Tuesday 3 May 2022

ගෝටා ගෝ ගම ලන්ඩනය , ගෝල්ෆේස් සටනට සහය පිණිස


පසුගියදා  ලන්ඩනයේ ගෝටාගෝගම පිහිටුවන ලද්දේ අගෝරා කළා කවයේ සොයුරන් පිරිසක් විසිනි.  ශ්‍රී ලංකාවේ ගෝල්ෆේස් හිදී මෙන්ම මුළු ශ්‍රී ලංකාව ට පුරාම පැවැත්වෙන අරගලයන්ට සමගාමිව ඒවාට සහයක් ලෙසින් මෙය පිහිටුවන ලදී. මේ ලන්ඩන් ගෝටාගෝගම සංකේතාත්මක විරෝධය දෙසතියක් පුරා පැවැත්වීමට සංවිධායකයන් බලා  පොරොත්තු වේ.  


ශ්‍රී ලංකාවේ පවතින තත්වයන්ට අනුකුලව මේ අරගල ඉබේ පැන නැගුනු බව සැබෑවකි. ඇතැම් දේශපාලන පක්ෂ ඒවා අසංවිධානාත්මක අරගලයන් බවට නිර්වචනය කරන ලද්දේ එබැවිනි. ඒ අදහස  ජනතා ජන බලවේගයේ ටිල්වින් සහෝදරයා  විසිනි. ඉන්පසු ඔවූහු එයට නායකත්වය දීමට සුදානම් බවද ප්‍රකාශ කළේය. එයට ගෝල්ෆේස් විරෝධතාකරුවන්ගෙන් දැඩි ප්‍රතිචාරයක් ලැබුණි.


සමගි ජන බලවේගය වුවද මුලදී විරෝධතාකරුවන් සමග සිටි බවක් නොපෙනුණි. සමාජ ජාලා  ක්‍රියාකාරීන්, නිදහස් මාධ්‍යවේදීන්, නීතිඥ සංගම් ඇතුළත්වුනු අරගලය මුලින්ම පැන නැගුනේ ආර්ථික ප්‍රශ්න වැඩිවීමත් සමගය. ඉන්පසු විදුලිය කැපීම, ගෑස්, භූමිතෙල්, පෙට්රෝල් වැඩිවීමත් මෙන්ම  අධික ලෙස පරිභෝජන භාණ්ඩ මිල වැඩිවීමත් රට පුරා අරගල පොඩි ගැසීමට  බලපෑවේය.

අන්තර්  විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය (පෙසපේ බලය ඇති) අරගලයට සම්බන්ධ වුනේ සංවිධානාත්මකවය. එසේම 43 සේනාංකයද මුල සිටම අරගලයට සහය දෙන බව දක්නට ලැබුණි.






සමබිම පක්ෂය ඇතුළු කොටසක් මෙය දකින්නේ මධ්‍යම පන්තියේ අරගලයක් ලෙසිනි. ගෝල්ෆේස් හි සම්බන්ධ වන බොහෝ දෙනා  විදුලිය නැතිකමින් ෆේස්බුක් යාමට නොහැකිව එන අයසේ මුලදී පෙනුනද එය සැබෑවක් නොවේ.  ති විශාල කර්මාන්ත ශාලා නොමැති අර්ධ කෘෂිකාර්මික රටක කම්කරු පන්තිය මෙහෙයවන අරගල තිබිය නොහැකි බව රටේ පවතී 1980 වර්ජනය, 1971 සහ 1988 තරුණ නැගිටීම්ය වලින් පැහැදිලි විය.  ආචිර්ණකල්පික මාක්ස්වාදී මතවාදයෙන් බැලුවහොත්  මධ්‍යම පාන්තික අරගලයක් සේ පෙනෙන මෙයට පශ්චාත් නුතනවාදී හා පශ්චාත් මාක්ස්වාදී පක්ෂ විරුද්ධ වන්නේ කෙසේද යන්න වටහා ගත නොහැකිය. හොඳින් විමසා බැලුවහොත් උඩරට වතු කම්කරුවන්ගේ සිට නිදහස් වෙළඳ කලාපයේ ශ්‍රමිකයන් දක්වාම සටන පැතිරී ඇති බැව් නිරීක්ෂණය කළ හැකිය. එසේම ගෝල්ෆේස් හි මෙන්ම අනිකුත් ප්‍රධාන නගරවල දෛනික පඩියට රැකියා කරනවා ජනකායක් ද අරගලයට එක්වෙමින් සිටිති. එනිසා මධ්‍යම පන්තියක නායකත්වයෙන් පටන් ගැනුණ අරගලයේ විභවය මුළුමහත් ශ්‍රී ලංකික සමාජය හරහා විහිද යමින් එය අවුළුවා ඇත.

දේශපාලන පක්ෂ විසින් කල යුත්තේ මහජන අරගලයක් තුල දියවී යාම මිස එයට බාහිරින් නායකත්වය සැපයීමක් නෙවේ. මහජන අරගලයක් තුලින් සාර්වාදී රාජාණ්ඩුවක් පලවා හැරී 1918 පෙබරවාරියේ නායකත්වයක් තිබුනේ නැත. එය පැමිණියේ පසුවය.  අරගලයේ දියවෙන සවිඥානක බලයන් අතුරින් නිසි නායකත්වයන් බිහිවෙනු ඇත. 

 ශ්‍රී ලංකාවේ විදේශ සංචිත හිඟවීම නිසා  මෙන්ම ගෝඨාභය පාලනය විසින් ගත්  නොයෙකුත් වැරදි සහගත  තීරණ නිසාද ලංකාවේ ආර්ථිකඅර්බුදය උග්‍ර වී ඇත. අර්බුදය විසඳීම  සඳහා මුලික වශයෙන් මාවත් දෙකක් යෝජනා වී ඇත. 
ඒ නම් අන්තර් ජාතික මුල්‍ය අරමුදලෙන් ණය  සහනයක් ලබා ගැනීම , ඉන්පසු ණය ප්‍රති ව්‍යුහගත කිරීම, රාජ්‍ය  සේවය කප්පාදු කිරීම, සහනාධාර කප්පාදු කිරීම ආදිය එක් විසඳුමකි. දුෂන් හා වංචා අවම කිරීමද, පළාත්සභා වැනි සුදු අලි අහෝසි ක්රිමද, මැති ඇමති හා පරිපාලන නිලධාරීන් පමණක් භුක්ති විඳින අනවශ්‍ය වරප්‍රසාද කප්පාදු කිරීමද මේ අතර වේ.

එයට ප්‍රතිවිරුද්ධව අන්තර්ජාතික මුල්‍ය අරමුදලට නොයා ජාතික දළ  දේශීය නිෂ්පාදනය වැඩි කිරීම , ආනයන තව දුරටත් සිමා කිරීම, චීන පන්නයේ ක්‍රමයකට ආගමනය වීම යන දෑ යෝජනා වේ.  මේ යෝජනාව බොහෝ දුරට  අසාර්ථකවූ  හැත්තෑව දශකයේ මුල පවතී සිරිමා  පාලන  ක්‍රමයේ පිළිඹුවක් සේ ඇතැමුන්ට පෙනී යා හැක. නමුත් මේ ක්‍රමය තුල ලාභ ලබන ආයතන ජනසතු කිරීමේ සුදානමක් නැත. ඒ වනුවට  ඒවාට  චීනයේ මෙන් දිරි ගැන්වීමක් කරනු ලබයි.   

ඒ කෙසේ වුවද මේ ක්‍රම දෙකෙන්ම සෑහෙන පමණක පීඩනයක් ජනතාවට දරා සිටීමට සිදුවේ.  මේ නිසා ඒ ක්‍රම දෙකෙන් කුමට වුවද මහජන අනුමැතිය ලබා ගත යුතුමය. 
මගේ අදහස නම් වර්තමාන රාජ්‍ය පාලකයන් මුලින්ම ඉවත් විය යුතු/කලයුතු බවය. ඉන්පසු පැමිණෙන තාවකාලික රජයක්ඉහත  විසඳුම් දෙකම ජනතාව ඉදිරියට පමුණුවා ජනතාවගේ  බහුතරයේ කැමැත්ත මත ක්‍රියා කළ යුතුය. 

ගෝල්ෆේස් අරගලය ශ්‍රී ලංකාවේ  ඉතිහාසයට දැනටමත් එක්වී හමාරය.  එයට සහය දැක්වීමක් වශයෙන් ලෝකය පුරා  ජීවත්වෙන ශ්‍රී ලාංකික  සම්භවයක් සහිත ජනතාව  එක්ව උද්ඝෝෂණය කරති. 2022 අප්‍රේල් 30 පිහිටවූ ලන්ඩනයේ ගෝටාගෝගම මෙන්ම  මැයි පළමුවෙනිදා සියලුම පක්ෂ හා ජනතාවන් එක්ව  කල ප්‍රබල උද්ඝෝෂණය  සහ රැලියටද සහභාගී වුනෙමි.  ප්‍රථම වරට සිංහල, දෙමළ, මුස්ලිම් සහ බර්ගර් ජාතීන් වශයෙන් එකතුව  සමගී ජන බලවේගය, ජාතික ජන බලවේග, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ වෙනත් කළා සංවිධාන වල එකමුතු සංවිධායකත්වයෙන් මේ උද්ඝෝෂණය පැවැත්වීමද ,ආස්වාදජනකය. ඔවුනොවුන් අතර ඇති භේද තාවකාලිකව හෝ  පසෙක ලා දුර්දාන්ත රාජපක්ෂ පාලනය අවසන් කිරීමට සියල්ලෝම එකාවන්ව සමගිව උද්ඝෝෂණය  කළහ.

මේ එහි අවස්ථා කිහිපයකි.  







අවසන් වශයෙන් ඕස්ට්‍රේලියාවේ ජිවත් වන මගේ යහළුවෙකු ෆෙස්බුක්හි ඇසූ ප්‍රශ්නයක් සහ මගේ පිළිතුරත් මෙහි උපුටා දක්වමි. 
: අවුරුදු 20-30 කට කලින් ලංකාවේ ජීවත් වෙන්න බැහැ කියලා වෙන රටකට ගිහින්, ඒ රටේ පුරවැසි භාවය අරගෙන, ළමයින්ට හොදට උගන්නලා, වැඩිදුර ඉගෙනගෙන රස්සාවක් කරලා සල්ලි ටිකක් හම්බ කරගෙන, වෙන වැඩක් නැති කමට කරන අරගලය.
I think all these people should be protesting against those members of British parliament who watch porn inside their own Parliament.
!
හිනා වෙන්නේ මොන කටෙන්ද කියලා හිතෙනවා.

මගේ පිළිතුර වූයේ මෙයයි: 

1. මම  ලංකාවේ ජිවත් වෙන්න බැහැ කියල ලන්ඩනයේ  ජිවත් වෙන්නේ නැහැ. මට ඉන්න වුනේ වෙනත් පෞද්ගලික  හේතුවක් නිසා. (මේ හේතුව පොල්කට්ටෙන් එපිටට පොතේ ලියා ඇත. බ්ලොගයේ මුල් ලිපිවල සඳහන් වේ)

2.  මට ඕන තරම් වැඩ තියනවා කරන්න . ලියන්න ගත්ත බ්ලොග් ලිපි, පොත්, අතරමග. පටන් ගත්ත පාඨමාලා අතරමග. මම මේ අරගලයට සහභාගී වෙන්නේ මට හරි ගිය හින්ද නෙමේ. මට කන්න තියෙන නිසා නෙමේ. මගේ දරුවෝමෙහෙ තියෙන හොඳ යුනිවසිටි වල ඉගෙන ගන්න හින්දත් නෙමේ. මට හොඳ රස්සාවක් තියෙන බවත් අනිකුත් නිවාස  වාහන වැනි භෞතික දේ තියෙන බවත් අවුරුද්දට දෙතුන් වතාවක් නිවාඩු යන එකත් මේ ඔක්කොම ඇත්ත. 
ඉතින් ඒවා ලංකාවේ මිනිසුන්ට අකැපද? ඒ මිනිසුන්ගෙන් කාලක් හරි එහෙම ජිවත් වුනේ නැත්ද කලින්? දැන් හැමෝටම අමාරුයි රාජපක්ෂලා ඇර.
මම අරගලයට ආවේ මේ වෙලාවේ ලංකාවේ ජිවත් වෙන අයට උඹල උදව් කරලා පත් කරපු 'ස' ගේ ආණ්ඩුව මෝඩ කමින් කෙළවල තියෙන නිසා.
රෝහල් වල බෙහෙත් නැති නිසා, එළවලු ගණන් නිසා. කෑම ගණන් නිසා.  සල්ලි අතේ නැති, පිටරට කවුරුත් නෑදෑයො නැති අය  එක වේලක් කාල යන්තන් ඉන්න නිසා. ගෑස් නැති නිසා. පෝලිම් නිසා. 
මමත් ඒ තත්වේ ඉඳල  බැට කාල තියනවා අවුරුදු හතළිහකට කලින්. ලංකාවේ මිනිස්සු නැවතත් ඒවගේ තත්වේකට පත් කරනවා කියන්නේ මොන කාළකන්නි  කමක්ද?
හොඳට හිටි මධ්‍යම පන්තිය පහලට දාල. ඊට යටින් හිටි එවුන් තවත් පහලට දාලා නිසා. උන් වෙනුවෙන්.  මම මෙතනට සජිත් වෙනුවෙන් ආවේත් නැහැ. ෆොන්සේකා, පාඨලී වෙනුවෙන් ආවේත් නැහැ. අනුර කුමාර වෙනුවෙන් ආවේත් නැහැ. කුමාර්  හෝ දීප්ති වෙනුවෙන් ආවේත් නැහැ. මම ආවේ ලංකාවේ මගේ  සහෝදරයෝ, සහෝදරියෝ, යාලුවෝ, යෙහෙළියෝ ඇතුළු ලංකාවේ හැමෝම වෙනුවෙන්. 
මේකෙන් මේ ආණ්ඩුව වෙනස් වෙන්නේ නැති වෙයි, නමුත් විරෝධය පල කරන එක වැදගත්, දැනටමත් පාරවල් වල පිඹගෙන ලයිට්  දාගෙන යන ඌරෝ ටික ඒව නවත්වල. රඹුක්කන පොලිසියෙන් වෙඩි තියපු අය අල්ලලා. කැබිනට්  එක අස් වෙලා. මිනිස්සු ජාතිවාදෙට රැවටෙන්නේ නැහැ, එනිසා හොඳ දේවල් වෙනව. 

ගෝටාගෝගම ලන්ඩන් විරෝධතාවය මැයි 13 දක්වා පැවැත්වේ. මේ එහි ෆෙස්බුක්පිටුවයි. 

අද අනුරකුමාර දිසානායක මහතා ෆයිල් වගයක් එලි දක්වා තිබේ. මේ ආණ්ඩුවේ පමණක් නොව පසුගිය ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ ෆයිල් ඒ අතර තිබෙන බව සඳහන්ය.  එයඉතා  ප්‍රවණතාවයකි.  හැමදාම සිදුවූ එක්  කට්ටියක් වෙනුවට එවැනිම වූ තව පිරිසක්  පත් කිරීමේ තත්වයෙන් ශ්‍රී ලංකාව මිදිය යුතුමය. මේ අරගලය තුලින් එය මතු වේවා යයි පතමි. 


2022 මැයි 06 හර්තාලය


හර්තාලය පැවැත්වෙන්නේමැයි හය වනදාය. සුභ පැතුම්.


අරගලය සම්බන්ධ මුල් ලිපි:


23 comments:

  1. https://www.youtube.com/watch?v=pyCIKli4YUA&t=1s

    ReplyDelete
    Replies
    1. මේක නම් දැක්ක. ස්තූතියි

      Delete
  2. Jagath Pathirana4 May 2022 at 16:11

    https://www.youtube.com/watch?v=jEZSvOdOhf8

    ReplyDelete
    Replies
    1. මේකයි, ඕවා කලින් ගෙනාව තමයි. වැඩේ වුනේ ඒ යහපාලන ආණ්ඩුව කලින් ආණ්ඩුවේ කබරල් එක්ක කරපු භාග බැදුම්කර ෆුල් බැදුම්කර කරන්න හැදුව. ඒ ආණ්ඩුවේ ජනාධිපති ෆයිල් වල කට්ටිය නිදොස් කොට නිදහස් කළා. ඊට පස්සේ බැදුම්කර හොරු අල්ලන්න ආපු 'ස' ඒ ගොල්ලන්ව නිදොස් කොට නිදහස් කළා. ඊට පස්සේ ෆයිල් වල හිටි ඉතිරි අය නිදොස් කොට නිදහස් කල. ඒක නිසා මේ චාපා කියන ඕලමොට්ටලය කියන විධිහට ෆයිල් අහෝසි වෙන්නේ වත් වැරැද්ද නිවැරැද්ද වෙන්නේ වත් නැහැ

      Delete
  3. දැන් ඔය අජිත්ගෙන් ඒ ප්‍රශ්නෙ අහපු යාලුවා ලංකාව දාලා එන්න බෑ බැ බෑ... මේ රට මගෙ රට මා ඉපදුන රට කිය කිය ඉඳිද්දි ඕස්ට්‍රේලියන් ආන්ඩුව බලෙන්ම ගෙන්නගෙන, ආපහු යන්න හදද්දිත් අනේ යන්න එපා ඕගොල්ලො ගියොත් ඕස්ට්‍රේලියන් ඉකොනොමි එක කඩා වැටෙයි කියලා බලෙන්ම තියාගෙන ඉන්න කෙනෙක්ද.

    ReplyDelete
    Replies
    1. මටත් ඕක හිතුනා. ලංකාවේ ජීවත්වෙන කෙනෙක් කිවුවා නම් කමක් නෑ.

      අර porn බලපු කෙනාට අස්වෙන්න බල කරන්න ඕන නැත්තේ එයා ඉල්ලා අස් වුණු නිසා.

      (එක් මානවිකාවක්) on my phone

      Delete
    2. ඒකනේ ලෝටස්. නැත්නම් එයා ගිහින් මෙලහට ලංකාවේ ජිවත් වෙනව. ඔසී රටට එයා නැතිව බැහැ. පව් නේ එයාලත්. , ඒකනේ මානවිකාව , ලංකාවේ දේශපාලකයෝ ගැන කීවම එයාට මතක්වෙන්නේ මම එංගලන්තේ උන්ට විරුද්ධ වෙන්නේ නැති එක. වැඩේ කියන්නේ මම විරුද්ධ වෙන්න කලින්ම උන් ඉල්ලා අස් වෙනවා. මේ 'ස' ගේ පරපුරණේ කුඩැල්ලෝ වගේ ඉන්නේ.

      Delete
  4. ඔය දක්වලා තිව්න මාවත් දෙකම වෙන්න ඕන... නේද. පළාත්සභා නම් අහෝසි විය යුතුමයි.

    ReplyDelete
    Replies
    1. මවත් දෙකම කරන්න පුලුවන්නම් හොඳයි. හැබැයි එකකට එකක් සමපාත වෙයිද?

      Delete
  5. අපි පවු කියලා හිතෙනවා 😥

    ReplyDelete
    Replies
    1. පවු තමා. ඔය දේශපාලක රැල නැත්නම් හොඳ දියුණු රටක්. අර ගෝල්ෆේස් එකේ දාන ගේම් බලන්නකෝ.

      Delete
  6. මං හිතන්නෙ කවුරුවත් ජීවත්වෙන රට, පලාත, ගෙය වගේ දේවල් කොහොමත් අනුන්ට අදාල වෙන්නෙනෑ. ඒක අදාල තමන්ට හා තම පවුලට විතරයි. ඒවා ගැන අනිත් අය කියන ඒවා වැදගත් නෑ. ඒවාට උත්තර දෙන්නවත් ඔනෙ නෑ මට හිතෙන විදිහට.

    දේශපාලන, සමාජයීය ක්‍රියාකාරකම් ගැන නම් වාද, විවාද, සංවාද කල හැකියි.මොකද ඒවා පොදුවේ බලපෑමක් ඇති කරන ක්ෂේත්‍ර නිසා

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් ඒ කාලේ ඉඳන්ම ඩයස්මි ලා ට ඇරුනහම කියන කතාවක් නේ ඕක බයියන් විසින්.

      Delete
    2. +++++++++ධිපතිට +++++++++++++++++++🙏👌

      Delete
  7. අජිත් මෙන්න මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න, මේ කට්ටිය තමයි සාමූහිකව ලංකාවේ අපේ අරගලයේ නායකයන් ලෙස, විශේෂයෙන්ම ප්‍රචාරණ අංශයේ නායකත්වය හිමි මොවුන්ට, මේ අදහස් සියල්ල හොඳින් සවන් දී මේ ගැන ඔබෙන් විස්තරාත්මක විග්‍රහයක් සහිත අලුත් පෝස්ට් එකක් අත්‍යවශ්‍යයි. මේක ලින්ක් එක;

    https://www.youtube.com/watch?v=tZq7wNCcyQ8

    මීට අමතරව දමිතා අබේරත්න, චාන්දනී සෙනෙවිරත්න, මහාචාර්ය සෞම්‍ය ලියනගේ, ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවරගේ, මහැදුරු සුනිල් ආරියරත්නගේ සිට තරුණ කලාකරුවන් රැසක්, යුරේනි, ලෝචනා ජයකොඩි, යශෝදා සම්මානි ආදීන් දක්වා වූ පුළුල් ප්‍රචාරණ සහභාගීත්වයක් තිබෙන එකත් ආදරෙන් මතක් කළ යුතුමයි.

    නමුත් මෙහෙම දෙයකුත් තියෙනවා නේද අජිත්, ඔය ගෝල්ෆේස් විරෝධතා භූමියෙ ඉන්න එක් කෙනෙකුගෙන් හරි අහන්න ආර්ථික ප්‍රශ්නවලට විසඳුම මොකක්ද කියල. කවුරුත් දන්නෙ නැහැ. හැමෝම කියයි ගෝඨාගෝහෝම් කියල. හැබැයි ගෝඨාගෙන් පස්සෙ එන කෙනා මේක විසඳන්නෙ කොහොමද, මෙම ආර්ථික අර්බුදය විසඳීමට කෙටිකාලීන/ දිගුකාලීන සහ මැදි කාලීන වශයෙන් සැලසුම් කළ යුතු ස්ට්‍රැටජි එක මොකක්ද කියල ඔය අය දන්නවද?නැහැ. අඩුම ගානේ රට ගොඩනගන හැටි කියල තමන්ගේ එක යෝජනාවලියක් ඉදිරිපත් කරල තියෙනව ද? නැහැ. බුරියානි කකා ගිරව් වගේ ගෝඨාගෝහෝම් කියනව විතරයි. මේ කියන්නෙ අපට වැඩි වැඩියෙන් ණය වෙලා ඩීසල් කෑම බීම ටික වෙලාවට ගෙනත් දෙන්න කියල. තිරසාර විසඳුම ගැන අවබෝධයක් නැහැ. ආපහු ප්‍රශ්නය ඇතුළටම යන්න විතරයි දන්නෙ. ඔතන පෙරටුගාමී ජවිපෙ කාටවත් මේ ප්‍රශ්නවලට විසඳුම් නැහැ. ලංකාවේ නම් වාමාංශිකයින් කියන්නෙ අපට හැම මගුලක්ම තව තවත් නොමිළෙ දෙන්න කියල විතරයි. එකම ආදායම් ලැබෙන ක්‍රමය හොරු ඇල්ලීම සහ උන්ගේ ධනය රාජසන්තක කිරීම, නමුත් නිවැරැදිව බැලුවොත් දේශපාලකයන් සොරාගත් බවට නිවැරැදිව ඇස්තමේන්තු කළ හැකි ධනය ප්‍රමාණය සමස්ත ආර්ථිකයෙන් ඉතාම සුළු ගණනක්, දූෂණ මර්දනය අනිවාර්යයෙන් කළ යුතු නමුත් එය පමණක් ප්‍රමාණවත් නැහැ. එයින් සමස්ත රටට සැබවින්ම ලැබෙන දායකත්වය මදි. ඊට අමතරව වඩාත් ප්‍රායෝගික ලෙස ආදායම් උපයන විදියක් කියන්නෙම නැහැ. මොකද ඔවුන්ගේ පොතේ ඒක නැහැ. ඒ වගේම තමයි ජන මතයට හිස නමලා ජනපති සහ පාර්ලි‌‌මේන්තුව ඉල්ලා අස්ව ගියත් විසඳුමක් නැහැ මොකද පවතින දේශපාලන ක්‍රමය තුළ ඒ වෙනුවට පත්වීමට නියමිත විපක්ෂ කණ්ඩායම් වල අයත් ඊටත් වඩා පොදු මහජනතාව විසින් ප්‍රතික්ෂේපකර තිබෙන දේශපාලන බංකොළොත් චරිත ටිකක්, මේ නිසා රටට අලුත් නායකත්වයක් පත් කරගැනීමට සුදුසු අය බිහිවනතෙක් දැනට සිටින නරක අය සමග මේ ගමන යන්න වෙනවා, ඇතැම් විට 2024 වෙනකම් පවා යන්න වෙයි, කොහොම වුණත් මේ ප්‍රශන විසඳා ගැනීමට අරාජික නොවී රට පවත්වාගත යුතුයි නේද?

    මේ කාලසීමාව තුළ අලුත් දේශපාලන ව්‍යාපාරයක් අරබා රටට සුදුසු නායකයන් පත්කර ගැනීමට හැකි වෙයි කියා මම හිතනවා තව වසර දෙකක් වත් ඇතුලත මෙය අනිවාර්යයෙන් සිදුවිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ගෝඨාගෝහෝම් කියන එක වෙනස් කරන්න කාලය ඇවිත් කියන එක මමත් පිලි ගන්නවා. ඒකෙන් මිනිස්සු එකතු කරාට එතනින් ඊට වැඩි දෙයක් වෙන්නේ නැහැ. පෙරටුගාමී විසඳුම සමාජවාදී රාජ්‍යයක් හෙවත් IMF නොයාමනේ . ඒ කියන්නේ දෙවන මාවත. ජවිපෙ පළමුවෙනි මාවත තෝරාගැනී කියලයි මම හිතන්නේ. නමුත් ඔවුන් වාචිකව IMF එකට විරුද්ධයි. //මේ කාලසීමාව තුළ අලුත් දේශපාලන ව්‍යාපාරයක් අරබා රටට සුදුසු නායකයන් පත්කර ගැනීමට හැකි වෙයි කියා මම හිතනවා තව වසර දෙකක් වත් ඇතුලත මෙය අනිවාර්යයෙන් සිදුවිය යුතුයි.// හොඳට කල්පනා කල යුතු දෙයක්. පෝස්ටුවට ස්තුතියි. වීඩියෝ එක බලලම කියන්නම් මගේ අදහස වැඩි දුරටත්.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මමත් උඩ ඇනෝ සමග එකඟයි, නමුත් ඔබ එම ප්‍රශ්නයෙන් පිට අයි එම් එෆ් මගුලක් ගැන කතනදරයක් ලියල තියෙන නිසා මට කෙටියෙන් ඒ ගැන කියන්න තියෙන්නේ ඔය ලක්බේ අයි එම් එෆ් යන එක කියන්නේ කෝකටත් තෛලයක් නෙමෙයි. ග්‍රීසියේ සිට ආර්ජන්ටිනාව දක්වා රටවල් ගණනාවක් රටවල් අඉ එම් එෆ් ගියත් නැවත නැවතත් බන්කොලොත්, ලංකාවෙ පාර්ලිමේන්තුවේ පැවති අලුත් ඉඩම් සංවර්ධන ආඥා පනතේ රෙගුලාසි සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින් ඇමරිකානු එම්.සී.සී. ගිවිසුමට ආණ්ඩුව අත්සන් නොතැබුවත් එම එම්.සී.සී. ගිවිසුම ඔස්සේ ක්‍රියාත්මක කිරීමට ගිය ඉඩම් මූල්‍යකරණ වැඩසටහනට අවශ්‍ය සියලුම නීති සංශෝධන වත්මන් දූෂිත ආණ්ඩුව විසින් සිදුකරමින් පවතින බවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හෙළිදරව් කළා.

      පාර්ලිමේන්තු විවාදයේ කෙටි විඩියෝවක්

      https://www.youtube.com/watch?v=_zcI6_Q4Mwg

      ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ පැහැදිලි කිරීම:

      “මේකෙ හැටියට ලංකාවේ ගොවීන්ට මේ ඉඩම් උකස් කරන්න වෙනවා, ඒ අයිතිය දැනටමත් මේ පනතේ තියෙනවා. හැබැයි දැනට උකස් කරන්න පුළුවන් වෙන්නෙ රාජ්‍ය බැංකු ආයතනයක විතරයි, ඒකත් ප්‍රාදේශීය ලේකම්ගේ අවසරය සහ අධීක්ෂණය යටතේ. දැන් අලුත් ඉඩම් සංවර්ධන ආඥා පනතේ රෙගුලාසි සිද්ධ වෙන්නෙ ඕනෑම බැංකුවක් යටතේ මේක උකස් කරන්න පුළුවන්. දැන් මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ආයතනවලටත් එනවා නම් ඔවුන්ට ඉඩම් උකස් කිරීමේ බලය මේක අතිශයින්ම භයානකයි. ඉඩම් මූල්‍යකරණයට යන මාවත තමා මේ සංශෝධන තුළින් සකස් කරන්නෙ. මේක ඉඩම ප්‍රාග්ධනයක් බවට පත්වෙන්නෙ මහා පරිමාණයේ ව්‍යාපාරිකයින්ට සහ මූල්‍ය ආයතනවලට. MCC එක ආවෙ නැතත් MCC එකට අවශ්‍ය වෙන දේ මේ සංශෝධන හරහා සිද්ධ වෙනවා”

      මේ කියන පණත හරහා ලංකාවේ ගොවීන්ට සහ කෘෂි ආර්ථිකයට විශාල විනාශයක් වෙන බවයි පැවසෙන්නේ, මේ ගැන වැඩි විස්තර සහිතව පැහැදිලි කරමින් පෝස්ට් එකක් දාන්න පුළුවන්ද?

      Delete
    4. ඇනෝල දෙන්නගෙම අදහස් හොඳයි, ඒත් ප්‍රශ්ණාත්මකයි. අජිත්, අර කිව්වා වගේ පෝස්ට් එකක් දැම්මොත්, අනිත් අයගෙ අදහස් දැණගන්න පුළුවන්.

      Delete
    5. ඇනෝ , ඉඩම් කියන්නේ ප්‍රාග්ධනය තමයි. ඉඩම් උකස් නොතියන ගොවියා සියදිවි නසා ගනියි. මම ප්‍රතිපත්තියක් වශයෙන් එම සී සී එකට සහයෝගය දුන්න ඒ දවස්වල. වැඩියෙන්ම අර තිස්ස ජන්නනයක කියන මී-හ-ර-කා අමු පච කෙලිය නිසා. එම් සී සී එකඟ ඉඩම් මනින්න නායක දෙන්නේ. නැතිව ඔය ඔබ කියන එක නෙමෙයි. ඔබ කියන එක කොතනද තියෙන්නේ කියල අරන් පෙන්වනවද? එහෙමනම් එම් සී සී නැතිව අපිම ඒ ඉඩම් ඩිජිටලයිස් කරමු. ඉවරයිනේ. ඒකටත් නායක තමා ඕනේ. අයි එම් එෆ් යන්නේ නැතිව තියෙන දේ නේ මේ ගෝතා කරන්නේ. සිරිමා යුගයට යාම. ඒ නැතිව මොකද්ද ඔබේ උත්තරේ. අයි එම් එෆ් යන්නේ නැතිව කරන්න පුළුවන් එකම අනිත් විසඳුම චීන ක්‍රමය. ලංකාවේ මිනිස්සු කැමතිනම් අවුලක් නැහැ. ඒකයි මම කියන්නේ ඒක ලංකාවේ මිනිසුන්ට තීරණය කරන්න දෙන්න.

      Delete
    6. මේ වීඩියෝ එක හොඳයි. බලමුකෝ අනිත් ඒවත්

      Delete

  8. මම දැක්කා මහින්දත් මෙහෙම කියල තියනවා." රට ගොඩ දාන්න වැඩ පිලිවෙලක් හොයා නොගත්තොත්, හැමදාම අරගල කර,කර ඉන්න වෙයි" කියලා. එතකොට දියවන්නාවෙ ගවරැල ඉන්නෙ, තප්පුලන්නයි, හොරා කන්නයි විතරමද?
    අර්බුදයට විසඳුම් හොයන්න ඕනෙ රටේ මිනිස්සුද?

    අර්බුදයට විසඳුම හොයන්න නම්, ඉස්සෙල්ලාම මේ හොර රැල යන්න ඕනෙ. මං හිතන්නෙ, බුරියානි කකා ගිරව් වගේ හරි, අරගලයෙ කෙරෙන දේ හරියි කියලයි. ගෝටගෝහෝම්, 225 එපා, නිර්පාක්ෂික, නායකයො(වීරයො) නැති අරගලය ඉල්ලන්නෙ සිස්ටම් චේන්ජ් එකක්.

    "සිස්ටම් චේන්ජ්" කියන එක බොහොම "දියාරු" වචනයක්. ගෝටාට ඒක, කාඩ් කුට්ටම ඇනිල්ල. විපක්ෂයට ඒක "ඔලුගෙඩි මාරුව". තව කෙනෙක්ට ඒක"හොරා කාපු සල්ලි ගෙන්නිල්ල". සැබෑ අභියෝගය එයිට වඩා බොහෝ බරපතල විය හැක. ජාතියක් ලෙස අපට තේ ටිකක් , ගාමන්ට් රෙදි ටිකක් විකිණීම සහ ගෘහ සේවයට ගෑණු රට පැටවීමට වඩා දෙයක් කිරීමට නොහැකි වූයේ මන්දැයි, ලෝකෙන් උතුම් රට "ස්වයං වින්දන" සිහිනයෙන් අවදි වී බැලීමට කාළය පැමිණ ඇත.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇනෝ. ඒ සාකච්චාව හොඳයි. ඒත් IMF එක තාවකාලික පැලැස්තරයක් පමණක් බව විතරයි, එතැන කියවෙන්නෙ.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .