Thursday 21 July 2022

මහින්ද, සෝමවංශ , පාඨලී, විරවංශ ගේ සමූහ කරුමය පලදීම හෙවත් අටවන ජන්සන් ගේ පදවි ප්‍රාප්තිය


මේ ලිපිය කියවන මගේ මිතුරු මිතුරියන් බොහෝ දෙනෙකු මා හැරයන්නට හේතුවනු ඇත. නමුත් සත්‍යය අමිහිරි යයි ඔබ අසා නැත්ද?. 
 රනිල් වික්‍රමසිංහට  නිල වශයෙන් "රාජපක්ෂ" රකින්නා නම්බු  නාමය ලැබී  තිබේ.  මම මෑතක් වනතුරුම සිතා  සිටියේ ඩලස් අලහප්පෙරුම යන හොඳ රාජපක්ෂ කුක්කෙකු කියාය.  දැන් පෙනෙනා අන්දමට  අරගලකරුවන්ගෙන් "නිර්පාක්ෂික" යයි හඟවා ගෙන සිටි පිරිසක් සජිත්ට සහය දෙන අතර තව පිරිසක් ඩලස් ට සහය දෙති. ඒ අනුව  සජිත් පිල  සහය දුන්නේ  "රාජපක්ෂ විරෝධී" ටිකට් එක වන ඩලස් ටය. ඉතිරි අරගල කරවන අන්තරය/පෙසප හා ජවිපෙ/වෘත්තීය සමිති අතරට බෙදීයයි. අරගල කරුවන්ගෙන් යම් ප්‍රමාණයක් රනිල් වික්‍රමසිංහ ට සහය දී ඇති බවක්ද පෙනී යයි.

 සජිත් තම සොහොයුරිය ගේ මුදල් සම්බන්ධ ප්‍රශ්නයක් සඳහා ගෝඨාභය රාජපක්ෂ ගේ උදව් ගෙන ඇති බවට රාවයක් තිබූ අතර, සජිත් ගේ ඇතැම් මුදල් ගනුදෙනු සම්බන්ධ ක්‍රියා සඳහා මහින්ද රජය අහක බලා තිබීමේ චෝදනාවක් ද ඇති නිසා  සජිත්,  රාජපක්ෂ විරෝධියෙක් වන්නේ කෙසේද යන්න මට නොතේරේ.  බැදුම්කරය සම්බන්ධව රනිල්ටද එම චෝදනාවම තිබේ. 

අපි මදක්   ඉතිහාසයට යමු. තීරණාත්මක මැතිවරණයක් වූ 2005 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ට සෝමවංශ /වීරවංශ ඩබලේ  නායකත්වයෙන් ජවිපෙද පාඨලී ගේ නායකත්වයෙන් හෙළ උරුමයද සහය දුන්හ. තනි අලියා රනිල්, යූඇන්පී  අපේක්ෂකයා විය. රනිල් චන්ද 48.3% ලබාගත් අතර මහින්ද ගත්තේ  චන්ද 50.48%. වෙනස 1.86% කි.  මුළු රටේම ජනයා 73.74 ක් ඡන්දය දුන් අතර  යාපනයේ චන්දය දුන් සංඛ්‍යාව  1.1% කි. ඉනුත් රනිල් 70.2% ද මහින්ද 25.%  ක්‌ද ලබා ගත්හ .  වන්නියේ ඡන්දය දුන් මුළු සංඛ්‍යාව 34.3% වෙද්දී රනිල්ට ඉන්  77.39% ද මහින්දට 2.86% ද ලැබුණි.  රනිල්ට රට බෙදන  කොටියා ලෙසින් නමක් වැටුණු  අතර රටේ දෙමළ , මුස්ලිම්, කතෝලික සුළුතරයේ,  බහුතර චන්දය වැටුනේ රනිල්ටය.

 එල්ටිටිඊ නායක  වේළුපිල්ලේ ප්‍රභාකරන් ඡන්දය  වර්ජනය කරන ලෙස අණක් නිකුත් කළේය. ඡන්දය  දෙන්නට පැමිණි වන්නි වැසියෙකුගේ අතක් කපා දැමුණි. 1999 ජනාධිපතිවරණ  ඡන්දයේදී යාපනයේ මුළු ඡන්ද සංඛ්‍යාව  612270 වෙද්දී රනිල් 43% ද වඩා ජනප්‍රිය චන්ද්‍රිකා 45% ලබාගෙන තිබුණි. 2005 දී යාපනය වැසියන් චන්දය දුන්නේ 7000 ක පමණ  ගණනකි. වන්නියේ රනිල්ට 59.9% (මුළු චන්ද 205,541න්  ) ලැබී තිබුණි. මේ අනුව ප්‍රභාකරන් චන්දය ප්‍රචණ්ඩත්වයෙන් වර්ජනය නොකලා නම් 1.86% වෙනස් අභිබවා රනිල් ජය ගන්නට වැඩි ඉඩක්  තිබුණි.
 ඒ දිනවල පැතිරුණු කතාව වූයේ එක්තරා  අලසයෙකු හරහා ප්‍රභාකරන් ට විශාල මුදල් ප්‍රමාණයක්  ලබා දී ඡන්ද වර්ජනය කිරීමට සැලැස්වූ බවයි. ඒ පිලිබඳ සාක්ෂි හිමිව තිබු ශ්‍රී පතියෙකු හදිසි රිය අනතුරකින් මිය ගියේය. ප්‍රභාකරන් ඒ වර්ජනය ක්‍රියාත්මක කළේ නෝර්වේ, ඉන්දියා, ඇමෙරිකා  සහය තිබූ රනිල් , එල්ටීටිය දෙකඩ කර කරුණා කොළඹට ගෙනා රනිල්, වඩා අනතුරුදායක ලෙස සැළකු හෙයිනි. කෙටියෙන් කිවහොත් රනිල් දිනන්නට තිබූ ජනාධිපති මැතිවරණය හොරා ගත්තේ මහින්දය.

ඉන්පසු යුධ ජයග්‍රහණයත් සමග මහින්ද රාජපක්ෂ නියම ලෙසින් මැතිවරණය දිනුවේ 2010 සරත් ෆොන්සේකා ට එරෙහිවය. 

ඊයේ සිදුවූයේ, කර්මානුකූලව  තමන් සොරාගත් ජනාධිපති පදවිය තමන්ගේ චන්දයෙන් ම රනිල්ට භාර දීමට මහින්ද ඈතුලු පිරිසට සිදු වීමය. සෝමවංශ අමරසිංහ අද ජිවතුන් අතර නැත.  පාඨලී චම්පික ජාතිවාදී දේශපාලනයෙන් මිදී ඇති  බවක් යහපාලන කාලයේ පෙන්වූයේය. ඒ පාහර  ජාතිවාදී දේශපාලනයේ යලි යලිත් යෙදෙමින් ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කරන්නට වෙහෙස වුනු විමල් විරවංශ , ගම්මන්පිල ආදීන් ට පැහැදිලි පරාජයක් අත්වී තිබේ. 

සජිත් ප්‍රේමදාස ද යම් ප්‍රමාණයකට  සජබ මෙහෙයවන්නේ ජාතිවාදී පදනමකිනි.  ඔහුගේ පියාගේ අවාසනාවන්ත මරණයද එයට හේතුවක්  විය හැක. නමුත් රනිල් ජාතිවාදී පදනමක සිට කිසිදිනක  කටයුතු කර  නැත.  රට බෙදන චෝදනාවක් හා කොටි ලේබලය ඔහුට වැදුනේද ඒ නිසාය.  

කලකට ඉහත මම 2015 දී වාමාංශයේ දක්ෂිණාංශය,  දක්ෂිණාංශයේ වාමාංශය හා මාක්ස්වාදී සෝමවංශ මැයින් ලිපියක් ලීවෙමි. මගේ තර්කය වූයේ රනිල් වික්‍රමසිංහ ගේ එජාපය ට වඩා  මහින්ද රාජපක්ෂ ගේ පොදු පෙරමුණු රජය දක්ෂිණාංශික බවයි.  රනිල් අති දක්ෂිණාංශිකයෙකු වුයේ ජේ ආර් හා ප්‍රේමදාස ගේ දක්ෂිණාංශික පාලන සමයන් හිදීය. බටලන්ද වධකාගාරය පිළිබඳ ඔහුට චෝදනා එන්නේද මේ සමයේ කටයුතු කළ ආකාරය නිසාය. කොටින්ම  රනිල් කටුස්සෙකු පාට වෙනස් කරන්නාක්  මෙන් ස්ථාවරයන්  වෙනස් කරන්නෙකි.   

  මදක් කල්පනා කර බලන්න. රටේ ජනාධිපති වූයේ සමනළයෙකු යයි අපහාසයට පත්වූ,  සුළු ජන කොටස් සමග වඩා හිතැතිව සිටින  පුද්ගලයෙකි.

අරගලකරුවන්  දෙස බලන්න.  ඔවුන් මුල සිටම ජාතිවාදය ප්‍රතික්ෂේප  කල රටේ සෑම ජන කොටසක්ම පිළිඹිබු කළ කොටසකි. සැබෑ බලය මෑතක් වන තුරුම තිබුනේ ඔවුන් අතය.  රටේ  ජනාධිපති කරන්නට පොහොට්ටු ජාතිවාදීන් ට චන්දය දෙන්නට සිදු වූයේ ඔවුන් අපහාස  කළ එක පාර්ලිමේන්තු පුටුවක් හිමි පුද්ගලයෙකුටය. ඉන් ප්‍රතිවිරුද්ධ පක්ෂයේ සිටි ජාතිවාදීන්ට උරුම වූයේ පරාජයකි.

සෝමවංශ හා විරවංශ ගෙන් මිදුනු ජවිපෙය තවදුරටත් ජාතිවාදය කර පින්නා ගෙන යන පක්ෂයක් නොවේ. පෙරටුගාමී සමාජවාදී පක්ෂය කොහොමත් ඒ ස්ථාවරයෙන්  මිදී බොහෝ කල්ය . 

 මගේ මවට  ඊයේ මා  දුරකතනයෙන් කතා කල අවස්ථාවේ ඇය පැවසුවේ දිසානායක කොලුවාට චන්දය දෙන බවය. ඇය අදහස කලේ කුමක්ද යන්න මට එකවරටම වැටහුනේ නැත. මොන දිසානායක කොළුවා ද කියා කල්පනා කෙරුවෙමි.  පිටි පස්සෙන්  "අන්ර කුමාර,  අන්ර කුමාර" යනුවෙන්කෑ  ගසනු ඇසුනි. මම මවට කීවේ අනුර දිනන්නේ නැති බවය. නමුත් මහා ඡන්දයක් පැමිණියොත් ඔවුන්ට වඩා  බලයක් මේ අවස්ථාවේ ලැබෙන බවත්ය. 

මව කිවේ ද පාර්ලිමේන්තු ඡන්දය නොව මහා මැතිවරණයක්  පැවතිය හොත් ඇය ඔවුන්ට ඡන්දය  දෙන බවය . මහින්ද මහතා 2015 පැරදුනු වෙලේ දුකින් පිරී ඔහුගේ  මැද මූලන නිවසට බැහැ දැකීමට යන ජනකාය සමග පවා ගිය ඇය අංශක 180කින් හැරී අනුර  කුමාරට ඡන්දය දෙන්නට සිතන්නේ නම් බොහෝ පැරණි පොහොට්ටු ඡන්ද දායකයන්ද එලෙසම සිතනු ඇති බව  මට හැඟුනි. 

ජවිපෙ සම්බන්ධව මට ඇති ප්‍රධානම ප්‍රශ්නය නම් ඔවුන්ගේ වැඩ පිළිවෙල කුමක්ද යන්නය. ඔවුන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස සිතා  සිටියත් මෑතකදී එලි දැක්වුණු ඔවුන්ගේ අරගල ගීතයක පෙනුනේ දැඩි සමාජවාදී නැඹුරුවකි.  සුන්දර සමන්මලී ගේ තියුණු කටහඬින් ගැයෙන ඒ  ගීතය මට මතක් කළේ චේ වෙනුවෙන් නතාලි කර්දොනේ ගයන හස්තා සිම්පරේ ගීතයයි. ජවිපෙ ගීතය පුරාම තිබුනේ චේ හා කියුබානු විප්ලවයේ පින්තූරය.   සමහර ආධාරකරුවන් ප්‍රසිද්ධියේ කියුබාවේ ක්‍රමය පසසති. ඒ  අතරේ ඇතැම් නායකයන් පොල්පොට් ද පසසනු ඇසුනි.



මා  සමග සෝවියට් දේශයේ උගත් කියුබානුවන් තිස් දෙනෙකු ගෙන් අද කියුබාවේ ජිවත් වන්නේ හතර දෙනෙකු පමණි. අනිත් සියල්ලෝම පිටරටවල වැඩ කරමින් තමන්ගේ පවුලේ සංරක්ෂණය සඳහා මුදල් එවති. ලබන අවුරුද්දේ කියුබාවට සංචාරයකට යන නිසා වැඩි විස්තර ලිවිය හැකිය. ඇමෙරිකානු සම්බාධක මෙන්ම අසාර්ථක ආර්ථික පිළිවෙත් නිසා කියුබානු ආර්ථිකයේ ලොකු වර්ධනයක් නැත. ඔවුන් වැඩිපුරම යැපෙන්නේ සංචාරක ව්‍යපෘති වලින්, පිටරටවල වැඩ කරන කියුබානුවන්  එවන මුදල් වලින්, දුම්කොළ වලින් හා ඖෂධ නිෂ්පදනයෙනි. 

ජවිපෙ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාවරයක්  ගෙන ඩෙන්මාර්ක් , ෆින්ලන්ත, ස්කන්ඩිනේවියානු  ක්‍රමයක් අනුගමනය කරන්නේ නම් වඩා හොඳ  යයි මට සිතේ. එසේ නොමැතිනම් චීන ක්‍රමයේ ද වරදක් නොමැත. මා  කියන්නේ ඩෙන් ෂියා ඕ පින් චීනය වෙනස් කළ ආර්ථික ක්‍රමය ගැනය. චීනයේ විදේශ ප්‍රතිපත්තිය සමග සමගාමී වීමේ  අවශ්‍යතාවයක් පැන නගින්නේ නැත. චීනය අද චීන කොමියුනිස්ට් පක්ෂය යටතේ ලබා ඇති දියුණුව විශිෂ්ඨ එකකි. (ඔබ සොයන්නේ එවැනි භෞතික  දියුණුවක් නම්)  



 පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ස්ථාවරය ගැනද මෙවැනිම ප්‍රශ්න මට  තිබේ. ඔවුන්ගේ  සමහර ආධාරකරුවන් ද  උතුරු කොරියාව සහ  කියුබානු ක්‍රමය ගැන පසසමින් කතා කරති. මේ පක්ෂ දෙකම අරගලයෙන් පසු බලය ලබා ගැනීමක් ගැන කතා කරන්නේ නම් තමන් ක්‍රියාත්මක කරන්නට අදහස් කරණ පාලන ක්‍රමය ගැනද ප්‍රකාශයන් කළ යුතු බව හඟිමි.

මා ගියවර ලියූ ලිපිය කියවා ජවිපෙ ආධාරකරුවෙකු  කීවේ  මෙවැන්නකි. "අජිත් මෙහෙම යුද්ධෙ මෙහෙයවපු ෆොන්සේකාට සහය දෙයි කියල මම හිතුවේ නැහැ.  දෙමළ මිනිස්සු මොනවා කියයිද? " කිඹුලා කනවා ඉවසිය හැකි වුවත් කොහිල කටු ඇනෙනවා ඉවසිය නොහැකි යයි කියුමක් තිබේ. ඒ ප්‍රකාශය රෝහිත භාෂණ, මංජුල වෙඩිවර්ධන, දීප්ති ගුණරත්න , උදය තෙන්නකෝන් වැන්නෙකු  කීවා නම් සාධාරණ කමක් ඇත.  ඔවුන් දිගින් දිගටම යුද්ධයට විරුද්ධව  අදහස් දැක් වූවන්ය.

අද ඇත්තේ ශ්‍රී ලංකාවේ ජාතිවාදී දේශපාලනය තීරණාත්මක ලෙස පරාජය වී ඇති මොහොතකි. අරගල කරුවන්ට ජාති  භේද, කුල භේද, ලිංග භේද වලින් තොරව සහය ලැබුණු යුගයකි. 

එසේම රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ නව ලිබරල් දේශපාලන ව්‍යාපෘතියේ අවසාන පුරුකය. රනිල් බොහෝවිට අටවන්නෙකි. ඇටවීම සාර්ථක වුවහොත් ඉතිරි අවුරුදු දෙක පාලනය කර ඔහු නික්ම යනු ඇත.  ජනාධිපති රනිල් වික්‍රමසිංහ  අසාර්ථක වන තැන අරගල කරුවන්ට වේදිකාව  හිමි වනු ඇත. මටනම් මේ තත්වය ඉතා  සුභවාදී එකකි. 

--අජිත් ධර්මකීර්ති 

ප. ලි. - "අටවන ජන්සන්" උපුටා ගත්තේ ප්‍රවීණ බ්ලොග් රචක ද.ග.ම. බසු තුමාගේ යෙදුමකිනි.  

Thursday 14 July 2022

අරගලයේ නායකයා සහ අන්තර් කාලීන පාලනයේ නායකයා

 

අද ශ්‍රී ලංකාවේ තත්ත්වය බැරෑරුම් බව අප සැවොම දන්නෙමු. අරගල කරුවන් අතර භේද පැන නැගී ඇත. මේ බෙදීම ඇති කරන්නට මූලික ම හේතුව අගමැති හා වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. ගෝඨාභය රාජපක්ෂ මෙන් නොව රනිල් ශූර සහ කපටි දේශපාලනඥයෙකි. එංගලන්තයේ මේ කපටිකම හඳුන්වන්නේ "clever" හෙවත් දක්ෂකමක් ලෙසය. එල්ටිටිඊ සංවිධානයේ  කරුණා , ප්‍රභාකරන් සමග භේද කිරීමට මුල් වුනේද  ඔහුය. රනිල් භේද කිරීමේ සමතෙකි. වෙන අවස්ථාවක නම් රනිල්ගේ ලිබරල්  ප්‍රතිපත්ති වලට මගේ අකමැත්තක් නැතිවීමට ඉඩ තිබුණි. නමුත් අද තත්වය වෙනස්ය. රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ  ජනාධිපතිත්වය බේරා  ගැනීමේ  සටනේ මුලින්ම සිටින්නෙකි. ශ්‍රී ලංකාවේ වැසියනට  අවශ්‍ය එය නොවේ.

මෙතරම් දීර්ඝ කාලයක්, දින සියයක් පුරා  මිනිසුන් අරගල කළේ තිබෙන පාලක රෙජීමය රැක ගන්නට නොවේ.. ජනතාවගෙන් බහුතරයකට ඔවුන්ගේ පරම අයිතියක් වන මූලික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිය. උයන්නට ගෑස් නැති, බොහෝ අයගේ අදායම් මාර්ග අහිමි වී, රැකියාවලට යාමට හරි හමන් ප්‍රවාහනයක් නැති  අන්ත අසරණ තත්වයකට පත්වී සිටි ඔවුන්ගෙන් සමහරෙක් රනිල් වික්‍රමසිංහ අගමැති වී සහනයක් ගෙනෙනු ඇතැයි කල්පනා කළහ. ඒ බලාපොරොත්තු සුන් වී ගියේ ඉතා ඉක්මනිනි. මගේ ලිපිය "අදානිගේ සුළං විදුලිය , ක්‍රෙඩිට් ලයින් එක සහ මෝඩ මෝඩි" කියවන්න. ඒ ලිපියේ ම දක්වා ඇති පරිදි කිසියම් බලවේගයන් විසින් ලංකාවට ගතහැකි යම්ක්‍ රියාමාර්ග වළකන සෙයක්  ද පෙනේ.

අරගලයේ මුල් අවධියේ එහි සිටියේ ලිබරල් මතවාදී නිර්පාක්ෂික තරුණ තරුණියන් පිරිසකි. එසේම ඔවුන් ජාතිවාදයට අතිශයින්ම විරුද්ධ බොහෝ නිර්මාණශීලි අය වූහ. සිංහල, දෙමල , මුස්ලිම් නියෝජනයක් හා කොළඹ හා පිට පෙදෙස්වල පරිගකණක තාක්ෂණ වේදීන්, වෙනත් වෘත්තිකයන්,  නිදහස් මාධ්‍ය කරුවන්, පැරණි බ්ලොග්කරුවන්   කිහිප දෙනෙක්ද ඒ අතර විය.  වාමාංශික අදහස් ඇති කිහිප දෙනෙකුද ඔවුන් අතර වූ බව දන සිටියෙමි. නමුත් ප්‍රධාන වාමාංශික පක්ෂවල පුර්ණකාලින සාමාජිකයන් එහි සිටියේ නැත. කුමාර් ගුණරත්නම් සහෝදරයා* (වෘත්තීය  නාමයක් ලෙස)  සංවිධායක ධුරය දරන පෙරටුගාමී  සමාජවාදී පක්ෂයේ "ජන අරගල" ව්‍යාපාරය දීර්ඝ කාලයක සිට පැවත එන විරෝධතා ව්‍යාපාරයකි.. නමුත් ඔවුන් ගෝල්ෆේස් හි ගෝටා ගෝ ගම මුලදී සිටියේ නැත.  ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා* (වෘත්තීය  නාමයක් ලෙස)  පැවසුවේ නායකත්ව නොමැති අරගල වලට ඔවුන්ගේ සහයක් නොමැති බවය.

නමුත් තත්වය වෙනස්වූයේ ඉතා සීග්‍රයෙනි. ජනතාව මුහුණ පාන ප්‍රශ්න දෙගුණ තෙගුණ  විය. එදිනෙදා  ජීවිතය පවත්වාගෙන යාම ගැටලුසහගත විය. උද්ධමනය ඉතා සීග්‍රයෙන් වැඩිවන්නට විය. ගෝඨාගෝගාගමට මහජන සහය වැඩි වුනද එහි දිගටම සිටීමට වෘත්තිකයන්ට නොහැකිය. ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිසිය යොදමින් ඔවුන් ඉවත් කිරීමට උත්සහ කළේය. අනිකුත් අවස්ථාවල පාරවල් බ්ලොක් කරන්නේ යයි අප්‍රසාදයට පත්වන අන්තරය (අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය)  මෙහිදී  සටනට එළැඹියේය. අන්තරයේ සම්ප්‍රාප්තිය අරගලයට අමුතු ජවයක් එක්වුණු අතර කලින් ෆේස්බුක් හා බ්ලොග්වල අන්තරය පතුරු හැරිය පිරිස්  එහි ගුණ වයන්නට විය. සමබිම පක්ෂයේ  දීප්ති කුමාර ගුණරතන  අරගලයට මුල සිටම විරුද්ධ වෙමින් කියා සිටියේ එය මධ්‍යම පන්තිකයන් අන්තර්ජාලය , ගේම් හා පෙට්රෝල් නැති නිසා කරන තාවකාලික පිස්සු අරගලයක් බවය. 

මේ අවස්ථාවේ ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා දරුණු ලෙස මර්දනය ඇති කිරීමට හැකියාව  තිබුනද කිසියම් හේතුවකින් ඔහු එම ක්‍රියා මාර්ගය තෝරා ගත්තේ නැත. ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් මෙන් තවත් බොහෝ අපක්ෂපාති ජනයාද අරගලයට එක්  විය.අරගලයට නායකත්වය දීමට ජවිපෙ නායක අනුරකුමාර දිසානායක ඉදිරියට පැමිණියේය. අරගලයභූමියට  ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පන්නා දැමිණි.

ලන්ඩනයේ මෙන්ම  ලෝකයේ බොහෝ ප්‍රධාන නගරවල  අරගලය සහය පල කරමින් උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වුණි.  මේ ලිපිය ලියන මමද ලන්ඩනයේ රැළියට  එක්වූයෙමි.  ජනතාව මුදල් එකතුකරමින් අරගල කරුවනට සහයට යැවූහ.අරගල  භූමියට බතින් , බුලතින්, තේ පැන්  වලින්, වතුරින් සංග්‍රහ කිරීමට බොහෝ අය ඉදිරිපත් විය.
තව දුරටත් තම සහෝදර ගෝඨාබය  විශ්වාස නොකළ හිටපු අගමැති  මහින්ද රාජපක්ෂ හා ඔහුගේ  පුතුන්ද ජොන්ස්ටන් හා තවත්  ඇමැතිවරුද අරගලයට ප්‍රහාරයක් දියත් කලත් කොම්පඤ්ඤ විදිය හා අවට කාර්යාලවල පිරිස හා අවට ජනයා   ප්‍රති ප්‍රහාර  දෙමින් අරගලය ආරක්ෂා කළහ. මේ තීරණාත්මක පැයේ  මහින්ද රජය විසිවිය. රනිල් අගමැති විය.

තවදුරටත් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කල ගෝඨාබය එළවන්නට කොළඹට රැස්වූ අරගලකරුවන් ප්‍රමුඛ ජනතාව ජනාධිපති මන්දිරය හා ආරලිය ගහ මන්දිරය තම යටතට ගත්හ. ජනාධිපති ගෝඨාභය සැඟවුණි. අද ඔහු රටින් පිටය. වැඩ බලන ජනාධිපති රනිල්ය.



රනිල්ගේ ගේ ගිනි තැබීම හා පුස්තකාලය ගිනි තැබීම තුල කිසියම් කුමන්ත්‍රණ කාරී තත්වයක් තිබේ. එය හරියටම හෙළි දරව් වනු ඇත්තේ පසුවය. අද අරගල කරුවන් ගෙන් සෑහෙන ප්‍රමාණයක් භේද බින්න වී ඇති බව මුලින් සඳහන්  කලෙමි. ජවිපෙට මෙන්ම පෙසපේ ටද අවශ්‍ය අරගලයේ නායකත්වය තමන් යටතට ගැනීමටය. වසන්ත සමරසිංහ. අරගලයේ මුල්මු කාලයේම සිටි   ක්‍රිස් සියඹලාපිටිය, පරණ බ්ලොග්කරුවකු වන මංජුල සමරසේකර ආදීන් ජවිපෙ කොටසේ  පෙරමුණේ සිටින බව පෙනේ.  එසේම ලිබරල් මතවාදී ලෙස මා සිතා සිටින (වැරදීමක් විය හැක) ප්‍රියංග විශ්වජිත්, පැතුම් කර්නර්, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන,   තරිඳු උඩුවරගෙදර,  චමල් අකලංක පොල්වත්තගේ   , රතිඳු සේනාරත්න, ජීවන්ත  දේද්දුවගේ ,  කසුන් පුස්සවෙල ඇතුළු  තවත් යුටියුබ් කරුවන් බොහොමයක්ද මධ්‍යස්ථ කාණ්ඩයේ සිටිති. සජබයේ බොහොමයක් ද අරගලයේ සිටියත් ඔවුන් සිටියේ පොදු සහයක් දෙන මට්ටමකය. අන්තරය පෙරටු කොට  එහි කැඳවුම් කරු වසන්ත මුදලිගේ සමගින් පෙරටුගාමී සමාජවාදීන් අරගලය තුල ශක්තිමත් තැනක සිටි.

මේ තත්වය තුලය වායු සමීකරණ ඇති  කාමර  ගැන ඇතිවුන අවුලේ සිට අද පාර්ලිමේන්තුව අල්ලා  ගැනීමට යාමේදී වූ සිඳුවීම් ද කරලියට පැමිණෙන්නේ.  අරගලයේ සාමුහිකත්වය බිඳී යාමේ තර්ජනයක් පවතී. එසේම රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ සිටීම ගැන ජනතාවගේ කැමැත්තක් ද නැත. මේ තත්වයන් තුල අරගලය ඉදිරියට මෙහෙයවීමට එහි නායකත්වයට  අරගල කරුවන් පොදුවේ ගරු කරන චරිතයක් තෝරා ගත යුතුය. එසේම මේ චරිතයට පාර්ලිමේන්තුවේ සහ රටේ පොදු ජනයා  අතරද පිලි ගැනීමක් තිබිය යුතුය. ඩිල් වල අඩු වශයෙන්ම සිටි දේශපාලනඥයෙකු විය යුතුය. නායකත්වයක් ඇති කිරීම, කිසියම්  විනයක් මේ තුලට එක් කළ හැකිය. 

මා කිසි විටෙක ෆීල්ඩ් මාර්ෂල්  සරත් ෆොන්සේකා ට සහය පල කර නැත.ලියා නැත.මිට කලින් ලිපියක  මා සඳහන් කළේ  මිළඟ මැතිවරණයට සුදුසු සජිත් ප්‍රේමදාස , අනුර කුමාර , පාඨලි චම්පික  හෝ නාමල් බවයි. අද ඇතිවී ඇති තත්වය  තුල මේ කාලයේ ඉතා පරිණත  ලෙස පාර්ලිමේන්තුවේ විවාදයන් හි යෙදෙන, නායකත්වයට  පුරුදු, තම ප්‍රතිපත්තීන් පාවා නොදී සිරගෙයි පවා කාලයක් ගත කළ අරගල කරුවන් බොහෝ දෙනෙකුගේ ගෞරවය හිමි, සැබවින්ම යුද්ධයක් මෙහෙයවූවා යයි අපට පෙනන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා නායකත්වය භාර ගත යුතු බව මම සිතමි.

කණගාටුවකට මෙන් විපක්ෂ නායක සජිත්  ප්‍රේමදාස මහතා එයට ගැලපෙන්නේ නැත, ඔහුට අරගල කරුවන් බොහොමයකගේ සහයෝගයක් නැති බවක් පෙනී යයි. 

ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා  නිර්පාක්ෂික, ජවිපෙ හා පෙසප/අන්තරය අරගලකරුවන් මෙන්ම පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂයේ නායකයාද විය යුතුය. ඔහුට  හමුදාවේ සහය ලබා ගැනීමේ ප්‍රශ්නයක් ඇතැයි මට සිතිය නොහැකිය. 
වැඩ බලන අන්තර්වාර ආණ්ඩුවක තාවකාලික ජනාධිපති  හෝ අගමැති විය යුත්තේ ඔහුය.

මෙවැනි නායකත්වයක් නොමැතිව අරගලය වඩා විනාශකාරී මාවතක් ගනු ඇතැයි මට සිතේ.  මගේ අදහසට ඔබලාට කැමැති වීමට අවශ්‍ය නැත. නමුත් එක්සත්ව අරගල කිරීමට හා ජනතා රජයක් බිහි කිරීමට පහසු නැත. මුල් අවධිය සාක්ෂාත් කර ගැනීමට සුදුසු නායකත්වයක් අවශ්‍යමය. 

-අජිත් ධර්මකීර්ති 

ප.ලි: සරත් ෆොන්සේකා මහතා ජන ඝාතක යුද්ධයක් මෙහෙයවූ බව සැබෑය. එසේනම් ලංකාවේ සිංහල බහුතරයක්ද ජවිපෙ (සහ කැඩී ආ පෙසපේ ද)  , හෙළ උරුමය ද එයට සහය දුන් බව අප අමතක නොකළ යුතුය. 
අප දැනට යුද්ධයේ ගෞරවය  "රෙන මග ඔස්සේ නොන්ඩි කඩාල්" ට භාර දෙමු. 

මුල් ලිපි :






Sunday 10 July 2022

මිනිසුන් පොත පත කියවිය යුත්තේ ඇයි

මිනිස්සු පොත් කියවන්න ඕනේ ඇයි? මට චුලානන්ද සමරනායක සහෘදයා වතාවක් ඔත්තුවක් දුන්න ඩිමිට්‍රි වොල්කගොනොව් ගේ පොත් කියවන්න කියල. වොල්කගොනොව් සෝවියට් දේශය වැටුන හැටි ලිව්ව පොත් කිහිපයක්. පසු කාලයක සෝවියට්ක්‍රමයට විරුද්ධව ලියපු රතු හමුදා ජෙනරාල් කෙනෙක්. වොල්කගොනොව් ක්‍රමයට විරුද්ධ කාරයෙක් වුනත් (ඒකයි මම එයාව ක්වෝට් කරන්නේ ජෝන් රීඩ් වගේ විප්ලවයට පක්ෂ අය කියපු දේවල් නැතිව) කියල තියනවා රුසියානු විප්ලව දෙකේදීම (1917 පෙබරවාරි සහ ඔක්තෝබර් ) පරණ සාර් වරුන්ගේ , රදළයන්ගේ, ඉඩම් හිමියන්ගේ ගෙවල්, වතු පිටි , පුස්තකාල ගිනි තිබ්බේ විනාශ කලේ නැහැ කියල.

ඒ වෙනුවට ලෙනින් ලා කලේ ඒවා වල නිවාස නැති ජනතාව පදිංචි කරවපු එක. ඒ රදලයන්ට තමන්ගේම නිවාස වල කාමරයක් දෙකක් දීලා අනිත් දුප්පත් මිනිසුන්ව පදිංචි කළා. පවුල් එහම එකට පදිංචි කරවපු ඒවාට කීවේ කොමුනාල්ක කියා. ඒකෙ තේරුම "පොදුවේ පරිහරණය" වගේ එකක්. (යුද්ධයකදී ආරක්ෂාකාරී ලෙස පාලම් විනාශ කරන එක ගෙවල් වලට බෝම්බ දාන එක වෙන දෙයක්.) පොත් පත් සහ අනිකුත් උපකරණ ජනතා පුස්තකාල වලට, පාසැල් වලට බෙදා හැරියා . මොකද ඔය හැම දෙයක්ම අලුතින් හදන්න හෙම ළඳරු සෝවියට් ආණ්ඩුවට බැරි නිසා. කියුබානු විප්ලවයේදී චේ හෝ කස්ත්රෝ කලෙත් ඒක. ඔය පින්තූර වල තියෙන්නේ අපි 2016 රුසියාවේ ශාන්ත පිටස්බර්ග් හෙවත් පරණ ලෙනින්ග්රාද් කියන නගරයට ගිය අවස්ථාවක්. අපි ඕන කමින්ම කොමිනාල්ක ෆ්ලැට් එකක් කුලියට අරගෙන හිටිය දවසක් . ළමයින්ට පෙන්වන්නත් එක්ක. ඒවා තවමත් එහමමයි. දැන්නම් කඩලා දාල අලුත් ඒවා හදන්න පුළුවන් ඇති. නමුත් මේවා ඓතිහාසික ගොඩනැගිලි. (රුස්සෝ දැන් යුක්රේනයේ කරන විනාශය අදාල කර ගන්න එපා).
කෙරෙන්ස්කිව අල්ල ගත්ත කාමරය තමා ඔය උඩ පින්තුරෙ තියෙන්නේ. යට තියෙන්නේ එතනට ඇතුළු වෙන තැන. අල්ල ගත්ත දවසේ තිබ්බ විධිහටමලු තියන් ඉන්නේ.


මේ පහල තියෙන්නේ කොමුනාල්ක එක.






පොත් පත්තර නොකියවන මැට්ටෝ වෙන්න එපා. හරි දේ බලල හැකි හැම වෙලේම මොනවා හරි ඉගෙන ගන්න. එච්චරයි. මට දුක අපි වීරයෝ කියල හිතන් හිටි එවුනුත් පට්ට පිස්සෝ කියල දැන ගන්න කොට. අනික ඔය ගේ ගිනි තිබ්බ එක, පොත් ගිනි තිබ්බ සාධාරණිකරණය කරන්න යන්නත් එපා. ඒක උගුලක් වෙන්න පුළුවන්. ඉන්දියාව වගේ රටකට පොඩි තල්ලුවක් විතරයි ඕනේ හමුදාවක් එවන්න.

ලංකාවේ චේ ලා හදන්නෙම මොකක් හරි ගිනි තියල ෆන් එකක් ගන්න.

මම 1987 ජූලි වල ලංකාවේ හිටියේ. සෝවියට් දේශයේ ඉඳන් නිවාඩුවට ඇවිත්. පිටකොටුවේ රජීව් ට විරුද්ධ උද්ඝෝෂනයේ (අර ගෙවිඳුල , චම්පිකල හිටිය එකම තමයි) මම මගේ සෙනිත් කැමරාවෙන් ෆොටෝ ගන්නවා. බස් එකක් ගිනි තිබ්බ. ඊළඟ එකට ගිනි තියනකොට මම ෆොටෝ ගන්න එතනට දිව්වා. . මම කීව අපරාදේ ඇයි බස් ගිනි තියන්නේ කියල එතැන කිහිපදෙනෙකුට. පත්තරෙන් වෙන්න ඇති කියල කෙනෙක් කියනවා ඇහුන . එතන හිටපු ටිකක් වැඩිමහල් කෙනක් මාව ඇදගෙන පැත්තකට ගියා." ඔයා මෙතනින් යන්න. කැමරාව වත් බේරා ගන්න බැරිවෙයි කීව". මිනිහ ටික දුරක් පාලම හරියට වෙනකන්ම මාත් එක්කම ආව මම යනකන්ම. එක බස් එකක් "කවුරුහරි" පිච්චුවට පස්සේ රැල්ල යනවා. ඒක තමා වුනේ. හොඳ වෙලාවට ඊයේ ඒක වුනේ නැහැ. ගිනි රැල්ලක් කියන්නේ නිත්‍යානුකුලව ඇඳිරි නීතිය පනවන්න පුළුවන් අවස්ථාවක්. දේපළ බේරා ගැනීමටව්‍යවස්ථානුකුලව කළ හැකි දෙයක්.

- අජිත්

Friday 8 July 2022

කාම්බෝජ සංචාරය 3 - සිර කඳවුර අංක 21 - කේ පොයින්ට් සහ එළියකන්ද (සංවේදී නම් නොකියවන ලෙස ඉල්ලා සිටිමි)

පින්තූරයේ මා සමග සිටින්නේ වධ කඳවුර අංක 21න් (S -21 Tuol Sleng) දිවි ගලවා ගත් අයෙකි.  ඔහු වධ කඳවුරේ ජීවිතය ගැන ලියූ "කේ පොයින්ට්" පොත සමග ඡායා රූපයකට පෙනී සිටියේය. 
කෙමර් රූජ් රජය ද්‍රෝහීන් සිරකර වධ දුන් කඳවුර  අංක S 21 ගැන මා  මුලින්ම සඳහන් කළේ  කලින් ලිපියේය. මේ ලිපියේ  තව දුරටත් ඒ පිළිබඳ ලිවීමට අවශ්‍යව තිබේ.   පොල්පොට් ගේ වධ කඳවුරු හා මරා දැමීම් ගැන සටහනක් මට මතක විධිහට රෝහිත මුණසිංහ ලියා තිබේ. ඔහු ලියු "එළියකන්ද වධ කඳවුර" පොත මම කියවූයේ පසුගිය අවුරුද්දේ ලංකාවේ දීය. එම පොතේ එහිදී හමුදාව හා පොලිසිය සිර කරුවන්ට අපායේ දඬුවම් දුන් අන්දම පැහැදිලිව විස්තර කර තිබේ. මේවා කළේ අනීතිකව නිසා ඒ පිලිබඳ ඡායාරුප හෝ වෙනත්  සටහන් සොයා ගැනීමට නැත. ඇත්තේ මෙවැනි විස්තර පමණකි. රෝහිත රණසිංහ මේ කඳවුරු හා මරා දැමීම් පොල්පොට් ගේ ඒවාට සමකලද ඒවා කරන ලද්දේ ශ්‍රී  ලංකා   ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආරක්ෂක හමුදා විසිනි. එවකට පැවති රජය මෙහෙය  වුයේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය කොම්ප්‍රොදෝරු ධනපති පක්ෂය ලෙස හැඳින්වූ එජාපය විසිනි. (ත්‍රිමාණ ලිපිය බලන්න.) ඒ කාලයේ ලංකාවේ තිබුනේ නැත්තේ සමාජවාදය හා ප්‍රජාතන්ත්‍රවාදයයි.

කාම්බෝජයේ සිදුවූයේ තනිකරම අනිත් පැත්තය. පොල්පොට් පිහිටවූ රාජ්‍යයේ නම ප්‍රජාතන්ත්‍රවාදී කැම්පුචියාවයි. ඔහු ගේ පක්ෂය හැඳින්වුයේ කැම්පුචියානු කොමියුනිස්ට් පක්ෂය යන නමිනි. ඔහු තම ඝාතන ඇරඹුවේ තමන් සමග දේශපාලනය කල  කොමියුනිස්ට් හා වාමාංශික සගයන් මරා දමමිනි. ඉන්පසු එය සිහනුක් කුමරුගේ නිලධරයන් දක්වාද ඉන්පසු අනික් සියල්ලන් දක්වාද පැතිරුණි.  මෙය ප්‍රශ්නකාරී වන්නේ කාම්බෝජ නිදහස් සටනට  (ජනරාල් ලොන්නොල් හා ආක්‍රමණකාරී එක්සත්  ජනපද බෝම්බ වලට විරුද්ධව)  සහභාගිවූවන් අතර සිහනුක් කුමරු ට පක්ෂපාතී  භටයන්ද සිටි බැවිනි. 

එළියකන්ද ගැන තවත් විස්තර සහිත පොතක්  වන "කේ පොයින්ට් "  මම කියවූයේ වසර දෙකකට පමණ පෙරය. එය ලියා ඇත්තේ කාලයක් බ්ලොග් ලියූ දැන් "ප්‍රජා" නමින් වෙබ් අඩවියක් කරන අජිත් පැරකුම් ජයසිංහ විසිනි. ඒ පොත පිලිබඳ ලිපියක් ලිවීමට අවශ්‍යතාවයක් තිබුනත් එයට අවකාශයක් ලැබුනේ නැත.  අජිත් පැරකුම් එම කඳවුරේ ඔවුන් විසින් විඳින ලද අමානුෂික වධයන් හා වධකයන් ගැන විස්තර කරන විට මට සිහි වන්නේ පන්සල් වල චිත්‍ර වල ඇඳ තිබෙන අපායේ විස්තරයි. සමහර විට ආරක්ෂක නිලධාරීන් ඒවා අභාෂයෙන් මේ අමානුෂික වධ ක්‍රම ඉගෙන ගන්නට ඇත. දහම් පාසැලේ සිටම කියා දෙන්නේ අපාය ගැන හා එහි දඬුවම් ගැන හෙයිනි.  

"මී හරක් පීටී" ආරම්භ වන්නේ ඉසි පෝසන් වලිනි. (මෙය easy position විය හැකිය.-)  ඉසි පෝසන් සිටියදී උදලු මිටි බඳු මුගුරුවලින් හෝ  හෝස් පයිප්ප වලින් පිට මැදට දෝයි ගා පහර දෙනු ලැබේ. විකී , උදේනි හෝ නවා හෝ උඩ පැන බදා පහර දෙන පොලු පහර සමග හුස්ම අල්ලා  ගැනීමට වැර  දරමින් ඔබ පතුලක් නැති අගාධයකට වැටෙන්නට පටන් ගනියි. " පිටුව 131 (කේ පොයින්ට්) 

පොල්පොට් ගේ සිර කඳවුරේ සිටියේ  ලොන්නොල් ට පක්ෂ අය පමණක් නොවේ. කෙමර් රූජ් රජයේ අණට විරුද්ධව ගම්වලට නොගිය ඉන්ටෙලිජන්සියාව  (ගුරුවරු, ගත් කතුවරු, වෛද්‍ය හා ඉංජිනේරු වෘත්තිකයන්), පසුගිය ආණ්ඩුවට වැඩ කල රාජ්‍ය සේවකයන්, හමුදාවේ උසස් නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල් වල  අය, පරණ කේඩරයන්, සිහනුක් ට සම්බන්ධ කෙමර් රූජ් හමුදාවේ සහෝදර භටයන්ද වීය.  නමුත් ඉතා අවාසනාවන්ත ලෙස ඔවුන් සමග සටන් කල කොමියුනිස්ට් පක්ෂයේම ජ්‍යෙෂ්ඨ සාමාජියකයන් වැඩි ප්‍රමාණයක් මේ කඳවුරේ සිර කර මරා දමන  ලදී. ඔවුන්ට නගනලද පොදු චෝදනාව වූයේ ඇමෙරිකන්, සෝවියට් හෝ වියට්නාම් ඔත්තුකරුවෙකු වීම  යන්නය.  ඒ චෝදනා සඳහා සාක්කි සපයා ගත්තේ එම සිරකරුවන්ට අමානුෂික වධ දී  පාපොච්චාරණය කිරීමට සැලැස්වීමෙනි.  පහල ඇත්තේ අඩි  දෙකක් පමණ පළල අඩි පහක් පමණ දිග ගඩොලින් බඳින ලද සිර කුටියකි. සිරකරු ගේ පය එහි ඇති යකඩ පෙට්ටියට දමා අගුලු ලා තිබේ. වැසිකිලි යන්නට බාල්දියක් තිබෙන අතර සිරකරුට නිදා ගැනීමට ඉඩ සලසා නැත. 


අජිත් පැරකුම් ගේ පොතේ 198 වැනි පිටුවේ එළියකන්දේ සහ අනිකුත් කඳවුරු වල කළ වධ දීම් විස්තර කර තිබේ. එය කියවාම බලන්න.  S-21 කඳවුරේ සිරකරුවන් නිදා ගැනීමට සලස්වා තිබුනේ මෙට්ට නැති මෙම දඬුකඳ වැනි අන්දකය. සිරකරුගේ දෙපා මෙහි ඇති යකඩ වළලුකර වලට තබා තදින් සිරකර හිස යකඩ පෙට්ටිය ට අල්ලා තද කර ඇත. සමහරවිට මේ ඇඳේ තිබියදීම සිරකරුවන් පුළුස්සා මරා තිබේ. ඒ පින්තූර ඇතත් මෙහි පළ නොකරමි.  (එළියකන්ද කඳවුරේ පරණ  කුස්සිය පහරදීමෙන් පසු පණ අදින අයට වෙන් කර තිබුණි.) 



කේ පොයින්ට් හා එළියකන්ද පොතේ සඳහන් ලෙස  වතුරේ ඔබා හුස්ම හිරවීමට සැලැස්වීම වධ දීමේ හා පාපෝච්චාරණ ගැනීමේ පොදු ක්‍රමයක් විය. පහළ පින්තූරයේ ඇත්තේ එවැන්නකි. 
පහල පින්තූරයේ ඇත්තේද වතුර පිරුණු ටැංකියකට ඔබා ගිලෙන්නට සැලැස්වීමේ ක්‍රමයකි.


ශ්‍රී ලංකාවේ  සිරකරුවනට ඉලෙක්ට්‍රික් කේබල් වලින් පහර දී ඇත. මෙහි ඇත්තේ සිරකරුගේ ත මේසයකට බැඳ කේබල් වලින් පහර දෙන යුරුය. 
මේ සිරකරුවන් ඔබන යකඩ ටැංකියකි. 


බොහෝවිට සිරකරුවන්ගේ අසූචි හා මළ මුත්‍රා එකතු කර බල්දිවලට පුරවනු ලැබේ. ඉන්පසු කකුලෙන් එල්ලා හිස ඒවාට පහත්  කරනු ලබයි. ඒ අතරවාරයේ පහර දීමද කර තිබේ. 


තවත් දඬුවමක් වී ඇත්තේ සිරකරු සම්පුර්ණයෙන් ම  වැසූ පෙට්ටියක බහා  අතපය යකඩ විලංගු ලා  සිරුර දික්වනසේ  ඇදීමයි. (දඬු කඳේ ගැසීම වැනි). ඉන්පසු සපාකන පත්තෑයන්, කුහුඹුවන්, සර්පයන්, ගෝනුස්සන් වැනි සතුන්   පෙට්ටිය තුලට දමනු ලැබේ. සම ඇදී තිබෙන නිසා සපාකන විට වේදනාව වැඩිය. පිරිමින්ට වඩා සිරකාරියන්  මේ දඬුවමට  ලක්  කර තිබේ. ඒ ඔවුන්ගේ රහස්‍ය ප්‍රදේශ වලට සතුන් ඇතුළු කිරීමෙනි. 

සිරකුටි තනවා තිබුනේ මේ පරණ විදුහල් ගොඩ නැගිල්ලේය. 


මිනී ඔලු විශාල ප්‍රමානයක් මෙම කෞතුකාගාරයේ තැන්පත් කර තිබුණි. බොහෝ අය මරා දමා තිබුනේ පහර දීමෙන්, එල්ලීමෙන්, පුළුස්සා දැමීමෙන් හා නිරාහාරව දවස් ගණන් තබා වධ දීමෙනි. ඔවුනට  වෙඩි උණ්ඩ භාවිතා කිරීම හොඳ මරණයක්  සේ සලකා තිබුණි. 
සිරකරුවනට වධ දුන් තැනක්. ඔවුන්ගේ හිස් මේ භාජන දමා තැබේ. ඒවායේ ඇත්තේ කුණු වී පණුවන් ගසන අපද්‍රව්‍යයන්ය. 





පහත ඇත්තේ සිරකරුවන් ට දැමු යකඩ වලංගුය. 


මෙහි ඇත්තේ තරුණියක ගේ හිස ඇණයක් ඇතුළු කර තද කර ඇති අයුරුය.





පහල සිටින්නේ වියට්නාම් හමුදා විසින් මුදවා ගත් අයෙකි.


මා  2019 දී කියවන ලද තව පොතක් නම් '71 කැරැල්ල " නමැති බර්ටි හෙවත් රන්ජිත් හෙන්නායක ආරච්චි ලියූ  පොතයි. ඔවුන් අත් අඩංගුවට  මුලින්ම  රැගෙන ගිය හැමන්හිල් හිර කඳවුරේ භූගත කුටියේ මළමුත්‍ර හා පල්වුනු වතුර ගඳ ආග්‍රහණ කරමින් පහර කමින් ජිවත් වූ අන්දම ඔහු  විස්තර කර ඇත. ඔහු දැන්  ජිවත් වන්නේ ජර්මනියේය.  මා දන්නා පරිදි රන්ජිත්  සමාජ ප්‍රජාතන්තවාදී පක්ෂයක සාමාජිකත්වය උසුලයි. 

රෝහිත මුණසිංහ ජිවත්වන්නේ  ප්‍රංශයේ ය. රෝහිත ගේ ෆේස්බුක් පිටුවේ මුල් කාලයේ රාජපක්ෂ රෙජිමයට සහය දක්වන සෙයක් තිබුණි. එසේම යුද්ධයට සහයෝගය දැක්වීමක් කර තිබුණි. මට එය ප්‍රශ්නකාරී වන්නේ ඔහු විඳි අත්දැකීම් වෙනත් ජනතාවකටත් භාර දෙන්නට කැමතිද යන ප්‍රශ්නය පැන නැගුනු හෙයිනි. ඔහුගේ එළියකන්ද කඳවුර පොතේ රෝහිත  තවමත් කිසියම් වඩා සාධාරණ සමාජවාදී සමාජයක් අපේක්ෂා කරන බවක් පෙනී යයි. ඔහුගේ ප්‍රංශ ජිවිතයේ නම් කරදරයක් නොමැති බව ඔහු රටරටවල කරන සංචාර වලින් පෙනේ. 
 
අජිත් පැරකුම්  ජයසිංහ ජීවත්වන්නේ ලංකාවේ වන අතර බ්ලොග් සම්මාන කරන අවධියේ මට ඔහු හඳුනා ගැනීමට  ලැබුණි. අජිත් කටයුතු කරන්නේ ලිබරල් මත ධාරියෙකු ලෙසය. එසේම ඔහුද සමාජ ප්‍රජාතන්ත්‍රවාදියෙක් යයි සිතමි. 

මට පැහැදිලි වුයේ මේ තිදෙනාට ම තමන් කලින් සම්බන්ධවී සිටි දේශපාලන පක්ෂය කෙරෙහි ප්‍රබල විවේචනයක් ඇති බවය.  ඒ විවේචනය සාධාරණ ලෙස භාරගත යුතු බව මගේ හැඟීමයි. ඔවුන් දැන් එම පක්ෂ වලට  සහයෝගය දක්වන්නන් ගේ ස්ථාවරය  අනුව ධනපති පක්ෂ වලට සහය දෙන ද්‍රෝහීන් ලෙස පෙනෙන්නේ නම් ඔවුන් විඳි කරදර ගැන මේ වමේ සාමාජිකයන් සහ හිතවතුන්  සානුකම්පිතව සළකා බැලිය යුතු බව මගේ අදහසයි. ඔවුන් තිදෙනාම ඒ වධ වින්දේ , සිරගතව සිටියේ තමන් වෙනුවෙන් නොවන බැවිනි.

මගේ මිත්‍ර කාම්බෝජ ජාතික එන්ගග්   වෙන්ග් සෝවියට් සමාජවාදයට හෝ චීන ධනවාදී සමාජවාදයට විරුද්ධ නැත. මගේ කියුබානු මිතුරන් ඔවුන්ගේ රටේ සමාජවාදය අසාර්ථක වීම සිදුවුයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සම්බාධක  නිසා යයි සිතති. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් කියුබානු පාලන ක්‍රමයේ වෙනසක් අපේක්ෂා කරති.  එන්ග්  වෙන්ග්  කියන්නේ මිනිසුන්  හා රටවල් මෙවැනි සාමූහික  පරීක්ෂණ වලට භාජනය නොකළ යුතු බවය. 

විමුක්ති ව්‍යාපාරයක් වූ කෙමර් රූජ් ගරිල්ලන් හා ඔවුන්ගේ කොමියුනිස්ට් පක්ෂයේ ඇතැමුන් ද පොල්පොට් හා කියූ සම්පන්ද ඇතුළු නායකයන්   කම්පුචියානු ජනතාව බින්දුව වර්ෂයේ සිට දියුණු කිරීම සඳහා  පොත් පත් ගිනි තබමින්, දැනුම විනාශ කරමින් සියල්ලෝම ගමට දැක්කුහ. ගම්වල සිට පොහොර වෙනුවට තමන් නිදාගෙන සිටි කාමර වල තබා ඇති බාල්දි වලට අසුචි කරන ලෙසත් එම අසූචි  වී වගාව හා අනිකුත් වගා  කරන ඉඩම් වලට දමන ලෙසත් අණ  කළහ. මගේ මිතුරු එන්ග්  කිවේ එම ගොවිබිම් අසලට යාම පවා අපහසු තරමට  දුර්ගන්ධය අධික බවයි . සමහර විට මළමිනී  ද ගොයම් අතර පාවෙමින්  තිබුණි.

 දැනුම විනාශ කළ පසු ඉතිරි වන්නේ හිස්කමකි, එම හිස්කම තුල ඔවුහු මිලියන් දෙකකට අධික ජනතාවක්  ඝාතනය කළහ. අවසානයේ වියට්නාම් හමුදා ආක්‍රමණය කර කෙමර් රූජ් හමුදා පරාජය කලේ නැත්නම් ඉතිරිව සිටි ජනයා හාමතේ මිය යාමට නියමිතව සිටියහ.

මගේ මිතුරු එන්ග් කියන්නේ ඔහුට  අවශ්‍ය මාක්ස්වාදය හෝ ලිබරල් වාදය  නොව නිදහසේ ජිවත් වීම බවය. ඔහුගේ වැඩිමහල් දියණිය ජිවත් වන්නේ ප්‍රංශයේ ය. අනිත් දියණියද බිරිඳද රැගෙන කාම්බෝජය හැර දමා ප්‍රංශයට යාම ඔහුගේ බලාපොරොත්තුවයි.  

- අජිත් ධර්මකීර්ති 

- මතු සම්බන්ධයි 

කලින් ලිපි: