Sunday, 2 June 2019

සදා සමරමු සොහොයුරෝ - ගිනිගත් දෙරණක සීතලක් කොයින්ද

පසුගිය සෙනසුරාදා දිනය විශේෂයෙන්ම  වෙන් කර ගත්තේ  අසාර්ථක විප්ලවයන් දෙකකට නායකත්වය දුන් අපූර්ව මිනිසෙකු ගැන වූ වෘත්තාන්ත චිත්‍රපටයක් නැරඹීමටය. මා උදක්ම ගියේ,  මාද  සෝවියට් දේශයේ උගෙනුම ලැබූවකු නිසා,  හැට ගණන් වල වැනි ඈත කාලයක  සෝවියට් දේශයේ ඉගෙනුමට ගොස් නැවත  පැමිණ  සමාජවාදී විප්ලවයක් දියත් කළ විප්ලව වාදියෙකු ගේ විප්ලවීය  දිවිය ධනවාදී රටක  සුළු ධනේශ්වර දිවියක් ගෙවන  අප වැන්නවුන් ට වඩා කොතරම් ශ්‍රේෂ්ඨ ද  යන්න වටහා ගැනීමට චිත්‍රපටය උදව්වක් වනු ඇති යයි සිතාය.


චිත්‍රපටයේ අධ්‍යක්ෂක වරයා වන අනුරුද්ධ ජයසිංහ මහතා තමන් හිටපු ජවිපෙ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් බව  සරසවිය පුවත්පතට පවසා තිබුණි. ඒ අනුව  එතුමා තමන්ගේම  අත්දැකීම් සහ විජේවීර සහෝදරයා ට  තිබෙන අප්‍රමාණ ගෞරවය මත මේ චිත්‍රපටය නිර්මාණය කළ බවට අපට උපකල්පනය කළ හැකිය.   වඩා සුපරික්ෂාකාරිව විමසා බැලුවහොත්  රන්ජන් රාමනායක පන්නයේ චිත්‍රපට වලට වඩා  මෙය ඉතා උසස් සිනමා කෘතියක් බව නොකියා බැරිය.  සැබවින්ම පවසනවා නම් පිට රටවල  දිවි ගෙවන විප්‍රවාසීන් වන අප වාසනාවන්තයයෝ වෙමු.ඒ ඉතා හොඳ  හොඳ නිර්මාණශීලි  සිංහල චිත්‍රපට කිහිපයක්ම පසුගිය සමයේ නැරඹීමට හැකි වූ බැවිනි.

අනුරුද්ධ ජයසිංහ මහතා තෝරා ගත් නළු නිළි සමූහය ම විශිෂ්ඨ ලෙස තම රංගනයෙන් මේ සිනමා කෘතියේ දායකත්වය සැපයූ බව සඳහන් කළ යුතුයි.  කමල් අද්දර ආරච්චි යනු  කොහොමත් විශිෂ්ඨයෙකි. ඔහුගේ රංගන කුසලතාවන් පිලිබඳ විවාදයක් නැති අතර ඇතැම් සුළු තත්පර ගණනකට ඔහුට විජේවීර මගහැරී ගියත් අනුරුද්ධ වෙනුවෙනුත් අප වෙනුවෙනුත් ඔහු සාධාරණය ඉටු කොට තිබේ.      උපතිස්ස ගමනායක  ලෙස  ජගත් මනුවර්ණත් රංගනයෙන් ප්‍රබල සහයක් කමල්ට  දී තිබේ. විජේවීරගේ බිරිඳ ලෙස රඟපාන සුලෝචනාද , එසේම  සිරි අයියා, ලයියා හා නන්දන මාරසිංහ ගේ චරිත ද විහිද යන සිනමා පටයට නොමද ආලෝකයක් සපයා ඇත. එසේම ධනුෂ්ක ගුණතිලක නැවතත් තමන් සිනමා කැමරාකරණයේ ඇති දක්ෂයෙකු බව ඔප්පු කර ඇත.

 ඕස්ට්‍රේලියාවේ වෙසෙන ලයනල්  බෝපගේ මහත්මයා  සමගද කතා බහ කර උපදෙස් ලබා ගත් බව පවසා ඇති නිසා චිත්‍රපටයේ  ඒ මහතා සම්බන්ධ සිදුවීම්  ගොඩක් දුරට සැබැවින්ම සිදුවූ ඒවා යයි ද  උපකල්පනය කළ හැකිය.

නදීක ගුරුගේ ගේ සංගීතය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයට බොහෝ සමාන යයි මට සිතුනි. සැබවින්ම ඉතා  නිර්මාණශීලි ආකාරයට  නදීක ගුරුග තම කාර්යය මැනවින් ඉටු කර තිබේ. චිත්‍රපටයේ සංගීතය අළලා වෙනම සී ඩී පටයක් වත් නිර්මාණය කිරීමට ඔහුට අදහසක් ඇත්තේ දැයි නොදනිමි. නමුත් මට නැගුන එක සිතිවිල්ලක් නම්  නන්දන මාරසිංහගේ විමුක්ති ගී වලින් ඒ දිනවල  ජනප්‍රිය වූ  ගීතයක් වත් ඇතුළත් කළානම් වඩා සාධාරණයක් ඉටු කිරීමට හැකිව තිබුනා යයි කියාය.

ඒ දිනවල හොරෙන් මෙන් ඇසූ   "සති පූජා දර සෑයේ , හිර වී මොට්ක්ටැක්කිලියේ , සාර සංඛ්‍ය කප්  සියයක් වධයට කැපවූ කතුනේ " වගේ ගීතයක කොටසක් හෝ  වාදනය වුණා නම් කියා නොස්ටැල්ජික හිතිවිල්ලක්ද පැන නැගුණි.

නන්දන මාරසිංහ ගැනද  සිහියට නැගුනේ මේ ආකාරයටය..
මට සිතෙන්නේ  නන්දන මාරසිංහ ඝාතනය සාධාරණීකරනය කිරීමක් යාන්තමට වගේ හැඟවුණු බවයි. චිත්‍රපටයේ "නන්දන සහෝදරයා  ව"  ඔහු සිටින අවසාන දර්ශනයක පෙන්වන්නේ නරඹන්නාට  පිටුපස හරවා ගෙන මේසයක  හිඳගෙන කාටදෝ කිසියම් දෙයක් පවසන ආකාරයකිනි. මට පෙනුනේ ඒ  නන්දනට එරෙහිව නගා ඇති "පොලිසියට ඔත්තු දීමක් " යන චෝදනාව අනුමත කිරීමක් වශයෙනි. ඊටත්  අමතරව විජේවීර සහෝදරයා කෙලින්ම නන්දන විවේචනය කරන තැනක්ද චිත්‍රපටයේ අනවශ්‍ය ලෙස ඇතුළත් කර ඇත. මට සිතුනේ මේ නම් නන්දන  මරා  දැමීමේ  තීරණයේ කැළල මග හරවා ගැනීමට කළ උපක්‍රමයක් ලෙසය.

ලන්ඩනයේ වෙසෙන  පැරණි විප්ලව වාදියෙකු වන ගාමිණී මුතුකුමාරණ සහෝදරයා මා සමග දිනක් දීර්ඝ වාදයක පැටලුනේ මේ ගැනය . ඒ මහතා දැඩි ලෙසින් අවධාරණය කර පැවසුවේ,  නන්දන  අනුරාධපුර පොලිසියට යන බව ඔහු පෞද්ගලිකවම දන්නා බවයි.    හේතුව එවැනි වූ අවස්ථාවක  ඔහුද සිටියේ  අනුරාධපුර පොලිසියේ කූඩුවක බවයි.

නමුත් ලන්ඩනයේදී   මට හමුවුන ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මහතා කීවේ වෙන කතාවකි. මා ලෙසින්ම ආචාර්ය සුනිල්ද  ඉගෙනුම ලැබුවේ  සෝවියට් දේශයේය. එසේම  විජේවීර මහතා ලෙසින්ම  ලුමුම්බා විශ්ව විද්‍යාලයේය. ඔහුත්,  සුනිලා  අබේසේකරත්  (මේ කියන්නේ අර " සොඳුරු සයනේ ගීතය" භාවාත්මක ලෙස ගයන , කාන්තා විමුක්තිය වෙනුවෙන් අභීතව  නිරතුරුව සටන් කල , 71 කැරැල්ලටද   සම්බන්ධව සිටි වීර සහෝදරිය ගැනය.) නන්දන ගේ ඝාතනයට  කලින් දිනක රැයේ සුනිලා සහ සුනිල් හිඳ ඇත්තේ නන්දන සමග අනුරාධපුරයේය. ඔවුන් ඝාතනය කිරීමට නියමිත බව  ජවිපෙ හිතවතෙකු ගෙන්ම  ඔත්තුවක්  ලැබී තිබේ. සුනිලාත් , සුනිලුත්   නන්දනට ආයාචනා කලේ ඔවුන් සමග කොළඹ පැමිණ සැඟවී  සිටින ලෙසය. නන්දන එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නේ  "ජවිපෙ කොල්ලෝ ඔහුට  'අතක් තියන්නට' නොඑන බවට" දැඩි විශ්වාසයක්ද  පල  කරමිනි . පොලිසියට ඔත්තු සපයන අයෙකුට එවැනි විශ්වාසයක් තිබිය හැකිද?  අවම වශයෙන් පොඩි හෝ  සැකයක් මතු වන්නේ නැත්ද?
මේ මම 2016 දී නන්දන මාරසිංහ  ගැන ලියූ  ලිපියකි. නන්දන මාරසිංහ ගේ මරණය. මෙහි  රන්ජි නම් සහෝදරයා තරමක  වෙනස් ආකාරයක අන්දරයක් පවසයි.

චිත්‍රපටයේ ඉතාමත් අනවශ්‍ය ලෙස සඳහන් වන තව අයෙක් නම්  දයාන් ජයතිලකය. අද දින කෙසේ වෙතත් එදානම්  ජවිපෙ  සිටියේ දයාන් විරෝධීවය. මට මතක හැටියට  ඒ දිනවල  "කොක්ක ගහන්නට " පැමිණි සහෝදරයෙකු කීවේ දයාන් සීඅයිඒ කාරයෙක් බවය. ඔහු ඉටු කරන්නේ ශ්‍රී ලංකාවේ සීඅයිඒ ව්‍යපෘති බවය. ඉතින් ඒ නිසාම  මම දයාන්ගේ දේශන කිහිපයකට ගියෙමි. ලතින් අමෙරිකානු විප්ලව ගැන හා ලතින් ඇමෙරිකානු දේශපාලනය ගැන ඒ දිනවල  හොඳම අදහස් ප්‍රකාශ කළේ ආචාර්ය දයාන් ජයතිලක බව සිතමි. අනික් කාරණය නම්  මර්වින් සිල්වා මහත්මයාගේ ශ්‍රී ලංකා ගාර්ඩියන් යනු ඒ දිනවල ඉතා  හොඳ දේශපාලනික ලිපි පළවුණු සඟරාවකි. මට හිතෙන්නේ මේ දයාන් විරෝධය පැමිණියේත්  විජේවීරගේ නායකත්වයෙන් ජවිපෙ දෙමළ  අරගලය ඈත් කරමින් තනි සිංහල අරගලයක් වෙතට යොමු වීමෙන් පසුව බවයි. ඉතිහාසයේ සරදම නම් ඉන්පසු දයාන් ජයතිලක මහින්ද හරහා ගත්තේ ද ජවිපෙ ස්ථාවරයමය.

දෙමළ සංවිධාන වලට ඒ දිනවල සහය දුන්නේ ඉන්දියාවයි. ඉන්දියාව ඒ දිනවල විදේශ ප්‍රතිපත්තිය හා ඉන්දිරා ගේ මිශ්‍ර ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක  කරමින් සිට ගත්තේ   සෝවියට් කඳවුරේය. දැන් මෙන් ඇමෙරිකා එක්සත් ජනපදය සමග නොවේ. ඉදින්  විජේවීර "සහෝදරයා" පැවසූ   LTTE එක සම්බන්ධයෙන් තිබුනා යයි කියන ඇමෙරිකානු අතපෑම  පිළි  ගැනීමට හැකි එකක් නොවේ. ජූලි කලබල හා ඉන්පසු රජීව්/සෝනියා හරහා ඉන්දීය ස්ථාවරය  වෙනස් වීමෙන් පසු ඇමෙරිකා  එක්සත් ජනපදය වේදිකාවට  එළඹී බවත් ඔවුන් ට යම් ආකාරයක දෙමල ත්‍රස්තවාදී සංවිධාන වලට  බලපෑමක් කළ හැකිව තිබු බවත් සත්‍යයකි. නමුත් 1983,-1988 කාලයේ නම් නොවේ. ඒ දිනවල  ද්‍රවිඩ අරගලය පිටුපස තිබුනු  ප්‍රධානතම  විදේශ බලවේගය ඉන්දියාවයි.


චිත්‍රපටයේ ස්වයංනිර්ණය අයිතිය පිලිබඳ අදහස් පල කරන කොටසද අවශ්‍යම නැති එකකි. හේතුව විජේවීර මහත්මයාගේ (සහෝදරයා නොවේ)  ලෙනින් කිව්වාය කියන අදහසම මතභේදයට තුඩුදෙන එකකි.  විජේවීර මහතා පුන පුනා කියන්නේ ස්ටාලින්ගේ අදහස මිසක් ලෙනින්ගේ අදහස නොවේ.  ස්වයන් නිර්ණන අයිතිය පසෙකින් තබා දෙවන ලෝක යුද්ධයෙන් පසු නැගෙනහිර යුරෝපීය  රටවල් සෝවියට් චන්ද්‍රිකා  බවට පත් කර ගත්තේ ස්ටාලින්ය. ලෙනින් පැවසුවේ පීඩිත ජනතාවකගේ  ස්වයං නිර්ණය අයිතිය පිළිගත යුතුය, ඔවුන් මහා ජාතියේ බන්ධනයෙන් මුදවා ගන්නේ නැත්නම් මහා ජාතියේ කම්කරු පන්තිය නිදහස් නැත යනුවෙනි. (පහල ලෙනින් ගේ කෘති වල 22 වෙළුමෙන් උපුටා ගත් සටහන් බලන්න)   රුසියානු අධිරාජ්‍යය යටතේ තිබූ ෆින්ලන්තය ළඳරු සෝවියට් රාජ්‍යයෙන් වෙන්වී යන්නේ මේ නිසාය. එසේම ෆින්ලන්තය ආර්ථික වශයෙන් වඩා දියුණු නිසා සෝවියට් රාජ්‍යය ට එය වාසියක් වේ යයිද  ලෙනින් සිතුවේය. ලෙනින්  නිවැරදි බව පසුව ඔප්පු වුනු අතර ෆින්ලන්තය අදත් සමෘද්ධිමත් ආදර්ශවත් රාජ්‍යයකි.

ඒ දිනවල මෙවැනි අදහස් වඩා හොඳින් ග්‍රහණය කරගෙන හිටියේ සුචරිත ගම්ලත්, කීර්ති බාලසූරිය වැනි අය මෙන්ම ස්වාධින ශිෂ්‍ය සංගමයේ දයා පතිරණය. දයා ඇතුළු කණ්ඩායම  ජවිපෙ සිසුන්ට රැක සිට පහරදුන් කතා මා අසා තිබේ. ඒ හේතුව හෝ වෙන හේතුන් හෝ  දයා මරන්නට  අණ දීමට  හේතුවක් නොවේ . මා සිතන්නේ එවකට පැවති ජවිපෙ මතවාදයට ප්‍රබල තර්ජනයක් විශ්ව විද්‍යාල දේශපාලනයේදී ඔහු  විසින් එල්ල කළ නිසා ඒ මරණය සිද්ධ වුණු බවයි. කොටින්ම  දයාගේ ස්වයං නිර්ණය පිළිබඳ ස්ථාවරය නිසා බවයි.  මා කලින් ලියූ  ලිපියකත් පැවසුවේ ස්වාධීන සිසු සංගමයේ ඇතැමුන්  රජයේ ආරක්ෂක අංශ වල සහයෝගයෙන්  ප්‍රා සංවිධානය ගොඩ නගා කරන ලද  තිරශ්චීන ක්‍රියා මා කිසි සේත්ම අනුමත කරන්නේ නැති බවයි. එහෙත්   දයා පතිරණ ඝාතනයෙන් ජවිපෙට වැදුණු  ඉතිහාසයේ කැළල මකා  දමන්නට නම් විජේවීර "සහෝදරයා"  විසින්  රචිත "දෙමළ  ඊළම් අරගලයට විසඳුම කුමක්ද " නම්  සිරි අයියා විසින්ද  විජේවීර සමග චිත්‍රපටයේ මතක් කරන ග්‍රන්ථය  ගැන නැවතත් දැඩි  විමසීමක් කළ  යුතු බවයි.

නමුත් විජේවීර මහතා ට නොතේරුන දෙය නම්  වාමාංශික දෙමළ  කණ්ඩායම් ජවිපෙ සාමාජිකයන්ට යුධ පුහුණුව දීමටද  කැමති වූ  අවස්ථාවේ  අර ජාතිවාදී රැල්ලට හසුවී දෙමළ වාමාන්ශිකයන්   ප්‍රතික්ෂේප කිරීම ජපන් සමුරායි වරුන්ගේ හරාකිරිය වැළඳ ගැනීමක් බවයි.  මම  දෙමළ  ත්‍රස්තවාදය පැත්තේ සිටි හෝ සිටින අයෙක් නොවේ.  නමුත් තර්කානුකූලව ගත හැකි හොඳම පියවර විජේවීර ඉවත දැමුවේය.   කල්පනා කර බලන්න.

මම වරක් සෝවියට් දේශයේ ශ්‍රී ලාංකික ශිෂ්‍ය  සංගමයේ   ප්‍රධාන ලේකම් ව සිටියදී  "වීර පුරන් අප්පු " චිත්‍රපටය රුසියානු කොම්සොමෝල් ශිෂ්‍යයන් සමුහයකට පෙන්වූයෙමි . ඔවුන්ගේ ප්‍රධානතම ප්‍රශ්නයක් වූයේ " අර තුවක්කු රැගෙන පේළියට විනයානුකූලව වෙඩි තබන ඉංග්‍රීසි භටයන් ඉදිරියට සිංහල කැරළි කරුවන්  කඩු රැගෙන  කෑ ගසමින් පැමිණ වෙඩි කා මැරී වැටෙන්නේ  ඇයිද යනුවෙනි. (කඳුකරයේ සැඟවී ගරිල්ලා සටන් උපක්‍රම භාවිතා  නොකර ). මා ඔවුන්ට පැවසුවේ, ඒ වීර කමට එසේ මිය යාම උතුම් ලෙස ශ්‍රී ලංකාවේ සිංහල වැසියන් සිතන නිසා විය හැකි බවයි. "අප මරා  දැමූවද අප නැගූ  හඬ සදා නොමියෙනු ඇත"  ලෙස ඔවුනුත් හිතන්න ට  ඇති . ලෙනින්,  ට්‍රොට්ස්කි, ෆිදෙල් යනාදීන් හැකි තරම්  උත්සාහ ගත්තේ  තමන්ගේ සගයන්ගේ මරණ අඩු කරගෙන කරන විප්ලවයක් කිරීමටය. තම සාමාජිකයන් ගේ ජිවිත ඔවුන්ට එතරම්ම වැදගත් විය.

ඉදින  1971 ගල් කටස්, ටින් බෝම්බ විප්ලවයෙන් අත්දැකීම් ('71 බාල්දු කිරීමක්  නොවේ) නොගත්තාද  කියා හිතුනේ දෙවෙනි වරටත්  ලී බට වලින් යුධ පුහුණුව ගන්නා විටදීය.  ප්‍රේමදාස ආණ්ඩුවෙන් ටී 56 ඒවා ටිකක් අහුවෙන්නට ඇරියේ තමන්ගේ විරුද්ධ වාදීන් කොටසක් මරා ගන්නට පමණක් යැයි  ජවිපෙ සහෝදරවරුන්ට තේරෙන්නට ඇත්තේ පසුව විය හැකිය. වාමාංශික  දෙමළ සංවිධාන වල සහය රැගෙන , ඔවුන්ගේ යුධ පුහුණුව ඉන්දියාවේදී හෝ නිමවා  ඔය කාර්යය කළානම් අද ලංකාවේ තිබෙන්නේ සමහරවිට වෙනත්  ආණ්ඩුවකි. කොටින්ම  වාමාංශික දෙමළ කණ්ඩායම් වල බලය වැඩිවී  ජාතිවාදී ප්‍රභාකරන් ඉදිරියට ඒම නොවීමට බොහෝ ඉඩකඩක් තිබුණි. මෙහි  ලොකුම සරදම නම්  විජේවීර යටතේ ජවිපෙ හා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ඉන්දීය විරෝධී වූ අතර  වාමාංශික  දෙමළ  කණ්ඩායම් අතුගා දැමු  ප්‍රභාකරන් උතුරේ  ඉන්දීය විරෝධී සටනක් දියත් කිරීමයි . දෙගොල්ලන්ම පසුව සටන් කලේ ශ්‍රී ලංකාවේ හමුදාවන් සමගය.   ලංකාවේ හමුදාවන්  කොපමණ ශක්තිමත්ද කියා මේ බොළඳ නරෝද්නික්වාදී විප්ලවකාරයන්ට නොතේරීම  ඔවුන්ගේම පමණක් නොව  රටේම අවාසනාවකි.

මම දන්නා විධිහට පෙරටුගාමී  සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් හෙවත් කුමාර් මහත්තයා ඉන්දීය හමුදාවට විරුද්ධව බෝම්බ  අටවා තිබේ. එය නවත්වන්නට යයි ඉන්දියන් හයි කොමිෂනර් ඩික්සිත් ඉල්ලා තිබෙන්නේ සිරි අයියා ගෙන් යයි මා අසා තිබේ. එසේනම් ඉන්දීය රෝ නියෝජිතයා වූයේ සිරි අයියාද?

ඉන්පසුව කුමාර් ශ්‍රී ලංකා අත් අඩංගුවට ගනු ලැබේ.  සිරි අයියා හා ඒ කාලේ ඉතුරු වී සිටි සටන් සගයන් ඔහුව බේරා අනූ නමයෙන් බේරා ගනිති. එතනදීද  මානව හිමිකම් සංවිධාන හා රතු කුරුසය හැර ඉන්දීය සම්බන්ධයක් තිබුනා  ද යන්න නොදනිමි.
චිත්‍රපටයේ ඉතා සංවේදී අයුරින් දක්වන්නේ  ඒ දිනවල පක්ෂ සාමාජිකයන් මුහුණ දුන් දරුණු භීෂණයයි. එල්ලලා ගැහීමේ සිට ධර්ම චක්‍රය  දක්වාත් සිදුවුණු දරුණු වධ දීම් ආදියත් ඒ අසීරු අවස්ථාවේ තම  නායකයා පාවා නොදුන් වීර සොයුරන් ගැනද හද දවනා ආකාරයෙන් සිනමාවට නැගේ. මේ පරිත්‍යාගයන් හා වධක කඳවුරු ගැන  හොඳ විස්තරයක් අජිත් පැරකුම් ජයසිංහ ගේ "කේ පොයින්ට් " නවකතාවෙන් කියවිය හැකිය.

හැබැයි ඔවුන්ට එසේ  වෙද්දී අසහාය විප්ලවීය නායකයා කරන්නේ හෝගා ළමයින් නිපදවීමය.  අනුරුද්ධ ජයසිංහ ගේ චිත්‍රපටයේ  විජේවීර පියා ඉතා සංවේදීව  ළමයින්ට  දැඩි ලෙස ආදරය කරන සුන්දර චරිතයකි. එහි වරදක් නැත. නමුත්  මගේ ප්‍රශ්නය නම්   මොන හත්තිලව්වට  විප්ලවයක්  කරන්න ගියාද යන්නය.

දැන් ලෙනින් සහ කෘප්ස්කයා ගේ ජීවිතය බලමු? ස්විට්සර්ලන්තයේ,  එංගලන්තයේ තැනින් තැන නතරවෙමින් ගතකල දුෂ්කර ජීවිතය තුළ  ළමයි හදා  ගත්ත නම්  ඔය සීන් කර කර ඉන්නට හැකිද? ලෙනින් ගෙන් ඔහුගේ  මිස්ට්‍රස් හෙවත් අනියම් පෙම්වතිය වන ඉනේස්සා අර්මන්ඩ්  ට දරුවෙක් ලැබීමට සිට නැති වුනු කතාවක් මා අසා තිබේ. මගේ දුක  සිරි අයියා , සදා ලෝයල් , කීකරු උපතිස්ස ගමනායක ආදීන් ගැනය. අර ළමයි සමූහයක් එක්ක විශාල පවුලක් එහෙ මෙහෙ හමුදාවට , පොලිසියට හොරෙන් ගෙනයාම, හංගන්න සිටීමට දරන උත්සාහය සුළු පටු එකක් නොවේ. ඒ කාලේ මොබයිල් දුරකතනද තිබුනේ නැත. පක්ෂේ කීකරු සාමාජිකාවන්ද නවත්වාගෙන ගෙන ගිය ඒ සටන වෙනමම  පොතක් ලියන්නට සෑහෙන එකකි.  විජේවීර මහතාට  කසාද බඳින්නට විප්ලවයටම අනුගත වුනු   විප්ලවීය සහෝදරියක් ජනතා විමුක්ති පෙරමුණේ ඇත්තටම හිටියෙම නැත්ද ? අර අකමැති චිත්‍රාංගනීවම කසාද බඳින්නට ඔහු  තීරණය කළේ ඇයි?
ඒ අහිංසක දැරිවිය   අපමණ  පක්ෂ සාමාජිකයන්  පොලිසියෙන් ගුටි කද්දී, ටයර් වල යද්දී විස්සෝප වනුයේ හැංගෙන්න යන්නට තමන්ගේ දිග කොණ්ඩය කැපීමට සිදු වීම ගැනය?  මට වෙලාවකට සිතෙන්නේ  මේ චිත්‍රපටය  කුමන්ත්‍රණයක් කියාය.

ලෙනින් හොඳින්ම දැන සිටියේ විශාල විප්ලවයක් කිරීමට  නම් තමන්ට  ආධාර අවශ්‍ය බවය.  මේ  ජෙහාන් ලෙනින් (-ජෙහාන් ලෙනින් – LENIN AS A PERVERT)  නැමති මා ලියූ  ලිපිය බලන්න. ලෙනින් ජර්මනිය   සමග පැවැත්වූ සම්බන්ධතාව  හා එයට ට්‍රොට්ස්කි එකඟවූ අන්දම මෙහි ඇත. ලෙනින් මොළයෙන් මිස හදවතින් තීරණ ගත් අයෙකු නොවේ.  අවශ්‍ය නම් මේ චිත්‍රපටය ද නැරඹිය හැකිය.


ස්ටාලින් බලය ගත් පසු බොරු කුමන්ත්‍රණ චෝදනා නගා විප්ලවීය සගයන් බොහොමයක් ඝාතනය කළේය.  අවසානයේ වෙඩි වැදී  දුබලව සිටි  ලෙනින් ද නිවාස අඩස්සියේ තැබුවේය. ලෙනින් ගේ අවසාන කාලය පිළිබඳව  සම්මාන දිනූ අති ශෝචනීය  චිත්‍රපටයක් ටෙලෙත්ස් (ටෞරුස්)  නමින් ඇලෙක්සැන්ඩර් සොකුරෝව් නිර්මානය කර තිබේ.    විජේවීර හිතුවේ මේ ගෝලීය අවධියේ තනියෙන් ගහන්නටය. ඔහුගේ ජීවිතය කෙළවර වන්නේද අති ශෝචනීය ලෙසය.  නමුත් අඩුම ගණනේ ලෙනින් තමන්ගේ අභිප්‍රාය මුදුන් පමුණුවා ගත්තේ  සෝවියට් රාජ්‍යය පිහිටුවීමෙනි.

  සාමාන්‍යයෙන් ලෙනින්, ෆිදෙල් වැනි විප්ලවීය නායකයන් ගැන නිපදවූ චිත්‍රපට බොහොමයක් වාර්තා චිත්‍රපට පන්නයේ ඒවාය  (documentary). හොඳ වාර්තා චිත්‍රපටයක් සෑදීම ලෙහෙසි පහසු කරණක් නොවේ. සංවේදී සිනමා පටයක් නිර්මාණය කිරීමද ලෙහෙසි පහසු දෙයක් නොවේ. නමුත් සංවේදී වෘත්තාන්තයක සැබෑ තොරතුරු පැවසීම අවශ්‍යම නැත.
 මේ චිත්‍රපටය නැරඹු බබාලන්ත වාසී කිහිප දෙනෙක් ඉතා සංවේදී වී අදහස් දක්වනු බුකියේ දුටුවෙමි. ඉන් සමහරක් අනිකුත් අවස්ථාවල ඉතා ජාතිවාදී හෝ, බටහිර නිදහස් සමාජය දැඩි ලෙස විවේචන කරන අදහස් දක්වනුද දුටුවෙමි. දෙයියෝ සාක්කි, විප්ලවීය ජවිපෙ ඇත්තටම හිටියේ ඔවුන් සමගද?

මේ චිත්‍රපටයෙන් ජනතා විමුක්ති පෙරමුණට දැඩි හානියක් වී නැත. රජයන් දෙකක්ම පෙරළන්නට හා නව රජයන් ගොඩ නගන්නට සෝමවංශ ගේ මෙන්ම අනුර කුමාර දිසානායක ගේද පශ්චාත් විජේවීර ජවිපෙය සමත් වී අත. අදද පාර්ලිමේන්තුවේ වැඩි හඬ ඔවුන්ගේ ය. ඔවුන් ගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මාවත විජේවීර ගේ බොළඳ පිළිවෙත් වලින් ඈත් වී තිබේ. එසේම ලාල් කාන්ත සහෝදරයා මෑතක පැවසූ පෞද්ගලික විද්‍යාල ප්‍රශ්න, බීමත් වීමේ  ප්‍රශ්න තුලද ඉඳහිට අඩියක් ගහන   සුන්දර මිනිසුන් ගේ ජවිපෙට මින් හානියක් නැත. 

අනුරුද්ධ ජයසිංහ ගේ නිර්මාණය සුනු විසුණු කර ඇත්තේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පදනමය. මුට්ට කර ගැසූ විජේවීර නැමැති විප්ලවවාදියාගේ චරිතය වෙනුවට සංවේදී උණුසුම් දරුවන් කිහිප දෙනෙකුගේ පියා  විසින් කුමාර් ගුණරත්නම් මහතාගේ දේශපාලන ව්‍යාපෘතිය අංජ බජල්  කර තිබේ. ඉඳහිට හොරෙන් හෝ වයින් වීදුරුවක් වත් නොබොන, සමාව ගැනීම වෙනුවට ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා මෙන්  හිරේ ගිය  කුමාර් මහත්තයාගේ  ගේ විජේවීර භාවිතාව ප්‍රශ්නයට ලක්වීමට   නියමිතය.  පුබුදු ජයගොඩ සහෝදරයා (මහතා ) දැනට කිසිවක් කියා නැත්නම් චිත්‍රපටය ගැන ඔහුගේ අදහස දැන ගැනීමට ඉතා කැමැත්තෙන් පසුවෙමි.

  චිත්‍රපටය ගැන සවුන්ඩ් බයිට් කිහිපයක් යූටියුබයේ දුටුවෙමි. චන්ද්‍රිකා කුමාරතුංග, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, යුධ හමුදාපති මහේෂ් සේනානායක ද ඒ අතර විය. විජේවීර අත් අඩංගුවට ගත්  හමුදා නිලධරයා විජේවීර සහෝදරයා ගේ බිරිඳ හා දරුවන් ට වහා ඉවත්ව යන්න ට අනතුරු හැඟවීමක් විජේවීර හරහා කරන ලදී. ප්‍රභාකරන් ගේ දරුවන් මිය ගියාට විජේවීර සහෝදරයා ගේ දරුවන්ට හමුදා ආරක්ෂාව හිමි විය. විජේවීර මහතාගේ උරුමය එයද?

Victorious socialism must achieve complete democracy and, consequently, not only bring about the complete equality of nations, but also give effect to the right of oppressed nations to self-determination, i.e., the right to free political secession. Socialist Parties which fail to prove by all their activities now, as well as during the revolution and after its victory, that they will free the enslaved nations and establish relations with them on the basis of a free union and a free union is a lying phrase without right to secession—such parties would be committing treachery to socialism.
The Socialist Revolution and the Right of Nations to Self-Determination - V. I.   Lenin
-V. I.   Lenin - The Discussion On Self-Determination Summed Up

ඔක්තෝබර් විප්ලවයට අවුරුදු සීයයි
සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි - 1
සෝවියට් විවාහ හා ජෙහාන් ට්‍රොට්ස්කි - 2
සෝවියට් විවාහ හා නිකං ට්‍රොට්ස්කි - 4
සති පූජා දර සෑයේ ගීතය 
ලෙනින් ගේ අවසන් දින ගැන සකුරෝව් ගේ චිත්‍රපටය.


23 comments:

  1. ඔබතුමා ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්ද? මොකද මේ ආකාරයට චිත්‍රපට විචාරය කිරීමට දන්නා ඔබ මීට වඩා ඉතා හොද,කිසිම ඇදක් කුදක් නැති චිත්‍රපට සාදා ඇතිබව අපගේ අදහසයි. එමනිසා ඔබ අධ්‍යක්‍ෂනය කර ඇති චිත්‍රපට ලැයිස්තුවක් මෙහි අඩංගු කළා නම් අපටද ඒවා නරබා මිට වඩා දැනුමක් ගත හැකියි.

    -රංග තේනුවර-
    gtrz@elakiri.com

    ReplyDelete
    Replies
    1. මහත්මයා දැන් එතකොට ඔබතුමා කියන්නේ මට චිත්‍රපටයක් ගැන ලියන්න මම චිත්‍රපට හදල ඉන්න ඕනෙද? මම චිත්‍රපට ගැන ලියන්නේ බොහොම කාලෙක ඉඳන්. ඔයා කියන විධිහට මම චිත්‍රපට හදන්න ඕනේ නම් ඒ ගැන ලියන්න එහෙනම් අධ්‍යක්ෂක ලට නිෂ්පාදක ලට පුළුවන්නේ චිත්‍රපට හදල එයාලගේ යාළුවන්ටයි ඔයාලටයි විතරක් දොරවල් වහගෙන පෙන්වලා එයාලම ඒවා ගැන ලියන්න. අහවල් මගුලකටද ජනතා ප්‍රදර්ශන තියල හැමෝටම පෙන්වන්නේ ?

      Delete
    2. මේ මම චිත්‍රපට ගැන ලිව්ව ඒවා . දැන් වැඩේ කියන්නේ මේ අධ්‍යක්ෂකලට හෙන ඔරොප්පු ඇති මම චිත්‍රපට නොකරන එකට
      කිනෝ ප්‍රාව්දා හා පාරාදීසයේ අමනුෂ්‍යයෝ

      Delete
    3. කියැවුණු කතාව - නිධානය https://kolambagamaya.blogspot.com/2018/07/blog-post_15.html

      Delete
    4. ඒක මාර තර්කයක්නේ..එතකොට විචාරයක් කරන්න ඒ සබන්දව ඔස්තර් කෙනෙක් එහම නැත්නම් පකිර් කෙනෙක් වෙන්න ඔනේද?
      මම උදහරන දෙන්න ඔනේ නැහැ...ඔබතුමා දන්නවා ඇතිනේ චිත්‍රපටි නවකාතා විචර ලියන අය ඒ හැම කෙනෙක්ම ඔබ තුමා කියන විදිහේ අයද?

      Delete
  2. දේව කුලේ ඥානසාර
    විශ්ව කුලේ රතන තේර
    යුගල එකතුවී අඬහැර
    පාති මහනුවර පුරවර

    රතනගෙ වෑයම වන්නේ
    බදුර්දීන් එළවන්නයි
    ඌ යනකොට සිදුවෙන්නේ
    ආණ්ඩුවට පෙරලෙන්නයි

    ඔක්තෝබර් ගහපු ගැටේ
    උසාවියෙන් හරි නොගියට
    සහරාන්ට පිං දෙමු අපි
    රතන තේර දිනපු දාට


    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  3. බුකියේ ප්‍රතිචාරයක් - Primson Stanley ඔබ මා සමග අමනාප වීමට ඉඩක් ඇත්නම් මේ ලිපිය කියවන්නට එපාය. මට ඔබේ මිත්‍රත්වය වඩා වැදගත්‍ය. මේ වඳන් පෙල මුලු ලිපියෙහිම හරය කොඳු නාරටිය විම ඉතාමත් ගුණාත්මක දෙයකි. පංති වෛරයත් පංති අරගලයත් පටලවා ගත් මිනිසුන් නිසා සිය ගනනක් නන්දන මාරසිංහලා අපිට අහිමි විය. එදත් අදත් තිබුණු හෙටත් තිබිය හැකි ඉහළින් එන අණ කිසිඳු අභියෝගයකට විවේචයකට ලක් නොකරමින් පිලිපැදිම සහ සංවිධායකයන් සහ කමිටු නායකයන්ගේ නිළධාරිවාදය සහ නායකත්වයෙන් ලකුණු දා ගැනිමට සංදර්ශන සහ පහළ සාමාජිකයන් යන්ත‍්‍ර ලෙස භාවිතා කිරිම ඔවුනගේ ජිවිත වල වටිනාකම පිළිබඳව අවතක්සේරැ කිරිම . සිරි අයියා සහ අනිකුත් නායකයින් අත් අඩංගුවට පත් නොවිම සහ සමහර නායකයින් පවා දිම සාධාර්නිකරණය කිරිම තුල පැහැදිලි සැකයක් ඇත. මෙය සටහන් කළ යුතුව ඇත තර්ජනය හමුවේ පලා ගිය මර්දනය සිහිනෙන් වත් නොදුටු, පොස්ටරයක් අලවපු පාරකින් වත් නොගිය , මහ විප්ලවාදින් අර වචනයකුද නොඳොඩා දසවද විඳිමින් මරණය වැලඳගත් මනිසුන්ට සදා නිගරැ කරති. ඔබ හරි ඇන්ටන් ශ්‍රී සභාරත්නම් ,දිනක තමිචේලම් (මෙසේ කිම නිසා චේල්වම වසරකට වැඩි කලක් නිවාසඅඩස්සියේ පසු විය) පවා කිවේ ලංකිකයන් තම පොදු සතුරාට එරෙහිව සටන් කල යුතු බවයි. තීලිපන් ඉතා සුක්‍ෂම අයුරින් පිරභාහරන් මරා දමන්නෙත් ඉහත හේතුව නිසා. එදා උතුරේ වාම ව‍ය්‍යාපාර සමග අත් වැල් බැඳ ගත්තනම් ලංකිය දේශපාලන ගමනෙහි සෑබෑ වෙනසක් ඇති විමට තිබුණි. එහෙත් අද ඒ ගමන යාමට වෙර දරන වාම පක්‍ෂ කරණුයේ සෑබැ වුවමනාවකින් නොව ව්‍යාජ සැගවුනු පහත් කුහක දේශපාලනයක් . අද ලාංකිය වමෙහි මුලික කටයුක්ත බෙඳුම්වාදින් අන්තවාදින් පිනවිමේ ගනිකා වෘතියෙහි යෙදිමයි. නැතිනම් ඊබ්‍රහීම් සහ අන්වර සමග රමනෙහි නොයෙදෙයි.

    ReplyDelete
  4. JVP+UNP in 88/89 killed a generation of good people Nanada M, Vijaya K are drop in the ocean. JVP started the killing field by killing Daya P. JVP will suffer the same fate as LTTE. The joke is JVP has become the saviour of UNP. Looks like both will go down together.

    ReplyDelete
    Replies
    1. I am not sure JVP has all this underhand deals with UNP. I think JVP is working for their own agenda. Don't forget they helped Mahinda R as well.

      Delete
  5. අරගලය හමුවේ පලාගිය අජිත් ධර්මා වැනි ද්‍රෝහියෙක් සටන ගැන ප්‍රශ්න කිරීම පවා විහිළුවකි

    ReplyDelete
    Replies
    1. අනේ මේක ලිව්ව ඇනෝ ගේ මූන බලන්න ඇත්නම් . , එතකොට මචෝ අර ගෝනි බිල්ලෝ වෙලා කොල්ලන්ව පාවල දීල දැන් හින් සිරුවේම පක්ෂ දෙක තුනකටම හේත්තු වෙලා ඉන්න වුන්ට මොකක්ද කියන්නේ ද්‍රෝහියෝ නෙමේද? අනේ මම නම් ආතල් එක සෝවියට් දේශයට ගිහිල්ල විජේවීර මහතා ගෙන්න හදපු සමාජවාදයත් බලල කියාගෙන බ්ලොග් ලිපියක් ලියාගෙන ඉන්නවා. මොකටද මචන් අර රතු අලියෙ පතනල පස්සේ යන ජාතිවාදී පිස්සු රැලවල් වෙනුවෙන් මේ එක පාරක් ලබන ජිවිතේ ටයර් වල යවන්නේ ? මට පිස්සු කියල හිතුවද/? ආ අනික ඔයා ඉතුරු වුනේ කොහොමද?

      Delete
    2. මේ වගේ මොඩයන්ට උත්තර දෙන එකත් අපරාදේ අයියන්ඩි...මේ තරම් හොද ලිපියක් කියවලා ලිපියේ අන්තර්ගත්ය ගැන කතා නොකර මඩ ගහන මේ වගේ අය තමයි කොහමත් ඔය කියන මහ ලොකු සමාජවාදි පක්ශයේ ඉන්නේ

      Delete
  6. පිට්සා කමින්, කොකාකෝලා බොමින් සමාජවාදය ගොඩනැගිය හැකි බව අජිත් ධර්ම මහතා සිතා සිටි. එනමුත් කම්කරුවා බොන්නේ නිතිවිරෝධී මත්පැන්ය. ජීජැක්ගේ මතය අජිත් ධර්ම මහතා අල්වාගෙන ඇත්තේ හරහටය. දැන් ගලේ පහරපු බළලා මෙන් සිටි.

    ReplyDelete
    Replies
    1. පිට්සා කොකාකෝල බොන ගමන් සමාජවාදය හදන්න බහ කියල කවුහරි කීවද මචෝ ? මම නම් බොන්නේ පෙප්සි . පෙප්සි බිල පුලුවන්ද? අනේ බන නොකිය ඉඳින්

      Delete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. නිර්මාණාත්මක ප්‍රතිචාරයට ස්තුතියි

      Delete
  8. “After 100 years, films should be getting really complicated. The novel has been reborn about 400 times, but it's like cinema is stuck in the birth canal.”
    ― Harmony Korine

    ReplyDelete
  9. ජීවිතය චිත්‍රපටවලින් සොයන්නට යෑම සම්බන්ධයෙන් මෙයට මා දැමු කොමෙන්ටුව කෝ?

    ReplyDelete
    Replies
    1. 1. පරණ කොමෙන්ටු රිසයිකල් කිරීම
      2. ද්වේශ සහගත පෞද්ගලික මඩ ප්‍රහාරයක් වීම නිසා මකා දමන ලදී

      Delete
  10. චිත්‍රපටය මාත් බැලුවා සංගීතයේ සහ කැමරාකරණයේ ප්‍රභල බව ගැන නම් කිව යුතුමයි , චිත්‍රපටය අපිව සංවේදී කරවනවා ,දුක හිතෙනවා අපිට අපේ රට ගැන ,ඒ හැම දෙයක්ම හරි ,හැබැයි අපේ රටේ එයිතිහාසික තොරතුරු මත නිපදවෙන හැම චිත්‍රපටයක වගේම මේ චිත්‍රපටයෙත් තියෙන අවුල තමයි ඩොකියුමෙන්ට්‍රි එකක වගේ සියලුම එයිතිහාසික සිද්ධි ඔබන්න යාම ,දැන් බලන්න ටොම් හෑන්ක්ස් ඉන්න ඩිනයිල් ,හරි ද පොස්ට් හරි එහෙමත් නැත්තම් ඩාර්කස්ට හවර් ,ඉමිටේෂන් ගේම් වගේ චිත්‍රපට බලන්න එයිතිහාසික කතාවක් උනාට අර ඩොකියුමෙන්ට්‍රි අමු ගතිය නෑ ,නමුත් සියලුම තොරතුරුත් තියෙනවා ,ඒ කතාව කියන්නේ වෙනත් සිනමාත්මක කතාවක් අස්සේ , දැන් මේ චිත්‍රපටය බලන්න යනකොට අපි බලාපොරොත්තු උන සිය දහස් වාරයකට වඩා අහල තියෙන ,පත්තර වලින් පට්ට ගහපු කතාවම නැවත තිරයේ තියෙනවා ,අපි යනකොට බලාපොරොත්තු උන කතාවම තියෙනකොට කෝ ඒකෙ අපුර්වත්වයක් , අනික මේකේ ඉන්න විජේවීර මේකේ ඉන්න විජේවීර වගේ නම් සැබෑ විජේවීර පොරත් එක්ක විප්ලව කරන්න ගියපු කොල්ලෝ පව්

    ReplyDelete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .