Thursday 28 September 2023

නොනිමි අරගලයක මතක ගිනි පුපුරු - වාමාංශික නෂ්ටකාමයට අතීතයෙන් ඩෝස් එකක්ද

නොනිමි අරගලයක



නොනිමි අරගලයක මතක ගිනි පුපුරු -    වාමාංශික නෂ්ටකාමයට අතීතයෙන් ඩෝස් එකක්ද 
**********************************************
නිර්පාක්ෂිකයන් කියා අරගලයට සහභාගී වූවන් පසුව කිසියම් පක්ෂ වල සාමාජිකයන් හෝ ආධාරකරුවන් බව පසුගිය කාලයේ කෙරුණු චෝදනාවකි. ලන්ඩන් කම්කරු පක්ෂයේ සාමාජිකයකුව සිට ඉන් ඉවත්වූ නිසා මා මෙහිදී නම් නිර්පාක්ෂිකය. ගාමිණී මුතුකුමාරණ සහෝදරයා විසින් රචිත "නොනිමි අරගලයක මතක ගිනි පුපුරු" ග්‍රන්ථය ලන්ඩනයේ එළි දක්වන දා  සභාව මෙහෙයවන්නට ඔහුගෙන් ලැබුණු ආරාධනාව මට විමතිය දනවන්නක් විය. මා ඔහුගෙන් මේ පිළිබඳව දෙවරක්ම ඇසුවේ ඒ නිසාය. ඔහු පැවැසුවේ  මා නිර්පාක්ෂික එනම් කිසිදු  පාර්ශ්වයකට නොබැඳී අදහස් දැක්වීමට හැකි අයෙකු බව ඔහු දන්නා බවය. මා සිතන්නේ ඔහු අදහස් කලේ ජනතා විමුක්ති පෙරමුණේ හෝ පෙසපය ට සම්බන්ධ නොවීම පමණක් බවයි.  එසේම පෞද්ගලිකව එලි දක්වන මේ ග්‍රන්ථය කිසිදු පක්ෂයක් හෝ කණ්ඩායමක් හරහා කිරීමට ඔහුට අවශ්‍ය නොවන බවද පැවසිය. ඔහු විසින් වීඩියෝ කතා කිහිපයක් සුදානම් කර තිබූ අතර ඒ නාමාවලිය බැලීමෙන් ඔහු විසින් කිසියම් අන්දමකට තම අතීතය සමග සාමදාන වී ඇති බවක් මට පෙනුනි. 

ජනතා විමුක්ති පෙරමුණේ දෙවන කැරැල්ල, එනම් 1984 සිට 1990 දක්වා කාලය පිළිබඳව ග්‍රන්ථ කිහිපයක් ලියැවී තිබේ. 'ජවිපෙ දෙවන කැරැල්ල නමින් ධර්මන් වික්‍රමරත්න මහතා ලියන ලද ග්‍රන්ථය ඉන් ප්‍රධාන තැනක් ගනී.  ඔහු එය ලියා ඇත්තේ ගවේෂණශීලි ජන මාධ්‍ය වේදියෙකුගේ භූමිකාවෙන්  බව පෙනී යයි. එහෙත් එසේම ධර්මන් වික්‍රමරත්න මහතා ගේ එජාප විරෝධී ස්ථාවරයක්ද  එම පොතින් ගම්‍ය වේ. ඔහු ලියා ඇත්තේ  අසා දැනගත් සහ සොයා දැනගත් තොරතුරුය. අතරින් පතර ඔහු ඇසූ දුටු දේද තිබේ. "එළියකන්ද වධ කඳවුර" නමැති පොත රෝහිත මුණසිංහ මහතා විසින් ලියා  ඇති අතර එම පොත එළියකන්ද කඳවුර හා එහි සිටි  සිරකරුවන් භාජනය කළ අමානුෂික දෙතිස් වධය ප්‍රධාන කොට ගෙන ලියා ඇත. රෝ. මුණසිංහ  පැරණි ජවිපෙ ස්ථාවරයට බරව අදහස් පල කරමින්  ඔවුන් විසින් ජනතාව ධනවාදයෙන්  බේරා  ගන්නට කළ කැරැල්ලෙන්  ලද අනිසි ප්‍රථිපලයක් වශයෙන් එළියකන්ද සිර දඬුවම  නිශ්චිත කරයි. එම පොත බොහෝ සෙයින් පාක්ෂිකවාදී ස්වරූපයක් දරයි. අජිත් පැරකුම් ජයසිංහ මහතා ගේ 'කේ පොයින්ට්' පොතද  එළියකන්ද කඳවුරේ ඔහු  ලද අත්දැකිම් විස්තර කරන්නකි. ඒ ගැන මා මෙහි ලියා ඇත. (කාම්බෝජ සංචාරය 3 - සිර කඳවුර අංක 21 -  කේ පොයින්ට් සහ එළියකන්ද. එම පොත වර්තමානයේ  අජිත් පැරකුම් ගේ ලිබරල් මතවාදී සහ ජවිපෙ විරෝධී මතයට සාපේක්ෂ ලෙස ලියා ඇත. මේ පොත් දෙක පිළිබඳව ඉහත  ලිපියේ සහ පසුව ලියූ විජේවීර සහෝදරයා ගේ ජිවිත කතාව ඇතුළත් චිත්‍රපටිය ගැන ලියූ ලිපියකද මවිසින් සඳහන් කර  ඇත. ( සදා සමරමු සොහොයුරෝ - ගිනිගත් දෙරණක සීතලක් කොයින්ද)

ගාමිණී මුතුකුමාරණ  සහෝදරයා මම අවුරුදු තිහක පමණ කාලයක සිට දැන සිටි අයෙකි. එසේම  ඔහු ජවිපෙ හි  පැරණි  ක්‍රියාකාරිකයෙක් ලෙසද දැන සිටියෙමි. ඔහු සමග මම වාද දෙකකට පැටලුනේ අගෝරා කණ්ඩායමේ රැස්වීමක දෙකකදීය. ඉහත ලිපි වල ඒ ගැනද  ලියා ඇත. වරෙක ඔහු තමන් සහ ජවිපෙ ජාතිවාදී නොවන බව පුන පුනා කීවේය. ඔහු ජාතිවාදියෙකු නොවන බව මම දනිමි. තව වතාවකදී  නන්දන මාරසිංහ ඝාතනය ඔහු සාධාරණිකරණය කිරීමට මම එරෙහි වුනෙමි.  ඔහු මේ ග්‍රන්ථයේ  ඒ ගැන සවිස්තරව නැවතත් ලියා ඇත. එතැනට අපි පසුව යමු. 

මා නොදැන සිටි කරුණ වූයේ ඔහු, අකාලයේ ඝාතනය නොවුනා නම් දිනෙක  රාජ්‍ය නායකයා විය හැකිව තිබූ  කෙනෙකු  ගේ  කැලෑවේදී කෝකියා ව සිටි බවය. රෝහණ නන්දසිරි විජේවීර සහෝදරයාට  හාල්මැස්සන් කිරට උයා දී තිබෙන්නේද, ඉන් පසුව කිහිප විටක්ම ඔහුගේ බත් පත සකසා දී තිබෙන්නේද  ගාමිණීය. මේ අනුව කතුවරයා  ජවිපෙ පක්ෂ නායකත්වය සමග ඉතා  සංවේදී  හා  සමීප  සම්බන්ධයක් තිබූ තැනැත්තෙකි. මේ පොත ඉහත කී හැම පොතකටම වඩා වැදගත් වන පළමු කරුණ  මෙතැනය. දෙවැන්න නම් ගාමිණී මුතුකුමාරණ, නායක  රෝහණ විජේවීර සමග සැඟවී සිටීම පමණක්ම  නොව දෙවරක්ම හිරගෙදර අසුවී සිටියදී  පලා ගිය අයෙක් වීමය.  තෙවනුව ඔහුගේ සහෝදරයන් දෙදෙනා රාජා මුතුකුමාරණ සහ මෙත්සිරි මුතුකුමාරණ පොලිස් අත් අඩංගුවේ දී අසාධාරණ ලෙස ඝාතනය වීමය.  හතරවෙනුව ඔහු තෙවෙනි පෙළ නායකයෙකු වීමට ඉතා සමීපව සිටි බවට පෙනී යාමය. ඔහු නායකයෙකු නොවුනේ තවමත් ඔහු තුල පවතින ගැමිකම නිසා විය හැකිය. පොත කියවා  අවසන් වූ පසු පාඨකයා ගේ හදවත බර වීමද  හැඟීම් බර වීමද නොවැළක්විය හැකිය.   එසේ නොවන අය වෙනත් පක්ෂ වල සිටිය හැකි බවද පවසමි.

එනිසා මම මේ ග්‍රන්ථය මිට අවුරුදු තිහකට පමණ පෙර කියවූ නිකොලායි ඔස්ත්රෝව්ස්කි ගේ "වානේ පන්නරය ලැබූ හැටි" නවකතාවේ සිංහල ඡායානුවාදයක් ලෙස දකිමි. නමුත් ගාමිණී කොර්චාගින් නොවේ. ඔහු විජේවීර හමුවන විට කොලු ගැටයෙකි. ඔහු වාහන වැඩ පලක රැකියාව කර ඇත. ගාමිණී ජර්මනුන් සමග සටන් කලේ නැත. නමුත් ඔහු ශ්‍රී ලංකාවේ 87-91 වසර වල සිවිල් යුද්ධයට සහභාගී වූවෙකි.   ඒ සිවිල් යුද්ධයේ  අනිත් පාර්ශ්වය ජයග්‍රහණය කළා නම් මෙවැනි පොතක් ලබන්නේ "වානේ පන්නරය ..." පොත ලැබූ තැනකි. මා අදහස් කරන්නේ එයයි.  ඔහු වානේ මෙන් තද බවක් ලබා ඇත්තේද ජීවිතය දකින්නේද ඔස්ත්රෝව්ස්කි මෙන් සියල්ල අවසන් වූ තැනක සිටය. ඔස්ත්රෝව්ස්කි ගේ සටන ජයෙන් අවසන් වී ඔහු ආබාධිතයෙකු වීමෙන් අවසන් විය. ගාමිණී මුතුකුමාරණ ගේ සටන පරාජයෙන් අවසන් වුවද ඔහු ආබාධිත හදවතක් සහ මනසක් සමග  ජීවත් වෙයි. එයින් ගැලවී සුවපත් වීමට නම් ඔහු මේ පොත ලිවිය යුතුමය. 

පොතක් ගැන හොඳක් කීම එය විවේචනයට ලක් කිරීමෙන් බැහැරව යාමක් නොවේ.  පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් කතා කල අප මිතුරු සුදත් සහෝදරයා අප එම රැස්වීමේදී පොතේ වටිනාකම ගැන කතා කළද එහි ඇති සාවද්‍ය හා විවේචනයට භාජනය විය හැකි දේ ගැන කතා  නොකරන බවට චෝදනාවක් කළ බවක් මට හැඟුනි. ඇත්ත වශයෙන් කියනවා නම්  මටද එකඟ විය නොහැකි තැන් කිහිපයක් මෙහි අන්තර්ගතය. එයේ එසේ වුවද ඉන් පොතේ වටිනාකම අඩු වන්නේ නැත. ඒ බව වඩා හොඳින් පොත  දොරට වැඩුමේ දී  පැහැදිලි කලේ කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාස අංශයේ මහාචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරිය. ඔහුගේ පටිගත කළ කතාව මෙහි ඇත. නිර්මාල් දේවසිරි මහතා යනු ස්වාධින ශිෂ්‍ය සංගමයේ හිටපු සාමාජිකයෙකි. ඔහු ගාමිණී සඳහන් කරන ඔප්ස් කොම්බයින් හෙවත් ඒකාබද්ධ හමුදා මුලස්ථානයට ඔත්තු සැපයූවෙක් ද නැත්ද යන්න මම නොදනිමි. 

"සෝවියට් සාහිත්‍යය හා ලංකාවේ වම 4 - කොර්චාගින්,  බ්‍රෙෂ්ට් හා සාක්කිය" මැයෙන් මම 2017 දී ලියූ ලිපියක  දයා  පතිරණ ඝාතනය ගැන සඳහන්  කළෙමි. ඔහුගේ ඝාතනය දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය හෝ ජවිපෙ කල බරපතල වරදක් බවත් ඉන් ඔවුන් අමතර සතුරන් ප්‍රමාණයක් සාදා ගැනීමට අමතරව පක්ෂය තවත් ජාතිවාදී පසෙකට නැඹුරු වීමේ අඩිතාලමක් දැමුණු බවත් මගේ ද අදහසය. ගාමිණී සහෝදරයා බොහෝ දුරට ඒ ගැන එකඟ වන බව  නිර්මාල් දේවසිරි ට ආරාධනා කල හේතුවෙන් පැහැදිලි වේ.

එදින දොරට වැඩුමේ දී ප්‍රවීණ සාහිත්‍යවේදියෙකු හා ප්‍රකට ග්‍රන්ථ පරිවර්තක  චූලානන්ද සමරනායක සහෝදරයා වීඩියෝ පණිවිඩයේ කතා කලේ  බොහෝ හැඟීම් බරවය.  චූලානන්ද පවසන්නේ හැත්තෑ එකේ අරගලය එක නිශ්චිත අවස්ථාවක ඇරඹි ප්‍රහාර මාලාවකින් පසුව ආණ්ඩු බලය හමුවේ පරාජය කරන ලද අතර ඉන්පසුව පැවති  දීර්ඝ කාලීන අධිකරණමය පටිපාටියක් හරහා පක්ෂයේ විශාල පිරිසකට දඬුවම් පැමිණවීමකින් සහ පුනරුත්ථාපන  ක්‍රියාවලියකින් අවසන් වූ බවය.  එහෙත් ඒ වාසිය අසූනවයේ මර්දනයට මුහුණ දුන් පරම්පරාවට හිමි වූයේ නැත.  හැත්තෑ හතේ නිදහස ලැබීමෙන් පසුව යලි ක්‍රියාකාරී දේශපාලනයට බට විජේවීර ඇතුළු සියලු සගයන්ගේ ධෛර්යයෙන් පණගන්වන ලද ජවිපෙ දෙවන වරට මර්දනයට ලක් කිරීම හැත්තෑ එකේදී පැවති  තත්වය ඉක්මවා ගිය අතිශය සාහසික  සහ තිරශ්චින  ස්වභාවයක් ගත්  අතර ඉන් පක්ෂයට සිදු වූ විනාශය  මිනිය නොහැකි තරම් බරපතලය. (චූලානන්ද සමරනායක -උපුටා ගැනීමකි.)  

ජවිපෙ විසින් දෙවන අරගලයක් ඇති කිරීමට හේතු සාධක බොහොමයක් කතුවරයා විසින් ඉදිරිපත් කරයි.  ජවිපෙ දෙවැනි අරගලයේ නරෝද්නික්වාදී ස්වභාවය පිළිබඳව අපට බරපතල විවේචනයක් තිබුනත් ඒ ක්‍රියාමාර්ග වලට ඔවුන් තල්ලු කරන ලද එවකට පැවති ජේ ආර් ජයවර්ධන රජයේ ඇතැම් ක්‍රියාදාමයන් ගැන එවැනිම බරපතල විවේචනයක් සහ  ඒ ක්‍රියාදාමයන් ගැන විමතියක් ද මට තිබේ.  ප්‍රජාතන්ත්‍රවාදී චන්ද ක්‍රමයට 1977 සිටම අවතීර්ණ වුනු පක්ෂයක් 1982 ජනමත විචාරණයෙන් පසු රජයට එරෙහිව නඩුවක් දැමූ පලියට හෝ වෙනත් කිසියම් හේතුවක් නිසා එම පක්ෂයේ හිමිකම් උල්ලංඝනය කරමින්  යටිබිම් ගත දේශපාලනයට යොමු කිරීමේ අනීතික වරද බරපතල එකකි. ප්‍රින්ස් ගුණසේකර ගේ පශ්චාත්තාපය කොටසේ කතුවරයා එය පැහැදිලි කරන්නේ මෙසේය. මා එයට එකඟය. 

"ජනමත විචාරණ  නඩුව නිසා රෝහණගේ ජවිතය නැති වුනා. ජවිපෙ විනාශ වුනා. මේ නඩුව මම පැවරුවා නිසා මේ විනාශය වුනා කියලා කල්පනා වුණාම ඒකෙන් මිදෙන්න අමාරුයි." (පි. 116) 
"තවත් දින කිහිපයකින් ලංකා ඉතිහාසයේ ක්‍රියාත්මක දේශපාලන නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කෙරුණි. ගරු අධිකරණය  ආණ්ඩුව විභාග කිරීමට අණ  දුන්නේය. මේ 1983 මැයි මාසයයි. කළු ජූලියක ගිනි පුලිඟුවක් වත් තිබුනේ නැත. ඊලම්  සන්නද්ධ අරගලයකට සේනා රැස්ව තිබුනේ නැත. ජවිපෙ සාමාජිකයෝ තුවක්කු තබා පිහි කොටයක් වත් අතට ගෙන නොතිබුනහ. ජයවර්ධන  මහතා දණ්ඩකින් පහර කෑ සර්පයෙක් මෙන් කිපුනේය." 
(පි 119).

1983 ජූලි කලබල වලින් පසු ජයවර්ධන රජය වාමාංශික පක්ෂ තුනක් තහනම් කළේය. ඒවා තහනම් කලේ වරද කාට  හෝ පැටවීමට බව මුලින් පෙනෙන්නට තිබුනද කොමියුනිස්ට් පක්ෂය සහ නව සමසමාජ පක්ෂයේ  තහනම  සුළු කාලෙයකින් ඉවත් විය. ඒ ඔවුන්ගේ නායකයින් රජයට භාර වීමත් සමගය.ඒ දිනවල (1983) නසසප නායකයන් (වාසුදේව සහ වික්‍රමබාහු) කොම්පඤඤ විදියේ අමරදිසි හෝටලයේදී මා දුටු නිසා ඒ තහනම විහිළුවක් බව එදා සිටම දැන සිටියෙමි.  

ද්‍රවිඩ ත්‍රස්තවාදීන් විසින් රජයේ හමුදාවල් දහතුන් දෙනෙකු බිම් බෝම්බ වලින් ඝාතනය කල පසු දෙමළ ජනයා  මරා  දමමින් හා  දේපල වලට පහර දෙමින් ඇතිවුණු කලබල වලට ජාතිවාදී  එජාප කොටස් වල සහය තිබුණු අතර තැනින් තැන කුඩා ප්‍රමාණයෙන් ශ්‍රීලනිප  හා ජවිපෙ පිරිස්ද සහභාගී වුනු බව සැබෑය. නමුත් ඒවා සංවිධානය  වුනේ ජයවර්ධන රජයේ මුල් දින දෙකේ පැවති  අක්‍රිය ස්වභාවය නිසා එම පක්ෂයේ ප්‍රාදේශීය බලවතුන්ගේ ද සහයෙනි.   එම විනාශයෙන් පසු ඇමෙරිකන් හිතවාදී ජේ ආර්පා ලනයට විරුද්ධව ඉන්දියාව එලිපිටම ද්‍රවිඩ සටන්කාමී සංවිධාන වලට  සහය දුනි. රටින් පලාගිය දෙමළ ජාතිකයන් ගෙන් විදේශීය ඩයස්පෝරාවක් ශ්‍රී ලංකාවට එරෙහිව නිර්මාණය වන්නට විය. තහනම් වූ ජවිපෙ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් හරහා මෙන්ම ග්‍රාමීය තරුණ කොටස් අතරද රහසිගත ලෙස සංවිධානය වන්නට විය. 
    
 මේ සිදුවීම් වලට පසු, පසුකාලීනව  ලෝකයේ ජනප්‍රිය බවට පත්  වූ විවෘත ආර්ථික ප්‍රතිපත්තියක් මුලින්ම දියත් කල ජේ ආර් ජයවර්ධන  රජයට වැරදුනි.  අනිකුත් දේශපාලන පක්ෂ වලටද වැරදුනි. ජවිපෙට වැරදුනි. මුළු මහත් ශ්‍රී   ලංකාවටම වැරදුනි. ඒ සෝචනීය කතාවේ වැදගත්ම පරිච්ඡේදයක් මේ පොතේ ගාමිණී මුතුකුමාරණ සහෝදරයා අතින් ලියැවී ඇත.

 සෝවියට් ඔපෙරා හා බැලේ  ප්‍රසංග නිර්මාණ පිලිබඳ උණුසුම් මතකයක් විජේවීරට තිබුන බවක් කතුවරයා 160 වන පිටුවේ සඳහන්  කරයි.  "ඔහු බෝල්ශෝයි රඟහලේ රැඟුම් ගැන කියද්දී අපි මහත් රුචියෙන් අසා  සිටියෙමු. 1917 ඔක්තෝබ විප්ලවයෙන් පසු කම්කරුවන්ටද බොල්ෂෝයි රඟහලේ රැඟුම් නැරඹීමට හැකිවන පරිදි ප්‍රවේශ පත්‍ර  මිල අඩු කිරීම හා ඔහු නරඹා තිබු "හංස විලක්" බැලේ රැඟුම ගැන පවසන විට මමද ඒවා මනසින් නැරඹුවෙමි. "

ගාමිණී අවංකව ලියන බව හැඟෙන මේ ප්‍රකාශයන් තුල ජවිපෙ නායකයා හා අනිකුත් සැඟවුණු ක්‍රියාකාරීන් සමග ඔහු වනාන්තරයේ ගත කල දිවිය පිලිබඳ විස්තර ගැබ් වේ. සෝවියට් දේශයේ උගත්තකු වශයෙන් සෝවියට් ජනයාට මේ කියන සංස්කෘතික ජීවිතය තිබූ බව මම දනිමි. 
"මෙකල රෝහණ ආදරය, ප්‍රේමය, අනුරාගය ගැන අප කණ්ඩායම සමග නිදහසේ අදහස් හුවමාරු කර ගැනීමට පුරුදුව සිටියේය. ඔහු කොහොමත් අවිවාහක සගයන්ට පෙම්වතියන් ජෝඩු කළේය" පි 161. මේ අපට විමතියක් ඇති කරන කියුමකි. අපි දැන  සිටියේ එදා ජවිපෙ සාමාජිකයන් අතර පෙම් සබඳකම් තහනම් කළ බවකි. ගාමිණී ප්‍රකාශ කරන්නේ එයට වෙනස් අදහසකි. 

පොත දොරට වඩින  දිනයේ "සති පූජා දර සෑයේ" ගීතය වාදනය කිරීමට මම ගාමිණී ගෙන් ඉල්ලා සිටියෙමි. විමුක්ති ගීතයක් ලෙස මා දැන  සිටි ඒ ගීතයට මගේ කැමැත්තක් තිබුණු අතර  ඒ ගීතය ලියුවේ නන්දතිලක අමදෝරු යන අය බව මා දැන  ගත්තේ මේ පොතිනි. (පි. 179) අමදෝරු සිවිල් සර්වන්ට් විභාගය සමත් වුවද රැකියාව ලබා ගැනීමේ සම්මුඛ පරික්ෂණයට ගොස් නැත. කතුවරයාගේ දේශපාලන ගුරුවරයා වූ ඔහු අවසානයේ දිවි පිදුවේය.  

ඔහු සිර දඬුවම් විඳින විට පැන යම් සඳහා ද්‍රවිඩ සිරකරුවන්ගේ උපදෙස් පතයි. ඔවුන් සිංහල දේශපාන සිරකරුවන් සමග කතා නොකිරීම ගාමිණීට ප්‍රශ්නයකි.  දෙගොල්ලන්ම ඉන්දීය ආක්‍රමණය ටද  ජයවර්ධන රජයටද විරුද්ධය. "ඇයි උඹලා  අපට කතා නොකරන්නේ". (පි. 237 කියවන්න) මේ ගාමිණී සහෝදරයාම පසු තැනෙක නන්දන වීරරත්න, සිරිමල් විජේසිංහ හා ලමාහේවා සංවිධානය කල නිර්මාණ සංවාද කුලකයට නන්දන විසින්  මහාචාර්ය සුචරිත ගම්ලත්, පියසීලි විජේ ගුණසිංහ, කිර්ති බාලසුරිය වැන්නවුන් ගෙන්වීම ගැනද  පසුව නන්දන  විකොසට එක්වීම ගැනද කණගාටුව පල කරයි. නිර්මාණ සංවාද කුලකයට සහභාගී වූවෙකු මෙන්ම පසුව සුචරිත ගම්ලත් ගේ දේශනා වලටද සහභාගී වූවෙකු ලෙස මටනම් මෙහි කණගාටුවක් නැත. අප විසින් ජාතිවාදී  දේශපාලනය ඒ කාලයේ සිටම ප්‍රතික්ෂේප කිරීමේ හේතුවක් ද මෙහි ඇත.  මේ ගැන හොඳ  විශ්ලේෂණයක්  විදර්ශන කන්නන්ගර සහෝදරයා විසින් ඔහුගේ වීඩියෝ පණිවිඩයේ දී  ඉදිරිපත් කරයි. 

පෙසපය මෙහිදී විවේචනයක් එක් කළද සෝමවංශ -විරවංශ ජාතිවාදී සභාගයට එවකට ජවිපෙ අභ්‍යන්තර බෝල්ෂෙවික් පක්ෂයේ නායකයකු වූ කුමාර් ගුණරත්නම් මහතා ද සිටීම ගැන ඔවුන් විස්තර කරන්නේ කෙසේද? 

ප්‍රථම වතාවට ජවිපෙ හිටපු ක්‍රියාකාරිකයෙකු ජවිපෙ අභ්‍යන්තර බෝල්ෂෙවික් පක්ෂය හා එහි සංයුතිය ගැනද ලියවෙන්නේ මෙහිය. ඒ ගැන අපි ගාමිණී මුතුකුමාරණ  සහෝදරයාට ස්තුති වන්ත වෙමු.

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එක්සත් රාජධානියේ ජවිපෙ ප්‍රධාන සංවිධායක දර්ශන හෙට්ටිආරච්චි  මහතාද කතා කළේය.  ඔහු කතුවරයාට තම හෘදයංගම සුභාශිංසන පිරි නැමුවේ මේ පොත අනාගත පරම්පරාවට අතට පත් කල යුතු මහඟු ග්‍රන්ථයක් හැටියටය. .

ජවිපෙ හිටපු ක්‍රියාකාරිකයෙකු වූ සෑම් හෙට්ටිආරච්චි  මහතා ගීතයකින් සභාව පිනවීය.   

පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් දැක්වූ විවේචන වලට නන්දන වීරරත්න සහෝදරයා මෙන්ම ගාමිණී මුතුකුමාරණ සහෝදරයාද අදහස් දක්වන ලදී.

සබරගමු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය  හිනිදුම සුනිල්  සෙනෙවි මහතා වීඩියෝ පණිවිඩයක් එවා තිබූ  අතර ඔහු විසින්  කතුවරයා නිබයව තම මතය හා අත්දැකීම් හෙළි කිරීම අගය කළේය. ඔහු ගාමිණී සහෝදරයාට මෙවැනි පොතක් පල කිරීමේ වටිනාකම පිළිබඳව මුල සිටම දිරිමත් කල බැවින් ඒ ගැන ඉතා සතුටු වන බවද පැවසිය.  

ගාමිණී සහෝදරයගේ මිතුරෙකු වන මහින්ද රූබසිංහ ග්‍රන්ථයේ ඇතැම් පිටු ඇසුරින් වැදගත් මතකයන් රැසක් එලි දැක්වුවේය. සුගත් සෙනෙවිරත්න මහතා ඉංග්‍රීසි  භාෂාවෙන් කල  කතාවේදී මේ පොත අප ඉදිරියේදී සාකච්ඡා කල යුතු බවට සනිටුහන් කළේය.  
 
ජවිපෙ හෝ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නරෝද්නික්වාදයක් ක්‍රියාත්මක කළා නොව එළඹුණු මර්දනයට පිළිතුරු දුන් බව කතුවරයා සඳහන්  කරයි. එම අප තව දුරටත් සාකච්චා කල යුතු මාතෘකාවකි. ඔහු දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය  මගින් ඝාතනය කල එජාප සහ වාමාංශික දේශපාලකයන් ගැන කතා කර නැත.   නෙල්සන් මැන්ඩෙලා සහ දකුණු අප්‍රිකානු නිදහස් ව්‍යපාරය සුදු පාලකයන් විසින්  දැඩි ලෙස මර්දනය කරන ලදී. නමුත් ඔවුන් විසින් මහා ජනයා පෙලනු වෙනුවට තෝරා ගත්තේ මිශ්‍ර  මගකි. ගාමිණී මුතුකුමාරණ ඉතා නිවැරදි ලෙස එම අදහසම ඉදිරිපත් කරයි. සාමාන්‍ය ජනයා  පෙලීම සහ රාජ්‍ය දේපල විනාශය නොකළ යුතුව තිබු දෙයක් ලෙස ඔහු සඳහන් කරයි.

අවසන් වශයෙන්  බෝල්ෂෙවික් පක්ෂයේ ලේකම්   සුමිත් අතුකෝරාල චේ වැනි කෙනෙකු ලෙස කතුවරයා පහදයි. ගාමිණී මුතුකුමාරණ පුර්ණකාලීන  සාමාජිකයා බෝල්ෂෙවික් පක්ෂයට එකතු වන්නේ සුමිත් සමග සම්මුඛ සාකච්ඡාවෙන් පසුවය.  අර්නෙස්ටෝ චේ ගෙවාරා ගරිල්ලා යුද්ධ පිලිබඳ පොතක් 1969 දී ලියා තිබේ. විජේවීරට හෝ සුමිත් ට එය ඇස ගැටෙන්නට නැත. මේ එහි ලිය තිබෙන දෙයකි.

Guerrilla warfare is used by the side which is supported by a majority but which possesses a much smaller number of arms for use in defense against oppression. The guerrilla fighter needs full help from the people of the area. This is an indispensable condition.  ගරිල්ලා යුද්දයක් භාවිතා කරන්නේ බහුතර ජනතාවක් ගේ  සහය ලබන  නමුත් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් මර්දනයට එරෙහිව ආරක්ෂාව සඳහා ආයුධ ගත් කණ්ඩායමකි. ගරිල්ලා භටයාට පළාතේ ජනතාවගේ සහය අත්‍යවශ්‍යම වේ. මෙය බිඳ හෙළිය නොහැකි අවශ්‍යතාවයකි.  
 
It is important to emphasize that guerrilla warfare is a war of the masses, a war of the people. The guerrilla band is an armed nucleus, the fighting vanguard of the people. It draws its great force from the mass of the people themselves. ඉතා වැදගත් වන්නේ ගරිල්ලා යුද්ධයක් යනු බහුතරයකගේ, ජනතාවක ගේ යුද්ධයකි.  ගරිල්ලා කණ්ඩායම සන්නද්ධ න්‍යෂ්ටියයි. ජනතාවගේ පෙරටුගාමී සටන්කාමී කොටසයි. එයට තමන්ගේ ඇති මහත් බලය උකහා ගන්නේ ජනතාවගෙනි.  

සුමිත් අතුකෝරාල සහෝදරයා හෝ ජවිපෙ නායකත්වය මේ ගැන සිතුවාද යන්න අපට ප්‍රශ්නයකි.

මම සභාවේ මුලදීම ගාමිණී මුතුකුමාරණ සහෝදරයා වෙනුවෙන් ගීයක් ඉදිරිපත් කලෙමි. ඒ ග්වන්තන මෙරා නමැති ස්පාඤ්ඤ ගීතයයි. සියෙරා මයෙස්ට්‍රා කඳුකරයේ නිතර වැයුන  ගීතයකි. එය මට කියා දුන්නේ සෝවියට් දේශයේ මා  සමග උගත් ලතින් ඇමෙරිකානු සිසුන්ය. එය අහන්න. 

මා එය තෝරා ගත්තේ ගීතයේ පළමු කොටසේ ඇති මේ වදන් නිසාය.
I plant a snowy rose in January and July,
මම හිම රෝස ගසක් ජනවාරියේ සහ ජූලියේ සිටවූයෙමි 
For the open-hearted friend who puts a helping hand in mine
විවෘත හදවතක් ඇති මිතුරෙකු මට දිගු කළ මිත්‍රත්වයේ දෑත නිසාය 
I am a truthful man; I come from where the palm tree grows,
මම සත්‍යවාදීයෙකු  වෙමි, මම පැමිණියේ තල්  ගස් (හෝ පොල් ගස්) වැවෙන පෙදෙසක සිටය    
I am a truehearted man, who comes from where the palm trees grow,
මම සත්‍ය හදවතක් ඇත්තෙකි පැමිණියේ තල වැවෙන පෙදෙසක  සිට 
Before I lay down my life, I long to coin the verses of my soul
 මගේ ජීවිතය හමාර වන්නට කලින් මම මගේ ආත්ම ගීතය ලියමි 

ගාමිණී මුතුකුමාරණ  සහෝදරයා ඔහුගේ ආත්ම කථනය, ඔහුගේ අතිමහත් ජිවිත අත්දැකීම ඔහුට දැනෙන ආකාරයට ලියා තිබේ. එය විටෙක බියකරුය. විටෙක සුන්දරය. විටෙක ත්‍රාසජනකය. විටෙක වීර කාව්‍යයක් මෙනි. විටෙක  ස්වයං පාපොච්චාරණ වලින් පිරිලාය. මා  එය කියවුයේ විවෘත මනසකිනි.

මම ඔබටද එය කියවීමට අරාධනා කරමි.

මේ ලිපිය මෙතනින් අවසන් නැත.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
අජිත් ධර්මකීර්ති - 28/09/2023

මුලාශ්‍ර - Guerrilla Warfare - Ernesto (Che) Guevera 

ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරිගේ පටිගත කළ කතාව


 



42 comments:

  1. 🏃🏃🏃😁🤔🦉😵‍💫😨

    ReplyDelete
    Replies
    1. පැනලා දුවන් බස්සෙක් දැක්කමයි

      Delete
    2. 🦉🦉🦉🦉🦉🦉🦉🦉🦉🦉🦉🦉🦉

      Delete
  2. දත් නොදත් තතු රැසකි
    ලියා තැබුමම යෙහෙකි
    මතුත් අරගල කරන
    උදවියට අත්වැලකි!

    ReplyDelete
    Replies
    1. නොදත් දත් තතු තිබේ
      ලියන්නට කල් නැතේ
      නිදි ගේ අරගල පොතේ
      හිංසාව නෑ පුතේ

      Delete
    2. ගොඩක් කල් හිට හිතේ
      තියෙන දහමකි මෙතේ
      සත්ත්වයෝ මෙදියතේ
      අදහතොත් වෙයි සෙතේ

      සබ්බේ තසන්ති දණ්ඩස්ස
      සබ්බේ භායන්ති මච්චුනෝ
      අත්තානං උපමං කත්වා
      න හනෙය්ය න ඝාතයේ
      (ධම්ම පදය- දණ්ඩ වග්ගයෙනි.)

      Delete
  3. පොත කියවීම සඳහා ලිපිය උත්තේජනයක් සපයනවා. මෙය දැන් පොත්හල්වල තිබේද?

    ReplyDelete
    Replies
    1. මා දන්නා පරිදි තිබේ

      Delete
  4. විජේවීර රටේ නායකත්වයට පත් වුනා නම් මුතුකුමාරණට පොල්පොට්ගේ කෝකියා වෙන්ට ඉඩ තිබුණා.

    ReplyDelete
    Replies
    1. අපි හරියටම දන්නේ නැති තැනක් ඒක. පොල්පොට් ගැන (කාම්බෝජ සංචාරය) ලියද්දි මම ඒක ලිව්වා. මෙතැනදී පොල්පොට් ල වුනේ ආණ්ඩුව නේද? පැත්ත මාරු වුනා විතරයි

      Delete
    2. අම්මට සිරිගජ සිපිපියා ටත් හිතෙන දේවල් .

      Delete
  5. විජේවීර ලෙනින්ගේ මල්ලි ලෙස සලකමු.

    මොකද ලෙනින්ගේ අයියා නරෝද්නික්වාදියෙක්. මල්ලි ද එසේ වීම පුදුමයක් නොවේ.

    ReplyDelete
    Replies
    1. විජේවීර සෝවියට් දේශයේදී ගත්තේ මාඕ ස්ථාවරය , පොල්පොට් ගත්තෙත් ඒක . ගාමිණී පොතේ කියන්නේ නරෝද්නික් නැහැ කියල

      Delete
    2. සිපිපියා යනු මානසික රෝගියෙකි.

      Delete
  6. අනිවාර්යෙන්ම කිව්වේ කියවිය යුතු පොතක් බව පෙනේ.

    ReplyDelete
    Replies
    1. කියවා අදහස ලියන්න , වැදගත් වෙයි

      Delete
  7. පොත ගැන ලියල තියෙන post එකත්... අගෙයි ✍👌!

    ReplyDelete
  8. අජිත්,

    මේක මේ ලිපියට අදාළ එකක් නෙමේ.

    මුලින් දැකපු වෙලේ ඕනේ එකක් ප්‍රීති වෙසක් කියල හිත හද ගත්තත්, ඇල්කොහොල් ටිකක් බ්ලඩ් ස්ට්‍රීම් එකට එකතු උනාට පස්සේ ඕනනේ ඔහේ ලියල දානවා කියල හිතුන...

    මම වෙන බ්ලොග් හොයාගන එන්නේ ඔයාගේ බ්ලොග් එකට. ඒක හරියට මවු යානයට ආවා වගේ. ඔයා ලින්ක් කරලා තියන අනිත් බ්ලොග් බලනකොට තමා දැක්කේ මේ මරුවා කියන එක.

    පළවෙනි ආර්ටිකල් එක කියවලා හොඳවයින් දෙකක් කියන්න කියල බලනකොට කොමෙන්ට් දාන්න බෑ. තමන් ගේ අදහස් වලට ප්‍රතිචාරයක් බාරගන්න බැරි මේ වගේ ගොබිලෙකු ගේ බ්ලොග් එකක් ඔයාගේ ලිස්ට් එකේ තිබීම ගැන බොහොම කනගාටුයි.

    ReplyDelete
    Replies
    1. ගණන්ගන්ඩෙපා බොස් ඔය මරුවා, නලිම් සිල්වා වගේ ගැජට් එක හැලිච්චි නිසා ඉදිරියට එන්න බැරිව හැංගිලා ඉඳං වටේටම ගල් ගහන සෙට් එකක් ඉන්නවා.

      Delete
    2. //පළවෙනි ආර්ටිකල් එක කියවලා හොඳවයින් දෙකක් කියන්න කියල බලනකොට කොමෙන්ට් දාන්න බෑ. තමන් ගේ අදහස් වලට ප්‍රතිචාරයක් බාරගන්න බැරි මේ වගේ ගොබිලෙකු ගේ බ්ලොග් එකක් ඔයාගේ ලිස්ට් එකේ තිබීම ගැන බොහොම කනගාටුයි.// නියම කතාව පාර දිගේ. අර චටුෂ කුමාර කියල හෙම ස්කොට්ලන්තේ ඉඳන් කොමෙන්ට් දාල , රනිල් ගේ කවුද ලව්වා මරන්න් එනවා කියල කොමෙන්ට් දාන්නේ එයා තමා. එයලට පට්ට විධිහට (ඔය ඇනෝ කීව වගේ කෙල වෙලානේ ඉන්නේ. ගෝතා ගෙන්බ. ඇරිය රිඹ යන්නම . දැන් අන්තිමට බැනපු රනිල්ම ඇවිත්. ඉතින් අනුකම්පා කරන්න. කොමෙන්ට් දාන්න දුන්නොත් ලෙලි යන්න පොරවල් ඇවිල්ල අරිනවනේ පැරණ කේස් ඇදල . ඉතින් අනුකම්පා කරන්න. දැන් ඔය ලින්ක් එක දැම්මේ නැත්නම් ඔයා දන්නේ නැහැනේ අවුල් කියල. මම දෙනව මරුව බ්ලොගයේ අසාධාරණ බ්ලොග් ලිපි වලට එරෙහිව කමෙන්ට් දාන්න මේකේ. අර සමන් කුමාරට බැනලා තියෙන්නේ

      Delete
    3. //දැන් ඔය ලින්ක් එක දැම්මේ නැත්නම් ඔයා දන්නේ නැහැනේ අවුල් කියල.//

      ඒක නම් ඇත්ත! ඔබේ උසස් ගුණයක් මේ! බොහොම ඉස්තුතියි අජිත්!

      Delete
    4. බොහොම ස්තූතියි පාර දිගේ. මට විරුද්ධව ප්‍රතිචාර වලර වුනත් කිසියම් සීමාවක් ඇතිව ඉඩ දෙනවා. ඔබට අපහසුතාවයක් එනවා නම් ඒ බ්ලොගයට නොයා ඉන්න. හැබැයි ඔබේ කොමෙන්ට් එක නිසා වෙන්න පුළුවන් ඔහු දැන් කොමෙන්ට් ඇරලා

      Delete
  9. සත්තකින්ම මම කියෙව්වේ නෑ!
    ඒ හිතේ කිසියම් කහටක් නිසා නොවෙයි. එහෙම උනානං මේ අකුරු ටික ලියන්න වෙන්නේ තව සතියකින්.
    උදේ පාන්දර 'සඳකඩපහනට' ගොඩ වැදිලා බැලුවාමයි දැක්කේ බොහෝ අය ලියලා: මම නැවති නැවතී එනකොට කියලා!
    ඒ අය වෙනුවෙන් මගේ ස්තූතිය පුද කරණ්නයි මේ අකුරු!

    ReplyDelete
  10. මම ආපහු බ්ලොග්වලට ආ බව කියන්නයි ආවේ. ලිපිය කියවන්න ආයෙත් එන්නම්...

    ReplyDelete
    Replies
    1. අන්න එන්න , වල්කම් බැක්

      Delete
  11. සඳකඩ පහන එකේ කොහෙද කමෙන්ට්

    ReplyDelete

  12. //දරවිඩ ත්‍රස්තවාදීන් විසින් රජයේ හමුදාවල් දහතුන් දෙනෙකු බිම් බෝම්බ වලින් ඝාතනය කල පසු දෙමළ ජනයා මර දමමින් හා දේපල වලට පහර දෙමින් ඇතිවුණු කලබල වලට ජාතිවාදී එජාප කොටස් වල සහය තිබුණු අතර තැනින් තැන කුඩා ප්‍රමාණයෙන් ශ්‍රීලනිප හා ජවිපෙ පිරිස්ද සහභාගී වුනු බව සැබෑය.//

    මෙතන අජිත් ජවිපෙ ජාතිවාදී ප්‍රහාර කළා කියන එක නම් පට්ටපල් බොරුවක්, හිතාමතාම බොරු කියන්න එපා අජිත්, හරිම වැරදි කතාවක් නිසා මේක වහාම ඉවත් කරගන්න, නැත්නම් සාක්ෂි වහාම ඉදිරිපත් කරන්න, ඕකට කිසිම සාක්ෂියක් නැහැ. ජවිපෙ, විශේශයෙන් ජාතික ජන බලවේගයේ NPP අපි සිංහල ජාතිවාදී පටු දේශපාලනයට දැඩිව විරුද්ධයි.

    ජාතික ජන බලවේගයේ අපි සමීපව මුස්ලිම් සමාජ දේශපාලන ක්‍රියාකාරිකයන් එක්ක කටයුතු කරනවා තමයි ඔවුන් අන්තවාදීන් ලෙස ඔබ දකිනවා ඇති නමුත් අපේ නවීන සමාජවාදී කියවීම අනුව ආගමික අන්තවාදය කියා දෙයක් නෑ තිබෙන්නේ ආර්ථිකයේ ප්‍රතිලාභ අසමමිතික ලෙස බෙදීම නිසා සහ සිංහල දේශපාලන කණ්ඩායම් වල වර්ගවාදී ජාතිවාදී සැලකීම නිසා මුස්ලිම් සිත් වල හටගන්නා කලකිරීම නිසා පෙන්වන යම් හැසිරීම්. අපි ඔවුන් අපේ නවීන සමාජවාදී දේශපාලන ධාරාවට යොමු කරගත යුතුයි .ඉබ්‍රාහිම් හජ්ජියාර් අපේ පක්ෂයේ ජාතික ලැයිස්තුවට අපි ගන්නේ අන්න ඒ න්‍යාය අනුව.රුසියාවේ ඉස්ලාමීය සහ වෙනත් ජනකොටස්, චීනයේ විවිධ ජනකොටස් එක කොමියුනිස්ට් කොඩිය යටතේ එක්වුණේ අන්න එහෙම.මුස්ලිම් අන්තවාදය කියන්නේ ආර්ථික හේතු නිසා හටගන්නා තත්ත්වයක් .ධනවාදී සුරා කෑම නැවැත්වීම මගින් ඉස්ලාම් අන්තවාදය ඉබෙටම නවතියි.ජාතික ජන බලවේගය ඉස්ලාම් සියලුදෙනා බෙදීමක් නැතිව පිළිගන්නේ ඒ නිසයි වහාබි සලාෆි ,අහමාදියා මේ සියලු ආගමික දර්ශන අදහන සියලුම දෙනා මේ රටේ ජනතාව.ඔවුන්ට වෙනස්ව නොසැලකිය යුතුයි අන්තවාදී වර්ගවාදී දේශපාලන පක්ශ වලට අයත් සිංහලයන් ජාතික සමගියට බාධාවක් නිසා අප ඔවුන්ට එරෙහිව සමාජය දැනුවත් කරමින් දැඩිව ඔවුන්ට දේශපාලන වශයෙන් පහරදී එම මතවාදය සම්පූර්නයෙන්ම විනාශ කළ යුතුයි , NPP අප එය උපරිමයෙන්ම කරනවා.

    ReplyDelete
    Replies
    1. අංක එක - මම ලිව්වේ පට්ටපල් බොරුවක් කියන්න ඔයා කව්ද? ඇනොනිමස් එන්නේ නැතිව තමන්ගේ ඇත්ත නමින් ඉස්සෙල්ල එන්නකෝ, දන්න මගුලක් කතා කරන්න ඉස්සෙල්ල. ජවිපෙන් මරපු අය ගැනත් සාක්ෂි නැහැ කියනවද ඔයා? එහෙමනේ දැන් කතාව යන්නේ.
      මම 1983හිටියේ ලංකාවේ , කොම්පඤ්ඤ විදියේ. මැද කොළඹ සහ දකුණු කොළඹ , බොරැල්ල දෙමල අයට ගැහුවේ ඇ. ගූ. හාමුදුරුවන් ගේ මදාවියෝ ටික. උදව් දුන්නේ හූඇන්පි සංවිධායක කෙනෙක්, හරිය. ශ්‍රීලනිප සහ ජවිපෙ පක්ෂ වශයෙන් ඒකට උදව් දුන්නේ නැහැ. ලියල තියෙන එක හරියට කියවන්න. //තැනින් තැන කුඩා ප්‍රමාණයෙන් ශ්‍රීලනිප හා ජවිපෙ පිරිස්ද සහභාගී වුනු බව සැබෑය.// ඔය කඩ වලට ගහපු සමහර තැන් වල ශ්‍රී ලනිප සහ ජවිපෙ කට්ටිය හිටිය. විශේෂයෙන් කොම්පඤ්ඤ විදියේ සිවා ට්‍රේඩර්ස් එකේ ඉඳන් මුත්තයියා පාක් එක ගාවට බේකරියට ගැහුවේ ශ්‍රී ලනිප/ ජවිපෙ සෙට් එකක්. මොකද උන්ගේ සපෝර්ට් එක තිබ්බේ යුඇන්පී එකට නිසා. මම නම් වශයෙන් දන්නවා. ඒ සමහර අය පදිංචි වෙලා හිටියේ වෙළුම් පැසේජ් එක සහ මැලේ විදියට අල්ලපු පාරේ. හාහ් එතකොට කොල්ලුපිටියේ ධර්මකිර්ත්‍යරාමය පන්සල ගාව පැත්තේ ඉඳන් ආව ජවිපෙට සහය දෙන සෙට් එකක් ගැහුවා ගාලු පාරේ කඩ වලට. ඒවා ගොඩක් යුඇන්පී කඩ. කොළඹ ගොඩක් කඩ යුඇන්පී එකට සහය දෙන්නේ පක්ෂේ ජාතිවාදී වුනත් ඒ දවස් වල. ඕක මම හොන්දටම දන්නා දෙයක්. නමුත් ජවිපෙ තහනම් කෙරුවේ ඒවාට නෙමෙයි. ඔය ගාමිණී සහෝදරයා කියන හේතුවට.

      Delete
    2. අංක දෙක - ඕගොල්ලෝ හිතන්නේ අපි මැරිලා ඉපදිලා කියලද? සෝමවංශ අමරසිංහ කියන්නේ සිංහල බෞද්ධ පට්ට ජාතිවාදියෙක්. එයයි විරවංශ සහ රහසිගත පක්ෂයේ නායක කුමාර් නුයි ඔක්කොමල එකතු වෙලා තමා රාජපක්ෂලා ගෙනාවේ. අපට ඕන වුනේ කදිරගාමර්. 1984 ඉඳන් මම , දීප්ති කුමාර ගුණරතන (දැන් එයා රාජපක්ෂලාට සහයෝගය දෙනවා කියනව කට්ටිය), නන්දන් වීරරත්න , සිරිමල් විජේසිංහ වැනි ගොඩක් අය විජේවීර ගේ ස්ත්වරයට විරුද්ධව හිටියේ. ඊට පස්සේ සෝමවංශ විරවංශ සුසංයෝගයට. ආණ්ඩුව තනි බොරුවක් කලේ බටහිර දෙමල අයට පක්ෂයි රුසියාව චීනය පමණක් ආණ්ඩුවට පක්ෂයි කියල . ඒවා ඔක්කොම විහිළු. බටහිර රටවල දෙමල චන්ද බේරා ගන්න ඔවුන් බොරු රනග පෑමක් කලේ. ඉන්දියාව සහ ඇමෙරික එක්සත් ජනපදය තමා කොටින් ගේ නැව් වලට ගහන්න ඔත්තු දුන්නෙත්. රනිල ට මගේ කැමැත්ත අකමැත්ත මොක වුනත් අර අකරුන්ව කලා, උන්ව තායි යවල් එනම් මනම් කරලා යුද්ධයක් නැතිව ගේමෙන් කඩන්න තිබ්බ එක තමා ඔයාල රජ්ස්පක්ෂ ඇදගෙන යුද්ධ කලේ. අන්තිමට රටටම කෙලෙව්වා. ඒකෙන් නිකන් මිදෙන්න පුලුවන්ද

      Delete
    3. අංක තුන - ගාමිණී සහෝදරයා ඇතුළු පරණ පක්ෂයේ ගොඩක් අය ජාතිවාදී නැහැ. නමුත් ඇමෙරිකාව කොටින්ට සහයෝගය දෙනවා කියලා වැරදි මතයක හිටියේ. වර්තමාන ජාතික ජන බලවේගයේ නායකයෝ ජාතිවාදී නැහැ කියන එකට එකඟයි, විශේෂයෙන් අනුර කුමාර දිසානායක, හරිනි , නලින්ද වගේ අය ජාතිවාදී නැහැ. අනික දැන් ජාතික ජන බලවේගය ජාතිවාදී මාවතක යන්නේ නැහැ. NPP එකේ මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂයද දැන් ජාතිවාදී නැහැ කියල මම පිලි ගන්නවා. නමුත් ජවිපෙ කට්ටියක් ලන්ඩන් සමුළුවේදී කෑ ගැහුවා 13 වන සංශෝධනය දෙන්න එපා. පොලිස් බලතල දෙන්න එපා වගේ දේ කියල. මට ඇහුනනේ.

      Delete
  13. ආගමිකඅන්තවාදය කියල එක්ක නැහැ කියන මතයට මම විරුද්ධයි. එහෙම එකක් ලංකාවේ තියෙනවා. ජාතීන් තුනෙන්ම. සිංහල බෞද්ධ, හින්දු සහ මුස්ලිම් - ඔය තුනේම අන්තවාදියෝ ඉන්නව. ඔප්පු කරලා ලියන්න පුළුවන්. අනික රුසියාවේ හිටපු මට ඉස්ලාමිය ජන කොටස් එකතු වෙච්ඡ විධිහ ගැන උගන්වන්න එන්න එපා. ස්ටාලින් ගේ කාලේ පල්ලි ඔක්කොම සමතලා කළා ගොඩක් තැන් වල. අපි හිටිය කාලේ තරමක් දුරට ගොඩ නගන්න දුන්න. සෝවියට් දේශය බිඳ වැටිච්ච ගමන් උන් ඔක්කොම ආගමික පැත්තට ගියා. චිනේ මුස්ලිම් ආගමික අන්තවාදයට සලකන හැටි බලන්න Uyghurs වරු ඉන්න පැති වලට යන්න. අනේ නිකන් අපට උගන්නන එන්න එපා ඒවා. වහබි දර්ශනය එන්නේ සවුදියෙන්. උන් වෙන කිසිම ජාතියක් එක්ක එකතු වෙන්න කැමති නැහැ. අනිත් ආගම් වල ගැහැණු වහලියන් සහ අවශ්‍ය නම් පිරිමියාට ලිංගික සංසර්ගයට ප්‍රයෝජනයට ගත හැකි පහත් ජාතියක් හැටියට සලකන්නේ. අයිසිස් එකට යටත් වුනු ඉරාක ප්‍රදේශ වල ගැහැනුන්ට සැලකුවේ කොහොමද? වෙන්දේසියේ දාල විකුණුවේ. එනිසා පරිස්සමෙන් කටයුතු කරන්න ඕනේ ජාජබ වුනත්.
    https://www.aljazeera.com/news/2021/7/8/uighurs-timeline

    ReplyDelete
  14. චීනේ ගැන
    https://www.aljazeera.com/news/2021/7/8/uighurs-timeline

    ReplyDelete
  15. යකෝ අජිත් ලංකාවෙ බයි ටොයි භේදය ව්‍යාජයක් බවට හොදම උදාහරණයක් තමයි රනිල්. දැං ඔය බයි ටොයි කතාව අනුව ගත්තොත් රනිල් තමයි ලොකුම ටොයියා. මංගලත් ලොකු ටොයියෙක් තමයි. නමුත් රනිල් අර ජර්මන් මාධ්‍යවේදියා එක්ක කතා කරේ තනිකර බයි ස්වභාවයෙන්. ඒ වගේම මංගල කියන්නෙත් කුල සාධකය ලොකුවටම තමන්ගෙ ඡන්ද පදනමට වගේම වෙනත් කටයුතු වලදීත් පාවිච්චි කරපු කෙනෙක්. මම පෞද්ගලිකව දන්නවා ඒ ගැන, අනික ඔය බයියෝ මැරිලා යොදාගත්තා වගේම ටොයි කියන අයත් කුරුඳු පොලු බලකාවලින් සහ ගිය වසරේත් පාරේ පොලු වලින් ගහල ගෙවල් ගිනි තියල යුක්තිය පසිදලීම වෙනුවෙන් පහුගිය කාලෙ පෙනී හිටියෙත් ඒකයි.

    මේ නිසා ඉතාම පැහැදිලිව පෙනෙන ලෙස ඇත්තටම ලංකාවෙ ඉන්නෙ බයියන් පමණයි. ඉන්න දෙපිරිස තමා තමන් බයියන් බව පිළිගන්නා සහ සමහර විට ඒ ගැන ආඩම්බර වන පිරිස. අනෙක් අය තමන් බයියන් බව පිළිගන්න අකමැතියි සහ ඒ ගැන හිනමානයක් තියෙනවා. ඔච්චරයි වෙනස. සත්‍ය ටොයියන් ඉන්නෙ බටහිර රටවල වෙන්න පුළුවන්. සමහර විට පොඩි කාලෙම බටහිර රටක ඉපදිලා එහේම හැදිච්චි අය අතර ටොයියන් ඉන්න පුළුවන්. මොන්ටිසෝරිය දක්වා හෝ ලංකාවෙ හිටියනං තනිකරම දාර බයියම තමා. ඒක ආයෙ මක්කරලවත් ඒ බයිකම අරින්න බෑ ඕයි අජිත්.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ එහෙම භේදයක් ලොකුවට නැති බවයි මගේ අදහස. මිනිසුන් ඉතා ඉක්මනට අදහස වෙනස් කර ගන්නව

      Delete
  16. අපි දෙතුන් දෙනෙක් අද (සෙනසුරාදා රාත්‍රී 10ට ) පෝස්ට් එක බැගින් දාන්නයි යන්නේ. මම ඒකට නමක් දුන්නා "ශනිදා දහයට" කියලා . (හිනා වෙන්න එපා) බලමු ඊළඟ සෙනසුරාදා; "ශනිදා දහයට" එකතුවෙන්න!

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .