Monday, 17 June 2019

දඹුල්ලේ ගයිඩ්

මේ සිද්ධිය සිදු වූයේ වසර 19 කට පෙර ලංකාවට විවාහ  උත්සවය ගන්නට ගිය කාලයේය.

දඹුල්ලේ වන්දනා කරන්නට යනවිට මගේ බිරිඳගේ දෙමාපියන්ද , සොයුරියද අප සමග පැමිණියහ. එතන සෙරෙප්පු සපත්තු භාර ගන්නා ස්ථානයේ සිටින තරුණයන් කතා කරන දේ මට ඇසිනි.

"අන්න  මචන් සුද්දෝ කට්ටියක්. 2000 ට අඩුව  කියන්න එපා. "

මම නිහඬව මගේ බිරිඳගේ පවුලේ අය හා මගේ පවුලේ අයගේ ද, (මගේ මව , ඇගේ සොයුරිය, මගේ සොහොයුරා  , ඔහුගේ බිරිය)ද ඇතුළු සියල්ලන්ගේම පාවහන් එකතු කොට දුනිමි. එතන පාවහන් යුගලකට රුපියල් 20කි. එහි සිටි තරුණයන්  "සුද්දන්ගේ" හෙවත් මගේ බිරිඳ හා අගේ පවුලේ උදවියගේ පාවහන් ගැනීම ප්‍රතික්ෂේප කළහ. සුද්දන් ගේ පාවහන් වටින ඒවා නිසා වෙනත් තැනක  ආරක්ෂා සහිතව තබන බවත් දෙදෙනෙකුට  රුපියල් 2000 ගන්නා බවත් ඔවුහු කීහ. ඒ  එක යුවලකටය. එතැන හතර දෙනෙක්  නිසා ගණන රුපියල් 4000 කි. මම කීවේ බිරිඳ හා ඇගේ සොයුරිය  ද  අඳින්නේ මා  රැගෙන දුන් DSI පාවහන් බවත් පියාගේ පාවහන් යුගලය සැන්ඩ්ල් බවත් ඒවා එතරම් වටින්නේ නැති අතර අපේ ගොඩේම  ඒවා තැබිය යුතු බවත්ය. මම  ඉල්ලූ  මුදල එක හෙළාම ප්‍රතික්ෂේප කලෙමි.

මේ වාදය එලෙස ඇදී ගිය අතර ඒ අතර එතැන සිටි දඹුල්ලේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා  එතනට පැමිණි ප්‍රශ්නය් විසඳන්නට තැත් කළහ.

එක තරුණයෙකු මා ඉදිරියේම "මේ ගයිඩ් බල්ලා අපි කීයක් හරි හොයා ගන්නවාට විරුද්ධ බව" ආරක්ෂක නිලධාරියාට පැවසිය. ආරක්ෂක නිලධාරීන් මුලදී ගත්තේ අරුන් ගේ පැත්තය. ඔවුනොවුන් හඳුනන බව මට වැටහිණි. මට මළ පැන්නේ මෙතනදීය.

ඔවුන් කියු දෙය හෙවත් "සුද්දන්ගෙන් වැඩිපුර ගන්නට කතා කරගත් අයුරු " මට ඇසුන  බවත් මා ගෙවන්නේ මගේ පොකට්ටුවෙන් බවත් මේ සිටින්නේ  මගේ බිරිඳ හා පවුලේ අය බවත් ආරක්ෂක නිලධරයන්ට පැවසූ මා, ඒ අසල වෙසෙන නෑදෑයන්ට කතා කරන  බවත් (එවැන්නෙක් සිටියේය) ඉන්පසු පොලිසි යන බවත්, කොළඹදී  සංචාරක පොලිසියට පැමිණිලි කරන බවත් කීවෙමි.

ආරක්ෂක නිලධාරීන් ට දෙපැත්ත  බේරා කතා කිරීමට  සිදුවුනේ ඉන් පසුවය. මගේ බිරිඳ ගේ හා සොයුරියගේ DSI පාවහන් ද ඇතුළුව ඔවුන්ගේ පාවහන් සඳහා එක කුට්ටමට  රුපියල් 200 ගණනේත්   (හතරට 800) හා අපේ   පාවහන් සඳහා රුපියල් 20 ගණනේත් කතා කරගෙන දඹුල්ල  වඳින්නට ගියෙමු.

ආපසු පැමිණි  මම මුදල් දීමට යද්දී ඔවුහු මුදල් ගැනීම ප්‍රතික්ෂේප කළහහ. බලෙන් දීමට හැදුවත් ගත්තේ නැත.  නමුත් එතනින් ඉවතට යද්දී එකෙක් ඇසෙන නෑසෙන අන්දමට "මහත්තය, අපේ කමට වත් පොඩ්ඩක් සලකන්න මිට පස්සේ වත්" කියනු ඇසුනි. මා යමක් කියන්නට තැත් කළමුත් මගේ මව එය වැළකුවාය.

"ඔන්නොහෝ යමු පුතේ. අපි දැන් වැන්දනේ "

අපේ කමට කියා එවැනි මුදලක් මා ගෙවිය යුතුද? සමහර විට ළමයෙකුට අමාරුවක්, මුදල් හිඟයක් කීවා නම් එම මුදල මට දිය හැකිව තිබුණි. නමුත් සපත්තු කුට්ටමක් බලා  ගන්නට රුපියල් 1000 ක් ඉල්ලීම  මට සාධාරණිකරණය කල නොහැක. මේ වසර 2000 දීය.


සීගිරි යේ වැසිකිලි වල කැඩුණු සින්ක් 
සීගිරියට ගියවිට ඒ දිනවල එක අයෙකුට රුපියල් 2000 හෝ 3000 ගෙවා ටිකට් පත් ගන්නට සිදුවිය. මේ පවුම රුපියල් සීයට පමණව තිබූ කාලයයි. රට යුද්ධයක නිරතව  සිටින නිසා මේ ගණන් සාධාරණ යයි සිතුවෙමි. නමුත් අසාධාරණ බව වැටහෙන්නේ දේශීය ටිකට් පත රුපියල් 30 පමණ වන විටය. එනිසා රුපියල් 1000-1500 සාධාරණ මුදලක් යයි සිතමි.
ටිෂූ කොළ නැත 

ගිය වසරේ දී සීගිරි   ගිය විට පවුලේ හතර දෙනාගෙන් එක අයෙකුට රුපියල් 5000 ගණනේ ගෙවීමට  සිදුවිය.  පිටරට සිටින සිංහල මිතුරෙකු ඔහුගේ පවුලටම මගේ දියණියන් දෙදෙනාද (ඔවුන් බ්‍රිතාන්‍ය වුවත් සිංහල බැවින් රුපියල් 50 ටිකට් ගත හැකි විය. එහි වරදක් නොදකිමි) එක් කරගත් බැවින් 5000 ගණනේ  ගෙවන්නට වූයේ අප දෙදෙනාටත් අපේ කණ්ඩායමේ  අනික්  විදේශිකයන් පස් දෙනාටත් පමණි.

අපිරිසිදු වැසිකිලි 
ඒ මුදල් ගත්තාට  සමහර ෆැසිලිටි එතරම් හොඳ තත්වයේ  තිබුනේ නැත

සීගිරියෙන් පසු  අපි අලි බලන්නට ගියෙමු. එහිදී අප දෙතුන් වරක් ඇසුවේ අලි සිටින්නේද කියාය. අලි සිටින බවට ඔවුන් අපට  සහතික කොට කීහ.

ජීප් රථයේ මුදල රුපියල් 5000 ලෙස පොරොන්දු වී   ජීප් රථවල  ගියෙමු.   අතරමගදී පැට්‍රල් ගසන්නට කියා රියදුරු මහතා රුපියල් දාහක් ඉල්ලා ගත්තේය.

එම වනෝද්‍යානයට ඇතුළු වීමට නැවතත් රුපියල් 5000 ගණනේ  ටිකට් හතරක් ගැනීමට සිදුවිය . (මගේ පවුල සඳහා පමණක් රුපියල් 20,000 කි).  ලෝකල් ගණන රුපියල් 30 ක් හෝ පනහකි.

හිටිය අලියෙක් නැත.

එන ගමනේදී රියදුරු මහතා පැවසුවේ,"මේ වැසි කාලයේ අලි නැති බවය. වැස්ස වහින විට අලි එන්නේ නැති බවත් ඔවුන්ගෙන් ඇසුවානම් ඒ බව කියන බවත් ය. අපට ජීප් රථ සංවිධානය කළ තැනැත්තන් හා අපේ කණ්ඩායමේ ටුවර් ගයිඩ් වශයෙන් සිටි තැනැත්තා ද යහළුවන්ය. අලි සිටිනවා යයි සහතික කලේ ඔවුන්ය.

ප්‍රශ්නයක් නැත. අලි අපට ඕනෑ වෙලාවට එන්නේ නැත. අපි සුන්දර ශ්‍රී ලංකාවේ සොබා දහමේ සෞන්දර්යය  නැරඹුවෙමු.

ආපසු පැමිණ අප ආ වාහන වලට නගිද්දී ජීප් වල ගණන් බේරුවෙමු. රියදුරු මහතාට ටිප් දෙන්නට වත් මාරු කරගත් මුදල් වලින් වැඩි  මුදලක් අතේ ඉතිරිව තිබුනේ නැත. එනිසා  අතේ ඉතිරිව තිබූ රුපියල් 200 දුන්නෙමි. අපේ ජීප් රථයේ සිටි අනිත් විදේශිකයන් දෙදෙනා කිවේ ඔවුන් මාරුකරගත් මුදල් අවසන් හෙයින් මට හෝටලයේදී ගෙවන්නම් කියාය. ඔවුන්ටත් ගෙව්වේ මමය.

 එනිසා  ලොකු ටිප් එකක් දීමට අතේ මුදල් නැති බව එතැන කෙනෙකුට කීවෙමි.

මා  ඉතා අඩු ටිප් එකක් දුන්නා  යයි රියදුරු  චෝදනා කර තිබුණි. ශ්‍රී ලාංකික කණ්ඩායම් ඔවුන්ගේ රියදුරන්ට රුපියල් දාහේ  හෝ පන්සීයේ ටිප් දී තිබුණි . නමුත් ඔවුන් ඇතුළුවීමට  ගෙව්වේ රුපියල් 30 වැනි කුඩා මුදලකි.

මට බැණ  වැදුණු තාවකාලික ගයිඩ් තුමා ඔහුගේ අතින් රුපියල් 500ක්  රියදුරු ට දුන්නේය. "මේ පෙරේතයෝ  නම් යයි. අපි මේවට එන්න එපාය ආයෙත් " ඔහු කීවේ එලෙසය . එවිට මට මතක් වූයේ පැට්‍රල් ගසන්නට රියදුරු තැන  ඉල්ලලා ගත් රුපියල් 1000 ය. එයට කුමක් වූයේ දැයි රියදුරු මහතා කීවේ නැත. අපි මාරු කර තිබූ මුදල් අවසන් වී තිබූ බව ඔහු (තාවකාලික  ගයිඩ් මහතා)  ගණන් ගත්තේ නැත.  "අයියේ , මම දැනට දෙන්නම් 500, ඔයා  හෝටලේට ගිහින් සල්ලි දෙන්න" යයි කීවා නම් පසුවදා  මුදල් රැගෙන එම පවුම් 2.50 ඔහුට දිය හැකිව තිබුණි.  (අතර මගදී කෑම ගැනීමටද එවැනිම වියදමක් ගිය බැවින්)  එම කබානා සහිත හෝටලයෙන් යන තුරුම මම ඔහුට නැවතත් කතා නොකලෙමි.

අප සමග ගිය අනිකුත් විදේශිකයන් ශ්‍රී ලංකාවේ සුන්දරත්වය අගය කළහ. කෑම අගය කළහ.  "අලි බොරුව " ගමන නොගියා නම් වඩා හොඳ බව කීහ.ගන්නා  මුදලට සරිලන සේවයක් ලබා දෙන්නේ නම් තත්වය වඩාත් හොඳ විය හැකිය.

සංචාරක සේවයේ යෙදෙන මහත්ම මහත්මීන් ට මේ සඳහා පෙරමුණ ගත හැක.



19 comments:

  1. අජිතා මි
    ඒරොප්පේ වසමි
    සීගිරි ආමි
    ඉහළට නොඑමි
    හිටියාය
    මිරිවැඩිසඟල
    පරහට

    ReplyDelete
    Replies
    1. සීගිරිය බැලුව දෙපාරක්ම

      Delete
  2. එන්න එන්නම තත්වය නරක් වෙනවා.ඉහල සිට පහලටම කෙරෙන්නේ බොරුව තමයි. සංචාරක ව්‍යාපාරය කඩා වැටෙන්නට හේතුවෙන්නේ මේ වාගේ හොර බොරු වංචාවල් හින්දා. කිසිම පහසුකමක් නැති ප‍්‍රදේශවලට ගිහිල්ලා වීශාල මුදලක් ගෙවලා ගල්කණු නටබුන් බලන්නට මෙහෙට එනවාට වඩා හොද සර්විස් එකක් දෙන රටවල් වලට ගිහිල්ලා නිකං ඇවිදලා එන එක වටිනවා කියලා හිතෙන්නේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. දැන් ගොඩක් ජර්මන් අය එනවා. මට හම්බ වුනා එක පවුලක් අම්මයි තාත්තයි ළමයි දෙන්නම හැම අවුරුද්දකම එනවා. දැන් ඒ අය ගේ යාළුවොත් එනවා. හැබැයි එකම තැන් වලට විතරයි යන්නේ. මෙහෙ කට්ටිය දැන අඳුනගෙන. ඒ ගොල්ලෝ කියන්නේ ඒ ගොල්ලෝ ලංකාවට කැමැතියි. නමුත් යන්නේ දන්නේ තැන් වලට විතරයි කියල.

      Delete
    2. අපි නම් වෙන තැන්වලටත් යනවා. ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ රුසියාවට සහ ස්පේන් වලට ගියා. නමුත් ලංකාවටත් එනෙන් ඕනේ නේ. අනික සංචාරකයන් ගේනවා ගන්නයි ඕනේ . ආපු එකා එළවගන්න නෙමෙයි

      Delete
  3. සුදු හම දැක්ක ගමං කෙලින්න තමා හැදිල තියෙන්නෙ..ඕක අපෙ උංගෙ වරදක් විතරක්ම නෙවී. යටත් විජිත කරණයට හසුවුණ කොයි රටකත් තත්වය එකයි.
    මොකද සුද්ද උසස් උං පෝසත් කියන මතය අපේ උංගෙ හිත් වලට කාවද්දල තියෙන්නෙ ඉතිං ගලවන්නමයි බලන්නෙ

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අපි එක්ක හිටි දෙන්නෙක් තුර්කි. උන් ටිකක් සුදුයි තමයි. එක්කෙනෙක් කළු තාත්ත, සුදු අම්ම. ඉතින් සුදුයි නමුත් මිශ්‍ර. මගේ බිරිඳගේ කට්ටිය ජර්මන්. යටත් විජිතකරණයේදී කොල්ල කෑව තමයි. නමුත් ඒකෙ පලිය එන හැම සංචරකයගෙන්ම ගන්න හදනවා නම් ඒක වැරදියිනේ. ඉංග්‍රීසි එවුන්ට ඒ කතාව කිව්වනම් හරි. නැත්නම් ව්‍යාපාරයක් හදන්න ඕනේ යටත්විජිටැහැ සමයේ කරපු වැරදි වලට වන්දි ගන්න. සංචාරකයන්ට වෙනම විධිහකට සලකන්නැ. අනික මේ හැමතැනම නෙමෙයි. හොඳට සලකපු තැන් ගොඩක් තියනවා. එක්කෙනෙක් දෙන්නෙක් නිසා නම කැත වෙන එක විතරයි .

      Delete
  4. Replies
    1. මොකෝ. ඔයා වගේ සංචාරකයන් ගසා කන්නේ නැතිව අපි හොඳට සැලකුව හරිද

      Delete
  5. ඔබතුමාලගේ ආණ්ඩුවක් නේද දැන් ශ්‍රී ලංකාවේ තියෙන්නේ? එහි ප්‍රධානින්ට මේ ගැන දැනුම් දුන්නා නම් හොදයි නේද? ඔබගේ හිතවතුන් නේද ආණ්ඩුවේ අගමැතිවරයා, පාර්ලිමේන්තු කතානායකවරයා ඇතුළු ප්‍රධානින්.

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද? ජිවිතේට චන්දෙ දාල නැහැ ලංකාවේ මොන ආණ්ඩුවකට වත් . කතානායක නම් දවස් දෙක තුනක් දැක්ක අර නෙළුම් යාය වැඩේට ආරාධනා කරන්න ගිය වෙලේ, ඒකට ආපු වෙලේ හෙම. වෙන හැඳුනුම් කමක් නැහැ. දුවගේ මරණෙට ගිහින් ආයුබෝවන් කීව . එච්චර තමා. අනික ඉතින් එයා කියන ඒවා මේ ආණ්ඩුව ගණන් ගන්නැවයි . නෑනේ. මේ ආණ්ඩුව ඇවිල්ල ඊළඟ චන්දෙන් පැරදෙන්න බලාගෙන වැඩ (නො)කරන එකක්නේ. බෝම්බ සිද්ධියෙන් මුළු රටම දැන ගත්තනේ කෙරුවාව

      Delete
  6. . දබුලු විහාරයේ සංචාරකයින් ට කියා සිටියේ අපත් මාර්ගඋපදේශකයකු නොමැතිව පැමිණි සුදු ජාතික යුවලක් සහ ඔවුන් ගේ දරු දෙදෙනාත් ය. ඔවුන් සුහද සිනාවක් මා හා ජයේ ලොක්කා වෙත පෑ අතර ඔවුන් අපෙන් විමසුවේ ඉංග්‍රීසි කථා කරන්නට පුළුවන් ද කියාය . ජයේ ලොක්කා කෙලින් ම මට කීවේ "මල්ලි මුන් එක්ක කතා කරපං කියා ය" පසුව දැනගත් පරිදි ඔවුන් බ්‍ර්තාන්ය ජාතිකයන් වන අතර පළමු වර මෙහි පැමිණි අය ය .ජයේ ලොක්කාගේ උපදෙස් මත මම දන්නා තරමින් විහාරයේ අයිතිහාසික වැදගත් කම පහදන්නට වීමි .අප හමුවීම මෙන්ම විස්තර කිරීම මත ඔවුන් බෙහෙවින් සතුටු වූ බව මට වැටහුණි . උතුරු නැගෙනහිර ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පිලිබදව ද ඔවුන් කනගාටුව පල කර අතර ලංකාවේ සුන්දරත්වය ඔවුන් වශීකර ඇති බව මට තේරුම් ගියේ ය . පසුව අප විහාරයෙන් වෙන්වන මොහොතේ ඔවුන් අප පැමිණි බසය බලන්නට ද පැමිණෙන්නට අමතක නොකලොය . බසයේ "ලේලන්ඩ්" නම දෙස බලා සුදු ජාතික යුවල පැවසුවේ අපේ රටේ පරණ බස් එකක් නේද කියා ය . ඔවුන් අප සැමට ආචාර කර යන්නට මොහොතකට පෙර රුපියල් දහසක් මට දිගුකරේ විහාරයේ මග පෙන්වීම ට සන්තෝෂමක් ලෙස මෙය තබා ගන්න ලෙස ය . අපේ රටට ආගන්තුකයන් ලෙස සලකා මේ කරුණු කියාදුන්නා මිස මුදල් බලාපොරොත්තුවෙන් එය නොකළ බව කියා මම පෙරලා ඒ මුදල් ප්‍රතික්ෂේප කලෙමි . ඔවුන් නොසෑහෙන ස්තුති කර අපෙන් වෙන් වී ගියෝය .

    https://magelokaya01.blogspot.com/2019/01/04.html

    ReplyDelete
    Replies
    1. කලන , බොහොම ස්තූතියි ප්‍රතිචාරයට. ඔබ වැනි අය සිටින බව දන්නවා. මෙතැනදී මුළු දවස පුරා ටිප් දී සිටි අපට අවසාන එකේදී මුදල් අඩුවීමක් නිසා එය කරන්නට නොහැකි වුණා. නමුත් ඒකට බැණ වැඩිම අසාධාරණයි. අනිත් සංචාරකයන් දෙදෙනා කීවේත් අලි සිටිනවා කියා දැන දැන බොරුවක් කියූ බවයි. ඔවුන් හොඳින්ම දැන සිටියා අලි නැති බව. ඊට කලින් අපි ඒ අසල කෑම ගැනීමට ගියා. එයත් ඔවුන්ගේ. ගම ගෙදරක් ලෙස සකස් කළ තැනක් සිංහල කෑම වේලක් කියා. එය හොඳයි. එහිදී එතනට යාමට ඔරු වලට හා කෑමටද ගෙවූ නමුත් ඒවා ඉතා සාධාරණයි.

      Delete
    2. එම වසරේදීම (2000) අපි අනුරාධපුර සංස්කෘතික ත්‍රිකෝණය ටත් ගියා. එක විදේශිකයෙකුට ප්‍රවෙෂපත්ර්ය රුපියල් 8000 පමණ වනවා. එතැනදී ඔවුන් මගෙන් ඒ මුදල ගත්තේ නැහැ. බිරිඳ සහ පවුලේ තිදෙනා පමණයි ගෙව්වේ. බලන්න තිබෙන ප්‍රමාණය අනුව එම මිල අසාධාරණ නැහැ.. එතැනදී මාර්ගෝපදේශකයන් සිටියා (පෞද්ගලික ලෙස කටයුතු කරන). මට කියා දිය හැකි වුවත් එසේ ගන්න එක හොඳයි කියා හිතුව. ඔහු උපාධිධරයෙක්. ඉල්ලුවේ රුපියල් 500 පමණයි. අවසානයේදී මා ඔහුට පන්සීය වෙනුවට රුපියල් දහසක් දුන් අතර බිරිඳගේ දෙමාපියන් තව දාහක් දුන්නා. ඔහු ඇත්තටම දැනුමැත්තෙක්. සංචාරකයන් ගසා කන්නෙකුද නොවේ. එවැන්නෙකුට මුදලක් වැඩිපුර දීම සතුටක්. මම හුඟක් වෙලාවට වාහනය ය නවතා යමක් මිලදී ගන්න කොටවත් කේවල් කරන්නේ නැහැ. මිනිසුන් අමාරුවෙන් නිපදවන දේ නිසා.
      මුදල් දුන් තැන් ගැන මම ලිව්වේ නැහැ. දීපු දේවල් ගැන කියන එක හරි නැති නිසා. අපි කුමන කුරුළු පරදිසයට ගිය අවස්ථාවේ ජීප් රථ දෙකට ගෙවන 5000 හැරුණු කොට රියදුරු මහතාට තවත් 2000 දුන්න. හේතුව ඔහු ඉතා හොඳින් තම කාර්යය කලා පමණක් නොව ජීප් රථයට ගෙවන මුදල යන්නේ එය අයිති තැනැත්තාට බවත් ඔහුට ලැබෙන්නේ පඩියක් බවත් අවංකව පැවසූ නිසා. අපි හිතන් හිටියේ ඔහු තමන්ගේ ජීප් රථයෙන් ස්වයං රැකියාවක් කරනවා කියා.
      අතනදී ඇත්තටම සිදු වූයේ අපට රුපියල් ඉතිරි නොවීමත්, රියදුරු මහතාට පෙට්‍රල් ගැහීමට දුන් මුදල ඔහු වසන් කිරීමත්ය.

      Delete
    3. අජිත් මහත්මා , මම නම් හිතන්නේ ඔබතුමා හොද වැඩි උනා. අසාධාරනව හම්බකරන මුදල් වල රහ ඒවායේ පල විපාක විදිනකම් රහ වැඩී . ඔන්න ඕකයි අපේ ලෝකල් ගයිඩ්ලාට වෙලා තියෙන්නේ . ඒ වගේම ලංකාවට කීපවරක් පැමිනෙන්නත් සචාරකයන් ආදීමදී කරන්නෙත් ඔය ලෝකල් ගයිඩ්ලාගේ සමහර ක්‍රියාකාරකම් වලින් ඔවුන් ලබපු අමිහිරි අත්දැකීම්.

      Delete
  7. වෙල්කම් ටු සංචාරක මාපිලා අයිලන්ඩ්!!

    ReplyDelete
    Replies
    1. හොඳ නරක දෙකම තියනවා.

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. කොළඹ ගමයා බ්ලොග් අඩවියේ යොමුව සඳහන් කර හෝ අජිත් ධර්මකීර්ති යන නමින් පමණක් මෙහි ලිපි උපුටා පළ කරන්නට අවසර තිබේ.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .