Friday 8 July 2022

කාම්බෝජ සංචාරය 3 - සිර කඳවුර අංක 21 - කේ පොයින්ට් සහ එළියකන්ද (සංවේදී නම් නොකියවන ලෙස ඉල්ලා සිටිමි)

පින්තූරයේ මා සමග සිටින්නේ වධ කඳවුර අංක 21න් (S -21 Tuol Sleng) දිවි ගලවා ගත් අයෙකි.  ඔහු වධ කඳවුරේ ජීවිතය ගැන ලියූ "කේ පොයින්ට්" පොත සමග ඡායා රූපයකට පෙනී සිටියේය. 
කෙමර් රූජ් රජය ද්‍රෝහීන් සිරකර වධ දුන් කඳවුර  අංක S 21 ගැන මා  මුලින්ම සඳහන් කළේ  කලින් ලිපියේය. මේ ලිපියේ  තව දුරටත් ඒ පිළිබඳ ලිවීමට අවශ්‍යව තිබේ.   පොල්පොට් ගේ වධ කඳවුරු හා මරා දැමීම් ගැන සටහනක් මට මතක විධිහට රෝහිත මුණසිංහ ලියා තිබේ. ඔහු ලියු "එළියකන්ද වධ කඳවුර" පොත මම කියවූයේ පසුගිය අවුරුද්දේ ලංකාවේ දීය. එම පොතේ එහිදී හමුදාව හා පොලිසිය සිර කරුවන්ට අපායේ දඬුවම් දුන් අන්දම පැහැදිලිව විස්තර කර තිබේ. මේවා කළේ අනීතිකව නිසා ඒ පිලිබඳ ඡායාරුප හෝ වෙනත්  සටහන් සොයා ගැනීමට නැත. ඇත්තේ මෙවැනි විස්තර පමණකි. රෝහිත රණසිංහ මේ කඳවුරු හා මරා දැමීම් පොල්පොට් ගේ ඒවාට සමකලද ඒවා කරන ලද්දේ ශ්‍රී  ලංකා   ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආරක්ෂක හමුදා විසිනි. එවකට පැවති රජය මෙහෙය  වුයේ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය කොම්ප්‍රොදෝරු ධනපති පක්ෂය ලෙස හැඳින්වූ එජාපය විසිනි. (ත්‍රිමාණ ලිපිය බලන්න.) ඒ කාලයේ ලංකාවේ තිබුනේ නැත්තේ සමාජවාදය හා ප්‍රජාතන්ත්‍රවාදයයි.

කාම්බෝජයේ සිදුවූයේ තනිකරම අනිත් පැත්තය. පොල්පොට් පිහිටවූ රාජ්‍යයේ නම ප්‍රජාතන්ත්‍රවාදී කැම්පුචියාවයි. ඔහු ගේ පක්ෂය හැඳින්වුයේ කැම්පුචියානු කොමියුනිස්ට් පක්ෂය යන නමිනි. ඔහු තම ඝාතන ඇරඹුවේ තමන් සමග දේශපාලනය කල  කොමියුනිස්ට් හා වාමාංශික සගයන් මරා දමමිනි. ඉන්පසු එය සිහනුක් කුමරුගේ නිලධරයන් දක්වාද ඉන්පසු අනික් සියල්ලන් දක්වාද පැතිරුණි.  මෙය ප්‍රශ්නකාරී වන්නේ කාම්බෝජ නිදහස් සටනට  (ජනරාල් ලොන්නොල් හා ආක්‍රමණකාරී එක්සත්  ජනපද බෝම්බ වලට විරුද්ධව)  සහභාගිවූවන් අතර සිහනුක් කුමරු ට පක්ෂපාතී  භටයන්ද සිටි බැවිනි. 

එළියකන්ද ගැන තවත් විස්තර සහිත පොතක්  වන "කේ පොයින්ට් "  මම කියවූයේ වසර දෙකකට පමණ පෙරය. එය ලියා ඇත්තේ කාලයක් බ්ලොග් ලියූ දැන් "ප්‍රජා" නමින් වෙබ් අඩවියක් කරන අජිත් පැරකුම් ජයසිංහ විසිනි. ඒ පොත පිලිබඳ ලිපියක් ලිවීමට අවශ්‍යතාවයක් තිබුනත් එයට අවකාශයක් ලැබුනේ නැත.  අජිත් පැරකුම් එම කඳවුරේ ඔවුන් විසින් විඳින ලද අමානුෂික වධයන් හා වධකයන් ගැන විස්තර කරන විට මට සිහි වන්නේ පන්සල් වල චිත්‍ර වල ඇඳ තිබෙන අපායේ විස්තරයි. සමහර විට ආරක්ෂක නිලධාරීන් ඒවා අභාෂයෙන් මේ අමානුෂික වධ ක්‍රම ඉගෙන ගන්නට ඇත. දහම් පාසැලේ සිටම කියා දෙන්නේ අපාය ගැන හා එහි දඬුවම් ගැන හෙයිනි.  

"මී හරක් පීටී" ආරම්භ වන්නේ ඉසි පෝසන් වලිනි. (මෙය easy position විය හැකිය.-)  ඉසි පෝසන් සිටියදී උදලු මිටි බඳු මුගුරුවලින් හෝ  හෝස් පයිප්ප වලින් පිට මැදට දෝයි ගා පහර දෙනු ලැබේ. විකී , උදේනි හෝ නවා හෝ උඩ පැන බදා පහර දෙන පොලු පහර සමග හුස්ම අල්ලා  ගැනීමට වැර  දරමින් ඔබ පතුලක් නැති අගාධයකට වැටෙන්නට පටන් ගනියි. " පිටුව 131 (කේ පොයින්ට්) 

පොල්පොට් ගේ සිර කඳවුරේ සිටියේ  ලොන්නොල් ට පක්ෂ අය පමණක් නොවේ. කෙමර් රූජ් රජයේ අණට විරුද්ධව ගම්වලට නොගිය ඉන්ටෙලිජන්සියාව  (ගුරුවරු, ගත් කතුවරු, වෛද්‍ය හා ඉංජිනේරු වෘත්තිකයන්), පසුගිය ආණ්ඩුවට වැඩ කල රාජ්‍ය සේවකයන්, හමුදාවේ උසස් නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල් වල  අය, පරණ කේඩරයන්, සිහනුක් ට සම්බන්ධ කෙමර් රූජ් හමුදාවේ සහෝදර භටයන්ද වීය.  නමුත් ඉතා අවාසනාවන්ත ලෙස ඔවුන් සමග සටන් කල කොමියුනිස්ට් පක්ෂයේම ජ්‍යෙෂ්ඨ සාමාජියකයන් වැඩි ප්‍රමාණයක් මේ කඳවුරේ සිර කර මරා දමන  ලදී. ඔවුන්ට නගනලද පොදු චෝදනාව වූයේ ඇමෙරිකන්, සෝවියට් හෝ වියට්නාම් ඔත්තුකරුවෙකු වීම  යන්නය.  ඒ චෝදනා සඳහා සාක්කි සපයා ගත්තේ එම සිරකරුවන්ට අමානුෂික වධ දී  පාපොච්චාරණය කිරීමට සැලැස්වීමෙනි.  පහල ඇත්තේ අඩි  දෙකක් පමණ පළල අඩි පහක් පමණ දිග ගඩොලින් බඳින ලද සිර කුටියකි. සිරකරු ගේ පය එහි ඇති යකඩ පෙට්ටියට දමා අගුලු ලා තිබේ. වැසිකිලි යන්නට බාල්දියක් තිබෙන අතර සිරකරුට නිදා ගැනීමට ඉඩ සලසා නැත. 


අජිත් පැරකුම් ගේ පොතේ 198 වැනි පිටුවේ එළියකන්දේ සහ අනිකුත් කඳවුරු වල කළ වධ දීම් විස්තර කර තිබේ. එය කියවාම බලන්න.  S-21 කඳවුරේ සිරකරුවන් නිදා ගැනීමට සලස්වා තිබුනේ මෙට්ට නැති මෙම දඬුකඳ වැනි අන්දකය. සිරකරුගේ දෙපා මෙහි ඇති යකඩ වළලුකර වලට තබා තදින් සිරකර හිස යකඩ පෙට්ටිය ට අල්ලා තද කර ඇත. සමහරවිට මේ ඇඳේ තිබියදීම සිරකරුවන් පුළුස්සා මරා තිබේ. ඒ පින්තූර ඇතත් මෙහි පළ නොකරමි.  (එළියකන්ද කඳවුරේ පරණ  කුස්සිය පහරදීමෙන් පසු පණ අදින අයට වෙන් කර තිබුණි.) 



කේ පොයින්ට් හා එළියකන්ද පොතේ සඳහන් ලෙස  වතුරේ ඔබා හුස්ම හිරවීමට සැලැස්වීම වධ දීමේ හා පාපෝච්චාරණ ගැනීමේ පොදු ක්‍රමයක් විය. පහළ පින්තූරයේ ඇත්තේ එවැන්නකි. 
පහල පින්තූරයේ ඇත්තේද වතුර පිරුණු ටැංකියකට ඔබා ගිලෙන්නට සැලැස්වීමේ ක්‍රමයකි.


ශ්‍රී ලංකාවේ  සිරකරුවනට ඉලෙක්ට්‍රික් කේබල් වලින් පහර දී ඇත. මෙහි ඇත්තේ සිරකරුගේ ත මේසයකට බැඳ කේබල් වලින් පහර දෙන යුරුය. 
මේ සිරකරුවන් ඔබන යකඩ ටැංකියකි. 


බොහෝවිට සිරකරුවන්ගේ අසූචි හා මළ මුත්‍රා එකතු කර බල්දිවලට පුරවනු ලැබේ. ඉන්පසු කකුලෙන් එල්ලා හිස ඒවාට පහත්  කරනු ලබයි. ඒ අතරවාරයේ පහර දීමද කර තිබේ. 


තවත් දඬුවමක් වී ඇත්තේ සිරකරු සම්පුර්ණයෙන් ම  වැසූ පෙට්ටියක බහා  අතපය යකඩ විලංගු ලා  සිරුර දික්වනසේ  ඇදීමයි. (දඬු කඳේ ගැසීම වැනි). ඉන්පසු සපාකන පත්තෑයන්, කුහුඹුවන්, සර්පයන්, ගෝනුස්සන් වැනි සතුන්   පෙට්ටිය තුලට දමනු ලැබේ. සම ඇදී තිබෙන නිසා සපාකන විට වේදනාව වැඩිය. පිරිමින්ට වඩා සිරකාරියන්  මේ දඬුවමට  ලක්  කර තිබේ. ඒ ඔවුන්ගේ රහස්‍ය ප්‍රදේශ වලට සතුන් ඇතුළු කිරීමෙනි. 

සිරකුටි තනවා තිබුනේ මේ පරණ විදුහල් ගොඩ නැගිල්ලේය. 


මිනී ඔලු විශාල ප්‍රමානයක් මෙම කෞතුකාගාරයේ තැන්පත් කර තිබුණි. බොහෝ අය මරා දමා තිබුනේ පහර දීමෙන්, එල්ලීමෙන්, පුළුස්සා දැමීමෙන් හා නිරාහාරව දවස් ගණන් තබා වධ දීමෙනි. ඔවුනට  වෙඩි උණ්ඩ භාවිතා කිරීම හොඳ මරණයක්  සේ සලකා තිබුණි. 
සිරකරුවනට වධ දුන් තැනක්. ඔවුන්ගේ හිස් මේ භාජන දමා තැබේ. ඒවායේ ඇත්තේ කුණු වී පණුවන් ගසන අපද්‍රව්‍යයන්ය. 





පහත ඇත්තේ සිරකරුවන් ට දැමු යකඩ වලංගුය. 


මෙහි ඇත්තේ තරුණියක ගේ හිස ඇණයක් ඇතුළු කර තද කර ඇති අයුරුය.





පහල සිටින්නේ වියට්නාම් හමුදා විසින් මුදවා ගත් අයෙකි.


මා  2019 දී කියවන ලද තව පොතක් නම් '71 කැරැල්ල " නමැති බර්ටි හෙවත් රන්ජිත් හෙන්නායක ආරච්චි ලියූ  පොතයි. ඔවුන් අත් අඩංගුවට  මුලින්ම  රැගෙන ගිය හැමන්හිල් හිර කඳවුරේ භූගත කුටියේ මළමුත්‍ර හා පල්වුනු වතුර ගඳ ආග්‍රහණ කරමින් පහර කමින් ජිවත් වූ අන්දම ඔහු  විස්තර කර ඇත. ඔහු දැන්  ජිවත් වන්නේ ජර්මනියේය.  මා දන්නා පරිදි රන්ජිත්  සමාජ ප්‍රජාතන්තවාදී පක්ෂයක සාමාජිකත්වය උසුලයි. 

රෝහිත මුණසිංහ ජිවත්වන්නේ  ප්‍රංශයේ ය. රෝහිත ගේ ෆේස්බුක් පිටුවේ මුල් කාලයේ රාජපක්ෂ රෙජිමයට සහය දක්වන සෙයක් තිබුණි. එසේම යුද්ධයට සහයෝගය දැක්වීමක් කර තිබුණි. මට එය ප්‍රශ්නකාරී වන්නේ ඔහු විඳි අත්දැකීම් වෙනත් ජනතාවකටත් භාර දෙන්නට කැමතිද යන ප්‍රශ්නය පැන නැගුනු හෙයිනි. ඔහුගේ එළියකන්ද කඳවුර පොතේ රෝහිත  තවමත් කිසියම් වඩා සාධාරණ සමාජවාදී සමාජයක් අපේක්ෂා කරන බවක් පෙනී යයි. ඔහුගේ ප්‍රංශ ජිවිතයේ නම් කරදරයක් නොමැති බව ඔහු රටරටවල කරන සංචාර වලින් පෙනේ. 
 
අජිත් පැරකුම්  ජයසිංහ ජීවත්වන්නේ ලංකාවේ වන අතර බ්ලොග් සම්මාන කරන අවධියේ මට ඔහු හඳුනා ගැනීමට  ලැබුණි. අජිත් කටයුතු කරන්නේ ලිබරල් මත ධාරියෙකු ලෙසය. එසේම ඔහුද සමාජ ප්‍රජාතන්ත්‍රවාදියෙක් යයි සිතමි. 

මට පැහැදිලි වුයේ මේ තිදෙනාට ම තමන් කලින් සම්බන්ධවී සිටි දේශපාලන පක්ෂය කෙරෙහි ප්‍රබල විවේචනයක් ඇති බවය.  ඒ විවේචනය සාධාරණ ලෙස භාරගත යුතු බව මගේ හැඟීමයි. ඔවුන් දැන් එම පක්ෂ වලට  සහයෝගය දක්වන්නන් ගේ ස්ථාවරය  අනුව ධනපති පක්ෂ වලට සහය දෙන ද්‍රෝහීන් ලෙස පෙනෙන්නේ නම් ඔවුන් විඳි කරදර ගැන මේ වමේ සාමාජිකයන් සහ හිතවතුන්  සානුකම්පිතව සළකා බැලිය යුතු බව මගේ අදහසයි. ඔවුන් තිදෙනාම ඒ වධ වින්දේ , සිරගතව සිටියේ තමන් වෙනුවෙන් නොවන බැවිනි.

මගේ මිත්‍ර කාම්බෝජ ජාතික එන්ගග්   වෙන්ග් සෝවියට් සමාජවාදයට හෝ චීන ධනවාදී සමාජවාදයට විරුද්ධ නැත. මගේ කියුබානු මිතුරන් ඔවුන්ගේ රටේ සමාජවාදය අසාර්ථක වීම සිදුවුයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සම්බාධක  නිසා යයි සිතති. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් කියුබානු පාලන ක්‍රමයේ වෙනසක් අපේක්ෂා කරති.  එන්ග්  වෙන්ග්  කියන්නේ මිනිසුන්  හා රටවල් මෙවැනි සාමූහික  පරීක්ෂණ වලට භාජනය නොකළ යුතු බවය. 

විමුක්ති ව්‍යාපාරයක් වූ කෙමර් රූජ් ගරිල්ලන් හා ඔවුන්ගේ කොමියුනිස්ට් පක්ෂයේ ඇතැමුන් ද පොල්පොට් හා කියූ සම්පන්ද ඇතුළු නායකයන්   කම්පුචියානු ජනතාව බින්දුව වර්ෂයේ සිට දියුණු කිරීම සඳහා  පොත් පත් ගිනි තබමින්, දැනුම විනාශ කරමින් සියල්ලෝම ගමට දැක්කුහ. ගම්වල සිට පොහොර වෙනුවට තමන් නිදාගෙන සිටි කාමර වල තබා ඇති බාල්දි වලට අසුචි කරන ලෙසත් එම අසූචි  වී වගාව හා අනිකුත් වගා  කරන ඉඩම් වලට දමන ලෙසත් අණ  කළහ. මගේ මිතුරු එන්ග්  කිවේ එම ගොවිබිම් අසලට යාම පවා අපහසු තරමට  දුර්ගන්ධය අධික බවයි . සමහර විට මළමිනී  ද ගොයම් අතර පාවෙමින්  තිබුණි.

 දැනුම විනාශ කළ පසු ඉතිරි වන්නේ හිස්කමකි, එම හිස්කම තුල ඔවුහු මිලියන් දෙකකට අධික ජනතාවක්  ඝාතනය කළහ. අවසානයේ වියට්නාම් හමුදා ආක්‍රමණය කර කෙමර් රූජ් හමුදා පරාජය කලේ නැත්නම් ඉතිරිව සිටි ජනයා හාමතේ මිය යාමට නියමිතව සිටියහ.

මගේ මිතුරු එන්ග් කියන්නේ ඔහුට  අවශ්‍ය මාක්ස්වාදය හෝ ලිබරල් වාදය  නොව නිදහසේ ජිවත් වීම බවය. ඔහුගේ වැඩිමහල් දියණිය ජිවත් වන්නේ ප්‍රංශයේ ය. අනිත් දියණියද බිරිඳද රැගෙන කාම්බෝජය හැර දමා ප්‍රංශයට යාම ඔහුගේ බලාපොරොත්තුවයි.  

- අජිත් ධර්මකීර්ති 

- මතු සම්බන්ධයි 

කලින් ලිපි:


21 comments:

  1. මෙවැනි අත්දැකීම් වලට මුහුණ දී විදෙස් රටවලට පලාගොස් සිටිනා අය වර්තමානයේ උත්සහ දරන්නේ ශ්‍රී ලංකාව තුල විවිද අන්දමින් අස්ථාවර තත්වයක් ගොඩ නගන්න. එවිට ඔවුන්ගේ විදෙස්ගත ජිවිතයට ලංකාවෙන් පිටවීම තව තවත් සාදාරනය කිරීමට හැකි නිසා විය යුතුයි.

    අජිත් පැරකුම් නම් සෑම විටම පාහේ අදහස් දක්වන්නේ ප්‍රචණ්ඩත්වයට සහ ආවේගශීලි මොබ් මානසිකත්වය අයහපත් බව කරුණු දක්වමිනුයි. එය ඉතාම සාධනියයි. ඒ නිසා අජිත් පැරකුම්ව මේ දිනවල ජේවීපී සහ පෙරටුගාමී ඇතුළු අරගල කරුවන්ගේ වෛරයට ලක්ව සිටිනවා. ඒත් පැරකුම් ඔහුගේ ස්ථාවරයේ සිටිනවා.

    අජිත් ධර්මා කිරිතිත් අදහස් දැක්වීම සංයමයෙන් කරනවා.

    හැබැයි සරණාගත විසා වගේම වෙනින් අකාරවලටත් ලංකාවෙන් පිට ඉන්නා ගොඩක් අය ශෝෂල් මිඩියා ඔස්සේ කරන්නේ ලන්කමේ මිනිසුන් කුලප්පු කරමින් ගැටුම් ඇතිකරවන එක.

    මයිත්‍රී ජනාධිපති කාලේ ජනාධිපති මිඩියා එකට රිංගන් ඒක කාබාසිනියා කරපු ඇතැමුන් දැන් විදෙස් රටවලට පැන සරණාගත විසා දික්කර ගැනීමේ උවමනාවෙන් ලාංකිකයන් අවුස්සනවා. අපේ අයත් ඇතැමුන් අහුවෙනවා. හැබැයි දැන් දැන් නං මිනිසුන්ට වැටහීගෙන යනවා මේ අයගේ අරමුණ ඔවුන්ගේ පුද්ගලික වාසිය පමණක් බව.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන අන්දමේ දෙයක් LTTE සංවිධානය විසින් කළා. ශ්‍රී ලංකාවේ බෝම්බ පුපුරව ඒවා පටිගත කර පෙන්වා මුදල් උපයා ගත්ත. ඒ අතරම මිනිසුන්ට දේශපාලන අනාථ භාවය ගන්නත් ඒක උදව්වක් වුනා. එහෙම ගෙනෙන අයගෙන් ඔවුන්ට මාස් පතා මුදල් ලැබුන. ඒක කියන්න ගිහින් තමයි රාජිනි තිරාණගම (රාජසිංහම්) ව වෙඩි තියල මැරුවේ. මම මිනිසුන් කලප්පු කරන්න කැමති නැහැ. හැම වෙලාම කියන්නේ ආවේගය කමක් නැහැ. පාලනය කරගන්න. දේපල විනාශ කරන්න, මනුෂ්‍ය ජිවිත විනාශ කරන්න යන්න එපා කියල.

      Delete
    2. //මයිත්‍රී ජනාධිපති කාලේ ජනාධිපති මිඩියා එකට රිංගන් ඒක කාබාසිනියා කරපු ඇතැමුන් දැන් විදෙස් රටවලට පැන සරණාගත විසා දික්කර ගැනීමේ උවමනාවෙන් ලාංකිකයන් අවුස්සනවා. අපේ අයත් ඇතැමුන් අහුවෙනවා. හැබැයි දැන් දැන් නං මිනිසුන්ට වැටහීගෙන යනවා මේ අයගේ අරමුණ ඔවුන්ගේ පුද්ගලික වාසිය පමණක් බව// මේ කරුමේ නම් තියනවා තමයි. ආත්මාර්ථකාමී කම.

      Delete
  2. ඊයෙ මට මුනගැහුනු නම කියන්න බැරි යාලුවෙක් ලස්සන කතාවක් කිව්වා.

    ''මචං මිනිස්සුන්ට තියෙන්නෙ හරිම පුංචි ආසාවල්. ඒත් ඒවට කියන්නෙ ලොකු දේශපාලන තියරි. ඇත්තටම ලොකු දේශපාලන අභිලාෂ තියෙන මිනිස්සු ඉන්නෙ එකයි දෙන්නයි. අපි වගේ පුංචි රටක මිනිස්සුන්ගෙ හීනත් පුංචියි.

    කරුණා අම්මාන් අරගෙන බලපං. මොකද කැපවීමෙන් දේශපාලනය කරපු නැති මනුස්සයෙක්ද? ලෝකෙ ලොකුම ත්‍රස්තවාදී සංවිධානයේ නායකයෙක්. අන්තිමට බැලුවම එයාගෙ ආසාව වෙලා තියෙන්නෙ චොක්ලට් ටිකකුයි, සිංහල ස්ත්‍රී yoනියකුයි. ඒකෙන් ඒ මනුස්සයා සංතෘප්තිමත්. ඒ වගේම තමයි සමහරුන්ගෙ ආසාව මයික් එකක්. වොයිස් කට් දෙන්න පෝලිමේ ඉන්න හැටි බලපං. උන් බලන්නෙ උන්ට මයික් එකක් ලැබෙන දේශපාලන කන්ඩායමක්. තව එකෙකුට දවස ගානෙ බොන්න ටිකක් සෙට්වෙන විදිහක්. සමහරෙකුට ජීවිතේටම වැදගත්කමක් සමාජෙන් හම්බුවෙලා නෑ.

    මේ විදිහෙ පුංචි පුංචි ආසාවල් එකතු වෙලා තමයි ඔය මහා විප්ලව සිද්ද වෙන්නෙ. හරියටම මිනිහෙකුගේ පුංචි ආසාව තේරුම් ගත්තොත් ලේසියෙන්ම මිනිහාගෙ දේශපාලනය තෘප්තිමත් විදිහට අවසන් කරන්න පුළුවන්''

    ReplyDelete
    Replies
    1. මම තට්ටයගේ කොළමේ ලීවා රනිල් ගේ ක්‍රමේ හරි ගියානම් ජවිපෙ මහින්ද ගේ ජාතිවාදී ලයින් එකට සහය නොදුන්නා නම් තායි ලන්ත සංචාර කිහිපයක් මගින් රනිලයා කොටින්ම දෙකට තුනට කඩනවා කියල. ඇමෙරිකාව. නොර්වේ ඒ ගේම් එකට ලැහැස්ති වෙලා හිටියේ. හැබැයි ඇමෙරිකාව කීවේ දෙමල මිනිසුන්ට යම් අයිතීන් ටිකක් දෙන්න කියල. නය වෙලා යුද්ධෙට ගියා. අද ඓන්දියන් කාරයට වුණත් ඇවිත් අල්ල ගන්න පුළුවන්. අරගලයේ වෙන්නෙත් ඒ වගේ දේවල්. එතැන් ඉන්නව නොයෙකුත් අය. මම දන්නා සාමාන්‍ය දේශපාලන පක්ෂයක් අයෙක් හිතනේ ඔහුට ඔහු හිතන් ඉන්න ආයතනයේ ඩිරෙක්ටර කම ලැබෙයි කියල. උගේ අරගල අභිප්‍රාය එච්චරයි. තව එකෙක් එංගලන්තේ කිසියම් නියෝජිත තත්වයක් ගන්න. මට ලන්ඩන් ගෝට ගෝ ගමදී තේරුනා ඒ මනුස්සය ඇයි සංවිධානය කරන්නේ කියල එක පැත්තක්. සාමාන්‍ය මිනිස්සු එනේව අරගලේට අනුන්ට මොනවා හරි ලැබෙයි කියල.

      Delete
    2. Jagath Pathirana10 July 2022 at 14:24

      ඔබතුල තියෙන කොමියුනිස්ට් හැදියාව නිසා මී හරකා මඩට ඇදෙනවා වගේ ඔබත් දෙමළ ජාතිවාදයට ඇදෙන බව පෙනෙනවා.
      දෙකේ සම්බන්ධයක් තිබුනා වුනත්, දෙමළ ජාති වාදය සහ විමුක්ති කොටි සංවිධානය කියන්නේ දෙකක්. බටහිරයන් මුක්ති කොටි සංවිධානයට විරුද්ධ විය හැකි වුනත්, එයින් අදහස් වන්නේ නෑ ඔවුන් දෙමළ ජාතිවාදයට විරුද්ධ බව.
      දෙමළ ජාතිවාදය යනු ඉංග්‍රීසීන්ගේ නිර්මාණයක්. ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක් වන බැවින් ඇමරිකා ඔරුමත්තුනාඩුවත් එයට පක්ෂයි.
      නමුත් චීනය,රුස්ියාව දෙමළ ජාතිවාදයට විරුද්ධ රටවල්.

      ලංකාවේ ආර්ථික අර්බුදය ඇතිවුනේ යුද්දෙන් පස්සේ.
      එයට හේතුව යුද්ධය නෙමෙයි. මට පේන විදියට මේක ගේමක්.
      මේ සිද්ධිය isis සංවිධානය බිහිවිමට සමානයි. isis සංවිධානය කලේ 100%ක් ඉස්ලාමීය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමයි. ඒ නිසාම මුස්ලිම් වරුන්ටම ඉස්ලාමය එපාවුනා. මෙතනදිත් 100% සිංහල බෞද්ධ චන්ද වලින් ආණ්ඩුවක් හදලා එය එය සිංහල බෞද්ධයන්ටම එපා කෙරෙව්වා.

      Delete
    3. මි හරකා මඩට ඇදෙනවා වගේ ඔබ සිංහල ජාතිවාදයට ඇදෙනවා. ඔය දෙකම වැරදියි. මම විමුක්ති කොටි සංවිධානයට විරුද්ධයි වගේම ඕනෑම ජාතිවාදයකටත් විරුද්ධයි.

      Delete
  3. කොමියුනිස්ට්, සමාජවාදී, ලිබරල්, ප්‍රජාතන්ත්‍රවාදී යනාදී සෑම වාදයකටම අයත් බහුතරය සිතන්නේ තමා දරණ නිවැරදි ස්ථාවරය වෙනුවෙන් වැරදිකරුවාට හිංසා කිරීම නිවැරදියි කියලා.

    ReplyDelete
    Replies
    1. එකඟයි ඔබ සමග. මම කියන්න හදන්නෙත් ඒකම තමයි. මේ දෙපත්තම තමන් හරි කියල හිතල අනෙකා විනාශ කරනවා. එතනට යන්නේ නැත්නම් ලෝකය සුන්දර තැනක්.

      Delete
    2. බස්සෙකු වීම ගැන සුභ පැතුම්.

      Delete
  4. මං වගේමයි අනෙත් අයටත් සැප විඳින්නට ඕනි වෙනවා
    දුක් විඳින එක නම් දුකක්මයි එය හැමෝටම එපා වෙනවා
    එහෙම වෙද්දිත් සමහරුන් නම් තවත් කෙනෙකුට දුකක් දීලා සතුටු වෙනවා
    ඒත් හැමටම දවස ආවම මෙව්ව දාලා යන්න වෙනවා!

    ReplyDelete
    Replies
    1. //ඒත් හැමටම දවස ආවම මෙව්ව දාලා යන්න වෙනවා!//
      මසුරන් කියුමක් නිදි
      අපත් දවසක යන්න යනවා
      ඉන්න කල් අනුන්ට දුක නොදී හිටියම හරි

      Delete
  5. Jagath Pathirana9 July 2022 at 19:00

    ඔය පින්තූරේ ඉන්න කෙනත් අජිත් පැරකුම් වගේ සිංහල කොටියෙක්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් , කොටි ඒජන්තයෙක් 🤓 😎 🥸

      Delete
  6. https://www.theguardian.com/world/2016/may/07/mao-little-general-horror-cultural-revolution

    ReplyDelete
    Replies
    1. කවද හරි දවසක ලිවිය යුතු දේවල්

      Delete
  7. රට අරාජික වෙමින් පවතින මේ මොහොතේ, මේක ඉතාම කාලෝචිත ලිපියක්. ඇනෝ කෙනෙක්, තට්ටයාගෙ කොලමෙ ලියපු එකක්:
    'භයානකම දේ ඔබ මකරාට විරුද්ධව සටන් කරද්දී ඔබම මකරා බවට පත්වීමය'

    ReplyDelete
    Replies
    1. ඒක තමයි දරුණුම දේ. කාම්බෝජයේ වුනේ ඒකයි. මම මේක ඉලක්ක කරලම තමයි ලියන්න ගත්තේ. අපි ඉතිහාසය දැන ගත යුතුයි නැවත පුනරාවර්තන නොවෙන්න

      Delete
    2. “He who fights too long against dragons becomes a dragon himself; and if you gaze too long into the abyss, the abyss will gaze into you.”

      ― Friedrich Nietzsche

      Delete
  8. අජිත් ධර්ම,

    පෙරටුගාමී පක්ෂයේ සන්නද්ධ කාඩර්වරුන් මේ වන විට ශ්‍රී ලංකාවේ මරමස්ථාන වල බලය අත්පත් කරගනිමින් පවතී.

    කොළඹ අවට පොලිසි බොහොමයක් පාලනය වන්නේ ඔවුන් අතිනි.

    ජනපති, අගමැති නිල නිවාස කාර්යාල සන්නද්ධ අංශය සතුය. පාර්ලි‌‌මේන්තුවේ අවට බලයත් සංවිධානය තහවුරුය.අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ විමුක්ති ගීත ජනපති මැදුරේ වාදනය වේ.

    ජනතාව මෙම ස්ථාන නැරඹීමට පැමිණේ. පැමිණෙන සියලු දෙනා හට පෙරටුගාමී පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල පහදා දෙනු ලැබේ.

    හමුදා, පොලිසි වල අයට මෙම ස්ථාන සදහා පිවිසීමට හැකි අතර, අවි ආයුධ බිම තබා ඇතුල් විය යුතුය.

    අනෙකුත් හමුදාව, පොලිසිය කඳවුරු වල ගාල්කර ඇත.

    බොහෝ නගර වලද පරිපාලනය අත්පත් කරගෙන ඇත. ජනතාවද මෙයට සහය දක්වයි.

    මාධ්‍ය ආයතන බොහොමයක් සංවිධානයට සහය දක්වයි. සංවිධානයට විරුද්ධ වේයැයි සිතන මාධ්‍ය බිය ගන්වා ඇත.

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .