Friday, 29 March 2024

ඉස්තාන්බුලයේ දෙපැත්ත

ඉස්තාන්බුල් නගරයේ දෙපැත්තක් තිබේ. එහි මුලින් තිබූ යුරෝපියන් නම කොන්ස්තන්තිනෝපලය වන අතර පසු ස්තන්බෝල් වී පසු ඉස්තාන්බුල් යනුවෙන් නම වෙනස් වුනද එහි යුරෝපියානු හා ආසියානු පාර්ශවයක් අදටත් තිබේ. කුරුසු යුද්ධ සමයේදී ක්‍රිස්තියානි කුරුස භටයන් තමන්ගේම කිතුණු භක්තිවන්තයන් විසු පොහොසත් කොන්ස්තන්තිනෝපලයට පහරදී එහි ධනය කොල්ල කෑවේ 1204 දීය.  එදා දවසේ එය බයිසැන්ටියම් හෙවත් පෙරදිග රෝමානු අධිරාජ්‍යයයේ අගනුවර විය. ඒ හතරවන කුරුස යුද්ධ සමයේ දීය (1202-1204). කොන්ස්තන්තිනෝපලයේ මුලින්ම ජනාවාස ඇරඹි තිබුනේ ක්‍රිස්තු පූර්ව  දහතුන්  වන සියවසේ එනම් මිට වසර තුන්දහස් තුන්සීයකට පමණ පෙර සිටය. ක්‍රිස්තු වර්ෂ 330 දී එවකට  රෝම අධිරාජයා වූ  කොන්ස්තන්තින් ට නව නගරයක් තැනීමට අවශ්‍ය වූයෙන් සතුරු ප්‍රහාර වලින් බේරීමට සුදුසු  යයි සිතා අඟක් ලෙස නෙරා ගිය  සමුද්‍ර සන්ධියක් අසල නගරය ගොඩ නගන  ලදී. මේ අඟක් වැනි මුහුදු කොටස අදත් හඳුන්වන්නේ ගෝල්ඩන් හෝර්න් කියාය.  



තුර්කි ඔටෝමන් අධිරාජ්‍යයට, කොන්ස්තන්තිනෝපල් නගරය  යටත් වුනේ තුර්කි හමුදා දෙවැනි  සුල්තාන් මෙහ්මඩ් යටතේ  දවස් 53 ක් වටලා සිටීමෙන් පසු 1423 මැයි 29 දීය.  ඔහු විසින් තමන්ගේ අග නගරය සඳහා එතෙක් පැවති  අද්රියනාපෝල් වෙනුවට කොන්සතන්තිනොපල් නගරය තෝරා ගත්තේය. දෙවන ලෝක යුද්ධයෙන් තුර්කි අධිරාජ්‍යය බිඳ වැටුණු අතර ඊට පසු පැවති නිදහස සඳහා වන යුද්ධයෙන් පසු නිදහස් තුර්කියේ අග නගරය 1930 දී අන්කරා බවට පත් වුනු අතර කොන්ස්තන්තිනෝපලය ඉස්තාන්බුල් විය. එය යුරෝපයේ විශාලම නගරය වුවත් මට පෙනී ගියේ එය බොහෝ නගර මෙන් රවුමක හැඩයට නොව දිග අතට විහිදී ඇති බවය. එහි යුරෝපා හා ආසියානු කොටස වෙන් වන්නේ  දිග කිලෝමීටර්  30 ක්ද  පළල කිලෝමීටර 3.7 ක් ද වන බොස්පරස් සමුද්‍ර සන්ධියෙනි.  

අප නැවතී සිටි යුරෝපියානු පැත්තේ ආහාර පාන සහ වෙනත් දේවල මිල ගණන් බ්‍රිතාන්‍ය හෝ යුරෝපීය මිල ගණන් වලින් වැඩි වෙනසක් තිබුනේ නැත. අප බොහෝ විට අසා තිබුනේ උගුල් අටවන රැවිටිලි කාර සංචාරක මග පෙන්වන්නන් හා වෙළෙන්දන් ගැනය. මට හිතුනේ ඒ සියල්ල අපට අත් දකින්නට ලැබෙන්නේ මේ සංචාරක කලාපය වන යුරෝපීය පැත්තේ බවය.  

අපි හෝටලයට ගිය විටදී දක්නට ලැබුනේ එය අලුත්වැඩියා කරන බවය. අප කාමර දෙකකට ගෙවා තිබුනද ලැබුනේ තිදෙනෙකුට නිදිය ගැනීමට හැකි එකකි. එහි මුහුදට මුහුණලා බැල්කනියක්ද පොරොන්දු වූ පරිදි තිබුනද දූවිලි හා කැඩුණු කාමර ගොඩේ සිටීමට අප අකමැති වූයෙමු. මෙතැනදී අපූරු වැඩක්එ විය. රෙසේප්ෂන් එකේ සිටියේ ලාංකික සිදුවෙකි. මා ලංකාවේ උපන් බව දන ඔහු ප්‍රශ්න කිහිපයක් අසා එම හෝටලයේ අපට නැවතිය නොහැකි බව පිලි ගෙන වෙනත් තැන කිහිපයක් පෙන්වා දුන්නේය.
මම ඔහු ලංකාවේ කොහේදැයි ඇසුවෙමි. ඔහු කීවේ තමන් නුවර බවය. නුවර කොහෙද කියා ඇසූ විට ඔහු කීවේ කෑගල්ලේ කියාය. එවිට මම සිනවී කීවේ කෑගල්ල නුවරට වඩා තරමක්ඇ ඈත නගරයක්ත බවය. මම එංගලන්තයේ බොහෝ කල් ජීවත් වන නිසා නොදැන සිටින්නට ඇතැයි සිතා එසේ කියූ බව ඔහු පැවසුවේය. වෙනත්  තැනක් සොයා ගිය අපි කුර්දි ජාතිකයනට අයත් හෝටලයක නතර වුනෙමු. ඔවුන් අපට ඉතා කරුණාවන්ත වූ අතර ලංකාවේ මෙන්ම බෙහෙවින් ම සහය දීමට ඇප කැපව සිටියහ.   

අප ගිය බොහෝ තැන්වල රුසියානු, යුක්රේනියන් සහ පෝලන්ත භාෂාවලින් කතා කරන බව  මට බොහෝ විට ඇසුනි. අප නැවතී සිටි හෝටලයේ උදේ ආහාර සැකසීම ආදී වැඩ කලේ තුර්ක්මෙනිස්ථානයෙන් පැමිණි යුවලකි. ඔවුන් මා සමග කතා කලේ රුසියානු භාෂාවෙනි. තුර්ක්මෙන් කාන්තාව මට කීවේ ස්වභාවික ගෑස් විකිණීම ආදියෙන් පොහොසත් වුවද තුර්ක්මෙනිස්ථානයේ වැටුප මසකට ඩොලර් සීයක් පමණ වන බවයි. ඇයට විශාල නිවසක් සහ වත්තක් හිමි බවත් ඒවා නඩත්තු කිරීමට තුර්කියට පැමිණ රැකියාව කරන බවත්ය. ඔබලා පැමිණ රැකියාව කරන්න මුල් තුර්කි ගෝත්‍රිකයන් පැමිණ ගොඩ නැගූ රටේ බව මම විහිළුවට මෙන් කීවෙමි. ඇයට එය තේරුනේ නැත.  

හෝටලයේ රුසියානු මවක සහ ඇගේ  දියණියන් දෙදෙනාද නැවතී සිටියහ. ඔවුන් සෑම උදයකම ඉතා ආචාරශීලි වූ නිසා අපි ඔවුන් සමග කතා බහ කළෙමු. ආ කීවේ ඔවුන් මාස දෙක තුනකට වරක් පැමිණ රුසියාවේ නැති දේ ගෙන ගොස් මොස්කව වල විකුණන බවයි. ඒ මොනවාද යයි ඇසු විට ඈ කීවේ ගැහැනුන් ගේ රූප ලාවන්‍යය රැක ගැනීමට අවශ්‍ය දේ, සුවඳ විලවුන් සහ  (perfumes, cosmetics) , නොයෙකුත් බටහිර රෙදි පිළි ආදිය බවයි. මේ අසා මට සිනා ගියේය. ඇය විමතියට පත් වූ විට මා කීවේ ඒ කාලයේ විදේශික සිසුන් ද බටහිරට හෝ තුර්කියට පැමිණ නොයෙකුත් සෝවියට් දේශයේ නැති භාණ්ඩ ගෙන ගොස් විකුණූ බවයි. මුල් වරට ශෝකාන්තයක් ලෙසත් දෙවන වර විගඩමක් ලෙසත් ඉතිහාසය පුනරාවර්තනය වන බවට මාක්ස් පවසා තිබෙන බව ඇයට කීවෙමි. එයට නම් ඈට සිනහ පහල විය. 




දෙවන දිනයේ අපේ සංචාරක මග පෙන්වන්නා ෆෙරි එකකින් අප ආසියානු පැත්තට රැගෙන ගියේය. අපට මුලින්ම වැටහුණු කරුණ නම් යුරෝපීය පැත්ත මෙන් තුන් ගුණයක් අඩුවෙන් ඉතා හොඳ ආහාර එහි තිබෙන බවය. ඒ ආහාර යුරෝපිය පැත්තේ ඇති සංචාරකයන් ට දෙන ආහාර වලට වඩා වෙනස් සම්ප්‍රදායික තුර්කි කෑමය. මිනිසුන්ද වඩා හිතවත් අය වන තර තරමක ආගමික ද විය. 


























මම මුස්ලිම් පල්ලියක් ඇතුලට ගියේ පළමු වතාවට ඉස්තාන්බුල් හිදීය. අපි ගිය මේ පල්ලිය නිල පල්ලිය කියා හැඳින්වේ. පල්ලිය ඇතුලේ ඉමාම් වරයට දේශනා කිරීමට  උස් ස්ථානයක් පිළියෙළ කර තිබෙන  අතර සියල්ලෝම බිම හිඳ ගනිති. මෙවැනි ඉඩ ඇති විශාල ශාලාවක් භාවනා කිරීමට හොඳය.  එහි ඇති සරල බවට මම කැමතිය.   

ඉස්තාන්බුල්හි මා දුටු වඩාත්ම සිත් ඇදගන්නා සුළු දෙයක් නම්  අයාලේ යන බල්ලන්ට සහ බළලුන්ට ඔවුන්ගේ ඇති සැලකීමයි. සතුන් ආරක්ෂා කිරීම පමණක් නොවඔවුන් රැකබලා ගැනීම, බොහෝ ස්ථානවල ආහාර පාන තැබීම, අවශ්‍ය එන්නත් ලබා දී සුනඛයින්ව හොඳින්  රැකබලා ගැනීම යනාදිය සැබවින්ම දයානුකම්පිත ක්‍රියාවකි.



එක ගොඩනැගිල්ලක එළියේ බිත්තියේ කුරුල්ලන්ට කූඩු සාදා තිබෙනු මේ පින්තුරයෙන් පෙනේ.




අජිත් 28/03/2024 

ප.ලි - මම තුර්කියේ යුරෝපිය නගරය හෙවත් ඉස්තාන්බුල් වලට මුල් වරට ගියේ 1987 දීය. මොස්කව් වල බෙලරුස්කයා දුම්රිය ස්ථානයෙන් පටන් ගෙන අපේ දුම්රිය ගියේ උක්රයිනයේ කීයෙව් නගරය හරහා රුමේනියාවේ බුකරෙස්ට් වලටය. එතනින් බල්ගේරියාවේ සොෆියා අග නගරය දකවාය. එතනින් දුම්රිය ගමන නිමවූ පසු බලගේරියාවේ තුර්කි තානාපති කාර්යාලයෙන් වීසා ලබාගෙන ඉස්තාන්බුල් නගරය දක්වා ගියෙමු. හැල හැප්පිලි තොරවූ එම ගමනේදී මගේ නෙත සිත ඇදී ගියේ කවුන්ට් ඩ්රකියුලා වැඩ විසූ රුමේනියාවේ දර්ශනීය කර්පාතියන් කඳුකරය දෙය.

ඉස්තාන්බුල් ගැන මගේ එතරම් මතකයක් තිබුනේ නැත. මට මතක විධිහට ලෙදර් ජැකට් ගැනීමට ගොස් ඩොලර් 200-300 කියූ ඒවා ඩොලර් පනහට පමණ අඩු කර ගත් හැටිය. එදා ඉස්තාන්බුල් වල හැම දෙයක්ම කේවල් කල යුතු විය.
මම මේස් විකුණන කොල්ලෙකු ගෙන් හොඳ ඒවා ලෙස පෙනුණු ශීත කාලයට හොඳ මේස් කුට්ටම් හයක් මිලදී ගතිමි. හෝටලයට පැමිණ බැලු විට හයම පාට දොළහකිනි. ඒකා කෙසේ මගේ ඇස් ඉදිරියේ පෙන්වූ එකක් නොව වෙනත් එකක් දුන්නේ කෙලෙසද කියා මම අදත් නොදනිමි.
වසර තිස් හයකට පසු මා මෙහි පැමිණියේ ලන්ඩනයේ ස්ටැන්ස්ටෙඩ් ගුවන් තොටුපලේ සිට පැය තුනහමාරක ගුවන් ගමනකිනි.





24 comments:

  1. නියමයි. හරියට ඩොකියුමෙන්ට්‍රි එකක් වගේ ලස්සනට ලියලා. ඇති වෙන්න පිංතූරත් තියෙන නිසා තවත් වටිනවා.

    අර යුරෝපීය සහ ආසියා කොටස් වල වෙන වෙනම, වෙනස් සංස්කෘතික/ආගමික කොටස් නඩත්තු කරන හැටිත් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි , අපි හිතන තරම් අන්ධභක්තියකුත් නැහැ

      Delete
    2. එතරම් අන්ධභක්තියක් නැහැ කියලා මටත් හිතුනා, මේ විස්තර සහ තිලකෙගෙ ලිපි දැක්කාම.

      Delete
    3. මෝගල් අධිරාජ්‍යය ගොඩනැගුව ඉරාන නැවතිච්ච තැන බැලුවාම, තුර්කිය එච්චරම අන්තයට නොගිය එක අගය කල යුතු දෙයක් කියල හිතුනා.

      Delete
    4. ඒක හරි. ඉරානයේ විප්ලවය අනිත් පැත්තට ගියේ. එඩුවන් සෑහෙන්න උත්සාහ කළා මම හිතන්නේ. හරි ගියේ නැහැ.

      Delete
  2. කියෙව්වම මෙයත්
    හිතෙනවා දුකත්
    නෙලනු බැරි වුණත්
    පිපෙයි තව මලුත්!

    ReplyDelete
    Replies
    1. දුක හිතුනේ ඇයි කියා
      හිතන්නට බැරිය
      නිදිට යන්නට බැරි
      තැනක් කියලා හිතුනා වත්ද

      Delete
  3. ඉස්ලාමය හැම විටම ජාතිවාදයට විරුද්ධයි.
    යම් තැනක ජාතිවාදය මතුවෙයිද එයි ඉස්ලාමයේ විනාශයට හේතුවක්.
    කෙමාල් අතාතුර්ක් කියන ජාතිවාදියා නිසා තුර්කියේ ඉස්ලාමය විනාශවුනා.

    ඉරානයතුල ඉස්ලාමීය විප්ලවය වුනත් එහි මිනිස්සු ජාතිවාදීයි.
    ඒ අතින් ලංකාවේ මුස්ලිම්වරුන්ට නම් ජාතිවාදයක් නෑ.

    ReplyDelete
    Replies
    1. අලුත් තර්කයක්. කෙමල් අටතුර්ක් සමාජවාදියෙක් නේ මිනිහගේ හොඳම යාලුව ස්ටාලින්. හැබැයි ස්ටාලින් කෙරුව මොට්ට වැඩ කරන්න ගියේ නැහැ. ඉස්ලාමය විනාශ කලේ වත් පල්ලි කැඩුවේ වත් නැහැ. අදටත් එයාගේ සිස්ටම් එක රැකිලා තියෙන්නේ ඒකයි

      Delete
  4. වටිනා තොරතුරු රැසක් ඇති සටහනක් .
    ස්තූතිය අයියේ.
    ජයවේවා !!!

    ReplyDelete
  5. පල්ලිවල වහලවල ෆ්‍රැක්ටල් ගතියක් තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. චීනුන් ගෙන් binomial coefficients උස්සගන්න ඇති . පොඩි සීන් එකක් තියෙනවා තමයි

      Delete
  6. //ක්‍රිස්තියානි කුරුස භටයන් තමන්ගේම කිතුණු භක්තිවන්තයන් විසු //
    Fellow Christians නම් තමයි, ඔබ කියන දේ අදහස හරි.
    හැබැයි බටහිර සහ නැගෙනහිර ක්‍රිස්තියානි පල්ලි ඒ වෙනකොටත් වෙන්වෙලා නේද? 1054 දි වෙන් වුනා.
    දෙගොල්ලොම කිතුණු භක්තිකයින් කියපු එක හරි. හැබැයි එකක් Catholic/Western Catholic/Roman Catholic & අනික Eastern Orthodox/ Eastern Orthodox Catholic/Greek Orthodox .
    අජිත් කියපු එකේ වැරද්දක් නෙමෙයි කිව්වෙ. Pedantic පැහැදිලි කිරීමක්

    ReplyDelete
    Replies
    1. කුරුස යුද්ධ කතෝලිකයොත් ඔයා හිතන විධිහටමයි හිතල තියෙන්නේ. කතෝලික නෙමෙයි නම් මේ ලින්ක් එක දැම්ම. https://en.wikipedia.org/wiki/Sack_of_Constantinople

      Delete
    2. මක්සිම් ගෝර්කිගේ ආච්චි පුරුද්දක් විදියට දේව මෑණියන්ට යාඥා කරනවා.
      මක්සිම් අවසක් ඇහුවා කවුද දේව මෑණියෝ කියන්නේ කියලා.
      ආච්චි කියන විදියට දේව මෑණියෝ කියන්නේ දෙවියන්ගේ අම්මා.
      දෙවියන් වහන්සේ ඉපදෙන්නත් කලින් තමයි දේව මෑණියෝ ඉපදිලා තියෙන්නේ. එයාට දෙවියන්ටත් වඩා වැඩි බලයක් තියෙනවා. දෙවියෝ වුනත් උදව් ගන්නේ දේව මෑණියන්ගෙන්.

      මක්සිම් බයිබලේ කතාව කිව්වාම,
      ජෝකිනුගේ දුවට දේව මෑණියෝ කිව්වොත් උඹේ කට තලනවා කව්වා

      Delete
    3. @pra jay - කතෝලික නෙමෙයි නම් ක්‍රිස්තියානි නෙමේ කියල මංකොල්ල කාල , කියලයි ලියන්න ඕනේ වුනේ

      Delete
    4. අන්තෝනියෝ ඔයා කතෝලිකද

      Delete
  7. අර මනුස්සයාගෙන් කෑගල්ලේ කොහේද කියලා ඇහැව්වා නම් අන්තිමට නතර වෙන්නේ රත්නපුරේ හරියට ගිහින්!

    ReplyDelete
    Replies
    1. මම ඇහුව. උතුවන් කන්දේ කියල කීව

      Delete
  8. මුස්ලිම් ආගමිකයින් බල්ලන් ඇති කරන්නේ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. දන්නා තරමින් නැහැ. මෙතන බල්ලන් ඇති අක්රන්වට වඩා අයාලේ යන බල්ලන් රැක බලා ගැනීමක් වෙන්නේ. ඔය බල්ලෝ කාටවත් අයිති නැහැ

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .