කෙරෙන්ස්කි රජයේ ඇමතිවරුන් අත් අඩංගුවට ගත් කාමරය |
පුංචි කාලේ ඉඳන් රුසියන් ළමා කතා කියවලා, පස්සේ ටෝල්ස්ටෝයි ගේ පටන් තුර්ගේනිව්, පුෂ්කින්, ඔස්ත්‍රොව්ස්කි , බොන්දර්යේව් ගේ නවකතා දක්වා කියවපු කාලයක්, ලිබරේෂන් වගේ චිත්‍රපට අවුරුදු දහඅට වෙනකොට බලල තිබ්බ කාලයක්.
අපේ අම්ම ලෙනින්ට හරි ආදරෙයි. මම ගෙනාපු "අම්මා " පොතත් ඇය කියවල තියෙනවා. අම්ම අදත් කියන්නේ ලෙනින් උත්තමයා නිසා ඔයා සෝවියට් දේශයට ගියා. ඊට පස්සේ රට රටවලට ගියා. දේවල් ඉගෙන ගත්ත. කොච්චර හොඳ මනුස්සයෙක්ද එයා ..? (හැබයි අම්ම ජිවිතේට කොමියුනිස්ට් පක්ෂයට චන්දෙ දීල නැහැ. බැතිමත් ශ්‍රීලනිප).
මතකද? ජෝන් රීඩ් ගේ " ලොව හෙල්ලූ දස දවස " කියෙව්වහම පුදුම ගැම්මක් නේ එන්නේ.
මම හුඟක් ලිපි ලියල තියනවා සෝවියට් දේශය විවේචනය කරලා. නිලධාරිවාදය, ස්ටාලින් ගේ දරුණු කම. ලෙනින් නිසා සෝවියට් ගිහින් උන්ගේ රූබල් 90න් ජිවත් වෙලා දැන් බනිනවා කියල ආපු විවේචන හුඟක් තියනවා. මම ඒවා ගණන් ගන්නේ නැත්තේ අම්ම වගේම වෙන දෙයක් ගැන දන්නේ නැති වුනත් ඒ හුඟක් අය "සෝවියට් දේශය " සහ එය බිහි කරපු ක්‍රමයට අහිංසක ලෙස දක්වන කැමැත්ත නිසා බව දන්නා නිසා.
දෙවෙනි වතාවට කියවන්න ගත්තේ සොල්ශේනිට්සින් ගේ "පිළිකා වාට්ටුව ", සයිබීරියාවේ සිර කඳවුරු ගැන වූ ගුලාග් අර්කිපෙලාගෝ වගේ පොත පත. ස්ටාලින්ගේ දුව ලියපු පොත වගේම අයින් රෑන්ඩ් ගේ පොත් ටික කියවන්න , පැස්ටර්නැක් සහ (උක්රයිනයේ) "44 වෙනි ළමයා" වැනි චිත්‍රපට බලන්න ගත්තේ ඊටත් පස්සේ. ඒ චිත්‍රපටියේ කොමියුනිස්ට් ක්‍රමය තුල අපරාධ නැහැ කියල අපරාධ සඟවන හැටි පෙන්වනවා. ටිකින් ටික, ලෙනින් "නව ආර්ථික පිළිවෙත " කියල 1921 දී පෞද්ගලික වෙළඳාම ට සහ පෞද්ගලික ගොවිපල වලට ඉඩ දුන්නේ ඇයි වගේ දේ, ගොර්බචෝව් ගේ කාලේ අපට රුසියාවේදී උගන් වන්න පටන් ගත්තේ ඇයි කියලත් තේරෙන්න ගත්ත. ග්ලාස්ට්නාස්ට් (විනිවිද දැකීම) සහ පෙරෙස්ත්‍රොයිකා (නැවත ගොඩ නැගීම) හරහා ගොර්බචෝව් රට නැවත ගොඩ නංවන්න හැදුව. ලෙනින් දිගටම යුධ ආණ්ඩුවක් තියන් ඉන්න හිතුවේ නැති බවත් මිනිස් නිදහස දෙන්න සුදානම් වෙලා හිටි බවත් ඔවුන් අපට උගන්වන්න පටන් ගත්ත. හැබැයි සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ ස්ටලින්වාදී තදයන් මේකට කැමති වුනේ නැහැ.
මට මතක යෙල්ට්සින් කියන මොස්කව් වල හිටපු පක්ෂ ලේකම් ගැන. යෙල්ට්සින් ස්වෙර්ද්ලොව්ස්ක් ප්‍රදේශයේ ගොඩනැගිලි ඉදිකිරිම් පිලිබඳ ප්‍රධානියා. ගොර්බචෝව් ගේ අගසව් ලිගචෝව් යෙල්ට්සින්ව ගේනවා මොස්කව් වලට 1985 විතර. ගෙනත් ඉදිකිරීම් කටයුතු පිලිබඳ අංශය භාර දෙනවා. අපි එතකොට මොස්කව් වල ඉගෙන ගනිමින් සිටින්නේ. යෙල්ට්සින් ගැන රුස්සෝ කතා වෙනවා මට මතකයි.
යෙල්ට්සින් දුෂිත නිලධාරීන් අස් කළා. ඉදි කිරීම් ක්ෂේත්‍රයේ දූෂණ නැවැත්වුවා. බටහිර දේශපාලකයෝ වගේ එයාගේ රියදුරු සහිත වාහනය එපා කියල ට්‍රොලි බස් එකේ වැඩට ගියා. පක්ෂයේ අයට වෙන් කරපු විශේෂ සාප්පු වලට යන්නේ නැතිව පෝලිමේ හිටිය කඩෙන් බඩු ගන්න. විප්ලවීය නායකයෙක් හැටියට ප්‍රසිද්ධයි. එනිසා පක්ෂයේ මධ්‍යම කාරක සභාවටත් ගත්ත. නමුත් මිනිහට සතුරෝ වැඩියි. පක්ෂයේ දක්ෂිනාංශය කකුලෙන් අදිනවා කියල යෙල්ට්සින් ඉවත් වුණා . ඉතිහාසයේ පළමු වතාවට මධ්‍යම කාරක සභාවෙන් කෙනෙක් ඉල්ලා අස් වෙන්නේ. විප්ලවවාදී මනුස්සයෙක් තමන්ගේ "විප්ලවීය" සගයන් කුහකකම් කරන කොට පක්ෂය හිරිහැර කරන කොට අනිත් පැත්තට ගිහින් උන්ව විනාශ කරලා අන්ත දක්ෂිණාංශිකයෙක් වෙන්නේ කොහොමද කියල යෙල්ට්සින් පෙන්නුවා. ඇත්තටම එහෙමද වුනේ නැත්නම් පරණ කොමියුනිස්ට් නිලදාරීන් රොත්ත දක්ෂිනාංශික ද ? යෙල්ට්සින් ලිබරල් නායකයෙක්ද? ඕව තමයි ඔළුවට එන ප්‍රශ්න.
පක්ෂයේ ස්ටාලින්වාදීන් බලය ගොර්බචෝව් ගෙන් ගනිද්දී යෙල්ට්සින් විරය වගේ පැනල ඒක බේරුවා. නමුත් 1991 දී සෝවියට් දේශය ඇද වැටුන. යෙල්ට්සින් රුසියන් සමුහාණ්ඩුවේ ජනාධිපති වුණා. ඊට පස්සේ ඉතිහාසයේ කරපු ලොකුම මෝඩකම යෙල්ට්සින් කෙරුව.රුසියාවට එකොනොමික් ෂොක් තෙරපි එකක් හෙවත් හදිසි ආර්ථික ප්‍රතිසංස්කරණයක් ගෙනාව. ඇත්තට උනේ වෙන දෙයක්. හොරෙන් බිස්නස් කර කර හිටි හොරු ටිකකුයි , කේජිබි එකේ සහ හිටපු කොමියුනිස්ට් පක්ෂයේ ලොකු එවුනුයි රටේ සම්පත් ටික කොල්ල කා ගෙන හොර ධනපතියන් රැලක් (robber baron ) නිර්මාණය කර ගත්ත. ආයෝජන වෙනුවට උන් කලේ තියෙන දේ හොරකම් කරලා බටහිර රටවලට ගෙනිච්ච එක. තෙල් සහ දියමන්ති සහ ස්වාභාවික සම්පත් තුට්ටු දෙකට දුන්න. මුළු සෝවියට් මාකට් එකම එහෙම්මම වැට්ටුව. පුටින් ඇවිල්ල නවත්තනකම්ම ඕක තමයි වුනේ.
ඇත්තම කියනවා නම් මම තවමත් සෝවියට් දේශයට ආදරෙයි. එක පාරක් ලන්ඩනයේදී සෝවියට් දුම්රිය මාර්ග පද්ධතිය ගැන විස්තරයක් තිබ්බ ජාත්‍යන්තර දුම්රිය සඟරාව (international railway journal) ක් ගත්ත. සෝවියට් පස් අවුරුදු සැලැස්මක් ගැන ඒකෙ තියෙන්නේ. (ඉහත පින්තූරය) දුම්රිය මාර්ග තව වැඩි කරන්න. ඇත්තට ම සෝවියට් දුම්රිය සේවය ඉතාම අනර්ඝයි. බඩු ප්‍රවාහනය විතරක් නෙමේ මගී ප්‍රවාහනයත්. බ්‍රිතාන්‍යය සහ ජර්මනිය තවමත් ඒ පද්ධතිය අගය කරනවා. අපි 84 ලංකාවෙන් සෝවියට් දේශයට ගියේ. ඒ කාලේ සෝවියට් දේශය ලංකාවට වඩා පොහොසත් දියුණු රටක්. ස්ටාලින් මැරුණට පස්සේ 1961 කම්කරු සිර කඳවුරු (ගුලාග්) වහනවා. හැට පහේ සිට හැත්තෑවේ දශකය පහු වෙද්දී බටහිර වගේම ඩිස්කෝ සංගීතය ජනප්‍රිය වෙන්න ගත්ත සම්භාව්‍ය සංගීතය එක්කම. චිත්‍රපට, නාට්‍ය සහ සාහිත්‍යයේ පුනරුදයක් එනවා. රට පුරා මිනිසුන්ට නවීන ගෙවල් හදනවා . පළමු මිනිසා අභ්‍යවකාශයට යවනවා. න්‍යෂ්ටික සහ අවි ආයුධ බලයෙන් ඇමෙරිකාවට සහ බටහිරට සම වෙනවා.
සෝවියට් දුම්රිය මාර්ග |
මොස්කව් වල යුගෝ සපද්නයා වල තට්ටු නිවස හෙම හොඳම බටහිර තත්වයේ ඒවා. හැබැයි මොස්කව් වලින් ඈතට යන්න යන්න තත්වය හෙමින් හෙමින් වෙනස් වෙනවා. මෙහම තිබ්බ රට අන්තිමට දියුණු වෙන්න ගත්තේ හුඟක් හෙමින්. ආර්ථික වර්ධන වේගය 1% වඩා අඩුවෙන්න ගත්ත. ප්‍රශ්න එන්න ගත්තේ අන්න එතකොට.
මේ දවස් වල කියවමින් ඉන්නේ වොල්කාගොනව් ගේ පොත් පේලිය. දිමිත්‍රි වොල්කගොනව් සෝවියට් රතු හමුදාවේ තරු තුනේ ජනරාල් කෙනෙක්. වසර 1985 ඉඳන් යුධ ඉතිහාසය පිලිබඳ සෝවියට් ආයතනයේ හිටපු අධ්‍යක්ෂක. ස්ටාලින් ගේ ජිවිත කතාව ඔහු ලියන්න පටන් ගන්නේ 1978 ඉඳල. ඊට පස්සේ 1992 වෙනකොට ට්‍රොට්ස්කි ගැන හා ලෙනින් ගැන ලිව්වා. ඔහුට රහසිගත ලේඛන පරිහරණය කරන්න අවසර තිබ්බ නිසා ඔහුගේ සටහන් ඉතා වැදගත් ලෙස සත්‍යය පවසනවා. උදාහරණයකට ඔක්තෝබර් (නොවැම්බර් හත) විප්ලවයට මාස තුනකට කලින් ට්‍රොට්ස්කි සහ ලෙනින් විප්ලවයක් කරනවද නැත්ද කියල දෙගිඩියාවකින් හිටි බව. එසේම හිටපු අගමැති පැරණි සමාජවාදියෙකු වූ කෙරෙන්ස්කිට රුසියාව ධනවාදී රටක් ලෙස දියුණු කරන්න ඉඩ දෙමු කියල හිතූ හැටි. නමුත් වාස්තවික තත්වයන් හා අහඹු ලෙස පැන නැගුනු සිද්ධි සමුදායක් විසින් සියල්ල වෙනස් කරන හැටි ඔහු අගේට ලියනවා.
ඔහුගේ "සෝවියට් අධිරාජ්‍යයේ නැගීම සහ වැටීම (the rise and fall of the Soviet Empire)" පොතේ මුල් පරිච්චේදයෙන් මේ ලිපිය අවසන් කරන්නම්.
"විසිවන සියවසේ දශක හතක්ම සෝවියට් දේශය ලෙනින් විසින් සිතියම් ගත කල මගේ ගමන් ගති. එය සෙසු ලෝකයා භීතියට පත් කල සුපිරි හමුදා බලයක් ගොඩ නැගූ, ප්‍රබල තාක්ෂණික, කාර්මික, විද්‍යාත්මක හා හමුදා ආර්ථිකයක් සහිත දේශයක් විය. නමුත් එහි වෙසන වැසියන් ප්‍රීතිමත් කරන්නට හෝ නිවහල් කරන්නට එය අසමත් වුනි. එය ලෝකයේ පළමු වතාවට මිනිසෙක් අජටකාශයට යැවූවත් තමන්ගේ වැසියන්ගේ මානව අයිතීන් දියුණු කිරීමට කිසිවක් කළේ නැත. "ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය " කළ මිනිසුන්, "ශ්‍රේෂ්ඨ දේශප්‍රේමී යුද්ධය (1945 දෙවන ලෝක යුද්ධය) " දිනු මිනිසුන් සහ රටේ "ශ්‍රේෂ්ඨ කොමියුනිස්ට් වාදී සමාජයක් ගොඩ නැගීමට " වෙහෙස වූ මිනිසුන් නිදහස හෝ සෞභාග්‍යය හෝ වෙනත් කිසිවක් තමන්ගේ ඒ මහා මහන්සියට නොලැබූහ. "උරහිසෙන් උරහිස" ගැටී ලෙනින්වාදී මග ඔස්සේ ගිය පෙළපාලියේ ඉඩක් වෙන් කර තිබුනේ උරෙන් ඇන එළවා දැමූ "පුද්ගලයාට" නොව "මහා ජනතාවට" පමණි .
/* ඔක්තෝබර් විප්ලවයට අවුරුදු සීයයි */
ReplyDeleteඔක්තෝබර් විප්ලවයට පමණක් නොවෙයි අජිත් ප්‍රතිවිප්ලවයටත් අවුරුදු සීයක් වෙනවා!
ඔව් නේද
Deleteබොල්ෂෙවික් විප්ලවයේ පටන් 2017 වසරේ දී සියවසක් ගෙවී යන කොමියුනිස්ට් ඉතිහාසය පුරාම මනාව දැකිය හැකි ලක්ෂණයකි. නව කොමියුනිස්ට් සංස්කෘතියක් ගොඩනැඟි මෙහිලා විශාල මෙහෙයක් කළ යුතුව ඇත.
ReplyDeleteඑය එක් රටකට තනිව කළ හැකි නොවේ. ඊට සමාජවාදයට ඇඳුණු සැමගේ සහයෝගය අවැසිය. එහෙත් වත්මනෙහි සිදු වන්නේ ධනවාදය ප්‍රමුඛ සංවර්ධන ගමනකි. එය හුදු කතාවට එහා නොයන වැඩක් වී ඇත. මන්ද ධනවාදීන්ට කියන්නට හැකි මුත් කරන්නට ඊට වඩා විශාල මෙහෙයුමක් අවැසි බැවිනි.
හැත්තෑවේ දශකයෙන් ඇරඹී,නව යුගයෙන් අහවරවූ ඇමරිකන් ධනවාදය එහි තැන පෙන්වන ප්‍රධානතම නිර්ණායකය වේ. ධනවාදයට මනින ඒකකය ඇමරිකාව බවට පත්වී ඇත. වත්මන් ඇමරිකන් ජනපති පරිපාලනය බාර ගත්තේ අරුම පුදුම සැලසුමක් තමන් සතු බවත් බලයට ආ පසු එය එළිදක්වන බවත් කියමිනි. අද බලයේ සිටින මුත් සැලැස්මක් ගැන සඳහනක් නොපවතී. අද බල්ලාගේ වැඬේ බුරුවා කරන්නා සේ දොඩං ගොඩ බදාගත්තා සේ සියලු දේ බදාගෙන ඇත.
ගිනිඅවිකරුවන් නිදැල්ලේ මිනිසුන් හැට හැත්තෑව මරා දමයි. ට්‍රම්ප්ගේ පරිලපනය දැන් එලෙසය.
සමාජවාදී රුසියාවේ අනුග්‍රහය යටතේ ඉගෙන දැන් ධනපති, දක්ෂිණාංශික රටවලට ආවඩනා අජිත් ධර්ම මහතා දැන් පිට්ටු ගිල්ලාක් මෙන්ය. අජිත් ධර්ම මහතාට ඇත්තේ දෘෂ්ඨිය පිළිබද ගැටළුවකි. වයස අවුරුදු 52 ක් වුවත් තවමත් හරි වැරැද්ද තෝරාගැනීමේ නොහැකියාව එතුමාට ඇත.
උඩ ලියල තියෙන ටිකට ලොකු විරුද්ධත්වයක් නැහැ. //සමාජවාදී රුසියාවේ අනුග්‍රහය යටතේ ඉගෙන දැන් ධනපති, දක්ෂිණාංශික රටවලට ආවඩනා අජිත් ධර්ම මහතා දැන් පිට්ටු ගිල්ලාක් මෙන්ය// ඔය ඉගෙන ගත්ත කතාවට ඔබතුමාටම වෙන්න ඕනේ පිළිතුරු කිහිපයක්ම දීල තියෙනවනේ. රුසියාවට නොගිය කියල මම ඉගෙනීම් ඇත හැර යන්නේවත් ගෙදර නිකන් ඉන්නෙවත් නැහැ. ඔය සමාජවාදී ලේබල් ගහන් ඉන්න කට්ටියනේ අපි ගැන හැංගිලා බොරු ලියන්නේ. මම එහම නම් ප්‍රසිද්ධියේ මේවා ලියන්නෙත් නැහැනේ.
Deleteසෝවියට් ඇනෝ ගේ සමාජවාදය
වජිර යාපා ගේ කොමෙන්ටුවට "මං තුමා" ඇවිස්සෙයි
සෝවියට් ශිෂ්‍යත්ව ගැන තව දුරටත්
//මට හදිසියේම මතක් වුනේ මගේ වයසත් අවුරුදු පනස් දෙකක් කියල.// හැක්!...බලාගෙන යනකොට අජිත් ලොක්කා හෙන වෑසක ඩයල් එකක් නේ.
ReplyDeleteඒකනේ :)
Deleteමම අජිත්ගේ සෝවියට් දේශය ගැන ලිපි ගොඩක් කියවලා තියෙනවා. හැම ලිපියටම කොමෙන්ට් නොකලත්, සෝවියට් සමාජවාදය ලෙනින් ස්ටාලින් ගැන එහෙමට ලොකු උනන්දුවක් නැතත්, මට හිතෙනවා ඒවා ගොඩක් බොහොම අවංකව ලියා තිබෙනවා කියලා. රුසියාවට තවම ගිහින් නෑ. රුසියන් සංචාරයක් යන එක bucket list item එකක්.
ReplyDeleteඔක්තෝබර් විප්ලවය කියුවම මට මතක් වෙන්නෙම Oktoberfest :D
මම හිතනවා රුසියාව සංචාරයක් කළ යුතුම රටක් කියල. ලෝකයේ විශාලතම රට වගේම වදගත් ඉතිහාසයක් තියන රටක්.
Delete//ඔක්තෝබර් විප්ලවය කියුවම මට මතක් වෙන්නෙම Oktoberfest// හා හා ඒක හැම අවුරුද්දෙම වෙන පොඩි විප්ලවයක් නේ.
//මට හිතෙනවා ඒවා ගොඩක් බොහොම අවංකව ලියා තිබෙනවා කියලා. // මේ වාක්‍යයට බොහොම ස්තුතියි. එක අයෙකුට හරි එහෙම හැඟෙනවා නම් ලොකු දෙයක්. ලියමන සාර්ථකයි කියල සතුටු වෙන්න පුළුවන්.
Deleteපිට හිටපු අයට පේන/හිතපු දේට වඩා වැදගත් රටේ ජනයාගෙන් වැඩි දෙනා සෝවියට් ක්‍රමයට කැමැත්තෙන් හිටියද කියන එක. සාර් පාලනයට වඩා හොඳයි කියන එක එක්තරා කාලයකට valid, ඒත් ක්‍රමයෙන් මිනිස්සුන්ගේ අවශ්‍යතා වෙනස් වෙනවනේ. කොයිතරම් හොඳ අදහසින් පටන් ගත්තත් ඒකාධිපති ක්‍රමයක අඩුපාඩුව වෙන්නේ කාලෙකින් ඇතුලෙන්ම දරුණු විදිහට පුපුරලා යන එක
ReplyDeleteහැත්තෑ ගණන් වල සිට ඇසුවේ මුල් කාලය දක්වා මිනිස්සු භාගෙට භාගයක් කැමැත්තෙන් හිටියේ කියල මම හිතනවා. අසුවේ අග හැමෝටම ප්‍රතිසංස්කරණ ඕනේ වුනා. හැබැයි දැන් අයෙත් භාගෙට භාගයක් කියන්නේ තිබබ් සෝවියට් ක්‍රමය හොඳයි කියල. විශේෂයෙන්ම වෛද්‍ය වියදම් නිසා.
Deleteයෙල්ට්සින් ගේ ඉතිහාසය දැන සිටියේ නෑ, මේකත් අසා තිබුනෙම නෑ /ට්‍රොට්ස්කි සහ ලෙනින් විප්ලවයක් කරනවද නැත්ද කියල දෙගිඩියාවකින් හිටි බව. එසේම හිටපු අගමැති පැරණි සමාජවාදියෙකු වූ කෙරෙන්ස්කිට රුසියාව ධනවාදී රටක් ලෙස දියුණු කරන්න ඉඩ දෙමු කියල හිතූ හැටි/, වොල්කාගොනව් ගේ පොත් වල pdf හොයාගන්නම වෙනවා.
ReplyDelete//ට්‍රොට්ස්කි සහ ලෙනින් විප්ලවයක් කරනවද නැත්ද කියල දෙගිඩියාවකින් හිටි බව// මේක වෙනත් මුලාශ්‍ර වලිනුත් තහවුරු කරල් තිබ්බ. ස්ටාලින් ඔය ඉතිහාසය වහලනේ තිබ්බේ. කෙරෙන්ස්කි කියන්නේ සමාජවාදියෙක්. https://www.bl.uk/people/alexander-kerensky
Deleteනොවැම්බර් වෙච්ච දේකට ඇයි ඔක්තෝබර් විප්ලවය කියන්නේ .
ReplyDeleteඒ දවස් වල රුසියාව පාවිච්චි කලේ ග්‍රෙගෝරියන් කැලැන්ඩරේ. ඒක යුරෝපිය එකට වඩා දවස් 13 පිටුපසින්. ඉතින් පැරණ රුසියානු කැලැන්ඩරයට අනුව ඔක්තෝබර් 24-25 තමා විප්ලවේ වෙන්නේ. නමුත් යුරෝපය ඒක නොවැම්බර් 6-7. ලෙනින් අවට පස්සේ යුරෝපියන් කැලැන්ඩරේ භාවිතයට ගත්ත. එයින් පස්සේ ඔක්තෝබර් විප්ලවේ කියා කියුවත් සැමරුවේ නොවැම්බර්.
Deletethanks Ajith ayiya
Deleteඔක්තෝබර් විප්ලවය සම්බන්ධව තවත් ලිපි කීපයක් කියෙවුවා. ඒ බොහොමයක් කවදත් කියවපු ඒවා ඒත් මෙතනින් කෙටි එහෙත් රසවත් වෙනස්ම විස්තර ලැබුණා ස්තුතියි අජිත්
ReplyDeleteඑකෙන්ම
Deleteබොහෝම අගෙයි අජිත්. 100% එකඟයි ඔබේ අදහසට.
ReplyDeleteස්තුතියි සුදත් , අත්දැකීම් ලියමු නේද
Deleteසෝවියට් දේශයේ පැරනි දවස් වගේම නූතන රැසියාව ගැනත් අජිත් ලියන සටහන් හරිම රසවත් වගේම එහි ඉතිහාසය ගැන සංසන්දනාත්මක විග්‍රහයක් කරනවා.විශේෂයෙන්ම සෝවියට් දේශය ලිපිපෙල ගැන ඔබට ස්තුති.
ReplyDeleteමොහොට්ටි ඔබේ ප්‍රතිචාරයට ඉතාමත් ස්තුතියි. තව ලියන්න දහිරියක්.
DeleteHi Ajith,
ReplyDeleteThank you for an interesting article.
I think you try to write honestly as much as you can .Sorry for the English comment for a sinhala article. I tried google tools as you advised few months back ,but was not very successful. Keep on writing as most of the bloggers are going through a lean patch these days.
බොහොම ස්තුතියි තුසිත. මට මතක නැහැ ඔබට කීවද කියල සිංහල දා ගන්න.
Delete