Thursday, 20 August 2026

විශාරද නන්දා මාලිනියනි , ඔබට සුභ ගමන් !



විශාරද නන්දා මාලිනියගේ මම  කැමතිම ගීතය මොකද්ද කියල කියන්න අමාරුයි .  නමුත් පොඩිම කාලේ හිතේ රැඳුනු  ගීතය තමා 
හරි පුදුමයි ගේ දොරකඩ නිල වන පියසේ 
නිදිමත නැතිවී හිරු පායා ඇත 
උමතු වෙසින් මහා රෑ යාමේ 

කියන එක . 
මේ ගීතය 1971 දී තහනමකට ලක් වුනාලු .  නමුත්  පොඩි කාලේ සින්දුව අහන හැම වෙලේම අමුතු චමත්කාරයක් දැනුනු එකක් . සත්තු උඩ යනව ,  සූටික්කෝ උගන්වනවා පුංචි  කාලේ හිතේ මැවෙන රූප .  ඒක මට ළමා ගීයක් වගේ . පස්සේ කාලෙක ඇලිස් ගේ විශ්මලන්තය කියවන කොට සින්දුව ලීවේ ඒකටද කියලත් හිතුනා.
"සුදම් සභාවේ" කියන කොටස  එනකොට සංගීතය ටිකක් වේගවත් වෙනවා වගේ .  ඒකෙ සංගීතයට අදත් මම ප්‍රිය මනාපයි .  පසුව දැන ගත්ත සකුරා මල් කියන්නේ මේ චෙරි මල් වලටමයි  කියල .  අපේ පුංචි ගෙවත්තේ පොඩිති චෙරි ගහක් තියනව. ඒකෙ මල් ශ්වේත වර්ණ . අපි ඉන්න පාරේ රෝසපැහැ  චෙරි මල් පිපෙන ගස් රාශියක් තියනව .  ඒව දිහා බලන කොට කියැවෙන්නේ මේ සින්දුව .  හැබැයි ඊලඟට හිතට මැවෙන්නේ ජපානය. 





ඒ ගීතය වගේම මගේ සිතේ අරක් ගත්  අනිත් ගීතය ඇය නාරද දිසාසේකර සමග ගයන ,  ශ්‍රී චන්ද්‍රරත්න  මානවසිංහයන් 'රන් මුතු දූව ' චිත්‍රපටයට රචනා කරපු  "ගලන ගඟකි ජිවිතේ" ගීතය  .  ඒකෙ සංගීතය විශාරද අමරදේව  මාස්ටර් ගේ.  බොහොම හිමින් ගලන සින්දුවක් .  ගඟක් දොළක් ළඟ ලපලු නටන කොට මතක් වෙන ගීතයක් . 

තව මම නිතර අහන එකක්   තමයි 'හද විල කළඹන පෙම් ජල රේඛා " ගීතය .  පියකරු තරුණියක් හිතට මැවෙන ලස්සන ගීතයක්. ඒ සින්දුව ඒ කාලේ ගුවන් විදුලියේ නිතර යන එකක් .  

අසූ ගණන් වල මුල අපට කැසට් ප්ලේයර් එකක් තිබුනේ නැහැ .   අපේ ගෙවල් පැත්තේ හිටි සිරිමල්  අයියා ළඟ පොඩි කැසට් ප්ලේයර් එකක් තිබ්බ .  මමයි පොඩි අක්කයි  ඒකෙන් නන්දා  මාලිනි ගේ 'යාත්‍රා '  සින්දු ටික  අහනව  මතකයි .  'කුරුටු ගෑ ගී පොතේ '  , 'රන් කෙන්දෙන් බැඳ' වගේ ගීත තිබ්බේ ඒකෙ මම හිතන්නේ . 

ඒ ලෙවල් කරන තරුණ කාලේ එන කොට 'උඩඟු ලියන්  ගොතා බඳින නිල වරල් සරසන්නට ' තමා කැමතිම ගීතය .  ඒකේ මාර  වචන ගොන්නක් තිබුනේ . 

හිස් මිනිසුන් කුස් පුරවන
සිත් පිනවන 
බස් දොඩවන 
බොජුන් මේස මත 
සුවඳ හලන්නට 
මා පිපුනේ නැත 
මේ දෙරණේ ........................

රට වෙනුවෙන් සටනට වැද  දිවි දුන් 
රණවිරුවෙකුගේ අවසන් ගමනට 
යන මහජනතා  පා දූවිල්ලෙන් 
තැලී වෙලී  සැනහී මිය යන්නෙම් .............
 
එහෙම  තමා  ඒකෙ තියෙන්නේ . 
ඒ කාලේ තමා  දිවයින පත්තරේ මහාචාර්ය  සුචරිත ගම්ලත් දෙඤ්ඤම් බැටේ විචාරය පටන් ගන්නේ නන්දා  මාලිනියට  සහ ආචාර්ය  සුනිල් ආරියරත්නට.  "මේ සිංහල අපගේ රටයි"  සින්දුවට සහ තවත් ඒවාට .  
ඉතින් මේක  හෙන  අවුල් .  මම  නිතර මහාචාර්ය තුමාගේ    දේශන අහන්න යන ,  එයාගේ ලිපි නිතර කියවන තැනක සිටි නිසා .  

මේ සිංහල අපගෙ රටයි
අප ඉපදෙන මැරෙන රටයි
අප හද පණ ගැහෙන රටයි
මුළු ලොව ඒ රටට යටයි

අහස සිඹින ගිරි කඳුරු
පොළොව තෙමන වැව් සයුරු
මුහුද අවට බැඳි පවුරු
එරට අසිරි සිරි එයුරු

මව්බිම වෙනුවෙන් පොරණේ
දිවි දුන් විරු දරුවන්නේ
ලේවලිනුයි ඒ දෙරණේ
මිණි කැට මුතු ඇට මැවුනේ

ඇත්තම් කියනවනම්  මම ඒ සින්දුවට පට්ට ආසයි. අද වුනත් මම ඒකට කැමතියි .  මුළු ලොව ඒ රටට යටයි කියල අද හිතන්නේ නැහැ තමා .  මේ සිංහල අපගේ රට විතරක් කියල හිතන්නේ නැහැ තමා.  ලස්සන රටවල් ලෝකයේ බොහෝ තැන්වල දැන් දැකලා  තියනව .  නමුත් අපි කොහේ හිටියත් අපේ පෙකණිවැල  බැඳිලා තියෙන්නේ ලංකාවට .  ඒක මතක් වෙන්නේ  මේ වගේ සින්දු එක්ක.  

හැබැයි නන්දා -සුනිල් මෙහමත් කිව්වා .  "රණ දෙරණේ කඳුල  සුසුම" ගීතයේ. 
එතෙරක රස බොජුන් එපා   
රන් සළු පිලි යහන එපා 
උපන් රටට පිටු පානා 
හෙළයන් හෙළ බිමට එපා 

 නැහැ . මහාචාර්ය සුචරිත ගම්ලත් නිවැරදියි .  ඒ විචාරය එදත් හරි .  අදත් හරි .  මොකද නන්දා මාලිනිය ඉන්පසු ඔස්ට්‍රේලියාව ,  එංගලන්තය , කැනඩාව වගේ රටවල් සංචාරය කළානේ . ඒ නිසා දැනෙන්න  ඇති හැම හෙළයෙක්ම එසේ නොවන බව .  

ජෝතිපාල ඇන්ජලින් ගේ සින්දු වලට රහසින් කැමති අපිව,   ටි එම් ගේ මිල්ටන් මල්ලව ආරච්චි  ගේ සින්දු නිතර අහපු අපිව ,  නන්ද මාලිනි, අමරදේව, සොමතිලක ජයමහ, කපුගේ ආදීන් අරන් ගියේ වෙනම තලයකට . 

'පවන '  එනකොට මම ලංකාවේ නැහැ .  'පවන '  කරන්න මේ නන්දා , සුනිල් සුසංයෝගයට හිත දුන්නේ ගම්ලත් ආදීන් ගේ  විවේචන නිසාද දන්නේ නැහැ.  නමුත් ඒක අමුතු ලෙවල් එකකට ගියා .  අර විරිදු ලෙසින් කියන සින්දු ටික .  
සුචරිත ගම්ලත්ට පිළිතුරු දුන්නේ මේ ගීතයෙන් වෙන්න පුළුවන් . 

සිංහල ජනයිනි රුහුණු මායා පිහිටි රටේ
දමිල ජනයිනි යාපාපටුනේ
මඩකලපුවෙ තිරිකුණාමලේ
මුස්ලිම් ජනයිනි බේරුවල
හම්බන්තොට තිහාරියේ

බොදුනුවනී දන් පින් හී යෙදෙන පංසලේ
කිතුණුවනි යදින යාතිකා දෙව්මැදුරේ
මුස්ලිමුනී කියන කුරාණය පල්ලියේ

උරය පලා සැතකින් බලන් රුහිරූ
එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරු

බමුණනි වරෝ වෙල්ලාවට පූන
නුලෙන් දිය ලණු බැඳගෙන
බමුණනි වරෝ වෙල්ලාවට පූන
නුලෙන් දිය ලණු බැඳගෙන

රජකයිනි ගනිව් සිහසුන
වෙල්ලා හැලියෙන් සෝදා අතපය
රජකයිනි ගනිව් සිහසුන
වෙල්ලා හැලියෙන් සෝදා අතපය
සිහල ගිනි දණ්ඩේ - දමිල වෙඩි උණ්ඩේ

ගෝත්‍රවාදී ඉලක්ක වලකා
සිහලුනේ යමව් යාපා පටුනට
දමිලයිනි වරෝ රුහුණට
උරය පලා සැතකින් බලන් රුහිරූ
එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරු

තනිකරම වෙනස් ආරයක ,  වෙනස් සංගීත රටාවකට ලියපු දේශාභිමානී ගීත ටිකක් .  හිතන්නට  පොළඹවන . අදත් මේවා වලට විවේචන ඉදිරිපත් වෙන එකෙන් හිතා  ගන්න පුළුවන් .  "නිදහස් බයිලා" හෙමත් ඉතින් සෑහෙන්න තර්ක විතර්ක මතු කරපු 'බයිලාවක්". හැබැයි බයිලා වුනත් කියන්න පුළුවන් කියල ඔප්පුත් කලා.  

ඊට පස්සේ මම අහපු කැමති ගීත තිබුනා 'සත්‍යයේ ගීතය ' , "නිලම්බරේ", තාරකා ඇස්  වගේ  ගීත සමුච්ච  වල .  "ඔබේ පැල , පැලේ පිල" ,  "බුදු හිමියන්ටත් කලියුගයේ" , " නිවන් දක්නා" ,  "උක් දඬු" , "මන්ද නාව කාරණාව" ආදිය විශිෂ්ඨ ගීත සමුච්ච. ඒ හැමදෙයක් එක්කමත් ජිවිතේ මුල් කාලේ අහපු සින්දු හිතේ කෙටිල තියෙන්නේ . 
"තාරකා ඇස්" ගීත සමුච්චයේ තියෙනවා "සුමුදු සුවදෙන සිහින යහනේ " කියල හරිම සුවදෙන ගීයක්. 

පවනේ 'නන්දා -සුනිල් "  රජෙක් ඉල්ලන්නේ ඇයිද කියා මම දන්නේ නැහැ. 
 
කවදා එත්ද අපගේ එක්  නෙතාණෝ 
ගිමනට සෙවන දෙන තුරුනුග තුරාණෝ 
අප සමබිමක රඳවන සොහොයුරාණෝ 
රජෙකැයි අපට නොසිතෙන මහා රජාණෝ , 

කියල ඒ ගීතය ඉවර වෙන්නේ . 

ඇය හුදෙක් ගායිකාවක පමණක් වුනේ නැහැ ඇය අපේ යුගයේ හඬ , පීඩිතයන්ගේ, ප්‍රේමවන්තයන්ගේ මෙන්ම නිදහස අගය කළ සෑම කෙනෙකුගේම ම හදවතේ රැව් දුන් ඒ අසමසම සදාතනික ස්වරයක් . ඇය ගයන්නේ මෙහම . 

ඔබට ගී ගයන මම කෝකිලාවක නොවෙමි
මග තොටේ ඔබ දකින ගැහැනියයි

"ගලන ගඟකි ජීවිතේ" යැයි අපට කියා දුන් ඇගේ ජීවිත නදිය අද නිහඬව මහ සගරයට එකතු වුනා . නමුත් ඇය තබා ගිය ශ්‍රේෂ්ඨ සංගීත උරුමය පරම්පරා ගණනාවක් ඉදිරියටත් අපේ සිතුවිලි සුවපත් කරනු ඇත. දේහයෙන් අප අතරින් නික්ම ගියත් , ඒ මධුර හඬත්, ආත්මය අවදි කළ ගීත රාවයත් මේ හෙළ දෙරණ පවතින තාක් කිසිදිනක මිය යන්නේ නැහැ. ශ්‍රී ලාංකේය සංගීතයේ පහන් තරුව වූ ආචාර්ය නන්දා මාලිනීයනි ඔබට උපහාර 

වහින්නට හැකි නම් ගිගුම් දී
වියලි ගම් බිම් වලට ඉහළින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොයිදෙන පැළක රහසින්
රැඳෙන්නට හැකිනම් ළමා කැළ 
හඬන දෙතොළඟ සිනහවක් වී

ඔබට සුභ ගමන් මැතිණියනි !.

අජිත් ධර්මකීර්ති 20/08/2026

No comments:

Post a Comment

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .