Sunday, 10 March 2024

සිරා හෙවත් ප්‍රොෆා - ප්‍රොෆෙසර් සිරිමල් ප්‍රේමකුමාර

සිරා හෙවත් ප්‍රොෆා -   ප්‍රොෆෙසර්  සිරිමල් ප්‍රේමකුමාර ~~~~~~~~~~~~~~~~~~~~~


සිරිමල් ප්‍රේමකුමාර හෙවත් සිරිමල් අයියා එක දිනක් උදේ පාන්දර මා සිටි බස් නැවතුමට දිව ආවේය. ඒ 1980 දෙසැම්බර් වලය.  මට  අපොස සාමාන්‍ය පෙළ ගණිත ප්‍රශ්න  පත්‍රයට පිළිතුරු ලියන්නට තිබුනේ එදාය. ඊට කලින් දවසේ මම සිරිමල් අයියා හමුවීමට ගියේ මා පරණ ප්‍රශ්න පත්‍ර හදද්දී එක ගණනකට  පිළිතුර නිවැරදිව හදා  ගැනීමට නොහැකි වූ බැවිනි.  සිරිමල් අයියා  රාජකීය විද්‍යාලයේ මට වඩා වසර ගණනක් ඉහලින් සිටි අයෙකි. ඔහු උසස් පෙළ ප්‍රථම වරට සමත් වුවද වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වීමට නොහැකි වීම නිසා දෙවන වර සඳහා සුදානම් වෙමින් සිටියේය. ඔහුටද ගණනට පිළිතුර සොයා ගැනීමට එවෙලේ නොහැකි විය. 

මම ඔහුට සිරිමල් අයියා කීවද ඔහු මට මෙන්ම අනිත් යහළුවන්ට ද කතා කලේ "අඩෝ , මචන්, මචෝ " යනුවෙනි. මම මෙන්ම අනිත් යහළුවන්ද  ඔහුට සිරා, සිරිමල් යනුවෙන්ද ගාණක් අහන්නට වූ විට මම ඔහුට  සිරිමල් අයියා යනුවෙන්ද ඇමතුවෙමි.    

එදා උදේ පාන්දර බස් නැවතුමේදී ඔහු මට ගාණ හදන විධිහ කියා දී ගියේය. ඒ ගණන එලෙසම ප්‍රශ්න පත්‍රයේ තිබුණි. මා ඒ බව ඔහුට කී විට සුපුරුදු ලෙස සිනාසී ඔහු ඇසුවේ   "යකෝ තව ගණන් ගොඩක් තිබ්බනේ. උඹ ඒවා හොඳට කරාද "   යනුවෙනි. ප්‍රතිඵල ආ විට මට විශිෂ්ඨ සාමාර්ථයක්  ලැබී තිබුණි.  මා උසස් පෙළ කලේ 12MS1 ගණිත පංතියේය. එහිදී උසස්ර පෙළ සායනික විද්‍යාව ප්‍රශ්න පත්‍රය තිබූ දවසේද ඊට කලින් දින ඔහු සොයා දුන් ප්‍රශ්නයක් ප්=සහ පිළිතුරක් ප්‍රශ්න පත්‍රයේ තිබුණි. 

මා ඉන්පසු  බොහෝ විට  සිරා ඇමතුවේ ප්‍රොෆා හෝ  ප්‍රොෆෙසර් මචං කියාය.  නමුත් සිරා ට හැම විටම අවශ්‍ය වුයේ වෛද්‍යවරයෙකු වීමටය.  නමුත් අවසනාවකට  දෙවන වර කල උසස් පෙළ වීභාගයෙන්ද ඔහුට අවශ්‍ය ලකුණු ගණන කොළඹින් ඇතුළු වීමට  තිබුනේ නැත. ඔහු තෙවන වරටත් අපොස  උසස් පෙලට බයෝ අංශයෙන් පෙනී සිටියත් එවරද ඔහුට දන්ත වෛද්‍යවරයෙකු  වීමට අවශ්‍ය ලකුණු  පමණක් ලැබී තිබුණි. සිරා ඒ වෙනුවට කොළඹ විශ්ව විද්‍යාලයේ බයෝ සයන්ස් කිරීම තෝරා ගත්තේය. ඔහු ඒවා ඉගෙන ගත්තේද ආශාවෙනි, ඒ දවස් වල අපට කුතුහලයක් ව තිබූ  ප්‍රජනන පද්ධති  ගැනද ශුක්‍රානු තරල ගැනද  අමතර පන්ති පැවැත් වූයේ සිරාය. ඒ දින වලද ඔහු කළ නොයෙකුත් පර්යේෂණ ගැන විස්තර කියනු මට මතකය. 
 
සිරිමල් අයියාට  සැමවිටම කොක් හඬලා සිනාසීමේ පුරුද්දක් තිබුණි.. ඔහුට තිලකරත්න කියා තවත් යහළුවෙකුද සිටියේය. මේ සෙට් එක හමු වූ හැම විටකම පොඩි හේතුවකට වුවත් මහා හඬින් සිනා සුනහ.  මම වරක් ඔහුගෙන් මේ බව ඇසුවේ මට එහි සිනා යාමට තරම් හේතුවක් නොතිබූ  නිසාය. සිරිමලා කීවේ මාර කතාවකි. ඔහුගේ යහළුවාට නිදන්ගත රෝගයක් තිබුණි. ඔහුට ජිවත් වීමට තිබුනේ තවත් වසර කිහිපයක් පමණි. එනිසා සිරිමල් අයියා ඇතුළු යහළුවන් පිරිස සැම  විටම ඔහු සතුටින් තැබීමට උත්සාහ කළහ. ඒ යහළුවා වසර කිහිපයකට පසු මා  සෝවියට් දේශයේ සිටියදී මිය ගොස් තිබුණි. මොන ප්‍රශ්න තිබුනත් සිනා වී ජොලියේ  ඉන්නට මටත් පුරුදු කලේ සිරාය. 

ඒ මදිවාට සිරා ඊටත් වැඩිය පුණ්‍යකර්මයක් මා වෙනුවෙන් කර තිබුණි. මා ඒ දවස් වල පට්ට දුප්පතෙකි. මට අමතර මුදලක් ලැබුනේ සිසුන්ට ශිෂ්‍යත්ව පන්ති සිසුන් කිහිප දෙනෙකුට පැවැත්වීමෙනි. සිරා හා තවත් යහළුවෙකු වන (කණගාටුවකට දැන් ඔහු අප අතර නැත) ආනන්දයේ උගත් පියල් සමරවික්‍රම හා මමද බේරේ  වැවේ පිහිටි සිඟිති උයනේ බියර් බොන්නට ගියෙමු. මා වෙනුවට  වියදම් කලේ සිරාය. මගේ පළමු ලයන් ලාගර බෝතලය අරන් දී භෞතිස්ම කිරීම වෙනුවෙන් සිරාට ආත්මයක් පාසා බියර් ලැබෙන්නට ඕනෑය.

සෝවියට් දේශයේ සිටියදී සිරිමල් අයියා කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය කෙනෙකු වීය.   ඊට පසු මට මගේ පියා එවූ ලිපියක තිබුනේ සිරිමල්  අයියා පශ්චාත් උපාධි අධ්‍යයනය  සඳහා  ජපානයට ගිය පුවතය.

මා නැවත  ලංකාවට එන විට සිරිමල් අයියා ඔහුගේ දෙවන ආචාර්ය උපාධිය සඳහා තවත් රටකට ගොස්ය.  එනිසා මට ඔහු හමුවුනේ නැත. සිරා නිකන් ඇන් ඇම් පෙරේරා වගේනේ කියා මම තවත් යහලුවෙකුට කීවෙමි. සිරාට  තිබුනේ එතරම් අධ්‍යාපන පිපාසයකි. 

නමුත් මම ඉනෙස් සමග විවාහ වී ලංකාවට ගිය ගමනේදී සිරිමල්  නැවත හමුවුණි. ඔහු ලංකාවේ විද්‍යා ප්‍රවර්ධන වන ආයතනයක් වන CISIR හි (දැන් ITI) ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකු ලෙස  රැකියාව කරමින්   සිටියේය. ඔහු 2013 දී  එහි කළමනාකාර අධ්‍යක්ෂක වරයා විය. 

මම සිරාටත්, මගේ පැරණිගුරුතුමෙකු  වූ ධම්මදේශ අම්බලම්පිටිය සර් ටත් යහළුවෙකු වන රාජකීය විද්‍යාලයේම උගත්  ටෝනි (ලූෂන්) සූරියබණ්ඩාර ටත් ඩිනර් එකකට සීනෝර් අවන්හලට  අරාධනා කලෙමි. යාන්තන් මට සිරාට  බියරයක් අරන්  පින්දීමට හැකිවුනේ එදාය.
 
ඉන්පසු බ්ලොග් සම්මාන කරන කාලයේත් කෝවිඩ් සමයේ ලංකාවට ගිය විටත් මම සිරිමල්ට කතා කලද කාර්යබහුල වූ බැවින් අප දෙදෙනාටම හමුවීමට නොහැකි වුනි. 

 සිරා ITI හි චෙයාර්මන් වූයේ 2020 දීය. 
ඔහු මා මෙන්ම කාබනික වගාව ගැන සිතුවේ  හොඳ පැත්තටය. නමුත් පැය විසි හතරෙන් පොහොර නැවැත්වීමට උපදෙසක් කිසිවිටෙක දී නොමැත. ඒ ගැන ඒ කාලයේ මම ඔහුගෙන් විමසා තිබුණි. ඔහු පවසන්නේ කාබනික පොහොර  යොදා වගාව පිළිබඳව ටාස්ක් ෆෝස් එකක් සාදා වසර දහයක වැඩ පිළිවෙළක් පමණක් ඔහු තවත් අය සමග යෝජනා කර තිබු බවය. එම වාර්තාව ඔහු සතුව තවමත් ඇති නමුත් මෙහි පළ කළ නොහැක්කේ එය පබ්ලික් ඩොමේන් එකක නැති නිසාය. එම යෝජනාව වෙනුවට ක්‍රියාත්මක වූයේ පැය 24 ක එකකි.

චීනයෙන් එන පොහොර නැව හරවා යැවීම සඳහා තමන් පිටු දෙකක වාර්තාවක් ලියා භාර දුන් බවද ඔහු පවසයි. එයට හේතුව වෙනත් රටක කාබනික පොහොර භාවිතය එහි පවතින ලයිව් බැක්ටීරියා ආදිය නිසා හානිකර හා අනතුරුදායක නිසාය.



ඊයේ පෙරේදා සිරා මට කතා කලේ ඔහු විසින් ලියූ පොතක් ගෙන්වා ගැනීමටය. එහි වූයේ දියවැඩියාව සඳහා බෙහෙත් සෑදීමට  ලංකාවේ ඇති විවිධ පැළෑටි වර්ග උපයෝගී කල ගැති ආකාරය ගැනය. එහි බොහෝ ඇත්තේ උද්භිද විද්‍යා නම් හෙයින් මට එය එතරම් වැටහුනේ නැත. සාමාන්‍ය නම්ද ඇතුලත් කර තිබුනා නම් අප වැනි ඒ විෂයයන්  අධ්‍යයනය නොකළ අයටද වඩා තේරුම් ගන්නට හැකිවනු ඇත.

වඩාත්ම වැදගත් කාරණය  නම් ඔහු තවත් විද්‍යාඥයන් කිහිප දෙනෙකු සමග  ලංකාවේ  කුරුඳු උපයෝගී කරගෙන  දියවැඩියාව සඳහා   බෙහෙතක් නිෂ්පාදනය කිරීමය. ඒවා ක්ලිනිකල් පර්යේෂණ සඳහා ඉදිරිපත් කල බවද ඔහු පවසයි. මමද බොහෝ විට කුරුඳු කෑල්ලක් දෙකක් දිනකට කන අයෙක්මි. ඒ දිය වැඩියාව සඳහා නොව  එය ඇඟට හා මුවේ සෞඛ්‍යය ට හොඳ  යයි කවුදෝ මට පැවසූ  නිසා සහ කුරුඳු කෑමට මා කැමති නිසාය. ඉනෙස් ද පෑන් කේක් හැදුවිට කුරුඳු කුඩු සීනි වලට කලවම් කර දියණියන්ට කන්නට දෙන්නීය. ඒ නිසා අපේ නිවසේ කුරුඳු භාවිතය වැඩිය.

කුරුඳු දිය වැඩියාවට බෙහෙතක් නම් එය ඉතා ආකර්ෂණිය සොයා ගැනීමකි.

මේ තිබෙන්නේ චීන පර්යේෂකයන් පිරිසකගේ පර්යේෂණ වාර්තාවකි.


නමුත් මේ ලිපියේ කියන්නේ එය මිනිසුන් සඳහා භාවිතයට සුසුදු යයි තවම සොයාගෙන නැති බවය.


//Cinnamon does have antioxidant, antibiotic, and anti-inflammatory properties, but for now, there aren’t enough studies to prove it works that well in people.//

 ඔවුන්ට අවශ්‍ය මේ සඳහා ආයෝජකයෙකු සොයා ගැනීමය. පර්යේෂණ  අවස්ථාව  අවසන්ව ඇති බව ඔහු පවසයි. මේ වීඩියෝව නරඹා අදහස කියන්න.

p.s: Clinical Phase I, II & III all completed. Total patients 250 + 50 Healthy adults.

මේ ක්‍රියාවලිය පිළිබඳව වැඩිපුර නොදන්නා මගේ පෞද්ගලික හැඟීම නම් මේ ගණන මදි බවය. . මීට වඩා රෝගීන් ප්‍රමාණයකට ප්‍රතිකාර කළයුතු බව මට සිතේ. ඊට හේතුව මෙට්ෆෝමින් අධිකාරය වඩා බලවත් එකක් නිසාය.  මෙවැනි බෙහෙතක් සත්‍ය වශයෙන්ම වැඩදායක නම් ඊට  එරෙහිව විශාල  ඖෂධ කම්පැනි  pharmaceutical industry ය සටන් වදිනු ඇත.  මුදල් ගෙවා දැන්වීම් පල කරනු ඇත. වෛද්‍ය විශේෂන්ඥයන් ලවා පහර දෙනු ඇත. 

සුභදායක ගමනකට  සුභ පැතුම් මචං.

විශ්ව විද්‍යාල යොමුව:



2024-03-10

23 comments:

  1. මෙවන් නව හඳුන්වාදීම් හා නව නිෂ්පාදන ගැන කොතෙකුත් පුවත් වරින් වර අසන්නට ලැබෙනවා. ඒවා එහෙමම යට යනවා. වරද කොතැනද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මම අහල යැව්වා කොපමණ clinical ස්ටඩිස් කරලා තියෙනවද කියල අහල. මමත් බොහොම කැමතියි මෙට්ෆෝමින් නතර කරන්න. නමුත් ගොඩක් සායන ප්‍රතිඵල නැතව බටහිර රටවලින් ගන්නේ නැහැ. කරවිල නම් පිලි ගන්නවා එෆෙක්ට් එකක් තියනව කියල.

      Delete
  2. මට පොඩ්ඩක් ෆැටි ලිවර් තිබුන නිසා ෆැටි ලිවර්වලට හොදයි කියල මට ලැබුන හීන් බෝවිටියා කැප්සියුල් එකක් ගත්තා සති කීපයක්. sgpt/sgot values පුදුම විදිහට අඩුවුනා. ඒත් ඒතරම් ලොකු ප්‍රතිපලයක් ඒතරම් ඉක්මනට ලැබුන එකට බය හිතුනා. ඒකෙන් ඇත්තෙන්ම ෆැටි ලිවර් අඩුවෙනවද ටෙස්ට් රිස්ල්ට් විතරක් හරියනවද කියල ශුවර් නැති නිසා. ඒක ජනප්‍රිය දේශීය ඖෂධ සමාගමකින් ඒත් මං හිතන්නෙ නෑ ක්ලිනිකල් පරීක්ෂණ ප්‍රතිපල තියනවද කියල. එනිසා ගන්නවද නැද්ද කියල තීරණය කරන්න බැරුව මං ඉන්නෙ

    ReplyDelete
    Replies
    1. මටත් ඔය ප්‍රශ්නයම තියනවා. Liv-Pro contains Osbeckia octandra (Heen Bovitiya) which is traditionally known to support healthy liver function and toxic elimination. Clinical trials at Siddhalepa Ayurveda Hospital has proven that continuous use of Siddhalepa Liv-Pro helps to reduce fatty liver and high cholesterol level.

      Delete
    2. හීන් බෝවිටියා කොළ කැඳ try කළේ නැද්ද Pra Jay මහත්තයෝ.

      Delete
    3. Have the clinical trials at Siddhalepa hospital proven so in a manner that is generally accepted by doctors? When I asked my consultant (who was/is a professor at Medical College), he said he has heard about the product but he is not sure whether the side effects etc have been fully tested.

      Delete
  3. ලංකාවෙ සෞඛ්‍ය සේත්තරේ පල්ලටම ඇදවැටිල නේද කියල හිතෙන වෙලාවක මේ වගේ කතරට දියබිඳවන් කතා ඇහෙන එකත්... එක අතකින් සතුටක්!.

    ReplyDelete
    Replies
    1. ඒ එක්කම Litseekerට ඇතිවෙචච අදහසමයි මටත් ඇති වෙන්නෙ. නව නිපැයුම් වලට මේ ලකේ පංකාවේ කෝ ඉඩක් 💔

      Delete
    2. ඒකට මාකටින් එහෙම අඩුයිනේ,. ආයෝජනයක් ඇත්තෙම නැති තරම්.

      Delete
    3. අලුත් නිපැයුමක් කරපු කෙනෙක් කල්ලියකුත් හදාගෙන හොරෙන්ම පොළොව යට කැණීම් කරන්න ගිහිං අහු වෙලා තිබ්බා මේ ළඟදී දවසක.

      Delete
    4. හැම එකේම වරදක් දකින්නත් බැහැ. අවුරුදු ගාණක් පර්යේෂණ කරපු දෙයකුයි හොර පැණියක් වගේ දෙකුයි සමාන කරන්න බැහැනේ. සිරිමල් මම පෞද්ගලිකව හොඳටම දන්නා නිසා ලීවේ. දේශපාලන හේතු වෙනුවෙන් යාලුවෝ කපල දාන්න මම කීයටවත් කැමති නැහැ.

      Delete
  4. සායන ප්‍රතිඵල වැදගත් දෙයක් වන්නේ, ඇති විය හැකි අතුරු ආබාධ සහ බෙහෙතේ කාර්‍යක්ෂමතාවය ගැන සහතික වීමක් වගේ දේවල් ලැබෙන නිසයි. නැත්නම් ඒකත් තවත් ධම්මික පැණියක් වෙන්න ඉඩක් තියනවා. ඒ වගේම, ඔය ලෝක ඖෂධ ක්ෂේත්‍රයම, බහු ජාතික සමාගම් බූවල්ලාගේ අධිකාරිය යටතේ තියෙන දෙයක් බවත් ඇත්ත. ඒත් ඉන්දියාව, කෙසේ හෝ ඒ අධිකාරිය බිඳදමා, තත්වයෙන් මඳක් බාල උනත්, ලාබ බෙහෙත් නිපදවීමේ හැකියාව උපයාගෙන තියනවා. ඒත් ඒ සඳහා ඉන්දියාව "ක්ලිනිකල් ට්‍රයල්ස්" කොටස මඟ හැරියා කියා හිතන්න අමාරුයි.

    මෙවැනි නව නිපැයුම්, අර නමියා කිව්වා වගේ "කතරට දියබිඳක්" වගේ දෙයක්. ඒත් ඒ සඳහා "ක්ලිනිකල් ට්‍රයල්ස්" මඟ හැරිම හෝ බහු ජාතික සමාගම් අධිකාරියට බැන,බැන සිටීමෙන් වැඩක් වෙන එකක් නම් නෑ.

    ReplyDelete
    Replies
    1. මම කියන්නෙත් ඔය 250 , "ක්ලිනිකල් ට්‍රයල්ස්" වලට මදි කියල තමා. නමුත් මම කැමැතියි ටෙස්ට් සබ්ජෙක්ට් එකක් වෙන්න. මම බහු ජාතික සමාගම් වලට බනින්නේ නැහැ, ඒ වුනාට pharma ඉන්ඩස්ට්‍රිය පට්ට බලවත් කියල නම් අපි පිලි ගන්න ඕනේ. ඉනිදිය්ව වගේ රටකට පුළුවන් වුනාට ලංකාවට අමාරුයි. අනිත් එක ඉන්දියාවේ තමා දැන් නවතම බිලියනර්ස් ලා ඉන්නේ.

      Delete
    2. 250 , "ක්ලිනිකල් ට්‍රයල්ස්" වලට මදිද කියන්න, මට ඒ ගැන දැණුමක් නෑ. ඒත් සම්මත පරිපාටියෙන් බැහැරවීමක් ඇතැයි සිතෙනවා. පර්‍යේෂණ කියා වාර්ශිකව මුදල් වෙන්කරගෙන, කිසිම "ටැන්ජිබල්" නිපැයුමක් නොකරන , අනෙකුත් "විද්‍යාඥයන්" අතරේ, ප්‍රේමකුමාර මහතාගේ උත්සාහය අගය කරන්න ඕනෙ. මේක ඊලඟ තලයට (ජාත්‍යන්තරය) ගෙන යන එකට, බාහිර (රාජ්‍ය/ඇකඩමික්) උදව්වක් අවශ්‍ය වෙනවා වෙන්නත් ඇහැකි.

      Delete
    3. මටත් නැහැ. එයා කරල තියෙන විධිහ නම් විද්‍යාත්මකයි සහ නිසි පිළිවෙලට කියල මම හිතන්නේ.The FDA typically requires Phase 1, 2, and 3 trials to be conducted to determine if the drug or device can be approved for further use. If researchers find the intervention to be safe and effective after the first three phases, the FDA approves it for clinical use and continues to monitor its effects.

      Delete
  5. // මෙවැනි බෙහෙතක් සත්‍ය වශයෙන්ම වැඩදායක නම් ඊට එරෙහිව විශාල ඖෂධ කම්පැනි pharmaceutical industry ය සටන් වදිනු ඇත. මුදල් ගෙවා දැන්වීම් පල කරනු ඇත. වෛද්‍ය විශේෂන්ඥයන් ලවා පහර දෙනු ඇත//

    කාලෙකට පෙර, මාධය අධිකාරිය පත්තර සහ ටීවී චැනල් සතුව තිබූ යුගයේ එහෙම කලා. වාසනාවට ඒ මාධය අධිකාරිය බිඳ වැටුන.

    Wart removal duct tape

    ReplyDelete
    Replies
    1. //වාසනාවට ඒ මාධය අධිකාරිය බිඳ වැටුන.//
      ඉඟුරු දීලා මිරිස් ගත්තා.

      Delete
    2. හෙහ්,හෙහ් ඔව් නිදි එහෙම කියන්නත් පුළුවනි. අඩු පාඩු තිබ්බත්, සමස්ථයක් වශයෙන් මට හිතෙන්නෙ හොඳයි කියලයි.

      Delete
    3. දැන් මාධ්‍ය අධිකාරයක් නැත්ද? දෙරණ, සිරස, ආණ්ඩුව පැති තුනක් ?

      Delete
  6. තරුණ වෙන එකක් නැද්ද, ඔයාට

    ReplyDelete
    Replies
    1. කියුබාවේ ගියා නම් හරි

      Delete
  7. ආසාවෙන් කියෙව්වා . හොද සටහනක් . මා අත්දැක තිබෙන විදිහට බොහෝ ව්‍යාපාරික අවස්ථා සහ පර්යේෂණ ප්‍රථිපල නිෂ්පාදන බවට පත් වන්නේ සබදතා මතයි. විප්‍රවාසී උගත් , පිළිගත් ජාත්‍යන්තර ආයතන වලට සේවා සපයන අයට ලංකාවේ සිට එවන් නිර්මාණ සහ පර්යේෂණ කරන අයගේ නිමැවුම් ජාත්‍යන්තරයට ගෙන එන වේදිකාවක් හදන්න බැරිද ?.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අනුරුද්ධ. අදහස හොඳයි හැබැයි හෙන අමාරු වැඩක්. කැපිලි කෙටිලි වැඩියි,. දේශපාලන සබඳතා ඕනේ. ඔන්න අනුරුද්ධට පුලුවන්නම් කරන්න වැඩක්.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .