ. ඊට පස්සේ ස්ටාලින් ගේ කාලේ බලෙන් සමූහ ගොවිපලවලට ගාල් කරනවට විරුද්ධ වෙලා එයාගේ තාත්ත සහ පවුලේ උදවිය මරල තියනවා. එයාගේ සැමියා දෙවන ලෝක යුද්දෙදි මලා."
"ඔයා බබුෂ්කා ගැන කතා කරන්නේ ඇයි " ගිහාන් නොඉවසිලිමත් විය.
"අහගෙන ඉන්නකෝ"...........

"බබුෂ්කා එයාගේ එකම දරුවා වන ඇලෙක්සෙයි වත් හදාගෙන එයාගේ අම්මවත් බලාගෙන  හිටියේ තනියම. එතකොට පිරිමි අඩුයි. බොහොමයක් පිරිමි විප්ලව කාලේදී දෙපැත්තට සටන් කරලා , නැත්නම් ඊට පස්සේ ආණ්ඩුවෙන් අල්ලලා,  එහෙමත් නැත්නම් අන්තිමට ජර්මනියට එරෙහි  යුද්දෙට ගිහින් මැරිලා. එනිසා පිරිමි අඩුවුණා අපේ පැතිවල. ගමේ ඉතුරු වුනු පිරිමින් ගෙන් කෙනෙක් පළාතේ කොමිසාර් . කේජීබී එකට කෙලින්ම සම්බන්ධකම් තියෙන්නේ එයාට. බබුෂ්කා ලස්සන නිසා මිනිහා ඇවිත් එයාගේ අනියම් බිරිඳ වෙන්න කියල තර්ජනය කරලා. නැත්නම් පරණ වාර්තා අවුස්සලා එයාව සයිබීරියා යවල දරුවා අනාථ නිවාසෙකට දානවා කියල. බබුෂ්කා ඊට පස්සේ එයා  එක්ක ජිවත් වුණා. එයාගේ බිරිඳ නම් හුඟක් කරුණාවන්තයි. එයත් තරුණ කෙල්ලක් එතකොට. එයාටත් වෙන පෙම්වතෙක් ඉඳල තියනවා. අන්තිමට දෙන්නම එක මිනිහ බෙදාගෙන හිටියා. අර අපි තගන්රොග් ගිහින් එනකොට රෑ කෑමට ඇවිත් හිටියේ එයා. දැන් ගොඩක් වයසයි. හැබැයි මමත් දේදුෂ්ක ( සීය) කීවේ ඒ මනුස්සයට. එයාගෙම පුතා ට ලොකු තනතුරක්  තියනවා නගර සභා කාර්යාලයේ.සීයා ලඟදි තමයි මැරුණේ. ලේනා කේජිබි විශ්ව  විද්‍යාලෙට යන්නෙත් ඒ දෙන්නගේ  බලපෑමෙන්"

"මේ රටෙත් එහෙමය කියල මට කවදාවත් හිතුනේ නැහැ "ගිහාන් පැවසීය.
"පක්ෂයට සම්බන්ධ කමක් තියනවා නම් වඩා හොඳයි. නැත්නම් සාමාන්‍ය  විධිහට ජිවත් වුනහැකි. මම කියන්න හැදුවේ  බබුෂ්කා ඔයාට ආදරෙයි. නමුත් ඒ දෙන්නම තරුණ කාලේ ආදරේ කරල දුක් වින්ද කියල මට කියනවා ඔයාව දැන්මම අත අරින්නලු. වැඩිය දුර යන්න කලින්. ඒ කියන්නේ බඳින්න නම් එපා කියල."

"ඔයාගේ අම්මයි තාත්තයි මොනවා හරි කියනවද" ගිහාන් ඇසීය.

"තාත්තා ඔයාට ගොඩක් කැමැතියි. ඔයාට මෙහෙ ඉන්නලු ආපහු යන්නෙ නැතුව. සවෝද් (කම්හලේ) එකේම ඔයාට රස්සාවක් හොයල  දෙන්නම් ලු. එයත් එක්ක මාළු බාන්න යන්න පුළුවන්  ලු ඔයාට. අම්ම නම් කියන්නේ ඔයත් එක්ක පුළුවන්නම් යන්නලු  ඕනේ රටකට මෙහෙ දාල "

"ඇයි අම්ම මෙච්චර අකමැති සෝවියට් රටට. ඕගොල්ලෝ ලොකු අමාරුවකින් ජිවත් වෙනවා කියල පෙනුනේ නැහැ."

"අම්මට පිටරට ගිය යහළුවෝ ඉන්නව. අම්ම උගන්වන විද්‍යාලයේ පිටරට ළමයි ඉන්නව. එයා දන්නවා  ඒ රටවල තත්වය. අනික එයාට උසස්වීම් කිහිපයක්ම ලැබුනේ නැහැ. පක්ෂේ උදවිය ගේ කේලම් නිසා. "

"ඒ වගේ දේනම් අපේ රටෙත් වෙනවා තනුච්කා, නමුත් එක පාරට බැඳලා ලංකාවට  යන්න මට බැහැ . මට නංගි කෙනෙක් ඉන්නව. එයාව බන්දල දෙන්නත් ඕනේ.  අනික ලංකාව බටහිර වගේ පොහොසත් රටක් ම නෙමේ"

"ඔයා මොකටද නංගි බන්දල  දෙන්නේ. එයාට බඳින්න බැරිද තනියම. මම කියන්නේ ඔයාට විවාහයට ගිය හැකි. අපි දෙන්නටම යන්න පුලුවන්නම් හොඳ නැත්ද? ලංකාව පොහොසත්  නැත්තේ මොකද ? කොච්චර ලස්සන රටක් ද "

"නැහැ ඔයාට තේරෙන්නේ නැහැ. අපේ රටවල සහෝදරයෝ සහෝදරියන්ගේ විවාහ කටයුතු ආදියේ වගකීම අරන් කරනවා. මෙහෙ වගේ යුරෝපීය විධිහට නෙමේ ඒවා වෙන්නේ. අනික මගේ තාත්තා අසනීප නිසා දැන්ම අපි ගැන කියන එකත් හොඳ නැහැ. රට ලස්සන වුනාට ගිහිල්ල ජිවත් වෙන්නත් එපැයි. ඔයත් එක්කනේ ගිහින් ඉන්න වෙන්නේ "

තාන්යා බොහෝ වේලාවක් දුම්රියේ ජනේලයෙන් එපිට බලාගෙන නිහඬව සිටියාය. එක නැවතුම් පලකින්  ජපානයේ නිෂ්පාදිත ශාප් කැසට් යන්ත්‍රයක් අතැතිව රුසියානුවෙක් දුම්රියට නැගුණේය. මෙසේ මිලදී ගන්නා කැසට්  යන්ත්‍ර වල හැමෝටම ඇසෙන්නට සින්දු දමාගෙන යාම සමහර රුසියානුවන් ගේ පුරුද්දකි. මොස්කව් නාගරිකයන් තුල මේ පුරුද්ද නැති වුවද ඉන් පිටත දනව් වල මෙවැනි රුසියානුන් සිටින බව ගිහාන් දැන සිටියේය.   ඔහු ගේ කැසට් යන්ත්‍රයෙන් වාදනය වුනේ සෝවියට් බෝල්ටික් රටක් වන ලැට්වියා වේ ගායිකා  ලයිමා වයිකුල්යේ හා රුසියානු වැලරි ලියෝන්තියෙව් නමැති ගායකයාගේ යුගල ගීයකි.

තරුණියක්  ආරාධනයකින් පමණක් යා හැකි චිත්‍ර ප්‍රදර්ශනයක පෞද්ගලික දර්ශනයකට යන්නීය. මහජන දැක්වීමකට කලින් පැවැත්වෙන මෙවැනි ප්‍රදර්ශනයකට රුසියානු භාෂාවෙන් වෙර්නිසාෂ් නමින් හැඳින්වේ.    ඇයට එහිදී හදිසියේම "ඔහු" හමුවෙයි.  "නා වෙර්නිසාෂ්" ගීතය දෙදෙනාම ගයන්නේ එම අපූරු  හමුවීම උදෙසාය.

තාන්යා ඉතා උනන්දුවෙන් ගීතයට සවන් දෙන අයුරු ගිහාන් දිටීය. රුසියානුවා ද උරුහම් බාන්නට විය.

"මම ඔබ හමු වුනේ වෙර්නිසාෂ් දවසේ " ඇය ගයයි.
"නමුත් ඔබ සිටින්නේ තවත් කෙනෙක් සමග, මා සමග නොවේ " ඔහු ගයයි.
ඇය "මේ වෙර්නිසාෂ් දිනය අති සුන්දරයි. ඔබේ බැල්ම ඊටත් වඩා සුන්දරයි.".
ඔහු   "නමුත් ඔබ සිටින්නේ තවත් කෙනෙක් සමග, මා සමග නොවේ "
ඇය " මම ඔබ වෙත යන්නේ ඔබ මා  ගලවා ගනී කියල. ඔබ තමයි මෙතරම් දීර්ඝ කාලයක් මා බලා සිටි පෙම්වතා. "
ඔහු අහක බලාගෙන    "නමුත් ඔබ සිටින්නේ තවත් කෙනෙක් සමග, මා සමග නොවේ "
ඇය "මට හිතෙන්නේ මම දැනටමත් ඔබ සමග තදින් ආදරයෙන් බැඳිලා කියල. "
ඔහු   "නමුත් ඔබ සිටින්නේ තවත් කෙනෙක් සමග, මා සමග නොවේ "

"මම මේ සින්දුව හරියට අහන්නේ අදයි" තාන්යා මිමිණුවාය.

"මගේ අවුල්වීම ඔබ, මගේ ශෝකය ඔබ, මට කට පාඩමින් මතක හිටින හීනය  ඔබ "ඔහු ගයයි.
එවිට ඇය  "නමුත් ඔබ සිටින්නේ තවත් කෙනෙක් සමග, මා සමග නොවේ " යයි, ඔහු කලින් ගැයූ වදන් ම, පවසන්නීය.

ඔහු "වසර ගණනක්  තිස්සේ මම ඇවිදිනවා ඔබව හමු වීමට. "
ඇය "නමුත් ඔබ සිටින්නේ තවත් කෙනෙක් සමග, මා සමග නොවේ "
ඔහු " අහෝ මේ වෙර්නිසාෂ් දවස, ඔබ(දවස) අපේ වධකයා. නමුත්  ඔබ තනිවම නොවේ, ලස්සන ප්‍රදර්ශනයක් මේ. "
 ඇය "නමුත් ඔබ සිටින්නේ තවත් කෙනෙක් සමග, මා සමග නොවේ "
ඔහු " එක කුමන්ත්‍රණයයි මේ චිත්‍ර ප්‍රදර්ශනයේ අඩු. ඔබ මා  සමග එක්ව සිටින කතාන්දරය "

ඉන්පසු දෙදෙනාම මෙසේ ප්‍රදර්ශනය බලන මුවාවෙන් ගයති.
"අහා වෙර්නිසාෂ් දවස,  වෙර්නිසාෂ් දවස,
මොන ප්‍රතිමුර්තියක්ද මොන දසුනක්ද
මෙන්න මෙතන ශීත  සමයේ සන්ධ්‍යාවක්,
මෙතන ගිම්හානයේ  දරුණු රස්නය,
 මෙන්න වෙනීසියේ වසන්තය  
මොන තරම් හොඳ  මූර්තියක් ද
මොන තරම් සුන්දර භූමියක්ද
කෙනකුගේ පුර්ණ මුහුණක්
ඕහ්  මම ඔබ දිහා, ඔබ දිහා බලන්නේ "

ගිහාන් ගේ සිත සැහැල්ලු කරමින් ගීතය අසන තාන්යා ගේ මුවගට සිනහවක් නැගුණි.
"අපි දෙන්න වගේ නේද ? වෙනිසියට යන්න තියනවා නම් කොච්චර එකක්ද? ඔය ලයිමා එහෙම නම් ගිහින් තියනවා. මාත් ප්‍රසිද්ධ ගායිකාවක් වුනා නම් යන්න තිබුනා " දීර්ඝ වූ සුසුමක් හෙලමින් ඇය ගිහාන් ට තුරුළු වූවාය.

ඔවුන් දෙදෙනාම මොස්කව් පැමිණියේ සිතිවිලි වලින් බරවය. වෙනදා  තිබූ සැහැල්ලු ගතිය මේ ගමනින්  පසු අහෝසි වී ගිය බවක් ගිහාන්ට දැනී තිබුණි.

එංගලන්තයේ ගොස් රැකියාව  කර උපයා ගත් මුදල් සහ ගෙන ආ ඇතැම් සංගීත උපකරණ යුදෙව් සම්භවයක් සහිත  හොර මුදලාලිට විකුණා උපයාගත් මුදලින් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් බලපත්‍රයක් ගත් ගිහාන් ඒ අවුරුද්දේ ශීත කාලයේ  සති දෙකක නිවාඩු සමයේදී ලංකාවට පැමිණි බව සිහිපත් කළේය. තාන්යා ඔහුත් සමග ප්‍රථම වරට ශෙරෙමිතෝවා ගුවන් තොටට පැමිණියේ එදාය. ඇය එහි විශාලත්වයට  පුදුම වූවාය. එහි අවන්හළේ ආහාර  ප්‍රණීත බව සියලු සිසුන් දැන සිටියහ.

ඔහු නැවතත් එන දින ගුවන් තොටට සුහද සමග එන පොරොන්දුව පිට ඇය ඔහුට උණුසුම් ලෙසින් සිප වැළඳ සමු දුන්නාය.

ගෙදර පරිසරය සුපුරුදු පරිදිය. මව ඔහුගේ පැමිණීමෙන් උදක්ම සතුටු වූවාය.
නංගීට තමන් තාන්යා ට ආදරය කරන බව පැවසීම වරදක් බව ගිහාන් ට කියූ දා ම සිතුණේය.
"එතකොට විශාඛා ට මොකද වෙන්නේ " නංගී එක එල්ලේම ඇසුවාය.
"එයත් එක්ක මගේ ලොකු සම්බන්ධයක් තිබුනේ නැහැනේ " ගිහාන් උකටලීව කීවේය.

"නිකන් කතා බහ කළා , හම්බ වුණා. වෙන දෙයක් කතා කලේ නැහැ "

"අනේ මන් දන්නේ නැහැ අයියේ. ඕව නොකෙරෙන දේවල් කියල තමා මට නම් හිතෙන්නේ. මේ දම් පාට ශීත  කබාය එයාටද ගත්තේ. උසයි ද එයා "

"ඔව් එයාට තමා" ගිහාන් ඡායාරූප කිහිපයක් පෙන්වීය. ලන්ඩන් ගමනේ හා රොස්ටොව් ගමනේ ඡායාරූප ඇස්වාට්ටුවේ සලාකා එකෙන් මුද්‍රණය කර ගත්තේ සෝවියට් දේශයේ එය කල නොහැකි හෙයිනි. නැගෙනහිර ජර්මන් සිසුවියගෙන් මිලට ගත් ප්‍රක්ටිකා කැමරාවෙන් හා තාන්යා ගේ පියාගේ කැමරාවෙන් ගත් ඡායාරූප ඒ අතර විය.
"එයා හරි ලස්සනයි ආ. ඉඳල ඉඳල නිලියක් අල්ල ගත්තද ? " නංගී කට ඇද කලාය.

මොස්කව් පැමිණ මාස දෙකකින් පමණ ලංකාවෙන්  ලියුමක් ලැබුණේය. නංගී විස්තර දෙමාපියන්ට පවසා ඇති බව මවගේ ලිපියෙන් ගිහාන් වටහා ගත්තේය.
"පුතා තනියම එනවා නම් හොඳයි. ආවහම රස්සාවක් හොයා ගන්න  ඕනි නේද , නංගි බඳින්න  ඕනේ. ඒ පුතත්   බලන් ඉන්නවා. ඔයා ඉවර කරලා එනකන් අපි බලන් ඉන්නේ.  ඔය පැත්තේ ළමයි හොඳ ඇති. ඒත් පුතේ බැඳලා එකට ඉඳී කියල විශ්වාස කරන්න පුළුවන් ළමේක් නේද හොඳ "

අනිත් ලියවිලි කෙසේ වතත් අවසාන කොටස දුටු ගිහාන් ගේ සිතේ  මව කෙරෙහි කෝපයක්ද තමන් හා තාන්යා කෙරෙහි    අනුකම්පාවක්ද හට ගති.
"අම්මල දන්නේ මොනවාද , මුළු ජිවිත කාලෙම එක තැනක, එක රටක හිටියේ.  තාත්තා ට දෙමළ  පෙම්වතියක් ඉඳල ඒක කර ගන්න  බැරිව අම්මව බැඳලා තියෙන්නේ  අහම්බෙන් වගේ ආපු යෝජනාවකට". ඔහු සුහදට කීවේය.
"ඉවර කරලා ගෙදර පලයන්. අම්මලට කරුණාවෙන් විස්තරේ කියපන්. අම්මල තේරුම් ගනීවි. " සුහද අවවාදයක් දුන්නේය.

ඔහු තාන්යා ට ඒ කිසිවක් කිවේ නැත.
  

19 comments:

  1. මොකක්ද අප්පා ඔය උඩ බැනර් එක හෙන දඩාරයිනේ

    ReplyDelete
    Replies
    1. ෆෝන් එකෙන් ආවහම එහෙම හෙන ඇනේ... 1100X300 PX වලට හදලා දැම්ම නං හරි ... ලස්සනයි ඒක

      Delete
  2. මොකක්ද පින්තුරේද ඒක කරදරයක් වගේද ? එහම නම් අයින් කරන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. ෆෝන් එකෙන් ආවහම එහෙම හෙන ඇනේ... 1100X300 PX වලට හදලා දැම්ම නං හරි ... ලස්සනයි ඒක

      Delete
    2. දැන් හොඳද බලපන් මලේ

      Delete
  3. ව්‍යාකරන ගැනත් හිතුව නං වඩාත් හොදයි. උදා- ඔහු....පවසන්නීය වෙන්න බෑ නේද.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඒ කලින් ලියපු එකේ නම් ව්‍යාකරණ වැරදි පිරිලා. හේ හේ
      මම හිතන්නේ නැහැ වැරදි කියල. ආයේ කියවන්න හොඳට. මම කොමාවක් දැම්ම වැඩි හොඳට .

      එවිට ඇය "නමුත් ඔබ සිටින්නේ තවත් කෙනෙක් සමග, මා සමග නොවේ " යයි ඔහු කලින් ගැයූ වදන් ම, පවසන්නීය.
      මුලික නාම පදය ඇය

      එවිට ඇය ...................................................පවසන්නීය.. කියල තියන්නේ.
      මැද තියෙන්නේ ඔහු, කලින් ගැයූ වදන් ම
      ස්තූතියි අවධානයෙන් කියෙව්වට. ඔයා ඕක වෙනස් කරලා ලියන්නේ කොහොමද ? ඔහු කලින් ගැයූ වදන් ම එක මුලට දාලද

      Delete
    3. ආ...මට වැරදුනා. සමාවෙන්න. ගීතයේ උත්කර්ෂයත් එක්ක "ඈ" නොදැක්කාද කොහෙද? ගීතයක තේරුම ගැන සිතමින් කල් ගතකරන්නා හරියට මධු පළමු රාත්‍රියේ දී උණා හැලෙන පෙම්බරියගේ ඇඳුම් කෙතරම් වටින්නේදැයි සිතමින් සිටින කෙනෙක් වගෙයි කියල කතාවක් අහල තියනවා. අන්න ඒ වගේ මෙතරම් ලස්සන ගීතයක් ගැන අපි ව්‍යාකරණ විවාදයක් පටන් ගත්තේ ඇයි කියල මටම හිතා ගන්ඩ බෑ. සමහර විට වයසේ වැරැද්ද වෙන්න ඇති!!!
      මම ලියන විදිහ වෙනස් වෙයි මෙය ලිපියක් උනා නම්. නමුත් මෙය ගීතයක්. එයට අපූර්ව කළා රසයක් එක වෙනවා මේ විදිහටම ලිවීමෙන්. ස්තූතියි.

      Delete
    4. මධු සමයේ වෙන්න ඕන මගේ ඉහත අදහස් දැක්වීමේ දී...ඔන්න ඔව්වා ගැන හිතන කොට වචනත් නැති වෙනවා!!!

      Delete
    5. නැහැ ඇත්තටම ඒ කතාව හරි. මට උලුප්පවන්න ඕන වුනේ ඒ ආස්ථානයේදී කතා නායකයා හා නායිකාව ඒ ගීතය තුල රැඳුන කියන එක. ඔහු සහ ඇය කියා ලීවේ ඒක හඟවන්න

      Delete
  4. ධනවාදේ සමාජවාදේ කියලා නෑ නේද. ඔක්කොම දේශපාලන හිතවත්කමට තමයි බලාගෙන යනකොට

    ReplyDelete
    Replies
    1. මල් මල්ලි ඔය කේජිබි ඉස්කෝලෙට යන්න ලෙහෙසියෙන් බැහැ . පරම්පරා දෙකක විස්තර හොයනවා. රට පාවා දීල තියනවද? රජ ද්‍රෝහී වැඩ කරලා තියනවද වගේ දේ? හැබයි පස්සේ පස්සේ පළාතේ පක්ෂ ලේකම් ලගේ හෙම ලියුම් ඕන තත්වෙට පත්වෙලා තිබෙනවා මම හිතන්නේ . ඒ වගේම ප්‍රසිද්ධ දෙයක් තමයි අනාත නිවස වල හිටපු මොනයම් අම්ම තාත්ත නැති දේකට හෝ දක්ෂ ළමයි ගත්ත කියන එක.
      ධනවාදේ සමාජවාදේ කියලවෙනසක් නම් නැහැ . ඉතා දියුණු ධනවාදයේ නම් ඕක අඩුයි. ලොකුම අවුල මෙතන මොකක්ද දන්නවද වඩාත්ම දියුණු ධනවාදයෙන් පස්සෙනේ කොමියුනිස්ට් සමාජය (සමාජවාදී) බිහි වෙනවා කිව්වේ මාක්ස්. එතකොට ඒකෙ ඔය ප්‍රශ්න තුනෙන් විධිහක් නැහැ.
      එතකොට මොකක්ද සෝවියට් දේශයේ තිබ්බේ හේ හේ

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .