Friday 29 March 2024

ඉස්තාන්බුලයේ දෙපැත්ත

ඉස්තාන්බුල් නගරයේ දෙපැත්තක් තිබේ. එහි මුලින් තිබූ යුරෝපියන් නම කොන්ස්තන්තිනෝපලය වන අතර පසු ස්තන්බෝල් වී පසු ඉස්තාන්බුල් යනුවෙන් නම වෙනස් වුනද එහි යුරෝපියානු හා ආසියානු පාර්ශවයක් අදටත් තිබේ. කුරුසු යුද්ධ සමයේදී ක්‍රිස්තියානි කුරුස භටයන් තමන්ගේම කිතුණු භක්තිවන්තයන් විසු පොහොසත් කොන්ස්තන්තිනෝපලයට පහරදී එහි ධනය කොල්ල කෑවේ 1204 දීය.  එදා දවසේ එය බයිසැන්ටියම් හෙවත් පෙරදිග රෝමානු අධිරාජ්‍යයයේ අගනුවර විය. ඒ හතරවන කුරුස යුද්ධ සමයේ දීය (1202-1204). කොන්ස්තන්තිනෝපලයේ මුලින්ම ජනාවාස ඇරඹි තිබුනේ ක්‍රිස්තු පූර්ව  දහතුන්  වන සියවසේ එනම් මිට වසර තුන්දහස් තුන්සීයකට පමණ පෙර සිටය. ක්‍රිස්තු වර්ෂ 330 දී එවකට  රෝම අධිරාජයා වූ  කොන්ස්තන්තින් ට නව නගරයක් තැනීමට අවශ්‍ය වූයෙන් සතුරු ප්‍රහාර වලින් බේරීමට සුදුසු  යයි සිතා අඟක් ලෙස නෙරා ගිය  සමුද්‍ර සන්ධියක් අසල නගරය ගොඩ නගන  ලදී. මේ අඟක් වැනි මුහුදු කොටස අදත් හඳුන්වන්නේ ගෝල්ඩන් හෝර්න් කියාය.  



තුර්කි ඔටෝමන් අධිරාජ්‍යයට, කොන්ස්තන්තිනෝපල් නගරය  යටත් වුනේ තුර්කි හමුදා දෙවැනි  සුල්තාන් මෙහ්මඩ් යටතේ  දවස් 53 ක් වටලා සිටීමෙන් පසු 1423 මැයි 29 දීය.  ඔහු විසින් තමන්ගේ අග නගරය සඳහා එතෙක් පැවති  අද්රියනාපෝල් වෙනුවට කොන්සතන්තිනොපල් නගරය තෝරා ගත්තේය. දෙවන ලෝක යුද්ධයෙන් තුර්කි අධිරාජ්‍යය බිඳ වැටුණු අතර ඊට පසු පැවති නිදහස සඳහා වන යුද්ධයෙන් පසු නිදහස් තුර්කියේ අග නගරය 1930 දී අන්කරා බවට පත් වුනු අතර කොන්ස්තන්තිනෝපලය ඉස්තාන්බුල් විය. එය යුරෝපයේ විශාලම නගරය වුවත් මට පෙනී ගියේ එය බොහෝ නගර මෙන් රවුමක හැඩයට නොව දිග අතට විහිදී ඇති බවය. එහි යුරෝපා හා ආසියානු කොටස වෙන් වන්නේ  දිග කිලෝමීටර්  30 ක්ද  පළල කිලෝමීටර 3.7 ක් ද වන බොස්පරස් සමුද්‍ර සන්ධියෙනි.  

අප නැවතී සිටි යුරෝපියානු පැත්තේ ආහාර පාන සහ වෙනත් දේවල මිල ගණන් බ්‍රිතාන්‍ය හෝ යුරෝපීය මිල ගණන් වලින් වැඩි වෙනසක් තිබුනේ නැත. අප බොහෝ විට අසා තිබුනේ උගුල් අටවන රැවිටිලි කාර සංචාරක මග පෙන්වන්නන් හා වෙළෙන්දන් ගැනය. මට හිතුනේ ඒ සියල්ල අපට අත් දකින්නට ලැබෙන්නේ මේ සංචාරක කලාපය වන යුරෝපීය පැත්තේ බවය.  

අපි හෝටලයට ගිය විටදී දක්නට ලැබුනේ එය අලුත්වැඩියා කරන බවය. අප කාමර දෙකකට ගෙවා තිබුනද ලැබුනේ තිදෙනෙකුට නිදිය ගැනීමට හැකි එකකි. එහි මුහුදට මුහුණලා බැල්කනියක්ද පොරොන්දු වූ පරිදි තිබුනද දූවිලි හා කැඩුණු කාමර ගොඩේ සිටීමට අප අකමැති වූයෙමු. මෙතැනදී අපූරු වැඩක්එ විය. රෙසේප්ෂන් එකේ සිටියේ ලාංකික සිදුවෙකි. මා ලංකාවේ උපන් බව දන ඔහු ප්‍රශ්න කිහිපයක් අසා එම හෝටලයේ අපට නැවතිය නොහැකි බව පිලි ගෙන වෙනත් තැන කිහිපයක් පෙන්වා දුන්නේය.
මම ඔහු ලංකාවේ කොහේදැයි ඇසුවෙමි. ඔහු කීවේ තමන් නුවර බවය. නුවර කොහෙද කියා ඇසූ විට ඔහු කීවේ කෑගල්ලේ කියාය. එවිට මම සිනවී කීවේ කෑගල්ල නුවරට වඩා තරමක්ඇ ඈත නගරයක්ත බවය. මම එංගලන්තයේ බොහෝ කල් ජීවත් වන නිසා නොදැන සිටින්නට ඇතැයි සිතා එසේ කියූ බව ඔහු පැවසුවේය. වෙනත්  තැනක් සොයා ගිය අපි කුර්දි ජාතිකයනට අයත් හෝටලයක නතර වුනෙමු. ඔවුන් අපට ඉතා කරුණාවන්ත වූ අතර ලංකාවේ මෙන්ම බෙහෙවින් ම සහය දීමට ඇප කැපව සිටියහ.   

අප ගිය බොහෝ තැන්වල රුසියානු, යුක්රේනියන් සහ පෝලන්ත භාෂාවලින් කතා කරන බව  මට බොහෝ විට ඇසුනි. අප නැවතී සිටි හෝටලයේ උදේ ආහාර සැකසීම ආදී වැඩ කලේ තුර්ක්මෙනිස්ථානයෙන් පැමිණි යුවලකි. ඔවුන් මා සමග කතා කලේ රුසියානු භාෂාවෙනි. තුර්ක්මෙන් කාන්තාව මට කීවේ ස්වභාවික ගෑස් විකිණීම ආදියෙන් පොහොසත් වුවද තුර්ක්මෙනිස්ථානයේ වැටුප මසකට ඩොලර් සීයක් පමණ වන බවයි. ඇයට විශාල නිවසක් සහ වත්තක් හිමි බවත් ඒවා නඩත්තු කිරීමට තුර්කියට පැමිණ රැකියාව කරන බවත්ය. ඔබලා පැමිණ රැකියාව කරන්න මුල් තුර්කි ගෝත්‍රිකයන් පැමිණ ගොඩ නැගූ රටේ බව මම විහිළුවට මෙන් කීවෙමි. ඇයට එය තේරුනේ නැත.  

හෝටලයේ රුසියානු මවක සහ ඇගේ  දියණියන් දෙදෙනාද නැවතී සිටියහ. ඔවුන් සෑම උදයකම ඉතා ආචාරශීලි වූ නිසා අපි ඔවුන් සමග කතා බහ කළෙමු. ආ කීවේ ඔවුන් මාස දෙක තුනකට වරක් පැමිණ රුසියාවේ නැති දේ ගෙන ගොස් මොස්කව වල විකුණන බවයි. ඒ මොනවාද යයි ඇසු විට ඈ කීවේ ගැහැනුන් ගේ රූප ලාවන්‍යය රැක ගැනීමට අවශ්‍ය දේ, සුවඳ විලවුන් සහ  (perfumes, cosmetics) , නොයෙකුත් බටහිර රෙදි පිළි ආදිය බවයි. මේ අසා මට සිනා ගියේය. ඇය විමතියට පත් වූ විට මා කීවේ ඒ කාලයේ විදේශික සිසුන් ද බටහිරට හෝ තුර්කියට පැමිණ නොයෙකුත් සෝවියට් දේශයේ නැති භාණ්ඩ ගෙන ගොස් විකුණූ බවයි. මුල් වරට ශෝකාන්තයක් ලෙසත් දෙවන වර විගඩමක් ලෙසත් ඉතිහාසය පුනරාවර්තනය වන බවට මාක්ස් පවසා තිබෙන බව ඇයට කීවෙමි. එයට නම් ඈට සිනහ පහල විය. 




දෙවන දිනයේ අපේ සංචාරක මග පෙන්වන්නා ෆෙරි එකකින් අප ආසියානු පැත්තට රැගෙන ගියේය. අපට මුලින්ම වැටහුණු කරුණ නම් යුරෝපීය පැත්ත මෙන් තුන් ගුණයක් අඩුවෙන් ඉතා හොඳ ආහාර එහි තිබෙන බවය. ඒ ආහාර යුරෝපිය පැත්තේ ඇති සංචාරකයන් ට දෙන ආහාර වලට වඩා වෙනස් සම්ප්‍රදායික තුර්කි කෑමය. මිනිසුන්ද වඩා හිතවත් අය වන තර තරමක ආගමික ද විය. 


























මම මුස්ලිම් පල්ලියක් ඇතුලට ගියේ පළමු වතාවට ඉස්තාන්බුල් හිදීය. අපි ගිය මේ පල්ලිය නිල පල්ලිය කියා හැඳින්වේ. පල්ලිය ඇතුලේ ඉමාම් වරයට දේශනා කිරීමට  උස් ස්ථානයක් පිළියෙළ කර තිබෙන  අතර සියල්ලෝම බිම හිඳ ගනිති. මෙවැනි ඉඩ ඇති විශාල ශාලාවක් භාවනා කිරීමට හොඳය.  එහි ඇති සරල බවට මම කැමතිය.   

ඉස්තාන්බුල්හි මා දුටු වඩාත්ම සිත් ඇදගන්නා සුළු දෙයක් නම්  අයාලේ යන බල්ලන්ට සහ බළලුන්ට ඔවුන්ගේ ඇති සැලකීමයි. සතුන් ආරක්ෂා කිරීම පමණක් නොවඔවුන් රැකබලා ගැනීම, බොහෝ ස්ථානවල ආහාර පාන තැබීම, අවශ්‍ය එන්නත් ලබා දී සුනඛයින්ව හොඳින්  රැකබලා ගැනීම යනාදිය සැබවින්ම දයානුකම්පිත ක්‍රියාවකි.



එක ගොඩනැගිල්ලක එළියේ බිත්තියේ කුරුල්ලන්ට කූඩු සාදා තිබෙනු මේ පින්තුරයෙන් පෙනේ.




අජිත් 28/03/2024 

ප.ලි - මම තුර්කියේ යුරෝපිය නගරය හෙවත් ඉස්තාන්බුල් වලට මුල් වරට ගියේ 1987 දීය. මොස්කව් වල බෙලරුස්කයා දුම්රිය ස්ථානයෙන් පටන් ගෙන අපේ දුම්රිය ගියේ උක්රයිනයේ කීයෙව් නගරය හරහා රුමේනියාවේ බුකරෙස්ට් වලටය. එතනින් බල්ගේරියාවේ සොෆියා අග නගරය දකවාය. එතනින් දුම්රිය ගමන නිමවූ පසු බලගේරියාවේ තුර්කි තානාපති කාර්යාලයෙන් වීසා ලබාගෙන ඉස්තාන්බුල් නගරය දක්වා ගියෙමු. හැල හැප්පිලි තොරවූ එම ගමනේදී මගේ නෙත සිත ඇදී ගියේ කවුන්ට් ඩ්රකියුලා වැඩ විසූ රුමේනියාවේ දර්ශනීය කර්පාතියන් කඳුකරය දෙය.

ඉස්තාන්බුල් ගැන මගේ එතරම් මතකයක් තිබුනේ නැත. මට මතක විධිහට ලෙදර් ජැකට් ගැනීමට ගොස් ඩොලර් 200-300 කියූ ඒවා ඩොලර් පනහට පමණ අඩු කර ගත් හැටිය. එදා ඉස්තාන්බුල් වල හැම දෙයක්ම කේවල් කල යුතු විය.
මම මේස් විකුණන කොල්ලෙකු ගෙන් හොඳ ඒවා ලෙස පෙනුණු ශීත කාලයට හොඳ මේස් කුට්ටම් හයක් මිලදී ගතිමි. හෝටලයට පැමිණ බැලු විට හයම පාට දොළහකිනි. ඒකා කෙසේ මගේ ඇස් ඉදිරියේ පෙන්වූ එකක් නොව වෙනත් එකක් දුන්නේ කෙලෙසද කියා මම අදත් නොදනිමි.
වසර තිස් හයකට පසු මා මෙහි පැමිණියේ ලන්ඩනයේ ස්ටැන්ස්ටෙඩ් ගුවන් තොටුපලේ සිට පැය තුනහමාරක ගුවන් ගමනකිනි.





Tuesday 19 March 2024

මාර වැඩක් වුනානේ


පහුගිය දවසක පොඩි නිවාඩුවක් ගන්න ඉස් තාන් බුල බලා ගියානේ. මෙන්න බොලේ එහෙත් නෙලුං කුළුණක් තියනවා. මේ මොන විගඩමක් ද , සමාවෙන්න මොන අරුමයක්ද කියල ඒක බලන්න ගියා. වැඩිය ලඟට යන්න දුන්නේ නැහැ. එඩුවාන්  රාජපස්ස මහත්තයා එතනට රැකවල් දාල තියෙන්නේ.




ඒක අර ලංකාව කියන රටේ තියන එක වගේ නම් නෙමේ. හදපු කෙනා පොඩ්ඩක්  වෙනස් කරලාහදලා  තියෙන්නේ. 
පස්සේ මම කණින් කොනින් විස්තර කොරල ඇහුව්වා. ළඟ ඉන්න තුර්කි කාරයෝ දෙතුන් දෙනෙක්  ගෙන් අහල බැලුව. ඉතින් මට කීව කතාව අනුව ඔය ඉස්තාන්බුල් පොහොට්ටු කුළුණ  හැදුවේ ලංකාවේ සිවිල්  ඉංජිනේරුවෙක් ලු. හොඳ වැඩ්ඩෙක් කියල තමා කීවේ.   එයාගේ නම තිලක හා තිලකාවගේ එකක්. නෑ. ඒක ලීවේ ඉලංගරත්න උන්නැහේ නොවැ.  තිලකවර්ධනත් නෙමේ. තිලකසර් හරි තිලක සූර් හරි  වෙන්න ඕනේ මට මතක විධිහට. එයා ඒක නා යකා කියන පරම්පරාවේ කියල තමා අලි කියන ටුවර් ගයිඩ් ඒ වෙලාවේ මැදට පැනල කීවේ.

ඉතිං මේ තිලකස ලංකාව කියන රටේ තියෙනවයි කියන නෙලුං කුළුණේ කොපියක් තමා ගහන්න ඉඳල තියෙන්නේ. පස්සේ එඩුවාන්  සුල්තාන් කීවලු එහෙම බැහැ තිලකේ , මට රාජ පස්සට සෙකන්ඩ් වෙන්න පුලුවන්ද. ඕක ඔයිට වැඩිය උසට වෙන විධිහකට හදන්න ඕනේ කිවලු. එහනම් සුල්තාන් තුමනි ලෝටස් පොහොට්ටුවක් විධිහට හදන්නද කියල තිලකස අහල. එඩුවාන් නුත්  හා කීවලු ඉතිං . 

හැබැයි තද කොන්දේසි දෙකකුත් දීල තියනව. ඉස්තන් බුල් වල ඕනෑම තැනක හිටගෙන හිටියොත් රට වැසියාට මේක පේන්න ඕනේ. ඊලඟට රට වැසියාට හිතෙන්න ඕනේ එඩුවාන් තමන් දිහා බලන් ඉන්න විත්තිය. හරියට අර බිග් බ්‍රදර් වගේ. ෆුකෝ ද කවුද කියල ප්‍රංශ මගෝඩියෙකුත් ඔහොමම  කතාවක් කියල තියේලු.  රාජ්ජයට ඕනේ තමන් මිනිස්සු දිහා හැම වෙලේම බලන් ඉන්නවා  කියල මිනිසුන්ට හිතවන්නලු.

වැඩේ කියන්නේ ඔය බන  අපේ තිලකෙට තේරිලා නැහැ. ඒ නිසා ඇස් දෙකක් වෙනුවට කෝට්ටක් වගේ එකක් හයි කරලා රූප පෙට්ටියට කතා යවන්න. ඒකට එඩුවාන්  ට තරහ ගිහින්  තිලකස ලංකාවට පටවලා යැව්වලු හදිසියේම. වහාම නයිට් විෂන් ඔක්කොම තියෙන නේත්‍රා  දෙකක් රාවණා ගෙන් හරි හොයාන  එන්න කියල. 

හැබැයි තුර්කි මිනිසුන්ට වැඩේ අහුවෙලා කුළුණටයු එඩුවාන් ටයි  විරුද්ධව උද්ඝෝෂණ කරනවලු. මේක තනිකරම ඔත්තු බලන්න හදපු එකක කියල. ආපහු තිලකෙව ගෙන්නන්න කියලත් කියනවලු කුළුණේ ඉඳන් ඇන්කාරා වෙනකන් රේල් පාරක් හදන්න. ඔව් , ඒවා බැරි වැඩ නෙමේ තිලකේ වගේ  ඉන්ජිනේරුවෙකුට. රාකි ටිකක් ගැහුවා . වැඩ පටන් ගත්ත. 

මේ තියෙන්නේ තිලකේ ගේන්න එර්දොවන් එලවන්න  උද්ඝෝෂණ.



මේ තියෙන්නේ පාලම.

.


හැබැයි අවංකවම ඇත්තටම කියනවනම් කතාව කීවේ තුර්කි කාරයෙක් වගේ වෙස් වලාගෙන හිටපු  මැන්චෝසන් සාමි වරයා. ඕක කියපු ගමන්ම වගේ මිනිහා පල්ලහා ගිය හයි ස්පීඩ් බෝට්ටුවකට පැන්න කියහන්කෝ. ඔය උඩ තියෙන්නේ බෝට්ටුව. ලංකාවට යනවලු  නුවර එළියේ ඉන්න බාල මලයා හමුවෙන්න.

ඕක තමා වුනේ.

- ගමයා - 19/03/24
මූලික සත්‍යවාදී ලිපියට අදාළ නැති නිසා පසුව ලියන වගනම්: 

හැබැයි මේක මේ නෙළුන් කුලුන වගේ නෙමේ කියල තව කට්ටියකට ෆයර් වෙලාලු, නෑ ටිපර් පාක් කරනවලු. අවුරුදු  ගානකට කලින් තිබ්බ නෙළුමක් ගැන එයාල තවම වද වෙනවලු.  අච්චර අර ගෝඨ මාතියා කියල හඳුන්වන මැන්චෝසන් සාමි ගේත්  බාප්පා වෙන කෙනෙකුට කඩේ ගිහින් ගිහින් එයාව රාජාසනේ ඉන්දවල ඇරගත්ත  ඇර ගනිල්ලට   වැඩිය තවම රිදෙන්නේ අර නෙලුම් යාය ටළු. නෙළුම ගෙනාපු එවුනුත්දමල ගහල ගිහිල්ල තියෙද්දී අර සෙන් කතාවේ වයසක හාමුදුරුවෝ ගඟ හරහා උස්සන්  ඇවිත් මෙගොඩින් තියල ගිය දුහුල් ඇඳුම් ඇඳ සිටි රුපශ්‍රියෙන් අනූන කාන්තාව ගැන හිත හිත කෙට්ටු වෙන  පොඩි හාමුදුරුවෝ  වගේමලු.  ඒ අහිංසකයන්ට සමාව දෙන්න සමින්ද්‍රයාණනි. 
😏





Sunday 10 March 2024

සිරා හෙවත් ප්‍රොෆා - ප්‍රොෆෙසර් සිරිමල් ප්‍රේමකුමාර

සිරා හෙවත් ප්‍රොෆා -   ප්‍රොෆෙසර්  සිරිමල් ප්‍රේමකුමාර ~~~~~~~~~~~~~~~~~~~~~


සිරිමල් ප්‍රේමකුමාර හෙවත් සිරිමල් අයියා එක දිනක් උදේ පාන්දර මා සිටි බස් නැවතුමට දිව ආවේය. ඒ 1980 දෙසැම්බර් වලය.  මට  අපොස සාමාන්‍ය පෙළ ගණිත ප්‍රශ්න  පත්‍රයට පිළිතුරු ලියන්නට තිබුනේ එදාය. ඊට කලින් දවසේ මම සිරිමල් අයියා හමුවීමට ගියේ මා පරණ ප්‍රශ්න පත්‍ර හදද්දී එක ගණනකට  පිළිතුර නිවැරදිව හදා  ගැනීමට නොහැකි වූ බැවිනි.  සිරිමල් අයියා  රාජකීය විද්‍යාලයේ මට වඩා වසර ගණනක් ඉහලින් සිටි අයෙකි. ඔහු උසස් පෙළ ප්‍රථම වරට සමත් වුවද වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වීමට නොහැකි වීම නිසා දෙවන වර සඳහා සුදානම් වෙමින් සිටියේය. ඔහුටද ගණනට පිළිතුර සොයා ගැනීමට එවෙලේ නොහැකි විය. 

මම ඔහුට සිරිමල් අයියා කීවද ඔහු මට මෙන්ම අනිත් යහළුවන්ට ද කතා කලේ "අඩෝ , මචන්, මචෝ " යනුවෙනි. මම මෙන්ම අනිත් යහළුවන්ද  ඔහුට සිරා, සිරිමල් යනුවෙන්ද ගාණක් අහන්නට වූ විට මම ඔහුට  සිරිමල් අයියා යනුවෙන්ද ඇමතුවෙමි.    

එදා උදේ පාන්දර බස් නැවතුමේදී ඔහු මට ගාණ හදන විධිහ කියා දී ගියේය. ඒ ගණන එලෙසම ප්‍රශ්න පත්‍රයේ තිබුණි. මා ඒ බව ඔහුට කී විට සුපුරුදු ලෙස සිනාසී ඔහු ඇසුවේ   "යකෝ තව ගණන් ගොඩක් තිබ්බනේ. උඹ ඒවා හොඳට කරාද "   යනුවෙනි. ප්‍රතිඵල ආ විට මට විශිෂ්ඨ සාමාර්ථයක්  ලැබී තිබුණි.  මා උසස් පෙළ කලේ 12MS1 ගණිත පංතියේය. එහිදී උසස්ර පෙළ සායනික විද්‍යාව ප්‍රශ්න පත්‍රය තිබූ දවසේද ඊට කලින් දින ඔහු සොයා දුන් ප්‍රශ්නයක් ප්=සහ පිළිතුරක් ප්‍රශ්න පත්‍රයේ තිබුණි. 

මා ඉන්පසු  බොහෝ විට  සිරා ඇමතුවේ ප්‍රොෆා හෝ  ප්‍රොෆෙසර් මචං කියාය.  නමුත් සිරා ට හැම විටම අවශ්‍ය වුයේ වෛද්‍යවරයෙකු වීමටය.  නමුත් අවසනාවකට  දෙවන වර කල උසස් පෙළ වීභාගයෙන්ද ඔහුට අවශ්‍ය ලකුණු ගණන කොළඹින් ඇතුළු වීමට  තිබුනේ නැත. ඔහු තෙවන වරටත් අපොස  උසස් පෙලට බයෝ අංශයෙන් පෙනී සිටියත් එවරද ඔහුට දන්ත වෛද්‍යවරයෙකු  වීමට අවශ්‍ය ලකුණු  පමණක් ලැබී තිබුණි. සිරා ඒ වෙනුවට කොළඹ විශ්ව විද්‍යාලයේ බයෝ සයන්ස් කිරීම තෝරා ගත්තේය. ඔහු ඒවා ඉගෙන ගත්තේද ආශාවෙනි, ඒ දවස් වල අපට කුතුහලයක් ව තිබූ  ප්‍රජනන පද්ධති  ගැනද ශුක්‍රානු තරල ගැනද  අමතර පන්ති පැවැත් වූයේ සිරාය. ඒ දින වලද ඔහු කළ නොයෙකුත් පර්යේෂණ ගැන විස්තර කියනු මට මතකය. 
 
සිරිමල් අයියාට  සැමවිටම කොක් හඬලා සිනාසීමේ පුරුද්දක් තිබුණි.. ඔහුට තිලකරත්න කියා තවත් යහළුවෙකුද සිටියේය. මේ සෙට් එක හමු වූ හැම විටකම පොඩි හේතුවකට වුවත් මහා හඬින් සිනා සුනහ.  මම වරක් ඔහුගෙන් මේ බව ඇසුවේ මට එහි සිනා යාමට තරම් හේතුවක් නොතිබූ  නිසාය. සිරිමලා කීවේ මාර කතාවකි. ඔහුගේ යහළුවාට නිදන්ගත රෝගයක් තිබුණි. ඔහුට ජිවත් වීමට තිබුනේ තවත් වසර කිහිපයක් පමණි. එනිසා සිරිමල් අයියා ඇතුළු යහළුවන් පිරිස සැම  විටම ඔහු සතුටින් තැබීමට උත්සාහ කළහ. ඒ යහළුවා වසර කිහිපයකට පසු මා  සෝවියට් දේශයේ සිටියදී මිය ගොස් තිබුණි. මොන ප්‍රශ්න තිබුනත් සිනා වී ජොලියේ  ඉන්නට මටත් පුරුදු කලේ සිරාය. 

ඒ මදිවාට සිරා ඊටත් වැඩිය පුණ්‍යකර්මයක් මා වෙනුවෙන් කර තිබුණි. මා ඒ දවස් වල පට්ට දුප්පතෙකි. මට අමතර මුදලක් ලැබුනේ සිසුන්ට ශිෂ්‍යත්ව පන්ති සිසුන් කිහිප දෙනෙකුට පැවැත්වීමෙනි. සිරා හා තවත් යහළුවෙකු වන (කණගාටුවකට දැන් ඔහු අප අතර නැත) ආනන්දයේ උගත් පියල් සමරවික්‍රම හා මමද බේරේ  වැවේ පිහිටි සිඟිති උයනේ බියර් බොන්නට ගියෙමු. මා වෙනුවට  වියදම් කලේ සිරාය. මගේ පළමු ලයන් ලාගර බෝතලය අරන් දී භෞතිස්ම කිරීම වෙනුවෙන් සිරාට ආත්මයක් පාසා බියර් ලැබෙන්නට ඕනෑය.

සෝවියට් දේශයේ සිටියදී සිරිමල් අයියා කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය කෙනෙකු වීය.   ඊට පසු මට මගේ පියා එවූ ලිපියක තිබුනේ සිරිමල්  අයියා පශ්චාත් උපාධි අධ්‍යයනය  සඳහා  ජපානයට ගිය පුවතය.

මා නැවත  ලංකාවට එන විට සිරිමල් අයියා ඔහුගේ දෙවන ආචාර්ය උපාධිය සඳහා තවත් රටකට ගොස්ය.  එනිසා මට ඔහු හමුවුනේ නැත. සිරා නිකන් ඇන් ඇම් පෙරේරා වගේනේ කියා මම තවත් යහලුවෙකුට කීවෙමි. සිරාට  තිබුනේ එතරම් අධ්‍යාපන පිපාසයකි. 

නමුත් මම ඉනෙස් සමග විවාහ වී ලංකාවට ගිය ගමනේදී සිරිමල්  නැවත හමුවුණි. ඔහු ලංකාවේ විද්‍යා ප්‍රවර්ධන වන ආයතනයක් වන CISIR හි (දැන් ITI) ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකු ලෙස  රැකියාව කරමින්   සිටියේය. ඔහු 2013 දී  එහි කළමනාකාර අධ්‍යක්ෂක වරයා විය. 

මම සිරාටත්, මගේ පැරණිගුරුතුමෙකු  වූ ධම්මදේශ අම්බලම්පිටිය සර් ටත් යහළුවෙකු වන රාජකීය විද්‍යාලයේම උගත්  ටෝනි (ලූෂන්) සූරියබණ්ඩාර ටත් ඩිනර් එකකට සීනෝර් අවන්හලට  අරාධනා කලෙමි. යාන්තන් මට සිරාට  බියරයක් අරන්  පින්දීමට හැකිවුනේ එදාය.
 
ඉන්පසු බ්ලොග් සම්මාන කරන කාලයේත් කෝවිඩ් සමයේ ලංකාවට ගිය විටත් මම සිරිමල්ට කතා කලද කාර්යබහුල වූ බැවින් අප දෙදෙනාටම හමුවීමට නොහැකි වුනි. 

 සිරා ITI හි චෙයාර්මන් වූයේ 2020 දීය. 
ඔහු මා මෙන්ම කාබනික වගාව ගැන සිතුවේ  හොඳ පැත්තටය. නමුත් පැය විසි හතරෙන් පොහොර නැවැත්වීමට උපදෙසක් කිසිවිටෙක දී නොමැත. ඒ ගැන ඒ කාලයේ මම ඔහුගෙන් විමසා තිබුණි. ඔහු පවසන්නේ කාබනික පොහොර  යොදා වගාව පිළිබඳව ටාස්ක් ෆෝස් එකක් සාදා වසර දහයක වැඩ පිළිවෙළක් පමණක් ඔහු තවත් අය සමග යෝජනා කර තිබු බවය. එම වාර්තාව ඔහු සතුව තවමත් ඇති නමුත් මෙහි පළ කළ නොහැක්කේ එය පබ්ලික් ඩොමේන් එකක නැති නිසාය. එම යෝජනාව වෙනුවට ක්‍රියාත්මක වූයේ පැය 24 ක එකකි.

චීනයෙන් එන පොහොර නැව හරවා යැවීම සඳහා තමන් පිටු දෙකක වාර්තාවක් ලියා භාර දුන් බවද ඔහු පවසයි. එයට හේතුව වෙනත් රටක කාබනික පොහොර භාවිතය එහි පවතින ලයිව් බැක්ටීරියා ආදිය නිසා හානිකර හා අනතුරුදායක නිසාය.



ඊයේ පෙරේදා සිරා මට කතා කලේ ඔහු විසින් ලියූ පොතක් ගෙන්වා ගැනීමටය. එහි වූයේ දියවැඩියාව සඳහා බෙහෙත් සෑදීමට  ලංකාවේ ඇති විවිධ පැළෑටි වර්ග උපයෝගී කල ගැති ආකාරය ගැනය. එහි බොහෝ ඇත්තේ උද්භිද විද්‍යා නම් හෙයින් මට එය එතරම් වැටහුනේ නැත. සාමාන්‍ය නම්ද ඇතුලත් කර තිබුනා නම් අප වැනි ඒ විෂයයන්  අධ්‍යයනය නොකළ අයටද වඩා තේරුම් ගන්නට හැකිවනු ඇත.

වඩාත්ම වැදගත් කාරණය  නම් ඔහු තවත් විද්‍යාඥයන් කිහිප දෙනෙකු සමග  ලංකාවේ  කුරුඳු උපයෝගී කරගෙන  දියවැඩියාව සඳහා   බෙහෙතක් නිෂ්පාදනය කිරීමය. ඒවා ක්ලිනිකල් පර්යේෂණ සඳහා ඉදිරිපත් කල බවද ඔහු පවසයි. මමද බොහෝ විට කුරුඳු කෑල්ලක් දෙකක් දිනකට කන අයෙක්මි. ඒ දිය වැඩියාව සඳහා නොව  එය ඇඟට හා මුවේ සෞඛ්‍යය ට හොඳ  යයි කවුදෝ මට පැවසූ  නිසා සහ කුරුඳු කෑමට මා කැමති නිසාය. ඉනෙස් ද පෑන් කේක් හැදුවිට කුරුඳු කුඩු සීනි වලට කලවම් කර දියණියන්ට කන්නට දෙන්නීය. ඒ නිසා අපේ නිවසේ කුරුඳු භාවිතය වැඩිය.

කුරුඳු දිය වැඩියාවට බෙහෙතක් නම් එය ඉතා ආකර්ෂණිය සොයා ගැනීමකි.

මේ තිබෙන්නේ චීන පර්යේෂකයන් පිරිසකගේ පර්යේෂණ වාර්තාවකි.


නමුත් මේ ලිපියේ කියන්නේ එය මිනිසුන් සඳහා භාවිතයට සුසුදු යයි තවම සොයාගෙන නැති බවය.


//Cinnamon does have antioxidant, antibiotic, and anti-inflammatory properties, but for now, there aren’t enough studies to prove it works that well in people.//

 ඔවුන්ට අවශ්‍ය මේ සඳහා ආයෝජකයෙකු සොයා ගැනීමය. පර්යේෂණ  අවස්ථාව  අවසන්ව ඇති බව ඔහු පවසයි. මේ වීඩියෝව නරඹා අදහස කියන්න.

p.s: Clinical Phase I, II & III all completed. Total patients 250 + 50 Healthy adults.

මේ ක්‍රියාවලිය පිළිබඳව වැඩිපුර නොදන්නා මගේ පෞද්ගලික හැඟීම නම් මේ ගණන මදි බවය. . මීට වඩා රෝගීන් ප්‍රමාණයකට ප්‍රතිකාර කළයුතු බව මට සිතේ. ඊට හේතුව මෙට්ෆෝමින් අධිකාරය වඩා බලවත් එකක් නිසාය.  මෙවැනි බෙහෙතක් සත්‍ය වශයෙන්ම වැඩදායක නම් ඊට  එරෙහිව විශාල  ඖෂධ කම්පැනි  pharmaceutical industry ය සටන් වදිනු ඇත.  මුදල් ගෙවා දැන්වීම් පල කරනු ඇත. වෛද්‍ය විශේෂන්ඥයන් ලවා පහර දෙනු ඇත. 

සුභදායක ගමනකට  සුභ පැතුම් මචං.

විශ්ව විද්‍යාල යොමුව:



2024-03-10

Tuesday 5 March 2024

කතා වස්තුවට ඌන පූර්ණයක්



මම හිතුවේ නැහැ සාමාන්‍ය උපහාස කතාවක් ලීවහම -  ගංජාසීල වලිමඩුව කතා වස්තුව -  ඒක ඊට පස්සේ විස්තර කරලා දෙන්නත් වේවි කියල.  නමුත් මේ දවස් වල හුඟක් අය තේරුම් ගන්න විධි වෙනස් කියල මට දැන් වැටහිලා තියෙන්නේ. විශේෂයෙන් ආගම  සම්බන්ධව යමක් ලියන කොට. හුඟක් අය කැමති නැහැ ප්‍රසිද්ධියේ යමක් කියන්න වත්.

හරි මුලින්ම   මම භාවිතා කරපු  පාත්‍ර  වර්ගයා ගැන ලියන්න ඕනේ. මම ඇත්තටම  ඒ අය ගැන වරදක් නෙමේ කියල තියෙන්නේ.  උදාහරණයක් වශයෙන් මාතර ගෙයක් තියනවා  කියල   මම ලියපු සහෝදරි මගේ හොඳ  හිතවත් යෙහෙලියක්. කටුනායක ඉන්නේ. එයා මගේ පොතක් ගැන වරක් එයා වැඩ කල පුවත් පතකට ලිපියකුත් ලියපු කෙනෙක් . (මම කියන්නේ නැතිව. ඒක තමා වැදගත් කම එතන). එයා කොහොමත් වැඩ අධික කෙනෙක්. ඉතින් එයාට මට කෝල් කරන්න  වෙන්නේ හුඟක් වෙලාවට යක්කු ගස් නගින වෙලාවට තමයි. මම ඒකට අකමැති නැහැ. මොකද මම වෙලාවට නිදියන කෙනෙකුත් නෙමේනේ.

ඒ විතරක් නෙමේ . එයට ලඟදි ඔපරේෂන් එකකුත් කළා නිදන්ගත රෝගයක් නිසා. එනිසා එයාට  දැන් වෛද්‍ය උපදෙස් මත බෙහෙත් දිගටම අරගන්න වෙලා තියෙන්නේ. මම ලංකාවට ගියහම මට ගන්න පොත් හොයන්න මහන්සි නොබලා එන්නේ එයා.  

අර පශු වෛද්‍ය තුමී ගැන ඉතිං  හැමෝම දන්නවනේ.  එයත් එක්ක ඉතින් රණ්ඩු වෙවී යාළු වෙවී තමා නිතරම ඉන්නේ, මේ  දවස් වල මම හිතන්නේ යාලුයි. මොකද ඊයෙත් නිසඳැසක් ද කොහෙද එවල තිබුනා. ඉතින් එයත් සෑහෙන්න බිසී , ක්ලිනික් දෙකකම වැඩ නිසා. ඉතින් එයා කොයි වෙලේ කතා කලත් මම තරහ වෙන්නේ නැහැ.

රෑ දහයෙන් පස්සේ නැතිව කොයි වෙලාවට මෙසේජ් එවන්නද හාන්දුරුවනේ කියල තමා අහන්න තියෙන්නේ.

මගේ දුවල දෙන්න රෑ  වෙලාවක කතා කරන එක, කෝල් ගන්නේ කෑමක් තියනවනම් කියල ලියපු දේ, ඒවා ඉතින් පොඩ්ඩක් උපහාසයට අතිශයෝක්තියෙන් ලියන ඒවා. ඇත්තටම උන් දෙන්න එහෙම නැහැ. ඉගෙන ගන්න වැඩ අඩුවෙච්චි ගමන් සිකුරාදාට ගෙදර දුවන් එන්න බලාගෙන ඉන්නේ. අපිම විහිළු කරනවා දැන් උඹල කැදැල්ලෙන් යන්නෙම නැත්ද කියල. එයාලටත් ඉතින් වෙලා තියෙන වෙලාවට තමා කතා කරන්නේ.  උන් දෙන්නම දන්නවා අපි කොපමණ  එයාලට ආදරේද කියල.

මගේ සොහොයුරියෝ ගැනත් මම ලියල තියෙනවනේ. එක්කෙනෙකුට ෂොප් එකේ වැඩ , ගෙදර වැඩ, පන්සලේ, ගමේ වෙන නොයෙකුත් සමාජ සේවා වැඩ එක්ක ඇත්තටම වෙලා නැහැ, ලංකාවේ  උයනව  කියන එකත් මේ අපට එංගලන්තේ වගේ විගහට ඉක්මනට කරණ දෙයක් නෙමෙයි.  ඉතින් පව්. එයාට ඉතින් නිදහස් වෙලාවටනේ කතා කරන්න වෙන්නේ. 

අනිත් සොහොයුරියට ඇත්තටම කතා කරන්න වෙලාවක්  නැහැ. එයට වැඩ අධිකයි කියල මම දන්නවා. ඇත්තම අලංකාවේ කාන්තා පක්ෂය සෑහෙන්න මහන්සි වෙලා වැඩකරන කට්ටියක්. වැඩට යනවනම් ඊටත් අමාරුයි. මාර්ගයටම ගත වන වෙලාවකුත් තියනවනේ.  මං හිතන්නේ ඒ දෙන්නම දන්නවා මම උන්ට කොඡාර ආදරේද කියල. මම වාසනාවන්තයි ඒ අතින්. සොහොයුරියෝ හිටිය නිසා බවලත් උදවිය එක්ක කතා කරන්න අමුතු සබකෝලයක්  තිබ්බේ නැහැ.

 මේ හැමෝම සහ අනිකුත් යෙහෙළියන්,  ඥාති කාන්තාවන් හැමෝම වගේ මගේ ජිවිතේ එලි කරපු අය. මේ කාන්තාවෝ නිසා අපේ ජිවිත වඩා හොඳ වෙලා කියන එකයි මගේ අදහස. 

සමහර වෙලාවට , අසීරු දික්කසාදයක් වුන වෙලාවක,  මවක්, මිත්තනියක්  අකරුණාවන්ත වුන වෙලාවක තරහ ඇති වෙනවා ඇති. ඒක ස්වභාවිකයි.  එහෙම වුනා කියල හැම මිත්තනියක්ම , හැම මවක්ම, හැම කසාද ද බැඳපු බිරිඳක් ම එහෙම නැහැ.  ගැහැණු එපා කියන සම ලිංගික සහෝදරයෙක් හෝ කිසියම් ආගමික නිකායක බ්‍රහ්මචාරී ව දිවි ගෙවන කෙනෙක් වුනත් උපදින්නේ මවකගේ කුසයකින් මිසක් ඕපපතිකව නෙමෙයි නේ .

එමනිසා එවැනි තරහක් පැසව පැසව තියා  ගන්න එකේ තේරුමක් නැහැ.  

ඉතින් බ්‍රාහ්මණ ආගමකින්  එකතු කරලා අපිරිසිදු  කරල තියෙන ආගමක ලියල තියෙන දේවල් මොළෙන්  කල්පනා කරන්නේ නැතිව ගිරව්  වගේ දේශනා කරන එකෙන් වෙන්නේ සමාජයේ වැදගත්ම කොටසකට අපහාසයක්  කරන එක. එවැනි වෙලාවක අපට වුනත් ස්වභාවිකව එනවා,  කෝප සහගත හැඟීමක්. ඉතින් අර ලිපියෙන් කලේ කෝප වෙන්නේ  නැතිව ඒක උපහාසයට පෙරලීම. 



05/03/2023