Saturday, 18 November 2017

කැත ගැහැණියගේ අගෝරා සෙල්ෆිය

අන්තර් ජාලයෙනි  
සරද සමරසිංහ ගේ "කැත ගැහැනියගේ හීනය " පොත ගැන කතිකාවක් තිබුන ලන්ඩනයේ. අගෝරා කලා කවය මගින් සංවිධානය කරපු. සරද ගේ කෙටි කතා පොත  සෑහෙන්න විවේචනය කරලා ලිපියක් දැම්මත් සරද මට ආරාධනා කලා, සභාව මෙහෙයවන්න. ඉතින් මම පටන් ගත්ත සාමාන්‍යයෙන් ප්‍රබල චිත්‍රපට හා සාහිත්‍ය කලා විචාරකයෙකු ලෙස මම සලකන දීප්ති කුමාර ගුණරත්න  ගෙන්ම.

"අසෝක හඳගම සහ සත්‍යජිත් මාඉටිපේ අතර දාර්ශනික වෙනස " කියන ලිපියේ දීප්ති මෙහම කියනවා.
// කලාව පිළිබඳ ඉදිරිපත් කරන දාර්ශනික සහ දේශපාලනික විවේචනවල මුඛ්‍ය  ගැටලුව වන්නේ  කෘතියේ නොවන ප්‍රශ්න ඊට එබ්බවීමයි. උදාහරණයක් ලෙස වින්සන්ට් වෑන්ගෝ නම්  ප්‍රවීන චිත්‍ර ශිල්පියාගේ   “ගොවි සපත්තු” නම්  චිත්‍රය හෛඩගර් නම් දාර්ශනිකයා ඒ තුළ නැති ගැටලුවක් බවට ‘එය’ පත් කළේය. එනම් මෙම සපත්තු අයිති කාටද යන ප්‍රශ්නය යි. කෝදාගොඩ  යනු යථාර්ථයට වශී වූ විචාරකයෙකි. ඔහු  කියන්නේ හොඳ නිර්මාණකරුවන් යනු යථාර්ථය නිරූපණය හෝ ප්‍රතිනියෝජනය කරන අය බවයි. අප කියන්නේ  යථාර්ථය නියම අයුරින් නියෝජනය කරන කලාකරුවන් යනු ඔවුන්ගේ සැබෑවෙන් යතාර්ථය වෙතට පලා යන්නන් බවය. අප යථාර්තය හදුනා ගන්නේ සුචරිත ගම්ලත් හෝ පියසීලී විජේගුණසිංහට වෙනස්ව ෆැන්ටසියක් ලෙසිනි. එනිසා ෆැන්ටසිය ප්‍රබන්ධයකි. කෝදාගොඩට  මෙම විසඳුම ගැලපෙන්නේ නැත. ඔහු යථාර්ථය සලකන්නේ සමස්තයක් (අඩුවක් නැති) ලෙසය. අපට අනුව  සමාජ යථාර්ථය වැළඳගැනීමම  පලා යාමකි.//

මට හිතුන ඇත්තටම මම ඉදිරිපත්  කරපු අදහස් වලට මම "කෘතියේ නොවන ප්‍රශ්නයක් එබ්බෙව්වද " කියල. සරද හිතන්නේ  එහෙමයි කියල මට තේරුනේ.  ඉතින් මම හෛඩගර් ගෙන් පටන් ගත්ත. මාර්ටින්  හෛඩගර් (1889-1976) ජර්මන් දාර්ශනිකයෙක්.  එයාගේ දර්ශනවාදී නැම්ම  සම්බන්ධ කරලා තියෙන්නේ ෆෙනමෙනලොජි phenomenology  (ප්‍රපන්චවේදය?)  සහ existentialism (සංදෘෂ්ටිකවාදය?) වලට .  phenomenology කියල කියන්නේ විකියේ තියන විධිහට අත්දැකීම් වල සාරය හඳුනා ගැනීම සහ විඥානය පිලිබඳ ඉගෙනීම . existentialism  වලට භවසත්තාවාදය කියලත් කියනවා. නැතිනම් "නිදහස් සහ වගකීම් සහිත තනි මිනිසෙකු තමන්ට අභිමත ලෙස ක්‍රියා කිරීමෙන් ඔහුගේ සංවර්ධනය තීරණයකිරීමෙන් ඔහුගේම පැවැත්ම තහවුරු කිරීම (පරිවර්තනයකි)"  කියල  ලියන්නත්  පුළුවන්.

හෛඩගර් හිට්ලර් ගේ නාසි වාදයට අනියමින් උදව් කළ නිසා දරුණු විවේචනයකට බඳුන් වූ අයෙක්.

ඉතින් මේ හෛඩගර් ලියනව  "කලා  කෘතියක මූලාශ්‍රය" (the origin of the Work of Art) කියල ලිපියක්.  මෙන්න මෙහෙම දෙයක් ඒ ලිපියේ කියනවා. ඔහු පෙනී සිටින්නේ වර්තමාන (ඔහුගේ කාලයේ) සම්ප්‍රදායක දර්ශනවාදී සෞන්දර්යයේ  නොවේය නමුත් සත්‍යම වූ සත්‍යයම පිළිඹිබු කරන  කලා කෘති සඳහාය කියල. (Heidegger is against the modern tradition of philosophical "aesthetics" because he is for the true "work of art"). ඔහු කියනවා නියම කලා කෘතිය සෞන්දර්යය නිසා අඳුරු වෙනවා (eclipsed) කියල. හැබැයි හෛඩගර් ම ඒ එක්කම කියනවා මේක මහා ඔක්සිමොරොන් (oxymoronic) එකක් කියල. ඒ කියන්නේ නිකන් "කොළඹ ගමයා " වගේ. ගමයෝ කොහෙද කොළඹ? එහෙම නැත්නම් "හතරැස් වෘත්තයක්" "කන් බිහිරි කරවන නිශ්ශබ්දතාවය" වගේ කියල.  "ජිවත් වුනත් මැරිලා වගේ " ඉන්න මිනිස්සු. මැරිලා නම් ජිවත් වෙනවා කියන්න බැහැනේ. සුන්දරත්වයක් නැති කලා කෘති පවතින්න පුලුවන්ද?

මොකද  කලාවේ  නියම ඓතිහාසික වටිනාකම හදුනාගන්නට බටහිර මිනිසාට හැකිවුණේ එය  සෞන්දර්යවාදී වීම නිසාම යයි කියල ඔහු නැවත නැවතත් අවධාරණය කරනවා ඒ එක්කම. හතරබීරි කතාවක්නේ. මම දැන් මුලින් ලියූ ලිපියේ රත්න ශ්‍රී හීන් විමසුමක් කරන "උඩරට කඳුකර සිරියා පරදන" ගීතයට නැවත ගියොත්.  මතක තබා ගන්න අපි මෙය ගන්නේ උදාහරණයකට. ඉතා රසවත් ලෙස තම දෙමාපියන්ගේ ගී ගයන චිත්‍රාල්  සෝමපාල මහතාට හෝ ගීය මුලින් ගැයූ ගායක  ගායිකාවන්ට විවේචනයක් නෙමෙයි මේ ඉදිරිපත් කරන්නේ.

ඒ ගීතයේ මෙහෙමත් තිබෙනවා.  රටේ ජාතික ධනයයි ඔවුන් උපයන්නේ. අපි ණය ගැතියි ඔබට.
"රට පණ ගන්වන ජාතිය සුරකින ජාතික ධනය අපේ
අපි ණය ගැති වෙමු සුකොමල දෑතට  තේ දළු නෙලන ලඳේ "

එසේම "තේ වල යහපත ලොවටම සලසන කම්කරු ළඳකි ගමේ" කියලත් ලියනව. ඒ කියන්නේ කම්කරු ළඳක් තමයි තේ නෙලන්නේ කියන එකත් ගේය පද රචකයා විසින් පිළි ගන්නවා.  ඔහු ඇය ඉහල තැනක තබා ලියනවා මිසක අපහාසයක් කරන්නේ නැහැ. අපට ආදරයක් ඇතිවන අයුරින්  ලියන්නේ. සංගීතය සුමධුර කර්ණ රසායන හෙවත් "නැගල යන " එකක්.

හෛඩගර්  කියන දේ - සෞන්දර්යයද,  ඇත්ත ඉදිරිපත් කිරීමද ද  වැදගත් කියන  එක ඔළුවට වදින්නේ මෙතන.  මේ සින්දුවේ අයිසින් දාඋ කේක් එකක් වගේ  ලස්සනට වහල තියෙන්නේ   උඩරට තේ දළු නෙලන කම්කරු ජනතාවගේ දුක්ඛිත තත්වය. සින්දුව අහන කොට හිතෙන්නේ මරුටියකින් වැඩට ඇවිත් තේ දළු ටික නෙලලා හවසට ගෙදර යන මොඩල් එකක් ගැන. ඔය යු ටියුබ් එකේ දාල තියෙන සින්දුවේ වදන් ලස්සන ඉන්දියානු කාන්තාවක  ගේ පින්තුරයක් එක්ක නේ තියෙන්නේ. හිතේ මැවෙන්නේ ඒකනේ. තේ දළු නෙලන ගැහැණිය කැතයි කියල නෙමේ මේ කියන්නේ. වරදවා වටහා ගන්න  එපා. දුක්ඛිත ජිවන තත්වය ගැනයි මම අදහස් කරන්නේ.

මම ලුණුගල හිටි කාලේ (හැත්තෑ ගණන් වල) දැකල තියනවා රා හෝ කසිප්පු බීපු සැමියා ගෙන් ගුටි කාල  පොලිසියට එන දුප්පත් කම්කරු ගැහැණු.  ඔවුන් පොලිසිය ඇතුලට එන්නත් බය දෙවන පන්තියේ පුර වැසියෝ. ඔවුන් ගේ  ලයිම් ඉස්සරහ මයියොක්ක වගා කරලා තියනවා.  ඒ මයියොක්ක රෑට තම්බල කන්න. දවල්ට බත් තිබ්බොත් මයියොක්ක දළු මැල්ලුම එක්ක බත් කන්නේ, එක පාරක් ළමයෙකුට වමනේ ගිහින් පොලිසියේ ජීප් එකෙන් ලුණුගල රෝහලට ගෙනිච්ච. ඒ අම්මට වැරදිලා වෙන දළු වගයකුත් මිශ්‍ර වෙලා. ඕකයි තත්වය. දැන් ඔවුන් තරමක් දුරට හොඳින් ජිවත් වෙනවා.

ඉතින් ස්ටාලින් ගේ කාලේදී තමා සමාජ සත්තා  යථාර්ථවාදය socialist realism එක ආවේ. මේ ගැන මම කලින් ලියල තිබෙනවා.  හැට ගණන් දක්වා ඒ ට්‍රෙන්ඩ් එක තිබුන. ප්‍රවීන නාට්‍ය රචක විජිත ගුණරත්න මට මතක් කල කාරණයක් තමයි ඒ දිනවල කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ ගුණසේන විතාන ඇතළු පිරිසක් තමන්ගේ ලේඛක සංවිධානයක් අටවාගෙන අනිත් අයව පහත දමා උඩට ඒමට ඉඩ නොදී සෝවියට් දේශයට කඩේ ගිය හැටි.  සෝවියට් දේශයේත් සමාජ සත්තා  යථාර්ථවාදය  කියන ලේබලය යටතේ පක්ෂවාදී බොරු මනස්ගාත පල කරපු හැටි. නමුත් හොඳ නිර්මාණ බොහොමයක් එලියට ආවෙත් ඔය කාලෙමයි අයිත්මාතව් ගේ වගේ. ඉතින් කෙලින්ම වරදක් කියන්න බැහැ. නමුත් අපි ස්වාධින නිර්මාණයට  ඉඩ දිය යුතුයි. එය එළි  දැක්වූවාට පසු විචාරයක් ඉදිරිපත් කිරීමේ අයිතිය අප සතුයි.

ඉතින් මම ඒ ලිපියේ බ්‍රෙස්ටියානු  එපික් ශෛලියක් ගැන ලිව්වේ ඔය පසුතලය මත. දීප්ති සැබෑවෙන් යථාර්තය  වෙත පලා  යන්නවුන් හැටියට හඳුන්වන්නේ යථාර්තය  තමන්ගේ ෆැන්ටසියක් කර ගත් කලාකරුවන් ගැන වෙන්න ඕනේ.  සරද ගේ පොත ගැන මම ලිව්වේ ඒක . "කැත   ගැහැණිය "හැර අනිත් සියලු කෙටි කතා යථාර්තය පිලිබඳ ඔහුගේ පරිකල්පනයේ උසස් බව පල කරන බව කියන්න.

ඔය අතරේ මම හෛඩගර් ගැන කියන්න දර්ශනවාදයේ වචන කිහිපයක් භාවිතා කිරීම එතනට පැමිණ  සිටි ප්‍රවීණ  කිවියර අනුර හෑගොඩ මහතාගේ පියාපත් මදක් සෙලවූ බව වැටහුනා.  ඔහු අදහසක් පල කරමින් කියා සිටියේ අමාරු වචන යොදා පොරත්වය පෙන්වන්නේ නැතිව සරල ලෙස යමක් කියමු යන්නයි. ඔහු ඒ සඳහා ලංකාවේ ඩේලි නිව්ස් පුවත්පතට  ඔහු ලියු කොලමක් ගැන කතා පැවසුවා. ඒවා  බොහෝ සරල භාෂාවෙන් ලියා  ඇතිබවත් එසේම ලන්ඩනයේ  මෙට්‍රෝ වැනි පුවත් වල ඇති නාට්‍ය විචාර පහැදිලි පොදුජනයා ට තේරෙන භාෂාවෙන් ලියා ඇති බව.

එතනට පැමිණ සිටි තරුණ චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකු වන නුවන් ජේ ත් එය අනුමත කර. විචාර දෙඤඤම් බැටේ ඒවා නොව කලා කරුවා දිරි ගැන්විය යුතු ඒවා බව. මා  ඒ කතාවට විරුද්ධ නැහැ.

මෙන්න  තියනවා මෙට්‍රෝ පත්තරේ විචාර කියව බලන්න.   එහිත් සරෙලිස්ට් (surrealist) වැනි වචනත් භාවිතා වෙනවා. කවුරු හරි කියයි ඒවත් අමාරු වචන කියල.

මේවා ලියන්නේ  මිනිසුන්ට නාට්‍ය තෝරා ගන්න උදව්ව්වකට. ඒවාට එම විචාරකයන්ට ගෙවීමක් කරනවා. මේ පත්තරේ ටැබ්ලොයිඩ් එකක් ගොසිප් ලංකා වගේ ගාඩියන් වගේ  සීරියස් බ්‍රෝඩ් ශීට් පුවත් පතක් නොවේ. ගාඩියන් පුත්පතේ එඩ්රියන් සර්ල් ගේ විචාරයක් කියවා  බලන්න. මේ තව එකක්. තවත් කෙනෙක් විචාර ලියන්නේ නාට්‍ය විකුණා ගන්නම නෙමෙයි.

රවී වීරසිංහ කියන මම කැමැත්තෙන් කියවෙන බ්ලොග් කරුත් තැනක (ෆේස්බුක්) එකේ හිනාවෙලා තිබුන මෙහෙම  දීප්ති වගේ අය භාවිතා කරන අමාරු සිංහල වචන   ගැන. සුමිත් චාමින්ද හෙම නිතර භාවිතා කරන "භව සත්තා  නිමේෂය" ගැන මමත් වරක් ලියා තිබුන.  රවී වීරසිංහගේ බ්ලොග්  එකේ ඔහු ලියන ශෛලිය  සුන්දරයි.  ඔහුට නොවැටහෙන කරණය තමා ඔහු භාෂාව ඉදිරිපත් කරන විලාසයේ ඇති ගැම්ම. ඒක හැමෝටම බැහැ  කරන්න. දිප්තිලා වගේ අයත් නව වචන හඳුන්වා දෙමින් කරන්නේ භාෂා පෝෂණයක්. දන්නේ නැතිනම් කරුණ කරලා ඉගෙන ගන්න වචන ටික. මේ බ්ලොගයෙම වෙන තැනක මම එහෙම වචන ලියාගෙන ඉන්නවා.  ඒක තමයි වැදගත්. ඒක තමයි ඉගෙනීම කියන්නේ.

දැන් මම   ටිකක් හිතල තමයි අර ක්වන්ටම් අංශු ගැන ලීවේ. ෆේස්බුක් එකේ මල්ලි කෙනෙක් ඒ මොකක්ද කියල අහපු එකකට පිළිතුරු. පොරත්වය පෙන්වන්න නෙමේ ඕව ලියන්නේ. දැනුම බෙදා හරින්න. එතන පෞලි  ගේ නියමයට කියන්නේ පෞලී බහිෂ්කාරක නියමය කියල කවුද කිව්වා. ඉතින් ඒ වචනය අපට ඉගෙන ගන්න වෙනවා.  

කලා කරුවන් දිරි ගැන්වීමට තම අපි මේවා ලියන්නේ කියන එක කවුරුත් වටහා ගෙන නැහැ. එසේම නුවන් ජේ කිව්වා අපි ඉංග්‍රීසියෙන් ලිවිම පටන් ගත යුතුයි කියල. සිංහල සිනමාව ජාත්‍යන්තරයට ගියාට සිංහල ගීතය ගිහින් නැත කියල. සිංහල ගීතය  එතනට ගෙනියන්න දර්ශන රුවන් දිසානායක වගේ ප්‍රතිහස්ත තරුණ සංගීතඥයන්ට පුළුවන් කියල මම කිව්වා.
 නුවන් ජේ කියනවා  ඉංග්‍රීසියෙන් යමක් කරනවා නම් හොඳයි. අපි යා යුත්තේ ජාත්‍යන්තරයට කියල ඔහු එතැන තිබු රුසියානු පරිවර්තන සහ සිංහල පොත් සංසන්දනය කලා. සිංහල ඒවා ජාත්‍යන්තරයට ගිහින් නැහැ. ඒක ඇත්ත තමයි. මමත් හිතා  ගත්තේ මගේ ඉංග්‍රීසි බ්ලොගය දියුණු කරන්න ඕනේ කියල. අරුන්දතී රෝයි උනත් ඉංග්‍රීසියෙන් නේ ලිව්වේ. එනිසා ඔහුගේ අදහස නිවැරදියි එක පැත්තකින් ගත්තොත්.

නමුත් ඔතන  තව ප්‍රශ්නයක් තිබෙනවා. ඒ තමයි අපිට අපේ මව් භාෂාවෙන් තමා  අපේ හැඟීම් හා සිතුවිලි  හරියටම ඉදිරිපත් කරන්න  පුළුවන්. ඕන   කෙනෙකුට එහෙමයි. සිංහල කියන්නේ මගේ මව් භාෂාව. මගේ දරුවන්ගේ මව් භාෂාව ඉංග්‍රීසි නිසා ඔවුන් තම අදහස් වඩා ව්‍යක්ත ලෙස  ඉදිරිපත් කරන්නේ ඉංග්‍රීසියෙන්.   අනික ඔය ලෝක ප්‍රකට සෝවියට් සහ රුසියානු සාහිත්‍ය ග්‍රන්ථ  මුලින් ඉදිරිපත් වුනේ රුසියානු භාෂාවෙන්  මිසක් ඉංග්‍රීසියෙන් නෙමෙයි. සිංහලය ඉතා පැරණි, ප්‍රබල ලස  අදහස් ඉදිරිපත් කළ හැකි භාෂාවක් බව අප අමතක කළ යුතු නැහැ.

අවසාන වශයෙන් ඇනෙස්ලි මාලේවන ගයන "උඩරට නිළිය හැඩ වගේ" කියන ගීතය අහමු. නිළියක ගේ රතැඟිලි ගැන කීම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේද? අර කලින් ගීතය වගේ නෙමේ. හැබැයි උඩරට නිළිය  සිංහල ජාතියට ගරු සරු ලබා දෙන්නේ කොහොමද කියන එක පැහැදිලි නැහැ. පහත රට නිළියෝ  ලබා දෙන්නේ නැත්ද? උඩරට නැටුම් කලාව නම් සිංහල ජාතියට ලොකු ගරු සරුවක් ලෝකයේම ලබා දෙනවා.  ඉතාමත් සුන්දර නාට්‍ය සම්ප්‍රදායක්.

හෛඩගර් කියනවා , "අද කලාව පේස්ට්‍රි (මාළු පාන් )  හදන (චෙෆ්) අරක්කැමියෙකු ගේ  තත්වයට වැටිලා.  කලාවේ රසාස්වාදය සුන්දරත්වය හොයන උන්ගේ සහ විචාරක මාස්ටර් ලාගේ සොමියට ඉතිරි වෙලා කියල. අපේ සංස්කෘතිය බැරිස්ටා කෙනෙක්  කැපචිනෝ එකට කිරි වක්කරන එකත් ආර්ට් එකක් හැටියට උසස් කරගෙන. නමුත්  කලාවේ පරමාර්ථය විය යුත්තේ ඉතා ගැඹුරු තැනින්ම  ඉතිහාසය වෙනස් කිරීමට හැකියාවක් දීම කියන එක අපට අමතක වෙලා කියල".  මතක තියා ගමු.


යොමු:
මෙට්‍රෝ නාට්‍ය විවරණ 
ගාඩියන් නාට්‍ය විවරණ 
මාර්ටින් හෛඩගර් 
සරද  ගේ සෙල්ෆිය 

14 comments:

  1. අජිත් ධර්ම මහතාගේ අදහස් වෙනස් වන ආකාරය නිරීක්ෂණය කිරීම වටිනේය. එතුමා මුලින් කියනා දෙයට හාත්පසින්ම වෙනසක් වන දෙයක් අන්තිමේදී කියයි. එයට හේතුව නම් නිශ්චිත ප්‍රතිපත්තියක් නොමැති කමය.

    අජිත් ධර්ම මහතා ලන්ඩනයේ ජිවත් උනත් ඔහුගේ සිත ඇත්තේ කොයිබද? නවආර්ථික සැලැස්මට අනුව වතුකරය සදහා මුදල් වෙන් කිරීමේ වැඩ සටහන් එමට ඇතත් මේ හරහා ලැබෙන ප්‍රතිලාභ ගැන ලොකු විශ්වාසයක් තැබිය නොහැක්කේ මෙවැනි ව්‍යාපෘති අද ඊයේ නොව වසර ගණනාවක සිට ක්‍රියාත්මක වූ බැවින් නොවේද? අන්ත දක්ෂිණාංශික වික්‍රමසිංහ රජය යටතේ තේ දළු නෙලන්නට යන කාන්තාවන් හට සාධාරණය ඉෂ්ඨ වේ යයි කියා අජිත් මහත්මා සිතන්නේ නම් එයින්ම පෙන්නේ ඔහුගේ දැනුමේ තරමය.

    ReplyDelete
    Replies
    1. // නිශ්චිත ප්‍රතිපත්තියක් නොමැති කමය// ස්ටලින්වාදය වගේ නිශ්චිත ප්‍රතිපත්තියක් තියන් හිටිය නම් ගොඩ තමා.
      //අන්ත දක්ෂිණාංශික වික්‍රමසිංහ රජය යටතේ තේ දළු නෙලන්නට යන කාන්තාවන් හට සාධාරණය ඉෂ්ඨ වේ යයි කියා අජිත් මහත්මා සිතන්නේ නම් එයින්ම පෙන්නේ ඔහුගේ දැනුමේ තරමය.// මෙතනට දැන් රනිල් ආවේ කොහොමද?

      Delete
    2. අජිත් ධර්ම මහතාට බොහෝ දේවල් ගැන නිශ්චිත ප්‍රතිපත්තියක් නැත. ඔහු වරෙක කියා සිටියේ සමලිංගික දෙදෙනෙක්ගේ සිප ගැනීමක් දැක පිළිකුල්වී ක්‍රියා කල ආකාරය ගැනය. ඉන්පසු ඊයේ පෙරේදා රසිකගේ පොස්ටුවකට කොමෙන්ටුවක් දමා අජිත් මහත්මයා කියා සිටින්නේ ඔහු සමලිංගික සේවනයට පක්ෂ බවයි.

      මෙයින්ම අජිත් ධර්ම මහතාගේ දෙබිඩි ප්‍රතිපත්තියය මැනවින් පෙනේ.

      කාලයක් අප අජිත් ධර්ම මහතාගේ භාවිතාව ගැන බොහෝ දේ කතා කළෙමු. ඒ කතා කළ දෑ කිරාමැන බලන්නට අදවන විට ඕනෑ තරම් නිදසුන් ඇති බව සහතිකය. අද වන විට එම ඒ මහත්මයාට සිදුව ඇත්තේ කුමක්ද? ඔහුගේ බ්ලොග් එකට වී ඇත්තේ කුමක්ද? නෙළුම්යායට කුමක් වී ඇත්ද? නිකංම නිකං සිල්ලර බාර් එකකට එහා අරුතක් අද ඊට ඇත්ද?

      අජිත් මහත්මයාගේ අධ්‍යනයන්ට වඩා රෝහණ විජේවීරගේ හෝ මා ඕ කියූ දේවල් වැදගත් කියා පසු කළෙක තීන්දු කර ඇත. එසේ නැතිනම් අජිත් මහතාගේ ලිපි අර්ථකථනය කරන්නෙකු පසුපස යෑමත්, එම අර්ථ කථනකරුගේ අනුගාමිකයින් බවට පත්වීමට ඔවුන් ආශා කළෝ ය.

      අජිත් ධර්ම මහතා විසින් ලාංකීය සිංහල බ්ලොග් සේවයට අලුතින් එක්කරන ලද්දේ කුමක්ද? සහ එය සාම්ප්‍රදායික වාමාංශික ව්‍යාපාරයක ලක්ෂණ වලින් වෙනස් වන්නේ කෙසේද යන්න විමසිය යුතුය.

      අන්ත දක්ෂිණාංශික ධනපති රනිල් අගමැතිව ආරක්ෂා කරනවා හැරෙන්නට වෙනත් යමක් අජිත් මහතා සිදු කර ඇත්ද යන්න බරපතල ගැටළුවකි.

      ඉහත අදහස් ලේඛනගත කළ බුද්ධික සහ ප්‍රභා තම ඇත්ත ජීවිතයේ භාවිතාවන් තමන්ටම ඔක්කාරයක් වී ඇති නිමේෂයක තමන්ගේ අතීතයේ රුසියානු ජනතාවගේ මුදලින් අධ්‍යාපනය ලබා ස්කැනේඩියානු ධනපති පන්තිය මනස්කාන්ත යැයි කියනා අජිත් ධර්ම මහතා ගැන කුමක් කිව හැකද? එතුමා ධනවාදයේ ඉතාම හොද පාරිභෝගිකයන් හෙයින් ඔවුන්ට තමන් ලියූ- කියූ කෙරූ කිසි දෙයක් සම්බන්ධයෙන් හෘද සාක්ෂි නොමැත. එබැවින් ඔවුන්ට කිසිදු දෙයක් සිදු වන්නේ නැත...

      Delete
    3. මේ ජෝන් ඩෝ - ඔහේ හුඟක් දක්ෂයි දේවල් මාරු කරල out of context කරලා පහර දෙන්න නේද? //ඔහු වරෙක කියා සිටියේ සමලිංගික දෙදෙනෙක්ගේ සිප ගැනීමක් දැක පිළිකුල්වී ක්‍රියා කල ආකාරය ගැනය. ඉන්පසු ඊයේ පෙරේදා රසිකගේ පොස්ටුවකට කොමෙන්ටුවක් දමා අජිත් මහත්මයා කියා සිටින්නේ ඔහු සමලිංගික සේවනයට පක්ෂ බවයි. //

      දැන් ඔය මම රසිකට කියපු දේ මතක තියාගෙන ඉඳල ඉන් කොටසක් අරගෙන ඒ ගැන නොදන්නවා වගේ තව බොරුවක් දානවා නේද?
      දැන් මේක කියවන අය නොදන්නා කතාව තමයි (ඔහේ නොකියන) - ඔය කියන දේ සිද්ධ වුනේ මිට අවුරුදු 25 කට විතර කලින් මගේ නිවසට ආපු ජර්මානු සමලිංගික පිරිමින් දෙදෙනෙකු අතරේ. ඔවුන් මුවට මුව තියල සිප ගැනීම මම දුටුවේ ජිවිතයේ පළමු වතාවට. ඒක මට අපහසුවක් වුනා. මම මගේ බිරිඳටත් ඒ ගැන කිව්වා. ඔවුන් නැවතත් අපේ නිවසට ආවත් ඒ දේ කලේ නැහැ. අත් අල්ලන් හිටිය. ඒක ප්‍රශ්නයක් නැහැ. මම කිව්වේ මම හැදිච්ච විධිහට (සංස්කෘතිකව) මට ඒක අපහසුවක් වෙච්ච හැටි. අවංකව ලියූ දෙයක්. එහෙම වුනාය කියල සමලිංගික ජනතාව පහත් කරලවත් අපහාස කරලා වත් නැහැනේ ඔහෙලා වගේ.
      ඉතින් ඒ කලේ එංගලන්තයේ වුනත් අද තරම් නීති ලිබරල් නැහැ. ජර්මනියේ තරම් වත් විවෘතත් නැහැ. අවුරුදු 25 කට පස්සේ දැන් තත්වය කොපමණ වෙනස්ද . ඔව් මම සම ලිංගික විවාහ වලට විරුද්ධ නැහැ. ඔතන දෙබිඩි කම මොකක්ද කියනවා බලන්න. බොරු ලියන්නේ නැතිව යන්ට අයියා.. කන්න ඕන වුණාම කබරයත් තලගොයා කරනවා විතරයි නේ.

      Delete
    4. //කාලයක් අප අජිත් ධර්ම මහතාගේ භාවිතාව ගැන බොහෝ දේ කතා කළෙමු.// කවුද ඒ - පොඩ්ඩක් එවන්නකො ලිපියක් දෙකක් වත්. දන්නෙම නැහැ.
      //ඉහත අදහස් ලේඛනගත කළ බුද්ධික සහ ප්‍රභා තම ඇත්ත// බුද්ධික සහ ප්‍රභාගේ අදහස් කොහිද මෙතන? මම දනන් විධිහට ලියල තියෙන්නේ දීප්ති කියපු දෙයක්. කන්නාඩි දා ගෙනද කියෙව්වේ.

      Delete
    5. අජිත් ෙම්ක නම් ලියල තිෙයන්ෙන ෙගාෙඩ් බයියගෙන් ඉල්ලං කෑව විදර්ශන වගේ මට පේන්නෙ.

      Delete
  2. මාත් කැමති නැති දෙයක් තමා පොදු ජනයාට නොතේරෙන අප්‍රබංස දානවට. ඒවා නැතිවත් හිතට වදින්න කියන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. මේ ඔක්සිමොරෝන් එකක්ද ?

      Delete
  3. Can you pl give the link to your English blog?

    ReplyDelete
    Replies
    1. ඔය සයිඩ් එකේ තියෙන්නේ. එක ලියන්න පටන් ගන්න ඕනේ
      https://quantumchecks.blogspot.co.uk/

      Delete
  4. අහ.. අමාරුවෙන් හක්ක පන්න ගන්නේ නැතුව කියෙව්වා.. මටනම් රවී වීරසිංහ ටයිප් තමයි දිරවන්නේ. ඒත් ඉතීම් මට බැරි උනා කියලා 'උගතුන්'ව ගරහන්න යන්නෙත් නෑ. මේ වගේ ඒවා ගැන හරි කියවල වචනයක් දෙකක් අල්ලා ගන්න බලනවා .. එතකොට මේ 'ඔයාගේ සෙල්ෆියක්' නේද ගහගෙන තියෙන්නේ? :)))

    ReplyDelete
    Replies
    1. නිකන් ඒ වගේද පේන්නේ. මොනවහරි ඔහොම දෙයක් ගැන ලිවම සෙල්ෆි ගහනව කියල තමා හිතෙන්නේ. ඕකම තමයි හුඟක් අය නොලියන හේතුවත් හේ හේ .

      Delete
  5. මටත් ඔය සම්භාව්‍ය වචන ගොඩක් එක්ක කතා කරන මිනිස්සු නම් අල්ලන්නේ නෑ.. මම එක දවසක් ඔය එහෙම කෙනෙක් ඇවිල්ල කරන දෙසුමක් අහන්න ගියා. අහපු එක අදහසක්වත් ඔළුවට ගියේ නෑ.. අහගෙන ඉන්න වෙලාවට මේක වෙන්න ඇති කියල හිතුනත් ඔලුවේ රැඳෙන්නේ නෑ.. හෙහ් හෙහ්...

    හැබැයි සමහර අය ව්‍යක්ත අදහස් සරලව කතා කරනවා. අන්න ඒවා නියමයි.

    ReplyDelete
    Replies
    1. ඕනවට වැඩිය වචන යොදන එකත් තේරුමක් නැහැ. නමුත් අවශ්‍ය වෙලාවට අවශ්‍ය වචනය යොදන්න ඕනේ. දැන් ඔය මම කතා කරපු අදහසේ ඒ දාර්ශනික මනුස්සය හඳුන්වන්න තිබෙන වචනය පාවිච්චි නොකර කොහොමද?

      Delete

සියලු හිමිකම් අජිත් ධර්මකීර්ති (Ajith Dharmakeerthi) සතුය. අනවසරයෙන් උපුටා පල කිරීම සපුරා තහනම්ය.
මෙහි පලවන ලිපි සහ දේශපාලන අදහස් මගේ පෞද්ගලික අදහස් පමණි.
ඔබේ ඕනෑම ප්‍රතිචාරයක් මෙහි පල කරනු ලැබේ. නමුත් වෙනත් කෙනෙකුට සාධාරණ හේතුවක් නැතුව පහර ගසන අශිලාචාර අන්දමේ ප්‍රතිචාර පමණක් පල නොකෙරේ. බ්ලොගයට ගොඩ වදින ඔබ සියලු දෙනාට ස්තූතියි .