Wednesday 26 June 2024

දඩ මංකඩ හා සමාජ යථාර්ථයෙන් එහාට


ශාන්ති දිසානායක කතුවරිය ගැන මා  මුලින්ම දැන ගත්තේ නොලියන , ලියන  බ්ලොග් කරුවන් සමූහයකගේ හමුවීමක් ගැන කියවීමෙනි. ඇය එහිදී අපේ සමහර බ්ලොග් මිතුරන්ට ඇය ලියූ පොත් පරිත්‍යාග කර තිබුණි. මා ජීවත්වන්නේ වෙනත් රටක බැවින් ශ්‍රී ලංකාවේ ලියන කියන හැමෝම ගැන හෝ ගී ගයන, කලා කටයුතු වල යෙදෙන හැමෝම  ගැන දැන ගන්නට ලැබෙන්නේ නැත. එවැනි හමුවන් සංවිධානය කිරීම එනිසා වැදගත්ය.  එනිසාම මම ලංකාවට පැමිණි ගිය අවුරුද්දේ අගෝස්තුවේ ඇගේ පොතක් මිලදී ගතිමි. ඒ ගිරි දේවිය. එක හුස්මට කියවිය හැකි නවකතාවක් වූ  එය ටෙලි නාට්‍යයකට ද තෝරා  ගත් එකකි.

පසුගිය වකවානුවේ ශාන්ති දිසානායක විසින් ෆේස්බුක්ලි හි යන ලද පෝස්ටුවක ඇය බොහෝ පොත් පල කර තිබෙන වගද පොත් පල කිරීමට මුදල් පවා හිතවතුන්ගෙන් ලබා   බවද නමුත් සමහර පොත් වලින්  බොහොමයක් විකිණී නොමැති බවද පවසා තිබුණි. මට මේ කතාව තරමක් වටහාගත නොහැකි වූයේ  ඇගේ නවකතා  බොහොමයක්ම ටෙලි නාට්‍යය වලට නැඟුණු ඒවා වූ බැවිනි. එනිසාම එම පොත්  ඉතා ජනප්‍රිය ඒවා යයි සිතුවෙමි. සමහරවිට කතා ටෙලියෙන් බැලූ පසු ඒවා ගැනීමට තරම් අවශ්‍යතාවයක් පාඨකයා ට  ඇති නොවිය හැකියයිද  සිතුවෙමි.

ලඟදි ලංකාවට ගිය අවස්ථාවේ ඇගේ පොත් කිහිපයක් මිලදී ගන්නට පොත් හල් දෙක තුනකට ගොඩ වැදුනෙමි. මිලදී ගැනීමට ප්‍රථම  පොතේ මුල, මැද,  අග පිටු කිහිපයක් කියවීමද  පටුන හා අග පිටුවද  මදක් කියවීම මගේ පුරුද්දකි.

සාමාන්‍යයෙන් මා පොත් හලකදී දුටුවොත් කෙලින්ම නවකතා  මිලදී ගන්නා ලේඛකයන් කිහිප දෙනෙකු සිටි.මංජුල  වෙඩිවර්ධන, නවගත්තේගම, ලියනගේ අමරකීර්ති, රන්ජිත්  ධර්මකීර්ති,  සුමිත්‍රා රාහුබද්ධ, පරිවර්තන නම් සුගතපාලද සිල්වා  ආදීන්ඒ  අතර වෙති.  පැයක දෙකක කාලයක් පොත් හල දෙකකම ඇගේ පොත්පො පීරා බලද්දී මට සිතුනේ ඒවා බොහොමයක් ඒකතානමය පොත් බවය. ඒවායේ සඳහන් වන චරිත වල, නම් ස්ථාන ආදිය වෙනස් වුවද දී තිබුණු බෙහෙත් වට්ටෝරුව එකම බවක් මට හැඟුණි. එසේ නැති පොතක් බවට මට තේරුණු "දඩ මං  කඩ" නමැති කෘතිය පමණක්  මිල දී ගතිමි. ඊයේ පෙරේදා එක හුස්මට වගේ ඒ පොත කියවා අවසන් කලෙමි. පොත් සාප්පුවේ තිබූ පොත් අතරින් වෙනස් එකකට තිබුනේ එම පොත බව හඟිමි.  

ඇය පොත් ලිවීමට අත්දැකීම් ගන්නේ ඈ  ජීවත්වූ හෝ ජීවත්වෙන අනුරපුර ආසන්න පරිසරය හා සමාජය  අනුකරන කොට ගෙන  යයි සිතමි. මෙහි වරදක් නැත. නමුත් විවිධත්වය නිර්මාණකරණයේ දී වැදගත් යයි මම සිතමි.  එකදාස් නමසිය තිහේ දශකයේ අග භාගයේ සෝවියට්  දේශයේ  ඇරඹුණු සමාජ සත්තා යථාර්ථවාදය නම් ප්‍රපංචයක් විය. එය ඇරඹුවේ මැක්සිම් ගෝර්කි ඇතුළු කලාකරුවන්  පිරිසක් විසිනි.  කළා කෘතියකින් හැකිතාක් සමාජ යථාර්තය පිළිඹිඹු කිරීම කල යුතුය යන්න එහි දළ අදහස  විය. එය ගෝලීය නිර්ධන පන්තියේ  අවශ්‍යතාවයක් බවද සංස්කෘතිය තුලින් විප්ලවයේ ගාමක බලය ශක්තිමත් කිරීමට එවැනි නිර්මාණ මහත්  ඉවහල් වනු ඇතැයිද විශ්වාස කෙරුණි. ඒ නිසා  ලිවිය යුත්තේ නිර්ධන පන්තිය, ඔවුන්ගේ ඛේදනීය තත්වය හා එයින් මිදීමට ඔවුන් දක්වන  වීර ක්‍රියා ගැන පමණක් බවට නිර්මාණකරුවන්ට බල කෙරුණි..  මෙයට පදනම් වූයේ ගෝර්කි (අම්මා -මාත්), ගැරිබෝල්ඩි  ගේ  නවකතා  , බාබෙල් (කොනර්මියා - රතු භට ඛණ්ඩය), යෙව්ගෙනි සම්යාතින් ආදීන්ගේ නිර්මාණ වලින්  1917 රුසියානු විප්ලවයට ඇතිවූ බලපෑම්ය.
 
 නමුත් බොහෝ අයට අමතක වූ කරුණක් නම් ලෙනින් විප්ලවයේ කැඩපත ලෙස හැඳින්වූයේ ලියෝ ටොල්ස්ටොයි   බවය. ටොල්ස්ටෝයි ලීවේ යුද්ධය හා සාමය, ඇනා කරෙනිනා වැනි නවකතාය . ඒවායේ  බොහොමයක  රුසියානු වෙළඳ ධනපති පන්තිය , රදල පවුල්, රජ පවුලේ හා හමුදාවේ නායකයන්ගේ ජීවිත ගැන විස්තර වලින් පිරි ඇත. නමුත් ලෙනින් කිවේ ටොල්ස්ටෝයි විසින් එම ශත වර්ෂයේ  රුසියානු ජිවිතයේ හැල හැප්පීම් මනාව පෙන්වූ බව හා ඔහුගේ දර්ශනය අහම්බයක් නොවන බවය. ඔහුගේ නවකතා වලින් ආර්ථික සුරාකෑම , ගොවීන්ගේ සාමුහික විරෝධය මනාව  විදර්ශනය කරන බව ලෙනින් පැහැදිලි කළේය. ලෙනින් සාහිත්‍යට දැඩි ලෙස ආදරය කල අයෙකි. ඔහු ජිවත්ව සිටියානම් ස්ටාලින්ගේ ආශීර්වාදයෙන්  ගෝර්කි දියත් කල මේ සීමා කිරීමට  විරුද්ධ වනු  නිසැකය.

ඇත්ත වශයෙන්ම සිදුවුයේ  දෙවන ලෝක යුද සමය ගැන ලියු නවකතා හැරුණු විට (ඒවායින් නට්සිවාදයට එරෙහි වූ  සෝවියට් ජනතාවගේ ගේ සැබෑ වීරත්වය, පරිත්‍යාගය නිරුපනය කල  නිසා   - ෂෝලහොව්, බොන්දර්යේව් ආදීන් මේ සීමාවට හසු වුනේ නැත) ඒ කාලයේ අනුමත කල   පශ්චාත් සෝවියට් සාහිත්‍ය කෘති හා නිර්මාණ  ආණ්ඩුවේ හොරනෑ පමණක් වීමය. සමාජ සත්තා  යථාර්ථවාදය ලංකාවේ ක්‍රියාත්මක කල ගුණසේන විතාන මහතා ආදීන්ගෙන් හරවත් සාහිත්‍යයක් බිහි වුවා යයි අපට කිව හැකිද?
 
එසේම  මේ මතවාදය තුල සිදුවුයේ ස්වාධින කලාත්මක නිර්මාණ බිහිවීම නොව රජයට ගැති නීරස ප්‍රචාරාත්මක (propaganda)  නිර්මාණ බිහි වීමය. ස්ටාලින් වන්දනා කරන ගායනා හෝ කොමියුනිස්ට් සමාජයේ සාධාරණත්වය, සශ්‍රිකත්වය ආදිය උලුප්පා දක්වන නිර්මාණ සමාජගත  කරන ලදී. ඒවා ඉදිරිපත් කළ කලාකරුවන් යයි කියා ගත් නිලධාරීන් කලා සංගම් වල හා රජයේ ආයතන වල වැජඹුණි. පිටරටවල සංචාරය කිරීමට වරම් ලද්දෝද ඔවුහු වූහ.

මේ දැක්මට විරුද්ධව නැගී සිටි කලාකරුවන් සමුහයක්ද විය. ඔවුන් ජීවිතය ගැට ගසා ගත්තේ අමාරුවෙනි. මහා කවි මයකෝව්ස්කි ගේ අන්තිම කාලය, අන්ද්රෙයි  තර්කොව්ස්කි ව්ලදිමිර්  විසෝස්කි ආදීන් මේ ගණයට වැටේ. එසේම බොරිස් පැස්ටර්නක් (ඩොක්ටර් ශිවාගෝ ), සොල්ෂෙනිට්සින් ආදීන්ගේ නවකතා හොරෙන් වෙනත් රටවලට යවා මුද්‍රණය කරන ලදී. ඒවා සෝවියට් සමයේ ලියැවුණු ශ්‍රේෂ්ඨ සාහිත්‍ය කෘති වුවත් සමාජ  සත්තා යථාර්ථවාදයට එරෙහිව ලියූ ඒවා විය.

"සුන්දරත්වයට පසු කලාව"  නම් කෘතියේ  දීප්ති කුමාර  ගුණරත්න තර්ක කරන්නේමේ අදහසට එරෙහිවය. ඔහුට අනුව "ලංකාවේ අධිපති සංස්කෘතිය තුල පවතින මාක්ස්වාදී විග්‍රහයන්ට අනුව, කලාව පිළිබඳ  දේශපාලනය සකස් වී ඇත්තේ ට්‍රොට්ස්කිවාදී විශ්ලේෂනයන්ට අනුකුලවය. ඒ අනුව සමාජවාදී රුසියාව තුල පැවති  පශ්චාත් -ධනවාදී කලාකෘති නැතහොත්, පෙරටුගාමී කලාව යනු, මර්ධනයට ලක් කරන ලද ප්‍රපංචයකි. ට්‍රොට්ස්කිවාදීන්ට අනුව, ලංකාවේ පැවති ස්ටැලින්වාදී කලා  විචාර  යනු, ජනතාවාදී  ප්‍රවණතාවයකි. ජනතාවාදය  යනු කලාව පොදුජන විඥාණයට ඌනනය කිරීමකි.   " - (පිටුව 32 සුන්දරත්වයට පසු කලාව). 

මා  කියන්නේ පෙරටුගාමී විවිධත්වයෙන් යුත් කළා නිර්මාණ නිලධාරිවාදය අතින් මර්දනය වූ බවය.  සෝවියට් දේශය තුල  තහනම් කෘතීන් ටයිප්රයිටර් මගින් මුද්‍රණය කර හොර රහසේ අතිනත බෙදා හරින ලදී. ඒවා සමිස්දත් නමින් හැඳින්වුණි. සෝවියට් දේශයෙන්  හොර රහසේ පිටමන් කර බටහිර හෝ වෙනත් රටක පල කරන ලද කෘතීන්  ටමිස්දත්  ලෙස හැඳින්වුණි. එසේනම් ඒවා මර්දනයට ලක් නොවූවා යයි දීප්ති කියන්නේ කෙසේද?

 දීප්ති ගුණරත්න ලියන පරිදි, බොරිස් ග්‍රොයිස් ගේ විශ්ලේෂණය තුල දී ස්ටලින්වාදී පශ්චාත් - ධනවාදී කළා කෘති යනු , බාධාවට ලක්වූ කෘති නොව ස්ව  කැමැත්තෙන් නිර්මාණය වූ ඒවා බව නිරූපණය කරයි. මෙහිදී ග්රොයිස් හුවා  දක්වන කසිමියර්  මාලවිච් (යුක්රේන ජාතිකයෙකි.)  ජිවත් වූයේ 1935 දක්වා පමණි. සමාජ සත්තා යථාර්ථවාදය ක්‍රියාත්මක වූයේ ඊට පසුවය. එනිසා මේ බොහෝ කෘති වරණයට ලක්වීමක් සිදුවී නැතිබවට දීප්ති ගුණරතන  ඉදිරිපත් කරන මතය සාවද්‍ය එකකි. 
"කලින් තනාගත් සෞන්දර්ය සැලැස්මකට අනුව සමාජ යථාර්තය සහමුලින්ම පරිවර්තනය  කිරීම ස්ටාලින් අනුදත් කලා ව්‍යාපාරයයි. ඒ අනුව ස්ටලින්වාදී කලාව යනු දේශපාලනය  සහ සෞන්දර්යය අතර නව මුහු වීමකි. 
ග්‍රොයිස් උපුටමින් දීප්ති ලියන්නේ සෝවියට් දේශයේදී සිදුවුයේ, කලාව හා  සංස්කෘතිය  දේශපාලනීකරණය වීමයි. එසේ කීම  නිවැරදිය.
එහෙත් ඔහු තව දුරටත් කියන්නේ ෆැසිස්ට් වාදයට එරෙහිව ජනප්‍රියවාදයේ   ගිලී යා මක් වෙනුවට ස්ටලින්වාදය යනු යථාර්තය  වෙනස් කිරීමේ  බුද්ධිමය අධිෂ්ඨානයක් කියාය. ස්ටාලින් ගේ සටන්පාඨය වූයේ, පෙරටුගාමී කලාව හරහා සමාජය පරිපුර්ණව වෙනස් කිරීමයි.

නමුත් සැබවින්ම සිදුවුයේ ස්ටාලින් ගේ සමූහ ගොවිපලවල් මෙන්ම මේ සංස්කෘතිය  දේශපාලනීකරණය කිරීමද   මර්දනයෙන් අවසන් වීමයි. කළා කෘතීන් ලෙස බිහිවූ ඒවා එක්කෝ මර්දනය සීරුවෙන් මගහැර ගිය (අයිත්මාතව්)  අතර තවත් ඒවා රහසිගතව පිටමන් කරන ලදී.  (සොල්ෂෙනිට්සින්) 

ශාන්ති දිසානායකගේ බොහොමයක් ග්‍රන්ථ රුපවාහිනියට නැගෙන්නේම ඒවා මේ ගැමි ජීවිතය, හේන් ජීවිතය, අතීත විභූතිය ආදී වට්ටෝරුවේ පන්නයට සමාජ සත්තා යථාර්ථවාදයට අනුගතව ලියූ ඒවා බැවිනි. ඒවායින් සමාජය වෙනස්වීමක් සිදු වන්නේ නැත. "දඩ මංකඩ" එම වට්ටෝරුවෙන් මුදාගෙන ලියූවකි. එහි හේන් කතාවල් තිබුනද, මැද පෙරදිග කතාවක් බද්ධ කිරීම තුලින් කතුවරිය විවිධ කෝණයන්ගෙන් කතාව කියන්නට අත්හදා බලයි. අවසන් පිටුවේ "මරණය කැන්දන කුරිරු දඩ මංකඩක්" ලෙස පොත ගැන හැඳින්වීමක් කළද පොත සැබවින්ම අවසන් වන්නේ පවතින සමාජයට සාපේක්ෂව සතුටුදායක ලෙසිනි. ප්‍රධාන චරිත දෙකම අනාථ වන්නේ නැත. එසේ වන්නේද නිර්ධන පන්ති දේශපාලන කතාවකින් හෝ ඛේදාන්තයකින් තොරවය. පවතින සමාජය තුලම සුභවාදී වීමට පුද්ගලයාට හැකිය. ශාන්ති දිසානායක මේ පොත තුලින් විවිධත්වයේ අපුර්වත්වයට පිය නගා ඇත.

- අජිත් ධර්ම 26/06/2024     

Tuesday 4 June 2024

අපේ අසල්වැසියා බ්‍රයන් - 1 - පුංචි කම්පැනිය

අපේ අසල්වැසියා බ්‍රයන් - 1
************************************************************
මේ කතාවේ මුල, මම මුලින්ම ලියපු  පොල්කට්ටෙන් එපිටට පොතේ අවසානය. මේක ලියන්නේ පම්පොරියක්ම ගහන්න නෙමෙයි. මේ පසුබිම් කතාව ලියන්නේ නැතිව බ්‍රයන් ගේ කතාවට එන්න බැහැ. අනික මට සමහර වැරදිච්ච තැන්  ගැන දැන් මම උපේක්ෂාවෙන් බලන්න පුරුදු වෙලා ඉන්නේ. ඒකත් පට්ට ආතල් එකක් තමයි. සමහර විට අනිත් අයට ප්‍රයෝජනයක් වෙයි. 

 මගේ පියා මේ  ලෝකය හැර යනකොට මම ලන්ඩන් සවුත්බෑන්ක් විශ්ව විද්‍යාලයේ MSc එකක් කරනවා තොරතුරු තාක්ෂනය පිළිබඳව. ඉතුරු වෙලා තිබ්බේ අවසන් කොටස කරන්න.  අපට  සෝවියට් දේශයේදී  යන්තමට වගේ  ෆොර්ට්‍රන්   කියන මෘදුකාංග භාෂාව උගන්වල තියනව. අපේ තීසිස්  එකට අවශ්‍ය කොටසක් (module)  විධිහට.

ඒ කාලෙම  තාත්ත ගෙන්න ගන්න ඕනේ නිසාම අපි (ඉනෙසුයි මමයි)  ෆ්ලැට් එකක් ගත්ත මොර්ගේජ් කරලා. (ඒ කියන්නේ  නැට්වෙස්ට් බැංකුවෙන් ණයක් අරගෙන). ඒවා ඔක්කොම ලැහැස්තිකරගෙන  යද්දී නිව්මෝනියා හැදිච්ච ලෙඩෙක් තාත්ත හිටපු ඇඳට අල්ලපු ඇඳට ගෙනත් දාල ඒක  හැදිලා තාත්ත අන්තරා වුනා . ඉතින් මම ලංකාවට  ගිහින් ඇවිත් අර MSc එක ඉවර කළා. මගේ සුපර්වයිසර් ලරිසා ෆ්‍රඩ්කින් කියන රුසියානු මහාචාර්ය කෙනෙක්. එයා ඉගෙන ගෙන තියෙන්නේ  ලෙනින්ග්‍රාඩ් පොලිටෙක් එකේ (ශාන්ත පිතර්බුර්ගය). මම පස්සේ තමයි දැන ගත්තේ එයාත් මම වගේම සෝවියට් නිෂ්පාදනයක් කියල. එයා මට හොඳ අවවාදයක් දුන්න. ෆීල්ඩ් එකේ ඉන්න නම් භාවිතා කරණ ඉංග්‍රීසි  වචන ඉගෙන ගන්න කියල. ඒ දවස් වල කොම්පියුටර් වීක්ලි වගේ සඟරා තිබ්බ කියවන්න.

සවුත්බෑන්ක් එකේදී මම ඉගෙන ගත්ත  පාඨමාලාවට ඩේටබේස් (දත්ත ගබඩා කියමු) නිර්මාණය,   සහ C කියන මෘදුකාංග භාෂාව ඉගැන්වුවා. ඒ දවස් වල තිබ්බ එක  ඩේටබේස් සිස්ටම් එකක් තමයි dbase කියන එක. ඒක තමයි ඉගැන්වූවේ. හැබැයි මට තිසිස් එකට කරන්න  තිබ්බේ C ++ කියන භාෂාවෙන් පොඩි ප්‍රෝග්‍රෑම් කෑල්ලක්.  ලරිසා අපට කීව ලියන ප්‍රෝග්‍රෑම් එක ෆ්ලොපි ඩිස්ක් එකකට දාල ලියාපදිංචි ලිපියක් හැටියට තමන්ටම එවා ගන්න කියල. එහෙම තමයි ඒ කාලේ කොපි රයිට් එක තියා ගත්තේ. ඒ ඩිස්ක් එක තවම මං ළඟ තියනවද කොහෙද . මම ඒ කාලේ රස්සාවට  කලේ  පරිගණක අලුත්වැඩියාව ,සහ මෘදුකාංග දාල දෙන වැඩ. ඒකට කම්පැනි එකක් දාගෙන හිටිය චිප්ස් ඇන්ඩ් බයිට්ස් කියල. 

ඒ කාලයේ මම රන්ජිතකුමාරන්  කියල දෙමළ  නීතිඥ කෙනක් ගේ සමාගමක පරිගණක වැඩ වලට උදව් කලා. . මගේ පොඩි කම්පනියේ නෙට්වර්ක් ඉන්ජිනේරුව  හැටියට වැඩ කලේ නුරායි    කොට්සංගි කියන තුර්කි ජාතික යෙහෙළිය. (මීග් ෆේස්බුක් එකේ ඉන්න කෙනා තමයි)  අපි දෙන්නම ඉගෙන ගත්තේ සවුත්බෑන්ක් විශ්ව විද්‍යාලයේ. සමහර සබ්ජෙක්ට් වලට එක ලෙක්චර් වලට ගිහින් තමයි අඳුර ගත්තේ. අදටත් ඉනෙස් සහ මම සමහර වෙලාවට සෙනසුරාදා ඉරිදට ඇවිදින්න යන්නේ එයාල එක්ක. අපි තුර්කි කෑම ජාති හෙම ඉස්සෙල්ලම කන්න පුරුදු වුනෙත්එ යාල නිසා. 

රන්ජිත් ඇන්ඩ් කෝ එකේ මුල්ම පරිගණක නෙට්වර්ක් එක දාල අලුත් වින්ඩොව්ස් සිස්ටම් එකක් දාල දුන්නේ අපි. රන්ජිත් ට ඕනේ වුනා  එයාගේ හැම ක්ලයන්ට් කෙනෙක්ම  ඩේටබේස් එකකට දාගන්න සහ ටයිපිස්ට් ල වගේ එයාගේ ලීගල් සෙකට්‍රිලා ගහන ලියුම් පරිගණක මගින් ප්‍රොසෙස් කරන්න.  

අර කොම්පියුටර් සඟරා ඒ කාලේ එක එක මෘදුකාංග නිකන් දෙනවා. එහෙම  ලැබිල මං ලඟ තිබ්බ ලෝටස් නෝට්ස් කියල ඒ දවස් වල ජනප්‍රිය සිස්ටම් එකක්. ඒකෙ ඩේටබේස් එකක් සහ ලිපි ලියන්න දැන් මයික්‍රොසොෆ්ට් වර්ඩ් වගේ වර්ඩ් ප්‍රොසෙසර් එකක් තිබ්බ. ඉතින් මම කලේ අර ඩේටබේස් එකට රන්ජිත් ගේ කස්ටමර් ල ගේ විස්තර ඇතුලත් කරලා ඒ විස්තර අරගෙන ලිපි ඉබේ ගහන්න පුළුවන් විධිහට සිස්ටම් එකක් හදපු එක. ඒ කියන්නේ ලිපියට අවශ්‍ය දත්ත - නම, ලිපිනය, උපන්දිනය, ලිපියේ හේතුව, රෙෆරන්ස්   වගේ දේ දැම්මම වැඩ කරන අයට ලිපියේ ඉතිරි ටික ලියන්න ලේසියි. හැම  ලිපියකටම ටෙම්ප්ලේට් එකකුත් දැම්ම. එතකොට ඒක අරගෙන අවශ්‍ය ලිපිය සම්පාදනය කරන්න  පුළුවන්.  මේ වගේ සිස්ටම් එකකට කියන්නේ කේස් මැනේජ්මන්ට් සිස්ටම් එකක් කියල. ඒ කියන්නේ නීතිඥ සමාගමකට කෙනෙක් ආවහම එයාට කේස් ෆයිල් එකක් ඇරලා අවශ්‍ය වැඩ ටික කරලා දෙන එක පරිගණක ගත කිරීම. ඒකෙන් වැඩේ ලෙහෙසි වෙනව. රන්ජිත් වැඩිපුරම කලේ ආගමන විගමන වැඩ. ඒ කියන්නේ ඉමිග්‍රේෂන් කේස් . ඊට අමතරව කොන්වෙයන්සින් හෙවත් නිවාස 

හැබැයි මගේ ඔය වැඩේට ඒකෙ හිටිය සෙකට්‍රිලා වැඩිය කැමති වුනේ නැහැ, රස්සාවල් නැති වෙයි කියල බයට වෙන්න ඕනේ. කොහොම හරි ඔය සිස්ටම් එක මම වික්ක තව කම්පැනි එකකට. ඔය දෙකේම වැඩ කරන  ගමන් තවත් සමාගම් හෙව්වා මේක විකුනන්න. හැබැයි මගේ මාකටින් අන්තිම සවුත්තුයි. මට ඔය වැඩේ තේරෙන්නම නැහැ. අනික මම කරන වැඩ වලට  ගන්න ගානත් මදි කියල මට පස්සේ තමා තේරුනේ. 

අපේ දුවලට පොඩි කාලේ ඉඳන්ම එංගලන්තේ ව්‍යවසායකත්වය ගැන උගන්වනව. ලොකු දුව ශනායා  එයා අඳින චිත්‍ර අඩු ගණන්වලට විකුනන්නේ නැහැ. අපේ ගෙවල් ළඟ දෙමළ  පවුලකට එයාලගේ සීයා ගේ පින්තූරයක්   අන්ද ගන්න ඕනේ වුන දුවට  කියල. මෙයා පවුම් තිස්  පහක් ද කොහෙද අය කළා. මම කීව අඩු කරන්න ඒ අය පව් නේ  කියල එයා කිව්ව් "ඩැඩී මම  පැය ගාණක්, දවස් ගාණක්  මහන්සි වෙලා අඳින චිත්‍රයක්  අඩු ගානකට දෙන්නේ මොකටද" කියල පස්සේ මගේ බල කිරිමට පවුම් විසි පහකට අඩු කළා. ඒත් වැඩි කියල මට හිතුනේ.  එයා චිත්‍ර මෝස්‌තර ඇඳල  ටි ෂර්ට් වලට ප්‍රෙස් කරනවා. ඒවල  ගණන් හරි සැරයි.  එයා කියන්නේ එයා  විකුනන්නේ එයාගේ හැකියාව කියල.  මට වෙලාවකට හිතෙනවා කෙල්ලගේ මොලේ  ඒ කාලේ මට තිබුනේ නැහැ නේද. අපි අපිව අගය කරනවා අඩුද? අපට කියල දීල තිබුනේ හෙම. පැනල දෙන්න එපා. පිටි පස්සට වෙලා ඉන්න. අත උස්සන්න බයයි. අපිව මාකට් කර ගන්නේ නැහැ. පස්ස ගහනවා. අපි අපි ගැනම අඩුවෙන් තක්සේරු කරලා කියන්න පුරුදු වෙලා ඉන්නේ. ධනවාදී සමාජයක නෙමේ සමාජවාදී එකකවත්  එහෙම වෙලා ජීවිතය  උස්ස ගන්න බැහැ.

ඉතින්  මම හදපු සිස්ටම් එක විකුණා ගන්න උත්සාහ කරනවා වෙනුවට මම කලේ ජොබ් හොයපු එක. මා ගාව  වැඩ කරපු නුරායි ටත් මම කීව රස්සාවක් හොයා ගන්න කියල. මම ලෝකල් පත්තරේක දැක්ක නීතිඥ සමාගම් වලට පරිගණක සේවා සපයන සමාගමකට ප්‍රෝග්‍රැමර්  කෙනෙක් හෙවත් පරිගණක ඉංජිනේරුවෙක් ඕනේ කියල. ඒකෙ නම ඩිපිඑස්, ඒ කියන්නේ document processing system හෙවත් ලිපි සකස් කිරීමේ හෝ ලියා ගැනීමේ ක්‍රමය කියන එක. මට රැකියාව ලැබුනේ  හැබැයි ප්‍රෝග්‍රැමර් හැටියට නෙමේ පස්සේ. අර මම කීව කේස් මැනේජ්මන්ට් ඩිවොලොප් කරන්න. මේ 1999 වසර. 

ලියන්න අමතක වුනා ඒ දවස් වල මගේ ඉනෙස් නඟා වැඩ කලේ ඩෙල්ටා  එයාර්ලයින් එකේ  රිසර්වේෂන්ස් ඒජන්ට් (ටිකට් නිකුත් කරන) කෙනෙක් ලෙස.  ඉතින් එයට නොමිලේ ලැබෙන ටිකට් වලින් ලෝකේ හැම තැනම සහ ඇමෙරිකාවේ නිතරම යනවා. නිකන් ටිකට් ලැබිලත් මම නෙමේ ඇමෙරිකා එක්සත්  ජනපදේට  ගියේ. ඒ දවස් වල ඉතින් ෆුල් ඇමෙරිකන් විරෝධී, ව්‍යාපාර විරෝධී, ඉතින් හරියයි ද ? 😀

ඒ කතාවත් ලබන සතියේ කියලම  බ්‍රයන් හමුවුන විධිහට යමු. 

මේ ලරිසා ෆ්‍රාද්කින් https://www.linkedin.com/in/larissa-fradkin-02872412/
   
~~~~~~~~~මතු සම්බන්ධයි