විශාරද නන්දා මාලිනියගේ මම කැමතිම ගීතය මොකද්ද කියල කියන්න අමාරුයි . නමුත් පොඩිම කාලේ හිතේ රැඳුනු ගීතය තමා
හරි පුදුමයි ගේ දොරකඩ නිල වන පියසේ
නිදිමත නැතිවී හිරු පායා ඇත
කියන එක .
මේ ගීතය 1971 දී තහනමකට ලක් වුනාලු . නමුත් පොඩි කාලේ සින්දුව අහන හැම වෙලේම අමුතු චමත්කාරයක් දැනුනු එකක් . සත්තු උඩ යනව , සූටික්කෝ උගන්වනවා පුංචි කාලේ හිතේ මැවෙන රූප . ඒක මට ළමා ගීයක් වගේ . පස්සේ කාලෙක ඇලිස් ගේ විශ්මලන්තය කියවන කොට සින්දුව ලීවේ ඒකටද කියලත් හිතුනා.
"සුදම් සභාවේ" කියන කොටස එනකොට සංගීතය ටිකක් වේගවත් වෙනවා වගේ . ඒකෙ සංගීතයට අදත් මම ප්‍රිය මනාපයි . පසුව දැන ගත්ත සකුරා මල් කියන්නේ මේ චෙරි මල් වලටමයි කියල . අපේ පුංචි ගෙවත්තේ පොඩිති චෙරි ගහක් තියනව. ඒකෙ මල් ශ්වේත වර්ණ . අපි ඉන්න පාරේ රෝසපැහැ චෙරි මල් පිපෙන ගස් රාශියක් තියනව . ඒව දිහා බලන කොට කියැවෙන්නේ මේ සින්දුව . හැබැයි ඊලඟට හිතට මැවෙන්නේ ජපානය.
ඒ ගීතය වගේම මගේ සිතේ අරක් ගත් අනිත් ගීතය ඇය නාරද දිසාසේකර සමග ගයන , ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් 'රන් මුතු දූව ' චිත්‍රපටයට රචනා කරපු "ගලන ගඟකි ජිවිතේ" ගීතය . ඒකෙ සංගීතය විශාරද අමරදේව මාස්ටර් ගේ. බොහොම හිමින් ගලන සින්දුවක් . ගඟක් දොළක් ළඟ ලපලු නටන කොට මතක් වෙන ගීතයක් .
තව මම නිතර අහන එකක් තමයි 'හද විල කළඹන පෙම් ජල රේඛා " ගීතය . පියකරු තරුණියක් හිතට මැවෙන ලස්සන ගීතයක්. ඒ සින්දුව ඒ කාලේ ගුවන් විදුලියේ නිතර යන එකක් .
අසූ ගණන් වල මුල අපට කැසට් ප්ලේයර් එකක් තිබුනේ නැහැ . අපේ ගෙවල් පැත්තේ හිටි සිරිමල් අයියා ළඟ පොඩි කැසට් ප්ලේයර් එකක් තිබ්බ . මමයි පොඩි අක්කයි ඒකෙන් නන්දා මාලිනි ගේ 'යාත්‍රා ' සින්දු ටික අහනව මතකයි . 'කුරුටු ගෑ ගී පොතේ ' , 'රන් කෙන්දෙන් බැඳ' වගේ ගීත තිබ්බේ ඒකෙ මම හිතන්නේ .
ඒ ලෙවල් කරන තරුණ කාලේ එන කොට 'උඩඟු ලියන් ගොතා බඳින නිල වරල් සරසන්නට ' තමා කැමතිම ගීතය . ඒකේ මාර වචන ගොන්නක් තිබුනේ .
හිස් මිනිසුන් කුස් පුරවන
සිත් පිනවන
බස් දොඩවන
බොජුන් මේස මත
සුවඳ හලන්නට
මා පිපුනේ නැත
මේ දෙරණේ ........................
රට වෙනුවෙන් සටනට වැද දිවි දුන්
රණවිරුවෙකුගේ අවසන් ගමනට
යන මහජනතා පා දූවිල්ලෙන්
තැලී වෙලී සැනහී මිය යන්නෙම් .............
එහෙම තමා ඒකෙ තියෙන්නේ .
ඒ කාලේ තමා දිවයින පත්තරේ මහාචාර්ය සුචරිත ගම්ලත් දෙඤ්ඤම් බැටේ විචාරය පටන් ගන්නේ නන්දා මාලිනියට සහ ආචාර්ය සුනිල් ආරියරත්නට. "මේ සිංහල අපගේ රටයි" සින්දුවට සහ තවත් ඒවාට .
ඉතින් මේක හෙන අවුල් . මම නිතර මහාචාර්ය තුමාගේ දේශන අහන්න යන , එයාගේ ලිපි නිතර කියවන තැනක සිටි නිසා .
මේ සිංහල අපගෙ රටයි
අප ඉපදෙන මැරෙන රටයි
අප හද පණ ගැහෙන රටයි
මුළු ලොව ඒ රටට යටයි
අහස සිඹින ගිරි කඳුරු
පොළොව තෙමන වැව් සයුරු
මුහුද අවට බැඳි පවුරු
එරට අසිරි සිරි එයුරු
මව්බිම වෙනුවෙන් පොරණේ
දිවි දුන් විරු දරුවන්නේ
ලේවලිනුයි ඒ දෙරණේ
මිණි කැට මුතු ඇට මැවුනේ
ඇත්තම් කියනවනම් මම ඒ සින්දුවට පට්ට ආසයි. අද වුනත් මම ඒකට කැමතියි . මුළු ලොව ඒ රටට යටයි කියල අද හිතන්නේ නැහැ තමා . මේ සිංහල අපගේ රට විතරක් කියල හිතන්නේ නැහැ තමා. ලස්සන රටවල් ලෝකයේ බොහෝ තැන්වල දැන් දැකලා තියනව . නමුත් අපි කොහේ හිටියත් අපේ පෙකණිවැල බැඳිලා තියෙන්නේ ලංකාවට . ඒක මතක් වෙන්නේ මේ වගේ සින්දු එක්ක.
හැබැයි නන්දා -සුනිල් මෙහමත් කිව්වා . "රණ දෙරණේ කඳුල සුසුම" ගීතයේ.
එතෙරක රස බොජුන් එපා
රන් සළු පිලි යහන එපා
උපන් රටට පිටු පානා
හෙළයන් හෙළ බිමට එපා
නැහැ . මහාචාර්ය සුචරිත ගම්ලත් නිවැරදියි . ඒ විචාරය එදත් හරි . අදත් හරි . මොකද නන්දා මාලිනිය ඉන්පසු ඔස්ට්‍රේලියාව , එංගලන්තය , කැනඩාව වගේ රටවල් සංචාරය කළානේ . ඒ නිසා දැනෙන්න ඇති හැම හෙළයෙක්ම එසේ නොවන බව .
ජෝතිපාල ඇන්ජලින් ගේ සින්දු වලට රහසින් කැමති අපිව, ටි එම් ගේ මිල්ටන් මල්ලව ආරච්චි ගේ සින්දු නිතර අහපු අපිව , නන්ද මාලිනි, අමරදේව, සොමතිලක ජයමහ, කපුගේ ආදීන් අරන් ගියේ වෙනම තලයකට .
'පවන ' එනකොට මම ලංකාවේ නැහැ . 'පවන ' කරන්න මේ නන්දා , සුනිල් සුසංයෝගයට හිත දුන්නේ ගම්ලත් ආදීන් ගේ විවේචන නිසාද දන්නේ නැහැ. නමුත් ඒක අමුතු ලෙවල් එකකට ගියා . අර විරිදු ලෙසින් කියන සින්දු ටික .
සුචරිත ගම්ලත්ට පිළිතුරු දුන්නේ මේ ගීතයෙන් වෙන්න පුළුවන් .
සිංහල ජනයිනි රුහුණු මායා පිහිටි රටේ
දමිල ජනයිනි යාපාපටුනේ
මඩකලපුවෙ තිරිකුණාමලේ
මුස්ලිම් ජනයිනි බේරුවල
හම්බන්තොට තිහාරියේ
බොදුනුවනී දන් පින් හී යෙදෙන පංසලේ
කිතුණුවනි යදින යාතිකා දෙව්මැදුරේ
මුස්ලිමුනී කියන කුරාණය පල්ලියේ
උරය පලා සැතකින් බලන් රුහිරූ
එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරු
බමුණනි වරෝ වෙල්ලාවට පූන
නුලෙන් දිය ලණු බැඳගෙන
බමුණනි වරෝ වෙල්ලාවට පූන
නුලෙන් දිය ලණු බැඳගෙන
රජකයිනි ගනිව් සිහසුන
වෙල්ලා හැලියෙන් සෝදා අතපය
රජකයිනි ගනිව් සිහසුන
වෙල්ලා හැලියෙන් සෝදා අතපය
සිහල ගිනි දණ්ඩේ - දමිල වෙඩි උණ්ඩේ
ගෝත්රවාදී ඉලක්ක වලකා
සිහලුනේ යමව් යාපා පටුනට
දමිලයිනි වරෝ රුහුණට
උරය පලා සැතකින් බලන් රුහිරූ
එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරු
තනිකරම වෙනස් ආරයක , වෙනස් සංගීත රටාවකට ලියපු දේශාභිමානී ගීත ටිකක් . හිතන්නට පොළඹවන . අදත් මේවා වලට විවේචන ඉදිරිපත් වෙන එකෙන් හිතා ගන්න පුළුවන් . "නිදහස් බයිලා" හෙමත් ඉතින් සෑහෙන්න තර්ක විතර්ක මතු කරපු 'බයිලාවක්". හැබැයි බයිලා වුනත් කියන්න පුළුවන් කියල ඔප්පුත් කලා.
ඊට පස්සේ මම අහපු කැමති ගීත තිබුනා 'සත්‍යයේ ගීතය ' , "නිලම්බරේ", තාරකා ඇස් වගේ ගීත සමුච්ච වල . "ඔබේ පැල , පැලේ පිල" , "බුදු හිමියන්ටත් කලියුගයේ" , " නිවන් දක්නා" , "උක් දඬු" , "මන්ද නාව කාරණාව" ආදිය විශිෂ්ඨ ගීත සමුච්ච. ඒ හැමදෙයක් එක්කමත් ජිවිතේ මුල් කාලේ අහපු සින්දු හිතේ කෙටිල තියෙන්නේ .
"තාරකා ඇස්" ගීත සමුච්චයේ තියෙනවා "සුමුදු සුවදෙන සිහින යහනේ " කියල හරිම සුවදෙන ගීයක්.
පවනේ 'නන්දා -සුනිල් " රජෙක් ඉල්ලන්නේ ඇයිද කියා මම දන්නේ නැහැ.
කවදා එත්ද අපගේ එක් නෙතාණෝ
ගිමනට සෙවන දෙන තුරුනුග තුරාණෝ
අප සමබිමක රඳවන සොහොයුරාණෝ
රජෙකැයි අපට නොසිතෙන මහා රජාණෝ ,
කියල ඒ ගීතය ඉවර වෙන්නේ .
ඇය හුදෙක් ගායිකාවක පමණක් වුනේ නැහැ ඇය අපේ යුගයේ හඬ , පීඩිතයන්ගේ, ප්‍රේමවන්තයන්ගේ මෙන්ම නිදහස අගය කළ සෑම කෙනෙකුගේම ම හදවතේ රැව් දුන් ඒ අසමසම සදාතනික ස්වරයක් . ඇය ගයන්නේ මෙහම .
ඔබට ගී ගයන මම කෝකිලාවක නොවෙමි
මග තොටේ ඔබ දකින ගැහැනියයි
"ගලන ගඟකි ජීවිතේ" යැයි අපට කියා දුන් ඇගේ ජීවිත නදිය අද නිහඬව මහ සගරයට එකතු වුනා . නමුත් ඇය තබා ගිය ශ්‍රේෂ්ඨ සංගීත උරුමය පරම්පරා ගණනාවක් ඉදිරියටත් අපේ සිතුවිලි සුවපත් කරනු ඇත. දේහයෙන් අප අතරින් නික්ම ගියත් , ඒ මධුර හඬත්, ආත්මය අවදි කළ ගීත රාවයත් මේ හෙළ දෙරණ පවතින තාක් කිසිදිනක මිය යන්නේ නැහැ. ශ්‍රී ලාංකේය සංගීතයේ පහන් තරුව වූ ආචාර්ය නන්දා මාලිනීයනි ඔබට උපහාර
වහින්නට හැකි නම් ගිගුම් දී
වියලි ගම් බිම් වලට ඉහළින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොයිදෙන පැළක රහසින්
රැඳෙන්නට හැකිනම් ළමා කැළ
හඬන දෙතොළඟ සිනහවක් වී
ඔබට සුභ ගමන් මැතිණියනි !.
අජිත් ධර්මකීර්ති 20/08/2026
අමාව කිම යැයි
ReplyDeleteපැනයක් නැඟුණොත්
නොබියව පෙන්වමි
ඇගෙ ගී සයුරෙන්
දෝතක් අරගෙන...
නන්දක්කේ, ඔබට නිවන් සුව!
ස්වරය මධුරය කන්කළුය
Deleteඇය අප ගීත සයුරක රැගෙන
ගොස් හදිසියේ
අතරමන් කර දැමුවාය
ඒ ගැන ඇයට තුති
සුභ ගමන් නන්දා මාලිනී...මලත් නොමැරෙන ගායිකාවක්...
ReplyDeleteඑයත් එසේමය
Deleteපසු කළෙක සුනිල් ආරියරත්නගේ පදමාලාවලට පමණක් සීමා නොවුනා නම් වඩාත් රසවත් අර්ථවත් ගී අපට ඇගේ හඬින් අසන්නට ලැබෙන්නට තිබුනා යයි මගේ හැඟීම
ReplyDeleteඑතන තිබුනේ එකතරා අන්දමක සුසංයෝගයක් , එය ඇගේ තේරීම , එහෙම වෙන්නත් තිබුනා . කේ ඩී කේ ගේ සින්දු එහම්ත් කිව්වනම්
Deleteඔබේ ලිපියෙන් නන්දා මාලිනියගේ ගීත නැවත නැවත මතකයට නැගෙනවා. මට මතකයි අපි පුංචි කාලේ ඇගේ ගීත බොහොමයක් තහනමට ලක් උනා. ඒත් හේතුවක් නම් කියන්න තරම් ඒ කාලේ මට දැනුමක් තිබුනේ නෑ. ඇය ඇගේ ගොඩාක් ගීත තුලින් මවා පෙන්වු දේශය කෙබඳු වේදැයි සියැසින්ම යාන්තමට හරි දැකබලා ගන්නට වරම් ලැබුවාය. ඇයට සුබ ගමන් !
ReplyDeleteනන්දා මාලිනි කියන්නේ පවනම නෙමේ . ඇගේ ප්‍රේම ගීත , ඔයාගේ කවි වගේ ගීත බොහොමයක් තිබෙනවා . ස්තූතියි
Deleteඅජිත්...ඔයා මගෙ හදවතේ නන්දා මාලනිය සහ ඇගේ මිහිරි අරුත්බර ගීත ගොන්න කෙරෙහි තිබු ආදරය, ගෞරවය, සිත් නිවීම ගැන තිබු සියලු අදහස්, ඔයා, ඔයාගෙ ලියැවිල්ල තුළ අපූරුවට ප්‍රතිනිර්මාණය කරල තිබුණා.
ReplyDeleteආදරණිය නන්දා අක්කා..
ඔබ නැති මේ රැයට පුන්සඳ එළිය කුමටද
ඔබ නැති මේ බිමට නළමුදු සුවඳ කුමටද 😥
ඔබේ අරුත්බර ප්‍රතිචාරයට තුති
Delete++++++++++++++
ReplyDeleteස්තූතියි
Delete//පවනේ 'නන්දා -සුනිල් " රජෙක් ඉල්ලන්නේ ඇයිද කියා මම දන්නේ නැහැ//
ReplyDeleteඇයි ඔය කියල තියෙන්නේ. මෙතන "රජෙක්" කියන්නේ නායකයෙක් වෙන්න ඇති.
අප සමබිමක රඳවන සොහොයුරාණෝ
රජෙකැයි අපට නොසිතෙන මහා රජාණෝ
මට හිතෙන්නේ ටිපිකල් පොතේ විතරක් ඉන්න ඇහැකි "සම-සමාජයත්", මනෝ රාජික සමාජවාදී පොතේ ඉන්න ඩවුන් ටු අර්ත් කමරේඩ් නායක සහෝදරයා වෙන්ටෑ. ඒක ඇගේ සිහිනය. හීන දකින්න හැමෝටම අයිතියක් තියනවා. විවේචන තිබ්බත් රටක් වටින ගායිකාවක්.
නන්දක්කේ, ඔබට සුභ ගමන්!
රජෙක් කතාව පොඩි ඩෑෂ් පාරක් . උස්සල දුන්න කාට හරි කමෙන්ට් එකක් දාන්නත් එක්ක , ඔය රජ කතාව දීර්ඝ කාලයක් තිබුන ලංකාවේ . ආපු සමහර ජනාධිපති වරුත් ඒ නිසාම රජාට ඇන්ද , උතුමාණනි ගේ සිට, තව කෙනෙක් සිංහාසනේ ඉඳ ගත්ත . තවත් කෙනෙක් දුටු ගැමුණුට පවා නෑකම් කිව්වා . මෙතැන නන්දා මාලිනි කියන්නේ රජෙකුට වඩා සමබිම ඉන්න සොහොයුරෙක් වන නායකයෙක් ගැන . ඒක උපුටන්න ඕන වුනා
Deleteපවන කියන්නේ විරෝධාකල්ප සින්දු ටිඅකක් . ඒක එක කලෙක්ෂන් එකක් විතරයි . ඇගේ ඉතා හොඳ ගීත ගොඩක් තිබෙනවා .
Deletehttps://www.youtube.com/watch?v=NhDnDJLePqE
Deleteබසු ට හෝඩුවාවක් - Tennessee Williams's masterpiece, The Glass Menagerie -Portrait of a Girl in Glass-Laura Wingfield is deeply insecure, mentally fragile, and reclusive, retreating into her own world of old records and glass animals.Tom Wingfield loves his sister deeply and tries to protect her, but he feels trapped by the family's situation.Jim O'Connor (the "Gentleman Caller") is invited over. He genuinely likes Laura, makes her feel special, and helps her step out of her shell for a brief moment
Deleteස්තුතියි හෝඩුවාවට. ඇත්ත, ඇගේ ඉතා හොඳ ගීත ගොඩක් තිබෙනවා.
Deleteදෙන්නම එකතුවෙන් දෙමළ ගීතත් කරල තියෙ. සුනිල් ආරියරත්නයන්ට දෙමළ පුළුවන්. එහෙ විශ්වවිද්‍යාලෙ උගන්වල, ඉන්දියාවේ ගිහින් හිටි නිසා. සමහරවිට ඇයටත් යම් පමණකට දෙමළ පුළුවන් ඇති. ඇයත් කලක් එහෙ හිටිය බව කියල තිව්න.
ReplyDeleteඔව් ඔව් , https://www.youtube.com/watch?v=FJSLg1wJ02Q
Deleteවාරණ - රැඩිකල් - විප්ලවවාදී වලට වැහුණු ලස්සන ආදර ගී පෙලකුත් ඇයගෙ තියෙනව... මේ සඳහන් කරපුව වගෙ. එකයි මමත් "රෑ, ළසොවින් වැළපුන... ඔබ" කියල පොස්ටුවක් ලීවෙ. දැනට ලියල තියෙන අන්තිම පොස්ටුවත් ඇයගෙ අර කියාපු "සකුරා මල්".
ReplyDeleteසුබ ගමන් ඇයට 💔🙏
දිවියෙන් සමුගත් විශාරද නන්දා මාලිනී සිංහල ගී ක්ෂේත්රයට කුරවී කෙවිලියක වැනි විය.
ReplyDeleteහුදු ගායිකාවකට වඩා ජනතාවගේ පැත්ත සිට හඬ නැගූ මේ ගායිකාව චාම් බවේ සංකේතයකි.
පුරා දශක ගණනාවක් ඇය සැරසුනේ සුදුවතින්. කලකට ඉහත ඇය තම මෑණියන් පිළිබඳ මතකය අවදි කර තිබුනේ මෙන්න මේ විදිහටයි.
"මගේ අම්මා ලියනගේ එමලි පෙරේරා. අලුත්ගම වැලිපැන්න ලෙවන්දුව ඇගේ ගම් පළාත වුණා.
මගේ තාත්තා ටේලර් කෙනෙක්. මිරිහාන ආරච්චිගේ වින්ස්ටන් පෙරේරා. ගමේ එහෙ වුණත් පවුල් කුටුම්බය පැවතුනේ කොටහේන කාසෙට්ටි වත්තේ.
මේ වත්තේ ලයින් ගෙවල් 58ක් තිබුණා. අපි හිටියේ පුංචි පැලක් වගේ ගේක.
අපේ පවුලේ දරුවන් නමයයි. දැන් එක්කෙනෙක් අප අතර නැහැ. ට්‍රොලි බස් වල, ට්රෑම් කාර් වල, තට්ටු බස් වල ගමන් කරන නාගරික පරිසරයක් වුණාට අපි ඒ සමාජයේ වෙනස් පවුල් වලටත් වඩා දුප්පත්ම පවුලක්.
තාත්තට බොහෝ අය කිව්වේ කෝට් බාසුන්නැහැ කියලා. ඒකට හේතුව හයිඩ්රාමනි කොම්පැනි වෙනුවෙන් කෝට් මැසීම කළේ මගේ තාත්තා නිසයි.
අම්මගේ ගමත් හරිම දුෂ්කරයි. වෙල් එළි, කමත් කුඹුරු, වන වදුලු තුරුලතා පිරි සුන්දර ගම්මානයක් වුණත් මේ ගමට අදටත් බස් එකක් යන්න බැරි තරම්.
අලුත්ගම වැලිපැන්න මතුගම ආදී බස් වලින් ගිහින් අම්මලාගේ ගමට යන්න නම් ලෙවන්දුව ඉස්කෝල ළඟින් බැහැලා තවත් කිලෝමීටර් තුනක් විතර පයින්ම යන්න වෙනවා.
අපේ අම්මලාගේ මහ ගෙදර තිබුණේ විශාල ගල් තලාවක් අයිනේ. නිවාඩු කාලෙට කොන්ක්‍රීට් වනාන්තරයෙන් අර ලයින් පේළින් ඉගිලිලා අපි යන්නේ අම්මගේ මේ ලස්සන ඒ වගේම දුෂ්කර ගමටයි.
දන්න හැටියට නම් අම්මගේ තාත්තාගේ විවාහය සිදුවෙලා තියෙන්නේ යෝජිත ක්‍රමයටයි. වචනය පරිසමාප්ත ආකාරයෙන්ම අම්මා හරිම අහිංසක මාතාවක්.
ස්වාමි භක්තිය ඇය තුළ ඉතිරුණා. මට මතකයි මා පාසල් ගිය පුංචි දවස්. කොටහේන ගුණානන්ද විද්‍යාලයට තමයි මං අකුරු කරන්න අම්මා යැව්වේ.
මං පවුලේ දරුවන් අතර තුන්වැන්නා. මට උඩින් අයියායි අක්කයි හිටියා. මගේ මව්පියන් කොච්චර දුප්පත්ද කියනවා නම් එයාට අපේ හැකියාවන් තිබුණත් මතු කර දෙන්න තරම් වියදමක් දරන්න බැරුවයි හිටියේ.
ඒ නිසා ඔවුන් ඒ ගැන හිතුවෙත් නැති තරම්. කඩේට ගියත් යමක් ගේන්න වුණත් බොහෝ විට යන්නේ මමයි. ගෙදර පිලිවෙල දන්නා නිසා මට පිරිමහලා ගේන්න පුළුවන් බව අම්මා හොඳටම දන්නවා.
කොච්චර නැති බැරි වුණත් නරක වැඩ, පව් වැඩ වලට දරුවන් යවන්න අම්මත් තාත්තත් කැමති නැහැ. අනුන්ගේ දෙයක් ඉල්ලන්නවත් පුරුදු කරන්නේ නැහැ. ලැබෙන රුපියල් 10යිද ඒ 10න් ජීවත් වෙන්න බලනවා.
මම දවසක් පුංචි කමට කඩේ මුදලාලිගෙන් ලූණු ගෙඩි දෙකක් හොරකම් කරගෙන ගෙදර ආවා. ගෙදර ලූණු බික්කක්වත් නැති නිසයි එදා වුණත් මම ඒ හොරකම කළේ.
මුදලාලි දැක්කේ නැහැ. අම්මා ලූණු කොහෙන්ද කියලා ඇහුවම මම ඇත්තම කිව්වා. අම්මට තරම් තදින් කේන්ති ගිය දවසක් මට මතකයක් නැහැ. ඇය අපිට කවදාවත්ම නියපිටින් පහරක් ගහලවත් නැහැ.
ඒත් එදා අම්මා මහා කේන්තියෙන් ආවා. 'ගණින් ඔය ලූණු' කිව්වා. මගේ අතින් අල්ලාගෙන පාර දිගේ බැන බැන මාව එක්කගෙන කඩේට ගියා. 'මුදලාලි සමාවෙන්න මේ කෙල්ල ලූණු ගෙඩි තුනක් හොරකම් කරලා බලන්න මේ දරුවා හැදෙන හැටි' කියලා අම්මා ලූණු පෙට්ටියට මගේ අතින් උදුරලා දැම්මා.
යන එන මග මිනිස්සු බලාගෙන හිටියා. මුදලාලිටත් හිනා. ඒත් කවුරුත් අම්මගේ මේ ක්‍රියාව ගොඩක් අගය කළා. එදා මෙදා කවදාවත් අන්සතු දෙයක් හොරෙන් නම් ගත්තේ නැහැ. එදා අම්මා එහෙම නොකළා නම් මට වැරදි පූර්වාදර්ශයක් ලැබෙන්නේ.
මට ඉස්කෝලේ කිව්වේ 'කවි නන්දා' කියලයි. හේතුව ලෝ වැඩ සඟරාවේ කවි, සුභාෂිතයේ කවි මං හැඩ දාලා ඉස්කෝල රැස්වීමේදී කියනවා.
ReplyDeleteමගේ කලා ජීවිතයේ තිඹිරිගේ ඇත්තටම පාසල. පාසලේ සිල්වෙස්ටර් මාස්ටර් මෙහිදී අමතක කළ නොහැකි නමක්. එතුමා ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය ශිල්පියෙක් වන වික්ටර් වික්‍රම මහතාගේ තාත්තා.
මං ඉස්කෝලේ කලා හැකියාව මුලින්ම දියුණු කළේ කවියෙන්. ඊළඟට රංගනයෙන් කිව්වොත් ඔබ පුදුම වෙයි. මුලින්ම පාසලේ හදපු වෙස්සන්තර නාට්‍යයේ ක්රිෂ්ණ ජිනාගේ චරිතය රඟපෑවේ මමයි. මේවා බලන්න මගේ රත්තරන් අම්මට ආසාව උනන්දුව තිබුණත් එවැනි තැනකට එන්න තරම් වත් පොහොසත් ඇඳුම් ඇයට තිබුණේ නැහැ.
ඇය එවැනි ඇඳුම් ලොකු දේවල් සැලකුවෙත් නැහැ. ඒත් දරුවට ලැජ්ජ වෙයි කියලා ඉදිරියට ඇවිත් වාඩි වුණෙත් නැහැ. ගෙදර ආවම අම්මා මේවා ගැන කියපු දේවල් වලින් මට අම්මා ඒවා බලලා තියෙනවා කියලා හැඟුණා.
මා ඒ පිළිබඳව දිගින් දිගටම ප්‍රශ්න කළාම ඇය කිව්වේ මෙහෙමයි. 'දුවේ මං උඹට හරි ගුරුවරුන්ට හරි නොපෙනෙන්න උඹේ දස්කම් බලන්න ආවා. මං හැංගිලා උඹේ දස්කම් බලලා අපූරු රසයක් වින්දා.' අම්මා එහෙම කියනකොට මගේ හදවත ඇය වෙනුවෙන් කරුණාවෙන් ඉපිලුනා.
අපේ ගෙදර ලයිට් නැහැ. එක පෙළට දරුවන් වාඩි වුණාම ගෙයි තවත් ඉඩක් නැහැ. අපේ ගෙදර බත් බෙදන්නේ ලොකු අක්කා. අම්මට බත් ටික බෙදන්න දුන්නොත් බත් මුට්ටියේ දං කුඩු ටිකක්වත් තියාගන්න නැතුව දරුවන්ටම බෙදනවා.
අපේ අම්මටත් හොඳට කවි කීමේ හැකියාවක් තිබුණා. අම්මා ගමේදී අත්කම් ක්‍රමයට ගොවිකම් කටයුතු කරනකොට කියපු කවි ගී අම්මා නිතර සිහිපත් කරනවා.
මම පවුලේ තුන්වැනියා නිසා මට පස්සේ හිටි හැම දෙනාම ඉපදිලා නැලවෙන හඬ මට ඇහුණා. මටත් මුලින්ම කවි කීමේ අගය වැටහුණේ අම්මාගෙන්. මගේ අම්මා අපිට අධ්‍යාපනය විතරක් නෙමෙයි. නැණ නුවණත් දුන්නා. ගාථා කියලා දරුවන් මාපියන්ට වඳින්න ඕනේ.
ඒක අම්මා අපිට පුරුදු කළේ වැඳුම් ගන්න නෙවෙයි. මගේ අම්මගේ ජීවිතයේ වැදගත්ම දේ චාම් බව. ඒ වගේම සරල බව. ඒ වගේම අරපිරිමැස්ම. කිසිම දෙයක් ගැන වැඩි ආශාවක් නැතිකම.
ඇය අපිට කෘතවේදීත්වය ඉගැන්වූයේ ඇගේ මහ ගෙදර ඇත්තන් සමඟ බක් මහ සැනකෙළියකදී. ඒ ළිදත් සමඟ ගනුදෙනු කරන්න උගන්නලා.
වතුර කලින් ළිඳට හලලා අලුත් කලයක් ගත්තේ. අම්මා පාන්දරම නැගිටිනවා. මටත් ඒ පුරුද්ද ඒ විදිහටම ආවා. අපේ ඇඳුම් ලොකු මහත් වනතුරුම මැහුවේ අම්මා.
ඇය කිසිම දෙයකින් අනවශ්‍ය සතුටකට පත්වන්නෙවත්, අනවශ්‍ය දුකටවත් පත්වෙන්නේ නැති ගැහැණියක්. අපේ තාත්තා සිගරට්, බීඩි, අරක්කු මේ මොනම දෙයක්වත් කටේ තිබ්බේ නැහැ. ඒත් මා 'බුදු තාත්තේ බොන්න එපා' ගීතය ගැයුවම මිනිස්සු අහලා 'අංකල් බොරු දැම්මට හොඳට අඩි ගහනවානේ' කියලා.
තාත්තා මේකෙන් කම්පා වෙලා මට කිව්වා ඇයි දුවේ ඒ ගීතය කිව්වේ කියලා. ඒත් ඒක පොදු ජන ගීතයක් කියලා ඒ අය දැනගෙන හිටියේ නැහැ. ඒ තරම් ඒ අය සංවේදීයි. මේවා මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගෙන් ඇසුරෙන් නිර්මාණය කරද්දී අම්මා ගොඩක් සතුටු වුණා.
ගීතය ප්‍රබල මාධ්‍යයක් බව මට වටහා දුන්නේ එතුමා. දුක් විඳින මිනිසුන්ගේ පැත්තේ අම්මා කවදත් හිටියා. ඒ නිසා ඒ ගී සමුච්චය ඇයට අස්වැසිල්ලක්. ඇය බිය ගත්තේ නැහැ.
ඒත් මරණ තර්ජන එල්ල වී අපේ ගී ගුවන් විදුලිය තහනම් කරනකොට අම්මා තරමක් බය වුණා. ඒත් මගේ සමාජවාදී අදහස් ඇය අගය කළා. ගුවන් විදුලියේ විශේෂ ශ්‍රේණියේ ගායිකාවක් ලෙස රත්න ශංකර් පර්දුමන්ගේ ශ්‍රේණිගත වීම සිදුවූ දවසේ අම්මා පුදුමාකාර සතුටක් ලැබුවා.
මගේ අම්මා තාත්තා යම් බදු දුරකට කම්පාවට පත් කළ යමක් ඇත්නම් ඒ වරද කළේ මමයි කියලා මා නොපිරිහෙලා හිතනවා.
ජීවිතයේ සැලසුම් කිරීම් පිළිබඳ මුල්ම පාඩම් මට කියා දුන්නේ අම්මා. මගේ ජීවිතයේ චාම්කම, සියල්ල විඳ දරා ගැනීම, උපේක්ෂාව, අරපිරිමැස්ම මේ හැමදේම මා ලැබුවේ ඒ අම්මාගෙනුයි.
මගේ පොඩි දුව අමාගේ පළමු වැනි දරු ප්‍රසූතියේදී මට ලන්ඩන් වලට යන්න සිදුවුණා. අම්මා ඒ කාලේ හිටියේ බාල නංගි ළඟයි. මම එහේ ගිහින් මාස තුනකට පස්සේ නැවත එන්නම් කියලා අම්මට කිව්වම අම්මා කිව්වේ දූ උඹ එනකන් මම මැරෙන්නේ නැහැ කියලායි.
පැය පහක් එයාපෝට් එකේ රස්තියාදු වෙලා මාස තුනකට පස්සේ ලංකාවට එන ගමනේදී කෙලින්ම අම්මා බලන්න නොයා ඊට පහුවෙනිදා ඒ බලන්න යන අදහසින් මම ගෙදර ගියා. එදා රාත්‍රියේ අම්මට අමාරුයි කියන වේදනාබර වචනය මට දුරකථනයෙන් ඇසුණා. අනේ මං යනකොටත් අම්මා නංගිගේ ඔඩොක්කුවේ සිට අපව අතහැර ගිහින්.
ඒත් මගේ අම්මා කිව්වා වගේම මා ලංකාවට එනතුරු ඇය මැරුණේ නැහැ. ඒ සදාකාලිකව මට වේදනාවක්. ඇගේ ඇස් පියවෙන කලින් මට එතුමිය ළඟ අන්තිම මොහොතේ ඉන්න බැරි වුණා."
Muditha Jayasuriya ගෙ වෝලයෙන්...
ReplyDelete//නන්දා මාලනීගේ චිත්‍රපටි ගීත බොහොමයක ඇය ප්‍රධාන නිළිය සමඟ අනන්‍ය වන්නේ නැත. ඒ වෙනුවට ඇය ගීත ගයන්නේ චිත්‍රපටියේ චරිත මුහුණ දෙන යම් නිශ්චිත මොහොතක් තුන්වන පාර්ශවයක් විසින් නැරේට් කරන ස්වරූපයකිනි. මේ හේතුවෙන්ම ඇයගේ යුග ගායනා අඩු අතර ඇත්තේ තනි ගායනාවන්ය.
එබැවින් දියමන්ති චිත්‍රපටියේ "යොවුන් වසන්තයේ" වැනි ගීතයක් තුල ඇත්තේ නිළියගේ චරිතයට අනන්‍ය වීමක් නොව සොරුන් බව නොදැන ඇය මිතුරු කමක් පවත්වනා පිරිමින් තිදෙනෙකු සමඟ නිදහසේ ඇවිද යන මොහොත පිළිබඳ නැරේටිව් එකකි. එයා දැන් ලොකු ළමයෙක් චිත්‍රපටියේ වැඩිවියට පත්වන දැරියක් ගැන ගැයෙන "පිනි දියෙන් විකසිතව" ගීතයද මෙලෙස චරිතයට අනන්‍ය නොවී බාහිරින් ඉදිරිපත් කරන්නකි. එය නව යොවුන් විය සහ ඒ සමඟ බැඳී ඇති සුන්දරත්වය මෙන්ම පොටෙන්ෂල් විපත්තියද අප හමුවේ තබයි. නන්දා මාලනීගේ චිත්‍රපටි නොවන ගීත වලද අඩංගු වන්නේ මේ රටාවයි.
නන්දා මාලනී අනෙක් සියළු ගායක ගායිකාවන්ගෙන් පාහේ වෙනස් වන්නේ මෙතැනිනි. ඇය ප්‍රේම ගී ගැයුවාට ඒවා ගයන්නේ ප්‍රේමවන්තියක් ලෙස නොව ප්‍රේමවන්තියක් මුහුණ දෙන නිමේෂයන් දකින තුන්වන පාර්ශවයක් ලෙසය. මේ නිසා නන්දා මාලනී නියෝජනය කරන්නේ පුද්ගලයකු නොව පොදු සංසිද්ධියයි. සිංහල සමාජයේ ඇයට මාතෘත්වයක් ලැබී ඇත්තේ මෙලෙස අපි සියල්ලන් මුහුණ දෙන සිදුවීම් අපට කියාදෙන නැරේටර් කෙනෙක් නැතහොත් කතන්දර කියන්නියක් බවට පත්විය හැකි අරුම පුදුම හඬක් ඇය සතුව තිබීමෙනි.
ලංකාවේ උපන් මිනිසෙකුට උපතේ සිට මරණය දක්වා නන්දා මාලනී හමුවෙයි. තොටිල්ලේදී "හඳහාමීත්", පාසල් වියේදී "අ යන්න කියන්න"ත්, වැඩි වියට එළඹෙන විට පිනි දියෙන් විකසිතවත්, මුල්ම ආදරයේදී "වාසනාව ඇගේ නෙතයි"ත්, ආදරයේදී, විරහවේදී සිය ගණනක්වූ ගීතත්, වෙසක් කාළයේදී බුද්ධානුභාවේන ගීතයත් නත්තල් කාලයේදී ජේසු ස්වාමි දරුවනේ ගීතයත්, අරගල බිමකදී අරගල ගීතත්, ජීවිතය අමාන්තයට වැටුනු මොහොතක "දහස් ගණනක් සෙනඟ අතරේ මහා තනියක් මට දැනේ" තුලත් නන්දා මාලනී හමු වෙයි. ලංකාව එපාවී රට ගියත් "හීනෙන් මගේ රටේ නිදියන හැම රෑම" ලෙස නන්දා මාලනී ඔබ සොයා පැමිණෙයි. ජීවිතයේ අප මුහුණ දෙන සිදුවීම කුමක්ද එතැන නන්දා මාලනී සිටියි. ඇය අපි මුහුණ දී සිටින කතාව පසුබිමින් කියයි.
මෙලෙස මනුස්ස ජීවිතයක සියළු කාලයන්, සියළු සිදුවීම් ගැන ගීත ගැයූ කතන්දරකාරියක් අපේ ඉතිහාසයේ වෙන නැත. පොඩි රිස්ක් එකක් අරන් කිව්වොත් ඇතැම් විට ලෝකයේත් සිටිනවාද යන්න ශුවර් නැත. (ලතා මංගේශ්කාර් දේශාභිමානී ගීත මිස අරගල ගී කියා ඇත්දැයි හරියට නොදනිමි)
මේ මාතෘ ප්‍රතිරූපය නිසාම ඇයට ගෞරවය මෙන්ම අගෞරවද එක ලෙස ලැබී ඇත. තනි තනි අම්මලා මෙන්ම නන්දා මාලනීද අඩුපාඩු සහිත ගැහැණියකි. ඇයම කියන ලෙස ඇය "මග තොටේ ඔබ දකින ගැහැණියයි." ඇය එලීට් අධ්‍යාපනයක් නැත්නම් ක්‍රමවත් දේශපාලන හැදෑරීමක් කර නැත. විවිධ කාලයන් වලදී ඇය කියූ දේශපාලනික ගීතවල විප්ලවීයභාවයන් මෙන්ම අඩුපාඩුද තිබී ඇත. තරමක් ජාතිවාදී ප්රකාශනයන් ලෙස ඇයම හඳුනාගත් ඇයගේ ඇතැම් ගීත ඇය පසු කළෙක ගායනා නොකර සිටින්නේ ඒවා වැරදි බව කියමිනි. වැදගත්වන්නේ දේශපාලන හැදෑරීමක් නැතිව වුවද තමා වැරදි යැයි සිතෙන විටෙක නිවැරදි කරගැනීමට දක්වන අවංකභාවයයි. නන්දා මාලනී කිසිවකුට කඩේ ගොස් තනතුරු වරප්‍රසාද ගත්තේ නැත. මිය යාමෙන් පසුවද ඇය රාජ්‍ය අනුග්රහයන්, ගුණකතන ප්‍රතික්ෂේප කර මග තොටේ දකින ගැහැණියක් ලෙස නික්ම යයි. ප්‍රතිපත්තිගරුක වීමට මහා ලොකු දේවල් අවශ්‍ය නැත. ඔබ අප වැනි මග තොටේ සිටින මිනිසුන්ටද ප්‍රතිපත්තිගරුකව ජීවත්ව මියයාමට හැකිය.
ලංකාව තුල නන්දා මාලනීගේ බලපෑම වියපත් මිනිසුන්ගේ සිට gen alpha එක දක්වාම පැතිරී ඇත. අපිට ඉදිරියේදීත් අප ජීවිතේ මුහුණ දෙන විවිධ සිදුවීම් වලදී ඇයව මුණගැසෙනු ඇත. එබැවින් ඇය භෞතිකව නික්ම යන්නේ අපේ ජීවිතවල වැඩිම පදාසයක් නියෝජනය කළ අයෙකු ලෙසයි. මෙය ලංකාවේ මිනිසුන් ලෙස අපට පවුලේ මරණයක් මෙන් දැනෙන්නේත් ඇය එපා කියූ ගුණකතන අපි ස්වේච්චාවෙන් කරමින් සිටින්නේත් ඇය විසින් අපේ ජීවිත වල තබා යන මේ සදාකාලික බලපෑම හේතුවෙනි./
නන්දා මාලනී නම් වු ඇය...මොහොතක් වැයකර ඇසිය යුතුම කතාවක්..!
ReplyDeleteඅගමැතිවරයා ප්රමුඛ (සම්භාවනීය) අමුත්තෝ උත්සවයේ ආරාධිතයෝය. මේ පිරිස අතර ශ්වේත වර්ණ සාරියක් ඇඳගෙන හුන් කාන්තාවගේ රුව කොටහේනේ ගම්මුන්ට හොඳට හුරු පුරුදුය. ඈ නන්දා මාලිනීය. වාරය පැමිණි විට ඇය වේදිකාවට ගොඩ වී මයික්‍රෆෝනය අතට ගත්තේ මුව පුරා සිනාවක් තවරාගෙනය.
‘කොටහේනේ හැට දෙකේ වත්ත මගේ ගම. උප්පත්තියෙන්ම මට උරුම වෙලා තිබුණේ දුප්පත්කම විතරයි. මගේ තාත්තා කෝට් බාසුන්නැහේ කෙනෙක්. පුංචි කාලේ අපට කන්න අඳින්න නැති වුණාම දීපදුත්තමාරාමයේ නායක හාමුදුරුවෝ අපට උදව් කළ හැටි මට කවදාවත් අමතක වෙන්නේ නෑ.’
මේ කතාව අසාගෙන් හුන් අගමැතිවරයා කම්මුලේ අත තියා ගත්තේය. (සම්භාවනීය) අමුත්තෝ මුව නොපියා නන්දා මාලිනිය දෙස බැලුවේ විශ්මයෙනි. ගී ලොව මිණි කිරුළ දරා සිටින ඈ මුඩුක්කුවක උපත ලැබුවායි අසන්නට ලැබිම ඔවුන් විශ්මයට පත් කැරන්නට ඇත. හැරත් ඒ කතාව නොබියව කීමට තරම් නන්දා මාලිනියට මේ සා ආත්ම ශක්තියක් නිහතමානීකමත් ලැබුණේ කොහොමදැයි අමුත්තෝ කල්පනා කරන්නට ඇත.
අපේ කල්පනාවේ හැටියට නන්දා මාලිනියගේ මධුර ස්වරයෙන් ගයන ගී අසා තිබුණද ඇගේ ජීවන ගීතය ඔබ නොඅසන්නට ඇත. මේ කතාව හරියට හින්දි චිත්‍රපටයක් මෙනි. එනමුත් අපේ වීරවරියගේ කතාවේ සත්‍ය පිටපතයි මේ.
මිරිහාන ආරචිචිගේ නන්දා මාලිනි පෙරේරා මෙලොව එළිය දුටුවේ රිදී හැන්ද මුව දරාගෙන නොවේ. එක්දහස් නවසිය හතළිස් තුනේ අගෝස්තු විසිතුන් වැනිදා ඈ උපන්නේ අන්ත දරිද්‍රතාවකින් පෙළුණු පවුලකය.
නව දෙනකුගෙන් යුත් පවුලක ඈ සිව්වැනි දරුවා වූවාය. නන්දාගේ මව ලියනගේ එමලින්ය. පියා වින්සන්ට් පෙරේරාය. ඔහු සන්නාලියෙකි. පනහ දශකයේ ලංකාවේ සුප්‍රකට නිමි ඇඳුම් කම්හලක් වූ හයිඩ්රමනි සමාගමේ ඔහු රැකියාව කළේය. නිවාඩු පාඩුවට අමතර ආදායම් උපයා ගැනීමට වින්සන්ට් පෙරේරා ගෙදරද ඇඳුම් මසා කොටහේනේ වතුවල හුන් අයට වික්කේය. මේ නයින් ඔහු ‘කොටහේනේ කෝට් බාසුන්නැහේ’ ලෙස ප්‍රසිද්ධියට පත්වූයේය.
‘ඒ කාලේ තාත්තා මහන ඇඳුම් වත්තේ ගෙවල් ගානේ ගිහින් විකුණුවේ මම. මේ ඇඳුමේ බකල් හයියයි. බොත්තම් හොඳයි. ලස්සනට මහලා තියනවා කියලා කියමින් මම ඇඳුම් වික්කා. ඇඳුම් මල්ල කරතියාගෙන යන මාව ඒ කාලේ ගමේ ගෙවල් ඇතුළටවත් ගත්තේ නෑ. දොරකඩ ළඟ ඉන්න කියලා හෙට්ටු කර කර බොහෝ අඩු මුදලකට ඇඳුම් ඉල්ලනවා. ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා ඔවුන් ඉල්ලන ගණනටම ඇඳුම් දෙන්න සිද්ධ වුණා. ඒ මුදලත් මට ලැබුණේ එක සැරේ නෙවේ. මම දෙතුන් වතාවක් ගිහින් පින්සෙණ්ඩු වුණාමයි සල්ලි ලැබුණේ. එදා මට එහෙම මදිපුංචිකම් කරපු අය අද මම දැක්කාම කටපුරා හිනාවෙලා ගේ ඇතුළට එන්න කියලා දොරවල් ඇරගෙන බලා ඉන්නවා. මට ඒ ගැන තරහක් හෝ කම්පාවක් නෑ. ජීවිතේ කියන්නේ දුක සැප දෙකටමයි. මම දැන් ප්‍රසිද්ධ නිසා මේ අය මට ගරු සත්කාර කළත් මම නම් එදා සිටි නන්දා මාලිනීමයි’
නිහතමානීකමෙන් කිරුළු පළන් සිටින මේ මහා ගායිකාව කියන්නේ තනතුරු තිබුණද නැතිවුණද ජීවත් වීමේ කලාව උපේක්ෂා පාරමිතාව පිරීම බව පසක් කැරමිනි.
කුකුළු කොටුවක් මෙන් ඉඩ නැති නන්දා මාලිනිලාගේ ගේපැලේ තිබුණේ එක කාමරයකි. ආලින්දය, සාලය, කුස්සිය යන මේ කියන කෝකටත් තිබුණේ එක බිමකි. ගෙදර තිබූ එකම ඇඳ වෙන්කැර තිබුණේ දහඩිය කඳුළු වගුරා දරුවන් උස් මහත් කිරීමට මහන මැෂිම පාගා ගෙදරට එන තාත්තා වෙනුවෙනි. නන්දා පැදුර රැගෙන නිදන්නට යන්නේ සාලයේ මේසය යටටය. ඒ හැංගි මුත්තන් සෙල්ලම් කිරීමට නොවේ. මේසය යටට නොගියොත් නිදා ගැනීමට ඒ නිවසේ වෙන ඉඩක් නැති නිසාය.
පුංචි කාලයේ සිටම නන්දා මාලිනිට තාත්තා ගැන තිබුණේ මහා භක්තියකි. ඒ ගෙදර බුදුන් වූයේ තාත්තාය. බුදුන් හැර නන්දා මාලිනිය වන්දනාමාන කැරෙන තවත් චරිතයක් මෙලොව වෙතොත් ඒ ඇගේ තාත්තාය. නන්දා මාලනියට සංගීතය කියා දුන් බොහෝ ගුරුවරු හුන්නද ඈට ජීවිතයේ රිද්මය කියා දුන් මහා ගාන්ධර්වයා තාත්තාය.
‘මගේ පරමාදර්ශය තාත්තා අප ජීවත් කරවන්න ඔහු ගත් උත්සාහය කිසි දෙයකට සම කරන්න බෑ. ඔහු පුදුමාකාර ධෛර්යවන්ත මනුෂ්‍යයෙක්. ඒ කාලේ තාත්තාට ලැබුණේ සතියේ පඩිය. ඔහු ඒ මුදල අතට ගත්තාම මුළු සතියම ජීවත් වෙන්නේ කොහොමද කියලා සැලසුම් කර අරපරිස්සමට වියදම් කරනවා. මට මේ සා දුර ගමනක් ඒමේදී තාත්තාගේ දිවියෙන් ලැබුණු පාඩම් අනන්තයි. අප්‍රමාණයි’ ඈ කියන්නීය.
තාත්තා දුක්මහන්සියෙන් හම්බ කැර ගත් කාසි පනම් බොහෝ අරපරිස්සමෙන් වියදම් කිරීමට නන්දා මාලිනී වගබලා ගත්තාය. එකල ගෙදරට අවැසි හාල් තුනපහේ, එළවළු, කරවල ගෙනෙන්නේ තොටළඟ පොළෙනි. පැටි වයසේ හුන් ඈ මව හෝ වැඩිමහලු සොයුරියක සමග පොළට
ReplyDeleteයන්නීය. කොටහේනේ අතුරු පාරවල්, වැටකඩුලු අතරින් ඇති කෙටි පාරකින් ඈ යන්නේ පාද යාත්‍රාවෙනි. ලාබෙට තිබෙන එළවළු දෙක තුනක් මල්ලට දමා ගන්නා ඕ ගෙදර යන ගමන් ග්‍රෑන්ඩ්පාස් මහ වගුරේ (වර්තමාන සුගතදාස ක්‍රීඩාංගණය පිහිටි බිම) හොඳට වැවී තිබෙන පළා නෙලන්නීය.පෙරේරා පවුලේ සියලු සාමාජිකයන්ගේ බඩට කෑමක් වැටෙන්නේ රාත්‍රී වේලේදීය. අම්මා කෑම පිස අහවර වූ විට බෙදීමේ වැඩේ පැවරෙන්නේ ලොකු අක්කාටය. පිඟන් ටික එකට තබා ඕ සම සේ බත් හා වෑංජන බෙදන්නීය. බඩ පිරුණත් නැතත් ලැබුණු බත් හැන්ද සියල්ලෝම කා සැණහුනේ වැඩිපුර ඉල්ලුවාට දෙන්නට මුට්ටියේ දංකුඩවත් නැති බව දන්නා නිසාය.
‘අපි සරල ජීවිතයකට හුරු හුනේ නැතිබැරිකම නිසා. කෑවේ එක වේලයි. අඳින්න මහ ලොකු ඇඳුම් ගොඩක් තිබුණේ නෑ. හැබැයි තියන ඇඳුම පිරිසිදුවට මැදලා පිළිවෙළකට ඇන්දා. අද වුණත් මට මහ ලොකු ඇඳුම් තොගයක් නෑ. මගේ ජීවිතය හරිම චාම් සරලයි’ ඈ කීවාය.
පන්සලට ගියද, මළ ගමට ගියද, රජ ගෙදරට ගියද, සිනමා සම්මාන රාත්‍රියකට ගියද ඈ අඳින්නේ ශ්වේත වර්ණ සාරියයි. නන්දා මාලිනිය ශ්වේත වර්ණයෙන් පමණක් සැරසීමට පටන්ගෙන දැන් තිස් අවුරුද්දක් ගෙවිලාය. කොටහේනේ මුඩුක්කුවේ හුන් අසල්වැසියාටද මහේශාඛ්‍ය රජ මැදුරේ හුන් ජනාධිපතිවරයාටද දක්වන සැලකිල්ලේ උස් මිටිකම් ඈට නැත. තරාතිරම කුමක් වුවද කොයි කාටත් ඇගේ නිරහංකාර සිනාව කොයි කාටත් සමානය.ලක්ෂ ගණන් වටිනා සාරිද රන් රිදී මුතු මැණික් පිරුණු අභරින් සැරසුණු ගායිකාවන් නානා විදි කොණ්ඩා මෝස්තරවලින් සැරසෙන විට නන්දා මාලිනිය කොහේ ගියද යන්නේ කොණ්ඩය තනි කරලට ගොතා ගෙනය. ඈ කොණ්ඩයට මෝස්තරයක් දමා ඇත්තේ නම් ඒ විවාහ වූ දිනයේ පමණි.
මධුර මනෝහර සිය ස්වරයෙන් මුළු රටක් මෝහනයට පත් කළ ඇය මේ සා නිහතමානී වූයේ කෙසේද?
‘මම කවදාවත් මුල අමතක කළේ නෑ. අමතක කරන්නෙත් නෑ. දුප්පත්කම මම මගේ ගමනට ආශිර්වාදයක් කර ගත්තා මිසක් ලැජ්ජාවට පත්වන කාරණාවක් ලෙස හිතුවේ නෑ’ ඈ කියන්නීය.
නන්දා මාලිනි අකුරු කරන්නට ගියේ ගෙදර පෙනෙන තෙක් මානයේ පිහිටි කොටහේනේ ගුණානන්ද විදුහලටය. ඒ පාසල නම් කැර ඇත්තේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි නමටය. උන්වහන්සේ එකල වැඩ හුන්නේ කොටහේනේ දීපදුත්තමාරාමයේය. බෞද්ධ කොඩිය මුල් වරට
එයැවුණේද ඒ බිමේය. ගුණානන්ද විදුහලේ ඉගෙන ගත් නන්දා සපත්තු නොපැළඳුවාය. දරුවන්ට සපත්තු ජෝඩුවක් මිලදී ගන්නට කෝට් බාසුන්නැහේට කාසි නැතිය. ඒ බව දන්නා ඈ තාත්තාගෙන් කවදාවත් සල්ලි නොඉල්ලුවාය. නානා මාදිලියේ වළලු, මාල, අරුංගල්
විකුණන්නට වත්තට එන වෙළෙඳුන් දෙස ඈ නොබැලුවාය. අයිස්පලම්, කඩචෝරු, බූන්දි ගැන නොසිතුවාය. ‘තාත්තාට කාසි තිබෙනවා නම් අපට අරන් දෙනවනේ’ යැයි ඕ කල්පනා කළාය. සල්ලි නැතිනම් කෝට් බාසුන්නැහේ දරුවන්ට ඒ බව කියයි. එසේ නොමැතිව ඒවා කන්න හොඳ නෑ යනුවෙන් බේගල් නොකියයි. තාත්තාගේ මේ ක්‍රියාවෙන් ඈ ජීවිතයට පාඩමක් ඉගෙන ගත්තා. ඒ ඇත්ත ඇති සැටියෙන් කීමටය.
නන්දා මාලිනී පාසල් යන විට මිරිවැඩි සඟල ලෙස දැම්මේ ‘කට්ට සෙරෙප්පු’ ජෝඩුවකි. ලීයෙන් නිම කැර ඇති මේ සෙරෙප්පු විවිධ වර්ණයෙන් පාට කැර තිබේ. මිල සත තිහකි. ‘කට්ටා සෙරෙප්පු’ දමා ඇවිදින විට දුර තියාම ඈ එන විට ‘ටකස් ටකස්’ ශබ්දය ඇසේ.
මේ නයින් පාසල් ළමෝ නන්දාට ‘කට්ටයා’ යනුවෙන් නම් පට බැන්දහ. ඈ ඒ ගැන කම්පා නොවූවාය.
මෙකල ‘කට්ටයාගේ’ කටහඬ පිළිබඳ මාග්‍රර්ට් පෙරේරා පන්ති භාර ගුරුතුමිය අවධානයෙන් හුන්නාය. සතියකට වරක් හැම බදාදාවකම පැවැත්වෙන සමිතියේ ගී කවි කියන නන්දා මාලිනී ‘හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනෙන’ බව පසක් කළාය.
හය වැනි පන්තියේ අකුරු කරන නන්දා දීප්තිමත් අනාගතයකට උරුමකම් කියන බව අවබෝධ කැර ගෙන හුන් මාග්‍රර්ට් පෙරේරා ගුරුතුමිය ඈ කැටුව රේඩියෝ සිලෝන් හි (වර්තමාන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව) සරස්වතී මණ්ඩපයට ගියාය. ඒ වැඩසටහන මෙහෙය වූවෝ කරුණාරත්න අබේසේකර හා සරත් විමලවීරය. බොහෝ කාලයක් යනතුරු නන්දාට සිද්ධ වූයේ අනුන් කියන ගීවලට අත්වැල් දෙන්නටය. එනමුත් ඕ ඒ ගැන කල්පනා නොකළාය. ‘මම කොහොම හරි තනියම සිංදුවක් කියනවා’ ඈ අදිටන් කැර ගත්තාය. නන්දා මුලින්ම ගැයූ ගීතය ලීවේ අශෝක කොළඹගේය. සංගීතය ඩී.ඩී. ඩැනීගෙනි. ‘බුදු සාධු බුදු සාධු මම සඳුන් ගසක් වෙන්නම්. සමන් වැළක් වෙන්නම්…..’.
නන්දාගේ මිහිරි කටහඬ වෑයර්ලසයෙන් මුළු රටටම ඇසුණි. ගොඩෙහි තිබුණත් මඩෙහි තිබුණත් මැණික මැණිකමය. එහි වටිනාකමේ අඩුවක් නැත්තේය. මෙකල රේඩියෝ සිලෝනි හි ‘සුපර් ස්ටාර්’ ගීත තරගයක් තිබුණි. එය නම් කැර තිබුණේ ‘එයාර් ශිප් ගීත තරගය’ යනුවෙනි. ජයග්රාහකයාට ලැබෙන්නේ බොම්බායට යාමට ගුවන් ප්‍රවේශපත්‍රයකි. ආරියසේන මිල්ලවිතානාචිචි නිෂ්පාදනය කළ එයාර් ශිප් ගීත තරගයේ නිවේදකයා ප්‍රොස්පර් ප්‍රනාන්දුය. මේ තරගයේ ‘සුපර් ස්ටාර්’ වූයේ නන්දා මාලිනීය. දෙවැනියා වික්ටර් රත්නායකය. බොම්බායට යාමට ගුවන් ප්‍රවේශ පත්‍රය ලැබුණු විට නන්දා කල්පනා කළේ නිකරුණේ රට යනවාට වඩා ඒ මුදලෙන් ගෙදරට යමක් කැර ගන්නට මගක් ගැනය. ඈ පියා සමග ගුවන් ප්‍රවේශ පත්‍ර සමාගමට ගියාය. එහි හුන් ලොකු මහත්තයකු හමු වී නන්දා මෙසේ කීවාය.
ReplyDelete‘සර් අපි හරිම දුප්පත්. ඉන්දියාවට ගිහින් අපට තේරුමක් නෑ. මේ ටිකට් එකේ සල්ලි දෙනවා නම් අපට හරිම වටිනවා’
මේ පොඩි කෙල්ලගේ ආයාචනය ඇසූ ඔවුන්ගේ හද උණුවිය. ඔවුහු ඈට ප්‍රවේශ පත්‍රයේ මුදල දුන්හ. සල්ලි ලැබුණු ඈට රටක් රාජ්‍යයක් දිනුවාක් මෙන් සතුටක් දැනුණි. ඒ සමග කලක් හිතේ තියාගෙන තිබූ කාරණාවක් මතක් විය.
‘තාත්තේ අපි බොමු රස සරුවත් දෙකක්’ නන්දා කීවාය.
ඈ ඊළඟට කල්පනා කළේ මේ මුදලින් කැරෙන දේ ගැනය. ‘තාත්තා පොල්කටු අඟුරු ඉස්තිරික්කයෙන් ඇඳුම් මදින්නේ පුදුමාකාර දුකක් විඳලා. මම තාත්තාට විදුලි ඉස්තිරික්කයක් අරන් දෙනවා’ නන්දා තාත්තාට කීවාය.
‘විදුලි ඉස්තිරික්ක ගහන්න ගෙදර ලයිට් තියනවාද ළමයෝ’ තාත්තා ඇසුවේ ඇගේ හිස පිරිමදිමිනි. ‘එහෙනම් අපි ලයිටුත් ගනිමු’ ඈ යෝජනා කළාය. අතට ලැබුණු මුදලින් ගෙදරට විදුලියත් විදුලි ඉස්තිරික්කයත් ගත් නන්දා ඉතිරි වූ මුදලද වෙන් කළේ තාත්තාට උණු වතුර බෝතලයක් මිලදී ගන්නටය.
‘රෑ වෙනකම් තාත්තා ඇඳුම් මහන නිසා තේකක් හදලා දාලා තියන්න පුළුවන්’ ඕ මවට කීවාය.
නන්දා මාලිනිගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය සිද්ධ වූයේ එක්දහස් නවසිය හැට දෙකේදීය. ඒ ‘රන්මුතු දූව’ චිත්‍රපටයේ පසුබිම් ගීතයට තෝරා ගැනීම නිසාය. ඒ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව නන්දා මාලිනීව තෝරා ගත්තේය. ‘ගලන ගඟකි ජීවිතේ’ ගීතය කීමට නන්දා මයික්‍රෆෝනය ළඟටවත් උස නැති නිසා සංගීතය පටිගත කළ මර්වින් රුද්‍රගෝ ඈට ලී පෙට්ටියක් ගෙනැවිත් දුන්නේය. පෙට්ටිය උඩ නැග කියූ ගීතයට ඈට සරසවි සම්මාන උළෙලේදී හොඳම ගායිකාව ලෙස සම්මානයට පාත්‍ර වූවාය. එතැන් සිට ඈට සම්මාන ලැබුණේ ගඟ ගලන්නාක් මෙනි. ජනපති සම්මාන, සරසවි සම්මාන දුසිම් ගණන් පමණක් නොවැ ගත වූ සිව් අවුරුද්දේම පිටපිටම ජනතා සම්මානයට පාත්‍ර වූ ගායිකාව ඇයයි. බලයට පත් වූ රාජ්‍ය නායකයෝ තමන්ට නැති වංශයක් මවා පාන්නට ඉතිහාසය අලුතෙන් ලියන
රටක මුඩුක්කුවක උපන් නන්දා මාලිනිය මේ කියන කතාව බොහෝ දෙනාගේ ඇස් ඇරෙනු ඇත.
‘මනුෂ්‍යයකු පීඩාවට පත් කිරීම හේතුවෙන් ලබන වේදනාව පුංචි කාලේ මම හොඳට ලැබුවා. මම ජීවිතේ පන්නරය ලැබුණේ දුප්පත්කමින්. අතීතය අමතක කරන කිසිම කෙනෙකුට අනාගතයක් නෑ. අපි වැරදි වැඩ කරන්නේ නැතිනම් ඇත්ත කියන්න බය වෙන්න ඕනේ නෑ.
කොටහේනේ මුඩුක්කුවක ඉපදුණු මම මේ තරම් දුර ආ ගමන ගැන කල්පනා කරන කොට දැනෙන්නේ ලොකු සතුටක්. මට මේ තරම් දුර ගමනක් යන්න ලැබුණේ උත්සාහය හා කැප කිරීම නිසා.මගේ තාත්තාගෙන් ලැබුණු නිවැරදි මගපෙන්වීම නිසයි.අද සල්ලි තිබුණා කියලා මගේ ජීවිතේ ලොකු වෙනසක් වෙලා නෑ. මම මගේ දුවලා දෙන්නා පාසල් යැව්වෙත් පයින්. ගෙදර වාහන තිබුණත් අපි ළමයි හැදිය යුත්තේ පොළොවේ පය ගහලා ජීවත් වෙන්න ඕන විදියට. මම ඉපදුණේ මුඩුක්කුවක. මගේ තාත්තා කෝට් බාසුන්නැහේ කෙනෙක් කියන එක මට ආඩම්බරයක් මිසක් ලැජ්ජාවක් නොවේ’ නන්දා මාලිනී කියන්නීය.
මීට සති කීපයකට ඉහතදී ඈ පන්නල මාස් ඇඟලුම් කම්හලේ උත්සවයකට ගියේ ප්‍රධාන අමුත්තිය ලෙසය. ගීතයෙන් තරුණ සිත් සුවපත් කළ මේ මහා ගායිකාව ගැන සිත පැහැදුණු තරුණියෝ ඇගේ කටහඬ ඇසීමට මහත් සේ ප්‍රිය කළෝය. නන්දා මාලිනිය සිය ජීවන ගීතය ගැයුවාය. ‘ගාමන්ට් එකක වැඩ කරන එක ලැජ්ජාවකට කාරණාවක් නොවේ දුවේ. මගේ තාත්තත් කෝට් බසුන්නැහේ කෙනෙක්’ ඈ කීවාය. තරුණියෝ ඒ කතාව අසා අලුත් හුස්මක් ගත්හ. මහා ආත්ම ශක්තියක් තම සිරුරට ඇතුළු වෙනවාක් මෙන් ඔවුනට දැනුණි.
නන්දා මාලිනී අද හෙළයේ මහා ගායිකාවකි. ඇගේ මධුර ස්වරයෙන් ගැයෙන ගී මිනිසුන්ගේ සිත් සුවපත් කැරෙන දිව ඔසුවක් වැනිය. ජීවිතය වූ කලී රෝසමල් ඇතිරූ මාවතක් දිගේ වැටී ඇති මාවතක් නොවේ යැයි පසක් කැරෙන ඇගේ ජීවන ගීතය ජීවිතය ජය ගන්නට වෙර දරන ඔබට පරමාදර්ශී කතාවකි. ඒ ලෝකයටම ඇතේතේ එක නන්දා මාලිනියක් වීම නිසාය.
ඈ ගයන්නීය මෙසේ..
“දහසක් ඉපදී මිය යන පොළොවේ
මමත් මියෙන්නට උපන් කෙනෙක් වෙමි
මම මළ බව මුළු රටට දැනෙන ලෙස
මිය යන්නට මම පෙරුම් පුරන්නෙමි”
(අන්තර්ජාලයෙන් උපුටාගැනීමකි )
මම ඔය ටික ඔක්කොම දැම්මේ අසූ ගණන් වලත් කොටහේනේ , කොම්පඤ්ඤ විදියේ ,. කොච්චිකඩේ මුඩුක්කු ජිවිත මම ඇහින් දැකල තියෙන නිසා .
ReplyDelete🙏👌💐
Deleteමේක මං කලින් අහලා තිබ්බත්, ආයෙ කියවන්න වටිනවා. ස්තූතියි අජිත්.
ඇය පීඩිත පන්තියෙ පැත්ත ගත්තෙ ඇයි කියලා දැන් තේරෙනවා. ඈ සමාජ අසාධාරණය, ඇති-නැති පරතරය දැක්කා. නන්දක්කා වඩා සාධාරණ සමාජයක් පැතුව මිසක් සක්‍රීය දේශපාලනයේ හිටියෙ නෑ කියලයි දන්නෙ.
බාගදා අවසාන කාලෙ ඈ දුකින් ඉන්න ඇති " උනුත් එකයි, මුනුත් එකයි" වග දැක්ක නිසා.
ටිල්වි සහෝදරයා විහිලු කරන්නත් දන්නව නේද?
Deleteනන්දා මාලනිය ප්‍රාර්ථනා කරපු ලෝකය දැන් හැදෙනවා - ටිල්වින් සිල්වා
මම දැකපු හොඳම විචාරයක්:
Deleteගලන ගඟකි ජීවිතේ...-ඉකනෝ-
//බාගදා අවසාන කාලෙ ඈ දුකින් ඉන්න ඇති " උනුත් එකයි, මුනුත් එකයි" වග දැක්ක නිසා.මේක මම දෙතුන් තැනකම දැක්කා . නන්දා කියන්නේ කවුඩ් අකියල් අඳුන ගත්තේ නැති අය හදන කතාවක් . ඔය කවුරැ හරි නන්දා මාලිනි ට කෝල් කරලා හලය ඕව කියන්නේ
Deleteඈ බාසුන්නැහේ එතකොට අපේ විචාර ලපංද , පරණ පාන්ද 😃 දිගට නොලිවට මගේ මුඛය දහසත් ඕකම තමා . පවනින් නන්දා මලින්ව මනින්න එපා කියන එක . එයා පස්සේ කාලෙක වෙනස් කතා ටිකකුත් කීව ඒ ගැන . මම ඔය දාල තියන කොලෙක්ෂන් අහන්න . හේමන්තයේදී වගේ ඒවා . වෙනස් ම නන්දා කෙනෙක් .
Deletehttps://miduma.blogspot.com/2026/08/blog-post_22.html
Deleteනෑ, නෑ "ගම විචාරයත්" නරකම නෑ. ඒත් අනිත් අයගෙ විචාර වලින් අපි නොහිතන පැත්තකුත් එලියට එන නිසයි එහෙම කිව්වෙ.
Deleteමම ජවිපෙ ගැන බොහොම විවේචනාත්මකව ලියු කෙනෙක්. මගේ බ්ලොග් එකේ පරණ ලිපි බැලුවොත් ඕක තේරෙයි. ඒ හැම ලිපියකම අවධාරණය කලේ පරණ විධිහට කරලා හරියන්නේ නැහැ කියන එක. ඒ ලිපි වල කතා කලේ ස්ටාලින් වාදය ගැන. පොල්පොට් ලා ගැන. සෝවියට් දේශයේ වැරදුන තැන් ගැන. ඔය නන්දා මාලිනි අන්තිම කාලේ පසු තැවෙන්න ඇති කියල තමන්ම හිතල තමන්ම ලියන කට්ටිය තුන් ගොල්ලක් ඉන්නව.
Deleteලංකාවේ කොමියුනිස්ට් සහ වාමාංශික පක්ෂ වලට සම්බන්ධ වෙලා දැන් අනාථ නාථ වෙලා දිලිත්ජයවීර පස්සෙන් එහම් යන සෙට් එක. තාත්තලා, මම්මල පප්පල වාමාන්ශයේ සමජවාදී රටවලට පැමිණ ඉගෙනගත් සහ සමහර විට දැන් ධනවාදී රටවල ඉන්න කොටසක් .හැමෝම නෙමේ. මේක තෙරුම්ගත්තු එහෙම ආපු මගේ හොඳ යහළුවෝ ගොඩක් ඉන්නව. අර අකට්ටියට ඕනේ වුනේ සිරිමා පන්නයේ ආණ්ඩුවක් මාලිමාව හදනව දකින්න. හාල් පොලු දාල , මිරිස් පොලු දාල , ජනසතු කරලා , ඊට පස්සේ වැඩේ ඇනුන ට පස්සේ "ඔන්න අපි කීවේ නැත්ඩද කියල කියන්න". එයාලගෙන් සමහරු ඇත්තටම හිතනවා සිරිමා හරියට කළා කියල. සමහර දේවල් හොඳයි. ඕවරෝල් අසාර්ථකයි. මේ ආණ්ඩුව ඒ ගමනේ යන්නේ නැහැ. වෙල්ඩන්
දෙවන කොටසට අයිති පළමුව ජවිපෙ ජාතිවාදී සෙට් එක. විමල් එක්ක ඒ අය එලියට ගියා. දැන් ඔය ජාති වැඩි කතා පතුරුවන්නේ, ආයේ රට නැතිවෙනව අකිය කා ගහන සෙට් එක. දෙවනුව ඇති වාමාංශික අන්තවාදී සෙට් එක. කුමාර් ගුණරත්නම් ගේ පෙරටුගාමී කුහකවාදී පක්ෂය සහ කට්ටිය. එයාල දන්නවා IMF එක්ක කතා නොකර බැහැ කියල. වෙළඳ පන්තිය එක්ක හොඳින් ඉන්න ඕනේ කියලත් දන්නවා. පොලිසිය හමුදාව ටියා ගන්න ඕනේ කියලත් දන්නවා. නමුත් පරණ ස්ටාලින් වාදී ට්‍රොට්ස්කි වාදී ඒකාධිපති, පොල්පොට් වාදී එකක් අහරි කියුබන් පන්නයේ ආණ්ඩුවක් හරි හදන්නේ නැති එකට එයාලට ප්‍රශ්නයක්. ලෙනින් 'අති වාමාංශික ළඳරු වලිප්පු කාරයෝ' කිවේ ඒ සෙට් එක. මේ ආණ්ඩුව ඒ මාර්ගයේ යන්නෙත් නැහැ. පොල්පොට් ක්‍රමයක් හදන්නේත් නැහැ.
Deleteතුන්වෙනි කොටස ඔය දැන් ඉන්න විපක්ෂය. යහපලනෙට ආවහම ඒ කට්ටියත් පරණ ආණ්ඩුවේ වැඩ නවත්වල අලුතින් යෝජනාක්‍රම පටන් අරගෙන ගසා කෑව දනන්වනේ. මුන්ට හොරු හොරෝ කියල අන්ගිලාල් දික් කලාට මිනිස්සු ඇත්ත දන්නවා. මුන් තැන දෙක තුනක අනා ගත්ත බවත් දන්න්න්ව. අපි වගේ අය. ගල් අඟුරු හෝ කන්ටේනර් සිද්ධියේදී. කන්ටේනර් ඒ කලතේ යැව්වේ එහමයි. අපි පිටරටවලින් යවපු බඩු කොළ පාට ලේබල් එකකින් එලියට දාන එක ඒ දවස් අලත් තිබුන. අලුත් ආණ්ඩුවේ එවුන් දැනන් හිටියේ නැහැ. ඒ කෙස් තිබ්බත් මේ අන්දුව් ආමෙරිකාව එක්ක හොදින් වැඩ කරනවා. අපරන ධිරජාදී මගුල් කතා අදින්නේ නැහැ. ඉරානේ එක්කත් හොඳයි. බටහිර අරට්වාල් එක්ක හොඳයි. යෝජනා ක්‍රම ගිය ආණ්ඩුවේ කියල නැහැ. දිගටම් අක්රන්ව. පාරවල් ආණ්ඩුවේ සල්ලි වලින් හදනව. කොටිනම් ධනවාදය කලින් ආණ්ඩුවලට වඩා හොඳින් කරනවා. ඇන ගන්නේ නැහැ. ඉතින් විපක්ස්සේ හොර එට් එකට උන්ට කඩේ යන උන්ටයි අවුල් . කෝ සමාජවාදය පිහිටුවන්නේ නැහැනේ, දම්මික පෙරේරලා, ඉෂාර ල විතරක් නෙමේ යුඇන්පී සහ පොහොටු වෙළඳ හිමියෝ එක්කත් වැඩේ ගෙනියනවා. අවුල් නේ ඉතින්.
Deleteඅපට කිසිම අවුලක් නැහැ . මේක තමයි අපි වගේ උන් හැම වෙලේම කිව්ව්වේ. අර ලාල් කාන්ත ගොවියෝ එකතු කරලා එයාලගේ කැමැත්තෙන් ගොවි සමාගම් පිහිටුවනවා කිව්වා එක. ඒක ලෙනින් කිව්වේ ඉස්සෙල්ලම. බලෙන් වෙනස් කලේ ස්ටාලින් . යුක්රේනයේ මිලියන් ගානක් හාමතේ මැරුණේ එහෙම. ඒ සමාජවාදය නෙමේ කියල අපි දිගින් දිගටම කිව්වා. මේ ආණ්ඩුවේ ඉන්න අය ඒවා ගැන අවබෝධයෙන් ඉන්නේ කියල තේරෙනව. නන්දා මාලිනි මේ ආණ්ඩුව තමන් පැතු සමාජය හදන්නේ නැහැ කියා දුක් වුනා කියා එයාල හිතනවානම් එයාල නන්දා මාලිනි ගෙන අහල නැහැ. මේ ආණ්ඩුව ඔය සෙට් එක කියන එක නෙමේ හදන්නේ . ඒක හරි. සිරිමා පන්නයේ, පොල්පොට් පන්නයේඑකක් නෙමේ මේ ගෙනි යන්නේ. ධනවාදය ලංකාවේ හොඳින් ස්ථාප්ත කරන ගමන් නනීතිය හා අධිකරණය මේවා ස්වාධින වේගෙන යනවා. පොලිසියට් මේ ක්‍රමය තවම අවුල් නමුත් හදාගෙන, හැදීගෙන යනවා.මන්ත්‍රී චිට් නැතිව රස්සා දෙනවා. හදන්න බැහැ කියල අයින් කරලා තිබ්බ රටක්. උන් කියන දේ නොවුනට මේ වෙනස හොඳයි කියලනන්දා මාලිනි හොදින් දැනගෙන හිටිය කියන එක තමා මම දන්නේ. ආර්ථිකය සහ ස්ට්ර්ක්චර් එක හැදුවට පස්සේ පුර්ණ සමාජවාදයකට යන්න ඉඩක් තියෙනවනම් යයි. ඒක හෙට අනිද්දා වෙන වැඩක් නෙමේ. ලෝකයත් එක්ක යායුතු ගමනක්.
Delete//කොටිනම්(කොටින්ම) ධනවාදය කලින් ආණ්ඩුවලට වඩා හොඳින් කරනවා//
Delete//...ආර්ථිකය සහ ස්ට්ර්ක්චර් එක හැදුවට පස්සේ පුර්ණ සමාජවාදයකට යන්න //
හ්ම්...දැන් තේරෙනවා. එතකොට මධ්‍යස්ථ ප්රජාතන්ත්රවාදය කැලේ නේද? හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනේ. පරණ හොරුන්ට එන්න පාර කපල දේවි. හුදී ජනයාට අබ සරණයි.
මධ්‍යස්ථ ප්රජාතන්ත්රවාදය කැලේ නේද--කවුද එහෙම කතාවක් කිව්වේ , ප්‍රජාතන්තවාදය තියෙයි . ඕක හොඳ නැත්නම් හුදී ජනයාම අනිත් පැත්තට ඡන්දේ දෙයි . දැන් ඔය කළා වගේ . ලනක්වේ උන්නේ අතනේ ඒ බලය තියෙන්නේ . පරණ හොරු හිරේ ගිහිල්ල ආවට පස්සේ බැරිය ඒවා
Deleteඅපි අතර මත ගැටුම් තියන බව ඇත්ත. ඔබට සහෝදරවරු ඇති විස්වාසය මට නැති බවත් ඇත්ත. මම වගේම ඔබත් කාගෙන්වත් පෞද්ගලික වාසි නොතකා, අවංකවම රටට යහපත් හෙටක් උදාවේවා කියල පතනවා කියල මට හිතෙනවා.ඒ නිසා ඉස්සෙල්ලාම අජිත්ට ස්තූතියි , මේ සාකච්චාව මේ තරමින් ගෙන ගියාට.
Deleteනෝ වොරීස් බ්‍රෝ . මගේ සමහර යාලුවෝ දැන් කතා කරන්නෙත් නැහැ මම ගන්න ස්ථාවර වලට . 😀 ඒ නිසා ඕගොල්ල හොඳයි. මේ කාලය තුල මම යම් යම් දේවල් තේරුම් ගත්ත . ඔය ෆේස්බුක් අර්වල මේවල ජෙප්පෝ තමන් කියල හඳුන්වාගෙන ඇර ගන්න අය ගොඩක් පස්සේ මාලිමාවට එකතු වෙච්චි උදවිය කියල . බොහෝවිට පොහොට්ටු යුඇන්පී වගේ . අනික ඔය ගානට ඡන්ද හම්බ වෙන්නෙත් නැහැනේ එහෙම වුනේ නැත්නම් . ඇත්තම ජවිපෙ කේඩරය හුඟක් අඩු ගානක් ඉන්නේ . ලක්ෂේකටත් වඩා අඩුයි මම හිතන්නේ . ඒ මිනිස්සු ඔය වලි වලට එන්නේ නැහැ . දැන් ඔය ජක්ෂන් ඇන්තනි කේස් එකේ මගේ ස්ත්වරයා වුනේ ඒ මනුස්සය හොන්ඩ අවේදික නළුවෙක් . අනිත් පැත්තට ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත . නමුත් ඔහු ගේ දක්ෂතාවයට ගරු කරනවා . අග්‍ර ගැනය සිනමා නිලි මාලිනි ගැන වුනත් එහෙමයි . එයාලගේ දේශපාලනය අදාල නැහැ . නමුත් හැමෝම එහෙම හිතන්නේ නැහැ . මම හිතන්නේ ඒ දේශපාලන නායකයෝ ඒ මිනිසුන්ව් ප්‍රයෝජනයට අරන් අහක දැම්ම කියල . ලංකාවේ දියුණුව ගැන මගේ කියවීම් ජවිපෙට පක්ෂ නිසා කියන එකක් නෙමේ . එහෙමෙ දේකට වඩා මම ඒවා ගැන ඔයාලට වඩා හොයනවා වැඩි . එච්චරයි . ලංකාවේ මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ තමන්ගේ පැත්තේ දේ විතරක් කියවන්න . අහන්න .
Deleteඅනිත් එක සහෝදරවරුන්ට විරුද්ධව සංවිධානාත්මක ප්‍රහාරයක් යනවා . . හුඟක් ඒවා මුදල් දීල ලියන බ්ලොග් , මීම්ස් වලින් හෙම . දැන් මෙන්න මේකේ කියල තියෙනේ දේ වගේ . https://www.facebook.com/share/196fLEZiKM/?mibextid=wwXIfr
Deleteවටින විස්තරයක් අජිත් අයියේ ! ඕනේ වෙලාවක අහන්න පුළුවන් සිංදු .. මම පවනේ යදමින් බැඳ ගීතයට ඉස්සරත් ආසයි , තවමත් ඒ විදියටම ආසයි
ReplyDeleteස්තූතියි මට ඒක එපමණ වැදුනේ නැහැ පැතුම් ලා ඒ දිනවල විශ්ව විද්‍යාල වල හිටි නිසා වඩා හොඳට ඒ සින්දු හිතට වදින්න ඇති
Deleteමටනම් එයා සාමාන්‍ය ගායිකාවක්.
ReplyDeleteමම ගායිකාවන් වර්ග කරනවා නම්
ඉන්ද්‍රාණි පෙරේරා. ඇන්ජලින්. ඉන්දිකා උපමාලි,අමිතා වැදිසිංහ චන්ද්‍රෙල්ඛා නිරෝශා විරාජිනී ආදින් පලමු පිරිසට
ලතා, නෙලූ, මරියසෙල්, උමාරියා දෙවැනි කාන්ඩයට
නන්දා මාලිනී, තුන්වෙන ගොඩට
කාන්චනා අනුරාධි, හනා සනා හතරවැනි පන්තියට දානවා
මම වර්ග කරනවා නම්, උඹව අන්තිම පන්තියට දාලා, පන්තියෙන් එලියටත් දානවා. ආවද මෙතන ඇරියස් කවර් කරන්න?
Deleteහොඳ පිළිතුරක් ලැබිල ටතියෙනවනේ . 😃 ඉන්ද්‍රානි , ඇන්ජලින් හොඳ ගායිකාවෝ . ඒකෙ දෙකක් නැහැ . අනිත් නමත් ඒ වගේ . උමාරියා වගේ අය උඩට ආවේ අනිත් අයගේ සින්දු කියල . නන්දා , අමරදේව , සුනිල් එදිරිසිංහ , බිතෝවන් . චයිකොව්ස්කි , ක්වීන් , බීට්ල්ස් වෙනස් තලයක් , නිර්මාණාත්මක ලොවකට කලාතුරකින් වරින් වර පහළවන අය . තව ඉන්නව ලිස්ට් එකේ
Deleteඔබේ ලිපිය සහ ප්‍රතිචාර සටහන් කියෙව්වා. කදිම තොරතුරු ගොන්නක්. වැඩසටහකදී දුකා කිව්වෙ ඇගේ හඩ ඇගේ ආත්මයෙන් එන එකක් කියලයි .
ReplyDeleteඒක හරි , වෙනස්ව ම ස්වරයක් , ජීඑථෙ වින්ද අඩුකත් එක්ක බැඳිලා ආපු එකක් කියා මට හිතෙන්නේ . දුකා කිව්වේ සුභාෂ් ටද
Deleteකිංස්ලි නබිතුමා කිව්වා. නන්දා මාලිනිගේ නංගි එතුමා හමුවෙලා ගැලවීම ලැබුවා කියලා.
ReplyDeleteපෝස්ට් එකයි කමෙන්ට් ටිකයි කියෙව්වම සම්පූර්ණයි , මේවා ෆේස්බුක් දැම්මොත් කුණුහරුප කමෙන්ට් විතරයි
ReplyDeleteෆේස්බුක් දැම්මට කියවන කවුරුත් නැහැ . දිග පෝස්ට් කියවන්නේ නැහැ
Delete