Sunday 10 July 2022

මිනිසුන් පොත පත කියවිය යුත්තේ ඇයි

මිනිස්සු පොත් කියවන්න ඕනේ ඇයි? මට චුලානන්ද සමරනායක සහෘදයා වතාවක් ඔත්තුවක් දුන්න ඩිමිට්‍රි වොල්කගොනොව් ගේ පොත් කියවන්න කියල. වොල්කගොනොව් සෝවියට් දේශය වැටුන හැටි ලිව්ව පොත් කිහිපයක්. පසු කාලයක සෝවියට්ක්‍රමයට විරුද්ධව ලියපු රතු හමුදා ජෙනරාල් කෙනෙක්. වොල්කගොනොව් ක්‍රමයට විරුද්ධ කාරයෙක් වුනත් (ඒකයි මම එයාව ක්වෝට් කරන්නේ ජෝන් රීඩ් වගේ විප්ලවයට පක්ෂ අය කියපු දේවල් නැතිව) කියල තියනවා රුසියානු විප්ලව දෙකේදීම (1917 පෙබරවාරි සහ ඔක්තෝබර් ) පරණ සාර් වරුන්ගේ , රදළයන්ගේ, ඉඩම් හිමියන්ගේ ගෙවල්, වතු පිටි , පුස්තකාල ගිනි තිබ්බේ විනාශ කලේ නැහැ කියල.

ඒ වෙනුවට ලෙනින් ලා කලේ ඒවා වල නිවාස නැති ජනතාව පදිංචි කරවපු එක. ඒ රදලයන්ට තමන්ගේම නිවාස වල කාමරයක් දෙකක් දීලා අනිත් දුප්පත් මිනිසුන්ව පදිංචි කළා. පවුල් එහම එකට පදිංචි කරවපු ඒවාට කීවේ කොමුනාල්ක කියා. ඒකෙ තේරුම "පොදුවේ පරිහරණය" වගේ එකක්. (යුද්ධයකදී ආරක්ෂාකාරී ලෙස පාලම් විනාශ කරන එක ගෙවල් වලට බෝම්බ දාන එක වෙන දෙයක්.) පොත් පත් සහ අනිකුත් උපකරණ ජනතා පුස්තකාල වලට, පාසැල් වලට බෙදා හැරියා . මොකද ඔය හැම දෙයක්ම අලුතින් හදන්න හෙම ළඳරු සෝවියට් ආණ්ඩුවට බැරි නිසා. කියුබානු විප්ලවයේදී චේ හෝ කස්ත්රෝ කලෙත් ඒක. ඔය පින්තූර වල තියෙන්නේ අපි 2016 රුසියාවේ ශාන්ත පිටස්බර්ග් හෙවත් පරණ ලෙනින්ග්රාද් කියන නගරයට ගිය අවස්ථාවක්. අපි ඕන කමින්ම කොමිනාල්ක ෆ්ලැට් එකක් කුලියට අරගෙන හිටිය දවසක් . ළමයින්ට පෙන්වන්නත් එක්ක. ඒවා තවමත් එහමමයි. දැන්නම් කඩලා දාල අලුත් ඒවා හදන්න පුළුවන් ඇති. නමුත් මේවා ඓතිහාසික ගොඩනැගිලි. (රුස්සෝ දැන් යුක්රේනයේ කරන විනාශය අදාල කර ගන්න එපා).
කෙරෙන්ස්කිව අල්ල ගත්ත කාමරය තමා ඔය උඩ පින්තුරෙ තියෙන්නේ. යට තියෙන්නේ එතනට ඇතුළු වෙන තැන. අල්ල ගත්ත දවසේ තිබ්බ විධිහටමලු තියන් ඉන්නේ.


මේ පහල තියෙන්නේ කොමුනාල්ක එක.






පොත් පත්තර නොකියවන මැට්ටෝ වෙන්න එපා. හරි දේ බලල හැකි හැම වෙලේම මොනවා හරි ඉගෙන ගන්න. එච්චරයි. මට දුක අපි වීරයෝ කියල හිතන් හිටි එවුනුත් පට්ට පිස්සෝ කියල දැන ගන්න කොට. අනික ඔය ගේ ගිනි තිබ්බ එක, පොත් ගිනි තිබ්බ සාධාරණිකරණය කරන්න යන්නත් එපා. ඒක උගුලක් වෙන්න පුළුවන්. ඉන්දියාව වගේ රටකට පොඩි තල්ලුවක් විතරයි ඕනේ හමුදාවක් එවන්න.

ලංකාවේ චේ ලා හදන්නෙම මොකක් හරි ගිනි තියල ෆන් එකක් ගන්න.

මම 1987 ජූලි වල ලංකාවේ හිටියේ. සෝවියට් දේශයේ ඉඳන් නිවාඩුවට ඇවිත්. පිටකොටුවේ රජීව් ට විරුද්ධ උද්ඝෝෂනයේ (අර ගෙවිඳුල , චම්පිකල හිටිය එකම තමයි) මම මගේ සෙනිත් කැමරාවෙන් ෆොටෝ ගන්නවා. බස් එකක් ගිනි තිබ්බ. ඊළඟ එකට ගිනි තියනකොට මම ෆොටෝ ගන්න එතනට දිව්වා. . මම කීව අපරාදේ ඇයි බස් ගිනි තියන්නේ කියල එතැන කිහිපදෙනෙකුට. පත්තරෙන් වෙන්න ඇති කියල කෙනෙක් කියනවා ඇහුන . එතන හිටපු ටිකක් වැඩිමහල් කෙනක් මාව ඇදගෙන පැත්තකට ගියා." ඔයා මෙතනින් යන්න. කැමරාව වත් බේරා ගන්න බැරිවෙයි කීව". මිනිහ ටික දුරක් පාලම හරියට වෙනකන්ම මාත් එක්කම ආව මම යනකන්ම. එක බස් එකක් "කවුරුහරි" පිච්චුවට පස්සේ රැල්ල යනවා. ඒක තමා වුනේ. හොඳ වෙලාවට ඊයේ ඒක වුනේ නැහැ. ගිනි රැල්ලක් කියන්නේ නිත්‍යානුකුලව ඇඳිරි නීතිය පනවන්න පුළුවන් අවස්ථාවක්. දේපළ බේරා ගැනීමටව්‍යවස්ථානුකුලව කළ හැකි දෙයක්.

- අජිත්

43 comments:

  1. අජිත් ධර්ම,

    පෙරටුගාමී පක්ෂයේ සන්නද්ධ කාඩර්වරුන් මේ වන විට ශ්‍රී ලංකාවේ මරමස්ථාන වල බලය අත්පත් කරගනිමින් පවතී.

    කොළඹ අවට පොලිසි බොහොමයක් පාලනය වන්නේ ඔවුන් අතිනි.

    ජනපති, අගමැති නිල නිවාස කාර්යාල සන්නද්ධ අංශය සතුය. පාර්ලි‌‌මේන්තුවේ අවට බලයත් සංවිධානය තහවුරුය.අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ විමුක්ති ගීත ජනපති මැදුරේ වාදනය වේ.

    ජනතාව මෙම ස්ථාන නැරඹීමට පැමිණේ. පැමිණෙන සියලු දෙනා හට පෙරටුගාමී පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල පහදා දෙනු ලැබේ.

    හමුදා, පොලිසි වල අයට මෙම ස්ථාන සදහා පිවිසීමට හැකි අතර, අවි ආයුධ බිම තබා ඇතුල් විය යුතුය.

    අනෙකුත් හමුදාව, පොලිසිය කඳවුරු වල ගාල්කර ඇත.

    බොහෝ නගර වලද පරිපාලනය අත්පත් කරගෙන ඇත. ජනතාවද මෙයට සහය දක්වයි.

    අගමැති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස අරගලකරුවන් විසින් ගිනි තබා ඇත. ජනපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික නිවසේ පරිපාලනයද සංවිධානය විසින් අත්පත් කර ගැනීමට නියමිතය.

    මාධ්‍ය ආයතන බොහොමයක් සංවිධානයට සහය දක්වයි. සංවිධානයට විරුද්ධ වේයැයි සිතන මාධ්‍ය බිය ගන්වා ඇත.

    ReplyDelete
    Replies
    1. මොන රටේද මේ? පෙරටුගාමී සමාජවාදී පක්ෂය පොඩි එකක් නේද?

      Delete
    2. සිහින දැකීමේ නිදහසත් මානව අයිතිවාසිකමක්නේ!

      Delete
    3. අජිත්,

      මුල් ඇනෝ කොමෙන්ට් එකේ සදහන් කරුණු වල සැලකිය යුතු සත්‍යතාවයක් තියෙනවා.

      රාජ්‍ය නායකයාගේ නිල නිවස, කාර්යාල පාලනය පෙරටුගාමී පක්ෂය සතුයි. විමුක්ති ගීත වාදනය වෙනවා. ආයුධ රහිතව ආරක්ෂක අංශ ඇවිත් නිවස, කාර්යාල බලා කියා ගන්නවා.

      9 වෙනිදා උදේ වරුවෙදීම අන්තරය සමත් උනා පොලිසි මෙහෙය වීම සිදු කරගන්න. ආරක්ෂක අංශ වල වාහනත් භාවිතා කලේ අන්තරය.

      දැන් උනත් අනෙකුත්දේ පක්ෂ වල ශපාලන නායකයන් එලියට එන්නේ නැහැ. පාර්ලිමේන්තු ගොඩනැගිලි සංකීර්ණයත් අත්පත් කර ගැනීමට නියමිතයි.

      ජනපති, අගමැති පලවා හැරීමෙන් පසු අනෙකුත් පක්ෂ වලට ඕනා එපා හැටියට ආණ්ඩුවක්‌ හදන්න දෙන්නේ නැහැ කියලා කුමාර් මහත්තයා සදහන් කලා

      ජුලි 9 වෙනිදා දහවල් සිට රටේ පාලනය සතු පෙරටුගාමී පක්ෂය සතුවයි.

      Delete
    4. @ 16.20/ 2.24 & Ajith D,

      අරාජික රටක යම් තරමක මහජන සහායක් සහිත මනා විනයකින් යුතු හොඳින් සංවිධානය වූ කුඩා කණ්ඩාමක බලය ගැන දැනගැනීමට ඇත්තෙන්ම මහා ඔක්තොම්බර් සමාජවාදී විප්ලවය (රුසියානු බසින් Вели́кая Октя́брьская социалисти́ческая револю́ция) 1917 වසරේ 10,000 රතු නාවිකයෝ සමග 20,000-30,000 රෙඩ් ගාඩ් සොල්දාදුවෝ දැවැන්ත රුසියානු අධිරාජ්‍ය හමුදා පරදා බොල්ෂෙවික් ජයග්‍රහණය සමග සෝවියට් රුසියාව බිහිවීම, රුසියානු අන්තර්වාර රජය, රුසියානු ජනරජය සහ ද්විත්ව බලය කෙළවර වීම, රුසියානු සිවිල් යුද්ධය ඇරඹීම ගැන සොයා බලන්න, මේ සරල උදාහරනයක් පමනයි.

      1959 කියුබානු විප්ලවය ගැන අධ්‍යනය කර බලන්න, ජූලි 26 ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නේ 160 දෙනෙක් විතරයි, ඊට පස්සේ මෙක්සිකෝවෙන් ඇවිත් නැවත සංවිධානය වූ විප්ලවාදීන් මැඩීමට 1958 වසරේ ජූනි මාසයේදී සියේරා මැඑස්ට්තරා ආක්‍රමණය කිරීමට සැරසෙන බතීස්තා, ගරිල්ලන් 300 ක පමණ ඉතාමත් කුඩා පිරිසක් නැසීම සඳහා 12,000 ක විශාල භට කණ්ඩායමක් ප්‍රදේශය වෙත පිටත් කර එවනවා. මෙම මෙහෙයුම යටතේ ලා ප්ලාතා සටන (Battle of La Plata) හා ලාස් මෙසියිඩිස් (Battle of Las Mercedes) යන සටන් දෙපිරිස අතර ඇවිලී යනවා. එහිදී එර්නෙස්තෝ චේ ගුවේරාගේ නායකත්වයෙන් යුතු ගරිල්ලා කණ්ඩායම් මුල් වරට කියුබානු හමුදාවට රැක සිට ගරිල්ලා ප්‍රහාර (Guerilla Ambush) එල්ල කරන අතර අගෝස්තු මාසයේ සටන අවසන් වන විට කියුබානු හමුදා භටයන් 240ක් පමණ ගරිල්ලන්ගේ සිරකරුවන් බවට පත්වෙනවා සේම බොහෝ යුධ අවි ප්‍රමාණයක් ගරිල්ලන් අතට පත්වෙනවා. සැන්ත ක්ලාරා නගරය ආසන්නයේදී ගරිල්ල්ලන් විසින් සිදු කළ යගුජෙයි (‍යගුඅජය්) මෙහෙයුමෙන් බතීස්තාගේ හමුදාවට අන්ත පරාජයක් හිමිවෙනවා. කැමිලෝ නම් ගරිල්ලා නායකයා (Camilo Cenfuegos) මෙම සටනට අණ දුන් අතර 1958 වසරේ දෙසැම්බර් මස පැවති මෙහෙයුමෙන් ගරිල්ලා භටයන් ජයග්‍රහණය​ කරනවා. මේ වන විට බැටිස්ටා තම ජනාධිපති ධුරයෙන් ඉවත් වී රටේ පාලනය හමුදා ප්‍රධානී ජෙනරල් යූලජියෝ කන්ලෝ (Gen. Eulegio Cantillo) ට පවරා ඩොමිනිකන් ජනරජය බලා පළාගොස් තිබූ අතර ගුවේරාගේ ප්‍රථම ගරිල්ලා කණ්ඩායම ජනවාරි 3 වනදා හවානා නගරයට ඇතුල් වෙනවා.

      හවානාවේ බතීස්තා පළාගොස් සිටි අතර පිදෙල් ඇතුළු විප්ලව වාදීන් 9,000 ක් පමණ ජනවාරි 7 වන දා රථ පෙළපාලියකින් හවානා නගරයට ඇතුල් වන්නේ කිසිදු සටනකින් තොරවයි. පසුව ඉතාමත් සාධාරන පාරදෘශ්‍ය මහජන සහාය සහිතව පැවැත්වූ අධිකරණ ක්‍රියාවලියකින් පසු බතීස්තා හිතවාදී දූෂිතයින් බොහෝ දෙනෙකුට (දළ වශයෙන් 25,000 ක් පමණ) මරණ දඬුවම හිමිවෙන අතර ෆිදෙල් කියුබානු අගමැතිවරයා බවට පත්වෙනවා. (ෆිදෙල් හා ඇමරිකා US අතර මේ වන තුරු විශාල ඝට්ටනයක් නොතිබූ අතර 1961 වසරේ ජනවාරි මාසයේදී ඇමරිකානුවන්ට අයත් කියුබාවේ සියළුම ඉඩම් හා ව්‍යාපාර ජනසතු කිරීම තුළින් ඇමරිකාව, කියුබාව සමඟ සියළුම රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා නවත්වනු ලබනවා. ඉන් පසුව ඇරඹෙන්නේ ඇමරිකානු - කියුබානු විරසකයයි.).

      Delete


    5. ඒ වගේම ලන්කාවේ ජනතා විමුක්ති පෙරමුණේ කියන දේශපාලන පක්ෂයේම කොටසක් තමයි පෙරටුගාමී පක්ෂය විදිහට කැඩිලා ගියේ මතවාදී ප්‍රශ්නයක් හා සංවිධාන ප්‍රශ්නයක් එක්ක. මතවාදී සහ සංවිධාන ගැටුමක් එක්ක පක්ෂයෙන් ඉවත් වෙච්ච කණ්ඩායමකට ආයිත් එකතු වෙන්න නම් ඒ මතවාදය පිළිගන්න ඕනේ. මතවාදය පිළිගන්නවා නම්, සංවිධාන යාන්ත්‍රණය පිළිගන්නවා නම්, ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති මාලාව පිළිගන්නවා නම්, ඒකට එකඟ නම් විවෘතභාවය තියෙනවා. පෙරටුගාමීන් පෙන්වා දෙන්නේ, මධ්‍යගත නිලධාරී සංවිධාන ව්‍යුහය පක්ෂයේ විප්ලවවාදී භාවිතයන්ට මුළුමනින්ම හානිකර වූ බව 2010 වසරේ පැවති අභ්‍යන්තර සමුළුවේ දී සහයෝගීතාවය සහ වාර්ගික දේශපාලනය පිටුදැකිය යුතු බවට පක්‍ෂයේ බහුතරය තීරණයකට පැමිණියත්, ව්‍යවස්ථාමය හා සංවිධානාත්මක අර්බුදයක් දක්වා පිරිහීගිය පක්‍ෂයේ වැඩපිළිවෙල සකස් කිරීමේ දී එම බහුතර තීන්දුව පක්‍ෂයේ නිලධාරි නායකයින් ගණන් නොගත් බව පෙරටුගාමීන්ගේ අදහස.

      පෙරටුගාමී පක්ෂය චෝදනාකර සිටියේ පක්‍ෂය දෙකඩවීමට ප්‍රධානතම හේතුව වූයේ මෙම කුමන්ත්‍රණය බව, ඊට අමතරව සුළු ධනේශ්වර දේශපාලන ස්වභාවය, ප්‍රජාතන්ත‍්‍රවාදී මධ්‍යගතවාදය ක්‍රියාවට නැංවීමට අපොහොසත්වීම වැනි උරුම වූ සංස්කෘතික පසුගාමීත්වය ජනතා විමුක්ති පෙරමුණේ බිඳවැටීමට හේතු බවත්, පක්‍ෂය ඛණ්ඩනය වීම නිසා බහුතර පිරිසකට ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන් වී පසුපසට යෑමට සිදුවූ බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය එහි ප්‍රතිඵලයක් වශයෙන්, හුදෙක් නාමපුවරුවකට පමණක් සීමා වූ "ජවිපෙ" යන නාමය ඉවත දමා වාම ව්‍යාපාරය ආරක්ෂා කිරීමට බොල්ෂෙවික් පක්ෂයේ බහුතර සාමාජිකයින් ලෙස තමන් තීරණය කළ බව ඔවුන් පවසයි.

      සෑහෙන බහුතර ඡන්දෙන් දිනලා ඇවිත් විරුද්ධ පාක්ෂිකයන් පිරිසකගේ උද්ඝෝෂණයක් මැඩ පවත්නන බැරි ජනපති කෙනෙක් මොටද…? බැසිල් කිව්වා වගේ ඇමෙරිකාවෙ සැදෑ සමය ගෙවන එක මිනිහට වටිනවා ලංකාවෙ රු 50,000 හෙ ජනාදිපති පෙන්ශන් එකට වඩා.. බොලාට වඩා මිනිහට මොලේ තියෙනවා.. ජනාධිපති ඉල්ලා අස්වීමේ බල හුවමාරුව සිදුවෙන්න වත්මන් ජනපති, පත්වන්න යන වැඩබලන ජනපති, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් සහ කතානායක යන 4 දෙනාම එක මේසයකට එන්න ඕන, 2022.07.13 මෙය වෙයිද?

      පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් යෝජනා කර ඇත්තේ මෙම අවස්ථාවේදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකට අගමැති ධුරය භාරදිය යුතු බවයි. එහෙත් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු ප්‍රකාශ කර ඇත්තේ පවතින තත්ත්වය මත විපක්ෂයට යාම සුදුසු බවයි.

      අර්බුදයට මුල ජනාධිපති නම් ඔහු අස්වීමෙන් ප්‍රශ්න විසදේවි. ප්‍රශ්නවලට මුල ජනාධිපති නොවේනම් ප්‍රශ්න මීටත් වඩා සෑහෙන වැඩි වේවි…. ඕක තමයි සරලම කන්ක්ලූෂන් එක..

      ඒ වගේම ලංකාවේ අද තත්ත්වයත් 1988 ප්‍රෙමේ බාරගත්ත වෙලාවේ තිබ්බා වගේම "දෙකොණ පත්තුවූ විලක්කුවක්" තමයි. ලබන සතියේ ජනපති අගමැති සහ ඇමතිවරු විදියට සහ වෙනත් තනතුරු වලටත් ඉන්න උන් ගිහින් වෙනත් කවුරු හරි පත්වේවි. ඒත්, පත්වෙන කෙනාටත් "වැල යන පැත්තට මැස්ස ගහන එක" කරන්න වෙන නිසා මම හිතන්නේ ලංකාවේ නම් ඔය කියන තරමට වෙනසක් වෙන එකක් නෑ.

      අනෙක් කරුණ තමයි අපි තදින්ම තේරුම් හත යුතුයි මේකට 100% දේසපාලුවොංගෙම වැරැද්දම නෙමෙයි. රටක්/ සමාජයක් විදිහට, පොදු ජනතාව කියන්නේ "රජයෙන් නොමිලේ සෞඛ්ය, නොමිලේ අධ්‍යාපනේ, නොමිලේ උපාධිය ඊළඟට ආණ්ඩුවෙන් රස්සා/ සමුර්ද්ධි දීමනා දීපියව් යකෝ, තව ඊට අමතරව අපිට ණය වෙලා හරි හැමදේම ගෙනත් දීපල්ලා" කියලා නෙමේද? නොදුන්නොත්, ආඞි හත්දෙනාගෙ කැඳහැලි ක්‍රමවේදයට අනිත් උන්ට බණිනවා.

      ඵුගිය ආණ්ඩුව 2015-17 කාලේ පඩි වැඩිකරලා රජයේ රස්සා දීල බදු අඩු කරලා සමුර්ද්ධිය වැඩි කරලා 2018 වැඩේ අවුල් වේගෙන එනකොට 2018 ආපහු බදු වැඩි කරලා සහනාධාර කප්පාදු කරන්න හදනකොට "මේ සමාජෙ මකවලා තමයි හදන්න ඕනෙ" සංකල්ප අනුව සෝ කෝල්ඩ් "හිට්ලර්ව" ගෙනාවෙ ඕකට නේද? දැන් අන්තිමට කට්ටියගෙන් මැකෙන්න යන්නෙ හිට්ලර් පාටයි.

      ලංකාවේ මේ තුප්පහි විශම චක්‍රයෙන් ගොඩ යෑමක් ගැන හිතන්න අමාරුයි. "ණය වෙලා හරි රජයෙන්ම අපිට සියලුම දේ දෙන්න ඕනෙ", ඒ නිසා සුපුරුදු පරිදිම "එදාවේල ටුවර්ස්" දුවාවි නේද?

      Delete
    6. //රාජ්‍ය නායකයාගේ නිල නිවස, කාර්යාල පාලනය පෙරටුගාමී පක්ෂය සතුයි. // මේක හරි. ඒක ඇත්ත. නිපක්ෂික අරගලකරුවන් එක්ක භාගෙට භාගේ වගේ පස්ප කොන්ට්‍රෝල් අන්තරයෙන් තමා ගෙනියන්නේ

      Delete
    7. ඇනෝ Anonymous11 July 2022 at 07:10, මගේ ගාමන්ට් කෙල්ලන්ගේ විප්ලවය ලිපියත් ඔය එක්කම කියවන්න. https://kolambagamaya.blogspot.com/2021/03/blog-post.html

      Delete
    8. Anonymous11 July 2022 at 07:10 - ඇනෝ බෝලේ උඩ දාල දුන්නම් ඩෑෂ් පාර ගැහැව්ව එකට සතුටුයි. මම කුමාර් ගුණරත්නම් ව දන්නවා. ඒ මහත්මය මාත් සමග කතා කරලා මගේ ගෙදරත් ඇවිත් තිබෙනවා. මට දැන ගන්නට ඕන වුනා ඔහු උතුරු කොරියානු මොඩල් එකක් අනුමත කරනවද කියල. එදා කතා කරපු දේ ගැන ලියන්න කියන්න එපා කියපු නිසා අද වෙනතුරු ඒ ගැන කියල නැහැ. ඔය මම ලින්ක් එක්ක යටින් දැම්මේ. 2016 ලියපු ලිපියක්.ඒකෙ කුමාර් ගැන ලියා තිබෙනවා.

      Delete
    9. 'Ajith Dharma.10 July 2022 at 18:18

      මොන රටේද මේ? පෙරටුගාමී සමාජවාදී පක්ෂය පොඩි එකක් නේද?'

      පහත වීඩියෝව බලලා අදහස් දක්වන මෙන් ඔබගෙන් ඉල්ලා සිටිනවා අජිත්. (මුල්ම කොමෙන්ටුව දැමු ඇනෝ)

      කුමාර් සහෝදරයාගේ කතාව

      Delete
    10. ඇනෝ , පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියන්නේ මොකක්ද කියල මම හොඳට දන්නවා, ආපු දවස් වල දීප්තිගේ පක්ෂයේ නම ගත්තට එකටත් මම ලිව්වා.
      මම ඕක ලිව්වේ මෙන්න මේ කතාව නිසා පොඩ්ඩක් උපහාසාත්මකව. (අපහාසයට නෙමේ. ඔන්න මාව පොල්පොට් ලෙවල් එකට දඬු කඳේ ගහන්න එපා)

      //පෙරටුගාමී පක්ෂයේ සන්නද්ධ කාඩර්වරුන් මේ වන විට ශ්‍රී ලංකාවේ මරමස්ථාන වල බලය අත්පත් කරගනිමින් පවතී.

      කොළඹ අවට පොලිසි බොහොමයක් පාලනය වන්නේ ඔවුන් අතිනි.

      ජනපති, අගමැති නිල නිවාස කාර්යාල සන්නද්ධ අංශය සතුය. පාර්ලි‌‌මේන්තුවේ අවට බලයත් සංවිධානය තහවුරුය.අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ විමුක්ති ගීත ජනපති මැදුරේ වාදනය වේ//

      මේ ටික තවම නම් වෙන්නේ නැහැ. හෙට අනිද්දට වෙන්න ඉඩ තියනවා හැබැයි. 😉

      Delete
    11. අජිත්, ඔබ කුමාර් සහෝදරයාගේ වීඩියෝව බැලුවද?

      'මේ ටික තවම නම් වෙන්නේ නැහැ. හෙට අනිද්දට වෙන්න ඉඩ තියනවා හැබැයි. 😉'

      මේ ටික දැනටම වෙලා තියෙන්නේ.

      'පෙරටුගාමී පක්ෂයේ කාඩර්වරුන් මේ වන විට ශ්‍රී ලංකාවේ මරමස්ථාන වල බලය අත්පත් කරගනිමින් පවතී.

      ජනපති නිල නිවාස, කාර්යාල ඔවුන් සතුය. පාර්ලි‌‌මේන්තුවේ අවට බලයත් සංවිධානය තහවුරුය.අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ විමුක්ති ගීත ජනපති මැදුරේ වාදනය වේ'

      Delete
    12. ඔය කතාව ඇත්තනං, සමහරවිට හොඳක් වෙයි. කොහොමත් මේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පාලන පද්ධතිය මුළුමණින්ම අලුතින් ලියන්න උවමනයි.

      Delete
    13. අලුත් දේශපාලන සංස්කෘතියක් ලංකාවට ඕනේ. පෙරටුගාමීන් කොටසක් අල්ලාගෙන ඉන්නේ,අ රැලිය ගහ මන්දිරේ හෙම. . හැම තැනම නෙමේ. ජවිපෙ වසන්ත සමරසිංහ, මංජුල සමරසේකර, ක්‍රිස් ටෙලන් සියඹලාපිටිය හෙම ජනාධිපති මන්දිරේ. බ්ලොග් ලියපු චමල් පොල්වත්ත ගේ ල , ජීවන්ත ල ජනාධ්පති ලේකම් කාර්යාලයේ බලය අල්ල ගෙන ඉන්නේ , එතැන් තව කසුන් පුස්සවෙල ආදීනුත් ඉන්නව. පෙරටුගමින් හැමතැනම අල්ලාගෙන නැහැ

      Delete
  2. හමුදාවේ යයි සැක කළ හැකි පිරිසක් නිවසක පොත් ඉවත් කරන වීඩියෝ එකක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා. සත්‍යතාව තහවුරු කළ නොහැකියි. කෙසේ වුවත් ජනපති මන්දිරය තුළ පවා පිරිස් හැසිරෙන ආකාරය හරිම ප්‍රාථමිකයි. මේ ලිපියට ස්තුතියි. මාත් අහල තිබුනේ සාර් රජ පවුලේ බල්ලා පවා මැරුව කියලයි.

    ReplyDelete
    Replies
    1. මමත් දැක්කා ඒක. ඒ රනිල්ගේ නිවසමද කියන්න මම දන්නේ නැහැ. ඔතන කුමන්ත්‍රණයක් වෙන්නත් පුළුවන්. ශෙවාන් ඩැනියෙල් කට්ටියක් යැව්වද කවුද දන්නේ , සිරසේ ජන මාධ්‍ය වේදීන්ට පහර දුන්නම. එයාගේ තාත්තා රනිල් එක්ක අවුල් නේ හොඳටම.

      Delete
    2. ඒයාගේ තාත්තා කවුද? සර්ච් කරාට නම සොයාගන්න බෑ

      Delete
    3. ශෙවාන් ගේ තාත්තා තමයි මහාරාජා එකේ එක හිටපු මැජෝරිටි ෂෙයාර් හෝල්ඩර් කෙනෙක්. කිලි මහාරාජා. රනිල් ගෙන් ඉල්ලුව යුඇන්පී නොමිනේෂන්. දුන්නේ නැහැ. ඒකට ලොකු වෛරයක් තිබ්බ. යුඇන්පී ආණ්ඩු හැදුව , කැඩුව කම්පැනි එකක් තමයි..

      Delete
    4. මම හිතන් හිටියේ කිලි තාත්ත කියල. මොකද උන් දෙන්න හෙන close. මේක දැක්ක ඔයා ඇහුවට පස්සේ: He has consistently attributed his success to his mentor, R. Rajamahendran, the chairman/managing director of The Maharaja Organization. https://en.wikipedia.org/wiki/Chevaan_Daniel

      Delete
    5. රනිලය නොමිනේෂන් දුනෙන් නැත්තේ මෙයාට. - https://en.wikipedia.org/wiki/R._Rajamahendran

      Delete
  3. අජිත් මහත්තයෝ, අරගලයට සහාය දුන් හැමෝම එක වගේ උගත්, බුද්ධිමත් අය නෙවෙයිනේ. එහෙම අයගේ ආකල්ප වෙනස්... දැනුම් හා පුරුෂාර්ථ වෙනස් නෙව, Litseeker කියලා තියෙනවා වගේ ප්‍රාථමික හැසිරීම් දැකල මටත් දුක හිතුනා, ඇත්තම කිව්වොත්.
    ඒ වුණත් එහෙම අය ඉන්න අතරෙත් ඉක්මනින්ම සුදුසු දේ කෙරෙන්නට පටන් ගත්තා නේද?
    නිකමට බලන්නකෝ, එක්කෝටි හැත්තෑඅට ලක්ෂයක 5,000/- නෝට්ටු පරෙස්සමට අසුරා බාරදීම- මේවා අපේ සල්ලි, රටේ දේපල- විනාශ කරන්න එපා කියමින් දැන්වීම් සවි කිරීම වගේ දේවල් කොච්චර සාධනීයද කියලත්!

    ReplyDelete
    Replies
    1. ඔව් ඕව. මේක මේ අරගලයට කරන විවෙච්නයක්ම නෙමයි. ගේ ගිනි තිබ්බේ කවුද කියල අපි තවම දන්නේ නැහැනේ. ඉදිරියට එන තත්වයන්ටත් අනුව තම ලිව්වේ.

      Delete
  4. https://www.smithsonianmag.com/history/brief-history-book-burning-printing-press-internet-archives-180964697/

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස්: //The unifying factor between all types of purposeful book-burners in the 20th century, Knuth says, is that the perpetrators feel like victims, even if they’re the ones in power. Perhaps the most infamous book burnings were those staged by Adolf Hitler and the Nazis, who regularly employed language framing themselves as the victims of Jews. Similarly, when Mao Zedong took power in China and implemented the Cultural Revolution, any book that didn’t conform to party propaganda, like those promoting capitalism or other dangerous ideas, were destroyed. More recently, the Jaffna Public Library of Sri Lanka—home to nearly 100,000 rare books of Tamil history and literature—was burned by Sinhalese Buddhists. The Sinhalese felt their Buddhist beliefs were under threat by the Hinduism of Tamils, even though they outnumbered the Tamils.

      Delete
  5. මේවට හොට දාන්න බයයි අපෙ හාංදුරුනේ.
    සුරුස්......

    ReplyDelete
    Replies
    1. මට පරණ, ඇත්ත කතාවක් මතක් වුනා, කලින් ඒකත් කියන්නම්. තමන්ගෙ දේශපාලන විස්වාස වලට විරුද්ධ මත Foundation වදින මිසයිල වගෙයි. Foundation දෙදරන කොට අපිට කේන්ති යනවා.

      ඉස්සර අපේ ගම් පැත්තෙ, බස් නැවතුම්පලකදී දෙන්නෙක් අතර දේශපාලන විවාදයක් ඇති වෙලා. එකෙක් පැරදීගෙන එනකොට, පැන්න ගමන් හැපුවලු අනිකගෙ ඇඟිල්ල.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඇනෝ කතාව ඇත්ත. මිනිස්සු බැන ගෙන ආවා මේවා ලියුවහම. ජවිපෙ සහ පෙසප අය වැඩිය ගණන් ගත්තේ නැහැ . ලංකාවේ චීන වම තමා වැඩියෙන්ම කෑ ගහන්නේ. මොකද ඔය කට්ටියදන්නවා උඩ ප්‍රදීප් දැම්ම වගේ මාඕ පොත් ගිනි තියපු වග.😄

      Delete
  6. නොගැලපෙන උත්තරය ඉවත් කරන්න

    (A) කොළඹ ගමයා
    (B) ලෝටස් අජ්ජා
    (C) ලන්ඩන් අජිත්
    (D) අගලවත්තේ අජිත්

    ReplyDelete
    Replies
    1. අගලවත්තේ අජිත් කවුද බං

      Delete
    2. ඔය අර මතුගම හද්ද ඩොටේ ඉන්න අජිත් පී ජයසිංහ කියන පොරනේ. අජිත් පැරකුම්ද කොහෙද කියලත් කියනවා.

      හෙන දුප්පත් පවුලක කෙනෙක

      Delete
  7. 2016 ලිව ලිපියක්. ගෝටා හෝ මා හෝ ගංගා හෝ - https://kolambagamaya.blogspot.com/2016/12/blog-post_9.html

    ReplyDelete
  8. /මිනිසුන් පොත පත කියවිය යුත්තේ ඇයි/ - හොදන්ට පොත් කියෙව්ව අන්තවාදියොත් මට හම්බුවෙලා තියෙනව ඇතිතරම්..
    මොන දේ උනත් විනාස කිරීම හෙලා දකිනවා. එත් ඔය බෞතික දේවල් විනාස උනත් කමක් නෑ මනුස්සයෝ ඉතුරු වෙලා... මිනිස්කමින්. පහුව ඕනෑම දෙයක් ගොඩ ගත හැකි නෙව

    ReplyDelete
    Replies
    1. ඔව් , ඔව් , රනිල්ලව අවශ්‍යනම් නිතිය ඉදිරියට ගෙන්න පුළුවන්නේ. /හොදන්ට පොත් කියෙව්ව අන්තවාදියොත්// - හිට්ලර් , පොල්පොට්

      Delete
  9. මගීන් පිරිච්ච ගුවන් යානයක් පයිලට්ලාගෙ වරදින් වේගයෙන් කඩාගෙන වැටෙනවා. මගීන් එකතුවෙලා පයිලට්ලා දෙන්නටම පුකට පයින් ගහලා cockpit එකෙන් එලවල දානවා.

    දැන් යානය pilot ලා නැතුව වේගෙන් පහලට යනවා. ලොකු කාලෙකුත් නෑ. මගීන් දැන් හොයනවා එතන ඉන්න උන්ගෙන් කාටද ප්ලෙන් එකක් පදින්න පුලුවන් කියල. උන්ට කවුරුහරි කමක් නෑ පදින්න පුලුවන් නම් එච්චරයි. ඕන පරිස්සමට ලෑන්ඩ් කරන්න විතරයි..

    එතන ඉන්න යමක් කමක් තේරෙන උන් කියනවා ප්ලේන් පදින්න ටිකක් හරි දන්න උන් සේරම එකතුවෙලා ලෑන්ඩ් කරගන්නකල් මේක පාලනේ කරගනිල්ලා කියල.

    ඔය අස්සෙ කට්ටියක් කියනව කලින් ප්ලේන් එලවලා නැති වුනාට අපේ අයියට තමා හොඳටම ප්ලේන් එලවන්ඩ පුලුවන් හැබැයි එයාට ප්‍රධාන ගුවන් නියමුවා වෙන්න ඕනය ඒක ලැබෙන් නැත්තං අයියා cockpit එකට එන්නෙ නෑය, පිටිපස්සේ සීට් එහෙක ඉඳන් සහය දෙනවාය කියල. (උගෙ අම්මගෙ සහයක් ඒක)

    තව උන් කියනවා මගීන්ගෙන් ඡන්දයක් තියලා බලමු කියලත්

    ඒ අස්සෙ තව සෙට්ටෙකක් කියනවා අපේ පුතාටත් පුලුවන් මේක පදින්න, පුතාටත් ප්‍රධාන ගුවන් නියමු තනතුර ඕනය කියලා. උන් එහෙම කියන අස්සේ ඒ පුතා පපුව රිදෙනවා කියල බුදියගන්ඩ ගියා.

    ඔය අතරේ හිටපු පයිලට්ලා දෙන්නට කෙලලා එලියට ඇදල දාපු හන්දියේ වීල් පාක් එකේ වීල් එකක් දුවන රැවුල වවාගත් මල්ලි කෙනෙක් කියනවා උන් එක්ක ඒ බබාහුකුං බෑය, උන් කියන විදියට මේක එලවන්ඩෝනය නැත්තං එකෙකුට පයිලට් සීට් එකේ ඉඳගන්ඩ දෙන්නෑය කියලා.

    ඔය කතා අස්සෙ තව සෙට් එකක් වෙනම කුටු කුටු ගගා කලු මහත එහෙට්ටත් නැති මෙහෙට්ටත් නැති පතෝල වගේ කොටෙක්ව පයිලට් කරන්ඩ ලෑස්තිය. ඒකා පයිලට් කිටකුත් මහලා කියලා ආරංචිය.

    Control tower එකෙන් කියනවා පුලුවන් උන් ටිකක් එකතුවෙලා ඉක්මන්ට යානය අතට ගන්නය, බිමට බාන හැටි උන් උපදෙස් දෙන්නම්ය කියල

    අන්දුන් කුන්දුන් වෙච්චි මගීන් දැන් දෙයියෝ බුදුන් සිහිකරන්

    ReplyDelete
  10. මේ අරගලය කියන්නෙ හරිම ඉන්ටරෙස්ටින් දෙයක්. ඒකෙ ප්‍රතිවිරුද්ධ අන්තයේ රැදීම තමයි වැඩියෙන්ම වටින්නෙ. බහුතරයක් පෙනී ඉන්න අරගලයක ඒ සමූහය විසින් රංචුව විසින් අර තනි තනි පුද්ගලයන් මෙතෙක් දරා සිටි වටිනාකම් මොහොතින් අහෝසි කරනවා. මෙච්චර කාලයක් යුධ විරෝදී පෙරමුනුවල හිටපු අය එකපාරට ගෙවල් ගිනිතැබීම් සාධාරනීකරණය කරනවා. පහරදීම්වලට හුරේ දානවා.

    අරගලයෙන් සිද්ද වෙන ආන්ඩු මාරුවලට වඩා මට වැදගත් වෙන්නෙ මං අරගලය ඇතුලෙ යාලුවන්ගෙ දැකපු මූනු මාරුවීම්. මං කිසි දවසක විශ්වාස නොකරපු තරමෙ භයානක මිනිස්සු මෙතෙක් කල් ප්‍රගතිශීලී සංස්කෘතික කතිකාවල ඉදිරියෙන් වැජඹුනු උන්ම වග දැක්කා.

    මේ අරගලය ඇතුලෙ මතුවෙන සමහර කාරණා සාකච්ඡාවට ගැනීම වටිනවා. රනිල්ගෙ ගේ ගිනිගත්තම ගොඩක් මොළයක් ඇතැයි කියල හිතන අය පවා, ඇයි අර පාර‍ෙ මැරෙන මිනිස්සු මිනිස්සු නෙමෙයිද? ඒ අයගෙ පොත්වලට වටිනකමක් නැද්ද? වගේ ඉතාම පිටිසර කතා කියන්න ගත්තා.

    රනිල්ගෙ ගෙදරට ගිනි තැබීමයි මගේ ගෙදරට ගිනි තැබීමයි කියන්නෙ දෙකක්. මාව මරලා දාන එකයි ප්‍රභාකරන් මරලා ‍දාන එකයි කියන්නෙ දෙකක්. රටේ දේශපාලන ඉතිහාසය ඇතුලෙ රනිල් වික්‍රමසිංහ කියන්නෙ මිනිහෙක් විතරක් නෙමෙයි ප්‍රතිරූපයක්. ලංකාවෙ ලිබරල් දේශපාලන කඳවුරේ අවසානය තමයි ඒ මනුස්ස ශරීරය විසින් දරන්නෙ. රනිල් කියන්නෙ ලංකාවෙ සංකේතීය උරුමයක්. මගේ දතක් වගේ නෙමෙයි බුදුන්ගෙ දතක් කියන්නෙ. ඒක ක්‍රිස්තියානිකාරයෙකුට වුනත් සංකේතීය වටිනකමක් තියෙන දතක්.

    ඒක රනිල්ට විතරක් නෙමෙයි, සජිත්ට පාඨලීට අනුරට වුනත් පොදුයි. ඒ මිනිස්සු සාමූහික දේශපාලන අදහසක, සංකල්පයක නියෝජන. ඒ අය පුද්ගලයො විදිහට අපිට වැඩක් නෑ. මේ සංසන්දන පිටිපස්සෙ තියෙන්නෙ ගෝත්‍රවාදය විසින් අහිමි කරපු වටිනාකම්. සංකල්පීය සිතීම එහෙම්පිටින්ම අහෝසියි.

    තව පෝස්ට් එකක් ලියලා තිබුන රනිල්ගෙ පොත් ඔච්චර වටිනවා නම් තනියම තියන් ඉන්නෙ නැතුව ජනසතු කරන්න තිබුන කියල. ‍මට අදහාගන්න බෑ මේ පිරිහීම. කලෙක්ෂන් එකක තියෙන වටිනාකම තේ‍රුම්ගන්න බැරි අයද දේශපාලනය කරන්නෙ? රනිල්ට විතරක් නෙමෙයි ලෙනින්ටත් තිබුන පුද්ගලික පුස්තකාලයක්. ඒ පොත්වල වටිනාකම තියෙන්නෙ ඒ මනුස්සයා එක්ක බැඳිලා. එයාගෙ රසය, එයාගෙ සංකල්ප එක්කයි එයාගෙ පුස්තකාලය නිර්මාණය වෙන්නෙ.

    ඒ මනුස්සයා මැරුන දවසක ඒ පුස්තකාලය පැවරීමේ වැදගත්කම අපිට ඒ මනස ඇතුලෙ චාරිකාවක් යන්න අවශ්‍ය දැනුම එතන තියෙන හින්ද. හැම කෙහෙල්මලක්ම ජනසතු කරන මනස තමයි අරගලයේ දුප්පත්කම. සියලු ‍සෞන්දර්යාත්මක, සංකල්පීය වටිනාකම් විනාශ කරන බලවේගයක් බවට ඒක පත්වෙනවා.

    ජනාධිපති මන්දිරේ අපි දකින්නෙ ඒකයි. ඒ තැනට තියෙන සංකල්පීය අගයයි මේ විනාශ කරන්නෙ. ඒක පිලිස්තීනු වැඩක්. ඕනෑම ගොඩනැගුනු සංකල්පීය අගයක් කියන්නෙ සාමූහිකත්වයක්, ඓතිහාසිකත්වයක්. ඒවා ගරු කරමින් තමයි අලුත් සංකල්පයන් ගොඩනැගෙන්න ඕන. ඒත් මේ සිද්ද වෙන්නෙ මුලු රටේම සංස්කෘතික වටිනාකම් ග්‍රාම්‍යත්වයට ඇද දැමීමේ ක්‍රියාවලියක්.

    ReplyDelete
  11. //අරගලයෙන් සිද්ද වෙන ආන්ඩු මාරුවලට වඩා මට වැදගත් වෙන්නෙ මං අරගලය ඇතුලෙ යාලුවන්ගෙ දැකපු මූනු මාරුවීම්. මං කිසි දවසක විශ්වාස නොකරපු තරමෙ භයානක මිනිස්සු මෙතෙක් කල් ප්‍රගතිශීලී සංස්කෘතික කතිකාවල ඉදිරියෙන් වැජඹුනු උන්ම වග දැක්කා.//මේක ඇත්ත. මටත් හෙනම අවුල් ඒකට.
    //මේ අරගලය ඇතුලෙ මතුවෙන සමහර කාරණා සාකච්ඡාවට ගැනීම වටිනවා. රනිල්ගෙ ගේ ගිනිගත්තම ගොඩක් මොළයක් ඇතැයි කියල හිතන අය පවා, ඇයි අර පාර‍ෙ මැරෙන මිනිස්සු මිනිස්සු නෙමෙයිද? ඒ අයගෙ පොත්වලට වටිනකමක් නැද්ද? වගේ ඉතාම පිටිසර කතා කියන්න ගත්තා.// මේකත් ඇත්ත. කිව්වට වැඩක් නැහැ මුන්ට. මට එකෙක් බැනගෙන ආවා යාපනේ පුස්තකාලේ ගැන කියල. මම කිව්ව්ව ඌ ඉපදිච්ඡ නැති කලෙත් මම ඒ පුස්තකාලේ ගැන ඇඬුව කියල.
    //ජනාධිපති මන්දිරේ අපි දකින්නෙ ඒකයි. ඒ තැනට තියෙන සංකල්පීය අගයයි මේ විනාශ කරන්නෙ. ඒක පිලිස්තීනු වැඩක්. ඕනෑම ගොඩනැගුනු සංකල්පීය අගයක් කියන්නෙ සාමූහිකත්වයක්, ඓතිහාසිකත්වයක්. ඒවා ගරු කරමින් තමයි අලුත් සංකල්පයන් ගොඩනැගෙන්න ඕන. ඒත් මේ සිද්ද වෙන්නෙ මුලු රටේම සංස්කෘතික වටිනාකම් ග්‍රාම්‍යත්වයට ඇද දැමීමේ ක්‍රියාවලියක්.// එකඟයි

    ReplyDelete
  12. අජිත් මාමෙ,
    අලුත් පරම්පරාව/ රටේ අනාගතයට පොත් අරහංය. tiktok, youtube නම් සෝක් ය. ඉතින් කොහොමෙයි මේවා කරන්නෙ🤔

    ReplyDelete
    Replies
    1. ටික්ටොක් කොහොම වෙතත් යුටියුබ් එකේ ඉගෙන ගන්න ඒවා ඕන තරම් තියනවා. පොත් ම වෙනෙන් ඕනේ නැහැ. පොත් වලින් මම අදහස් කරන්නේ දැනුම ලබා ගැනීම්

      Delete
  13. ගෝඨාභය රාජපක්ෂ සමඟ දින 969 ක්

    ගෝඨාභය රාජපක්ෂ දින 969 ක් ජනාධිපතිවරයා විය. අද අළුයම, රාජ්‍ය නායකයෙකුට තබා, සතා සිව්පාවෙකුටවත් හිමි නොවිය යුතු අවමන් විද රටින් පැනගත්තේය.

    රටම සාගතයකට දමා, පුරවැසියන් පෝලිම්වල මැරී වැටෙන රටක් බිහිකර, රාජ්‍ය යාන්ත්‍රණයට මිනිසුන්ගේ තිබූ ගෞරවය, පිළිගැනීම පමණක් නොව ගොඩනැගිලි, බඩු භාණ්ඩ පවා විනාශවන තැනට රට ඇඳ දමා ඔහු යන්නට ගියේය.

    තමන්ට දේශපාලනික, පරිපාලන, සතුටු සමාගමේ ද, උදව් උපකාර කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 77 ක් ඇතුළු බොහෝ දෙනාට තමන් හරි හම්බකරගෙන ජීවත් වූ ගේ දොර, යාන වාහන පවා අහිමි කරමින් ඔහු පැන ගියේය.

    රාජ්‍ය පරිපාලනයට විශ්‍රාමික හමුදා නායකයින් රිංගවා සෞඛ්‍ය, විදේශ සම්බන්ධතා, කෘෂිකර්මය, අධ්‍යාපනය, ප්‍රවාහන ඇතුළු සෑම කේෂ්ත්‍රයක්ම විනාශ කර යන්නට ගියේය.
    තම හිතවතුන්ට බදු, ව්‍යාපාරික සහන දෙමින් රටම ගජමිතුරු ජාවාරමක් කර, අශුචි නැවෙන් පවා වංචාකර ඔහු පැන ගියේය.

    රටේ නමක් දිනූ ව්‍යාපාරියකයින්, වෘත්තිකයින් ගේ ගෞරවය, ආත්ම විශ්වාසය, අභිමානය විශකර කර ඔහු සැඟව ගියේය.
    දේශීය වෙදකම, සංස්කෘතිය, ආගමික නායකයින්ට, සිද්ධස්ථානයන්ට තිබූ බැඳීම, ගෞරවය විනාශ කර ඔහු වාෂ්ප වූවේය.

    පරිසරය, ගහ කොළ, සතා සිව්පාවට පවා වින කරමින් රටම වැලි - පස් ජාවාරකම් කර, ලංකා ඉතිහාසයේ දැවැන්තම වන සංහාරයකට පාර කපා වැලි පවුරක් වු මාලදිවයිනට පැන ගියේය.

    යන්නට පෙර ‘ද ටර්මිනල්‘ චිත්‍රපටයේ ගුවන් මගියා, එක් ගොඩනැගිල්ලකින් අනෙක් ගොඩනැගිල්ලට යන සේ, ගුවත් තොටුපලෙන් තොටුපලට යමින් සියළු අපහාස අවමානයන් වින්දේය.

    කරේ තබාගෙන සිටි ඇමරිකාවට තබා ඉන්දියාවටවත් වීසා ලබාගත නොහැකිව අසරණ වූවේය.

    තමන් බලයට ගෙන ආ විමල්, ගම්මන්පිල, ඩලස්, පමණක් නොව දිලිත් ජයවීර වැන්වුන්ගේ ද කෝපය ඔහු දැවී ගියේය.
    ගෝඨාභය රාජපක්ෂ යනු සකලවිධ ව්‍යාජයන් එකට අඹරා තැනූ පල්ප් පිළිමයක් නැත්තම් පඹයෙකි. ඔහු ගල් පිළිමයක් වූ මහින්ද රාජපක්ෂට රටේ තිබූ ගෞරවය පමණක් නොව, අවමඟුලට එන මිනිසුන් ටිකත් නැති කළේය.

    දැන්, රට බංකොලොත්ය. දරුවන්ට අධ්‍යාපනයක්, රෝගීන්ට බෙහෙත්, වාහනයට ඉන්ධන, උයන්නට ගෑස් ටිකක්වත් නැත.
    ඇට දෙකක් විසි කළ විට පැලවී ගෙඩි හැදෙන රටක්, මිනිස්සුන්ට තබා සතා සිව්පාවාටවත් කන්නට නැති රටක් බවට පත් කිරීම ලේසි පහසු නැත.

    මේ සියළු ව්‍යසනයන් සිදු කිරීමට ගෝඨාභය රාජපක්ෂ ට ඒ සඳහා අවශ්‍ය වූවේ දින 969 කි.

    ඊලඟ පාලකයාට සතියකට හෝ රට බාරදීමට පෙර සිය වරක් සිතිය යුතු වන්නේ ද ඒ නිසාමය.

    -රසික -

    ReplyDelete
    Replies
    1. ඔව් , හොඳට හිතා මතා ගත යුතු තීරණ

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .