Monday 8 April 2024

"මතක ගිනි පුපුරු" සහ විජේවීරවාදයේ වැළලීම


"මතක ගිනි පුපුරු" කෘතිය පළවී මාස කිහිපයක් ගත වන්නටද ප්‍රථම අනුර කුමාර දිසානායක මහත් ඇතුළු ජාතික ජන බලවේගයේ (මාලිමාවේ)  නියෝජිත කණ්ඩායමක් ඉන්දියාවේ සංචාරයක යෙදුනි.  බොහෝ මාලිමා හිතැත්තන් හා    ජවිපෙ හිටපු ලේකම්  බෝපගේ මහතා ඇතුළු බොහෝ දෙනෙක් "ජවිපෙ" ඇතුලත ජාතික ජන බලවේගයේ මේ "වෙනස් වීමට" සතුටු ප්‍රතිචාර දක්වා තිබේ. ඇත්තටම ජවිපෙ වෙනස් වුනේ දැන්ද? 

මේ පොත ලන්ඩනයේ එළි දැක්වූ දා පෙරටුගාමී  සමාජවාදී පක්ෂයේ නියෝජිතයෙකු විසින් එයට බරපතල විවේචනයක්  එල්ල කරන ලදී. ඔහුට අනුව කතුවරයා  විසින් ලියා  ඇති බොහෝ දේවල් හිතළුය.කිහිප දෙනෙකු එයට ප්‍රතිචාර දැක්වුවද මා පොතේ එළිදැක්ම මෙහෙයවූ බැවින් එයට ප්‍රතිචාර නොදැක්වූයෙමි.

ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂය හා එහි මිලියනයක් පමණ පක්ෂ සාමාජිකයන් සහ ආධාරකරුවන්  ඝාතනය කෙරුනේ 1965/66 අවුරුදු වලය . ඒ සඳහා හේතුවක් ලෙස යොදා ගැනුනේ අති වාමාංශික භටයන් කිහිප දෙනෙකු විසින් බලය අල්ල ගැනිමට කලා යයි කියන කුමන්ත්‍රණයකි. මේ මහා මිනිස් ඝාතනය සැලසුම හා  ක්‍රියාත්මක කෙරීම ට අනුබලය ලැබුනේ බ්‍රිතාන්‍ය හා අමෙරිකානු රහස් ඔත්තු සංවිධාන වලිනි.  

සිරිමා බණ්ඩාරනායක රජය බලයට 1970 දී බලයට  පත්වූයේ වාමාංශික පක්ෂ කිහිපයකද සහයෝගයෙනි. සමගි පෙරමුණ කියා නම් තැබුණේ  ඒ නිසාය. සමගි පෙරමුණු රජය ඒ කාලයේ හැටියට අර්ධ  සමාජවාදී එකකි. ඊනියා නොබැඳි රටක් වුවත්  බ්‍රිතාන්‍ය සහ අමෙරිකානු අධිරාජ්‍යවාදයට විරුද්ධ,  ඉන්දියාවට හා සෝවියට් කඳවුරට පක්ෂපාති වූ එකකි. ඔවුන් අනුගමනය කළ මිශ්‍ර  ආර්ථික පිළිවෙත හා එහි බලපෑම කුමක් වුවත් රට කිසියම් අන්දමකට  කාර්මිකකරණය සඳහා  ඉදිරි පියවරක් තැබූ රජයකි. මුල් අවධියේම එයට අවි බලයෙන්  පහර දුන්නේ ජනතා විමුක්ති පෙරමුණය. නමුත් රෝහණ විජේවීර පහර දීමට අණ දුන්නේ නැති බවට නඩුවේදී සාක්ෂිය දුන්නේය. එසේ වුවද  අධිරාජ්‍යවාදයට හා ධනවාදී රජයට විරුද්ධව අරගල කිරීම පිලිබඳ වගකීම ඔහු භාරගත්තේය. ඇත්තටම 1971 යනු එක්තරා විධිහක පවතින රජයකට හා ක්‍රමයට විරුද්ධව කළ රොමැන්තික අරගලයකි. 

ඒ දිනවල එය සීඅයිඒ කුමන්ත්‍රණයක්  වශයෙන් රජයේ ඇතැම් වාමාංශික ඇමතිවරුන් චෝදනා කළද කිසිවෙකු එයට වැඩි බරක් දුන්නේ නැත. යැංකි ඩිකී යනුවෙන් හැඳින්වුනු  ජේ ආර් ජයවර්ධන මහතා අගමැතිනියට සහය දීමට ඉදිරිපත් වීම එයට හේතුවක් වන්නට ඇත. ජේ ආර් කලින් තිබූ  65-70 රජයේ ඇමැතිවරයකු වශයෙන් ජවිපෙ සංවිධානය ගැන හොඳින් දැන  සිටියේය. ඒ දිනවල ජවිපෙන් කැඩී ගිය අතුරු  කණ්ඩායමක් ඇමෙරිකානු තානාපති කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළහ.  (කැස්ට්‍රෝ ධර්මසේකර) එහිදී එක  පොලිස් නිලධරයෙකු මිය ගියේය. ආණ්ඩුව මර්දනය පටන් ගත් අතර විජේවීර ඉක්මනින්ම  අත් අඩංගුවට පත්විය. ඉන්පසු වැරදි වෙලාවක පහරදීමෙන් ඇතිවුණු කැරැල්ල  සීග්‍රයෙන්  මර්දනය කරන ලදී. මෙය  තනිකරම ඉන්දුනීසියානු ක්‍රමයම පිලි පැදීමකි. බොරු ප්‍රහාරයකින් පටන් ගෙන රජය අවුස්සා එක ගලින් කුරුල්ලන් දෙදෙනෙකු මරා ගැනීම තනිකරම බ්‍රිතාන්‍ය හා ඇමෙරිකන් රහස් ඔත්තු සේවා පොතෙන් පිටුවකි.  එනම් නැග  එන අති වාමාංශික කණ්ඩායමක්  රජය හරහා මර්දනය කරන ගමන්ම  (ජවිපෙ මර්දනය)  සෝවියට් හා ඉන්දීය හිතවාදී නව ශ්‍රී ලංකා ආණ්ඩුව මට්ටු කිරීමට පොටක් පාදා ගැනීමය.  එය එලෙසම සිදු විය. .

මේ පාඩම විජේවීරට 1971 දී මග හැරුණු ලෙසටය  1987-89 දීද මග හැරුණි.   

"මතක ගිනි පුපුරු" කියවන විට ඔබට විජේවීර පිළිබඳව තරහකාරී හැඟීමක් පහල වන්නේ නැත. ඒ වෙනුවට ඇති වන්නේ අනුකම්පාවකි. මාඕ වාදියෙකු හා පොල්පොට්වාදියෙකු වන විජේවීර, ආචාර්ය ගුණදාස  අමරසේකර, ආචාර්ය නලින්ද සිල්වා ආදීන් ඉදිරිපත් කල  ජාතික චින්තනය ගුලිය  අඹරා ගිල දමා වැඩි හරිය  කර තබා ගත්තේය.  ජාතිවාදය හා ඉන්දියානු විරෝධය එසේ කර තබා ගත් වැඩි හරියය. විජේවීරගේ සන්නද්ධ අරගලය නිසා වැලිකඩ  සිරවුණු  ගාමිණී මුතුකුමාරණට  (පොතේ කතුවරයාට) දෙමළ සටන්  සගයන් ඔවුන්ව  වර්ජනයය කරන්නේ ඇයිද යන්න මුලින් වැටහුනේ නැත. 

කතුවරයා  ඉතා නිවැරදිව හඟින පරිදි ජේ ආර්  ජයවර්ධන  ජවිපෙ '83 ජාතිවාදී අරගලයට සම්බන්ධ යයි කියා එය තහනම් කලේම මර්දනය කරන්නටය.  ඒ කතාව හරිය. ඇත්තම කියනවා නම් දිස්ත්‍රික් සංවර්ධන  සභා චන්දය ප්‍රචණ්ඩත්වයක් නැතිව දිනන්නට යුඇන්පී එකට ජේ ආර් ගේ නායකත්වය යටතේ  හැකියාව තිබුණි. ඔවුන්ගේ හයෙන් පහක බලය දියවී තිබුනේ නැත. නමුත් යාපනයේ මහජන පුස්තකාලය ගිනි තැබීමේ පිට යාපනයට භිෂණය ගෙන ඒමට යූඇන්පි ඇමතිවරුන් කිහිප  දෙනෙකු ක්‍රියා කල ආකාරය පැහැදිලිය.   පසුව මොළය  පෑදී ජේ ආර් විසින්  සිරිල් මැතිව් ඉවත් කලද ඩැමේජ් එක සිදු  වී හමාරය. මේ සිද්ධීන් පිළිබඳව  නන්දන වීරරත්න  තම "යාපනය ගිනි ලෑම" පොතේ මැනවින් විස්තර කරයි. 

එනිසා බැලූ බැල්මට අපට පෙනෙන්නේ ජේ ආර් හේතුවක් නැතිව ජවිපෙ තහනම් කර මර්දනයට පාර කැපූ බවය. දැන් කල්පනා කර බලන්න. හැට ගණන් වල සිට ඇමෙරිකන් සම්බන්ධයක් තිබු ජේ ආර් ඇමෙරිකාවට ගිය පසු ජනාධිපති රොනල්ඩ් රීගන් ඔහුව උණුසුම් ලෙස පිළි ගත්තේය.  තැචර් ට ක්‍රියාත්මක කිරීමට අවශ්‍යව තිබු විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ අත්හදා බලා දුන්නේද ඔහුය. 
 1978 දී ජේ ආර් ට සිරකර සිටි ජවිපෙ නායකයන් නිදහස් කිරීමට උවමනාවක් තිබුනේ නැත. ඔවුන් නිදහස් වුනේ අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව අහෝසි කිරීම  නිසාය.
එසේම ජේ ආර් ජවිපෙ මර්දනය පටන් ගත්තේ ජනමත විචාරණ නඩුව නිසා යයි කතුවරයාගේ නිගමනය නිවැරදි යයිද  මට සිතෙන්නේ නැත. ඒ ගැන සැලසුමක් කලින්  තිබෙන්නට ඇත. 

ඇමෙරිකානු වියට්නාම යුද්ධයේදී ඇමෙරිකානු හමුදා කාම්බෝජ දේශ සීමාවට බෝම්බ ප්‍රහාර එල්ල කලේ ඇමරිකාවට වඩා චීනයට හිතවත් නරෝදම් සිහනුක්  කුමරු මෙල්ල කරන්නටය. එනයින් ඔවුන් අනියමින් උදව් කලේ කෙමරුජ් (පොල්පොට්) සංවිධානයටය. කලබල නොවන්න. අපි දන්නේ  කෙමරූජ් ' ඇමෙරිකන් විරෝධී" සංවිධානයක් කියාය. ඒ දවස්ස්  වල ජවිපෙ සාමාජිකයන්ද දැන් සමහරුද දන්නේ එලෙසය. මේ සංවිධානය  කාම්බෝජ හමුදා භටයන් හා බටහිර හිතවාදී ජනතාව සිරකර  මැරුවේ ද ඇමෙරිකාවට හා ධනවාදයට සහයෝගය දීමේ චෝදනා මතය. නමුත් ඔවුන් සටන් කලේ වියට්නාම්/සෝවියට් පාර්ශ්වයට විරුද්ධවය. ඔවුන් පරාජය කර කාම්බෝජ ජනතාව මුදා ගත්තේ වියට්නාමයය.මතුපිටින් නොපෙනුනද  කෙමරූජ් සංවිධනය රහස් ඇමෙරිකන් අතකොළුවක් වූයේ එලෙසය. 

ශ්‍රී ලංකාවේ දකුණේ හා මැද පළාත්වල විජේවීරවාදය ජාතිවාදයට හා ජාතිකවාදයට ළඟින්ම සිටි දේශපාලන ව්‍යාපාරයකි. ගාමිණී මුතුකුමාරණ ගේ පොතින් එය වඩාත් තහවුරු වෙයි. විජේවීර ගේ පොතකද සඳහන්  වන්නේ කීර්ති කුමරු (පළමුවන විජයබාහු) මෙන් රට කාලිංග මාඝ ලාගෙන් නිදහස් කරගත යුතු බවය. ඒ දිනවල දෙමළ  ගරිල්ලන්  නඩත්තු කලේ සෝවියට් හිතවාදී ඉන්දියාවය.   නමුත් විජේවීරට අනුව කතුවරයා ද ලියන  පරිදි ද්‍රවිඩ විමුක්ති කොටි සංවිධානය අමෙරිකාවේ අතකොලුවකි. දෙමළ ඩයස්පෝරාව බලවත් නිසා දේශපාලන චන්ද වෙනුවෙන් බටහිර රටවල් ශ්‍රී ලංකාවේ සටනට සහාය දක්වන බව ඔවුනටවැටහී  නැත. එසේම සෝවියට් දේශයේ සහයෝගය තිබුනේද ඇමෙරිකන් හිතැති ජේ ආර් හෝ ප්‍රේමදාස ට නොව දෙමළ ගරිල්ලා ව්‍යාපාරයටය. 
(සෝවියට් දේශය බිඳ වැටුණු පසු පුටීන් ගේ රු සියාවේ සහයෝහ්ගය ලැබුනේ මහින්ද රජයටය.) 

ප්‍රතිපත්තියක් වශයෙන් ස්වයං නිර්ණය අයිතිය පිලි ගන්නවා වෙනුවට විජේවීර සහෝදරයා ඒ සඳහා හඬ නැගූ දයා පතිරණ   වැන්නවුන් ශාරීරිකව ඉවත් කර දැමුවේය. කතුවරයාගේ මතයට අනුව දයා වාද විවාද වලින්  තීරණ ගත් අයෙකු නොව අතින් පයින් පහරදී තීරණ ගත් අයෙකි. මේ අය ඉන්දීය ඔත්තු සේවයට සම්බන්ධ  අය ලෙසද හඳුනාගන්නා කතුවරයා එනයින් එම ඝාතන යම් විධිහකින් සාධාරණිකරණය කරයි. (පිටුව 382-383)   මෙවැනිම  හේතුවක්  නිසා ලයනල් බෝපගේ ගේ පක්ෂය හැර යාමද ඔහු දකින්නේ විවේචනාත්මකවය. (පිටුව 169). විජය කුමාරතුංග ද ඔහුට අනුව ඉන්දීය ඔත්තුකරුවෙකි. ප්‍රශ්නය  වන්නේ මේ සියල්ලෝම වාමාංශිකයන්  වීමය. දක්ෂිණාංශික ජේ ආර් ට වඩා ඔවුන් බියකරු වූයේ කෙසේද? විජේවීර මාඕ වාදියෙකු වීම මේ  ඉන්දීය විරෝධයට හේතුවක්ද?
විජේවීර කොපමණ වරද්දා ගත්තාද යන්න තේරෙන්නේ 1991 දී කොටි සංවිධානය ඉන්දීය අගමැති  රජීව් ගාන්ධි මරා දැමූ නිසාවෙනි.

මේ අතරේ අසූ ගණන් වල අග  වෛද්‍ය සිසුන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව කල සටන තීව්‍ර වූ අතර ජවිපෙ යටතේ තිබු අන්තරය එම සටනේ ඉදිරියේම සිටියහ.. එනිසා බොහෝ සිසු නායකයන් රජයේ හමුදා අතින් මරා දැමුණි. එම සටන ජයග්‍රහණය කළද ඉන් අහිමිවුණු සිසුන් සංඛ්‍යාව බොහෝය. එම සටන ඉන්පසු ඉන්දීය විරෝධී,ප්‍රේමදාස/යූඇන්පී  විරෝධී, කොටි විරෝධී සටනක් බවට පත්වුණි. ඔබට මෙහි යමක් තේරෙන්නේද?

ප්‍රේමදාස පාලන තන්ත්‍රය හා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය (ජවිපෙ මෙහෙයවූ)  යන දෙකොටසම ඉන්දීය විරෝධීය. ද්‍රවිඩ ත්‍රස්තයන් හා ඉන්දියාව ඒ දිනවල වාමාංශික ය. ජවිපෙ මේ දෙගොල්ලන්ටමද විරුද්ධය. මෙයින් වඩා පල ගත හැක්කේ කාටද? ඇමෙරිකා එක්සත් ජනපදය මූලික  ඔත්තු සංවිධාන වලට හා බටහිරටය. ඔවුන් කිසි විටෙකත් තවත් මාඕ වාදී පොල්පොට් වාදී සංවිධානයකට බලයට ඒමට  ඉඩ  දෙතියි ඔබ සිතනවාද? 1987 ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහි වුයේ ප්‍රේමදාස හා ජවිපෙය. ජේ ආර් කලේද කපන්නට බැරි අත සිඹීමකි. බටහිර රටවල්  ඉන්දියානු මැදිහත්වීමට අත පෙව්වේ  නැත. ඉන්දියානු වෙළඳපළ ලංකාවට වඩා විශාලය. ඔවුන්ගේ (බටහිර සැලසුම් දීර්ඝකාලින ඒවාය.  බොහෝ ෆේස්බුක් පණ්ඩිත ලිබරාටි ලා මොනවා ලීවත් ඇමෙරිකා  එක්සත් ජනපදය වැනි රටවල රහස් ඔත්තු සේවා වලට ඇත්තේ විසි පස් අවුරුදු සැලසුම්ය. )  අපේක්ෂා කල දේ රජීව් ගෙන් නොලැබෙන  බව දැනගත් විමුක්ති කොටි සංවිධානය රජීව් ගෙන් පලි ගත්තේය. ඔවුන්ද  ඉන්දියාවට එරෙහිව යුධ ප්‍රකාශ කළහ. කොටි සමග මිතුරුව ඔවුන්ට ආයුධ  මෙන්ම පොලිස් නිලධාරින් ගේ ජීවිතද  දන්දුන්  ප්‍රේමදාස ජනාධිපති ගේ  රජය දේජ ව්‍යාපාරය හා ජවිපෙ අමානුෂික ලෙස මර්දනය කළේය. "පියවරක් ඉදිරියට පියවර දෙකක් පස්සට"  නමැති  ලෙනින් ගේ ප්‍රසිද්ධ  ලිපිය  විජේවීර කියවා නැත.  තමන් අසුවී තිබූ උගුල ගැන ජවිපෙ මධ්‍යම කාරක සභාවට කිසිම අවබෝධයක් තිබී නැත. කතුවරයාගේ මතක ගිනි පුපුරු කියවන්නෙකුට එය හොඳින් වැටහේ.

ජවිපෙ මර්දනයේ පුරෝගාමීන් වන රන්ජන්  විජේරත්න ඇමතිවරයා මෙන්ම  ප්‍රේමදාස ජනාධිපතිද කොටින් අතින් අවසන් ගමන් ගියහ. මේ අනුව බලන විට  ජවිපෙ මර්දනයට හා ඝාතන වලට  ආණ්ඩුවෙන්  පලි ගෙන   ඇත්තේ කොටි ත්‍රස්තවාදීන්ය. 

රනිල් වික්‍රමසිංහ ගේ සාම   වැඩ පිළිවෙලට  ජවිපෙ සහවාස ආණ්ඩුව විරුද්ධ වන්නේය. සාම වැඩ පිළිවෙලින් ප්‍රභාකරන් හා කොටිද ඉවත් වන්නේය.  පෙසපේ කුමාර් ගුණරත්නම් මහතාට චන්දිකා ගේ ධනපති සභාග ආණ්ඩුවට ජවිපෙ ඇමතිකම් රැගෙන යනවිට, ඔහු සැබෑ විජේවිරවාදියෙක් නම් පළමුවරට ජවිපෙන් ඉවත්වන්නට ඉඩ තිබුනේ එදාය.. ඔහු ඉවත් වූයේ නැත. 

විජේවීර ගේ මරණයෙන් පසු වසර 2005 දී මහින්ද රාජපක්ෂට බලයට ඒමට සහය දුන්නේ සෝමවංශ / විරවංශ මෙහෙයවූ ජවිපෙය.  ඉතාමත්ම වැදගත් දේ නම් දැන් යුධ  විරෝධියෙකු ලෙස  යලි  ඉපදුනු කුමාර් ගුණරත්නම් මහතාට හා ඔහුගේ සගයන්ට  දෙවන වරට  ජවිපෙන් අයින් වෙන්නට තිබුනේ එදාය. ඔහු එදාද ඉවත්වූයේ නැත.  එසේම  ඔහු ගැන මොනයම්ම හෝ සඳහනක් ගාමිණී මුතුකුමාරණ ගේ පොතේද  නැත. 

මේ වනවිට සෝවියට් දේශයද බිඳ වැටී  එදා ජේ ආර්ගේ ජයවර්ධන ආණ්ඩුවේ  ඇමෙරිකානු හිතවාදී ප්‍රතිපත්ති වලට විරුද්ධවූ ඉන්දියාව ඇමෙරිකානු හිතවාදී ප්‍රපත්තියක් අනුගමනය කරන්නේය.   තමන් මර්දනය කරන ලද විරෝධාර හමුදා වලට ආශීර්වාද කරමින් ජවිපෙ පසෙකින් තබාගෙන මහින්ද ආණ්ඩුව යුද්ධයෙන් ජය ගන්නේය.  එළිපිට බටහිර  රටවල් දෙමළ  ජනතාවගේ (ඩයස්පෝරාවේ) චන්ද ලබා ගැනීමට මහින්ද ආණ්ඩුවට විරුද්ධවුවද එම  ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් හොර  රහසේ දෙමළ කොටි සංවිධානයට විරුද්ධව ආණ්ඩුව උදව් දෙන්නේය. තමිල්නාඩුව නොඇවිලීමට ඉන්දියාව ගෙන ගියේද එවැනිම  දෙබිඩි ගේමකි. 

පශ්චාත් යුධ අවධියේදී ජනතා විමුක්ති පෙරමුණේ සිදුවූ ඛණ්ඩනය එබැවින් බොහෝවිට ස්වභාවික වන්නේ සෝමවංශ අමරසිංහ ගේ අභාවයෙන් පසු යුධවාදී ජවිපෙ නියෝජනය කරන විමල් විරවංශ කණ්ඩායම සමග රජයට එකතුවීමෙනි. අඩුවැඩි වශයෙන්  විජේවිරවාදී  මාඕවාදී ජවිපෙ පිළිවෙත හා ජාතිකවාදය  එලෙසම පැවතුනේ, පවත්වාගෙන යන්නේ  ටිල්වින් ද සිල්වා , ලාල් කාන්ත  වැනි නායකයන් අතරය. ටිල්වින් සිල්වා සහෝදරයා මට පැවසුවේ ඔවුන් (ජවිපෙ) හැට  ගණන් වල  සෝවියට් දේශය වඩා සමෘද්ධිමත් එකක්  ලෙස සලකන බවය. (ටිල්වින් සිල්වා සහෝදරයාට චිත්‍රපටයක්)

නමුත් අනුරකුමාර දිසානායක සහ ජාතික ජන බලවේගය මේ සුත්‍රය පිළිපදින්නේ නැතිබව පැහැදිලිය. මාක්ස්වාදය ලෝක සමාජවාදය අපේක්ෂා කරන දහමකි. මාක්ස්වාදියෙකුට ධනවාදී රටවල එක්වීමට විරුද්ධ වීමට නොහැකිය. යුරෝපිය සංගමයේ  ආර්ථික එකතුවට මාක්ස්වාදියෙකුට විරුද්ධ  වීමට නොහැක්කේ කම්කරු පන්තිය යනුවෙන් ඔවුන් නම්කරන කොටස අන්තර්ජාතික ලෙස එකතුවන්නේ එවැනි ආර්ථික සහයෝගිතාවය හා මල්ටිනැෂනල් කම්පැනි නිසාය.  පෙසපේ නුවන් බෝපගේ නොබෝදා ලන්ඩනයේ මුණ ගැසුණු ජෙරෙමි කෝබින්  මාක්ස්වාදියෙකු ලෙස  තමන්ව කිසිදා හැඳින්වූයේ නැත. ඔහු වඩා  ලංවන්නේ එංගලන්තයේ ඒ කාලයේ විසු මනෝරාජික සමාජවාදීන් ටය. ඔහු යුරෝපා සංගමයට විරුද්ධ වූයේ එබැවිනි.  ධනවාදී ආර්ථිකය දියුණු වීමේදී ජාතික සීමා බිඳ දමමින් රටවල් එකතුවීම වැළැක්විය හැක්කක් නොවේ.ඉන්දියාව  සමග ආර්ථික සහයෝගිතාවය ධනවාදී  දියුණුවේ දී ලැබෙන අන්‍යවූ  අතුරු  ප්‍රතිඵලයකි. මාක්ස්වාදියෙකුට එහිදී අන්‍ය රටක කම්කරුවන් සමග එක්ව සටන් කළ හැකිය. එය එසේ වන බවට මාක්ස්වාදයේ සඳහන්ය.

 ඒ වෙනුවට ප්‍රතිසංස්කරණය කරන ලද තනි රටක සමාජවාදය ගොඩ නැංවීමේ  න්‍යාය ගෙන ආ ලෙනින් සහ ස්ටාලින් ගේ දහම අපි මාක්ස් ලෙනින්වාදය ලෙස හඳුන්වමු. ලෙනින් රුසියාවේ පැවති  ආර්ථික ක්‍රමය සමාජවාදී ලෙස වෙනස් කලද එය අතීත ආර්ථික ක්‍රම වලින් මුලිනුපුටා දැමුවේ නැත. ලෙනින් ගෙන් පසු ස්ටාලින් බලහත්කාරී සමාජවාදය නිසා බොහෝ මිනිසුන් ප්‍රමාණයක් මිය ගියහ.  මාඕද පැරණි  ආර්ථික ක්‍රමය සහිත සමාජය  මුලිනුපුටා සුණු  විසුනු කරන්නට අණ කළේය. සංස්කෘතික විප්ලව සමයේ බොහෝ චීන ජාතිකයන් සාගතයෙන් සහ දේශපාලන දඬුවම් නිසා මරු දුටුහ.  මාඕවාදයේ අතුරු ඵලයක් ලෙස කාම්බෝජය බින්දුවේ ශතවර්ෂයට (year 0) ගෙනගිය පොල්පොට්වාදය පැන නගින්නේ එලෙසිනි. පොල්පොට් - ඉයන් සාරි යටතේ 35% පමණ කමබෝජ ජනයා ඝාතනය වුනි.  

අනුර කුමාරගේ ජාතික ජන බලවේගය පරණ මාඕවාදය නොව නව චීන ජාතිකවාදය අනුගමනය කරන බවක් පෙනී යයි. බොහෝ විට ඩෙන්  ෂියා ඕ  පෙන් ගේ ආර්ථික මොඩලය ඔවුන් හදාරනවා විය හැකිය. මේ විජේවීර වාදයෙන් පැහැදිලි ලෙසම ඔබ්බට යාමකි. අනුරගේ නව වාදය ඉන්දියාව සමහ සහයෝගයෙන් කටයුතු කිරීමටය. ධනවාදයේ දියුණුව මග හැර යාමට ඔහුට හැකියාවක් නැත., එනිසා අනුර කුමාර දිසානායක ප්‍රමුඛ මාලිමාව විජේවිරවාදය පෙට්ටියකට බහා ඇණ ගසමින් යයි. එහි අන්තිම ඇණ ටික 'මතක ගිනි පුපුරු' පොතේ කතුවරයා විසින් සපයනු ලබයි. එම පොත ජාතික ජන බලවේගයට තර්ජනයක් නොවන්නේ එනිසාය. විජේවිරවාදීන් සමනය කරමින් තබා ගන්නේ ටිල්වින් සහෝදරයා ප්‍රමුඛ ජවිපෙ ඕල්ඩ් ගාඩ් එකය. ඔවුන් සමහරවිට බලය ගත් පසු කරලියට ඒමට ඉඩ  ඇත. එය තීරණය වන්නේ අනුර-හරිනි- නලින්ද-විජිත  කොපමණ ජනප්‍රියද යන්න මතය. 

පසුගියදාක  හිටපු ජවිපෙ පුර්ණකාලින සාමාජිකයෙකු වූ නන්දන වීරරත්න සහෝදරයා  සහ අප්‍රේල් කැරැල්ලට තරුණ වියේ සම්බන්ධවූ එච් බී ගුණරත්න සහෝදරයා සමග කරන ලද සාකච්ඡාව කදී ඔවුන් දෙදෙනාගේම අදහස වුයේ පරණ ජවිපෙහි ඇතිවූ සමහර ප්‍රශ්න  වලට ලිංගික හේතු සහ ප්‍රේම සම්බන්ධතා බල පෑ බවයි.  ගාමිණී මුතුකුමාරණ ගේ පොතට අනුව විජේවීර සහෝදරයා මෙවැනි සම්බන්ධතා වලට  විරුද්ධ වී නොමැත. බෝල්ශෝයි රඟහලේ නැටුම් ගැන කතා කළ, කතුවරයාට පෙම් සබඳතා ගැන විහිළු කළ  ඔහු වඩා සුන්දර අයෙකි. නන්දන, එච් බි දෙදෙනා සිසිල්චන්ද්‍ර ගේ නැගණිය ගැන මතක් කළේය. රුවන් ජයතුංග විසින් ලියන ලද අප්‍රේල් කැරැල්ල පොතේද මේ ගැන සඳහන් බව ගුණරත්න සහෝදරයා පැවසුවේය.

සුනිලා අබේසේකර ප්‍රශ්නය ගැනද ගාමිණී මුතුකුමාරණ තම ග්‍රන්ථයේ ප්‍රශ්න කරයි. සුනිලා බිකිණියක් ඇඳ දිය නෑම ගැන ලොකු ප්‍රශ්නයක් තිබී ඇත. කෙලී සේනානායක සමග සම්බන්ධයක්ද විවේචනයට පාත්‍ර වී ඇත. මේවා විජේවීරට වඩා දේජව්‍යාපාරයේ  සුමිත් අතුකෝරල ගේ ප්‍රශ්නයක් බව කෙනෙක් සඳහන් කළේය. ඔහු හිටපු යතිවරයෙකු නිසා විජේවීරට වඩා සංස්කෘතික වශයෙන් වඩා දෘඩ ප්‍රතිපත්තියක් කාන්තාවන් හා පෙම් සබඳතා අරයා අනුගමනය කල බවද ඔහු තව දුරටත් පැවසිය. කතුවරයා පවසන්නේ අතුකෝරල ජවිපෙ 'චේ' බවය. සමහර විට ඔහු ගරිල්ලා සටන් ව්‍යාපාරය පමණක් සිහියට ගෙන  එසේ ලීවාද මම නොදනිමි. චේ ගේ සුරුට්ටු හා පෙම් සබඳතා ඉතා ප්‍රසිද්ධ හෙයිනි. 

මේ ගැන  ඩිෂාන් ෆෙනන්ඩෝ ලියූ   "දේශපාලන පක්ෂවල ලිංගික ගැටළුව" නම් ලිපියක්  ත්‍රිමාණ සඟරාවේ පළවී තිබේ. 
"ඇලෙන්කා සුපන්චිත් සඳහන් කරන පරිදි (ආරොන් ශස්ටර් උපුටමින්) රුසියාවේ බොල්ෂෙවික් විප්ලවයෙන් පසු නම් එම ඉහළ කාඩර් පැළැන්තිය විසින් මෙම ප්‍රශ්නය විසඳීම සඳහා විශේෂ ලිංගික-හරණ යන්ත්‍රයක් ද නිපදවීමට උත්සහ කර ඇත. එනම් වැරදි අතට සිත යොමු වීමට ප්‍රථමව අදාළ කාඩර්වරයාගේ සිත අකර්මන්‍ය කරන ආකාරයේ යන්ත්‍රයකි. ඒ තරම්ම ‘ලිංගිකත්වය’ විප්ලවයට හා දේශපාලනයට කරදරයකි. අප අසා ඇති පරිදි මෙය ජවිපෙට ද තම විප්ලවීය කාලයන්හීදී ඉතා ගැටළුකාරීව තිබී ඇත. බොහෝ අවස්ථාවන් වලදී ඔවුන් තම කාඩර්වරුන්ට ආදර සබඳතා තහනම් කර තිබිණි." (ඉහත ලිපියෙන් උපුටා ගැනීමකි.)



කුමාර් ගුණරත්නම් මහතා, පුබුදු ජයගොඩ  සහ ඕපාත මහත්තයා ඇතුළු කණ්ඩායම  ජවිපෙන් බිඳී යෑම කුමන හේතුවකට ලඝු කරන්නටද යයි මම නොදනිමි. එහෙත් එය ජවිපෙ ජාතිවාදයට විරුද්ධව නම් එසේ කරන්නට තිබුනේ කලිනි. පශ්චාත් සෝමවංශ/විරවංශ   ජවිපෙ ජාතිවාදී එකක් ලෙස හඳුන්වන්නට නොහැකිය. එය විජේවීරවාදයෙන් පිට පනින්නේ ජාතික ජන බලවේගය සමගය.

වර්තමාන පෙසපේ විජේවිරවාදී යයි කිව නොහැකිය. පෙසපේ ලන්ඩන් ශාඛාව වැලිකඩ බිඳ පලා  ගිය නිර්මලා නිත්‍යානන්දන් වැනි හිටපු විමුක්ති කොටි  සාමාජිකාවන් සමග දේශපාලනය කරන බව දන්නේ නම් විජේවීර නිසැකයෙන්ම විරුද්ධ වනු ඇත.  එය තදබල ලෙස මාක්ස්වාදී බවක් පෙනෙන්නේ ද නැත.මා අස සිටි  එක දේශනයකදී  කුමාර් ගුණරත්නම් මහතා ගේ අදහස් වඩා ලංවුනේ පොල්පොට්වාදයටය. ඒ අනුව තරමක විජේවීරවාදී  ගතියක් එහි ඉතිරිව තිබේ.පුබුදු  ජයගොඩ 'මතක් ගිනි පුපුරු' පොතට එරෙහි වන්නේ ඒ නිසා විය යුතුය. ඔවුන්ගේ යන්තම් විජේවිරවාදී නැමියාව හොඳින් පැහැදිලි වන බැවිනි. ඇත්තටම ඔවුන් කල යුත්තේ බොරු විජේවීරවාදයක් පෙන්වීම නොව තමන් ඉන් ඈත්ව සිටින  බව අවංකව පිළිගැනීමය.

ජාතික ජනබලවේග රජයක් ශ්‍රී ලංකාවේ බිහි වූවා යයි සිතමු. එය ඉන්දීය හිතවාදී ස්වරුපයක් ගතහොත් දැනට ඉන්දීය විරෝධී ස්ථාවරයක්  ගෙනියන පෙසපේ වැනි පක්ෂයක් , ඉන්දියාවට විරුද්ධ බලවේග වල අතකොලුවක් කර ගැනීම ඉතා පහසුය. හැත්තෑ එක හෝ අසූ නමය මෙන් නැවතත් "අනුන්" මෙහෙයවන සන්නද්ධ අරගලයක් ඇති වීමට ඉඩක් නැතිද?  නොඑසේනම් ජාතික ජන බලවේග රජය වඩා චීන හිතවාදී ස්වරූපයක් ගත්තා  යයි සිතන්න. . පෙසපේ කොහොමවෙතත් ඉන්දීය ඔත්තු සේවා තමන්ට මෙහෙයවිය හැකි බලවේගයක් පස්වන පරපුර හෝ දහවන පරපුර කියා නිර්මාණය කරනු ඇත.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට ඉදිරියට යා හැකි එකම මග අනුර කුමාර දිසානායක ගෙන ඇත. ඒ ඇමෙරිකා එක්සත් ජනපදය , ජපානය හා යුරෝපා සංගමය සමග හොඳ හිත පවත්වා ගැනීමය. ඔවුන්ගේ ගැලවීම ඇත්තේ එතැනය.

විජේවීර වාදය සම්පුර්ණයෙන්ම අවසන් වනු ඇත්තේ  එතැනිනි.

ශ්‍රී ලංකාවට විමුක්තිය උදාවනු ඇත්තේ ඉන් පසුවය. 

- 08/04/2024 - කොළඹ ගමයා 



AKD ගේ අති සාර්ථක ඉන්දීය සංචාරය අනුවද  ලැබෙන ඉන්දීය , ඇමෙරිකන්   සලකුණු මතද  ශ්‍රී ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණ හෝ මහා මැතිවරණ අශ්ව රේස් එක සඳහා නිර්මාණය  වීමට ඉඩ ඇති පෙරමුණු 
දිනීමේ  සම්භාවිතාව අනුව අනු පිළිවෙලට

1. අනුර (මාලිමාව)+ ද්‍රවිඩ පක්ෂ (ශ්‍රී ධරන්) + මුස්ලිම්  පක්ෂ (??)+ තොණ්ඩමන්   
2. රනිල් (එජාප)+මහින්ද (පොහොට්ටුව) + ද්‍රවිඩ පක්ෂ (ශ්‍රී ධරන්) + මුස්ලිම්  පක්ෂ (??)+ තොණ්ඩමන් +සජබ  
3. රනිල් (එජාප)+සජිත් (සජබ)+ මුස්ලිම්  පක්ෂ (??)+ ද්‍රවිඩ පක්ෂ (ශ්‍රී ධරන්) + තොණ්ඩමන්  +ශ්‍රීලනිප 
4. සජිත් (සජබ)+ මුස්ලිම්  පක්ෂ (??)+ ද්‍රවිඩ පක්ෂ (ශ්‍රී ධරන්) +පෙසපේ + තොණ්ඩමන් 
5. රනිල් (එජාප)+මහින්ද (පොහොට්ටුව) + චන්ද්‍රිකා/මෛත්‍රී (ශ්‍රීලනිප)  + මුස්ලිම්  පක්ෂ (??)+ තොණ්ඩමන්  
6. අනුර (මාලිමාව)+  පාඨලී  රණවක (නිදහස් මොකද්ද එක)  + තොණ්ඩමන්  
7. අනුර (මාලිමාව)+විමල් (නිදහස් පෙරෙමුණ)+  තොණ්ඩමන්    

තව veriation තියනවනම් ලියාගෙන යන්න

30 comments:

  1. එකඟ විය හැකි ගොඩක් දේවල් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔබේ ආගමනයට ස්තූතියි එකොන්.

      Delete
  2. Post එකක් නොව පොතකිය පෝස්ටුව
    කියවිය යුතුය සැලකිල්ලෙන් වරක් තව
    අඩ සියවසකටත් වැඩි කාරණා නෙව
    ඔව් ඔව් ඔහොම විශ්ලේෂණ කරමු තව

    ReplyDelete
  3. කොටි ප්‍රහාරවලින් මියගියේ නිශ්ශංක විජේරත්න ද රංජන් විජේරත්න ද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැදුව. නම් පැටලෙනවා නේ. විචක්ෂණ ශීලි ලෙස කියවන පාඨක සමුදායක් සිටීම භාග්‍යයකි.

      Delete
  4. අජිත් මට ප්‍රශ්න කිහිපයක් තියනවා ඔයාගෙන් පැහැදිලි කරගන්න මේවා සමහරුන්ට වැදගත් නැති උනාට මට වැදගත් .. ඒ නිසා මේකට උත්තර දෙන්න

    (1) ඇයි විදේශගත ශ්‍රී ලාංකිකයෝ Indiansලට අකමැති මේ තරම් ? අපිට සමාන පෙනුමක් තියෙන්නෙ සිංහල මිනිස්සු වශයෙන් අපේ සමාන වෙන්නෙ ඉන්දියාවේ වෙස්ටර්න් බෙන්ගාල් ස්ටේට් එකේ අයටයි South India වල Kerala state එකේ අයටයි අපේ මුතුන් මිත්තොත් එයාලනෙ.

    සිංහල කියන්නෙ South indian and North indian mix වෙලා හැදුන race එකක්නෙ. මුහුදු බඩ පැති වල sinhalese ලා බහුතරයකට තියෙන්නෙ south indian මලයාළි, කණ්ණඩා තෙලුගු සහ සමහර විට ටිකක් දෙමළ අයත් මිශ්‍ර වූ Origin එකක් තියෙන කොටසක්.

    මහනුවර වගේ කිට්ටු වෙන්න ඉන්න ගොවිගම කුලේ අයට ගොඩක් තියෙන්නෙ North indian origin එකක් සහ ටිකක් තෙළිගු, මලයාලම් (30% විතර) සහ පසුකාලිනව ඉන්දීය දමිළත් එහෙම mix වෙලා ඇති (2%)ක් විතර .

    අපේ culture එක ඇදහිලි විශ්වාස ඔක්කොම ඉන්දියන් එහෙම වෙලත් ඇයි අපේ විදේශගත ලාංකික අය indians ලව හේට් කරන්නෙ?

    (2) Europe,Australia,USA,Canada වගේ රටවල් වල ඉන්න ඉන්දියන් අයගෙ හැසීරීම කොහොමද ?එයාලගෙ පාර්ශවයේ අය එහෙම වෙනත් රටවල් අය එක්ක විවාහ වෙනවද ?
    විශේෂයෙන් North Indian අය. ලංකාවේ අයව marry කරපු North Indians ලා නැද්ද ? UK වල එහෙම Northern indians ලා හරි ලස්සනයිනෙ ලංකාවෙදිත් මම දැකල තියනවා.

    (මේක මට ඇත්තට වැදගත් ප්‍රශ්නයක් හින්ද ඇහුවේ). හැබැයි තව දෙයක් තියෙනවා ගොඩක් සුද්දො අපි ඉන්දියන්ද කියලා අහද්දි නෑ මං ශ්‍රී ලංකන් කිව්වම උන්ට ඇත්තටම සතුටුයි... ඒක මං සැබැවින්ම හොඳම විදියට අත්දැකල තියෙනවා ... ප්‍රසිද්ධියේ කිව්වේ නැති උනාට අල්ලපු රටේ උන්ව සුද්දොන්ට කොහොමවත් දිරවන්නෑ ... අපි ඉන්දියන් කියලා වරදවා වටහා ගන්න නිසා උන් එක්ක තියෙන ඇරියස් එක වෙන්න පුලුවන් ඒ... අල්ලපු රටේ උන් හොඳ රෙකෝඩි තියලා තියෙන්නෙ ඒ අතින් නම්, මේ ගැන පැහැදිලි කරන්න පුළුවන්ද ඔයාට?

    ReplyDelete
    Replies
    1. පෞද්ගලිකව මම ඉන්දීය විරෝධී නැහැ. මම හිතනවා ඒක තේරුමක් නැහැ කියල. ධනවාදයේ දියුණුව සමග ආර්ථික වශයෙන් රටවල් එකතු වීම සාමාන්‍ය දෙයක්. (මාක්ස් වුනත් ඒකම කියල තියෙනවා) ඒකට විරුද්ධ වීම පල රහිත වගේම රටේම අනාගතය අනා ගැනීමක්. උදාහරණයක් ලෙස කියුබාව ගත හැකියි. පෙසපේ නවතැහැ ගෙනියන්නේ ගින්දර සමග පුළුන් ව්‍යාපාරයක්. නැවත රට අගාධයට බැස්සවිමක්. දෙමල කොටි ඩයස්පෝරාව ඉන්දීය විරෝධියි. ඔබේ ඉතිරි ප්‍රශ්න වේලට වෙන වෙනම පිළිතුරු ලියන්න. පෞද්ගලිකව අරගෙන.

      Delete
    2. 1. සිංහල කියන්නෙ South indian and North indian mix වෙලා හැදුන race එකක්නෙ. - මම හිතන්නේ කලින් හිටි කුවේණි ගේ යක්ෂ නාග හෝ අබෝරිජින් කට්ටියත් මික්ස් වෙලා සිංහල ජාතිය හැදිලා කියල. තව පාර්සි ජාතිකයන්ගේ සම්බන්ධයකුත් තියනවා කියල මම හිතනවා.
      //අපේ culture එක ඇදහිලි විශ්වාස ඔක්කොම ඉන්දියන් එහෙම වෙලත් ඇයි අපේ විදේශගත ලාංකික අය indians ලව හේට් කරන්නෙ?//
      මම මේ ලියල තියෙන ලිපියේ එහෙම එකක් හැඟෙනවද ? එහෙමනම් ලියපු විධිහම වැරදි වගේ. මම කියන්නේ මේ අවස්ථාවේ ඉන්දියන් විරෝධය හානිකරයි කියල. ඒක විතරක් නෙමේ චීන විරෝධයත් හානිකරයි. ඊලඟට එන අනතුරු හැඟවීම මම කරලා තියෙන්නේ ඔය දෙකේම බළල් අත් වෙන්නත් එපා කියන එක. ආයේ ඔය රටේ තරුණයෝ මරා ගන්න එකෙන් වාසි උන්ට විතරයි.
      2. මගේ පෞද්ගලික අත්දැකීම නම් අපේ එක ලෙවල් එකේනම් ඉන්නේ උන් හොඳයි. අපට උඩ ලෙවල් එකේ ජොබ් එකක් නම් ඉන්නේ ඒත් හොඳයි. උදව් කරන්න බලනවා. පහල නම් අපට පුළුවන්තරම් කටු ගහනව. එළවන්න හදනව. ලංකාවේ සමහර අයගේ වගේ අන්තිම කුහක භාවයක් තියනවා. ඉනිද්යන් සහ පකිස්ථාන කට්ටියක් මම ජොබ් එක පටන් ගන්න කොට හිටිය. මම ඩෙව් ටීම් එකේ. ඒ ය ටෙක් හරි නෙට්වර්ක් ඉංජිනියර්ස් ලා හරි. හෙනට ගේම ඉල්ලුව. අන්තිමට කට්ටියම ගියා. දැන් ඉන්දියන් එකෙක් ඉන්නව එක ලෙවල් එකේ. දෙන්නම කන්සල්ටන්ට් ලා. කිසි අවුලක් නැහැ. අනික ඉන්ටවිව් වලදී ඉන්දියන් අයට විතරමයි ජොබ් දෙන්න බලන්නේ. මම ගිය එක ඉන්ටවිව් එකකදී ඉන්ටවිව් දෙකෙන්ම පාස් වෙලා අන්තිම එකේදී ඉන්දියන් බොස් කෙනෙක් කෙලින්ම කීව මම හිතුවේ ඔයා ඉන්දියන් කියල. ජොබ් එක ලැබුනේ නැහැ, මොකද මගේ සීවී එකේ නම ධර්ම. කියල දැම්මේ.දිග වැඩියෙන් දැම්මම ඉන්ටවිව් එන්නේ නැති කාලයක් තිබ්බ.
      3.ඉන්දියන් සහ පකිස්තාන් අය ලංකාවේ ටැමිල් අය වගේම තමන්ගේ රටට ගිහින් , කසින්ලව නෑදෑයෝ බැඳගෙන එනවා. කලාතුරකින් ඉංග්‍රීසි අය බඳිනවා. හැබැයි ඒක වැඩියෙන්ම කරන්නේ සල්ලි යමක් කමක් තියන නුතන වෙච්ඡ අය . සහ සීක්ජාතිකයෝ . ඉන්දියන් සීක් අයනම් හරිම හොඳයි මොන හේතුවක්ද දන්නේ නැහැ උනුත් ඉන්දියාවට කැමති නැහැ හැබැයි. මගේ මුල් ටීම් එකේ ඉන්දියන් සික් එකෙක් හිටිය. අදටත් යාලුවෝ ෆේස්බුක් එකෙත්.

      Delete
    3. මෙහෙ NHS එකේ හෙනප්‍රශ්නයක් තියනව. ඉන්දීය කන්සල්ටනට් ල එක ගොඩක. යුදෙව් අය එක ගොඩක. ඉංග්‍රීසි අය තව ගොඩක. ඔය එක පැත්තකට ගියේ නැතිනම් අමාරුයි කියල මගේ දොස්තර යාලුවෝ කියල තියනව. ඉන්ෆ්දියන් ෆාමසි වලින් බෙහෙත් ගන්න මම කැමතියි. කස්ටමර් සර්විස් එක හොඳයි. විකුණා ගන්න ඕන දෙයක් කරනවා වගේ සීන් එකක් තියෙන්නේ. හැබැයි ඒ වගේම ඉන්දියන් අය සැහෙන්න කරප්ෂන් එක එංගලන්තයට හඳුන්වා දීල තියනව. නයිජිරියානුන් ට අමතරව. මගේ පෞද්ගලික් හැඟීම ඒ. ඉන්දියඅය එංගලන්තේ සෑහෙන්න බලවත්. රෝ එකත් බලවත්,

      ඒ අතින් චීනුන් නම් ඕන වෙලාවක ලංකාවේ කිවම උදව් කරනවා. හේතුව මම දන්නේ නැහැ.මගේ ඉන්දියන් යාලුවෝ හොඳයි. එක්තරා සීමාවකට විතරයි.

      Delete
    4. මේ කමෙන්ට් එක කියෙව්වාම, ලිපිය සම්පූර්ණයෙන් පැහැදිලි වුනා කියල හිතුනා. 🙏👌💐

      Delete
    5. ඇනෝටයි, අජිත්ටයි දෙන්නටම ස්තූතියි.

      Delete
    6. Jagath Pathirana10 April 2024 at 11:56

      උඩරට, පහතරට, කරාව, ලන්සි කියල සිව් හෙලයෝ එකතුවෙලා තමයි සිංහලයෝ හැදුනේ.

      Delete
    7. හෙළ ප්‍රශ්නය නේද

      Delete
    8. @Anonymous9 April 2024 at 06:52 //මහනුවර වගේ කිට්ටු වෙන්න ඉන්න ගොවිගම කුලේ අයට ගොඩක් තියෙන්නෙ North indian origin එකක් සහ ටිකක් තෙළිගු, මලයාලම් (30% විතර) සහ පසුකාලිනව ඉන්දීය දමිළත් එහෙම mix වෙලා ඇති (2%)ක් විතර .// ඒ සුදු අය වඩිග පරම්පරාවේ දකුණු ඉන්දියානු අය නේද. මම ඔය කුල මල දන්නේ නැහැ. නන්දන වීරරත්න එක්ක කතා කරන කොට එයා කීව ගොවිගම කුලය කියන්නේ විකෘතියක් කියල. ඒ කියන්නේ, ඉන්දියාවේ, මැලේසියාවේ, හෝ එංගලන්තයේ උසස් කුලයේ හෝ උසස් පන්තියේ සිට පහල පන්තියට හෝ පහල කුලයට එනකොට පිරමිඩයක් වගේ තියෙන්නේ. පහල කුලවල අය තමා බහුතරය. ඉන්දියාවේ දලිත් වගේ. චීන රජ කාලෙත් එහෙමයි. නමුත් ලංකාවේ ගොවිගම් කුලේ අය තම වැඩියි. ඒක වෙන්න බැරිලු. ගොවිතැන් කළ වැදි ජනතව, පහත රට ගොවිතැන් කල අය ඔක්කොම ගොවිගමට ඇවිල්ල හෝ අරගෙනලු. කුල පිරමිඩය උඩින් පහලට එන්නේ නැතිලු.
      අපේ නෑදෑයෝ වගයක් හිටිය උඩරට මොණරාගල පැත්තේ හෙම. සුදුම සුදුයි, රන්වන් හිසකේ සහ ඇහි බැම . එයාල අර ලෙඩේ තියෙන අය නෙමේ. හම සුදු අය. මම හිතන් හිටියේ ඉංග්‍රීසි සුද්දෙක් එක්ක අත්තම්ම කෙනෙක් ඉන්න ඇති හෝ වෙනයම් සුද්දන්ගේ බලහත්කාරකමක් වෙන්න ඇති කියල එයාලට හුඟක් කරදර තිබුන ඒ නිසාම. නන්දන කියනව ඒ අය රොබට් නොක්ස් මුහුදු බත් වුන නැවේ නැවියෝ , රජ අණින් ලංකාවේ ගැහැණු කසාද බැඳලා එහෙම පැවත එන අයලු. 1600 ගණන් වල ඉඳන්.

      Delete
    9. This comment has been removed by the author.

      Delete
    10. සීහුම් මන්සල කියලා යූ ටියුබ් නාලිකාවක් තියෙනවා. ඒකේ එක සාකච්චාවක කතා කල විදියට අද ගොවි කුලය කියන එක ලන්දේසින් හදපු එකක්.
      ලන්දේසින් තමන්ට ප්‍රෙයා්ජනවත් අය එක් කරලා ගොවිකුලය කියලා එකක් ඔවුන්ට හදලා දුන්නා. පසුව සිංහල මිනිස්සු හැමෝම වගේ තමන් ගොවිකුලය කියලා හඳුනාගන්න පටන්ගත්තා. තව ටික කාලෙකින් හැම සිංහලයම ගොවිකුලේ වෙලා. ඒ නිසාම ගොවි කුලය අර්ථයක් නැති දෙයක් වෙයි.

      තව ලස්සන දෙයක් තමයි ඉස්සර දාලිත්වරු කියන්නේ හින්දු ආගමේ අය නෙමෙයි
      ඔවුන් හින්දු ශිෂ්ඨාචාරයට පිට අය. ඉංග්‍රිසි ආන්ඩුව උප්පැන්න සහතික හදද්දී, මුස්ලිම්, ක්‍රිස්තියානි ශීක් නොවන හැමෝම හින්දු කියලා නම් කරන්න කියලා නියෝග කලා. දාලිත්වරු හින්දු වුනේ ඒ විදියට.
      උඩරට ගිවිසුමේ බුද්ධාගම සහ දේවාගම කියලා දෙයක් තියෙනවානේ. ඉන්දියාවේ දාලිත්වරුන්ගේ ආගමත් දේවාගම. කන්චා ඉලෙයියා [Kancha Ilaiah] කියලා මිනිහෙක් ඉන්නවා එයා ඔය කාරනාව ගැන කතා කරන කෙනෙක්.
      ඒ විදියට හිතුවාම සිංහල මිනිස්සු කියන්නේ දාලිත් ගෝත්‍රයක්.
      බෞද්ධ සාහිත්‍යෙය් වැද්දෝ කියන්නෙත් දාලිත් වරුන්ට. මනමේ කතාවේ ඉන්න වැදි රජ්ජුරුවොත් කොල අතු ඇඳපු කෙනෙක් නෙමෙයි.
      (වැද්දා කියන වචනේ තේරුම වෘත්තීය දඩයක්කාරයා)

      Delete
    11. (වැද්දා කියන වචනේ තේරුම වෘත්තීය දඩයක්කාරයා)
      ඔව්. පරණ කැලෑ ගම්වල දඩයක්කාරයාට කිව්වෙ දඩ වැද්දා කියල

      Delete
  5. විජේවීරට එරෙහි විනය පරීක්ෂණ https://www.youtube.com/watch?v=iVBUoU6xGYM

    ReplyDelete
  6. 1950 ගණන් වෙනකම් දියුණු තත්ත්වයක තිබුණ රට අද තියෙන තත්ත්වයට ගෙනිච්ච වම සහ වාමාංශික පිස්සො කියල තමයි මගෙ වැටහීම. දේශපාලනයෙන් යැපුනෙ නැති වැදගත් මිනිස්සු දේශපාලනයෙන් අයින් කරේ ජවිපෙ. ජනසතු ව්‍යාපර වලින් රට නැතිකලේ බණ්ඩාරණායක පවුල. ඊලඟට එනවයි කියන අනුන්ගෙ වැරදි කියමින් තමන්ගේ ප්‍රතිපත්ති හංගන NPP එක රට ඉවර කරලම දායි.

    ReplyDelete
    Replies
    1. ඒක එහෙමම කියන්න අමාරුයි. 1950 වෙනකොට ගම්වල තත්වය ඉතා නොදියුණුයි. යුඇන්පී එකේ කන්නන්ගර නිදහස් අධ්‍යාපනය ගෙනාවෙත් එකයි. රටේ නය නොතිබුනේ ආනයන හුඟක්ම අඩු නිසා. පාරවල් නැහැ. වාහන නැහැ. ඒ කලේ හිටපු ඇන් ඇම් පෙරේරා ආදීන්ගේ හොන්ඩ අවදා තිබුන. ඒ කියන්නේ මැලේරියා ව්‍යාපාරය වගේ. සුදු ආණ්ඩුව නෙමේනේ මිනිසුන්ව බේරුවේ මැලේරියා ප්‍රශ්නෙදි. //දේශපාලනයෙන් යැපුනෙ නැති වැදගත් මිනිස්සු දේශපාලනයෙන් අයින් කරේ ජවිපෙ.// මම දන්නේ නැහැ. කරු ජයසුරිය වගේ අය ජවිපෙ මර්දනයේදී පිටරට ආව කියල දන්නවා. මග ඇරලා. // ජනසතු ව්‍යාපර වලින් රට නැතිකලේ බණ්ඩාරණායක පවුල// සෑහෙන දුරට ඇත්ත.
      // ඊලඟට එනවයි කියන අනුන්ගෙ වැරදි කියමින් තමන්ගේ ප්‍රතිපත්ති හංගන NPP එක රට ඉවර කරලම දායි.// අපි කැමති වුනත් නැතත් මාලිමාව දිනන්න සම්භාවිතාව වැඩියි. ඒ ගොල්ලන්ගේ දෙපාර්ශවයක් තියෙන බව තමා මම මේ ලිපියේ කියන්නේ. ඉන් පැරණි විජේවීර පාර්ශ්වයට වඩා අනුර පාර්ශ්වය හොඳ බවයි මගේ හැඟීම. අනික ඔල්ටර්නේටිව් චොයිස් එක සජිත් නම් - සජිත් ගේ කිචන් කැබිනට් එක - එයාගේ මව, බිරිඳ ඇතුළු කට්ට්ටිය ගෝඨාභය ට එහා යමක් කරන්නේ නැහැ. කරනවනම් රනිල්ට කලින් සජිත් ට ගන්න තිබ්බ. ඊට වැඩිය NPP එකේ උගත් පිරිසක් ඉන්නව. ඒ අය හුඟක් වෙලාවට මාඕවාදී නැහැ. ලිපිය ලියල තියෙන්නේ රනිල් දිනන්නේ නැහැ කියල උපකල්පනය කරලා. මැතිවරණ ලංවෙන කොට කොහොම වෙයිද දන්නේ නැහැ.

      Delete
    2. නිවැරදි කිරීමයි: ඒක එහෙමම කියන්න අමාරුයි. 1950 වෙනකොට ගම්වල තත්වය ඉතා නොදියුණුයි. යුඇන්පී එකේ කන්නන්ගර නිදහස් අධ්‍යාපනය ගෙනාවෙත් එකයි. රටේ ණය නොතිබුනේ ආනයන හුඟක්ම අඩු නිසා. පාරවල් නැහැ. වාහන නැහැ. ඒ කලේ හිටපු ඇන් ඇම් පෙරේරා ආදීන්ගේ හොඳ වැඩ තිබුන. ඒ කියන්නේ මැලේරියා ව්‍යාපාරය වගේ මිනිසුන්ට උදව් කරපුව. සුදු ආණ්ඩුව නෙමේනේ මිනිසුන්ව බේරුවේ මැලේරියා ප්‍රශ්නෙදි. 1950 වෙනකොට ආර්ථිකය නම් බැලන්ස්. 70-77 ආණ්ඩුව ණය ගෙව්වෙත් මිනිසුන්ට කන්නත් නැති කරලනේ. හාල් පෝලිම්, මිරිස් පෝලිම්, භූමිතෙල් ගඳ සරම්. ඒත් අයවැය බැලන්ස්. ජේ ආර් තමා මහා පරිමාණයෙන් ණය ගත්තේ.

      Delete
  7. මම කැමති 5වැනි පෙරමුණට

    ReplyDelete
    Replies
    1. අනේ කොච්චර එකක්ද

      Delete
  8. අජිත් ඔයා මෙතන දේශපාලනය ගැන කතා කරල තියෙන නිසා ලංකාවේ මේ දවස්වල අර කුප්‍රකට මාලිමාවේ අනුර කුමාර කයියනායක සහෝදරයාට සජබ සජිත් ප්‍රේමදාස කරපු අභියෝගය ගැන ඔයා මොකද ඇත්තටම හිතන්නේ?

    ඒ ගැන ඔයා එච්චරම අහල නැතිනම් ඒකේ පසුබිම මෙහෙමයි, ඔන්න දවසක සජබ ටෙලිෆෝනයේ ආර්ථික කවුන්සලේ (මම හිතන්නේ,ඔය ගිණිගෙඩිය මුලින් ඇද්දේ ආචාර්ය හර්ෂ ද සිල්වා) මාළිමාවේ ආර්ථික කවුන්සලේට ආර්ථිකය හදන හැටි ගැන වාදයකට ප්‍රසිද්ධියේ චැලෙන්ජ් කරා මාධ්‍ය වලට කතා කරලා.

    මේක දැකපු මාළිමාවේ ආර්ථික ඔස්තාර්ලා බැලුවා මේකට ගියොත් මාලිමාවේ රෙදි ගැලවෙනවා කියලා ෂුවර් මොකද බොරු කයි ඇරුණම කිසිම ආකාරයක ආර්ථික දැක්මක් නැතිව බහුබූත දොඩවලා මිනිසුන් මුලා කරපු එක විතරනේ ජවිපෙයි මාලිමාවයි මේ දක්වාම කළේ, ඒ නිසා මේකෙන් ෂේප් එකේ බේරිලා මාරුවෙන්න පොටක්.

    සටකපට ලෝක අණ්ඩපාල සුනිල් හදුන්නෙත්ති හිතුවා අනුරයා අතේ පැලවෙන ඕනම කෙබර රාජයෙක් උනත් බය නැතුව කියවන්න පුලුවන් බොරු කයිවාරුවට අති දක්ෂ නිසා පොරත් එක්ක සජිත් වාදයකට එන්නේ නැතිවෙයි එහෙම වුනොත් අපිත් ෂේප් එකේ බේරිලා අනුරත් ගොඩ තමයි කියලා උගේ ගොන් මොලෙන් හිතලා විවාද බෝලය සජිත්ට පාස් කරා.

    මෙන්න බොලේ සජිත්.. "අනුර එනවනම් කමක් නෑ හා වරෙං මම එනවා" කියපි.

    දැං ලංකාවේ මීඩියා කාරයෝ සෙට් එකම මාලිමාවේ නායක අනුරට හැමදාම කථා කර කර "කෝ එනවාද? කවදාද එන්නේ" කිය කියා අහනවා. මේක නිසා රෙද්දේ Rayවුණ අනුර කුමාරට කට උත්තර නැතිවෙලා හීන් දාඩිය දාලා දැන් මේක සම්බන්ධීකරණය කරන්න නලින්ද ජයතිස්ස එවනවා කිය කිය හැමදාම ගොනා වගේ මග අරිනවා.

    අනුර කුමාර දිසානායකට මේක ලේසි ගේමක් නම් මෙලහකටත් මෙලෝ ආර්ථික දැනුමක් නැති කයියනායක අනුරම සිරසට🔺 කථා කරලා ඔන්න මම එනවා සජිත්ට එන්න කියන්න කියන එක කරලා.

    මොකද ඇත්තටම එහෙම දෙදෙනා අතර ප්‍රසිද්ධ වාදයක් තිබ්බොත් සජිත්ට "තම පාලනයක් යටතේ පෞද්ගලීකරණය කරන්නේ මොනවද? IMF ගිවිසුම සංශෝධනය කරන්නේ කොහොමද ?. ඉන්දියානු බලහත්කාරයට ගන්න පියවර මොනවද කියන ඒවාට ධනේෂ්වරයෙන් ලේසියෙන්ම උත්තර දෙන්න පහසුයි, මොකද රනිල් දැනට කරන එකම තව ටිකක් තනුක කරලා (චන්ද්‍රිකා 1994 ගැහු බයිලා වගේ) මීට වඩා මානුෂිකව කරනවා කියලා මිනිසුන් රවටා ඊට පසුව බලය ලැබුණාම බොරු පානියක් දාලා මේකම එහෙමම කරගෙන යන්නනේ තියෙන්නේ දැනටම ඇති IMF ගිවිසුම සහ වෙනත් එකඟතා අවබෝධතා සහ සැලසුම් අනුව, ඕන නම් රනිල් උදව් කරයි මොකද පොරට ඕන රනිල්ගේ විෂන් එකේ හැටියට වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමටනේ, ඒක කවුරු කළත් රනිල් උදව් කරාවි කියලා සජිත් දන්නවා

    ඒත් අනුර කුමාර කයියනායක තුමාට හංගලා ගහන ඒවාගෙන් විවාද කරන්න අමාරුයි. ස්ටේජ් වල වෙන අයගේ අදහස් කොපි කරලා බොරු කයිවාරු ගැහුවා වගේ නෙමෙයි two way communication එකකදී හරස් ප්‍රශ්න අහන කොට කට උත්තර නෑ, දැනටමත් ගොන් චතුරංග අබේසිංහ වසන්ත සමරසිංහ විජිත හේරත් හඳුන්නෙත්තිලා ධනවාදය වලදී හොඳම එකෙන් නාගෙන කුජීත වෙලා ඉන්නේ, මහහූරත් නෑවොත් මාලිමාවේ රෙදි ඉල්ලෛ

    අන්තිමට ආර්ථික කවුන්සලේ කියලා හදුන්නෙත්තිලා හදාගත්ත එකට එන දෝස් මුරය වහගන්න සුනිල් හදුන්නෙත්තියා සජිත් එක්ක කථා කරගෙන වගේ හෙන ගෙඩිය අනුරගේ,ඔළුවට අත ඇරියා කියහංකෝ.

    ඒකෙන් පස්සේ අනුර අයියා කයියනායක කයියා දැන් මාධ්‍ය වල පේන්ත්නවත් අඩුයි. මාධ්‍ය මගැරලා ඉන්නේ දැක්ක ගමන්ම මීඩියා කාරයෝ අනුර කෝ ඔයා කවදද දැන් ඔයා විවාදයට යනිනේ,කියලා මයික් එක දික්,කරනවනේ. එතකොට අනුරකුමාර පොරට තොලකට වේලිලා හීන්දාඩිය දානවා පේනවා රටටම ටෙලි වල යූටියුබ් වල

    හැබැයි සා ගහනවා සජිත් මේකට එනවා කියලා අනුර අයියා අමාරුවේ,දැම්මට ඕං 😀😀😀

    ලංකාවේ ලෝකල් අළුත් අවුරුද්දට කලිං නම් විවාදය නෑ සහතිකයි. ඊට පස්සෙත් කයිපඩ අනුරයා මග අරින බව තමයි පේන්න තියෙන දේ. එහෙම නේද අජිත්? ඔයාගේ අදහස මොකක්ද මේක ගැන?

    ReplyDelete
    Replies
    1. සජබෙන් මග අරිනවා කියල නේද කියන්නේ - https://www.gossiplankanews.com/2024/04/sajith-anura-debate-updates.html

      Delete
    2. මාලිමාවේ ආර්ථික පිළිවෙත ඒ ගොල්ලෝ ලන්ඩන් ඇවිත් කියන විධිහට අයි එම් එෆ් එක්ක කතා කරලා, ඉන්දියාව සහ චීනයෙන් දිගටම මුදලුත් අරගෙන, ඒ ගොල්ලගෙ දැනට තියෙන ආයෝජන රැක දීලා වඩාවිනිවිද පෙනෙන ආර්ථිකයක් ගෙනියනවා කියාල. එතැන කිසිම තැනක පරණ සමාජවාදයක් ගේන්නේ නැහැ. හරිනේ . හැබැයි මාලිමාවේ ඉන්න සමහරු හිතන් ඉන්නව බලයට ආවහම වෙන විධිහකට වැඩ කරන්න. ඒක දන්නා නිසා තමා මේ ලිපි ලියවෙන්නේ. මොකද පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඒක කොහොමත් කියනවනේ. ඉන්දීය විරෝධී , IMF විරෝධී කියල. මම ඊයේ පෙරේදත් පෙසපේ කෙනෙක් ගෙන් ඇහුව හරි මොකද්ද කරන්නේ කියල. උතුරු කොරියාව ඇර වෙන විසඳුමක්. උඹලට තේරෙන්නේ නැහැ මචං කියල කියනව.

      Delete
    3. සජබේ ඉන්නෙත් පෝට්ටුවේ ඉන්නව වගේ අවුරුදු හයකට ගසා කාල පොහොසත් වෙන්න එන සෙට් එකක්නේ. ලංකාවට එහෙම සෙට් එකක් ආයෙත් ඕනෙද? අනික රතික ප්‍රතිපත්තියත් රනිල්ගේ එකමනේ.එහෙම නම් ඉතින් රනිල් හිටියම ඉවරයිනේ. කොහොමත් ඕක කරනවනේ.

      Delete
  9. අජිත් උමා ඔය ඉරාන ව්‍යපෘතියක් නිසා ඊශ්‍රායලය ඇමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය ලංකාවේ මේ ඉරාන ව්‍යපෘතිය වලකන්නට විවිධ උපක්‍රම යෙදුවා. මේ සඳහා ඔවුන් ප්‍රධාන වශයෙන් ජවිපෙ යොදාගත්තා. උමා ඔයේ විශාල කුහරයක් ඇති බව සහ මේ ව්‍යාපෘතිය නිසා ජල මූලාශ්‍ර හිදෙන බව කියමින් ජවිපෙ සමන්ත විද්‍යාරත්න කියන පට්ට මෝඩ කටහැකර වාචාලයා යොදාගෙන ඌව ෆෝම් කරලා පච ප්‍රචාර වලින් ලංකාව පුරාම සෑහෙන ජනතාවක් නොමඟ යවමින් ලොකු ජවුසමක් නැටුවා. ඒ අනුව ජවිපෙ සහ සමන්ත විද්‍යාරත්න යන අයව ඔවුන්ට අවශ්‍ය විදියට චෝදනා නිර්මාණය කරලා ඔවුන්ව පෙරකී රටවල බුද්ධි අංශ හරහා මෙහෙයවුනා. අද ඊශ්‍රායලය ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍ය එක මිටට තබා අභියෝගාත්මකව දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඔවුන් මෙතෙක් දැරූ ලෝක ආධිපත්‍යය දෙදරවා හරින්නට ඉරානය සමත් වුනා. ඔවුන්ට මේ ශක්තිය ලැබෙන්නේ ඊට දැවැන්ත පිටුවහලක් දේමින් බලගතු රූසියාව සිටින නිසා. චීනයත් යටින් සපෝට්, නමුත් ඊශ්‍රායලය ඇමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය එකතුව වලකාලීමට උත්සාහ කල ඉරාන ව්‍යපෘතියක් වූ උමා ඔය එසේ කඩාකප්පල් කිරීමට නොහැකි වීම සුභ අනාගතයක පෙර නිමිත්තක්. ඉරානයේ ප්‍රහාරය හමුවේ ඊශ්‍රායලය දැවැන්ත අර්බුදයකට පත්වෙන්නේ කෙසේද ඒ ආකාරයෙන්ම එම ඉරානය විසින් ඉදිකල උමා ඔය ප්‍රහාරයේ බලපෑමෙන් ජවිපෙ සහ මාලිමාවද තව දුරටත් තම පැවත්ම සම්බන්ධයෙන් අර්බුදයකට පත් වනු නිසැකයි, උමාඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට ලංකාවට ඉරාන ජනපතිවරයා පැමිණෙන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සමග එක්ව උමා ඔය ව්‍යාපෘතිය පළමු අදියර විවෘත කර තවත් මෙගා වොට් 60 ක ජලවිදුලි බලයක් ලංකාවේ ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට නියමිතයි. මේ ගැන ඔබටත් පැහැදිලි කරන්න පුළුවන්ද?

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .