Monday, 13 July 2026

සිරි ලංකාවට ගියෙමි


ලිපි ලිවීමට දහසකුත් එකක් දේවල් තිබේ .  මෑතකදී ශ්‍රී ලංකාවට ගිය ගමන ගැන යමක් කීමට  මුලින්ම සිතා ගතිමි. ඒ අතරේ මදක් කණගාටුදායක ආරංචියක් ප්‍රා ජේ ගෙන්  ලැබුණි .  ඒ අපගේ සහෝදර බ්ලොග් කරුවකු වන ඉයන් ලින්තොට ගේ ආදරණිය මව්තුමිය ගේ සමුගැන්මයි. ඇයගේ අවසන් කටයුතු එකොළොස්වන සෙනසුරාදා සිදු කරන ලද බවද දැන ගතිමි .  ඉයන් ලින්තොට සහෘදයානන් ට අපගේ සාතිශය සංවේගය පල කරමි . 

මෙවර ශ්‍රී ලංකාවට ගියේ හදිසියේය .  ඒ එන ගමනේදී අපූරු අකරතැබ්බයකට මුහුණ දුනිමි .  ඒ පළමුවෙනි වතාවටය. නැවත පැමිණියේ  ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ UL 503 දරන යානයෙන් මැයි 19දාය. එය දහවල් 13.10 ට පියාසර කරන්නට නියමිත යානයයි. අප ගමන් මළු යවා බෝඩින් කාඩ් ගත්  පසු දෙවන වරට ගුවන් ආරක්ෂක අංශය  හෝ ශ්‍රී ලංකාවට ගුවන් හමුදාවට අනුයුක්ත නිලධාරීන් නැවත වරක් මගීන් ගුවන් කැබින් එකට  රැගෙන යන ගමන් මලු චෙක් කරති . මා රැගෙන ගියේ කුඩා කැබින් සූට් කේසයක් හා ලැප්ටොප් බෑගයයි .  එහි තිබුනේ මගේ රැකියාවට දෙන කම්පැනි ලැපය හා ලෙනොවා වර්ගයේ  කුඩා අයිඩියා පෑඩ් එකක් පමණි . 

ඇතුලට යන්නට තිබුනේ ගේට්ටුව 14 බව මතකය. ගේට්ටුව 13 තිබුනේ මැලේසියාවට යන ෆ්ලයිට් එකකටය .  අනිත් එක 14 ලන්ඩන් යන මගීන්ටය. අපි ඇතුළට ගිය විට ලන්ඩන් සඳහා ලොකු  පෝලිමක් තිබුනත් මැලේසියා එක අවසන්ව තිබුණි . එතැන් සිටි නිලධාරියා අතින් සන් කල හෙයින් මම ඒ පරික්ෂ කරන ස්ත්නයට ගියෙමි . ගමන් මළු ස්කෑන් කරන යන්ත්‍රය  භාරව සිටියේ කාන්තා නිලධාරිණියකි .  ඇය මගේ බෑග් චෙක් කරන ලෙස දැන්වූ  නිසා ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනා මට බෑග් විවෘත කීවේය. මම ඒවා විවෘත කර පෙන්වූ පසු ඔවුන් ඇය දෙසට හැරී මුකුත් නැහැ කියා මට සූට් කේසය  වහන්නට කීහ. එවෙලේ ඇය තරමක් සැරෙන් "මම දැක්කනේ ගල් තියෙනවා." මොන ගල්ද කියා මම ඇසුවෙමි ?  මම ඔවුන් සමග කතා කලේ ඉංග්‍රීසියෙනි .  ඔවුන් මුකුත් නොකිය නැවත චෙක් කරත් ෆයිල් දෙක තුනක් ,  කෑම වගයක්, මගේ මව දරුවන් ට දෙන්නට සාදා දුන් මල් වගයක්  ඇරෙන්නට එහි වෙන තිබුනේ මා  ජපානයට ගිය විට  ගෙනා රැවුල කපන කුඩා ශේවර් එකය. එය සුදු පාට එකකි .  එහි මැද ඉතා පියකරු  ලස ෆුජි ගිනි කන්දේ රුවක් ඇඳ තිබුණි. මා එය මිලදී ගත්තේද ඒ නිසාය,
 මා  ළඟ තව ෆිලිප්ස් වර්ගයේ ඉලෙක්ට්‍රික් ශේවර් එකක්ද ඇති මුත් එයින් රැවුල කැපූ පසු දැවිල්ලක් සහ මුහුණේ සම ඇදී ඇති බවක් දැනේ .  ජපන් ශේවරය  ඉතා මෘදු එකකි .   
නැවත සුට්කේසය සිසාරා බැලූ නිලධාරීන් දෙදෙනා මේ මොකක්ද යයි අසා ශේවරය තබා ගත්තේය. අර සෙබළිය දිගින් දිගටම කීවේ ගල් වගයක් තියෙනවා කියාය . මොන මගුලක්ද කියා අසන්නට  සිතුනත් මා නිහඬව සිටියේ  බැරි වෙලාවත් "සලේ ක්‍රමයට සෝදිසි කරන්නට ආවොත්  කාට කියන්නද කියා සිතාය. මැලේසියාවට යන අය "ගල්" ගෙනියනවාද?    මම එය ඉලෙක්ට්‍රික් ශේවර් එකක් යි කීවද ඔවුන්  එය ක්‍රියා කරවන්නට  කියා කීවේද නැත. මේ ශේවර්  එක වෙන කොහෙන් වත් ගන්නට නැත .  එංගලන්තයේ සිට ඇමසන් හෝ වෙනත් කම්පැනි එකක් හරහා ගත හැක්කේ ඔය ඉහත ඇති එක පමණය. ෆුජි කන්ද ඇඳ ඇති නිසා එය මට විශේෂ එකකි. මගේ ප්‍රශ්නය ඔවුන්ට එසේ සංචාරකයන්ගේ බඩු  තබා ගත හැකිද යන්නය?     
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන්  දැනට අවුරුද්දකට පමණ කලින් මා ටිකට් කිහිපයක් ගත අතර එක අයෙකුට ගුවන් තොටුපලට පමිනියුඅත් යාමට නොහැකි විය .  ඒ පාස්පෝර්ට් එක මාස තුනකට පමණක් වැලිඩ් කියාය .  එයට 50% මුදලක් නැවත දෙන බවට පොරොන්ද්දු වුවාඩ් අඑයත් දැනට ලැබී නැත .    

මමමීට  කලින් ලංකාවේ දුම්රිය ධාවනයට සම්බන්ධ පරණ යුනිෆෝම් කට්ටලයක් හෙවිමේදී ෆේස්බුක් මිතුරෙකු වන අනුරුද්ධ පෑබොටුව මහත් සේ උදව් කළේය .  ඒ ඔහුගේ මිතුරෙකු වන විශ්‍රාමික දුම්රිය රියදුරු මහතෙකු හරහාය.  මම  ඒ දුම්රිය රියදුරු මහතා ලංකාවේදී හමු වුනෙමි . ඔහු   මට මරදාන දුම්රිය අංගනයේ වැඩ කටයුතු කෙරෙනා ආකාරය පෙන්නුවේය ,  එහි පරණ   දුම්රිය එන්ජින් කිහිපයක්ම අලුත්වැඩියා වෙමින් පවතී .  අලුත් ඒවා ගන්නේ නැතිව අපර්ණ ඒවාම අලුත් වැඩියා කරන්නට සිදුව ඈත්තේ ඇයි?
එයට හේතුව ශ්‍රී ලංකාවේ රේල් ට්‍රැක්  ගේජ් එක හෙවත් පීලි දෙකක්  (මාපකය )  අතර වෙනස බොහෝ රටවලට වඩා වෙනස් වීමයි .  එය බ්‍රෝඩ් ගේජ් එකක් හෙවත් වඩා පළල අඩි  5 යි  අඟල් හයක්  වන අතර (සෙන්ටි මීටර් 167.6) වන අතර ලෝකයේ ඇති පළල්ම  රේල් ට්‍රැක් එකකි .  කිලෝ මීටර් 1508 පමණ දිග මුළු ජාලයම මේ මිනුමට අනුව සාදා තිබේ . මෙය සමාන ඉන්දියනු හා පකිස්තාන්  එකට පමණි ,  එනිසා ඉන්දියන් එන්ජින් සහ රෝද කට්ටල මෙහි භාවිතා කළ හැකිය.  රුසියානු මාපකය අඩි 4 අඟල්  11කි .  ඇමෙරිකා එක්සත් ජනපදය ,  කැනඩාව, බ්‍රිතාන්‍ය,  යුරෝපීය රටවල, චීනය  සහ ජපානයේ අධිවේගී ශින්කන්සෙන් මාර්ග වල පළල  අඩි 4 අඟල් 8.5 කි. ජපානයේ සාමාන්‍ය දුම්රිය මාර්ග අඩි 3 අඟල් හයකි. මේ නිසා මෙරටට ගෙනෙන  සෑම එන්ජින් කට්ටලයක්ම මේ වෙනසට අනුව වෙනම  නිපදවාගෙන ආනයනය කළ යුතුය .   මෙය ඉතා මිල අධික වැඩකි .  ඉංජිනේරුවන් වෙනම ඩිසයින් කර ,  තම කම්හල් වල  කොටසක් වෙන් කර බෝගි  හෙවත් රෝද කට්ටල ,  අක්සල් සහ චැසිය කොටස වෙනම නිපදවිය යුතුය .  මේ රටවල භාවිතා කරන සමනය එන්ජිමක් මිට වඩා බොහෝ සෙයින් මිලෙන් අඩුය .  මේ හේතු නිශ අපරන් එන්ජින් අලුත්වැඩියා කර ධාවනයේ යෙදිය යුතුය . 
පින්තූර ගත්තේ එහිදීය. රජය විසින් විශ්‍රාම ගිය දුම්රිය රියදුරු මහතුන්ද සේවයට කැඳවා ඇති බව දැන ගතිමි .  

       

මට කොළඹ කොටුවේ සිට පානදුර බලා යන පරණ ඉන්දියානු එන්ජිමක් සහිත දුම්රියක රියදුරු මහතා සහ ඔහුගේ සහායක  මහතාට පසුපසින් සිටගෙන යාමට අවස්ථාවක් ලැබුණි . ඒ මහත්වරුනට දෙදෙනාට 
මගේ ආදරණිය ස්තුතිය පිරි නමමි .  

එහි වීඩියෝ කිහිපයක් මම යුටියුබ් චැනලයට මුදා හලෙමි. ඉන් එකක් පහත ඇත . 
පින්තුර ස්ලයිඩ් එකක්ද ඇතුලත් කලෙමි.  


මේ තිබෙන්නේ යුටියුබ් වීඩියෝ යොමුවකි . 



මේ ගමන සිදු වුයේ මැයි මාසයේ වුවත් ලියන්නට ඉඩක් ලැබුනේ අදය . 

අජිත් ධර්මකීර්ති 13/07/2026