මගේ මිතුරු චූලානන්ද සමරනායක මේ ලිපිය ලියල තිබුන. '71 කැරැල්ලේ පොඩි කොල්ලෝ ටින් බෝම්බ අරන් පොලිසියට ගහන්න එනවා මම දැකල තියනවා . බ්ලොග් එකේ ලිපියක මතන ලියල තියනවා
88-89 මම ලංකාවේ හිටියේ නැහැ. හැබැයි ලංකාවේ උන්නු 1983-84 කාලෙම විජේවීර ගැන මගේ තිබ්බේ මදක් නොපහන් හැඟීමක්. මට හිතුනේ එයා ජාතිවාදී කියල. ඒක මාක්ස්වාදයෙන් වහගෙන කියල. ඒ පක්ෂේ නායක කෙනෙකුට මම කිව්වා මචන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි ප්‍රශ්නය සාධාරණයි කියමු. නමුත් උඹල යන පාර වැරදියි කියල. උඹල යන්නේ විනාශයට පාර කපාගෙන කියල. ඒ 1987 ඉන්දියාව එක්ක හමුදාව ගේන්න ගිවිසුම ගහන කාලේ. හෝ ඊට මස කිහිපයකට පසු. එතකොට මම සෝවියට් දේශයේ ඉගෙන ගන්නවා. ඌ මට කිව්වේ උඹ සුළු ධනේෂ්වර පිස්සෙක් කියල. සෝවියට් දේශය උඹේ ඔලුව කුරුවල් කරලා කියල. දැන් ඌ හොඳ ධනවතෙක්.
මම මේක දාන්නේ මම එදා ජවිපෙ ක්‍රියා මාර්ගයට අකමැති වුනත් අජිත් පැරකුම් ගේ, ධර්මන් වික්‍රමරත්න පොත් හෙම කියවල එක්කරගත් දැනුමින්. ඒ මර්ධනය අතිශයින් වැරදියි. අතිශයින් දරුණුයි. රජයක් වශයෙන් නොකළ යුතුව තිබුන දෙයක්. ආණ්ඩුව ට ගන්න තිබ්බ ක්‍රියා මාර්ග ගොඩක් තිබුන. ජවිපෙ විසින් දියත් කළ තකතීරු , පක්ෂග්‍රාහී භීෂණය වැරදියි කියල අපි හැමෝම කියන නිසා නැවත කියන්නේ නැහැ. ඒකට සහභාගී වුනු අය ඒක කලේ අනිත් උන්ට හොඳක් කරන්න යනව කියන සාධනීය හැඟීමෙන්. අද අපට හමුවන චූලානන්ද ල අජිත් පැරකුම් ල දිහා බැලුවහම ඒක පේනවා. මේ හොඳ සුන්දර මිනිස්සු තමා එතැන හිටියේ .
සෝවියට් දේශය (මට ඉගැන්වූ ගුරවරු) ලංකාවේ කැරලි දෙකම අනුමත කළේ නැහැ. ඔවුන් කීවේ ඒවා "අති වාමාන්ශයේ ළඳරු වලිප්පු ". ඒක ලෙනින් ගේ කියමනක්. මට අදත් මතක් වෙන්නේ අපේ ඒ වයසක ගුරුවරු ඒවා හරියට දැක්ක නේද කියල.
- මෙතන පෙරටුගාමී කියල ලියල තියෙන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයට (ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයට නොවේ)
*****************************************************************
තවත් ඉල් මහ සමරුවක් අතීතයට එක්වෙමින් යයි. තව දින කිහිපයකින් තාප්ප මත ඇලවුණු පෝස්ටර් සහ විවිධ මාධ්යයන්හී පලවූ සටහන්ද වියැකී යනු ඇත. 1989 වසරේ මුහුණ දුන් දරුණු මර්ධනයෙනක් පසු දශක තුනක් ඉක්ම ගොසිනි. මේ දශක තුන තුළ පමණක් නොව ජීවිතය ගෙවෙන තුරාවට මට නොවැම්බර් කටුක මතකයන් සමගින් සිහිපත් වන තවත් මතකයකි.
ඉතාම බිහිසුණු මර්ධනයක කූටප්රාප්තිය සනිටුහන් කරමින් විජේවීර ගමනායක ඇතුළු සහෝදරවරුන් අත්අඩංගුවට පත් පුවත ප්ර සිද්ධ කළ මොහොතට පසුදින ගාලු පාරේ රත්මලාන බෙලෙක් කඩේ හන්දිය ආසන්නයෙහි මට අප කලාපයෙහි නායක සහෝදරයා හමුවිණි. ඉතාම අනතුරුදායක තත්වයක් යටතේ එහි පැමිණි ඔහු විජේවීර සහෝදරයා අත්අඩංගුවට පත්වීමේ පුවත තහවුරු කළේය. එදා ඒ මොහොතෙහිදී ඔහු මට පැවසූ වදන් මගේ මතකයෙහි සදතනිකව සටහන්ව තිබේ. 'සහෝදරයා, අපි දැන් නටන්නෙ දැලක් උඩ. කොයි මොහොතෙ දැල ගැස්සුවත් අපි කවුරු හරි ඇතුලෙ." අප මුහුණ පා සිටි තත්වය විග්රහ කිරීමට ඊට වඩා වදන් අනවශ්‍යය. ඉදින් ලද උපදෙස් පරිදි කමිටු විසුරුවා හැර සීමිත අත්‍යවශ්‍යවම් සබඳකම් පවත්වා ගැනීමට උපදෙස් ලැබිණි. වෙන්ව යාමට පෙර ඔහු මට මෙවන් පියවරක් යෝජනා කර සිටියේය. 'ඔහේ ඉන්නෙ බරපතල අනතුරක. ඒ නිසා ඔහෙව අම්පාර පැත්තට යවන්න හිතා ඉන්නවා." මම එවේලේ ඔහුට මෙසේ කීමි.' අපි ඉන්නෙ දැල උඩ නං කොහේ ගියත් ඒකේ වෙනසක් නෑ. එන තත්වයකට මුහුණ දෙමු." එසේ අපි වෙන්ව ගියෙමු. මම ඉන්පසු කෙදිනක හෝ මේ මිනිසා නොදුටිමි. ජපුර සරසවියෙහි භික්ෂු අංශයෙන් දේශපාලනය අරඹා දැවැන්ත චරිතයක් බවට පත් හල්වල ඉන්ද්රුසාර නම් තරුණ භික්ෂුව අසූ නමය අග යළි මට එසේ හමුවන්නේ උපැවිදිව නිශ්ශංක නම් නාමයෙනි. ඔහු කී පරිදිම අසූනමයේ දෙසැම්බර් මස දැල යළිත් ගැස්සිණි, මම ඇතුලට වැටුණෙමි. තෙවරක් විලංගු මැද ගෙවුන අසීරු සමයකින් පසු 1993 මාර්තු මස එළියට පැමිනෙන විට නිශ්ශංක නම් මිනිසාද ඇතුළුව තවත් බොහෝ සහෝදර සහෝදරියන් පිලිබඳව ඉතුරුව පැවතියේ අරගල සමයෙක විශ්වාසය සහ සහෝදරත්වය මත පා තබා ගිය ගමනක මතකයන් පමණි. 'සහෝදරයට අහවල් තැනදි සහෝදරයෙක්/සහෝදරියක් මුණගැහෙයි. ලැබෙන පණිවුඩේ අනුව වැඩ කරන්න." ඒ හොඳටම ප්රමාණවත්ය. එහි වූවේ අමිල විශ්වාසයයි. ඒ මොහොතේදී හඳුනාගැනීමට ලැබුණ පුද්ගලයන් සමග පවා අප බොහෝදුර ගමන් කළේ ඒ විශ්වාසයේ මහිමයෙනි. ගෝනි බිල්ලන් සරද්දී, ඇතැම් අවස්ථාවල අත්අඩංගුවට පත් සහෝදරවරුන් හන්දිවල තබාගත් රැකවලුන් සිටිද්දී ඒ සහෝදරයන් ඉදිරියෙන් පවා යන්නට අපට ශක්තිය ලැබුණේ ඒ විශ්වාසයේම මහිමයෙනි.
අසූනමයෙහි සලකුණු වූයේ දේශපාලන වශයෙන් අප පරාජයය යයි මම විශ්වාස නොකරමි. එයට අදාල නම 'මර්ධනයට ලක්වීම'යි. හැත්තෑ එකේදී පළමු වරට ලද මර්ධනයේ කටුක අත්දැකීම දෙවන වරද ලැබීමයි. එසේම එය දේශපාලන ව්යානපාරයක් ලෙස අපට අලුතින් සිතන්නට යෝජනා කළ මොහොතයි. විජේවීර සහෝදරයා යෝජනා කළ පරිදිම අලුත් මං සෙවීමට අවස්ථාවයි. එය පරාජය නොව අලුතින් නැගෙන්නට ප්රදවේශය බව හොඳින්ම පැහැදිලි වූවේ ඉතා කෙටි කලක් තුළ නැවත පාර්ලිමේන්තු අසුනක්ද දිනාගනිමින් නැගී සිටින්නට ජවිපෙ ලද ශක්තියයි.
මා දකිනා පරිදි නම් අපේ දේශපාලන අරගලය පරාජයේ ලකුණු දකින්නේ අනූ හතරේදී කමල් දේශප්‍රිය (සෙනෙවි) සහෝදරයා ඇතුළු කණ්ඩායමේ නික්ම යාමත් සමගිනි. එදා ජවිපෙ අහිමි කරගත්තේ වැටුණ ව්යාාපාරයක් නැවත නගා සිටුවන්නට දැවැන්තම කැපවීම් කළ කාඩර්වරුන් පිරිසකි. අසූ පහේදී හොරණ පුද්ගලික පංතියක සුගත් අශෝකද සිල්වා නම් කොළඹ වෛද්ය පීඨයේ සුන්දර සගයකු සමගින් මට හමුවූ කමල් යනු අපූර්ව චරිතයකි. පසුව එය මගේම පාසල් සගයකු වූ මහින්ද සෙනරත් කැළණිය සරසවියේ වික්රම ඇතුළු තවත් සහෝදරවරුන් ගණනාවක දැඩි බැම්මක් දක්වා වර්ධනය වූවේ දේශපාලන අරගල බිම තුළය. මේ කණ්ඩායම අතර සිටි තවත් ප්රතිභාසම්පන්න චරිතයක් ලෙස විමල් වීරවංශට ඒ යුගය වෙනුවෙන් අදාල ගෞරවය දිය යුතුය. මර්ධනයේ හස්තය ඉතා ලං ලංව එසවෙද්දී, සුගත් සහෝදරයාගේ සහෝදරියගේ නිවෙස පිටුපස කොරටුවක කානුවක කළුවරේ පොලිතින් කැබැල්ලක් මත වැතිර තරු දිදුලමින් පැවති අහසක් යට පොදු අරමුණක් උදෙසා කැපවන සුන්දර අනාගතයක් පිලිබඳ අප අසිරිමත්ම සිහින දුටු අවස්ථාව ජීවිතයේ එවන් මතකයන් අතර එකක් පමණි. පසුව සුගත් මාතරදී මරාදමනු ලැබිණි.
දේශපාලන ව්‍යාපාරය යළි බරපතලම ප්‍රහාරයකට ලක්වනුයේ විමල් වීරවංශගේ නික්ම යාමත් සමගිනි. එය එක් අතකින් ජවිපෙ සිය දේශපාලන දැක්ම පිලිබඳව බරපතල ලෙස කල්පනා කළ යුකු අවස්ථාවකැයි මම සිතමි. මාක්ස්වාදයත්, ජාතිකවාදයත් එකට මුහු කර දියත් කරන්නට තැත් දරන ලද ව්‍යාපාරයකට මෙය නැවත සිතන්නට අනගි අවස්ථාවක් විවර කළේ යයි මම සිතමි. විමල් හට පුද්ගලික විවේචන කිරීමට වඩා වැදගත් වන්නේ මේ දෘෂ්ටියෙහි පිරිපහදුව ගැන අවධානය යොමු කිරීම යයි මම තවමත් කල්පනා කරමි.
විමල් ජවිපෙ හැර දමා සිය දේශපාලන අනාගතයෙහි ස්වයං විනාශය නම් මාවතට පිලිපන් දින රාත්‍රී මම කමල් හමුවීමට ඔහු එවක විසූ කුලී නිවෙසේ උඩු මහලට ගියෙමි. ඇති වෙමින් පවත්නා වෙනස ගැන කතා කිරීමට ඇවැසි යයි මගේ අත් අල්ලාගෙන කී ඔහුට මම මෙසේ පවසා පිටව ආවෙමි. 'උඹ තියන්න හදන්නෙ වැරදි පියවරක්. මෙතන ඉඳල මං උඹේ දේශපාලනය එක්ක නෑ." මම පිටව ආවෙමි. එහෙත් පිලිකාවට ගොදුරුව අපෙන් වේදනාබර අයුරින් වෙන්ව යනතුරුම මම ඔහුගේ මිතුරකු ලෙස සිටියෙමි. දේශපාලන මතවාද සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල ගැටුණෙමි. එදා එක මගෙක ගොස් අද විවිධ ස්ථානයන්හී සිටියද බොහෝ සහෝදරවරුන් සමග අදටත් අපේ සම්බන්ධය එසේය. දේශපාලනයෙහිදී අපි ගැටෙමු. එහෙත් මිනිස් සබඳකම් නොබිඳී පවත්වා ගනිමු. විමල් සමග එක්වූ බොහෝ අය ඉක්මනින්ම යළි අපට පිටතදී හමුවන්නට පටන් ගැණිනි.
යළි ජවිපෙ දේශපාලන ව්යාපාරයට දරුණුතම පහර වදින්නේ පෙරටුගාමී ලෙස විශාලතම පිරිස වෙන්ව යාමත් සමගිනි. අද ඒ නිසා ඉල් මහ සමරු දෙකකි. එසේම මේ කණ්ඩායම් දෙකටම සම්බන්ධ නොවී නිහඩව සිටිනා විසල් පිරිසකි. එහෙත් මේ නිහඩව සිටින්නේ යයි සිතනා පිරිසෙන් අති බහුතරයක් තවමත් සමාජවාදී ලෝකයක සිහිනය දකින බව නම් මම දනිමි. හැත්තෑ එකේ සහෝදරවරුන් වැඩි පිරිසක් මේවන විට දිවි ගමන නිමා කරමින් සිටිති. අද අහවල් සහෝදරයගෙ මලගෙදර යයි කලු රංජි සහෝරදයා ඒ සෑම නික්ම යාමක් ගැනම පවසන විට ඒ කිණිසි පහරකි. ඒ අතර අපිද අපේ පරම්පරාවේ සගයන්ට නිහඩව සමුදෙමින් සිටිමු. ජවිපේ වෙත හැත්තෑ එකේ සහ අසූනමයේ ක්රිපයාකාරකම් මත රට වැනසුවායයි චෝදනා කරනා බොහෝ ශුද්ධවන්තයෝ නිදහස ලදැයි කියනා 48 සිට සම්ප්ර දායික දේශපාලන පක්ෂ, මාරුවෙන් මාරුවට මේ රටට කළ විනාශය ජවිපෙ හා සසඳන විට කෙතරම් බරපතලදැයි අපට නොපවසති. ඒ වෙනුවට වර්තමානය වනවිට අපේ රට ලෝක බල දේශපාලනයෙහි නග්න ගොදුර බවට පත් කරන්නට අමුඩ තද කරති.
දශක තුනකට පසුව දේශපාලන ව්යාිපාරයක් ලෙස අප පරාජයට පත් කර ඇතැයි මම අද කල්පනා කරමි. එහෙත් ඒ නිකම් පරාජය භාරගෙන සිටිනා අදහසින් නොවේ. ඒ පරාජය අප පාඩම උගත යුතු පරාජයකි. දේශපාලන ව්යාපාරයක් ලෙස අපේ අතීත ක්රියාකාරකම් පිලිබඳව අපේ අවංක විවේචනයක් තිබිය යුතු යයි මම විශ්වාස කරමි. සතුරා විවේචනය කිරීමට පෙර අපට අපේ පය ලිස්සා ගිය ස්ථාන ගැන නිවැරදි තක්සේරුවක් තිබිය යුතුය.
අප අසමත්ව ඇති බරපතලම ස්ථානය මනුෂ්යය සම්බන්ධතා පවත්වාගැනීම යයි මම සිතමි. බෙදී වෙන්ව ගිය සහෝදරවරුන් එකිනෙකා දරුණු සතුරන් ලෙස දැකීමේ අයහපත් සම්ප්ර දාය විසින් අප දේශපාලන විවේචනයේ මගින් ඉවතට ඇද දමා තිබේ. මේ අයහපත් භාවිතාව නිසා අපට බොහෝ විට පංති සතුරාට පෙර අපෙන් වෙන්ව ගිය සගයා සතුරා බවට පත්වෙයි. මෙය ජවිපේ සිටි, සිටින, වෙන්ව ගිය, පෙරටුගාමී මෙන්ම වෙනත් බොහෝ පාර්ශවයන් කල්පනා කළ යුතු තත්වයකැයි මම විශ්වාස කරමි. මේ වෙන්ව ගිය සගයා අනෙකා කරගැනීමේ භාවිතාව විසින් සමස්ත දේශපාලන කඳවුරටම අහිමි කරගෙන ඇති පිරිස් දැනට ජවිපේ සහ පෙරටුගාමී දෙකොටසෙහිම ඓක්යයට වඩා වැඩි බව මම දනිමි. මේ අතරින් වැඩි පිරිස මේවන විට පරිණත මිනිස්සු බවට පත්වී විවිධ අංශයන්හී කැපී පෙනෙනා වගකීම් දරනා අය වෙති. එසේම ඔවුහු තවමත් සිය හෘද සාක්ෂිය රැකගෙන සිටින්නෝ වෙති. නින්ද බිඳී යන රෑ මැදියමක නොවැලැක්විය හැකි ලෙසම සිතට පිවිසෙන, එදා අපෙන් වෙන්ව ගිය සහෝදර සහෝදරියන්ගේ අදිටන්සහගත දෑස්හී බැල්ම අප දෙවුර තවත් බර කරයි.
ලෙනින් වරෙක කළ යුත්තේ කුමක්ද යනුවෙන් දේශපාලන ලියවිල්ලක් සම්පාදනය කළේය. අප දැන් ඊට පෙර නොකල යුත්තේ කුමක්දැයි සාමුහිකව කල්පනා කළ යුතු යයි මම සිතමි. ලෝකයම අලුතින් සංවිධානය විය යුතු මොහොතක් කරා ගමන් කරමින් තිබේ. ධනවාදය පරාජය වී නැතද, එය අපරාජිත නොවන බව නම් මේවන විට හොඳින්ම පැහැදිලිය. එසේම පැවති සමාජවාදයද නිවැරදි නොවන නමුදු එය අනාගත සමාජවාදයේ ගමන් මගට කදිම පාඩමක් බවද ඒ සමගම ඉතා හොඳින් පැහැදිලිය. ජාතිකවාදයේ නාමයෙන් ජාතිවාදය අරඹා ඇති ගමනටද සොහොන්පලක් හිමිබව නොපෙනෙන්නේ වහලුන්ටම පමණි. ඇමරිකාවට පායන්නේ ට්රිම්ප්ගේ හිරුද, බයිඩන්ගේ හිරුද නැතිනම් වෙන කාගේ හිරුද යන්නට වඩා අපට වැදගත් වන්නේ ධනවාදය මේ කාගේ කරපිටිනුත් යන ගමන ගැන පමණි. ඇමරිකාවට චීනයේ රාජ්යහ ධනවාදයට අභියෝගයක් වීමට ඇවැසි නම් ඒ සඳහා මාවත ඇත්තේ ලිබරල් ධනවාදයේ හෝ ජාතිකවාදයේ මග නොව සැබෑ සමාජවාදය බව ඇමරිකානුවන්ටද වටහාගැනීමට සිදුවන දිනක් එනු ඇත. ඒ සමග අපද රාජ්ය ධනවාදය යනු සමාජවාදය නොවන බව වටහා ගත යුතුව ඇත.
සහෘදයිනි, අනාගතය අයිති නිර්මාණශීලී මිනිසුන්ටය. අප ඒ සඳහා මනුෂ්ය සම්බන්ධකම් වගාදිගා කරගත යුතුය. දේශපාලන දැක්මේ පිරිපහදුව ගැන බරපතල ලෙස කල්පනා කළ යුතුය. ඇමීබාකරණය යනු කෙතරම් හානිකරදැයි වටහාගත යුතුය. පොදු විශ්වාසය දිනාගත හැක්කේ සාමූහිකව සිටින්නට සමත් නිවැරදි දැක්මක් සහිත දේශපාලන ව්යාපාරයකට පමණි. අපට බත් කටක් කන්නට දීමත් ටයරයක යාමට තරම් වරදක් බව දැන දැනම අපට සහෝදරත්වයේ දෑත් දිගුකළ මිනිස්සු බොහෝ වෙති. අප ඒ මිනිසුන්ගේද අපෙන් වෙන්ව ගිය මිනිසුන්ගේද විශ්වාසයට වගකිව යුතුය. අවම තරමින් අපේ මිනීවල මත පස් වැටෙනා මොහොත දක්වා හෘදසාක්ෂිය බිලි නොදී සිටීමට අප අදිටන් සහගත විය යුතුය. ගමන ඇරඹිය හැක්කේ ගුහාගත වීමෙන් නොව කවුළු විවර කිරීමෙන් පමණි. අසූනමයට සාධාරණය ඉෂ්ඨ කළ හැක්කේ සමරු පැවැත්වීමෙන් නොවේ. අපටද වැරදුන තැන් වටහාගෙන, ඉදිරියේදී දෑස් හී බැඳි තිමිර පටලයන් ඉරා දමමින් ආලෝකය සොයන්නට වෙර දරන්නට නියමිත මිනිසුන්ට සෙවණක් නිර්මාණය කිරීමෙනි. එය අපේ ජීවිත කාලය තුළ වුවද නොවූවද අප කළ යුතුව ඇත්තේ ඊට ඇවැසි පස සකස් කිරීමය. කාල් මාක්ස් වයස දහහතේදී 'අනාගත වෘත්තියක් තෝරාගැනීමේදී කල්පනා කළ යුතු දෑ' යනුවෙන් ලියූ සිය ලිපියෙහි සටහන් කළාක් මෙන් අපේ සොහොන් මත උණු කඳුළු වැටෙනු ඇත්තේ අප ඊට සමත් නම් පමණි.
-චූලානන්ද සමරනායක
*************************************************************
පින්තූරය - විකිපෙඩියා