Tuesday, 28 June 2022

කාම්බෝජයේ පොල්පොට් 'ස' - කාම්බෝජ සංචාරය 2

පොල්පොට් පිළිබඳව මුලින්ම දැනගත්තේ 1976 නොබැඳි සමුළුව කාලයේ බව මගේ මතකයේ රැඳී ඇත. එවකට එකොළොස්වන වියේ සිටි මා ද විදේශීය නායකයන් පැමිණි රථ පෙරහැර බලන්නට ගියා මතකය. සමහරුන් තමන්ගේම  රථ ගෙනා අතර බොහෝ අය සෝවියට් දේශයෙන් සැපයු නිල් පාට ලාඩා කාර් වල ගියහ. ඒ කාර් වලට මක් වුනාද යන්න නොදනිමි.  ඉතා හොඳට මතකයේ රැඳුනේ යුගෝස්ලාවියාවේ ටිටෝ හා ලිබියාවේ ගඩාෆි ය. ඒ  කාලයේ පුවත්පත් වල  ඔවුන් වර්ණනා කළ නිසා වන්නට ඇත.  පොල්පොට් සහ ඉයන් සාරි දෙදෙනාද නොබැදි සමුළුවට කෙමර් රූජ් රජය නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණියහ.  ඉන්පසු කලක වියට්නාමයේ හෝචිමින් ගේ කතා ද උතුරු කොරියාවේ කිම් ඉල් සුන්  ගේ වීරකම් ද පොත් වලින් කියවූ මට පොල්පොට් ද ඒ හා සමාන වීරයෙකු විය. ඒ 1982-82 ශ්‍රී ලංකාවේ සිටි කාලයේ තිබූ  පොත් පත් කියවීමෙනි. ඇමෙරිකා  එක්සත් ජනපදය, ප්‍රංශය හා එක්ව  වියට්නාමයට ට හා කාම්බෝජයට කරන ලද අමානුෂික  බෝම්බ දැමීම් වලින් කෝපයට පත්වුවද  පසුව උතුරු කොරියාව හා වියට්නාමය ඒ ආක්‍රමණිකයන් පරාජය කිරීම ආශ්වාදජනක දෙයක් විය. වසර 1975 දී පොල්පොට් ගේ හමුදා ඇමෙරිකානු ගැති  ලොන්නොල් ගේ රජය පරදවා  නොම්පෙන් නගරයට විජයග්‍රාහී ලෙස ඇතුළු විය. තරුණ තරුණියන් මෙන්ම ළමා සොල්දාදුවන් ගෙන්ද සැදුම් ලත් ඒ  කෙමර් රූජ් හමුදාව සියල්ලෝම අත් පොලසන් නගා පිළිගත්හ. ඒ අතර මගේ යහළුවා එන්ග් වෙන්ග් න්ගුයෙන් ද   විය. ඔහුගේ වයස දොළහකි. 

සෝවියට් දේශයේ මා උගත් කාලයේ උතුරු කොරියානු සිසුන් සිටියේ අනිත් සිසුන්ගෙන් බොහෝ ඈත්වය. ඔවුන්ට අප හා කතා කිරීමට පවා එතරම් අවසරයක් නොවීය. ඔවුන් අතර කොරියානු රජයට සම්බන්ධ සිසුන් සිටි අතර ඔවුන් සියලුම සිසුන් පාලනය කළහ. කාම්බෝජ සිසුන්ට එවැනි ප්‍රශ්නයක් තිබුනේ නැත. ඔවුන් නිදහස්ය. කාම්බෝජ ජාතික එන්ග් වෙන් න්ගුයෙන් සිටියේ අපේ  කණ්ඩායමේය. ඔහුගේ කාමරය අප සිටි නේවාසිකාගාරයේ උඩම තට්ටුවේ තිබු අතර ඔහු සිටියේ නේරංජන නම් තවත් සිංහල සිසුවකු සමගය. 


වරෙක ඔහුගේ කාමරයට මම හදිසියේ ඇතුළු වූයේ නෙරංජන් සොයමින්ය. ඇඳේ නිදා සිටි එන්ග් එක්වරම නැගිට්ටේ පිහියක් ඇඳ  විට්ටමින් අදිමිනි. මම ""උඹට පිස්සු දැයි ඇසුවා" මතකය. ඔය කතාව කී  විට නේරංජන කීවේ එන්ග්  කොට්ටය  යට මෙන්ම ඇඳ පැත්තේද අනම්  මනම් තබාගෙන සිටින බවය. එන්ග් ට තරහ ගියද මම ඔහු ගේ කොට්ටය පෙරලා බැලුවෙමි. එහි විදුලි පන්දමක් හා කුඩා පිහියක් විය. මේ ගැන හාරා ඇවිස්සිමේදී එන්ග් කීවේ අමුතු කතාවකි. කලෙක විප්ලවීය වීරයෙකු ලෙස මා සිතා  සිටි පොල්පොට් හා ඔහුගේ  ඔහුගේ බලාධිකාරයේ සිටි කියූ සම්පන්, ඉයන් සාරි ආදින් මා සිතු අන්දමේ  හොඳ මිනිසුන් හෝ විප්ලවවාදීන් නොවේ. 

පහල ඇත්තේ මා කාම්බෝජයට 2019 දී  ගිය අවස්ථාවේ එන්ග් සමග හා පසුව ව ලුමුම්බා සරසවියේ උගත් තවත් මිතුරෙකු සමගත් ගත්  පින්තුරය. 


අප ගියේ රසවත් ලෙස බාබෙකිව් කල මස් සමග නොයෙකුත් සුප් ජාති ද ෆ්‍රයිඩ් රයිස් ද විකුණන අවන්හලකටය. 



කෙමර් රූජ් හමුදාප්නොම් පෙන් නගරයට ඇතුළු වුනේ 1975 අප්‍රේල් 17 දාය. පැය කිහිපයකට පසු සියලුම ජනතාවට නගරයෙන් තමන් උපන් ගම ප්‍රදේශ බලා යන ලෙස ඔවුහු නියෝග කළහ. එසේ අණ  දුන්නේ අමෙරිකානුන් බෝම්බ දමන බව පවසමිනි. (අමෙරිකානුන් වියට්නාම් දේශ සීමාව අසල කාම්බෝජ ගම්වලට ඊට පෙර  කාපට් බෝම්බ  දැමු බව සත්‍යයකි. ඒ ප්‍රංශයට හා ඇමෙරිකාවට එරෙහිවුණු සිහනුක් රජුට පාඩමක් ඉගැන්වීමටත් එක්කය )  . නගරවාසීන් සිතුවේ මේ ගමන දෙතුන් දිනක තාවකාලික එකක් ලෙසය.    ඒ වෙනුවට ඔවුන්ට අවුරුදු තුනකට වඩා ඉතා අසීරු තත්ව යටතේ ගම් ප්‍රදේශ වල වසන්නට සිදු විය. එන්ග් ගේ පවුලද කිලෝ මීටර හැටක් පයින්ම ගමන් කර ඔවුන්ගේ ගමට ගියහ.

එසේ ගිය ඔවුන්ද දැඩි ලෙස දුක් වින්දහ. වාහන තිබුනේ නැත. තිබුන වාහනත් ඉන්ධනත් අයත්ව තිබුනේ පොල්පොට් ගේ කෙමර් රූජ් හමුදාවටය.  ඒ කාලයේ මිලියන් තුනක පමණ ජනතාවක් සමාජවාදී රාජ්‍යයක් වසර බින්දුවේ සිට නිර්මාණය කිරීම උදෙසා  දිවි පිදුවහ. මෙයින් මිලියන් දෙකක් පමණ  නොයෙකුත් හේතුන් මත  මරා දැමු අයයි. ඒ මරා දැමූ ස්ථාන කිලින් ෆිල්ඩ්ස් (මරණයේ නිම්න) ලෙස හැඳින්වෙන අතර ඒවා බොහොමයක් කෞතුකාගාර ලෙස රට පුරා විසිර  තිබේ. 

සිරකරුවන් දහ අට දහස් එකසිය තිස් තුනක් මරා දැමුණු ටුඕල් ස්ලෙන් නමැති භීෂණයේ කෞතුකාගාරයට මම එන්ග් සමග ගියෙමි. එය කෙමර් රූජ් වරු හැඳින්වුයේ ආරක්ෂක සේවා සිර කඳවුර,  නොම්මර 21 නමිනි. 

ඉන් එක තැනකදී බත් පොඩ්ඩක් දමා වතුර, හතු හා ලුණු දැමූ කැඳක් මිනිසුන්ට කඳවුරු වලදී දුන් බව කි එන්ග් කැඳ  හදන විශාල බඳුනක් මට පෙන්වීය. ඉන්  මොහොතකට පසු ඉතා සංවේදී වුනු ඔහු ගොඩනැගිල්ලෙන් ඉවතට ගියේය. පහත ඇත්තේ ඒ බඳුනයි.



මේ පහල පින්තුරයේ සිටින ළමයින් වැඩ කළ ආකාරයට එන්ග් ද වැඩ කර තිබේ. සියල්ලෝම ගම්වලට යැවු අතර සියල්ලෝම ගොවි තැනේ යෙදිය යුතු විය. පොහොර තිබුනේ නැති අතර ඒ වෙනුවට භාවිතා වුනේ මිනිස් අපද්‍රව්‍යය හා සත්ව අපද්‍රව්‍යය. මිනිසුන් සිටින කාමරවල බාල්දියක මළපහ කලයුතු අතර උදේ වනවිට අයෙක් ඒවා රැගෙන වගා බිම් වලට යෙදිය යුතුවිය. වගා බිම් වල ගමන් කරන විට නැගෙන්නේ අධික දුර්ගන්ධයකි. කඳවුරු වල ජීවිතය  අතිශය දුෂ්කර එකක් විය. බොහෝ අය කුස ගින්නේ මිය ගියහ. 



පොල්පොට් ගේ කණ්ඩායම බලයට පත්වීමට හේතු කිහිපයක් තිබේ. එකක් ඇමෙරිකාව විසින්  තිරශ්චින ලෙස වියට්නාමයට බෝම්බ දැමීමයි. වියට්කොන් ගරිල්ලන් කාම්බෝජ දේශ සිමාවේ සැඟවුණු විට ඇමෙරිකාව ඒ ප්‍රදේශ  වලටද බෝම්බ දැමූ අතර සාමාන්‍ය වැසියන් බොහොමයක් මිය ගියහ. සිහනුක් කුමරා  ඇමෙරිකාවට  විරුද්ධව සෝවියට් හා චීන ආධාර පැතූ  අතර පරණ කොමියුනිස්ට් පක්ෂ පරදා පොල්පොට් ගේ බලය වැඩි වීමට ඇමෙරිකන් ප්‍රංශ හමුදා ක්‍රියා කාරකම් ප්‍රබල හේතුවක් විය. මුලදී වියට්නාම් කොමියුනිස්ට් වරු  හමුදා සමග සම්බන්ධකම් තිබුනත් පොල්පොට් පසුව ඔවුන් මග හැරීය. බොහෝ දෙන නොදන්නා  කාරණයක් නම් පොල්පොට් ට සිහනුක් කුමරු සමග ඥාති සම්බන්ධයක් තිබූ බවයි. එනම් ඔහුට රජ පවුලට  ඥාතිත්වයක් තිබූ බවයි. 

පහත  පින්තූර වල සිර කඳවුර 21 හිදී  මියගිය සමහර අයගේ පින්තුර තිබේ.


















- අජිත් ධර්මකීර්ති 

30 comments:

  1. ලංකාවේ පැවැත්වුණු නොබැඳි ජාතීන්ගේ සමුළුවට කාම්බෝජයෙන් ආවෙ හියු සම්පන් නොවේද? ඇත්තට ම පොල්පොට් ආවා ද?

    ReplyDelete
    Replies
    1. මට මතකයි ආවා වගේ. පොල්පොට් හා හියු සම්පන් වෙන්න ඕනේ , ඉයන් සාරි නෙමේ. පුලුවන්නම් හොයල කියන්න.

      Delete
  2. පොල්පොට්ලාගේ වැඩ ගැන එහෙන් මෙහෙන් අසා තිබුනත් පසුව killing fields චිත්‍රපටය නරඹා තමයි එහි තිබුණු භීෂණයේ තරම දැනගත්තේ.

    ලංකාවේ පොල්පොට් කෙනෙකුගේ පාලනය බලන්න තිබුණා 88/89 කාලේ විජේවීර ඇතුළු මිනීමරු කල්ලියට බලය ආවා නම්!

    ReplyDelete
    Replies
    1. ඉදිරියේදී සඳහනක් කරන්න ඉන්නේ . වැට පනින්න එපෝ. නමුත් වුනේ පොල්පොට්සිංහ ප්‍රේමදාස බිහිවීම නේද

      Delete
  3. ශ්‍රී ලංකාවෙත් වත්මනයේ ජේවීපී සහ පෙරටුගාමී කල්ලිය කරන්නේ මේ වගේ භීෂණයk තමයි.

    පසුගිය නම වෙනිදා අප දුටුවානේ ගෙවල් ගිනි තබමින්, මිනිසුන් මහ මග මරා දමමින්, රජයේ දේපල විනාශ කරමින්, භීෂණයක් ගෙනි යනවා එම කල්ලිය.

    අජිත්ට ස්තුතියි ජේවීපී මිනීමරු ක්‍රමය ගැන පෙන්වා දීම ගැන. හැබැයි දැන් ෆේස්බුක් ඒකේ ඔබටත් තර්ජන ඒවි ඔවුන්ගෙන්

    ReplyDelete
    Replies
    1. අපොයි මේ බයි මහත්වරු අනිත් පැත්තටමනේ හිතන්නේ. දැන් අර මිනිස් අපද්‍රව්‍ය පිරිච්ච නැව ගෙනාවේ කවුද? කාබනික පොහොර ක්‍රමය ගෙනාවේ කවුද? දැන් ගමේ ක්‍රමයට ජිවත් වෙන්න වෙලා තියෙන්නේ ඇයි ? ඔව්නේ ප්‍රශ්න. ජවිපෙ කඳවුරු අරන් ගියේ නැහැනේ ඇනෝ තුමා.

      Delete
  4. ඒ කාලෙ විදේශ ගැන අපේ තිබ්බ මතවාද සේරම පත්තරවලින් හදපුවා. එයාලා කියන දේවල් විතරනේ අපි දැනගත්තේ.

    ReplyDelete
    Replies
    1. ඒකෙ සත්‍යයක් තිබෙනවා.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ආතර් අයියා ඇවිත් ගිහින්

      Delete
  6. ++++++++👌🙏
    සුරුස්...........

    ReplyDelete
    Replies
    1. බස්සා බැස්සා මාරු

      Delete
  7. ඔව් නේ, කොරියාවෙන් අා කවුරුවත් සෝවියට් දේශයේදී හමුවෙලා නෑනේ.

    ReplyDelete
    Replies
    1. මට හම්බ වෙලා තියනවා. වචන දෙකකට වැඩිය කතා කරන්නේ නැහැ. බයයි.

      Delete
  8. හුම්........ ඔන්ට මාත් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. තව ඉස්සරහටත් කියවන්න

      Delete
  9. අජිත් මේ අන්තිමට තියෙන ෆොටෝස් වගේ ඒවා දාන එක ටිකක් tricky නේද. විශේෂයෙන්ම මැරුනු අයගෙ... ඒවා graphic, සමහරවිට සංවේදී වෙන්න පුලුවන්. මට හිතුනු නිසා කිව්වෙ. මම හිතුවා සාමාන්‍යයෙන් ඒවා public domain දාන්නෙ නෑ කියලා (or should be accompanied by a disclaimer).

    ReplyDelete
    Replies
    1. මම පොඩි නෝට් එක්ක දාල තියෙන්නේ. //පහත පින්තූර වල සිර කඳවුර 21 හිදී මියගිය සමහර අයගේ පින්තුර තිබේ.// කියල. මේ බ්ලොගය හුඟක් වෙලාවට වැඩිහිටි අයනේ එන්නේ. එනිසා මම ඒක ගැන එතරම් තදින් හිතුවේ නැහැ. ෆේස්බුක් එකේ අඳුරු කරල් තියෙන්නේ ඇප් එකෙන්ම. මේක මියුසියම් එකේ පබ්ලික් ඩිස්ප්ලේ දාල තියෙන ඒවා.

      Delete
    2. මැරුණු අයගේ ඒවා අයින් කළා

      Delete
  10. https://www.globalsecurity.org/military/world/cambodia/history-khmer-rouge-4.htm

    //Cambodia was a major rice-exporting nation in the 1960's during a period of political stability following independence from the French in 1953. In MY 1964/65 rice exports exceeded500,000 tons and Cambodia was considered one of the rice bowls of South East Asia. The encouraging production trend of increasing yields and growing area was reversed when the country became embroiled in the war against communism. By 1975, when Phnom Penh, the country's capital, finally fell to the communist Khmer Rouge, the rice-growing area had declined by 77 percent and rice production had decreased 84 percent from the 1970 level. During the Pol Pot (Khmer Rouge) era (1975-1979) the country was further devastated through mass dislocation of the population and persecution of intellectuals and agriculturalists. As a result, Cambodia faced annual rice shortfalls of 100-200,000 tons per annum during the 1980's. Cambodia missed the wave of the green revolution almost totally. In the 1980's, nearly all Cambodian farmers continued to use traditional farming practices as they had for over a thousand years. Pol Pot's policy of dislocating farmers from their homelands also resulted in the loss of many traditional rice varieties.//

    ReplyDelete
    Replies
    1. I posted this comment. I have no idea why it went under anonymous ! Of lately, this has been happening often. Anyway apologies.
      Pra Jay

      Delete
    2. ඔව්. එහෙම වුනා. අපේ පොර කාබනික වගාව ගෙනෙල්ල කලෙත් ඕකනේ

      Delete
  11. පොල්පොට් ස' වධ දීල මිනිස්සු මැරුවා.
    අපේ කහ-පියා ස' මිනිස්සුන්ට තමන්ටම වධ දීගෙන තමාම මැරෙන්න සලස්වල තියෙන්නේ.
    පොල්පොට් අරෙහෙම කළා, ඉයන් සාරි මෙහෙම කළා කියනවා. කවුරුත් කියන්නේ නෑ අපේ කහ-පියා ස' කළ හැටි.
    කහ-පියා ස' තමා හොඳටම කළේ !
    ආන්න ඒක තමයි දකුණු ආෂියාවේ ෂෞබාගය!,

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕක තමා මම කියන්නේ වෙමින් පවතින්නේ. මේ කහපියා ට දැන් ඉතිරි වෙලා තියෙන්නේ හමුදව මිනිසුන් මත මුදවා හැරීම පමණයි. එතනට් ගියොත් රට ආයෙත් යුද්ධයක

      Delete
  12. මේක කාලීන වගේම වැදගත් ලිපි පෙලක්. බොහෝ අය ඉතිහාසය දන්නෙ නෑ. දන්න අයටත් දැන් මතක නෑ. ඔහොම යං.🙏👌👌
    http://gattanaya.blogspot.com/2010/06/blog-post.html

    ReplyDelete
    Replies
    1. දන්නා අයටත් මතක නැති වෙන එක නම් ඇත්ත

      Delete
    2. ලින්ක් එකට ස්තූතියි . බස්සා ටැබූ හිටිය කලෙත් ඉඳල තියෙනවා වගේ නේහ්

      Delete
    3. http://podigama.blogspot.com/

      Delete
  13. බයිසිකල් සොමිය

    කොහොම හරි අන්තිමේදි බයිසිකලයක් හිමිකරගැනීමේ වාසනාව මට ලැබුන 😃 මගේ ජීවිතේ වැඩිම වියදමක් දරපු බයිසිකලේ. මෙච්චර කාලයක් සැරින් සැරේට රුපියල් පන්දාහට හයදාහට බයිසිකල් ගත්තත් කවදාවත් බයිසිකලේක වටිනකම හරියට දැනුනෙ නෑ. ඒවා පදින්නෙත් නැතුව පැත්තකට දාලා තිබිලා අන්තිමට කාට කාට හරි තෑගි දුන්නා. බයිසිකලයක් ඕනම වෙලාවට බයිසිකලයක් ගන්න විදිහක් නැතුව ළතවුනා.

    බයිසිකල් ඔක්කොම වගේ රුපියල් පනස්දාහට වඩා ගනං ගිහින්. එහෙම ගෙව්වත් ගන්න තැනකුත් නෑ. ඇත්තටම කිසිම වටිනාකමකට පාත්‍ර නොවී තිබුනු මේ පුංචි මැෂිමට ඒ වටිනාකම ලැබෙන එක හොඳයි.
    හැමදාම බයිසිකල් පදින කෙනෙකුට ඒකෙ අසිරිමත් බව ගැන කතා කරන එක විකාරයක් වගේ වෙන්න පුළුවන්. මේක හරියටම අලුත් ප්‍රේමයක් වගේ. හැමදාම ලව් කර කර හිටපු උන්ට සමහර විට ඒක වාතයක් වෙලා තියෙන්නත් පුළුවන්. ඒත් හැම අලුත් ප්‍රේමයකම තියෙනවා ඊට කලින් අත්නොවිඳි අසිරියක්. බයිසිකලයත් ඒ වගේමයි.

    කාලෙකට පස්සෙ ප්‍රධානතම ප්‍රවාහන ක්‍රමය විදිහට බයිසිකලය තෝරගත්තම මාව ආපහු ඕලෙවල් කාලෙට ගියා. බයිසිකලෙන් බහින්නෙම නැති කාලයක් ඒක. ඒ කාලෙ බයිසිකල්වල පොල්ල උඩත් යාලුවෙක් දාගෙන පදින්න පුළුවන්. දැන් බයිසිකලය වඩාත්ම හුදකලා අත්දැකීමක් වෙලා තියෙනවා. පොල්ල උඩ විතරක් නෙමෙයි හැන්ඩ්ල් එකේ පිටිපස්සෙ ලගේජ් එකේ, අන්තිමට රෝදෙ හයි කරලා තියෙන ඇනේ උඩත් යාලුවො දාගෙන බයිසිකල් පදිනවා. බ්‍රේක් ඇති නැති එකවත් අදාල කාරණයක් වුනේ නෑ. කොහේ හරි ලන්දකට, වෙලකට හරවලා නවත්තගන්නවා.

    ඒ කාලෙ කෙල්ලො බලන්න යන්නෙත් බයිසිකලේ. කෙල්ල ඉස්සරහින් යද්දි අපි කතා කරන්න ට්‍රයි කර කර පස්සෙන් බයිසිකල් පදිනවා. කවදා හරි කෙල්ල වැටු‍නොත් පොල්ල උඩ යන යාලුවාට සීට් එක අහිමි වෙනවා.

    අපි පංති ගියේ පානදුරේ. මොරටුව වැල්ල අයිනෙ පාර දිගේ හැමදාම හවස බයිසිකලේ පැදගෙන යන එක හරිම ආතල් වැඩක් වුනා. පංති ඇරිලා එන වෙලාවට වැල්ලෙ වාඩිවෙලා සිගරට්ටුවක් බෙදාගෙන බීලා, සල්ලි තිබුනොත් අරක්කු කාලකුත් බෙදාගෙන ගහලා රෑ වෙද්දි ගෙදර පදිනවා.

    අද කාලෙකට පස්සෙ බයිසිකල් පදිද්දි ඒ පරණ මතක පටුමගවල් දිගේ ආපහු යන්න ලැබුන. ඒ කාලෙ දැනුනු හැගීම්ම ආපහු දැනෙන්න ගත්ත. බයිසිකල් පදිද්දි තියෙන වටිනම දේ කිසි කෙනෙකුට දුකෙන් කණස්සල්ලෙන් බයිසිකල් පදින්න බැරි එක. අනිවාර්යෙන්ම සතුට අරගෙන එන බයිසිකල් පැදීමේ ලකුනක්.

    වාහනයක යද්දි අපි බාහිර පරිසරයෙන් වෙන්වූ බුබුළකයි යන්නෙ. ඒකෙත් වෙනම ආස්වාදයක් තියෙනවා. පයින් යද්දි අපි තනිකරම ඒ පරිසරය ඇතුලට යන්නෙ. බයිසිකලේක තියෙනවා මේ දෙකම අතරමැදි තැනක්. හාත්පස හැමදේටම මුහුවෙමින් නමුත් පුද්ගලිකත්වයක්, වෙනස් වේගයක් එක්ක චලනයක්. කකුල්වල දැනෙන මිහිරි වේදනාවක්.

    ඉස්සර බයිසිකල් වගේ නෙමෙයි දැන් ඒවායේ තාක්ෂණය සෑහෙන දියුණුයි. ඒ කාලෙ අපි පැද්දෙ කොහොමද කියල හිතෙනවා. දැන් ඇත්තටම බයිසිකලයක් කියන්නෙ සුඛෝපභෝගී අත්දැකීමක්.

    මේ බයිසිකලේට ම‍ාරුවෙන එක අනිවාර්යක් නොවී තෝරාගැනීමක් වුනා නම් හොඳයි කියල ගොඩක් අය කියනවා. තියරිටිකලි ඔව්. ඒත් ඒක එහෙම වෙන්නෙ නෑ. උදා විදිහට මට මතකයි නාමල් රාජපක්ෂද කොහෙද සෑහෙන වෑයමක් දැම්මා බයිසිකල් ෆන් එකක් ඇති කරන්න. ඒක සාර්තක වුනේ නෑ. ඒකට මේ පිළිගැනීම, මගහැරිය නොහැකි අවස්තාව ලැබුනෙ නෑ. ඒ නිසා මේ විදිහට මාරු වුන එක ගැන මට ලොකු චෝදනාවක් නෑ. ඒක ජීවිතේ දුප්පත් මාරුවක් නෙමෙයි. ජීවිතේ පොහොසත් කරන මාරුවක්.

    නමවෙනිදා හැමෝම කොළඹ එන හින්ද මං ගාල්ල පැත්තට බයිසිකල් පදින්න හිතුවා. බීච් එකේ නාලා, රෑට නැවතිලා ආපහු පහුවෙනිදා කොළඹ පදිනවා. අවසන් සටන අවසන් කරලා කට්ටිය ගෙවල්වලට ගිහින් තියෙයි එතකොට 😊

    ReplyDelete
    Replies
    1. බයිසිකලේ ගෑණු ළමයි බලන්න ගිය කාලයක් තිබුනා. මගේ යාළුවෙක් කැමති වෙලා හිටිය සරෝජිනී කියල දෙමල ගෑණු ළමයෙකුට. ඉතින් ඌ මවත් දාගෙන එහා මෙහා යනවා අර කෙල්ලගේ ගේ ඉස්සරහින්. ඒකිත් හිනා වෙනවා. එච්ච්ර තමයි ඉතින්.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .