පල්ලේගම හිමි ඉන්දියානු මහා කොමසාරිස් වරයෙකු සමග
අයර්ලන්තයේ රයන්ගේ වාර්තාව (2011) සහ මර්ෆි ගේ වාර්තාව (2009) වශයෙන් සඳහන් කතෝලික පල්ලියේ ඇත්තන් විසින් ළමයින්ට එරෙහිව පසුගිය අවුරුදු තිහ ඇතුලත සිදු කල ලිංගික අපරාධ හා අපයෝජන ගැන වාර්තා දෙකක් පළවුනා. මේ වාර්තා වලින් හෙළි වුනා කතෝලික පල්ලියේ ඉහල තැන් වලින් (බිෂොප් වරුන් ආදීන්) මේවා සඟවන්නට, අපයෝජන වුවන් නිහඬ කරවන්නට තැත් කළ ආකාරය. අයර්ලන්ත රජයේ නිලධාරීන්, අධිකරණය සහ පොලිසියත් තම රටේ ප්‍රධාන ආගම නිසාම මේ පර්යේෂණ යටපත් කල හැටිත් හෙළිදරව් වුනා.
බ්‍රිතාන්‍යයේ (එංගලන්තයේ සහ වේල්සයේ ) කතෝලික පල්ලියේ අය ළමුන්ට එරෙහිව කල ලිංගික අපරාධ පිලිබඳ වාර්තාව එලි දැක්වුනා 2020 දී . මෙහිදී රජයේ අනුග්‍රහයක් කතෝලික පල්ලියට නොතිබුනත් (එංගලන්තයේ ප්‍රධාන ආගම ඇන්ග්ලිකන්) පොලිසිය අපයෝජනවලට භාජනය වූවන් ගේ පැමිණිලි භාර ගැනීමට මැළිකමක් දැක්වීම මෙන්ම ඒවා හොයා නොබැලීම් ආදියත් හෙළිවුණා .
ඇමෙරිකා එක්සත් ජනපදයේ බොස්ටන් ග්ලෝබ් වාර්තාව සහ තවත් වාර්තා වලින් මේ ආකාරයේ පල්ලියේ අපයෝජන ගැන හෙළිදරව් වුනා 2002 සහ 2018 දී. ඇමෙරිකානු රජය මේවා හෙළිදරව් වීම වැළැක්වීමට කිසි දෙයක් නොකලත් ඒ ඒ ප්‍රාන්ත ජනපද වල ආණ්ඩු, පොලිසිය සහ අනෙකුත් ආයතන වතිකානයේ හා බිෂොප් වරුන්ගේ මැදිහත් වීමෙන් මේ සිද්ධීන් යටපත් කරන්න කටයුතු කරලා තියනවා .
නමුත් නිර්භීත පුවත්පත් කලාවේදීන් සහ සමහර ස්වාධින නීති ආයතන නිසා මේ හෙළිදරව් වීම සිදු කරගෙන කතෝලික පල්ලියට විශාල මුදලක් වන්දි වශයෙන් ගෙවන්න සිදු වුනා . එසේම සමහර බිෂොප් වරු දිවි හානි කරගත්ත සමහරු හිරේ ගියා .
මුස්ලිම් ආගම ප්‍රධාන කරගත් රටවල් ගත්තොත් මැලේසියාවේ රජය 2024 දී අත්අඩංගුවට ගැනීම් විශාල ප්‍රමාණයක් කළා කිසියම් ආගමික ආයතනයක් සම්බන්ධව. මේ දේම ඉරානයේ සහ පකිස්ථානයේ පවා වෙලා තිබෙනවා . මුලධර්මවාදීන් ගේ විරෝධය නොතකා ඒ ඒ රටවල් රජයන් ක්‍රියාත්මකව මැදිහත් වෙලා තිබෙනවා.
මේ රටවල ජනතාව පැහැදිලිව තේරුම් ගත්තා මේ ක්‍රිස්තියානි , කතෝලික ආගමට එරෙහි කුමන්ත්‍රණයක් නොව දූෂිත බිෂොප්වරුන් හා දේවගැතිවරුන් ගේ ක්‍රියාකලාපයන් හෙළිදරව් කිරීමක් බවට .
එතකොට ලංකාවේ වගේ රටක මෙවැනි චෝදනාවක් වැඩිපුරම එල්ල වෙන්න ඉඩකඩ තිබෙන්නේ බහුතරයක් අදහන ආගම සහ ඒ හා සබැඳි පුද්ගල සම්බන්ධතා තුල. ලංකාවේ ඒ ආගම බුද්ධාගම නිසා හා පැවිද්දන් සංඛ්‍යාව අනිත් ආගම් තුනට සාපේක්ෂව වැඩියි . ඒ නිසා වැරැද්දකට අහුවීමේ සම්භාවිතාවත් වැඩියි. මේක නිරාගමිකයන් ගේ කුමන්ත්‍රණයක් කියා බොරු කරන්න බැහැ.
ඒ වගේම මගේ මිතුරු නන්දන වීරරත්න ලියා තිබෙනවා ලංකාවේ මුස්ලිම්, හින්දු සහ කතෝලික ප්‍රජාවන් ඇතැම් විට එවැනි අපයෝජන තම සිද්ධස්ථාන ආශ්‍රිතව සිදු වුනත් සාමුහික ලෙස ඒවා ගැන හෙළි දරව් නොකර සිටින්න උත්සාහ කරණ බවට . මැද පෙරදිග දී අඩු වයසින් මරණ දඬුවම ලත් රෙසානා ගේ සිද්ධියේදී මෙන්ම රාවතාවත්තේ ළමුන් විකුණන සිද්ධියකදී මේ ලෙස පල්ලිවල ඉහල තනතුරු දරුවන් මෙන්ම අවට ජිවත්වන ප්‍රජාවද පරීක්ෂණ වලට සහයෝගය නොදුන් බවට චෝදනා තිබෙනවා .
මේ හැමදේම ලිව්වේ මේ අපයෝජන සිද්ධිය බුද්ධාගමට පමණක් එල්ලවුණු ප්‍රහාරයක් නොවන බව කියන්න . සැකකාර පැවිදි පුද්ගලයා වරදක් කර තිබෙනවා නම් ඒ ගැන සොයා බැලීම, අධිකරණ කටයුතු වලට සහය දීම සහ වින්දිත දැරියට සහන සැලසීම , වන්දි ලබා දීම රජය විසින් කලයුතු දෙයක් සහ එය රජයක වගකීමක් .
ඒ වගේම ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ අංක 9 වගන්තියට අනුව රජය විසින් ථෙරවාද බුදු දහම රැකීමට බැඳී තියනවා. බුද්ධ ශාසනය සුරැකීමට හා ආරක්ෂා කිරීමට රජය බැඳී සිටිනවා . ඒ අනුව දුශ්ශිල භික්ෂුවක් හෝ වෙනත් කෙනෙක් සසුනේ චිරස්ථිතියට බාධාවක් නම් ඔවුන් ඉවත් කිරීමට, නෙරපීමට බුද්ධ ශාසන ඇමතිට නිත්‍යානුකුල බලයක් තිබෙනවා ව්‍යවස්ථාවෙන්ම හදල දීලා. ඊහ්ම ආම්ති කෙනෙක් ලංකාවේ දැනට ඉන්නවද ?
මේ සිද්ධියේ දකින තවත් අවාසනාවන්ත අසික්කිත දෙයක් තිබෙනවා . ඒ තමා විපක්ෂයේ අපූරු නිහඬතාවය . ගල් අඟුරු වංචාවක් ගැන මෙන්ම මුදල් වංචා ගැනත් දිගින් දිගටම බෙරිහන් දුන් විපක්ෂය අරුම පුදුම නිහඬ වතක් පිලි පදිනවා මේ සිද්දිය ගැන. එසේම ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතන සියල්ලක්ම පාහේ නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා . අනිත් පැත්තට වාමාංශික දේශපාලනයේ යෙදෙන අපේ ජන බලය, පෙරටුගාමී සමාජවාදීන් සහ බහුතරයක් ජවිපෙ පාක්ෂිකයන් තමන්ට එල්ලවන අසාධාරණ නිරාගමික ලේබලය නොතකා වින්දිත පාර්ශවය වෙනුවෙන් පෙනී සිටීම ඇත්තෙන්ම අගය කල යුතුයි .
හැබැයි කිහිප දෙනෙක් ( වාමාංශික දේශපාලනයේ යෙදී ඉන්න අයත්) පල්ලේගම හේමරතන සැකකාර භික්ෂුව සහ ජනාධිපති අනුර කුමාර ඉන්න පින්තුරයක් දිගින් දිගටම පල කරනවා . එක්කෝ මේක ද්වේශ සහගතව කරන දෙයක් . නැත්නම් මෙයාල අනියමින් කියන්නේ අනුර ප්‍රමුඛ රජය පල්ලේගම හේමරත්න නමැති සැකකාර භික්ෂුව ආරක්ෂා කරනවා කියල. මෙතන සෑහෙන අනතුරුදායක තත්වයක් නිර්මාණය කරනවා මේ පින්තුර වලින්. ඉන් පොලිසිය වැනි ආයතන, පෙර කාලවල තිබූ රාජ්‍ය නායකයන් කරපු ඇඟිලි ගැසීම් මතක් කරගෙන පරීක්ෂණ වලට සක්‍රීය ලෙස සහයෝගය නොදී ඉන්නට ඉඩක් ඇති කරනවා . මේ සැකකාර භික්ෂුව ප්‍රධානියා වෙලා ඓන්නේ රටේ ප්‍රධානතම සිද්ධස්ථානයක . අපි හැමෝම වඳින්න යන තැනක්. ඒ නිසා ගෝඨාභය, රනිල්, මොරගොඩ , අනුර කුමාර එතනට ගියා කියල ඔවුන් එම අපරාධයේ කොටස් කරුවන් වන්නේ නැහැ . ඒ වගේම කලාකරුවන් , කවියන් , ගායකයන් ආදී බොහොම දෙනෙක් බොහෝ විට මේ ස්ථානයේ නැවතී මේ සැකකාර භික්ෂුවගේ නොයෙකුත් සංග්‍රහ විඳ තිබෙන බවත් ප්‍රසිද්ධ කාරණයක් . ඔය මුල් පින්තූරයේ ඉන්නේ ඉන්දියානු මහා කොමසාරිස්. ඔය හැමෝම මේ සිද්ධියට සම්බන්ධ නැහැ ජනාධිපති වගේම . ඒ නිසා පරීක්ෂණවල ස්වාධිනත්වය සඳහාත් සහයෝගය දීම සඳහාත් මේ අවබෝධය ඉතා වැදගත් .
අවසාන වශයෙන් මෙය බුදු දහමේ ප්‍රශ්නයක් නොව ආගමික ස්ථානයක භාරකාරයෙකු තමන්ගේ තත්වය හා බලය අනිසි ලෙස භාවිතා කිරීමක් සහ ළමා ආපයෝජනයක් පිලිබඳ සිද්ධියක්. එය ඒ ආකාරයෙන් සැලකීම වැදගත්. මගේ "සියාමා" නමැති පොත නිකුත් කල පසු කිසියම් වාමාංශික දේශපාලනප්‍රවණතාවයක් ඇති කිහිප දෙනෙක් එල්ල කල විවේචනය වූයේ එය කිසියම් ආගමකට හා ජන කණ්ඩායමකට එරෙහිව ලියන ලද බවට . මා එය වෙනත් භාෂාවකට පරිවර්තනය කිරීමට තැත් කරද්දී පරිවර්තනයට එකඟවූ කෙනෙක් ,දෙන්නෙක් එවැනි සඳහනකුත් කර පරිවර්තනය කිරීම ප්‍රතික්ෂේප කළා . අවාසනාවකට එවැනි වැරදි වටහාගැනීම් වෙනවා . අපි හෝ වෙනත් සමාජ මාධ්‍ය පරිශීලකයන්, ලියන්නන් , මාධ්‍යවේදීන් හඬ නගන්නේ පොත් පල කරන්නේ කිසියම් ආගමකට , ජන කණ්ඩායමකට එරෙහිව නොව සමාජ විරෝධී ක්‍රියාවන්ට විරෝධය පල කිරීමට බව තේරුම් ගැනීම වැදගත් .
අවසාන වශයෙන් අපි ඉල්ලා සිටින්නේ නීතිය නිවැරදි ලෙස ක්‍රියාත්මක කරන ලෙසයි. තවම විත්තිකාර පාර්ශ්වය සැක කරුවෙකු පමණක් බව පිලිගන්නවා . වින්දිත දැරියට එරෙහිව මුළු ආගමික සංස්ථාවක් , බලගතු නීතිඥ කණ්ඩායමක් සහ බලපුළුවන්කාරකම් ඇති පුද්ගලයන් රැසක් එකතුවී සිටිනවා. ඒ නිසා නීතිය ක්‍රියාත්මක වීම පමණක් නොව විනිවිද භාවයෙන් එසේ ක්‍රියාත්මක වන බවට පෙන්විමද වැදගත්.
ලංකාවේ ළමාරක්ෂණ අධිකාරියට පුර්ණ සහයෝගය දීම ඉතා වැදගත් .
මා විසින් ලන්ඩනයේදී සාවිත්‍රි පෝල්රාජ් ඇමැතිනියගෙන් විඳිත දැරිය සඳහා නීතිඥ සහය ලබා දෙන්නේද කියා ප්‍රශ්න කලා. එසේම ප්‍රධාන නියෝජිතයන් කිහිප දෙනෙකුත් දැනුවත් කලෙමි. මන්ත්‍රිනී කණ්ඩායමක් අනුකමිටුවක් පත් කර ඇති බව දැනගන්නට ලැබිම තරමක සතුටක් දනවනප්‍රවෘත්තියකි.
-බණ අසන හුදී ජනයා--------
"කිරිපාට - සුදුපාට - සුඳු අඳින - ශුද්ධ සිංහල - සුදුපාට ධාතු කරඬුව - පෝදා වඩම්මන සුදෝ සුදු සුදු බාප්පාය. ගමේ ලොකු හාමුදුරුවන්ගේ සන්මිත්‍ර පින්වත් දයකයාය. - පිටුව 21 "පිරිමි ගොඩයි මන් විතරයි "- උපුල් ශාන්ත සන්නස්ගල
මුලාශ්‍ර සහ වෙනත් ලිපි :
--කොළඹ ගමයා 25/05/2025




.jpg)

