Tuesday, 25 August 2026

ප්‍රේමය, මානසික වියවුල සහ මනෝවිද්‍යාත්මක ඔඩිසිය



ක්‍රිස්ටෝෆර් නොලාන්ගේ "ද ඔඩිසි" (The Odyssey) සිනමා පටයේ එන බිහිසුණු සයික්ලොප්ස්ලා  වශීකරණ සයිරන්වරුන් සහ අනතුරුදායක මුහුද යනු මිනිස් මනසේ භෞතික ප්‍රකාශනයන් ලෙස හඳුනාගත හැකිය. මෙම දැවැන්ත සිනමා රූපණයට යටින් දිවෙන්නේ පැවැත්ම, මානසික ආඝාතය සහ අවසානයේ  සමගිවීම පිළිබඳ ගැඹුරු, මනෝවිද්‍යාත්මක ගවේෂණයකි. ඔඩිසියස්ගේ වසර දහයක ආපසු ගෙදර යන ගමන යනු කාලයට සහ රළ පහරට එරෙහි භෞතික  සටනක් පමණක් නොවේ. එය ශෝකය, වරදකාරිත්වය සහ පැවැත්ම පිළිබඳ ඇතිවන වෙහෙස හරහා අප මනසින් කරන අභ්‍යන්තර සටනක්ද  නිරූපණය කරයි. ඔහුගේ මාවතේ ඇති භයානක නැවතුම්, පූර්ණත්වය කරා යන ගමනේදී හමුවන විසිතුරු  මනෝවිද්‍යාත්මක උගුල් ලෙස ක්‍රියා කරයි. "නෙලුම් මල අනුභව කිරීම " මගින් හැඟීම් දැනීම් නැතිකර ගැනීමේ සහ තම අරමුණ අමතක කිරීමේ පරීක්ෂාව පෙන්වන අතර, සර්සි  සහ  කැලිප්සෝ මගින් එකම තැන පල්වීමේ සහ මායාකාරී සුවපහසුවෙහි ඇති ආකර්ෂණීය උගුල් නිරූපණය කරයි. අවසානයේ, එහා ලෝකයට (netherworld )  ගොඩ බැසීම  මගින් ඉදිරියට යාමට පෙර අතීත පසුතැවීම් සහ විසඳා නොගත් මානසික ආඝාතයන්ට මුහුණ දෙන ආකාරය පෙන්වයි. දැවැන්ත සිනමා දර්ශනවලට යටින්, ක්‍රිස්ටෝෆර් නොලාන් මෙම කථාපුවත තදින් සම්බන්ධ කරන්නේ මෙම දැඩි මානසික සහනය ලබාගැනීමේ ක්‍රියාවලියටයි. එමගින් ඔඩිසියස් සටන් කරන භෞතික රාක්ෂයන් යනු ආපසු ගෙදර යාමට ඔහු ජයගත යුතු අභ්‍යන්තර අර්බුදයන්හි නිරූපණයන් පමණක් බව සනාථ කරයි.

නොලාන්ගේ නළු නිළියන් තේරීම සහ ආඛ්‍යාන තේරීම් මගින්, මෙම ඔඩිසි කතාව පුරාණ ලෝකයේ සැබෑ සංකීර්ණත්වය නිරූපණය කරන ඓතිහාසික මධ්‍යධරණී පරිසරයක පිහිටුවයි. අක්‍රෝතිරි (Akrotiri) හි කෙරෙන කැනීම්වලින් දියුණු මිනෝවන්/සයික්ලැඩික්  සාගර ජාලයන්, විචිත්‍රවත් බිතුසිතුවම් සහ අප්‍රිකාව සහ ආසියාව පුරා පැතිරුණු බහුසංස්කෘතික වෙළඳ මාර්ග මනාව හෙළිවේ.

පුරාණ මහා කාව්‍යයන්හි නූතන සිනමා රූපණයන්ගෙන් ඔබ්බට බලන විට, මෙම කතාන්දර සැබෑ මානව ඉතිහාසය සහ හවුල් සංස්කෘතික භූගෝල විද්‍යාව තුළ ගැඹුරින් මුල් බැස ඇති බව අපට පෙනේ. ක්‍රිස්ටෝෆර් නොලාන් විසින් පුරාණ මධ්‍යධරණී කලාපය නිරූපණය කිරීම සැබෑ, ජීවමාන ඉතිහාසයක් මත පදනම් වන සෙයක් පෙනී යයි. එනම් සන්තෝරිනි දූපතේ අක්‍රෝතිරි හි පුරාවිද්‍යාත්මක සත්‍යතාවට බෙහෙවින් ගැලපෙන ලෝකයකි එය . අක්‍රෝතිරි හි කැනීම් මගින් විචිත්‍රවත් සාගර ජාල, පොහොසත් කලාත්මක ප්‍රකාශන සහ අප්‍රිකාව සහ ආසියාව පුරා පැතිරුණු නිරන්තර වෙළඳාමෙන් සමන්විත සංකීර්ණ ලෝකඩ යුගයේ ඒජියන්  ශිෂ්ටාචාරයක් පෙන්නුම් කරයි. පුරාණ ඒජියන් යනු කිසි විටෙකත් හුදකලා වූ හෝ එකම ජාතියක් විසූ ලෝකයක් නොවේ. එය විවිධ ජනයා, සමේ වර්ණයන් සහ සංස්කෘතීන් හමු වූ කාර්යබහුල සන්ධිස්ථානයක් විය. මෙම ඓතිහාසික සංකීර්ණත්වයට ගරු කිරීමෙන්, මෙම ආඛ්‍යානය කලාපයේ සැබෑ පුරාවිද්‍යාත්මක උරුමය සමඟ සමපාත වේ, එහිදී මුහුද යනු බියජනක විශාලත්වයක් මෙන්ම සංස්කෘතීන් අතර ගතික පාලමක් විය.




මෙම ඓතිහාසික පසුබිම, වල්මිකීගේ රාමායණයේ මූලික තේමාවන් අනුකරණය කරමින්, ග්‍රීසියේ සීමාවන්ගෙන් ඔබ්බට යන ආඛ්‍යාන ව්‍යුහයකට මග පාදයි. හෝමර්ගේ "ද ඔඩිසි" සහ "රාමායණය" යන දෙකම වෙන්වීම මගින් ආරම්භ වී, පවතින ප්‍රේමයේ බැඳීම මගින් මෙහෙයවනු ලබන දුෂ්කර, ජීවිතය තීරණය කරන ගවේෂණයක් වටා ගොඩනැගී ඇත. ඔඩිසියස් පෙනෙලෝපි වෙත ආපසු යාම සඳහා චණ්ඩ, මිථ්‍යා මුහුදු හරහා ගමන් කරන අතර, රාම කුමරු සීතා බේරා ගැනීම සඳහා විශාල, කටුක වනාන්තර හරහා සහ මහා සාගරය හරහා ගමන් කරයි.

මෙම සම්ප්‍රදායන් දෙකෙහිම, කථා නායකයන් මුහුණ දෙන භෞතික පරීක්ෂාවන්ගෙන් නිරූපණය වන්නේ තදබල අභ්‍යන්තර ගමනකි. ඔඩිසියස් අභ්‍යන්තර හුදකලාව, ශෝකය සහ ආඩම්බරයේ විනාශකාරී පරීක්ෂාවන් සමඟ සටන් කරන අතර, රාම කුමරු දැවැන්ත පෞද්ගලික ශෝකය මධ්‍යයේ වුවද යහපත් පැවැත්ම, ආත්ම පරිත්‍යාගය සහ යුතුකම වෙනුවෙන් නොසෙල්වී සිටීම නිරූපණය කරයි.

එලෙසම කැපී පෙනෙන කරුණක් නම් මේ කතාවලට ශක්තියක් වන කාන්තාවන්ගේ බලයයි. පෙනෙලෝපි, ඇයව ලබාගැනීමට පැමිණි මනමාලයන්ගේ තර්ජන මධ්‍යයේ වුවද, තම ගෘහය ආරක්ෂා කර ගැනීම සඳහා ඇගේ නුවණ භාවිත කරමින් ඉතකා රාජධානියෙහි  නොසැලී සිටියි. සීතා ලංකාවේ සිරකරුවෙකුව සිටියදී පවා ඇගේ ගෞරවය, ආත්මික පවිත්‍රතාවය සහ කැපවීම පවත්වා ගනී. මෙම මහා කාව්‍යයන් දෙකෙහිම, ප්‍රේමය යනු රොමෑන්තික ආකල්පයක් පමණක් නොවේ. එය දුක් වේදනා මැද කථා නායකයාව පාලනය කර තබා ගන්නා නෛතික බැඳීමයි. ඒජියන් හි ලෝකඩ යුගයේ සාගර වෙළඳ මාර්ගවල හෝ රාමායණයේ පුරාණ ඉන්දු-ලංකා ජාලයන්හි නිරූපණය වුවද, මෙම කතා දෙකෙන්ම ඔප්පු වන්නේ ජීවිතයේ කුණාටු හමුවේ ඉදිරියට යාමට සහ අප ආදරය කරන අය වෙත ආපසු යාමට දරන අරගලය විශ්වීය මානව ගමනක් බවයි.

චිත්‍රපටයේ ආඛ්‍යාන තේරීම් සමාලෝචනය කිරීමේදී, නොලාන්ගේ නළු නිළියන් තේරීම වටා,  විශේෂයෙන් ට්‍රෝයිහි හෙලන්ගේ (Helen of Troy) චරිතය (සහ ක්ලිටෙම්නෙස්ට්‍රාගේ චරිතය) නිරූපණය කිරීමට ඔස්කාර් සම්මානලාභී ලූපිටා  නියොන්ගෝ තෝරා ගැනීම සම්බන්ධයෙන් අන්තර්ජාලය තුළ සිදුවන සංවාද පිළිබඳව අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වේ. හොලිවුඩයේ "woke" සංශෝධනවාදය යන මතුපිටින් පෙනෙන චෝදනා හරහා මෙම තේරීම ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කරන අන්තර්ජාල අදහස් දැක්වීම් මුළුමනින්ම වැරදි සහගත වන අතර නොලාන්ගේ අධ්‍යක්ෂණ දැක්ම සම්පූර්ණයෙන්ම මගහැර ගනී.

ට්‍රෝයිහි හෙලන් යනු සැබෑ ලෝකයේ ජෛව විද්‍යාත්මක ලක්ෂණ ආරක්ෂා කළ යුතු ලේඛනගත ඓතිහාසික චරිතයක් නොවේ. ඇය "නැව් දහසක් මුහුදට යැවූ රූපය" ලෙස හඳුන්වන දිව්‍යමය, අද්භූත මිථ්‍යා සංකේතයකි. හෝමර්ගේ සම්භාව්‍ය ග්‍රන්ථ හෙලන්ව අර්ථ දක්වන්නේ පැහැදිලි භූගෝලීය ලක්ෂණවලින් නොවේ, ඇය දකින අය කෙරෙහි ඇය ඇති කරන දැඩි, වශීකරවන සුළු බලපෑමෙනි.

නියොන්ගෝගේ විශිෂ්ට රංගන පෞරුෂය, බලය සහ අලංකාරය සහිත රංගනයක් තෝරා ගැනීමෙන්, නොලාන් හෙලන්ගේ අද්භූත තත්ත්වය ඉස්මතු කරයි, ඇයව ඇය වටා සිටින මනුෂ්‍ය සෙබළුන්ගෙන් දෘශ්‍යමය වශයෙන් වෙනස් කර පෙන්වයි. දැඩි යුරෝපීය කේන්ද්‍රීය දෘශ්‍ය රටාවන්ගෙන් ඔබ්බට යාමෙන් ඓතිහාසික සත්‍යතාවයට හානියක් සිදු නොවේ. එයින් සිදුවන්නේ විශ්වීය චරිත නිරූපණය කරමින් සම්භාව්‍ය මිථ්‍යා කථාවල මුල් අරමුණට ගරු කිරීමයි.

විවේචනාත්මකව බලන කල, හෙලන් කෙරෙහි අවධානය යොමු කරමින් කරන මෙම විවාදය "ද ඔඩිසි" හි මූලික තේමාත්මක ගැටුම වැරදියට වටහා ගැනීමකි. හෙලන්ගේ කතාව අයිති වන්නේ "ඉලියඩ්" කතාවටයි. "ද ඔඩිසි" හි ඇය ක්‍රියා කරන්නේ පුරාණ ලෝකය විනාශ කළ යුද්ධයේ ඈත පිහිටි උත්ප්‍රේරක ගිනිපොළඟ ලෙස පමණි. නොලාන්ගේ චිත්‍රපටයේ සැබෑ හැඟීම්බර කේන්ද්‍රය රැඳී තිබෙන්නේ ඔඩිසියස් (මැට් ඩේමන්) සහ ඔහුගේ බිරිඳ පෙනෙලෝපි (ඇන් හැත්වේ) මතය.

හෙලන් ඈත පිහිටි, බාහිර විනාශයේ ආරම්භය නිරූපණය කරන අතර, පෙනෙලෝපි මනෝවිද්‍යාත්මක පිහිට, නැවත යථා තත්ත්වයට පත්වීමේ නොසැලෙන පොරොන්දුව, මානසික ආරක්ෂාව සහ නිවස නිරූපණය කරයි. සහායක මිථ්‍යා චරිතයක ස්වරූපය ගැන තර්ක කරමින් චිත්‍රපටයේ ව්‍යුහාත්මක අගය ප්‍රතික්ෂේප කිරීමෙන්, කතාවේ සැබෑ බර රැඳී තිබෙන්නේ කොතැනද යන්න බොහෝ දෙනා අමතක කර දමයි. එනම් පෙනෙලෝපි වෙත ආපසු යන වේදනාකාරී, දිගු ගමන තුළ කතාවේ අරුත ගැබ් වී ඇත.

හෙලන්ගේ භෞතික රූපය ගැන දක්වන ප්‍රතිචාරය මගින් සැබෑ අර්ථය මගහැරෙන්නේ මන්දැයි සැබවින්ම වටහා ගැනීමට, ඉන්ද්‍රිය ආකර්ෂණයේ රැවටෙන සුළු ස්වභාවය විග්‍රහ කරන බෞද්ධ සාහිත්‍යය, විශේෂයෙන් සම්භාව්‍ය ජාතක කථා දෙසට අපට යොමු විය හැකිය.

පංචපාපා  ජාතක කතාවේ , නිරීක්ෂකයන් විසින් භෞතිකව අලංකාර නැති, රළු හෝ අශුභ ලෙස විස්තර කරන ලද ස්ත්‍රියකට රජෙකු දැඩි ලෙස වශී වෙයි. ඇගේ පෙනුම කෙසේ වෙතත්, ඇගේ ස්පර්ශය තුළ වෙනස් කළ නොහැකි, දැඩි ආකර්ෂණයක් පවතී. රජු ඇයව ස්පර්ශ කළ සැනින්, ඔහුගේ මනස දැඩි ආශාවෙන් අන්ධ වන අතර, ඇයව අගමෙහෙසිය ලෙස මාලිගයට ගෙන ඒමේදී හේතු දැක්වීම්, උපදේශකයින්ගේ අනතුරු ඇඟවීම් සහ සමාජ සම්මතයන් මුළුමනින්ම නැති වී යයි.

ආශාව යනු මතුපිටින් පෙනෙන රූපයට වඩා වෙනස්ව, අපගේ නුවණ අභිබවා යන අභ්‍යන්තර මනෝවිද්‍යාත්මක බලවේගයක් ලෙස ක්‍රියා කරන බව පෙන්වීමට බුදුරජාණන් වහන්සේ මෙම කතාව භාවිතා කල සේක.

මෙම ජාතක කතාවේ මෙන්ම, සම්භාව්‍ය මිථ්‍යාවන්හි හෙලන්ගේ බලය සාම්ප්‍රදායික, ඓතිහාසික අලංකාරය පිළිබඳ කරුණක් නොවේ, එය මිනිසුන්ව මුලා කරන සහ අධිරාජ්‍යයන් විනාශ කරන අද්භූත, වශීකරවන සුළු ආකර්ෂණයකි. හෙලන් යනු ඉන්ද්‍රිය මායාවේ සංකේතයකි. මිනිසුන් විනාශය කරා ගෙන යන ජයග්‍රහණයකි, නමුත් එය ලබා ගැනීමට තමන් කැපකළ දේ පිළිබඳ සැබෑ ඛේදාන්තය වටහා ගන්නේ පසුවය. හෙලන් බාහිර ආශාවේ විනාශකාරී බලවේගය නිරූපණය කරන අතර, පෙනෙලෝපි යථාර්ථය, මානසික සත්‍යය සහ නෛතික නැවත යථා තත්ත්වයට පත්වීම නිරූපණය කරයි.

අවසාන වශයෙන්, නොලාන්ගේ සිනමාකරණය පෙන්නුම් කරන්නේ ආපසු ගෙදර යාම යනු භෞතික ගමනක් පමණක් නොවන බවයි. ඒ සඳහා කෙනෙකුගේම ක්‍රියාවන් සහ වරදකාරිත්වය මගින් නිර්මාණය වූ රාක්ෂයන්ට මුහුණ දීම අවශ්‍ය වේ. ඔඩිසියස්ගේ සැබෑ ජයග්‍රහණය ලැබෙන්නේ බාහිර මෘගයන් පරාජය කිරීමෙන් නොවේ, "නෙළුම් " මල අතහැරීමෙන්, ඔහුගේ මානසික තුවාල පිළිගැනීමෙන් සහ සමගිය කරා යන මාවතට පිවිසීමට යුද්ධයේ සෙවනැල්ලෙන් ඉවත් වීමට තමාටම ඉඩ හැරීමෙනි.

ක්‍රිස්ටෝෆර් නොලාන්ගේ "ද ඔඩිසි" චිත්‍රපටය තුන්වන පේළියේ සිට 70mm IMAX තිරයක නැරඹීම විශ්මයජනක අත්දැකීමක් විය. එහි ඇති දැවැන්ත බව ඔබේ දෘෂ්ටිය සම්පූර්ණයෙන්ම වසා ගනී. නුදුරු අනාගතයේ දී පසුපස පේළියක සිට එය නැවත නැරඹීමට මම අනිවාර්යයෙන්ම යමි.

(පසු සටහන - පින්තූර තුන මගේ ය — ග්‍රීසි දූපතක් වන ක්‍රීට් (Crete) හිදී ගන්නා ලදී. )

පංචපාපා කතාව (නිමල් දිසානායකට ස්තූතියි )

අජිත් ධර්මකීර්ති 24/08/2026

Thursday, 20 August 2026

විශාරද නන්දා මාලිනියනි , ඔබට සුභ ගමන් !



විශාරද නන්දා මාලිනියගේ මම  කැමතිම ගීතය මොකද්ද කියල කියන්න අමාරුයි .  නමුත් පොඩිම කාලේ හිතේ රැඳුනු  ගීතය තමා 
හරි පුදුමයි ගේ දොරකඩ නිල වන පියසේ 
නිදිමත නැතිවී හිරු පායා ඇත 
උමතු වෙසින් මහා රෑ යාමේ 

කියන එක . 
මේ ගීතය 1971 දී තහනමකට ලක් වුනාලු .  නමුත්  පොඩි කාලේ සින්දුව අහන හැම වෙලේම අමුතු චමත්කාරයක් දැනුනු එකක් . සත්තු උඩ යනව ,  සූටික්කෝ උගන්වනවා පුංචි  කාලේ හිතේ මැවෙන රූප .  ඒක මට ළමා ගීයක් වගේ . පස්සේ කාලෙක ඇලිස් ගේ විශ්මලන්තය කියවන කොට සින්දුව ලීවේ ඒකටද කියලත් හිතුනා.
"සුදම් සභාවේ" කියන කොටස  එනකොට සංගීතය ටිකක් වේගවත් වෙනවා වගේ .  ඒකෙ සංගීතයට අදත් මම ප්‍රිය මනාපයි .  පසුව දැන ගත්ත සකුරා මල් කියන්නේ මේ චෙරි මල් වලටමයි  කියල .  අපේ පුංචි ගෙවත්තේ පොඩිති චෙරි ගහක් තියනව. ඒකෙ මල් ශ්වේත වර්ණ . අපි ඉන්න පාරේ රෝසපැහැ  චෙරි මල් පිපෙන ගස් රාශියක් තියනව .  ඒව දිහා බලන කොට කියැවෙන්නේ මේ සින්දුව .  හැබැයි ඊලඟට හිතට මැවෙන්නේ ජපානය. 





ඒ ගීතය වගේම මගේ සිතේ අරක් ගත්  අනිත් ගීතය ඇය නාරද දිසාසේකර සමග ගයන ,  ශ්‍රී චන්ද්‍රරත්න  මානවසිංහයන් 'රන් මුතු දූව ' චිත්‍රපටයට රචනා කරපු  "ගලන ගඟකි ජිවිතේ" ගීතය  .  ඒකෙ සංගීතය විශාරද අමරදේව  මාස්ටර් ගේ.  බොහොම හිමින් ගලන සින්දුවක් .  ගඟක් දොළක් ළඟ ලපලු නටන කොට මතක් වෙන ගීතයක් . 

තව මම නිතර අහන එකක්   තමයි 'හද විල කළඹන පෙම් ජල රේඛා " ගීතය .  පියකරු තරුණියක් හිතට මැවෙන ලස්සන ගීතයක්. ඒ සින්දුව ඒ කාලේ ගුවන් විදුලියේ නිතර යන එකක් .  

අසූ ගණන් වල මුල අපට කැසට් ප්ලේයර් එකක් තිබුනේ නැහැ .   අපේ ගෙවල් පැත්තේ හිටි සිරිමල්  අයියා ළඟ පොඩි කැසට් ප්ලේයර් එකක් තිබ්බ .  මමයි පොඩි අක්කයි  ඒකෙන් නන්දා  මාලිනි ගේ 'යාත්‍රා '  සින්දු ටික  අහනව  මතකයි .  'කුරුටු ගෑ ගී පොතේ '  , 'රන් කෙන්දෙන් බැඳ' වගේ ගීත තිබ්බේ ඒකෙ මම හිතන්නේ . 

ඒ ලෙවල් කරන තරුණ කාලේ එන කොට 'උඩඟු ලියන්  ගොතා බඳින නිල වරල් සරසන්නට ' තමා කැමතිම ගීතය .  ඒකේ මාර  වචන ගොන්නක් තිබුනේ . 

හිස් මිනිසුන් කුස් පුරවන
සිත් පිනවන 
බස් දොඩවන 
බොජුන් මේස මත 
සුවඳ හලන්නට 
මා පිපුනේ නැත 
මේ දෙරණේ ........................

රට වෙනුවෙන් සටනට වැද  දිවි දුන් 
රණවිරුවෙකුගේ අවසන් ගමනට 
යන මහජනතා  පා දූවිල්ලෙන් 
තැලී වෙලී  සැනහී මිය යන්නෙම් .............
 
එහෙම  තමා  ඒකෙ තියෙන්නේ . 
ඒ කාලේ තමා  දිවයින පත්තරේ මහාචාර්ය  සුචරිත ගම්ලත් දෙඤ්ඤම් බැටේ විචාරය පටන් ගන්නේ නන්දා  මාලිනියට  සහ ආචාර්ය  සුනිල් ආරියරත්නට.  "මේ සිංහල අපගේ රටයි"  සින්දුවට සහ තවත් ඒවාට .  
ඉතින් මේක  හෙන  අවුල් .  මම  නිතර මහාචාර්ය තුමාගේ    දේශන අහන්න යන ,  එයාගේ ලිපි නිතර කියවන තැනක සිටි නිසා .  

මේ සිංහල අපගෙ රටයි
අප ඉපදෙන මැරෙන රටයි
අප හද පණ ගැහෙන රටයි
මුළු ලොව ඒ රටට යටයි

අහස සිඹින ගිරි කඳුරු
පොළොව තෙමන වැව් සයුරු
මුහුද අවට බැඳි පවුරු
එරට අසිරි සිරි එයුරු

මව්බිම වෙනුවෙන් පොරණේ
දිවි දුන් විරු දරුවන්නේ
ලේවලිනුයි ඒ දෙරණේ
මිණි කැට මුතු ඇට මැවුනේ

ඇත්තම් කියනවනම්  මම ඒ සින්දුවට පට්ට ආසයි. අද වුනත් මම ඒකට කැමතියි .  මුළු ලොව ඒ රටට යටයි කියල අද හිතන්නේ නැහැ තමා .  මේ සිංහල අපගේ රට විතරක් කියල හිතන්නේ නැහැ තමා.  ලස්සන රටවල් ලෝකයේ බොහෝ තැන්වල දැන් දැකලා  තියනව .  නමුත් අපි කොහේ හිටියත් අපේ පෙකණිවැල  බැඳිලා තියෙන්නේ ලංකාවට .  ඒක මතක් වෙන්නේ  මේ වගේ සින්දු එක්ක.  

හැබැයි නන්දා -සුනිල් මෙහමත් කිව්වා .  "රණ දෙරණේ කඳුල  සුසුම" ගීතයේ. 
එතෙරක රස බොජුන් එපා   
රන් සළු පිලි යහන එපා 
උපන් රටට පිටු පානා 
හෙළයන් හෙළ බිමට එපා 

 නැහැ . මහාචාර්ය සුචරිත ගම්ලත් නිවැරදියි .  ඒ විචාරය එදත් හරි .  අදත් හරි .  මොකද නන්දා මාලිනිය ඉන්පසු ඔස්ට්‍රේලියාව ,  එංගලන්තය , කැනඩාව වගේ රටවල් සංචාරය කළානේ . ඒ නිසා දැනෙන්න  ඇති හැම හෙළයෙක්ම එසේ නොවන බව .  

ජෝතිපාල ඇන්ජලින් ගේ සින්දු වලට රහසින් කැමති අපිව,   ටි එම් ගේ මිල්ටන් මල්ලව ආරච්චි  ගේ සින්දු නිතර අහපු අපිව ,  නන්ද මාලිනි, අමරදේව, සොමතිලක ජයමහ, කපුගේ ආදීන් අරන් ගියේ වෙනම තලයකට . 

'පවන '  එනකොට මම ලංකාවේ නැහැ .  'පවන '  කරන්න මේ නන්දා , සුනිල් සුසංයෝගයට හිත දුන්නේ ගම්ලත් ආදීන් ගේ  විවේචන නිසාද දන්නේ නැහැ.  නමුත් ඒක අමුතු ලෙවල් එකකට ගියා .  අර විරිදු ලෙසින් කියන සින්දු ටික .  
සුචරිත ගම්ලත්ට පිළිතුරු දුන්නේ මේ ගීතයෙන් වෙන්න පුළුවන් . 

සිංහල ජනයිනි රුහුණු මායා පිහිටි රටේ
දමිල ජනයිනි යාපාපටුනේ
මඩකලපුවෙ තිරිකුණාමලේ
මුස්ලිම් ජනයිනි බේරුවල
හම්බන්තොට තිහාරියේ

බොදුනුවනී දන් පින් හී යෙදෙන පංසලේ
කිතුණුවනි යදින යාතිකා දෙව්මැදුරේ
මුස්ලිමුනී කියන කුරාණය පල්ලියේ

උරය පලා සැතකින් බලන් රුහිරූ
එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරු

බමුණනි වරෝ වෙල්ලාවට පූන
නුලෙන් දිය ලණු බැඳගෙන
බමුණනි වරෝ වෙල්ලාවට පූන
නුලෙන් දිය ලණු බැඳගෙන

රජකයිනි ගනිව් සිහසුන
වෙල්ලා හැලියෙන් සෝදා අතපය
රජකයිනි ගනිව් සිහසුන
වෙල්ලා හැලියෙන් සෝදා අතපය
සිහල ගිනි දණ්ඩේ - දමිල වෙඩි උණ්ඩේ

ගෝත්‍රවාදී ඉලක්ක වලකා
සිහලුනේ යමව් යාපා පටුනට
දමිලයිනි වරෝ රුහුණට
උරය පලා සැතකින් බලන් රුහිරූ
එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරු

තනිකරම වෙනස් ආරයක ,  වෙනස් සංගීත රටාවකට ලියපු දේශාභිමානී ගීත ටිකක් .  හිතන්නට  පොළඹවන . අදත් මේවා වලට විවේචන ඉදිරිපත් වෙන එකෙන් හිතා  ගන්න පුළුවන් .  "නිදහස් බයිලා" හෙමත් ඉතින් සෑහෙන්න තර්ක විතර්ක මතු කරපු 'බයිලාවක්". හැබැයි බයිලා වුනත් කියන්න පුළුවන් කියල ඔප්පුත් කලා.  

ඊට පස්සේ මම අහපු කැමති ගීත තිබුනා 'සත්‍යයේ ගීතය ' , "නිලම්බරේ", තාරකා ඇස්  වගේ  ගීත සමුච්ච  වල .  "ඔබේ පැල , පැලේ පිල" ,  "බුදු හිමියන්ටත් කලියුගයේ" , " නිවන් දක්නා" ,  "උක් දඬු" , "මන්ද නාව කාරණාව" ආදිය විශිෂ්ඨ ගීත සමුච්ච. ඒ හැමදෙයක් එක්කමත් ජිවිතේ මුල් කාලේ අහපු සින්දු හිතේ කෙටිල තියෙන්නේ . 
"තාරකා ඇස්" ගීත සමුච්චයේ තියෙනවා "සුමුදු සුවදෙන සිහින යහනේ " කියල හරිම සුවදෙන ගීයක්. 

පවනේ 'නන්දා -සුනිල් "  රජෙක් ඉල්ලන්නේ ඇයිද කියා මම දන්නේ නැහැ. 
 
කවදා එත්ද අපගේ එක්  නෙතාණෝ 
ගිමනට සෙවන දෙන තුරුනුග තුරාණෝ 
අප සමබිමක රඳවන සොහොයුරාණෝ 
රජෙකැයි අපට නොසිතෙන මහා රජාණෝ , 

කියල ඒ ගීතය ඉවර වෙන්නේ . 

ඇය හුදෙක් ගායිකාවක පමණක් වුනේ නැහැ ඇය අපේ යුගයේ හඬ , පීඩිතයන්ගේ, ප්‍රේමවන්තයන්ගේ මෙන්ම නිදහස අගය කළ සෑම කෙනෙකුගේම ම හදවතේ රැව් දුන් ඒ අසමසම සදාතනික ස්වරයක් . ඇය ගයන්නේ මෙහම . 

ඔබට ගී ගයන මම කෝකිලාවක නොවෙමි
මග තොටේ ඔබ දකින ගැහැනියයි

"ගලන ගඟකි ජීවිතේ" යැයි අපට කියා දුන් ඇගේ ජීවිත නදිය අද නිහඬව මහ සගරයට එකතු වුනා . නමුත් ඇය තබා ගිය ශ්‍රේෂ්ඨ සංගීත උරුමය පරම්පරා ගණනාවක් ඉදිරියටත් අපේ සිතුවිලි සුවපත් කරනු ඇත. දේහයෙන් අප අතරින් නික්ම ගියත් , ඒ මධුර හඬත්, ආත්මය අවදි කළ ගීත රාවයත් මේ හෙළ දෙරණ පවතින තාක් කිසිදිනක මිය යන්නේ නැහැ. ශ්‍රී ලාංකේය සංගීතයේ පහන් තරුව වූ ආචාර්ය නන්දා මාලිනීයනි ඔබට උපහාර 

වහින්නට හැකි නම් ගිගුම් දී
වියලි ගම් බිම් වලට ඉහළින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොයිදෙන පැළක රහසින්
රැඳෙන්නට හැකිනම් ළමා කැළ 
හඬන දෙතොළඟ සිනහවක් වී

ඔබට සුභ ගමන් මැතිණියනි !.

අජිත් ධර්මකීර්ති 20/08/2026

Wednesday, 5 August 2026

නෝලන් ගේ ඔඩිසිය හා ග්‍රීසියේ ඉතිහාසය



ක්‍රිස්ටෝපර් නෝලන් ගේ ඔඩිසි සිනමා පටය තවම නැරඹුවේ නැත .  එයට හේතුව එය වඩා හොඳින් නැරඹිය හැක්කේ IMAX 70mm පුළුල් තිරයක් මත විමය .  සාමාන්‍ය ඩිජිටල් සිනමා තිරයකට වඩා 10 ගුණයකටත් වඩා වැඩි පැහැදිලිතාවක් (Resolution) 70mm ෆිල්ම් පටයක් තුළ අඩංගු වේ. එය ආසන්න වශයෙන් 18K අගයකට සමාන වේ.  IMAX කැමරාවලින් රූගත කළ දර්ශන 1.43:1 යන විශාල අනුපාතයෙන් තිරගත වේ. මෙහිදී තිරයේ උඩ සහ යට කළු පටි (Black bars) නැතිව මුළු සිනමා තිරයම දර්ශනයෙන් පිරී යයි. ඩිජිටල් සිනමාවට වඩා ඡායාරූපමය ගුණය , වර්ණවල ස්වාභාවික බව සහ රූපවල තාත්වික බව 70mm ෆිල්ම් මගින් ඉතා ඉහළින් ලබා දෙයි. එවැනි සිනමා ශාලා ලන්ඩනයේම ඇත්තේ දෙකකි .  ඒ දෙකෙහිම ඉදිරි මාසය දක්වා  ප්‍රවේශ පත්‍ර විකිණී අවසානය .  තවත් එකක් මැන්චෙස්ටර් වල ඇත. ඒ  නිසා ඉදිරි මාසයේදී නැරඹීමට සිතා සිටිමි .  මේ කියන්න යන්නේ වෙන කතාවකි .  

ක්‍රිස්ටෝෆර් නෝලන් හෝ වෙනත් නිර්මාණකරුවෙකු පෞරාණික මධ්‍යධරණී/ග්‍රීක පුවත් ආශ්‍රිත නිර්මාණ සඳහා කළු ජාතික හෝ දුඹුරු පැහැති රංගන ශිල්පීන් (උදාහරණයක් ලෙස ලුපිටා න්යොන්ගෝ වැනි) තෝරා ගැනීම හුදෙක් සිනමාත්මක නිදහසක් පමණක් නොව, එහි සැබෑ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක පදනමක් ද පවතී.

මෙහිදී මට මතකයට නැගෙන්නේ මා ග්‍රීසියේ ජනතාවට හෙලනික් වරු කියා හැඳින්වීමත් ඔවුන් හෙලස් නැමැති ජන කොට්ඨාශයෙන්  පැවතෙන බවත් මා කලකට පෙර ලියූ බවයි . මා ඇතන්ස් හි කෞතුකාගාරයක කුරේටර් කෙනෙකු සමග සාකච්ඡාවකදී හෙලස් (Hellas නමැති ප්‍රදේශයේ) ජනයා අතර පැවති සබඳතාව පිලිබඳ කතාව ඉස්මතු විය.    පෞරාණික හෙලස් ජනයා සහ ලංකාවේ 'හෙළයන්' හෝ රාවණා පුවත අතර ඇති බැඳීම් වර්තමාන ඓතිහාසික කථිකාවන් තුළ අර්ධ-ප්‍රබන්ධ ලෙස සැලකුවද, පූර්ව-ග්‍රීක  ශිෂ්ටාචාරයන්හි ලෝකය පුරා පැතිරුණු සාගරික සබඳතා පැවති බවට මෙය කදිම තර්කයක් බව ඔහු පැවසුවේය .  අපි දෙදෙනාම එය ප්‍රබන්ධයක් පමණක් වන බවට වූ අදහස ගැන අවබෝධයෙන් සිටියෙමු . 

රසික සුරියආරච්චි මේ පිළිබඳව උපහාසාත්මක සඳහනක් කර තිබූ බව මට මතක් විය .  නමුත් ඔහු  ඇතැන්ස් හි ගතකළ දින තුනක කෙටි සංචාරය තුළින් පෞරාණික මධ්‍යධරණී ඉතිහාසයේ ගැඹුර සොයා ගැනීමට නොහැකි වීම සාධාරණ ය. ඇතැන්ස් හි නතර නොවී අක්‍රෝටිරි (Akrotiri) සහ හෙරක්ලියොන් වැනි මිනෝඅන් ශිෂ්ටාචාරයේ මූලබීජ පැවැති ස්ථානවල සංචාරය කිරීමේදී නිරීක්ෂණය වන ප්‍රධාන කරුණක් වන්නේ, එහි ජීවත් වූ පැරණි වැසියන් සාම්ප්‍රදායිකව හොලිවුඩයේ  පෙන්වන සුදු ජාතිකයන්ට වඩා දුඹුරු පැහැති (දැඩි දුඹුරු පති හෝ ඔලිව් පැහැති) සමක් සහිත මිනිසුන් බවයි. ඒ ගැන ළඟකදී කල කැණීම් වලින් මතුවූ චිත්‍ර සමග මම ග්‍රීක සංචාරය පිළිබඳ  ලිපියකින් පැහැදිලි කලෙමි . -ග්‍රීක සංචාරය - 6 - හෙරක්ලියොන්, අක්‍රෝටිරි හි පුරා විද්‍යා නටබුන්, මිනෝඅන් ශිෂ්ටාචාරය





අප්‍රිකානු මහාද්වීපය සමඟ පැවැති සමීප සාගරික වෙළඳ සබඳතා නිසා උතුරු අප්‍රිකානු ජනගහනයන් ද මෙහි මුසු වී සිටියහ. උපහාසාත්මක සටහන් දුටුවද මා  නිහඬව සිටියේ, මිනෝඅන් ශිෂ්ටාචාරයේ අතීත සාක්ෂි ඊට වඩා සංකීර්ණ බැවිනි. මාලන් රොෂාන් ඔහුගේ ෆේස්බුක් සටහන් වල පෙන්වා දෙන පරිදි, පූර්ව-ග්‍රීක ශිෂ්ටාචාරයේ තිබූ මෙම "හිස්තැන" සහ වර්ණ විවිධත්වය නෝලන් වැනි අධ්‍යක්ෂවරයෙකු නිවැරදිව දැකීම අගය කළ යුතුය.

මෙහිදී යුද්ධ ගැනද යමක් කිව යුතුය .  අක්‍රෝටිරි හි  කෞතුකාගාරයේ ඇති තවත් චිත්‍ර සමුහයක මහා යුද්ධයක් ගැන සිතුවම් තිබේ .  මේ යුද්ධයේ සහභාගී වන ඇතැම් භටයන් අප්‍රිකානු ස්වරූපයක් දරයි . දීර්ඝ ගඟක් දිගේ සේනාවන් රට තුලට කඩා වදී.   තවම මේ ගැන හරි හැටි සොයා බලා නැති නිසා ඒ ගැන යමක් කිව නොහැකිය. මගේ මුල් ලිපියේ මා සඳහන් කලේ එදවස ප්‍රංශ ,  බ්‍රිතාන්‍ය පුරා විද්‍යා ගවේෂකයන් දුඹුරු හෝ කළු පැහැති  ජනයාට  උසස් ශිෂ්ටාචාර තිබු බවට විශ්වාස නොකළ බවයි.    එම ලිපියේ කොටසක් මෙහි අගට අමුණා ඇත . 
රාම  රාවණා යුද්ධයේදී  රාම කුමරුගේ පියකරු බිරිඳ සීතා ලංකා පුරයේ  රාවාණා රජු විසින් පැහැර  ගනී .  ඇත්තටම සිදු වන්නට ඇත්තේ ඇය රාවණා  සමග පැන යාම  බව විය හැකිය . ට්‍රෝජන්  යුද්ධයේදී හෙලන් පැරිස් කුමරු සමග පලා යයි .  නමුත් පසුව ඇගේ  ස්වාමියා වන ස්පර්තා වල රජු මෙලනිවුස් යුධයකින් ඇයව නැවත දින ගනී.  ලංකා පුරය මෙන්ම ට්‍රෝයි නුවරද ගිනි බත් වෙයි . ඒ කාලයේ ක්‍රීටයේ හෝ  කොහේ හෝ පැවති යුද්ධයක තොරතුරු අනුසාරයෙන් වාල්මිකී හා හෝමර් තමන්ගේ ප්‍රබන්ධ කාව්‍යයන් ලියන්නට ඉඩක් ඇත.  









අතීත මධ්‍යධරණී ශිෂ්ටාචාර යනු තනි ජාතියකට හෝ වර්ණයකට සීමා වූ එකක් නොවේ. එබැවින් අක්‍රෝටිරි හි පැහැදිලිව පෙනෙන දුඹුරු පැහැති මිනිසුන්ගේ අතීත උරුමය සිනමාවට නැඟීමේදී නෝලන් ගත් තීරණය ඓතිහාසික හිස්තැන් නිවැරදිව තේරුම් ගනිමින් තැබූ සාර්ථක පියවරකි.

ක්‍රිස්ටෝෆර් නෝලන් ඔහුගේ ඉදිරි චිත්‍රපටයේ පැරණි ග්‍රීක සහ මධ්‍යධරණී ආශ්‍රිත ඉතිහාසය හෝ සාහිත්‍ය නිර්මාණ (උදාහරණයක් ලෙස ද ඔඩිසි  ) ප්‍රතිනිර්මාණය කිරීමේදී ප්‍රධාන චරිත සඳහා කළු ජාතික රංගන ශිල්පීන් තෝරා ගැනීම සම්පූර්ණයෙන්ම සාධාරණීකරණය කළ හැකි තීරණයකි. මධ්‍යධරණී කලාපයේ පැරණි ශිෂ්ටාචාරයන්හි හිස්තැන් සහ මිනෝඅන් (Minoan) යුගයේ නටබුන් දෙස බලන විට, මෙම තීරණය පිටුපස සැබෑ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක පදනමක් ඇති බව පැහැදිලි වේ.

මිනෝඅන් ශිෂ්ටාචාරයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් වූ සැන්ටොරිනි හි අක්‍රෝටිරි  හි සොයාගත් පුරාවිද්‍යාත්මක බිත්ති සිතුවම් (Frescoes) පරීක්ෂා කිරීමේදී, එහි ජීවත් වූ පැරණි වැසියන් පැහැපත් යුරෝපීයයන්ට වඩා දුඹුරු පැහැති සමක් සහිත මිනිසුන් බව පෙනී යයි. එමෙන්ම, අප්‍රිකානු මහාද්වීපය සමග පැවති සමීප සාගරික වෙළඳ සබඳතා නිසා උතුරු අප්‍රිකානු ජනගහනයන් මධ්‍යධරණී ප්‍රදේශයන්හි බහුලව මුසු වී සිටියහ. නෝලන් මෙහිදී සිදුකර ඇත්තේ සාම්ප්‍රදායික හෝලිවුඩ් "යුරෝපීයකරණය"  වෙනුවට, එම ආදී ශිෂ්ටාචාරවල තිබූ සැබෑ විවිධත්වය සහ වර්ණපාලනය තිරයට නැඟීමයි.

ඇතැන්ස් හි කෞතුකාගාර කුරේටර්වරයා පැවසූ පරිදි, ආදී හෙලස් (Hellas) ජනයා සහ පෙරදිග (ලංකාවේ හෙළයන්) අතර පැවති සාගරික සබඳතාවල තර්කය සම්පූර්ණයෙන්ම බැහැර කළ නොහැක. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ The Greeks and the Mauryas (1971) කෘතියෙන් ද මෙබඳු සබඳතාවල ඓතිහාසික පසුබිම සාකච්ඡා කෙරේ. (පිටු 1 -128)

පැරණි සිංහල සෙල්ලිපි අතර කුඩා අකුරින් පසුකාලීනව ලියන ලද බව පැවසෙන අන්තරේඛීය  අක්ෂර සහිත සෙල්ලිපි පදනම් කරගෙන පරණවිතාන මහතා ලංකාව සහ ග්‍රීකයන් (යවනයන්) අතර සබඳතා විස්තර කළේය.

බුද්ධප්පිය හිමියන්ට අයත් යැයි සඳහන් පාඨයක්  මගින් අනුරාධපුරයේ බටහිර දොරටුව ආසන්නයේ පැවති යවන ජනපදය (යෝනවිසාහ) සහ පණ්ඩුකාභය රජ සමයේ සිට පැවති ග්‍රීක සබඳතා දක්වා -ක්‍රි.පූ. 4 වන සියවසේ සිට ක්‍රි.ව. 5 වන සියවස දක්වා  ලංකාව හා ග්‍රීසිය අතර පැවති සබඳතා පරණවිතාන මහතා පෙන්වා දුන්නේය.

මහාචාර්ය ඒ.ඩබ්ලිව්.පී. ගුරුගේ සහ මහාචාර්ය කේ. ඉන්ද්‍රපාල වැනි පසුකාලීන විද්වතුන් මෙම අන්තරේඛීය සෙල්ලිපි පරණවිතාන මහතාගේ පෞද්ගලික නිගමන ලෙස විවේචනය කළ ද, පැරණි ලෝකයේ පැවති නාවික සහ සංස්කෘතික හුවමාරුව පිළිබඳ කථිකාව මෙයින් නතර වන්නේ නැත.

පරණවිතාන මහතාගේ මතයට අනුව මෙවැනි කාල පරාසයක ලංකාව හා ග්‍රීසිය අතර සබඳතා පවතී බව  සඳහන් වේ .  

  • ක්‍රි.පූ. 4 වන සිට 3 වන සියවස දක්වා: අනුරාධපුර රාජධානියේ ආරම්භක යුගයේ (පණ්ඩුකාභය රජ සමයේ) සහ චන්ද්‍රගුප්ත හා අශෝක අධිරාජ්‍යයන්ගේ මෞර්ය යුගයේ සිදු වූ මුල්කාලීන සබඳතා.
  • ක්‍රි.පූ. 2 වන සියවසේ සිට ක්‍රි.ව. 1 වන සියවස දක්වා: වයඹදිග ඉන්දියාවේ පැවති ඉන්දු-ග්‍රීක රාජ්‍යයන්ගේ ස්වර්ණමය යුගයේ සහ මධ්‍යධරණී සාගරික වෙළඳ සබඳතා පැවති සමයේ සිදු වූ ගනුදෙනු.
  • ක්‍රි.ව. 5 වන සියවස: මෝරිය වංශික පාලන සමයේ (උදාහරණයක් ලෙස ධාතුසේන රජ සමයේ) සිදු වූ පසුකාලීන සබඳතා.

කෙසේ වෙතත්, ඉතිහාසය යනු ස්ථීර ලෙස එක තැන පවතින ලියවිල්ලක් නොවේ. පරණවිතාන සූරීන්ගේ මතයන්හි පවතින විවාදශීලී බව මෙන්ම, මධ්‍යධරණී මිනෝඅන් ශිෂ්ටාචාරයේ අප්‍රිකානු හා ආසියානු මුසු වීම් ද පෙන්නුම් කරන්නේ පූර්ව-සමාජයන්හි පැවති සංකීර්ණ සබඳතාවල හිස්තැන් ය.

ලූපිටා න්යොන්ගෝ වැනි පෞරුෂයකින් හෙලන්ගේ හෝ මධ්‍යධරණී චරිතයක් නිරූපණය කිරීමට නෝලන් ගත් තීරණය, හුදෙක් සිනමාත්මක නිදහසක් නොවේ; එය අතීත ශිෂ්ටාචාරවල පැවති මෙම අප්‍රකට, අඳුරු පැහැති සම ඇති මිනිසුන්ගේ  ශිෂ්ටාචාර විසින් තැබූ නියම අතීත සටහන් වල  හිස්තැන් පුරවාලීමට තැබූ සාර්ථක පියවරකි.



මා හට ලිවීමට අමතකවූ දෙයක් පසුව එකතු කලෙමි .  ඉහත ඇත්තේ ක්‍රිට් දුපතේ මිනොඅන් ශිෂ්ටාචාරයේ තවත් අභිරහසකි .  පින්තුරයේ ඇත්තේ ලිනෙයර්  ඒ භාෂාවේ  අක්ෂරය .  ඒවා ග්‍රීසියේ සිහිවටන ලෙස මිලදී ගන්නට තිබේ .   ලිනෙයර්  ඒ (Linear A) නමින් හඳුන්වන පුරාණ  අක්ෂර සහිත භාෂාව තවමත් කිසිවෙකුට කියවා ගත නොහැකිය. මෙය  ක්‍රිස්තු පූර්ව  1800 ඊට 1450 දක්වා කාලයක භාවිතා කල බසකි .  මෙහි වැදගත්ම දෙය මෙයයි.  ග්‍රීක පුරා  විද්‍යාඥයන් විසින් ලිනෙයර්  බී  නමැති අක්ෂර මාලාවෙන්  ශබ්ද වර නැගුවද එහිදී ග්‍රීක බස තියා ලොව කිසිම  තැනක කතා නොකළ කිසිදු මූලයක් නොමැති හඳුනා ගත නොහැකි භාෂාවක් බව පෙනී යයි. එසේම රොසෙටා ගල (Rosetta Stone) භාවිතයෙන් විකේතනය කරන ලද ඊජිප්තු හයිරොග්ලිෆ් මෙන් නොව,  ලිනෙයර්  ඒ සහ  දන්නා වෙනත් භාෂාවක් අඩංගු කිසිදු ද්විභාෂා සෙල්ලිපියක් මෙතෙක් හමු වී නොමැත.
බොහෝ තනි සංකේත, 1952 දී ග්‍රීක් භාෂාවේ මුල් ස්වරූපයක් ලෙස සාර්ථකව විකේතනය කරන ලද පසුකාලීන ලිනෙයර් බී  අක්ෂර මාලාවට සමාන වේ.පර්යේෂකයන් එම සන්දර්භය ඇසුරින් දශම සංඛ්‍යා ක්‍රමය, භාග සංඛ්‍යා මෙන්ම විවිධ වෙළඳ භාණ්ඩ, ස්ථාන සහ දෙවිවරුන්ගේ නම් සාර්ථකව කියවා ඇත. නමුත් භාෂාව දන්නේ නැත . එනිසා මිනොඅන් වරුන් ගෙන් වත්මන් ග්‍රීක භාෂාව නිර්මාණය වුවද  ඔවුන් වත්මන් ග්රිකයන්ට  සමාන බවක් නොදක්වයි.






https://en.wikipedia.org/wiki/Linear_A

අක්‍රොපොලිස් , පාතිනොන් සහ ග්‍රීක අගෝරාව - ග්‍රීසියේ සංචාරය  1

ඩෙලොස් දූපතේ සවාරිය - ග්‍රීසියේ  සංචාරය 3

ග්‍රීක සංචාරය - 6 - හෙරක්ලියොන්, අක්‍රෝටිරි හි පුරා විද්‍යා නටබුන්, මිනෝඅන් ශිෂ්ටාචාරය
සියලුම පින්තුර මා විසින් ගත් ඒවාය.

අජිත් ධර්මකීර්ති 06/08/2026
ප . ලි: සෙනරත් පරණවිතාන මහතා ශ්‍රී ලංකාවේ සිටි විශිෂ්ටතම ශිලාලේඛනඥයෙකු වුවද, ඔහුගේ පසුකාලීන කෘති වන Ceylon and Malaysia (1966), The Greeks and the Mauryas (1971), සහ The Story of Sigiri (1972) යන ග්‍රන්ථවල සඳහන් "අන්තරේඛීය සෙල්ලිපි" පිළිබඳ මතයන් දැඩි අධ්‍යයනයට සහ විවේචනයට ලක් විය. මහාචාර්ය ඒ.ඩබ්ලිව්.පී. ගුරුගේ සහ මහාචාර්ය කේ. ඉන්ද්‍රපාල වැනි පසුකාලීන විද්වතුන්ට මෙම අන්තරේඛීය අක්ෂර අදාළ ගල්පුවරුවල සොයා ගැනීමට නොහැකි වූ අතර, මේවා සැබෑ ඓතිහාසික සෙල්ලිපි නොව පරණවිතාන මහතාගේ පෞද්ගලික නිගමනයන් බවට ඔවුන්  නිගමනය කළහ.


මේ ශිෂ්ටාචාර ගොඩ නැගුවන් සුදු මිනිසුන් නොවේ. දුඹුරු හෝ අඳුරු පැහැ  මිනිසුන් වර්ගයකි. ඔවුන් ඊජිප්තුවන් ට එතරම් සමාන කමක් දක්වන්නේද නැත. මේ කරුණ ඉතා වැදගත්ය. මේ පුරාවිද්‍යා නටබුන් සොයාගත් ඉංග්‍රීසි ජාතිකයාගේ පටන් එහි කැණීම් කළ ප්‍රන්ශුවන් සහ ජර්මන් වරුන්ට සුදු නොවන ජාතියක දියුණු ශිෂ්ටාචාරයක් ගැන මුලදී සිතා ගැනීමට නොහැකි විය.  ක්‍රීට දූපතේ සහඒජියන් මුහුදේ දූපත්වල ශිෂ්ටාචාරය පිලිබඳ නටබුන් මුලින්ම සොයාගත්තේ ආතර් එවන්ස් නමැති ඉංග්‍රීසි නයිට්වරයාය.මිනොඅන් වරුන්ගේ විශාල මාලිගා, තනි කාමරයේ නිවාස වල  ජිවත්වූ ග්‍රීකයන්ට  අදහාගත නොහැකි විය. එනිසා ඔවුන් වංකගිරියක ජිවත්වූ මිනොටවුර් නමැති අද්භූත සතාගේ කතාවක් මවා  තමන්ගේ ක්‍රීට වීරයෙකු වන තිසියස්  එම සතා මරා දමා වැසියන් බේරා ගත් බවට ප්‍රබන්ධ කතාවක් ගොඩ නැගුහ. පළ කර ඇත්තේ  ක්නොසස්  නමැති පෙදෙසේ විශාල  මිනොඅන්  මාළිගාවේ පුරාවිද්‍යාත්මක නටබුන් වල මා ගත් පින්තූරය.  

ග්‍රීක දේව  කතා බැහැර කළ  යුරෝපීයයන් ඉන්දු යුරෝපීය ශිෂ්ටාචාරයක්  මගින් මෙය ගොඩ නැගු බවට සැක පහල කළහ.  විල්හෙල්ම් ගයිගර් සහ තවත් නාසි ජර්මනියට සම්බන්ධ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට සහ ටිබෙටයට පැමිණියේ මේ ගැන තව දුරටත්  සොයා බැලීමටය. එසේම බ්‍රිතාන්‍ය සහ තවත් ප්‍රංශ කණ්ඩායම් ගියේ ඉන්දියාවටය. හිට්ලර්ට අවශ්‍ය වූයේ ඔහුගේ පිරිසිදු ආර්ය මූලයන් ජනතාවක් පිළිබඳ  අදහසට ඉන්දියාවෙන් සාක්ෂි සෙවීමටය.  ඔවුන්ටද හිට්ලර් ටද වැරදුනු තැනක් තිබේ.

ඔවුන්ට වැරදුනේ ලපිස් ලද්සුලි නමැති නිල්  පැහැති පාෂාණය ගැන සෙවීම නිසාය. එම පාෂාණය ලැබෙන්නේ ඇෆ්ඝනිස්ථානයේ බඩක්ෂන් ප්‍රන්තයෙනි . මෝහන්ජදරෝ හරප්පා නමැති ක්‍රි.පූර්ව  4000-3500  තිබුණු ඉන්දු නිම්න ශිෂ්ටචාරයේද පාරාවෝ වරුන් රජකළ ඊජිප්තුවේද  මෙම පාෂාණය ආභරණ  සැදීමට, මාළිගාවල  සහ ආරාම වල විසිතුරු කිරිමට  භාවිතා කරන ලදී. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය , ඉන්දු යුරෝපිය එකක් ලෙස සැලකෙන නිසා එම ශිෂ්ටාචාරය ආර්ය ලෙස නම් කල නිසාත්  ආර්ය වරුන් මිනොඅන් ශිෂ්ටාචාරය ගොඩ නැගු බවට මිත්‍යා මතයක් ගොඩ නැගුණි. ඉහත  කී පුරා  විද්‍යාඥයන් ලංකාවට, ඉන්දියාවට  හා ටිබෙටයට පුරා විද්‍යා පර්යේෂණයන්  ආවේ ගියේ එහෙයිනි. 

ඉන්පසු පැමිණි දෙවන ලෝක යුද්ධය නිසා ආර්ය සංකල්පය මිහිදන් වූ අතර ඉතිහාසය වැළලී ගියේය. ග්‍රීක දුපත් වලට හා මිනොඅන් ශිෂ්ටාචාරය සොයා ගිය  තවත් පිරිසක් ද ශ්‍රී ලංකාවට පැමිණියහ. මම අධි මානසික විද්‍යාවන් ගැන ලියූ ලිපි පෙලේ පරම විඥාණාර්ථ සංගමයට අදාළව  මේ තැනැත්තිය ගැන ලියා තිබේ. ඒ ජර්මන් සම්භවයක් ඇති රැසියානු ආදිපාදවරියක වූ  යෙලේනා පෙට්‍රොව්නා බ්ලවට්ස්කි ගැනය. ඇය, කර්නල් ඕල්කොට් සමග ශ්‍රී ලංකාවේ  බෞද්ධ පාසැල් පිහිටුවිමටද  පුරෝගාමී වූවාය.  බ්‍රිතාන්‍ය පාලනය ඇයට මෙන්ම ජර්මන් වරුන්ටද ඔවුන්ගේ පර්යේෂණය කිරීමට අවසර දුන්නේ නැත. ඇයද ඒ දිනවල ජනප්‍රියව තිබූ ආර්ය කතාව විශ්වාස කළ බවට පිළි ගත හැකිය.  බ්ලවැට්ස්කි ගැන  ලියුවේ මම  අධිමානසික විද්‍යාවන් පිලිබඳ 2000 දශකයේ මුල භාගයේ කළ පර්යේෂණයක් සඳහාය. බ්ලවැට්ස්කි ග්‍රීසියට පැමිණ මිනොඅන් ශිෂ්ටාචාරය ගැන සොයා බලා  ලංකාවට ගිය බව දැන  ගැනීමෙන් මට ඇතිවූ මහත් පුදුමයකි.

***********************************************************************